නිවෙස් පිරිසිදු කිරීම, පානීය ජලය ගෙන ඒම, පිඟන් සේදීම, රෙදි සේදීම, පවුලේ අයට ආහාර සැකසීම, දරුවන් රැකබලා ගැනීම සහ ඇඳුම් මැසීම ආදිය ඔස්සේ කාන්තාවකගේ ගෘහාශ්‍රිත සේවා කටයුතු පුළුල්ව විහිදී තිබේ. ස්වාමි දියණියක් ලෙස මෙම ක්‍රියාකාරකම් කාන්තාවක් ලෙස ඉතා දක්ෂ ඉටුකරන ආකාරය සමාජ සංස්ථාව තුළ අපට දකින්නට හා අසන්නට ලැබේ. මෙලෙස කාන්තාවන් බොහෝ දුරට ගෘහමය කටයුතු වලට පමණක් යොමුවීම තුළ ව්‍යවසායකත්ව ගොඩනැඟීම හා පවත්වාගෙන යාමේ ආධිපත්‍යය පුරුෂ පක්ෂය විසින් අත්පත්කර කරගෙන තිබෙන බැව් පැහැදිලි වේ.
කෙසේ වුවද සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු පිරිමින්ට ලැබෙන ප්‍රතිලාභ කාන්තාවන්ට අත්‍යවශ්‍යයෙන්ම නොලැබුණත් වැඩි සුදුසුකම් හඹායාම කාන්තාවකගේ හොඳම බලාපොරොත්තුව බව දැන් දැන් ඉස්මතු වෙමින් පවතී. විශේෂයෙන්ම තාක්ෂණික යුග පෙරළිය හමුවේ කුසලතාවන්ගෙන් සහ ගැටලු විසඳීමේ හැකියාවෙන් බොහෝ කාන්තාවන් පිරිමින්ට වඩා ඉදිරියට පැමිණෙමින් පවතින බව පැහැදිලිවම විද්‍යාමානවේ. ඒ හේතුවෙන්ම මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධාන විධායක තනතුරු සදහා මෙන්ම එයට පහළ කෙෂ්ත්‍ර තුළ වුව ද කාන්තා ප්‍රවේශයේ වැඩිවීමක් දකින්නට තිබේ. එසේ වුවද ව්‍යවසායකයින් ලෙස කාන්තාවන් සමාජයට අවතීර්ණවීම අවම බවක් විද්‍යාමානවේ. මේ උදෙසා එක් හේතුකාරකයක් වන්නේ ‘පිරිමින්ට වඩා කාන්තාවන් අවදානමට අකැමැතිවීමේ පොදු සෘණාත්මක ආකල්පය’ බව පැහැදිලි වේ.
පුළුල් හා සංකීර්ණ ගෘහමය වගකීම්
එසේ ම සමාජීය අපේක්ෂාවන් ලෙස පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම සඳහා වන බොහෝ වගකීම් පටවන්නේ ද කාන්තාවන් මත හෙයින් ඔවුන්ගේ සැඟවුණ වෘත්තීයමය කුසලතා ප්‍රදර්ශනයට ඒවා සැලකිය යුතු බාධා ඉස්මතු කරයි. එහෙයින් රැකියා සහ ව්‍යවසායකත්වය ඒකාබද්ධ කරන දෙමුහුන් ආකාරයේ ප්‍රවේශයකට කාන්තාවන්හට යොමුවීම උදෙසා පුරුෂ පක්ෂය විසින් ඔවුන් වෙනුවෙන් ආකර්ෂණීය අනුග්‍රයන් ලබාදීම යුතුකමක් යැයි පැවසිය හැකි වේ. එමෙන්ම සම වයසේ මිතුරියන් හෝ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උසස් නිලධාරීන් කාන්තාවන්ගේ උත්සාහයන් අවතක්සේරු කිරීමේ කලාව ද සමාජයෙන් තුරන් කළයුතු සංසිද්ධියකි. එපමණක් නොව පුරුෂ ආධිපත්‍යය සහිත සමාජයේ කාන්තාවක් විසින් ව්‍යවසායකත්වයක් තෝරා ගන්නාවිට ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා පහසුකම් සැපයීමට රජයේ අදාල ආයතන නම්‍යශීලී සුහද කාර්යභාරයක් කෙරෙහි අනුවර්තනයවීම කාලීන වැදගත් කමක් බව පැවසිය යුතු වේ.
