Author: Editor

  • එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්

    එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්

    දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබේ. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර තිබේ. රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ජනාධිපතිවරයා පැවසීය. ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය

  • ලීසිං හා ණයවාරික ගෙවන්නෝ ඒකාබද්ධව සහන ඉල්ලති

    ලීසිං හා ණයවාරික ගෙවන්නෝ ඒකාබද්ධව සහන ඉල්ලති

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලීසිං සහ කල්බදු පහසුකම් ලබාගත් පුද්ගලයින්ගේ හා ආයතන මුහුණ පා සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා ‘ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (30) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි පිටදී පවත්වන ලදි.

    මෙහිදී එම සංගමය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත සංදේශයක් ද භාර දෙන ලදි.

    ලීසිං-සහ-ණය-වාරික-ගෙවන්නන්ගේ-ඒකාබද්ධ-සංගමය-2021

  • රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස නියෝග

    රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස නියෝග

    කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇත. 

    එම නිසා කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.

    කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත

  • කොවිඩ් මරණ 66ක් සහ නව ආසාදිතයින් 2329ක්

    කොවිඩ් මරණ 66ක් සහ නව ආසාදිතයින් 2329ක්

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2329 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අද (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (28) සිදුව ඇති එම කොවිඩ් මරණ 66න් 41 දෙනකු පිරිමින් වන අතර 25 දෙනෙකු කාන්තාවන් වේ.

    මියගිය පුද්ගලයින්ගෙන් 46 දෙනකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර 17 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්: එන්නත මාත්‍රා දෙකම අරන් !

    විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්: එන්නත මාත්‍රා දෙකම අරන් !

    තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියයි.

    ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ජයරුවන් බණ්ඩාර මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව ද පැවසීය.

    ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ තමා ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිශක්තිකරණ එන්නතත සහ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ප්‍රතිශක්තිකරණ එන්නත  ලබාගත් බවයි.

    තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාළ වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඒ මහතා කියා සිටියේය.

    මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (29) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් සදහන් කර ඇත්තේ අද (29) දින කොවිඩ් ආසාදිතයින් 2329 දෙනකු හදුනා ගත් බවයි.

    මේ අතර අද (29) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව ඊයේ (28) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මරණ 66ක් සිදුව ඇත.

  • එංගලන්තයේ ඉබාගාතයේ ඇවිදපු තිදෙනාටම වැඩ වරදි

    එංගලන්තයේ ඉබාගාතයේ ඇවිදපු තිදෙනාටම වැඩ වරදි

    පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් හා දඩයක් පැණවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ පංච පුද්ගල කමිටුව තීරණය කර ඇත.

    මේ තීන්දුව අනුව ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් හට වසර දෙකක තරග තහනමකුත් නිරෝෂන් දික්වැල්ල හට මාස 18ක ක්‍රිකට් තහනමකුත් පැනවීමට අමතර තිදෙනාට ඇමරිකන් ඩොලර් 25,000ක දඩයක්ද නියම කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

    නිමා වූ එංගලන්ත සංචාරයේ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් එම සංචාරය අතර තුර ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණෙමින් වීදී සංචාරය කරමින් සිගරැට් පානය කිරීමට සැරසෙන අයුරු පුද්ගලයෙකු ගත් විඩියෝවක් තුළින් සමාජ මාධ්යයේ ශීඝ්‍රයෙන් සංසරණය වූ අතර එය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයක් ඇති කළා.

    ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත් ශ්‍රි ලංකා ක්‍රිකට් මෙම ක්‍රීඩකයින් තිදෙනාව වහාම ලංකාවට ගෙන්වාගෙන විනය ක්‍රියා මාර්ගයක් ගත්තේය.

