Author: Editor

  • ජනපතිවරණයට මැකො සූදානම්

    ජනපතිවරණයට මැකො සූදානම්

    ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිසම ප්‍රධාන ආයතන කිහිපයකට දැනුම් දී තිබේ.

    ඒ් අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම දැනුම් දී කර තිබේ.

    මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ මැතිවරණ කටයුතු සුමටව සිදු කිරීම සහතික කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

    ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේය.

  • LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

    LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

    පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

    ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්‍රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා ද පස්වැනි තරගාවලියේදීද තරග නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ඇත.

    මඩුගල්ලේ මහතාට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභා විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහතාද තරග විනිසුරුවරයෙක් ලෙස මෙම තරගාවලියේදී කටයුතු කරනු ඇත. මඩුගල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම නිලධාරී මඩුල්ලට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේම තරග තීරකවරුන් දෙපළක් ලෙසින් කටයුතු කරන වෙන්ඩල් ලැබ්‍රෝයි සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි යන මහත්වරුද එල්.පී.එල්. තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ඇත. එම තරග තීරක මඩුල්ලට ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග වල තීරකවරයෙකු ලෙසින් කටයුතු කරනු ලබන මනෝජ් මෙන්ඩිස් සහ ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් යන මහත්වරුද ඇතුළත්ව සිටියි.

    ඒ හැරුණු කොට විනිසුරුවන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන්ද ඇතුළත් එම කමිටුවට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ල නියෝජනය කරමින් අයර්ලන්ත ජාතික රොනල්ඩ් බ්ලැක් සහ පාකිස්තානු ජාතික ෆයිසාල් ඛාන් යන විනිසුරුවරුන්ද එකතුව සිටිති. ඒ හැරුණු කොට පළමු පෙළ තරග විනිශ්චයේ නියැළෙන විනිසුරුවන් කීප දෙනෙකුටද අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. චාමිර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, සංජීව ප්‍රනාන්දු, රවීන්ද්‍ර විමලසිරි, අසංක නානායක්කාර, ආර්. එල්. දුල්සිරි එල්.පී.එල්. තරගාවලියේ කටයුතු කරනු ලබන දේශීය විනිසුරුවෝ වෙති.

    ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා පල්ලේකැලේ, දඹුල්ල සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

  • බස් ගැමුණුගෙන් ‘සුභ පණිවුඩයක්‘

    බස් ගැමුණුගෙන් ‘සුභ පණිවුඩයක්‘

    ජූලි 01 දින සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් රුපියල් 28ක් දක්වා පහළ යාමක් සිදුවන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

    බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

  • උදයංග වීරතුංග පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා හෙළි කරයි

    උදයංග වීරතුංග පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා හෙළි කරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි.

    ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන විට රාජපක්ෂලාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බවද උදයංග කීවේය.

    විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද සර්වජන බලය කණ්ඩායමද ළඟදීම පොදු ජන පෙරමුණ වේදිකාවට එක්වනු ඇති බව කී ඔහු පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව ද කීවේය.

  • හිරුණිකා මහධිකරණයෙන් කළ සංවේදී ඉල්ලීම

    හිරුණිකා මහධිකරණයෙන් කළ සංවේදී ඉල්ලීම

    තම සේවාදායිකාවට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ පවසයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.

    මහාධිකරණය විසින් ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ විත්තිකාරියට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවයි. එනිසා බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දැනුමක් ලබාදෙන ලෙසද ඇයි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

    නඩුවේ තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය අමතමින්  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා පැවසුවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කරන බවත් එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවයි.

    විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බවත් ඒ සදහා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා කියා සිටියේය.

  • උද්ධමනය ඉහළට

    උද්ධමනය ඉහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 0.0හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගියේය. තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 1.3හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේය. මේ අතර, අඛණ්ඩව මාස තුනක් තුළ පහළ ගිය මාසික පදනම මත මනිනු ලබන උද්ධමනය 2024 ජුනි මාසයේ දී සුළු වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව, 2024 ජුනි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික ප්‍රතිශත වෙනස සියයට 0.77ක් ලෙස වාර්තා විය. මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 මැයි මාසයේ පැවති සියයට 3.5හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 4.4 දක්වා ඉහළ ගියේය.

  • ශ්‍රි ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙන්නේ ඇයි ?