තාක්ෂණික දැනුම මුසුකර ගත් ව්‍යාපාර
දැනටමත් අපගේ ජීවිත බොහෝ ආකාරවලින් වෙනස් කිරීමට තාක්ෂණික නිපැයුම් හා එහ අංශ සමත්ව තිබේ. එමෙන්ම වර්තමානය වනවිට කාන්තාවන් බොහෝ දෙනෙකු තාක්ෂණික අංශයේ සේවාවන් වෙත යොමුවීමේ ප්‍රවනතාවය ද ඉහළ යමින් පවතී. මොවුන් අතුරෙන් කිහිප දෙනෙකු හෝ පසුව ඔවුන්ගේ ම තාක්ෂණික දැණුම මුසුකරගත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවැසි අත්දැකීම් ඒ ඔස්සේ ගොඩනඟා ගනු ඇත. එසේ වුවත් අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ඩිජිටල් දැනුම අත්පත්කර ගැනීමේ ප්‍රවේශය සහ සම්බන්ධිත උපාංග සපයා ගැනීමට මූල්‍ය සම්පත් හිඟකම ආරක්ෂාව පිළිබඳ බිය බලපානු ලැබේ. තාක්‍ෂණ අංශ වෙත යොමුවන කාන්තාවන් වැඩි දෙනෙකු මුහුණ දෙන එවන් ගැටලු විසඳීම කෙරෙහි උපකාරක හා උපදේශන සේවාවන්හි වැදගත්කම ඉස්මතුවන්නේ මෙවැනි වාතාවරණයක් යටතේ ය. එමෙන්ම කාන්තා ව්‍යවසායකයින් ලෙස ප්‍රවිශ්ඨවීමට කැමැත්තක් හා හැකියාවක් ඇති කාන්තාවන් සඳහා බැංකු, ව්‍යාපාර හා මූල්‍ය සමාගම් ප්‍රාග්ධන අරමුදල් සම්පාදනය කිරීමේ නෛතික රෙගුලාසි වල මුහුණුවර පවතින ස්වරූපයෙන් ඔබ්බට විතැන්වීම උදෙසා කාලය පැමිණ තිබේ.
ඩිජිටල් සාක්ෂරතාව අත්කර ගැනීම
එසේම අනාගත ව්‍යාපාර කටයුතු බොහොමයක් ඩිජිටල් ක්‍රම සමඟින් බද්ධ වන ප්‍රවණතාව යටතේ කාන්තා ව්‍යවසායකයින් වේගයෙන් පරිගණක කුසලතා ද වර්ධනය කර ගත යුතුවේ. මක් නිසාදයත් තාක්ෂණික උපාංග ඇසුරු කරගෙන කාන්තාවන්ගේ නව නිර්මාණාත්මක නිෂ්පාදන වලින් බැහැරව අනාගතයේ ඩිජිටල් වෙළද ව්‍යාපාර කෙෂ්ත්‍රයක් ගැන කථාබහ කිරීමට නොහැකිවනු ඇත. එබැවින් නව ව්‍යවසායකත්ව බිහිවීම උදෙසා සැලකිය යුතු බලපෑමක් එමගින් ඇති කරන හෙයින් එයට ප්‍රවේශවීම සඳහා ඩිජිටල් තාක්ෂණයන් උපයෝගී කර ගන්නා E-Learning වේදිකාවන් ඔස්සේ පුළුළ් සේවා පහසුකම් උදාකරදිය හැකි වේ. මක්නිසාදයත් වර්ථමානය වනවිට මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මධ්‍යස්ථ තැනකට රැගෙන ඒමට මනා පිටුබලයක්ව පැවතීම කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව ආකල්ප ඉස්මතුකර ගැනීමට දායකවන බැවිනි.
එමෙන්ම දිනපතා ව්‍යාප්තවන ඩිජිටල් තාක්‍ෂණය සීමා මායිම් බිඳහෙළමින් පවතී. එමඟින් රැකියාව සහ පවුලේ වගකීම් ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කාන්තාවන්ට ඇති අභියෝග බැහැර කිරීමට අවස්ථාවන් නිර්මාණය කරයි. ඩිජිටල් තාක්‍ෂණයේ භාවිතය වැඩිවීමත් සමඟ කාන්තාවන්ගේ වැඩ හා සමාජීය අපේක්ෂාවන් සමතුලිතතාවයට ගෙනඒම කෙරෙහි ධනාත්මක බලපෑමක් ගොඩනඟනු ඇත. එමෙන්ම ඩිජිටල් තාක්‍ෂණය සමඟින් කාන්තා ව්‍යවසායකයින්හට ගෝලීය වටිනාකම් දාමයට ඇතුළුවීමට අවස්ථා පහසුවෙන් විවර කරගැනීමේ හැකියාවද පවතී. එසේම ඩිජිටල් අවකාශය ප්‍රයෝජනයට ගෙන වෙළඳපළ අවස්ථා ගවේෂණය කරමින් අලුත් දෙයක් නිර්මාණය කිරීම උදෙසා කාන්තා ව්‍යවසායකයින්හට තොරතුරු තාක්ෂණය භාවිතය වැදගත්බව පැවසිය හැකිය.
