Author: Editor

  • ‘Made in Sri Lanka’ ලොව ඉස්තරම්ම සන්නාමය කරමු

    ‘Made in Sri Lanka’ ලොව ඉස්තරම්ම සන්නාමය කරමු

    “මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15) ප්‍රකාශ කළේය.

    වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) එළිදැක්වීම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අදාළ මෙහෙයුම් පටිපාටිය (SOP) ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්නුවේය.

    මෙසේ එළිදැක්වූ ශ්‍රී ලංකා මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කිරිමේ කර්මාන්තය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය කර්මාන්ත අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

    අග්‍රාමාත්‍යවරයා මෙම උත්සව අවස්ථාවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    කාලයක් තිස්සේ අපේ රටට අවශ්‍යවෙලා තිබුණු ක්ෂේත්‍රයකට අද ආරම්භයක් ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව මාගේ සතුට පළකරනවා.

    මිත්‍රවරුනි, කොවිඩ් වසංගතයට කලින් අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කළ බව ඔබ දන්නවා. අමෙරිකානු ඩොලර් මිලියන 1000ත් -1500ත් අතර මුදලක් ඒ විධියට අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව වැය කරලා තිබෙනවා.

    ඒ නිසා කොවිඩ් සමඟ ආපු ආර්ථික බලපෑම අවම කරගන්න අපි වාහන ආනයනය නතර කළා. එහෙම කළේ කවුරුත් පීඩාවට පත්කරන්න හිතාගෙන නෙමෙයි. ඒ වෙනකොටත් අවුරුදු දෙකකට විතර ඇතිවෙන්න ගෙනාපු වාහන රට ඇතුළෙ තිබුණා.

    මිත්‍රවරුනි, විශේෂයෙන් ගෝලීය වසංගතයක් ආපු මේ වෙලාවේ තමයි දේශීය ආර්ථිකයේ වැදගත්කම වඩා හොඳින් තේරුම් යන්නෙ. ඒ විතරක් නෙමෙයි අපේ ආර්ථික ක්‍රමයෙ හෝ ඒවායේ අඩුපාඩු හදාගන්නත් මෙය හොඳම අවස්ථාවක්.

    ක්‍රමයක් වෙනස් කරන්න හදන කොට විවිධ බාධක එනවා. සමහර අය කැමතියි. තව අය අකමැතියි. හැබැයි සාර්ථක ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නම ඒ හැමෝම ඒ වැඩපිළිවෙල එක්ක එකතුවෙනවා.

    වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) මෙයට පෙර තිබුණෙ නැහැ. එවැනි ක්‍රමවේද හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මම දන්නවා කර්මාන්ත අමාත්‍ය අපේ විමල් වීරවංශ මැතිතුමා මේ ගැන බොහෝ සංවාද කළා. කැබිනට් මණ්ඩලයට ඇවිත් අපට ඒ ගැන පැහැදිලි කළා.  හැබැයි මේ කාර්යය මෙතරම් කඩිනමින් කරන්න පුළුවන් වෙයි කියලා අපි කවුරුත් විශ්වාස කළේ නැහැ.  මෙය අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

    රටේ සම්මත මෙහෙයුම් පටිපාටියක්(SOP) තිබෙන විට දේශීය හා විදේශීය ඕනෑම ආයෝජකයකුට එය පහසුවක්.  ඒ වගේම ඔවුන්ට කිසිදු පැකිලීමකින් තොරව අපේ රටේ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසීමට මාවතක්ද නිර්මාණය වෙනවා. වාහන එකලස් කිරීම දේශීය වශයෙන් ආරම්භ කළාම ඔවුන්ට බදු සහන ලබාගන්නත් පුළුවන්.  ඒ විතරක් නෙමෙයි වාහන උපාංග නිපදවීමේ කර්මාන්තයත් ඒ එක්කම වේගයෙන් දියුණ වෙනවා.

    මිත්‍රවරුනි, ලෝහ හා ලෝහ නොවන නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ටයර් හා රබර් නිෂ්පාදන කර්මාන්ත මේ පහසුකම ඔස්සේ දියුණු වෙනවා. තවත් පැත්තකින් නවෝත්පාදන සඳහා රට තුළ විශාල ඉල්ලුමක් ඇතිකරන්නත් ඒ සම්බන්ධ උනන්දුව ඉහළ දමන්නත් මෙවැනි සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) තිබීම ඉතා වැදගත්.ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ තාක්ෂණික උපාධිධාරීන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් විසි දහසකට පමණ මේ වැඩපිළිවෙළින් සෘජු රැකියා අවස්ථාද හිමිවෙනවා.

    මිත්‍රවරුනි, අපි තරග කරන්නෙ දියුණු ලෝකයක් සමඟ. මොනතරම් බාධක තිබුණත් මේ තරගයෙන් අපි ඉවත්විය යුතු නැහැ. විදේශ විනිමය විදෙස් රටවලට ගලා යාම අවම කරමින් ජාතික ආර්ථික අභියෝගය ජය ගැනීමේ හැකියාව අපට තිබෙනවා. මෙම වැඩපිලිවෙල සාර්ථක කරගැනීමට විමල් ඇමතිතුමා සහ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට ඇතුළු සියලුදෙනාට හැකියාව තිබෙන බව මම දන්නවා.

    ඒ වගේම ඔබ සියලු දෙනාගේම කැපවීම මත සෞභාග්‍යමත් දේශයක් උදා කරගැනීමේ හැකියාව සහ විශ්වාසය අපට තිබෙනවා.  ඒ නිසා “මේඩ් ඉන් ශ්‍රී ලංකා”(Made In Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙනයන්න රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු.

  • කාර්යාංශයේ ලියාපදිංචි වී ‘රට රැකියාවලට ගිය අයට’ සුපිරි වාසි

    කාර්යාංශයේ ලියාපදිංචි වී ‘රට රැකියාවලට ගිය අයට’ සුපිරි වාසි

    විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීම රජ‍යේ වියදමින් කරනවා යැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ඊයේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කම්කරු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    එහිදී වැඩි දුරටත් අදාළ වැඩපිළිවෙළ ගැන කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

    විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ වන විට තිස් දහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට නැවත පැමිණ ඇති පැමිණ ඇති අතර තවත් 20,000ට ආසන්න පිරිසක් ගෙන්වා ගැනීමට නියමිතව තිබෙනවා. ඔවුන් ගෙන්වා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඔහු පැමිණීමෙන් පසු නිරෝධානය කිරීම සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමයි. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් නියමිත කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අය කාර්යාංශයේ මුදලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් ඔවුන් කාර්යාංශය වියදමින් නිරෝධායනය කිරීමටත් අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා.

    ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම හෝටලයක් හෝ නේවාසික පහසුකම් ඇති ස්ථානයක් කුලියට ගෙන  නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ඉන් පළමු වෙනි නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරනවා.

    ඒ අනුව  එම නව නිරෝධායනය මධ්‍යස්ථාන පිහිටුවීමට හඳුනාගත් සුදුසු ගොඩනැගිලි පිළිබඳ ලැයිස්තුව මේ වන විට  covid මර්දන කාර්ය සාධක  බළකායේ ප්‍රධානී  යුද හමුදාපති මේජර් ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත යොමුකර තිබෙනවා. එම මධ්‍යස්ථානවල සියලු වියදම් දරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි.

    මෙම විගමනිකයන් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගිය අයටයි.

  • මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු සුපිරි කරුණු හතරක්

    මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු සුපිරි කරුණු හතරක්

    ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය.

    නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි. තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය සේවිකාව පැමිණියාය. වහාම රෝහල් ගත වන ලෙස ඇය මට නියෝග කළාය. මගේ පුංචි පැටියා හාමත් වී සිටියාය.

    “දරා ගන්න අමාරුයි”

    රෝහලට ගිය පසු මව්කිරි දොවන කුඩා පොම්පයක් යොදා ගනිමින් කිරි ලබා ගැනීමට උත්සාහ කළ ද කිරි වෙනුවට රුධිරය වෑහෙන්නට පටන් ගත්තේය.

    “මට මොනවා වෙලාද? මගේ පියයුරු මව් පදවිය ප්‍රතික්‍ෂේප කරනවද?” මට සිතුණි. මාගේ කුඩා බිළිඳා කිරි පොදක් බීමට තන පුඩුව තදින් උරන්නට වීම නිසා එය තුවාල විය.

    මවකට කිරි එරීම සවභාවිකව ම සිදු නොවන බව මම කල්තියා දැන සිටියානම් කෙතරම් අගනේ ද? එය පිරික්සුම් හා වැරදීම් න්‍යාය ( trial and error) මත පවත්නා ක්‍රියාවලියකි. පුහුණුවීම තුළින් තත්වය යහපත් අතට හරවා ගත හැකිය. ඒ සඳහා අත්හදා බැලිය හැකි උපායන් එමටය. නමුත් එය එතරම් පහසු නොවේ. විටෙක ඉතා වේදනාකාරීය.

    තනි වීම

    යතාර්ථයට මුහුණ දුන් දරුවා මව්කිරි බීම ක්‍රමයෙන් ආරම්භ කළේය. දැන් උවමනාවටත් වඩා මව්කිරි වෑහෙන්නට විය. මට සුව පහසු නින්දක් ලබන්නට කාලයක් නොමැත. තනිව නිදහසේ දිය නෑමට අවස්ථාවක් නැත. කැඩපත ඉදිරියට ගිය මොහොතක් මතක නැත. නිවසෙන් පිටවී ගමනක් යාමට හිතෙන්නෙම නැති තරම්ය.

    ” මාව දැක්කොත් අසල්වැසියෝ මොනවා හිතයිද? මගේ මිතුරියන්ට මොනවා හිතෙයිද?”

    මම ගැවසෙන්නට කැමතිම තැන්, දැන් පය ගසන්නට අකමැති ම තැන් බවට පත් වී තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල දී දරුවාට මව්කිරි ලබා දීමේදී මට අපහසුතාවයක් දැනේ. රෑ මැදියමේ මම නින්දෙන් අවදි වෙමි. දරුවා සමඟ තනි වෙමි. පිටස්තර ලෝකයෙන් ම තනි වී ඇති බවක් දැනේ. පශ්චාත් ප්‍රසව විශාදය මා වෙලා ගැනීමට ආසන්න ය.

    තමන්ව රැක බලා ගැනීම දරුවා රැක බලා ගැනීම තරම්ම – ඇතැම් විට ඊටත් වඩා – වැදගත් බව මම මීට පෙර දැන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ. කාංසාවෙන් පෙළෙන, විෂාදයට ලක් වී බිඳ වැටුණු මවකට වඩා නිසි විවේකය ලද නිරෝගී මව යහපත් ය.

    වරදක් කළැයි දැනෙන හැඟීම පහව නොයයි

    රෝහලේ දී ළදරු කිරිපිටි ලබා දුන් පසු දරුවා පැය කිහිපයක් නින්දට වැටුණි. මට නින්දක් අවැසිව සිටි සෑම මොහොතකම මව් කිරි ලබා දීමට උත්සහ කරමින් සිටිනවා වෙනුවට ළදරු පිටිකිරි දරුවාට ලබා දිය හැකිව තිබුනා නොවේදැයි මට පසක් විය.

    වරදක් කළ බවට දැනෙන හැඟීම මා වෙලා ගන්නට එතරම් කාලයක් ගත නොවීය. එය නොතකා සිටිය නොහැකි තරම් බලවත් වූ හැඟීමක් විය. ළදරු කිරිපිටි දීමෙන් පසු දරුවාගේ දිවේ සුදු පැහැති අවශේෂයක් ඉතිරිව තිබිණ.

    එය පිළිකුලක් දනවන දුර්ගන්ධයකින් යුක්ත විය. අස්වාභාවික දර්ශනයක් සේ දැනුණි. රසවත්, පෝෂ්‍යදායී මව්කිරි වෙනුවට ‘බාල ආහාරයක්’ මා දරුවාට ලබා දෙනවා නොවේදැයි යන හැඟීම මට ඇති විය.

    මා වරදක් කළැයි දැනෙන හැඟීම වරින් වර මතුවෙයි: “මට තව තවත් උත්සාහ කරන්න තිබුනා. මට වැඩිපුර පැයක් නිදා නොගෙන ඉන්න තිබුනා.”

    මෙම හැඟීම කිසිදා පහව නොයන එකක් බව කල් තියා දැනගෙන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ. නමුත් එය ද සාධාරණ නොවේ. තමන්ට ගැලපෙන දේ තෝරා ගැනීමට හැම දෙනාම පෙළඹේ.

    කෙසේ හෝ තමන් වරදක් කළැයි දැනෙන හැඟීම ඉස්මතු වීම වළක්වාලිය නොහැකිය. එය වගකීම් සහගත මවකගේ අවලාදයක් විනා අයහපත් මවකගේ අවලාදයක් නොවේ.

    සහාය පතන්න

    බිලියන ගණනක් වටිනා වෙළඳපොළක් සහ කර්මාන්තයක් මව්කිරි දීම ආශ්‍රිතව පවතී. නොගැනිය හැකි තරම් කුඩා ගැටලුවක දී පවා ඔබට සහනයක් ලබා දීම සඳහා ඉතා පිළිවෙළට ඇසුරූ විසඳුමක්, ඔබේ මුදල් ලබා ගැනීමට සුදානමින් පවතී.

    සුපිරි වෙළඳසල් තුළ මේ සඳහා ම වෙන් වූ රාක්කයක් පිරී තිබේ. තන පුඩුවට ආලේප කරන ක්‍රීම් වර්ගවල සිට පියයුරු උණුසුම්ව තබා ගැනීම සඳහා නිෂ්පාදිත ආවරණ දක්වා වූ භාණ්ඩ සහ අත් බෙහෙත් එහි නොඅඩුව පවතී.

    නමුත් මට සහනයක් ගෙන දුන් වැදගත් ම ‘අත් බෙහෙත’ වූයේ මව්කිරි දීම සම්බන්ධයෙන් පැවැත්වුණු වැඩමුළුවලට සහභාගී වීම ය. එහි දී හමු වූ, මව්කිරි දීම සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් සහිත උදවියගෙන් සහ විශේෂඥ දැනුම ඇති අයගෙන් ලබා ගත් උපදෙස් ය.

    නිසි පරිදි දරුවාට මව්කිරි දීමට නොහැකිව අරගලයක යෙදෙන එකම මව මා නොවන බව කලින් දැන සිටියේනම් කෙතරම් අගනේ ද? සහන සහ උපදේශන සේවා එමටය. ඔබ අසීරුතාවයකට පත් වූ විට කළ යුතු හොඳම දේ සහනයක් ඉල්ලා සිටීමය.

