Category: සුපිරි Cases

  • ලොව විශිෂ්ඨතම ස්මාර්ට් මුහුණු ආවරණය මෙන්න !

    ලොව විශිෂ්ඨතම ස්මාර්ට් මුහුණු ආවරණය මෙන්න !

    රේසර් පවසන්නේ මෙම මුහුණු ආවරණයෙන් තොල්වල චලනයන් කියවීමට ඉඩ සලසන බවය

    වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති.

    CES (Consumer Electronics Show) තාක්ෂණික සමුළුවේදී එළිදක්වන ලද මූලාකෘතිය නිමවා ඇත්තේ පරිශීලකයින්ගේ හඬ වැඩි කර පිටතට ඇසෙන ලෙසය. මෙයින් මුහුණු ආවරණ පැළඳ කතා කිරීමේ අපැහැදිලි බව මඟ හැර ගත හැකිය.

    මෙය සැලසුම් කර ඇත්තේ වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදිය. පිටතින් සිසිල් වාතය ඇද ගන්නා අතරම උණුසුම් හුස්ම පිට කරනු ඇත.

    සමාගම පවසන්නේ මෙය N95 ශල්‍ය මුහුණු ආවරණයක් ලෙස වර්ගීකරණය කර ඇති බවය. කෙසේනමුත් බීබීසී සේවය මෙම නිෂ්පාදනය සමාලෝචනය කර නොමැත.

    Smart mask
    මෙම මුහුණු ආවරණය දැනට සංකල්පයක් වන අතර එය තවමත් විකිණීමට නොමැත

    මුහුණු ආවරණය විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර, මෙමඟින් මිනිසුන්ගේ තොල්වල රටා කියවීම සහ මුහුණේ ඉඟි ලබා ගැනීම පහසු කරයි.

    කෙසේනමුත් විනිවිද පෙනෙන මුහුණු ආවරණ යනු නවෝත්පාදනයක් නොවන අතර, මේ වන විට ද එවැනි නිෂ්පාදන වෙළෙඳපොලේ ඕනෑ තරම් තිබේ. කෙසේවෙතත් සමාගම පවසන්නේ මෙම මුහුණු ආවරණයේ “අඩු ආලෝකය යටතේ ක්‍රියාකරන ක්‍රමයක්” ඇති බවය.

    Smart mask
    අඳුරු ස්ථානයක දී මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වේ

    එයින් අදහස් කරන්නේ අඳුරු ස්ථානයක මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වන බවය. එයින් ඔබේ මුව ද ආලෝකමත් වේ.

    රේසර් සමාගම කියා සිටින්නේ මෙයින් ඔබට “ආලෝකකරණ තත්වයන් නොසලකා හැර පැහැදිලිව ප්‍රකාශ කිරීමට ඉඩ සලසන” බවය.

    ඇතුළත ඇති සියලු තාක්‍ෂණය සමඟ මෙය පැළඳ සිටීම පහසු ද?

    බීබීසී සේවයේ තාක්ෂණික කණ්ඩායම මෙය අත්හදා බලා නොමැත.

    නමුත් රේසර් සමාගම පවසන්නේ සිලිකන් රවුමක් සවි කර ඇති නිසා එය පැළඳ සිටීම පහසු වන අතර, මුහුණ ආවරණය ඔබේ මුඛයේ වැදීමෙන් වළක්වන බවය.

    කන් පෙති වටා යොදන පුඩුව පළල්ව නිමවා ඇති නිසා ඔබේ කනට දැනෙන පීඩනය ද අවම බව සමාගම පවසයි.

    පේටන්ට් බලපත්‍රයක් සහිත මුහුණු ආවරණයේ “වොයිස්ඈම්ප්” අංගය මෙහි වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු අංගයකි.

    සමාගම පවසන්නේ අභ්‍යන්තර මයික්‍රෆෝනය සහ විකාශන යන්ත්‍රය ඔබේ කටහඬ වඩාත් පැහැදිලි කරන බවය.

    සම්ප්‍රදායික මුහුණු ආවරණයකින් නාසය සහ මුඛය වැසීමත් සමඟ අපැහැදිලි කටහඬ විශේෂ ගැටළුවක් විය හැකිය.

    මෙය සංකල්පීය නිෂ්පාදනයක් වන අතර එය දැනට වෙළෙඳපොලේ නොමැත. බීබීසී සේවය රේසර් සමාගමෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇති නමුත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

    කෙසේවෙතත්, The Verge (ද වර්ජ්) තාක්‍ෂණ වෙබ් අඩවියෙන් කරුණු විමසීමේ දී කියා සිටියේ මුහුණු ආවරණයේ පෙරහන් වෙනස් කළ යුතු කාලය සහ වාතාශ්‍රය සපයන කොටසේ කල්පැවැත්ම ගැන තවමත් පරීක්‍ෂා කරමින් සිටින්නේ යයි රේසර් සමාගම පැවසූ බවය.

    මෙම වසරේ CES ප්‍රදර්ශනයේදී අනෙකුත් සමාගම්වලින් ද ඉතා ආකර්ෂණීය සංකල්ප නිෂ්පාදන එළිදැක්වීය.

    • ජෙනරල් මෝටර්ස් වෙතින් කැඩිලැක් සන්නාමය යටතේ සිරස් අතට ඉහළට නැංවිය හැකි සහ ගොඩබෑමේ විද්‍යුත් වාහනය
    • ආහාර නිර්දේශ ලබා ගැනීම සඳහා ටෝටෝ සමාගම වෙතින් ඔබේ මලපහ විශ්ලේෂණය කරන වැසිකිළියක්
    • ටීසීඑල් වෙතින් අනුචලනය වන ටැබ්ලට් තිරයක්

    එම නව නිර්මාණ අතරින් කීපයකි.

    CES 2021
    ජෙනරල් මෝටර්ස්හි ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ අනාගතයේ දී ගුවන් කුලී රථ නිර්මාණය කිරීමට ද සමාගම පර්යේෂණ සිදු කරමින් සිටින බවය
    CES 2021
    ටෝටෝ සමාගමේ නව වැසිකිළිය ආහාර නිර්දේශ කිරීම සඳහා පරිශීලකයාගේ සමේ උෂ්ණත්වය සහ මළපහ විශ්ලේෂණය කරනු ඇත
    CES 2021
    විශාල තිරයක් රැගෙන යාම පහසු කිරීම සඳහා අඟල් 17 OLED තිරය අනුචලනය කළ හැකි ලෙස නිර්මාණය කර ඇත

    Text by bbc sinhala

  • සුන්දර – යහපත් දරුවෙකු අවශ්‍ය නම් ‘පැන්සලත් පින්සලත්’ අතට දෙන්න

    සුන්දර – යහපත් දරුවෙකු අවශ්‍ය නම් ‘පැන්සලත් පින්සලත්’ අතට දෙන්න

    ඕනෑම දෙමාපියෙකුගේ ලොකුම ආසාව තමන්ගේ දරුවා ඉහළට ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. ඉහළ ආදායම, ඉහළ සමාජ පිළිගැනීම වාගේ කාරණා ඒ සඳහා බලපානවා වෙන්න ඇති.

    ඒත් වර්තමාන ලෝකයේ ‘රැකියාව’ කියන සාම්ප‍්‍රදායික සංකල්පය විශ්වාස කළ නොහැකි තරමට අභියෝගයට ලක්වෙලා. අද වැඩියෙන්ම උපයන්නේ, වැඩිම පිළිගැනීමක් ඇත්තේ වගේම වැඩියෙන්ම සතුටින් සිටින්නේ සාම්ප‍්‍රදායික රැකියා ක්ෂේත‍්‍රය අතික‍්‍රමණය කළ පුද්ගලයින්.

