Author: Editor

  • දුම්බර අඩවියේ ‘එනසාල් වගාවට අවසර දීම’ – පරිසර සංරක්ෂණයේ මළගම ද ?

    දුම්බර අඩවියේ ‘එනසාල් වගාවට අවසර දීම’ – පරිසර සංරක්ෂණයේ මළගම ද ?

    ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ යටි වනාන්තරය ඉවත් කර එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

    ලංකාවේ සුවිශේෂී ජෛව කලාපයක් සහ මහවැලි ග‍ෙඟ් මෙන්ම මොරගහනක්ඳ හා කළු ගඟ ජලාශවල ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර පද්ධතියක් වන දුම්බර අඩවිය නැතහොත් නකල්ස් කඳුකරයේ වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමට තීන්දු තීරණ ගැනීම දැවැන්ත විනාශයකට මඟ පෑදීමකි.

    මීට වසර හයකට පමණ ප‍්‍රථම ද මේ ආකාරයට ම අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීමේ දී ද ඊට එරෙහිව දේශපාලන බලපෑම් එල්ල විය. නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම සඳහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව හිටපු කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මාතලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය හා හිටපු මාතලේ දිස්ත‍්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල යන මහත්ම මහත්මීන් කටයුතු කිරීම හේතුවෙන් දුම්බර අඩවිය ආරක්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී දැඩි ගැටලුකාරී තත්ත්වයන් මතු විය.

    2014 අප්‍රේල් මස 25 වන දින මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ නීති විරෝධි ලෙස හා හානි කර අන්දමින් පවත්වා ගෙන යන එනසාල් වගා බිම් ඉවත් කිරීමට වන සංරක්ෂණ නිලධාරින් ගන්නා ක‍්‍රියාමාර්ග විවේචනය කරමින් එම ක‍්‍රියාවලිය නතර කිරීමට මේ පිරිස විසින් දැඩි බලපැම් එල්ල කෙරින. එපමණක් නොව මාතලේ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කර තිබුණේ එනසාල් වගා කරුවන්ට නකල්ස් සංරක්ෂිත වනාන්තර තුළ නීති විරෝධී ලෙස එනසාල් වගාබිම් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන්නේ නම් එම නිලධාරීන්ට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට සහභාගී වීමට අවස්ථාව ලබා නොදී පහර දී පන්නා දමන බව ය. මේ තත්ත්වය නැවතත් ඇති වීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් ගන්නා ලද මෙම තීරණය හේතු වනු ඇත.

    එනසාල් වගා බිම් පවත්වාගෙන යෑම සඳහා පසුගිය කාලයේ දුම්බර කඳුකරයේ බොහෝ ප‍්‍රදේශවල වනාන්තර යටි වගාව සම්පූර්ණයෙන් ම ඉවත් කර තිබේ. මේ හේතුවෙන් සිදුවන පාංශු ඛාදනය හා එසේ සේදී යන රොන්මඩ මහවැලි ගඟ ඔස්සේ ගලා ගොස් ජලාශවල තැන්පත් වීමෙන් ඇති වන විනාශය අති මහත් ය. එපමණන් නොව එනසාල් වියළීම සඳහා නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ දැවමය ශාක බහුල ව කැපීම සිදු කරයි. එම දැව යොදා ගනිමින් එනසාල් වාඩිවල එනසාල් වේලීම සිදු කෙරේ. මේ හේතුවෙන් සංරක්ෂිත වනාන්තරයේ පැවැත්මට සිදුවන බලපෑම ද ඉතා විශාල ය.

    දුම්බරඅඩවියටලබාදීඇතිනීතිමයආරක්ෂාව

    සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංඟාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30% ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍% ක් පමණ ආවරණය වී ඇත. දුම්බර කඳුකරයේ වනාන්තරවලට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. ඒ 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ) වළාකුළු වනාන්තර ප‍්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමිනි.

    ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය (UNESCO- United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

    මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1) වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    පනතේ 6 වන වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තරයක ගස් කපා ඉවත් කිරීම, වගා කිරීම, ඉඩම් එළි කිරීම යන සියලූ ම ක්‍රියා තහනම් වේ. එවන් වරදකට යම් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට අවුරුදු 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 20000 ත් රුපියල් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. එම දඩුවම් වලට අමතර ව සංරක්ෂිත වනාන්තරයට කරන ලද හානියට අධිකරණය විසින් නියම කරන දඩයකට යටත් කළ හැකි ය. එම වරදක් සිදු කරන පුද්ගලයකු පමණක් නොව එම වරද කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තකු ද වරදකරුවකු වන අතර එම දඩුවමට ම යටත් කළ හැකි ය.

    නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ පිහිටි රජයට අයත් නොවන වනාන්තර ඉඩම් 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්ති වලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රදේශය කළමනාකරණය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය.

    ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24 ඈ වගන්තිවලට අනුව ප‍්‍රකාශයට පත් කර ඇති පාරිසරික ආරක්ෂක කලාපයක් තුළ පනතේ 24ඈ(4) උප වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමකින් තොරව කිසිදු පුද්ගලයකු විසින් සංවර්ධන සැලැසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම නොකළ යුතු වේ. එවන් ක්‍රියාවක යෙදෙන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    සමස්ත දුම්බර අඩවිය ආවරණය වන භූමි ප‍්‍රදේශය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ.

    ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය.

    අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත වනාන්තර පද්ධතියක් එනසාල් වගාව සඳහා ලබා දීමේ කිසිදු නීතිමය හැකියාවක් නොමැත. මේ සියලූ නීති රීති උල්ලංඝනය කරමින් නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ එනසාල් වගාවට ලබා දීමෙන් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇත. එපමණක් නොව ජනතාවට නීතිය කෙරෙහි ඇති විශ්වාසය අහිමි වීම මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමක් ද මෙමගින් සිදු වනු ඇත. 

    දුම්බරඅඩවියේසුවිශේෂීජෛවඋරුමය

    දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ ඊට ලබා දී ඇති නීතිමය ආවරණය නිසා පමණක් ම නොවේ. එහි පවතින අමිල වටිනාකම නිසා ය. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි කඳුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර), කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.

    දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. එ් අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4‍% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍% ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. කීන විශේෂයක් වන Calophyllum cuneifolium, දඹ විශේෂ වන Syzygium congylos, Syzygium madugodensis හා Eugenia apica යන ශාක විශේෂ හතර සහ මෑතක දී සොයා ගත් Ilex knucalensis ශාකය දුම්බර අඩවියට ආවේණික ශාක වෙයි. දුම්බර අඩවියේ පිටවල පතන වැනි පතන් බිම්වල දක්නට ලැබෙන පතන් අල (Brachystelma lankana) ශාකය ද දුම්බර අඩවියට ආවේණික ශාක අතර වෙයි.

    විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශී‍්‍රත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ දැක ගත හැකි උඩවැඩියා ශාක විශේෂ අතර Adrorhizon purnuracens, Eria bicolor, Podochilus falcatus, Malaxis purpurea, Pholidota imbricata හා රාස්සන ^Vanda tesserllata& වැනි ශාක වෙයි.

    මෙහි මීවන ශාක විශේෂ 42 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වන Elaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllantha හා Psilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වේ.

    දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.

    උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 37‍% ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍% ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප‍්‍රජාවක් ජීවත්වීම මේ ප‍්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව විධිමත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වේ.

    ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33% ක ඉහළ ප‍්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5‍% ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 93 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29‍% ක ඉතා ඉහළ ප‍්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 93 අතුරින් විශේෂ 16 ක් නැතහොත් 18‍% ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.

    දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ අටක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැකොෆොරිඩේ (Rhacophoridae) කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඬේ (Dicroglossidae) කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැකොෆොරිඩේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා (Pseudophilautus fulvus)” හොෆ්මාන් ගේ පඳුරු මැඬියා (Pseudophilautus hoffmanni)” විශාල පාදැති පඳුරු මැඬියා (Pseudophilautus macropus)” මුරි ගේ පඳුරු මැඬියා (Pseudophilautus mooreorus)” ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා (Pseudophilautus steineri)” ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා (Pseudophilautus stuarti) හා හැන්කනයිගේ පඳුරු මැඬියා (Pseudophilautus hankeni&)සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා (Nannophys marmorata) යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි.

    දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් එක් විශේෂයක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා (Labeo fisheri) හා දුම්බර පෙතියා (Systomus martenstyni) දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගෙඟ් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක්  ආවේණික මත්ස්‍ය විශේෂය නම් මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා (Dawkinsia srilankensis) ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගෙඟ් දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.

    සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා සර්ප විශේෂ තුනක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඬේ (Agamidae) කුලයට අයත් කටුසු විශේෂ දෙකක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත‍්‍ර අඟ කටුස්සා (Ceratophora tennentii)” දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා (Cophotis dumbara)” ගෙකොනිඩේ (Gekkonidae) කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා (Cyrtodactylus soba)” සින්සිඬේ (Scincidae&)කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා (Chalcidoseps thwaitesi)” පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඩේ (Uropeltidae&)කුලයට අයත් ඉරිවකටුල්ලා (Uropeltis phillipsi)” කොලූබ්රිඬේ (Colubridae) කුලයට අයත් භෞමික සර්පයින් වන දසිල්වාගේ මැඩිල්ලා (Aspidura desilvai) හා කළු මැඩිල්ලා (Aspidura copei) ඒ අතර වේ.

    මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා (Sri Lanka Woodpigeon)” ගුරුකොණ්ඩයා (Yellow – eared Bulbul)” ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush)” ලංකා හම්බු කුරුල්ලා (Sri Lanka Warbler)” අඳුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා (Dusky – blue Flycatcher)” කඳුකර මල් කුරුල්ලා (Hill White – eye)” කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie) වැනි පක්ෂීහු රැසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.

    දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් සිදු කර නොමැති වුව ද 2000 වසරේ දී S.P. Benjamin සහ R.Jocque යන විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් Suffasia mahasumana නම් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

    මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. එනම්, Ceylonthelphusa sanguinea, Ceylonthelphusa callista, Ceylonthelphusa cavatrix හා Perbrinkia fido ය. මේ ජීවී විශේෂ සියල්ල දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ. මෙවන් වූ සුවිශේෂී ජෛව පද්ධතියක් නැතහොත් ලෝක උරුම වන භූමියක් සංරක්ෂණය කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවට එනසාල් වගා කර මුළු ලොවට ම අහිමි කිරීමට රජයකට කිසිදු අයිතියක් නැත. ඒ තුළින් සිදු වන්නේ රජයේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ අප රට අපකීර්තියට පත් වීම ය. මේ තත්ත්වයට අප රට පත් කිරීමට රජයට ඉඩ දිය යුතු නැත.

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මී මුරේ ජනතාව සමග. නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාවට ගොවීන් විසින් අවසර ඉල්ලා සිටියේ මෙහිදීය

    සෞභාග්යයේදැක්මෙන්දුම්බරඅඩවියආරක්ෂානොවීම

    මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු බව ය.’’ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල බව ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමි භාවිතා ව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ‘‘ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් පමණක් නොව ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ද සඳහන් කර ඇත.

    නමුත් අද වන විට මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවන් සඳහා රජය විසින් ලංකාවේ සුවිශේෂීම ජෛව කලාපය වැනසීමට තීන්දු තීරණ ගෙන තිබේ. මේ තීරණය වහාම නතර කර දුම්බර අඩවියේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සියලූ වනාන්තර සංරක්ෂණ වනාන්තරයට එක් කර නීතිමය ආරක්ෂාව ශක්තිමත් කළ යුතු ය. ස්වාභාවික වනාන්තරයේ එනසාල් වගාව සිදු කිරීම වෙනුවට දුම්බර අඩවියේ පිහිටි පයිනස් හා යුකැලිප්ටස් වන වගාවල යටි ස්ථරයේ එනසාල් වගාව ව්‍යාප්ත කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. ඊට අමතර ව පියවරෙන් පියවර පයිනස් හා යුකැලිප්ටස් වන වගාවන් ඉවත් කර ඒ වෙනුවට දේශීය ශාක ස්ථාපිත කිරීමට පියවර ගත යුතු වේ. එපමණක් නොව එනසාල් වියලීම සඳහා ස්වාභාවික වනාන්තරයේ දැවමය ශාක කපා ඉවත් කිරීම වෙනුවට පයිනස් හා යුකැලිප්ටස් දැවමය ශාක හා වෙනත් යෝග්‍ය තාක්ෂණයන් හඳුන්වා දීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙවන් තිරසර ක්‍රියාමාර්ග වලට යොමු වීම වෙනුවට ජාවාරම්කරුවන්ගේ යෝජනා ක්‍රියාවේ යෙදවීම තුළින් රටේ ස්වාභාවික සම්පත් වැනසීමට අඛණ්ඩ ව ගනු ලබන තීන්දු තීරණ අතිගරු ජනාධිපතිතුමන් විසින් දැන්වත් නතර කිරීම කළ යුතු ව ඇත.

    සජීව චාමිකර

  • දිලිනි යසෝදරා ඝාතනය සහ තවත් කතා – තිරිසන් මිනිසුන් නොසිටි අපේ රට

    දිලිනි යසෝදරා ඝාතනය සහ තවත් කතා – තිරිසන් මිනිසුන් නොසිටි අපේ රට

    මෙම සිදුවීම් රසකර ඉදිරිපත් කිරීමේ මාධ්‍ය කලාවක් සමග ඒවා විනෝදයට ගන්නා විශාල පිරිස් සමාජ මාධ්‍ය ජාලයන්හි විශේෂයෙන් ෆේස්බුක්හි රොක්ව ඉන්නාහ. එවැනි තිරිසන් මැදිහත්වීම් හෙළා දකිනවුන්ද ඒ අතර ඇත. එහෙත් ඔවුන්ගේ හඬ නොඇසෙන තරමට මේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් ගෝසාව විශාලය.

    අතිශය තිරිසන්, මෘග මිනිසකු විසින් තමන් හා පෙමින් බැඳී සිටි තිස් හැවිරිදි තරුණියක් රැය දෙකක් එළිවන තෙක් නවාතැන්පලක රඳවාගෙන සිට දෙවන දින එළිවන විට ඇයව ඝාතනය කර ඇයගේ කවන්ධය නවීන ගමන් මල්ලක අඩුක්කර ගෙන කිසිදු හැඟීමක් නැතිව හංවැල්ලේ සිට මගී බසයක කොළඹ පිටකොටුවේ වේල්ල විදියට ගෙනැවිත් දමා ගිය පුවත මහත් කලබගෑනියකට හේතු විය. 

    එවැනිම අමානුෂික තිරිසන් සිදුවීම් කිහිපයක් ඒ ආසන්නයේ දිනවල වාර්තා විය. යාපනයේ තරුණ මවක් 18 මසක බිළිඳු පුතාට අමානුෂික ලෙස පහරදීම, කිලිනොච්චියේ තවත් මවක් කුඩා දරු තිදෙනා සමග දිවි නසා ගැනීමට ළිඳකට පැනීම, සිය බිරිඳගේ අසභ්‍ය ඡායාරූප තම ජංගම දුරකතනයට යොමු කළේ යැයි යතුරු පැදියකින් ගිය පුද්ගලයෙකු සිය වාහනයට යටකර කපා කොටා පොලීසියට බාර වූ තරුණය සැමියෙකු ගැන නාරම්මලින් වාර්තාවීම එවැනි පුවත් විය.

    මෙම සිදුවීම් රසකර ඉදිරිපත් කිරීමේ මාධ්‍ය කලාවක් සමග ඒවා විනෝදයට ගන්නා විශාල පිරිස් සමාජ මාධ්‍ය ජාලයන්හි විශේෂයෙන් ෆේස්බුක්හි රොක්ව ඉන්නාහ. එවැනි තිරිසන් මැදිහත්වීම් හෙළා දකිනවුන්ද ඒ අතර ඇත. එහෙත් ඔවුන්ගේ හඬ නොඇසෙන තරමට මේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් ගෝසාව විශාලය.  