    තම දරුවාට මව්කිරි ලබා දීම හෝ නොදීම තමන් ගේ තේරීමයි. එය තීරණය කිරීමට සෑම මවකට ම අයිතියක් ඇති බව මම සිතමි. කෙසේ නමුත් මව්කිරි ලබා දීමට අසමත් වීම හෝ මව්කිරි ලබා නොදීමට තීරණය කිරීම මගින් ඔබ අයහපත් මවක් නොවනු ඇත.

    ලූ යැන්ග් බීබීසී ලෝක සේවයට රචනා කළ මෙම සම්පූර්ණ ලිපියකි

  • පාසල් විෂය නිර්දේශ ගැන අධ්‍යාපන ඇමති කළ සුපිරි හෙළිදරව්ව !

    පාසල් විෂය නිර්දේශ ගැන අධ්‍යාපන ඇමති කළ සුපිරි හෙළිදරව්ව !

    මෙරට පාසල් විෂය මාලාව පිළිබඳ වසර 20කින් පමණ සැලකිය යුතු අවධානයක් යොමු කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියයි. මාතර රාහුල විද්‍යාලයේ සහ  මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

    දැනට පවත්නා පාසල්  විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්‍රමුඛ අංගයක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.  

    පාසල් විෂය මාලාව පමණක් නොව, මෙරට විශ්වවිද්‍යාල පාඨමාලාවන් ද නූතන රැකියා වෙළෙඳපොළ අවස්ථා සමඟ බද්ධ නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය වැනි විෂයන්හි නව දැනුම විෂයමාලා  අන්තර්ගතයට එක් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පියවර ගනු ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය .

    වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

    මෙරට පාසල් වල පවත්වාගෙන යන ආදිශිෂ්‍ය සංගම් මේ වනවිට බොහොම ශක්තිමත් බවත් ඒ සියලුදෙනාගේම අදහස්, සහය සහ සහභාගිත්වය ඇතිව මෙම විෂයමාලා නවීකරණය පිළිබඳ කටයුත්ත කෙරෙන බවත් එමෙන්ම පුරවැසියන්, ගුරුවරුන්, ආගමික නායකයන් ආදී මේ සියලු දෙනාගේ අදහස් ලබා ගැනීම සඳහා මාර්තු මාසයේ ඩිජිටල් වේදිකාවෙන් ආරම්භ කරන බවද පැවසීය.

    එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසයේදී ජාතික පාසල් නගාසිටුවීමේ වැඩසටහන ද ආරම්භ කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පළමු අදියර යටතේ  ජාතික පාසල් 123 ක්ද , දෙවැනි අදියර යටතේ ජාතික පාසල් 673 ක්ද ආරම්භ කරන බව ප්‍රකාශ කළේය .

    එම වැඩපිළිවෙළ සඳහා  පාසල් නිර්ණය කිරීමට  දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට පවරා ඇති බවද මේ දිනවල ක්‍රියාවට නැංවෙන අතිගරු ජනාධිපතිතුමන්ගේ ග්‍රාම සංවර්ධන වැඩසටහන් වලදී පවා තමන්ගේ ප්‍රදේශයට ජාතික පාසලක් ලබා ගැනීම බොහෝදෙනාගේ ඉල්ලීම් වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජාතික පාසලක් බවට පත් කරන පාසල සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ සුදුසුකම් පිළිබඳවද වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය .

  • Grammy Awards 2021: Red carpet in pictures

    Grammy Awards 2021: Red carpet in pictures

    සංගීත ලෝකයේ මෞලි මංගල්‍ය ලෙස සැලකෙන Grammy Awards 2021 පසුගිය දා පැවැත් වුණා. එහිදී සංගීත ලෝකයේ සුපිරි තරු සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔවුන්ගේ විලාසිතා කාගෙත් අවධානය දිනා ගත්තා.

    ලිසෝ

    “සංගීතයේ ලොකුම රාත්‍රියේදී music’s biggest night”තාරකාවන් ඔවුන්ගේ අගුලු දැමීමේ සැපපහසුකම් හුවමාරු කර ගත් අතර මෙවර ග්‍රැමී සම්මාන උළෙල පැවැත් වුණේ කොවිඩ්-ආරක්ෂිත උත්සවයක් ලෙසයි. නමුත් සැබෑ රතු කාපට් අතුරා සංගීත ලෝකයේ විශිෂ්ඨයින් පිළිගත්තා.

    මෙවර හොඳම නවක කලාකරුවාට හිමි සම්මානය පිරිනැමීම සඳහා යන ගමනේදී ආර් ඇන්ඩ් බී ගායිකා ලිස්සෝ R&B singer Lizzo ඒ දිගේ ඇවිද යන තරු අතර වූවාය.

    “මම උත්සවයට යන අතරමගදී,” ඇය ඉන්ස්ටග්රෑම් හි තම පෙනුම ගැන ලිවීය.

    මේගන් තී ස්ටාලියන්

    වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය best new artist award මේගන් තී ස්ටාලියන් Megan Thee Stallion විසින් දිනා ගත්තාය. ඇගේ තැඹිලි පැහැ ගවුම කාගෙත් සිත් ගත් ගත්තේය.

    “මට ඇත්තටම අවශ්‍ය වූයේ පොප් කිරීමටයි. හරියට ග්‍රැමී කෙනෙකු මෙන් වීමට මට අවශ්‍ය විය,” ඇය පැවසුවාය.

    ටේලර් ස්විෆ්ට්

    ටේලර් ස්විෆ්ට් Taylor Swift වසරේ ඇල්බමය සඳහා වන සම්මානය album of the year දිනා ගත්තාය. ඒ ඇයගේ ලොක්ඩවුන් ඇල්බමය වන ෆෝක්ලෝර්  Folklore වෙනුවෙනි. ඇල්බමයේ ග්‍රාමීය තේමාවට අනුකූලව ඇය මල් වලින් ආවරණය වූ ඔස්කාර් ඩි ලා රෙන්ටා Oscar de la Renta ඇඳුමක් තෝරා ගත්තාය.

    ට්‍රෙවර් නෝවා

    සත්කාරක හා විකට නළුවෙකු වන ට්‍රෙවර් නෝවා “මෙය විශාලන පසුබිමක් නොවේ,” ඔහු සිය ආරම්භක ඒකපුද්ගල කථාව නරඹන්නන්ට සහතික කළේය. 

    බිලී අයිලිෂ්

    බිලී අයිලිෂ්

    හැරී ස්ටයිල්ස්

    හැරී ස්ටයිල්ස්

    ඩබාබි

    ඔබට ග්‍රැමීස් හි ඕනෑම දෙයක් කළ හැකිය, නමුත් ඩබාබිගේ කොළ පැහැති ස්වීඩ් සපත්තු ඉවත් කරන්න එපා. වර්ණවත් ලෙස ගැලපෙන රැප් ගායකයා කාණ්ඩ හතරකට නම් කරන ලද අතර, රොක්ස්ටාර් සඳහා හොඳම වාර්තාව ද, ඩුවා ලිපා සමඟ ද රඟ දැක්වීය.

    ෆෝබි බ්‍රිජර්ස්

    ෆෝබි බ්‍රිජර්ස් හොඳම නවක කලාකරුවා සඳහා ඉදිරිපත් වූ අතර, මෙම embroidered skeleton dress. විශිෂ්ට හැඟීමක් ඇති කිරීමට ඇය අවස්ථාව ලබා ගත්තාය. එය ඇයගේ වසරේ නම් කරන ලද පනිෂර් ඇල්බමය  album of the Punisher.සඳහා වන ප්‍රවර්ධන ව්‍යාපාරය පුරා ඇය පැළඳ සිටි දිගු අත් ටී ෂර්ට් එකේ රසික අනුවාදයකි.

    ඇය දිනුවහොත් ඇය කුමක් කරයිදැයි වාර්තාකරුවන්ගෙන් විමසූ විට ඇය මෙසේ පිළිතුරු දුන්නාය: “මම කිව්වේ, ඔයා දන්නවනේ … හරිම කොවිඩ්-ඊෂ්. ගිහින් මගේ අම්මා එක්ක මගේ ගෙදර තැඹිලි යුෂ ගන්න.”

    ඩුවා ලිපා

    ඩුආ ලිපා විසින් best pop vocal album for Future Nostalgia සඳහා හොඳම පොප් ඇල්බමය සදහා වන සම්මානය දිනා ගත් අතර තවත් නාමයෝජනා පහක් ලැබුවාය.

    ඩෝජා කැට්

    ඩෝජා කැට් හට නාමයෝජනා තුනක් තිබූ අතර ඇය සම්මාන රාත්‍රියට පැමිණියේ මේ fitted motorcycle jacket සැරසී ගෙනය.

    “මම කැමතියි එළියේ තිබෙන දෙයකට,” ඇය වාර්තාකරුවන්ට පැවසුවාය. 

    ඇයගේ

    එක්සත් ජනපද ගායක ගායිකාවක් වන queen H.E.R රජවරුන්ගේ වර්ණයෙන් සැරසී.

    පසුගිය වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට ප්‍රතිචාරයක් ලෙස ලියන ලද I Can’t Breatheසඳහා ඇය වසරේ ගීතය song of the year සදහා වන සම්මානය දිනා ගත්තාය.

    “කළු ජාතිකයින් පමණක් අත්විඳින වේදනාව ගැන කතා කිරීමට මට අවශ්‍ය විය,” ඇය පැවසුවාය.

    ඡායාරූප බී.බී.සී ඇසුරිණි

  • ‘දියවැඩියාව’ ආපස්සට හරවන්න පුළුවන්ද?

    ‘දියවැඩියාව’ ආපස්සට හරවන්න පුළුවන්ද?

    කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

    මෙතෙක් කාලයක් දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මූලික අරමුණ කරගත්තේ සුවපත් කිරීමට වඩා පවතින රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා පමණයි. එහිදී ආහාර, ව්‍යායාම සහ ඖෂධ මගින් රුධිරගත සීනි මට්ටමත් ග්ලූකෝස් මට්ටමත් HB1C අගය 7ට වඩා ප්‍රශස්ත මට්ටමත් ග්ලූකෝස් මට්ටමක පවත්වා ගැනීමට අවධානය යොමු කළා. නමුත් මෑත භාගයේ සිදුකළ පර්යේෂණ මගින් හඳුනාගෙන තිබෙනවා දෙවැනි කණ්ඩයේ දියවැඩියාම හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව මතුවී වසරක් පමණ ඇතුළත නැවත ආපස්සට හැරවිය හැකියි කියා. (can diabetes be reversed) මෙය දියවැඩියා රෝග ප්‍රතිකාර සම්බන්ධ පෙරළියක් ලෙස සැලකිය හැකියි.

    ඊට හේතුව වන්නේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයට ගොදුරුවුවන් ආහාර පාන ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි.  නිතර රුධිරගත සීනි පරීක්ෂාවන් සඳහා යොමුවිය යුතුයි. දියවැඩියා රෝගය නිසා මතුවන අතුරු රෝගාබාධ වන ලිංගික දූර්වලතා, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග පාලනය කරගත යතුයි. එසේම ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී සමාජය තුළින් මතුවන ගැටලු හමුවේ මානසික පීඩාවන්ට ද ලක්වීමට සිදුවෙනවා. විශේෂයෙන්ම අප වැනි රටවල විවාහ වීමේදී පිරිමින්ට දියවැඩියා රෝගය යම් බාධකයක් බවටත් පත්වී තිබෙනවා.

    ඊට අමතරව ඇතැම් රැකියා සඳහා යොමුවීමේදී දියවැඩියා රෝගය බාධාවක් වී තිබෙනවා. විශේෂයෙන් ගුවන් නියමු සහ හමුදා සේවය වැනි රැකියා සඳහා යොමුවීමේදී මෙය දැඩි ලෙස බලපානවා. මෙවැනි පසුබිමක් හමුවේ දිය වැඩියාව ආපස්සට හරවන්න හැකිවීම මගින් එවැනි රෝගීන්ට විශාල සහනයක් සැලසෙනවා.

    වෛද්‍යතුමනි, දියවැඩියාව ආපස්සට හරවන්නේ කෙසේද?

    වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව හටගෙන මාස ගණනක් ඇතුළත ඔවුන්ගේ සීනි මට්ටම ඉක්මනින් පාලනය  කළහොත් දියවැඩියාව ආපස්සට හැරවිය හැකි බව. ඒ සඳහා සති කිහිපයක් ඉන්සියුලින් ලබාදීම වැනි ප්‍රතිකාර ද සිදුකරනවා.  මෙමගින් අග්න්‍යාසයට කිසියම් විවේකයක් ලබාදිය හැකියි.

    අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛලවලට සිරුර තුළ වැඩපුර නිපදවන ග්ලූකෝස් විෂ සහිතයි. (glucotoxicity) මෙම විෂ සහිත බව බාහිරින් ඉන්සියුලින් ලබාදීමෙන් සමනකය කළ හැකියි.  ඊට අමතරව අග්න්‍යාසයේ බීටා සෛලවලට වැඩි වෙහෙසක් ඇති කිරීම වළක්වන ඖෂධ ලබාදීම සහ එම පුද්ගලයාගේ සිරුරේ බර සියයට 10ත් 15ත්  අතර  ප්‍රමාණයක් අඩු කිරීම මගින් දියවැඩියාව නැවත ආපස්සට හැරවිය හැකි බව තහවුරු වී තිබෙනවා.  විශේෂයෙන් සිරුරේ බර සියයට 15 ක් පමණ ප්‍රතිශතයකින් අඩු කිරීමෙන් එම පුද්ගලයාගේ දියවැඩියාව නැවත ආපස්සට හැරවීම ඉතා පහසු බව හඳුනාගෙන තිබෙනවා.

    වෛද්‍යතුමනි, සිරුරේ බර අඩු කරගන්නේ ආහාර පාලනය මගින්ද? එසේත් නැතිනම් ව්‍යායාම කිරීම මගින්ද?

    මෙහිදී බර අඩු කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ ආහාර පාලනය මගිනි.  ඊට හේතුව වන්නේ  මෙහිදී බලාපොරොත්තු වන්නේ සිරුරේ නැත්පත්වන මේදය ප්‍රමාණය පාලනය කිරීමයි.  විශේෂයෙන් සිරුරේ අක්මාවේ, අග්න්‍යාසයේ සහ උදර කුහරයේ ඇතුළත පටකවල තෙල් තැන්පත් වී තිබීම මගින් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇතිවීම සහ ලිපිඩ ප්‍රතිරෝධයක් ඇතිවීම  (lipotoxicity ) සිදුවෙනවා.  එනිසා ආහාර පාලනය මගින් අඩුකිරීම මෙහිදී වැදගත්ය.

