Blog

  • ජපාන තානාපති ජනපති හමුවෙයි

    ජපාන තානාපති ජනපති හමුවෙයි

    සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා
    (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

    ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා සුගියාමා අකිරා මහතා ඇතුළු පිරිස විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිතුමා විසින් එහිදී ඇගයීමට ලක් කෙරිණ.

    දෙරට අතර දිගුකාලීන මිත්‍රත්තවය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිතුමා සමග පැවසීය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ (Katsuki Kotaro)  යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ?

    බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ?

    මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

    රාජ්‍යභාග (Royalty) ප‍්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප‍්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ ගනුදෙනුවක් පසුගිය දා සිදු විය.

    ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සහ WCT සමාගම් අතර ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම (BOT) ගිවිසුම වසර 35 ක බදු කාලයක් සඳහා අත්සන් තබා ලබා දුනි. JKH යනු ඉන්දියාවේ අදානි වරායන්හි සහ විශේෂ ආර්ථික කලාපීය සමාගම (APSEZ) හි දේශීය හවුල්කරුවා වේ. මෙය මෑත කාලයේ සිදු වූ විශාලතම විදේශ ආයෝජන වලින් එකකි. සමස්ථ ව්‍යාපෘති පිරිවැය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් ලෙස අපේක්ෂා කරයි. JKH සමාගමට බටහිර පර්යන්තයේ කොටස් වලින් සියයට 34 ක කොටස් හිමි වන අතර අදානි සමාගමට සියයට 51ක් සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට  සියයට 15ක කොටස් ප‍්‍රමාණයක් හිමි වේ.

    2021 මාර්තු 16 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම ගිවිසුම (BOT) පිළිබඳ ගැටලූ මැයෙන් 2021 සැප්තැම්බර් 17 දාතමින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල විසින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙහි කළමනාකාර අධ්‍යක්ෂකවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට ද පිටපත් යොමු කරමින් වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා අමාන්ත‍්‍රණය කරන ලද ලිපියක් මගින් උක්ත ගනුදෙනුව නිසා සිදුවිය හැකි මුල්‍යමය පාඩු පිළිබදව කරුණු දක්වා ඇත. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටිනුයේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බවයි.

    විශේෂයෙන්ම මෙම ලිපිය මගින් අවධාරණය කර දක්වා ඇත්තේ බටහිර පර්යන්තය විසින් වසර 35 ක් සඳහා යෝජිත මුලූ වාර්ෂික සහතික කරන ලද රාජ්‍යයභාග (Royalty) ගෙවීම CICT වසර 35ක් සඳහා සහතික කළ මුදලට වඩා අඩු බවයි. වසර 21 ක් සඳහා බටහිර පර්යන්තය විසින් යෝජනා කරන ලද අනුපාතයන් ද CICT හි අනුපාතයට වඩා අඩු බවයි.

    සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විසින් යෝජනා කරන ලද ඇමරිකානු ඩොලර් 7 ක රාජ්‍යය භාගය (Royalty) එක්සත් ජනපද ඩොලර් 4 දක්වා අඩු කර ඇති බවයි. 2013 දී CICT මෙහෙයුම් ආරම්භ කිරීමත් 2023 දී බටහිර පර්යන්තය ආරම්භ කිරිමටත් සැලසුම් කර තිබීමත්, මෙම කාලය තුළ උද්ධමනය, විනිමය අනුපාතිකයේ අවප‍්‍රමාණය ආදි අනෙකුත් සාධක සැළකිල්ලට ගනිමින්, රාජ්‍යය භාගය (Royalty) CICTට වඩා වැඩි විම අනිවාර්ය තත්ත්වයකි.

    පසුගිය දා ඇතැම් මාධ්‍ය වාර්තා කලේ, 2010 දී CICT ඩොලර් මිලියන 150 ක සහතික කළ මුල්‍ය ප‍්‍රවාහ වල ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දුන් අතර 2021 දී යෝජිත බටහිර පර්යන්තයට ඩොලර් මිලියන 155 ක පමණක් ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දී ඇති බවයි. ඩොලරයේ උච්ඡාවචනයන් සහ රටේ දැනට පවතින සහ අනාගත උද්ධමනීය ප‍්‍රවනතා මෙන්ම WCT හි අතිරේක ඉඩ ප‍්‍රමාණය සැළකිල්ලට ගනිමින් ඉහත වට්ටම් කිරීම සිදුකලේ නම් WCT විසින් ශී‍්‍ර ලංකා රජය / ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වෙත ඩොලර් මිලියන 200 ක ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දිය යුතුව තිබුණ බවයි.

    මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ කලක් උප සභාපති ලෙස කටයුතු කල දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබද මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ප‍්‍රසන්න පෙරේරා මහතාගෙන් කල විමසුමකදි ප‍්‍රකාශ කලේ භු දේශපාලනයේ හැසිරිම අනුව ශී‍්‍ර ලංකාව යම් උගුලක හිර වි ඇති බවයි. ඒ අනුව බටහිර පර්යන්තය ඉංදිය සමාගමකට ලබාදිම එම භු දේශපාලනය මගින් විස්තර කල හැකි නමුත් වානිජමය කොන්දේසි වෙනස් විම නම් මේ රටේ මුල් බැස ගිය අත යට ගනුදෙනු නැත්නම් අල්ලස් සහ දුෂණ මගින් විස්තර කිරිමට සිදුවන බවයි.

    (පසුගියදා පැවැති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින් සූජීව සෙරනරත් විසින් සකස් කළ ලිපියකි)

  • පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ?

    පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ?

    අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුළ වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ.  බොහෝ කුඹුරු (අල) වගාවේ ගෙඩි 6 කට වඩා නැත.  ඇත්තේ කුඩා අල ගෙඩිය.

    මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ වැලිමඩ රත්කරව්ව – බොරලන්ද ලංකාවේ හොඳම අල හැදෙන නිම්නයේ අල ගලවන තැනක දසුන්ය.  ලංකාවේ අල වගාව ස්ථාපනය කල රහංගල ගොවිපලට ආසන්නයේ ය.  නෝමන් ගුණතිලක  ‘අල මහත්තයාගේ‘ ගල් පිළිමය නෙලා ඇති හීන්නාරගොල්ල පන්සල ආසන්නයේ රත්කරව්ව කුඹුරකය.

    මෙවර වගා කන්නයට වල් බෙහෙත් (වල් නාශක) නැත.  කුඹුර වල් වලින් වැසිලාය.  දිලීර නාශක තිබුණේ නැත. බ්ලයිට් රෝගය වගාව විනාශ කර ඇත.  කෘමි හානිය (කුඩුස්සෝ, කලු පනුවෝ) සිදුවන විට දවස් තුනක්ම කෘමි නාශක තිබුණේ නැත. කෘමීන් ගසේ සාරය උරා බී ගස බාල කර ඇත.

    වෙනදා හැදෙන රවුම් බෝල අල ගෙඩි නැත. පදුරකට රඹුටන්, වගේ ගෙඩි 5-6 කි. පුවක් ගෙඩි වගේ තවත් දෙක තුනකි.  වෙනදා වගේ අල ගෙඩි 10-15 නැත. අස්වැන්නක් ඇත්තේම නැත.

    ‘‘වෙනදා මේ කුඹුරෙන් අල ගෝනි 40 ක් ගලවනවා. දැන් යන්තම් 7 -8 ක් ආවොත් පුදුමයි.  අපි විනාශයි මහත්තයෝ‘‘ මේ වැලිමඩ අල ගොවියාගේ පොදු කතාවය.

    වෙනදා කුඹරක අල ගලවනවා කියන්නේ සතුටු සාගරයකි.  කන්න බොන්න, තැබ්බෙන අල හට්ටියකි.  දවල් වෙනකොට හපුතලෙන් ගේන ගල් අරක්කු බෝතලයකි. අද ඒ මොකවත් නැත. මිනිස්සු කුණුහරුපෙන් ආණ්ඩුවට බනිමින් අල ගලවති. මේ ගොවියන්ට යන – එන මං නැත. හෙට අනිද්දාට රටටම එහෙම වනු ඇත.

    මට කියන්නට ඇත්තේ එකම එක දෙයකි. කාබනික වගාව වැලිමඩ – ඌව පරණගම – හපුතලේ – බණ්ඩාරවෙල – හාළි ඇළ ගොවියා විනාශ කර අවසන්ය.

    වැලිමඩ මේ කුඹුර වගා කර ඇත්තේ පොහොර ටිකක් කෘෂි රසායන ටිකක් තිබුණ යුගයකය.  ආණ්ඩුවේ පොහොර තහනම – කෘෂි රසායන තහනම ඉවත් කළේ නැතිනම්, ඊලඟ කන්නයට පොහොර බෙහෙත් දෙකම නැත.

    අල හැදුවොත් ලැබෙන්නේ එළබටු ගෙඩි තරම් අල බව ගොවියා දැන් සහසුද්දයෙන්ම දන්නේය. කැරට් හැදුවොත් අල එරෙන්නේ නැති බව සහසුද්දයෙන්ම දන්නේය.

    ගෙවල්වල, කොන්ක්‍රීට් වහල උඩ, ඔය කැමති කැමති තාලයට කාබනික වගාවක් කර ගන්නවා නම් හොඳය. නැතිනම්, බඩගින්නේ ඉන්න වෙන එක නම් ස්ථීරය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

    මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

    රජය ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩපිළිවෙළට කන්ඩලම ජලාශයේ වම් ඉවුර ගොවි සංවිධානය සම්පූර්ණ කැමැත්ත පළ කර සිටින බවත් එහෙත් මෙම පොහොර  ක්‍රියාන්විතය මැතිණිය  විසින් රැගෙන ආ හාල් පොල්ල මෙන් ක්‍රියාත්මක කිරීමේ ගැටලුව  කඩිනමින් නිරාකරණයය විය යුතු බව  සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහානායක  ආචාර්ය ශාස්ත්‍රපති  පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ 22 දින අවධාරණය කළහ.

    කණ්ඩලම දෙවන දෙවන පියවර ශ්‍රී  සුමංගල ගොවි සංවිධානයේ කන්න රැස්වීම එහි සභාපතීත්වය දරන ආචාර්ය ඉනාමළුවේ  ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද (22) දින දඹුල්ල උයන් වත්ත විහාරස්ථානයේ පිහිටි ශ්‍රී ආනන්ද නාහිමි  සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    එහිදී වර්තමාන පොහොර ගැටලුව පිළිබඳව රටේ ගොවි සංවිධාන මේ වනවිටත් දැඩි අරගලයක නිරත වන අවස්ථාවක තම ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට නොඑන බව නාහිමියෝ අවධාරණය කළහ.

    මෙරට  ගොවියන්   සංවිධානාත්මකව මේ වනවිට අරගලයක නිරත වන බවත් තම ගොවි සංවිධානය එවැනි කිසිදු අරගලයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩසටහන්ට පූර්ණ සහ සහයෝගය ලබා දෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මැතිනියගේ කාලයේ දේශීය  කෘෂිකර්මාන්තය  ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු  සහගත තත්වය  නිසා එය ජනතාව ප්‍රතික්ෂේප කළ බවය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කාබනික පොහොර ව්‍යාපෘතිය ද එවැනි තත්වයකට  නිර්මාණයය වෙමින් පවතින බව උන් උන්වහන්සේ පෙන්වා දෙමින් කියා සිටියේ තම ගොවි සංවිධානයේ මතය වන්නේ එකවරම කාබනික පොහොර භාවිතයට මහ පොළොව ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවත් ක්‍රමයෙන්  මහපොළොව  රසායනික  තත්ත්වයෙන්  මුදවාගෙන කාබනික තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට රජය යා යුතු  බව ය. එසේ නොවන්නේ නම් වර්තමාන ජනාධිපති වරයාගේ  කාබනික පොහොර වැඩසටහන ද මැතිණියගේ හාල් පොල්ල මෙන් වර්තමාන ජනාධිපති වරයාගේ පොහොර පොල්ලක්  බවට පත්වනු ඇතැයි  නාහිමියෝ අවධාරණය කළහ.

