Category: සුපිරි Cases

  • සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක් – සුපිරි හෙළිදරව්ව

    සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක් – සුපිරි හෙළිදරව්ව

    පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී.

    මේ වනවිට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන දකුණ ග‍්‍රාම නිලධාරී වසමේ පන්නිල වනාන්තරයේ රොස්මේරිය කොටසේ ස්ථාන හතරක අක්කර 85 ක් පමණ වන වනාන්තර එළිපෙහෙළි කර ගිනි තැබීම සිදු කරමින් තිබේ. ගොඩකවෙල, ලලිත් රාජපක්ෂ, ගොඩකවෙල, කුරුප්පු ජයරත්න හා කහවත්ත, කොටකෙතන පන්සලේ නායක ස්වාමීන්වහන්සේ විසින් මෙම වනාන්තර විනාශය සිදු කරමින් පවතී.

    මීට අමතර ව කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී. මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත.

    මෙලෙස එළිපෙහෙළි කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප‍්‍රධාන අතු ගංගා වල ජලපෝෂක වනාන්තර පද්ධතියයි. කලවාන ප‍්‍රදේශයේ පදිංචි දෙල්ගොඩ අප්පු ලෙස හඳුන්වන පුද්ගලයකු සහ පානදුර, මතුගම, නුවර හා කොළඹ යන ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසේ ව්‍යාජ ඔප්පු මගින් වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන එළි කිරීම සිදු කරයි.

    දැනට මාස දෙකක පමණ කාලයක සිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සිරිපාල අමරසිංහ මහතාගේ අනුග‍්‍රහය යටතේ සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නග් සයිඩ් ප‍්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප‍්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප‍්‍රධාන අලි මංකඩ වන මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එළි කර හෝටල් දෙකක් ඉදි කිරීම සිදු කරමින් පවතී.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග‍්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් එළි කර කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑනනුවන් විසින් එක් හෝටලයක් ඉදි කරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප‍්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට බැකෝ යන්ත‍්‍ර භාවිත කර වනාන්තර එළි කිරීම, භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරමින් පවතී.

    අනෙක් හෝටලය ඉදි කරන්නේ බෝටියතැන්න අලි මංකඬේ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප‍්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළි කරමින් ගොඩකවෙල, ලලිත් රාජපක්ෂ නම් ව්‍යාපාරිකයකු විසිනි.

    සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප‍්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඩේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේ‍පොළ හානි කිරීම් වලට මුහුණ දීමට සිදු වනු ඇත.   

    සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් ඒ වටා පිහිටි වනාන්තර එළි කිරීම, තේ වගාව ව්‍යාප්ත කිරීම හා හෝටල් ඉදි කිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිත කරමින් සිදු කරමින් පවතී.

    මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

    සුවිශේෂී වනාන්තර සිංහරාජයට අහිමි කිරීම

    “ගම සමඟ පිළිසදරක්” වැඩසටහන මගින් අතිගරු ජනාධිපතිතුමන් විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීම හා රක්ෂිත වල මායිම් සංශෝධනය කර නීති විරෝධී හා අනවසර වගා බිම් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසට නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් සිංහරාජය වටා වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත.

    එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලු ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (tA) වගන්ති ප‍්‍රකාරව පසුව වන්දි ගෙවීමේ පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දෙශ ලබා දෙන ලෙස ය.

    ඒ සඳහා නිර්දේශ ලැබුණ මුත් ඊට අදාළ ලිපි ගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබෙන නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වීම නිසා මෙම වනාන්තර දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී.

    වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

    සිංහරාජ රක්ෂිතයට අලූතින් වනාන්තර එක් කිරීම

    සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටන රක්ෂිත නොවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 2508.4 ක නැතහොත් අක්කර 6200 ක නොයිඳුල් වනාන්තර විශාල ප‍්‍රමාණයක් 2004 වසරේ කැබිනට් අනුමැතියට අනුව සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ.

    එම වනාන්තර රත්නපුර දිස්ති‍්‍රක්කයට අයත් මුරකැළේ වත්ත (50.4 ha) ෆැබ් වත්ත (181.3 ha), ඉළුබකන්ද වත්ත (567 ha), මෝර්නිග්සයිඞ් වත්ත (55.4 ha), කැන්ටර් වත්ත (130 ha), ගේස් වත්ත (137.5 ha) ගොන්හෙළ වත්ත (137.9 ha), ඇබරොස් වත්ත (35.4 ha), බැක්වෙයා වත්ත (109.9 ha), කෝදුරුගල වත්ත (99ha) හා දඹහේන වත්ත (8.6 ha), මාතර දිස්ත‍්‍රික්කයට අයත් එන්සල් වත්ත (436 ha), කුරුගල වත්ත (188 ha), බෙවර්ලි වත්ත (28 ha) හා හේමගිරි වත්ත (40 ha), ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හෝමදොළ වත්ත (304 ha) යන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් වතු සමාගම් වලට ලබා දුන් ඉඩම් වල පිහිටා තිබේ. අද වන විට මෙම ඉඩම් පවරා ගැනීමට නිර්දේශ ලබා දී වසර 16 ක් ගත වී ඇතත් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එය පමා වන සෑම මොහොතක ම විශාල වැසි වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කරමින් තේ හා එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීම සහ හෝටල් ඇතුළු ඉදි කිරීම සිදු කරනු ලැබේ. 

    Sinharaja Forest - Sri Lanka - YouTube

    සිංහරාජයේ ජෛව විවිධත්වය

    ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් සියයට 0.17 ක් පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් සියයට 38 ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් සියයට 37 ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් සියයට 53 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි. එම සියලූ ම විශේෂ වාර්තා වන්නේ දැනට සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය ලෙස හා සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති සීමාවේ පමණක් නොවේ. බොහෝ ස්ථානීය ආවේණික විශේෂ සිංහරාජ රක්ෂිත භූමි වලින් පිටත පිහිටි රක්ෂිත නොවන වනාන්තර ප‍්‍රදේශ වලින් වාර්තා වේ. මේ නිසා සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

    මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 40 ක් මේ වන විට පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 25 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 11 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුලූවන් හා ක්ෂීරපායීන් විශේෂ එක බැගින් වේ.

    ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාපතනයක් හිමි වන නිරිතදිග මෝසම් සුළං මගින් ගෙන එන වළාකුළුවල ජලය වර්ෂාව ලෙස ලබා ගැනීම හා එම වර්ෂා ජලය භූගත කිරීමේ යාන්ත‍්‍රනය ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන සිංහරාජ අඩවිය ඒ අවට ජනතාවගේ ජල අවශ්‍යතාවන් හා පහතරට සුළු පරිමාණ තේ වගාවට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් ව ලබා ගැනීමට මනා දායකත්වයක් සපයයි.

    ලංකාවේ ප‍්‍රධාන ගංගාවක් වන කළු ගෙඟ් හා ගිං ගෙඟ් ප‍්‍රධාන ජල පෝෂක අතු ගංගා ජලයෙන් පෝෂණය කරන සිංහරාජ අඩවිය මේ ගංගා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට අවශ්‍ය පානීය හා දෛනික ජල අවශ්‍යතාවන් ප‍්‍රමාණාත්මක ව හා ගුණාත්මක ව ලබා දේ.

    සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශයේ හොර ශාක ප‍්‍රජාව, නා-දුන් ප‍්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප‍්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප‍්‍රජා ත‍්‍රිත්වයක් පවතී. මීට අමතර ව සිංහරාජ අඩවියට අයත් නමුත්, රක්ෂිත ප‍්‍රදේශයට ඇතුළත් ව නොමැති සිංහරාජවත්ත හා එන්සල්වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප‍්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් (Shorea gardneri) හා යකහලූ දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප‍්‍රජාවක් දැක ගත හැකි ය. මේ අනාරක්ෂිත ශාක ප‍්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනා ව විද්‍යමාන කරන කැටපතක් බඳු ය. මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කැරේ. එකී වනාන්තර පවරා ගැනීමට සැලැසුම් සකස් වන විට මේ සියල්ල වැනැසී ගොස් අවසාන වීමට ඉඩ ඇත.

    ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරෙන් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් පමණ ලංකාවට ආවේණික වේ.

    දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10 ක් පමණ ලංකාවට ආවේණික වෙයි. පාත‍්‍රා කොකු (Cyathea crinita), ගිනි හොට (Cyathea spp), වල් මැඩ (Angiopteris evecta), බරු කොකු (Blechnum orientale), කුරුලූ කූඩු මීවන (Asplenium nidus), මහ හැඩයා (Huperzia phlegmaria) වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩා ම මීවන ශාකය වන අපිශාකීය Microgonium motleyi ශාකය ද සිංහරාජයේ දැකගත හැකි වේ.

    ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරෙන් 80 කට වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ (Anoectochilus setaceus), ඉරුරාජ (Zeuxine regia),  මහාපද්ම (Podochilus malabaricus), කුඩාපද්ම (Podochilus saxatilis), ජටාමකුට (Flickingeria macraei), වෙසක් මල් (Dendrobium maccarthiae) ඇතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැකගත හැකි ය.

    ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ දහය අතුරෙන් නවයක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් (Calamus pachystemonus) ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල් (Calamus zeylanicus),  තුඩරෑන (Calamus ovoideus), නරවැල් (Calamus delicatulus), මා වේවැල් (Calamus thwaitesii) වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ.

    සිංහරාජයේ දියපහරවල ලංකාවට ආවේණික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ පහක්, කෙටල විශේෂ තුනක් වෙයි. ලංකාවට ආවේණික දුර්ලභ කෙකටිය ශාක විශේෂයක් වන Aponogeton rigidifolius, ලංකාවට ආවේණික දුර්ලභ කෙටල ශාක විශේෂ වන Lagenandra praetermissa, Lagenandra lancifolia, Lagenandra koenigii, Lagenandra thwaitesii, Lagenandra bogneri ශාක ද මෙහි වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ අති උඩයන් විශේෂ වන Cryptocoryne beckettii, Cryptocoryne thwaitesii, Cryptocoryne bogneri    දියපහරවල දැකගත හැකි වේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයෙන් ස්වල්පයක් පමණි.

    සිංහරාජයේ සත්ත්ව විවිධත්වය ද මීට නොදෙවැනි තත්ත්වයක පවතී. මත්ස්‍යයන්, උභයජිවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 455 ක් සිංහරාජයේ වාර්තා වන අතර, ඉන් විශේෂ 144 ක් නැතහොත් 32% ක් ලංකාවට ආවේණික වෙයි.

    ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 එක ම කලාපයක දී වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ හා ශ‍්‍රී පාද අඩවියේ පමණි. මෙපමණක් නො ව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරෙන් නවයක් සිංහරාජ අඩවියට ආවේණික වෙයි. උරගයන් අතුරෙන් විශේෂ 11 ක් මුළු ලොවින් ම දැක ගත හැක්කේ සිංහරාජ අඩවියෙන් පමණි. ක්ෂීරපායී සතුන් අතුරෙන් එක් විශේෂයක් (කුණු හික් මීයා – Crocidura hikmiya) හා ලංකාවේ මිරිදිය කකුළුවන් අතුරෙන් විශේෂ තුනක් (Ceylonthelphusa savitriae, Perbrinckia quaratus හා Perbrinckia rosae) සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව Onomustus nigricauds නම් මකුළු විශේෂය සිංහරාජ අඩවියට ආවේණික වේ. මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක් කර ඇති සත්ත්ව කාණ්ඩ අතුරෙන් විශේෂ 25 ක් මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවියේ අද්විතීය වූ ද අමිල වූ ද ජෛවීය වටිනාකම විද්‍යමාන කිරීමට ඇති ප‍්‍රධාන සාක්ෂි අතුරෙන් එකකි.

    සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba)” කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපී ගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කරුණාරත්නගේ මුව පටු මැඩියා (Microhyla karunaratnei) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය.

    සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ 11 ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන දැරණියගල ගේ වල්ගා ඇඹයා (Rhinophis tricoloratus), එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), රුක්වාසී සර්ප විශේෂයක් වන සිංහරාජ පදුරු හාල්දණ්ඩා (Dendrelaphis sinharajensis),  සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඞ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඞ් මහකැළෑ හූනා (Cyrtodactylus subsolanus), සිහින් මහකැළෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිගිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිගිති හිකනලා (Lanakascincus sameerai)  යන විශේෂ වේ. නවතම පර්යේෂණ වාර්තාවකට අනුව මෙතෙක් කලක් සබරගමු කඳුවැටියට ආවේණික විශේෂයක් ලෙස හඳුනාගෙන සිටි රළු අඟ කටුස්සා (Ceratophora aspera) සිංහරාජයට පමණක් ආවේණික විශේෂයක් ලෙසත් සබරගමුව කඳු වැටියේ අනෙක් ප‍්‍රදේශ වලින් වාර්තා වන විශේෂය නව විශේෂයක් ලෙසත් හඳුනාගෙන ඇත. මීට අමතර ව සිංහරාජ අඩවියට ආවේණික Rhinophis ගණයට අයත් පාංශුවාසී තුඩුල්ලන් විශේෂ දෙකක් අලූතින් සොයා ගෙන ඇති අතර මෑතක දීම එම විශේෂ නාමකරණයට ලක් කළ පර්යේෂණ වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

    මෙරටට ආවේණික මේ සියලූ දුර්ලභ ජීවීන්ගේ හා ජලපෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව මෙන්ම සුළු පරිමාණ තේ වගාබිම් වල සුරක්ෂිතතාව උදෙසා මේ සියලූ වනාන්තර සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු ය. සිංහරාජ වන රක්ෂිතය වටා ඉඩම් වලට විශාල වාණිජ වටිනාකමක් ලැබෙමින් පවතින නිසා එම වනාන්තර ඉඩම් රක්ෂිත බවට පත් කර ගැනීමට දැවැන්ත අරගලයක් කිරීමට අපට සිදු වනු ඇත. ඒ සඳහා සියලූ ජනතාවගේ සහයෝගය මේ වන විට අවශ්‍යය.

    සජීව චාමිකර

  • ‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද  සීඝ්‍ර ලෙස පැතිරෙයි

    ‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද සීඝ්‍ර ලෙස පැතිරෙයි

    උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් ඇති වන සමේ රෝගයක් ස්ත්‍රී පුරුෂ, හෝ වයස් භේදයක් නොමැතිව සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසයි.

    Atypical extensive tinea corporis caused by Trichophyton tonsurans -  International Journal of Infectious Diseases

    Tinea corporis යනු අත් සහ පාද, හිස්කබල, මුහුණ හැර ශරීරයේ ඕනෑම කොටසකට බලපාන සමේ මතුපිට දිලීර ආසාදනයකි

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හේමා වීරකෝන් මහත්මිය මෙසේද පැවසීය.

    “දිලීර රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී නියමිත ඖෂධය, නියමිත මාත්‍රාව, නියමිත කාලය තුළ ලබාගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. යම් හෙයකින් නියමිත මාත්‍රාවට, නියමිත කාලය තුළ ඖෂධ ලබා නොගතහොත් දිලීර රෝගය සුව නොවීමට පුළුවන්. නිසි කළට නිසි ලෙස ප්‍රතිකාර නොකළ හොත් විශාල මුදලක් වියදම් කර මිල අධික ඖෂධ ලබා ගැනීමට සිදුවනවා.

    මෙම දිලීරය ස්පර්ශය මගින් හෝ ආසාදිත රෝගියකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැකියි. මෙම ආසාදන සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරුවලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව ඇතිවේ. එයට අමතරව ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකිය. දිලීර නාශක ඖෂධ පමණක් නියමිත කාලය තුළ භාවිත කිරීමෙන් මෙම රෝගය සමාජය තුළ පැතිරවීම අවම කිරීමට දායක විය හැකියි.

    මේ වනවිට ටිනියා ආසාදනය රජරට පුරා පැතිර යමින් පවතී. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රජාව විසින් වෛද්‍ය අවවාදවලින් තොරව ඖෂධ භාවිතා කිරීමයි.
    බොහෝ විට රෝගීන් තම හිතූ මතේට විවිධ ඖෂධ, බොන බෙහෙත් හෝ ආලේපන ඖෂධ හල්වලින් මුදලට ලබා ගෙන භාවිතා කිරීමට පෙළඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එමගින් දිලීර ආසාදන සුව නොවී විශාල ලෙස පැතිර යමින් පවතී. දිලීර රෝග සදහා නියමිත දිලීර නාශක ඖෂධය සති 06කට ආසන්න කාලයක් භාවිතා කළ යුතුයි.

    අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ මාසයකට ආසන්න කාලයක දී මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 100 දෙනෙකු පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ, ඉන් 62%කට පමණ සුදුසු නොවන දිලීර නාශක ප්‍රතිකාර වශයෙන් ලබාගෙන සිටි අය බවයි. තවද එම රෝගීන්ගෙන් 89% පමණ නැවත ප්‍රතිකාර සදහා යොමුවී තිබේ. එකම පවුලේ කිහිපදෙනෙකුටම දිලීරය ආසාදනය වි තිබූ අවස්ථාද බහුලයි.” යනුවෙනි.

    මෙම පුවත ගැන වඩාත් පුළුල් අවධානයක් අවශ්‍ය හෙයින් lankatruth.com ඇසුරින් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • ෆේස්බුකියේ දැන්වීම් දමා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක්

    ෆේස්බුකියේ දැන්වීම් දමා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක්

    බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් BBC ය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

    එම වනයේ සංරක්‍ෂිත කලාපයන්ට ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරණ ලද භූමියත් ඇතුළත් වෙයි.

    ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගන දහසක් තරම් විශාල ඒවා වෙති.

    මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් එම වෙළෙඳාම නතර කිරීම සඳහා තමන්ගේම ස්වාධීන වූ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ෆේස්බුක් ආයතනය පවසයි.

    ”අලෙවිකරන්නන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයම නීතිය සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව ක්‍රියා කළයුතුය” යන්න සිය වෙළෙඳ ප්‍රතිපත්තිය බව කැලිෆෝනියා මූලස්ථානය කරගත් ෆේස්බුක් තාක්ෂණික ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    brasil
    මහපොළොවේ පෙනහැල්ල ලෙස හඳුන්වනු ලබන ඇමසන් වනගැබ විනාශ කෙරෙමින් පවතී

    ඉහත කී ඉඩම් ජාවාරම බලපා ඇති එක් ආසිවාසී ජන කණ්ඩායමක නායකයා අදහස් දක්වමින්, එම ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලා සිටියේය.

    මේ අතර එම ජාවාරමට එරෙහි ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ බ්‍රසීල ආණ්ඩුවට එකී ඉඩම් ජාවාරම නතර කිරීමේ උවමනාවක් නැති බවය.

    ”ඉඩම් කොල්ලකරුවන් නීතියට පටහැනි ඉඩම් ගනුදෙනු සඳහා ෆේස්බුක් ජාලයට නිර්ලජ්ජිතව පිවිසීමට තරම් අධික බලයක් ආරෝපණය කරගනු ලැබ ඇතැයි” ‘Kanindé’ නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශ කළාය..

    සහතිකපත් නැහැ

    ඕනෑම පුද්ගලයකුට ”වනාන්තරය”හෝ ”ස්වදේශීය වනාන්තරය” එසේත් නැත්නම් ”දැව” යන තේරුම දෙන පෘතුගීසි වචන යතුරු ලියනය මගින් සටහන් කරමින් ෆේස්බුක් ජාලයේ වෙළෙඳපොල පිවිසුම් මෙවලමට පිවිසීමේ දී එක් ඇමසන් ප්‍රාන්තයක පිහිටා ඇති, ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව අලෙවිකරනු ලබන ඉඩම් කැබැල්ලක් සොයාගත හැකිය.

    ඇතැම් ලැයිස්තුගත කිරීම්වල චන්ද්‍රිකා දර්ශන සහ ඒවා පිහිටි ස්ථාන සටහන් GPS තොරතුරුත් ඇතුළත් වෙයි.

    ඇමසන්
    ගවයන්ට තණ කෑමට මෙවැනි බිම්කඩවල් යොදාගනී. එහි තේරුම ඒවා රැකගත යුතු බවය

    මෙම ඇමසන් ඉඩම් විකුණන්නන් තමන්ට එම ඉඩම්වල අයිතියක් නැති බව විවෘත ලෙසම පිළිගනිති. බ්‍රසීලයේ නීතිය අනුව ඉඩම් අයිතිය ඔප්පු කිරීම සඳහා වලංගු එකම ලේඛනය ඉඩම් අයිතිය තහවුරු කෙරෙන ඔප්පුවයි. ඉහත කී නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ ගව ගොවිපොළ කර්මාන්තය කෙරෙන් ද විරෝධය එල්ලවෙමින් පවතී.

    ”අනතුරක් නැහැ”

    මෙය වසර දහයක කාලයක් ඇතුළත බ්‍රසීලියානු ඇමසන් වනාන්තර විනාශයේ දරුණුම අවධියයි. එසේම ෆේස්බුක් ජාලයේ ‘වෙළෙඳපොළ’ දැන්වීම් අඩවිය ෆැබ්රීසියෝ ගුයිමරීස් (Fabricio Guimarães) වැනි වෙළෙන්දන්ට පිවිසිය හැකි ස්ථානයක් වී ඇත. වෙළෙන්දෙකු වන ෆැබ්රීසියෝ ඇතුළත් දර්ශන රහසිගත කැමරාවක් මගින් වීඩියෝගත කරනු ලැබ ඇත.

    ”ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ” තමා විසින් සහමුලින්ම පුළුස්සා අළුකර දමන ලද වැහි වනාන්තර බිම්කඩක ඇවිද යමින් සිටින අතරවාරයේ ෆැබ්රීසියෝ පැවසීය.

    BRASIL
    ”ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ”ෆැබ්රීසියෝ පැවසීය.

    නීතියට පටහැනිව වනය වනසා වගාවට සුදුසු පරිදි සකස්කර ඇති බිම් කැබැල්ලක් සඳහා ඔහු දැන් ආරම්භක මිලට වඩා තුන් ගුණයක මුදලක් ඉල්ලා සිටියි. එය ඇමෙරිකානු ඩොලර් 35,000කි.

    ෆැබ්රීසියෝ ගොවියකු නොවේ. ඔහු එක්තරා නගරයක මැද ශ්‍රේණියේ රැකියාවක නිරතවෙයි. ඔහු ගේ දර්ශනය වැහි වනාන්තරය හොඳ ආයෝජන අවස්ථාවක් වන බවය..

    BBC ය අදාළ ගවේෂණයේ දී ෆැබ්රීසියෝ ගේ ප්‍රතිචාරය ලබාගනු සඳහා ඔහු විමසන ලද නමුත් අදහසක් දැක්වීම බැහැරකරනු ලැබුණි.

    රහසිගත විපරම් කිරීමක්

    ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩි හරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන ‘රොන්ඩෝ’නියා’ (Rondônia) ප්‍රාන්තයෙනි.

    BBC ගවේෂණයේ දී එම ප්‍රාන්තයේ ඉඩම් ජාවාරම්කරුවන් හතරදෙනකු සහ පොහොසත් ආයෝජකයන් නියෝජනය කරනු ලබන නීතිවේදියකු ලෙස පෙනීසිටි තැනැත්තකු අතර ව්‍යාජ හමුවක් පිළියෙළ කරනු ලැබුණි.

    බ්‍රසීල සිතියම
    ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩිහරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන ‘රොන්ඩෝ’නියා’ (Rondônia) ප්‍රාන්තයෙනි.

    අල්විම් සෞසා අල්වෙස් (Alvim Souza Alves) නම් තැනැත්තෙක් ආදිවාසීන් නිවැසි ‘Uru Eu Wau Wau’ නම් සංරක්ෂිත වන කලාපය අභ්‍යන්තරයේ පිහිටි බිම්කඩක් ස්ටර්ලින් පවුම් 16,400කට සමාන මට්ටමේ බ්‍රසීලයේ ව්‍යවහාර මුදලට විකිණීමට උත්සාහ කරමින් සිටියේය.

    එම වන කලාපය දෙසීයකට අධික ‘Uru Eu Wau Wau’ ආදිවාසී ජනයාගේ නිවහනයි. එපමණක් නොව, බ්‍රසීල ආණ්ඩුව පවසන පරිදි බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් නොපවත්වන තවත් ආදිවාසී ජනකොටස් අඩුතරමින් පහක්වත් එම වනගැබ ජීවත්වෙති.

    ”ඉන්දියන් මිනිස්සු ඒ පැත්තේ නැහැ. මගේ ඉඩම තියෙන්නේ ඔවුන්ගෙන් කිලෝමීටර් පනහක් ඈතින්. මම කියන්නේ නැහැ-ඔවුන් ඒ පැත්තේ එකවරක් හෝ තවත් වරක් එහි ඇවිදලා නැහැයි කියල” අල්වෙස් සාකච්ඡාවක දී සඳහන් කළේය.

    BBC මාධ්‍යවේදීහු ‘Uru Eu Wau Wau’ වනගැබෙහි ගෝත්‍රික ප්‍රජානායක ‘Bitaté’ ඉදිරියේ ෆේස්බුක් වෙළෙඳ දැන්වීම පෙන්වූහ.

    BRASIL
    ‘Uru Eu Wau Wau’ ආදිවාසී ප්‍රජාව තම වනගැබ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂාකර ගැනීමේ උත්සාහයක නිරතව සිටිති

    ”එම බිම්කඩ සිය ජනතාව දඩයමට,මසුන් අල්ලා ගැනීමට සහ පලවැල නෙලා ගැනීමට උපයෝගී කරගන්නා කලාපයක් බව ගෝත්‍රික නායකයා කියා සිටියේය.

    ”මේක අපට සිදුකරන අගෞරවයක්” ඔහු සඳහන් කළේය.

    ”මම මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. මට පෙනෙන හැටියට ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ ආදිවාසීන්ගේ වනගැබ වනසා දැමීම. අපේ ජීවිත විනාශ කිරීම”

    මේ කාරණයේ දී බලධාරීන් ප්‍රශ්නයට මැදිහත්විය යුතුව ඇති බවත් ආදිවාසී නායකයා පවසයි. එසේම ඔහු ෆේස්බුක් සමාගමෙන් ද ඉල්ලීමක් කළේය.

    ”වැඩිම ජනකායක් පිවිසෙන සමාජ මාධ්‍ය ජාලය ඔවුන්ගේ පැත්තෙන් පියවරක් ගත යුතුයි”

    අයිතියේ වෙනසක්

    නීතියට පටහැනිව යමින් සිදුකරනු ලබන ඉඩම් ජාවාරමට බලපාන තවත් කාරණයක් වන්නේ සමාවක් පිළිබඳව ඇති අපේක්ෂාවයි

    සොරකම් කරගන්නා ලද අන්සතු ඉඩකඩම් නෛතික මට්ටමින් තමන් සතුකර ගැනීම සඳහා තමා දේශපාලනඥයන්ට බලපෑම් කළ බව ඇලවීම් සෞසා අල්වේස් (Alvim Souza Alves) අනාවරණය කළේය.

