Author: Adikari

  • ජනතාවට සහන දෙන්න ජනපති අරමුදල පුළුල් වෙයි..!

    ජනතාවට සහන දෙන්න ජනපති අරමුදල පුළුල් වෙයි..!

    ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා  50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

    ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි වීම ක්‍රියාත්මක වෙයි.

    එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට  පියවර ගෙන තිබෙන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.

    ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

    වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

    රෝගීන්ට වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද 2024 සිට ක්‍රියාත්මකය.

    දැනට කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක වන රාජකාරී වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන අතර මෙම ක්‍රමවේදය වෙනත් රෝහල් සඳහාද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කෙරේ.

    එසේම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා  මෙතෙක් වෛද්‍යාධාර ලබා දී නොතිබු නමුත් මෙම වසරේ සිට  ඒ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරේ.

    පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර සහ පසුව පෞද්ගලික අංශයයෙන් සිදුකර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇත.

    එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 2ක් දක්වා වැඩි කිරීමට  තීරණය කර තිබේ.
    එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා  ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

    2022 අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී තිබූ වෛද්‍යාධාර අයදුම්පත් 8000කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 1,342කි.

    2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458ක් ලැබී තිබූ අතර එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවිම් සිදු කර අවසන්ව තිබේ. ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 844.7කි.

    වෛද්‍යධාර ගෙවීමේ දී පැවති අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වෛද්‍යාධාර ප්‍රතිපූරණය කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය යාවත්කාලීන කරන ලද අතර නිසි පරිදි සම්පූර්ණ කර අඩුපාඩු රහිතව ජනාධිපති අරමුදල වෙත බාරදෙනු ලබන වෛද්‍යාධාර අයදුම්පතක් සඳහා වැඩ කරන දින තුනක් ඇතුලත ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.

    එමෙන්ම සැත්කම්/ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන රෝගීන් සඳහා අවශ්‍ය වගකීම් සහතික පැය කිහිපයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත් ඒ අනුව එම රෝගීන් රෝහල් ගත වී වෛද්‍ය පහසුකම් ලබාගෙන රෝහල් වලින් පිටව යාමේදී අරමුදල විසින් ගෙවීමට එකඟ වූ මුදල එම වෛද්‍ය බිල්පත් වලින් අඩු කිරීමට රෝහල් විසින් කටයුතු කරනු ලැබෙන බවත් ජනාධිපති කාර්යාලය කියයි.

    ඒ අනුව අයැදුම් කරුවෙක්  කාර්යයන් ඉටුකර ගැනීම සඳහා එක් වරක් පමණක් ජනාධිපති අරමුදල වෙත පැමිණීම ප්‍රමාණවත් වන අතර කිසිදු අයදුම්කරුවෙකු අනවශ්‍ය ලෙස අරමුදල වෙත කැඳවිමට හෝ අපහසුතාවයට ලක්වීම සිදු නොවන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා   පැවසීය.

  • රට නිවැරදි මග ගෙනියන්න ජනපති රනිල් නැමති මේ රියදුරාට වඩා හොඳ රියැදුරෙක් සිටීද..? අකිලගෙන් ප්‍රකාශයක්..!

    රට නිවැරදි මග ගෙනියන්න ජනපති රනිල් නැමති මේ රියදුරාට වඩා හොඳ රියැදුරෙක් සිටීද..? අකිලගෙන් ප්‍රකාශයක්..!

    යා යුතු වෙනත් පාරක් තිබෙනවා නම් කියන්නැයි විරුද්ධ මතවාද තිබෙන අයගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    එම පාර හොඳ හොඳනම් එයින් ජනතාවට යහපතක් වේ නම් ආණ්ඩුවට ඒ පාරේ ගමන් කරන්නට හැකියාව පවතින බවද කාරියවසම් මහතා කීය.