    මෙරට බොහෝ ජනතාව විවිධ රෝග පීඩාවන් වලට පත්ව ඇත්තේ මෙම රසායනික පොහොර සහ කෘෂි ද්‍රව්‍ය නිසාවෙන් බවත් මෙරට ගොවීන් දහඩිය  මහන්සියෙන් උපයන විශාල මුදලක් පොහොර සඳහා පිටරට සමාගම්වලට ලබා දීම හා එහි ආදීනව උන්වහන්සේ ගොවීන් හමුවේ අවධාරණය කරන්නට වූහ. එම නිසා ශ්‍රී සුමංගල ගොවි සංවිධානය කිසිදු ආකාරයකින් අරගලයකට හෝ වැඩවර්ජනයකට නොගොස් ඉතා සෙමින් සූක්ෂම ලෙස කාබනික වගාවට යොමු වීම සිදු කළ යුතු යැයි උන්වහන්සේ ගොවීන්ට මෙන්ම ජනපති වරයාටද  අවවාද අනුශාසනා කරන්නට වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝො

    “අපි ගොවි සංවිධානයක් හැටියට උද්ඝෝෂණ කළේ නැහැ, පෙළපාලි කළේ නැහැ. ප්‍රශ්නයක්  ඇති වුණොත්  අපි දන්නවා ඒක විසඳාගන්නා ක්‍රමය කාලයාගේ ඇවෑමෙන්  විසඳෙන ඒවත් තියෙනවා. හැබැයි මිනිස්සු අතරේ කතාවක් තියෙනවා පොහොර ප්‍රශ්නයක් අර මැතිනියගේ කාලේ හාල් පොල්ල වගේ කියලා. දැන් මිනිස්සු  ජනාධිපතිතුමාගේ නමේ කෑල්ලත් ඉස්සරහට දාලා පොහොර පොල්ල කියලා කියනවා “

    “මෙම පොහොර සිද්ධියේදී මම කිසි විටෙක එම ප්‍රතිපත්තිය වැරදියි කියලා කියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය හරි. එදා සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනිය ගත් තීරණයත් හරි. එතුමිය කළේ අපේ රටේ ආහාර අපේ රටේම  නිෂ්පාදනය කරගන්න, ජනතාව එය  ප්‍රතික්ෂේප කරන්න හේතු වුණේ  ක්‍රියාත්මක කිරීමේ තිබුණු ගැටළු සහගත තත්වය නිසා.”

    “මම හිතන්නේ ජනාධිපතිතුමා මේ ගත්තු තීරණය වැරදි නැහැ. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණය තමයි වැරැද්ද තියෙන්නෙ. ඒක වහා නිවැරදි විය යුතුයි. එක වැරම කාබනික පොහොර දාලා මේ මහාපොළොව වෙනස් කරන්න බැහැ. ක්‍රමක් ක්‍රමයෙන් කාලයක් යනකොට තමයි මෙය ක්‍රියාත්මක විය යුත්තේ. රසායනික පොහොර විශාල වශයෙන් අපි  මහපොලොවට දාලා පොළොව මරලා තියෙන්නේ. මිය ගියපු මේ මහ පොළොව එක වැරම කාබනික පොහොර දාලා ශාකයක මූල මණ්ඩලය හදන්න බැහැ. ඒ නිසා  ඉතා පරෙස්සමෙන් මේ මහපොළොව කාබනික පොහොර වලට හුරු කිරීම රජය සිදුකල යුතුයි. එහෙම නැති වුණොත් සිද්ධවෙන්නේ එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ හාල් පොල්ල වගේ වර්තමාන ජනාධිපතිතුමාටත් පොල්ලක් නම පට බැඳෙන එක විතරයි වෙන්නේ .”

    “අපේ රටේ  මුදල් කොපමණ ප්‍රමාණයක් විදේශ රටවලට ලබා දෙනවාද ? අපේ රටේ මිනිස්සුන්ට  හැදිලා තියෙන ලෙඩ රෝග  කොපණමද හැදිලා තියෙන්නේ වකුගඩු රෝගීන්  ප්‍රමාණයක් ඉන්නවා ද ? ඒ සඳහා කොපමණ ඖෂධ ප්‍රමාණයක් ලංකාවට ගෙන්වනවා ද  කොපමණ ප්‍රමාණ යක් හම්බ කරන ධනය  ඖෂධ සඳහා අපේ ගොවීන් වියදම් කරනවද ? මෙන්න මේවා අපේ ගොවීන් වටහා ගත් යුතුයි”

    “ඒ නිසා අපේ ගොවි සංවිධානයේ සියලු ගොවීන් ගෙන් අපි ඉල්ලා සිටිනවා කණ්ඩලම වම් ඉවුර  ගොවි සංවිධානය කිසිම ආකාරයකින් මේ පොහොර සිද්ධියට විරෝධය දාලා පෙලපාලි යන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් කාබනික පැත්තට හැරෙමු. ඒ සඳහා ජනාධිපතිවරයා ගේ අවධානය යොමු විය යුතුයි. කඩිනමින් මේක කරන්න බැහැ. ක්‍රම ක්‍රමයෙන් මහපොළොව සුවපත් කරගෙන මේ  කාබනික පොහොර ක්‍රමය රටේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කාබනික පොහොර හදනවා කියලා ප්‍රමිතියෙන් තොර පොහොර නිෂ්පාදනයට ඉඩ දෙන්න එපා‘‘.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • 2022 අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

    2022 අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

    • කෝපා කමිටු වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදය ලබන 09 වැනිදා
    • නොවැම්බර් 08 වැනි සඳුදා සිට දෙසැම්බර් 10 සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වෙයි

    ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ගරු කථානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ පිළිබඳව සලකා බැලුණු අතර ඒඅනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවී තිබේ.