    ”මම ඔබට ඇත්ත කියන්නම්. මේ ප්‍රශ්නය ජනාධිපති බෝල්සොනාරෝත් එක්ක විසඳාගත්තේ නැත්නම්, කවදාවත් එය නිරාකරණය වෙන්නේ නැහැ” අල්වේස් සඳහන් කළේ වත්මන් බ්‍රසීල ආණ්ඩුව ගැන සඳහන් කරමිනි.

    මෙහිදී ඉඩම් කොල්ලකරුවන් විසින් වනාන්තර විනාශය සඳහා භාවිත කරනු ලබන පොදු උපායමාර්ගයක් වන්නේ දැනට බලපැවැත්වෙන සංරක්ෂණ නීති වෙනස්කර ගැනීමට දේශපාලකයන්ගේ පිහිටා පැතීමය.

    ඉන් අනතුරුව ඉඩම් කොල්ලකරුවන්ට නෛතික මට්ටමින් අයිතිය කියාපාමින් ආණ්ඩුවෙන් නීතියට අනුකූල ලෙස ඉඩම් කැබැලි මිලට ගැනීමට හැකියාව ලැබෙයි.

    අල්වේස්, වෙස්වලාගත් BBC වාර්තාකරු ‘කුරුපිරා සංවිධානය’ (Curupira Association) නම් කණ්ඩායමක නායකයා ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලද තැනැත්තකු කරා රැගෙන ගියේය. බ්‍රසීල පොලිසිය විසින් එකී කණ්ඩායම හඳුන්වාදෙන ලද්දේ ආදීවාසීන් වෙසෙන වනගැබ ආක්‍රමණය කරමින් නීතියට පටහැනිව ඉඩම් කොල්ලකෑම ඉලක්ක කරගත් සංවිධානයක් ලෙසිනි.

    BRASIL
    තමා ආදීවාසීන් සතු ඉඩම් විකුණන බව අල්විම් සෞසා අල්වේස් BBCය විසින් යොදවන ලද නියෝජිතයාට ප්‍රකාශකළ නමුත් එම ඉඩම්වල අයිතිය දැක්වෙන ලිපි ලේඛන ඉදිරිපත් නොකළේය

    එම පුද්ගලයන් දෙදෙනාම BBC වාර්තාකරුට කියාසිටියේ ‘බ්‍රසීලියා’ අගනුවර ආණ්ඩුවේ ආයතන සමඟ හමුවීම් යොදාගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගෙන් තමන්ට උපකාර ලැබෙන බවය.

    කොංග්‍රස් සභිකයකු වන කර්නල් ක්‍රිසෝස්ටෝමෝ (Colonel Chrisóstomo) සිය ප්‍රධාන සගයා බව ඔවුහු සඳහන් කළහ. කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සමාජ ලිබරල් පක්ෂයේ සාමාජිකයෙකි. ජනාධිපති බොල්සොනාරෝ 2019 වසරේ දී අලුත් දේශපාලන පක්ෂයකට මුලපුරන තෙක් එම පක්‍ෂයේ සාමාජිකයකු විය.

    BBCය විසින් කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සම්බන්ධකර ගනු ලැබුණි. තමා ඉහත කී පුද්ගලයන් සඳහා සාකච්ඡා සඳහා උදව් කළත් එම කණ්ඩායම ඉඩම් ආක්‍රමණයක යෙදෙන බවක් තමා දැන නොසිටි බව ඔහු සඳහන් කළේය.

    ”ඔවුන් මට කිව්වේ නැහැ” කර්නල් ක්‍රිසෝස්ටෝමෝ පවසයි.

    ”ඔවුන් ඉඩම් ආක්‍රමණය කරනවානම්, ඔවුන්ට මගෙන් තවත් කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ’

    මුලින් ඔවුන් සඳහා සාකච්ඡා සංවිධානය කරදීමට උදව්කරනු ලැබීම සම්බන්ධයෙන් කණගාටුවන්නේදැයි BBC වාර්තාකරු විමසන විට කර්නල් ක්‍රිසෝස්ටෝමෝගෙන් ලැබුණේ ”නැහැ” යන පිළිතුරයි.

    අනතුරුව BBCය අල්වේස්ගේ ප්‍රතිචාරය විමසීමට ඔහු සම්බන්ධ කරගත් නමුත් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්‍ෂේප කළේය.

    ඇමසන් වනය
    ඇමසන් වැසි වනාන්තරය මිහිතලයේ දැනට හමුවී ඇති ජීවීන්වර්ග සෑම දහයකින්ම එක ජීවීන් වර්ගයක නිවහනයි

    BBC ය බ්‍රසීලයේ පරිසර ඇමති රිකාඩෝ සාලෙස් (Ricardo Salles) කරාත් ළඟා විය.

    ”ජනාධිපති බොල්සොනාරෝගේ ආණ්ඩුව පරිසර ප්‍රශ්නයත් ඇතුළුව කිසිදු ආකාරයක අපරාධයක් සම්බන්ධයෙන් කිසිම සමාවක් නොදෙන බව පැහැදිලිව කියල තියෙනව” ඇමතිවරයා පැවසීය.

    බ්‍රසීල ආණ්ඩුව වන්නන්තර විනාශය සම්බන්ධයෙන් කටයුතු කරන ෆෙඩරල් ප්‍රධාන රාජ්‍ය ආයතනය වන ‘ඉබාමා’ (Ibama) ආයතනයේ අධීක්ෂණ කටයුතු සඳහා සපයන අරමුදලෙන් 40%ක් කප්පාදු කර ඇත.

    එහෙත් පරිසර ඇමති සාලේස් පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇමසන් වනගැබ කලාපයේ නීතිය ක්‍රියාවට නැංවීම අඩාල වූ බවය. තවද, එම කලාපය භාර ප්‍රාන්ත පාලනයට වන විනාශය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන බව ඇමතිවරයා පවසයි.

    බ්‍රසීල ආණ්ඩුව විසින් මේවසරේ ”වර්ඩි බ්‍රසීල්-2′ (Verde Brasil 2) යන නමින් මෙහෙයුමක් නිර්මාණය කරන ලදී. එහි අරමුණ නීති විරෝධීව වනය කපාදැමීම සහ වනය ගිනිතබා විනාශකිරීම අධීක්ෂණය සඳහා ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීමය.

    ඒ කෙසේවෙතත්,වර්තමාන බ්‍රසීල පාලනය යටතේ තත්ත්වය ඉතාම නරක අතට හැරී ඇතැයි රෝන්ඩෝනියා (Rondônia) ප්‍රාන්තයේ කටයුතු කරන ෆෙඩරල් ආණ්ඩුවේ නීති නිලධාරී රෆායෙල් බෙවිලක්වියා (Raphael Bevilaquia) පෙන්වාදෙයි.

    ”පවතින තත් ත්වය ඇත්තෙන්ම,කොහෙත්ම දරාගන්න බැරි තරම්!” නීති නිලධාරියා පෙන්වා දෙයි.

    ”විධායක බලය අපට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තියෙනව. එමගින් අප අධෛර්යට පත්කෙරෙමින් පවතිනවා”

    මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලය පවසන්නේ කුමක්ද? කුමන විකුණුම් නීතියට පටහැනිද යන්න තක්සේරු කිරීම තමන්ට අසීරු සංකීර්ණ කාරණයක් වන බව ෆේස්බුක් සමාගම පවසයි. එබැවින් එය ප්‍රශ්නයට අදාළ රටේ බලධාරීන්ගේ සහ එහි අධිකරණ සංවිධානයට පැවරෙන බවත් ඔවුහු පවසති. ඇමසන් කලාපය ඔස්සේ සිදුකෙරෙන සියලු වෙළෙඳපොළ ඉඩම් විකුණුම් අත්හිටවනු ලැබීමට තරම් මෙම ප්‍රශ්නය බරපතල බවක් පෙනීනොයන බවත් ෆේස්බුක් ජාලය සඳහන් කරයි.

    වසර තිහක පමණ කාලයක් තිස්සේ ‘රොන්ඩෝනියා’ ප්‍රාන්තයේ වනාන්තර විනාශයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශයක් කරමින් සිය බලාපොරොත්තු දියවී යමින් ඇතැයි සඳහන් කළාය.

    ”මට දැනෙන විධියට මෙය ඉතා දුෂ්කර සටනක්. වනය විනාශ කරමින් පවතින ආකාරය දකින්නට ලැබීම ඇත්තෙන්ම වේදනාකාරී දුකක්. වනාන්තරය වේගයෙන් හැකිලීයමින් තියෙනව” ඇය පවසන්නීය.

    ”වනගැබ ආරක්ෂා කරගැනීම අතින් ඉතිහාසයේ කවර කාලයකවත් මෙතරම් දුෂ්කර අවස්ථාවක් තිබිල නැහැ”

    (BBC බ්‍රසීලියානු අංශයේ ජෝආඕ ෆෙලට්(Joao Fellet ) සහ චාලට් පැමෙන්ට්(Charlotte Pamment) විසින් ඉදිරිපත් කරන මාධ්‍ය ගවේෂණාත්මක ලිපියක් ඇසුරෙනි. – copied by bbc sinhala)

  • කාන්තාවන් සහ ගැහැනු ළමයි ‘සයිබර් අපරාධවලින්’ ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

    කාන්තාවන් සහ ගැහැනු ළමයි ‘සයිබර් අපරාධවලින්’ ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

    සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරාම කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ පාන සුලභ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප‍්‍රවේශ සහ සයිබර් අපරාධ සම්බන්ධ නීතිය පිළිබඳ දැනුවත් කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි

    සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිතභාවයට හෝ අපයෝජනයට ලක්වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන් බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මගින් සිය පවුලේ සමීපතමයින් සහ මිතුරු මිතුරියන් සමග විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත්වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡුායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලා තුුුළ හුවමාරු කර ගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදුකරන ක‍්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයින්ගේ විසින් හඳුනා ගෙන ඇත.

    මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක‍්‍රීයභාවට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශය තුළ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමග පේ‍්‍රම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම පෙම්වතා සමග සමාජ මාධ්‍ය තුළ සංවාදය, ඡුායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම නිරන්තර පුරුද්දක් වශයෙන් කරති. මෙවැනි අවස්ථාවක සයිබර් අපරාධකරුවන්ට අදාළ කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. විශේෂයෙන් සමාජමාධ්‍ය හරහා තම ඡුායාරූප ඇතුළු අතිෂයින් පුද්ගලික තොරතුරු හුවමාරු කර ගන්නා පෙම්වතියන් අදාළ පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටුණු විට සයිබර් අපරාධවල පහසු ගොදුරක් බවට පත් වන අවස්ථා නිරීක්ෂණය කළ හැකිය.

    මේ අතර සයිබර් විශේෂඥයින් සහ සමාජ විද්‍යාඥයින් විසින් සයිබර් අවකාශය තුළ සිදුවන තවත් දැවැන්ත සයිබර් අපරාධයක් දෙය සමාජයේ අවධානය යොමු කරති. ඒ අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික වෙළෙඳාම සහ ලිංගික සූරාකෑමයි. මෙය සයිබර් අවකාශය කාන්තාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන දරුණුතම අවස්ථාව වශයෙන් ඔවුහු හඳුන්වා දෙති.

    සයිබර් අවකාශයට නිරාවරණය වන දරුවන්, විශේෂයෙන් ගැහැනු දරුවන් සම්බන්ධ තත්ත්වය ද කාන්තාවට නොදෙවෙනි බව හඳුනා ගෙන ඇත. තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ක‍්‍රීඩාවක් වශයෙන් ද මිතුරු – මිතුරියන් සමග වඩාත් සමීප සම්බන්ධතා පවත්වා ගෙන යාමේ මාධ්‍යයක් වශයෙන් ද සමාජජාලා භාවිත කරන ගැහැනු ළමුන් සේම පිරිමි දරුවන් ද සයිබර් අවකාශය හරහා බහුල වශයෙන් හුවමාරු වන ලිංගික ප‍්‍රකාශන, නිරුවත් ඡයාරූප හෝ ලිංගික ක‍්‍රියා ඇතුළත් ඡුායාරූප හෝ වීඩියෝ පට සඳහා යොමු වීමේ සුලභ අවදානමක් ඇත. ඒ අතර ඉතාමත් සංවිධානාත්මක ආකාරයෙන් විවිධ විෂම පුද්ගලයින් සයිබර් අවකාශය හරහා දරුවන් සමග නොමනා සම්බන්ධතා ඇති කර ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට පවතින අතර දරුවන් එහි ගොදුරු බවට පත්වීම ද සුලභ බව හඳුනා ගෙන ඇත. මේ තත්ත්වය තුළ දරුවන් ද සයිබර් අවකාශය තුළ වින්දිතයින් බවට පත්ව හුදකලාව සිටිනු දැකිය හැකි වන්නේ බොහෝ දරුවන් මේ පිළිබඳව තම වැඩිහිටියන් දැනුවත් කිරීමට තබා තමන්් සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටින බව පවා නොදන්නා නිසාය. මේ තත්ත්වය සයිබර් අපරාධරුවන්ට පහසු ගොදුරු බිමක් නිර්මාණය කරන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.

    සයිබර් අපරාධවලට පෙළඹීම

    සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹෙන හේතු මොනවාදැයි සමාජ විද්‍යාඥයින් සහ අපරාධ විද්‍යාඥයින් විසින් මේ වන විට නිවැරදි ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව ප‍්‍රමුඛතාව අනුව එවැනි හේතු හතරක් ඔවුුහු ඉදිරිපත් කරති.
    1 මූල්‍යමය වාසි
    2 සයිබර් අවකාශය තුළ නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීම
    3 අත්හදා බැලීම
    4 පළිගැනීම

    සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹවන ප‍්‍රමුඛ හේතුව, එසේ නැතහොත් සයිබර් අපරාධවලින් සියයට 98ක් ම සිදු කිරීමට පුද්ගලයින් පෙළඹවන්නේ මූල්‍යමය වාසි බව හඳුනා ගෙන ඇත. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන කාන්තාවන් සහ දරුවන් පිළිබඳ ලිංගික වෙළෙඳාම සහ සූරාකෑම මූල්‍යමය වාසි සඳහාම සිදු වේ.

    නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීමට සයිබර් අවකාශය තුළ ඉඩ සැලසන බැවින් එය ප‍්‍රයෝජනයට ගනිමින් සයිබර් අපරාධ සිදු කිරීමට පුද්ගලයින් දිරිමත් වන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මේ නිර්නාමික / අතථ්‍ය ලෙස පෙනී සිටීම තුළ ඇතැම් විට තම අතිෂය සමීපතමයින් පවා සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වූ සිදුවීම් ලංකාව ඇතුළු බොහෝ රටවල්වලින් වාර්තා වීම මේ වන විට සුලභ තත්ත්වයක් බවට පත්ව ඇත.

    සයිබර් අපරාධවලින් සුළු ප‍්‍රතිශතයක් අත්හදා බැලීමක් වශයෙන් සයිබර් අපරාධවල නිරත වන බව හඳුනා ගෙන ඇත. අධ්‍යාපනය ලබාදීමෙන් සහ උපදේශනය මගින් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සමාජ විද්‍යාඥයෝ දරුවෝ ඇතැම් විට ස්වභාවික කුතුහලය නිසා තම ඡුායාරූප හෝ වීඩියෝ අන් අය සමග බෙදා ගැනීමට තැත් කිරීමෙන් ඔවුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් වන බව පෙන්වා දෙති.

    සයිබර් අපරාධවල තවත් බිහිසුණු සහ සුලභ පැතිකඩක් පළිගැනීම හේතුවෙන් සිදු කරන සයිබර් අපරාධ මගින් හෙළි වේ. පෙම් සබඳතා බිඳ වැටීම සිදු වූ විට බහුල වශයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ ඡුායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම හෝ සැබවින්ම ඒවා මුදා හැරීම මුළු ලෝකය පුරාම සයිබර් අවකාශය තුළ සිදුවන සුලභ අපරාධයක් බවට පත්ව ඇත.

    සුලභ සයිබර් අපරාධ වර්ග

    කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සුලභ වශයෙන් සිදුවන සයිබර් අපරාධ වර්ග 07ක් සමාජ විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.

    1 ඉලෙක්ට්‍රොනික තැපෑල මගින් කෙරෙන අඩන්තේට්ටම්
    2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම
    3 සයිබර් ආශ‍්‍රිත කාමෝද්දීපන නිරුවක් ප‍්‍රකාශන
    4 සයිබර් අවකාශය ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා
    5 අපහාස කිරීම
    6 මෝෆිං
    7 විද්‍යුත් ලිපි ස්පූෆිං

    1 ඊමේල් මගින් කෙරෙන අඩන්තේට්ටම් නව සංකල්පයක් වශයෙන් සැලකිය නොහැකි බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට එය දීර්ඝ කාලයක් පුරා සිදු වූ සාමාන්‍ය තැපැල් ලිපි මගින් ද සිදුවිය හැකි හිරිහැර හෝ අඩන්තේට්ටම් කිරීම්වලට අතිෂය සමීපය. මෙහිදී අවමාන, තර්ජන, අයුතු බලපෑම් සහ වංචා කිරීම් යනාදිය සුලභ වශයෙන් සිදුවන බව හඳුනා ගෙන ඇත. සයිබර් අතවර / අඩන්තේට්ටම් ලිපි මගින් කෙරෙන අතවරවලට සමාන වුව ද ව්‍යාජ හැඳුනුම්පත් යොදා කෙරෙන සටහන් හේතුවෙන් බොහෝ විට ප‍්‍රශ්න රැුසකට මුහුණපෑමට සිදුවේ.

    2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම යන්නෙන් අදහස් වන්නේ වින්දිතයා නිතර නිතර පරිහරණය කරන අන්තර්ජාල දැන්වීම් පුවරු, චැට් කාමර යනාදියෙහි බොහෝ විට තර්ජනාත්මක පණිඩුඩ සටහන් කිරීම සහ වින්දිතයා ඉලෙක්ට්‍රොනික හසුන් මාලා මගින් වෙහෙසට පත් කිරීම වැනි ක‍්‍රියා මගින් අන්තර්ජාලය පුරා කෙනෙකු යන එන ස්ථාන අනුව පසුපස යාමයි. පුරුෂයින් සෝදිසියෙන් කාන්තාවන් පසුපස යෑමෙන් ද වැඩිහිටි ගොදුරු සොයන්න වුන් හෝ ලාබාල දරුවන් කෙරේ කාමාශාවෙන් පෙළෙන්නවුන් විසින් ද දරුවන් පසුපස යෑමෙන් හෝ මෙම තත්ත්වය නිර්මාණය වේ. මෙහිදී වැඩි වශයෙන් මෙම අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත් වන්නේ කාන්තාවන්, ළමුන් සහ චිත්තවේගී දුබලකම් ඇති අය හෝ අස්ථාවර අය බව හඳුනා ගෙන ඇත.

    3 සයිබර් අපරාධවල පහසු සහ වඩාත් පුළුල් ව්‍යාප්තියක් ඇති ප‍්‍රභේදය වශයෙන් සයිබර් අවකාශය ආශ‍්‍රිත කාමොද්දීපන නිරුවත් ප‍්‍රකාශන සැලකිය හැකිය. කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන සහිත වෙබ් අඩවි මීට අයත් වන අතර පරිගණක සහ අන්තර් ජාල යොදා ගනිමින් නිෂ්පාදනය කරන ල කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන අඩංගු සඟරා ආදිය මේ අතර වේ. මෙම ප‍්‍රකාශන බාගත කිරීමේදී එමගින් සිදුවන ඍජු හානියට අමතර වශයෙන් මැල්වෙයාර් වෛරස් යනාදිය ද පහසුවෙන් අදාළ ප‍්‍රකාශන සමග බාගත වීමට වැඩි අවකාශයක් ඇති බව හඳුනා ගෙන ඇත.

    4 සයිබර් ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ දරුවෙකු, පෙර යොවුන් වියේ කෙනෙකු තවත් එවැනිම කෙනෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ අන්තර් ක‍්‍රියා හෝ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් වද දීම, තර්ජනය කිරීම, හිරිහැර කිරීම, අවමන් කිරීම, අපහසුතාවට පත් කිරීම හෝ වෙනත් අතවරවලට භාජනය කිරීම සයිබර් අයුතු බලපෑමක් කිරීමයි.

    5 පරිගණකය හෝ අන්තර්ජලය මගින් අපහාස කිරීම ද සයිබර් අපරාධ අතර සුලභ අපරාධ වර්ගයක් වශයෙන් හඳුනා ගෙන ඇත.

    6 ‘‘මෝෆිං’’ යනුවෙන් හැඳින්වෙන්කේ අසම්මත පරිහරණය කරන්නකු හෝ ව්‍යාජ අනන්‍යතාවක් ඇති අයෙකු හෝ ඡුායාරූපයක් සංස්කරණය කිරීමයි. කාන්තාවන්ගේ ඡුායාරූප මෙහිදී බහුල වශයෙන් මෝෆිං කිරීමට ලක්වේ. පරිගණක භාවිත කරන ව්‍යාජ පුද්ගලයින් විසින් කාන්තාවන්ගේ ඡයාරූප සංස්කරණය කිරීමෙන් පසු (බොහෝ විට නිරුවත් ඡයාරූප ලෙස සංස්කරණය කර ) වෙනත් අය සේ ව්‍යාජ තොරතුරු සමග වෙනත් වෙබ් අඩවිවල සටහන් කෙරෙන බව හඳුනා ගෙන ඇත. වර්තමානයේදී කාන්තාවන් බහුල වශයෙන් මෙම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වන අතර ඇතැම් ජනප‍්‍රිය හා බලවත් පුද්ගලයින් ද මෝෆිං ගොදුරු බවට පත්වන බවක් හඳුනා ගත හැකිය.

    7 කාන්තාවන් වින්දිතයින් බවට පත්වන තවත් සුලභ සයිබර් අපරාධයක් වශයෙන් විද්‍යුත් ලිපි ස්පූෆිං හඳුනා ගෙන ඇත. මෙනමින් අදහස් වන්නේ විද්‍යුත් ලිපියක මූලාරම්භය වරදවා විස්තර කිරීමය. එහි නියම ආරම්භයට වෙනස් වූ ආරම්භයක් පෙන්වීම සුලභම තත්ත්වය වේ. නිදසුනක් ලෙස තමා ‘‘සී’’ බව හඟවමින් ‘‘ඒ’’ විසින් ‘‘බී’’ට විද්‍යුත් තැපෑලක් යවනු ලැබේ. මෙහිදී විද්‍යුත් තැපෑල යවන්නා තමාගේ නියම අනන්‍යතාව සඟවන අතර වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවක් ආරෝපණය කර ගැනීම සිදුවේ.

    කාන්තාවන් මෙහිදී වින්දිතයින් බවට පත්වන සුලභ අවස්ථාවක් වන්නේ ඇතැම් පිරිමින් විසින් තමාගේ අසභ්‍ය ඡුායාරූපයක් ඊමේල් ඔස්සේ කාන්තාවකට යවා ඇයගේ රුව වර්ණනා කොට ඇයගෙන් හමුවීමට දිනයක් හෝ ඇයගේ සේවාවන් සඳහා කොපමණ මුදලක් අය කරන්නේ ද යන්න විමසීමයි.

    අක‍්‍රිය සහ සක‍්‍රිය සයිබර් අපරාධ

    ඉහතින් සඳහන් කළ සුලභ සයිබර් අපරාධවලට අමතරව සයිබර් අපරාධකරුවන් විසින් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව අක‍්‍රිය හෝ සකී‍්‍රය ප‍්‍රහාරයන් එල්ල කිරීමට ද ඉඩ ඇතැයි හඳුනා ගෙන ඇත.

    මෙහිදී අක‍්‍රිය සයිබර් ප‍්‍රහාර වශයෙන් නිර්වචනය වන්නේ නීති විරෝධී ක‍්‍රියාවකට සහාය වීමට හෝ වැඩි දියුණු කිරීමට පරිගණකයක් යොදා ගැනීමට යමෙක් උත්සාහ කිරීමයි. අක‍්‍රිය පහරදීම් බහුල වශයෙන් දත්ත සොරකම් කිරීම කෙරෙහි යොමු වන අතර ‘‘ස්ටෝකිංවලට’’ සමාන අක‍්‍රිය පහරදීම් පරිගණක හෝ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ තොරතුරු එක් රැුස් කිරීමෙන් ආරම්භ වේ. තොරතුරු එක්රැුස් කිරීමෙන් පු නියම පහරදීම ඩිජිටල් කේෂ්ත‍්‍රය තුළ හෝ ඉන් බැහැරව සිදුවිය හැකිය. ඍජු අන්තර් ක‍්‍රියාවෙන් තොරව හිංසා කිරීමේ අරමුණින් තොරතුරු යොදා ගන්නා හෙයින් එය අපරාධයක ප‍්‍රාරම්භක අවස්ථාවක් සේ සයිබර් අපරාධ විශේෂඥයින් විසින් හඳුන්වනු ලැබේ.

    සක‍්‍රිය ප‍්‍රහාරයක් හෝ අපරාධයක් වන්නේ යමෙකු අපරාධ කිරීමට පරිගණකයක් උපයෝගී කර ගැනීමෙන්, එනම් ආරක්ෂිත පරිගණක පරිශ‍්‍රයකට හෝ විද්‍යුත් සංදේශ උපකරණයකට අනවසරයෙන් ප‍්‍රවේශයක් ලබා ගැනීමයි. සක‍්‍රීය ප‍්‍රහාර පද්ධතියෙහි දෝෂ හෝ හුදු ශක්තිය මගින් හානි කිරීමට උත්සාහ ගැනීම මගින් සිදුවේ. වින්දිතයාගේ පරිගණකයෙහි වේගය හීන වන පරිදි, නවතින පරිදි හෝ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන සේ දැරිය නොහැකි තරම් වැඩි බර පැටවීමට ද සක‍්‍රීය ප‍්‍රහාර මගින් උත්සාහ දරනු දැකිය හැකියි.

    සක‍්‍රීය ප‍්‍රහාර හෙවත් අපරාධ තවත් අංශ රැසක් තුළ ක‍්‍රියාත්මක වේ.