මූල්‍ය ක්ෂේත්‍රය තුළ කුඩම්මාගේ සැලකිලි
එසේ වුව ද තවමත් කාන්තාවකට ව්‍යවසායකත්වයක් බිහිකර ගැනීම උදෙසා වන අපේක්ෂාවන් පහසුවෙන් මුදුන්පමුණුවා ගැනීමට හැකිවන සේ ලාංකික මූල්‍ය ක්ෂ්ත්‍රය හා වෘත්තීය පුහුණු අංශ අනුවර්තනය වී නොමැති බව ප්‍රකාශ කළ හැකිය. කෙසේ නමුදු දේශීය වශයෙන් දැනටමත් පවත්වාගෙන යනු ලබන කාන්තාවන් සතු ව්‍යාපාර බොහොමයක් ප්‍රමාණයෙන් කුඩාබව පැහැදිලිවේ. එමෙන්ම කාන්තා ව්‍යවසායකයින්, ඔවුන්ගේ සමවයසේ පිරිමි ව්‍යවසායකයින් වඩා බොහෝවිට ප්‍රාග්ධන අරමුදල් පුළුල් කර ගැනීම උදෙසා මානව සම්පත් කළමනාකරණය කරගැනීම අරඹයා අභියෝග අත්විඳින බව නොරහසකි.
එමෙන්ම කාන්තාවන් තම වෘත්තීය ජීවිතය තුළ මෙයට අමතරව මුහුණ දෙන අභියෝගයන් ද නැතුවා නොවේ. එබැවින් කාන්තා ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් බිහිකිරීම සඳහා ආයෝජන සම්පත් සහ මගපෙන්වීම උදෙසා තාක්ෂණික පෙළඹවීම් පුළුළ්කල යුතුවේ. එය මැද පෙළ ව්‍යාපාරික ආර්ථිකය ප්‍රසාරණය කිරීමටද හේතුකාරක වනු ඇත. මෙරට ආර්ථිකයේ තවමත් නොදකින නමුත් සංවර්ධනයේ ප්‍රබල ගාමක බලවේගයක් වන කාන්තා ව්‍යවසායිකාවන්ගේ දායකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් එවන් ක්ෂුද්‍ර වසායකත්වයන්ගේ වැදගත්කම අවබෝධකරගත හැකිවේ. දේශීය ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ගේ සැබෑ දායකත්වයට සාර්ව මට්ටමින් ආමන්ත්‍රණය කිරීම මගින් ග්‍රාමීය හා අර්ධ නාගරික කාන්තා රැකියා වියුක්තිය පිටුදැකීමට යම් තරමකට හෝ හැකියාව උදාවනු ඇත.
නවොත්පාදන කුලසලතා හා අත්පත් කර ගැනීම
තාක්ෂණය නවෝත්පාදනයේ වැදගත් ධාවකයකි. විවිධ වර්ගයේ පරිශීලකයින් විවිධ අවධීන්හිදී නවෝත්පාදනයන් අනුගමනය බිහි කරයි. එහෙයින් නව තාක්‍ෂණය තම ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ කළ යුතුවේ. එය ස්වකීය ආයතන සඳහා වැඩිදියුණු වීමට හේතුකාරක වනු ඇත. නවෝත්පාදනයන්හි භූමිකාව තාක්‍ෂණ ක්‍රමවේදයන් භාවිතා කිරීමට දරන උත්සාහයන් මත රදා පවතී. මෙම තත්ත්වය ගෘහාශ්‍රිත ප්‍රවේශයෙන් ඔබ්බට නිෂ්ක්‍රීය පරිශීලකයාට අභියෝග කරන නිර්මාණාත්මක සහ ක්‍රියාකාරී ව්‍යවසායකයෙකුගේ භූමිකාවක් වනු ඇත. ඒ අනුව නව නිෂ්පාදනයක් බිහිකරන්නේ කෙසේද?, අනුගමනය කරන අලෙවි ක්‍රමවේදය කුමක්ද? සහ භාවිතා කරන්නේ කුමන මාධ්‍යක්ද යන්න කාලයත් සමඟ වෙනස් වන අවබෝධයක් කාන්තා ව්‍යවසායකයෙකු තුළ ගොඩනැගෙනු ඇත. මෙම ප්‍රවේශයන්ට අනුව තාක්‍ෂණය භාවිතා කිරීම ඔස්සේ සමාජ ක්‍රියාවලීන් අතික්‍රමණයකර ව්‍යවසායකයෙකු ලෙස කාන්තාවන්ට ඉදිරියට පැමිණිය හැකිවේ. ඒ අනුව කුඩා ව්‍යාපාර හිමි කාන්තා ව්‍යවසායකයින්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ නිපැයුම් පරිමාණාත්මකව වැඩිකර ගැනීමේදි තාක්ෂණය උදෙසා අනුගත විය යුතුබව පෙන්වා දිය හැකිවේ. ගෘහාශ්‍රිත ක්‍රියාවලියට නිතර බාධා කරන බොහෝ වැදගත් ක්‍රියාකාරකම් ඇති බැවින් සෑමවිටම සෑම දෙයක්ම සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගත නොහැකි බැවින් කාන්තාවන්හට එම තත්ත්වයන් ඉවසා විසඳුම් සොයා ගැනීමට සිදුවේ.