    මේ අතර නොවැම්බර් 09 වැනි අඟහරුවාදා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට  මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරයා පැවසීය. පසුගිය ජූලි 20, ඔක්තෝබර් 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තා ත්‍රිත්වයට අදාළව රජය විසින්  ගෙන එන යෝජනාවක් ලෙස මෙම සභාව කල් තැබීමේ විවාදය එදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

    තවද ලබන 08 වැනි සදුදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස සම්පූර්ණ දිනයම චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට ද මෙහිදී තීරණයවී ඇත. මේ අනුව පැවති කොවිඩ් තත්ත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීම් සීමා කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවේදී ඇසීම‍ට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා මෙදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇත.

    මේ අනුව ලබන 08, 09, 10, 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 12 වැනි සිකුරාදා ප.ව 2.00 ට 2022 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) ගරු මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.

    නොවැම්බර් 10 වන බදාදා පෙ.ව 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 11.00 සිට පෙ.ව 4.30 දක්වා  2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සදහා වූ   විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කොට සම්මත කරගැනීමට නියමිතය.

    නොවැම්බර් 11 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනේ.

    නොවැම්බර් 10 සහ 11 යන දෙදිනම ‍ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමටත් වෙන් කර ඇත.

  • ලංකාගම ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය

    ලංකාගම ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය

    ලංකාගම ප්‍රදේශයට දේශීය වශයෙන් විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ වන විට ඇදී එන බවත් එය නිවැරදිව කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් දේශීය සංචාරකයින් ලංකාගම ප්‍රදේශය නැරඹීමට පැමිණ ඇති බවයි. මේ නිසා ඉදිරියේදී විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ඇදී ඒමට අවස්ථාව ඇති බැවින් මෙසේ පැමිණෙන සංචාරකයින් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

    එසේම සිංහරාජ වනාන්තරය නැරඔීමට යන විදේශීය සංචාරකයින් ලංකාගම ප්‍රවේශය භාවිත කළ හැකි ආකාරයෙන් අන්තර්ජාල (Google Map) තොරතුරු යාවත්කාලීන විය යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. මේ අනුව ඉක්මනින් මේ පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වැඩකටයුතු සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

    තවද මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක කටයුතු වර්ධනය කිරීම සඳහා මහනුවර නගරයේ කේබල් කාර් ව්‍යාපෘතියක් සකස් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණි.

  • දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා

    දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ  කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද  (22) දින පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ බෙදා හරින තොග වෙළෙඳ  මධ්‍යස්ථානය  වෙයි. පසුගිය විසි එක් වන දින සිට එක වරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

    ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි.

    ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් 200 සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

    පෙරදා කිසිදු දිනක ඉහළ නොගිය පතෝල, වැටකොළු, බණ්ඩක්කා, ආදී එළවළු කිලෝ එකක  තොග මිල රුපියල් 150 ත්  180ත්  අතර ඉහළ මිලකට අලෙවි වීම විශේෂ කරුණක් බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

    ඒ අන් අනුව වම්බටු, මෑ කරල්, පතෝල, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, දඹල, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120-220 දක්වා වූ විවිධ මිල පරාසයක්න් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝ එකක තොග මිල  රුපියල් 220කි. බෝංචි කිලෝවක තොග මිල ද රුපියල් 220කි. එමෙන්ම දේශීය ලොකු ලූනු මිල ද ඉහළ ගොස් කිලෝවක්  රුපියල්  170කට  මිලදී ගැනීම සිදු වෙන බව වෙළෙන්දෝ  පෙන්වා දෙති.

    ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න

    ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ 21 දින සිට  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව ය.

    ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ ඉල්ලීම අනුව සැපයුමක් නොමැති වීමයි. එළවළු ඉතා අඩු ප්‍රමාණයක් වෙළඳපොළට ලැබෙන නිසා ඉල්ලුම සැපයුම න්‍යාය අනුව ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ඉහළ යෑම සිදු වන බවත් පෙන්වා දෙන අතර එළවළු නිෂ්පාදනය අවම වශයෙන් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

    ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි. එම නිසා තමන් නිෂ්පාදනය කළ ඉතා සීමිත එළවළු සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් විශාල එළවළු ප්‍රමාණයක් කෘමි සතුන්ගේ හානිය නිසා ඉවත් වන බව ඔවුහු පෙන්වා දෙති.

    එමෙන්ම ගොවීන් කියා සිටියේ රුපියල් 1500කට අලෙවි වූ රසායනික පොහොර මිටියක් රුපියල් දදහදාහක ඉහළ මිල ගණන් යටතේ මේ වන විට රහසිගතව අලෙවි කිරීම් සිදුවන බවය. එම වැඩි මිලක් ලබා දී වගාවන් සිදු කරමින් යම් මට්ටමකින් එළවළු වෙළෙඳ පොළට රැගෙන එන බව ගොවීන් පවසති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ඉදිරිපෙළ වෘත්තිකයින් සඳහා COVID 19 තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට

    ඉදිරිපෙළ වෘත්තිකයින් සඳහා COVID 19 තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට

    සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

    එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් කිරීමට ද තීරණය කෙරිණ. එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඉතා ඉක්මණින් කොවිඩ් වසංගතය පැතිර යාම පාලනයට හැකි විය.  එම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

    අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේය. උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

    පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට  පමණක් පළමු අදියර යටතේ ගමනාගමනයට අවසර දීමට කොවිඩ් කමිටුව නිර්දේශ කළේය. අමතර මැදිරි එක්කර දැඩි තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු  සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

  • දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය වන ලකුණු

    දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය වන ලකුණු

    සෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් පළකරමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයුම් සදහා බිලියන 12ක පමණ ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටිසෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් පළකරමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයුම් සදහා බිලියන 12ක පමණ ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ඒ පිළිබදව සාකච්ඡාවක් කැදවා පිළියම් යොදවන ලෙස නියෝග කර සති තුනක් ගත වුවත්, අදාල නිලධාරීන් ඒ පිළිබදව කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැති බවයි.