    උදාහරණයක් ලෙස යමෙකුට විශාල මුදලක් දිනා ඇති බව හෝ ශිෂ්‍යත්වයක් දිනා ඇති බව දන්වමින් තවත් කෙනෙකු විසින් විද්‍යුත් ලිපියක් එවීම වැනි ව්‍යාජ පරිගණක කාර්යයක් හෝ විය හැකිය. මෙවැනි දැන්වීමක් මගින් අපරාධකරු විසින් අදාළ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු ද සපයන මෙන් ඉල්ලීමක් කරයි නම් එය සක‍්‍රීය ප‍්‍රහාරයක් හෙවත් සක‍්‍රිය සයිබර් අපරාධයක් වශයෙන් සැලකිය හැකිය. පරිගණක අපරාධවල මෙම අංශය සමාජ සම්බන්ධතා ජාලගත කිරීම් යටතට අයත් වේ. ඇතැම් විටෙක පරිගණක අපරාධ සඳහා ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු සමග මුසු කර භාවිතා කරනු ද දැකිය හැකිය. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ව්‍යාජ පුද්ගලික තොරතුරු සත්‍ය ඒවා සේ ඉදිරිපත් කරනු සුලභව දැකිය හැකිය. එවැනි අවස්ථාවලදී අපරාධයක් කිරීමට පරිගණකය සක‍්‍රිය ලෙස භාවිත වේ. මේ තත්ත්වය නිදසුනක් මගින් පැහැදිලි කරන්නේ නම්, පිරිමියෙකු ගැහැනු දරුවෙකු සේ පෙනී සිටි වෙනත් ගැහැනු දරුවෙකු හා මිත‍්‍රත්වයක් ගොඩනගා ගෙන ඇය පිළිබඳ සියලූ පුද්ගලික තොරතුරු ලබා ගැනීම දැක්විය හැකිය. ඔහු මේ අවස්ථාවේදී සක‍්‍රිය කායික ක‍්‍රියාවක් මගින් පරිගණක අපරාධයක් කරනු බව සැලකිය හැකිය.

    සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් නොවීමට නම්

    ඉහත සඳහන් කළ සියලූ ආකාරයේ සයිබර් අපරාධවලට කාන්තාවන් සහ ළමුන් ලක් වන්නේ ඔවුන් තුළ ම පවතින නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා බව පැහැදිලි කරුණකි. මේ තත්ත්වය තුළ කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධවල වින්දිතයින් බවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි සක‍්‍රීය හා ඵලදායී පියවර රැසකි.

    Facebook වැනි සමාජ ජාල සම්බන්ධතා තුළ ආරක්ෂාව

    කාන්තාවන් සහ ගැහැනු ළමුන් වැඩි වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු වන්නේ මුහුණුපොත වැනි සමාජ ජාලා තුළ බව හඳුනා ගෙන ඇත. එවැනි අවස්ථාවකදී තම ආරක්ෂාව සඳහා ගත හැකි පියවර රැසකි.

    1 ආරක්ෂාකාරී ලෙස මුහුණුපොතට සේන්දුවීම. එමගින් ඔබගේ රහස් වචනය (මුරපදය) සොයා ගෙන ඔබේ ජාලයේ සිදුවන දේ රහසින් දැන ගැනීමට ඇති පහසු අවකාශය වළකා ගත හැකි වේ.
    2 උපන් දිනය, ජීවත් වන ස්ථානය හා සම්බන්ධවීමට අදාළ තොරතුරු වැනි පුද්ගලික තොරතුරු මුහුණුපොතේ සටහන් කිරීම සීමාකර ගැනීම.
    3 පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ ඉඩකඩ මිතුරන්ට පමණක් සීමා කිරීම.
    4 සීමිත තොරතුරු ලැයිස්තු සකසා සැක සහිත මිතුරන් ලැයිස්තුව වෙන් කොට ඔවුන් ගැන සුපරික්ෂාකාරීව සොයා බලා පසුව ඔබ ගැන වැඩි විස්රතර ලබා ගත හැකි ලැයිස්තුවට ඇතුළත් කිරීම.
    5 සෙසු අයට ගවේෂක යන්ත‍්‍රවලට හෙළිවන තොරතුරු පාලනය කිරීම සඳහා පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කිරීම.
    6 මුහුණුපොතේ ව්‍යාජයෙන් හෝ වෙනත් සැක සහිත සම්බන්ධතා මගින් ලැබෙන ව්‍යාජ ඉලෙක්ට්‍රොනික ලිපිවලින් ප‍්‍රවේශම් වීම.
    7 ඔබ මිතුරෙකු ලෙස කෙනෙකු පිළිගැනීමට පෙර දෙවරක් සිතන්න. එසේ පිළිගැනීමට පෙර ඉල්ලීම කළ අය සමග හැකි නම් ඊමේල් මගින් හෝ දුරකථනය මගින් සම්බන්ධ වී සත්‍යතාව විමසා බලන්න.
    8 චැට් කිරීමේ සම්ප‍්‍රයෝගයක් මුහුණුපොතේ අන්තර්ගත වේ. නොදන්නා අය එා චැට් කිරීමෙන් හෝ ඔවුන්ට ඔබ හඳුනා ගැනීමට හැකි වන තොරතුරු ලබාදීමෙන් වළකින්න.
    9 කිසිවෙකු අනුමාන නොකළහැකි හරස් වචනයක් තෝරා ගන්න. එය නිතර වෙනස් කරන්න.
    10 විශ්වාසය තැබිය හැකි පරිගණක පමණක් භාවිත කොට මුහුණුපොතට එක්වන්න. පරිගණක පද්ධතියක ඔබ භාවිත කරන සෑම යතුරු සලකුණක්ම සටහන් කරන කී ලොගාර්ස් නම් මෘදුකාංගය එහි තිබෙන්න පුළුවන.
    11 භාවිත කරන රහස් වචනය වෙනත් අය අතට පත් කිරීමේදී පරීක්ෂාකාරී වන්න. එය දුර්වල ආකාරයෙන් භාවිත කළහොත් එය ඔබ අමාරුවේ වැටීමට පහසු මඟක් විය හැකිය.

    Email භාවිතයේදී ආරක්ෂාකාරී වීම

    වර්තමානයේ බහුලම සන්නිවේදන මාධ්‍ය විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් බවට පත්ව ඇතත් කාන්තාවන් හා ළමුන් සයිබර් අපරාධවලට ලක් කරනු සුලභම මාධ්‍යයක් වශයෙන් ද එය ඉහළ ස්ථානයක් හිමිකර ගෙන ඇත. එහෙත් පහත සඳහන් ආරක්ෂක පියවර මගින් ඔබට මේ සුවිශේෂ සන්නිවේදන මාධ්‍ය යහපත් මිතුරෙක් බවට පත්කර ගත හැකිය.

    1 අවම වශයෙන් සංකේත අටකින් යුත් මුරපදයක් නිර්මාණය කළ යුතු අතර එම මුරපදය සඳහා නම් හෝ පහසුවෙන් අනුමාන කළ හැකි වචන ඇතුළත් නොකළ යුතුය. කැපිටල් අකුරු, සිම්පල් අකුරු, සංඛ්‍යා සහ වෙනත් සංකේතාත්මක අකුරු (උදාහරණයක් ලෙස * @ # මුරපදයක් ලෙස භාවිත කළ යුතුය.
    2 වෙබ් ආශ‍්‍රිත සේවාවන් භාවිත කිරීමේදී https: // www.hotmail.com භාවිත කරන්න.
    3 ඩිජිටල් සහතික දෝෂ පණිවුඩයක් ලැබුණහොත් එම වෙබ් පිටුවට ඇතුළු වීමෙන් වළකින්න.
    4 මුරපදය වෙනත් අය සමග බෙදා ගැනීමෙන් වළකින්න.
    5 අන්තර්ජාලයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික් පණිවිඩ සඳහා තමා භාවිත කරන සාමාන්‍ය මුරපදය භාවිත නොකළ යුතුය.
    6 නූතනම වෛරස් විරෝධී ස්කෑනරයක් පාව්චිචි කරන්න.
    7 අන්තර්ජාල සේවා සපයන ස්ථානවල පරිගණක පාවිච්චි කිරීමේදී සුපරික්ෂාකාරී වන්න. පාවිච්චි කරන සෑම පරිගණක යතුරක්ම සටහන් කර ගන්නා පරිගණක යතුරු කපනයක් KEY LOGGER සාමාන්‍යයෙන් මෙම ස්ථානවල පරිගණකවලට ඇතුළත් කර ඇත.
    8 හැකි සෑම අවස්ථාවකදීම ක්ෂණික පණිවිඩ මගින් නැති වූ මුරපදය නැවත ලබා ගැනීමට උත්සාහ කරන්න.
    9 මුරපදය යළි ලබා ගැනීමට උත්සාහ කිරීමේදී අසන රහස් ප‍්‍රශ්න අනුමාන කිරීම දුෂ්කරය.
    10 නොදන්න අය විසින් එවන ලද ඉලෙක්ට්‍රොනික පණිවිඩවල ඇමුණුම් attachments විවෘත කිරීමෙන් සහ සන්ධාන Link බොත්තම් තද කිරීමෙන් වළකින්න.

    Chatroom වැට් කාමරයේ ආරක්ෂාව

    වර්තමානයේ බහුලවම භාවිත වන සන්නිවේදන ක‍්‍රමයක් වන ‘‘චැට්’’ කිරීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් දැඩි සේ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. එහිදී චැට් කාමරයේදී යම් හිංසනයක් පිළිබඳ සැකයක් ඇති වුවහොත් එම චැට් සැසියේ පිටපතක් ලඝු ගණකය ජය්එ එර්බාජරසචඑසදබ කදට තුළ සුරක්ෂිත කර ගන්න.

    වීඩියෝ බාගත කිරීමේදී ආරක්ෂා සහිත වීම

    වීඩියෝ බාගත කර ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසීමට පෙර අශ්ශීල නිරුවත් ඡුායාරූප පමණක් නොව, හිංසනය, ජාතිවාදය, ත‍්‍රස්තවාදී බෝම්බ සකස් කිරීම ප‍්‍රචලිත කිරීම හෝ ප‍්‍රවර්ධනය කරන තොරතුරු සහ වෙනත් අයුතු තොරතුරු ඇතුළත් අනිසි අන්තර්ගතවලට අවසර නොදීමට පුද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් පරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

    සෙවුම් අඩවිවල ආරක්ෂාව

    ගූගල් Google සහ ‘‘බිංග් Bing වැනි සෙවුම් අඩවි පාවිච්චි කිරීමේදී අයුතු අන්තර්ගතයන් වැළැක්වීම සඳහා පාරිගණක පාලන රාමුව සකස් කර ගන්න.

    ඉහතින් සඳහන් කළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම මගින් විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමෙන් වළක්වා ගත හැකිය.

    මෙම ලිපිය අවසන් කිරීමට පෙර වර්තමානයේ බහුල වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු බවට පත්වන ගැහැනු ළමුන් අන්තර්ජාලය තුළ අපරාධවල ගොදුරු බවට (වින්දිතයින් බවට) පත් වීම වළක්වා ගත හැකි ආරක්ෂක පියවර ගැන ද දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

    ගැහැනු දරුවන් සයිබර් අපරාධවලින් ආරක්ෂා කර ගැනීම

    1 දරුවන් භාවිත කරන පරිගණකවලට ෆයර් වොල් හෝ දෙමාපිය පාලනය සලසන මෘදුකාංග ඇතුළත් කිරීම. මෙම මෘදුකාංග මගින් අදාළ ක‍්‍රියාකාරකම්වල ඉතිහාසය සහ වෙබ් අන්තර්ගතයන්ට ප‍්‍රවේශ වීම සීමා කිරීම ද දෙමාපියන්ට කළ හැකිය.

    2 දරුවන් නිතර පරිහරණය කරන සියලූ වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීම හා ඔවුන්ගේ පරිගණක ක‍්‍රියා අධීක්ෂණය කිරීම.

    3 අන්තර්ජාල කටයුතුවලදී ආරක්ෂාව සලසා ගන්නා ආකාරයත්, වින්දිතයෙකු වීමේ අවදානමත් පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සඳහා දරුවන් සමග සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම.

    4 සෑම දෙනාටම දරුවාගේ ඉරියව් පෙනෙන පරිදි පරිගණකය විවෘත ස්ථානයක තැබීම. ( වැඩිහිටියෙකු කාමරයට ඇතුළු වන විට දරුවා කලබල වීම අන්තර්ජාල අඩවි වෙනස් කිරීම වැනි ක‍්‍රියාවක යෙදෙන්නේ නම් එය විමසිලිමත් වීමට සලකුණකි)

    5 දරුවන් අධීක්ෂණයෙන් තොර පරිගණක භාවිතයෙන් වළක්වාලීම.

    6 දරුවන් අන්තර්ජාලයේ වැඩ කරන විට කල්පනාකාරී වීම.

    7 දරුවා නොදන්නා අය සමග ඉලෙක්ට්‍රොනික ලිපි හුවමාරු කර ගැනීමෙන්, චැට් කිරීමෙන් සහ දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් වළක්වාලීම.

    8 දරුවා නොදන්නා ද්‍රව්‍යයන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙන් දරුවාට විය හැකි හානි සහ පරිගණකයට විය හැකි හානි පිළිබඳව දරුවා දැනුවත් කිරීම.

    9 දරුවා වෙනත් අයගේ අන්තර්ජාල ප‍්‍රවේශ මාර්ග භාවිත කිරීමෙන් වැළැක්වීම.

    10 දරුවන් පරිගණක භාවිත කරන විට තනිව සිටීමට වැඩි කැමැත්තක් දක්වන විට විශේෂයෙන් පරීක්ෂා කාරී වීම.

    11 දරුවාගේ පරිගණකයෙහි අසභ්‍ය රචනා නොමැති බවට සහතික කිරීම.

    12නොහඳුනන අය සමග දරුවා කරන සංවාද අධීක්ෂණය කිරීම.

    13 දරුවන් අවසර නැතිව ක්‍රෙඩිට් කාඞ්පත් භාවිත කිරීමෙන් වළක්වාලීම.
    ඉහත සඳහන් ක‍්‍රමෝපායන් අනුගමනය කිරීම මගින් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අවකාශය තුළදී අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීම පහසුවෙන් සහ ඵලදායී ආකාරයෙන් වළක්වා ගත හැකිය.

    සැකසුම
    තුෂාල් විතානගේ
    (ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ‘‘කාන්තා සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය ඇසුරිණින් සකස් කරන ලදි)

  • සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට: ‘දෙල්ගොඩ රක්ෂිතයේ’ මහා වන විනාශයක්

    සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට: ‘දෙල්ගොඩ රක්ෂිතයේ’ මහා වන විනාශයක්

    කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී.

    මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත. මෙලෙස එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප‍්‍රධාන අතු ගංගා වල ජලපෝෂක වනාන්තර පද්ධතියයි.

    කලවාන ප‍්‍රදේශයේ පදිංචි දෙල්ගොඩ අප්පු ලෙස හඳුන්වන පුද්ගලයකු සහ පානදුර, මතුගම, නුවර හා කොළඹ යන ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසේ ව්‍යාජ ඔප්පු මගින් වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන එළි කිරීම සිදු කරයි.

    මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

    සිංහරාජ අඩවියේ නීතිමය ආරක්ෂාව

    1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 11,187 ක වනාන්තර ප‍්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇත.

    මීට අමතර ව මෙම රක්ෂිත ප‍්‍රදේශ ආවරණය වන භූමි ප‍්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම ය.

    මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන  ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට මෙන් ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.

    පාරිසරික අණ පනත් උල්ලංඝනය කිරීම

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.

    එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශිත ප‍්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලූ වනාන්තර එළි කිරීම් මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් සියල්ලට ම ඇතුළත් වන බැවින් මේ සියලූ වනාන්තර එළි කිරීම සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

    අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඩස වන පරිච්ඡේදයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලූ පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලූ නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන් ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වීම කණගාටුවට කරුණකි.

    සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට ලක් කිරීම

    මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.’’ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ‘‘ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

    නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන් සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර විනාශ කරද්දී නිහඬ ව සිටීමෙන් සිදු වන්නේ සියලූ ම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයින්ට පැවරීම ය. මේ සියල්ලට ම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් සිංහරාජ අඩවියේ තේ වගා කර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන සියලූ ජෛව ප‍්‍රජාවට අහිමි කරනු ඇත. ඒ මගින් සිදු වන්නේ දැනට සුළු පරිමාණ තේ වගාවන් සිදු කරන ජනතාවගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව බිඳ දැමීමයි.

    සුවිශේෂී වනාන්තර සංහරාජයට අහිමි කිරීම

    “ගම සමඟ පිළිසදරක්” වැනි වැඩසටහන් මගින් විධායකය විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (එ්) වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙස ය. ඒ සඳහා නිර්දේශ ලැබුණමුත් ඊට අදාළ ලිපි ගොනු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප‍්‍රමාණයක් සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ. නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වී ඇත. මේ නිසා මෙම වනාන්තර දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී.

    වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

    සජීව චාමිකර

  • කොරෝනා එන්නත ගත්තොත් වඳ වෙයිද ?: ඇත්ත – නැත්ත කුමක්ද ?

    කොරෝනා එන්නත ගත්තොත් වඳ වෙයිද ?: ඇත්ත – නැත්ත කුමක්ද ?

    කෝවිඩ් එන්නත හේතුවෙන් ‘වඳ වෙන’ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොටසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගන්නට ලැබිණි.

    එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ හේතුව කීපදෙනෙකුගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන්ට කෙටි පණිවිඩ, ඊ මේල් සහ කට කතා ඔස්සේ දැනගැනීමට ලැබුණු කරුණු මත එම තීරණවලට එළැඹුණු බවය.

    “මම වැක්සීන් එක ගන්නේ නැහැ කියලා තීරණය කළා. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් සෑහෙන තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වඳභාවය ඇති වෙනවා වගේ දේවල්. මම වැඩ කරන්නේ සෞඛ්‍ය අංශයේ. ළඟදී විවාහ වෙන්න ඉන්න නිසා මට ඇත්තටම බය හිතුණා,” කොළඹ රජයේ රෝහලක රැකියාවේ නිරත 24 හැවිදිරි කාන්තාවක් පැවසීය. ඇය සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියාය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිරී ඇති මිත්‍යා මත පිළිබඳ බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.

    “කෝවිඩ්-19 එන්නත් හා සම්බන්ධ මිථ්‍යාවන් බොහෝමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත වී ඇති බව පෙනෙනවා.

    සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි. නමුත් සමහරු මිත්‍යා මත පතුරන්නේ එන්නත ගැන අනවශ්‍ය බියක් ඇති කරවීමට හෝ එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ චේතනාවෙන්. මම හිතන්නේ සමහර පුද්ගලයින් මේ වගේ මිත්‍යා මත පතුරන්නේ එයින් එන්නත් කිරීමේ වැඩසටහනට සිදුවන හානිය ගැන සිතා බලලා නෙමෙයි,” මහාචාර්යවරිය පැවසීය.

    මිත්‍යාවක්!

    වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන එන්නතේ අඩංගු නිසා එයින් සරුභාවයට තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරක් සංසරණය වේ. එම ප්‍රෝටීන ඇතුළුවීමත් වීමත් සමග ප්‍රතික්‍රියා දක්වන ශරීරය වැදෑමහට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවට එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වේ.

    Coronavirus vaccine myths

    මෙය අසත්‍යය තොරතුරකි. එන්නතෙහි ඇති ප්‍රෝටීන වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීනවලට යම් තරමක් සමාන වන නමුත් එය ශරීරය ව්‍යාකූල කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ.

    එන්නත පුද්ගලයෙකුගේ සරුභාවයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක්” නොමැති බව ලන්ඩන් කිංග්ස් විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ප්‍රකාශක මහාචාර්ය ලුසි චැපල් පැවසීය.

    වෛරසයේ වඩාත් සුවිශේෂී කොටස් වටා එන්නත නිර්මාණය කර ඇත්තේ එය ශරීරයට ඇතුළු වූ පසු වෛරසය පමණක් හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහාය.

    මහාචාර්ය ලුසි චැපල් පවසන්නේ, අදාළ ප්‍රෝටීනවල යම් සමානකම් ඇති නමුත් එයින් “කිසිවක් අදහස් නොකෙරෙන” බවය. සොබාදහමේ විවිධ ස්ථානවල ද සමාන ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් පවතින අතර, ඒවායේ ප්‍රමාණය සහ අනුක්‍රමය අනුව සුවිශේෂී තත්ත්වයක් ලැබෙන බව ඇය පැවසීය.

    “පදනම් විරහිතයි”

    “කෝවිඩ්-19 එන්නතේ නිෂ්පාදනය වාර්තාගත වේගයකින් සිදු වුණා. මෙය සිදු කරන්න පුළුවන් වුණේ විද්‍යාඥයන්, තීරණ ගැනීමේ ආයතන, රජයන්, අරමුදල් සම්පාදකයින් සහ එන්නත නිෂ්පාදකයින්ගේ කැපවීමේ එකතුවකින්.

    කෝවිඩ්-19 නිසා ඇති වූ විනාශය නිසා ලෝකයේ පළමු වතාවට සෑම දෙනාම එක් හේතුවක් සඳහා වැඩ කිරීමට එකට එකතු වුණා” යැයි නීලිකා මලවිගේ පැවසීය.

    “කෝවිඩ්-19 ජය ගැනීමට එන්නත වේගයෙන් සංවර්ධනය කළත්, එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් කෙටි මං භාවිත කරලා නැහැ.

    Coronavirus vaccine myths
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ

    නියාමන ආයතන නිරීක්ෂණය කරන වැදගත්ම අංගයත් එන්නතේ ආරක්ෂාවයි. ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ටත් එන්නත් ලබා දෙනවා. දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි කියන දේ මිත්‍යාවක්. ඒක කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ.

    යම් පුද්ගලයෙක් එවැනි කතාවක් හැදුවේ කොහොම ද කියන එක වටහා ගන්න අපහසුයි. එය නියත වශයෙන්ම පදනම් විරහිත සහ සත්‍යතාවයක් නොමැති දෙයක්,” මහාචාර්යවරිය තවදුරටත් කරුණු පැහැදිලි කළාය.

    එන්නත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

    කොරෝනාවෛරසයේ සුවිශේෂී “උල් හැඩති කොටසේ” කුඩා සහ හානිකර නොවන කැබැල්ලක් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසමින් ශරීරය වෙත ‘සැලැස්මක්’ යැවීම මෙම එන්නත ක්‍රියාකාරී වීමෙන් සිදු වේ.

    මෙමගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාශීලී වීමට පොළඹවන අතර, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු නිපදවයි. එමෙන්ම වෛරසය නැවත හමු වුවහොත් එය හඳුනා ගනී.

    මෙයින් ඔබට වෛරසය ලබා නොදෙන අතර, ජානමය තොරතුරුවලට බලපෑම් එල්ල කිරීමේ ක්‍රමයක් ද නොමැත.

    “පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියාකරන මෙම අංශුවල” පැවැත්ම අතිශයින්ම කෙටිකාලීනය. ඒවා ශරීරයට පණිවුඩය ලබා දුන් පසුව විනාශ වේ. විශේෂයෙන්ම ෆයිසර් එන්නත ඉතා ප්‍රවේසමෙන් ගබඩා කළ යුත්තේ ද මේ හේතුවෙනි. එන්නතේ අඩංගු ජානමය ද්‍රව්‍ය විනාශ වී ඉතා පහසුවෙන් නිෂ්ඵල වීමට ඉඩ ඇත.

    ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යා මහාචාර්ය නිකොලා ස්ටෝන්හවුස් පැවසුවේ ඉහත ක්‍රියාදාමය ප්‍රජනන සෞඛ්‍යයට බලපෑමක් ඇති කළ හැකි යැයි සිතිය නොහැකි බවය.

    Coronavirus vaccine myths
    සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි”

    “මට මැසේජස් ආවා වැක්සීන් එක ගන්න එක හොඳ නැහැ කියලා තරුණ අයට. මම දන්නවා බොරු දේවල් පැතිරෙනවා කියලා. නමුත් හිතේ මහා බයක් ඇති වුණා. ඒක නිසා ගත්තේ නැහැ. මම සෞඛ්‍ය අංශයේ වැඩ කරන්නේ. මාත් එක්ක හිටිය තරුණ ගැහැණු පිරිමි ගොඩක් මේ විදිහට ප්‍රතික්ෂේප කළා. අපිට කළමනාකාරීත්වයෙන් පෞද්ගලිකව ඉල්ලීම් කළා. අනික් අය සෑහෙන බැන්නා ආත්මාර්ථකාමී අය කියලා. ඒත් හිතේ බය ඔය ඔක්කොටම වැඩියි,” යැයි තවත් රජයේ රෝහලක 28 හැවිදිරි සේවිකාවක පැවසුවාය.

    ඇය මෙම මිත්‍යා මතය දැඩි ලෙස විශ්වාස කරන බව කතා බහේ දී හැඟුණි.

    සාක්ෂි මොනවා ද?

    එන්නත සරුභාවය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිද යන්න “නොදන්නා” බව සඳහන් කරන ලද එක්සත් රාජධානියේ රජය ප්‍රකාශයට පත් කළ වාර්තාවක් ද වට්ස් ඇප් සහ ෆේස්බුක්වල සංසරණය වේ. මෙය එන්නත සොයාගත් මුල් කාලයේ ප්‍රකාශයට පත් වූවකි. පසුව එය යාවත්කාලීන කර තිබෙන අතර, ප්‍රජනන පදධතියට කිසිදු හානිකර බලපෑමක් සත්ත්ව අධ්‍යයනයන් මගින් නොපෙන්වන බව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාකූලත්වයට තවත් එක් හේතුවක් වන්නේ විද්‍යාඥයන් කරුණු විස්තර කරන ආකාරය සහ එදිනෙදා ජීවිතයේදී අප බොහෝ දෙනා ඒවා තේරුම් ගැනීම අතර වෙනසය.

    විද්‍යාඥයන් “කිසිදු සාක්ෂියක් නොමැති” යැයි පවසන විට ඔවුන් අදහස් කරන්නේ මෙම විශේෂිත එන්නත පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයක් කර නොමැති බවය. නමුත් මේ ගැන කිසිදු තොරතුරක් නොමැත යන්න එයින් අදහස් නොවේ.

    උණ රෝගයට ලබා දෙන එන්නත ඇතුළු අනෙකුත් සජීවී නොවන වෛරස් එන්නත්වලින් සරුභාවය කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බවත්, ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව සහ ගර්භණී සමයේදී පවා භාවිත කිරීමට නිර්දේශ කරන බව මහාචාර්ය ලුසි චැපල් පැවසීය

  • කණ්නාඩි දාන අයට කොවිඩ් අවදානම අඩු බව පර්යේෂණයකින් හෙළිවෙයි

    කණ්නාඩි දාන අයට කොවිඩ් අවදානම අඩු බව පර්යේෂණයකින් හෙළිවෙයි

    ගෝලීය වශයෙන් කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් වාර්තා වුණත් එහි අවධානම තවම පහව ගොස් නැහැ. එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම අප කාගෙත් වගකීමක්.

    මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබදව පසුගිය දා ඉන්දීය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ සොයා ගැනීමක් ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

    ඉන්දීය වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකදී සොයා ගෙන ඇත්තේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව ඉතා අඩු බවයි.