    රට නැමැති වාහනේ එලවන්න වෙන හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවදැයි ප්‍රශ්න කළ කාරියවසම්  මහතා වත්මන් රියැදුරා  අනෙකුත් විරුද්ධවාදින් ද එකතු කරගෙන වලවල් වලින් බේරාගෙන ඉතා වේගයෙන් හරි අතට ධාවනයෙන් කරමින් සිටින බව සඳහන් කළේය.

    මීට වඩා හොඳ  රියැදුරන් ඉන්නවා නම් එළවන ක්‍රමය කිව යුතු බව කී කාරියවසම් මහතා පළ පුරුදු නැති රියැදුරන් පැමිණි විට වන්නේ වාහනයත්,පාරත්,රියදුරාත් නැත්තටම නැතිවීම බව සඳහන් කළේය.

    පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

  • හරි සරලයි..! වයස 18ට වැඩි ඔබ බදු අංකය ලබාගන්නේ මෙහෙමයි..!

    හරි සරලයි..! වයස 18ට වැඩි ඔබ බදු අංකය ලබාගන්නේ මෙහෙමයි..!

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වෙයි.

    ඒ නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබාගත හැකිය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය.

    එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබාගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයකුට ආසන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට ඉදිරිපත් කළ හැකිය.

    මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමේදී ජාතික හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (අප්ලෝඩ්) කළ යුතුය.

    ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදිංචි ලිපිනයෙහි වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත (අප්ලෝඩ්) කිරීමට කටයුතු කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    2024 ජනවාරි 01 දින සිට සෑම වයස අවුරුදු 18 ට වැඩි අයකු විසින්ම බදු අංකයක් ලබාගැනීම රජය මගින් අනිවාර්ය කර ඇත. මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවන අතර ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණක් ය.

    වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න…

  • රටටම අස්වැසිල්ලක් වෙමින් කාර් ආනයනයට සියල්ල සූදානම්..!

    රටටම අස්වැසිල්ලක් වෙමින් කාර් ආනයනයට සියල්ල සූදානම්..!

    මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    එ අනුව එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය.

    ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇතැයි සංගමය කියා සිටී.

    ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණකි.

    එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක  පවත්වා  ගැනීමටයි.

  • යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1,000ක් අල්ලලා..! අල්ලන කුඩ්ඩන් ගමේම රැදවීමේ තිරණයක්…!

    යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1,000ක් අල්ලලා..! අල්ලන කුඩ්ඩන් ගමේම රැදවීමේ තිරණයක්…!

    ‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය.
    එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 43 ක් පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84 ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බවත් එම අමාත්‍යංශය කීය.
    හෙරොයින් ග්‍රෑම් 417 ක්, අයිස් ග්‍රෑම් 205 ක්, ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 886 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය සමඟ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

    යුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    දැනට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින් වර්ෂයකට පුනරුත්ථාපනය කලහැකි මත්ලෝලීන් සංඛ්‍යාව අල්ප බැවින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සිටින පුහුණු සාමාජිකයින් පොලිස් ස්ථාන සමඟ සම්බන්ධ කර මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    යුක්තිය මෙහෙයුමට සමගාමිව මෙම වැඩපිළිවෙලෙහි සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස අවසන් සතිය වන විට දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් තෝරාගන්නා ස්ථානවල පුනරුත්ථාපන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපේක්ෂා කරයි.

    මෙම වැඩපිළිවෙල සකස් කිරීම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පොලිස් මුලස්ථානයේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේ මෙම තීරණයන්ට එළඹී බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

    මෙම සාකච්ඡාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් සහ දැනටමත් මෙවැනි පුනරුත්ථාපන වැඩසටහන් වල නියැලෙන මිත්‍රා ශ්‍රි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    -ජයරත්න ඉඳුරුවගේ

  • අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…! හදුන්නෙත්ති

    අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…! හදුන්නෙත්ති

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ගුවන් විදුලි නාලිකාවක වැඩ සටහනකට එක්වෙමිනි.