    තිරිසන් මිනිසුන් නොසිටි අපේ රට

    මීට දසක 05 ට 06 ට පෙර, පණහේ හැටේ දසකවල එවැනි වූ තිරිසන් සමාජයක් මේ භූමියෙහි නොතිබුණි. එකල එවැනි ඝාතන වසරකට දෙකකට වරක් අසන්නට ලැබුණු ඉතා විරළ අවාසනාවන්ත සිදුවීම් විය.  

    “කඩුගන්නාවේ තැපැල් බෝම්බ නඩුව” ලෙස ප්‍රසිද්ධ වූ ලංකාවේ පළමු සහ එකම “සමලිංගික ප්‍රේමය” මත සිදු කෙරුණු ඝාතනය යැයි සැළකෙන 1948 ජනවාරියේදී පාසල් සිසුවකු ඝාතනය කිරීම, 1949 හාර ලක්ෂ මංකොල්ලය හා මිනී මැරීම්, මෙරට ඉතාම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහදේවන් සතාසිවම් ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාව මත 1951 ඔක්තෝම්බරයේදී අත්අඩංගුවට ගැනීම හා මාස 20 ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නිදොස්කොට නිදහස් කිරීම, ලංකාවේ නීති ක්ෂේත්‍රයම මහත් ආන්දෝලනයකට පත් කළ 1953 රංජනි කැබ් මුදලාලිගේ බිරිඳ ඝාතනය කිරීම, 1958 ඇඩ්ලින් විතාරන ඝාතනය, 1959 සැප්තැම්බරයේදී අගමැති බණ්ඩාරනායක ඝාතනය, රූප සුන්දරියක් ලෙස ප්‍රසිද්ධවූ කතරගම ප්‍රේමවතී මනම්පේරී තරුණිය 1971 කැරැල්ල සමයේ හමුදා නිලධාරියකු විසින් ඝාතනය කිරීම, පෝලීන් කෲස් නම් තරුණියක විසින් 11 හැවිරිදි ගෝඨාභය කිරිඹකන්ද නම් දරුවා 1965 දී ඝාතනය කිරීම, ඇල්ෆ්‍රඩ් ද සොයිසා සහ කලු මාමා විසින් 1966 දී කලත්තෑවේ සිදු කළ සුප්‍රසිද්ධ ත්‍රිපුද්ගල ඝාතන, 1968 දී වෛද්‍ය ඩේමන් කුලරත්න විසින් තම බිරිඳ පද්මිණි කුලරත්න ඝාතනය කිරීම, මැතිව් පීරිස් පියතුමා විසින් වසර කිහිපයක සිට සූදානම් කළ බවට ඔප්පු කෙරුණු 1979 ආරම්භයේදී සිදුවූ සිය බිරිඳ ඉයුනිස් පීරිස්ගේ සහ තම පෙම්වතියගේ ස්වාමි පුරුෂයාවූ රසල් ඉන්ග්‍රම්ගේ මරණ, නිදහසින් පසු වසර 30 ක 32 ක පමණ කාලයේ සමාජයම හෙළා දුටු ඝාතන ගණනාවක් විය. 

    මේ දුසිමක් වූ අපරාධ අතර “සමලිංගික ප්‍රේමය” මත සිදු කෙරුණු ඝාතනය හැරුණු විට, විවාහය සමග වික්ටෝරියානු සුචරිතවාදය මත හදා ගන්නා විවාහක ස්ත්‍රිය සඳහා ඇති අයිතිය අවසන් හේතුව ලෙස තර්ක කළ හැකි අපරාධ ඇත්තේ 06 කි.  ඒවා සමාන්‍ය සමාජයේ කම්පනයක් සමග කුතුහලයක් ඇති කළ, “අනේ අපොයි” යැයි කියැවුනු අපරාධ විය.

    බසයට නැග එවැනි අවාසනාවන්ත සිදුවීම් ගැන විරිඳු ගායනා කළ ගායක ගායිකාවෝ වූහ. ඔවුන්ගේ රබානට සිල්ලර කාසියක් දැමූ බොහෝ කාන්තාවන් දෑස් කොණෙහි කඳුලක් පිස දා ගත්තාය. ඉරිදා හෝ සති පොළෙහි වගේම බසයේද කවි කොළ ගැයුනේ “මෙහෙමත් අපරාධ කරනවානෙ” යැයි කම්මුලේ අත තියා ගෙන සුසුමක් පිට කරන පාඨකයින්ට ය.  

    එදා වූ සිංහල-බෞද්ධ සමාජය අපරාධ සමග විහිළු නොකළහ. එවගේම ඒ අපරාධ වර්තමානයේ මෙන් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර විශාල වශයෙන් ඉහළ ගිය ලිංගිකත්වය මුල් වූ සන්දර්භයක සිදුවුනු අපරාධද නොවුනි.  ප්‍රජාවක් ලෙස පරාර්ථකාමය හඳුනාගෙන සිටි, අනෙකුන්ගේ විපතේදී වේදනාවක් උසුලන්නට හැකි වූ මේ සදාචාර සම්පන්න සමාජයේ විශේෂයෙන් නාගරික මැදපංතිය වික්ටෝරියානු “ඒක පුද්ගල ස්ත්‍රී-පුරුෂ විවාහය” සමග දැඩි සුචරිතවාදයක් රැක ගත් සමාජයක් විය.

    වික්ටෝරියානු “න්‍යෂ්ටික පවුල” යුරෝපීය සමාජයේ සම්මතය බවට පත් වන්නේ ධනේශවර ක්‍රමයෙහි මුදලට හා වත්කමට තනි අයිතියක් තිබිය හැකි යැයි බයිබලයට ලුතරන් අර්ථකනයක් ලැබුණු පසුවය. එවගේම යටත් විජිත යුගයේ මුදල හා වත්කම් එක්තැන් කෙරුණු ධනේශවර වෙළඳාමෙහි බිහිවූ මේ නාගරික සිංහල-බෞද්ධ මැදපංතියෙහි දෙන්නා දෙමහල්ලෝ අතර “ආදරය” අර්ථකතනය වූයේ විවාහක පුරුෂයාට බිරිඳගේ ශරීරයද ඇතුළුව ඒ කුඨුම්භයෙහි සියලු කාරණා සම්බන්ධ අයිතිවාසිකම් සමග ය. ඒ පුරුෂ ආධිපත්‍ය සමග පවුලේ සාමය, වගකීම් ඉටු කිරීම හා දරුවන්ගේ දියුණුව සඳහාවන අන්‍යෝන්‍ය හවුලක් ලෙසිනි.

    සරළව කියන්නේ නම්, වික්ටෝරියානු සුචරිතවාදය කරපින්නා ගත් නාගරික සිංහල-බෞද්ධ මැද පංතික සමාජයේ වැඩිහිටි ලිංගිකත්වය හා මෛථුන්‍ය පුරුෂ ආධිපත්‍ය සමග විවාහයට සීමා වූ සහ එහි සඟවා ගත් ගනුදෙනුවක් විය.    

    වික්ටෝරියානු සුචරිතවාදය තුල “පුරුෂ අයිතිය” ප්‍රශ්න නොකෙරුනු ලිංගිකත්වය ගැන කතා නොකර සාහිත්‍ය ලෝකයේ හමුවන සුන්දර “ආදරය” උත්තරීතර ආදාරයක් ලෙස නඩත්තු කර ගැනීමට 80 දසකය වන විටද නාගරික සිංහල-බෞද්ධ මැද පංතිය දැඩි වෙහෙසක් දැරූහ. සුනිල් ආරියරත්න ලියූ සහ නන්දා මාලනි ගැයූ “ප්‍රේමය නම්, රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්තයි, පාරිශුද්ධයි සුරම්‍යයයි…….” ගීතයේ ඇත්ත ප්‍රකාශනය වූයේ නාගරික සිංහල-බෞද්ධ මැද පංතික කුහක සුචරිතවාදයයි. 

    එහෙත් 50 – 60 දසකවල පවා එය ඒ ආකාරයෙන්ම ග්‍රාමීය කෘෂි සමාජයේ නොරැකුණකි. නාගරික සමාජය විසින් නොදියුණු යැයි සැළකූ ග්‍රාමීය කෘෂි සමාජයේ පැරණි ඉඩම් අයිතිය හා කෘෂි නිෂ්පාදනයට ඔබින ලෙස සම්මත වූ සිංහල විවාහ සම්ප්‍රදායන් වන “එක ගෙයි කෑම සහ බින්න බැහීම” සමග වූ සරළ ලිංගික සබඳතා 60 – 70 දසක වන විටත් ප්‍රසිද්ධ පුරුද්දක් ලෙස නොවුනත් තැන තැන හමු වුනකි. ධනේෂවර වෙළඳපලෙහි බිහි වූ නගරය මෙන් පැරණි වැඩවසම් චාරිත්‍ර වාරිත්‍ර ඉතිරිව තිබූ ගම වික්ටෝරියානු සුචරිතවාදයට මුළුමනින් යටවී නොතිබිණ. 

    එවැනි සුචරිතවාදයක් පොදු පිළිගැනුමක් සමග මේ පරාර්ථකාමී සාමකාමී සමාජයට නඩත්තු කළ හැකි වූයේ නිදහසින් පසු පළමු වසර 30 ක කාලයේ අධි තරගකාරිත්වයක් නොතිබූ රාජ්‍ය මැදිහත්වීමෙන් නියාමනය කෙරුණු ආර්ථිකයක “ජාතික සංවර්ධනය” ඉදිරිපත් කළ “සමානාත්මතාව” පිළිබඳ දේශපාලන මතය සමගින්ය. ඒ වෙනුවෙන් පොදු සේවා සැපයීමේදී සමාජ විනයක් අවශ්‍ය වූයෙන් රාජ්‍ය ආයතන හැකිතාක් කාර්යක්ෂමව පවත්වා ගැනීමද රටේ “සංවර්ධන කාර්යට” අයත් වූවකි.

    ඒ යුගයේ හැම ආණ්ඩුවක්ම සංවර්ධන කාර්යෙහිදී අසාර්ථක වූවත් පොදුකම, සාමුහිකත්වය, අන්‍යෝන්‍ය ගරුත්වය සමාජ හර පද්ධතීන් සමගින් නඩත්තු කිරීමට දායක විය. ඒ වෙනුවෙන් එකල රාජ්‍ය ආයතන සමග අධ්‍යාපනය, ජන මාධ්‍ය, පන්සල, පල්ලිය, කෝවිලද සක්‍රීය දායකයින් වූහ.  

    ප්‍රශ්නය වන්නේ, එදා පැවති ඒ “සදාචාර සම්පන්න සමාජයත් එහි අවුරුදු 30 ක් විසූ පරාර්ථකාමී, ගුණ යහපත් මනුස්සයාත් වෙනුවට අති දූෂිත සමාජයක් සමග තමන් හා පෙමින් බැඳී සිටි තරුණිය ඝාතනයකර ඇයගේ කවන්ධය නවීන ගමන් මල්ලක අඩුක්කර ගෙන කිසිදු හැඟීමක් නැතිව බසයකට ගොඩ විය හැකි නරුමයකු බිහි වූයේ කෙසේද?” යන්නය.    

    තුරුණු විය “ලක් මව” දූෂණයවීම එදා ජීවත් වූවෝ, හතළිහේ පණහේ දසකවල ඉපිද හැදී වැඩුණු, වත්මනෙහි ඉන්නා ඉහ නිකට පැසුණු පැරණි පුරවැසියෝ තවමත් ඉල්ලන්නේ ඔවුන් දන්නා සාමකාමී, පරාර්ථකාමී ලෝකය ය. ඔවුන් හැදී වැඩුණු ඒ ලෝකය ඔවුන්ට පමණක් නොව ඔවුන්ගෙන් පසු පරම්පරාවන්ටත් අහිමිව ඇත්තේ ජයවර්ධන ජනාධිපති 80 දසකයේ සිට තහවුරු කළ සීමා මායිම් නොමැති මහ නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල ආර්ථිකය නිසා යැයි ඔවුන්ද කතා නොවන්නකි.  

    විශේෂයෙන් නාගරික මැදපංතිකයින් අද විශ්වාස කරන්නේ මේ සියලු ව්‍යසන, සියලු අපරාධ, ඛේදවාචක පුද්ගල පිරිහීමේ ප්‍රතිපලයක් යැයි කියා ය. එනිසා ඔවුන් කතා කරන්නේ ආගමට දහමට ලැදි සදාචාර සම්පන්න “හොඳ පුරවැසියන්” හැදීමට ය. ආගම දහම වාණිජකරණය වී ගිහි සමාජ පැවැත්මටද වඩා පිරිහී ඇති සැටි ගණන් හැදීමක් නැත. “හොඳ පුරවැසියන්” හැදීමට කෙරෙන කතා කසළ කන්දකින් අහුලා ගන්නා බිඳුණු පීරිසි කෝප්ප පුරුද්දා නැවත කසළ ගොඩටම විසි කරන්නට සිදුවන්නාක් වැනි කාර්යකි. 

    කතාව කෙටිකර ගැනීමට මෙය අවධාරණය කළ යුතුය. ජනාධිපති ජයවර්ධන හඳුන්වා දුන් විවෘත වෙළඳපල ආර්ථික ක්‍රියාවලිය “සංවර්ධන” ක්‍රියාවලියක් නොවේ. එය සැළසුම් විරහිත මහ නගර කේන්ද්‍රීය හුදු ආර්ථික ක්‍රියාවලියක් පමණි. එවගේම එය ආවේනිකව දූෂිතය. ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ ලාභ තීන්දු කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයක් හදා දීමට ආණ්ඩු මැදිහත්වීමත් සමග ඉහළ සිට පහළට සමස්ථ සමාජයම දූෂිත සමාජයක් බවට පත් විය. හතර අත දූෂිත සමාජයක විනය, කරුණාව, දයාව, ඉවසීම සහිත සදාචාර සම්පන්න කිසිදු ගනුදෙනුවක් අහම්බෙන් මිස ඉතිරි වන්නේ නැත. ජයවර්ධනගේ විවෘත වෙළඳපල ආර්ථික මගඩිය සමගින් අවුරුදු 40 ක් අප පැමිණ ඇත්තේ එවැනි නිරර්ථක ගමනක ය. 

    මුදල් හම්බ කිරීම සහ ඒ වෙනුවෙන් තරග කළ යුතු බව පමණක් ඉගෙන ගන්නා හිස් මිනිසුන් හැදෙන විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අධ්‍යාපනය හා ජනමාධ්‍යයද වාණිජකරණයකට ගොදුරු විය. තව දුරටත් අධ්‍යාපනය යනු යහපත් සමාජයක් සඳහා අනාගත පරම්පරාවක් හැදීමේ සමාජ වටිනාකම්, සදාචාරාත්මක පැවැත්ම සහ වගකීම් බාර ගැනීම ප්‍රවර්ධනය කිරීමක් නොවන්නේය.