    ශ්‍රි ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙන්නේ ඇයි ?

    ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය.

    එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    2022 වසරේ අප්‍රේල් මස 12 වනදා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය යම් ප්‍රමාණයක් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. ඒ වන විටත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 600, 700 සහ 1000 දක්වා ඉහල යන බවට එවක සිටි ඇතැම් පාර්ශ්ව චෝදනා කළා. නමුත් පසුව අප විසින් එම තත්ත්වය පාලනය කර ගැනීමට සමත් වුණා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා ලෙස අපට දැනුම් දුන්නා. ඒ සඳහා ලසාඩ් සමාගම අපගේ නියෝජිතයා ලෙසත් නීති උපදේශක ලෙස ක්ලිෆඩ් චාන්ස් සමාගමත් පත් කර ගැනීමට කටයුතු කළා.

    මෙහිදී අප පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළා. මෙම කටයුතු සිදුකරන විටත් අප රටක් ලෙස බහු පාර්ශ්වීය සංවිධානවල ණය ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.

    මේ වන විට අප ද්වී පාර්ශ්වීය ණය හිමි රටවල් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාර්ථකව අවසන් කරගෙන තිබෙනවා. ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එක් වී ද්වී පාර්ශ්වික ණය කළමණාකරණය සඳහා නිල ණය හිමියන්ගේ කමිටුවක් පිහිටුවමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඊට සමගාමීව චීනය සමඟ ද අප සාකච්ඡා සිදු කළා. මේ සියල්ල අවසානයේ අප සාර්ථක වී ඇති අතර ණය ගෙවීමේ තිරසර තත්ත්වයක් තිබෙන රටක් බවට ද පත්ව සිටිනවා. මෙම සාර්ථකත්වය නිසා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමි වනවා. ඒ වගේම තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් අප රටට හිමි වනවා.

    තව ද මෙම සාර්ථකත්වය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සිදුවන සාකච්ඡා සාර්ථක කර ගැනීමට ඉවහල් වන බව කිව යුතුයි. මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා සිදු වෙනවා.

    ඒ වගේම සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි.

  • ජනපති – ෆොන්සේකාගේ වේදිකාවේ  සිට කළ හෙළිදරව්ව

    ජනපති – ෆොන්සේකාගේ වේදිකාවේ සිට කළ හෙළිදරව්ව

    තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

    ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

    හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතාගේ සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියට ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්.

    මම එතුමාව හඳුනාගත්තේ පසුගිය යුද කාලයේ ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතා මාර්ගයෙන්. ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතාව මම සමීපව ඇසුරු කළා. ඔහු මට කිව්වා මේ නිලධාරියාට හොද අනාගතයක් තිබෙනවා ඒකට අවස්ථාව සලසා දෙන්න කියලා. යුද්ධය ආරම්භ වූ කාලයේදීත්, ඊට පෙර කාලයේදීත් ආණ්ඩුවේ සිටි මට යුද්ධයට සහභාගීවූ හැම නිලධාරියෙක් පිළිබඳවම අවබෝධයක් තිබුණා. එම කාලයේ විශිෂ්ට නිලධාරින් කිහිප දෙනෙකු බිහි වූ අතර එම සියලුදෙනා අතරින් සරත් ෆොන්සේකා මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

    විශේෂයෙන්ම යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු දේ අහිමි වුණා. එම අවස්ථාවේ මම අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර යාපනය භාර දෙන්නේ කාටද කියා අපට තීරණයක් ගැනීමට සිදු වුණා. ඒ වන විට බොහෝ දෙනෙක් මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතුවෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාපනයට ඩිවිෂන් එකක් අවශ්‍යයි කියලා.

    එම අවස්ථාවේ මම හමුදාපතිවරයාට පැවසුවා සරත් ෆොන්සේකාට යාපනය භාර දෙමු කියලා. ඒ අනුව තමයි යම් ස්ථාවරභාවයක් ඇති කරගන්නා තුරු ඔහු එම කටයුතු කරගෙන ගියේ.

    ඔහු වැටුණු තැනින් පටන් ගෙන යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා. එහිදී අසීරු තීරණ ගැනිමට ඔහුට සිදු වුණා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් තරගයක් නොවෙයි. මිනිස් ජීවිත අහිමි වෙනවා. දේපළ විනාශ වෙනවා. එහිදී යුද හමුදාව මෙහෙයවමින් ඉදිරියට යාමට එතුමාට ශක්තිය තිබුණා.