    මෙරට විසින් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් වුවමනා බවත් කොන්දේසි පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර අරමුදලට තම පාලනයක් යටතේ දැනුම් දෙන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

  • රාජ්‍ය නිලධාරීන්ගේ සැලසුම් හදන වේගය ගැන ඇමති ප්‍රසන්න අසතුටින්..!

    රාජ්‍ය නිලධාරීන්ගේ සැලසුම් හදන වේගය ගැන ඇමති ප්‍රසන්න අසතුටින්..!

    නාගරික සංවර්ධන  අධිකාරිය  වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි ද අමාත්‍යවරයා   උපදෙස් දුන්නේය.

    වර්තමානයට ගැලපෙන පරිදි මෙම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන විය යුතු බව අමාත්‍යවරයා කීය.

    ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.

    2024 – 2026 දෙවසර ඇතුලත  සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අතරට මහනගර සභා 6ක්, නගර සභා 14ක්, ප්‍රාදේශීය සභා 46ක් ඇතුළත් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

  • ආණ්ඩුව බදු පනවන්නෙත් දුකින්..! ජනතාව බදු ගෙවන්නෙත් දුකින්..! මහින්දගෙන් ප්‍රකාශයක්..!

    ආණ්ඩුව බදු පනවන්නෙත් දුකින්..! ජනතාව බදු ගෙවන්නෙත් දුකින්..! මහින්දගෙන් ප්‍රකාශයක්..!

    රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නොමැති බව කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරියවැව විහාරගල ගම්මානයේ ගොවි පවුල් සඳහා පොල්පැළ බෙදා දීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

    වැට් බදු ඉහළයාම නිසා භාණ්ඩ මිල ඉහළ යනු ඇතැයි මේ දිනවල සමාජය තුළ විශාල කතිකාවතක් පවතිනවා. ඇතැම් භාණ්ඩවල මිල ඉහළයාමක් සිදුවිය හැකියි. නමුත් අපි රජයක් වශයෙන් මේ බදු පනවන්නේ සතුටින් නොවෙයි නමුත් මේ රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගන්නවා. දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නැහැ.

    ගොවී ජනතාව නිරන්තරයෙන් මගෙන් අහනවා මෙම වැට් බදු නිසා පොහොර මිල ඉහළ යාමක් සිදුවේදැයි මහජනතාව මගෙන් නිතර විමසනවා. මම කියන්නේ මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර මේ වනවිට රටට ආනයනය කර අවසන්. ඒවා ආනයනය කර තිබෙන්නේ පැරණි මිල ගණන් යටතේයි. ඒ සඳහා වැට් අය කිරීමක් නැහැ. ඒ නිසා මෙවර මහ කන්නයේ ඉදිරියට අලෙවි වන පොහොරවල මිල වැඩි වීමක් සිදු කළ නොහැකියි.

    කවුරුහරි කූඨ අලෙවිකරුවෝ දෙතුන් දෙනෙක් වැඩි මිල ගණන් යටතේ අලෙවි කළහොත් මම කියන්නේ ඔවුන්ගෙන් බිල්පතක් ලබා ගන්න. ඒක අපිට එවන්න. අපිට පුළුවන් ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්න.

  • ශ්‍රී ලංකාවේ ලොකුම ධනවතුන්ගෙන් බදු ගන්න වෙනම ඒකකයක් වැඩ අරඹයි..!

    ශ්‍රී ලංකාවේ ලොකුම ධනවතුන්ගෙන් බදු ගන්න වෙනම ඒකකයක් වැඩ අරඹයි..!

    මහාපරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. මෙම ඒකකය නම් කර ඇත්තේ High Net-worth Costumers Unit  නමිනි.

    ඊයේ (02) පැවති විශේෂ සාකච්ඡාවක දී ලේකම්වරයා මේ බව පැවසීය.

    මහාපරිමාණ ව්‍යාපාරිකයෝ/ පුද්ගලයෝ, ධනකුවේර මට්ටමේ සිටින අයට බදු දැලෙන් රිංගා යාම වැළැක්වීම සඳහා යොදා ඇති වැඩිපිළිවෙල කුමක්දැයි යනුවෙන් ඇසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේය.