    පසුගිය අවුරුදු 40 ක කාලයේ ආකල්පමය හා දැනුම අතින් දියුණු ගුරු සේවාවක් හා අධ්‍යාපනඥයින් මේ අධ්‍යාපනයෙන් බිහි කළ නොහැකි වූ බවද ඔප්පු වූවකි. මෙහි ළමුන් පුරුදු කෙරෙන්නේ තනිව මුදුනටම නගින්නටය. නිවසේදී ළමුන්ට කියන්නේ පංතියේ පළමු වැනියා විය යුතු බවය. පංතියේදී කියන්නේ විභාගයේදී වැඩිම ළකුණු ගත යුතු යැයි කියාය. අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනයෙන් ළමුන් ඉගෙන ගන්නා ප්‍රධානම පාඩම වන්නේ අනෙකුන්ට කුමක් වූවත් තමන් ජය ගත යුතු බවය. අනතුරුව සමාජයට එන්නේ එවැනි ආත්මාර්ථකාමී පරම්පරාවන් ය. 
    දූෂණය වූ සමාජයේ “සුචරිතවාදය”

    මේ කතාව තව දුරටත් සම්පිණ්ඩනය කළහොත් නිදහසින් පසුවද අවුරුදු 30 ක් පැවති දයාව,  අනුකම්පාව සමග පරාර්ථය අගය කළ සාමකාමී මනුස්ස සමාජය, මනුස්සකමක් නොදන්නා, තිරිසන් සමාජයක් බවට පරිවර්තනය වන්නේ පුද්ගලයින් හිතුමතේ වල් වැදුනු නිසා නොවේ. අති දූෂිත, ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයකට සදාචාර සම්පන්න සමාජයක් අවශ්‍ය නොවන හෙයිනි. එවැනි විවෘත වෙළඳපල ආර්ථිකයකයට වැදගත් ශිෂ්ට සමාජයක් පවත්වා ගත නොහැක. නිදහසින් පසු අවුරුදු 30 ක් පැවති සාමකාමී මනුස්ස සමාජය, විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දූෂණය කෙරෙන්නේ එයට ගැලපෙන දූෂිත සමාජයක් හදා ගැනීම වෙනුවෙනි.

    මේ අරාජික දූෂිත ආර්ථිකයෙහි තවමත් වික්ටෝරියානු සුචරිතවාදය හා න්‍යෂ්ටික පවුල පවත්වා ගැනීම, සිංහල-බෞද්ධ සංස්කෘතිය නඩත්තු කිරීම තුල ඉතිරිව තිබෙන්නකි. එය පහසු කාර්යක් නොවේ. දෛනික ජීවිතය නඩත්තු කර ගැනීම වෙනුවෙන් මුළු කාලයම වැය කරන තරගකාරී පාරිභෝගික සමාජයේ ආතතිය මුදා හරින්නට බොහෝ විට විවේක කාලයක් සහ අමතර මුදලක් බහුතරයකට සොයා ගත නොහැකි හෙයිනි. 

    වික්ටෝරියානු සුචරිතවාදය අපට ලබා දුන් බටහිර සමාජය ඔවුන්ගේ න්‍යෂ්ටික පවුල සමග වූ සුචරිතවාදය ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි අත හැර ඇත. ඔවුන් නෛතික විවාහයට සීමා කරගෙන තිබුණු ලිංගිකත්වය, “ආදරය” සමග සරළ යුග සම්බන්ධයකට පෙරළා ගැනීමේ උත්සාහයක ඉන්නාහ. සුනිල්-නන්දා දෙපළ මගින් අපගේ නාගරික මැදපංතිය සිහින මැවූ රාගයෙන් තොර “අචින්ත, පාරිශුද්ධ හා සුරම්‍ය ප්‍රේමය” විවෘත වෙළඳපල ආර්ථිකයෙහි මොහොතකට සීමාවන රළු, කායික ලිංගිකත්වයකට මාරුවී ඇත. එයද ආතතියෙන් පිරි තරගකාරී පාරිභෝගික සමාජයේ ශාරීරික ඉල්ලුමට අවශ්‍යවන පරිදිය. එබැවින් මේ දූෂිත පිරිහුණු සමාජයේ “ආදරය” සමග මුසපත් වන ලිංගිකත්වයක් ගැන දන්නාවුන් සහ එවැනි රසාස්වාදයක් සොයන්නන් අතිශය අල්පය.  

    වික්ටෝරියානු සුචරිතවාදය සමගින් නොතිබුණු “ආදරය” හා “ලිංගිකත්වය” එක්වූ වින්දනය, අන්‍යෝන්‍ය අවබෝධයක බුද්ධිමය රසයක් හා වෙළුනකි. එයට සීමා හා කොන්දේසි නැතැයි “නූතන ස්ත්‍රීවාදයේ මව” යැයි පුදනු ලබන දාර්ශනිකයෙකු හා දේශපාලන ක්‍රියාකාරිනියක වූ ප්‍රංශ ලේඛිකා සිමොන් ද බුවා වරක කියා තිබිණ. ඇය ජීවත් වූයේද “ආදරය” හා “ලිංගිකත්වය” එක්වූ එවැනි සම්බන්ධකම් සමගින්ය. ඒ අතර අවුරුදු 51 ක් ඇය පවත්වා ගෙන ගිය ඇයගේ “ස්ථිර සම්බන්ධතාව” ගැන ලියැවුනු වාක්‍ය කිහිපයක් පහතින් උපුටා තබමි.

    “ෂොන්-පෝල් සාත්‍ර සහ සිමොන් ද බුවා අතර වූ නොබිඳුණු, පලුදු නොවුනු සම්බන්ධතාව ……ජෑස් සමාජ, අවන් හල් සහ ලියන මේස, දේශන හා වීදි විරෝධතා අතර ගෙවා දැමූ අපූරු තේජාන්විත ප්‍රේමයක් විය. කිසි අයුරකින් ලිහා දැමිය නොහැකි වූ අදහස් හා මතවාද සමගින් පැවති ඔවුන්ගේ ජීවන බැඳීම නෛතික විවාහයක් නොවුනකි. ඒ සබඳතාවෙහි වෙනත් විවෘත පුද්ගල ඇසුරු කිරීම් සඳහාද ඔවුහු ඉඩ තබා ගත්හ. පැවති සමාජ සම්මතයට වෙනස් වූ මේ පෙරළිකාර නව ගමන එකල විස්මිත සබඳතාවක් විය.” (2005 ජුනි 10 වන දින “ද ගාඩියන්” හි “සිමොන් ද බුවාගේ විවෘත විවාහය ඇයට සතුටක් වීද?” යන ලිසා අපින්‍යානෙසි ලියූ ලපියෙනි)

    අපට අද එසේ නොවන කවන්ධ සම්බන්ධකම් ගැන කතා කරන්නට සිදු වන්නේ වසර 40 ක් පුරා මේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් සාමකාමී මනුස්ස සමාජය වෙනුවට හිස් පාරිභෝගිකයින් හැදූ වෙළඳපලක, වික්ටෝරියානු සුචරිතවාදයද බරපතල ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙන හෙයිනි.

    පරාර්ථකාමී මනුස්ස ගනුදෙනු සඳහා ඉඩ නොතබන මෙහි සිය ලිංගික ආසාවන් මුදා හැර ගැනීමට වික්ටෝරියානු සුචරිතවාදයේ සීමා මායිම් නොතකන පුද්ගලයින්ද බිහි වන හෙයිනි. වැඩපළෙහි කාර්යාලයෙහි හා රාජ්‍ය අධිකාරයේ සිය තනතුර, නිලය, දේශපාලන හා මුදල් බලය කුරිරු ලෙස යොදා ගන්නා එවැනි පුද්ගලයින් සිටීම හා ඔවුන්ගේ හිංසනයට, බලහත්කාරයන්ට ගොදුරුවන බොහෝ තරුණියන් නිහඩව සිටීමද මේ අරාජික විවෘත වෙළඳපල පසුබිමෙහි ව්‍යතිරේඛයක් නොවන්නකි.

    පුරුෂාධිපත්‍ය සමග අතරමග ලිංගික සුවය සඳහා නිලය, දේශපාලනය, මුදල බලයක් ලෙස යොදා ගන්නා මේ පසුබිමෙහි නැති “ආදරයක්” සොයා ගිය කුරුවිට තෙප්පනාවේ දිලිනි යසෝදරා එක් අවාසනාවන්තියක් පමණි. සුචරිතවාදයක කොටු නොවන සැබෑ “ආදර” සබඳතාවන් ගැන සිතන්නටවත් ඉඩක් නොතබන මේ අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි පිරිහීම විසින් ඇයව තනි නොකරනු ඇත. 

    එබැවින් එවැනි සියලු අපරාධ වළකා ලීමට අනාගතය සඳහා සදාචාර සම්පන්න විසඳුම් සෙවිය හැක්කේ නැවත පරාර්ථකාමී සමාජයක් දිනා ගැනීමට මේ අසීමාන්තික විවෘත වෙළඳපල අතහැර වෙනත් සමාජ ආර්ථික සංවර්ධනයක් ගැන කතා කිරීමෙන් පමණි. තෙප්පනාවේ දිලිනි යසෝදරාගේ අවාසනාවන්ත ඉරණම සතු ඉල්ලීම නිසැක වශයෙන් එය විය යුතුය.       

    කුසල් පෙරේරා

  • ශ්‍රී ලංකා ධජය පාපිස්නයක – සමාජමාධ්‍ය වලින් සුපිරි ප්‍රතිචාර

    ශ්‍රී ලංකා ධජය පාපිස්නයක – සමාජමාධ්‍ය වලින් සුපිරි ප්‍රතිචාර

    ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නයකට අදාළ වෙළෙඳ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වෙමින් තිබේ. මේ ආශ්‍රිතව සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් ගොඩ නැගී ඇත.

    ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්නයක් පිළිබඳ දැන්වීම් මෙසේ පළවී තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරන ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන ‘ඇමසොන්’ හි ය. “ශ්‍රී ලංකා ධජය ලිස්සා නොයන දොරකඩ / පිළිගැනීමේ පාපිස්ස / පලස” ලෙස නම් කර ඇති මෙම පාපිස්නය ඇමරිකානු ඩොලර් 12 කට නැතහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙදහස් පන්සියයක් පමණ මිලකට අලෙවිය සඳහා පළ කර තිබිණි.

    ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්නයකට යොදා අන්තර්ජාලයේ විකිනීමට තබා ඇති අයුරු
    ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්නයකට යොදා අන්තර්ජාලයේ විකිනීමට තබා ඇති අයුරු

    චීන නිෂ්පාදකයෙකු වන ෂෙන්හොං ලින් මෙය නිෂප්දනය කර ඇමේසොන් හි විකිණීමට ඉදිරිපත් කර .

    මේ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනා අදහස් පළකරන්නට පටන් ගත් අතර ඉන් ඇතැමෙකු ගේ විග්‍රහය ඔස්සේ පෙන්නුම් කෙරුණේ, චීනය හා ශ්‍රී ලංකාව අතර මෑත කාලයේ ගොඩ නැගෙමින් පවතින නව මානයක සම්බන්ධතාව කෙරෙහි සමාජයේ ඇතැම් කොටස් අතර පවතින නොකැමැත්ත ය.

    ෆේස්බුක් හි පළවූ එවැනි එක් පෝස්ටුවක සඳහන් වූයේ “මේ තමයි චීනය ශ්‍රී ලංකාව පිළිබඳ සිතන ආකාරය. අපි ඔවුන්ට යටත් විජිතයක් පමණයි” යනුවෙනි.

    සමාජ මධ්‍යයයේ එය පිළිබඳව පලවූ අදහසක්
    සමාජ මධ්‍යයයේ එය පිළිබඳව පළවූ අදහසක්

    ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්න පමණක් නොව සෙරෙප්පු හා යට ඇඟලුම් ද අන්තර්ජාලයේ අලෙවියට ඇති බව ඇතැම්හු පෙන්වා දෙති.

    ශ්‍රී ලංකා ධජය මුද්‍රිත ද්‍රව්‍ය

    මෙම සංවාදයට එක්වූ ඇතැමුන්, ජාතික ධජය පාපිස්නයකට යෙදීම එතරම් කලබල විය යුතු දෙයක් නොවන බවක් ද පෙන්වා දීමට උත්සාහ දරන අයුරු පෙනෙන්නට විය.

    ජාතික ධජය

    කෙසේවෙතත්, රටේ දැනට උද්ගතව ඇති වෙනත් අර්බුද කෙරෙහි ඇති අවධානය යටපත් කිරීම සඳහා මෙම මාතෘකාව යොදාගැනීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් ද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකන් සිය අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ. පහත දැක්වෙන ෆේස්බුක් පළකිරීම් ඊට උදාහරණ කිහිපයකි.

    ජාතික ධජය - සීනි අර්බුදය

    මේ අතර ශ්‍රී ලකාවේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නයක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙස, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බවය.

    ඒ අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර ඇතැයි කී විදේශ කටයුතු අමාත්‍යාංශය, “ඇමසෝන් වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබේ.” යනුවෙන් පැවසීය.

    මේ අතර මාධ්‍ය අමතමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළේ “මෙය හිතා මතා අපේ රටේ ජාතික කොඩියට අවමන් කිරීමට හිතාමතා කරන ලද වැඩ පිළිවෙලක්ද කියලා හොයා බලන්නට ඕන. එසේ හොයා බලා ඒ නිෂ්පාදකයින්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. හිතාමතා හෝ වේවා හිතාමතා නොවේ හෝ වේවා ජාතික කොඩියක් පාපිස්සට දැම්මා.” යනුවෙනි.

    ප්‍රතිචාරය

    මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටියේ ජාතික ධජය හැමවිටම පූර්ණ ගෞරවයට ලක්විය යුතු, රටක සංකේතය යන්න සිය අඛණ්ඩ ස්ථාවරය වන බවය. ඇමසොන් වෙබ් අඩවියේ පළවී ඇති ශ්‍රී ලංකාවේ ජාතික ධජය සම්බන්ධ නුසුදුසු වෙළෙඳ දැන්වීමට අදාළව මතුවී ඇති සැලකිල්ල පිළිබඳ තමන් දැනුවත් බව පවසන තානාපති කාර්යාලය, විමර්ශනය හා අවශ්‍ය පියවර සඳහා අදාළ චීන බලධාරීන් වෙත එය යොමු කර ඇති බව ද කියා සිටී.

    Text by bbc

  • අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

    අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

    පිට පිටම දෙවැනි වතාවටත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් විශාල සම්බන්ධතාවයක් පැවැත්වීමට එවින් ලුවිස් සහ ෂායි හෝප් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (13 දා) සමත්විය.

    පන්දු 225 කදී ගොඩනැංවුණු ලකුණු 192 ක සම්බන්ධතාවය හේතුවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම තවත් පන්දු 2 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගැනීමට හැකියාව ලැබිණ. 2014 වසරෙන් පසු කොදෙව් කණ්ඩායමක් පිට පිටම තරග 2 ක් ජයගනු ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ලද මෙම ජයග්‍රහණයත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය 2-0 ක් වශයෙන් ජයගැනීමටද සත්කාරක කණ්ඩායමට අවස්ථාව උදාවිය.

    ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයෙන් සත්කාරක කණ්ඩායම කිසියම් ආධිපත්‍යයක් ගොඩ නඟා ගැනීමට සමත් වුවත් පන්දු 8 ක් තුළ ආරම්භක පිතිකරුවන් යුගලය දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමත් සමඟ තරගය ජය යළිත් වරක් දෙපිළටම දෝලනය විය. ඒ අනුව යමින් තවත් කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබීම මත අවසන් පන්දු 18 ඇතුළත ලකුණු 31 ක් ලබා ගැනීමේ අභියෝගය කොදෙව් පිල හමුවේ තිබිණ.

    කෙසේ වෙතත් අවසන් පන්දුවාරය වන විට එය පන්දු 6 කදී ලකුණු 9 ක් වශයෙන් සටහන් වූ අතර නුවන් ප්‍රදීප් විසින් යවන ලද පළමු පන්දු 2 ට හතරේ පහර 2 ක් සහ ඊළඟ පන්දුවට ලකුෂණක් ලබා ගැනීමට නිකලස් පූරාන් සමත්වීම නිසා ශ්‍රී ලංකා පිලට අවසන් මොහොතේ පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

    ජයග්‍රහණය සඳහා ප්‍රධානම අඩිතාලම එක් වුණු ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය අතරතුර ලක්ෂාන් සඳකැන්ට ලබා දුන් උඩ පන්දුවත් දුවද්දී දවා ගැනීමේ අවස්ථාවත් හැරුණු විට එතරම් බලපෑමක් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් විය. ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිලේ ආරම්භක පිතිකරු යුගලයක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වුණු මෙම සම්බන්ධතාවය ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු සිව්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

    වැඩිම ලකුණු ලාභියාවුණු එවින් ලුවිස් පන්දු 121 කදී ලකුණු 103 ක් රැස් කරන ලද්දේ සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කර ගනිමිනි. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ලුවිස් පිදුම් ලැබීය.