    සෞඛ්‍ය ලේකම් වරයා ඊට මැදිහත්වී විකල්ප සෙවීම වෙනුවට දිනෙන් දින අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඩාල කරමින් සහ තීරණ ගැනීම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුළ විශාල අර්බුදයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

    මෙවන් අර්බුද මතුවූ සෑම අවස්ථාවකම පෙර සිටි සෞඛ්‍ය ලේකම් වරුන් ඊට මැදිහත්වී විවිධ පිළියම් යොදමින් රජයත්, සෞඛ්‍ය සේවාවත් අර්බුදයකින් තොරව පවත්වා ගැනීම සදහා මැදිහත් වුවද, වර්තමාන සෞඛ්‍ය ලේකම් වරයගේ කළමනාකරණ දුර්වලතාවය, මෙවන් අර්බුද උඩුදුවන මට්ටමට පරිවර්තනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

    ඒ අතර අනවශ්‍ය වියදම් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිදුවෙමින් පවතින අතර, සමහර ආයතන සදහා ඉතා හොදින් වැඩකරන උපකරණ ඉවත දමා, බිලියන ගණන් වටිනා නව උපකරණ සවි කිරීම හා අඩු මුදලකට පරීක්ෂණ සිදු කල හැකි උපකරණ තිබියදි, එක් පරීක්ෂණයක් සදහා විශාල මිලක් ගෙවීමට සිදුවන උපකරණ ස්ථාපිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය බර අනවශ්‍ය ලෙස වැඩිකරගෙන ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය‍.යේ මුදල් අමාත්‍යවරයා ඒ පිළිබදව සාකච්ඡාවක් කැදවා පිළියම් යොදවන ලෙස නියෝග කර සති තුනක් ගත වුවත්, අදාල නිලධාරීන් ඒ පිළිබදව කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැති බවයි.

    සෞඛ්‍ය ලේකම් වරයා ඊට මැදිහත්වී විකල්ප සෙවීම වෙනුවට දිනෙන් දින අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඩාල කරමින් සහ තීරණ ගැනීම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුළ විශාල අර්බුදයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

    මෙවන් අර්බුද මතුවූ සෑම අවස්ථාවකම පෙර සිටි සෞඛ්‍ය ලේකම් වරුන් ඊට මැදිහත්වී විවිධ පිළියම් යොදමින් රජයත්, සෞඛ්‍ය සේවාවත් අර්බුදයකින් තොරව පවත්වා ගැනීම සදහා මැදිහත් වුවද, වර්තමාන සෞඛ්‍ය ලේකම් වරයගේ කළමනාකරණ දුර්වලතාවය, මෙවන් අර්බුද උඩුදුවන මට්ටමට පරිවර්තනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

    ඒ අතර අනවශ්‍ය වියදම් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිදුවෙමින් පවතින අතර, සමහර ආයතන සදහා ඉතා හොදින් වැඩකරන උපකරණ ඉවත දමා, බිලියන ගණන් වටිනා නව උපකරණ සවි කිරීම හා අඩු මුදලකට පරීක්ෂණ සිදු කල හැකි උපකරණ තිබියදි, එක් පරීක්ෂණයක් සදහා විශාල මිලක් ගෙවීමට සිදුවන උපකරණ ස්ථාපිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය බර අනවශ්‍ය ලෙස වැඩිකරගෙන ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය‍.

  • ‘දැන් ඉතිං ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ’ – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

    ‘දැන් ඉතිං ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ’ – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

    මහ කන්නයේ වී වගාවට සූදානම්ව සිටින ගොවීන්ට අවශ්‍ය පරිසර හිතකාමී කොම්පෝස්ට් ඝණ පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් යන පොහොර වර්ග තුනම මේ වන විට ගොවිජන සංවර්ධන  මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ කොම්පෝස්ට් ඝණ පොහොර ගොවීන්ටම නිෂ්පාදනය කර ගැනීම සඳහා රජයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 12,500 බැගින් මුදල් ලබා දී ඇති බවය. එලෙස මුදල් ආධාර නොලැබුණ ගොවීන්ට කොම්පෝස්ට් ඝණ පොහොර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මඟින් නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

    ” මහ කන්නයේ වී ගොවිතැන ආරම්භ ⁣කරන කාලේ පොහොර හිඟයක් ඇති බව දැනුනම ගොවි ජනතාව කලබලයට පත්වීම අසාධාරණයි කියන්න බෑ. නමුත් දැන් රජය පොරොන්දු වු විදිහට මහ කන්නයට පොහොර දෙන්න දැන් සුදානම් කරලා තියෙනවා. මේ කටයුත්තේදී යම් ප්‍රමාදයක් ඇති වුණා. දැන් ඒ සියල්ල නිවැරදි කර ගෙන මෙරට නිෂ්පාදනය කළ කොම්පෝස්ට් පොහොරවලට අමතරව පරිසර හිතකාමී අහිතකර රසායන ද්‍රව්‍ය නොමැති පොටෑසියම් ක්ලෝරයිඩ් කැට පොහොරක්  හා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරලා තිබෙනවා. ඊටත් අමතරව මෙරට නිෂ්පාදිත දියර පොහොරත් ගොවි ජනතාවට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලින් ලබා ගන්න පුළුවන් ආකාරයට කටයුතු සූදානම් කරලා තිබෙනවා. දැන් ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ. රජයේ නිර්දේශිත මේ පොහොර යෙදීමෙන් වී වගාවේ අස්වැන්න අඩු වුණොත් හෝ වෙනත් ආකාරයක හානියක් සිදු වුණොත් ඒ සඳහා වන්දි ගෙවන යාන්ත්‍රණයක් අපි දැන් හදා ගෙන යනවා. ඒ නිසා අපි රජයක් විදියට ගොවීයන්ගෙන් ඉල්ලන්නේ ඔබ ඔබේ උත්තරීතර කාර්යය කරන්න කියලයි” යැයිද ලේකම්වරයා කීවේය.