    අප මුහුණ දුන්නේ ලෝකයේ තිබු අසීරුම යුද්ධයකටයි. අනෙක් රටවල තවමත් එම යුද්ධ පැවැත්වෙනවා. ඇෆ්ගනිස්ථානය යුද්ධය ආරම්භ කළේ අපටත් කළින්. සරත් ෆොන්සේකා මහතා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළා.

    ඒ වගේම සිවිල් ජීවිතයේ අභියෝග රැසකට ද එතුමාට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ එතුමා තවත් ශක්තිමත් චරිතයක් වුණා. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීමට අප තීරණය කළා. එතුමා සුදුස්සෙක් ලෙස එය බාර ගනු ලැබුවා.

    සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.

    සරත් ෆොන්සේකා මහතා වරක් යාපනයේ දී ප්‍රකාශ කළා, “දැන් යුද්ධය අවසන් රට තුළ සාමය ඇති කළයුතුයි” කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් එම කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා එක්වී රට ගොඩනගමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා. අපේ හමුදාව අත්දැකීම් බහුල දක්ෂ හමුදාවක්. රට ගොඩනගමින් සාමය ස්ථාපිත කිරීම සඳහා මේ සියලුදෙනාගේ සහාය ලබාගත හැකියි.

    ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,

    යුද්ධය ජය ගැනීමට හැකි වූයේ අපේ විරෝධාර රණවිරුවන් සිදු කළ විශිෂ්ට කැපවීම නිසයි. එහිදී රණවිරුවන් විශාල පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කළා. තවත් විශාල පිරිසක් ආබාධිත වුණා. මේ අවස්ථාවේදී සියලු රණවිරු පවුල්වලට මාගේ ගෞරවය හිමිවෙනවා. ඔවුන් ජීවිත කැපකිරීම් සිදු කළේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම රටට සාමය ඇති කිරීම වෙනුවෙන්.

    යුද්ධය අවසන් කිරීමට නම් දේශපාලන විසඳුමකට යා යුතු බව එදා බොහෝ දෙනෙක් පැවසුවා. එදා මම යුද හමුදාපති ධූරය භාර ගන්නා විට ආරක්ෂක සාමාජිකයන් සිටියේ කලකිරීමකින් යුතුවයි. නමුත් අපි තිස් වසරක යුද්ධය ජය ගත්තා . අපේ රණවිරුවන්ගේ ලේ, දහඩිය සහ අපරිමිත කැපවීම නොමැති වූවා නම් මේ යුද්ධය ජයගත නොහැකි වෙන්න තිබුණා. යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක් පවතිනවා.

  • ශ්‍රී ලංකාව තවත් කෙන්යාවක් නොවුණේ කොහොමද ? ජනපති හෙළිකළ හේතුව

    ශ්‍රී ලංකාව තවත් කෙන්යාවක් නොවුණේ කොහොමද ? ජනපති හෙළිකළ හේතුව

    • දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි.
    • ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා.
    • දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් පවසයි.

    ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යාවශ්‍ය බවත්, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවුවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවත් පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් වන බවයි.

    ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

    එසේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවද සඳහන් කළේය.

    පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124 දෙනෙකු වෙනුවෙන් රන්, රිදී සහ ලෝකට පදක්කම් හා සම්මාන ප්‍රදානය කිරීම මෙවර සිදු කෙරිණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මාන ප්‍රදානය කිරිමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
    සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මානලාභීන් සමඟ සමුහ ඡායාරුපයකට ද එක් විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    මධ්‍යම පරිසර අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙල මෙම වසරේදී ද උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීම මම ඉතා අගය කරනවා. පසුගිය වසරේදී පරිසරය වෙනුවෙන් විශාල සේවාවක් කළ අය අද මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

    මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කරනු ලැබුවේ 1981 වසරේදී. එය සකස් කළේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ විජේදාස මැතිතුමා. ඒ කාලයේ සිදුවූයේ පරිසරය පිළිබඳ අවධානය ඇතිවීම පමණයි. ඊට පෙර දශකයේ පරිසරය පිළිබඳ අවධානයක් යොමුව තිබුණේ නැහැ. නමුත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙම සංකල්පය ඉදිරියට ගෙන ආ අවස්ථාවේ මෙම අධිකාරිය ඇති කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වුණා. එදා අවධානය යොමු වුණේ පරිසරයට හානි වන කරුණු පිළිබඳව පමණයි. ඒ අනුව එම වැඩකටයුතු ඒ වෙනුවෙන් සීමා වුණා.