    අනෙක් අර්ධ ශතකලාභියා වූ හෝප් ගෙන බැලූ විට එය ශ්‍රී ලංකා පිලට එරෙහිව මෑත කාලීනව පිට පිටම රැස් කරන ලද 5 වැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය. පන්දු 108 කදී ගොඩනැංවුණු හෝප්ගේ ලකුණු 84 ක ඉනිම සඳහා ඔහු හතරේ පහර 6 ක් පමණක් එල්ල කළේය.

    42 වැනි පන්දුවාරය වන විට කඩුලු 6 කට ලකුණ් 204 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට වනිඳු හසරංග විසින් වේගවත් ලකුණු 47 හේතුවෙන් 273 ක් වැනි තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව ශ්‍රී ලංකාවට විවර වූවේය. පන්දු 31 කදී වාර්තා වුණු වනිඳුගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2  ක් ඇතුළත් විය.

    49 වැනි පන්දුවාරයේදී හසරංග දැවී ගියද ඔහුගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 51 ක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූයේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකය. ඉදිරි පෙළ පිතිකරුවන් දැවී යද්දී සිය ප්‍රහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දුන් ධනුෂ්ක ශතකයට ලකුණු 4 ක් තිබියදී දැවී ගියේය. පන්දු 96 කදී වාර්තා වුණු ගුණතිලකගේ සුවිශේෂ ඉනිම ශ්‍රී ලංකා ඉනිමේකොඳු නාරටිය බවට පත්වූවේය. එම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගැනීමට ගුණතිලක් සමත්වූවේය.

    ලකුණු 50 ට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී ගුණතිලකට එක් වුණු දිනේෂ් චන්දිමාල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 136 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ගොඩ දැමුවේය. මැද පෙළ ශක්තමත් වුණු චන්දිමාල් ඉනිම සටහන් වූයේ පන්දු 98 කදී ලකුණු 71 ක් වශයෙනි.

    text by sl cricket
  • ජිනීවා මානව හිමිකම් කොමිෂමට ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවිය හැකිද?

    ජිනීවා මානව හිමිකම් කොමිෂමට ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවිය හැකිද?

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කිරීමත් හේතුවෙනි.

    කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ හා මලාවි යන රටවල් ද අදාළ සමූහයට අයත් වේ.

    එම රටවල් සමුහය, ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් කෙරුණු යෝජනාවක් මාර්තු 16 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

    ‘ද අයිලන්ඩ්’ පුවත් පත පසුගිය දා වාර්තා කර තිබුණේ “ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහයෝගය ලබා ගැනීමට, එහි සම අනුග්‍රහකත්වය දරන සාමාජිකයින් වන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි ලෙස ප්‍රවර්ධනයක යෙදෙමින් සිටිති.” යනුවෙනි.

    එහි වැඩිදුරටත් දැක්වුණේ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් කොළඹ 07 හි කැනඩා මන්දිරයේදී (කැනඩා මහ කොමසාරිස් නිල නිවස) හමුවූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එච්.සී. සාරා හල්ටන් දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ද මෑතකදී හමුවූ බවය. බංග්ලාදේශය මෙන්ම දකුණු කොරියාව ද සාමාජික රටවල් 47ක ගෙන් සමන්විත මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් ය. සාමාන්‍යයෙන් මෙම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර රැස්වීම් ඉතා දුර්ලභ බව ‘ද අයිලන්ඩ්’ පුවත්පත වැඩිදුරටත් පවසා තිබිණි.

    එහෙත් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ”තමාව ආවේක්ෂණය කරන්නේද යන්නයි.

    එහෙත් සම අනුග්‍රාහක රටවල් සමූහය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට වඩා බෙහෙවින් වෙනස් නිර්දේශයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ඉරිදිපත් කරන ලද වාර්තාවේ සඳහන් වන අතර එමගින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ හිංසනයේ යෙදුනු පුද්ගලයන් ට එරෙහිව ඉලක්කගත සම්බාධක, ඔවුන්ගේ වත්කම් අහුරාලීම සහ සංචාරක තහනම් කිරීම් සලකා බලන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලින් ඇය ඉල්ලා සිටියාය.

    මිෂෙල් බැෂලේ ගේ වාර්තාව පසුගිය දා අන්තර්ක්‍රියාකාරී සංවාදයට ගැනුණු අතර නිකරගුවා, එරිත්‍රියා සහ උතුරු කොරියා ඇතුළු රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් කතා කළහ. නිකරගුවා, එරිත්‍රියා සහ උතුරු කොරියාව ද මානව හිමිකම් කවුන්සිලය තුළ ඔවුන් පාදක කරගත් යෝජනාවලට මුහුණ දී සිටිති.

    කියුබාව, වෙනිසුවෙලා, ඉන්දුනීසියාව, පාකිස්ථානය මෙවර මෙන් අතීතයේ දී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලට එරෙහිව පැහැදිලි ස්ථාවරයක් ගත් රවල් අතර සිටිති. එහෙත් අතීතයේදී ඔවුනට එම යෝජනා පරාජය කිරීමේ හැකියාව නොලැබිණි.

    “රටවල් 21 ක සහයෝගය, මුහුණ දීමට ඇති ප්‍රශ්ණයට ප්‍රසන්න යථාර්ථයක් නොවේ, අසර්බයිජානය කවුන්සිලයේ හෝ වෙනත් ඕනෑම තැනක ශ්‍රී ලංකාව වෙනුවෙන් කථා කිරීම ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහයෝගයෙන් කථා කිරීම අතර විශාල වෙනසක් පෙන්නුම් කරනවා. එසේ නොදැකීම ප්‍රශ්නයේ නියම ස්වභාවය ගණනය කිරීමට අපොහොසත් වීමක්,”යනුවෙන් මාධ්‍යවේදී දරිෂා බැස්ටියන් පැවසුවාය.

    රට තුළ මේ වන විට විවිධ මත පැතිරෙන අතර ඇතැම් පුද්ගලයන් පවසන්නේ මානව හිමිකම් කවුසිලයේ යෝජනාව හරහා රටට ආර්ථික සම්බාධක පැනවීම වැනි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවය. එහෙත්, සැබෑවටම මානව හිමිකම් කවුන්සිලයට එසේ කළ හැකිද?

    මානව හිමිකම් කවුන්සිලයේ සංයුතිය

    කවුන්සිලය සාමාජික රටවල් 47 කින් සමන්විත වන අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින්ගේ සෘජු හා රහසිගත ඡන්ද විමසීමකින් එම සාමාජික රටවල් තෝරා ගනු ලැබේ. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා එම අපේක්ෂක රාජ්‍යයන්ගේ දායකත්වය මෙන්ම ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කැපවීම් සහ ස්වේච්ඡාවෙන් ක්‍රියාකිරීම මහ මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලබයි.කවුන්සිලයේ සාමාජිකත්වය පදනම් වන්නේ සමාන භූගෝලීය ව්‍යාප්තිය මත ය. ඒ අනුව අප්‍රිකානු රටවලට ආසන 13 ක්, ආසියා – පැසිෆික් රටවලට ආසන 13 ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට ආසන 8 ක්, බටහිර යුරෝපීය සහ අනෙකුත් රාජ්‍යයන්ට ආසන 7 ක්, නැගෙනහිර යුරෝපීය රටවලට ආසන 6 ක් මානව හිමිකම් කවුන්සිලයේ ආසන වෙන්වී ඇත.

    වසර තුනක සාමාජික කාලයක් අදාළ රටවලට හිමිවන අතර අඛණ්ඩව වාර දෙකක් සාමාජිකත්වය දැරීමෙන් පසු වහාම නැවත තේරී පත්වීමට සුදුසුකම් නොලබයි.මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කිරීම සඳහා 2006 මාර්තු මාසයේදී 60/251 යෝජනාව සම්මත කරන විට රාජ්‍යයන් විසින්ම අවධාරණය කරන ලද නිර්ණායකයට අනුව කවුන්සිලයේ සාමාජිකත්වය ලැබීමත් සමඟ ඉහළ මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ වගකීම එම සාමාජික රටවලට පැවරේ.

    සභාපතිවරයෙක් සහ උප සභාපතිවරු හතර දෙනෙක් ඇතුළත් වන කවුන්සිලයේ මාධ්‍යම කාර්යාංශය සමන්විත වනුයේ, කලාපීය කණ්ඩායම් පහ නියෝජනය කරන පුද්ගලයින් පස් දෙනෙකුගෙනි. ඔවුන් වසරක කාලයක් සේවය කරනුයේ කවුන්සිලයේ වාර්ෂික චක්‍රයට අනුකූලව ය.

    සාමාජික රටවල්

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ගණන 47 කි. 2020 ජනවාරි 1 වෙනිදා වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් 117 ක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් ලෙස සේවය කර ඇත.

    පහත සාමාජික ලැයිස්තුවෙන් 2006 සිට 2020 දක්වා සමාජිකත්වය දැරූ රටවල් පෙන්නුම් කෙරේ.

    ඇෆ්ගනිස්ථානය, ඇල්බේනියාව, ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බහමාස්, බහරේනය, බංග්ලාදේශය, බෙල්ජියම, බෙනින්, බොලිවියාව (බහුත්ව රාජ්‍ය), බොස්නියාව සහ හර්සගොවිනා, බොට්ස්වානා, බ්‍රසීලය, බල්ගේරියාව, බුර්කිනා ෆාසෝ කැමරූන්, කැනඩාව, චිලී, චීනය, කොංගෝ, කොස්ටාරිකා, කෝට් ඩි අයිවෝර් (අයිවරි කෝස්ට්), ක්‍රොඒෂියාව, කියුබාව, චෙකියා (චෙක් ජනරජය), කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඩෙන්මාර්කය, ජිබුටි, ඉක්වදෝරය, ඊජිප්තුව, එල් සැල්වදෝරය, එරිත්‍රියාව, එස්තෝනියාව, ඉතියෝපියාව, ෆීජි, ෆින්ලන්තය, ප්‍රංශය, ගැබොන්, ජෝර්ජියාව, ජර්මනිය, ඝානා, ග්වාතමාලා, හංගේරියාව, අයිස්ලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, ජෝර්දානය, කසක්ස්තානය, කෙන්යාව, කුවේට්, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිබියාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මාලි, මාෂල් දූපත්, මොරිටේනියාව, මුරුසිය, මෙක්සිකෝව, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, මොරොක්කෝව, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, පාකිස්ථානය, පැනමාව, පැරගුවේ, පේරු, පිලිපීනය, පෝලන්තය, පෘතුගාලය, කටාර්, කොරියානු ජනරජය, මෝල්ඩෝවා ජනරජය, උතුරු මැසිඩෝනියා ජනරජය, රුමේනියාව, රුසියානු සමූහාණ්ඩුව, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනෙගල්, සියරා ලියොන්, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, දකුණු අප්‍රිකාව, සෝමාලියාව, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, සුඩානය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, ටෝගෝ, ටියුනීසියාව, උගන්ඩාව යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, උරුගුවේ, වෙනිසුවෙලා (බොලිවේරියානු ජනරජය), වියට්නාමය, සැම්බියාව.

    කවුන්සිලයේ බලතල

    මානව හිමිකම් කවුන්සිලයේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ මෙන් කිසිදු රාජ්‍යයකට නිෂේධ බලය හිමිවී නොමැත. යෝජනා සම්මත වන්නේ සම්මුතියෙන් හෝ බහුතර ඡන්දයෙනි. එමනිසා චීනය සහ රුසියාව වැනි රටවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ “නිෂේධ බලය” ඇති බවට පැවසීම නිවැරදි නොවේ.

    ආර්ථික හෝ වෙනත් ආකාරයකින් සම්බාධක පැනවීමේ හැකියාවක් මානව හිමිකම් කවුන්සිලයට නොමැත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට අදාළ රාජ්‍යයන් බැඳී නොමැත. එහි අර්ථය වනුයේ එයට අනුගත වීම සඳහා රජයකට “බල කිරීමක්” සිදු වන නමුත් සෘජු ප්‍රතිවිපාක, සම්බාධක හෝ දඩුවම් ලබාදීමට කවුන්සිලයට හැකියාවක් නොමැත. එහෙත් කවුන්සිලයේ යෝජනාවලින් හෙළිකරන මානව හිමිකම් කඩවීම ඉස්මතු කිරීම තුළින් ඒවා පදනම් කර තනි තනි රවවල් ද්විපාර්ශ්වික සම්බාධක පැනවීම වැනි ප්‍රතිවිපාක ඇතිවිය හැකිය.

    බැෂලේ ගේ වාර්තාවේ “ඉලක්කගත සම්බාධක” සඳහා කැඳවීමක් යෝජනා කිරීම තුළින් අදහස් කෙරෙන්නේ සමස්ත රටට නොව, එම වාර්තාවේ හදුන්වා දී ඇති පුද්ගලයන්ට එරෙහි සම්බාධක පැනවීම සඳහා තනිවම තීරණය කිරීමේ හැකියාව රජයන්ට ඇති බවය. යුද වකවානුවේ අපයෝජනයන්ට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර සංචරණය හෝ වෙළෙඳ ගනුදෙනුවල යෙදීම වළක්වා ඇත.

    මෙය දැනටමත් ඇතැම් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයකි. උදාහරණයක් ලෙස දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය විසින් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සංචාරක තහනමක් පනවනු ලැබ ඇත.පෙර වසරවල මෙන් නොව, දැනට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වී සිටින එක්සත් ජනපදය නැවත මානව හිමිකම් කවුන්සිලයට එක්වීමේ වෑයමක නියැලෙයි. ඔවුනට තවමත් ඡන්ද අයිතිය ලබා දී නොමැත.

    එමනිසා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සම අනුග්‍රාහකයන්ට තවමත් සිය යෝජනාවට බහුතර කැමැත්ත ලබාගැනීමට හැකිවේදැයි සැක සහිත වන්නේ චීනය, රුසියාව සහ පාකිස්තානය යන සියල්ලන්ටම කවුන්සිලයේ ඡන්ද අයිතිය ඇති අතර එය සැලකිය යුතු ඡන්ද බලයක් වන බැවිනි.

    නමුත් මෙම යෝජනාව කවුන්සිලයේ පරාජයට පත්වුවද, එම රටවලට තනි තනිව තීරණ ගැනීමේ හැකියාව තිබේ.

    Text by bbc

  • ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර වාර්තාවේ අඩංගු සියල්ල අනාවරණය කළා

    ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර වාර්තාවේ අඩංගු සියල්ල අනාවරණය කළා

    පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

    කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරන ලදී. මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වේ. මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා  මේ බව පැවසීය .

    රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15ක කාලය තුළ තීරණ ගත් බව රාජපක්ෂ මහතා කීය.

    ජාතිකවාදී රජයක් බලයට පැමිණි සෑම අවස්ථාවකදීම දේශීය මෙන්ම විදේශීය බලවේග එය බිඳ දැමීමට ක්‍රියා කළේය.  මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයෙන් ඉවත් කිරීමට ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයට හසු වීමෙන්, පසුගිය වසර 05 තුළ රට කොතරම් පසුපසට ගමන් කළේද යන්න වටහා ගත යුතුය. ඒ නිසා සමස්ත රට මෙන්ම භික්ෂුන් වහන්සේ, රණවිරුවන් පත්වූ අපහසුතාව ජනතාව අවබෝධ කරගෙන සිටිති.

    රජය වර්තමානයේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එකී බලවේග නැවත උත්සාහ දරමින් සිටී. ඊට හසු වුවහොත් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කිරිමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය නැති කිරීමට විශාල වැඩකොටසක් කර තිබේ. රැකියා උත්පාදනය කෙරෙන සහ කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ඇත.

    පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව සම්බන්ධයෙන්  විපක්ෂය විවිධ මත ඉදිරිපත් කරයි. කාදිනල්තුමාගේ එකඟතාව සහ විශ්වාසය මත කොමිෂමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනිණ.