  • මෙරටදී පළමුවරට සයදරු උපතක්

    මෙරටදී පළමුවරට සයදරු උපතක්

    මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු විය.

    මෙම දරු උපත සිසේරියන් සැත්කමක් ලෙසින් සිදු කර ඇත.

    මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසූ පරිදි මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

    තිස් එක් හැවිරිදි මව සහ දරුවන් සයදෙනා ම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.

  • ‘CID එක මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා‘ – හිටපු ඇමති චම්පික රණවක

    ‘CID එක මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා‘ – හිටපු ඇමති චම්පික රණවක

    නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ඔක්තෝබර් 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක්  තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය තුළ සිදුවේ යැයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉන් දන්වා තිබූ බවත් රණවක මහතා මෙහිදී අනාවරණය කළේය.

    “ඒ නොතීසිය මා වෙත එව්වෙ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මැතිතුමා. එහිදී විශාල මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රකාශ කළා. මම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉන්න කාලේ රුපියල් මිලියන 150 ක් අවභාවිතාවක් කළාය කියලා ප්‍රචාරක වැඩ කටයුත්තක් ගැන. නමුත් ඒ නොතීසිය තිබුණේ රුපියල් මිලියන 75 ක ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න. අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාගෙ අමාත්‍යාංශයෙන් එවපු ලිපියකට අනුකූලව අදාළ අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලා ඒ ලිපියෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් මම අපේ ලේකම්තුමා ඇතුළු ඒ කාලේ හිටපු අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක කළමනාකරණ රැස්වීමේ මූලාසනය දරුවද කියලා ඇහුවා. මං කිව්වා ඔව් කියලා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අපි හැමදාම කළමනාකරණ රැස්වීම් පැවැත්වූවා. ඒ අනුව ඒ පැවැත්තුවද කියලා.”

    මේ සාකච්ඡාව ඉදිරියට යද්දී 2018 සහ 2019 වර්ෂවල තම දුරකතන සංවාදයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවන් දී ඇති බව මෙහිදී හිටපු අමාත්‍යවරයාට දැනගැනීමට ලැබී තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වෙනි වගන්තියට අනුව එවැනි විමර්ශනයක යෙදෙන පොලිස් නිලධාරීන්, දුරකථන සංවාද සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ලබා ගත යුතුය .

    “මම ඇහුවා එවැනි අවසරයක් ගත්තද මගේ දුරකථන වලට සවන් දෙන්න මහේස්ත්‍රාත්වරයාගෙන්? ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් ඒවා ඔවුන්ට ලබා දීපු බව. එතකොට එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණු නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ඒ ප්‍රකාශයේ ඒ බවත් මම සඳහන් කළා.”

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම පුද්ගලිකත්වයට ඇති අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් භුක්ති විදින පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මෙහිදී නීති විරෝධීව උල්ලංඝනය කොට තිබෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 2 වැනි වගන්තිය මගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද දැක්වෙන එහි 7 වැනි වගන්තිය මගින් ද මේ වරප්‍රසාදයන්ට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සතු වරප්‍රසාද ද මීට අයත් වන බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

    “ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුල බලාත්මක වන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිළිබද සම්මුතියේ 19 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශ සීමා හා මායිම් තුළ නොසිට හා තොරතුරු හා අදහස් සොයා යාම ලබා ගැනීම හා බෙදාහැරීමේ නිදහස තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයක් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි. ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දුරකථනය එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවලමක් ඒ තුළ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන තමන් සතු වරප්‍රසාද තොරතුරක්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝනය කරලා තියෙන බව මගේ හැඟීමයි.”

    නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන්ට අදාළ දත්ත, අදාල දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදාහැරීම මගින් අදාළ සේවා සැපයුම්කරුවන් ද තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    “ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු වරප්‍රසාද කඩ කිරීමට අදාළ විධිවිධාන පනතේ 22 වෙනි වගන්තිය මඟින් ප්‍රතිපාදනය කරලා තියෙනවා. මා කියා සිටින්නේ ඉහත වරප්‍රසාද කඩ කිරීමේ පනතේ ආ පරිශ්ඨයේ දහවෙනි වගන්තිය යටතට ගැනෙන වරද බවයි මේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාළ දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම එකී මූලික පරීක්ෂණයෙන් අනතුරුව, 22:2 වගන්තියට අනුව, මෙම වරප්‍රසාද කඩකිරීම පනතේ, සඳහන් කොට ඇති වරදක් සිදුකොට ඇති බව, බැලූ බැල්මට පෙනී යන්නේ නම්, පනතේ 23 වෙනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිදුකරන ලද විමසීමකින්, දඬුවම් කළ හැකි වරදක් බවත්, මා මේ අවස්ථාවේ ඔබතුමාට සිහිපත් කරනවා.”