    මේ අතර පැන්සල, පින්සල අතට ගත් අයත් ප‍්‍රධානයි. ජාත්‍යන්තර අවශ්‍ය නැහැ, ලංකාව ගත්තත් සිබිල් වෙත්තසිංහ වැඩිහිටි පරම්පරාව වගේම නව පරම්පරාවේ ජානකී සූරියාරච්චි වැනි චරිතත් සාම්ප‍්‍රදායික රැකියා සිහිනවලට අභියෝග කළ අය වශයෙන් සැලකිය හැකියි. මේ තත්ත්වය ඔඩෙල් අධිපතිනී ( හිටපු) ඔටාරා ඩෙල් ගේ සිට තවත් ඉදිරියට යනවා.

    අපි මෙතැන් සිට ගිරාගම සෞන්දර්ය ගුරු අධ්‍යාපන පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ‘චාල්ස් දයානන්ද ’ මහතාට සවන් දෙමින් දරුවන් අතට පැන්සලයි පින්සලයි දුන් විට සිදුවන ඓශ්චර්යය ගැන කියවමු.

    හැම ළමයෙක් ම චිත‍්‍රවලට උනන්දු නොවන්නේ ඇයි ?

    හැම දරුවෙක් ම චිත‍්‍ර අඳිනවා. චිත‍්‍ර නොඅඳින ළමයෙක් නම් ඒ දරුවාටට යම්කිසි මානසික අඩුපාඩුවක් වගේ දෙයක් තිබිය හැකියි. මල් කැකුළු වාගේ දරු දැරියන් චිත‍්‍ර කලාව සමග එක් වූ විට ලෝකය තව තවත් ලස්සන වෙනවා. දරුවෙකු තනිවම කරන එකම ක‍්‍රියාව කුරුටු ගෑම වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. එහෙම කුරුටු ගාන දරුවා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා නම් කරනවා. සමහර විට එක ඉරිකෑල්ලක් ඇතුළේ දරුවා දකින අම්මා, තාත්තා ඉන්නවා. මෙන්න මේ සුන්දරත්වය අවුරුදු පහක් දක්වා මහ ඉහළින් පෙන්නුම් කරනවා. ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වනවිට දරුවාට තමන් හිතන වාහනයක්, ගහකොළ, ගොඩනැගිලි අඳින්න පුළුවන්. ඉන්පසු පාසල් යනවා. පහේ පන්තිය දක්වාම එම අවස්ථා ඔහුට හිමිවෙනවා. වෙනත් රටවල් හා බැලීමේදී අපේ රටේ ප‍්‍රථමික අධ්‍යාපනය ඉහළයි. එය යහපත් තත්ත්වයක්. පහේ ශිෂ්‍යත්ව විභාගය නැතිනම් තවත් ඉහළයි.

    නිර්මාණකරණය තියෙන්නේ සිරුරේමයි

    boy painting, boy, child, people, painting, brush, artist, childhood,  males, boys | Pxfuel

    උපත සමග නිර්මාණකරණය මානවයාගේ සිරුරේම තිබෙනවා. අපේ වගකීම මේ තත්ත්වය වගකීමෙන් යුතුව ඉදිරියට ගෙනයාමට දැරුවා දිරිගැන්වීමයි. තරඟකාරී අධ්‍යාපනය තුළ සිදුනොවන්නෙත් ඒ දේමයි. ඒ සඳහා විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අපූරුවට කුරුගෑ දරුවා ශිෂ්‍යත්වය සමග මර උගුලක පටළනවා. එතැන් පටන් දරුවාගේ නිර්මාණ ශක්තිය මරාදමන්න උත්සාහ ගන්නවා. ඒක දෙමාපියන්ගේ වරද නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමයේ වරදයි. අධ්‍යාපන ක‍්‍රමය මගින් පියවරෙන් පියවර දරුවා මරාගෙන යනවා කියලයි මම දකින්නේ.

    එහෙම ගෙනියන දරුවා විභාග රේස් එකෙන් පස්සේ විශ්වවිද්‍යාලයට එනවා. එතැන නවක වධය, ප‍්‍රචණ්ඩත්වය වගේ දේවල්, මිනීමරුවන් දක්වාත් ඇතැම් අය පත්වෙනවා. අහිංසක සුන්දර මල් වැනි දරුවන් මේ වින්නැහියට පත් කළේ කවුද ? අධ්‍යාපනය හා නොගැළපෙන සමාජ ක‍්‍රමය කියලයි මම කියන්නේ.

    මවු කුසින් අපරාධකරුවෝ බිහිවෙන්නේ නැහැ

    කිසිම දිනක මවු කුසින් අපරාධකරුවෝ බිහිවෙන්නේ නැහැ. බිහිවන සුන්දර මල් කැකුළ අපරාධකරුවකු බවට පත් කළේ කවුද කියන එක ගැන සමාජය හොයන්නේ නැහැනේ. පස්වැනි ශේ්‍්‍රණියට එනතුරු සුන්දර ළමයා චිත‍්‍ර කලාව හැදෑරුවත්, එතැනින් ඔබ්බට එය ළමයාට නොගැළපෙන සහ අධ්‍යාපනයට වටිනාකමක් නැති දෙයක් බවට පත්කර තිබෙනවා. ඒකත් කරන්නේ අධ්‍යාපනයෙන්මයි.

    Kids Painting On T Shirts - School Child Images Png, Transparent Png ,  Transparent Png Image - PNGitem

    යල්පැනගිය මූලධර්ම

    අදටත් අපේ රටේ සාමාන්‍ය පෙළ පන්තිය දක්වාම චිත‍්‍ර කලාව හැදෑරීමට අවස්ථාව තිබෙනවා. ඒත් තවමත් අපේ රටේ තියෙන්නේ 15-16 වැනි සියවස්වල තිබුණු යුරෝපා ඇකඩමිවල මූලධර්ම පදනම් කරගත් චිත‍්‍ර කලාවක්. අපි ඉන්නේ එතැනයි. මම කලින් සඳහන් කළ ආකාරයට නිදහස් අදහස් ගලාගෙන ඇවිත් කුරුටු ගෑ දරුවාට, චිත‍්‍ර ඇන්ද දරුවාට පාසල් අධ්‍යාපනයේ ඉහළට එනවිට ලැබෙන්නේ ඒ යල්පැනපු මූලධර්ම උපුටා හැඳු විෂය නිර්දේශයක්. එතනිදී ඒ විෂයේ ප‍්‍රධාන අංශ තුනයි. ඒ ප‍්‍රකාශනය, මොස්තර හා ද්‍රව්‍ය කියලා. එතකොට ලබාගත් නිදහස් අත්දැකීම් හා සිතුවිලි යටපත් වෙලා කෘති‍්‍රම පැරණි විෂය නිර්දේශයක සීමාට ළමයා යටත් වෙනවා. ළමයා හිතන්නේ මේක තමයි චිත‍්‍ර කලාව කියලා. මම කියන්නේ මේ කලාව වහාම වෙනස් විය යුතුයි කියන එකයි. අධ්‍යාපනය වෙනස් නොවන්නේ නම් අපි වෙනස් කළ යුතුයි.


    අපි චිත‍්‍ර රස නොවිඳින්නේ ඇයි ?

    චිත‍්‍රයක් රස විඳීමට නම් දැනුමක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපේ සමාජයට චිත‍්‍රයක් කියවා හෝ නරඹා තේරුම් ගැනීමට දැනුමක් නැහැ. මොඩර්න් ආර්ට් කියන එක තේරෙන්නෙම නැති තරම්. මොඩර්න් ආර්ට් කියන්නේ චිත‍්‍ර කලාවේ ප‍්‍රගමනය තුළ ඇති වූ දැවැන්ත යහපත්, කාලීන විපර්යාසයක ප‍්‍රතිඵලයක්. කොයි තරම් හොඳ නවකතාවක්, කෙටිකතාවක් වුණත් භාෂාව නොදැන තේරුම් ගන්න බැහැ වගේ තමයි චිත‍්‍රයක් වුණත් දැනුම නැතිව තේරුම් ගන්න බැහැ කියන එක.