ඊළඟ පරම්පරාවේ කාන්තාවන් තාක්ෂණික ක්ෂේත්‍රයට පිවිසීමට සවිබල ගැන්වීම සඳහා තාක්ෂණික ආදර්ශ ප්‍රවර්ධනය කළ යුතුය. සංවර්ධන සංවිධාන, ව්‍යාපාරික සංස්ථා සහ මාධ්‍ය ආයතන විසින් සාර්ථක කාන්තා ව්‍යවසායකයින් සමාජ සංස්ථාව ඉදිරියේ ආදර්ශමත් චරිතාංග කළ යුතුවේ. මන්ද එවැනි ශක්තිමත් ක්‍රියාවලින් තොරව ඉදිරියට පැමිණෙන ඩිජිටල් ආර්ථිකයට අවතීර්ණවීමට නව ව්‍යවසායකත්ව සඳහා අභියෝග නිර්මාණය කරන බැවිනි. ඩිජිටල්කරණය නව කාන්තා ව්‍යවසායකයින්ගේ යහපැවැත්ම කෙරෙහි සෘජුවම බලපානු ඇත. එමගින් තහවුරු වන්නේ ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීමේදී ව්‍යවසායකයින්හට පැහැදිලි ප්‍රතිලාභ අත්පත් වන බවයි. වර්ථමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුහට ඩිජිටල් තාක්‍ෂණයන් කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති හෙයින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමට විශාල අවස්ථාවන් ඒ ඔස්සේ නිර්මාණය කරගතහැකිවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුහට ඒසඳහා පසුබිම් විවෘතය. තාක්‍ෂණය මාධ්‍යයක් ලෙස ක්‍රියාවෙන් අත් දැකීමට කාන්තා ව්‍යවසායකයින්හට අපහසු නොවනු ඇත. මන්ද කාන්තාවන් රැකියාවේදී අඛණ්ඩව දියුණුවීම අපේක්ෂා කරන හෙයිනි.
සුහුරු උපාංග භාවිතය
මේ අනුව ව්‍යවසායකත්වය අරබයා සුහුරු උපාංග භාවිතය ව්‍යාපාරික ජීවිත තුළ කාන්තාවන්ට රැකියාව සහ පවුල අතර සම්බන්ධතා සන්නිවේදනය කළමනාකරණය කිරීමට අවස්ථා සලසා දෙයි. එහෙත් කාන්තාවන්ගේ යහපැවැත්ම සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ දියුණු වීමට සහ ඉදිරියට යාමට ඇති අවස්ථා යන දෙකම වැඩිදියුණු කිරීමට හැකි වන පරිදි එකී මෙවලම් නිසි ලෙස ස්වයං කළමනාකරණ කුසලතා සමඟ ඒකාබද්ධ කරගත යුතුවේ. කෙසේ වෙතත් ඩිජිටල්කරණය කාන්තාවන්ට ව්‍යාපාරික ලෝකයේ සමානාත්මතාවය සහ කීර්තිය කරා ඉදිරියට යාමට අවස්ථා නිර්මාණය කරන බව පැවසිය හැකිවේ. එනමුදු කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන සියලු බාධක ජයගැනීමට වත්මන් කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ ආයතනයන්හි මැදිහත්වීම් ප්‍රමාණවත් නොවන බව පැවසිය යුතුවේ. ඉස්මතුවන සාක්ෂිවලින් පෙනී යන්නේ සාර්ථක මැදිහත්වීම් සාධනීය ආකාරයෙන් ක්‍රියාත්මකවීට නම් ඔවුන් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය සඳහා මූලික යෙදවුම් ප්‍රවේශයෙන් ඔබ්බට ගමන් කළ යුතු අතර කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි ඇති මනෝවිද්‍යාත්මක සහ සමාජීය බාධාවන් බැහැරලා කටයුතු කළ යුතුදවේ. ඒ අනුව ප්‍රාග්ධන සම්පාදනය මත පදනම් වූ විවිධ ව්‍යවසායකත්ව පුහුණු මත පදනම් වූ මැදිහත්වීම් ඔස්සේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ක්‍රියාකළ හැකිවේ.