    “Large tax Payer Unit කියලා එකක් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ළඟදි පටන් ගත්තා අපි එකක් High Net-worth Costumers Unit කියලා එකක්. ඔය කියනවා වගේ කට්ටිය සම්බන්ධව විශේෂයෙන් කටයුතු කරන්න තමයි. ඒ අයගෙනුත් ලැබිය යුතු බද්ද, රටට ඒ ආකාරයෙන් ලැබෙනවාය කියන එක තහවුරු කරන්න ක්‍රියාමාර්ග තමයි මේ අරගෙන යන්නේ.“

  • සියලු පුරවැසියන් බදු අංකය ලබාගැනීම අත්‍යාවශ්‍යයි..! වසරක් තුල ආදායම ලක්ෂ දොළහට වැඩි නම් බදු ගෙවිය යුතු බවට රජයෙන් ප්‍රකාශයක්..!

    සියලු පුරවැසියන් බදු අංකය ලබාගැනීම අත්‍යාවශ්‍යයි..! වසරක් තුල ආදායම ලක්ෂ දොළහට වැඩි නම් බදු ගෙවිය යුතු බවට රජයෙන් ප්‍රකාශයක්..!

    වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට  වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්  බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

    බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

    මේ අතර, බදු හඳුනාගැනීමේ අංකයක් ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමට බැඳෙන බවය.

    “තමා ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවනවා නම් ඔහු හෝ ඇය හෝ ඒ ආයතනය බදු ගෙවීමක් සිදුකළ යුතු ලෙස හඳුනාගන්නවා. අවුරුදු 18ට වැඩි සියලුදෙනා ලියාපදිංචි වීම එක්තරා කාණ්ඩයක් විසින් වැරදි මතයක් ප්‍රචාරය කරනවා. සියලුදෙනා බදු ගෙවීමට යටත්වෙනවා කියලා. තමා ලියාපදිංචිය අනිවාර්යයි. වාර්ෂිකව ලක්ෂ 12ක සීමාව ඉක්මවනවා නම් ඔහු බදු ගෙවන්නෙක් බවට පරිවර්තනය වෙනවා.”

  • ත්‍රිකුණාමලයට අළුත් තෙල් ටැංකි 61ක්..! රටට වැදගත් වන කැබිනට් මණ්ඩල තීරණ සියල්ල මෙන්න..!

    ත්‍රිකුණාමලයට අළුත් තෙල් ටැංකි 61ක්..! රටට වැදගත් වන කැබිනට් මණ්ඩල තීරණ සියල්ල මෙන්න..!

    මැල්සිරිපුර ගොවිපළට අයත් අක්කර පහක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළෙන් අක්කර පහක භූමි ප්‍රමාණයක් පොදු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව වෙත පවරන ලෙසට ඉල්ලීමක් ලැබී තිබූ බව රජය පවසයි.

    ඒ අනුව එම ගොවිපළේ මැදමුල්ල බෙදුමෙන් අක්කර පහක ප්‍රමාණයක් වෙන්කර දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇත.

    එම ඉඩම ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට පවරාදීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සඳහා ජර්මානු  පෙඩරල් ජනරජයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    ශ්‍රී ලංකාවේ කාර්මික වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2023/ 2026 කාලසීමාව ඇතුළත යුරෝ මිලියන හතක ප්‍රදානයක් ලබාදීමට ජර්මානු පෙඩරල් ජනරජය එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.

    එකී ව්‍යාපෘතිය ජර්මානු පෙඩරල් ජනරජය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස GIZ ආයතනය කටයුතු කරනු ලබයි.

    යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරීක්ෂණය සහ නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

    එම ගිවිසුම අත්සන් තැබීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන් හි මෙම මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි රජයේ පවසයි.