    අද වන විට පරිසරය කියන විෂය ඊට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා. පරිසරයෙන් ආරම්භ වී දේශගුණික විපර්යාස දක්වා එය පුළුල් වී තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම එය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා අද සෑම ක්ෂේත්‍රයකටම පරිසරයත්, දේශගුණික විපර්යාසත් බලපෑම් එල්ල කරනවා.

    1981 සකස් කළ නීතිය පිළිබඳ අපට අලුතින් සිතීමට සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන ලෙස මම ලේකම්තුමාට දැනුම් දුන්නා. ලෝකයේ සෑම පරිසර අධිකාරියක්ම තමන්ගේ නීති සංශෝධන සිදු කර තිබෙනවා. ඒ නිසා ලංකාව ද එය සිදු කළ යුතුයි. එහිදී තවත් ඉදිරියට යමින් දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක් ඇති කිරීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම දේශගුණික විපර්යාස මධ්‍යස්ථානය ඇති කර ඒ සඳහා උපදේශකවරයෙකු පත් කිරීමට අප කටයුතු කළා.

    ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප ජාත්‍යන්තරයේ ද යම් වැඩකොටසක් භාරගෙන තිබෙනවා. ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාළ නීති සකස් කර තිබෙනවා. අප මෙම කටයුතුවලට පමණක් සීමා වන්නේ නැහැ. අප තවත් ඉදිරියට පැමිණ තිබෙනවා. ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කරා ළගා වීම රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට ඇතුළත් කර තිබෙනවා.

    ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ සමඟ කෘෂි නවීකරණ වැඩසටහන ද අප ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ දැන් සිටම ආරම්භ කර 2048 වන විට ඉලක්කය සපුරාගත යුතුයි. සාමාන්‍ය ලෝකය පිළිගෙන තිබෙන්නේ 2050 වන විට මෙම ඉලක්ක සපුරාගත යුතු බවයි. නමුත් 2050 වසරට පෙර අපට මෙම ඉලක්කයට ගමන් කළ හැකි බව දැනුම් දී තිබෙනවා.

    ඒ වගේම මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී හරිත මූල්‍යකරණය සහ හරිත බැදුම්කර අවශ්‍යයි. එසේනම් මෙය ආර්ථිය වැඩපිළිවෙළට ඇතුළත් වෙනවා. අප මෙම ඉලක්ක සපුරාගත යුතුයි. අද අප මුළු ලෝකය දෙසම අවධානය යොමු කරමින් මෙම වැඩකටයුතු සිදු කරගෙන යනවා.

    දේශගුණික විපර්යාසවලට මුහුණදීම රටකට තනිව සිදු කළ නොහැකියි. එහිදී සියලු රටවල් එක්ව කටයුතු කළයුතුයි. නමුත් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කළත් මේ වන විට බටහිර ලෝකයේ ඇතැම් රටවල් එයින් ඈත් වෙලා. එදා එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මහතා ග්ලාස්ගෝ ප්‍රකාශය ඇති කර ගත්තා. නමුත් අද බිතාන්‍ය ආණ්ඩුව ඉන් ඉවත්වීමට උත්සාහ කිරීම ඊට හොඳම නිදසුන ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් ඇමරිකාව මේ සම්බන්ධව ගනු ලබන තීරණය අපට දැන ගන්න ලැබෙන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් පසුවයි.

    නමුත් අප මෙම ඉලක්කය කරා ගමන් කළයුත්තේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි. මේ සඳහා විශාල මුදලක් අවශ්‍යයි.

    අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක් ණය වී සිටිනවා. ඔවුන් ණය සහන ඉල්ලා තිබෙනවා. අසියාවේ ණය සහන ඉල්ලීමට මම සහාය ලබා දුන්නේ නැහැ. ලංකාවේ ණය ප්‍රශ්නය අපට විසදාගත හැකි බව මම පෙන්වා දුන්නා. නමුත් අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සහන සම්පුර්ණයෙන් අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා.

    ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ලංකාව මේ වන විට පළමු පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අප බංකොලොත්භාවයෙන් ඉවත් වී තිබෙනවා. දැන් ආර්ථික පරිවර්තන නීතිය සම්මත කර ගනිමින් අප එම ගමන යා යුතුයි. නමුත් අප්‍රිකාව වැනි රටවලට එම වැඩකටයුතු කිරීම අසීරුයි. ඒ නිසා ඒ අයට සහන ලබා දිය යුතුයි. විශේෂයෙන්ම අප්‍රිකානු රටවලට තිබෙන එම ණය සම්පුර්යෙන් අහෝසි කරන ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සමුළුවේදී යෝජනා කළා.

    දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ප්‍රතිපාදන අවශ්‍යයි. එම අවශ්‍ය මුදල් මේ වන තෙක් ලැබී නැහැ. නමුත් යුක්‍රේන යුද්ධයට සහ ගාසා තීරයේ යුද්ධයට බටහිර රටවල් මේ වන විට ඩොලර් බිලියන 100ක් පමණ වියදම් කර තිබෙනවා. රුසියාව ඒ සඳහා වියදම් කළ මුදල අප දන්නේ නැහැ. මෙම මුදල් අප්‍රිකානු රටවලට සහ අනෙකුත් රටවලට ලබා දුන්නා නම් විශේෂ පරිවර්තනයක් සිදු කළ හැකියි.
    යුද්ධ කර වැඩක් නැහැ. අප ඉල්ලා සිටින්නේ යුක්‍රේන යුද්ධය නවත්වන්න ලෙසයි. ගාසා තීරයේ යුද ගැටුම් නවතා දමන්න. එම යුද්ධය නවතා වසර 05කින් පලස්තීන රාජ්‍ය ඇති කරන්න. ඒ වගේම ඊශ්‍රාලයේ ආරක්ෂාව පිළිබදවත් පියවර ගන්න.

    නමුත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ මේ පිළිබඳ ගෝලීය දකුණ තුළ හඬ නැගීමයි. මෙම යුද්ධය නවත්වා අප්‍රිකානු රටවලට උදව් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දිනවල කෙන්යාවේ තිබෙන කෝලහාල අප දුටුවා. දැනට 20 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. රටක ආර්ථිකය සකස් කළේ නැත්නම් මතුවන තත්ත්වය මෙයයි. ලංකාවේ මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැත්නම් අපටත් ඒ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා.

    ඒ නිසා මේ මුදල් එම රටවලට ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව ඊට සම්පුර්ණ සහාය ලබා දෙනවා. ලංකාව එවන් උපකාරයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ලංකාව ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ඥානය අප සතුව තිබෙනවා. අප එම මාර්ගයේ ඉදිරියට යා යුතුයි. එහිදී අප තරගකාරි, ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි. අපේ ශක්තියෙන් අපි එම ගමන යමු.

    පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

    මේ රටේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආයතනය සහ පුරවැසියන් ලබාදෙන දායකත්වය අගය කිරීමට වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබනවා. කර්මාන්තවලින් පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීමට ඔබ දක්වන උනන්දුවත්, උත්සාහයත් මෙලෙස ඇගයීමට ලක් කරන්නේ තවත් පිරිසකට ඒ වෙනුවෙන් උත්තේජනයක් ලබා දෙමින් බව කිවයුතුයි.

    හෙට උපදින දරුවා වෙනුවෙන් යහපත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කැපවීමෙන් කටයුතු කරනවා. වසර 2032 වන විට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ගනිමින් පසුගිය පරිසර දිනයට සමගාමීව පැල දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන අප දියත් කරනු ලැබුවා.

    අභියෝග රැසක් හමුවේ රට බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩා වැටී තිබු කර්මාන්ත යළි නගා සිටුවීමට විශාල වෙහෙසක් දැරූ බව අමුතුවෙන් කිවයුතු නැහැ. අපේ රට නැවතත් ලෝකයේ පිළිගත් රටක් බවට පත් වුණේ ඒ නිසයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවන මෙම දියුණුවත් සමඟ පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම අපේ වගකීමක් වෙනවා.

    ඒ නිසා 2025 වසරේ ජනාධිපති පරිසර සම්මාන සඳහා මෙවරට වඩා වැඩි ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එවිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත නගා සිටුවමින් ඔබ ලබා දෙන දායකත්වය මෙන්ම පරිසරය රැක ගැනීම සඳහා ද ඔබ දුන් දායකත්වය අගය කිරීමට අපට හැකි වෙනවා.

    පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ තානාපතිවරුන්, පරිසර ක්ෂේත්‍රයේ විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිහියෝ ‘ජනපති රනිල් ගැන කිව්ව සුපිරි කතාව‘

    ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිහියෝ ‘ජනපති රනිල් ගැන කිව්ව සුපිරි කතාව‘

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මේ බව සඳහන් කළහ.

    විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බැලීය.

    ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව මෙහිදී මහා නායක හිමිපාණන් වහන්සේව දැනුවත් කළ ජනාධිපතිවරයා නැවත රට එවන් අගාධයකට ඇද නොවැටීමට නම් රට නව මගකට ගෙන යා යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළ කැපවී කටයුතු කරන බවත් සඳහන් කළේය.

    රට ව්‍යසනයකට ඇද වැටී තිබු අවස්ථාවේ ජනාධිපති ධූරය භාරගන්නා ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ කළ ආරාධනය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට එදා තමා අධිෂ්ඨාන කරගත් බවත්, රට වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමත්ත පළ කළ සියලුදෙනාගේම සහාය ලබාගනිමින් ඉතා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමන්ට හැකිවූ බවත් සඳහන් කළේය. මෙය මෙවැනි අර්බුදයකට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ලැබු සුවිශේෂී ජයග්‍රණයක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    අසාධාරණ ඉල්ලීම් මත පදනම්ව ගුරු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ තැබිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වෘත්තීය ක්‍රියාමාර්ග නතර නොකරන්නේ නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය.

  • තරුණයන් පැහැරගැනීමේ චෝදනාවට හිරුණිකාට වසර තුනක සිරදඬුවමක්

    තරුණයන් පැහැරගැනීමේ චෝදනාවට හිරුණිකාට වසර තුනක සිරදඬුවමක්

    ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය වී වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක සිර දඬුවමක් නියම කළේ එම වරදවල බරපතළකම සැලකිල්ලට ගෙනය.

  • T20 World Cup final: රෝහිත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින්ට දුන් අවවාදය

    T20 World Cup final: රෝහිත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින්ට දුන් අවවාදය

    ඉන්දීය නායක රෝහිත් ෂර්මාට අවශ්‍ය වන්නේ බාබඩෝස් හි පැවැත්වෙන T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව සමග තරග වදින විට තම කණ්ඩායම සැහැල්ලුවෙන් තබා ගැනීමට බව ක්‍රීඩා විචාරකයෝ කියති.

    සෙනසුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන ICC T20 ලෝක කුසලාන ශූරතාව අපේක්ෂා කරන බැවින් සන්සුන්ව සිටින ලෙස රෝහිත් ෂර්මා සිය කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය.

    බ්‍රහස්පතින්දා ගයනාහිදී එංගලන්තයට එරෙහිව ලකුණු 68 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් රෝහිත්ගේ කණ්ඩායම T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සිය ස්ථානය වෙන් කර ගත් අතර, තරඟාවලියේ එකම අපරාජිත කණ්ඩායම් දෙකේ සටනේදී ප්‍රෝටීස් කණ්ඩායමට මුහුණ දීම සඳහා උතුරට ගොස් Barbados හි Kensington Oval වෙත ගමන් කළේය.

    ප්‍රෝටීස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක් වරම තරගයේ වැදගත්කම රෝහිත් දන්නා අතර, පළපුරුදු නායකයාට අවශ්‍ය වන්නේ තම කණ්ඩායම ICC තරඟාවලිවලදී ඔවුන්ගේ මෑත නියඟය බිඳ දැමීමට උත්සාහ කරන විට ඔවුන් මෙතෙක් එම ඉසව්වේ භාවිතා කළ මානසිකත්වයෙන්ම තරගයට අවතීර්ණ වීමයි. 2007 වසරේ දකුණු අප්‍රිකාවේදී ඔවුන් හිමිකරගත් දෙවන T20 ලෝක කුසලාන කුසලානය.

    “අපි කණ්ඩායමක් ලෙස ඉතා සන්සුන්ව සිටිමු,” රෝහිත් ඉන්දියාවේ අවසන් පූර්ව ජයග්‍රහණයෙන් පසුව පැවසීය.

