පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)

පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)
Spread the love

සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් කිරීමට මේ වන විට යෝජනා වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් අනාවරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩ නැඟීම සඳහා වූ සාකච්ඡා තමා ඇතුළු කණ්ඩායම සාර්ථකව ඉදිරියට ගෙන ගිය බවත්, පක්ෂය දෙකේම මෙන්ම වාමාශික කඳවුරේ බහුතරයකගේත් තමාගේත් අපේක්ෂාව ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ සන්ධාන ගතව තරඟ කොට ජයග්‍රහණය කිරීම බවත්, නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සුළුතරයක් එම සන්ධානය ගත වීම විනාශ කර දැමීමට උත්සහ කරන බවත්ය.

යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගත වීම විනාශවීමේ අවසාන ප්‍රතිථලවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකුත් ඉදිරිපත් වීම බවයි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාව ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී ඇත්තේ ශ්‍රීලනිප සහ ශ්‍රීලපොපෙ අතර සන්ධාන ගතවීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණයක් වන අන්දමින් සිදුනොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා වෙනම ජනාදිපති අපේක්ෂයෙක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කිරීමට සිදුවන බවයි.