    ‘‘ කොවිඩ් ආසාදනය ගැන කියන විට දෙන ප්‍රමුඛ අවවාදයක් තමයි ඇස් ස්පර්ශ කිරීම නොකරන්න කියන එක. මොකද මේ වෛරසය ආසාදනය විය හැකි ප්‍රමුඛ ක්‍රමයක් තමයි ඇස් ස්පර්ශ කිරීම. ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ගේ ඇස්වලට වයිරස විෂබීජ යෑම අඩු වන අතර, කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීම ද ඉතා අඩු යැයි සමීක්ෂණයේ දී අපට තහවුරු වුණා. ඒ නිසා තමයි ඇස් කණ්නාඩි පළදින පුද්ගලයින්ට මේ වෛරසය ආසාදනය වීම ඉතා අඩු වෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ අල්ලන්නේ ඉතා අඩුවෙන්. ඇස් අල්ලන්නේ අඩුවෙන්. එහෙයින් ඔවුන් වයිරසයෙන් ආරක්ෂා වෙනවා

    මෙහිදී පර්යේෂකයින් සොයා ගෙන ඇත්තේ සෑම පුද්ගලයෙකුම පැයකට 23වරක් පමණ මුහුණ ස්පර්ශ කරන බවත්, තෙවරක් ඇස් ස්පර්ශ කරන බවයි.

  • දුප්පතාගේ හිතවතාගෙන් හිමිවන සුපිරි සෞඛ්‍ය ප්‍රතිලාබ මෙන්න

    දුප්පතාගේ හිතවතාගෙන් හිමිවන සුපිරි සෞඛ්‍ය ප්‍රතිලාබ මෙන්න

    දිගු කල් ජීවත්වීමට අවශ්‍යද? පිළිකා වැළඳීමේ අවදානම හෝ හෘද රෝග අවම කර ගැනීමට අවශ්‍යද?

    ඉහත සඳහන් රෝග වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා පාපැදි භාවිත කරන මෙන් විද්‍යාඥයෝ නිර්දේශ කරති.

    පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අවදානම අඩකින් අවම කිරීම හා පාපැදි භාවිත කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයෝ පුළුල් අධ්‍යනයක යෙදුනාහ.

    එක්සත් රාජධානිය තුළ වසර පහක් ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයට රැකියා සඳහා දෛනිකව බැහැර යන පුද්ගලයන් දෙලක්ෂ පනස් දහසක් යොදා ගනු ලැබ තිබේ.

    පොදු මගී සේවයක අසුන් ගෙන ගමන් කිරීම හෝ රැකියාව බලා මෝටර් රථයෙන් ගමන් කිරීම හා සැසඳීමේ දී ඇවිදීම තුළින් ඇතැම් වාසි ලැබෙන බවත් අධ්‍යයනයෙන් පෙනී යයි.

    ව්‍යායාම මධ්‍යස්ථානයක් (Gym) වෙත යෑම මෙන් නොව පාපැදියක් භාවිත කිරීම දින චර්යාවේ කොටසක් බවට පත් වූ පසු එය නොනවත්වා පවත්වාගෙන යෑම සඳහා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය නොවන බව අධ්‍යයනය සිදු කළ විද්‍යාඥ කණ්ඩායම පවසයි.

    වසර පහක අධ්‍යයනය සිදු කරනු ලැබුවේ රැකියා ස්ථානය කරා “ක්‍රියාශීලී” ලෙස ගමන් කරන සහ නිශ්චලව ගමන් කරන පුද්ගලයන් සංසන්දනය කරමිනි.

    සතියට සැතපුම් තිහක්

    නෙදර්ලන්තය

    සමස්තයක් වශයෙන් අධ්‍යයනය සඳහා යොදා ගත් පුද්ගලයන්ගෙන් 2,430 දෙනෙකු මරණයට පත් වී තිබේ.

    තවත් 3,748 දෙනෙකුට පිළිකා වැළඳී ඇති බව හඳුනා ගෙන ඇති අතර 1,110 දෙනෙකු හදවත් රෝග හා සම්බන්ධ ගැටලු ඇති බව හෙළි විය.

    නමුත් අධ්‍යයනය සිදු කළ කාලය තුළ දෛනිකව පාපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයන් කුමන හෝ සෞඛ්‍ය හේතුවකින් මිය යෑමේ අවදානම 41% කින් අඩු වී තිබේ.

    එමෙන්ම පිළිකා වැළඳීමේ හැකියාව 45% කින්ද හෘද රෝග 46% කින් ද අඩු වී ඇති බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.

    පාපැදි භාවිත කරන්නන් සතියකට සාමාන්‍ය වශයෙන් සැතපුම් 30 ක් පාපැදියෙන් ගමන් කරන අතර ගමන් කරන දුර වැඩිවන තරමට ඉන් ලැබෙන සෞඛ්‍ය වාසි ද ඉහළ යයි.

    සෞඛ්‍ය වාසි

    ලන්ඩන්

    ඇවිදීම තුළින් හදවත් රෝග වර්ධනය වීමේ හැකියාව අවමවන නමුත් එහි නිසි වාසි ලැබෙන්නේ සතියකට සැතපුම් හයකට වඩා අවිදයන පුද්ගලයන්ටය.

    “රැකියාව සඳහා ක්‍රියාශීලීව ගමන් කරන, විශේෂයෙන් බයිසිකල් පදින අය අඩු අවදානමක සිටින බවට මෙය පැහැදිලි සාක්ෂියක්” යනුවෙන් ග්ලාස්ගෝවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේසන් ගිල් පැවසීය.

    “බයිසිකල් පැදයාම පහසු කරවීම සඳහා යටිතල පහසුකම්වල වෙනසක් සිදු කිරීම ඇත්තෙන්ම අවශ්‍යයයි. බයිසිකල් සඳහා වෙනම මං තීරු අවශ්‍යයි. දුම්රිය තුළ බයිසිකල් ගෙන යෑම පහසු කළ යුතුයි. පිරිසිදු වීම සඳහා රැකියා ස්ථාන තුළ නාන කාමර පහසුකම් අවශ්‍යයි”

    පාපැදිය සහ පොදු මගී සේවා යන දෙවර්ගයම භාවිත කරන පුද්ගලයන්ට ද සෞඛ්‍ය වාසි ලැබෙන බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.

    බී.බී.සී වාර්තාවකි

  • කොවිඩ් බලපෑමෙන් ‘කාන්තාවන් අතර සියදිවි නසා ගැනීම්’ ඉහළ ගිහින්ද ?

    කොවිඩ් බලපෑමෙන් ‘කාන්තාවන් අතර සියදිවි නසා ගැනීම්’ ඉහළ ගිහින්ද ?

    ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා නිරවද්‍යව සහ කඩිනමින් දිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ ජපානයයි.

    සෑම මසකම අවසානයේ දී ඔවුහු ඒ පිළිබඳ දත්ත යාවත්කාලීන කරති. වෙනත් බොහෝ රටවල එවැන්නක් දැකිය නොහැකිය. කොවිඩ් වසංගත සමය ඇතුළත ලැබී ඇති දත්තවලින් කියැවෙන කතාන්තරය සිත කලබල කරවන සුළුය.

    2020 දී ජපානයේ දිවිනසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ජපානයෙන් එවැනි තත්ත්වයක් වාර්තා වූයේ වසර 11කට පසුව ප්‍රථම වතාවටය.

    ජපානයේ නවතම දත්ත විශ්ලේෂණය කර බලද්දී වඩාත් පුදුමය දනවන කාරණයක් වන්නේ දිවි නසාගත් පුරුෂයන්ගේ ගණන තරමක් පහළ බැස තිබිය දී, දිවිනසාගත් කාන්තාවන්ගේ ගණන 15%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමය.

    මේවසරේ ඔක්තෝම්බර් මාසය ඇතුළත පමණක් සිදුවී ඇති කාන්තා දිවිනසා ගැනීම් ප්‍රමාණය, පසුගිය වසරේ ඔක්තෝම්බරයේ සිදුවූ කාන්තා දිවිනසා ගැනීම් සමඟ සංසන්දනය කළහොත් එය 70%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

    සිදු වන්නේ කුමක්ද? කොවිඩ් වසංගතය පිරිමින්ට වඩා ගැහැණුන්ට පීඩා ගෙනදෙන බවක් පෙනෙන්නට ඇත්තේ ඇයි?

    අවවාදයයි: මෙම ලිපියේ අන්තර්ගතය ඇතැමුන්ට සංවේදී විය හැක.

    තම ජීවිතය නසා ගැනීමට කීප වතාවක් ම උත්සාහ කළ තරුණ කාන්තාවක මුහුණට මුහුණ හමුවී කතාබහ කරන්නට ලැබීම හිතට වදදෙන අත්දැකීමක් විය. දිවිනසා ගැනීම් වලක්වාලීම තම රාජකාරිය කරගත් පුද්ගලයන් කෙරෙහි අලුත් ගරුත්වයක් මා තුළ ඇති වූයේ ඉන් අනතුරුවය.

    Bond Project යනු දිවිනසා ගැනීම් වලක්වාලීම සඳහා පවත්වාගෙන යන ආධාර ආයතනයකි. එහි කාර්යාලයක් යොකොහාමා නගරයේ ‘රෙඩ් ලයිට්’ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලැබේ. බොහෝ රටවල ‘රෙඩ් ලයිට්’ දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන්නේ ලිංගික සේවා ලබාදීම සඳහා පවත්වාගෙන යනු ලබන ආයතන වැඩි වශයෙන් පවතින හෝ ලිංගික ශ්‍රමිකයන් වැඩි වශයෙන් ගැවසෙන කලාපයයි.

    මම Bond Project කාර්යාලය තුළ වාඩි ලා සිටිමි. මේසය ඉදිරිපස ඇති අසුනේ සිටින්නේ 19 වියැති යුවතියකි. කොණ්ඩය කොටට කපා සිටින ඇය නිසොල්මන් ය.

    ඇයගේ කතාව මා ඉදිරියේ දිග හරින්නට ඇය පටන් ගත්තාය. ඉතා හෙමින් කතා කරන නමුත් ඒ හඬේ කිසිදු හැඟීම්බර බවක් නොවීය.

    සියල්ල ආරම්භ වන විට ඇය පහළොස් වියැති ය. ඇයගේ වැඩිමල් සොහොයුරා අතින් සැහැසි ලෙස අපයෝජනයට ලක් වන්නට පටන් ගත්තේ ඒ අවධියේදී ය. අවසානයේ ඇය නිවසින් පලා ගියාය. නමුත් ඒ වේදනාව සහ තනිකම ඉන් නිමා වූයේ නැත.

    ඉන් ගැලවීමට ඇති එකම මග දිවි තොර කර ගැනීම යැයි ඇය සිතුවාය.

    “පසුගිය කාලය ඇතුළත කීපවතාවක් ම මාව රෝහල්ගත කළා.” ඇය පැවසුවාය.

    “මම වාර ගණනාවක් ම දිවිනසා ගන්න උත්සාහ කළා. ඒ එක වතාවක්වත් සාර්ථක කර ගන්න බැරි වුණා. ඒ නිසා මම හිතනවා මැරෙන්න උත්සාහ කරන එක මම දැන් අතෑරලා දාල කියල.”

    ඇය එසේ සිතන්නට පටන් ගෙන ඇත්තේ Bond Project ඇයගේ ජීවිතයට මැදිහත් වීමෙන් අනතුරුවය. ඔවුහු, ඇයට ජීවත්වීමට ආරක්‍ෂිත ස්ථානයක් සොයා දුන්හ. කඩිනම් උපදේශන සේවා ලබා දුන්හ.

    Bond Project ආයතනය ආරම්භ කරන ලද්දේ ජුන් ටචිබානා විසිනි. සර්ව ශුභවාදී, ශක්තිමත් අදහස් ඇති ඇය 40 වියැති ය.

    Jun Tachibana
    පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් ටචිබානා සිහිපත් කළාය

    “ගැහැණු ළමයිට ප්‍රශ්නයක් ඇතිවුනාම, වේදනාවක් දැනුනම ඔවුන්ට හිතාගන්න බැහැ මොනවද කරන්නේ කියල. අපි ඉන්නවා ඔවුන්ට ඇහුම්කන් දෙන්න සුදානමින්. අපි ඉන්නවා, ‘අපි ඔබ සමඟ ඉන්නවා’ කියල ඔවුන්ට කියන්න.” ජුන් ටචිබානා පැවසුවාය.

    මේ වන විටත් ප්‍රශ්නවලට මුහුණ දී සිටින අය කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතා අනතුරුදායක තත්ත්වයකට තල්ලු වී ඇති බව ඇය පවසන්නීය.

    පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් සිහිපත් කළාය.

    “අපිට නිතරම අහන්න ලැබෙන්නේ ‘මට මැරෙන්න ඕන’, ‘මට යන්න තැනක් නැහැ’ වගේ දේවල් තමයි. ඔවුන් කියනවා ‘මම ඉන්නේ හරිම වේදනාවකින්, මට ලොකු තනිකමක් දැනෙනවා, මට අතුරුදහන් වෙන්න ඕන’ කියල.”

    ශාරීරික පීඩා හෝ ලිංගික පීඩාවන්ට ලක්වන කාන්තාවන්ගේ තත්ත්වය, කොවිඩ් වසංගතය හේතුවෙන් තවත් දරුණු අතට හැරී තිබේ.

    “මට දවසක් කතා කරපු ගැහැණු ළමයෙක් කිව්වේ එයාගේ තාත්තගෙන් ලිංගික හිරිහැර සිදු වෙනවා කියල. කොවිඩ් නිසා තාත්ත වැඩට යන්නේ නැහැ, ඒ නිසා එයාට ගැලවීමක් නැහැ.” ජුන් විස්තර කළාය.

    ‘අසාමාන්‍ය රටාවක්’

    ජපානයේ මීට පෙර පැවති අර්බුද පිළිබඳව සලකා බලද්දී අද පවතින අර්බුදයේ බලපෑම හාත්පසින් ම වෙනස්ය. 2008 දී මුහුණ දුන් බැංකු අර්බුදය සහ 90 දශකයේ මුල් භාගයේ දී ඇති වූ දේපල වෙළෙඳාම සහ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම මගින් වැඩි වශයෙන් පීඩාවට පත් වූයේ මැදිවියේ පිරිමින් ය. එවකට පුරුෂයන් දිවිනසා ගැනීම් විශාල වශයෙන් ඉහළ ගියේය. නමුත් කොවිඩ් වසංගත සමයේ තත්ත්වය ඊට වෙනස් ය. එහි වැඩි බලපෑම ඇතිවී ඇත්තේ තරුණ ජනතාවට වන අතර එයින් ද වැඩි පීඩාව තරුණ කාන්තාවන්ට ය. ඊට පාදක වී ඇති හේතු තරමක් සංකීර්ණ බව පෙනී යයි.

    Number of suicides in Japan. 2008 - 2020.  .

    සංවර්ධිත රටවලින් වැඩිම දිවිනසා ගැනීම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබුණේ ජපානයෙනි. නමුත් පසුගිය දශකය ඇතුළත එම ප්‍රමාණය තුනෙන් එකකින් පමණ අඩුකර ගනිමින් ඉතා හොඳ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ජපානයට හැකියාව ලැබුණි.

    මහාචාර්ය මිචිකෝ උවේඩා, ජපානයේ සිදුවන දිවිනසා ගැනීම් පිළිබඳව අධ්‍යයනයක යෙදුණු විද්වත් කාන්තාවකි. ජපානය දශකයක් පුරා ලබා ගෙන තිබූ ජයග්‍රහණය මාස කීපයක් ඇතුළත ආපස්සට හැරී ඇති අකාරය කෙතරම් විමතිය දනවන්නේ දැයි ඇය මට විස්තර කළාය.

    “කාන්තාවන් දිවි නසා ගැනීමේ මේ රටාව ඉතාම අසාමාන්‍ය දෙයක්.”

    “වෘත්තියක් හැටියට මේ විෂය ගැන පර්යේෂණ කරන්න පටන් ගත් දා පටන් මම කිසිම දවසක දැකල නැහැ මේ වගේ ඉහළ යාමක්. කොරෝනා වසංගතයෙන් පහර වැදුණු කර්මාන්ත බොහොමයක සේවය කරන්නේ කාන්තාවන්. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය, ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රය සහ සාප්පු සංකීර්ණ වගේ දේවල්.” ඇය පැහැදිලි කළාය.

    ජපානයේ තනිකඩව ජීවත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. විවාහයෙන් පසුව කාන්තාවගේ සාම්ප්‍රදායික කාර්යභාරය නිවසේ වැඩකටයුතුවලට පමණක් සීමා වීම නිසා නව පරම්පරාවේ බොහෝ දෙනා විවාහ නොවී තනිව ජීවත්වීමට පෙළඹී ඇත.

    Michiko Ueda
    පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි.” මහාචාර්ය මිචිකෝ උවේඩා

    “ගොඩාක් කාන්තාවන් අද අවිවාහකයි. ඔවුන්ට ජීවන අරගලය කරන්න වෙලා තියෙන්නේ තනියෙම. ස්ථිර රැකියාවන් නැහැ. ඉතින් මොනවා හරි සිද්ධ වුණොත් වැඩියෙන් ම පහර වදින්නේ මේ කාන්තාවන්ට. පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි.” මහාචාර්ය මිචිකෝ උවේඩා පැවසුවාය.

    “මේ කාලය අතරින් එක මාසයක් විශේෂයෙන් කැපී පෙනෙනවා. ඒ පසුගිය ඔක්තෝම්බරය. ඒ මාසය ඇතුළත පමණක් කාන්තාවන් 879ක් දිවිනසාගෙන තියෙනවා. ඒක 2019 ඔක්තෝම්බරයේ දිවිනසා ගැනීම්වලට වඩා 70%කින් ඉහළ අගයක්.

    පුවත් පත්වල පළවූ ශීර්ෂ පාඨවලින් ද අනතුරු අඟවා තිබුණි. පසුගිය ඔක්තෝම්බරයේ ජපානයේ සිදුවූ සම්පුර්ණ දිවිනසා ගැනීම් සංඛ්‍යාව (2,199) සහ ඒ වනවිට කොරෝනාවෛරසයෙන් එරට මරණයට පත් වී තිබුණු ප්‍රමාණය (2,087) සංසන්දනය කොට ඇතැම් පුවත් පත්වල ශීර්ෂ පාඨ පළවී තිබුණි.

    අමුතු විදියේ යමක් සිදුවෙමින් පැවතුණි.

    පසුගිය වසරේ සැප්තැම්බර් 27වැනිදා, ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය.

    එය සිය දිවි නසා ගැනීමක් බව පසුව වාර්තා කෙරිණි.

    Japanese actress Yuko Takeuchi
    ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය

    යසුයුකි ශිමිසු හිටපු මාධ්‍යවේදියෙකි. දැන් ඔහු, දිවිනසා ගැනීම් වලක්වා ගැනීම සඳහා කැපවූ, ලාභ නොලබන ආයතනයක් පවත්වාගෙන යයි

    “ප්‍රසිද්ධ කෙනෙකු දිවි නසා ගත්තොත්, රටේ සිදුවන සිය දිවි හානි කරගැනීම් එකවරම ඉහළ යනවා. ඒ තත්ත්වය දින දහයක් පමණ පවතිනවා.” ඔහු පැවසීය.

    “දත්ත පරීක්ෂා කරලා බැලුවම අපට පෙනී යනවා සැප්තැම්බර් 27වැනිදා නිලියක් සිය දිවි නසා ගැනීමෙන් පසුව ගෙවුණු දින 10 ඇතුළත ජපානයේ කාන්තාවන් 207 දෙනෙකු දිවි නසාගෙන තියෙන බව.”

    එම නිළිය දිවි නසා ගැනීමෙන් අනතුරුව දිවි තොර කරගත් අනෙකුත් කාන්තාවන් ද එම නිළියගේ වයස් කාණ්ඩයට අයත් බව දත්ත විශ්ලේෂණය කිරීමෙන් තහවුරු වේ.

    “අනෙකුත් සෑම වයස් කාණ්ඩයකට ම වඩා දිවි නසා ගැනීමට පෙළඹිලා තියෙන්නේ, වයස අවුරුදු හතළිස් ගණන්වල සිටින කාන්තාවන්. එම වයස් කාණ්ඩයේ දිවිනසා ගැනීම් ප්‍රතිශතය, දෙගුණයකට වඩා වැඩියි.” ශිමිසු පැවසුවේය.

    ප්‍රසිද්ධ චරිතයක් දිවි නසා ගැනීම සහ ඊට පසු දින කීපයක් ඇතුළත රටේ සිදුවන දිවි නසා ගැනීම් ඉහළ යාම අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවතින බවට විශේෂඥයෝ ද එකඟ වෙති.

    කීර්තිමත් චරිතයක් හා බැඳුණු අද්භූත සංසිද්ධිය

    මෙම අද්භූත සංසිද්ධිය ජපානයට පමණක් ආවේණික වුවක් නොවේ. දිවි නසා ගැනීමක් පිළිබඳව වාර්තා කිරීම ඉතා දුෂ්කර වන්නේ එබැවිනි.

    කීර්තිමත් පුද්ගලයෙකුගේ දිවි නසා ගැනීමකින් අනතුරුව ප්‍රධාන මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව කෙරෙන කතාබහ වැඩි වන තරමට, ඉතා පහසුවෙන් අනතුරට ලක්විය හැකි පුද්ගලයන්ට ඉන් ඇතිවන බලපෑම ද වැඩි වනු ඇත.

    මායි සුගනුමා, ලාභ නොලබන සංවිධානයක පර්යේෂණ නිලධාරිනියකි. ඇයගේ පියා දිවි නසාගෙන ඇත්තේ ඇය භද්‍ර යෞවනයේ සිටියදීය. දිවි හානි කරගත් පුද්ගලයන් නිසා අසරණ වූ පවුල්වලට දැන් ඇය පිහිට වන්නීය.

    මෙම වසංගත සමය තුළ යමෙකු දිවි නසා ගත්විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් දුෂ්කර තත්ත්වයකට ඇද වැටෙති.

    “එවැනි පවුල්වල ඥාතීන්ට මම කතා කරන කොට තේරෙන දෙයක් තමයි, තමන් ආදරය කළ ඒ පුද්ගලයාගේ ජීවිතය බේරාගන්න ඔවුන්ට නොහැකිවීම පිළිබඳ හැඟීම තදින්ම හිත්වලට කාවැදී තිබෙන බව. මේ නිසා ඔවුන් ඔවුන්ටම දොස් පවරාගන්නා තත්ත්වයකට පත්වෙනවා. මගේ තාත්තගේ ජීවිතය බේරාගන්න බැරිවීම ගැන මමත් මටම දොස් පවර ගත්ත.” මායි සුගනුමා පැවසුවාය.

    “වසංගතය නිසා දැන් ඔවුන්ට ගෙදරින් එලියට යන්න එපා කියල නීති දාල. ඒ නිසා මේ වේදනාව තවත් වැඩි වෙනවා. ඒ ගැන මම ඉන්නේ කනස්සල්ලෙන්. ජපන් මිනිස්සු මරණය ගැන වැඩිය කතා කරන්නේ නැහැ. දිවි නසා ගැනීම් ගැන කතා කරන සම්ප්‍රදායක් ඔවුන්ට නැහැ.”

    බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී
    බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී

    ජපානය මේ වන විට පසුකරමින් සිටින්නේ තුන්වැනි කොරෝනාවෛරස් රැල්ලයි. එරට ආණ්ඩුව දෙවන වතාවටත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත. එය තවදුරටත් දිගු කිරීමට ඉඩ ඇත. බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී. තවත් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙමින් පවතී.

    මහාචාර්ය උවේඩා ගේ හිත තුළ වදදෙන තවත් ප්‍රශ්නයක් වෙයි. “ඇතැම් රටවල වගේ දැඩි ලොක්ඩවුන් නීති නැති, සාපේක්ෂව අඩු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවන ජපානයේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනම්, වසංගතය ඉතා දරුණු රටවල මොනවා සිද්ධ වෙනවා ඇති ද?”

    **මෙම ලිපියේ අන්තර්ගතය මගින් ඔබේ මනසට යම් බලපෑමක් වූයේ නම් පහත සඳහන් දුරකථන ඔස්සේ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ අමතන්න.

    Hotline : +94 11 2 682535 – Mobile/WhatsApp: 0767 520 620, 0777 723 696 ලිපිනය: 60/7, හෝටන් පෙදෙස, කොළඹ – විද්‍යුත් තැපෑල: info@srilankasumithrayo.lk – වෙබ් අඩවිය: slssumithrayo@gmail.com

    Text by bbc sandesaya

  • මුහුණේ හැඩය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි ?

    මුහුණේ හැඩය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි ?

    මුහුණු හතක් තිබෙන්නේ කතරගම දෙවියන්ට පමණයි. වාසනාවට අපට තිබෙන්නේ එක මූහුණයි.

    ඒත් අපි ඇත්තටම අපේ මුහුණ ගැන කොතරම් දන්නවාද ? අවම වශයෙන් එහි හැඩය ගැනවත් අපට නිවැරදි අවබෝධයක් තිබෙනවාද ? උත්තර පැහැදිලියි. ‘නැහැ’

    ඒ නිසාම තමයි අපි ‘විහින් කැත’ වෙන්නේ.

    ඒ ඇයි කියලා ඔයාට තේරුම් ගන්න අසීරු නැහැ නේද ? තමන්ගේ මුහුණේ හැඩය ගැන නිසි අවබෝධයක් තිනෙවා නම් පහසුවෙන් විලාසිතා කළ හැකියි. කොණ්ඩා මෝස්තරය තෝරා ගැනීම, පිරිමියෙක් නම් රැවුල කැපීම, ඇස් කණ්නාඩි හෝ අවුකණ්නාඩි මෝස්තරය නිවැරදිව තෝරා ගැනීම ඇතුළු බොහෝ දේ තමන්ගේ මුහුණේ හැඩය ගැන නිසි අවබෝධයක් ඇති කෙනෙක්ට කරන්න පුළුවන්.

    බොහෝ මුහුණේ හැඩයන් වෙන්කර හඳුනා ගැනීම අපහසු වුවද, ඇත්ත වශයෙන්ම ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීම සඳහා ඔබට අනුගමනය කළ හැකි ක්‍රමයක් ඇති අතර එය එතරම් අපහසු නොවේ. ඔබට හදවතක් හෝ ඕවලාකාර මුහුණක් ඇති බව ඔබ සිතන්නේ නම්, ඔබ නිවැරදිව අනුමාන කරන්නේ නම් මෙම ක්‍රමය භාවිතා කර පරීක්ෂා කර බැලිය යුතුයි.

    සමස්ථ හැඩය තීරණය කිරීමේදී මුහුණේ දිග වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මතක තබා ගන්න. නමුත් අනෙක් පරාමිතීන් ද වැදගත් ය. මේවාට ඔබේ නළල, කම්මුල් සහ හකු දිග ඇතුළත් වේ.

    එබැවින්, පහසු පියවර කිහිපයක් දෙස බැලීමෙන් මුහුණේ හැඩය තීරණය කරන්නේ කෙසේදැයි සොයා බලමු. නමුත් පළමුව ඔබේ මුහුණේ ස්වරූපය දැන ගැනීම වැදගත් වන්නේ මන්දැයි සොයා බලමු.