මූල්‍ය ප්‍රාග්ධනය උදෙසා පුළුල් සහයෝගය
මෙහිදී කාන්තාවන්හට මුල්‍ය ප්‍රාග්ධනය උදෙසා සහනාධාර සහිත ක්ෂුද්‍ර ණය හා ව්‍යාපාර ආරම්භ කිරීම සහ වැඩිදියුණු කිරීමේ පුහුණුව ලබාදීම ඵලදායී වනු ඇත. ඒ සමගම කාන්තාවන් සතු ව්‍යවසාය ලාභ කෙරෙහි ඉතුරුම් වැඩසටහන් ප්‍රවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුවේ. එවැන්නක් කාන්තාවන් සඳහා ඉහළ බලපෑමක් ඇති කරනු ලබයි. එබැවින් කාන්තාවන්ගේ ව්‍යාපාරික කුසලතා සමඟ ව්‍යාපාර කළමනාකරණය ඒකාබද්ධ වූ විට වාර්තා තබා ගැනීම උදෙසාවන පුහුණුව සමඟින් කාන්තා සවිබල ගැන්වීමේ මැදිහත්වීම සාර්ථක වනු ඇත. අනෙක් අතට ව්‍යාපාරික පුහුණුව ස්වයං රැකියාවල නියුතු කාන්තාවන්ගේ සැබෑ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංගවිය හැකි මාර්ග පැහැදිලි කරනු ලැබේ. මෙම බලපෑම පුහුණු වැඩසටහනේ ස්වභාවය මත රඳාපවතින අතර එකී වැඩසටහන් ඔස්සේ නිෂ්පාදන ශිල්පීය ක්‍රම, ව්‍යාපාර සංවිධානය සහ පරිපාලන කුසලතා ලබා දීම පමණක් නොව ව්‍යාපාර සැලසුම් නිර්මාණය, ජාලකරණය, ගබඩා පිහිටුවීම සහ නව වෙළඳපල සංරචක වෙත ප්‍රවේශය පිළිබඳව ද කාන්තාවන් දැනුවත් කළහැකිවේ.
ක්ෂුද්‍ර ව්‍යවසායිකාවන් මුහුණ දෙන අභියෝග
සාපේක්ෂ වශයෙන් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් ලෙස කාන්තාවන් බොහෝ අවාසි සහගත බාධක වලින් පීඩා විඳිති. එමෙන්ම කාන්තා ව්‍යවසායකයින් මනෝවිද්‍යාත්මක හා සංස්කෘතික සාධක ඇතුළුව සහජයෙන්ම විවිධ බාධකවලට මුහුණ දෙයි. කාන්තා ව්‍යවසායකයින්ට බොහෝ විට මූල්‍ය සහ මානව ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශයක් නොමැති අතර එය ව්‍යාපාර ආරම්භයට ඉමහත් බාධාවකි. ඊට අමතරව කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාධීනත්වය, අභිලාෂය සහ ප්‍රමුඛතාවයන්ට මානසිකව හා ශාරීරිකව බාධා කරන සංස්කෘතිකමය වශයෙන් පනවන ලද සීමාවන් පවා තිබේ. නිදසුනක් වශයෙන් කාන්තාවන් තවමත් පිරිමින්ට වඩා අඩු තරඟකාරී අවස්ථා වල නිරත වීම පෙන්වා දිය හැක. මෙම මානසිකත්වය ලාභය හා ව්‍යාපාර කාර්ය සාධනය සමස්ත වැඩිදියුණු කිරීම වළක්වයි. දිගුකාලීන දැක්ම සහ ව්‍යාපාරයේ දිශානතිය, ආත්ම විශ්වාසය සහ සේවක කළමනාකරණය කිරීම වැනි ව්‍යවසායක චරිත වටා එම මැදිහත්වීම ඉදිරිපත් කළහැකිය. සැබවින්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම සීමාවන් අතික්‍රමණයකර ඒවාට ආමන්ත්‍රණය කළ යුතුය. මේ උදෙසා කාන්තාවන් යටහත් පහත් තත්ත්වයන් තුළ තබා ගන්නා සීමාවන් සහ අභිලාෂක බාධක ඉවත්කර දැමීමට ක්‍රියා කළ යුතුවේ. ස්ත්‍රීන් අරඹයාවන සංස්කෘතික විශ්වාසයන් හා බලයට අභියෝග කිරීමට හැකිවිය යුතුවේ. මේ අනුව කාන්තා ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ගේ පෞද්ගලික ලක්ෂණ සහ ව්‍යවසායක කුසලතා මත සහ ඔවුනට සහය දක්වන ආයතන සහ පාර්ශවකරුවන් මෙම බාධාවන් කෙරෙහි ආමන්ත්‍රණය කරන ආකාරය හෝ ක්‍රියා කරන ආකාරය මත බව පැවසිය හැකිවේ.
විශේෂයෙන් මනෝභාවයන් වෙනස් කිරීම සඳහා සකස් කරගතහැකි ව්‍යාපාරික පුහුණු වැඩසටහන්, කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකරවිය හැකිවේ. නිදසුනක් වශයෙන් නව කාන්තා ව්‍යවසායකයින් සඳහා මනෝවිද්‍යාව පදනම් කරගත් ආරම්භක පුහුණු වැඩසටහනක් යටතේ නව නිෂ්පාදන අවස්ථා හඳුනා ගැනීම සහ ඉලක්ක සැකසීම, සැලසුම් කිරීම සහ බාධක ජය ගැනීම ඇතුළත් කලහැකිය. මෙම පුහුණු වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායන් සඳහා ව්‍යාපාර කාර්ය සාධනය වැඩිදියුණු කිරීම් ඔස්සේ කාන්තාවන්ගේ කුසලතා කෙරෙහි බලපෑම් කළ හැකිවේ. මෙවැනි මානසික මැදිහත්වීම් ඔස්සේ ශ්‍රම වෙළඳපල අවස්ථා හා අභිලාෂයන් ඇති කිරීම හෝ වෙනස් කිරීම මගින් ග්‍රාමීය ගොවීකාන්තා ව්‍යවසායකයින්ගේ හැසිරීම් වෙනස් කිරීම සඳහා ඵලදායී සේවාවක් ඉටුකළ හැකිවේ.