    චිත‍්‍ර කලාවේ දේශීය පැත්ත

    දේශීයත්වයෙන් මිදී විශ්ව කලාවක් බවට පත්ව ඇත්තේ චිත‍්‍ර කලාව පමණයි. සින්දුවක්, නැටුමක්, පොතක් ඒ අනුව කිනම් රටක, ජාතියකට අයත්දැයි හඳුනාගන්න පුළුවන්. ඒත් චිත‍්‍රයක නිර්මාණකරුවාගේ නම, ගමක් නැතිව තිබුණොත් මේ අහවල් රටේ චිත‍්‍රයක් කියලා කියන්න බැහැ. ඒ නිසයි මම කිවුවේ දේශීය අනන්‍යතාවයෙන් මිදී අපි විශ්ව කලාවක් දක්වා අපේ චිත‍්‍ර කලාව සමග ඉදිරියට යා යුතුයි කියලා. ආධ්‍යාත්මක මානසිකත්වය කරා ළමයාගේ මනස පන්ති කාමරයේ පටන් ගොඩනැංවිය හැකියි. ඒත් අපේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ ඒ ගැන හිතන්න අමාරුයි.

    Cute little boy painting in his album — Stock Photo © belchonock #19504085

    නොහැකියාවට හේතුව කුමක්ද ?

    අධ්‍යාපනයේදී චිත‍්‍ර කලාව විෂය නිර්දේශය සකස් කරන්නේ ඒ පිළිබඳ නූතන දැනුමක් හෝ ප‍්‍රයෝගික අත්දැකීම් ඇති මිනිස්සු නොවෙයි. ජීවිතේට චිත‍්‍රයක් ඇඳලා හෝ ප‍්‍රදර්ශනයක් නොකළත්, නරඹපු මිනිස්සුද කියන එකත් සැකයි. යම් භූතයින් පිරිසක් මේ මහ පුටුවල කලක සිට වාඩි කරවීමේ විපාකය මෙරට චිත‍්‍ර කලාවට සිදුවූ විශාලම හානියයි. රස වින්දනයක් නැති, සුන්දරත්වය නොහඳුනන මිනිසුන් සමාජයට බිහි වුණේ එතැනින්.

    දැඩි දඬුවම්, එල්ලූම්ගස් නීතිය ගැන සංවාද කරනවා. මට කියන්න නූතන චිත‍්‍ර කලාව සහ දේශීය චිත‍්‍ර කලාව ජාත්‍යන්තර දක්වා ගෙන යාම සම්බන්ධයෙන් සංවාද කීයක් සතියකට තියෙනවාද ? විශ්වවිද්‍යාල කීයක එහෙම සංවාද තියෙනවාද කියලා. චිත‍්‍රපට, නාට්‍ය ගැන නම් එහෙම කතා කරනවා. ඒ යහපත් සංවාදය නිසා මිනිසුන් ඒවාට යොමු වෙනවා. ඒත් චිත‍්‍ර ගැන කතා කරන්නේ නැහැ. එහෙම වෙනකොට මිනිසුන් එයින් ඈත් වෙනවා. එනිසා ළමයි පාසලෙන් බාහිරව ඒ සඳහා උනන්දු කරවීමේ ක‍්‍රියාදාමයක් ඇති කළ යුතුයි.

    නාගරික උනන්දුව හා අලෙවිය

    කොළඹ කේන්ද්‍රියව චිත‍්‍ර කලාවක් තිබෙනවා. එය හොඳ උත්සාහයක්. නමුත් එතැන ඇතමුන් කරන්නේ අනුන්ගේ සල්ල බලාගෙන විකිණීමක්. මිනිස්සු ඉල්ලන දේ ඇඳලා දෙන චිත‍්‍ර ශිල්පීන් විනා, කලාව මේකයි කියලා හඳුනාගත් මිනිසුන් වෙනුවෙන් නිර්මාණ කරදෙන කලාකරුවන් අඩුයි.

    Difficulties keeping your child motivated to do extra homework or tutoring?

    ආසාව තිබුණට හැමෝටම චිත‍්‍ර අඳින්න බැරිද ?

    ආසාව තිබුණට හැමෝටම චිත‍්‍ර අඳින්න බැහැ කියන එක බොරුවක්. හිතන්න පුළුවන් ඕනෑම කෙනෙකුට චිත‍්‍ර ඇඳීම හා නිර්මාණය කළ හැකියි. අපි හැම වැඩිහිටියෙකුගෙන්ම ඉල්ලනවා දරුවා සුන්දරත්වයට යොමු කරන්න කියලා. ඔවුන්ට පැන්සල හා පින්සල අතට දී ආතතිය වෙනුවට සුන්දර මානසිකත්වයකට අනුබල දෙන්න කියලා මම ඉල්ලනවා. එතකොට දරුවා තමන්ටත්, රටටත් සුන්දර සංවේදී මනුස්සයෙක්වෙයි. එහෙම වෙනකොට පොලීසි, උසාවි, එල්ලූම්ගස් ඒ තරම් අවශ්‍ය වෙන එකක් නැහැ.

    නොමිලේ පුහුණුව සඳහා ඉඩක්

    මෙම ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ දායකත්වයෙන්, මගේ සභාපතීත්වයෙන් චිත‍්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය සහ සෝලියස් මැන්දිස් චිත‍්‍රකලා පදනම නමින් සංවිධාන දෙකක් ආරම්භ කළා. ඕනෑම අයෙකුට එහි නොමිලේ පුහුණුව ලබාගත හැකියි.

    හැමෝට එකතු විය හැකියි

    දරුවන්ට පමණක් නොවෙයි. වැඩිහිටියන්ට වුණත් අප සමග එක්විය හැකියි. සුන්දරත්වයට වයස් සීමාවක් නැහැ. මම කියනවා ඔබේ දරුවාත් සුන්දරත්වයක් නැති නීීරස මිනිසුන් ගොඩට නොවැටෙන්න නම් නිසි මග පෙන්වන එක ඔබේ වගකීමක් කියලා.

    උපුටා ගැනීමකි

  • සිප වැළඳ ගැනීමෙන් හිමිවන සුපිරි ‘මානසික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ’

    සිප වැළඳ ගැනීමෙන් හිමිවන සුපිරි ‘මානසික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ’

    ‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි.

    ‘වැළඳගැනීම‘ සහ එයින් ඇතිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ගැන ලෝකය පුරා නිරන්තරයෙන් අධ්‍යයන සිදුවෙනවා. මේ පිළිබද අධ්‍යයනය කළ විශේෂඥයින්ට අනුව එමගින් ඔබට හොඳ හැඟීමක් ඇති කරනවා. එය සෙනෙහස පෙන්වීමට හොඳ ක්‍රමයක් වන අතර කුඩා දරුවන් අතර පවා මෙය සහජ චර්යාවක් බවට පත්ව තිබෙනවා.

    එහෙත් මේ ගැන අධ්‍යයනය කළ අය සොයා ගත් ටිකක් අමුතුම දෙය නම්, අප වැඩෙන විට වැළඳගැනීම් අඩු වීමයි. සමාජ සම්මතයන්, සේවා පරිසරයන් සහ වරදවා වටහා ගනු ඇතැයි යන බිය නිසා අපට අවශ්‍ය විටෙක මිනිසුන් වැළඳ ගැනීමේ හැකියාව අපට අහිමි වන බවයි ඔවුන් කියන්නේ. 