    ඒ අනුව කටයුතු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    යෝජිත ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් කර ඇති අතර නෛතික හා ආයතනික ගැටලු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් වෙත නීතිමය පිරික්සීම සඳහා යොමු කර තිබෙන බව රජය පවසයි.

    මෙම ගිවිසුම යටතේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංවේදී ලැයිස්තුවේ වර්ගීකරණය කරන ලද යෝජිත වර්ගීකරණ සංකේතාංක මත අදාළ වන සමුච්චිත තීරු බදු වලින් සියයට 50ක් ගිවිසුම බලාත්මක වූ දින සිට දින 16ක් වන වසර ආරම්භයේදී එකවර ඉවත් කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කිරීමටත් ඒ අනුව තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි කාලසීමාව වසර 18 සිට වසර 16 දක්වා අඩු කිරීමටත් 9 වන සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයට පත්ව ඇතැයි රජය කියයි.

    එම එකඟතාව පරිදි ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි අනූනමයකින් සමන්වින අතර 2022/1/3 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජ  තෙල් පර්යන්ත පුද්ගලික සමාගමකට වසර පනහක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

    එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් කිරීම ඇතුළුව මූලික පියවර මේ වන විට ආරම්භ කර තිබෙන බව රජය පවසයි.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම යන ව්‍යාපාර මාදිලි අනුගමනය කිරීමට යෝජනා කර තිබේ.

    ඒ අනුව පළමු අදියර යටතේ සිදුකිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

     

  • රටට ඩොලර් ගේන පනත ලබන සතියේ මැතිසබයට..!

    රටට ඩොලර් ගේන පනත ලබන සතියේ මැතිසබයට..!

    ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ආදායම් ලබාගැනීම සඳහා විධිවිධාන ඇතුළත් ජාතික ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙම පනත් කෙටුම්පත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  සලකා බැලිණ.

    එම කාරක සභාව එහි  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

    ලංකා මුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබා ගැනීමේ අයිතිය පැවතියද 1983 සිට එම අයිතිය භාවිතා කර නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එම කමිටුව හමුවේ පැවසීය.

    ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය පිහිටුවීම හරහා ජල ශාස්ත්‍රීය මිනින්දෝරුවන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

    යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් සිතියම්ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව නාවික හමුදා නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

  • පොදු වැසිකිලි ගාස්තුව 50%කින් ඉහලට..!

    පොදු වැසිකිලි ගාස්තුව 50%කින් ඉහලට..!

    නව බදු සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේ දී අය කරන ගාස්තු ද ඉහල දමා තිබේ.

    ඒ ජල බිල්පත් වැඩිවීමට සමගාමීවයි.

    ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකරන ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා ඇත.

    මෙතෙක් රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව නව සංශෝධනය යටතේ රුපියල් තිහක් දක්වා ඉහළ දමා තිබේ.

  • අහස් වැස්සෙන් පොඩි වැව් 487ක අක්කර අඩි දස දහසක් පිරී ඉතිරී ගිහින්..! ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්..!

    අහස් වැස්සෙන් පොඩි වැව් 487ක අක්කර අඩි දස දහසක් පිරී ඉතිරී ගිහින්..! ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්..!

    අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ  ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු එම වැව් වල පිරුණු ජල ධාරිතාවට වඩා අක්කර අඩි දස දහසකින් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා කීය.

    දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ මෙම වැව් පිළිසකර කර තිබේ.

    මෙම කුඩා වැව් සියල්ලටම අලුතින් එකතු වූ ජල පරිමාණය යෝධකණ්ඩිය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවට සමාන වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම වැව් පිළිසකර කිරීම සඳහා රුපියල් කෝටි 45 ක් වැය කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ලබන කන්නයේ නියං තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති හෙයින් කුඩා වැව්වල පිරුණු ජලයෙන් මුං ඇට, බඩ ඉරිඟු ආදී භෝග වගාව සඳහා ජලය ලබා දිය හැකි බවයි.

  • ක‍්‍රිකට් හදන කැබිනට් අනු කමිටු යෝජනා මෙන්න…!