    එම ආහාර පාලනය වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුතුයි. මෙහිදී සිරුරට වැඩිපුර පිෂ්ටය (කාබෝහයිඩ්‍රේට්ස්) එක්නොවන ආහාර වර්ග ලබාදෙනවා. ඇතැම් පුද්ගලයන්ට පිෂ්ටය අඩු ආහාර ආදේශක වර්ග ලබාදීම පවා සිදුකරනවා.

    අධික ස්ථූල බවින් පෙළෙන අයට ආහාර පාලනය මගින් බර අඩු කළ නොහැකියි.  එවැනි පුද්ගලයන්ට ආමාෂයේ සිදුකරන  සැත්කම් මගින් (bariatric surgery) ආහාර පාලනය කර බර අඩු කළ හැකියි.

    වෛද්‍යතුමනි, උපතින් ඇතිවන දියවැඩියාව හෙවත් පළමු කණ්ඩයේ දියවැඩියාව නැවත ආපස්සට හැරවීම කළ නොහැකිද?

    ඒ සඳහා අග්න්‍යාශ බද්ධ කිරීමක් හෝ බීටා සෛල බද්ධ කිරීමක් කළයුතුයි.  දැනට එවැනි ප්‍රතිකාර සිදුකරන්නේ ඉතා සුළු වශයෙනි. මෙය ඉතා වියදම් අධිකය.  එසේම මෙවැනි ප්‍රතිකාරයකින් පසු මුළු ජීවිත කාලයටම ඖෂධ ගතයුතුයි.

    වෛද්‍යතුමනි, දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ආපස්සට හැරිවීමෙන් පසු එදිනෙදා කටයුතු සාමාන්‍ය අයුරින් සිදුකළ හැකිද?

    ඔව්. දියවැඩියාව ආපස්සට හැරවීමෙන් පසු සාමාන්‍ය පුද්ගලයකු ලෙසින් තම එදිනෙදා කටයුතු කළ හැකියි.  දියවැඩියාව පාලනය සඳහා ඖෂධ ගතයුතු වන්නේ නැහැ. අක්මාවේ තැන්පත්ව තිබූ අධික මේද තට්ටුව ඉවත්වෙනවා. අධි රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.  හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුවෙනවා. රාත්‍රියට නින්දෙන් ගෙරවූවානම් එය පහව යනවා.

    නමුත් මින් අදහස් කරන්නේ පරණ පුරුදු ලෙස අධික ලෙස ආහාර පාන ගනිමින් දිවි ගෙවීම නොවෙයි.  මොකද මෙය සම්පූර්ණ සුවයක් නොවෙයි. නමුත් ආහාර පාලනය කරමින් ව්‍යායාම්වල යෙදෙමින් වරසරකට වරක්වත් රුධිරයේ සීනි පරීක්ෂාවකට යොමුවෙමින් කටයුතු කළොත් දියවැඩියාව යළි ඇතිවීම වළක්වාගෙන අතුරු ආබාධවලින් තොරව මුළු ජීවිත කාලය පුරාවටම නීරෝගීව දිවි ගෙවිය හැකියි.

  • ‘බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ’ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක්

    ‘බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ’ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක්

    පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

    බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමඟ එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටලු පවතින නිසා කිසිදු පාර්ශවයකට අවාසියක් සිදු නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශවයක් සහ බැංකු පාර්ශවයන්ට අතර මැදිව දෙපැත්තටම සාධාරණයක් සිදුවන ආකාරයේ ගැටලු විසඳාදෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රජයේ ආයතනයක් හෝ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුකරන්නැයි පැවසීය.

    ඒ ඔස්සේ ලීසිං ඇතුළු එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව ණය හිමියන්ට සහන ලබා දීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

  • පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය ‘පස් කපා වනසයි’

    පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය ‘පස් කපා වනසයි’

    මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ.

    මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇත. මේ සඳහා එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ බිරිද, අමාත්‍යවරයාගේ ප‍්‍රධාන ආධාරකරුවන් වන සුමතිපාල හා හර්ෂණ යන අය, මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සහ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු විසින් මේ පස් කැනීමේ ජාවාරම සිදු කරමින් පවතී.

    පස් කැනීම් බලපත‍්‍ර ලබා ගැනීමේ දී වෙනත් පුද්ගලයින්ගේ නම් භාවිතා කර ඇති අතර ඉහත පුද්ගලයින් විසින් සියලූ පස් කැනීම් කටයුතු සිදු කරමින් පවතී. ඒ සඳහා මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් අවශ්‍ය සියලූ සහයෝගයන් ලබා දෙමින් පවතී.

    පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලය වටා පලූගස්වැව, කටුකැලියාව, තම්මැන්නාව හා කරුවලගස්වැව යන ගම්මාන පිහිටා තිබේ. මේ ගම්මානවල ගොවි පවුල් 600 ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන හා ගොඩ බෝග වගාවයි. මහ කන්නයේ දී වී වගාව සිදු කරන අතර යල කන්නයේ දී කුඹුරු ඉඩම් කොටසක වී වගා කරන අතර ගොඩ බෝග ලෙස මිරිස්, වම්බටු, ගෝවා වැනි එළවලූ වර්ග වගා කෙරේ.

    වී ගොවිතැන සහ ගොඩ බෝග වගාව හා සම්බන්ධ සියලූ ම ජල මූලාශ‍්‍ර පලූගස්වැව –  කටුකැලියාව රජයේ කැලයෙන් ආරම්භ වේ. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත මෙම වනාන්තරයෙන් ආරම්භ වන දියදහරාවන් පලූගස්වැව, කටුකැලියාව වැව, ගම්මැන්නාව වැව, ඇලත්තන්කුලම වැව හා කරුවලගස් වැව පෝෂණය කරයි. මීට අමතර ව මෙම වනාන්තරය වටා පිහිටි ගම්මානවල ගොඩ බෝග වගාව සඳහා වගා ළිං සකස් කර ජලය ලබා ගැනීම සිදු කරයි. එම වගා ළිංවල ජල සුරක්ෂිතතාව රැදී ඇත්තේ පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලය මත ය.

    අමාත්‍යවරුන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් පාරිසරික අණ පනත් බොහොමයක් උල්ලංඝනය කරමින් මෙම පස් කැනීම් කටයුතු සිදු කරමින් තිබේ. 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් රජයේ වනාන්තර ඉඩම්වල පස් කැනීම සිදු කරයි. වනාන්තර එළි පෙහෙළි කිරීම, පස් කැනීම, පස් ප‍්‍රවාහනය සඳහා මාර්ග සකස් කිරීම යන සියල්ල නීති විරෝධී වේ. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සඳහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරන ලද හානිය සඳහා අධිකරණය මඟින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

    මෙම පස් කැනීම් කටයුතු ජාතික පාරිසරක පනතට අනුව ද නීති විරෝධී වේ. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වනාන්තර නොවන වෙනත් සංවර්ධන ක‍්‍රියාවලීන් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කැනීම් බලපත‍්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට නොහැකිය. මේ නිසා නිකුත් කර ඇති සියලූ බලපත‍්‍ර නීති විරෝධී වේ.

    ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව පස් කැනීම් කටයුතු සිදු කරන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය ම`ගින් ප‍්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර 2 ක් ඉක්මවා භූමි ප‍්‍රදේශ එළිකිරීම හා කැනීම් කටයුතු සිදු කිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ කිසිදු අනුමැතියකින් තොර ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් කැනීම් බලපත‍්‍ර නිකුත් කර ඇත.

    දේශපාලන බලය භාවිතා කර මේ ආකාරයෙන් රටේ ස්වාභාවික සම්පත් හා කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාව විනාශ කිරීම මගින් සිදු වන්නේ සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වීම ය. මේ තත්ත්වය ඇති කිරීමට අවස්ථාව ලබා දිය යුතු නැත. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත සහ පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරමින් මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය ඇතුළු ආයතන ඉඩම් නිර්දේශ ලබා දීම හා කැනීම් බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කර ඇත. එම ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ව ඇති අතර වනාන්තරයට සිදු කර ඇති හානිය, හානි පූරණය කිරීමට කටයුතු කළ යුතු ව ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • මගී ප්‍රවාහන සේවයේ නියුතු වූවන්ට ‘ලීසිං පහසුකම් සඳහා’ සහන යෝජනා ක්‍රමයක්

    මගී ප්‍රවාහන සේවයේ නියුතු වූවන්ට ‘ලීසිං පහසුකම් සඳහා’ සහන යෝජනා ක්‍රමයක්

    මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මින් ඉදිරියට මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) වෙත දැනුම් දී ඇත.

    මෙම ණය සහන යෝජනාක්‍රමය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් අතරට පොදු මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රි රෝද රථ ඇතුළු කුළී රථ සේවා ආදී පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන්නන්, සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන් ඇතුළත් වේ. මෙම ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ණය ගනුදෙනු කරුවන් විසින්, ඒ සඳහා ඉල්ලීමක් ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් අදාළ මූල්‍ය ආයතනය වෙත 2021 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට පෙර යොමුකල යුතුය. කෙසේ වෙතත්, සාධාරණ හේතු මත, මෙම දිනයට පසුව වුවද යොමු කරනු ලබන ඉල්ලීම් සලකා බලන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත දන්වා ඇත.

    මූල්‍ය ආයතන විසින්, සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ, මීට පෙර ණය සහන කාලයන්ට යටත් වූ කල්බදු පහසුකම් ද ඇතුලත්ව 2021 මාර්තු 31 වන විට සක්‍රිය කාණ්ඩයේ පැවති කල්බදු පහසුකම් සඳහා ණය සහන කාලයක් ලබා දෙනු ඇති අතර, ඒ සඳහා අමතර පොලියක්, 2021 අප්‍රේල් 01 වන දිනට ආසන්නතම දින-364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතිකයට ආන්තිකයක් එකතු කල පොලී අනුපාතයක් යටතේ, අය කරනු ඇත.

    කෙසේ වෙතත්, එම අමතර පොලිය කල් දමන ලද වාරික වල වටිනාකම මත පමණක් අය කල යුතුය. බලපත්‍රලාභී බැංකු සඳහා මෙම ආන්තිකය වාර්ෂිකව සියයට 1 ක් වන අතර බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් සඳහා අයකල හැකි උපරිම අමතර පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 11.5 නොඉක්මවන ලෙසින් සියයට 5.5ක ආන්තිකයක් නියම කර ඇත. මෙම යෝජනාක්‍රමයට ඇතුළත් කල්බදු පහසුකම් සඳහා කිසිදු දඩ පොලියක් අය නොකරන ලෙසට මූල්‍ය ආයතන දැනුවත් කර ඇත.

    පාසල් යලි ආරම්භ කිරීම, කාර්යාල, ව්‍යාපාරික ස්ථාන සහ ගුවන් තොටුපල යලි විවෘත කිරීම ආදිය සමඟ ජන ජීවිතය ක්‍රම ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වීම, දීර්ඝ කරන ලද ණය සහන යෝජනාක්‍රමය නිසා මූල්‍ය ආයතන වලට වන බලපෑම සහ පවත්නා එන්නත්කරණ වැඩ පිලිවල ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, 2019 සහ 2020 වසර වලදී ලබා දුන් ණය සහන යෝජනා ක්‍රමයන්ට අදාල කල් දමන ලද ණය වාරික, කල්බදු සඳහා ලබා දුන් මෙම ණය සහන කාල සීමාව තුලදී පියවීමට ඇති නම් ඒවා පියවාගැනීමට මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත. කොවිඩ්-19 වසංගත කාලය තුල ලබා දුන් ණය සහන කාලය නිසා වාරික ගෙවීමේ දී ණය ගනුදෙනුකරුවා අනවශ්‍ය ලෙස පීඩනයට ලක් වීමෙන් වැලකෙන පරිදි මෙම කල්බදු වාරික සහ ණය සහන කාලය ට අදාල වාරික අයකිරීම ව්‍යුහගත කර ඇත.

    සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට සිය අදායම් උත්පාදන කටයුතු පවත්වාගෙනයමින් කල්බදු පහසුකම් වල ආපසු ගෙවීම් කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන අයුරින් මෙම දීර්ඝ කරන ලද ණය සහන කාලය ක්‍රියාත්මක කරන ලෙසට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

    සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට මෙම ණය සහන යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු, අදාළ මූල්‍ය ආයතන වෙතින් ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) දක්වා ඇත.

  • ශ‍්‍රී ලංකාව එක්දින තරගාවලියත් පරාදයි

    ශ‍්‍රී ලංකාව එක්දින තරගාවලියත් පරාදයි

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය.

    වනිඳු හසරංගගේ වාර්තාගත ලකුණු 80 ත් සමඟ 7 වැනි කඩුල්ල වෙනුවෙන් අෂේන් බණ්ඩාර සමග එක්ව ගොඩ නංවන ලද ලකුණු @ ක සම්බන්ධතාව හේතුකොට ලකුණු 275 ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායම හමුවේ ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණත් කොදෙව් පිතිකරුවන් මෙල්ල කර ගැනීමට නොහැකි වීම මත අවසන් තරගයද ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය.

    ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් විසින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ජයග්‍රහණය සනාථ වද්දී කොදෙව් ලකුණු පුවරුවේ කඩුලු 5 ක් සහ පන්දු 9 ක් ඉතිරිව තිබිණ.

    ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව පහර දෙමින් සිටියදී යළිත් මැද පෙළ අසාර්ථක භාවයට පත් වුණු නමුත්, සුපුරුදු පරිදි පසු පෙළින් පුණර්ජීවනයක් ලබා දීමට වනිඳු හසරංග සහ අෂේන් බණ්ඩාර සමත්විය. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය හේතු කොට ගෙන ප්‍රතිවාදී කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ දැවැන්ත පහරවල් සහිත පිතිකරුවන්ට වැඩි වගකීමක් භාර වීමයි. කෙසේ වෙතත් පන්දු යැවීමේදී කොදෙව් පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වීම කැපී පෙනෙන්නක් විය.

    පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා පිලට මහත් වදයක් වුණු ආරම්භක පිතිකරුවනු වන එවින් ලුවිස් සහ නිකලස් පූරාන්ව ඉක්මනින් දවා ගැනීමට පන්දු යවන්නන් සමත් වුවත් අඛණ්ඩව 6 වැනි වතාවටත් ලකුණු 50 සීමාව ඉක්මවා ලමින් ලකුණු 64 ක් ලබාගත් ෂායි හෝප් සහ වසර 5 කට පසුව ශතකයක් රැස් කිරීමට ඩැරන් බ්‍රාවෝ සමත්වීම, තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට අතහැර දැමීමට ප්‍රධාන හේතු කාරක වූහ.