    ඒ අනුව, මගේ වරප්‍රසාද උල්ලංඝනයට අදාළ පැමිණිල්ල පිළිබඳ පනතේ 25 වෙනි වගන්තිය මගින් සලසා ඇති ප්‍රතිපාදන මත කටයුතු කිරීම සඳහා ගරු කථානායකතුමා විසින් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කතානායකතුමන් වෙත කැඳවන මෙන්ද එසේ කැඳවන වාර්තාව සභාගත කරන මෙන්ද එම වාර්තාව පදනම් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සිදුකරන යෝජනා සම්මතයක් මගින් පනතේ 23 වෙනි වගන්තිය යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද මෙනයින් මම ඉල්ලා සිටිනවා”

    “මම අසවලාට කතා කළාය කියලා පණිවිඩයකින් හොයාගන්න මේ අපි දන්න තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතිය ඇතුළෙ නම් කරන්න බෑ. එකම ක්‍රමය පණිවිඩ වලට ඇහුම්කන් දෙන්න, ලබා දුන්නේ කවුදැයි කියන එක සම්බන්ධයෙන් වෙච්ච යම් සුවිශේෂී තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබුනොත් පමණයි. අපි කවුරුත් දන්නවා මේ පසුගිය කාලේ ප්‍රධාන පෙළේ  පිරිස් ප්‍රංශයේ ජනාධිපති මැකෝන් ඒ වගේම ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි. මෙවැනි අයගේ පවා පණිවිඩ වලට ඒ ඒ රජයන් වල හෝ වෙනත් විදේශ රජයන් වල ඇහුම්කන් දීලා තිබෙන බව. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා පෙගසස් නමින් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලද ඒ තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙනවද? එසේ නැත්නම් සාමාන්‍ය දුරකථන ඇමතුමක් නොවන ඇමතුමක් පිළිබඳ තොරතුරු ඔවුන් දැනගත්තේ කෙසේද කියන එක ගැනත් පරීක්ෂණ කරන්න” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය

  • ගොවියොත් එක්ක පාරට බහින්න රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහත් සූදානම්ලු

    ගොවියොත් එක්ක පාරට බහින්න රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහත් සූදානම්ලු

    කාබනික පොහොර තීන්දුව, අතිගරු ජනාධිපතිතුමා අනාගත පරපුර හා මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක් යැයි දිඹුලාගල  අධ්‍යාපන කාර්යාලයේ පැවති  රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පැවසීය.

    මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා.

    ‘පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  තියෙනවා අනිවාර්යෙන්ම කාබනික වගාවට යනවා කියලා. එතුමාලා  එතකොට පහුගිය කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙන්නේ බොරුවක්ද කියලා දැන් අපිට හිතෙනවා .

    දැන් ගොවි ජනතාව කියනවා භාගයක් කාබනික පොහොරත් භාගයක් රසායනික පොහොරත්  දුන්නහම ඇති කියලා .

    ඒ කියන්නේ මේ රට ජාතියක් විදිහට ලැබු  ජයග්‍රහණයක්. ගොවි  ජනතාවටත් අවබෝධ වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතය සුදුසු නැහැ කියන එක.

    පහුගිය කාලේ කාබනික පොහොර හදන්න රජය මුදල් දෙනකොට ඔය පක්ෂග්‍රාහීව කටයුතු කරන කඩාකප්පල්කාරීන් ඉතා සුළු පිරිසක් කුමන්ත්‍රණකාරීව මේ ගොවි ජනතාව අවුස්සමින් කටයුතු කරා .අපි දන්නවා ඒ අයත් රජයෙන් දුන්න රුපියල් 12,000 ක මුදල අරගෙන තියෙනවා. ඒ අය ඒ මුදල් අරගෙන පොහොර හැදුවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා.

    කාබනික පොහොර ටිකට පොස්පරස් අපේම රටේ තියෙන නිසා එකතු කරන්න පුළුවන්කම තියෙනවා .අපි දැක්කා පොටැසියම් පොහොර නැවක් ගෙන්වනු ලැබුවා. නයිට්‍රජන්  පොහොර දියරයක් විදිහට ගේනවා .

    මමත් ගොවි ජනතාව වෙනුවෙන් මහපොළොවේ  සටන් කරපු දේශපාලන නියෝජිතයෙක් විදිහට කියන්නේ අපි කන්නයක් දෙකක් කරල බලමු. කන්නයක් කරල බලමු අස්වැන්න කොහොමද කියලා. මේකේන පොටෑසියම් සහ නයිට‍්‍රජන්  දියර යොදලා.අපි දෙවැනි කන්නෙත් බලමු. යම් අසාර්ථකත්වයක් තිබුනොත් එතකොට මාත් ගොවියා එක්ක පාරට බහිනවා.

    හැබැයි මේ  ජාතිය බේරගන්න ආරක්ෂා කරගන්න වකුගඩු රෝගයෙන්, පිළිකා රෝගීයෙන්, අධි රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් මේ ජනතාව බේරගන්න ඕනේ මේ රසායනික පොහොර මඟින් එයට බලපෑමක් සිද්ධ වෙනවා .රසායනික පොහොර  බලපෑම අඩු කරගන්න, පොහොර වලින් මිදෙන්න පුළුවන් නම් ඒක සුවිශේෂී කාරණයක් වෙනවා.ඒ නිසාමයි අනුර කුමාර දිසානායකත් කාබනික පොහොර වගාවකට යායුතුයි කියලා කියන්න ඇත්තේ කියලා හිතනවා, බොරුවට හරි.

    අපි ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවගෙන් කන්න දෙකක් කරල ඊට පස්සේ තීන්දුවකට යමු කියලා.මේ බංකොලොත් දේශපාලන කඳවුරෙන් අපි ඉල්ලන්නේ ගොවි ජනතාව නොමඟ යවන්න එපා කියලා.

    එන් පී කේ නයිට්‍රජන් පොටෑසියම් පොස්පරස් පොහොර ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ අපි සංවිධානය කරලා හමාරයි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා .

    අපිටත් තියෙනවා වගකීමක් අපේ ජාතිය බේරගන්න .ඒ නිසයි අපි කියන්නේ ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රසංසනීයයි කියලා.’

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා,උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්,

    පොලොන්නරුව දිස්ත්‍රික් අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

  • ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

    ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

    පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ යන මහත්වරු  විසින් පිළිගැනුණු අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සමග ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසියහ.

    ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසෙන විට ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා විසින් ප්‍රශ්න ඇසීම සිදුකරමින් සිටියේය.

    විපක්ෂ නායකවරයාගේ වාචික ප්‍රශ්නවලට මහින්දානන්ද අලුත්ගමගේ, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් විසින් දුන් පිළිතුරුවලට ද ජනාධිපතිතුමා සවන් දුන්නේය.