ව්‍යාපාරික තීරණ ගැනීමට ඇති බිය
විශේෂයෙන් අඩු සේවකයින් පිරිසක් සිටින ව්‍යවසායයන් සඳහා බාහිර බලපෑම් හෝ ස්වයං පාලනයක් නොමැතිකම හේතුවෙන් වැදගත් ව්‍යාපාරික තීරණ සම්බන්ධයෙන් කාන්තාවන් අඩු ප්‍රතිචාරයක් දක්වන බව පැහැදිලිවේ. එමෙන්ම ව්‍යාපාරික සම්පත් ගෘහ වියදම් වෙත යොමු කරන බවක් පෙන්නුම් කරයි. වෙළඳපල වෙළෙන්දන් ලෙස කටයුතු කරන ස්වයං රැකියාවන්හි නියුක්ත කාන්තාවන් සඳහා ප්‍රාග්ධන ප්‍රදානය ඔවුන්ගේ කලත්‍රයාගේ බාහිර මූල්‍ය ආධාර අඩු කිරීමට හේතු වන හෙයින් කාන්තාවන් තම ව්‍යාපාර පුළුල් කිරීම නතර කර දැමීමට ද ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහන් යටතේ කාන්තා ව්‍යවසායකයින්ගේ ඉපැයීම් වැඩි කර ගැනීම උදෙසා ආත්ම විශ්වාසය සහ ස්වයංතක්සේරුකරණය උදෙසා මාර්ගෝපදේශ සැපයීමෙන් ඔවුන්තුල ධනාත්මක වෙනසක් අපේක්ෂා කල හැකිවේ.
සාපේක්ෂ වශයෙන් විවාහක කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් තමන්ගේ පුද්ගලික වියදම් පිළිබඳ තනි තීරණ ගන්නෝ වෙති. සාමාන්‍යයෙන් මූලික ව්‍යාපාරික කුසලතා හා ප්‍රතිපාදන සපයා ගැනීම නායකත්වය වැනි මෘදු කුසලතා සමඟ සම්බන්ධ වේ. එබැවින් කාන්තාවන්ට හිමි ව්‍යවසාය ලාභයට හෝ විකුණුම් වලට බලපෑමක් නොකළද කාන්තාවන් සඳහා අනපේක්ෂිත සවිබල ගැන්වීමේ ප්‍රතිඵල මෙමගින් උදාකරනු ඇත. මේ උදෙසා අවශ්‍ය ව්‍යවසායකත්ව ජීවන කුසලතා උගන්වන පුහුණු වැඩසටහන් ක්ෂුද්‍ර ව්‍යවසායන් කෙරෙහි යහපත් බලපෑමක් උදාකර දෙනු ඇත. නිදසුනක් වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන, ව්‍යාපාර සහ ගෘහස්ථ මූල්‍ය කටයුතු වලට අමතරව නිෂ්පාදන පිරිවැය සහ නිෂ්පාදන මිල ගණන් ගණනය කරන ආකාරය වැනි සාමාන්‍ය ව්‍යාපාරික කුසලතා ද ඉගැන්විය යුතුවේ. එමගින් කාන්තාවන්ට ව්‍යාපාරික නිපුණතා පුහුණුවක් ලබාදී ඔවුන් ශක්තිමත් කළ හැකිවේ.
ව්‍යාපාරික කුසලතා ලබාදීම
ව්‍යාපාරික කුසලතා පුහුණුව ලබා දීම කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ මූලික පියවරකි. නමුත් සැබවින්ම ඔවුන්ගේ පරිවර්තනීය වෙනසක් සාක්ෂාත් කර ගැනීම සඳහා පුහුණු වැඩසටහන් මගින් කාන්තාවන් මුහුණ දෙන ගැඹුරු මානසික සහ සමාජීය බාධාවන් උදෙසා ආමන්ත්‍රණය කළ යුතුය. නමුත් ප්‍රායෝගිකව, නිපුණතා කේන්ද්‍ර කරගත් නිවැරැදි මැදිහත්වීම් අවම වනු ඇත. විශේෂයෙන් ප්‍රාග්ධන කේන්ද්‍ර කරගත් වැඩසටහන් යටතේ කෙරෙන ප්‍රදාන , ක්ෂුද්‍ර ණය හා සසඳන විට අඩු පිරිවැයක් යටතේ සාර්ථක නිපුණතා මැදිහත්වීම් කළ හැකිවේ. එමෙන්ම ව්‍යවසායයන්ගේ ක්‍රියාකාරීත්වයට ඇති කුසලතා ලබා දීම වෙළඳපල කේන්ද්‍රීය පුහුණුව ලබා දීම ඔවුන්ගේ ශක්තිය උත්තේජනය කිරීමට ආමන්ත්‍රණය කිරීමක් වනු ඇත.