  • ‘කොවිඩ් එන්නත් කාඩ්පත‘ නැති නම් අන්තර් පළාත් බස්වල ගමන් බෑ

    ‘කොවිඩ් එන්නත් කාඩ්පත‘ නැති නම් අන්තර් පළාත් බස්වල ගමන් බෑ

    අගෝස්තු 1 වනදා සිට අන්තර් පළාත් ගමන් සඳහා COVID එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

    ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

    එන්නත ලබා දුන් බවට සාක්ෂි ලෙස හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. එවැනි ලියවිල්ලක් අන්තර් පළාත් ගමන් සඳහා අවසර පත්‍රයක් ලෙස සලකනු ලැබේ.

    බස්නාහිර පළාතේ සියලුම බස්රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට අගෝස්තු 15 වන විට එන්නත් ලබා දෙන බවට රජය සහතික විය යුතු බව විජරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    බස්නාහිර පළාතෙන් පිටත ක්‍රියාත්මක වන බස් රථ සේවකයින්ට එන්නත් ලබා ගැනීම සදහා අගෝස්තු අවසානය දක්වා සහන කාලයක් ලබා දෙන බව විජරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

  • ලංකාවේ ළමා අපයෝජනවල ‘තවත් බිහිසුණු පැත්තක්‘ හෙළිවෙයි !

    ලංකාවේ ළමා අපයෝජනවල ‘තවත් බිහිසුණු පැත්තක්‘ හෙළිවෙයි !

    පසුගිය ජූනි මස 17 දා සිට ජූලි 28 දක්වා සිදුකළ නිරීක්ෂණයකදී දරුවන් යොදා සිදුකල අසභ්‍ය දර්ශන (child ponography) අඩංගු විඩියෝ පට සහ ඡායාරූප 17,629ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන පරිගණක, ජංගම දුරකතන සහ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කර අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

    “ළමා හා කාන්තා කාර්යංශය සහ පොලිසිය එක්ව මේවා කරන පුද්ගලයන් සහ කණ්ඩායම් ගැන පුළුල් පරික්ෂණයක් කරනවා. මෙවා කරන පුද්ගලයන් සොයා බැලීමට පොලිස් විශේෂ කාන්ඩායමක් පත්කර තිබෙනවා. ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට නිකුත් කළ පුද්ගලයන්ට විරුද්ධව අපි තදින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙනවා.” යැයි මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

  • රටපුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

    රටපුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

    2020 වර්ෂය හා සංසන්දනය කරන විට 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත.

    දිවයිනේ අනෙක්  දිස්ත්‍රික්කවලට  සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින්  ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි  ප්‍රවණතාවයක් දැකිය හැක. 2021 වසරේ දී මේ දක්වා (2021. 07. 29 දින දක්වා) ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා වූ අතර, ජූනි මාසයේ දී රෝගීන් 2,997 ක් ද, ජුලි මාසයේ මේ දක්වා රෝගීන් 3,029 ක් ද  හඳුනා ගෙන ඇත.

    දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් අතරින් 70 % ක් පමණ බස්නාහිර පළාතින් වාර්තාවීම ද විශේෂත්වයකි. දැනට දිවයින තුල ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම් වැසි සහිත කාලගුණය නිසා ඉදිරියටත් මෙලෙස ඩෙංගු රෝගයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

    ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද‍්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදු කල මෙරට සංසරණය වන ඩෙංගු වෛරස් ප්‍රභේද හඳුනා ගැනීමේ නියැදි පර්යේෂණයක දී, 

    මේ වනවිට ඩෙංගු වෛරස් කාණ්ඩ (Dengue serotype) 4 ම දිවයින තුළ සංසරණය වන බවට හඳුනා ගෙන ඇත. මෙයින් වෛරස් කාණ්ඩ 2 හා 3 දිවයින තුල වැඩි වශයෙන් සංසරණය වන අතර වසර කිහිපයකට පසුව ඩෙංගු වෛරස් කාණ්ඩ 1 නැවතත් මෙරට තුල සංසරණය වන බව ද එම පර්යේෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත. 

    මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන්හිදී ඩෙංගු රෝගීන්ගේ ඉහල යාමක් අපේක්ෂා කෙරෙන අතර, මේ සම්බන්ධයෙන් මහජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

    රට තුල කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, නැවත ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ  ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍යයේ නිසි පැවැත්මට දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩකඩ ඇති බැවින් පහත සදහන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වීම අනිවාර්ය බව ද ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

    1. ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම.

    • නිවස තුල ඩෙංගු මදුරු කීටයින් බෝවිය හැකි ජලය රැස්කරන භාජන, ශීතකරණ තැටි හා විසිතුරු මල්බදුන් පිරිසිදු කිරීම.
    • නිවස අවට පරිසරයේ ඇති ඉවතලන භාජන, හිස් ටින්, යෝගට් කෝප්ප, පොල්කටු, ප්ලාස්ටික් හා පොලිතින් ඇසුරුම් ජලය රැස් නොවන සේ ගබඩා කිරීම හෝ නිසි කසල කළමනාකරණ ක්‍රමවේදයන්ට අනුකුලව බැහැර කිරීම.
    • වැහිපීලි සහ කොන්ක්‍රීට් වහල සතියකට දෙවරක් වත් ජලය එක්රැස් නොවන සේ පිරිසිදු කිරීම.

    2. ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම.

    •  ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදෑසන සහ සවස් කාලයේ දී , ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ආලේප කරන්න. අනුමත මදුරු විකර්ශකවල නාම ලේඛනයක් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ www.dengue.health.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක .
    • විශේෂයෙන් කුඩා දරුවන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවලදී ශරීරය ආවරණය වන සේ ඇඳුම් භාවිතා කිරීම මගින් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා විය හැක.              

      3. ඩෙංගු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම හා ඩෙංගු රෝගය සැක කරන අවස්ථාවන්හි දී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

    • තද උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, මස්පිඩු හා හන්දිපත් වේදනාව, ඔක්කාරය හා වමනය ඇති     අවස්ථාවලදී නොපමාව වෙද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම.
    • කොවිඩ්, ඩෙංගු වැනි වෛරස් රෝගවල මුලික අවස්ථාවන් වලදී, රෝග ලක්ෂණ බොහෝදුරට සමාන බැවින් ඉහත රෝග ලක්ෂණ ඇති අවස්ථාවන්හිදී කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අතිශයින් වැදගත්ය. 

    දිවයින පුරා ඇති රෝහල් කොවිඩ්-19 රෝග අවදානම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට, උණ රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහලකට පැමිණි පසු රෝහලට ඇතුළත් කර ගැනීමේ හා වර්ගීකරණයේ (Triage) ආරක්‍ෂිත ක්‍රමවේද හඳුන්වා  දී ඇත. එම නිසා ඩෙංගු යයි සැක කරන අවස්ථාවක දී රෝහල් කරා පැමිණීමට ජනතාව කිසි සේත් බිය විය යුතු නොවේ.         

    ජාතික ඩෙංගු මර්දන ඒකකය,  රට පුරා  විසිරි ඇති සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්යාල හා එක්ව, අඛණ්ඩව  ඩෙංගු රෝග  මර්දන හා පාලන කටයුතුවල නිරත වෙමින් ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදු කරනු ලබයි. 

    ඩෙංගු  රෝග පාලනය හා මර්දනය සදහා පොදු මහජනතාවගේ සක්‍රිය දායකත්වය හා මැදිහත්වීම, රට තුල තවත් වසංගත රෝගයක් පැතිරී යන අවස්ථාවක දී අතිශයින් වැදගත් බවත් සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂිත රෝග පාලන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේදී මහත් පිටිවහලක් වනු ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.