  • ඇමති නාමල්  අගමැති නරේන්ද්‍ර මෝදි හමු වෙයි

    ඇමති නාමල් අගමැති නරේන්ද්‍ර මෝදි හමු වෙයි

    ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පැවැත්වීය.

    ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය. එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භගවත් ගීතාවේ ඉංග්‍රීසි , සිංහල හා දෙමළ පරිවර්තනයේ පළමු පිටපතද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වනු ලැබීය.

    මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සකස් වූවක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රමාත්‍යවරයා හමුවේ පවසා ඇත. මේ හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම , අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය නිල ට්විටර් ගිණුමට සටහනක් ද එක් කර තිබුණි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සදහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා හමුවීම සතුටට කරුණක් බවත් , විවිධ අංශ ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් වෙමින් පවතින බවත්ය. ඉන් දෙරටේම ජනතාවට යහපතක් වනු ඇතැයිද නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර තිබිණි.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ ඉන්දියාවෙන් , ශ්‍රී ලංකාවට ලැබුනු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවත් , දෙරටම සැමවිටම සමීප සබදතාවයක් පවත්වා ගෙන බවය.

    දෙරටේම ජාතීන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් , අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේත් දැක්ම වන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.

  • කෘෂිනගර් නව ගුවන් තොටුපළට ගොඩබැස්ස මුල්ම මගී පිරිස ශ්‍රී ලංකාවෙන්

    කෘෂිනගර් නව ගුවන් තොටුපළට ගොඩබැස්ස මුල්ම මගී පිරිස ශ්‍රී ලංකාවෙන්

    • ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර්හිදි විවෘත වේ.
    • තෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු සිය නමක් මුල්ම ගුවන් යානයෙන් කුෂිනගර්වලට
    • ඇමති නාමල් ඇතුළු 08 දෙනෙකුත් කුෂිනගර් යති
    • කුෂිනගර් ගුවන් තොටුපළ ආරම්භ වීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ආගමික සබදතා වල නව පරිච්ඡේදයක් – ඇමති ප්‍රසන්න රණතුංග කියයි.
    ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කපිල වස්තුපුර ධාතුන්වහන්සේලා ගුවන් යානයට වැඩම කර වු අවස්ථාව.

    ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර් (පැරණි කුසිනාරා නුවර) දී විවෘත කෙරේ. මෙම නව කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එහි  පළමුවෙන් ගොඩබැස්ස වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 1147 ගුවන් යානයයි.

    මෙම ගුවන් යානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව පළමු ගුවන් යානය ඉන්දියාව වෙත යැවිණි.

    අද අළුයම 5.20ට ගුවන් ගත කෙරුණු මෙම ගුවන් යානයෙන් තෛනිකායික අනුනායක හිමිවරුන් සමග සංඝයාවහන්සේලා සියක් නමක් කුෂිනගර් වෙත වැඩම කළ අතර ඇමති නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ විශේෂ ධුත පිරිසක් ද ඉන්දියාව බලා ගියහ. මෙම ධුත පිරිසට රාජ්‍ය අමැත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සිසිර ජයකොඩි, ඩි.වි.චානක මෙන්ම ජීවාන් තොණ්ඩමන් මහතා ද ඇතුළත් වූහ. ගුවන් තොටුපළ විවෘත කිරීම සහ මෙම පිරිස පිළිගැනීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කුෂිනගර් නව ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමීණ සිටියේය. මෙම ගුවන් යානයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි කුෂිනගර් බෞද්ධ සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සදහා වස්කඩුවේ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන කපිල වස්තු ධාතුන්වහන්සේලා වැඩම කර විම ද විශේෂත්වයකි.

    කුෂිනගර් බලා ගිය UL 1147 ගුවන් යානය

    ගුවන් තොටුපළ විවෘත කිරිමේ අවස්ථාවට සමගාමීව ඓතිහාසික ඡායාරූප දෙකක් ද එහි ස්ථිපිත කිරීමට කටයුතු යොදා තිබේ. බුදුන්ගේ තෙවැනි ශ්‍රී ලංකා සංචාරය ලෙස සැලකෙන කැළණිය රජමහා විහාරයේ දි ශ්‍රී ලංකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වු සෝලියස් මෙන්ඩිස් පින්තාරු කරන ලද බිතුසිතුවම් දෙකක් මෙලෙස කුෂිනගර් ගුවන් තොටුපළේ ස්ථාපනය කර තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ සිට මෙම විශේෂ ගුවන් යානය පිටත්ව යාමේ අවස්ථාවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු සහභාගී වුහ.

    ඉන්දිය මහකොමසාරිස්වරයා මෙහි දි කියා සිටියේ මෙය ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද ඓතිහාසික අවස්ථාවක් බවයි. දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට මෙම සංචාරය ඉවහල් වන බව ද ඔහු කීවේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කීවේ කටුනායක කුෂිනගර් සෘජු ගුවන් සේවාව දෙරට අතර ආගමික සම්බන්ධතා වල නව පරිච්ඡේදයක් වනු ඇති බවයි. ඉදිරියේ දි දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට මෙය වඩාත් පහසුවක් වනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

    බුද්ධ පරිනිර්වාණය සිදු වූ උපවර්තන සල් උයන පිහිටා ඇති කුසිනාරා නුවර හැදින්වෙන්නේ කුෂිනගර් ලෙසයි. ඉන්දියාවේ උත්තර ප්‍ර දේශයේ ඇති කුෂිනගර් බුද්ධ කාලයට පෙර කුසාවති නමින් හදුන්වා තිබේ. මහා පරිනිර්වාණ සුත්‍රය අනුව බුදුන් වහන්සේ කුසිනාරා නුවරට වැඩම කර එහි දි පිරිනිවන් පෑ අතර ධර්මාශෝක රජු එහි විශේෂ ස්ථුපයක් ද ඉදි කර ඇත.