    පන්දු 132 කින් සමන්විත වුණු බ්‍රාවෝගේ ලකුණු 102 ක ඉනිම ඔහුගේ සිව්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වශයෙන් සටහන් විය. 2016 වසරෙන් පසු ශතකයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටි වමත් පිතිකරුවා ලකුණු 50 සීමාව ඉක්මවා ගියේදී වසර 2 කට පසුව වීම විශේෂත්වයකි.

    නායක කිරන් පොලාර්ඩ් සමඟ 5 වැනි විකට්ටුව වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 80 ක් එක් කළ බ්‍රාවෝ යග්‍රහණයට ලකුණු 26 ක් තිබියදී දැවී ගිය නමුත් ඒ වන විටත් පන්දු 23 ක් සහ නායකයා කඩුල්ලේ රැඳී සිටීම මත කොදෙව් ජයග්‍රහණය අසීරු නොවීය.

    ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට ධනුෂ්ක ගුණතිලක සහ නායක දිමුත් කරුණාරත්න සමත් වුවත් ඔවුන් දෙදෙනාම අර්ධ ශතක හෝ ඉක්මවාලීමට නොහැකි විය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම ලකුණු 300 සීමාව කරා යෑමට අපොහොසත් වුණු ප්‍රධාන කරුණ බවට පත්විය.

    ලකුණු 151 කට කඩුලු 6 ක් වැටී තිබියදී අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංගගේ ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වඩා අසීරු වන්නට ඉඩ තිබිණ. ජේසන් හෝල්ඩර් යවන ලද අවසන් පන්දුවාරයේදී හතරේ පහර 3 ත් හයේ පහරත් සමඟ ලබා ගන්නා ලද ලකුණු 20 ත් සමඟ ශ්‍රී ලංකාවට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවකාශ විවර විය.

    පන්දු 60 කදී වාර්තා වුණු වනිඳුගේ නොබිඳුණු ලකුණු 80 ක ඉනිම ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 8 ස්ථානයේ පන්දුවට පහර දී තිබෙන පිතිකරුවකු විසින් වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවේ ශ්‍රී ලංකා වාර්තාව බවට පත්විය. මීට පෙර එම වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ලකුණු 73 ක් ලබා සිටි නුවන් කුලසේකර විය.  

    වනිඳුගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 ඇතුළත ලකුණු 63 ක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණු අතර එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් වනිඳුගේ පිත්තෙන් එල්ල කර තිබුණේය. 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 123 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔහුට අනගි සහායක් ලබා දුන් අෂේන් බණ්ඩාර පන්දු 74 කදී හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55 ක් ලබා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු 21 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා පිල දෙදින පුහුණු තරගයකට කූලිජ්හිදී සහභාගිවීමට නියමිතය. එම පුහුණු තරගය 17 සහ 18 යන දෙදිනදී පැවැත්වෙනු ඇත.

    Text by sri lanka cricket

  • Online වංචාවලින් ආරක්ෂා වෙමින් භාණ්ඩ ඇණවුම් කරන්නේ කෙසේ ද?

    Online වංචාවලින් ආරක්ෂා වෙමින් භාණ්ඩ ඇණවුම් කරන්නේ කෙසේ ද?

    “මම ඕඩර් කළ ගවුමට සම්පූර්ණ වෙනස් බාල රෙදි වර්ගයකින් මහපු ඇඳුමක් තමයි ලැබුණේ. ඒක ආපහු යවලා සල්ලි නැවත දෙන්න ඉල්ලුවහම ප්‍රසිද්ධියේ අපට බැනලා කොමෙන්ට්ස් දානවා. අපේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ප්‍රචාරය කරනවා. ලොකු වංචාවක් සිද්ධ වෙන්නේ,” තරින්ද්‍රි ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

    Online scams in Sri Lanka
    වම්පස: ඔන්ලයින් විකිණීමට තිබුණු ගවුමේ ඡායාරූපය, දකුණුපස: පාරිභෝගිකයාට නිවසට ලැබුණු ගවුම

    විටින් විට විවිධ නම්වලින් පෙනී සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇඳුම් අලෙවි කරන ආයතනයකින් තරින්ද්‍රි භාණ්ඩ ඇණවුම් කර ඇති අතර, ඇයට ලැබී ඇත්තේ හාත්පසින් වෙනස් භාණ්ඩය.

    ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ආයතනය ඇතුළු තවත් විවිධ ‘ඔන්ලියින්’ වංචාවලට එරෙහිව බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හඬ නගා තිබුණ ද, තවමත් දිනපතා මෙවැනි වංචා සිදුවන බව බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි.

    “මගේ මහත්තයා ලංකාවේ ඔන්ලයින් ෂොප් එකකින් ඇඳුමක් ඕඩර් කරලා මට තෑග්ගක් දෙන්න බලාගෙන. ඒ අය ඉන්ස්ටග්‍රෑම් එකේ දාලා තියෙන්නේ සෑහෙන ලස්සන ඇඳුම්වල පිංතූර. ඒවාට අහු නොවෙන කෙනෙක් නැහැ. ඒ වගේම ලස්සන වචන භාවිත කරලා තියෙනවා හැඳින්වීම්වල,” සිය වාසගම හෙළි නොකරන්න යැයි ඉල්ලීමක් ද කරමින් අමාලි සිය අත්දැකීම් පැවසුවාය.

    “ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා. නිකම් බාල කපු රෙදිවලින් අපිළිවෙලට මහලා කුණු ගොඩක් වගේ ඇඳුමක් එතන තිබුණේ. ඒ ඇඳුම රුපියල් 2,000ක්.”

    “මේ ගැන වහාම අදාළ ආයතනයට දැන්වූවා. ඒ අයගේ පිළිතුරු තමයි මගේ ඇඟ කැත නිසා ඇඳුම් හරියන්නේ නැහැ, ඒකට ඒ අයට කරන්න දෙයක් නැහැ කියලා. මට කඳුළු ආවා ඒක දැකලා,” ඇය පැවසුවාය.

    Online scams in Sri Lanka

    අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා වර්තමානයේ දී අප ජීවිතයේ අනිවාර්ය කොටස්කරුවන් බවට පත්ව තිබේ. නමුත් මීට දශක කීපයකට පෙර අන්තර්ජාලය භාවිත කිරීම නගරබදව විසූ අතළොස්සකට පමණක් සීමා විය.

    ලොව සිදුවන ඕනෑම සිද්ධියක් තත්පරයකට අඩු කාලයක දී ගූගල් ඔස්සේ දැනගත හැකිය. එමෙන්ම සමාජ මාධ්‍ය ජාලවලින් සිය අදහස් දැක්වීම, දේශපාලනය, ව්‍යාපාර ප්‍රවර්ධනය, ගණුදෙනු, විවිධ සමාජ කණ්ඩායම් ක්‍රියාත්මක කිරීම, මිතුරන් සමග සම්බන්ධතා පැවැත්වීම මෙන්ම එක බොත්තමක් එබීමෙන් එම සම්බන්ධතා නතර කිරීමට ද ඉඩ ලැබී ඇත.

    මිනිස් වර්ගයාගේ ප්‍රමුඛ මෙවලමක් බවට පත්ව ඇති අන්තර්ජාලයෙන් ප්‍රයෝජන බොහොමයක් ඇති නමුත්, එය අවභාවිත කරන විශාල පිරිසක් ද සිටීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි කොටසක් විවිධ වංචාවලට හසු වීමේ ඉඩකඩ විවර වී තිබේ.

    “අන්තර්ජාලය සම්බන්ධ ගැටලු වංචා නඩු සෑහෙන ප්‍රමාණයක් දැන් උසාවිවලට එනවා. ඇත්තටම ව්‍යාපාර ගණුදෙනුවලට විතරක් නෙමෙයි, දික්කසාද, ඉඩම් නඩු, අපරාධ නඩු යන සියල්ලටම සාක්ෂි ලෙස හෝ අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ වෙන බොහෝ අවස්ථා තියෙනවා,” නීතිඥ ෆාතිමා නුස්රත් පැවසුවාය.

    “කොහොම වුණත් භාණ්ඩ හා සේවා වංචාවක් සිදුවුණොත් මුලින්ම ඉතා ඉක්මණින් පාරිභෝගික සේවා පැමිණිලි අංශයට දන්වන්න ඕනේ. දැන් එයත් අන්තර්ජාලය හරහාම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ වෙනත් වංචා සහ අපරාධයක් සිදු වුණා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුයි.”

    “යම් වංචාවක්, අපරාධයක් සිදු වුණාම මූලික වශයෙන් සිදු කරන්න ඕනේ මේ දේවල්. නමුත් මිනිස්සු නොකරන්නෙත් ඒකමයි. රටේ ශක්තිමත් පැහැදිලි නීතියක් සහ ආයතන සැකසිලා තියෙද්දී, ඒවා ප්‍රයෝජනයට නොගැනීම කණගාටුවට කරුණක් සහ වංචාකාරයින් තවත් ශක්තිමත් කිරීමක්,” ඇය තවදුරටත් පැවසීය.

    Online scams in Sri Lanka

    අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළෙඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් ගැන පසුගියදා විමර්ෂණයක් සිදු කෙරිණි.

    එම ආයතනය රුපියල් 100 කට මිල නියම කර තිබෙන සැමන් ටින් රුපියල් 550 කටත්, රුපියල් 150ක් වන බී ලූනූ කිලෝවක් රුපියල් 500කටත්, රුපියල් 65ක් වන පරිප්පු කිලෝව රුපියල් 180කටත්, රුපියල් 92ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350කටත් අලෙවි කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් විය.

    මෙම අධික මිල ගණන් යටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමට එම වෙළෙඳ සමාගම පොරොන්දු වී තිබේ.

    අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවා ද?

    මේ වන විට නිවසට අවශ්‍ය විදුලි උපකරණ, ගෘහ භාණ්ඩවල සිට අල්පෙනිති පෙට්ටිය දක්වා සියල්ල අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීමේ පහසුකම තිබේ.

    කොරෝනාවෛරස වසංගතය මැද ලොව පුරා සීමා පැනවීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම් පවා නිවසට සීමා වූ අතර, එම කාලය තුළ ‘ඇමසන්’ වැනි භාණ්ඩ විකුණන වෙබ් අඩවිවල ලාභය 40%කින් වැඩි වී තිබේ.

    අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේ දී සැලකිය යුතු කරුණු ගැන පරිගණක ඉංජිනේරු රංගන කළුතන්ත්‍රි පැහැදිලි කළේය.

    විශ්වසනීය වෙබ් අඩවියක් තෝරාගැනීම

    භාණ්ඩ මිලදී ගැනීමේදී රට තුළ ජනප්‍රිය වෙබ් අඩවි කීපයක් ඇති අතර, eBay, Alibaba, Aliexpress වැනි විදේශීය සමාගම් හරහා ද තොග සහ සිල්ලර වශයෙන් භාණ්ඩ ඇණවුම් කළ හැකිය.

    විශ්වසනීය වෙබ් අඩවියකට පිවිස තමන්ට කැමති භාණ්ඩයේ නම සෙවුම් කොටුවට ඇතුළු කළ යුතුය. එසේ නොහැකි නම් අදාළ භාණ්ඩයේ නම සහ එය ශ්‍රී ලංකාවෙන් මිල දී ගැනීමට අවශ්‍ය යයි ගූගල්හි ටයිප් කිරීමෙන් එම භාණ්ඩය ඇතුළත් වෙබ් අඩවි සියල්ලම පාහේ විවෘත වෙනු ඇත. ඒ අතරින් වඩාත් විශ්වාසදායක වෙබ් අඩවිය තෝරා ගැනීම ඔබ සතු වගකීමකි. ඒ සඳහා අදාළ වෙබ්අඩවිය පිළිබඳ ගූගල් ‘රිවීව්’ කියවීම වඩාත් උපකාරී වේ.

    ගූගල් සෙවීම් උදාහරණ:

    • Buy dinner plates in Sri Lanka
    • Dinner plates to sell in Sri Lanka
    • Dinner plates prices in Sri Lanka

    භාණ්ඩයේ මිල වෙනත් වෙබ්අඩවි සමග සංසන්දනය කිරීම

    අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේ දී යමෙකුට හිමිවන වැදගත්ම වාසිය නම් ඉතා කෙටි කාලයක් ඇතුළත එකම භාණ්ඩය විවිධ ආයතනවල විකුණන මිල ගණන් සංසන්දනය කිරීමට ඇති හැකියාවය. ඒ අතරින් මිල අඩුම හෝ වෙනත් වාසියක් ලබා දෙන විශ්වාසවන්ත ආයතනයකින් ඔබට අදාළ භාණ්ඩය ඇණවුම් කළ හැකිය.

    Online scams in Sri Lanka
    වම්පස: වෙබ්අඩවියේ පළවූ ඡායාරූපය, දකුණු පස: පාරිභෝගිකයාට ලැබුණු ගවුම

    ඇණවුමට පෙර විස්තර කියවන්න

    භාණ්ඩයේ විස්තර මෙන්ම, වගකීම් සහතික, තැපැල් හෝ ප්‍රවාහන ගාස්තු, එයට ගතවන කාලය, ඔබ භාණ්ඩයට අකමැතිනම් එය ආපසු යැවීමේ ක්‍රියාවලිය ගැන සියලු විස්තර කියවා දැනගැනීම අත්‍යවශය කරුණකි.

    මුහුණට මුහුණ හමු වී භාණ්ඩ මිලදී ගැනීමේ දී වෙළෙන්දා භාණ්ඩය සහ ඊට අදාළ සේවා විස්තර කළ ද, අන්තර්ජාලයෙන් මිල දී ගැනීමේ දී භාණ්ඩය ගැන දැනගැනීමේ සියලු වගකීම ඇත්තේ ඔබ සතුවය.

    ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක ඇතුළත් කිරීම අවධානයෙන්සිදු කරන්න

    ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක සහ පෞද්ගලික දත්ත ඇතුළත් කළ පසු බොහෝ විට ස්වයංක්‍රීයව ඔබව වෙනත් වෙබ් අඩවියකට ඇතුළු කරනු ඇත. අදාළ ආයතන ගෙවීම් ලබා ගන්නේ මේ වෙබ්අඩවිය හරහාය. නමුත්, එම වෙබ්අඩවිය ආරක්‍ෂිත දැයි සොයා බැලිය යුතුය. එම වෙබ්අඩවි සබැඳියේ මුල https:// හෝ ‘ලොක්’ එකක ලකුණක් ඇත්නම් එය ආරක්‍ෂිත වෙබ් අඩවියක් ලෙස සැලකේ.