  • ඩොලර් හිඟය නිසා ‘කිරි වීදුරුව නැතිවීමේ‘ අර්බුදය අතළඟ

    ඩොලර් හිඟය නිසා ‘කිරි වීදුරුව නැතිවීමේ‘ අර්බුදය අතළඟ

    ටයර්, විදුලි උපාංග, පොහොර, කෘෂි රසායන, ඖෂධ සහ ගෑස් හිඟය ට වඩා විශාල අසනහනයක් මතු කරමින් අගොස්තු මාසයේ කිරිපිටි/කිරි නිෂ්පාදන හිඟයක් මතු විය හැකි බව බහිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

    ලංකාවේ එක් පුද්ගල කිරි පරිභෝජනය ලීටර් 35 කි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 2020 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 414 කි.  ඒ අනුව අපේ රටේ නිෂ්පාදනය වන්නේ මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 30% ක් පමණී.  

    2020 කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රජය ඩොලර් මිලියන 333 ක් වැය කළේය. ආහාර වර්ග ඇතුළු ආනයනයන් රැසක් තහනම් කර ඇති නමුත් අද දක්වාම රජය නිල වශයෙන් කිරි ගෙන්වීම තහනම් නැත. නමුත් රටේ ප්‍රධාන කිරි පිටි ආනයන සමාගම්වලට ණයවර ලිපි විවෘත කිරීමේ අර්බුදයකට මුහුණ දී ඇත.

    පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 250 ක් සපයා ගත නොහැකි නිසා කෘෂි කර්මාන්තයම අර්බුදයකට ලක්වී ඇත. ණයවර ලිපි විවෘත කිරිම සඳහා බැංකුවල ඩොලර් නොමැතිවීම හේතුවෙන් කිරි ආනයනය සීමා කිරීමට සිදුවේ.  ඩොලර් අර්බුදයෙන් හේතුවෙන් කිරි පිටි ආනයන 70% කින් පහත වැටීමට ඉඩ ඇත. කළු සල්ලි ඩොලර් හෝ නැති නම්, කිරි පිටි පෝලිමක්, හිඟයක් වැලැක්විය නොහැකිය.    

    කිරි පිටි නැතිවීම පෝෂණ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ ප්‍රශ්නයක් පමණක් නොව ජනතාවගේ දිගු කාලීන ඇබ්බැහිකමක් සන්තර්පනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. 

  • මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය පනී

    මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය පනී

    ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් රටට-ලෝකයට  ණය වී ඇත. මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්වූවේ ගියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.    

    භාණ්ඩාගාර බිල්පත්වලට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. සරළව පවසන්නේ නම් බිලියන 198.2 ක ‘මුදල් අච්චු ගසා‘ ඇත. ශ්‍රී ලංකාව සෙමින් නමුත් ස්තීරවම දැවැන්ත මුල්‍ය අර්බුදයක් ගරා ගමන් කරමින් සිටින නමුත් රජය මෙන්ම විපක්ෂය ද ‘රටේ මුල්‍ය අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවත් හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.

  • ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

    ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

    ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ­ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කෙරේ.

    මෙම වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දැනට ආයෝජන අවස්ථා බහුල ව පවතින  ධීවර සහ ඖෂධ ආදී ක්ෂේත්‍ර සේම ආයෝජන ආකර්ෂණය ලබා ගත හැකි විවිධ ක්ෂේත්‍ර කඩිනමින් හඳුනා ගැනීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම ­­මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරේ. එසේ හඳුනා ගැනෙන ක්ෂේත්‍රයන් පිළිබඳව දේශීය සහ විදේශීය ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ක්‍රමවත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම මෙමගින් අපේක්ෂිත ය.

    ආයෝජකයන්ට වඩාත් කාර්යක්ෂමව සිය සේවාවන් ඉටු කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධීකරණ වැඩපිළි‍වෙළක් සකස් කරමින් ඔවුන් වෙත පහසුකම් සැපයීම පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු සහ ආයෝජන ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් සහභාගී වූහ. 

  • ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට ජපානය සරණවෙයි

    ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට ජපානය සරණවෙයි

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව 728,460ක් ලබන සෙනසුරාදා (31) ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම හරහා ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව සදහන් කළ චන්න ජයසුමන මහතා මෙම එන්නත් තොගයෙන් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින් 490,000 කට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන බව ද පැවසීය.