    පෙබරවාරි 01 දා භාරදුන් වාර්තාව දින 28ක් තුළ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් කොමිෂන් සභා වාර්තාව සැඟවීමට උත්සාහ කරන බවට විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යයි. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තබා ඇත.

    විශාල ආන්දෝලනයක් ඇති කළ MCC ගිවිසුම ඉවත් කරගෙන තිබේ. රණවිරුවන්ට හා රටේ ස්වෛරීත්වයට දැවැන්ත පහරක් එල්ල කළ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී  ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනාවට දුන් සම  අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනිණ. කෙටි කාලයක් තුළ රට වෙනුවෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ග ගැන කිසිවෙක් කතා නොකරති. එසේ වුවද ජනතාව ඉදිරියේ තැබූ  පොරොන්දු හා ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් රටේ උන්නතිය උදෙසා කැප වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවම් සහ ජයන්ත කැටගොඩ හා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුනගේ සංගමයේ සභාපති කාංචන ජයරත්න යන මහත්වරු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සුමින්ද කීර්ති – ජනාධිපති මාධ්‍ය අංශය )

  • ‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ තරුණ ව්‍යවසායකයින් පිරිසකට අගමැති කී කතාව

    ‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ තරුණ ව්‍යවසායකයින් පිරිසකට අගමැති කී කතාව

    රට ජාතිය ගැන හැඟීම තිබෙන තරුණ ව්‍යවසායකයින් පිරිසක් ජාතික ඇඳුමෙන් සැරසී සිටිනු දැකීම විශාල ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින පස්වරුවේ පැවසීය.

    කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ 22 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    හිටපු සභාපති චමත් කෝට්ටගේ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත්වීමත් මෙහිදී සිදුවිය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට දැන් වසර 22 ක් සම්පූර්ණ වෙනවා.

    මට මතකයි මේ ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය ආරම්භ කරපු කාලය. 1999 දී මම මේ සංගමය ආරම්යට සම්බන්ධ වුණා.

    මම ඒ කාලයේ ධීවර ඇමතිවරයා. 17 දෙනෙකුගෙන් තමයි එදා මේ සංවිධානය ආරම්භ කළේ.

    එදා ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට සම්බන්ධ වුණ අයට රටේ ඉන්න අනෙකුත් ව්‍යාපාරිකයින් එකට එකතු කරගෙන සංසදයක් හැටියට ඉදිරියට යන්න  ලොකු වුවමනාවක් තිබුණා. ඒ 17 දෙනා ඉතාමත් ධෛර්යවන්තව, අරමුණක් ඇතිව වැඩ කරන පිරිසක් වීම නිසා තමයි අවුරු 22 තුළ මෙච්චර දුර ගමනක් එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.

    එදා සම්බන්ධ වුණ අයගෙන් ජගත් සුමතිපාල වගේ අය තවමත් මේ සංවිධානයේ ඉන්නවා දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

    මේ වෙනකොට මේ සංවිධානයේ විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර වල යෙදෙන 120 දෙනෙකු සාමාජිකත්වය දරන බව මට දැනගන්න ලැබුණා. ඒ වගේම  මේ රටේ දළ දේශිය නිෂ්පාදනයට බිලියන 600ක පමණ දායකත්වයකුත් ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ 4කටත් වඩා වැඩි පිරිසකට රැකියා සපයනවා.

    මිත්‍රවරුනි,

    මම දේශපාලනය ආවේ 70 දශකයේ. 1970 දී දේශපාලනයට ආපු මට ඒ කාලයේ රටේ අගනගරය වන කොළඹ හිටපු අපේ ලාංකික ව්‍යාපාරිකයෝ මුණ ගැහිලා තිබෙනවා. ඒ අයගේ ආකල්ප, හැසිරීම් මම දැකලා තියෙනවා.

    ඒ අයට රට ගැන හැඟීමක් තිබුණා. ඒ අය රටේ දේශිය නිෂ්පාදනය ගොඩගැනීම ගැන හිතපු අය. බොහෝ දෙනෙක් පිට පළාත්වලින් කොළඹ ඇවිල්ලා ව්‍යාපාරිකව හැදුණු වැඩුණු අය. ඒ නිසාම ඒ අය අතරේ ලොකු සම්බන්ධයක් තිබුණා.

    මිත්‍රවරුනි,

    1977 දී විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දුන්නා. විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීමත් එක්කම එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට විශාල වශයෙන් බලපෑම් ඇතිවුණා.

    ඒ අයට වෙනස් වෙන්න සිද්ධ වුණා. විවෘත ආර්ථිකය යටතේ ප්‍රධාන කාරණයක් තමයි තරගය. තරගකාරීව ව්‍යාපාරයේ යෙදෙන තැනැත්තා ජයග්‍රහණය කිරීම තමයි විවෘත ආර්ථිකයේ ක්‍රමය. තරගය මත තමයි සේරම තීරණය වුණේ.

    විවෘත ආර්ථිකය පැමිණීමත් එක්කම ශක්තිවන්තයා ඉතුරු වෙලා දුර්වල තැනැත්තා හැලිලා ගියා. ඒ විතරක්ද? මේ තරගය නිසා අපිට විශාල දේවල් ප්‍රමාණයක් අහිමි වුණා.

    මේ තත්ත්වය යටතේ තමයි අපේ සාරධර්ම තියෙන ව්‍යාපාරික එකමුතුවක් ඕන කියලා මීට අවුරුදු 22කට කලින් කොළඹ හිටපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ පිරිස කල්පනා කරන්න ගත්තේ. ඒ අරමුණින් තමයි ඔබ සියලුදෙනා එදා ඒකරාශි වුණේ.

    දැන් තරගය වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න  පුළුවන්  කියන හැඟිම ,දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. ඒක ඇති කරන්න මූලික වුණ ලාංකේය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE-කොයිල්) ගැන අපේ ගෞරවයක් තියෙනවා.

    මිත්‍රවරුනි,

    එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයින් තමන් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා. එහෙම නැත්නම් සමාජ සේවා කටයුතු වලට දායක වුණා.

    අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ රටේ රෝහල්, පාසල් පරිත්‍යාග කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නොවෙයි. අපේ ව්‍යාපාරිකයින්ගේ දේපළ තමයි සොයිසා වටරවුමේ තියෙන්නේ.

    කොළඹ මහ රෝහල, විශාඛා විද්‍යාලයේ ඉඳන් බොහෝ දේවල් මේ රටේ ව්‍යාපාරිකයින් පරිත්‍යාග කළ දේවල්.

    එදා ඒ ව්‍යාපාරිකයින් ඒවා පරිත්‍යාග කළේ ව්‍යාපාරික අරමුණින් නොවෙයි. රට ගැන තිබුණ කරුණාවෙන්. අපේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියන හැඟීමෙන්. වර්තමාන ව්‍යාපාරවල මහජන සුභසාධන වැඩ තියෙනවා. ඒවා කරන්නේ එදා ව්‍යාපාරිකයින් කරපු ආකාරයට පුණ්‍ය චේතනාවෙන්ම නෙවෙයි.

    ඒවා කරන්නේ ව්‍යාපාරයේ කීර්තිනාමය ඉහළට ඔසවලා තමන්ගේ භාණ්ඩ හා සේවා විකුණගන්න. නමුත් එදා අපේ ව්‍යාපාරිකයන් තුළ තිබුණු පුණ්‍යවන්ත අදහසින් යමක් දීම දැන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ව්‍යවසායකයන්ගේ සංගමය ඒකට විසඳුමක් දීලා තියෙනවා.

    ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට අනුබද්ධව  කාන්තා සංසදයක් ගොඩනගලා වසර 12ක පමණ කාලයක් තිස්සේ කටයුතු කරගෙන යන බව මම දන්නවා. ඒ අය එකතු වෙලා අතීතයේ ව්‍යාපාරිකයින් තුළ තිබුණු පුණ්‍ය චේතනාව ක්‍රියාවට නංවන්න වැඩකටයුතු කරන බව මට දැනගන්නට ලැබෙනවා.

    ඈත ගම්මානවලට ගෙවල් හදාදීමේ ඉඳන්, ශාසනයට උදව් කිරීමේ ඉඳන් බොහෝ දේවල් ප්‍රචාරය කරන්නේ නැතුව කරගෙන යන බව මට දැනගන්න ලැබිලා තියෙනවා. අතීත ව්‍යාපාරික සමාජයේ තිබුණ සාරධර්මත් අරගෙන ව්‍යාපාරික සංසදය ගොඩනැගීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා.

    මිත්‍රවරුනි,

    තරුණ ව්‍යවසායකයින් පළමු වතාවට තමයි ටයි-කෝට් නැතුව ජාතික ඇඳුමින් සැරසිලා එදා ඒකරාශී වුණේ. මට මතකයි ජීවිතේ පළවෙනි වතාවට ජාතික ඇඳුමින් සැරසුණු අය මීට වසර 22කට කලින් එකතුවෙලා හිටපු හැටි.

    අදත් ඒ ජාතික ඇඳුම ඇඳගෙන මෙතැනට ඇවිත් ඉන්න බව දකිනකොට වසර 22කට කලින් තිබුණු සුහඳ හැඟීම, ජාතිය පිළිබඳ හැඟිම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවයි කියන එක ගැන මට විශාල ආඩම්බරයක් දැනෙනවා.

    ඔබගේ කටයුතු දිනෙන් දින දියුණුවට පත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සුභ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, දයාසිරි ජයසේකර,  ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභාපති දිමුත් චන්දන සිල්වා, උප සභාපති රසිත් වික්‍රමසිංහ මහත්වරු ඇතුලු ව්‍යවසායකයින්ගේ සංගමයේ සමාජිකයින් රැසක් සහභාගී වූහ.

  • සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු ආරම්භ කරනවා – ජී.එල්.පීරිස්

    සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු ආරම්භ කරනවා – ජී.එල්.පීරිස්

    “සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අද (10) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී ‍වීමෙන් අනතුරුව ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අද අ.පො.ස සාමාන්‍ය පෙළ අවසාන දවස. දවස් 10ක් තිස්සේ මේ විභාගය පැවැත්වුණා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් විභාගය සඳහා පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 4513ක විභාගය පැවැත්වුණා. විශාල අභියෝගවලට මුහුණදීල තමයි අපි මේ විභාගය පැවැත්වුවේ. විභාගය ආරම්භ වනවිට ආසාධිත දරුවන් හිටියේ 38යි. අවසාන වනවිට සිසුන් 62යි. මේවගේ තත්ත්වයකට මුහුණ දෙන්නට අපි කලින් සූදානම් වෙලා තිබුණා.

    මුළු රටේ ම විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් අපි හදල තිබ්බා. ඒවගේ ම නි‍රෝධායනයට ලක්වුණු දරුවන් 322ක් හිටියා. හැම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයකුත් සකස් කරලා තිබුණා. ඒවගේ ම පසුගිය දවස් දෙකේ අයහපත් කාලගුණය නිසා සමහර ගැටලු පැන නැඟුණා. හැබැයි අපිට පුළුවන් වුණා බොහොම සාර්ථක ව ප්‍රශ්නපත්‍ර විභාග මධ්‍යස්ථානවලට නියමිත වේලාවට යොමු කරන්නට.

    අපි තීරණය කරලා තිබෙනවා සෞන්දර්ය විෂයයන් සම්බන්ධව ‍ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ පවත්වන්නට. ඒකෙ ප්‍රයෝජනය තමයි, මේ දරුවන්ට හැකියාව ලැබෙනවා මාර්තු සහ අප්‍රේල් මාස තුළ ඒ සඳහා සූදානම් වෙන්නට. උත්තර පත්‍ර ඇගයීම මේ මාසේ 27වන දින ආරම්භ කෙරෙනවා. ඒ අනුව ජුනි මාසයේ පමණ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නටත් ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් අපට හැකියාව ලැබෙයි.

    මේ සමස්ත වැඩපිළිවෙළ නිසා පාසල් පද්ධතිය සම්පූරණයෙන් විවෘත කරලා අධ්‍යයන කටයුතු අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. මේ සඳහා කැපවීමෙන් වැඩ කටයුතු කළ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන්ට, විභාග දෙපාර්තමේන්තුවට, අධ්‍යාපන අමාත්‍යංශයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, පළාත් පාලන ආයතනවලට සහ මාධ්‍යයට අපේ ස්තූතිය හිමි වෙනවා. යනුවෙන් ද පැවසී ය.

  • මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ

    මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ

    ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු “සැලකිල්ලට භාජන” වී ඇති අතර “ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බකිංහම් මාලිගය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ “මතකයන් වෙනස් විය හැක” නමුත් අදාළ කරුණු පෞද්ගලිකව විසඳනු ඇති බවය.

    මේගන් ඔප්රා ට පැවසූ පරිදි, නම හෙළි නොකළ පවුලේ සාමාජිකයෙකු හැරීගෙන් විමසා ඇත්තේ ඔවුන්ගේ පුත් ආචීගේ සමේ පැහැය කෙතරම් තද විය හැකිද යන්නයි.

    මාළිගාව පැවසුවේ සසෙක්ස්වරු “සැමවිටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වන” බවයි.බකිංහැම් මාලිගයේ ප්‍රතිචාරය පළවූයේ, අර්බුදය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාහාගී වූ රැස්වීම්වලින් පසුවය.

    රාජකීය බිළිඳාට නම් තබයි:
    රාජකීය බිළිඳාට නම් තබයි:

    නූතන රාජකීය පවුලේ පළමු මිශ්‍ර-ජාතිකත්වයක් හිමි සාමාජිකයා වන මේගන්, තම පුතුගේ සමේ පැහැය පිළිබඳව ප්‍රශ්න අසන ලද බව පැවසූ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර දැක්වන ලෙස මාළිගාව කෙරෙහි එල්ල වූ පීඩනය ඉහළ යමින් තිබිණි.

    හැරී කුමරු පසුව ඔප්රාට පැහැදිලි කළේ මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ රැජින හෝ එඩින්බරා ආදිපාදවරයා විසින් නොවන බවය.

    මේ අතර, සසෙක්ස් හි ආදිපාදවරිය පිළිබඳව කළ අදහස් දැක්වීමකින් අනතුරුව මතුවූ අර්බුදයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන අයිටීවී (ITV) නාලිකාවේ ‘ගුඩ් මෝර්නිං බ්‍රිට්න්’ හි ඉදිරිපත් කරන්නා වූ පියර්ස් මෝර්ගන් ඉන් ඉවත් විණි.

    “හැරී සහ මේගන් හට පසුගිය වසර කිහිපය කෙතරම් අභියෝගාත්මකවීද යන්න පිළිබඳව දැනගැනීමෙන් මුළු පවුලම කණගාටුවට පත්වේ.” යනුවෙන් සම්මුඛ සාකච්ඡාව එක්සත් ජනපදයේ ප්‍රථම වරට විකාශනය වී දින එකහමාරකට පසුව නිකුත් කෙරුණු, බකිංහම් මාළිගාවේ නිවේදනයේ සඳහන් විය.

    “විශේෂයෙන් වාර්ගිකත්වය පිළිබඳ මතුවූ ගැටලුව සැලකිල්ලට භාජනය වේ. සමහර මතකයන් වෙනස් විය හැකි නමුත් ඒවා ඉතා බැරෑරුම් ලෙස සලකනු ලබන අතර පවුලේ අය විසින් එය පෞද්ගලිකව විසඳනු ඇත.

    “හැරී, මේගන් සහ ආචී සෑම විටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වනු ඇත.”

    සඳුදා සවස විකාශය වන විට සම්මුඛ සාකච්ඡාව නැරඹීමට පළමුව බ්‍රිතාන්‍ය මහජනතාවට අවස්ථාව ලබා දීමට අවශ්‍ය බවත් රාජකීයයන්ට සිය ප්‍රතිචාරය පරෙස්සම් සහගතව අවධානය යොමු කළ යුතුව තිබූ බවත් පැහැදිලි ය.

    රාජකීයයන් මෙය පවුලේ කාරණයක් ලෙස සලකන අතර පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු යැයි විශ්වාස කෙරේ.