ඒ හා සමානව මූල්‍ය ප්‍රවේශය කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ මූලික පියවරක් වන අතර බහුවිධ බාධක වලට මුහුණ දෙන කාන්තාවන් සතු යැපුම් ව්‍යවසායන් වර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ජීවන කුසලතා පුහුණු වැඩසටහන් කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ වෘත්තීය හැකියාවන් ආයෝජනය කිරීමට සහාය වේ. ඒ උදෙසාවන ක්ෂුද්‍ර ණය අරමුදල් සැපයුම්වල සාර්ථකත්වයයේ ඵලදායීතාවය සහ ආකර්ශනීය බව වඩා හොඳ සංවාදයකට යොමු විය යුතුය. මූලික තාක්ෂණික පුහුණු වැඩසටහන් වඩාත් පුළුල් ලෙස භාවිතයකින් තොරව ව්‍යාපාර කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් ඔස්සේ කාන්තාවන් සතු ව්‍යවසායන්හි ව්‍යාපාරික වපසරිය වැඩිදියුණු කිරීමට ඉඩකඩ විවරවන නොවනබව පැවසිය හැක. සමහර මැදිහත්වීම් කාන්තා ව්‍යවසායකයින්ගේ ආර්ථික සහ ආත්මීය යහපැවැත්ම වැඩිදියුණු කර ඇතත් සාමාන්‍යයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ රැකියා වර්ධනය කිරීම දුෂ්කරය. දුප්පතුන් සඳහා ණය සහ ව්‍යාපාරික පුහුණුව සඳහා ප්‍රවේශය ලබා දෙන සාම්ප්‍රදායික ක්ෂුද්‍ර මැදිහත්වීම් කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ ප්‍රධාන වෙනස්කම් ගෙන ඒමේදී අකාර්යක්ෂම බව ඔප්පු වී තිබේ. කාන්තා සවිබල ගැන්වීම තිරසාර කිරීමේ වැඩසටහන් වල මැදිහත්වීමේ දීර්ඝායුෂ සහ සඵලතාවය අඛණ්ඩ ප්‍රතිපත්තිමය කැපවීම මත රඳා පවතින්නකි.
කෘෂි ව්‍යවසායකත්වයේ වැදගත්කම
මෙරට ග්‍රාමීය හා අර්ධ නාගරික පෙදෙස්හි නව ව්‍යාපාරය ගොඩනැගීම සඳහා කෘෂිකර්මාන්තය මනා පිටුබලයකි. කෙසේ වුවද කෘෂි ව්‍යවසායකත්වය යන යෙදුම අපට මතක් කර දෙන්නේ කුඩාම පරිමාණයේ ගොවීන් පවා ව්‍යාපාරිකයන් බවයි. කෘෂිකාර්මික ව්‍යවසායකත්වය නිර්වචනය කරන්නේ කෘෂිකර්මාන්තයේ අවදානම් සහ අවිනිශ්චිත තත්ත්වයන් යටතේ වර්ධනය හෝ ලාභය අරමුණු කරගනිමින් නව්‍ය ආර්ථික සංවිධානයක් නිර්මාණය කරන්නෙකු බවයි. එහෙයින් කෘෂි ව්‍යවසායිකාවක හා ප්‍රවර්ධකවරියක් ලෙස කාන්තාවන්ගේ ශක්තිය සොයා ගැනීමට අපහසු නොවේ. කෘෂිකාර්මික සංරචකවල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ ඇගේ සමාජ-ආර්ථික තත්ත්වය නැවත සකස් කිරීමට ඇයව පොළඹවන සාධකය සහිත තමන්ගේම ව්‍යවසායයක් කාන්තාවන් වඩාත් දිරිමත් කළ හැකිවේ.
එමෙන්ම කෘෂිකර්මාන්තයේ , ධීවර කර්මාන්තයේ හා වැවිළි කර්මාන්තයේ නිෂ්පාදන ආශ්‍රිත නව ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරන බැවින් දිවයින පුරා සිටින කාන්තා ව්‍යවසායකයින් වෙතින් දේශීය ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු බලපෑමක් ඒ ඔස්සේ උදාකල හැකිවේ. මේ නිසා ආර්ථික සංවර්ධනයට දායක වන කාන්තා ව්‍යවසායකයින් සංඛ්‍යාව වැඩිවීම මානව සම්පත්වල උපයෝගීතාවයේ වර්ධනයට ධනාත්මක දායකත්වයක් ලබාදීමට උපකාරීවන බව පැවසිය හැකිවේ. ශ්‍රමබලය නිසි ලෙස භාවිතාවීම එමගින් සහතික කළ හැකිවේ. දැනුදු කාන්තා ශ්‍රම බලකායෙන් සුළු ප්‍රතිශතයක් ඔවුන්ගේම ස්වාධීන ව්‍යාපාර පිහිටුවාගෙන මෙම බාධකය ජය ගැනීමට සහායවන ආකාරය දැකගත හැකිය.
