Author: Editor

  • 2 ලෝක යුධ සමයේ ගිලී ගිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව තුළ කළ බිහිසුණු ගවේෂණය

    2 ලෝක යුධ සමයේ ගිලී ගිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව තුළ කළ බිහිසුණු ගවේෂණය

    දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් 2024 ජුනි මස 30 වන දින සාර්ථකව සිදුකෙරුණු අතර, ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) විසින් ‘HMS Hermes’ නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් තබා ඔවුන් වෙත උපහාර පුද කෙරිණි.

    දෙවන ලෝක යුද සමයේදී ජපන් ජාතිකයන් විසින් 1942 වර්ෂයේ අප්‍රේල් මස 05 වන දින කොළඹට බෝම්බ හෙලීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය දකුණු මුහුදු ප්‍රදේශයේ තිබූ බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවට අයත් HMS Hermes සහ ඇයගේ පරිවාර නෞකාව ලෙස පැමිණි HMAS Vampire නෞකාවන් වෙත 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ගුවනින් බෝම්බ හෙළා ගිල්වා ඇත.

    මුහුදු මට්ටමේ සිට මීටර් 55 ක් පමණ ගැඹුරක ගිලී ඇති HMS Hermes නෞකාවේ සිදුකල මෙම ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසය, නාවික හමුදා කිමිදුම් අංශයේ ශිල්පීය හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, කිමිදුම් විශේෂඥයෙකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත සංවිධානය කෙරුණු අතර, HMS Hermes නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාධිපතිවරයෙක් සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙක් එකවර ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් සිදුකල ප්‍රථම අවස්ථාව ලෙස සහ, එම නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් රාජකීය නාවික හමුදා සාමාජිකයන් වෙත මෙලෙස උපහාර දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙම කිමිදුම් අභ්‍යාසය සනිටුහන් විය.

    තවද, මෙම නෞකාව ඇතුළු ඓතිහාසික වැදගත්කමක් ඇති නෞකා සහ සමුද්‍රීය අවශේෂ රැසක් ත්‍රීකුණාමලය වරායේ සහ ඒ අවට නැගෙනහිර මුහුදේ දියය‍ට ස්ථානගතව ඇත. නාවික හමුදාව මඟින් සංවිධානය කෙරෙන මෙවැනි ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාස මඟින් ත්‍රීකුණාමලය අවට මුහුදු තිරයේ කිමිදීම සඳහා කිමිදුම් සංචාරක ආකර්ෂණය ලබා ගැනීමටත්, එමඟින් දිවයිනේ කිමිදුම් සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමටත් නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

  • Devon 5 : විෂ මත්පැන් පානය කර අසාධ්‍ය වූ ධීවරයාට නාවික හමුදාව කළ දේ

    Devon 5 : විෂ මත්පැන් පානය කර අසාධ්‍ය වූ ධීවරයාට නාවික හමුදාව කළ දේ

    “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින (ජුලි 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

    කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් 2024 ජුනි මස 30 වන දින මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු (01) ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත්විය.

    අසාද්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත 2024 ජුනි මස 30 වන දින සන්ද්‍යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ලබා ගත් අතර, එම ධීවරයා වෙත විජයබාහු නෞකාවේදී නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම මඟින් හදිසි ප්‍රතිකාර ලබා දෙමින්, අද දින උදෑසන (2024 ජුලි 01) මෙලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

  • ආර්ථිකය ගැන ඇමැති බන්දුලගෙන් බරපතළ අනතුරු ඇගවීමක්

    ආර්ථිකය ගැන ඇමැති බන්දුලගෙන් බරපතළ අනතුරු ඇගවීමක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    එබැවින් මෙම ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට මේ රටේ සියලු පුරවැසියන්ගේ සහාය අවශ්‍ය කාලය එළැඹ තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය,

    විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ විවාදයක් ජූලි මස 02 සහ 03 යන දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. පසුගිය කාලයේ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත තිබුණේ නැහැ. රට ණය වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වුණා. සමාජය මුළුමණින්ම වෛරය මුසු සමාජයක් බවට පත්ව රටම ගිනිබත් වූ අරගල ක්‍රියාමාර්ගයකට ගියා.

    එදා කිසිවකුත් රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක, අග්‍රාමාත්‍යවරයකු වශයෙන් මෙන්ම පරිණත දේශපාලනඥයකු ලෙස අත්දැකීම් සම්භාරයක් සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය භාරගෙන රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවා. එතුමා පළමුවෙන්ම සිදු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් විස්තීර්ණ ණය ගිවිසුමකට එළැඹීමයි. එය සාර්ථක කර ගැනීමට එතුමා විශාල ප්‍රයත්නයක් දැරුවා. එසේම මීට පෙර රටක් වශයෙන් අප 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය නිසා මෙවර එහි ණය පහසුකම ලබා ගැනීමට පෞද්ගලිකවම ඉතාම වෙහෙසකර කාර්යභාරයක නිරත වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිදු වුණා.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2027 වසර වන තෙක් විස්තීර්ණ ණය ගිවිසුමකට ඇතුළත් වීමට හැකියාව ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම් ප්‍රකාරව තමයි අපේ රටට හුස්ම වැටීම ආරම්භ වුණේ.

    සියලු දේවල් අතින් ස්වයංපෝෂිත නොවූ රටක් විදිහට අප අනිවාර්යයෙන්ම විදේශ රටවල්වලින් භාණ්ඩ ආනයනය කරන්න අවශ්‍යයි. දේශපාලන වශයෙන් කවුරු නායකයා වුවත්, ජාත්‍යන්තර පිළිගැනීම නොමැති නම් ගනුදෙනු පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. එවැනි ගනුදෙනු සිදුවිය යුත්තේ ද ලෝක සම්මතයන්ට අනුව පමණයි. විස්තීර්ණ ණය පහසුකම් ගිවිසුමට අනුව 2027 වසර වන තෙක් ණය ගිවිසුමකට එළැඹීමට හැකි වූ නිසා වාර්ෂිකව භාණ්ඩ ආනයනය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

    තව මාස කිහිපයකින් 2025 වසරට අදාළ අයවැය ලේඛනය සකස් කළ යුතුව තිබෙනවා. ඒ අයවැය ලේඛනය සම්මත වුවහොත් පමණයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප්, සමෘද්ධි, අස්වැසුම ඇතුළු දිළිඳු ජන කොටස්වලට දීමනා ලැබෙන්නේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව 2027 වසර වන තෙක් අයවැය ලේඛනයක් සකස් කරන්න බැහැ.

    එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2025 වසර අයවැය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබා දෙනවා. අයවැය සඳහා සහායක් වශයෙන් ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ලබා දෙනවා. අයවැය ලේඛනය සකස් කරන අවස්ථාවේදී ණය සහන වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3655ක් ලැබෙයි කියා විශ්වාස කරනවා. මේ විදිහට තමයි ලබන වසරට අදාළ අයවැය ලේඛනය සකස් කළ යුතු වන්නේ. කවුරු ආණ්ඩු කළත් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර ගෙවන්න මුදල් අවශ්‍යයි. මේ ක්‍රමය හැරෙන්න අයවැය වෙනුවෙන් මුදල් ලබා ගන්න වෙනත් ක්‍රමයක් නැහැ.