    වර්ගවාදය, මානසික සෞඛ්‍යය, මාධ්‍ය සහ රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව සදහන් කෙරුණු අතිශය ගැඹුරු පෞද්ගලික මාතෘකා ඇතුළත් වූ සසෙක්ස්වරුන්ගේ සම්මුඛ සාකච්ඡාව දුටුවේදැයි, චාල්ස් කුමරු මීට පෙර ලන්ඩන් නුවර සංචාරයකයෙදී සිටියදී විමසූ විට ඔහු එයට ප්‍රතිචාර නොදැක්වීය .

    එක්සත් රාජධානිය තුළ සඳුදා රාත්‍රියේ විකාශනය කෙරුණු එම සම්මුඛ සාකච්ඡා සාමාන්‍යයෙන් මිලියන 11.1 ක ජනතාවක් නැරඹූහ.

    එහි දී ආදිපාදවරිය පැවසුවේ රාජකීය ජීවිතය එතරම් දුෂ්කර වූ නිසා “තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය නැති” හැගීමක් දැනුණු අවස්ථා තිබූ බවය. මාළිගාවෙන් උදව් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව ද ඇය සඳහන් කළාය.

    රාජකීය බිළිඳාට නම් තබයි:

    ආචී ඉපදුණු විට ඔහුගේ සම කෙතරම් තද පැහැ විය හැකිද යන්න පිළිබඳ සංවාද සිදුවූයේ ඔහුට රාජකීය පදවි නාමයක් සහ පොලිස් ආරක්ෂාවක් ලබා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳව කෙරුණු සාකච්ඡාවන්ට “සමගාමීවය”.

    1917 සිට ක්‍රියාත්මක වන නීතිරීති යටතේ මෙම යුවළගේ දරුවන් රැජිනගේ මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව කුමාරවරුන් හෝ කුමාරිකාවන් බවට පත් නොවනු ඇත.

    දරුවා “තද දුඹුරු පැහැයක් ගනීවි” සහ එය ගැටලුවක් වනු ඇත්දැයි ඕප්රා ඇගෙන් ගෙන් ඇසූ විට මේගන් පැවසුවේ “ඔබ එසේ උපකල්පනය කරන්නේ නම් එය නිවැරදියි” යනුවෙනි.

    නමුත් පවුලේ කුමන සාමාජිකයෙකු එම අදහස් පළකළේදැයි පැවසීම මෙම යුවළ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. “එම සංවාදය, මම කිසි විටෙකත් බෙදා ගැනීමට යන්නේ නැහැ,” හැරී කුමරු පැවසීය. “ඒ වෙලාවේ එය නොගැලපෙන දෙයක්, මම ටිකක් කම්පනයට පත්වුණා.”

    හැරී පැවසුවේ “යටත් විජිත බව දැනවෙන හීන් ස්වරයක්” සහිත ලිපි සහ සිරස්තල පළවීමෙන් පසු තම පවුලේ කිසිවකු හෝ මේගන්ටට සහයක් වීම වෙනුවෙන් කතා නොකිරීමෙන් තමා පීඩාවට පත්වූ බවය.

    ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසුවේ වර්ගවාදය සහ මානසික සෞඛ්‍ය සහයෝගය නොවීම සම්බන්ධයෙන් මේගන් කළ චෝදනා ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු බවය.

    අගමැති බොරිස් ජොන්සන් සඳුදා රාත්‍රියේ සම්මුඛ සාකච්ඡාව නරඹා ඇති නමුත් වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ඩව්නිං වීදියේ අගමැතිවරයාගේ කාර්යාලය සඳහන් කළේය.

    Text by – bbc

  • වත්මන් ආණ්ඩුව ගැන මුරුත්තෙට්ටුවේ හිමියෝ කළ සුපිරි හෙළිදරව්ව !

    වත්මන් ආණ්ඩුව ගැන මුරුත්තෙට්ටුවේ හිමියෝ කළ සුපිරි හෙළිදරව්ව !

    ‘හොදයි දියණිය ! මම දරුවාට ප්‍රාණය ලබා දෙන්නම්. ඔබ ගිහින් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න‘ මේ කතාව කිව්වේ බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමියට.

    එදා සිට අතිෂය දුර්ලභ, නැති නම් සොයා ගත නොහැකි දෙයක් ගැන කතා කරන විට අපි බොහෝ විට ‘නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම‘ කතාව කියනවා.

    පසුගිය දා මෙරට ප්‍රමුඛ භික්ෂුවක් වන, වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දැවැන්ත වැඩ කොටසක් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ යළි මේ අබ කතාව පුනරුච්චාරණය කළා. ඒ උන්වහන්සේගේ මූලස්ථානය වන නාරාහේන්පිට අභයාරාමයේදී.

    “තව ටික දවසකින් බත් මුලක් අරගෙන පාරේ බැහැලා යන්න බැරි තැනකට මේ රට ඇද වැටෙනවා. දැනුත් මාලයක් දාගෙන පාර ගියොත් ඒක කඩා ගන්නවා. ආර්ථිකයේ බින්දුවටම වැටිලා. ආර්ථිකය හදන්න දන්න අය පැත්තකට කරලා තියෙන්නේ. වැඩ පුළුවන් අයගෙන් වැඩ ගන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙ හිටපු එක විශේෂඥ වෛද්‍යවරයෙක් තණකොළ කපන්න දැම්මා. අනෙක් විශේෂඥ වෛද්‍යවරයා පුන්නක්කු හදන්න දැම්මා. ඉතින් කොහොමද රටක් කරන්නේ?

    මිනිස්සු අපට සමාජ මාධ්‍යවල බනිනවා. හාමුදුරුවනේ දැන් සැපද? දැන් රට ධාර්මික ද? කියලා අපෙන් අහනවා. අපිට මේවට උත්තර නැහැ. අපි මේ ආණ්ඩුව ගෙනාවේ මේවා අහන්න නොවෙයි. මේ ආණ්ඩුව මේ තරම් වේගයෙන් ජනතාව පිළිකුල් කරාවි කියලා අපි හිතුවේ නැහැ. බුදු හාමුදුරුවන්ගේ කාලෙ කිසාගෝතමියට කිව්වේ නොමල ගෙයකින් අබ ගේන්න කියලා. දැන් අපිට කියන්න වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවට බනින්නේ නැති ගෙයකින් අබ මිටක් ගේන්න කියලා”

  • මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ සුපිරි හෙළිදරව්ව !

    මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ සුපිරි හෙළිදරව්ව !

    මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අද (10) දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය

    මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය අපේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් එම සාහසිකයන්ට සහ එය සැලසුම්  කළ අපරාධකරුවන්ට නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අප විසින් ගන්නා ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය වගේම අපේ ජනාවගේ ඉදිරි ආරක්ෂාව සඳහා වර්තමාන රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීම මගේ යුතුකමක් සේ සළකනවා.

    පාස්කු ප්‍රහාරයට අදාලව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 202ක් බන්ධනාගාරගත කර 66 දෙනෙකු රඳවා තබා ගෙන විමර්ශණ කටයුතු කෙරෙනවා. මොවුන්ගෙන් 408ක් මෙරට නීතිය යටතේ ඇපපිට නිදහස්ව සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශණ සිදු කෙරෙනවා.

    ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන 03ක් තහනම් කිරීමට කටයුතු කර තිබුණා. නැෂනල් තව්හීඩ් ජමාද්, ජමාකේ මිල්ලාතේ ඉබ්‍රාහීම්, විල්ලයාත් අස් සේලානි.

    පසුගිය රජය 2019 මැයි 22 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඉන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටෙව්වා. ඊට පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කර වාර්තා කිරීමට 2019 සැප්තැම්බර් 21 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටවනු ලැබුවා.

    නමුත් අවාසනාවන්ත ලෙස මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබුනත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බව සිදු කරගෙන යන විමර්ෂණවලින් පැහැදිලි වෙනවා.

    පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රහාරය වළකාලීමට බොහෝ ඉඩ තිබුණා. නමුත් බුද්ධි අංශ සම්පූර්ණයෙන් අකර්මණය කර හමුදාවේ චිත්ත ධෛර්‍ය බින්දුවට පාත දාලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීය කරමින් ජාතික ආරක්ෂාව බින්දුවටම දමා තිබූ නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා.

    පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ විශේෂ සිදුවීම් මෙන්න…

    1. 2018 පෙබරවාරි 6 වන දින යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ සාමාජික අබ්දුල් ෆර්වාඩ්න් නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා
    2. ඊට දින 6 ට පසු කාත්තන්කුඩු යහපාලනය සඳහා වන ජාතික පෙරමුණු කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.
    3. ඊට මාස 6ට පසු මඩකලපුව පාලමුණේදී සිදු කළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයුරු ඉල්වාන් බරපතල තුවාල ලැබුවා. මාස 2 ½ පසු නුවරඑළියේ පුහුණු කඳවුර නිරීක්ෂණය කිරීමට ගොස් නිසි විමර්ෂණයක් නොකිරීම.
    4. ඊට සති 2 ට පසු වව්නතිවු පොලිස් නිලධාරීන් දෙ‍දෙනෙක් ඝාතනය කළා.
    5. ඊට මාසයකට පසු මාවනැල්ල බුදු පිළිමවලට හානි කළා.
    6. ඊටත් සුමාන 03කට පසු වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය විශාල ‍තොගයක් සොයා ගත්තා.
    7. ඊට මාස 2 ට පසු 2019 මාර්තු 08 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවෙකු වූ තස්ලිම්ට වෙඩි තිබ්බා.
    8. ඊට සති 05කට පසුව එනම් 2019 අප්‍රේල් 16 වන දින තාලංකුඩාහිදී යතුරුපැදි පුපුරවා අත්හදා බැලුවා.

    පාස්කු ප්‍රහාරය වුණේ ඊට හිරියට දින 05කට පසුවයි. එසේ නම් එවකට පැවති රජයේ ජාතික ආරක්ෂාව පිළීබඳව තිබූ මන්දගාමී ආකල්පය, එම කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තමර්ධන හා විමර්ශන කොට්ඨාෂ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්න තිබූ අවස්ථා 08ක් අහිමි වී තිබෙන බව පැහැදිලියි.

    වර්ත‍මාන රජය බලයට පත්වූ පසු නැවතත් බුද්ධි අංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාව මුල්තැන දුන්නා. බුද්ධි අංශ හා වමර්ශන අංශ කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ශක්තිමත් කිරීමට පියවර ගත්තා.

    මේ රජය බලයට ආ පසුව පාස්කු ප්‍රහාරයවට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 99 දෙනෙකු ශ්‍රී ලංකාව තුළදී ද, විදේශයන්හි රැදී සිටි මෙරට පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කළා.

    විදේශ බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවාව මගින් විදේශ රටවල් 05න් ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 54න් 50ක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිරි 04 දෙනා එරට නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වනවා.මෙම පුද්ගලයින් එම රටවල අන්තවාදය පෝෂණය කරමින් අන්තවාදී ප්‍රචාරණ රැස්වීම් සඳහා මෙරටට මුදල් එවා තිබෙනවා.

    මෙරට තොරතුරු සහ විමර්ශනය අනුව ඔවු‍න්ගේ ප්‍රහාරයට ඇති සම්බන්ධතාවය අනුව වර්ගීකරණය කර නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී මෙවැනි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා රාජ්‍ය බුද්ධි සේවාව අදාල විදේශීය බුද්ධි සේවා සමග සම්බන්ධ වීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

    සහරාන් නැමති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල්භාගයේදී මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත්තා. එසේ පුහුණු වූ කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා (බයියක්) ලබා දී තිබෙනවා. එයින් දැනට 05 දෙනෙක් මිය ගොස් ඇති අතර, 03 දෙනෙක්ට චෝදනා ගොනු කොට බන්ධනාගාරගතර කර තිබෙන අතර, 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු කෙරෙනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.

    2015 වර්ෂයේදී ලාංකික සමාගමක් විසින් චීනයෙන් කඩු 1440ක් මෙරටට ආනයනය කරලා තියෙනවා. 2018 වර්ෂයේදී දෙමටගොඩ ඊබ්‍රාහීම් සහෝදරයන්ගේ මෙහෙයවීම මත ඉහත සමාගමෙන් විවිධ කඩවලට විකුණා ඉතිරි වූ කඩු 300ක් මිලදී ගෙන තිබෙනවා. එම කඩු කොම්පඥ්ඥවීදිය, කාත්තන්කුඩි සහ බේරුවල පුද්ගලයින්ට ලබා දී තිබෙනවා.

    එසේම මීගමුව, කුරුණෑගල ප්‍රදේශවල කම්හල්වලින් කඩු 27ක් සකස් කරගෙන තිබෙනවා. මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ෂණයකින් පසු එයට සමබන්ධ මෙරට පුද්ගලයින් 35ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට 07කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. එසේම කඩු මෙරටට ආනයනය කළ ආයතනය විසින් 2015 සිට කඩු මිලදී ගත් පුද්ගලයින් පිළිබඳව අනාවරණය කිරීමට පරීක්ෂණ සිදු කරනවා.

    එසේම සහරාන්ගේ ජාලයට අමතරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන වෙනත් අන්තවාදී සංවිධාන හඳුනා ගෙන එහි ප්‍රධාන සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්ධන සහ බුද්ධි අංශ කටයුතු කර තිබෙනවා. එම සංවිධාන නම් වන්උම්මා, හිස්බුත් තාහීර්, මුජිර් හිදීන් අල්ලාහ් සහ සුපර් මුස්ලිම් යනාදියයි.

    එසේම අපට සහරාන් ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් මෙරට තරුණයන් ඒකරාශී කිරීම සඳහා මැදවච්චිය, මල්වාන, ලේවැල්ල, හම්බන්තොට, නුවරඑළිය, හිඟුල ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරු 08ක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත්තා. එම පුහුණු කඳවුරුවලට සම්බන්ධ වූ පුද්ගයන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

    2018 සිට සහරාන්ගේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල්, වාහන පහසුකම් සියල්ල දී ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහීම් සහෝදරයන් වන ඉන්චාෆ් සහ ඉල්හාම්ය. ඔවුන් 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා ලක්ෂ 500කට ආසන්න මුදලක් සිය ව්‍යාපාරවලින් ලබා දී තිබෙනවා.

    ඊට අමතරව මොවුන් දෙදෙනා ISIS සංවිධානය සමඟ සම්බන්ධ වී සිරියාවේ පුහුණුවන ලාංකික ත්‍රස්තයන්ට යැවීම සඳහා 2018 නොවැම්බර් රු. ලක්ෂ 45 ක් සිරියාවේ ත්‍රස්තවාදීයෙකු ලෙස මියගිය නිලාම් නැමැත්තාගේ පියාට ලබා දී තිබෙනවා. ඒ මුදල් ත්‍රස්තමර්ධන විර්ශණ කොට්ඨාෂය විසින් සොයාගෙන තිබෙනවා.

    ශ්‍රැන්ගිල්ලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහීම් ඉල්හාම් සිය ව්‍යාපාරයෙන් රුත ලක්ෂ 370ක් ලබා ගෙන ඉන් කොටසක් ප්‍රහාරය සැලසුම් කිරීමට සහ වෙනත් පහසුකම් ලබා ගැනීමට සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන්ට ලබා දී තිබෙනවා. එයින් ලක්ෂ 50ක් ප්‍රහාරයකට දින 05ට පසු සායින්දමරුදු නිවසේදී සොයා ගත්තා.

    “සේව් ද පර්ල්” රාජ්‍ය නොවන සංවිධානය මෙරට ආරම්භ වී ඇත්තේ 2015 වසරේදී. මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ වූ ඊබ්‍රාහීම් සහ සහෝදරයින්, ජමීල් සහ දැනට අත්අඩංගුවේ සිටින ජමීල්ගේ සහෝදරයා මේ සංවිධානය සමඟ සක්‍රීයව සම්බන්ධ වෙලා තිබෙනවා.