       මූලික මුහුණු හැඩ 6ක් ඇත:

    1. හදවත – Heart;
    2. දියමන්ති – Diamond;
    3. රවුම් – Round;
    4. ඕවලාකාර – Oval;
    5. දිගටි – Oblong (සෘජුකෝණාශ්‍රාකාර මුහුණක් Rectangle ලෙසද හැඳින්වේ) 
    6. චතුරශ්‍රාකාර – Square

         ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීමට ඔබට අවශ්‍ය ඇයි ?

    Image result for beard styles

    රැවුල තබා ගත යුතු ආකාරය තීරණය කිරීම සඳහා පිරිමින්ගේ මුහුණේ පැතිකඩ දැන සිටිය යුතුය. එය කොපමණ ප්‍රමාණයක් කපා දැමිය යුතුද සහ එහි හැඩය කුමක් විය යුතුද? කුමන ආකාරයේ අව් කණ්ණාඩි හෝ අක්ෂි කාච පැළඳිය යුතුද යන්න තීරණය කිරීම සඳහා කාන්තාවන්ට මේ ආකාරයේ තොරතුරු අවශ්‍ය වේ.

    විශාල හෝ විශාල ප්‍රමාණයේ අව් කණ්ණාඩි සෘජුකෝණාස්රාකාර හෝ දිගටි මුහුණු වලට නොගැලපේ. මුහුණේ ස්වරූපය වඩාත් ආකර්ශනීය වන්නේ කුමන දැඩි හා වේගවත් රීතියක් ද යන්න මත නොවේ. නමුත් සාමාන්‍යයෙන් ඕවලාකාර – Oval හැඩැති මුහුණු පිරිමි සහ ගැහැණු යන යන දෙපාර්ශ්වයටම වඩාත් ආකර්ෂණීය වේ.

    පිරිමින්ට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ඇත්තේ පුළුල් හකු ඇති විටය. කාන්තාවන්ට රවුම් හා දියමන්ති හැඩැති (rounded & diamond )මුහුණු වඩාත් අලංකාර ලෙස පෙනේ. ඕනෑම ආකාරයක කොණ්ඩා මෝස්තරයක් සාමාන්‍යයෙන් මෙම මුහුණුවලට ආකර්ෂණීය වුව ද වඩාත් ආකර්ෂණීය වන්නේ දිග කොණ්ඩා මෝස්තරයකි.

    ඔබට ශක්තිමත් හකු රේඛාවක් තිබේ නම්, ඔබට බොහෝ විට වර්ග පැතිකඩක් තිබේ. ශක්තිමත් හකු රේඛාවක් නිකටක් සමඟ සංයෝජනය වීමෙන් දියමන්ති හැඩය පෙන්නුම් කරයි. සියලුම පැතිකඩයන් පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම පොදු වන නමුත් කාන්තාවන්ට වැඩි වශයෙන් රවුම් round සහ ඕවලාකාර – oval  හැඩැති මුහුණු ඇත.

    මෙම තොරතුරු සාමාන්‍ය ජනයාට පමණක් නොව වේශ නිරූපණ ශිල්පීන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් සඳහාද ප්‍රයෝජනවත් වේ. මුහුණු පැතිකඩවල මූලික කරුණු ඔවුන් දන්නේ නම්, පුද්ගලයෙකුගේ මුහුණේ ස්වරූපය අනුව කුමන ආකාරයේ සමස්ත පෙනුමක් ගැලපේද යන්න පිළිබඳව වටිනා යෝජනා ලබා දීමට ඔවුන්ට හැකි වේ.

         මුහුණේ හැඩය තීරණය කරන්නේ කෙසේද?

    ඔබේ මුහුණේ හැඩය දියමන්ති, වටකුරු, ඕවලාකාර, දිගටි හෝ හදවතක් වේවා එය පහසු හා සරල ක්‍රමයක් මගින් තීරණය කළ හැකිය. පියවර සම්පූර්ණ කිරීම සඳහා ඔබට මිනුම් පටි සහ පෑනක් සහ කඩදාසි භාවිතා කළ හැකිය.

    ක්‍රියාවලිය ඔබට පහසු කිරීම සඳහා පියවරෙන් පියවර උපදෙස් මෙන්න:

    පියවර 1: ඔබේ මුහුණේ දිග මැනීම.

    පළමු පියවර වන්නේ ඔබේ කොණ්ඩයේ මැද සිට ඔබේ නිකට දක්වා ඔබේ මුහුණේ දිග මැනීමයි. (තට්ටය ඇති අය සඳහා, ස්වාභාවික කෙස් කළඹ පිහිටා ඇත්තේ කොහේදැයි අනුමාන කරන්න) මෙම මිනුම සටහන් කරන්න.

    පියවර 2: ඔබේ කම්මුල් සහ හකු මැනීම.

    සුදුසු කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීම සඳහා ඔබේ මුහුණේ හැඩය දැන ගැනීමට අවශ්‍ය නම් මෙම පියවර වැදගත් වේ. ඔබේ කම්මුල්වල දිග මැනීම සඳහා එක් එක් ඇසේ පිටත කෙළවරේ මිනුම් පටි තබන්න. හකු වල දිග ගණනය කළ හැක්කේ ඔබේ නිකටේ කෙළවරේ සිට ඔබේ කණේ පාදම දක්වා මැනීමෙන් පසුව මෙම සංඛ්‍යාව 2 කින් ගුණ කිරීමෙනි.

    පියවර 3: ඔබේ නළල මැනීම.

    නළල යනු ඔබේ ඇහිබැම සහ හිසකෙස් අතර කොටසයි. මිනුම් පටියක් භාවිතයෙන් එය නළලේ පළලම කොටසෙහි තබා ගන්න. පසුකාලීන භාවිතය සඳහා මෙම මිනුම ලියන්න.

    දැන් ඔබට මිනුම් හතරක් ඇති බැවින්, ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීමට කාලයයි. 

    ඔබේ මුහුණේ දිග විශාලතම වන අතර හකු කුඩාම නම් ඔබේ මුහුණේ හැඩය දියමන්ති Diamondවේ. 

    1. කම්මුල්වල මිනුම් ඔබේ මුහුණේ දිගට සමාන වේ නම්, ඔබේ හැඩය වටකුරු – රවුම් – Roundය. 
    2. හකු මෙන්ම කම්මුල් සහ නළල එකම දිගකින් යුක්ත වන විට, ඔබේ හැඩය දිගටි – Oblong වන අතර එය සෘජුකෝණාශ්‍රාකාර මුහුණක් Rectangle ලෙසද හැඳින්වේ. 
    3. සියලු මිනුම් අඩු අගයකට වඩා අඩු නම් ඔබේ හැඩය හතරැස් / චතුරශ්‍රාකාර – Square වේ. 
    4. නළලේ දිග හකුට වඩා වැඩි වන අතර මුහුණේ දිග කම්මුල්වල පළලට වඩා වැඩි නම් ඔබේ හැඩය ඕවලාකාර – Oval වේ. 
    5. සමහර අය තුළ, හකු වඩාත් අර්ථ දක්වා ඇති අතර හකු කෝණය වටකුරු හෝ තියුණු ය. අඩුවෙන් අර්ථ දක්වා ඇති හකු රේඛාව සාමාන්‍යයෙන් මෘදු කෝණයක් ඇති අතර මෙය වටකුරු / රවුම් – Round;හැඩයක ලක්ෂණයකි. (අංක 01 ද සමාන අදහසකි)
    6. ඔබට දිගු නිකටක් තිබේ නම්, ඔබේ හැඩය බොහෝ විට දියමන්ති – Diamond විය හැකිය. 
    7. නමුත් නිසැකවම අනෙක් සියලුම මිනුම් පරීක්ෂා කිරීම හොඳ අදහසකි. ඔබට හෘද / හදවත – Heart හැඩයක් ඇති විට පෙන්වා ඇති නිකට ද දැකිය හැකිය.

    තවත් මුහුණේ ස්වරූපයක් ‘ත‍්‍රිකෝණාකාර – Triangular ලෙස හැඳින්වුවද එය දුර්ලභ වේ. මේ ආකාරයේ හැඩය නළලට වඩා විශාල වන විශාල හකු හා කම්මුල් වලින් සංලක්ෂිත වේ.

    Image result for sunglasses for men

    නිගමනය

    සෑම කෙනෙකුටම වෙනස් මුහුණුවරක් ඇත. සමහරුන්ට හෘද හැඩයක් ඇති අතර අනෙක් අයට ඉලිප්සාකාර හෝ වටකුරු මුහුණක් ඇත. සියලුම හැඩයන් ලස්සන නමුත් ඔබට වඩාත්ම ගැලපෙන හොඳම අව් කණ්නාඩි යුගලයක් හෝ කොණ්ඩා මෝස්තරයක් සොයා ගැනීමට ඔබට ඇති මුහුණේ හැඩය කුමක්දැයි දැන ගැනීම වැදගත්ය.

    ඔබේ හැඩය වඩාත් පැහැදිලිව පෙනෙන පරිදි වේශ නිරූපණය භාවිතා කරමින් ඔබේ මුහුණේ ඇතැම් ප්‍රදේශ ඉස්මතු කිරීමට ද හැකිය. ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීම එතරම් අපහසු නොවන අතර මුහුණක් හදවත, දියමන්ති, වටකුරු, ඕවලාකාර, දිගටි හෝ හතරැස් දැයි බැලීමෙන් සමහර අයට එය අනුමාන කළ හැකිය. නමුත් ඔබට ඒ ගැන විශ්වාස නැත්නම්, මුහුණේ හැඩය තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ලිපියේ සාකච්ඡා කර ඇති පියවරෙන් පියවර ක්‍රියාවලිය භාවිතා කළ හැකිය.

    මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා බොහෝ මෙවලම් අවශ්‍ය නොවන අතර ප්‍රතිඵලය සාමාන්‍යයෙන් ඉතා සිත්ගන්නා සුළුය. නළල සහ කම්මුල් ඇතුළු ඔබේ මුහුණේ ඇතැම් කොටස්වල දිග මත පදනම්ව එය ඔබගේ අනුමානය වැරදි හෝ නිවැරදි කළ හැකිය.

    සැකසුම – තුෂාධවි

  • පාඩම් මතක හිටින්න පාඩම් කරන තැනත් බලපානවාද ?

    පාඩම් මතක හිටින්න පාඩම් කරන තැනත් බලපානවාද ?

    මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ

    විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය.

    පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ හැකි දෙයක් නො වේ. එනම් ඕනෑ ම විභාගයක් සඳහා නිශ්චිත නියමිත කාලයක් ඇති අතර එම කාලය තුළ මනා කළමනාකරණයකින් යුතුව සූදානම් වීම වැදගත් ය. එනිසා විභාගයට සූදානම් වීම සහ පාඩම් කිරීම පුරුද්දක් බවට පත්කර ගැනීම අපේක්ෂකයකුට අත්‍යවශ්‍ය කාරණයකි.

    විභාගයට සූදානම් වීමේ පිළිවෙළ යහපත් ආකල්ප හා ක්‍රියාමර්ග ඇති කර ගැනීම මඟින් පහසුවෙන් විභාගයට මුහුණ දීමට සහ හොඳ විභාග ජයග්‍රහණ ලැබ ගැනීමට ද හැකියාව ලැබේ.

    විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ම තමන්ට පාඩම් කිරීම සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳව හැඟීමක්, අදහසක් ඇත. ඒ ස්ථානය ඒ ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවට ම පෞද්ගලික වූවකි. ඇතැම් විට එය තම කාමරය තුළ ම සකස් කර ගත් ස්ථානයකි.

    එසේ නො වේ නම් නිවසේ වෙනත් ස්ථානයක සකස් කර ගත් ස්ථානයකි. තවද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුස්තකාලයක හෝ වෙනත් ස්ථානයක් කණ්ඩායම් සාකච්ඡා ලෙස කිරීමට යොදා ගත හැකි ය. ඒ කෙසේ වෙතත් තමන් ඉගෙනුම් කටයුතු කරන ස්ථානය නිස්කලංක (quiet), පහසුකම් සහිත(comfortable) සහ අවධානය නොබිඳින ස්ථානයක් (distraction free) වීම අවශ්‍ය ය. එම ස්ථානය තමාට ප්‍රිය ජනක විය යුතු ය. තමා රැඳී සිටීමට කැමති ස්ථානයක් විය යුතුය. කැමති, ප්‍රියජනක ස්ථානයක් ලෙස සකසා ගැනීමට කැපවීම තිබිය යුතුය.

    එම ස්ථානයේ තමන් ප්‍රිය කරන චිත්‍රයක් හෝ තම අනාගතය, අනාගත අපේක්ෂාව කියවෙන වැකි කඩක් පැහැදිලිව, පිරිසිදුව, ක්‍රමවත්ව ලස්සනට පෙනෙන්නට තබා ගැනීම ද වැදගත් වෙයි. නමුත් බිත්ති පුරා බොහෝ චිත්‍ර, රූප, ඡායා රූප වැනි දේ අපිළිවෙළකට තැබීම නුසුදුසු ය. එසේ ම පොත පත පාඩම් කරන මේසය නොයෙකුත් පොත් පත් අවුල් සහගත ලෙස තබා තිබීම ද මනසට පීඩාවකි. අත්‍යවශ්‍ය ම පොත්පත් හා ලියකියවිලි, පෑන් පැන්සල් ආදිය පමණක් තමන් සමීපයේ තබා ගැනීම සුදුසු ය.

    එසේ ම තම පෞද්ගලික පුස්තකාලයේ පොත්පත් හැමවිට ම පිළිවෙළකට තැබීම ද වැදගත් ය. පාඩම් කරන අතරතුර යම් පොතක් හදිසියේ සොයා ගැනීමට අවශ්‍ය වුවොත් එවිට පහසු වේ. තමන් පාඩම් කරන ස්ථානයට එන විට ම තමන්ගේ සිතට ප්‍රසන්න බවක් ඇති විය යුතු ය. අප්‍රසන්න දේ එම ස්ථානයෙන් ඉවත් කර තැබිය යුතු ය.

    වඩා සුදුසු ස්ථානයක අධ්‍යාපන කටයුතු කිරීම මඟින් ඵලදායිතාව වැඩි කර ගැනීමට පුළුවන. එම ස්ථානය තුළ සිටින විට, පාඩම් කරන විට, තම අවධානය බිඳෙන සුලු, වෙනතක යොමු වන සුලු තත්ත්වයක් වේ නම් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව එහි ගත කරන කාලය තුළ සාපේක්ෂ අධ්‍යයන කටයුතු අසාර්ථක වීමට බැරි නැත. එනම් විටින් විට අවධානය වෙනත් බාහිර දේකට යොමු වේ නම් ඒ කාලය අපතේ ගියා වෙයි. එවිට ඒ නාස්ති වූ කාලය ළමයාට පාඩුවකි. පාඩමේ ඵලදායිතාව අඩු වේ. තවද එක් ළමයකු පාඩම් කිරීම සඳහා උචිත යැයි තෝරා ගන්නා ස්ථානය තවත් ළමයකුට එසේ නොවීමට පුළුවන.

    එක් අයකු කැමති, ඔහුට ගැළපෙන තැන තවත් අයකුට අකමැති නො ගැළපෙන තැනක් වීමට පුළුවන. උදා : ලෙස එක් ළමයකු දැඩි නිශ්ශබ්ද, පෞද්ගලික නිස්කලංක පරිසරයක් තමාට ගැළපෙන ස්ථානය ලෙස සැලකිය හැකිය. තවත් ළමයකුට එවැනි ස්ථාන අල්ලන්නේ ම නැත. එබැවින් ඒ ඒ ළමයාට ප්‍රියජනක, කැමති, ගැළපෙන ස්ථානය තෝරා ගැනීමටත්, සොයා ගැනීමටත් ඔවුන්ට මග පෙන්විය යුතු වේ. කෙසේ වුව ද අප අවබෝධ කර ගත යුතු වැදගත් දෙය නම් තෝරා ගත් පරිසරය තම ඉගෙනීමට, පාඩම් කිරීමට. අභ්‍යාසවලට පිළිතුරු ලිවීමට, මෙහි දී තමන් භාවිත කරන ක්‍රමවේදයට, තම මතක ශක්තියට, සේ ම තමාගේ අවධානයට බාධා නොවන පරිසරයක් විය යුතු බව ය.

    දැනට හඳුනා ගෙන තිබෙන ආකාරයට නිස්කලංක, නිහඬ වූ බොහෝ ශබ්දවලින් තොර ස්ථානයක් සුදුසු ම ස්ථානයක් යැයි කිව හැකි නොවේ. ඇතැම් පුද්ගලයන් එසේ නො වන ස්ථානවල, එසේ නො වන පරිසර තුළ ඉතා හොඳින් පාඩම් කර, ඉගෙන ගෙන, විභාග ද සමත් කර ගන්නා බව දක්නට ලැබීම ඊට හේතුවයි. උදා : ලෙස මහජනයා නිතර ගැවසෙන, යන එන පොදු පුස්තකාලවල ඇතැම් අය ඒවා ගණන් නො ගෙන පාඩම් කරති. පොත් පත් කියවති. එවැනි පොදු ස්ථානයක ඇති බාධක එමට ය. විවිධ කතාබහ, ශබ්ද, දර්ශන ඒ අතර කිහිපයකි.

    නමුත් ඇතැම් අයට එවැනි ස්ථාන අපහසු නො ගැළපෙන බව අපි දනිමු. එවැනි තවත් ස්ථාන නම් විශේෂයෙන් ම උසස් පෙළ හා උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් කණ්ඩායම් වශයෙන් එකතු වී කුලී නිවසක් හෝ කාමරයක් කුලියට ගෙන “චමරි”. ලෙස හැඳින්වෙන ක්‍රමයට සාමූහිකව කරන අධ්‍යයන කටයුතුයි. එක් විෂයයකට හෝ විෂයය කොටසකට වඩාත් දක්ෂයකු අනෙක් අයට පහදා, කියා දෙමින් ද, ප්‍රශ්න විමසමින්, පිළිතුරු දෙමින්, සාකච්ඡා කරමින් පොදුවේ ඔවුන් තම ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගන්නා අවස්ථා ද තිබේ. යමක් නො දන්නා අයකුට කියා දීම තුළින් ද ඒ කියා දෙන තැනැත්තාට ඉගෙනීමක්, මතකයක් ලැබෙන බව කලින් ද පැහැදිළි කර ඇත.

    අනෙක සාමූහික කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන විට, එම කණ්ඩායමට හානි කර එනම් ඉගෙනීමට බාධා, අකුල් හෙලන සාමාජිකයෙකු නො වේ නම් එහි ඇති මිත්‍රශීලී තරඟකාරීත්වය තුළ පොදුවේ කාටත් විභාග ජය ගැනීමේ හැකියාව වැඩි විය හැකිය.

    ඊළඟට තවත් වැදගත් කාරණයක් නම් කෙනකුගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඒ තැනැත්තාගේ දිනචරියාව (routine) බලපාන බව සැලකිය යුතු වීමයි. දවසේ එක වේලාවක දී එක ම ස්ථානයක් ඒ සඳහා යොදා ගැනීම වැදගත් වේ. තමාගේ කැමැත්ත හා ගැළපෙන පරිදි උචිත ස්ථානය, සුදුසු පරිසරය වෙනස් කර ගත හැකිය. නමුත් දෛනික කාල සටහනක් තුළ නිශ්චිත කාලයක්, නිශ්චිත ස්ථානයකට වී පාඩම් කිරීම වඩාත් ඵලදායී වේ. උදාහරණ හැටියට උදේ කාලයේ පුස්තකාලයේ, සවස තම නිවසේ ආදී වශයෙනි. සෑම සති අන්තයකම සෙනසුරාදා පුස්තකාලයේ සවස නිවසේ විය හැකිය.

    ඉරිදා උදේ නිවසේ සවස පුස්තකාලයේ වුව ද පුරුද්දක් වශයෙන් කළ හැකිය. පාසල් ළමයින් නම් උදේ වරුවත් ඇතැම් විට සවස් වරුවෙනුත් අඩක් පාසලට හා මහ මගට යෙදවීමට සිදුවේ. සවස පැය කිහිපයක් හෝ කෙටි කාලයක් නිවසේ පාඩම් කළ හැකිය. එසේ ම රාත්‍රියට නිවසේ සුපුරුදු අධ්‍යයන කාමරයේ ද දහවලට ගෙවත්තේ ගසක් යට, සිසිල් සෙවනක පාඩම් කිරීම පුරුද්දක් කර ගත ගැකිය. එවිට ඒකාකාරී බවෙන් ද මිදී පාඩම් කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා ගත හැකි වනු ඇත. කුඩා අවධියේ සිට ම යම් නිශ්චිත ස්ථානයකට වී පාඩම් වැඩ කිරීමට පුරුදු වී සිටී නම් ඒ පුරුද්ද අත් නො හැර දිගට ම කිරීම වඩා හොඳ ය.

    එසේ ම පාඩම් වැඩ කිරීමට පුරුද්දක් ඇති කර ගෙන නැති අයකු නම් එය වහා වෙනස් කර ඒ පුරුද්ද ඇති කර ගත යුතු වේ. ඇතැම් අය රාත්‍රී ආහාරයෙන් පසු මැදියම් රැය ගෙවී යන තුරුත් පාඩම් වැඩ කරන්නට හුරු පුරුදු වී ඒ අනුව තම දෛනික චර්යව පවත්වා ගනිති. එසේ ම තවත් සමහරු රාත්‍රී අට, නමය වන විට නින්දට ගොස් ඒ වෙනුවට අලුයම් වේලාව ඒ සඳහා යොදා ගනිති. එසේ පුරුදු වී සිටින අය ඒ පුරුදු අනුව වැඩ කිරීම සුදුසු ය.

    ඇතැම් අය ඇතැම් අවස්ථාවල තමන් ඉගෙන ගැනීමට කැමති ස්ථාන අනුමත කළ නො හැකිය. උදා : ලෙස රූපවාහිනිය ඉදිරියට වී හෝ ඒ අසල තැනකට වී එය හරියට කළ නොහැකි ය. එවැනි අවස්ථාවල රූපවාහිනියේ දැක්වෙන දේවල් කෙරෙහි අවධානය යොමු වන අතර පාඩම කෙරෙහි අවධානය බිඳී ගිලිහී යනු ඇත. එබැවින් අධ්‍යයන ක්‍රම චර්යාවක් (study routine) හඳුනා ගැනීම හා එය අනුගමනය කිරීම යෙහෙකි. අධ්‍යයනය ජීවිතේ පුරුද්දක් කර ගත යුතු ය. හුරුවන තුරු මුල් අවස්ථාවේ එය තරමක් දුෂ්කර වුවත් කල් යාමේ දී එය සාමාන්‍ය දෙයක් වේ. කෙසේ නමුත් කෙනෙකුට සුව පහසු ලෙස තම අධ්‍යයන කටයුතු (comfortably) කර ගැනීමට සුදුසු ස්ථානයක් සකස් කිරීම අවශ්‍ය වේ.

    එසේ නො වූ විට නොයෙකුත් කායික අපහසුතා ද ඒ අනුව මානසික අපහසුතා ද ඇති වේ. විශේෂයෙන් ම කොන්දේ කැක්කුම, අතේ මැණික්කටුව ප්‍රදේශයේ වේදනාව ඇති වීමට පුළුවන. එසේ ම සුළු කායික අපහසුතා කාලයක් යන විට අසහනකාරී රෝග තත්ත්ව බවට හේතු වේ. එසේ ම පාඩම් කරන, පොත් කියවන, අධ්‍යයන කටයුතු කරන ස්ථානයට හොඳ ආලෝකයක් ලැබීම අත්‍යවශ්‍ය ය. පොත්පත්, පෑන් පැන්සල් වැනි අත්‍යවශ්‍ය ම දේ තමාට වහා ලබා ගත හැකි පරිදි සමීපයේ පිළිවෙළකට තබා ගැනීම ද වැදගත් වේ.

  • වැලන්ටයින් දිනය: පෙම්වතුන් දඩයම් කිරීමට පොලිසීයට නීතිමය බලයක් තිබේද ?

    වැලන්ටයින් දිනය: පෙම්වතුන් දඩයම් කිරීමට පොලිසීයට නීතිමය බලයක් තිබේද ?

    තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති.

    හන්තාන සිසාරා යන නොනැවතෙන විසිල් හඬකි. දණ්ඩක් අතින් ගත් ආරක්ෂකයෙකු පෙම්වතුන් දෙසට ළං වන්නේ අශ්ශීල වදන් සමුදායක් ද මුදා හරිමිනි. ශරීර ප්‍රමාණයෙන් කුඩා යුවළක් ඔහුගේ ඉලක්කය වී ඇති බවකි. තරුණියගේ මුහුණේ ඇත්තේ ලැජ්ජාවකි. තරුණයාගේ මුහුණේ ඇත්තේ, පරාජිත හැඟීමකි. උද්‍යාන ආරක්ෂකයාගේ මුහුණේ ඇත්තේ ජයග්‍රාහී රෞද්‍ර බැල්මකි. පෙම් ලොවේ තනි වන්නට වෙනත් සෙවණක් සොයා යා යුතු බවට නියෝගයකි.

    ඉහත දැක්වෙන්නේ පේරාදෙණිය උද්‍යානයේදී මීට මාස කිහිපයකට පෙර මාගේ නිරීක්ෂණයට ලක් වූ සිදුවීමකි. ශ්‍රී ලංකාවේ උද්‍යාන, වෙරළ තීර ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන තුළ පෙම්සුව විඳ ඇති පෙම්වතුන්ට මෙය අලුත් අත්දැකීමක් නොවේ.

    ආදරය වරදක්ද?

    පෙම්වතුන්

    සෑම වසරක ම පෙබරවාරි 14 වන දාට යෙදී ඇති වැලන්ටයින් දිනය ලොව සමහර රටවල පෙම්වතුන්ට ආස්වාදජනක දිනයක් වෙද්දී ඇතැම් රටවල පෙම්වතුන්ට එය අභියෝගයකි. විශේෂයෙන් පාකිස්තානය සහ ඉන්දියාව වැනි දකුණු ආසියානු රටවල අන්තවාදී පාර්ශව ඊට දක්වන්නේ දැඩි විරෝධයකි.

    ශ්‍රී ලංකාව ද ඇතුළුව කලාපීය රටවල ප්‍රේමය සහ ලිංගිකත්වය බොහෝ අවස්ථාවල සැලකෙන්නේ තහනම් මාතෘකා (Taboo) ලෙසය.

    පසුගිය දිනක ලැගුම්හලකදී අත්අඩංගුවට පත් තරුණ තරුණියන් පිරිසක් පිළිබඳව පළ වූ වෙබ් පුවතක “පාටියට ආපු තරුණියන්ගේ බෑග්වල උපත් පාලන කොපු” යනුවෙන් පළ කර තිබිණි.

    උපත් පාලන කොපු ළඟ තබා ගැනීම පුවතක ශීර්ෂය බවට පත්වීමත් එසේ ළඟ තබා ගැනීම වරදක්දැයි යන්නත් ඇතැමෙක් සමාජ ජාල ඔස්සේ ප්‍රශ්න කළහ.