    මේ ණය සහන පුරෝකථන පමණයි. මේ පුරෝකථනය 2027 වසරටත් එලෙසින්ම සකස් කර තිබෙනවා. නමුත් උදාහරණයක් ලෙස 2027 වසර වන විට විශාල අයවැය පරතරයක් ඇති නොවුණත්, ඇමරිකානු ඩොලර් මිලියන 3911ක හිඟතාවයක් ඇති වන බවට පුරෝකථනය කර තිබෙනවා. එහිදී විස්තීර්ණ ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් 629ක්, අයවැය ලේඛනය සකස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක්, ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ද වශයෙන් ලබාදීමට නියමිතව තිබෙනවා. 2027 වසරේ අයවැය ලේඛනය සකස් කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හිඟයක් ඇති වෙනවා.

    ඒ හිඟය පියවන්න අපට ජාත්‍යන්තර වෙළෙඳ පොළට යන්න වෙනවා. මේ දවස්වල කවුරු ආණ්ඩු කළත් ලෝකයේ කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ගන්නේ නැහැ. අපට බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ 2027 වසරේදී පමණයි.

    එසේ ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ ද 2027 වසර වන විට අපේ රට සතුව ඇමරිකානු ඩොලර් බිලියන 14ක විදෙස් සංචිතයක් පැවතිය හොත් පමණයි. දැනට අප සතුව පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක සංචිතයක් පමණයි. කෙසේ නමුත් මේ සෑම වසරකටම අදාළව අප නිසි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

    රාජ්‍ය තන්ත්‍රය මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතරවාරයේ ජනාධිපතිතුමා විදෙස් රටවල් සමඟ එකඟතා ඇති කර ගනිමින් සිටිනවා. මේ කිසිම ගිවිසුමක්, වැඩපිළිවෙළක් සඟවා නැහැ. ජනාධිපතිතුමා සියලුම තොරතුරු පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ පසුබිමේ මේ සකස් කළ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිම කෙනෙකුට ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බැහැ. මේ ආර්ථික වැඩපිළිවෙළින් පරිබාහිරව කවුරුන් හෝ ආණ්ඩු කිරීමට සිහින මවන්නේ නම් රට යළිත් කඩාවැටීම වළක්වාගත නොහැකි බව පැවසිය යුතුයි.

    එනිසා මේ රටට ආදරය කරන, නූපන් දරු පරපුරට ජාතියක් ලෙස නැඟී සිටිමින් සංවර්ධිත රටක ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මේ එකඟ වී තිබෙන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රටක් ලෙස සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. ඒ වගේම විස්තීර්ණ ණය පහසුකමට අදාළව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් දේශද්‍රෝහීන් ලෙස ඉතිහාසගත වන බවද කිව යුතුයි.

  • ඉදිරි කන්නයේ වගා ඉලක්ක ගැන කෘෂිකර්ම ලේකම් කළ හෙළිදරව්ව

    ඉදිරි කන්නයේ වගා ඉලක්ක ගැන කෘෂිකර්ම ලේකම් කළ හෙළිදරව්ව

    • කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා.
    • තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා
    • ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති.
    • බඩඉරිඟු නිෂ්පාදනය නගා සිටුවීම සඳහා පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දී තිබෙනවා – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • සත්ව ගොවිපළ හිමියන් ව්‍යවසායකින් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • වෙළෙඳපොල තුළ පොහොර සුලභ කර තිබෙනවා – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සේවා).
    • කෘෂිකර්ම ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා – අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ).

    මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පැවසීය.

    මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ මේ වන විටත් ලැබෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානක ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය,

    සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩි වන ආහාර අවශ්‍යතාව සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශය සතු වගකීමක් වනවා. එය මේ වන විට සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව කිව යුතුයි. විශේෂයෙන් මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හය තුළ සපුරා ගැනීමට අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

    ඒ සඳහා කෘෂි නවීකරණ වැඩසටහන යටතේ අප විසින් තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. තවද පුරන් කුඹුරු ඇතුලු සියලු කුඹුරු වී වගාවට යොදා ගැනීමටත් සෙසු

    වගා බිම් වෙනත් වගාවන්ට යෙදවීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට වී වගාවේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක අස්වැන්නක් ලබා ගෙන තිබෙන බවද කිව යුතුයි.

    වී මිළ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වීමට හැකියාවක් නැහැ. නමුත් විවෘත ආර්ථිකයේදී මිල පවත්වා ‍ගැනීම සාධාරණව සිදු වනු ඇති බව රජය බලාපොරොත්තු වෙනවා. මිල ඉහළ යාම වරක් දෙවරක් සිදු වුනාට රජයට මැදිහත් විය නොහැකි වුනත් එය දිගින් දිගටම සිදු වෙනවා නම් ඊට මැදිහත් විය හැකියි. මේ වන විට සහල් වර්ග දෙකක පමණක් තොග පවත්වා ගෙන ගියත් ඉදිරියේදී සියලුම සහල් වර්ගවල ආරක්ෂිත තොග පවත්වා ගනිමින් වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනවා.

    ඒ වගේම වියලි කලාපය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පුරන් කුඹුරු වෙනත් වගාවන්ට වෙන් කර දෙනවා. එය ආහාර නිෂ්පාදනයේ සාධනීය ඉදිරි පියවරක් වනු ඇතියි.

    සම්ප්‍රදායික වගා රටාවෙන් බැහැරව ආහාර අවශ්‍යතාව සැපිරීමේ පියවර වශයෙන් කෘෂි නවීකරණ වැඩසටහන සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් තුළ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා පොලී රහිත ණය ලබා දී තිබෙනවා. ඊට සමගාමීව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරෙනවා. එමඟින් කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, සත්ව හා ධීවර කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වී ඇති අතර නව තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් තරුණ ප්‍රජාව මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට දරණ උත්සාහය සාර්ථක වී තිබෙනවා.

    මේ වන විට කෘෂි කර්මාන්තය දේශීය සීමාවෙන් ඔබ්බට ගොස් විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් ස්ට්‍රෝබෙරි, අඹ, අන්නාසි වැනි පළතුරු බෝග අපනයනය සඳහා වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා.

    මීට අමතරව අස්වැන්නේ උච්ඡාවචනය සහ අස්වනු හානි පිළිබඳ අවධානය යොමු කරමින් දඹුල්ලේ ශීතාගාරයක් ස්ථාපිත කිරීමට ද නියමිතයි. යෝග්‍ය වගාවන් පිළිබඳ ගොවියා දැනුවත් කළත් ඔවුන් ඒ ගැන නොතැකීම නොවන්නට මෙරට අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් සිදු කරනවා. අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරීත්වය හේතුවෙන් අස්වනු හානි 50%කින් පමණ අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ගොවියාගේ සහායද ඇතුව අස්වනු ක්‍රමානුකූලව වෙළෙඳපොලට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අප තව දුරටත් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කිරීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීම පිළිබඳ මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ වන විටත් බෙලිඅත්තේ සිට ධාවනය වන දුම්රිය අනෙක් පළාත් සඳහාද යෙදවීමට අවධානය යොමු වී තිබෙනවා.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග මහත්මිය,

    ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය වී සහ එළවළු පලතුරු නිෂ්පාදනයන් වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ තාක්ෂණ පැකේජයක් ගොවි ජනතාවට හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි මහ කන්නයේ සිට වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා හෙක්ටයාර 60,000ක තෝරාගත් බිම් කොටස්වලට තාක්ෂණ පැකේජය හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘති ආරම්භ කරනවා. පැරශූට් ක්‍රමය භාවිතා කරමින් වී වගාව සිදුකිරීමටත් හෙක්ටයාරයකට වී මෙක්ට්‍රික්ටොන් 07 ක් ලබා ගැනීමේ ඉලක්කය වෙත යාමටත් මෙමඟින් අපේක්ෂා කරනවා.

