කිළිනොච්චියේ වැසියකු වැසිකිළි වළක් කැපීමට ගිය අවස්‌ථාවේදී පොලිතින් උරයක බහා වළලා තිබූ මෙම පාස් පොත් තොගය හමුවී ඇත.කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ ඊළාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී විවිධ ගිණුම් වර්ග හඳුන්වාදී තිබූ අතර බාලවයස්‌කාර ගිණුම් සඳහා විශාල පොලියක් ලැබුණු අතර උතුරේ රජයේ සේවකයන් මෙන්ම සෙසු පිරිස්‌ද එකල බාලයස්‌කාර ගිණුම් විශාල සංඛ්‍යාවක් පවත්වා ගෙන ගියහ. මීට අමතරව ස්‌ථිර ගිණුම් ධන යෝජන ගිණුම්, ආදි වශයෙන් ගිණුම්ද කාන්තාවන් හා පාසල් ළමයින් වෙනුවෙන් තවත් විශේෂ ගිණුම්ද එම බැංකුවල පවත්වා ගෙන යන ලදී. උතුරේ වැසියන් එම ගිණුම්වල ආයෝජනය කරන ලද මුදල් සියල්ලම අපතේ යන ලදී. යුද්ධය හමාර වීමත් සමඟම ඊළාම් බැංකු අහෝසි වූ අතර එම ගිණුම්ද පළක් නොමැති ගිණුම් බවට පත්වුණි.
Tag: breaking post
-

ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි
ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවට අභියෝග කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ 30 දෙනකුගේ කණ්‌ඩායමක් අද (14 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑමට නියමිතව ඇත.
මෙහිදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශකයන් හයදෙනකු මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිත අතර එහිදී ජිනීවා යෝජනාව නීතිවිරෝධී බවත් එම යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පවත්වා නැති බවටත් පෙන්නුම් කෙරේ.ඊට අමතරව ලබන 18 වැනිදා (ඉරිදා) ජිනීවා යෝජනාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක් ද පවත්වන අතර කොටින්ගේ බිහිසුණු අපරාධ පිළිබිඹු කෙරෙන ප්‍රදර්ශනයක් ද මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග වල සඳහන් වේ. -

රමිත් රඹුක්වැල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක්… රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කල අතර ඔහුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද පියවර ගන්නා ලෙසට නියෝග කෙරිණි.
බීමත්ව රිය පැදවීම, අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් සිදු කිරීම, එම රිය අනතුර පිළිබඳව පොලිසියට කරුණු වාර්තා නොකිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ නාරාහේන්පිට පොලිසිය විසින් රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම චෝදනා හතරටම නිවැරදිකරු බව රමිත් රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔහු රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා නඩු විභාගය ලබන ජුනි 19 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ අතර පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
ඉකුත් 09 වැනිදා නාවල නාරාහේන්පිට ලේක් ඩ්‍රයිව් පාරේදී යතුරු පැදියක් අනතුරකට ලක්‌කර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නාරාහේන්පිට පොලිසිය රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා පහක් යටතේ 2016 සැප්තැම්බර් 28 වැනි දිනද රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පොලිසිය නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය 2016.ඔක්‌තෝබර් 11 වැනිදා ඔහුට රුපියල් 29,000 දඩයක් ගෙවීමට නියම කොට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද නියෝග කොට තිබිණි.
-

අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ
තමන්ට ලැබෙන මුදල්වලින් ජාති භේදයකින් තොරව සංවර්ධන කටයුතු සිදුකරන බවත් තමා තම බල ප්‍රදේශයේ ගල්, වැලි, ජාවාරම්වල නිරතවී හෝ හොරෙන් ගස් කපලා නැති බවත් තමා කරන සංවර්ධන වැඩ පිළිබඳව පක්‍ෂ නායකත්වය නොදැකීම පිළිබඳව ඇත්තේ කනගාටුවක් බවත් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා නැගෙනහිර මනම්පිටිය සමගි අවමංගල්‍යාධාර සමිති ඇතුළු ස්‌වෙච්ඡා සංවිධානවලට ප්ලාස්‌ටික් පුටු සහ ගොවි සංවිධාන ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත්කිරීම සඳහා පැවැති උත්සවයකදී පවසන ලදී
එහිදී,
“මේ රටේ සියලු දෙනා ජීවත්වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව මතයි. සිංහල ගම්මානවලට සහ වැලිකන්දේ මුස්‌ලිම් ගම්මානවලට හා මනම්පිටියේ දෙමළ ගම්මානවලට උදව් කරන්නේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙනුයි.මෙම ප්‍රදේශවල අහිංසක දුප්පත් ජනතාවට විශාල ගැටලු තිබෙනවා. ඒවා පිළිබඳව පක්‌ෂ නායකයන් දැනුවත් කළද ඔවුන් ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
-