    “අපි එම අවස්ථාව (අවසාන තරගයේදී) තේරුම් ගනිමු, නමුත් අපට, සන්සුන්ව සහ සන්සුන්ව සිටීම වැදගත් වෙනවා. එය අපට හොඳ තීරණ ගැනීමට උපකාරී වෙනවා. අපි ඕවර 40 හරහා හොඳ තීරණ ගත යුතුයි. මෙම ක්‍රීඩාවේදීත් අපි ස්ථාවරව සහ සන්සුන්ව සිටියා. වැඩි කලබලයකට පත් වුණේ නැහැ. ඔව්, අපි එසේ කරමු. අවස්ථාව වැදගත් බව තේරුම් ගන්න, නමුත් අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි“ රෝහිත් කීවේය.

    “ඔවුන් තුවක්කු දඟ පන්දු යවන්නන්. ඔවුන් ඉදිරියේ තත්ත්‍වය එසේ වූ විට ඇතැම් පහරවල් ක්‍රීඩා කිරීම ඉතා අපහසුයි. ඔව්, එම පන්දු ක්‍රියාත්මක කිරීමට පීඩනය ඔවුන්ට එල්ල වෙනවා. නමුත් ඔවුන් ඉතා සන්සුන්ව, පන්දු යවන්නේ කුමක් දැයි දැන සිටියා. පළමු ඉනිමෙන් පසුව අපි කතා බහ කළා.  සැලසුම වූයේ හැකිතාක් කඩුල්ලේ පහර දී කඩුල්ල ක්‍රීඩා කරමින් සිටීමයි, ඔවුන් කළේ එයයි.” රෝහිත් වැඩි දුරටත් පැවසුවේය.

  • ප්‍රසන්න ජනපතිවරණ රහස් හෙළි කරයි

    ප්‍රසන්න ජනපතිවරණ රහස් හෙළි කරයි

    ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    බම්බලපිටිය, ලෝරිස් පටුමගේ අංක 15 හි පිහිටි නව මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රණතුංග ප්‍රකාශ කළේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසු රට මෙහෙයවීමේ භාරදූර කාර්යය භාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දක්ෂතාවය ඔප්පු කළ බවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමගේ සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ලෝරිස් පටුමගේ ප්‍රචාරක කාර්යාලය පවත්වාගෙන යයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය පළ කරන ශ්‍රීලනිප – නව සන්ධානය සමඟ ද මෙම පිරිස සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වසරේ සැප්තැම්බර්/ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කිරීමට නියමිත කාලය තුළ එකඟතාවයක් ඇති විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි. නව සන්ධානය සමන්විත වන්නේ විසම්මුතික SLPP මන්ත්‍රීවරුන්ගෙනි. සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත ද එම පිරිසට ඇතුළත් බව වාර්තා වේ.

    කෙටි කාලයක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මහජනතාවගේ ප්‍රසාදය හා විශ්වාසය දිනාගත් බව අමාත්‍ය රණතුංග මහතා පැවසීය.

    SJB සහ JJB/JVP අතිශය දුෂ්කර තත්වයන් යටතේ ලබා ගත් ප්‍රගතිය දරා ගැනීමට නොහැකි නිසා රාජ්‍ය අංශයේ වැඩ වර්ජන දියත් කරන බවට ද අමාත්‍යවරයා චෝදනා කළේය.

    SJB සහ JJB/JVP IMF සමග ගිවිසුම අත්සන් කිරීමට පෙර 2023 මාර්තු 15 වන දින මහා පරිමාණ රාජ්‍ය අංශයේ වැඩ වර්ජනයක් දියත් කළ බව අමාත්‍ය නානායක්කාර පැවසීය. ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූ බව නානායක්කාර පැවසීය.

    බදාදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලුත්ගමගේ JVP ට බැණ වැදුණේය. ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අවසන් කිරීමත් සමඟ විරෝධතාව සමපාත වූ බව පෙන්වා දුන් ඔහු සංවිධායකයින් විරෝධතාකරුවෙකු මිය යනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.

    මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලුත්ගමගේ කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර නොමැති බවයි.

  • මහින්ද රාජපක්ෂ චීනයේ නිල සංචාරයක

    මහින්ද රාජපක්ෂ චීනයේ නිල සංචාරයක

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (27) පෙරවරුවේ චීනයට පිටත්ව ගිය අතර, එහි රැඳී සිටින කාලය තුළ චීන අග්‍රාමාත්‍ය ලී චියැං සහ විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව  වාර්තා වේ. 

