ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක හිමිපාණන්ගේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක් බව ජනපති පවසයි

Spread the love

මුළු මහත් බෞද්ධ සමාජයටම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම මෙරට භික්ෂු සමාජයට පමණක් නොව සමස්ත ලෝක බෞද්ධ සමාජයටම සිදුවූ දැරිය නොහැකි පාඩුවක් බවත්, උන්වහන්සේගේ අපවත්වීමෙන් සිදුවූ හිදැස පිරවීමට නොහැකි බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණු අතර එම ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

ගත වූ සියවසේ ශී‍්‍ර ලංකාවේ බිහි වූ අග‍්‍රගණ්‍ය සංස්කෘත භාෂා විශාරදයෙකු මෙන්ම පරමාදර්ශී සංඝ පීතෘවරයෙකු වන අප නාහිමිපාණෝ මුළු මහත් මානව සමාජය වෙත කරුණාව, මෛතී‍්‍රය, දයාව දැක්වූ ධර්මධර, විනයධර මහා යතිවරයාණන් වහන්සේ නමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

උන්වහන්සේගේ සිල්වත්භාවය, ඥානාන්විත භාවය, ගුණවත් භාවය මෙන්ම ධර්ම ශාස්ත‍්‍රීය ඥානයත්, පාණ්ඩිත්‍යයත් හේතුවෙන් ෂඩ්භාෂා පරමේෂ්වර, දෛවිභාෂා විශාරද, ශාසන කීර්ති වැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් උන්වහන්සේ පිදුම් ලැබූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෑත කාලය තුළ උන්වහන්සේ සමීපව ඇසුරු කිරීමට තමාට අවස්ථාව ලැබුණු බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා සියවසක් ඉක්මවමින්, අපවත්වන තුරුම මනා සිහිනුවණින් යුතුව සම්බුද්ධ ශාසනයත්, මුළු මහත් මානව සමාජයත් වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ කැපවීම අපරිමිත බව ද කියා සිටියේය.

ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප‍්‍රධාන අමාත්‍යවරුන් ද, විදේශීය තානාපතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතා ජනාධිපතිතුමා පැවැත්වූ කතාව (2017-04-06)

අපේ රටේ මෑත භාගයේ ශී‍්‍ර සම්බුද්ධ ශාසනයට, සමස්ත මානව සමාජයට අපිරිමිත වූ උතුම් ශාසනික මෙන්ම සමාජයීය සේවාවක් ඉටුකළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශී‍්‍ර ලංකාවාසී ජනතාවත්, ශී‍්‍ර ලංකා ජන රජයත්, ඒ වගේම විදේශ රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙන්ම ලෝක බෞද්ධ ජනතාවත්, උන්වහන්සේ පිළිබඳ පැහැදීමක් හැඳිනීමක් ඇති සමස්ත ජනතාවගේ දැඩි සංවේගය සහ ශෝකය පළ කෙරෙන අවස්ථාවක් මේ අවස්ථාව.

අපේ රටේ මහා සංඝ පීතෘවරුන් පිළිබඳ ඉතිහාසයේ තිබෙන මතක සටහන් සමග මේ වසර දහස් ගණනක කීර්තිමත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය ගොඩනැගු, රාජ්‍ය රාජ මහාමාත්‍යවරුන්ගේ මෙන්ම එදවස, මෙදවස සෑම ක්ෂේත‍්‍රයකම නායකයින්ට, විද්වතුන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට සෑම විටම උපදෙස් දුන්නේ අනුශාසනා ලබා දුන්නේ මග පෙන්වූයේ ගෞරවනීය මහා සංඝරත්නයයි.

මෑත භාගයේ අපේ වන්දනීය, පූජනීය මහා සංඝරත්නයට මහා ශක්තියක් වෙමින්, ධෛර්යයක් වෙමින් මුළු මහත් ලෝක ජනතාවට මහා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ චරිතය පිළිබඳව අපට බොහෝ දේ කථා කරන්න පුළුවන්කම තිබෙනවා.

උන්වහන්සේගේ සිල්වත් භාවය, ඥානාන්විත භාවය, ගුණවත් භාවය, උන්වහන්සේගේ ධර්ම ශාස්ත‍්‍රීය ඥානය, උන්වහන්සේගේ මහා කරුණාව, උන්වහන්සේගේ පාණ්ඩිත්වය, පරිණතභාවය තුළින් උන්වහන්සේ ෂඞ් භාෂා පරමේශ්වර, භාෂා විශාරද, සාහිත්‍ය කීර්ති මෙවැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් පුුද ලැබුවා.

උන්වහන්සේගේ චරිතය තුළ තිබූ මහා ආදර්ශය අපේ බෞද්ධ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයාටම මහා ආදර්ශයක්.

මෑත දශක කිහිපය තුළ මා ඉතාමත් ළඟින් ඇසුරු කළ උන්වහන්සේ තුළ තිබූ ශාසනික, සමාජයීය කැපවීම සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් තිබූ කැපවීම අද මේ සිටින පූජනීය, වන්දනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අපි සෑම කෙනෙක්ම දැන හඳුනාගෙන තිබෙනවා.

උන්වහන්සේ තුළ තිබූ මහා ධර්ම ඥානය, පාණ්ඩිත්‍ය ඒ වගේම වසර සීයක් ඉක්මවුව ද සෑම අංශයක් පිළිබඳවම උන්වහන්සේ තුළ තිබූ මතකය අපට උන්වහන්සේ පිළිබඳ කථා කරන විට, ගුණ ගයන විට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.

දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම අපේ රටේ භික්ෂු සමාජයට මෙන්ම ලෝකයේ බෞද්ධ සමාජයට ඇතිවූ පුරප්පාඩුව, ඒ හිදැස පිරවීමට පුළුවන්කමක් ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ.

උන්වහන්සේ අපවත්වන ඒ දවස, ඒ අවස්ථාව වන තෙක්ම උන්වහන්සේට උත්සවයක්, පිංකමක්, සමාජමය කටයුත්තක් සඳහා කෙනෙක් ආරාධනා කළහොත් උන්වහන්සේ දුර නොබලා, දුෂ්කරතාවය නොබලා, උන්වහන්සේගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ නොසලකා ඒ සෑම තැනකටම වැඩම කළා.

උන්වහන්සේගේ මහා කාරුණික වූ හඬින් අනුශාසනා කරනු ලැබුවා. උන්වහන්සේගේ මහා සෙනෙහස, දයාව, කරුණාව, ආදරය මුළු මහත් සමාජයට දායාද කරනු ලැබුවා. ඒ නිසා අද වගේ දවසක උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව එක් පැත්තකින් බෞද්ධයින් විදියට තවත් පැත්තකින් මුළු මහත් ලක්වැසි ජනතාව විදියටත් ඒ වගේම විදේශයන්හි සිටින උන්වහන්සේ දැන හඳුනන බෞද්ධ සහ බෞද්ධ නොවන සියලු ජනතාව අද දැඩි ලෙස ශෝකයට සහ සංවේගයට පත්ව සිටිනවා.

මේ අවස්ථාවේ මම ශ‍්‍රී ලංකා ජනරජය වෙනුවෙනුත් සමස්ත ජනතාව වෙනුවෙනුත් උන්වහන්සේ අපවත්වීම පිළිබඳ දැඩි ශෝකය, සංවේගය ප‍්‍රකාශ කරමින් උන් වහන්සේට නිවන් සුව අත්පත් වේවායි ප‍්‍රාර්ථනා කරමින් කෙටි ගුණ කථනය අවසන් කරනවා.

[rns_reactions]