    පෙම්වතුන්ගේ දිනය හෝ වෙනත් දිනවල ප්‍රසිද්ධ ස්ථානවල හෝ ලැගුම්හල් තුළදී පොලිසියේ අත්අඩංගුවට පත් වන තරුණ තරුණියන් පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වේ. විශේෂයෙන් එවැනි අත්දැකීමකට මුහුණ පෑමට සිදුවන තරුණියන් සමාජය හමුවේ අපවාදයට ද ලක් වන්නීය.

    කොන්ඩම්
    තරුණියන් පිරිසක් සන්තකයේ තිබී ‘උපත් පාලන කොපු හමුවීම’ ගැන පුවත් මැවීමත් සමග එය සමාජ මාධ්‍යවල උපහාසයට ලක් විය.

    පෙම්වතුන් අත්අඩංගුවට ගත හැකිද?

    “මට මේ ගැන පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. A/L කරන කාලේ පන්ති ඇරිලා ගෙදර යන්න මම කුරුණෑගල බස් නැවතුම්පොළේ හිටියා. සීසන් එකෙන් යන්න සීටීබී බස් එකක් එනකන් තමයි බලා හිටියේ. 2010, 2011 කාලයේ කුරුණෑගල පෙම්වතුන් අසභ්‍ය විදිහට හැසිරෙනවා, පාක් එකේ ගොඩ දෙනෙක් අල්ලනවා කියලා රාවයක් ගිය කාලයක්. ඒ නිසා මේ බස් එකට නගින්න කියලා පොලිසිය ඇවිත් මට කිව්වා. මම කිව්වා නැහැ මම සීටීබී බස් එකක් එනකන් ඉන්නේ කියලා. සීටීබී නෙමෙයි එන බස් එකට නැගලා යන්න කියලා පොලිසිය කිව්වා. මට ඒ වෙලාවේ ඕන වුණේ මම වැරැද්දක් නෙවෙයි කරන්නේ කියලා පෙන්වන්න. බස් එකට නැග්ගා නම් මමත් වැරදිකරුවෙක් වෙනවා

    මට තාම මතකයි මම රෝස පාට ඇඳුමක් එදා ඇඳන් හිටියේ. ඊට පස්සේ මම ඒ ගවුම ඇන්දෙත් නැහැ. මොක ද ඒ ගවුම අතට ගන්නකොට මට ඒ සිද්ධිය මතක් වුණා. මාස තුනක් විතර යනකම් පාඩම් කරන්න බැරි වුණා. පාඩම් කරද්දී මතක් වෙනවා ‘පොලිසිය මට බැන්නා නේ ද? මම වරදක් කළා ද?’ කියලා. සෑහෙන්න කාලයක් යනකම් ඒක මානසිකව වද දුන්නා.

    එදා ඉඳන් මම හිතුවා මගේ නම වෙන විදිහකට ප්‍රසිද්ධ වෙන්න වැඩ කරනවා කියලා. ඒක තමයි මම එදා ගත්ත තීරණය. හැබැයි මම දන්නේ නැහැ තව ගැහැණු ළමයෙක් ඒ තීරණය ඒ විදිහට ගනී ද කියලා. එහෙම නැත්නම් ඒ ගැහැණු ළමයි ලජ්ජාවට ගෙදරට මුහුණ දෙන්න විදිහක් නැතිව වෙන විදිහක් තෝර ගන්න පුළුවන්,”

    කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ධනුෂිකා අබේරත්න පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ සංවාදය ආරම්භ කළේ පාසල් අවධියේ තමන් මුහුණ දුන් අත්දැකීමක් විස්තර කරමිනි.

    ශ්‍රී ලංකාවේ නීතියට අනුව විවාපත් විය හැකි වයස් සීමාව අවුරුදු 18 ය. නමුත් අවුරුදු 16 ඉක්මවූ තරුණියකට හෝ තරුණයෙකුට තමන් කැමති අයෙකු සමග ලිංගිකව එක් වීමට නීතියෙන් බාධාවක් නොමැත.

    ප්‍රසිද්ධ ස්ථානයක හෝ ලැගුම්හලකදී වයස අවුරුදු 16 ඉක්මවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ නිශ්චිත නීතියක් නොමැති නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය නීති කිහිපයක් යොදා ගන්නා බව කථිකාචාර්ය ධනුෂිකා අබේරත්න කියා සිටී.

    • 1841 බලාත්මක කෙරුණු පාදඩ ආඥා පනත/ අයාල ආඥා පනත
    • දණ්ඩ නීති සංග්‍රහයේ 350 සහ 352 යන වගන්ති
    • දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය

    පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදඩ ආඥා පනත යොදා ගත හැකි දැයි යන්න ප්‍රශ්නයක් බව කී ඇය “මෙය තිබෙන්නේ වීදියේ සැරිසරන ගණිකාවන් හෝ යාචකයන් තව පුද්ගලයන්ට කරදර කරනවා නම් එය වැළැක්වීමටයි. නමුත් මෙවැනි අයට වඩා පෙම්වතුන් මෙහි ඉලක්ක බවට පත් වීම ප්‍රශ්නයක්,” යනුවෙන් පැවසුවාය.

    ඉහත කී චෝදනා යටතේ පෙම්වතුන් අත්අඩංගුවට ගනු ලැබුවත් අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් දෙමව්පියන් වෙත භාර දීමට හෝ සමථයකට ඒමට පොලිසිය බොහෝ අවස්ථාවල කටයුතු කරන බව ඇය පෙන්වා දෙන්නීය.

    ඔබගේ අයිතීන් මොනවාද?

    වැලන්ටයින්

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් 14 කි.

    ඕනෑ ම පුද්ගලයෙකුට ඕනෑ ම ස්ථානයක ගැවසීමට ඇති අයිතිය එනම් යාමේ ඒමේ නිදහස ඉන් එකකි.

    “හැබැයි එහෙම කියලා යම් ස්ථානයක ‘අශෝභනව’ ලෙස හැසිරෙනවා නම් හෝ ලිංගික කර්තව්‍යක යෙදෙන්නේ නම් එවැනි අවස්ථාවක ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි,”

    “හැබැයි අදටත් ‘අශෝභන ලෙස’ හෝ ‘අසංවර ලෙස’ කියන දේ කිසි ම ස්ථානයක අර්ථ නිරූපණය වී නැහැ. අඩු ම තරමේ පාදඩ ආඥා පනත හෝ අයාල ආඥා පනතෙවත් එය අර්ථ නිරූපණය කර නැහැ”

    “නඩු තීන්දුවක් දක්වා දුර ගිහින් නැති නිසා අධිකරණයේවත් මේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් නැහැ,” නීතිවේදිනී ධනුෂිකා අබේරත්න පැවසීය.

    නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

    polisiya

    තමන් ප්‍රසිද්ධ ස්ථානයක “අශෝභන” ලෙස හැසිරී නොමැති නම් අත්අඩංගුවට ගැනීමට එරෙහි වීමට අයිතියක් ඇති බව කී නීතිවේදිනි ධනුෂිකා අබේරත්න “එසේ නැති නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට අත්තනෝමතිකව සිර භාරයට ගැනීමක්. ඊට එරෙහිව නැගී සිටීමට තමන්ට අයිතිවාසිකමක් තිබෙනවා,” යනුවෙන් සඳහන් කළාය.

    ඉන් නොනැවතී පොලිසිය වෙත රැගෙන යන්නේ නම් පැමිණිල්ල ලිවීමට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කළ හැකි බවත් එසේ නොමැති විටක මූලික අයිතිවාසිකම් කඩ වීමේ නඩුවක් දක්වා දුරකට යා හැකි බව ඇය පෙන්වා දෙයි.

    “අශෝභන අයුරින් හැසිරුණු” බවට චෝදනා කරමින් පෙම්වතුන් පිරිස් වශයෙන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවකදී තමන් “මහ ජනතාවට කරදරයක් කර නොමැති නම් හෝ අශෝභන අයුරින් හැසිරී නොමැති නම්” ඊට එරෙහිව නැගී සිටීමට අයිතියක් ඇති බව ද නීතිවේදිනිය අවධාරණය කරයි.

    “අශෝභනව හැසිරී නැති නම් රංචු පිටින් අත්අඩංගුවට ගන්න කිසි ම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එවැනි අවස්ථාකදී කිසි ම කෙනෙක් ඊට විරුද්ධ වෙන්නේ නැහැ,”

    “විවාහ විය යුතු වයස අවුරුදු 18 කියලා අපේ නීතියේ තියෙනවා. හැබැයි ආදරය කරන්න පටන් ගත යුතු නිසි වසරක් දීලා නැහැ. ඒක හැඟීමක්. අවුරුදු 18 වෙනකම් ආදරය කරන්න බැහැ කියලා කොතැනකවත් සඳහනක් නැහැ,”

    කෙසේ නමුත් පාසල් වැනි ආයතන තුළ ඒ සම්බන්ධයෙන් විනය පද්ධතියක් තිබිය හැකි බව ඇය පවසන්නීය.

    පෙම්වතුන්ට එළිමහනේ ගැවසීමට ඇති නිදහස සීමා කිරීමේ අවසන් ප්‍රතිඵලය “කාමරයකින් අවසන් විය හැකි” බව නීතිවේදිනී ධනුෂිකා අබේරත්නගේ අදහසය.

    ප්‍රේමය සහ ලිංගිකත්වය

    ශ්‍රී ලංකාවේ වත්මන් තරුණ පරපුර සහ වැඩිහිටි ප්‍රජාව ප්‍රේමය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් දක්වන ආකල්පය කෙබඳු ද? එහි වෙනසක් සිදුවිය යුතු ද?

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ “ශ්‍රී ලංකාවේ නව යෞවනයන් සහ වැඩිහිටි ප්‍රජාව අතර පවතින බරපතළ සංස්කෘතික ගැටුමේ එක් අවස්ථාවක් පෙබරවාරි 14 දින පිළිබිඹු කරන්නේ,” යනුවෙනි.

    වැඩිහිටියන් පෙම්වතා සහ පෙම්වතිය යන සංකල්පය දෙස බලන ආකාරයේ ගැටලුවක් පවතින බව ඇයගේ අදහසය.

    “දෙමව්පියෝ දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතනවා. හැබැයි දරුවන්ගේ නව යෞවන වියේ තිබෙන ලක්ෂණයක් අනුව ඒ අය සිතනවා අම්මලා තාත්තලා වැරදියි කියලා,”

    නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් නිලධාරීන්ගේ ද ආකල්පමය වෙනසක් සිදු විය යුතු බව ඇය අවධාරණය කරන්නීය.

    “පොලිස් නිලධාරියා කියන කෙනාත් ලිබරල් (නිදහස් මතවාදී) සමාජයක තිබෙන මේ සංකල්ප, ධර්මතා සහ අගනාකම් (Norms) ග්‍රහණය කර ගත් අයෙක් නොවෙයි තාම. බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික ක්‍රමයට යන්නේ. පුහුණුව ලබපු අලුත් නිලධාරීන් ඒ දේවල් ඉගෙන ගන්නවා,”

    එමෙන් ම ශ්‍රී ලංකාව තුළ අයිතීන් මුල් කර ගත් සමාජයක් (Right base society) පිළිබඳ සංවාද කිරීමට තරම් අධ්‍යාපනික දැනුමක් සහිත පිරිසක් බිහි වී නොමැති බව පවසන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පවා සාම්ප්‍රදායික ගතිපැවතුම්වල එල්බ සිටින බව කියා සිටී.

    “ගොලීයකරණය සමග ඇති වන සමාජීය වෙනස්කමත් එක්ක අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විය යුතුයි”

    ලිංගික අධ්‍යාපනය

    මේ අතර ශ්‍රී ලංකාවේ විවාහ විය හැකි (අවුරුදු 18) සහ ලිංගික කැමැත්ත දෙන වයස (අවුරුදු 16) සම්බන්ධයෙන් පවතින නීතියේ හිඩැසක් පවතින බව ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙයි.

    “එක්කෝ ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු 18 කරන්න ඕනි. එහෙම නැතිනම් විවාහ වෙන වයස අවුරුදු 16 කළ යුතුයි,”

    “ලංකාවේ නීතියේ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. අවුරුදු 16 දී ලිංගික කැමැත්ත දිය හැකියි. දහසයට වැඩි අය එහෙම ගිහින්, ළමා මව්වරුන් සහ ළමා ගර්භණීභාවය ලංකාවේ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා.”

    “අවුරුදු 16 යි 18 යි අතර දරුවෝ ප්‍රෙග්නන්ට් වෙනවා. උපදින දරුවට තාත්තා නැති වෙනවා. මොක ද ඒ ළමයා බාලවයසක නම් ඔහුට පරිවාසෙට යන්න වෙනවා. මේ අය පොලිසිය ඉදිරියේ පොරොන්දු වෙනවා අනාගතයේ කසාද බඳිනවා කියලා. හැබැයි අනාගතයේදී ඒ තරුණයා හොයා ගන්න බැරි වෙනවා. උපදින දරුවට තාත්තා කෙනෙක් නැති වෙනවා,”

    ඉහත කී වයස් සීමාවන් සම්බන්ධ නීතිය වෙනස් විය යුතුවා සේ ම ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ විවෘතව කතා කළ යුතු බවත් අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙන්නීය.

    තරුණ වියේ ප්‍රේමය වැනි, සංවේදී කරුණු පවුල් ප්‍රශ්න දක්වා මෙන් ම ජීවිත හානි දක්වා ද දුරදිග යා හැක.

    ප්‍රේම සබඳතා සම්බන්ධයෙන් දෙමව්පියන් දක්වන ප්‍රතිචාරය මෙන් ම ප්‍රසිද්ධ ස්ථානයක හෝ ලැගුම්හලකදී පොලිස් නිලධාරීන් හමුවේ තමන්ට මුහුණ දීමට සිදුවන අත්දැකීමක් මනසට තදින් බලපෑ හැක.

    එවැනි අවස්ථාවක සිදු කළ යුත්තේ කුමක් ද?

    මානසික ගැටලු

    මානසික රෝග

    මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසන පරිදි නීතිය ක්‍රියාත්මක කරන පාර්ශව දක්වන ඇතැම් ප්‍රතිචාර හේතුවෙන් යම් පුද්ගලයෙකු අපහසුතාවට පත් විය හැක.

    තෙවන පාර්ශ්වයකින් හෝ තම දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හමුවේ චිත්ත පීඩාවකට ලක් වූ තරුණියක හෝ තරුණයකු පළමුව කළ යුත්තේ එය තම සමීපතමයෙකු සමග බෙදා ගැනීම බව ඔහු කියා සිටී.

    “එතනින් එහාට තමන්ගේ මානසික මට්ටම සකස් කර ගත නොහැකි නම් ඒ පිළිබඳ වෘත්තීයවේදියෙකුගේ: උපදේශකයෙක් වෙන්න පුළුවන්, මානසික වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් එවැනි අයෙකුගේ උපකාර ලබා ගැනීමයි සිදු කළ යුත්තේ,

    “වැදගත් ම දේ තමයි මේ අත්දැකීම දරා ගත නොහැකි නම් එය තවත් කෙනෙකු සමග බෙදා ගැනීම,”

    මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් සහ විශ්වවිද්‍යාල බොහොමයක උපදේශන සේවා ආරම්භ කර ඇති බව කී විශේෂඥ වෛද්‍යවරයා තමන්ට ඇති මානසික ගැටලු සම්බන්ධයෙන් ඒ හරහා උපකාර ලබා ගත හැකි බව පැවසීය.

    ඒ හැරුණුකොට රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක මානසික සායන මගින් ද උපකාර ලබා ගැනීමට හැකි බව ඔහු පැවසීය.

    “තරුණ තරුණියන්ගේ වගකීම”

    මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ්
    මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ්

    එමෙන් ම තමන් ජීවත් වන කුමන හෝ රටක යම් කිසි සංස්කෘතික නීති රාමුවක් තිබේ නම් ඊට ගැලපෙන අයුරින් කටයුතු කිරීමට ද තරුණ තරුණියන්ට වගකීමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු බව සිඳ ගත් තරුණ තරුණියන්ගේ විශාලතම පසුතැවිල්ල බව ලිංගික හැසිරීම් පිළිබඳ මෑතකදී බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද සමීක්‍ෂණයකින් හෙළි විය.

    තමන් පළමු වරට සංවාසයේ යෙදුණේ, “නිසි කාලයේ නොවන” බව බ්‍රිතාන්‍යයේ වෙසෙන විසි වෙනි වියේ පසුවන තරුණියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් සහ තරුණයන්ගෙන් හතරෙන් එකක් පිළිගන්නා බව ද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වුනි.

    පාසල් වියේ හට ගන්නා ආදර සබඳතාවක් හේතුවෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ නම් ඒ පිළිබඳ තරුණ තරුණියන් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් “ආදරය ඇති වීම ස්වභාවික තත්ත්වයක්. තරුණ වයසේ ඇති වන ආදරය ගැන හරි වැරැද්ද කතා කිරීමට ප්‍රථම මෙය ස්වභාවික තත්ත්වයක් කියන මානසිකත්වයෙන් බැලුවොත් අපට පුළුවන් දරුදැරියන් නිසි මගට ගන්න,” යනුවෙන් සඳහන් කළේය.

    පාසල් වියේදී හෝ උසස් අධ්‍යාපනය ලබන අවදියේ ප්‍රේම සබඳතා නිසා මානසික පීඩාවකට පත්ව වෛද්‍යවරයෙකුගේ සහය පැතීම ලැජ්ජාවට කරුණක් ද? එවැනි තරුණයෙකු හෝ තරුණියක දෙස ඔවුන්ගේ මිතුරු මිතුරියන් මෙන් ම සෙසු සමාජය දක්වන්නේ කෙබඳු ආකල්පයක් ද?

    සමාජ අපවාදය

    පෙම්වතුන්

    මානසික ගැටලු, එනම් රෝගී නොවන තත්ත්වයන් සම්බන්ධයෙන් සමාජයේ පවතින අපවාදය (Stigma) ලෝකය පුරා අඩුවැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසයි.

    මානසික ගැටලු සම්බන්ධයෙන් උපදෙස් පතා ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෘත්තීය සුදුසුකම් ඇති පාර්ශ්ව වෙත පැමිණීමේ ප්‍රවණතාව මීට වසර විස්සකට පැවති තත්ත්වයට වඩා වැඩි බව කී ඔහු “මම දන්න සමහර අවස්ථා තිබෙනවා මානසික තත්ත්ව සම්බන්ධයෙන් වෛද්‍යවරු හමුවීමට යන්න බැහැ කියලා දෙමව්පියන් කියනවා. නමුත් දරුවෝ ඉන්නවා එහෙම දෙමව්පියන් කැඳවාගෙන මානසික වෛද්‍යවරු හමුවීමට එන,”

    “මේ මානසික තත්ත්ව කියන දේ, අවුරුදු ගාණකට කලින් මේ රටේ තිබ්බ තත්ත්වය අනුව විශේෂිත බලවේගවලින් පාලනය වන නැතිනම් ලැජ්ජාවට පත් විය යුතු රෝග තත්ත්වයක් නොවෙයි,”

    ආදර සම්බන්ධයක් පිළිබඳ කන වැකුණු වහා දෙමව්පියන් කලබලයට පත්වීම බොහෝ විට සිදුවන බව කී විශේෂඥ වෛද්‍යවරයා “ඒ කලබලය තුළ සමාජයේ අනෙක් අය ඉදිරියේ දරුවා හෝ දැරිය අගතියකට පත් වෙනවා” යනුවෙන් සඳහන් කළේය.

    දරුවාගේ හෝ දැරියගේ ආත්මගරුත්වයට හානියක් නොවන සේ දෙමව්පියන් ඔවුන්ට අවවාද කළ යුතු බව විශේෂඥ මතයය.

    ගටලුකාරී අවස්ථාවක “පවුලක් වශයෙන්” දෙමව්පියන් සහ දරුවන්ට එක්ව පැමිණ මානසික වෛද්‍යවරයෙකුගේ උපදේශන ලබා ගත හැකි බවත් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් වැඩිදුරටත් සඳහන් කළේය.

    එසේ නොවන අවස්ථාවකදී දැරූ දැරියන්ගේ ජීවිත පවා හානි වන අවස්ථා දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පෙන්වා දෙයි.

    බී.බී.සී සන්දේශය වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්පූර්ණයෙන්ම උපුටා ගෙන ඇත.

  • හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද ? මනෝ විද්‍යාත්මක රහස් හෙළිවෙයි !

    හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද ? මනෝ විද්‍යාත්මක රහස් හෙළිවෙයි !

    අතීත ළමා සංවර්ධන පර්යේෂණ බොහෝ විට පියවරුන් නොසලකා හැර තිබේ. නමුත් නව අධ්‍යයනවලින් පෙනී යන්නේ මාතෘ නොවන රැකබලා ගන්නන් දරුවන්ගේ හැසිරීම, සතුට සහ සංජානන කුසලතා සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.

    මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ ජීවත් වන මවුවරුන් දඩයම – ආහාර සෙවීම පිණිස පිටත්ව ගිය පසු පවුලේ දරුවන් බලා කියා ගන්නේ ඔවුන්ගේ පියවරුන්ය.

    ඔවුන් තහ දරුවන් බලා ගැනීම, පිරිසිදු කිරීම, ආහාර කැවීම පමණක් නොව ඔවුන් සමග සෙල්ලම් කිරීම පවා කරන අතර ලෝකයේ වෙනත් ඕනෑම සමාජයක පියවරුන්ට වඩා වැඩි කාලයක් තම දරුවන් සමග ගත කරයි. මේ නිසා ‘ලෝකයේ හොඳම තාත්තලා’ බවට මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ පියවරුන් පවත්ව ඇත.

    කෙසේවෙතත්, “හොඳ පියෙක්” වීමේ පුළුල් දැක්ම කාලයත් සමඟ කෙතරම් නාටකාකාර ලෙස වෙනස් වී ඇත්ද යන්න එයින් පෙන්නුම් කරයි.

    1970 දශකය වන තුරුම දරුවන්ගේ දියුණුව සඳහා පියවරුන්ගේ කාර්යභාරය එතරම් අධ්‍යයනය කර නොතිබීම කැපී පෙනේ. ඔවුන්ගේ වැදගත්ම වූයේ පවුලට ආර්ථික වශයෙන් සහයෝගය දැක්වීමයි. මව දරුවා පෝෂණය කිරීම, බලාකියා ගැනීම, ඔහුට රැකවරණය සැලසීම ආදි සියලු කාර්යයන් මවගෙ වගකීම් බවට පත්විය.ෆවුඩ් කුයාලි සිය දරුවන් වන මැසෙන් සහ ජූලීට ඩුබායි හි පිහිටි ඔවුන්ගේ නිවසේදී කියවන අතර එහිදී ඔහු සිරියාවේ ඇලෙප්පෝ සිට පදිංචියට ගියේය (ණය: ගේබ්‍රියෙල් ගලිම්බර්ටි / ආයතනය)

    ෆවුඩ් කුයාලි සිය දරුවන් වන මැසෙන් සහ ජූලීට ඩුබායි හි පිහිටි ඔවුන්ගේ නිවසේදී පොත් කියවන අයුරු

    1970 ගණන්වල සිට පියවරුන් හැදෑරූ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ මයිකල් ලැම්බ් පවසන්නේ “මව්වරුන් සමඟ සබඳතා ඉතා වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ අතර වෙනත් සමාජ සම්බන්ධතා ගැන එතරම් සිතුවිල්ලක් නොතිබුණි. ඒවායින් වඩාත්ම පැහැදිලිව පෙනුනේ පිය-දරු සම්බන්ධතාවයයි – මෙය දරුවන් වයසින් වැඩෙත්ම වඩා වැදගත් යැයි සලකන ලද නමුත් සෑම විටම මවු-දරු සබඳතාවයට ද්විතියික ලෙස සලකනු ලැබීය.”

    නැතහොත් නව පියවරුන් සහ පවුල් සබඳතා පිළිබඳ අධ්‍යයන මාලාවක් කරන ඇම්ස්ටර්ඩෑම් හි වර්ජේ යුනිවර්සිටයිට් හි මේරියන් බේකර්මන්ස්-ක්‍රෙනන්බර්ග් පවසන පරිදි “දෙමාපියන්ගෙන් අඩක් පියවරුන් වන නමුත් දෙමව්පියන් පිළිබඳ පර්යේෂණවලින් 99% ක්ම මව්වරුන් කෙරෙහි අවධානය යොමු කරයි. දැන්, නව පර්යේෂණ වලින් පෙනී යන්නේ දරුවන්ගේ සමාජ ලෝකය කලින් සිතුවාට වඩා පොහොසත් හා සංකීර්ණ බවයි‘‘

    අවධානයට යොමු වී ඇත්තේ තාත්තලා ගැන පමණක් නොවේ. ආච්චිලා – සීයලා, සමලිංගික දෙමව්පියන්, අඩ-දෙමව්පියන් සහ තනිකඩ දෙමව්පියන් ද දරුවෙකු සැබවින්ම දියුණුවට පත් කරන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට පර්යේෂකයන්ට උදව් කර ඇත.

    “මම පසුගිය අවුරුදු 45 පුරා ඉදිරිපත් කිරීමට උත්සාහ කළ තර්කය නම් ඔවුන්ගේ වැදගත්කමෙහි වෙනස්කම් හඳුනා ගැනීමට අපට අවශ්‍යයි. දරුවන්ගේ සංවර්ධනය හැඩගස්වන වැදගත් සබඳතා රාශියක් ඇති බව අප හඳුනාගත යුතුයි” ලැම්බ් – Lamb පවසයි.

    මෑත අධ්‍යයන රැසක් පෙන්නුම් කරන්නේ දෙමව්පියන්ගේ භූමිකාව කෙතරම් නම්‍යශීල විය හැකිද යන්නයි. ඊශ්‍රායලයේ බාර්-ඉලාන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ රූත් ෆෙල්ඩ්මන් සොයාගෙන ඇත්තේ, මව්වරුන් මෙන්, පියවරුන්  තම ළදරුවන් රැකබලා ගැනීමේදී හෝමෝන වර්ධනයක් අත්විදින අතර  එය බන්ධන ක්‍රියාවලියට උපකාරී වන බවයි

    ‘ තාත්තාලා ප්‍රධාන රැකබලා ගන්නන් වන විට ඔවුන්ගේ මොළය අදාළ කර්තව්‍යයට අනුගත වේ‘මනෝ විද්‍යාඥ රූත් ෆෙල්ඩ්මන් පවසයි.