    බීජිං හි පැවැත්වෙන සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවවලට සහභාගි වන ලෙස අමාත්‍ය වැන්ග් යීගේ ආරාධනයකට අනුව රාජපක්ෂගේ මෙම සංචාරය සිදු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම සමරු උත්සව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග්, අග්‍රාමාත්‍ය ලී චියැන්ග්, විදේශ අමාත්‍ය වැන්ග් යී සහ අනෙකුත් ප්‍රමුඛ CPC සාමාජිකයින් සහභාගී වීමට නියමිතය.

    මෙම සිදුවීම්වලට සමගාමීව, මහින්ද රාජපක්ෂ මහතා චීන අග්‍රාමාත්‍ය Li Qiang සහ අමාත්‍ය Yi සමඟ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරනු ඇත. රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති අතර චීනය සහ චීනයේ එක්සිම් බැංකුව ලබා දුන් ආධාර සඳහා කෘතඥතාව පළ කරනු ඇති බව ද වාර්තා වේ.

     

  • LPL පස්වැන්නට ‘Power Blast Overs‘ එක්වෙයි

    LPL පස්වැන්නට ‘Power Blast Overs‘ එක්වෙයි

    ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත.

    සෑම ඉනිමකටම 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී යොදාගනු ලබන මෙම ‘පවර් බ්ලාස්ට්‘ විශේෂාංගය එක් කිරීමේදී සිදුකෙරෙන්නේ යාර 30 සීමාවට පිටතින් පන්දු රකින්නන් යෙදවිය හැක්කේ සිවු දෙනෙකු පමණක් වීමය. මෙය තරගයේ පළමු  පන්දුවාර 6 හෙවත් පළමු පවර් ප්ලේ අවස්ථාවට අමතරව යොදා ගැනීමට තීරණය වී ඇත්තේ තරගයේ තරගකාරීත්වය මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට වැඩි ආශ්වාදයක් ලබාදීම අරමුණු කොට ගෙනය.

    “වසරින් වසර දියුණුවට පත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව විශේෂාංගය යොදා ගැනීමට තීරණය කළේ තරගාවලියට වැඩි උද්යෝගයක් එක් කිරීම අරමුණු කර ගෙන“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි තරගාවල අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය. “මේ හරහා ක්‍රීඩා ලෝලීන් අතර විශාල උද්යෝගයක් ඇතිවනවා නොඅනුමානයි. ඒ වගේම තරග වදිනු ලබන කණ්ඩායම්ද මෙයින් උපරිම ප්‍රයෝජන ගන්න උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා“ යැයිද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

  • සිල්වර්වුඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සිල්වර්වුඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ලෙසින් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ලික හේතූන් මත තමා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කර සිටියි.

    “ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ් උදවිය සමග දැඩි සංවාදයකින් පසු මේ තීරණය ගත්තේ .මම නැවත ගෙදර ගිහිල්ලා ඔවුන් සමඟ හොඳ කාලයක් ගත කරන්න කාලය එළැඹ තියෙනවා“ යැයි සිල්වර්වඩු සඳහන් කර සිටියි.

    “මම ශ්‍රී ලංකාවේ කටයුතු කරපු කාලය තුළ මට ලබා දුන් සහයෝගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කලමනාකාරීත්වයට, පුහුණුකරුවන් සහ කාර්යය මණ්ඩලයට මම ස්තූතිවන්ත වනවා. ඔබේ සහයෝගය නොමැතිව කිසි දෙයක් සාර්ථකව සිදුකරගන්නට බැහැ“ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ් සාමාජිකයෙකු වීමට ලැබීම මට සැබෑ ගෞරවයක්. මම මෙයින් බොහෝ සොඳුරු මතකයන් රැගෙන යනවා“ යැයි සිල්වර්වුඩ් පවසයසි.

    සිල්වර්වුඩ්ගේ සේවා කාලය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවත් 2023 වසරේ පැවැති එක්දින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයටද සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මෙන්ම එතෙරදී පැවැති ද්වී පාර්ශ්වික තරගාවලිවලද ජයග්‍රහණයන් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිල්වර්වඩුගේ පුහුණුකාරීත්වය යටතේ හැකියාව ලැබිණ, ඒ අතර බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ රටේ ලද ටෙස්ට් තරග ජය මෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියද කැපී පෙනෙයි.