කුණුකොල්ලයට ගෙනා පිටරට බාල සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට විකුණලා
මෙරටට ආනයනය කරන සහල් අඩු මුදලට පිටකොටුවෙන් ටොන් ගණනින් ලබාගෙන දේශීය සහල් බව අඟවා පාරිභෝගිකයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක සුළමුල හෙළි කර ගැනීමට හැකි වූ බවත් මෙසේ කාලයක් තිස්‌සේ දේශීය සහල් මෝල් හිමියන් විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් පසුගිය කාලයේ සහල් මිල ඉහළ යැමට එය බලපා ඇති බවත් පසුගියදා රැස් වූ ආර්ථික කමිටු රැස්‌වීමේදී එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසා ඇත.
රජය ලබාදුන් අවසරය මත පිටකොටුවේ තොග වෙළෙඳුන් සහල් ආනයනය කරන අතර දේශීය සහල් මෝල් හිමියන් කන්ටේනර් වශයෙන් ඉතා අඩු මිලට එම සහල් ලබා ගෙන දේශීය සහල් ලෙස සකසා වැඩි මිලට රට පුරාම විකුණා ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.ඉතා ඉක්‌මනින් එම සහල් මෝල් හිමියන් පිළිබඳව සොයා බලා පාරිභෝගික අධිකාරිය හරහා ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-

පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි
පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.
පළාත් පාලන ආයතන 340 කට අයත් සභිකයන් 8600 දෙනකුගේ පමණ නම් ගැසට් නිවේදනයට ඇතුළත් වන අතර එමනිසා මුද්‍රණය, සෝදුපත් බැලීම ආදී කටයුතුවලට දින කිහිපයක් ගතවනු ඇති බවත් මේ වන විට නම්වල නිවැරැදිතාව පරීක්‍ෂා කිරීමට මැතිවරණ කොමිසමට එම ලේඛන යොමුකර ඇති බවත් ඒවා අඩුපාඩු සකස් කිරීමෙන් පසුව අවසන් කර මුද්‍රණයට යොමු කරන බවත් එම ආරංචි වල වැඩිදුරටත් සඳහන් වේ.
-