    චිත්තවේගීය මැදිහත්වීම ද වැදගත් වේ.  චිත්තවේගීය ලෙස සම්බන්ධ වූ පියවරු සිටින ළදරුවන් කුඩා දරුවන් ලෙස වඩා හොද මානසික වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුකාලීනව චර්යාත්මක ගැටලු ඇතිවීමේ අවදානම ද අඩුය. වැඩිහිටි දරුවන්ටද ප්‍රතිලාභ ලැබේ. මයිකල් චමරෝ සුවාරෙස්, කොස්ටාරිකාවේ කැහුයිටා හි පිහිටි ඔහුගේ පීසීරියාවේ රාත්‍රී වැඩ කරන නිසා, ඔහුට දිවා කාලයේදී තම දරුවන් සමඟ කාලය ගත කළ හැකිය (ණය: ගේබ්‍රියෙල් ගැලිම්බර්ටි / ආයතනය)

    මයිකල් චමරෝ සුවාරෙස්, කොස්ටාරිකාවේ කැහුයිටා හි පිහිටි ඔහුගේ හෝටලයේ රාත්‍රී වැඩ කරන නිසා, ඔහුට දිවා කාලයේදී තම දරුවන් සමඟ කාලය ගත කළ හැකිය.

    “සබඳතා ඇතිවීමට බලපාන සාධක මවට සහ පියාට එක හා සමානයි” කියා ලැම්බ් පවසයි. 

    “එය සැබවින්ම චිත්තවේගීය වශයෙන් ලබා ගත හැකි අතර, දරුවාගේ අවශ්‍යතා හඳුනා ගැනීම, ඒවාට ප්‍රතිචාර දැක්වීම, දරුවාට අවශ්‍ය සැනසීම සහ සහයෝගය ලබා දීම සිදුවේ”

    අතීත පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇත්තේ මව්වරුන් සහ පියවරුන් කුඩා දරුවන් සමඟ වෙනස් ආකාරයකින් කටයුතු කිරීමට නැඹුරු වන බවයි: මව්වරුන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ මෘදු සැලකිල්ලෙන් වන අතර පියවරුන් සාමාන්‍යෙයන් කුඩා දරුවන් සමග බැදී සිටින්නේ කෙළිසෙල්ලම් කිරීම මගිනි. නමුත් ලැම්බ් පවසන්නේ ස්ත්‍රී පුරුෂ භාවය හා ළමා සුරැකුම් බෙදීම සමඟ ඇති සම්බන්ධය අඩු බවයි.

    සමලිංගික ජෝඩු සහ නිවසේ රැඳී සිටින තාත්තලා පිළිබඳ අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා දිවා කාලයේ වැඩ කරන්නේ දෙමව්පියන් බවත් සවස් වරුවේ නිවසට පැමිණෙන බවත්, තම දරුවා රැගෙන යාම වැනි දේ කිරීමට නැඹුරු වන බවත්ය. දවස පුරාම දරුවා බලා ගන්නා මවුපියන්ට දරුවන් සමඟ වඩාත් සන්සුන්ව කටයුතු කිරීමට ඉඩ තිබේ.හයිටි ගඟ අසබඩ ජීවත් වන ජොනී ලැබොසියර් තම දියණිය සමඟ කැමතිම ක්‍රියාකාරකමක් වන්නේ ජලයේ සෙල්ලම් කිරීමයි (ණය: ගේබ්‍රියෙල් ගැලිම්බර්ටි / ඉන්ස්ටිටියුට්)

    හයිටි ගඟ අසබඩ ජීවත් වන ජොනී ලැබොසියර් තම දියණිය සමඟ කැමතිම ක්‍රියාකාරකමක් වන්නේ ජලයේ සෙල්ලම් කිරීමයි

    විෂය ලිංගික ජෝඩු අතර දරුවන් කෙරෙහි වැඩිම බලපෑමක් හා කාලය ගත කිරීමක් දැකිය හැක්කේ මවුවරුන් තුළිනි. සමාජ – ආර්ථික හේතු ඊට පදනම වේ.

    ඉන් එකක් නම් දෙමාපියන්ගේ නිවාඩු ලබා ගැනීමයි. එක්සත් ජනපදය හැර අනෙකුත් සියලුම ඕඊසීඩී රටවල් ගෙවන මාතෘ නිවාඩු ලබා දෙන අතර  අවම වශයෙන් මාස දෙකක කාලයක් පවතින වැටුප් සහිත පීතෘ නිවාඩු ලබා දෙන්නේ රටවල් කිහිපයක් පමණකි. මේ අතර, පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ද ප්‍රධාන හේතුවක් වී තිබේ. කාන්තාවන්ට ගෙවන වැටුප සාපේක්ෂව අඩුවීම නිසා තරුණ මවුරුන්ට වැඩි වැඩියෙන් සේවය කිරීමට සිදුවේ. මෙම රටවල කාන්තාවන්ගේ වැටුප පිරිමින්ට සාපේක්ෂ 13.8%ක් අඩුවේ. (මධ්‍ය ඉපැයීම් මත පදනම්ව).

    දෙමව්පියන්ගේ නිවාඩු පමණක් පිළිතුර නොවන්නේ මන්ද යන්න පැහැදිලි කිරීමට මෙය උපකාරී වේ. එක්සත් රාජධානියේ, හවුල් දෙමාපිය නිවාඩු ලබා ගත හැකි ජෝඩුවලින් එය ලබා ගන්නේ 2%ක් පමණකි !  බාර්සිලෝනාහි අවන්හල් විචාරකයෙකු වන ජෝර්ඩි ලූක් බොහෝ විට ඔහුගේ සිව් හැවිරිදි පුත් රායිට හොඳ ආහාර පිළිබඳ දැනුවත් කිරීමේ ක්‍රමයක් ලෙස රස බැලීමට ගෙන එයි (ණය: ගේබ්‍රියෙල් ගැලිම්බර්ටි / ඉන්ස්ටිටියුට්)

    බාර්සිලෝනාහි අවන්හල් සේවකයෙකු වන ජෝර්ඩි ලූක් බොහෝ විට ඔහුගේ සිව් හැවිරිදි පුත් රායිට හොඳ ආහාර පිළිබඳ දැනුමක් ලබාදීමට ඒවා නිවසට රැගෙන එයි

    ඇත්ත වශයෙන්ම, බොහෝ ප්‍රශංසාවට ලක් වූ මධ්‍යම අප්‍රිකානු ප්‍රජාව අතර පවා, ළමයින් රැකබලා ගැනීමේ කටයුතුවල බහුතරය කාන්තාවන් කරයි. ඔවුන් තම ළදරුවන් සමඟ දඩයමේ යන අතර ඔවුන් රැකබලා ගැනීම, පෝෂණය කිරීම ද කරයි. එහෙත් කිසිවෙකු තවමත් ඔවුන් ලෝකයේ හොඳම මව්වරුන් ලෙස ප්‍රකාශයට පත් කර නැත.

    නමුත් ළදරුවන රැකබලා ගැනීමට මුල සිටම තාත්තලා වැඩිපුර සම්බන්ධ කර ගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. සෙල්ලම් කිරීම, එය සන්සුන්ද, ඝෝෂාකාරීද යන්න නොසලකා එමගින් විශේෂ වාසි රැසක් ලැබේ.

    කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය, සංවර්ධනය හා ඉගෙනීම පිළිබඳ පර්යේෂණ කරන පෝල් රාම්චන්දනි පවසන්නේ “සෙල්ලම් කිරීම ළමා කාලයේ භාෂාවයි: එය ළමයින් ලෝකය ගවේෂණය කරන ආකාරය සහ ඔවුන් අනෙක් දරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගන්නා ආකාරයයි‘

    පෝල් රාම්චන්දනි සහ ඔහුගේ කණ්ඩායම ජීවිතයේ පළමු මාසවලදී පියවරුන් තම ළදරුවන් සමඟ සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කළ අතර පසුව දරුවන්ගේ සංවර්ධනය නිරීක්ෂණය කළහ. කලින් උපකල්පනය කළ දෙයට වඩා පියා-ළදරු අන්තර්ක්‍රියා ඉතා වැදගත් බව ඔවුන් සොයා ගත්හ.

    ක්‍රියාශීලී හා ක්‍රීඩාවේ යෙදී සිටින ළදරුවන්ට වයස අවුරුද්ද සම්පූර්ණ වන විට චර්යාත්මක දුෂ්කරතා අඩුවිය. ඔවුන් සංජානන පරීක්ෂණ දෙකකින් වඩා හොදින් සමත් වූ අතර උදාහරණයක් ලෙස හැඩතල හඳුනා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක විය. මෙම ප්‍රතිඵල මව සමඟ දරුවා සමඟ ඇති සම්බන්ධතාවයෙන් ස්වාධීන විය.රිස්වාන් ෂෙයික් සහ ඔහුගේ දියණියන් ඉන්දියාවේ මුම්බායි හි වඩාල මුඩුක්කුවේ පිහිටි ඔවුන්ගේ නිවසේ;  තුන් හැවිරිදි සෆිනා වෛද්‍යවරයකු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ (ණය: ගේබ්‍රියෙල් ගැලිම්බර්ටි / ආයතනය)

    රිස්වාන් ෂෙයික් සහ ඔහුගේ දියණියන් ඉන්දියාවේ මුම්බායි හි වඩාල මුඩුක්කුවේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී. තුන් හැවිරිදි සෆිනා වෛද්‍යවරියක වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.

    ප්‍රතිඵල පැහැදිලි හේතු සම්බන්ධකයක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතු බවට රාම්චාන්දනි අනතුරු අඟවයි. දරුවන්ගේ දියුණුවට සෘජුවම බලපානවා වෙනුවට දුරස්ථ තාත්තාගේ හැසිරීම පවුලේ වෙනත් ගැටළු වල සංඥාවක් විය හැකිය. කෙසේවෙතත්, ඔබේ දරුවා බඩගාගෙන කතා කිරීමට බොහෝ කලකට පෙර ඔහු සමඟ සන්නිවේදනය කිරීම දිරිගැන්වීමක් ලෙස ඔහු දකී.

    ‘‘මම හරි දේ කරනවා. ඇත්ත වශයෙන්ම, නව මව්වරුන්ටද ඒ හා සමාන පැකිලීමක් දැනිය හැකියි‘

    නමුත් රාම්චාන්දනී පවසන්නේ ‘‘දරුවා ඔබේ උකුල මත හිඳගෙන සිටීම, ඇස් ස්පර්ශ කිරීම සහ ඔවුන් කරන සුළු ක්‍රියාකාකරම් නිරීක්ෂණය කිරීම සරල දෙයක් විය හැකියි. එය සම්බන්ධ කර ගැනීම වඩාත්ම වැදගත් ම දෙයයි. මන්ද ඔබ එය පුරුදු කළහොත් ඔබට එය වඩා හොඳක් වේවි. එය සෑම කෙනෙකුටම ස්වභාවිකව පැමිණෙන දෙයක් නොවෙයි. සමහර අයට එය ඇත්තෙන්ම හොඳයි‍. නමුත් බොහෝ මිනිසුන්ට එය ප්‍රායෝගිකයි ”ඔහු පවසයි.ඉතාලියේ ෆ්ලෝරන්ස් හි වෙසෙන සංගීත ian යෙක් වන ඩේවිඩ් වුඩ්ස්ගේ සංගීත භාණ්ඩ ඔහුගේ දරුවන් වන නෝවා සහ ඉයන් සඳහා වාදනය වී ඇත (ණය: ගේබ්‍රියෙල් ගලිම්බර්ටි / ආයතනය)

    ඉතාලියේ ෆ්ලෝරන්ස් හි වෙසෙන සංගීතඥයෙක් වන ඩේවිඩ් වුඩ්ස්ගේ සංගීත භාණ්ඩ ඔහුගේ දරුවන් වන නෝවා සහ ඉයන් සඳහා වාදනය කිරීමට නිතරම සූදානම්ය.

    බොහෝ ආකාරවලින් පියවරුන් වෙන කවරදාටත් වඩා වර්තමානයේ තම දරුවන් සමග සම්බන්ධ වී සිටී. පියවරුන්ගේ ක්‍රීඩා කණ්ඩායම්, පියවරුන්ට පමණක් පැමිණිය හැකි ළදරු සම්බාහන පන්ති සහ පියා සහ ළදරුවන් සහභාගී වන නර්තන කණ්ඩායම් සහ ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා ද අද විශාල වර්ධනයක් පෙනනුම් කරයි.  

    නමුත් දෙමව්පියන් විසින් තම දරුවන් වෙනුවෙන් ඉටුකළ යුතු වැඩකටයුතුවල වැඩි ප්‍රමාණයක් තවමත් කාන්තාවන් / මව විසින් කරනු ලබන බව පෙනේ. ලොව පුරා කාන්තාවන් පිරිමින්ට වඩා ළමා රැකවරණය ඇතුළුව නොගෙවන සේවා සදහා පිරිමින්ට වඩා 10 ගුණයක කාලයක් ගත කරයි.

    නූතන පියවරුන් පිළිබඳ පොතක් වන ‘ද ලයිෆ් ඔෆ් ඩැඩ් – The Life of Dad, හි කතුවරයා වන ඇනා මචින් Anna Machin මෙසේ පවසයි. “අපි පියවරුන් දෙස බලන ආකාරය අනුව අපි සන්ධිස්ථානයක සිටිමු‘‘

    මචින් තර්ක කරන්නේ බොහෝ පියවරුන් නිවසේදී වඩාත් ක්‍රියාශීලී වීමට කැමති වුවත්, සේවා ස්ථානය මේ සඳහා සැබවින්ම අනුගත වී නොමැති බවයි. ‘රැකියා සහ ව්‍යවසායක පරිසරය පවුල වෙනුවෙන් පියවරුන්ට වැය කළ හැකි කාලය සීමාකර තිබෙනවා. සමාජ- දේශපාලන හා සංස්කෘතික කටයුතු ද එක් වූ විට ඔවුන් සැබැවින්ම යන්ත්‍ර හා සමානයි. කාලය … එය තමයි ගැටලුව‘

    ටකේෂි මසුමා ටෝකියෝ හි ගණකාධිකාරීවරයෙකු ලෙස පැය 40 ක් වැඩ කරයි.  තම දියණියන් සමඟ ගත කළ කුඩා විවේක කාලයේදී ඔහු ඔවුන්ව කැරෝකී වෙත ගෙන යාමට කැමතියි (ණය: ගේබ්‍රියෙල් ගැලිම්බර්ටි / ආයතනය)

    ටකේෂි මසුමා ටෝකියෝ හි ගණකාධිකාරීවරයෙකු ලෙස සතියට පැය 40 ක් වැඩ කරයි. තම දියණියන් සමඟ ගත කළ හැකි කුඩා විවේක කාලයේදී ඔහු ඔවුන්ව කැරෝකී සමාජශාලා වෙත ගෙන යාමට කැමතියි

    බොහෝ පවුල් මුහුණ දෙන මූල්‍යමය පීඩනයන් සැලකිල්ලට ගෙන, වඩාත් සාම්ප්‍රදායික භූමිකාවන් වෙත නව පියවරු ආපසු හැරීමක් සිදුවනු ඇතැයි Anna Machin බිය වේ:

    “ඔබ දැන් තාත්තා කෙනෙක් නම්, ඔබට පවුල සමග වැඩි කාලයක් සම්බන්ධ වීමට අවශ්‍ය නම්, ඔබ සේවා ස්ථානයේ පුරෝගාමියෙකු විය යුතුයි. පියවරුන් වුවත් වහාම  ‘පිරිමින් නැවත වැඩට යති’ යන සංස්කෘතියට එරෙහිව ඔබ යා යුතුයි. ‘ඇත්තටම මට මගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍යයි’ යන්න ඔබට වැටහී යා යුතුයි‘‘ ඇනා පවසයි.

    “ඒක කරන්න අමාරු දෙයක්.”

    වඩා සමාන බෙදීමකින් දිගුකාලීන ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකිය. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥයින් වන හෙලන් නෝමන් සහ කොලෙට් ෆැගන් විසින් මෙහෙයවන ලද පර්යේෂකයන් සොයා ගත් පරිදි , දරුවා මාස නවයක් වයසැති විට දරුවාට සමානව ළමාරක්ෂාව බෙදාගන්නේ නම්, වයස අවුරුදු තුනේදී පියවරුන් ඊට සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇත. 

    ස්කොට්ලන්තයේ, පවුල් 2500 කට වඩා වැඩි සංඛ්‍යාවක කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, දරුවන්ගේ යහපැවැත්ම සඳහා මවු-දරු සබඳතා මෙන්ම සහයෝගය දක්වන පිය-දරු සබඳතා වැදගත් බවයි.

    අට හැවිරිදි රෙනේට් ලැට්වියාවේ කුල්ඩිගා හි වඩු කාර්මිකයෙකු වන ඇගේ පියා වන එරික්ස් ඔෆිසියර්ට උදව් කිරීමට ප්‍රිය කරන අතර ඇයට පාසලක් නොමැති සෑම අවස්ථාවකදීම පැමිණේ (ණය: ගේබ්‍රියෙල් ගැලිම්බර්ටි / ආයතනය)

    අට හැවිරිදි රෙනේට් ලැට්වියාවේ කුල්ඩිගා හි වඩු කාර්මිකයෙකු වන ඇගේ පියා වන එරික්ස් ඔෆිසියර්ට උදව් කිරීමට ප්‍රිය කරන අතර ඇයට පාසලක් නොමැති සෑම අවස්ථාවකදීම තම පියාගේ වඩු මඩුවට පැමිණේ

    සමහර විට කවදා හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු (පිරිමි) දිවා සුරැකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම සාමාන්‍ය දසුනක් වනු ඇත. මේ අතර, හොඳ දෙමව්පියෙකු වීමට අසංඛ්‍යාත ක්‍රම ඇති බව වටහා ගැනීම තාත්තලාට සැනසීමක් ද වනු ඇත.

    “අප ඉගෙන ගත් එක් කරුණක් නම් පරමාදර්ශී පියාගේ ආකෘතියක් නොමැති බවයි. පියා විසින් කළ යුතු දේ හෝ ඔහු අනුකරණය කළ යුතු හැසිරීම පිළිබඳ වට්ටෝරුවක් නොමැත ” ලැම්බ් පවසයි.

    අවසානයේදී, ඔහු පවසන්නේ, එය චිත්තවේගීයව ලබා ගත හැකි වීම සහ දරුවාගේ අවශ්‍යතා සපුරාලීම ගැන ය. 

    “විවිධ පුද්ගලයින් එය විවිධාකාරයෙන් කරනවා. ‘තාත්තලාට එය පුරුෂ ස්වරූපයෙන් කළ යුතුද ? ‘ පිළිතුර නැත, ඔවුන්ට එය අවශ්‍ය නැත. ඔවුන් එය කළ යුත්තේ ඔවුන්ට අර්ථවත් වන, අව්‍යාජ යැයි හැඟෙන, තම දරුවා සමඟ සම්බන්ධතාවයේ පූර්ණ හා සුහදව කටයුතු කිරීමට ඔවුන්ට ඉඩ සලසන අයුරිනි.”

    බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Covid-19 එන්නත ගත්තොත් කාන්තාවන් ‘වඳ’ වෙයිද ?

    Covid-19 එන්නත ගත්තොත් කාන්තාවන් ‘වඳ’ වෙයිද ?

    කොවිඩ් එන්නත කාන්තාවන්ගේ සශ්‍රීකත්වයට බලපානු ඇතැයි සමාජ මාධ්‍යවල ප්‍රකාශ පදනම් විරහිත බව ඒ පිළිබද අධ්‍ය්‍යනවල නිරත වූ විශේෂඥයෝ පවසති.

    සමාජමාධ්‍ය විසින් පසුගිය දිනවල පවසා සිටියේ ෆයිසර් එන්නත කාන්තාවන්ගේ වඳභාවයට හේතු විය හැකි බවයි, නැතහොත් ඔවුන්ගේ ශරීර වැදෑමහ විනාශ කිරීමට / ආසාදනය කිරීමට හේතු විය හැකි බවයි.

    නමුත් එන්නත ඔබේ සශ්‍රීකත්වයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක සාක්ෂි” නොමැති බව ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්යවරයෙක් සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ප්‍රකාශක මහාචාර්ය ලුසි චැපල් පවසයි.

    එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?

    එන්නත ක්‍රියාත්මක වන්නේ කොරොන වයිරසයේ සුවිශේෂී “ස්පයික් – Spike” හි කුඩා හානිකර නොවන කැබැල්ලක් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසමින් බ්ලූපින්ට් එකකින් ශරීරයට පණිවිඩයක් යැවීමෙනි.

    මෙය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කිරීමට පොළඹවන අතර, ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා නිපදවයි. (සහ ඔබට කොරෝන -19 වෛරසය නැවත හමු වුවහොත් එය හඳුනා ගනී)

    එයට ඔබේ ජානමය තොරතුරු Genetic information.වලට බලපෑම් කිරීමේ ක්‍රමයක් නොමැත.

    මෙම “මැසෙන්ජර් අංශු Messenger particles ” අතිශයින් කෙටිකාලීන ය: ඒවා පණිවුඩය ලබා දෙන අතර පසුව ඒවා විනාශ වේ. විශේෂයෙන් ෆයිසර් එන්නත ඉතා පරිස්සමින් ගබඩා කළ යුත්තේ එබැවිනි. (ජානමය ද්‍රව්‍ය කඩා වැටී ඉතා පහසුවෙන් නිෂ්ඵල වේ)

    ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මහාචාර්ය නිකොලා ස්ටෝන්හවුස් පැවසුවේ මෙය ප්‍රජනක සෞඛ්‍යයට බලපෑමක් ඇති කළ හැකි යැයි සිතිය හැකි ක්‍රමයක් නොමැති බවයි.

    සාක්ෂි පවසන්නේ කුමක්ද?

    ෆයිසර් එන්නත සාරවත්බව කෙරෙහි බලපෑමක් ඇති කළේද යන්න “නොදන්නා” බව පවසමින් එක්සත් රාජධානියේ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශයේ පෙර සංස්කරණයේ උපුටා ගැනීම් සමහර අය පෙන්වා දී ඇත. සතුන් යොදා කළ අධ්‍යයනයන් මගින් ප්‍රජනක පද්ධතියට කිසිදු හානිකර බලපෑමක් නොපෙන්වන බව පැහැදිලි කිරීම සඳහා මෙය යාවත්කාලීන කර ඇත.

    මෙහි ඇති ව්‍යාකූලත්වයේ කොටසක් වන්නේ විද්‍යාඥයන් දේවල් විස්තර කරන ආකාරය හා සසඳන විට අපගේ දෛනික ජීවිතයේදී අපගෙන් බොහෝ දෙනෙක් ඒවා තේරුම් ගන්නේ කෙසේද යන්නයි.

    විද්‍යාඥයින් “කිසිදු සාක්ෂියක් නොමැති” බව පවසන විට ඔවුන් අදහස් කරන්නේ මෙම විශේෂිත එන්නත පිළිබඳව දීර්ඝ කාලීන අධ්‍යයනයක් කර නොමැති බවයි. නමුත් එයින් අදහස් කරන්නේ මෙහි කිසිදු තොරතුරක් නොමැති බව හෝ අපි අඳුරේ වෙඩි තබන බවයි.

    ඇත්ත වශයෙන්ම, මහාචාර්ය චැපල් පෙන්වා දුන්නේ, උණ ජබ් ඇතුළු අනෙකුත් සජීවී නොවන වෛරස් එන්නත් වලින් සාරවත්බව කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බවත් ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත් ගර්භණී සමයේදී භාවිතා කිරීමට නිර්දේශ කරන බවත්ය.

    කොවිඩ් වෛරසය ලබා ගැනීම (එන්නතෙන් ආරක්ෂා වන) සාරවත්බව කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය, එබැවින් “එන්නතෙන් පසුව ඔබට වඩා කොවිඩ් පශ්චාත් සශ්‍රීකත්ව ගැටළු ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබේ” යැයි මහාචාර්ය ස්ටෝන්හවුස් පැවසීය.

    ව්‍යාජ වැදෑමහ හිමිකම්

    වැදෑමහ සෑදීම සඳහා භාවිතා කරන ප්‍රෝටීන ද එහි අඩංගු බැවින් එන්නත සශ්‍රීකත්වයට තර්ජනයක් විය හැකි බවට සමහර කටකතා යෝජනා කර ඇත. මෙය වැදෑමහයට පහර දීමට ශරීරය හේතු විය හැකි බව සමාජ මාධ්‍යවල පළ වී තිබේ.

    මෙය සත්‍යයක් නොවේ – එන්නතෙහි වැදෑමහ වර්ධනය සඳහා භාවිතා කරන ප්‍රෝටීන වලට තරමක් සමාන ප්‍රෝටීන ඇති නමුත් ශරීරය ව්‍යාකූල කිරීමට තරම් සමාන නොවේ.

    එන්නත 'අසත්‍යය' යනුවෙන් ලේබල් කර ඇති වැදෑමහයට හානි කළ හැකි යැයි පවසමින් සමාජ මාධ්‍ය පළ කිරීම.

    අදාළ ප්‍රෝටීන වල සමානකම් ඇති බව “කිසිවක් අදහස් නොකෙරේ” මහාචාර්ය චැපල් පවසයි. සොබාදහමේ විවිධ ස්ථානවල සමාන ප්‍රෝටීන රාශියක් පවතින බැවින් ඒවායේ නිරවද්‍ය දිග හා අනුක්‍රමය නිසා ඒවා සුවිශේෂී වේ.

    ගර්භනී කාන්තාවන්ගේ සහ පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය චැපල් පැවසුවේ සාරවත්බව සහ කොවිඩ් එන්නත පිළිබඳව තමාට කිසිදු තැකීමක් නොමැති බවයි.

    එංගලන්තයේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරි ජොනතන් වැන්-ටම් බීබීසී නරඹන්නන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ “සාරවත්බව කෙරෙහි බලපාන එන්නතක් ගැන මා අසා නැත” යනුවෙනි.

    ඔහු එම යෝජනාව විස්තර කළේ “සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වන්නේ නපුරු, හානිකර බිය උපදවන කතාවක්, නමුත් එපමණයි”

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Covid-19 එන්නත්: ලෝකයේ අලුත්ම තත්ත්වය කුමක්ද ?

    Covid-19 එන්නත්: ලෝකයේ අලුත්ම තත්ත්වය කුමක්ද ?

    සිය එන්නත් වැඩපිළිවෙලට තවත් අරමුදල් පරිත්‍යාගකරන්නැයි කෝවැක්ස් සැලසුම රටවලින් ඉල්ලා සිටී

    කොරෝනාවෛරසයට එරෙහි එන්නත බෙදාහැරීම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනා මතුකරන ප්‍රශ්නයකි – මට එන්නත ලැබෙන්නේ කවදාද? අතළොස්සක් රටවල් ඉතා සුවිශේෂී ඉලක්ක සකසා තිබුණද ලොව අනෙකුත් රටවල තත්ත්වය එතරම් පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් අප මෙතෙක් දැනසිටින්නේ කුමක්ද?

    කෝවිඩ්-19 රෝගයට එරෙහිව ලෝකය එන්නත් කරවීම ජීවිතය හා මරණය අතර වැදගත් කරුණකි.