    අඩුවී තිබෙන බඩඉරිඟු නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා නියමිත පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා . එළවළු වගාව ගත්විට සමහර කාලවලට අතිරික්ත නිෂ්පාදනයක් සහ සමහර කාලවලට බෝග නිෂ්පාදන හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අතිරික්ත නිෂ්පාදන කාලයේදී ගබඩාකරණ පහසුකම් ඇති කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව ශීතාගාර පහසුකම් ලබා දීමටත් අවධානය යොමු කර තිබෙනවා. මේ සියලු කෘෂිකාර්මික වැඩපිළිවෙළ මඟින් ගොවියා ව්‍යවසායකයෙක් බවට පත්කිරීම රජයේ අරමුණයි.

    සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්ත්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය,

    පශු වෛද්‍ය කාර්යාල 337ක් ඔස්සේ පශු පර්යේෂණ ආයතන 16 මඟින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය ප්‍රගමනය කිරීම සඳහා ක්‍රියාකාරීව කැපවී තිබෙනවා. ප්‍රධාන වශයෙන් කුකුල් සහ කිරිගව ක්ෂේත්‍ර දියුණු කිරීම කෘෂි නවීකරණ වැඩපිළිවෙල යටතේ පහසුකම් සපයා තිබෙනවා. කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා තෝරාගත් පළාත් හයක ගොවිපළවල් 150ක පශු සම්පත් නියමු ව්‍යාපෘතියක් සිදු කරමින් පවතිනවා. ඒ වගේම තෘණ භූමි සංවර්ධනය කිරීමටත් , ශ්‍රමිකයන් පුහුණු කිරීමටත් අප දෙපාර්තමේන්තුවක් ලෙස මැදිහත්වී තිබෙනවා.නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා පුහුණු ශ්‍රමිකයන් NVQ 3-4 වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එම පුහුණුවෙන් පසුව අවශ්‍ය නම් කිරි ගොවීන්ට විදේශ රටවල රැකියා අවස්ථාවට වුවද යා හැකියි . දැනට ශ්‍රී ලංකාවේ පාරිභෝජන අවශ්‍යතාවයෙන් 40% නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය 2028 වන විට 60%ක් දක්වා වර්ධනය කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.සත්ව ගොවිපළ හිමියන් ව්‍යවසායකින් බවට පත්කරමින් රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් සැපයීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සේවා) සුමිත් චන්දන මහතා,

    මීට වසර දෙකකට පෙර තිබුණු පොහොර අර්බුදය නිමාකර රටේ අවශ්‍යතාවයට අවශ්‍ය පොහොර ගෙන ඒමට ගොවි ජන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. යුරියා ඇතුළු රසායනික පොහොර අවශ්‍ය තරම් ගොවීන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා. අවශ්‍ය නම් පෞද්ගලික අලෙවි නියෝජිතයන්ගෙන් පවා පොහොර මිලදී ගැනීම සඳහා වෙළඳපොළ තුළ පොහොර සුලභ කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ මූල්‍ය සහනාධාර සහ පොහොර නොමිලේ ලබාදීමේ ක්‍රියාදාමය නිසා අස්වනුවල දැකිය හැකි වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වුණා. පසුගිය මහ කන්නය සඳහා රුපියල් බිලියන 11ක මුදලක්සහනාධාර ලෙස ගොවි ජනතාව වෙත ලබා දී තිබෙනවා. මෙවර කන්නය සඳහා මේ වන විට රුපියල් බිලියන 5.6ක මුදලක්ද ගොවීජනතාව වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

    නවීන තාක්ෂණික ගොවියා ශක්තිමත් කිරීම ” GeoGoviya” යෙදුම භාවිතා කරමින් ගොවීන්ගේ සියලු දත්ත ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. එමඟින් ගොවියන්ට තිබෙන අවශ්‍යතා සොයා බලා කඩිනමින් සේවා සැපයීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ගොවි ජන දෙපාර්තමේන්තුව මගින් හරිතාගාර 19ක් ඉදිකර අවසන්. කෘෂිකර්මයට අවශ්‍ය කරන පහසුකම් සැපයීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය, ගබඩාකරණ පහසුකම් ඇතුළු ව්‍යාපෘතිය 1120ක් සඳහා රුපියල් මිලියන 1499ක් පසුගිය වසර කාලය ඇතුළත රජය විසින් ලබාදී තිබෙනවා. “තිරසර ගෙවත්ත” වැඩසටහන යටතේ ගෙවතු ලක්ෂ10ක් ඇති කිරීමට මේ වන විට කටයුතු කරමින් තිබෙනවා.

    ඒ සඳහා මේ වනවිටත් ඉඩම් සොයාගෙන අවසන්. එම එක් ගෙවත්තක එක් බෝගයක් පමණක් වගා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    මෙමඟින් වාණිජ වශයෙන් ආදායම් ලබා ගැනීමට ද හැකි වෙනවා.

    අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ශිරෝ මණී එදිරිමාන්න මහත්මිය,

    අප විසින් කෙටුම්පත් කරන ලද කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අංග 10ක් යටතේ කෘෂි නිශ්පාදන සිදු කිරීම සඳහා ඉදිර දස වසර තුළ වැඩසටහන් පෙළ ගැස්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රේඛීය ආයතනවල දත්ත පද්ධති ඒකාබද්ධ කර එක් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමේ කටයුතු මේ වසර අවසානය වන විට නිම කිරීමට නියමිතයි. එමඟින් කාර්යක්ෂමතාව මෙන්ම තීන්දු තීරණ ගැනීම පහසු කිරීම අපේක්ෂා කරනවා. තවද බීජ පනත, සත්ව පනත, ශාක සංරක්ෂණ පනත ඇතුලු පනත් රැසක් යාවත් කාලීන කරමින් පවතිනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණින්නේ කොහොමද? කියලා සුපිරියට දැන ගනිමුද?

    ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණින්නේ කොහොමද? කියලා සුපිරියට දැන ගනිමුද?

    1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේ (8) දී ම තරඟය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය.   2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත.

    රනිල්, සජිත්, අනුර හා ධම්මික පෙරේරා ප්‍රධාන දේශපාලන ධාරා හතරකින් නාම යෝජනා දෙනු ඇත. එවිට කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් ඡන්දයක් ලබා ගැනීම පහසු නැත. එවිට සරළව වැඩිම ඡන්ද ලබන පුද්ගලයා ජයග්‍රාහකයා බවට පත් වන්නේ නැත.

    ඒ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තේරීමට, දෙවන හා තුන්වන මනාප ගණන් කිරීම හෙවත් ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ ‘දෙවන වටය‘ අනුගමනය කළ යුතු වන්නේය. මෙය නැවත ඡන්ද විමසීමක් (Re Poll) නොව, අදාළ ඡන්ද පත්‍රිකාවේ ම දැක්වෙන දෙවන හා තෙවන මනාප ගණන් කිරීමකි.

    සරළ අංක ගණිතයට අනුව, අපේක්ෂකයින් දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟ කරන ජනාධිපතිවරණයක දී මෙම තත්වය ඇති විය හැකිය. විශේෂයෙන්ම සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි ප්‍රබල අපේක්ෂකයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු තරඟ කරන අවස්ථාවක ‘දෙවන වටය‘ ට ඇති සම්භාවිතාව ඉහළ යන්නේය.

    දෙවන මනපාය ගණන් කිරීම පිළිබඳ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළකට පෙර තැබූ සටහනක්, ඔහුගේ එකඟතාව මත මෙසේ උපුටා දක්වමි.

    කිසිඳු අපේක්ෂකයකු (ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන්) 50%ක් හා එකක් ලබා නැත්නම් දෙවන වටයට යායුතුය.  මේ පිළිබඳව උදාහරණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කරන ලදි.

    ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

     

    A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද, උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.  A= 40, B = 35, C= 15, D= 6, E= 4   මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.

    දැන් ‘දෙවන වටයේ දී‘ තරඟය පවතින්නේ A සහ B අතර ය.

    පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.  අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ. (මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.) C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද, යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද, පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද, ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ. ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25 ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

    පළමු වටයේ එක හා දෙක ස්ථාන ලැබූ අපේක්ෂකයින් දෙදෙනාට,   දෙවන මනාපය ලෙස එකතු වන ඡන්ද ප්‍රමාණය මෙම ගණනය මගින් වෙන් කොට ගනු ලබන්නේය.

    එසේ බෙදීමෙන්, A සඳහා අමතර ඡන්ද 03ක් ද,  B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කරමු.  එවිට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද, ( A= 40+3 = 43) ද, B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත. දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට වඩා එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

    • මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.
    • මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
    • Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.

    A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත. (මහින්ද දේශප්‍රිය)

    ඉහතින් දැක්වූ ගණන ක්‍රමවේදය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය නම් ඉහත ඉංග්‍රීසි අකුරු වෙනුවට රනිල්, අනුර, සජිත්, ධම්මික වැනි නම් යොදා මෙම ගණනය කිරීමේ ක්‍රමය නිවැරදිව ග්‍රහණය කර ගැනීම ද, අති විය හැකි අවස්ථාවන් අවබෝධ කර ගැනීම ද වැදගත් වේ. එවිට, 2024 දී ‘දෙවන වටයේ‘ ඡන්දය ගණන් කිරීමට ඇති විභවය ඕනෑම අයෙකුට වැටහෙනු ඇත්තේය.

    සරළවම, ජනාධිපතිවරණයේ දී පළමු වටයේ දී වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% සහ තව එක් ඡන්දයක් ලබා ගැනීමට කිසිවෙකු අසමත් වන විට,  දෙවන වටයේ දී තරඟය අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිම ඡන්ද ලැබූ දෙනෙනා අතර තරඟයක් බවට පත් වන්නේ ය.

    ඔවුන් දෙදෙනා අතර ජයග්‍රාහකයා තීරණය වන්නේ, තෙවන, සිව්වන ආදී සෙසු අපේක්ෂකයින්ට ඡන්ද ප්‍රකාශ කළ ඡන්දදායකයින්ගේ දෙවන (හෝ තුන්වන) මනාපය වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකුට සලකුණු කර ඇති විට එහි එකතුවට සැලකිල්ලට ගනිමිනි.

    එක් ඡන්දදායකයෙකුට එක් කතිරයක් නොව, මනාප දෙකක් හෝ තුනක් තෝරා ගැනීමට ජනාධිපතිවරණයක දී ඉඩ ප්‍රස්ථාව ලැබේ. අවසානයේ දී එය ජයග්‍රාහකයා හෝ පරාජිතයා තීරණය කිරීමට හේතු වනු ඇත.

    • රනිල් ට පළමු මනාපය දෙන අය ගේ, දෙවන මනාපය කවුද?
    • සජිත්ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?
    • අනුර ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?
    • ධම්මික ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?

    මේ ඡන්දයේ තීරණාත්මකම මනාපය එය විය හැකිය.

    සටහන – රජිත් කීර්ති තෙන්නකෝන්

  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 355ක් වූ ඔක්ටේන් 92 ලීටරයක් ​​රුපියල් 11කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 344කි.

    ලීටරයක් රුපියල් 420ක් වූ ඔක්ටේන් 95 මිල ​​රුපියල් 41 කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රු. 379.

    රුපියල් 377ක් වූ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් ​​රුපියල් 22 කින් අඩු කර ඇති අතර එහි නව සිල්ලර මිල රුපියල් 355 කි.

    කෙසේ වෙතත්, ලංකා සුපර් ඩීසල් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිලෙහි වෙනසක් නොමැත.

  • ‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි

    ‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි

    ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වනු ඇත.

    එම තරගාරම්භයට පෙර නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් සමන්විත විචිත්‍රවත් සමාරම්භක උත්සවය ප.ව. 6.15 ට පැවැත්වීමට තරගාවලි සංවිධායකයෝ පියවර ගෙන තිබේ. මෙම තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු විසින් සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාවට LPL – 5 හි සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන හිටපු ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ද සහභාගිවනු ඇත.

    ඔවුන් දෙපළට අමතරව තරගාවලිය නියෝජනය කරනු ලබන සියලුම කණ්ඩායම්වල නායකයින් ඇතුළු කණ්ඩායම් පහේ ක්‍රීඩකයින්ද මෙම විචිත්‍රවත් සමාරම්භයට සහභාගිවනු ඇත. මෙහිදී වත්මන් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග විසින් තරගාවලියේ සන්නාම තානාපතිවරයා වෙත කුසලාන පිරිනැමීම සිදු කරනු ලබයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද සහභාගිවීමට නියමිතවේ.

    මෙහි ඇති එක් විශේෂත්වයක් වන්නේ මෙවර තරගාවලියේ නිල ගීතයද එළි දැක්වීමට කටයුතු කිරීමයි. එය යොහානි, ඩීජේ.මාස්, අප්සි සහ රොමේයින් විල්ස් වැනි නව පරපුරේ කලාකරුවන් විසින් ඉදිරිපත් කරනු ඇත.

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ල ක්‍රීඩාංගණය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකොට පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේදී වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි පිල ශූරයන් බවට පත්වූ හෙයින් තරගාවලිය මහනුවරින් ආරම්භ වේ.

    මේ 21 වැනිදා දක්වා සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන තරගාවලියට, ලොව ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් සමග දේශීය ක්‍රීඩකයන් එක්වන අතර, බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් 32 ක් මෙවර තරගාවලියට ක්‍රීඩා කරති. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් ඩොලර් ලක්ෂයක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි තුනකට ආසන්මුන මුදල් ත්‍යාගයක් හිමිවන අතර, අනුශූරයන්ට ඩොලර් 50,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එකහමාරක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

    එල්පීඑල් තරගාවලිය නරඹන සෑම ප්‍රේක්ෂකයෙකුම ටිකට් පතක් මිළදී ගෙන තරගයෙන් ලබන ආශ්වාදය සේම දැවැන්ත සමාජ සත්කාරකයක කොටස්කරුවෙකු වීම තවත් විශේෂත්වයකි. පසසුගිය වසරේදී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් එල්පීඑල් තරගාවලියෙන් රුපියල් මිලියන 100 ක් ලබාදීමට කටයුතු කළේය.

    ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු එල්ල කළ සෑම හයේ පහරකින්ම රුපියල් 6000ක්, හතරේ පහරකින් රුපියල් 4000ක් හා ලකුණු නොදුන් පන්දුවකට (Dot ball) රුපියල් 2000ක් බැගින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් පිරිනැමීය.

    ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සංවිධානය තුලින් විදෙස් ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකාවේ නැගීඑන ක්‍රීඩකයන් උරෙන් උර ගැටී ලැබෙන අත්දැකීම් සම්භාරය අති විශාල එකකි. ශ්‍රී ලාංකේය නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය කදිම අත්දැකීමක් වන අතර, ඔවුන්ට තව දුරටත් ඔපවත්වීමේ අවස්ථාවක් මෙම තියුණු සටන් තුලින් ඇති වේ.