    “සේව් ද පර්ල්” සංවිධානය විසින් දියත් කර ඇති අරාබි පාසැල් වල කුඩා දරුවන්ව අන්තවාදී මතවාදයට නැඹුරු කිරීමට උගන්වා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් ඇතුළු පුද්ගලයින් මෙම විදුහලේ සිසුන්ට දේශණ පවත්වා තිබෙනවා. විදුහලේ සිසුන් එය සනාථ කරනවා. ඉල්හාම් ඊබ්‍රාහීම්ගේ මූල්‍ය දායකත්වයෙන් තවත් අරාබි විද්‍යාලයක් ගොඩ නැගීමට මදුරන්කුළිය ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන තිබෙනවා. ඊට අමතරව 2018 මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම පිළිබඳව අත්අඩංගුවට ගත් අයට සහරාන් හරහා නීතිමය සහාය දීමටද මෙම සංවිධානය මූලික වෙලා තිබෙනවා.

    එසේම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හා එහි මූලික පසුබිම සැකසුනු ආකාරය පිළිබඳව සොයා බැලීමේදී මෙම ප්‍රහාරය මෙහෙය වූ අය, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසූ අය, ප්‍රහාරය දියත් කරන්න ISIS මතවාදය ඔස්සේ ප්‍රහාරකයින් අභිප්‍රේරණය වීම සහ මෙයට සෘජුව වක්‍රව සම්බන්ධ අය සහ එම භාහිර සම්බන්ධතා පිළිබඳ පුළල් විමර්ශනයක් ඉතාම වැදගත් වෙනවා. එමගින් අදාල අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට හා ඉදිරියේදී මෙවැනි ප්‍රහාර වැළැක්වීමට ද හැකි වෙනවා.

    ඒ සඳහා මම පහත කරුණු මෙම ගරු සභාවට දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා. ඉරාකයේ සිටි අබුබක්කර් අල් බැග්ඩෑඩි විසින් 2014.06.29 දින සිරියාව-ඉරාකය කේන්ද්‍ර කරන්ගෙන ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරමින් සිරියාවට හෝ ඉරාකයට පැමිණෙන  ලෙසට සහ ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කරන ලෙසට මුලින් ප්‍රකාශ කර තිබෙනවා.  

    ISIS නායක බැඩූඩිගේ මෙම ප්‍රකාශයෙන් පසු 2015 ජනවාරී මාසයේ කණ්ඩායම් ලෙස මෙරට පුද්ගලයින් 37 ක් පමණ සිරියාවට ගොස් IS සංවිධානය සමඟ එක්ව කටයුතු

    කර තිබෙනවා.  මීට අමතරව ඉස්ලාම් රාජ්‍යය හෙවත් IS වෙත කැමැත්ත දක්වන මෙරට පුද්ගලයින් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහීම් හෙවත් JMI නමින් සංවිධානය වන බව මූලිකව යුධ හමුදා බුද්ධි අංශය  හා රාජ්‍ය බුද්ධි සේවාව එම වකවානුවේ හඳුනාගෙන තිබුණා. 

    ඒ අනුව, බුද්ධි සේවා මගින් තොරතුරුකරුවන් යොදවා තොරතුරු රැස්කර සිරියාවට ගිය කණ්ඩායම, ඔවුන් එරටට ගිය ආකාරය, ඒ සඳහා ඔවුන් හට මුදල් ලැබුණ මාර්ගය හා ඉන්පසු මෙරට JMH සංවිධානය පිළිබඳවත් 2015 සිට වාචිකව හා ලිඛිතව ආරක්‍ෂක මණ්ඩලය හා අනෙකුත් වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරිමට කටයුතු කර තිබුණා. එහිදී ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි තර්ජන හා ඒවා වැළැක්වීමට රජය හා රජයේ අදාළ ආයතන / අමාත්‍යාංශ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙනවා. 

    ඒ අනුව, යම් පුද්ගලයෙකු ආගම පදනම් කරගත් මතවාදයක් ඔස්සේ ත්‍රස්තවාදියෙකු බවට පරිවර්තනය වීමේදී පළමුව මුලධර්මවාදයට හා ආගමික අන්තවාදයටද, දෙවනුව ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයටද ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා. 

    පාස්කු ප්‍රහාරකයින් ඉස්ලාම් රාජ්‍ය සංකල්පය පෙරදැරි කරගෙන ත්‍රස්තවාදය දක්වා  ගමන්කළ අතරම සමහර පුද්ගලයින් මෙහි විවිධ අවධිවල පසුවන බවට විමර්ශනවලදී හදුනාගෙන තිබෙනවා.  IS නායක අබුබක්කර් අල් බැග්ඩෑඩි විසින් 2014 ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමත් සමහ ඉස්ලාම් රාජ්‍ය මතවාදයේ පිහිටා කටයුතු කළ සහරාන්. 

    2015 වසරේදී ඉස්ලාම් රාජ්‍යය මතවාදය සමගම දැඩි මූලධර්මවාදීව සිට ආගමික අන්තවාදියෙක් බවට පරිවර්තනය වුනා.  2017 වසරේ මුල්කාලයේ පටන් ඔහු ආගමික අන්තවාදයේ සිට ප්‍රචණ්ඩත්වය කරා  ගමන්කර තිබෙනවා. මොහුගේ මුල්ම ප්‍රචණ්ඩකාරී සිදුවීම ලෙස 2017.03.10 දින කාත්තන්කුඩි අලියාර් හන්දියේ වෙනත් මතවාදී පිරිසකට පහරදීම වාර්තාවී තිබෙනවා.  මේ සමඟ සහරාන් චරිතය කරලියට පැමිණෙනවා. 

    මෙලෙස යම් පුද්ගලයෙකු මූලධර්මවාදීයෙකු, ආගමික අන්තවාදියෙක් ලෙස හා ප්‍රචණ්ඩත්වය දක්වා පරිවර්තනය වීමේදී ඔහු එම කාලය තුළ ඇසුරු කරන්නන් සහ සංවිධාන ක්‍රියාකරන ආකාරය විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් වෙනවා. 

     මෙහිදී වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නමැති දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයා 2016 සිට සහරාන් සමඟ සමීපව කටයුතු කිරීම සම්බන්ධව විමර්ශනය කර තිබෙනවා. ඒ අනුව අබුබක්කර් අල් බැග්ඩෑඩිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්යය භාර්යයක් සිදුකර ඇති බවට විමර්ශන වලදී හඳුනාගෙන තිබෙනවා. 

    එමෙන්ම මෙම නවුෆර් නමැත්තා සහරාන් සමග සම්බන්ධ වෙමින් ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙයවා ඇති බවට දැනට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයෙන් සිදුකරන ලද විමර්ශන වලදී තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. 

    එහෙයින් මෙම ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාත්ව මෙම ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ ප්‍රධානතම පුද්ගලයෙකු ලෙස නවුෆර් හදුනාගෙන තිබෙනවා. 

    ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ව්‍යඝාතකයින් තමන්ගේ නායකයා අබුබක්කර් අල් බැග්ඩෑඩි බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපතකර තිබෙනවා. 

     ඒ අනුව අන්තවාදී මතවාදයන් සමඟ පෝෂණයවූ එම ප්‍රහාරකයින් ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරය IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදුකරන බවත් තම ජීවිතය Caliphate වෙනුවෙන් කැපකරන බවටත් සඳහන් කරමින් කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම 2019.04.26 දින සයින්දමරුදු හිදී ආරක්‍ෂක අංශ විසින් ඔවුන් සිටි ස්ථානය වටලා තිබියදී පවා ඔවුන් පිළිගන්නා ලද මතවාදය වෙනුවෙන් සහ IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් තම ජීවිතය පුදකරන බවට විඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. 

    මෙම කරුණු අනුව පෙනීයන්නේ ISIS මතවාදය ඔන්සේ සහරාව ප්‍රචණ්ඩත්වය දක්වා පෝෂණය කිරීමත් සහරාන්ගේ අනුගාමිකයින්ද ආගමික ප්‍රචණ්ඩත්වයට පත්වීම දක්වා පෝෂණය කිරීමටත් නවුෆර් සිදුකර ඇති කාර්යභාරය අතිමහත් බවය. 

    මීට අමතරව ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපු ප්‍රධානියා වන හජ්ජල් අක්බද ඉස්ලාම් රාජ්‍ය මතවාදයක සිට කටයුතු කර ඇති බවත් ඔහු ඒ ඔස්සේ පුද්ගලයන් අභිප්‍රේරණය කිරීමේ කටයුතු වල නිරතව සිට ඇති බවත් ඔහු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවටත් අනාවරණය වී තිබෙනවා. ඇති ප්‍ර. – 

    මෙලෙස සහරාම් මතවාදීව නවුෆර් යටතේ පෝෂණය වීමේදී, මාලදිවයින් ජාතික ආගමික 

    ත්‍රස්තවාදීන් 04 දෙනෙකු සහරාන් වෙත සම්බන්ධ කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ටේ‍්‍රලියානු පුරවැසියන් දෙදෙනෙකු වන ලුක්මන් තාලිබ් හා ඔහුගේ පුත් දුක්මන් තාලිබ් අහමඩ් කටයුතු කර ඇති බවටද සොයාගෙන තිබෙනවා. 

    තවද, පාස්කු ප්‍රහාරකයින් සහ මාලදිවයින් ත්‍රස්ත සාමාජිකයින් 4 දෙනා 2016 සිට ප්‍රහාරය දක්වා අවස්ථා ගණනාවකදී මෙරටට පැමිණ මරණයට පත්ව ඇති හා මේවනවිට අත්අඩංගුවේ පසුවන අන්තවාදීන් හමුවී ඇති බවද එම සම්බන්ධීකරණ කටයුතු ලුක්මන් තාලිබ් අහමඩ් මෙරටට පැමිණ සිදුකර ඇති බවටද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි සේවාව හඳුනාගෙන තිබෙනවා. මෙම ඕස්ටේ‍්‍රලියානු පුරවැසි පියා වන ලුක්මන් තාලිබ් කටාර් රාජ්‍යයයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද එරට බුද්ධි අංශ වාර්තා  කර තිබෙනවා. 

    එසේ නම් පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ මෙසේය.

    අයි.එස්. හා එහි නායක බැග්ඩෑඩ්ගේ අන්තවාදී මතවාදය නවුසර් ඇතුලු මවුලවි ඇතුලු කිහිප දෙනෙක් පෝෂණය කිරීම. එම මූල ධර්ම මතවාදයන් ඉදිරියට ගෙන යාම, තරුණ කොටස් නැඹුරු කිරීම සහ අන්තවාදී ක්‍රියාකාරකම් වලදී මතුවිය හැකි නෛතික ගැටළු විසදීමට නෛතික පසුබිමක් ඇති පිරිසක් ඇති කිරීම මේ සඳහා Save the Pearl වැන් සංවිධාන උපකාරී වී තිබෙනවා.

    ප්‍රහාරයට අවශ්‍ය සියලුම මුදල්, භෞතික සම්පත් දුල්හාම් ඉන්ෂාෆ් සහෝදරයින් තම  ව්‍යාපාර වලින් ද විදෙස් රටවල අන්තවාදී සංවිධාන හා මැද පෙරදිග අයි.එස්. ලැදි කණ්ඩායම් හරහා දීම.

    සහරාන්ගේ නායකත්වය යටතේ රිල්වාන් හස්තුන් මිල්හාන් හා සාදික් විසින් ප්‍රහාර සැලසුම් කිරීම පුහුණු කිරීම් සහ ප්‍රහාර දියත් කිරීම.

    ෆයිරූස් හා ෆස්රූල් විසින් අයි.එස්. මත්වාදය ප්‍රචාරන කටයුතු වීඩියෝ සැකසීම හා උඩු ගත කිරීම වශයෙනි.

    දැනට අත්අඩංගුවේ සිටින විවිධ තරාතිරමේ ප්‍රද්ගලයින් හා ස්වයං ඝාතකයින් අතර දුරකතන සම්බන්ධතා හදුනාගෙන තිබෙන අතර ඔවුන් වයිබර් වට්සෆ් වැනි මෘදුකාංග හරහා සබඳතා පවත්වා තිබෙනවා. මේ සඳහා විදේශීය බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණය වෙනවා. එසේම 2019 මැයි මාසයේ පිහිටුවන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය හරහා සිදු කරනා. එම වාර්තාවේ සමස්ත ලංකා භූමිය තුල උපමා සභාව ප්‍රමුථ Community Association of Professional නැමැත් සංවිධානයක් සිදු කර ඇති විමර්ශනයකදී බොහෝ මද්‍රසා පාසල් වල නිසි ක්‍රමවේදයක් නොමැති බව සඳහන් වෙනවා.

    එසේම ලංකාවේ උපදින සියලු දරුවන්ට අවුරුදු 05 සිට 16 දක්වා රජයේ අධ්‍යපාන ප්‍රතිපත්යට අනුව අධ්‍යාපනය ලබා දිය යුතු බව අප අවධාරනය කරනා. ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අප කටයුතු කරනා. අනෙකුත් මද්‍රසා පාසල් නියාමනය කිරීමට කටයුතු කරනා. එසේම වසර ගණනාවක් තිස්සේ ඉතා සාමකාමීව නියමිත ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මද්‍රසා පාසල්ද තිබෙනවා.

    වර්තමාන රජය බලයට පත්වූ පසු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සෘජව වක්‍රව නිර්මාණය කළ මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11 ක් හඳුනා ගනිමින් එම සංවිධාන නුදුරේදීම තහනම් කිරීමට කටයුතු කරනවා.

    පාසැල් ගරු අත්පොත්වල ඇතුලත්ව ඇති ඉස්ලාම් මූලධර්මවාදය සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් පොළපොත් නිවැරදි කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. මෙහිදී 1 වසර සිට 13 වසර දක්වා ගුරු සහ පෙළ පොත්වල අන්‍යාගම්වලට එරෙහිව නැගී සිටීම සඳහන්වන අතර, ආගමික සහජීවනයට හානිවන ආකාරයෙන් වහාබ් සහ සලබ් මූලධර්මවාදී ප්‍රතිපත්ති සූක්ෂම ලෙස ඇතුළත්ව තිබෙනවා. ඒවා විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට දැනටමත් කටයුතු කෙරෙමින් සිටිනවා.

    ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර, එක් පියවරක් ලෙස බුර්කාව පැළදීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා.

    ඒ වගේම ළමා හා කාන්තාවන් වෙනුවෙන් අඩුවයස් විවාහ සහ දික්කසාද පිළිබඳව නීති සමස්ථ ජනතාවටම බලපාන පොදු නීතියක් යටතට ගැනීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනවා.

    පාස්කු වැනි ප්‍රහාරවලට යොමු වීමට පෙර පුද්ගලයින් මූලධර්මවාදී අවධියට යොමුවන බවට බුද්ධි අංශ මගින් හඳුනාගත් වහාම අන්තවාදී ප්‍රචන්ඩත්වයට යොමු වීමට පෙර ඔවුන්ව අනිවාර්යය පුනුරුත්තාපන ක්‍රියාවලියට යොමු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රහාරයට සෘජුව/ වක්‍රව සම්බන්ධ සියලුම පිරිස්වලට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරනවා.

    අවසාන වශයෙන් මේ වන විට පාස්කු ප්‍රහාරන් සඳහා නැඹුරු වූ ආකාරය, ප්‍රහාර සිදු කිරීමේ අරමුණ, ප්‍රහාරය මෙහෙයවූයේ කවුද?, එයට මුදල් ලැබුනේ කාගෙන්ද?, එයට අදාල දේශීය විදේශීය සම්බන්ධතා යන ප්‍රශ්ණවලට පැහැදිලිව පිළිතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නුදුරු දිනයේ ගන්නවා. කොවිඩ් වසංගතය හමුවේ වුවද ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, යුද්ධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, යුද්ධ හමුදා බුද්ධි අංශ ඇතුලු අනෙක් බුද්ධි අංශ මෙම ප්‍රහාරයට සම්බන්ධ දේශිය, විදේශිය පුද්ගලයින් සංවිධාන හඳුනා ගනිමින් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට දැඩි වෙහෙස මහන්සියෙන් කටයුතු කරන බැව් මා මේ ‍වේලාවේ සිහිපත් කරනවා.