    මේ සඳහා සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාදාම, බහුජාතික සමාගම්, ආණ්ඩුවල එකිනෙකට පරස්පර වූ බොහෝ පොරොන්දු මෙන්ම අධික නිලධාරීවාදය හා රෙගුලාසි බලපෑ ඇති අතර ඒ නිසාම, ලොව පුරා එන්නත් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම එතරම් සරල කරුණක් වී නැත.

    ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (Economist Intelligence Unit – EIU) හි ගෝලීය පුරෝකථන අංශයේ අධ්‍යක්ෂ අගතේ ඩෙමරයිස්, මේ සම්බන්ධයෙන් වඩා පරිපූර්ණ පර්යේෂණයක් කළ අයෙකි.

    An illustration of a needle and a vaccine dose

    එන්නත නිෂ්පාදන ලෝක ධාරිතාව මෙන්ම එම එන්නත් ජනතාව අතට පත්කිරීමට අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම්, ඊට තරග කරද්දී රටකට ඇති ජනගහනයේ ප්‍රමාණය මෙන්ම ඒ සඳහා කෙතරම් වියදමක් දැරිය හැකිද යන කරුණු සම්බන්ධයෙන් EIU ආයතනය විමසා බැලීය.

    මෙයින් සොයාගත් බොහෝ කරුණු පුරෝකථනය කළ අයුරින් අදාළවන්නේ ධවත් හා දුගී යන්න මතය. මේ වනවිට එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සැපයුම් හොඳින් ලැබී තිබෙන්නේ එන්නත් සොයාගැනීම හා නිෂ්පාදනය සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට තිබූ හැකියාව නිසා ම එන්නත් පොරොත්තු ලේඛනයේ ඉහළින් ම හිඳීම හේතුවෙනි.

    කැනඩාව මෙන්ම යුරෝපා සංගමයේ ඇතැම් ධනවත් රටවල් ද හිඳින්නේ තරමක් පසුපසිනි.

    අඩු ආදායම්ලාභී රටවල් බොහොමයක් තවමත් එන්නත්කරණ වැඩසටහන් අරඹා නැත. නමුත් පුදුමය දනවන ඇතැම් කරුණු ද මේ අතර වේ. ලොව පුරා එන්නත් දියත්කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බලමු.

    ගෝලීය එන්නත් දියත්කිරීම

    එන්නත ලබාදීමේ ප්‍රගතිය විමසා බැලීම පිණිස රටක හෝ ප්‍රදේශයක නම සටහන් කරන්න

    මාත්‍රා ගණන

    සිය ජනගහනය ආවරණය කිරීමට අවශ්‍ය සැපයුම් ප්‍රමාණයට වඩා පස්ගුණයක් වූ ප්‍රමාණය මිලදී ගැනීමට ක්‍රියා කළ හේතුවෙන්, පසුගිය වසරේ අගදී කැනඩාවට චෝදනා එල්ල විණි. එසේ වුවද, සැපයුම්වල ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහළට ඒමට එරටට නොහැකි වී ඇත.

    එසේ කිරීමට හේතුව නම් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ අපනයන තහනමක් පැනවෙනු ඇතැයි පළවූ අවධානය මත කැනඩාව යුරෝපා නිෂ්පාදනාගාරවල නිපැයෙන එන්නත් සඳහා ආයෝජනය කිරීමට තෝරාගැනීමය. එහෙත් එය එරට තැබූ වැරදි සහගත ඔට්ටුවක් විය.

    සැපයුම් සම්බන්ධයෙන් යුරෝපා නිෂ්පාදනාගාර අරගලයක යෙදුනු අතර අවසානයේ ඇමෙරිකාව නොව, අපනයන සඳහා මෑතදී තහනම් පනවන බවට තර්ජනය කළේ යුරෝපා සංගමය ය.

    “යුරෝපා වෙළෙඳපොළට සෑහෙන තරම් එන්නත් නොලැබුණොත්, කැනඩාව වෙත විශාල අපනයනයක් කරන්නට නොහැකි වේවි යැයි මා හිතනවා,” අගතේ ඩෙමරයිස් පැවසුවාය.

    නමුත් සිතුවාට වඩා හොඳින් මේ කාර්යය ඉෂ්ඨ කිරීමේ නිරත රටවල් ද වෙති.

    මේ ලිපිය ලියන අවස්ථාව වනවිට යුරෝපයේ අනෙකුත් රටල් ද අභිබවමින් ප්‍රතිශතාත්මකව සිය ජනගහනය එන්නත් කළ ලොව අටවෙනි රට බවට සර්බියාව පත්ව සිටී. එක් අතකින් කාර්යක්ෂමව එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සර්බියාවේ මෙම සාර්ථකත්වයට හේතුවුව ද එන්නත් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික භාවයේ වාසිය ද ඊට එක්ව තිබේ. එනම් නැගෙනහිර යුරෝපය තුළ බලපෑමක් ඇතිකිරීම සඳහා රුසියාව හා චීනය අතර ඇති සටන මෙයට හේතුවී ඇත. රුසියාවේ ස්පුත්නික් වී (Sputnik V) සහ චීනයේ සිනොෆාම් (SinoPharm) යන එන්නත් වර්ග දෙක ම ඇති රටවල් ස්වල්පය අතරින් සර්බියාව ද එකකි.

    නිල වශයෙන් කියවෙන ආකාරයට ෆයිසර්, ස්පුත්නික් හෝ සිනොෆාම් යන එන්නත්වලින් තමන්ට රිසි වුවක් ලබාගැනීමේ අවස්ථාව සර්බියානුවන්ට දී ඇතැයි පැවසේ. සත්‍යවශයෙන් ම බොහෝ පිරිසකට ලබාදෙන්නේ සිනොෆාම් එන්නත ය. චීනය මුදාහරින බලපෑම දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි පෙනෙන්නට තිබේ. සිනොෆාම් හි පළමු හා දෙවැනි මාත්‍රා ලබාගන්නා රටවල්, අන්නගතයෙදී තමන්ට බලගැන්වීම් මාත්‍රා අවශ්‍යනම් ඒ සඳහා ද චීනය වෙත යොමු වීමට ඉඩ ඇත.

    සිනොෆාම් එන්නත මත බලවත් සේ යැපෙන තවත් රටකි එක්සත් අරාබි එමීර් රාජ්‍යය. මේ වනවිට එහි එන්නත් කර ඇති මාත්රාවලින් 80% ක් ම සිනොෆාම් වන අතර එම නිෂ්පාදනාගාරයක් සිය රටෙහි ඉදිකිරීමට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබේ.

    “චීනය පැමිණෙන්නේ නිෂ්පාදනාගාර, පුහුණු සේවකයින් සමග වන බැවින් චීනයට දිගු කාලීන බලපෑමක් හිමිවෙනවා,” යැයි අගතේ පවසන්නීය. “ඒ වගේම මේ එන්නත් ලබාගන්නා ආණ්ඩුවලට අනාගතයේදී ඕනෑම දෙයකට බැහැ කියන්න බැරි වන ආකාරයේ ඉතා දුෂ්කර අවස්ථාවකට පත්වේවි.” යැයි ද ඇය පෙන්වා දෙන්නීය.

    කෙසේවෙතත් ලෝක මට්ටමේ එන්නත් පිළිබඳ සුපිරි බලයක් තිබීමේ අර්ථය පළමුවෙන් සිය ජනගහනය එන්නත් කිරීම ම නොවේ.

    EIU හි පර්යේෂණවල පුරෝකථනයට අනුව ලෝකයේ සුපිරි එන්නත් නිෂ්පාදකයින් වන චීනය හා ඉන්දියාවට 2022 වසර අග වන තෙක් සිය ජනතාව ප්‍රමාණවත් තරම් එන්නත් කිරීමට නොහැකි වනු ඇත. දෙරටේම ඇති විශාල ජනතාවක් හිඳීම හා සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය මීට හේතුවේ

    කොවිඩ් එන්නත: “රටේ ජනතාව බේරා ගැනීමට තියෙන හොඳම ආයුදය එන්නත්කරණයයි”

    ප්‍රක්ෂේපණය

    කෝවිඩ් එන්නත නිෂ්පාදනයේ දී ඉන්දියාවේ සාර්ථකත්වය විශාල වශයෙන් ම රඳන්නේ එක් පුද්ගලයෙකු මතය. ඒ, අදර් පූනවල්ලා. ඔහුට අයත්, ඉන්දියාවේ පිහිටි සීරම් ආයතනය (Serum Institute) ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වේ.

    නමුත් පසුගිය වසරේ මැදදී අදර් ගේ පවුලේ සාමාජිකයින් සිතන්නට වූයේ ඔහුගේ සිහි කල්පනාව අඩුවී ඇති දැයි කියාය. ඔහු ඩොලර් මිලියන සියගණනක් වූ තම මුදල් එන්නත් වෙනුවෙන් ඔට්ටු තැබුවේ ඒවා සාර්ථක වේ දැයි නොදැන ය.

    එම එන්නත් අතරින් පළමු වන්න ලෙස, ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා විසින් නිර්මාණය කරන ලද එන්නත ජනවාරියේදී ඉන්දියානු ආණ්ඩුවට සැපයිණි. දැන් ඔහු දිනකට මාත්‍රා මිලියන 2.4ක ප්‍රමාණයක් නිපදවයි.

    ඔහුගේ සමාගම ඉන්දියාවේ ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනාගෙන් එකක් වන අතර බ්‍රසීලය, මොරොක්කෝ, බංග්ලාදේශ් හා දකුණු අප්‍රිකාව වෙත ද එන්නත් සපයයි.

    “පීඩනය වගේම මේ හැම පිස්සුවක් ම දැන් ඉවර වේවි, අපි ඒ නිෂ්පාදනය හැදුවා” යැයි කී ඔහු “නමුත් සැබෑ ම අභියෝගය හැම දෙනාම සතුටින් තබන එකයි” යැයි ද සඳහන් කළේය.

    “තවත් නිෂ්පාදකයින්ට සැපයුම් කළ හැකි වේ යැයි මං හිතවා. නමුත් කණගාටුව නම්, මේ වනවිට, අඩුම තරමේ 2021 පළමු කාර්තුවෙදී නැතිනම් දෙවෙනි කාර්තුවේදීවත් සැපයුමේ සැලකිය යුතු ඉහළ යාමක් දකින්න ලැබෙන්නේ නැහැ.”

    එන්නත්

    එක රැයකින් නිෂ්පාදනය වැඩි කළ නොහැකි බව ඔහු කියා සිටී.

    “ඒකට කල් ගතවෙනවා,” යැයි පෙන්වා දෙන පූනවල්ලා, “මිනිස්සු හිතන්නේ සීරම් ආයතනයට මැජික් ද්‍රාවණයක් තියෙනවා කියලයි. ඔව්, අපි කරන දේ හොඳින් කරනවා නමුත් ඒක මැජික් යෂ්ටියකින් නෙවෙයි.” යැයි සඳහන් කරයි.

    ඔහු දැන් සිටින්නේ ප්‍රමුක තත්ත්වයක ය. ඊට හේතුව නම්, පසුගිය වසරේ මාර්තුවේදී ඉඩ පහසුකම් ඉදිකිරීම ඇරඹු ඔහු රසායන ද්‍රව්‍ය මෙන්ම වීදුරු කුප්පි වැනි දේ තොග රැස්කිරීම අගෝස්තුවේදී ආරම්භ කිරීම ය.

    නිෂ්පාදනය අතරතුරදී නිපැයූ එන්නත් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස්විය හැකි අතර ම යම් දේ වැරදීමට ද ඕනෑ තරම් අවස්ථා ඇත.

    “එය විද්‍යාව වගේම කලාවක්” අගතේ පවසන්නීය.

    දැන් නිෂ්පාදනය අරඹන නිෂ්පාදකයින්ට එන්නත නිපදවිය හැකිවන්නේ තවත් මාස ගණනකිනි. වෛරසයේ අලුත් මාදිලිවලට මුහුණදීම සඳහා කිසියම් බලගැන්වීම් මාත්‍රා නිපදවීමට ද මෙම තත්ත්වය ම අදාළ වේ.

    කෝවැක්ස් පහසුකම (Covax facility) නම් වැඩපිළිවෙල යටතේ පළමුව ඉන්දියාවටත් දෙවනුව අප්‍රිකාවටත් එන්නත් සැපයීමට කැපවන බව පූනවල්ලා කියා සිටී.

    කෝවැක්ස් යනු, ලෝක සෞඛ්‍ය සංවිධානය, එන්නත් පිළිබඳ සන්ධානයක් වන ගැවි (Gavi) සහ පූර්ව වසංගත සූදානම් මධ්‍යස්‌ථානය (CEPI – Centre for Epidemic Preparedness) යන පාර්ශවවල මුලිකත්වයෙන් සැකසුනු වැඩපිළිවෙලකි. දැරිය හැකි මිල කට ලොව සෑම රටකටම එන්නත් ලබාදීම එහි ඉලක්කය වේ.

    එන්නත් සඳහා වියදම් දැරිය නොහැකි රටවලට විශේෂ අරමුදලක් හරහා ඒවා සැපයේ. අනෙකුත් රටවල් ඒ සඳහා මිලක් ගෙවිය යුතුය. නමුත් මෙහි අරුත තමන් ම මේ සඳහා පියවර ගනු වෙනුවට මෙම කණ්ඩායම හරහා වඩා වාසිදායක මිලක් සාකච්ඡා කළ හැකි වීමය.

    පෙබරවාරි මස අගදී එන්නත් සැපයීම ආරම්භ කිරීමට කෝවැක්ස් වැඩපිළිවෙල සැලසුම් කරයි.

    මේ අතරේදී ම කෝවැක්ස් සැලසුමට සම්බන්ධ රටවල් බොහොමයක් වෙනත් පසෙකින් තමන්ගේම ගනුදෙනු සාකච්ඡා කිරීමේ යෙදීම හේතුවෙන් කෝවැක්ස් වැඩපිළිවෙල පසුබෑමකට ලක්වෙමින් තිබේ.

    ස්වාධීනව එන්නත් ලබාගැනීම සඳහා අප්‍රිකාවේ නායකයින් සෑම කෙනෙකුම පාහේ තමන් සමග සම්බන්ධතා පවත්වන බව අදර් පූනවල්ලා පවසයි. එක් මාත්‍රාවක් ඩොලර් 7 ක් වූ මිලකට මාත්‍රා මිලියන 18 ක් සීරම් ආයතනයෙන් ලබාගැනීමට හැකිවූ බව උගන්ඩාව පසුගිය සතියේදී නිවේදනය කළේය. එය කෝවැක්ස් සැලසුමෙන් ගෙවන ඩොලර් 4 ට වඩා ඉහළ මිලකි.

    තමන් උගන්ඩාව සමග සාකච්ඡාවල යෙදී සිටියද ගනුදෙනුවකට මෙතෙක් එළැඹ නැති බව සීරම් ආයතනය පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව අනුමැතිය ලද වහා පූනවල්ලා විසින් කෝවැක්ස් වෙත ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන 200ක් සපයනු ලබනු ඇත. තවත් මාත්‍රා මිලියන 900ක් කෝවැක්ස් වෙත සපයන බවට පූනවල්ලා පොරොන්දු වී ඇතත් ඒ කවදාද යන්න ඔහු තහවුරු කර නැත.

    මෙම වැඩපිළිවෙල සඳහා තමන් කැපවී සිටින බව පවසන පූනවැල්ලා එහි ගැටලු ඇති බව ද පිළිගනී. එන්නත් නිෂ්පාදකයින් රැසක් සමග කෝවැක්ස් වැඩපිළිවෙල ගනුදෙනු කරන අතර ඒ සෑම නිෂ්පාදකයෙකුගේ මිල මෙන්ම සැපයෙන කාලවකවානු ද වෙනස් බව ඔහු කියා සිටී.

    කෝවැක්ස් හට සාර්ථකත්වයක් උදාකර ගත හැකි ද යන්න සම්බන්ධයෙන් අගතේ මෙන්ම EIU ආයතනය ද සර්ව සුභවාදී නොවෙති. සැම දේ සැලසුමට අනුව ක්‍රියාත්මක වුව ද මෙම වසර තුළදී එම වැඩපිළිවෙලට ආවරණය කළ හැකිවන්නේ රටක ජනගහනයෙන් 20 – 27% ක් තරම් වූ ප්‍රමාණයකි.

    “එයින් කෙරෙන්නේ සුළු වෙනසක් වුණත් සම්පූර්ණයෙන් ම තත්ත්වය වෙනස් කිරීමක් නොවෙයි,” අගතේ පවසන්නීය.

    Economist Intelligence Unit වෙනුවෙන් ඇය කළ පුරෝකථනයට අනුව ඇතැම් රටවල් 2023 වනවිට හෝ කෙදිනකවත් සම්පූර්ණයෙන් එන්නත් කළ නොහැකිවනු ඇත. සෑම රටකටම එන්නත්කරණය ප්‍රමුඛතාවක් නොවනු ඇත. එය විශේෂයෙන් ම තරුණ ජනගහනයක් ඇති රටක් මෙන්ම ජනතාව විශාල වශයෙන් රෝගී වන බවක් නොපෙන්වන රටවල් එසේ එන්නත්කරණය ප්‍රමුඛතාවක් නොදක්වනු ඇත.

    මෙම තත්ත්වය තුළ මතුවන ප්‍රශ්නය නම්, කිසියම් හෝ තැනක වෛරසයට වැඩීමට ඉඩකඩ ලැබෙන තාක් ඊට විකෘති වෙමින් සංක්‍රමණය වීමට හැකියාව ලැබේ. එනම්, එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන වෛරස මාදිලි ජනනයවීම දිගටම සිදුවිය හැක.

    එය කොහෙත්ම අසුභ ආරංචියක් ද නොවේ. අන් කවරදාටත් වඩා එන්නත් නිපදවීම වෙගවත්වෙමින් පවතී. නමුත් බිලියන 7.7 ක් වූ ලෝක ජනගහනය එන්නත් කිරීමේ කාර්යය ඉතා විශාල වූවකි. එසේම එය මීට පෙර නොදැරූ ප්‍රයත්නයකි.

    කළ හැක්කේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු සිය ජනතාවට අවංක විය යුතු බව අගතේ විශ්වාස කරන්නීය. “නැහැ, වසර කිහිපයක් යන තෙක් ව්‍යප්තවූ ප්‍රතිශක්තිකරණ ආවරණයකට ළඟාවෙන්න අපට පුළුවන් කමක් නැහැ. යැයි කියන්න ඕනෑම ආණ්ඩුවකට අසීරුයි. කිසිම කෙනෙකුට එහෙම කියන්න ඕන කමක් නැහැ,” යැයි ඇය පවසන්නීය.

    දත්ත ජනමාධ්‍ය: බෙකී ඩේල් සහ නැසොස් ස්ටයිලියානු විසිනි – උපුටා ගැනීම- බී.බී.සී

  • Crudia zeylanica ගස ‘වෙනත් තැනකට රැගෙන ගියොත් කුමක් වෙයිද ?

    Crudia zeylanica ගස ‘වෙනත් තැනකට රැගෙන ගියොත් කුමක් වෙයිද ?

    මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. – මහාචාර්ය සිරිල් විජේසුන්දර

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය රැක ගැනීමට පෙරට ආ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක දැන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටින්නීය. ඊට හේතුව බලධාරින් විසින් ඇය නිහඬ කර තිබීම බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.

    මේ අතර තවත් ස්ථාන කිහිපයකින් එම විශේෂයේ ශාක කිහිපයක් සොයාගෙන ඇති නිසා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පවතින ශාක වලට මෙතෙක් ලබා දී තිබූ පරිසර විද්‍යාත්මක වටිනාකම අඩු විය හැකි බවට ඇතැම්හු අදහස් පළ කරති.

    එම පසුබිම මත අද භික්ෂුන් වහන්සේ එම ස්ථානයට වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනය කර, චීවරයක් පළඳවා එම ගස ‘පැවිදි කර’ සාංඝික දේපළක් බවට ප්‍රකාශයට පත් කළහ.

    ‘කෲඩියා සෙලනිකා’ ගස් හතක් සහ පැ විස්සක්

    මෙම විශේෂයෙන් ගස් හතක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර පැල විස්සක් රෝපනය කරමින් පවතින බව පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා අත්තනායක බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

    ”අපිට මිනුවන්ගොඩ පැත්තෙ තියෙන නැන්දිමහර ප්‍රදේශයෙන් මේ විශේෂයේ විශාල ගහක් හමුවුණා. ඒ ගහ මේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශයේ තියෙන ගහටත් වඩා විශාලයි. මෙවැනි ශාක සංරක්ෂණය අපට පැවරෙන වගකීමක්. අපි ඒ සඳහා ක්‍රියා කරමින් සිටිනවා” යනුවෙන් ආචාර්ය අචලා අත්තනායක පැවසුවාය.

    කෲඩියා සෙලනිකා ශාක දක්නට ලැබෙන ප්‍රදේශ

    • ගම්පහ බෙලිමුල්ල
    • ගම්පහ උද්භිද උද්‍යානය
    • දොරණගොඩ දකුණ
    • මිනුවන්ගොඩ නැන්දිමහර
    • කඩුවෙල
    • ගම්පහ දාරලුව [ශාක දෙකකි]

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ පාරිසරික අධ්‍යයනයේදී මේ දිනවල දැඩි කතා බහට ලක්ව ඇති ගම්පහ, දාරළුව ප්‍රදේශයේ කෲඩියා සෙලනිකා ශාක දෙක හඳුනාගෙන නොතිබුණි. එබැවින් අදාළ ව්‍යාපෘතිය යටතේ මේ ශාකය සංරක්ෂණයට අවධානයක් යොමුව තිබුණේ නැත.

    මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ විසිනි.

    “නුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා මීරිගමට යන කොටසේ තමයි දාරළුව ප්‍රදේශය තියෙන්නේ. මේ මාර්ගයට යොදාගන්නා ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසර තත්ත්ව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට දීලා තිබුණා. ඒ වාර්තාවෙන් කියවුණේ පාරිසරික හානියක් නැති බවයි. ඒත්, මධ්‍යම පරිසර අධිකාරිය 2018 අවුරුද්දේ අපට උපදෙස් දුන්නා ආපහු සැරයක් අදාළ ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැන සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියලා. ඒ අනුව කරපු අධ්‍යයනයේදී තමයි මේ ශාකය හඳුනාගන්න ලැබුණේ,” යනුවෙන් හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ මීට පෙර බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසීය.

    ”ගස් කියන්නේ දුවන සත්තු ජාතියක් නෙමෙයි. එනිසා පරිසර අධ්‍යයන වාර්තාව හරියට කලානම් මේවා කලින් හඳුන ගන්න තිබුණා. දැන් පාර මෙතනින් යම් ප්‍රමාණයක් වෙනස් කළත් ඒක රුපියල් මිලියන ගාණක වෙනසක්. කාගේ සල්ලිද යන්නේ? එහෙම කියලා සංරක්ෂණ කාර්යය නොසලකා හරින්නත් බෑ.” යනුවෙන් වනජීවී පර්යේෂකයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ අදහස් පළ කළේය.

    කෲඩියා සිලනිකා

    ”වෙනත් තැනකට ගහ රැගෙන යෑම අසාර්ථක වීමේ හැකියාව වැඩියි”

    ගම්පහ, දාරළුවේ දක්නට ලැබෙන කෲඩියා සෙලනිකා විශාල ශාකය වෙනත් ස්ථානයක රෝපණය කිරීමේ යෝජනාවක් ද මේ වනවිට ඉදිරිපත් වී ඇත. ඒ සඳහා වනජීවී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියට යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එහි දැක්වෙන්නේ අදාළ ශාකය වෙනත් සුදුසු ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වයක් නොමැති බවය.

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෲඩියා සෙලනිකා ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට දැනුම් දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ ලිපියකින් ද තහවුරු වේ.

    එවැනි ක්‍රියාවක් මේ සඳහා කොතරම් සාර්ථකවේද යන්න ගැන ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සිරිල් විජේසුන්දරගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කරන ලදී. ඔහුගේ අදහස වී තිබෙන්නේ එවැන්නක් අසාර්ථක වීමේ සමභාවිතාව වැඩි බවය.

    ”උස ගස් වෙන තැනකට රැගෙන යන්න පුළුවන්. නමුත් මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. මේ ලොකු ගහ තියෙන්නේ ජල මාර්ගයක් අසළ නිසා ඒ පැත්තේ මතුපිට මුල් ගිහින් නෑ. අනික් පැත්තේ මුල් ගොඩක් ඈතට ගිහින් ඇති. ඒ පැත්තෙන් මුල් කපපු ගමන් ගහ මැලවිලා යන්න ඉඩ තියෙනවා.” යන්න මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ අදහස වී ඇත.

    ශාකය වෙනත් ස්ථානයකට රැගෙනයාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැමැත්ත පළ කර තිබුණ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඊට කැමැත්ත පළ කර නැත.

    මේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පෙබරවාරි 09 වැනිදා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කරන ලදී. එහි තීන්දුව මේ දක්වා ප්‍රකාශයට පත්වී නැත.

    දේවානි ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා කෲඩියා සෙලනිකා ශාක කැපීමට පසුගිය දිනවල ගත් උත්සාහයක් ව්‍යර්ථ කෙරුණේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම නිසාය. ඒ ගැන සමාජයේ දැඩි අවධානයක් යොමු වූ අතර පෙබරවාරි 09 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරුණි.

    වනජීවී හා වන සංරක්ෂණ සී.බී රත්නායක මෙලෙස අදහස් පළ කළේය.

    ”මේ විෂය පථය භාරව තියෙන්නේ කාටද, ඒ විෂය සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන එක දන්නේ නැතිව ඒ නිලධාරිනිය කටයුතු කරනවා. හුදෙකලා ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙනකොට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරය, අපේ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් දැන් එතැනට ගිහිල්ලා තියෙනවා.ඒ වගේම අලුත් අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නං ඒ කාර්ය කරනවා.”

    ”එසේ නොහැකි නම් විකල්ප දෙයක් දෙන්න අපි උත්සාහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයන්, උන්මතකයන් විදියට කටයුතු කරන අයත් ඉන්නවා. ” යනුවෙන් සී.බී රත්නායක පැවසූවේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීය.

    ”මේ ප්‍රශ්නය මතු කළ දේවානි මැතිනියට අපහාස කරමින් මන්ත්‍රීවරු මේ සභාගර්භයේ කතා කළා. මම පුදුම වෙනවා පරිසර ක්ෂේත්‍රයේ කෘතහස්ත රාජකාරියක් කරන රාජ්‍ය නිලධාරිනියක් ගැන මහජන මන්ත්‍රීවරු මේ තරම් බය වීම ගැන. මම පැහැදිලිව කියන්න කැමතියි ඒ නිලධාරිනිය ප්‍රතිරූප ගොඩනඟන්න උත්සාහ දරන්නේ නෑ .එතුමිය දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නෑ. හැබැයි එක දෙයක් තියෙනවා . එතුමිය මේ රටේ පරිසරය සුරක්ෂා කිරීමේ වගකීම සියයට ලක්ෂ ලක්ෂවාරයක් ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා.” යනුවෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

    Text by – bbc