ලෝකය අල්ලන කාන්තා ව්‍යවසායිකාවන්
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ව්‍යවසායකයින් ලෙස කාන්තාවන් සැලකිය හැකිය. කාන්තා ව්‍යවසායකත්වය ලෝක සංවර්ධනය සඳහා වැදගත් දර්ශකයක් බව දැන් පිළිගෙන ඇත. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා, ධනය, දරිද්‍රතාවය අඩු කිරීම, මානව සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජාතික සංවර්ධනය සඳහා කාන්තා ව්‍යවසායකයින් සැලකිය යුතු කාර්යභාරයක් එම අංශය ඉටු කරයි. කාන්තා ව්‍යවසායකයින්ගේ බොහෝ සාර්ථක කථා ජනමාධ්‍ය තුළ ඉදහිට සාකච්ඡා කර ඇති අතර ඔවුන්ගේ මාර්ගයට ඇති ප්‍රධාන බාධාවන් පවා නිදර්ශනය කර ඇත. කාන්තා ව්‍යවසායකයින් නොමැතිව ආර්ථිකයට පූර්ණ සහ තිරසාර සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි බව ඒවා ඔස්සේද යම් තරමකට හුවා දක්වා තිබේ. කෙටියෙන් කිවහොත් කාන්තා ව්‍යවසායකයින්ගේ අභිමතාර්ථයන් එකිනෙකට වෙනස් වුවද ඔවුන්ගේ දායකත්වය ආර්ථික හා සමාජ සංවර්ධනය ඔස්සේ මෙරට අනාගතයේ තිරසාර දියුණුව සඳහා වැදගත් මෙවලමක් ලෙස ගැනිය හැකිය. මෙම දායකත්වය අධ්‍යාපනය, කෘෂිකර්මය, හමුදා හා පොලිස් වැනි අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල දැකිය හැක. ඇත්ත වශයෙන්ම, සාර්ථක කාන්තා ව්‍යවසායකයින් මෙරට අනාගත කාන්තා ව්‍යවසායකයින් සඳහා ආදර්ශවත් භූමිකාවක් පෙන්නුම් කරයි.
ගෝලීයකරණයේ සහාය ලැබෙයි
ගෝලීයකරණය කාන්තා ව්‍යවසායකයින් සඳහා ආර්ථික සංවර්ධනය සමඟ වැදගත් සම්බන්ධතාවයක් පවතින බව නොරහසකි. එබැවින් තාක්ෂණික හා මූල්‍ය සැපයුම් යෝජනා ක්‍රමවලට අමතරව කාන්තාවන්හට සාර්ථකවීමට සංස්කෘතික හා සදාචාරාත්මක බාධක ද ජය ගත යුතුය. ස්ත්‍රී පුරුෂ අසමානතාවය ආර්ථික සංවර්ධනය සමඟ සැලකිය යුතු නමුත් ප්‍රතිලෝම සම්බන්ධයක් එහි ඇති බව පිළිබිඹු කෙරේ. එහෙයින් ගැහැණු පිරිමි භේදය වැඩි වන තරමට ආර්ථිකයේ දියුණුව අඩුවන බව පැවසිය හැකිවේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ භූමිකාවන් පිළිබඳ සමාජයේ සාමූහික අවබෝධය සහ සමානාත්මතාවය පිළිබඳ පැහැදිලි නෛතික ප්‍රතිපත්ති වැඩිදියුණුකර බලාත්මක කිරීමෙන් එකී අසමතුලිතතාවයේ විෂමතාව අඩු කළ හැකිවේ.
විවිධ මට්ටමේ සංවර්ධන හා යටිතල පහසුකම් මත ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට කාන්තා ව්‍යවසායකත්වයේ බලපෑම හා දායකත්වය රටේ සමස්ථ සංවර්ධන මට්ටම කෙරෙහි ප්‍රමාණාත්මක කාර්ය භාරයක් උදාකරනු ඇත. දිවයිනේ සෑම පෙදෙසකම සංවර්ධන මට්ටම, ආර්ථික යටිතල පහසුකම් සහ සමාජ හා සංස්කෘතික සම්මතයන් මත එකිනෙකට වෙනස් වේ. එහෙයින් කාන්තා ව්‍යවසායිකාවන්ගේ භූමිකාව හඳුනාගෙන ආර්ථික සංවර්ධනයේදී කාන්තාවන් අත්‍යවශ්‍ය කොටස පමණක් නොව සමාජ යහපැවැත්ම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන බලවේගයක් ලෙස අප හදුනාගත යුතුවේ.
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.