    කලම්බු ස්ට්‍රයිකර්ස් – තිසර පෙරේරා, චාමික කරුණාරත්න, නිපුන් ධනංජංය, සදීර සමරවික්‍රම, ශාදාබ් ඛාන්, ග්ලෙන් පිලිප්ස්, චාමික ගුණසේකර, දුනිත් වෙල්ලාලගේ, රාමනුල්ලා ගුර්බාස්, ටස්කින් අහමඩ්, ඇන්ජලෝ පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකෙත්, මතීෂ පතිර, ෂෙහාන් ප්‍රනාන්දු, කවීන් බණ්ඩාර, ඉසිත විජේසුන්දර, මුහමද් වසීම්, අලා ගසන්ෆර්.

    දඹුල්ල සික්සර්ස් – දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මදුශංක, නුවන් තුෂාර, මුස්තෆිසුර් රෙහ්මාන්, ඊබ්‍රහිම් සද්‍රාන්, ළහිරු උදාර, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, නුවනිඳු ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රනේෂ් සිල්වා, ළහිරු මදුශංක, සොනාල් දිනූෂ, කුසල් ජනිත් පෙරේරා, රීසා හෙන්රික්ස්, මාක් චැප්මන්, සචිත ජයතිලක, ටව්හිද් රිඩෝයි, නිමේෂ් විමුක්ති, මොහොමඩ් නබී, අසංක මනෝජ්, චමිඳු වික්‍රමසිංහ.

    ගෝල් මාවල්ස් – භානුක රාජපක්ෂ, ලසිත් කෘෘස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, ටිම් සීෆර්ට්, ඇලෙක්ස් හේල්ස්, ජනිත් ලියනගේ, ඩ්වයින් ප්‍රි‍ටෝරියස්, සහන් ආරච්චිගේ, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, ෂෝන් විලියම්ස්, සහූර් ඛාන්, මල්ෂ තරුපති, සදීෂ රාජපක්ෂ, මොහොමඩ් ශිරාස්, ඉසුරු උදාන, ධනංජය ලක්ෂාන්, පසිඳු සූරියබණ්ඩාර, කවිඳු නදීෂාන්, චමිදු විජේසිංහ, ජෙෆ්රි වැන්ඩර්සි.

    ජැෆ්නා කිංග්ස් – චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, අස්මාටුල්ලා ඔමර්සායි, රිලී රුසෝව්, ෆේබියන් ඇලන්, ධනංජය ද සිල්වා, ප්‍ර මෝද් මදුෂාන්, ජේසන් බෙරන්ඩොෆ්, අසිත  ප්‍රනාන්දු, විෂාද් රන්දික, ළහිරු සමරකෝන්, ඒෂාන් මාලිංග, ඇලෙක්ස් රොස්, අහන් වික්‍රමසිංහ, වනුජ සහන්, මුර්වින් අබිනාෂ්, අරුන් ප්‍රගාසම්, පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක, තීෂන් විතූෂාන්, නිසල තාරක, ටබ්‍රේස් ශම්සි.

    කැන්ඩි මාර්වල් – දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, මොහොමඩ් හාරිස්, අෂේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, මොහොමඩ් හස්නේන්, පවන් රත්නායක, චමත් ගෝමස්, චතුරංග ද සිල්වා, කවිදු පතිරත්න, ලක්ෂාන් සඳකැන්, සම්මු අශාන්, සලමන් අලි අඝා, කසුන් රජිත.

  • රට භාරදිය යුතු කාටද ? ජනපති කළ ‘සුපිරි කතාව‘

    රට භාරදිය යුතු කාටද ? ජනපති කළ ‘සුපිරි කතාව‘

    • සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න – පසුව දේශපාලනය කරන්න – ජනපති විපක්ෂයට කියයි.
    • රටට ආදරය කරන සියලුදෙනා එක් කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළා.
    • නව දේශපාලන ගමනක ඇරඹුම අද මාතරින් සනිටුහන් වුණා.
    • මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට කැපවෙමු.

    අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

    “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

    ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි. රට පෙරට – පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.

    ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. එදා අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරු සියලුදෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවද, නැතිනම් අප වරායට ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අපි වරායට පැමිණ තිබෙනවා. අපි දැන් මේ නැවට මොකද කරන්නේ? අපි නැව ඉදිරි වසර 50-100ට සිරිලන ලෙස අලුතින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයෙකුට භාර දෙනවද කියා තීරණය කළ යුතුයි.

    අද මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙම මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ මෙම කඹුරුපිටියේ ප්‍රදේශයේ. මම නැවති සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝළිමක් තිබුණා. ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් එම පෝළිම්වල දුක් විඳිනවා මම දුටුවා. එදා මම තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මම ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තිබුණා. ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර එම පිණිවිඩ පිළිබඳ කිහිප වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළා. කෙසේ හෝ අවසානයේ මට මේ රට භාර ගැනිමට සිදු වුණා.

    මම එලෙස රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුවයි. සියලුදෙනා පැන ගිය අවස්ථාවක මට රට භාර ගැනීමට සිදු වුණා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂයට එය භාර ගැනීමට නොහැකි නම් විපක්ෂය එය භාරගත යුතුයි. නමුත් මේ සියලුදෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පමණක් නොවෙයි, දේශපාලන ක්‍රමයත් කැඩී ගියා.

    මම මේ රටේ ජනාධිපති ධුරය භාර ගත්තා. සසියලු දෙනා කිව්වේ , මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ රටේ ජනතාව ගැන සහ මම ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් අපට ආධාර ලබා දුන්නා.

    මේ අතර 2022 – 2023 යල කන්නය සාර්ථක කර දෙන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. ඒ අනුව රටේ ජනතාවට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසෙන් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට හැකි වුණා.

    ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් දකුණේ ජනතාව විශාල සසහායක් ලබා දුන්නා. අපේ රටට සංචාරකයන් පැමණීමට පටන් ගත්තා. එවිට අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ලැබුණා. අපි මේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඉදිරියට ගෙන ආවා.

    රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක‍ඟව තිබෙනවා. ඒ අනුව අපිට මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට ආදායම් උපයා ගැනීමේ නව ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීරණයක්. නමුත් අප එම තීරණය ගත්තා. ඒ නිසා අද රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැරීමට සිදු වන්නේ නැහැ.

    මේ අතර අපි 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කර සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා.

    ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථිකය හො‍ඳින් තිබූ කාලයේ කිරීමට නොහැකි වූ දේ, බංකොළාත් කාලයේ අපි විසින් සිදුකළා.සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩම්වල ජිවත්වන සියලුදෙනාට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඉදිරි සතියේ දී කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

    අපි මේ වැඩ කරද්දි කෑ ගැහුවේ නැහැ. ඒත් ජනතාව වෙනුවෙන් මෙම සහන ලබාදි තිබෙනවා. අපි ඉදිරියට ගමන් කළයුතුයි. මේ වන විට අප බංකොළාත්භාවයෙන් ඉවත් වි සිටිනවා. ඒ අනුව අප ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. එහිදී සහන ලබාගෙන තිබෙනවා.

    අපේ සම්පුර්ණ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 108%යි. අපි අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කළා. අපිට දැන් ණය ගෙවීමට කාලය ලබාදීමට ඔවුන් එකඟවී සිටිනවා. 2042 වන තෙක් ණය ගෙවීමට කාලය ලබාදී තිබෙනවා. ඒ වගේම ගෙවන ණය ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ නිසා අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් මේ සියලු සහන ලබාගත හැකි බව ඔවුන් දැනුම් දී තිබෙනවා.