    ගෙවීම් සම්පූර්ණ කර භාණ්ඩ ඇණවුම් කළ පසු ඔබට විද්‍යුත් පණිවිඩයක් ලැබෙන අතර, මිලදීගැනීමට අදාළ පරිග්‍රහණ අංකයක් (Reference number) එහි සඳහන් වේ. ප්‍රවාහනය ගැන තොරතුරු හෝ භාණ්ඩ නැවත යැවීමට අවශ්‍ය නම් මෙම පරිග්‍රහණ අංකය බොහෝ විට ඉදිරිපත් කළ යුතුය.

    බදු සහ වෙනත් ගාස්තු ගැන දැනුවත් වීම

    භාණ්ඩ මිලට ගැනීමේ දී යම් අතිරේක බදු මුදලක්, ගාස්තුවක් ගෙවීමට සිදුවේද යන්න පිළිබඳව ද සැළකිලිමත් විය යුතුය.

    භාණ්ඩ ඇණවුම් සඳහා ඉන්ටර්නෙට් කැෆේ හෝ නොමිලේ ලබා දෙන WiFi භාවිත කිරීමෙන් වළකින්න

    අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලට ගැනීමේ දී තම සංවේදී පෞද්ගලික දත්ත බොහොමයක් ඇතුළත් කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් හැකි සෑම විටම පෞද්ගලික උපකරණ ඔස්සේ පමණක් ගනුදෙනු සිදු කිරීමෙන් අනවශ්‍ය ලෙස ඔබේ තොරතුරු පිටතට යෑම වළක්වා ගත හැකිය.

    අවන්හල් වැනි ස්ථානවල මුරපදය (password) නොමැතිව ලබා දෙන WiFi හරහා මුදල් ගෙවීම් සිදු කිරීමෙන් වැළකිය සිටිය යුතුය.

    වෙබ්අඩවියේ නියමයන් සහ කොන්දේසි ගැන අවධානයයොමු කරන්න

    භාණ්ඩ මිල දී ගන්නා වෙබ් අඩවියේ නියමයන් සහ කොන්දේසි (Terms & Conditions) සහ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිය (Privacy Policy) කියවා අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබට භාණ්ඩ, සේවා සහ පෞද්ගලික දත්ත සම්බන්ධ බොහෝ ගැටලු මඟ හැර ගත හැකිය.

    Online scams in Sri Lanka

    වෙනත් වංචා ද බොහොමයි!

    භාණ්ඩ හා සේවා පමණක් නොව තව බොහෝ වංචා ගැන ෆේස්බුක් සමාගම අනතුරු අඟවා ඇති අතර, එවැනි වංචනික දේ හඳුනාගන්නා ආකාරය ගැන ද උපදෙස් ලබා දී තිබේ.

    ෆේස්බුක් සමාගමට අනුව:

    ෆේස්බුක්හි වංචාවන් සිදුවන්නේ පරිශීලකයන් ව්‍යාජ ගිණුම් නිර්මාණය කළ විට හෝ පවතින ෆේස්බුක් ගිණුම් හෝ ඔබ ‘ලයික්’ කර ඇති පිටුවලට අනවසරයෙන් යම් පුද්ගලයෙක් ඇතුළු වූ විටය.

    වංචාකරුවන් මෙම ව්‍යාජ හෝ හැක් කළ ගිණුම් භාවිත කර මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබා දීමට ඔබව පොළඹවයි.

    ෆේස්බුක් ආයතනය දක්වන පරිදි පොදුවේ දැකිය හැකිය හැකි වංචා:

    ආදරය සොයා පැමිණීම

    ‘රොමෑන්ටික්’ වංචාකරුවන් සාමාන්‍යයෙන් තමන් නොදන්නා අයට ආදරය හෝ ඒ හා සමාන දේ ඇතුළත් පණිවිඩ යවන්නේ බොහෝ විට දික්කසාද වූ, වැන්දඹුවක හෝ දුක්ඛිත විවාහයක සිටින බව මවාපාමිනි.

    ගුවන් ගමන්, වීසා බලපත්‍ර හෝ පෞද්ගලික දේ සඳහා මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් මෙම වංචාකාරයන් අදාළ සබඳතා ගොඩනගා ගනු ඇත. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ඔබේ විශ්වාසය දිනා ගැනීම වන අතර, එබැවින් ඔවුන් මුදල් ඉල්ලීමට පෙර සති ගණනක් දිගටම සංවාද පවත්වනු ඇත.

    “මට එක මනුස්සයෙක් දිගටම මැසේජ් එවන්න ගත්තා. මම මුලින් රිප්ලයි කළා. නමුත් පස්සේ එයාට මොලයේ ගෙඩියක් තියෙනවා ඒකට බෙහෙත් ගන්න සල්ලි නැහැ කියලා රුපියල් 5,000ක් ඉල්ලුවා. මම පළවෙනි පාර දුන්නා, නමුත් ආයෙත් ඉල්ලුවා. එතකොට මට තේරුණා මෙතන වංචාවක් තියෙන බව, මම ඉක්මණට එයාව බ්ලොක් කළා,” නම හෙළි කිරීමට අකමැති කාන්තාවක සිය අත්දැකීම් පැවසුවාය.

    Online scams in Sri Lanka
    ඕනෑවට වඩා හොඳ යැයි හැඟෙන ඇබෑර්තු දැන්වීම් හෝ රැකියාව ලැබීමට පෙර මුදල් ගෙවීමක් සිදු කළ යුතු යැයි සඳහන් දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න

    දිනුම් ඇදීමේ වංචා

    දිනුම් ඇදීමේ වංචා බොහෝ විට සිදු කරනුයේ ඔබ දන්නා කෙනෙකු හෝ සංවිධානයක් (රජයේ ආයතනයක් හෝ ෆේස්බුක් වැනි) ලෙස පෙනී සිටින ගිණුම් හෝ පිටුවලින්ය.

    ඔබ දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති අතර කුඩා අත්තිකාරම් ගාස්තුවකට ඔබේ මුදල් ලබා ගත හැකි බව මෙම පණිවිඩවලින් කියැවේ. පෞද්ගලික ලිපිනය හෝ බැංකු තොරතුරු වැනි පුද්ගලික තොරතුරු ලබා දෙන ලෙස වංචාකරු ඔබෙන් ඉල්ලා සිටිය හැකිය.

    ණය වංචා

    කුඩා අත්තිකාරම් ගාස්තුවකට අඩු පොලී අනුපාතයකට ක්ෂණික ණය ලබා දෙන බව පවසමින් පණිවිඩ යැවීමට ණය වංචාකරුවෝ ක්‍රියා කරති.

    රහසේ ගිණුමට ඇතුළුවීම:

    ඔබගේ ෆේස්බුක් ගිණුමට හෝ පිටුවට ප්‍රවේශය ඉල්ලා සිටින සබැඳියක් (link) ඔබට ලැබීමට ඉඩ ඇත. මෙය නීත්‍යානුකූල යෙදුමකින් ආවා සේ පෙනෙන නමුත්, ඒ හරහා ඔබගේ ගිණුමට ප්‍රවේශය ලබා ගැනීමට සහ ගිණුම හරහා වංචනික දේ ව්‍යාප්ත කිරීමට හැකිය.

    රැකියා වංචා

    රැකියා වංචාකරුවන් ඔබේ පෞද්ගලික තොරතුරු හෝ මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා නොමඟ යවන හෝ ව්‍යාජ රැකියා පළ කිරීම් භාවිත කරයි.

    ඕනෑවට වඩා හොඳ යැයි හැඟෙන ඇබෑර්තු දැන්වීම් හෝ රැකියාව ලැබීමට පෙර මුදල් ගෙවීමක් සිදු කළ යුතු යැයි සඳහන් දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. රැකියා දැන්වීම් සබැඳියක් ක්ලික් කරන විට, ඉන් පෙර පළ කර ඇති දැන්වීම් හා සම්බන්ධ නැති, නැත්නම් සංවේදී පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවි ගැන විමසිල්ලෙන් සිටින්න.

    අවධානයෙන් සිටිය යුතු දේවල්

    • ඔබ පෞද්ගලිකව නොහඳුනන පුද්ගලයන්.
    • ණයක්, ත්‍යාගයක් හෝ වෙනත් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා මුදල් එවන්නැයි ඔබෙන් ඉල්ලා සිටින පුද්ගලයින්.
    • රැකියාවකට ඉල්ලුම් කිරීම සඳහා ගාස්තුවක් ගෙවන ලෙස ඔබෙන් ඉල්ලා සිටින ඕනෑම අයෙක්.
    • විශාල සමාගම්, සංවිධාන හෝ ප්‍රසිද්ධ පුද්ගලයින් නියෝජනය කරන ව්‍යාජ පිටු.
    • ෆේස්බුක් ඔස්සේ ආරම්භ කෙරුණු සංවාදය වෙනත් පණිවිඩ හුවමාරු ක්‍රමයට මාරු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටින පුද්ගලයන්.
    • හදිසි අවස්ථාවකදී මිතුරෙකු හෝ ඥාතියෙකු යැයි කියා ගන්නා පුද්ගලයන්.
    • තමන් සිටින තැන නිවැරදි ලෙස නිරූපණය නොකරන පුද්ගලයින්. යමෙකු ඔවුන්ගේ ජංගම දුරකථන අංකය භාවිත කරමින් මැසෙන්ජර් සඳහා ලියාපදිංචි වුවහොත්, ඔවුන්ගේ දුරකථන අංකය කුමන රටකට අයත් දැයි ඔබට පරීක්ෂා කළ හැකිය.
    • එමෙන්ම, ව්‍යාජ පිටුවක් යැයි ඔබට සැක සිතන්නේ නම්, එම පිටුවේ ද ස්ථානය පරීක්ෂා කළ හැකිය.
    • දුර්වල අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ වැරදි සහිත පණිවිඩ හෝ සටහන්.

    පොලිසියට පැමිණිලි

    සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් මුදල් වංචා කිරීම් පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශය 2020 සැප්තැම්බර් මස නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට මෙම පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.

    තායිලන්තයේ රැකියා පුරප්පාඩු ගැන ප්‍රචාරය කර මුදල් වංචා කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ගැනත්, පුද්ගලයෙකු මෝටර් රථයක් දිනාගෙන ඇති බවට පවසමින් ව්‍යාජ පණිවිඩ යවා යම් බැංකු ගිණුමකට මුදල් මාරු කරන ලෙස ඉල්ලා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

    මීට අමතරව, වංචනික විවාහ යෝජනා, පිටරට සිට එවූ තෑගි රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලෙසටත් ඉල්ලමින් පණිවිඩ ලැබී ඇති බවට ද පැමිණිලි ලැබී තිබේ.

    සංවිධානාත්මක කණ්ඩායම් සිදු කරන මෙවැනි මුදල් වංචාවන්ට ගොදුරු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Online scams in Sri Lanka
    පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුළතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුළතදීය

    මහ බැංකු නිවේදනය

    සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන මූල්‍ය වංචා සහ වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී තිබේ. වර්තමානයේ දී, මෙවැනි ආකාරයේ වංචාවන්හි වැඩි වීමක් නිරීක්ෂණය වී තිබෙන බව 2019 නොවැම්බර් 21 වෙනිදා නිකුත් කළ මහ බැංකු නිවේදනයේ සඳහන් වේ.

    මෙම වංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව එහි සඳහන් වේ.

    එවැනි ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය අතරතුර, වංචාකරුවන් බැංකු ගිණුම් අංක සහ පෞද්ගලික හැඳුනුම්පත් අංක වැනි රහස්‍ය තොරතුරු බෙදා ගැනීමට මහජනයා පොළඹවයි. පුද්ගලයන්ගේ ගිණුම් වෙත පිවිස මුදල් සොරකම් කිරීමට වංචාකරුවෝ මෙම රහස්‍ය තොරතුරු යොදා ගනිති.

    මෙම වංචා පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු රහස්‍ය තොරතුරක්, විශේෂයෙන් ගිණුම් පරිශීලක නාම, මුරපද, PIN, OTP (One-Time-Passwords) හෝ ගිණුමට පිවිසීම සඳහා අවශ්‍ය වෙනත් තොරතුරු කිසිවෙකු සමඟ බෙදා නොගන්නා ලෙස මහ බැංකුව තරයේ අවවාද කරයි.

    ගිණුමේ ක්‍රියාකාරකම් කෙටි පණිවුඩ ඔස්සේ ලබා ගත හැකි සේවාවන් සිය බැංකුව හෝ මූල්‍ය ආයතනය ඔස්සේ ලබා ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් වේ. මෙමගින් ගිණුමේ යම් සැකසහිත ක්‍රියාකාරකමක් ගැන ක්ෂණිකව දැන ගැනීමට හැකිය.

    2021 ජනවාරි 21 දින නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූලම්‍ය වංචා ගැන වඩාත් සැළකිලිමත් වන ලෙසය.

    ඹබගේ පාරිභෝගික පැමිණිලි, පහත ලිපිනයට යොමු කරන්න:

    අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අංක 27, වොක්ෂෝල් වීදිය, කොළඹ 02.

    • ක්ෂණික ඇමතුම් 1977
    • පැමිණිලි අංශය 011-7755481-2-3
    • ෆේස්බුක් පිටුව: https://www.facebook.com/CAASriLanka

    පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුළතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුළතදීය.

    පැමිණිල්ලෙහි දැක්විය යුත්තේ කවරකුගේ අත්සනද?

    පැමිණිලි ලිපියෙන් පීඩාවට ලක්වූ පාර්ශවයෙහි (පැමිණිලි කරන්නාගේ) අත්සන තැබිය යුතුය.

    පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කවර ස්ථානයටද?

    පැමිණිලි කරන්නා පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් හෝ සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

    පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කා වෙතද?

    පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පැමිණිලි කරන්නා විසින් සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි සභාපති වෙත ඉදිරිපත් කළ යුතුය.

    අප පාඨකයින් දැනුවත් කළ හැකි සුවිශේෂ ලිපියක් හෙයින් බී.බී.සී. සන්දේශය වෙතින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • හමුදා පාලනයට එරෙහිව මියන්මාර කතුන්ගේ ලුන්ගි විප්ලවය ඉදිරියට

    හමුදා පාලනයට එරෙහිව මියන්මාර කතුන්ගේ ලුන්ගි විප්ලවය ඉදිරියට

    මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලාදමා එරට බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාවට එරෙහිව කාන්තා පරපුරත් මාවතට බැස සිටිති. එම කාන්තාවන් විසි හමුදා පාලනයට එරෙහිව භාවිත කරනු ලබන සටන් සංකේතයක් වී තිබෙන්නේ ඔවුන් අඳින සරමයි. නැත්නම් ලුන්ගියයි.