    කෙසේ වෙතත්, ශාරීරික ස්පර්ශය ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද වැදගත් බව ඔවුන් පෙන්වා දෙනවා. ඇත්ත වශයෙන්ම, විශේෂඥයින් පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි.

    1. වැළඳ ගැනීම රුධිර පීඩනය අඩුකරයිHugs Lower Blood Pressure

    මානසික ආතතිය හා ආතති සහගත තත්වයන් (stress and stressful situations) නිසා ඔබේ රුධිර පීඩනය ඉහළ යන්නේ නම්, වැළඳගැනීම් ඔබට එය සමඟ කටයුතු කිරීමට උපකාරී වේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ පීඩාකාරී කාර්යයක් කිරීමට පෙර හෝ පසුව මිනිසුන් තම ආදරණීයයන්ගෙන් වැළඳගත් විට ඔවුන්ගේ රුධිර පීඩනය අඩු වනු ඇති බවයි. ඉතින්, ඔබ අධික ආතතියෙන් පෙළෙන දවසක් තිබේ නම්, හෝ ඔබේ ආදරණීයයා වැලඳ ගැනීම ප්‍රයෝජනවත් විය හැකියි.

    # 1 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    2. ඔබේ මොළයේ ප්‍රීතිමත් හෝමෝන (Happy Hormones) උත්තේජනය කිරීම

    වැළඳගැනීම් ඔබේ මොළයේ ඇති ඔක්සිටොසින්, ඩොපමයින් සහ සෙරොටොනින් (oxytocin, dopamine and serotonin) මට්ටම ඉහළ නංවන අතර ඒ සියල්ල සතුට හෝමෝන / Happy Hormones ලෙස සැලකේ. ඔක්සිටොසින් මගින් ඔබට සැහැල්ලුව ලැබෙන අතර ඩොපමයින් මගින් විනෝදයත්, සෙරොටොනින් ඔබේ මනෝභාවය පාලනය කරන අතර ඔබට සතුටක් දැනේ. 

    # 2 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    3. වැළඳගැනීම් ඔබේ හෘද ස්පන්දන වේගය අඩු කරයි

    වැළඳගැනීම් මගින් පුද්ගලයෙකුගේ හෘද ස්පන්දන වේගය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව වෛද්‍ය අධ්‍යයනවලින් පෙනී යයි. එබැවින් ඔබ කලබල වී ඔබේ හදවත වේගයෙන් ගැහෙන බවක් ඔබට දැනේ නම්, වැළඳ ගැනීම එම ගැටලුවට ප්‍රයෝජනවත් විසඳුමක් විය හැකිය. වැළඳගැනීමේදී සාමාන්‍යයෙන් මිනිසුන් වඩාත් සන්සුන්ව සිටියි.

    # 3 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    4. වැළඳගැනීම් මගින් ආතතිය අඩු කළ හැකිය

    ආතතිය Stress අවම කිරීම සඳහා වැළඳගැනීම් ඉතා වැදගත් වේ. එක් අතකින්, වැළඳ ගැනීම යනු පුද්ගලයෙකු සනසාලීමට, ආදරය හා සහයෝගය පෙන්වීමට හොඳ ක්‍රමයක් වන අතර එමඟින් මිනිසුන්ට සතුටක් දැනේ. අනෙක් අතට, ශරීරයේ අඩු ආතති හෝමෝන (lower stress hormones) වැළඳ ගන්නා අතර ප්‍රීතිමත් හෝමෝන වැඩි කරයි. එය ජයග්‍රාහී තත්වයකි.

    # 4 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    5. වැළඳගැනීම් නිසා රෝගයෙන් ආරක්ෂා විය හැකිය

    කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ සිටින සෑම කෙනෙකුම බදා ගන්න යන්න එපා ! එය මේ වසරේ සැබවින්ම ව්‍යතිරේකයකි. කෙසේ වෙතත්, ඔබ කුඩා කල සිටම වැළඳගැනීම් රාශියක් ලබා ගන්නේ නම්, එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මන්ද ඔබ වැඩි වැඩියෙන් බැක්ටීරියා වලට නිරාවරණය වී ඇති බැවිනි. නමුත් වැඩිහිටියෙකු ලෙස වුවද, වැඩිපුර වැළඳගැනීම් ලබා ගන්නා පුද්ගලයෙකු සාමාන්‍යයෙන් අඩු රෝගාතුර වීමක් හෝ රෝගයක් සමඟ වඩා හොඳින් කටයුතු කරනු ඇත. 

    # 5 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    6. ආත්ම අභිමානය ඉහළ නැංවිය හැකිය

    අධ්‍යයනවලින් පෙනී යන්නේ අඩු ආත්ම අභිමානය, ශරීර ප්‍රතිරූප ගැටළු සහ නිරන්තර සැකයන් සමඟ පොරබදින පුද්ගලයින්ට වැළඳගැනීම් ලැබෙන විට වඩා හොඳ හැඟීමක් ඇති බවයි. කාලයත් සමඟ එය ඔවුන්ගේ ආත්ම අභිමානය ඉහළ නැංවිය හැකි අතර ඔවුන්ට වැඩි විශ්වාසයක් ඇති කරයි. 

    # 6 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    7. වැළඳගැනීම් මගින් වේදනාව අඩු කළ හැකිය

    එය සිත් සසල කරවන නමුත් සරල ශාරීරික ස්පර්ශයකින් මිනිසුන්ට වේදනාව සමඟ හොඳින් කටයුතු කිරීමට උපකාරී වේ. වෛද්‍ය අධ්‍යයනවලින් පෙනී යන්නේ වේදනාකාරී ක්‍රියා පටිපාටියක් අතරතුරදී ආදරය කරන කෙනෙකු ස්පර්ශ කරන විට මිනිසුන්ට අඩු වේදනාවක් දැනෙන බවයි. එය භෞතික ස්පර්ශය තුළින් ඔවුන්ට ලැබෙන සදාචාරාත්මක හා ශාරීරික සහයෝගයේ ඒකාබද්ධ බලපෑමකි. වැළඳගැනීම් යනු ශාරීරික ස්පර්ශයකි, එබැවින් ඔබ වේදනාවෙන් සිටින විට අනිවාර්යයෙන්ම එම වැළඳ ගැනීම ඉල්ලා සිටිය යුතුය. 

    # 7 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    8. වැළඳගැනීම් ඔබේ සෞඛ්‍යයට සමස්තයක් වශයෙන් ධනාත්මක බලපෑමක් ඇති කරයි

    චිකිත්සකයින් පවසන්නේ ඔබේ මානසික සෞඛ්‍යය සරලව පවත්වා ගැනීම සඳහා දිනකට වැළඳගැනීම් 8ක් අවම විය යුතු බවයි. එය වැඩිදියුණු කිරීම සඳහා ඔබට දිනකට වැළඳගැනීම් දොළහක් අවශ්‍ය වේ.  අඩු රුධිර පීඩනය, ආතතිය අඩු කිරීම, ආත්ම අභිමානය වැඩි දියුණු කිරීම සහ වේදනා කළමනාකරණය වැනි අප ඉහත සඳහන් කළ සෑම දෙයක්ම සමඟ මෙම දැනුම ඒකාබද්ධ කරන්න. ඔබේ සමස්ත සෞඛ්‍යයට වැළඳගැනීම් විශිෂ්ට බව වටහා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතු නැත.

    # 8 |  විද්‍යාව පවසන්නේ ඔබ තව දුරටත් වැළඳ ගත යුතු බවයි  සෙස්ට්‍රඩාර්

    https://zestradar.com ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව

    වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව

    මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය.

    ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද එහි නොමැත.