    ක‍්‍රිකට් හදන කැබිනට් අනු කමිටු යෝජනා මෙන්න…!

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත (01) ජනාධිපති කාර්යාලයේදී බාර දෙනු ලැබීය.

    අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කර මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ වේගවත් ක්‍රියාවලියක් හරහා මෙම වාර්තාව අවසන් කිරීමට හැකි වී තිබීම විශේෂත්වයකි.

    පසුගිය නොවැම්බර් 06 වෙනි දින ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් කටයුතු කරනු ලැබීය.

    එහි ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් මහත්මිය කටයුතු කළ අතර අදාළ පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට එම කමිටුව කඩිනම් පියවර ගනු ලැබීය.

    ඒ අනුව:
    1. ශ්‍රී ලංකා ක්‍රිකට්හි සංයුතිය හා ව්‍යුහය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා.
    2. ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, 19 න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම සඳහා වන රාමුව.
    3. ටෙස්ට් ක්‍රීඩාවේ නියුතු රටවල මනා ලෙස ක්‍රියාත්මක වන සංසන්දනාත්මක පද්ධති සමඟ පද්ධති මිණුම් සළකුණු කිරීමේදී විනිවදභාවය, වෘත්තීයභාවය සහ වගවීම සහතික කිරීම පිණිස අනුගමනය කළ හැකි සුදුසු යහපාලනය සහ යහ භාවිතයන්.
    4. කුසලතාව, සමානාත්මතාව සහ සාධාරණතාව වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පෝෂණ ව්‍යුහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම.

    යන ක්ෂේත්‍ර හතර කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කෙ‍රිණි.

    එහිදී වත්මන් අර්බුදයට පාදක වූ සැබෑ හේතූන් විශ්ලේෂණය කිරීම සඳහා වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරුන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් (කාන්තා/ පිරිමි) පුහුණුකරුවන්, විනිසුරුවරුන්, ක්‍රිකට් තේරීම් කමිටුව, 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්, තාක්ෂණ උපදේශක කමිටුව, වනිදු හසරංග ඇතුළු වත්මන් ක්‍රිකට් කණ්ඩා‍යමේ සාමාජිකයින් , ශ්‍රී ලංකා විනිසුරු සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විගණන හා ගණකාධිකරණ ආයතන, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චිත්‍රසිරි කමිටුව, විගණාකාධිපති, ආදි පාර්ශව රැසක අදහස් විමර්ශනය කරමින් මෙම වාර්තාවේ නිර්දේශ සකස් කර ඇත.

    මේ සම්බන්ධයෙන් සිදු කෙරුණ පර්යේෂණ කටයුතු සඳහා නීතීඥ ෂමිර් සවහිර් සහ නීතිඥ සම්හන් මුන්සිර් යන මහත්වරුන්ගේ සහාය හිමි වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු අංශය විසින් වාර්තාව සකස් කරනු ලැබීය.

    ‍මෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ක‍ළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

    තවද ඉතා කෙටි කලක් තුළ මෙම වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳ ජනපතිවරයා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත සිය ප්‍රශංසාව පළ කර සිටියේය.

    ජනාධිපති සහකාර ලේකම් සමිත් තලකිරියාව මහතාද මේ අවස්ථාවට එක් විය.

    – ජනාධිපති මාධ්‍ය ඒකකය

  • සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදන එද්දි අරක්කු මිල 400කින් ඉහළට..!

    සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදන එද්දි අරක්කු මිල 400කින් ඉහළට..!

    සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    මෙම සුරාබදු ඉහළ නැංවීමත් සමඟ මත්පැන් මිල තව දුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.

    වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මත්පැන් මිල ඉහළ යා හැකි බව එම සමාගම් පවසනවා.

    ඒ අනුව විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 400කින් පමණ ඉහළ යා හැකි බවයි Distilleries Company of Sri Lanka PLC වැඩිදුරටත් සඳහන් කරන්නේ.