    බුරුම භාෂාවෙන් ‘Htamein’යනුවෙන් හඳුන්වනු ලබන එම කාන්තා ඇඳුම් සටන් සංකේතයක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාද? ඊට හේතුව කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් එම සමාජයේ පවතින සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයන්ය. කාන්තාවන් විසින් සිය සරොම් ලී කෝටු ආදියේ අමුණා ප්‍රදර්ශනය කරමින් ගෙනයමින් පවතින විරෝධතා ව්‍යාපාරය නම්කරනු ලැබ තිබෙන්නේ ‘සරම් විප්ලවය’ යනුවෙනි.

    කාන්තාවකගේ සරමක් හෝ ‘ලුන්ගියක්'(Htamein) යටින් පුරුෂයකු ගමන් කළොත් ඔහුගේ බලය සහ තේජස් මහිමය අවසන් වන්නේය යන්න මියන්මාර් සමාජයේ මුල්බැසගත් සාම්ප්‍රදායික විශ්වාසයකි. ‘තේජස’ බුරුම භාෂාවෙන් හැඳින්වෙන්නේ “hpone” යන වචනයෙනි. පුරුෂයෙක් කාන්තා ඇඳුමක් යටින් ගියොත් ‘තේජස’, නැතිනම් “hpone” අහිමිවේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි..

    Sarongs hang on washing line in Myanmar
    මියන්මාර් කාන්තාවන් ඔවුන්ගේ ‘Htamein’ සරම් රෙදි වේලන ලණුවල එල්ලා තබන ආකාරය

    දැන් මෙය සටන් උපක්‍රමයක් කරගෙන ඇත.

    ආරක්ෂක හමුදාව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනයා පදිංචි කලාපවලට ඇතුල්වීම වැලැක්වීමට කාන්තාවන් සිදුකරන්නේ තම ‘සරොම්’ මාවත ඉහළින් එල්ලා තැබීමය.

    ඇතැම් ස්ථානවල එම උපක්‍රමය මගින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතිබවත් වාර්තා වෙයි.

    සිය මෙහෙයුම් සඳහා ඉදිරියට යාමට පෙර පොලිස් නිලධාරීන් කාන්තාවන් විසින් එල්ලා තබන ලද ‘සරොම්’ වැල් කපා ඉවත්කරන දර්ශන සහිත පින්තූර සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරුවෙමින් තිබුණි.

    විරෝධතාවාදීන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මියන්මාරයේ යුද හමුදා පාලනය අවසන්කරන ලෙසය. එසේම අවුං සාන් සූ චී ඇතුළු මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින සියලු නායකයන් මුදාහරින ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. පසුගිය පෙබරවාරි මස පළමුවෙනි දිනයේ බලය අල්ලාගත් දින පටන් යුද හමුදා ජුන්ටාව විසින් අවුං සාන් සූ චී රඳවා තබනු ලැබ ඇත.

    යුද හමුදාව කියා සිටින්නේ මැතිවරණ ප්‍රෝඩාවන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බලය පවරාගත් බවකි. බලය පැහැරගත් යුද හමුදාව සිය ප්‍රධානී මෙන්ම හමුදාපති, ජනරාල් මින් අවුං හ්ලේන් (General Min Aung Hlaing) වෙත බලය පවරා ඇති අතර වසරක කාලයකට බල පැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

    ජනරාල් මින් දිගුකලක් තිස්සේ මියන්මාරයේ දේශපාලනයට බලපෑම් කරන චරිතයකි. රට කලක් පැවති යුදමය පාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට සංක්‍රාන්ති අවධියක් පසුකරමින් තිබූ වකවානුවේත් ජනරාල්වරයා සිය බලය සාර්ථක ලෙස භාවිත කරමින් සිටියේය.

    Women create a barrier across a street made of sarongs.
    මාර්ග බාධකයක්;ආරක්‍ෂක හමුදා වලක්වාලීම සඳහා සිය සරොම් යොදාගනිමින් මාර්ගය හරස් කරමින් සිටින කාන්තාවන් පිරිසක්

    පුළුල් විශ්වාසයක්

    තමන් විසින් දියත්කරනු ලැබ ඇති ‘සරොම් විප්ලවය’ සමඟ මියන්මාර කාන්තාවන් රැඳී සිටින්නේ ඔවුන්ගේ සමාජයේ පවතින පුළුල් විශ්වාසයක් අනුවය.

    ” මම හැදී වැඩුනේ කාන්තා සරොම් යනු අපිරිසිදු රෙදි කැබැල්ලක් සහ එය මට ඉහළින් තිබුණොත් එමගින් මගේ බලය පහත වැටෙනු ඇත යන මිත්‍යා විශ්වාසය මුල්බැසගත් සමාජයක. මගේ මිතුරන් එම මිත්‍යාව විශ්වාස කළා” මියන්මාරයේ ශිෂ්‍යයකු වන Htun Lynn Zaw පවසයි.

    එක්සත් රාජධානියේ වෙසෙන බුරුම ගත්කතුවරියක සහ ‘පොඩ්කාස්ට්’ සන්නිවේදනය කරන්නියක වන (podcaster) වන මිමී ඒයේ (MiMi Aye) අදහස් දක්වමින්, මියන්මාර කාන්තාවන් තම ලිංගිකත්වයට අදාළ මිත්‍යා විශ්වාස ඔවුන්ගේ වාසිය සඳහා උපයෝගීකර ගනිමින් සිටින්නේ යැයි සඳහන් කළාය.

    ”මේ මිත්‍යා විශ්වාසය මගින් මුලදී අදහස් කෙරුනේ කාන්තාවන් අපිරිසිදු නිසා පුරුෂයන්ගේ බලය අහිමිවීමක් නොවෙයි. එයින් අදහස් කෙරුනේ කාන්තාවන් ආශා උපදවන පෙළඹවීම් සහිත කොට්ඨාසයක් නිසා ඔවුන්ට දුර්වල පුරුෂයන් විනාශ කිරීමට හැකියාවක් තියෙනවය කියන එකයි”

    Burmese man wears sarong wrapped around his head in protest
    ජාත්‍යන්තර කාන්තා දිනයෙහි පුරුෂයන් ද කාන්තා සරම් පැළඳ ගත්හ

    එපමණක් නොව, කාන්තා සරම වාසනාවේ සංකේතයක් හැටියට සලකන සම්ප්‍රදායක් ද පැවති බව මිමී ඒයේ පෙන්වා දෙයි.

    ”මිනිස්සු යුද්දෙට යද්දි ඔවුන්ගේ අම්මලාගේ සරමක කුඩා කැබැල්ලක් අරගෙන ගිහින් ඔවුන් එම රෙදි කැබැල්ල කන්පෙති වැසීමට යොදාගෙන තියෙනව. 1988 දියත්වෙච්ච ‘8888’විරෝධතා ව්‍යාපාරයේ දී උද්ඝෝෂකයන් මව්වරුන්ගේ සරම් කැබලි ලේන්සු හැටියට පාවිච්චි කළා. ඒවා හිසවටා ගැට ගසාගෙන හිටියා” මිමී ඒයේ වැඩිදුරටත් විස්තර කළාය.

    ‘මේ දිනවල මියන්මාර කාත්නා සරම් ප්‍රසිද්ධ ස්ථානයන්හි බලය ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් ලෙස තෝරාගනු ලැබ ඇත.

    මාර්තු අටවෙනිදා,ජාත්‍යන්තර කාන්තා දිනයේ මියන්මාර කාන්තාවන් ඔවුන්ගේ සරොම් ලීකණුවල ගැටගසා ප්‍රදර්ශනය කරමින් යුද හමුදා පාලනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටි අතර එය නම්කරන ලද්දී ”සරම් විප්ලවය” යනුවෙනි.

    Young protestors hold flags made from sarongs
    මියන්මාරයේ මහජන විරෝධතා ව්‍යාපාරයට හවුල් වූ තරුණ ක්‍රියාකාරිකයන් මරා දමනු ලැබ ඇත
    Protestors using sarongs as flags in Myanmar
    විරෝධතාවාදීහු සරම් තමරටේ කොඩි ලෙස යොදාගනිමින් සිටිති

    තින්ෂාර් ෂුන්ලෙයි යී (Thinzar Shunlei Yi)මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි. ඇය සිය පින්තූරයක් ද සහිතව අන්තර්ජාලයේ මෙවැනි පණිවුඩයක් පළකරනු ලැබ ඇත.

    ”හමුදා පාලනයෙන් ලැබෙනවාට වඩා වැඩි රැකවරණයක් මට මගේ කොට කබාය…..මගේ සරමෙන් මට ලැබෙනවා”

    ඇතැම් විරෝධතාවාදීන් විසින් මියන්මාරයේ බලය පැහැරගත් ජ්‍යෙෂ්ඨ ජනරාල් මින් අවුං හ්ලේන්ග් ගේ පින්තූර සනීපාරක්ෂක තුවාවල අලවා ඒවා මහමග ඔස්සේ විසිකර දමනු ලැබ ඇත. එමගින් බලාපොරොත්තුවන්නේ යුදහමුදා භටයන් පෙරට ඒම වැලැක්වීමය. හමුදා සොල්දාදුවන් තම නායකයාගේ මුහුණ මත ඔවුන්ගේ පා තබමින් පාගා නොදමනු ඇත.

    Burmese woman uses her sarong as cape whilst adopting power pose
    සිය සරමක්(ලුන්ගියක්) පිට කබායක් ලෙස ඇඳ සිටින තින්ෂාර් ෂුන්ලෙයි යී

    ශිෂ්‍යයකු වන හ්තුං ලින් ෂෝ ( Htun Lynn Zaw) වැනි පිරිමින් ද හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටින්නේ සරම් හිසවට දවටා ගනිමිනි.

    ”මෙය විරෝධතා ව්‍යාපාරයට හවුල්වෙන නිර්භීත කාන්තාවන් සහෝදරත්වයෙන් ශක්තිමත් කරනු ලැබීමේ උපක්‍රමයක්” ඔහු සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩයක් තබමින් කියා සිටියි.

    Burmese with purple sarong wrapped round his head doing a three finger salute.
    ඇඟිලි තුනේ ආචාරය මියන්මාර විරෝධතා ව්‍යාපාරයේ සංකේතය බවට පත්ව ඇත

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වාර්තාකරන පරිදි මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන්හිදී මේවනවිට මරාදමනු ලැබ ඇති සංඛ්‍යාව 54කට අධිකය. ඔවුන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් වීම තවත් විශේෂත්වයකි.

    ලෝකයේ රටවල් රාශියක් මියන්මාර යුදහමුදාවේ ප්‍රචණ්ඩ මර්දනය හෙළාදකිනු ලැබ ඇතත් පාලක ජුන්ටාවේ නායකයන් කටයුතු කරමින් සිටින්නේ එම විරෝධය නොතකා හරිමිනි.

    මර්දනය දරුණු නමුත් මියන්මාරයේ කාන්තාවෝ සටන අත්නොහරිති. ඔවුහු හමුදා පාලනයට එරෙහිව දිගටම තම ඇඳුම පවා උපයෝගීකර ගනිමින් සිටිති.

    ඔවුන්ගේ රණගීය මෙයයි.

    ”අපේ සරම!අපේ ධජය! අපේ ජයග්‍රහණය!”

    text by – bbc

  • එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි

    එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි

    විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    “විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පසුගියදා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එය ජාතික ආරක්ෂාවට ඝෘජුව බලපාන ප්‍රකාශයක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කළා. ප්‍රකාශය කළ මන්ත්‍රීවරයා මට අමතකවුණා, සිහිනැතිවුණා, දන්නේ නෑ  යනුවෙන් විවිධ උත්තර දුන්නා.  මෙවැනි පදනම් විරහිත චෝදනා නගමින් කිසිවිටෙකත් ජනතාව මුලා නොකළ යුතුයි” ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ගෙනා යෝජනාවට පසුගිය රජය සම අනුග්‍රහය දැක්වීය. එකී ස්ථාවරය ප්‍රතික්ෂේප කළ වත්මන් රජය සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් විය. MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් වලින් ක්‍රමානුකූලව ඉවත්ව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ලැබීය. උද්ඝෝෂකයන්ට බැටන් පහර සහ කදුළු ගෑස් වෙනුවට විරෝධය පළ කිරිමට වෙනම ස්ථානයක් පවා වෙන් කෙරිණ. ජාතිකත්වයට, දේශීයත්වයට ප්‍රමුඛතාව දෙමින් කෘෂි ආර්ථිකයක් ගොඩනගමින් අපේ ගොවියා රැක ගැනීමට පියවර ගන්නා ලදී.

    මෙතෙක් කල් පිට රට ගොවීන් පොහොසත් කළ ආර්ථික පිළිවෙත වෙනස් කොට රට තුළ වගා කළ හැකි දේ වගා කරමින් අපේ ගොවියා පොහොසත් කිරීමට පරිසරය නිර්මාණය කෙරිණ. මෙවැනි පසුබිමක මානව හිමිකම් කවුන්සිලය ප්‍රථම වතාවට රජයට එරෙහිව වැඩිම චෝදනා ගණනක් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අයුරු තමා දැකගත්තේ මෙවර බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

    අද (13) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ජනපද කනිටු විදුහල් භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 14 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අරමුණයි.

    විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

    අම්බලන්ගොඩ නගරයේ සිට කි.මි 7ක දුරින් දකුණෙන් සහ නැගෙනහිරින් මාදම්පාවිල අභය භූමියටත්, බටහිරින් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලීගොඩ ග්‍රාමයටත් මායිම්ව ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. ගලගොඩවත්ත සුනාමි ගම්මානය, ගලගොඩ ජනපදය සහ ගලගොඩ නව ජනපදය ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 1072කින් සමන්විත ගලගොඩ නැගෙනහිර ග්‍රාමයේ ජනගහණය 3711කි. ධීවර කර්මාන්තය, වී වගාව, කුරුඳු සහ කොහු කර්මාන්තය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

    “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට ගලගොඩ මගනැගුම පිටියට පැමිණි ජනාධිපතිවරයා එතැන් සිට ජනපද කණිටු විදුහල දක්වා මාර්ගය දෙපස රැස්ව සිටී ජනතාව සමග කථා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

    SLT මොබිටෙල් ආයතනය ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, කුලීගොඩ සුමන විද්‍යාලයට හා කුමාර කාශ්‍යප විද්‍යාලයට අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

    “ගම සමග පිළිසඳර” ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ විහාරස්ථානවල පවතින අඩුපාඩු පිළිබඳව මහා සංඝරත්නයෙන් විමසීය.