    මේ ඔබ පරාරෝපණයේ ආන්තික අත්දැකීමක් විඳින මොහොතකි. ඔබට මතු වන විසඳිය නොහැකි ප්‍රහේලිකාව වනුයේ එම නොදන්නා මහා නගරය තුළ ඔබ ස්ථානගතව සිටින්නේ කොතැනකද යන්නයි. ඔබ සමස්තයේ කවර කොටසක් ද? මේ ප්‍රහේලිකාව විසඳා ගැනීමට ඔබට එම නගරයේ සිතියමක් අවශ්‍ය වේ. 

    ෆ්‍රෙඩ්රික් ජෙම්සන් නමැති පශ්චාත් නූතන මාක්ස්වාදියා පවසන්නේ ගෝලීයකරණයේ යුගය තුළ අප පත්ව සිටින්නේද ඉහත නිදසුනෙහි වන් තත්ත්වයකට බවයි.

    අප වත්මන් ගෝලීය ආර්ථික, දේශපාලනික සහ සමාජමය ක්‍රියාවලිය තුළ ස්ථානගතව සිටින්නේ කොහේද? සේනක බටගොඩ විසින් රචනා කොට ගායනා කරන ලද ගීතයක කියැවෙන පරිදි, වත්මනෙහි අප හමුවේ ඇති ප්‍රබලතම ප්‍රශ්නය වන්නේ මෙයයි: “ගිනියම් ඉර, සඳ සිසිලස, අතරේ හොයනවා හොයනවා මේ, අපි කවුරුද…”

    ජෙම්සන් අපට පෙන්වා දෙන්නේ මේ මං මුලා වීමේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපට කිසියම් සිතියමක් අවශ්‍ය වී තිබෙන බවයි. ඔහුට අනුව, එය ඥානමය සිතියමක් (cognitive map) විය යුතුය. මගේ අදහස නම් වත්මන් ගෝලීය වසංගතයේ මොහොත තුළ ජෙම්සනියානු ඥානමය සිතියමක් අපට අන් කවරදාටත් වඩා වුවමනා වී තිබෙන බවයි. 

    අලුත් කාලයක්

    Dr Harini Amarasuriya nominated for JJB National List MP - Ceylon Today
    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය

    මෙහිදී පළමුව පැහැදිලි කර ගත යුතු කාරණයක් නම් අප දේශපාලනය තුළ කාලය පිළිබඳව සිතන ආකාරය කුමක්ද යන්නයි. දැනට සති කිහිපයකට පෙර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය එක්තරා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කොට තිබූ කාරණයක් නම් “ආණ්ඩුව කරන කියන සෑම දේකටම එරෙහිව කෑකෝ ගැසීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව අර්බුදයට පත් වන මොහොත හරියට හඳුනාගෙන විපක්ෂය කටයුතු කළ යුතු බවත්ය.”

    ඇය පවසන පළමු කාරණය සම්බන්ධයෙන් විවාදයක් නොමැත. නමුත්, දෙවැන්න සම්බන්ධයෙන් කිව යුත්තක් තිබේ. එනම්, සාමාන්‍යයෙන් මෙරට මැතිවරණ දේශපාලනය තුළ කිසියම් පාලක පක්ෂයක බහින කලාව උදාවන්නේ බලයට පත්ව වසර දෙක තුනකට පසුවය යන ආකල්පයක් පැවතුනද එය සෑමවිටම නිවැරදි නොවන බවයි.

    විශේෂයෙන්ම අර්බුද සමයක සිදුවීම්වල වේගය වෙනස්ය. කොහොමටත් දේශපාලනය තුළ අදාළ වන්නේ කැලැන්ඩර් කාලය නොව සිදුවීම් විසින් නිර්ණය කෙරෙන කාලයයි. ඒ අරුතින්, වත්මන් පාලන තන්ත්‍රයේ වසර තුන මාස තුනක් තුළ උදා වීම පුදුමයට කරුණක් නොවිය යුතුය. 

    දැන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහී යමින් තිබේය යන්න තවදුරටත් රහසක් නොවේ. සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ “ස ෆේල්” ව්‍යාපාරය හුදෙක් විපක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයක්ම නොවේ.

    මෑත සති කිහිපය තුළ දේශපාලන ලෝකයේ ඉහළට එසවුණු සෑම ජනප්‍රිය තේමාවක්ම අවසාන වශයෙන් කැරකුණේ ආණ්ඩුවට අවාසි සහගත අන්දමිනි. මෙය සැබවින්ම පුදුමයට හේතුවක් විය යුතු නැත. මන්ද යත්, අප දැන් සිටින්නේ වෙනස් කාලයක් තුළය.

    වරක් දයාන් ජයතිලක පැවසූ පරිදි ට්‍රම්ප්ගේ බිඳ වැටීම ලොව පුරා “පුංචි ට්‍රම්ප්ලා” කෙරෙහි බල නොපානු ඇතැයි අපට කිව නොහැකිය. ඉන්දීය ගොවි ජන අරගලය ඉදිරියේ දැන් නරේන්ද්‍ර මෝඩිගේ හින්දූත්වවාදී දක්ෂිණාංශයට පසු බසින්නට සිදුව තිබේ.

    වත්මන් ගෝලීය වසංගතයට මුහුණ දීමේදී ලොව සෑම තැනකම පාහේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී පාලන තන්ත්‍ර අභියෝගයට ලක්ව තිබේ. ඊට සමාන්තරව ලොව පුරාම අන්ත-දක්ෂිණාංශික පාලන තන්ත්‍ර තම මර්දන බලය වර්ධනය කර ගන්නටද වසංගතය යොදා ගනිමින් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් එය එළිපිටම කළේය. නමුත්, කැපිටල් මන්දිරය අත්පත් කර ගැනීමේ ට්‍රම්ප්වාදී අන්ත-දක්ෂිණාංශයේ ප්‍රයත්නය දැන් අසාර්ථක වී අවසන්ය. 

    වරක් දයාන් ජයතිලක පැවසූ පරිදි ට්‍රම්ප්ගේ බිඳ වැටීම ලොව පුරා “පුංචි ට්‍රම්ප්ලා” කෙරෙහි බල නොපානු ඇතැයි අපට කිව නොහැකිය. ඉන්දීය ගොවි ජන අරගලය ඉදිරියේ දැන් නරේන්ද්‍ර මෝඩිගේ හින්දූත්වවාදී දක්ෂිණාංශයට පසු බසින්නට සිදුව තිබේ.

    නිදසුනක් ලෙස, මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය.

    මෙසේ වන්නේ මන්ද?

    Speech by Prof. Jayadeva Uyangoda on his retirement from Colombo University  – Groundviews
    මහාචාර්ය ජයදේව උයන්ගොඩ

    මේ සම්බන්ධයෙන් දැනට වසරකට පමණ පෙර මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසූ කාරණයක් සිහිපත් කරන්නට මට ඉඩ දෙන්න. වසංගතය හමුවේ ක්‍රියාත්මක වූ පළමු ලොක් ඩවුන් සති තුළදී මා සමග කළ දුරකථන සංවාදයකදී ඔහු පැවසුවේ ඇතැම් විට අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ අවාසියට මේ වසංගතය හේතු විය හැකි බවයි. මන්ද යත්, ලොව පුරා දක්ෂිණාංශික ජාතිකවාදීන් බලයට පත් වූයේ අනාගත සෞභාග්‍යයක් පිළිබඳ සුවිසල් බලාපොරොත්තු ඉදිරිපත් කරමින් වීම නිසාය. එය ට්‍රම්ප්ගේ සිට, වික්ටර් ඕබන් සහ එර්දොගන් හරහා මෝඩි දක්වාත් ගෝඨාභය රාජපක්ෂ දක්වාත් වලංගු ය. එම බලාපොරොත්තුවල විශාලත්වයම දැන් ඔවුනට හරහට සිටී. නිදසුනක් ලෙස, මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය.