    මේ සම්බන්ධව ඇතුම් දේශපාලන පසුබිම් ඇති පිරිස් සමාජය නොමග යවමින් ජනතාව මුලා කිරීමට වෑයම් කරනවා. එසේ විමර්ශනයන් තුලින් සත්‍ය අනාවරනය කිරීමට යුක්තිය ඉටු කිරීමට බාධාවන අයුරින් ක්‍රියාත්මක වන අය සම්බන්ධයෙන් අපි නීති අනුකූලව කටයුතු කරනවා.

    අප හෙලා දැකිය යුත්තේ යම් කිසි ආගමක් නොව ආගමික අන්තවාදයයි. මෙම ප්‍රහාරය පොලබවා ඇත්තේ වහබ්වාදය මත ගොඩනැගුණු අන්තවාදයයි. අල්වලාවල්බරා න්‍යාය හෙවත් මුස්ලිම් වරුන්ට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට දේශ කිරීමට පොළබවන වහාබ් ආයතන අපි තහනම් කරනවා.

    සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලදී අපට සහය වනවා. එය මා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුධ හමුදාවේ විශේෂ බලකායේ විශිෂ්ඨ සේවයක් කල ෂස්ලි ලෆීල් වගේම බුද්ධි බලකායේ අති විශිෂ්ඨ සේවයක් කල කර්නල් මුතාලිෆ්, කර්නල් මීඩීන් යන මුස්ලිම් ජාතික නිලධාරීන්  අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා.

    අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසන් සභාව ඉදිරිපත් කල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරන බව ප්‍රකාශ කරමි. එසේම මෙම සභාවේ අවධානයට ලක් නොවූ නමුත් විමර්ශන වාර්තා වලින් හෙලි වූ කරුණු අනුව මෙම ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ද සියලු පුද්ගලයින්ට අයාතන වලට විරුද්ධව නීති ප්‍රකාරව අපි කටයුතු කරනවා.

    මේ සම්බන්ධයෙන් මීට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒවා ගරු කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ජාතික ආරක්ෂාවට බාධා නොවන අයුරින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මා බලාපොරොත්තු වෙනවා.

  • මෙවර මහ කන්නයේදී වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක්!

    මෙවර මහ කන්නයේදී වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක්!

    පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 7,42,000ක් අස්වද්දා ඇති අතර එමගින් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක අස්වැන්නක් අපේක්ෂා කරන අතර, යල කන්නයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් වනු ඇති බවත් ඒ අනුව අපේක්ෂිත මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5ක් බවත් එය ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    වී මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට ගොවීන්ට ඒ මොහොතේම මුදල් ලබා දී වී මිලදී ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බවද එමගින් අතරමැදියන්ගේ මැදිහත්වීම අවම කර ගත හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවති  කෘෂිකර්ම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

    රටේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් වී නිෂ්පාදනය කර තිබුණද එ්වා මිලදී ගැනීමේදී තුන්වන පාර්ශවයන් මැදිහත් වීම නිසා මිල පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බව ‍කාරක සභාවේදී අනාවරණය වූ අතර එම තත්ත්වය අනෙකුත් භෝග දක්වා ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවද සඳහන් විය. රජයක් ලෙස මෙම තත්ත්වය විධිමත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    රට පුරා පිහිටා ඇති සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දෙන  බව ද අළුත්ගමගේ මහතා පැවසීය. ඒ අනුව ඉදිරි කාලය තුළදී රට පුරා පිහිටා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ල නවීකරණය කොට මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා එමගින් වැඩි දායකත්වයක් ලබා ගැනීමට කටයුතු කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව සිය ආයතන වල  පවතින අඩුපාඩු දන්වා එවන ලෙස සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දන්වා යවා ඇති බවත් දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන නවීකරණය කිරීමට රුපියල් මිලියන 4.2ක් ලබා දී ඇති බවද එහිදී අනාවරණය විය.

    ගොවීන් සඳහා කෘෂි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට රජය සූදානම්ව ඇති අතර මේ වන විට භෝග 06ක් සඳහා රක්ෂණය නොමිලේ ලබා දීමට ද සැලසුම් කොට ඇති බවත් අනෙක් ‍අයට මසකට රුපියල් 600ක් වැනි සුළු මුදලකට රක්ෂණය ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයට බඳවා ගන්නා නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අනිවාර්ය බවත් එය පසුගිය කාලය පුරාම අතපසු වූ ඉතා වැදගත් කරුණක් බවත් මෙහිදී සාකච්ඡා කෙරිනි. ගොවීන් වෙත නවීන තාක්ෂණය ගමන් නොකිරීමට ප්‍රධානතම හේතු එය බව සඳහන් කළ අමාත්‍යවරයා එම පුහුණුවීම් මේ වන විට ආරම්භ කොට ඇති බවද පැවසීය.

    පළමු වතාවට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර නිශ්පාදන සමාගමක් බවට පත් කොට තිබේ. එමගින් ගොවීන් හට කාබනික පොහොර භාවිතය හුරු කිරීමට ඉදිරියේදී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    පුරන් කුඹුරු නැවත අස්වැද්දීම සඳහා අක්කර එකකට රුපියල් 40,000ක පොළී රහිත ණයක් ලබා දීමට අමාත්‍යාංශය දැනටමත් කටයුතු කරමින් සිටී.එයට අමතරව ඒවා එළි පෙහෙළි කර ගැනීමට පවා ප්‍රතිපාදන ලබා දිය හැකි බවද මෙහිදී සඳහන් විය.

    මෙම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, එච්. නන්දසේන, අනුප පස්කුවෙල්, මධුර විතානගේ, රෝහණ දිසානායක, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් දිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අමරකීර්ති අතුකෝරළ, සිවඥාණම් ශ්‍රීතරන්, කින්ස් නෙල්සන්, අසංක නවරත්න, ගාමිණි වලේබොඩ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ, කෝකිලා ගුණවර්ධන සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.  

  • කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි !

    කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි !

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත.

    ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එහෙත් 2016 වසරේ සිට මේ දක්වා දෙරට අවස්ථා 5 කදී මුණ ගැසී තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්ව සිටියි. දෙරට අතර ආරම්භ වන මෙම ද්වී පාර්ශ්වික තරගාවලියේ සත්කාරක වාසිය භාවිතයට ගනිමින් එම පරාජිත ගමනට තිත තැබීමේ අටියෙන් කොදෙව්වන් තරග බිමට අවතීර්ණ වනු ඇත.

    එමෙන්ම පෙර පැවැති විස්සයි-20 තරගාවලිය ජය ගැනීමට සමත්ව සිටීම කොදෙව් කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ නංවන්නක් බවට පත්ව තිබෙන අතර එය ඔවුන්ට හිමි අමතර වාසියකි. තත්ත්වය එවන් තලයක පවතිද්දී කොදෙව්වන්ගේ හිසරදය බවට පත්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේ. අවසන් වුණු විස්සයි-20 තරගාවලියේදී පමණක් නොව මීට වසරකට පමණ ඉහත කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග වැදි එක්දින තරගාවලියේදීද වැඩි දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක තරගාවලි ජයක් කරා රැගෙන යෑමට වනිඳු හසරංග සමත්වූවේය.

    අන්තර්ජාතක ශ්‍රේණිගත කිරීමේ තමන් රැඳී සිටින ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තරගාවලියේ ජය පරාජය බලපෑමක් සිදුනොකරන නමුත් දෙරට අතර පවතින ප්‍රසාද ලකුණු පරතරයේ වෙනසක් පමණක් සිදුවනු ඇත. අදාළ ශ්‍රේණිගත කිරීමේදී ප්‍රසාද ලකුණු 85 ක් ලබා සිටින ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටද ප්‍රසාද ලකුණු 74 ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානයේ සිටද අද තරගයට අවතීර්ණ වනු ලබති.

    ප්‍රසාද ලකුණු 11 ක පරතරයක් සහිතව ආරම්භ වන තරගාවලියේ සියළුම තරග ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්වා ඉහළ යනු ඇත. එසේ වුවහොත් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව 74 සිට 72 දක්වා පහළ යනු ඇත. තත්ත්වය ඊට හාත්පසින්ම හෙවත් තරාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට කොදෙව්වෝ සමත්වුවහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 78 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා පහළ බසිනු ඇත.

    විස්සයි-20 තරගාවලිය මඟ හැරුණු දසුන් ශානකද මේ වන විටත් කණ්ඩායම සමඟ එකතු වී සිටියද පළමු තරගය සඳහා සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත. පළමු තරගයේදී දිමුත් කරුණාරත්න නායකත්වය දරමින් කණ්ඩායම හා එක්වනු ලබන නමුත් දෙපිළේ පිතිකරණ ශක්තිය සංසන්දනයේදී කොදෙව් පිල ඉදිරියෙන් සිටීම පිළිගත යුතුය. එහෙත් විස්සයි-20 තරගාවලියේදී ජාත්‍යන්තර වරම් දිනාගත් පැතුම් නිස්සංක සහ අෂේන් බණ්ඩාර ද පිතිකරුවන් වශයෙන් දක්ෂතා දැක්වීමට සමත්වීම, ශ්‍රී ලංකා කඳවුරෙන් සුභදායක ලකුණකි.

    ශ්‍රී ලංකාසංචිතය – දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක.

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – කිරන් පොලාර්ඩ් (නායක), ඩැරන් බ්‍රාවෝ, ෂායි හෝප්, ෆේබියන් ඇලන්, ජේසන් හෝල්ඩර්, අකීල් හොාසේන්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, කයිල් මේයර්ස්, ජේසන් මොහොමඩ්, නිකොලස් පූරාන්, රොමාරියෝ ෂෙපර්ඩ්, කෙවින් සින්ක්ලෙයාර්.

  • ‘කලා – බලලු වැවේ ආඩම්බරය’ රේවත විදුලි වැටට බිලි

    ‘කලා – බලලු වැවේ ආඩම්බරය’ රේවත විදුලි වැටට බිලි

    ශ‍්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුමේ තවත් ඛේදවාචකයක් සටහන් කරමින් කලාවැව හා බලලු වැව රක්ෂිතයේ ‘රේවත’ නමින් ප්‍රසිද්ධ ඇතා විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. කැකිරාව, අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පෙරේදා (08) රාත්‍රියේ රේවත ඇතා මියගිය බවට සැකකරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

    රේවත ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර එම ඇතා අවුරුදු 50ක් 55ක් පමණ වයසැති බවත් කලාවැව සහ බලලු වැව ඇත් පන්තියේ වැඩිමල්ම ඇතා බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළා.

    වසර 50ක පමණ කාලයක් මෙම ඇතා ගල්කිරියාගම, පුබ්බෝගම, කලා බලලු වැව ආදී ප්‍රදේශවල සැරිසරමින් ඇති බවද මෙම ඇතා මීට පෙර කිසිදු පුද්ගලයෙකුට පහරදීමක් හෝ ඉඩම්වලට පැන වගා හානි සිදු කිරීමක් හෝ පිළිබඳ වාර්තා වී නැතැයිද වනජීවී නිලධාරීන් පැවසුවා.

    අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය, වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් හදිසි මරණ පරීක්ෂණ සිදු කළා.

    2021 වසරේ ජනවාරි 01වැනි දින සිට ඊයේ (09) දිනය දක්වා ගත වූ දින 68ක කාලය තුළදී අලි, ඇතුන් 61 දෙනෙකු මරණයට පත්වී තිබෙන අතර මෙම කාලය තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ විසිහතරක්ද සිදුව තිබෙනවා.

    මෙම කාලය තුළදී වැඩිම අලි මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ පොළොන්නරුව වනජීවී කලාපය තුළ වන අතර, මෙම කලාපය තුළින් අලි මරණ 17ක් සිදුව තිබෙන අතර පසුගිය 2020 වසර තුළදී අලි ඇතුන් 322 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර, එම වසර තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 113ක් සිදුව තිබෙනවා.

    ඡායාරූපය lanka truth ඇසුරිණි

  • සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු මිලියන 10,000ක්

    සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු මිලියන 10,000ක්

    සමෘද්ධිලාභීන් ආදායම් ලාභීන් බවට පත්කිරීම සදහා වන  වැඩපිළිවෙල යටතේ රු මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේවන විට වෙන්කොට ඇති බව සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා  පවසා සිටියේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදී  මෙම මුදල වෙන්කොට   ඇති බවයි.

    එසේම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු රාජ්‍ය සේවයේ අයිතිවාසිකම් ඔවුනට ලබා දීමට කටයුතු කරන බවද   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා  මෙහිදී පැවසීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී  අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත ගැටලුවලට විසදුම් ලබාදීමේ ප්‍රගතිය විමසා සිටි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින්   මේබව පවසා සිටියේය.

    සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නිලධාරීන් සේවක අර්ථසාධක අරමුදල් කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් ඉල්ලා ඇති බැවින් ඒ සම්බන්ධව ඉදිරි තීරණ ගැනීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද මෙහිදී මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා අනාවරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නව සේවකයන්ගේ වැටුප් අඩු නොකරන බවට එවකට සහතික වුවද පසුගිය රජය මගින් වැටුප් අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.තවද දෙපාර්තමේන්තුවක් බවට පත්වීමේදී සේවකයන්ගේ  උසස් වීම්වල පවතින ගැටලු විසදීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවිය.ඒඅනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කඩිනම්න් විසදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    තවද සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සදහා මුහුණ දීමට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.එහිදී ගරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව පමණක් සිදුවිය වියයුතු බවයි.

    එසේම සමෘද්ධි ලාභීන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි නොකර ඔවුන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවු අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ කි‍සිසේත්ම දැනට සිටින සමෘද්ධිලාභීන් සංඛ්‍යාව වැඩිනොකරන බවත් කිසිදු ආකාරයකට දේශපාලන මැදිහත්වීමෙන් තොරව මනා විනිවිද බවකින් සමෘද්ධි සහනාධාරය ලබා දීමට  කටයුතු කරන බවත්ය.

     මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය  ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් , හර්ෂද සිල්වා , ජගත් කුමාර ,මහාචාර්ය රංජිත් බණ්ඩාර , සුදත් මංජුල ,සහන් ප්‍රදීප් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද  මෙම අවස්ථාවට  සහභාගී වූහ.

    ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් ,මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

  • කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

    කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ වර්තමානය වන විට රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධික්ෂණය කිරීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට ලක්ව ඇති බවයි.

    ලක්විජය බලාගාරය සමබන්ධ විගණන වාර්තාව ඊට නිදසුනක් වශයෙන් ගෙන හැර දැක්විය හැකි බවද බවද හෙතෙම පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුවේ නීතිමය ප්‍රතිපාදන කඩකරමින් ඇතැම් ‍රාජ්‍ය ආයතන කටයුතු කරන ආකාරය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී නිරීක්ෂණය වූ බවයි. මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ඇතැම් රාජ්‍ය ආයතන විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවද මෙහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු අපක්ෂපාතීව සිදු කිරීමට කටයුතු කරන බවයි.

    එමෙන්ම කෝප් කාරක සභාව, කෝපා කාරක සභාව මෙන්ම මහජන පෙත්සම් කාරක සභාව රාජ්‍ය ආයතන වෙත ලබා දෙන්නාවූ නිර්දේශ ඉටු කිරීම සම්බන්ධව ගැටළු මතුව ඇති බව මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    මේ සම්බන්ධව අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම ගැටළු වලට විසඳුම් සෙවීමට අවධානය යොමුකරන බවයි . පවතින තත්වයට  විසඳුම් ලබාගත හැක්කේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණක් බවත් බවත් කතානායක වරයා පෙන්වා දුන්නේය .