  • කෝටි 2000ක මැණික් පොකුර චීනයට

    කෝටි 2000ක මැණික් පොකුර චීනයට

    පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ලිදක් හාරන අවස්ථාවේදී හමුවූ ලොව විශාලතම ආරනූල් (star sapphire) මැණික පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත හැකි ඉක්මනින් වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

    මෙම වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

    ‘‘ මේ වන විට මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. එය වෙන්දේසියේ විකිණීමට ප්‍රථම එහි වටිනාකම තක්සේරු කරගත යුතුයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. රටේ විදේශ විනිමය ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක්. මෙම මැණික අලෙවියෙන් 10%ක් රජයට හිමිවෙනවා‘‘

    රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ළිදක් කපමින් සිටියදී හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වන අතර එය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකෙනවා.

  • ‘ඩෙල්ටා ප්‍රභේදය කියන තරම් භයානක නෑ‘ ලෝක සෞඛ්‍ය සංවිධානය

    ‘ඩෙල්ටා ප්‍රභේදය කියන තරම් භයානක නෑ‘ ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොවිඩ් -19 හි ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව වැඩි නමුත් එය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේදවලට වඩා මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග හා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි.

    “ ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකියි. රෝහල් ගත වීමේ වැඩි අවදානමක් ඇති බවට රටවල් දෙකක දත්ත අපට පෙන්වා දෙනවා. නමුත් ඩෙල්ටා ප්‍රභේදය ඉහළ මාරාන්තික අනුපාතයකට පරිවර්තනය වන බව අප දැක නැහැ, ”ඇය ට්විටර් වෙබ් අඩවියේ පළ කළ කෙටි වීඩියෝ පටයක සඳහන් කර තිබෙනවා.

    විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පැවසුවේ මෙම ප්‍රභේදයේ හඳුනාගෙන ඇති සමහර විකෘති වෛරසය සෛලයට වඩාත් පහසුවෙන් ඇලී සිටීමට ඉඩ දී ඇති බවත් එම නිසා එය මිනිසුන්ට පහසුවෙන් ආසාදනය කළ හැකි බවත්ය.

    කෙසේ වෙතත්, මේ දිනවල වෛරසය අඛණ්ඩව වෙනස් වන බවත්, එම නිසා එය වඩාත් දරුණු වන වෙනස්කම් සිදුවිය හැකි බවටත් ඇය අනතුරු ඇඟවූවාය. 

    “අපි කනස්සල්ලට පත්වන්නේ වෙනස්කම් ගැනයි‘ ඇය පැවසුවාය.

    “එය සංසරණය වන තරමට එය වෙනස් වේ. ඩෙල්ටා ප්‍රභේදය අප ගැන කතා කිරීම ඔබට ඇසෙන අවසාන ප්‍රභේදය නොවේ. අපව ආරක්ෂාකාරීව තබා ගැනීමට අපට මෙවලම් තිබේ, ”ඇය පැවසුවාය.

  • විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

    විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ.

    ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ  ශ්‍රමිකයන්ට  බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යන රටවල් රැසක්ම  පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්  සමග  පැවති සාකච්ඡාවක දී එකඟතාවය පළ කෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ පූර්ණ සහයෝගය ඇතිව අද දින යුද හමුදා රෝහලේ දී මෙම එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කෙරිණ.

    අද  දින එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර අද සිට දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.විදේශ රැකියා සඳහා රැකියා  බලපත්‍ර  ලැබූ  සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත  ලබා ගත හැක. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ

    www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැක.

    අද මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණයට කම්කර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශ සේවා නියුක්ති  කාර්යංශයේ  සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා  යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බ්‍රිගේඩියර් චන්දික අත්තනායක මහතා ද ජූඩ් ප්‍රනාන්දු මහතාද   එක්වූහ .මෙම එන්නත් ලබාදීමේ කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සිදු කෙරෙන අතර ඒ අනුව විදේශ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8000කට පමණ එම එන්නත ලබාදීමට ලබාදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.