    ශිෂෙක්

    ශිෂෙක් ඔහුගේ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” (2020) කෘතියේ පවසන පරිදි, පාලකයින් පවා දැන් සිටින්නේ කර කියා ගත දෙයක් නැතිවය. මෙරට ආණ්ඩුවටද දැන් පිටතින් එන විසඳුමක් (ඇතැම්විට සහන මිළට ලැබෙන වැක්සීනයක්) කෙරෙහි අපේක්ෂා රඳවමින් සිටිනු විනා කළ හැකි කිසිවක් නැත. තවමත් අර්බුදය ආරම්භ වූවා පමණි. ඉදිරි කාලය වඩ වඩාත් දුක්ඛිත වනු ඇත.  නමුත්, මෙහි අදහස ඉතාම ඉක්මනින් පවතින පාලනය බිඳ වැටෙනු ඇති බවද නොවේ. තත්ත්වය ඊටත් වඩා දුක්මුසු ය. ශිෂෙක්ගේම වචනයෙන් කිව හොත්, අවසානය ඉක්මණින් අවසන් නොවනු ඇත. එය ඔහේ ඇදි ඇදී යයි. අපේක්ෂා විරහිත අඳුරු කොරිඩෝවක් දිගේ ඒකාකාරී ලෙස ඇවිද යාමක් ගැන සිතන්න. අප ඇතුල් වී සිටින නව කාලය එවැන්නකි.                                          

    ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය

    මෝදි රජයේ කෘෂිකාර්මික පනත්වලට එරෙහි ගොවි උද්ඝෝෂණයේ අවස්ථාවක

    මේ අඳුරු කොරිඩෝව දිවෙන්නේ සමාජ අසමානත්වය තව තවත් උග්‍ර කරමින්ය. ඒ කෙසේදැයි වටහා ගන්නට නම් අප හැරී බැලිය යුත්තේ ගෝලීය දේශපාලන ආර්ථිකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් දෙසය.

    පසුගිය ලෝක ආර්ථික සමුළුවේදී කතා බහට ලක් වූ ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය (great reset) නමැති ව්‍යාපෘතිය දිවෙන්නේ එදෙසටය. සාමාන්‍ය ජනයාගේ ඉරණම නොතකා හරිමින් ධනවාදී ආර්ථික යාන්ත්‍රණය යළි පණ ගැන්වීම දෙසට දැන් ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් යොමු වෙමින් සිටී. ට්‍රම්ප්ගේ සහායකයින්ද ආර්ථික යාන්ත්‍රණය කෙසේ හෝ පණ ගැන්විය යුතුය යන මතය දරයි.

    අනෙක් අතින්, සරදම්ජනක ලෙස, එක්සත් ජනපදයේ මහා සමාගම්වලට දැන් ආර්ථික යාන්ත්‍රණය පණ ගැන්වීම සඳහා ඉවත් කළ යුතුව ඇති චරිතය වන්නේද ට්‍රම්ප් ය. අසල්වැසි ඉන්දියාවේ මෝඩිගේ මතභේදාත්මක කෘෂිකාර්මික පණත්වල එල්ලය වූයේද මහා ප්‍රාග්ධනයට වාසි සහගත වන ආකාරයට වෙළඳපල යළි හැඩ ගැස්වීමය.

    මෙරට දියත් වන යුක්රේන සංචාරක බුබුල සකස්ව ඇත්තේද ඒ ආකාරයට නොවේද? එම සංචාරකයින්ට මෙරට සාමාන්‍ය ජනයා සමග ගණුදෙණු කිරීමට ඉඩක් නොමැති වුවත්, මහා හෝටල් සමග ගණුදෙණු කිරීමට බාධාවක් නොමැත. 

    ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භයක් පිළිබඳ අදහසේ දේශපාලනික ගම්‍යයන් ගැන මීළඟ ලිපියේදී සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.   

    සුමිත් චාමින්ද 

  • මානසික සෞඛ්‍ය ගැන ඔබ දැනගත යුතු  සුපිරිම කතාව

    මානසික සෞඛ්‍ය ගැන ඔබ දැනගත යුතු සුපිරිම කතාව

    වෛද්‍යවරු පමණක් නොවෙයි අපි බොහෝ දෙනෙක් කියන ආකාරයට අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ හිතේ ලෙඩ.

    ‘හිත සියලූ සිතුවිලිවලට මුල් වෙනවා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද ? ඒ නිසා හැමෝටම හිතේ ලෙඩ වැඩියි. ඒ නිසා ගතේ ලෙඩත් වැඩියි. ඒ දෙකම එකතු වුණාම මුළු ජීවිතේම අවුල්. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා, පවුල් ආරවුල් ඇති වෙනවා. එහෙම වෙන ඇතැම් අය මත්පැන් බෝතලේ පිහිට හොයනවා. දේවාල ගානේ, සාස්තරකාරයෝ ගානේ යනවා. අන්තිමේදී ජීවිතෙන් වන්දි ගෙවන අයත් හමු වෙනවා.

    ලංකාවේ මානසික රෝග ගැන වැඩි උනන්දුවක් නැහැ. ඒත් එය කිසිසේත් නොසලකා හැරිය නොහැකියි. මේ ලිපිය මගින් අවධානය යොමු කරන්නේ ඒ ගැන.

    පුද්ගලයකුගේ මානසිකත්වය චර්යාව මගින් පිළිඹිබු වන අතර මනසේ ඇති වන හැඟීම් හා සිතිවිලි චර්යාව බවට පත් වෙනවා.

    ඒ අනුව මනස සහ චර්යාව අතර පහත සඳහන් සම්බන්ධතා දැකගත හැකියි.

    1 සිත සෑම චර්යාවකටම මුල් වන අතර මනස හසුරුවා ගැනීමෙන් චර්යාව හසුරුවා ගත හැකියි.
    2 චර්යාව පාලනය කර ගැනීමෙන් මානසික වේගයන් ද හසුරුවා ගත හැකියි.
    3 යම් යම් මානසික ස්වභාවයන් හා බැඳුනු ශාරීරික චර්යාවන් තිබෙනවා.
    4 පුද්ගලයකුගේ් මානසික ස්වභාව අනුව සංජානනය සිදු වන අතර එය චර්යාවන්ට බලපෑම් කරනවා.
    5 මනස තුළ විවිධ චිත්තවේග ඇති වන අතර, ඒ අනුව චර්යාව ප‍්‍රකට වෙනවා.
    6 ධනාත්මක හා සෘණාත්මක ලෙස චිත්තවේග වර්ග කළ හැකියි.
    7 ධනාත්මක හා සෘණාත්මක චිත්තවේග මත පදනම් වන චර්යාව පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැකියි.
    8 කෙනෙකු තුළ ධනාත්මක චර්යාව බහුලව ප‍්‍රකට වන්නේ නම් එම තැනැත්තාගේ මනස නිරෝගී වෙනවා.
    9 කෙනෙකු තුළ සෘණත්මක චර්යාව බහුලව ප‍්‍රකට වන්නේ නම් එම තැනැත්තාගේ මනස රෝගී වෙනවා

    මානසික ක‍්‍රියාවලියේ ස්වභාවය

    මනස යනු ශාරීරික පද්ධතිය විසින් බිහි කරන ශක්තියකි. නිරෝගී ශරීරයක් හා නිරෝගී මනසක් අතර සහසම්බන්ධයක් තිබෙනවා.