    මාදම්පාගම මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට, අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලය, පැරෑලිය ශ්‍රී ජිනරතන විද්‍යාලය, ජනපද කණිෂ්ඨ විද්‍යාලය, වේරගොඩ විජයබා ද්විතියික පාසල, අකුරල කණිෂ්ඨ විද්‍යාලය, කුලීගොඩ සුමන විද්‍යාලය, කහව රතනසාර විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල් රැසක ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

    ගලබොඩ සහ අවට ගම්මානවල ජනයාගේ ප්‍රධාන ජීවනෝපායක් වන ධීවර කර්මාන්තයට බලපාන ගැටළු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ගැමියන් සහ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

    පැරෑලිය, දොඩන්දූව, අම්බලන්ගොඩ, හික්කඩුව හා බලපිටිය ධීවර වරාය සංවර්ධනය කඩිනම් කරන්නැයි එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන්ගේ ගැටළුවලට විසඳුම් දීමට විශේෂ අවධානය යොමු කෙරිණ.

    සුනාමි ධීවර නිවාස ප්‍රතිසංස්කරණයට සහ ඉඩම් හිමිකම් පිළිබඳව දීර්ඝ කාලයක සිට පැවති ගැටළු කඩිනම් නිරාකරණයට  රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

    ප්‍රදේශයට ආවේණික කොහු ලනු, පැදුරු, කොහු සහ ඉදල් කර්මාන්තය ඇතුළු වෙනත් හස්ත කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගැටළු විශේෂයෙන් විමර්ශනය කළ ජනාධිපතිතුමා ඔවුනට අවශ්‍ය පහසුකම් සහ වෙළෙඳපොළ සපයා දෙන ලෙස නිලධාරීන්ට දැන්වීය.

     බලපිටිය, මාදුව පාලම, රත්තගම දේවිතිගොඩ පාලම ඉදිකිරීම ඇතුළු ප්‍රදේශයේ මාර්ග 21ක් සහ කෙටිදුර මාර්ග 49ක් කාපට් අතුරා සංවර්ධනයට තීරණය කෙරිණ.

    බූස්ස, පිටිවැල්ල, කදුරූපේ ප්‍රදේශවල පුරන්ව ඇති කුඹුරු ජලාශ බවට පත්කර මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සවංර්ධනයට අනුමැතිය හිමි විය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ හඳුනාගෙන ඇති පුරන් කුඹුරු අක්කර 700ක පොල් වගා කිරීමට, අක්කරය බැගින් තරුණයන් 700ක් අතර බෙදා දෙන ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    සංචාරක, සෞඛ්‍ය, පානීය ජල, විදුලිය, කිරිගව පාලනය ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින ගැටළු කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

    හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

    “ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

    අමාත්‍ය රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, ශාන් විජයලාල්ද සිල්වා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් ගලගොඩ නැගෙනහිර ජනපද කනිටු විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

    (  ඡායාරූප : උපුල් නිලංග, ඩී. සමරකෝන්, ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය)

  • මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

    මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

    දැන් සිංහල අධිපතිවාදයට නැගී එන පෙරදිග මකරාගේ සෙවණැල්ල යට වෙසෙමින් මානව අයිතීන් පිළිබඳ කතිකාවේ යුරෝ-ඇමරි කේන්ද්‍රීයත්වය ගැනත් ආසියාතික වටිනාකම්වල සුවිශේෂකත්වය ගැනත් බරසාර අදහස් ඉදිරිපත් කළ හැකිය.

    පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල සමාරම්භකත්වයේ (BIMSTEC) 2021 වසරේ සම්මේලනයට මිලිටරි ආණ්ඩුව විසින් විදේශ අමාත්‍යවරයා ලෙස නම් කරන ලද පුද්ගලයාට නිල වශයෙන් ආරාධනා කිරීමයි.

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ හින්දු පුවත්පතට පවසා ඇත්තේ මියන්මාරය BIMSTEC එකතුවෙන් ඉවත් කොට නොමැති බැවින් ඔවුනට ආරාධනා නොකර සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි.

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ

    නමුත්, ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් යවා ඇති ලිපිය යොමු කොට ඇත්තේ සෘජුවම මියන්මාරයේ මිලිටරි පාලනය විසින් විදේශ අමාත්‍යවරයා ලෙස පත් කොට තිබෙන වුන්නා මවුන් ල්වින්ගේ නමටය. මෙහිදී අඩු තරමින් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කළ හැකිව තිබූ දෙයක් නම් එම ලිපිය අදාළ පුද්ගලයා වෙත නොව අදාළ නිල තනතුර වෙත යොමු කිරීමයි. (මේ කාරණය මාධ්‍යවේදී නාලක ගුණවර්ධන විසින්ද පෙන්වා දෙනු ලැබ තිබිණ.) 

    දැන් මියන්මාරයේ ප්‍රජාතාන්ත්‍රික නිදහස වෙනුවෙන් අරගලයේ නිරත ක්‍රියාකාරීන්ගේ විරෝධය ලංකාණ්ඩුව වෙතද ඉලක්ක වෙමින් තිබේ. ඉදිරියේදී විරෝධතාකරුවන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වීම පවා දැන් අපේක්ෂා කළ හැකිය.

    ශ්‍රී ලංකාව පැත්තෙන් මියන්මාරය සමග වන සබඳතා කළමනාකරණය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ දෘෂ්ටිවාදී වාහකයින් දෙදෙනෙකු වන දිනේෂ් ගුණවර්ධන සහ නලින් ද සිල්වා හටත් මිලිටරි පසුබිමක් සහිත ජයන්ත කොළඹගේ හටත් ය.

    පෙරදිග රාජ්‍ය තාන්ත්‍රික පෙරමුණේ මෙවන් දේ සිදුවෙමින් පවතින්නේ ජිනීවාහි මානව අයිතීන් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට අදාළව නැවත ඉදිරිපත් වන යෝජනාව සාකච්ජාවට ලක් වෙමින් පැවතියදීය. 

    මෙරට සුළුතර ජනවාර්ගික සහ ආගමික නායකත්වයන් ජිනීවා දෙස අපේක්ෂා සහගතව බලන විට විමල් වීරවංශ ප්‍රමුඛ බහුතරවාදී ජාතිකවාදීන් විවෘතවම චීනය දෙසට හැරේ. බටහිර අධිරාජ්‍ය විරෝධය නමැති දෘෂ්ටිවාදී පළිහේ ආවරණය ලබමින් සුළුතර ප්‍රජාවන් පීඩනයට පත් කිරීමේ සිංහල අධිපතිවාදී සූත්‍රය විමල් වීරවංශ ඔහුගේ ජවිපෙ අතීතය තුළ හොඳින් ඉගෙන ඇති බව පෙනේ.

    දැන් සිංහල අධිපතිවාදයට නැගී එන පෙරදිග මකරාගේ සෙවණැල්ල යට වෙසෙමින් මානව අයිතීන් පිළිබඳ කතිකාවේ යුරෝ-ඇමරි කේන්ද්‍රීයත්වය ගැනත් ආසියාතික වටිනාකම්වල සුවිශේෂකත්වය ගැනත් බරසාර අදහස් ඉදිරිපත් කළ හැකිය. මේ වන විට සිංහල සමාජයේ අධිපති දෘෂ්ටිවාදී ධාරාවක් ලෙස මතුවෙමින් තිබෙන්නේ ‘විමල් වීරවංශලාගේ මෙම නව ප්‍රා-චීන-වාදය‘යි. දේශීය පෙරමුණේ දේවල් පෙළ ගැසෙමින් තිබෙන්නේ ඒ ආකාරයෙනි. 

    මියන්මාර් තානාපති මහාචාර්ය නලීන් ද සිල්වා

    වීරවංශලාගේ ප්‍රා-චීන-වාදය 

    වීරවංශගේ දෘෂ්ටිවාදී කඳවුර විසින් චීනය දකිනුයේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ වටලෑමට ලක්ව තිබෙන සාපේක්ෂව ප්‍රගතිශීලී රාජ්‍යයක් ලෙසිනි; මානව අයිතීන් පිළිබඳ කතිකාව දකිනුයේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ භූ-දේශපාලනික අරමුණු වෙනුවෙන් භාවිත කෙරෙන උපකරණයක් ලෙසිනි;

    සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් දකිනුයේ බටහිර ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වන එක්සත් ජනපද-ඉන්දීය-යුරෝපීය අක්ෂයේ කුමන්ත්‍රණකාරී මැදිහත්වීමක් ලෙසිනි.

    වීරවංශ කඳවුර තම ප්‍රතිවාදීන්ගෙන් අසන ජනප්‍රිය ප්‍රශ්නය වන්නේ ”එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ පාලන තන්ත්‍ර විසින් සිදු කෙරෙන බරපතල මානව අයිතීන් කඩ කිරීම් ගැන නුඹලා කියන්නේ කුමක්දැයි” යන්නයි. එය තම ප්‍රතිවාදීන් හට ඇරයුම් කරන්නේ වඩා ප්‍රගතිශීලී එක්සත් ජනපදයද නැතහොත් චීනයද යන විවාදයට සහභාගී වන ලෙසයි. 

    නමුත්, ජන අරගල වාමාංශය කළ යුත්තේ වීරවංශලාගේ දෘෂ්ටිවාදී කඳවුර විසින් යෝජනා කෙරෙන “එක්සත් ජනපදය එරෙහිව චීනය” යන විවාදයට සහභාගී වීම නොවේ; ඒ වෙනුවට එම විවාදය පදනම් වන ඥාන මීමාංසාත්මක රාමුව ප්‍රශ්න කිරීමයි. කෙටියෙන් කිව හොත්, වීරවංශ ප්‍රවාදය ගොඩ නැගෙන්නේ ජාතික රාජ්‍යය නමැති පැරඩයිමය (ඥානමය රාමුව) තුළය. ඒ විසින් කිසියම් ජාතික රාජ්‍යයක් (නිදසුනක් ලෙස චීනය) වඩා ප්‍රගතිශීලී යැයි දකිනු ලබන විට සැබවින්ම පසසනු ලබන්නේ එම ජාතික රාජ්‍යයේ සංස්ථාපිත පාලනාධිකාරයයි. 

    මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහි ජනතා උද්ඝෝෂණ

    නව-ජාත්‍යන්තරවාදයක්  

    මේ වෙනුවට මාක්ස්වාදී බුද්ධිමය සහ දේශපාලන සම්ප්‍රදාය තුළ ගොඩ නැගුණු ජාත්‍යන්තරවාදය පදනම් වන්නේ ලොව විවිධ ප්‍රදේශවල කම්කරු, ගොවි, ශිෂ්‍ය, බහුජන ව්‍යාපාරවල එක්සත්කම මතය. එම ජාත්‍යන්තරවාදය ජාතික රාජ්‍යයේ සීමා මායිම් අතික්‍රමණය කිරීම අරමුණු කර ගත්තකි.

    මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ විශාලතම බිඳ වැටීම සිදු වූයේ පළමු ලෝක යුද්ධයේ ආරම්භයත් සමග දෙවන ජාත්‍යන්තරයේ සාමාජික පක්ෂ රැසක් තම තමන්ගේ රටවල යුද ව්‍යාපෘතීන්ට සහාය දැක්වීම හමුවේ ය. එය ජාතික රාජ්‍යය නමැති පැරඩයිමයේ වලංගුතාව තවමත් එතරම් අභියෝගයට ලක්ව නොතිබූ යුගයකි.

    නමුත්, සෝවියට් දේශය තුළ ජෝසෆ් ස්ටාලින්ගේ සහ නිකොලායි බුඛාරින්ගේ “තනි රටේ සමාජවාදය” ස්ථාපිත වන තෙක්ම මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ පදනම ලෙස පැවතියේ ජාතික රාජ්‍යයන් අතර සබඳතා නොවේ; ලොව පුරා විමුක්ති ව්‍යාපාර අතර සබඳතා ය. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය සෝවියට් විදේශ ප්‍රතිපත්තියේ අවශ්‍යතා අනුව හැඩ ගැසෙන්නට පටන් ගත්තේ ඊනියා “තනි රටේ සමාජවාදය” දේශපාලනිකව තහවුරු වීමෙන් පසුවය. 

    නමුත්, ජාතික රාජ්‍යයේ රාමුව ඉක්මවා ගොස් ගෝලීය ප්‍රජාතාන්ත්‍රික සහ වාමාංශික ව්‍යාපාර අතර එක්සත්කමක් ගොඩ නැගීමේ නිෂ්ටාව ලොව පුරා වාමාංශික ව්‍යාපාර විසින් තවමත් අත් හැර දමා නොමැත. සයිමන් බොලිවාර්ගේ සහ යොසේ මාර්ටිගේ යුගයේ පටන්ම මහාද්වීපික විමුක්ති අරගල සම්ප්‍රදායක් ගොඩ නැගුණු ලතින් ඇමෙරිකානු කලාපයේ එය විශේෂයෙන් දකිත හැකි විය.

    1999 දී සියැටල්හි මුළු දුන් ලෝක වෙළඳ සංවිධානයේ රැස්වීමට එරෙහි විරෝධතාවයේ සිට සමස්ත ගෝලීයකරණ-විරෝධී ව්‍යාපාරයම අපට පවසන්නේ ගෝලීය සමාජ ව්‍යාපාරවල යුගයකට අප දැන් පිවිස සිටින බවය.

    ලොව පුරා යෞවන යෞවනියන් මිලියන ගණනින් එක්සත් කරන්නට සමත් වූ කාලගුණ විපර්යාසයට එරෙහි ව්‍යාපාර මේ සඳහා තවත් නිදසුනකි. කොරෝනා වයිරස් වසංගතයේ අවදානම නොතකා පසුගිය වසරේදී එක්සත් ජනපදයෙන් ඇරඹී ලොව පුරා ව්‍යාප්ත වූ වර්ගවාදයට එරෙහි සමාජ ව්‍යාපාර මගින් සංකේතවත් වූයේ සමකාලීන නව-ජාත්‍යන්තරවාදයේ නොහොත් ගෝලීය සමාජ ව්‍යාපාරවල බලපෑම් සහගතභාවය කෙබඳුද යන්නයි. 