මන්ත්‍රීන් දෙදෙනෙකු ජාතිවාදී ගැටුම වලට වගකිවයුතු යයි රාජිතගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට කැබිනට් ප්‍රකාශක, රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශය නිසා ඊයේ (8) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.
අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා – ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. එදා කිව්වා කුලියාපිටියේ කඩවලට ගිනි තියලා කියලා. ඒකට මන්ත්‍රීවරයෙක් සම්බන්ධයි කියලා. ඒත් පොලිසියට ඉහළින් ආපු බලපෑමක් නිසා ඔහුව නිදහස් කරලා කියලා. මේක සම්පූර්ණයෙන් අසත්‍යයි. කඩ ගිනි තියලා නැහැ.
සිද්ධි දෙකක් වී තිබෙනවා කොත්තු දමන කඩයක වීදුරුවකට පහරදීමක් වෙලා තිබෙනවා. ඒකට කිසිම මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන නැහැ. මේවා අසත්‍යයි. මේ අය ජාතිවාදය අවුස්‌සනවා. පොඩි ඡන්දයක් දිනලා මෙහෙම නම් ලොකු ඡන්දයක් දිනුවොත් කොහොමට සිටීද?
බන්දුල ගුණවර්ධන මහතා – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ගැන කියලා ප්‍රවෘත්ති දාලා. ජාතිවාදය අවුස්‌සන්නේ ආණ්‌ඩුව. මෙවැනි අවස්‌ථාවකට පත්වෙන්න එපා. රටක් ගිනි ගන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිරේ දාන එකද කරන්නේ?
නලින් බණ්‌ඩාර මහතා – මහනුවර තිබෙන ජාතිවාදී අරගල වයඹට, කුරුණෑගලට ගේන්න උත්සහ ගෙන තිබෙනවා. මේවා මේ වීරවංශලා, ගම්මන්පිලලා වපුරපු ජාතිවාදී බීජ තමයි.
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා – කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කරන ගමන් මේ ප්‍රකාශය කර තිබෙනවා. රූපවාහිනියෙන් මමත් එය දැක්‌කා. මේ ගැටුම් සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනකු හවුල් වෙලා නම් ඔහු මේ නම් නොකියා කියන්නේ දේශපාලන හස්‌තයක් තිබෙන බවයි. මහනුවර සිද්ධිය පිළිබඳ අදිසි හස්‌තය හෙළිවෙයි කියලයි පුවත්පත් වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා මේවා ව්‍යංගයෙන් නොකියා පාර්ලිමේන්තුවට විස්‌තර ඇතුව කියන්න.
දිනේෂ් ගුණවර්ධන මහතා – 1983 කළු ජූලිය වෙලාවේ එජාපයේ අගමැති සහ ඇමැති මණ්‌ඩලය මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ පිටුපස දේශපාලන හස්‌තයක් තිබෙනවා කියලා. ඒ නිසා වහාම ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්‌ට් පක්‍ෂය, නව සම සමාජ පක්‍ෂය, තහනම් කරනවා කියලා. ඒ පක්‍ෂවල නායකයන් මීගමුවේ බන්ධනාගාරයට ගෙනිච්චා. නමුත් මාස ගණනක් යැමට කලින් හෙළිවුණා. කළු ජූලිය ක්‍රියාත්මක කළේ එජාපයේ නායකයන් බවට.
ප්‍රශ්නයක් වෙන තැනකට යැමට මහජන නියෝජිතයන්ට අයිතියක් තිබෙනවා. ඒ නිසා වගකිවයුතු අය වෙනුවට වෙන අයගේ කරපිටට දාන්න එපා. අපි අපේ මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කර ගත යුතුයි. මේ බොරු චෝදනාවලින් අපේ මන්ත්‍රීවරු ආරක්‍ෂා කරන ලෙස කථානායක තුමාගෙන් ඉල්ලා සිටිනවා.
රෝහිත අබේගුණවර්ධන මහතා – රජයේ වගකීම වෙන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර මේ ගැටුම නිසා ඇතිවී තිබෙන දේවල්වලට විසඳුම් දීමයි. මේ පුවත්පතින් දෙන පණිවුඩය කුමක්‌ද? අලුත්ගම දර්ගා නගරයේදී මීට පෙර ඇතිවූ තත්ත්වය සමථයට පත් කරන්න අපිට පල්ලියට, පන්සලට යන්න වුණා. මේ ජාතිවාදී ගිනිදැල් නිවා දමන්න. එහෙම යන්න තිබෙන අයිතියත් නැති කරන්නද මේ හදන්නේ? මේ ගිනිගන්නේ මුළු මහත් ජාතියමයි. රාජිත සේනාරත්න කියන මේ කැබිනට් ප්‍රකාශකයා ටික කාලයකට හෝ ඉවත් කරන්න කියා මා ඉල්ලනවා.
අනුර දිසානායක මහතා – කැබිනට් ප්‍රකාශක තුමා කියපු මේ මන්ත්‍රීවරු කවුද කියලා රජය හෙළි කළ යුතුයි.
කථානායක – මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු කෙරෙනවා. ඒ වාර්තාවලින් පසුව කරුණු හෙළි කරනවා.
අනුර දිසානායක මහතා – ඒක තමයි පරීක්‍ෂණවලින් පසුවයි මෙවැනි දේවල් කිව යුත්තේ.
බන්දුල ගුණවර්ධන මහතා – අපි කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනකු ගැන ප්‍රශ්නයක් මතුවී තිබෙන නිසා කථානායකතුමාට වගකීමක් තිබෙනවා මේ ජාතිවාදී ගිනිදැල්වලට හවුල් වී තිබෙන මන්ත්‍රීවරු දෙදෙනා කවුද කියලා හෙළි කරන්න. -

මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රෙජිමෙන්තුවට පහසුකම් සපයල තියෙන්නෙ කිරිඇල්ලගෙ ලේකම්
අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත.
රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බවට අප පසුගියදා කල අනාවරණය මේ වනවිට තහවුරු කිරිමට lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු සමත්ව තිබේ.
ඒ අනුව ගෝඨාගේ ජාතීවාදී කදවුරේ ගෝඨාගේ සමිපතම දෙදෙනෙකු වන රක්නා ලංකා හී අධ්‍යක්ෂක ධුරයක් ඉසිලු මේජර් චින්තක පෙරේරා සහ තෙල් සංස්ථාවේ සේවය කල විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා මේ පිටුපස සිටින බව අප අනාවරණය කල අතර මේ වනවිට මේජර් චින්තකට සහ මේජර් ජනරාල් සොයිසාට නුවර සිට මෙම මෙහෙයුම දියත් කිරිම සදහා අවශ්‍ය පහසුකම් සපයන්නා අනාවරණය වි ඇත.
ජෙනරාල් සොයිසාගේ සහ මේජර් චින්තකගේ කණ්ඩායම් වලට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල ගේ සම්බන්ධීකරණ ලේකම් බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු ට තොරතුරු ලැබි ඇති අතර එම තොරතුරු මේ වනවිට තහවුරු කර ගැනිමට හැකියාව ලැබි ඇති බවද ඔහු සදහන් කළා.
ලක්ෂ්මන් කිරිඇල්ල ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සතුව නුවර හෝටලයක් තිබේන අතර ජෙනරාල් සොයිසා සහ මේජර් චින්තක පසුගිය 2 වැනිදා එම හෝටලයේ නතර වි ඇති අතර 5 රාත්‍රීයෙ ඔහුන් දෙදෙනා නැවත් පිටත්ව ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත.
තෙල්දෙණිය ගිණි තැබිමට කලහකාරී ලෙස හැසිරුණු පිරිස් මේ වනවිට හදුනා ගැනිමට රජයේ බුද්ධි අංශ සමත් වි තිබුනද ගෝඨාගේ කල්ලිය සමග සම්බන්ධ නිසාවෙන් මේ කිසිදු අයෙකු අත් අඩංගුවට ගත නොහැකිව තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප සතුව පවතින අතර ඒ සියල්ලම ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානම් බවද සටහන් කර තබමු.
– lankaleaks.net
-

කලහකාරීව හැසිරුණු 110 ක් අත්අඩංගුවේ
පසුගිය දින 4ක දක්වා කාලය තුළදී කලහකාරීව හැසිරුණ, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සමාජ ජාල ප්‍රකාශ සිදුකළ හා ඇඳිරි නීතිය කඩකළ සැකකරුවන් 110 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත් පිරිස් අතර තෙල්දෙණිය හා අවට ප්‍රදේශවල කලහකාරී සිද්ධි ඇති කිරීමට කටයුතු කළ පුද්ගලයන් 10 දෙනෙකුද සිටින බවත් තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
-

සයිටම් වෛද්‍ය සිසුන්ගේ වියදම් රජයෙන් ලබාදීමට පියවර
සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට නියමිත අතර ඔවුන්ගේ වියදම් රජයෙන් ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධන හා පුනාවර්ථන වියදම් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුනාවර්තන වියදම් මෙසේ ලබාදීමට නියමිත වන අතර සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් යෙදීම පිණිස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව අනුව රජය මෙම තීරණය ගෙන තිබේ.
-

මහබැංකු හොරා ලෙස ඡෝදනා ලැබූ අර්ජුන් මහේන්දුන්ට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය අදින් (08) අවසන් වේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට බාර දීමට මෙතෙක් නොහැකි වූ අතර ඔහු සිංගප්පූරුවේ රැදී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාවක් මඟින් සහ සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ සිතාසි යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවස වසා දමා ඇති බවට පසුව වාර්තා වූ අතර අදාල සේවාවේ නියෝජිතයා පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ සිතාසිය භාර දීමට ගිය අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයාට දුරකථන ඇමතුමක්ද ලබාදී ඇති අතර
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා පෙබරවාරි මාසය තුල යළි සිංගප්පූරුවට පැමිණෙන බවයි.කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිතාසිය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කරමින් පෞද්ගලික ජංගම දුරකථනයට සහ විද්‍යුත් තැපෑලටද පණිවුඩ යොමුකර තිබේ.
-