    මානසික ක‍්‍රියාවලියේ ස්වභාවයේ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

    1. මානසික ක‍්‍රියාවලියේ ස්වභාවය තීරණය කරන සාධකයක් ලෙස පරිසරය දැක්විය හැකියි.
    2. පුද්ගලයකුගේ මධ්‍යම ස්නායු පද්ධතිය හා මානසික ක‍්‍රියාවලිය අතර සහ සම්බන්ධයක් ඇත.
    3. මානසික ක‍්‍රියාවලිය ඉතා හොඳින් අර්ථකථනය කර ඇත්තේ සිග් මන් ප්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණාත්මක
      ආකෘතිය මගිනි. ( මේ පිළිබඳව විස්තරාත්මක අදහස් දැක්වීම ඉදිරි ලිපියකින් සිදුවේ)
    4. මනසේ ව්‍යුහය ත‍්‍රිත්වාකාරවේ. එනම්, සුපහන් සිත, පහන් සිත, යටි සිත යනුවෙනි. සුපහන් සිත උත්තරීතර පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටින අතර පහන් සිත පුද්ගලයකුගෙ ් එදිනෙදා කටය ුතු
      හසුරුවනු ලබයිි. යටි සිත පුද්ගලයාගේ අවේණික ස්භාවික සහජාශයන් වෙනුවෙන් පෙනී
      සිටියි.
    5. මෙම ත‍්‍රිත්වය තුළ එකිනෙකට පරස්පර අදහස් පවතින නිසා මානසික ගැටුම් ඇති විය හැකියි.
    6. මෙම ගැටුම නිර්මාණශීලි ස්වරූපයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ මාර්ග ඇත. (නවකතා, කවි, චිත‍්‍රපට ආදිය)

    සරල මානසික පීඩා හා ඒවාට මුහුණ දීම

    සරල මානසික පීඩා ඇති වීම එදිනෙදා ජීවිතයේ අප කවුරුත් අත් විඳින ස්වභාවික මානසික
    සංසිද්ධියකි. එවැනි අවස්ථාවකදී,

    1. මනෝ විද්‍යා උපදේශකවරයකු හෝ වෛද්‍යවරයකු මුණ ගැසී උපදෙස් ලබාගන්න
    2. එසේ ප‍්‍රශ්න හා පීඩාවන් සඟවා තබා නොගෙන හිතවතුන් හෝ ගුරු භවතුන් සමග සාකච්ඡුා කරන්න
    3. නිතිපතා ශාරීරික අභ්‍යාසවල යෙදෙන්න
    4. වැඩ කටයුතු නිසි සැලැස්මක් ඇතිව කරන්න
    5. ප‍්‍රමාණවත් ලෙස විවේක ගන්න
    6. ප‍්‍රමාණවත් ලෙස නිදා ගන්න
    7. සිත සැහැල්ලූ වෙන් තබා ගැනීමට පුරුදුවන්න
    8. ළඟා කර ගත හැකි ඉලක්ක ඇති කර ගන්න
    9. පීඩනය ඇති කරන සිතුවිලිවලින් හැකිතාක් වළකින්න
    10. පරාජය හෝ බලාපොරොත්තු කඩවීම සඳහා සුදානම්ව සිටින්න

    ඒ ඒ පුද්ගලයාගේ මානසික ශක්තිය අනුව සරල මානසික පීඩාවලට මුහුණ දෙන ආකාරය අසමාන වෙනවා. සරල මානසික පීඩා විධිමත්ව වර්ග කළ හැකි අතර ඒවාට ප‍්‍රතිකර්ම ලෙස මනෝ විද්‍යාත්මක උපදේශනය යොදා ගත හැකියි. සමහර මානසික පීඩා එදිනෙදා ජීවිතයේ කොටසක් ව පවතින අතර සමහර පීඩාවන් කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙනවා. ඒ වගේම සරල මානසික පීඩා නොසලකා හැරියහොත් ඒ නිසා දැඩි ආවේග ඇති පුද්ගලයකුගේ ජීවිතය අවුලක් බවට පත් විය හැකියි.

    1. පිටතින් පැමිණෙන පීඩනයන් නිසා මානසිකව ඇති වන ආතතිය සමාජයේ බහුලව ඇති මානසික පීඩාවකි.
    2. බලාපොරොත්තු නොවු වෙනස්වීම්වලට භාජනය වීම නිසා ‘ක්ලමතය’ ඇති වේ.
    3. දැඩි ආවේග සහිත මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ‘කාංසාව’ ඇති වේ.
    4. බලාපොරොත්තු කඩ වීම නිසා ඇති වන පරාජිත බව නිසා ‘විශාදය’ ඇති වේ.

    ‘ආතතිය’

    උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇති වන පීඩාකාරි තත්ත්වය ‘ආතතිය’ යනුවෙන් හැඳින්වෙනවා.

    ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

    අධික ලෙස වැඩවල යෙදීම, වැඩවල ඉලක්ක සපුරා ගත නොහැකි වීම, පාලනය කර ගත නොහැකි ආකාරයේ පැවතුම්වලට හසු වීම ආදිය නිසා ඇති වන පීඩනයෙන් ආතතිය ඇති වෙනවා. විභාගයක් ආසන්න වන විට ඇති වන මානසික තත්ත්වයත් මෙයමයි. මෙය මානසික පීඩාවක් වුවත්, ආතතිය නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග ඇති වන වෛද්‍ය විද්‍යා පර්යේෂණවලින් අනාවරණය කර ගෙන තිබෙනවා.

    ‘ක්ලමතය’

    පුද්ගලයන් වෙනස්වීම්වලට භාජනය වීම ක්ලමතය ඇති වීමට හේතුවයි. එක දිගට බොහෝ වෙනස්කම් ඇති වීම හෝ තදබල වෙනස්කම් ඇති වීමේ ප‍්‍රතිඵලය වන්නේ අනතුරුදායක මානසික පීඩා ඇති වීමයි. ක්ලමතය තුළ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

    1 පුද්ගලයන් අහිමිම (ආදරය කළ අය මිය යාම, හිත මිතුරන් අහිමිවීම, වෙන්වීම හෝ විවාහ ජීවිතය බිඳ වැටීම)
    2 රැකියාවේ වෙනස් (වැඩ කටයුතු කර ගෙන යාමේ ඇති වන බාධක, කේන්ති යාම හෝ අනිත් රැකියාවකට යාමේ ප‍්‍රතිඵලයක් වශයෙන්)
    3 උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇති වන පීඩාකාරි තත්ත්වයකි. විභාගයක් ආසන්න වන විට ඇති වන මානසික තත්ත්වයත් මෙයම යි.
    4 මුදල් ප‍්‍රශ්න (වියදමට වඩා ආදායම අඩු වු විට, විශාල වශයෙන් ණයවීමට සිදු වු විට, 5. ආදායම් මාර්ග ඇහිරි ගිය විට
    6 අසනීප වු විට / අනතුරු සිදු වු විට ( බරපතල රෝගයක / අනතුරුවලින් සිදු වන තුවාල වලින් රෝගියා සහ පවුලේ අය යන දෙකොටසම මානසික පීඩාවලට මැදි වේ.
    7 ජීවන රටාවේ සිදු වන වෙනස් වීම්වලින් (උදාහරණයක් වශයෙන් හදිසියෙ ලැබෙන මුදල් වාසි, ඉතා ඉහළ තනතුරක් ලැබිම අදි සතුට ගෙන දෙන සිදුවීම්
    8 පවුලේ ඇති වන වෙනස්වීම් ( පවුලේ වගකීම් වැඩිවීම, පවුලේ ව්‍යුහය වෙනස් වීම, අලූතින් නිවසක් තැනී ආරම්භ කිරීම වැනි හේතුන්
    9 සුපුරුදු ජීවන රටාව වෙනස් වීම ( පාසල් යාම අවසාන වීම. රැුකියාවෙන් විශ‍්‍රාම ගැනීම, ක‍්‍රීඩා පුහුණුව අත් හරින්නට සිදු වීම ආදිය
    10 විභාගය අසමත් වීම

    ‘කාංසාව’

    දැඩි ආවේග සහිත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස කාංසාව ඇති වේ. මෙය සරල මානසික පීඩාවල ඉහළ ම අවස්ථාවකි. කිසිම හේතුවක් නොමැතිව යම් නරක දෙයක් හෝ අප‍්‍රසන්න දෙයක් සිදු වේ යන අහේතුකවාදී සිතිවිලි මෙයට හේතු වේ.