    මෙම එකඟතා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපට නිල වශයෙන් ණය දුන් රටවල් හැර අප විසින් පුද්ගලික අයගෙන් බැදුම්කරවලින් ණය ලබාගෙන තිබෙනවා. මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අප සමඟ සාකච්ඡා කරනවා. මේ සඳහා මාසයක් වැනි කාලයක් ගත වෙයි කියා මම සිතුවත් මේ වන විට එම කටයුතු සාර්ථකව සිදු වෙනවා. ඒ නිසා ලබන සතිය වන විට මෙම කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

    ඒ අනුව මේ ගිවිසුම් තුනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු කියා මා රාජ්‍ය මුල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන්නා. දැන් ඒ කරුණු සියල්ලම සඳහන් කිරීමට නොහැකි වුණත් ඉදිරියට ඒ ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳ සාකච්ඡා කර රාජ්‍ය මුල්‍ය කමිටුව එය පරීක්ෂා කළ පසු වාර්තාවක් සකස් කර ඡන්දයකට යමු කියා මම දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ මීට ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

    ඒ වගේම අප මෙය පිළිගන්නවාද, නැද්ද කියලා ලෝකය දැන ගැනීමට කැමතියි. කිසියම් පක්ෂයක් ප්‍රකාශ කරනවා නම් මීට වඩා වෙනස් විකල්පයක් තිබෙනවා කියා, ඒ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීමට මම සූදානම්. ඒ අයට අවශ්‍ය ගුවන් බලපත්‍ර සහ නවාතැන් පහසුකම් සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් ලබාදීමට පියවර ගන්නවා. ඔබ ගොස් සාකච්ඡා කරන්න. ඒවා හොඳයි කියා හිතනවා නම් අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු.

    නමුත් අපට තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්න බැහැ. අප අද ගනු ලබන තිරණය අපේ අනාගතයට බලපානවා. අපි මෙයින් ඉවත් වුණහොත් ඉදිරියට යන්නේ කෙසේද. මෙම වැඩසටහන හැර අපට අනාගතයත් තිබෙනවද. නැවත පෝළිම් යුගයකට යන්න පුළුවන්ද, එනිසා අපි මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. අපි ස්ථිර තීරණයකට එළැඹිය යුතුයි.

    අපි අනාගතයේ දී ඉන්ධනවලට මුදල් ගෙවන්නේ කොහොමද, නැවත ණය ගැනීමට අවශ්‍යද, අපි අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට නොගියහොත් තවත් වසර 15කින් මීට වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප රට අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපි මේ තීරණ ගන්නේ ඔබ සියලුදෙනා වෙනුවෙන්. අපේ තරුණ පරපුරට නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් උරුම කරනවද, නැත්නම් දියුණු රටක් ලෙස ඉදිරියට යනවාද කියා අප තීරණය කළ යුතුයි.

    අපි රට වෙනුවෙන් එකට වැඩ කරමු කියා මම සෑම දේශපාලන නායකයෙකුටම කියන්නේ ඒ නිසයි. මේ ඇමති මණ්ඩලය මොන පක්ෂයට ද අයත් වෙන්නේ කියලා අහනවා. මෙතන ඉන්නේ රට වෙනුවෙන් එකතු වුණු අය. පොහොට්ටුවේ සිටි බොහෝ දෙනෙකුට ඇමතිකම් නැති වුණා. නමුත් ඔවුනට දැනට එය ලබාදීමට මට හැකි වුණේ නැහැ. ඔවුන් එම සියල්ල දරාගෙන අද රට වෙනුවෙන් එක් වී සිටිනවා.

    මෙතන සෑම පක්ෂයක්ම නියෝජනය කරන පිරිස සිටිනවා. අපට එක පක්ෂයක් නැහැ. අද සියලුදෙනා රට වෙනුවෙන් එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි නව දේශපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. රට පෙරට පක්ෂය ඉන් පසුව. කුමන දේශපාලන පක්ෂක් නියෝජනය කළද රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් මෙහි සිටිනවා. අප මෙම දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි. මේ ගමන ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා පක්ෂ බේදයෙන් තොරව අප සියලුදෙනා ඉදිරියට යමු කියා මම ආරාධනා කරනවා.

    මම විපක්ෂයට ආරාධනා කරනවා අපත් සමඟ එක් වෙන්න කියලා. අපි මෙම අලුත් මාර්ගයේ යමු. කොහොමද රට ගොඩනගන්නේ කියා එවිට මගෙන් ඔබට ඉගෙන ගත හැකියි. අපි සියලුදෙනා එක්වී මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගැනිමට කැපවෙමු.

    අපට අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොවෙයි. අපට තිබෙන්නේ රට පෙරට තබා ඉදිරියට යාමයි. මේ රටේ ජනතාව විඳි දුක ගැන මම කණගාටුවෙනවා. අපි ගත් පියවර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යමු කියා මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා

  • ජනපතිගෙන් මොනරාගලට ‘සුපිරි පොරොන්දු‘ කන්දක්

    ජනපතිගෙන් මොනරාගලට ‘සුපිරි පොරොන්දු‘ කන්දක්

    “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව පැවසු ජනාධිපතිවරයා ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බවද පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර රාජධානියට සහල් සැපයු වෙල්ලස්ස 1818 සටනින් පසු විනාශ වී ගිය බවයි. පසුව විවිධ ආණ්ඩු යටතේ මෙම පළාත සංවර්ධනය වුවද ජනතාවට ඉඩම් අයිතිය හිමි නොවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට බත සැපයූ ගොවි ජනතාවට කෘතවේදීත්වය පිරිනමින් එම වගකීම වත්මන් රජය යටතේ ඉටු කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ද සඳහන් කළේය.

    එසේම උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් වූ ජනාධිපතිවරයා අනතුරුව එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහකද නිරත විය.

    උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    මට පෙර කථා කළ කතිකයන් පැවසු අන්දමට මහනුවර රාජධානියට අවශ්‍ය සහල් ලබා දුන්නේ මෙම වෙල්ලස්ස ප්‍රදේශයෙන්. නමුත් 1818 සටනින් පසුව වෙල්ලස්ස සම්පුර්ණයෙන් විනාශ වුණා. මෙහි ජිවත්වු ජනතාව අනෙකුත් ප්‍රදේශවලට ගියා.

    ඉන් පසුව මෙම මොණරාගල දිස්ත්‍රික්කය නිර්මාණය වුණේ 1960 වසරේදීයි. 1977 මැතිවරණයෙන් පසුව මම මෙම ප්‍රදේශයට එන විට මෙම පළාත ඉතා නොදියුණු පළාතක්ව තිබුණා. 1977න් පසුව විවිධ ආණ්ඩු යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ දියුණුව ආරම්භ වුණා. පිට පළාත්වලින් පැමිණි ජනතාව මෙහි පදිංචි වුණා. නිවාස ඉදි කෙරුණා. ඒ සමඟ මෙම ප්‍රදේශය නාගරිකරණය වුණා. මේ ප්‍රදේශයේ ජනතාවගේ උත්සාහයෙන් මොණරාගල කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස දියුණු වුණා. මෙය ඔබේ මුතුත් මිත්තන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනැඟුණු ප්‍රදේශයක්. නමුත් මේ ප්‍රදේශයේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය හිමිව තිබුණේ නැහැ. මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මේ රට වෙනුවෙන් කළ සේවයට නිසි සැලකිල්ලක් හිමි වුණේ නැහැ. නමුත් අප මොණරාගල ගොවි ජනතාව වෙනුවෙන් කෘතවේදිත්වය පිරිනමමින් මෙම සින්නකර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ අප ඉතාමත් සතුටු වෙනවා.