වේදිකා නාට්‍ය අතරතුර ටවර් රඟහලේ වහලය කඩාවැටේ… කුමාර තිරිමාදුර අනු නමයෙන් බේරෙයි
ජනප්‍රිය වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා ඉකුත් ඉරිදා සවස මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරුණු “අං ආවෝ” නාට්‍යයේ දර්ශනය රඟදැක්වූ අවස්ථාවේ එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ මොහොතේ නාට්‍යයේ දරුශණයක් වෙනුවෙන් ඔහු බිම වැතිර සිටියදී මෙසේ වහලයේ කොටසක් කඩා වැටී ඇත. ඔහු බේරී ඇත්තේ අනූනවයෙන් බවද වාර්තා වේ.
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජනසතු කරණ ලද මේ රඟහල කලකින් ප්‍රතිසංස්කරණය කර නැති බවද පැවසේ..
-

දිවයින පුරා තරුණ තරුණියන් 60000 කට අධික පිරිසක් සහභාගී වුණ Youth with Talent අවසාන මහා තරඟය නැරඹීමට එරංද වැලිඅංගේගෙන් සැමට ආරාධනා
60000 කට අදික තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගී වූ දිශානති දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වූ යූත් විත් ටැලන්ට් තරඟාවලියේ අවසාන මහා තරඟය මාර්තු මස 10 වන සෙනසුරාද දින රාත්‍රී 7. 00 ට ආරම්භ වන බවත් එම තරඟය නැරඹීමට සියළු දෙනාටම තමා ආරාධනා කරන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතා පවසයි.
https://www.facebook.com/supirigossip1/videos/1612495618786038/
-

ලංකාවේ වත්මන් තත්වය ගැන ඇමරිකාවේ මතය ප්‍රකාශ කරයි
ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර රටේ සුළු ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින්, දැනට ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.“නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාව සාමයට මෙන්ම සහජීවනයට අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, රජය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. මානව හිමිකම් මෙන්ම, සියලු පාර්ශ්වවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ ආගමික ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුව ඇත.” යැයි එම නිවේදනයේ තව දුරටත් සඳහන්ව ඇත. -

වත්කම් හෙළිනොකරපු හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට දඩ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා තිබූ නඩු පහටම ඔහු වරද පිළිගත් අතර, එක් නඩුවකට රුපියල් 1,000 බැගින් නඩු පහට රුපියල් 5,000ක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියම කළාය.
වත්කම් හෙළිකළයුතු රාජ්‍ය නිලධාරියෙකු වන යුද හමුදා මේජර්වරයෙකු ලෙස කටයුතු කරමින් 2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් සිය වත්කම් හෙළි නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පහක් පවරා තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත්කරමින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවලට ඔහු වරද පිළිගන්නේ යැයි පැවසූහ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එක් චෝදනාවකට රුපියල් 1,000 බැගින් චෝදනා පහට රුපියල් 5,000ක දඩ නියම කළාය.
-

සුරක්ෂා රක්‍ෂණාවරණය යටතේ මේ වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන්
අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ ඊයේ (06දා)දිනය වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන් බවට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ගෙවීගිය මාස 05ක කාලය ඇතුළත රක්‍ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6,600 ක් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බවත් පාසල් සිසුන් ලක්‍ෂ 10කට මේ වනවිට සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයට අදාළ රක්‍ෂණ කාඩ්පත ලබාදී තිබෙන අතර, මාර්තු මාසය අවසන්වනවිට සිසුන් ලක්‍ෂ 20ක් දක්වා මෙම කාඩ්පත ලබාදීමට අපේක්‍ෂිත බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්‍ෂා සිසු රක්‍ෂණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පාසල් 11,242ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්‍ෂ 45කට ආසන්න පිරිසකට සෞඛ්‍ය රක්‍ෂණාවරණය හිමිවෙයි.
මේ යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000ක් දක්වාද, රෝහල්ගත වීමකදී රුපියල් 100,000ක් දක්වාද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී රුපියල් 100,000ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විටදී රුපියල් 75,000ක වන්දි මුදලක්ද ලබා දෙයි.
එමෙන්ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 100,000ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50,000 සිට රුපියල් 100,000ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වේ.
දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් පවතී.