    ආසියාවේ ප්‍රජාතාන්ත්‍රික ජන අරගල රැල්ල

    වසංගතය හමුවේ ජන අරගල දේශපාලනයේ බැසීමක් ඇති වේය යන උපකල්පනය මුළුමනින්ම බොරු කරමින් දැන් ප්‍රජාතාන්ත්‍රික විරෝධතාවන්හි නව රැල්ලක් ආසියාතික කලාපය තුළ හිස ඔසවමින් තිබේ. මේ ඇතැම් ව්‍යාපාරවල මූලයන් පැහැදිලිවම වසංගතයේ යුගයෙන් බොහෝ ඈතට ගමන් කරයි. නමුත්, ඒවායෙහි වේගවත් ඉහළ නැග්ම දැන් කැපී පෙනෙන ලෙස නිරීක්ෂණය කළ හැකිය.

    තායිලන්තයේ රාජාණ්ඩුවට සහ මිලිටරියට එරෙහි ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරය තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. 2014 දී කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් තායි රාජාණ්ඩු මිලිටරිය ඉන් දෙවසරකට පසුව තමන් විසින්ම සැකසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජන මත විචාරණයක් පැවැත්වීය. එය නිදහස් හා සාධාරණ මත විමසුමක් නොවේය යන්න ප්‍රජාතාන්ත්‍රික විපක්ෂයේ මතයයි.

    පසුගිය වසරේදී “අනාගතය වෙත පෙරටම” යන පක්ෂය තහනම් කිරීමෙන් පසුව උත්සන්න වූ රාජ්‍ය මර්දනකාරීත්වය මගින් සිදු වූයේ ජනතා අරගලය තව දුරටත් තීව්‍ර වීමය. තායිලන්ත ජන අරගලයේ විශේෂත්වයක් වන්නේ පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම, මිලිටරි පාලනය අවසන් කිරීම සහ අත්තනෝමතික රාජාණ්ඩුවේ බලය අහෝසි කිරීම යන මූලික ප්‍රජාතාන්ත්‍රික නිෂ්ටාවන් කරා එය ඉලක්කගතව තිබීමයි. 

    අසල්වැසි මියන්මාරයේ දැන් මසකටත් වැඩි කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන ජනතා අරගලය පැහැදිලිවම තායිලන්ත ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාකාරීන් වෙත ස්වකීය සහයෝගීතාව පළ කරයි.

    තායිලන්ත තරුණ ක්‍රියාකාරීන්ගේ සුප්‍රසිද්ධ ඇඟිලි තුනේ මුද්‍රාව දැන් මියන්මාරය තුළද ජනප්‍රියත්වයට පත් වෙමින් තිබේ. මියන්මාර අරගලයේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව අවුන් සාන් සූචීව නැවත බලයට ගෙන ඒමේ සීමිත අරමුණෙන් ඔබ්බට පොදු ජන ව්‍යාපාරය ඉදිරියට තල්ලු කරන්නට ප්‍රයත්න දරමින් තිබේ.

    මියන්මාරය චීන සමාගම්වල ආර්ථික ග්‍රහණයට යටත් කිරීම සම්බන්ධයෙන් සේම රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහි අති මහත් හිංසනය සම්බන්ධයෙන්ද සූචීගේ පාලනය වග කිව යුතුව ඇත. එබැවින්, ආපසු 2021 පෙබරවාරි පළමු වෙනිදාට පෙර පැවති ඊනියා සාමාන්‍ය තත්ත්වය කරා යාම වෙනුවට ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් අවශ්‍ය වේය යන අදහස දැන් විරෝධතාකරුවන් අතර පැතිර යමින් තිබෙන බව වාර්තා වේ. 

    මියන්මාර මිලිටරි පාලනය මින් පෙර චීනය මත අධික ලෙස පරායත්ත වීම වෙනස් කරන්නට ප්‍රයත්න දරා තිබුණද, දැන් එයට තම පැවැත්ම වෙනුවෙන් වඩ වඩාත් චීනය මත රඳා පවතින්නට සිදු වේ.

    ශ්‍රී ලංකාවේ පාලක බල හවුලේ චීන-හිතවාදී කොටස් මියන්මාරයේ මිලිටරි පාලනය සම්බන්ධයෙන් දක්වන මෘදු ප්‍රතිචාරය ජාත්‍යන්තර අවධානයට ලක් වන්නේ එම පසුබිම තුළය.
    බෙයිජිං පාලනය හොං කොංහි ප්‍රශ්නය පෙන්නුම් කරන්නට කැමති වන්නේ තම අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙසටය. ලොව බොහෝ තැන්වල අධිකාරීවාදී පාලකයින් තම මර්දනකාරී ක්‍රියාකාරීත්වයන් සාධාරණීකරණය කරන්නට භාවිත කරන්නේ ජාතික ස්වාධිපත්‍ය නමැති උදෘතයයි.

    නමුත්, ගෝලීය ප්‍රජාතාන්ත්‍රික සමාජ ව්‍යාපාර විසින් ගොඩ නගමින් තිබෙන නව-ජාත්‍යන්තරවාදී පරිකල්පනය තුළ දේවල් නිරූපනය වන්නේ ඊට වෙනස්වය. බෙයිජිං පාලනය විසින් සම්මත කරන ලද ජාතික ආරක්ෂක නීතිය මගින් හොං කොං වැසියන් එතෙක් කලක් භුක්ති විඳි සීමිත සමාජ නිදහස පවා ඔවුනගෙන් උදුරා ගනු ලැබේය යන්න අරගලයේ නිරත වූවන්ගේ චෝදනාවයි.

    “චීන ගති ලක්ෂණ සහිත ධනවාදයේ” (capitalism with Chinese character)  සැබෑ ස්වභාවය ශින්ජියෑන් පෙදෙසේ උයිගර් මුස්ලිම්වරුන්ගේ අත්දැකීම් ඇසුරින් වටහා ගත හැකි තතු යටතේ ස්වකීය සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික නිදහස හෝ ආරක්ෂා කර ගැනීම හොං කොංහි විරෝධතාකරුවන්ගේ අරමුණයි. 

    අපගේ අසල්වැසි ඉන්දියාවේ ප්‍රජාතාන්ත්‍රික ජනතා අරගල ප්‍රවණතා දෙකක් අඩු තරමින් පසුගිය කාලයේදී නිරීක්ෂණය කළ හැකි විය. පළමුවැන්න සංශෝධිත පුරවැසි පණතට එරෙහි සිසු-ජන ව්‍යාපාරය වූ අතර දෙවැන්න සමකාලීන ගොවිජන අරගලයයි. පළමුවැන්න මගින් අධිකාරීවාදී හින්දූත්වවාදී පාලනයට එරෙහිව ඉන්දීය බහු-විධ ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය යළි මතු කරන ලද අතර, දෙවැන්න මගින් ඉහළට ඔසවමින් තිබෙන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉල්ලීම් ය. 

    මේ අනුව ආසියාතික ලෝකයේ රාජාණ්ඩුවාදයට එරෙහිව, මිලිටරි පාලනයන්ට එරෙහිව, රාජ්‍යයේ අධිකාරීවාදී ක්‍රියා මාර්ගයන්ට එරෙහිව, අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයට එරෙහිව සහ ප්‍රාග්ධනයට එරෙහිව විවිධ ප්‍රජාතාන්ත්‍රික ජන අරගල දැන් ඉස්මතු වෙමින් පවතී. ඒවා අතර එක්සත්කමක් ගොඩ නැංවී නොතිබුණද, අඩු තරමින් ඒවා එකිනෙකා වෙත සහයෝගීතාව දැක්වීමේ සලකුණු අපට නිරීක්ෂණය කළ හැකිය. මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහි උද්ඝෝෂණයක් පසුගියදා කොළඹ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණ. 

    රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනය

    මෙම ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයන් කෙරෙහි දක්වනු ලබන රැඩිකල්-ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිචාරය පදනම් විය යුත්තේ විමුක්ති දේශපාලනයේ ගෝලීය සහයෝගීතාව සහ එක්සත්කම පිළිබඳ ස්ථාවරය මත බැව් අමුතුවෙන් කිව යුතු නැත. එය ජාතික-රාජ්‍යය නමැති පැරඩයිමය තුළ සිර වූවක් විය නොහැකිය.

    එක් ගෝලීය ධනවාදී බලවතෙකු වෙනුවට සාපේක්ෂව ප්‍රගතිශීලී යැයි කියනු ලබන වෙනත් ගෝලීය ධනවාදී බලවතෙකු වැළඳ ගැනීමේ වීරවංශවාදී ප්‍රවේශයට සපුරාම වෙනස්ව යමින්, ගෝලීය රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනයක් වෙනුවෙන් ඉටු කළ යුතු බුද්ධිමය කාර්යභාරයක් වත්මන් වාමාංශයට තිබේ.

    ලංකාණ්ඩුවට එරෙහිව එල්ල වන මානව අයිතීන් කඩ කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් නව-වමේ ස්ථාවරය ගොඩ නැගිය යුත්තේද සුළුතර ප්‍රජාවන්ගේ ඉල්ලීම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ලෙස දකිනු ලබන අතිසරල ජාතික-රාජ්‍යවාදී පරිකල්පනයක් තුළ නොව විමුක්ති දේශපාලනයේ ගෝලීය සහයෝගීතාව පිළිබඳ පරිකල්පනයක් තුළය.                        

    සුමිත් චාමින්ද 

  • 2012-2018 කාලයේ ‘ප්ලාස්ටික් කිලෝ මිලියන 3353.8ක්’ ආනයනය කරලා

    2012-2018 කාලයේ ‘ප්ලාස්ටික් කිලෝ මිලියන 3353.8ක්’ ආනයනය කරලා

    වසර 20 කට අධික කාලයක සිට  යාවත්කාලින කිරීමට උත්සහ දරන ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය  කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දුන්නේය.

    මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් හෙතෙම කීවේය. එමෙන්ම ඇතැම් ආයතන මෙම පනත සංශෝධනය කිරීමේ කාර්‍යයට බාධා එල්ල කරන බවත්, පවතින එම ගැටලු විසඳා ගැනීමට ක්‍රියා කරන ලෙසත් සභාපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණයට අදාළ පරිසර විගණන වාර්තාව සම්බ්න්ධයෙන් පැවැති කෝප් කාරක සභා රැස්වීමට  අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,ආචාර්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, ජගත් පුෂ්පකුමාර,  ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු සභභාගී වූහ.

    2012 වසරේ සිට 2018 වසර දක්වා මෙරටට ආනයනය කරන ලද මුළු ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353.8 ක් බව කෝප් කාරක සභාවේදී අද අනාවරණය විය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 184,300.9 ක් වියදම් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමුවිය.

    ආනයනික දත්ත විශ්ලේෂණයේදී 2012 වසරේ සිට 2017 වසර දක්වා ආනයනික ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බවත්, 2017 වසරේදී  පෙර වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ ආනයන ප්‍රමාණයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමාන ආනයන ප්‍රමාණයන් රටට නොදැරිය හැකි මට්ටමක පවතින බවත් කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

    ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර බැහැර කිරීමේදී සහ කළමනකරණායේදී පළාත් පාලන අමාත්‍යාංශය සහ පළාත් පාලන ආයතන වල දායකත්වය ලබා ගැනීම සහ ආහාර දවටන හා ආහාර අසුරන පිළිබඳ නීති හා එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ පාලන නීති ශක්තිමත් කිරීම කඩිනමින් සිදුකළ යුතු බවද කාරක සභාවේ මතය විය.

    දැනට වෙළඳ පොලෙහි පවතින ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් සකසා නොමැති අතර, විකුණුම් මිලක් ද පනවා නොමැත. එහෙයින් ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා පාලන මිලක් නියම කිරීම අත්‍යාවශ්‍ය බව කාරක සභාව අවධාරණය කළේය.

    ජෛව හායනයට ලක්වන අමුද්‍රව්‍ය මඟින් නිශ්පාදිත ආහාර දවටන පරිසරයට නිදහස් වීමේන් අනතුරුව එම බහු අවයවික ජලය, පස, සමුද්‍ර පරිසරය හා කසල කළමනාකරණය අංගන වෙත ලඟා වූ පසු කවර රසායනික හා ජෛව විපර්‍යාසයකට ලක් වන්නේද යන්න පර්යේෂණ අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නොමැති බැවින් පර්යේෂණ අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව අද පෙන්වා දුන්නේය.

    පොලිතීන් නිශ්පාදන අමුද්‍රව්‍ය ආනයනය අධෛර්‍ය කිරීම පරිසර හිතකාමි ආදේශන නිශ්පාදනයන් පාරිභෝගිකයන්ට ලබා දීම හා ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට දැන්වීය.

    වැටලීම් සඳහා සිදු කරන නීතිමය කාර්‍යභාරයන් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සැකසීමට පියවර ගන්නා ලෙසද කාරක සභාවේ සභාපතිවරයා එම අධිකාරියට පැවසීය.

    පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රගතිය මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට දන්වන ලෙස සභාපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

    අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා 2019 ඔක්තොම්බර් මස 10 වන දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුවද මෙතෙක් එය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාව සිය අප්‍රසාදය පළ කළේය.

    ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දැනුම් දුන්නේය

  • රටටම ගෑස් නැති වීමේ අවදානමක්

    රටටම ගෑස් නැති වීමේ අවදානමක්

    දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින් මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍යම කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇත.

    ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලෝක වෙළද පොළ ගෑස් මිල මේ මස මුල වාර්තා වූ අතර එය මෙට‍්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 604කි. ඒ නිසා ගෑස් සමාගම් දෙකම තමන් අලෙවි කරන සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 750කට අධික අලාබයක් ලබන අතරම ඒ හේතුව නිසා මෙම සමාගම් දෙක මසකට රුපියල් බිලියන 1.6ක පමණ දැවැන්ත අලාබයක් ලබයි.

    මේ හේතුවෙන් ගෑස් සමාගම් සඳහා ගෑස් ආනයන කිරීමට අවශ්‍ය මුදල් වත් සපයා ගත නොහැකි වීම නිසා රටේ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග මෙරටට ආනයනය කිරීමේ නොහැකියාවකට ගෑස් සමාගම් දෙකම පත්ව ඇත.

    රජය සහ ඊට සම්බන්ද ආයතන මේ සඳහා අවදානය යොමු නොකළහොත් මෙරට ගෘහස්ත පරිභෝජනය සඳහා අවශ්‍ය ගෑස් මෙන්ම, වාණිජ සහ කර්මාන්ත අවශ්‍යතා සදහා අවශ්‍ය ගෑස් සැපයුම අදාල වීමේ දැඩි අවදානමකට මෙරට පර්භෝගිකයා ලක්වනු ඇත.