    මොණාරාගල දිස්ත්‍රික්කය දියුණු කිරීමට නම් සින්නකර ඉඩම් අයිතිය ලබා දිය යුතුයි. ඇතැම් අය කිව්වා මේ ඉඩම් අයිතිය ජනතාවට ලබා දෙන්න එපා කියලා. ඇතැමුන් අධිකරණය ඉදිරියටත් ගියා. නමුත් අපි ඒ සියලුදේට මුහුණ දී අද ජනතාවට තමන්ගේ ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

    මේ ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සියලුදෙනාම රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතුයි. මෙම ප්‍රදේශවල කෘෂිකර්මය දියුණු කරමින් අප කඩිනමින් අපනය ආර්ථිකයට ගමන් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. වරාය සහ ගුවන් තොටුපෙළ යන දෙකම මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

    ඒ නිසා උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම පමණක් නොව, ඔවුන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට ප්‍රවේශ පත්‍රයක් ලබාදීමද උරුමය වැඩසහන හරහා සිදු වෙනවා. ඉදිරි වසර 30, 40 වන විට ලෝකයට අවශ්‍ය ආහාර සපයා ගැනීම විශාල ගැටලුවක් වෙනවා. අප එම ආහාර සැපයීම සඳහා සුදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් සම්පූර්ණ කෘෂිකර්ම රටාවක් මෙම පළාත් තුළ ඇති කළ යුතුයි.

    ඒ වගේම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල‍ විශාල ආයෝජන කලාප ඇති කිරිමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ලේ සිට අම්පාර දක්වා විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉදිරි වසර 20 – 30 වන විට එම කටයුතු සිදු කළ යුතුයි. ඒ වන විට අප නොසිටියත් අපේ අනාගත පරපුර වෙනුවෙන් එම කටයුතු කළ යුතුයි. මෙම වැඩපිළිවෙළ සමඟ වැල්ලවාය විශාල දියුණුවක් ලබනවා. වැල්ලවායෙන් තමයි උඩරටට ප්‍රවේශ වන මාර්ගය තිබෙන්නේ. ඇල්ල, බිබිල මාර්ගයෙන් පස්සරට මෙම දියුණුව ගමන් කරනවා.

    උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ දී මතුව තිබෙන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. කෙසේ හෝ අප මෙම වැඩපිළිවෙළ කඩිනම් කළයුතුයි. මේ ඔප්පු ලැබීමට සුදුසුකම් ලැබූ අයගේ නාම ලේඛනය සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම තිබෙනවා. ඔවුන්ව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවා ගැටළු තිබෙනවා නම් ඒවා විසඳමින් මෙම ඔප්පු ලබාදීම කඩිනමින් අවසන් කරන ලෙස මම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඉල්ලා සිටිනවා.

    මෙම කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාටත් එක් විය හැකියි. මෙම මාසය තුළ මෙම කටයුතු අවසන් කළයුතුයි. වැඩිම ඉඩම් ඔප්පු ප්‍රමාණයක් ලබා දෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25 ක් ලබාදීමට මම කටයුතු කරනවා. මෙම වැඩසටහන් දෙකෙන්ම ජයග්‍රහණය කරන්නේ මේ රටේ සින්නකර ඉඩම් ඔප්පු ලබන ජනතාව බව කිවයුතුයි. මේ ලබන ඉඩම් අයිතිය සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කරන ලෙස ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.

  • ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ගත් තීරණාත්මක තීන්දුව

    ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ගත් තීරණාත්මක තීන්දුව

    රටේ සියලුම දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන සංවිධානය වන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (Judicial Service Association of Sri Lanka – JSASL) අනවශ්‍ය විවේචන සාකච්ඡා කිරීම සඳහා හෙට (30) විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

    එහි සාමාජිකයින්ගේ ඉල්ලීම් අනුව අධිකරණ තීන්දු, විනිසුරුවරුන් සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් ද්වේශසහගත ප්‍රකාශවල අයහපත් බලපෑම් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම හෙට කොළඹදී පැවැත්වෙන බව දැනගන්නට ඇත.

    අධිකරණ අමාත්‍යවරයා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු 2024 ජුනි 9 වන දින පාර්ලිමේන්තු විවාදයකදී කළ කථා සැලකිල්ලට ගනිමින් JSASL විසින් මෙම රැස්වීම කැඳවා ඇත.

    තවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් JSA හි ප්‍රධාන නිලධාරීන් පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කාරක සභාවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබුණි. අමාත්‍යවරයා විසින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කර ඇති බවට චෝදනා කරන JSA විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් මෙම ඉල්ලීම කරන ලදී.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරමින් ප්‍රකාශ නිකුත් කරමින් අධිකරණයේ හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ (JSC) කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතීඥයන්ගේ සාමූහිකය ද කියා සිටියේ අධිකරණයට එරෙහි ඕනෑම චෝදනාවක් විධිමත් පැමිණිල්ලක් ආකාරයෙන් සුදුසු වේදිකාවට ඉදිරිපත් කළ යුතු අතර එය පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණය යටතේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් මගින් නොවන බවයි.

    මූලාශ්‍රය – ඩේලි මිරර්

  • එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක්

    එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ෂාරුජාන් ෂන්මුගනාතන්, මහිත් පෙරේරා හා දිනුර අබේවික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කිරීමෙන් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් තැබීමට සමත් විය.

    එංගලන්තයේ චෙල්ම්ස්ෆෝර්ඩ් කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (28) පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත යොවුන් පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ හෙයින් ඕවර් 50කදී කඩුලු 6කට ලකුණු 294ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ සියලු දෙනා ඕවර් 43.3කදී ලකුණු 229කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමතක් වූහ. එංගලන්ත යොවුන් පිලට ප්‍රබල තර්ජනයක් ගෙන දුන් දකුණත් පිට දඟ පන්දු යැවූ විහස් තෙව්මික කඩුලු 3ක් බිදහෙලූ අතර, හිවින් කෙනුල, තිසර ඒකනායක හා ප්‍රවීන් මනීෂ කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

    ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරුවන් වූ පුලින්දු පෙරේරා හා තිසර ඒකනායක ඕවර් 6.2කදී පළමු කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් ගොඩනැගූ අතර, සිවුවැනි කඩුල්ලට ෂාරුජාන් ෂන්මුගනාතන් හා දිනුර කළුපහන ලකුණු 73ක සබඳතාවක් ගොඩනැගූහ. පන්දු 59කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමග අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 49කට දිනුර කළුපහන දැවී යෑම කණගාටුවට කරුණකි.

    අනතුරුව ෂාරුජාන් හා එක්වූ මහිත් පෙරේරා සිවුවැනි කඩුල්ලට ලකුණු 67ක් එක්කළ අතර, ෂාරුජාන් ෂන්මුගනාතන් ලකුණු 57කට දැවී ගියේය. ඔහු පන්දු 75කට මුහුණදී හතරේ පහර 7ක් එල්ල කළේය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව ගොඩනැගූ මහිත් පෙරේරා හා දිනුර අබේවික්‍රමසිංහ 6 වැනි කඩුල්ලට ලකුණු 89ක් එක් කළහ. මහිත් පෙරේරා පන්දු 60කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 58ක් එක්කළ අතර, දිනුර අබේවික්‍රමසිංහ පන්දු 37කදී හයේ හා හතරේ පහර 2 බැගින් එල්ල කොට වේගවත් ලකුණු 52ක් වාර්තා කළේය.

    එංගලන්ත යොවුන් පිලේ ඉනිම ශ්‍රී ලංකා සම්භවයක් ඇති කේෂන ෆොන්සේකා හා ෆ්‍රෙඩී මැක්කාන් ආරම්භ කළ අතර, ලකුණු 39දී මැක්කාන්ගේ කඩුල්ල කෙලින්ම බිඳහෙලීමට විහස් තෙව්මික සමත්වීමෙන් කඩුලු දඩයම ආරම්භ විය. දෙවැනි කඩුල්ල ද ලකුණු 39දී දවා ගැනීමට සමත්වීමෙන් කේෂන ෆොන්සේකා ලකුණු 25කට ක්‍රීඩාගාරයට හරවා යැවීය.

    එංගලන්ත යොවුන් ඉනිමේ අර්ධ ශතක දෙකක් වාර්තාවූ අතර, නොහා තාහින් ලකුණු 58ක් හා දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක ඩේල් බෙන්කෙන්ස්ටීන්ගේ පුත් ලූක් බෙන්කෙන්ස්ටීන් ලකුණු 51ක් ලබා ගත්තේය. මේ තරගයට එක්ව සිටි එංගලන්ත වේග පන්දු යැවූ ඇන්ඩෘ ෆිල්ටොෆ්ගේ පුත් රොකී ෆිල්ටොෆ් ලකුණු 22කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

    මෙම තරගයේ තවත් විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් එක්දින වරම් දිනා ගැනීමට ක්‍රීඩකයින් 6ක් සමත්වීමය. එලෙස ශ්‍රී ලංකා යොවුන් එක්දින වරම් දිනා ගත්තේ දුමින්ද සෙව්මිණ, ගයාන් වීරසිංහ, හිවින් කෙනුල, මහිත් පෙරේරා, දිනුර අබේවික්‍රමසිංහ, ප්‍රවීන් මනීෂ හා තිසර ඒකනායක වේ.

    ශ්‍රී ලංකා යොවුන් පිල හා එංගලන්ත යොවුන් පිල අතර දෙවැනි එක්දින තරගය ලබන 1දා හෝව්හිදී ආරම්භ වේ.

    ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 6කට ලකුණු 294 (ඕවර් 50)
    පුලින්දු පෙරේරා 19, තිසර ඒකනායක 13, ගයාන් වීරසිංහ 13, ෂාරුජාන් ෂන්මුගනාතන් 57, මහිත් පෙරේරා නොදැවී 58, දිනුර කළුපහන 49, දිනුර අබේවික්‍රමසිංහ 52, අතිරේක 26 (නෝහා කොන්වෙල් 54/3)

    එංගලන්ත යොවුන් පිල සියලු දෙනා දැවී ලකුණු 229 (ඕවර් 43.3)
    කේෂන ෆොන්සේකා 25, නොහා තාහින් 58, ලූක් බෙන්කෙන්ස්ටීන් 51, රොකී ෆිල්ටොෆ් 22, හැරී මෝ 26 ( හිවින් කෙනුල 28/2, තිසර ඒකනායක 48/2, විහස් තෙව්මික 37/3, ප්‍රවීන් මනීෂ 50/2, දිනුර කළුපහන 24/1)

  • LPL ටිකට් ගන්න විශේෂ කවුලුවක්

    LPL ටිකට් ගන්න විශේෂ කවුලුවක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (30) පෙරවරු 10 සිට සවස 5 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ කවුන්ටරයෙන් මිළදී ගත හැකි බව තරග සංවිධායකයෝ දැනුම් දෙති.

    2024 ලංකා ප්‍රීමීයර් ලීග් තරගාවලිය තවත් දිනකින්, එනම් එළැඹෙන ජූලි මස 1දා සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර, පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    තරග නොපැවැත්වෙන දිනවලදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථාන ගේට්ටු අංක 5 කවුන්ටරයෙන් ප්‍රවේශ පත්‍ර මිළදී ලබා ගැනීමේ පහසුකම් සලසා තිබේ. තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේ පිහිටුවා තිබෙන විශේෂ ප්‍රවේෂපත්‍ර කවුලුවෙන් මිලදීගත හැක.

    ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර රුපියල් 200 සිට රු. 3000 දක්වා කාණ්ඩ දහයක් යටතේ ලබා ගැනිමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාවට ලබාදී තිබේ.

  • පියුමිගේ ගිනුම් පරීක්ෂාවෙන් පසු ගන්නා පියවර

    පියුමිගේ ගිනුම් පරීක්ෂාවෙන් පසු ගන්නා පියවර

    නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

    පියුමි හංසමාලි බැංකු නවයක පවත්වාගෙන යන ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ වන විට  ඇයගේ සමාගමේ නිෂ්පාදිත ද්‍රව්‍ය බෙදා හරින ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිව් දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවත් ඉදිරියේදී තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.

  • රාජිත, චම්පික සහ ෆොන්සේකා ජූලි 02 දා ගන්න තීන්දුව

    රාජිත, චම්පික සහ ෆොන්සේකා ජූලි 02 දා ගන්න තීන්දුව

    ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.‌

    මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව ද  අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

    මේ අතර රාජිත සේනාරත්න, චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ද ආණ්ඩුව සමඟ සන්ධානගත වීමට සූදානමින් සිටින බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් අනාවරණය කළේය.

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

    ජූනි 30 වැනිදාට වසර දහයකට පසු කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර වසරක් දක්වා නොමිලේ දීර්ඝ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නව ඉලෙක්ට්‍රොනික චිප් ඇතුළත් කර ඇති විද්‍යුත් ගමන් බලපත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වන විට මහජනතාවට නිකුත් කෙරෙන අතර, නව විදේශ ගමන් බලපත්‍රය විද්‍යුත් ගමන් බලපත්‍රයක් බවට පත් කර ගැනීමට මහජනතාව උනන්දු කරනු ලැබේ.

    ලබන වසරේ ජනවාරි මාසයේ සිට විද්‍යුත් ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය නිකුත් කිරීම ආරම්භ වන තෙක් ජූනි මස අග සිට කල් ඉකුත් වන සියලුම ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පසු වාර්ෂිකව විද්‍යුත් ගමන් බලපත්‍ර ලක්ෂ 7ක් පමණ නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

  • රිචඩ් පීරිස් සභාපති සේන යක්දෙහිගේට ලිංගික අතවර චෝදනා

    රිචඩ් පීරිස් සභාපති සේන යක්දෙහිගේට ලිංගික අතවර චෝදනා

    රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ කාන්තා ව්‍යාපාරික විශ්ලේෂකවරියකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    පොලිස් ආරංචි මාර්ග පැවසුවේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වින්දිත කාන්තාව විසින් පසුගිය මැයි මස 7 වනදා කොල්ලුපිටියේ තරු පන්තියේ හෝටලයකදී සභාපතිවරයා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

    පැමිණිලිකාරිය කියා සිටියේ සභාපතිවරයා විදේශගතව සිටියදී අවම වශයෙන් මාසයක කාලයක් ව්‍යාපාර විශ්ලේෂකවරියක් ලෙස තමා අන්තර්ජාලය හරහා සේවය කළ බවයි. මැයි 6 වැනිදා සමාගම තමාව සම්බන්ධ කර ගත් අතර, සභාපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, මැයි 7 වැනිදා තමා හමුවීමට අවශ්‍ය බව සභාපතිවරා දැනුම් දුන් බව ඇය පැවසුවාය.

    නියමිත ස්ථානයේදී ඔහුව හමුවීමේදී සභාපතිවරයා තමාට ලිංගික අතවර කළ බවට කාන්තාව චෝදනා කළාය. පසුව ඇය සිද්ධිය කොල්ලුපිටිය පොලිසියට වාර්තා කළ අතර පසුව ඇය කොටුව මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත.

    සිද්ධිය වූ දිනයේම සභාපතිවරයා රටින් පිටව ගිය බවද ආරංචි මාර්ග සඳහන් කළේය.