    අපට එකඟ විය නොහැකි වු හෝ පිළිගත නොහැකි හෝ අප කිරීමට අකැමැති හෝ අප විසින් කළ ය යුතු දේ අතර ඇති පරස්පර රෝගීතාව නිසා අප තුළ කාංසාව ඇති විය හැකියි.

    කාංසාවේ පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

    ඇඟ පළ නැතිකම, වෙව්ලීම, කරකැවිල්ල, හදවතෙහි ගැස්ම වැඩිවීම, නොසන්සුන්කම, ආවේගය, අසාමාන්‍ය කෑම ගැනීමේ පුරුදු, හුස්ම ගැනීමේ අපහසුව.

    සෑම කෙනෙකුට කාංසාව යම් ප‍්‍රමාණයකින් පැවතීම ස්වභාවිකය. නමුත් කාලීනව පවතින කාංසාව නිසා නොයෙකුත් බරපතළ ප‍්‍රශ්න ඇති විය හැකියි. උදාහරණ වශයෙන් ආමාශගත රෝග, අධික රුධිර පීඩනය, ජීවිතය හා ලෝකය ගැන තෘප්ත ියක් ලැබීමට නොහැකි වීම දැක්විය හැකියි.

    ‘විශාදය’

    පැහැදිලි කරුණක් නොමැති ව කෙනෙකු කණගාටුදායක සිතිවිලිවලින් වෙලී සිටීම හෝ බලාපොරොත්තු රහිත බවක් ඇති වීම නිසා විශාදය ඇති වෙනවා.

    විශාදයේ පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

    1 තෙහෙට්ටුව හා නිදිමත ගතිය
    2 අවධානයෙන් කටයුතු කිරීමේ අපහසුව
    3 අවිවේකී බව හා පසුතැවිලි වීම
    4 ආහාර රසය නැති වීම
    5 ශාරීරික පැවතුම් වෙනස් වීම
    6 පොදුවේ මුළු ජීවිතය ගැන ම කලකිරීම
    7 ජීවියේ වටිනාකමක් නැති බව සිතීම
    8 බලාපොරොත්තු රහිත වීම

    සරල මානසික පීඩාවලට මුහුණ ම සඳහා තමන් තුළ ඇති සරල මානසික පීඩා තේරුම් ගත යුතුයි. සරල මානසික පීඩාවලට මුහුණ දීම සඳහා විවිධ ක‍්‍රියා මාර්ග තිබෙනවා. එවැනි අවස්ථාවක මනෝ විද්‍යා උපදේශකවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු මුණගැසී උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වෙනවා.

    මානසික පීඩා ඇති වීම ස්වභාවික කරුණක් නිසා නිසි උපදෙස් ලබා ගැනීමට පසුබට නොවිය යුතුයි. දිගු කාලීනව පවතින විශාදය නිසා කෙනෙකු අයහපත් චර්යාවන් හුරු වන්නට පුළුවන්.

    සරල මානසික පීඩා නිසා ඇති වන මානසික තත්ත්වයන් කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

    1 ක්ෂිප්තතාව – සිතේ අවුල් සහගත බව පාලනය කළ නොහැකි පරිදි සිතුවිලි හට ගැනීම, එකම සිතිවිල්ල නැවත නැවත හට ගැනීම
    2 ආත්ම අනුකම්පාව – තමා පිළිබඳ ව ඇති වන ශෝකය හා කළකිරීම.
    3 වෛරය – අනෙකා කෙරෙහි දැඩි කෝපය, එම තැනැත්තා විනාශ කිරීමේ චේතනාව, පළිිගැනීමේ චේතනාව ඇති විම
    4 අනාරක්ෂිත හැඟීම – තමා ආරක්ෂා රහිත තත්ත්වයකට පත්ව ඇතැයි සැකය හා අසරණ බව ඇති වේ.
    5 ධ‍්‍රැවගතවීම – තමා හරි අනෙකා වැරදි යැයි සිතීම
    6 අතිශයෝක්තිය – සුළු සිද්ධියක් පවා විශාල සිද්ධියක් ලෙස සිතීම
    7 හේතු යුක්ති දැක්වීම – තමා විසින් කරන ලද වැරදි පිළිනොගෙන, එය සාධාරණ බව පෙන්වීමට තැත් කිරීම
    8 හැඟීම් යටපත් කර ගැනීම – ගැටුම නිසා තමා තුළ ඇති වන හැඟීම් තමා විසින්ම පිළිනොගනී.

    මානසික සාමය බිඳ වැටීම හා අයහපත් චාර්යා

    මානසික සාමය බිඳ වැටීම හා අයහපත් චර්යා අතර සෘජු සම්බන්ධයක් ඇති අතර මානසික සාමය බිඳ වැටුණු තැනැත්තා අසන්තෝෂයෙන් හා අන් අය සමග නොදීස්සුමෙන් හැසිරෙනු දැකිය හැකියි.

    1 මානසික සාමය බිඳ වැටුණු තැනැත්තා ගැටුම්කාරී පුද්ගලයකු ලෙස කටයුතු කරයි.
    2 මානසික සාමය බිඳ වැටීම නිසා එදිනෙදා කටයුතුවල ද සාර්ථකව යෙදෙන්නට අපහසුවේ.
    3 එවැනි පුද්ගලයෙක් විනාශකාරී චාර්යාවන්ට යොමු විමට ඇති ඉඩ කඩ වැඩි වේ.
    4 ඔවුහු පරිසරයේ හා සමාජයේ ස්වභාවික පැවැත්මට බාධා ඇති කරති.
    5 ඔවුනට අන්‍යයන්ගේ අනුකම්පාව හෝ ප‍්‍රතික්ෂේප කිරීම එකසේ විඳ ගන්නට සිදුවේ.

    අයහපත් චර්යා

    අයහපත් චර්යා ගණයට පහත සඳහන් දෑ ඇතුළත් වේ.

    අපිළිවෙළ, ගති පැවතු අවුල් වීම, සමාජගත නොවීම, සතුටක් නොමැති වීම, වෛරය/ තරහව, සැකය, ශෝකය, නොසන්සුන් බව, කලහකාරී බව, නොරිස්සුම, අපිළිවෙළට ඇඳිම, උපදෙස් ප‍්‍රතික ්ෂේප කිරීම, අසම්මත මෝස්තරවලට ලැඳියාව.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අධිකරණයට අපහාස කිරීම: නීතිමය පසුබිම ගැන ඔබ දැනගත යුතු සියල්ල

    අධිකරණයට අපහාස කිරීම: නීතිමය පසුබිම ගැන ඔබ දැනගත යුතු සියල්ල

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිවු අවුරුදු සිරදඩුවමක් නියම වීම සමග ශ්‍රී ලංකාවේ ‘අධිකරණයට අපහාස කිරීම’ ගැන දැන සිටිය යුතු නීති පසුබිම ගැන ජනතාව අතර උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ ඒ හා සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු මූලික නෛතික පසුබිම ගැන විද්වත් විමසුමක්.

    අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත. නීතිය තුළ එවැනි අර්ථ දැක්වීමක් නොතිබීම අමාත්‍ය එස්බී දිසානායකට එරෙහිව 2003 දී පවරන ලද නඩුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා අවධානය පළ කර තිබූ බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    “එසේම අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කටයුතු කරන අධිකරණ ක්‍රියාපටිපාටිය දැක්වෙන නීතියක් ද පණවා නැත. මේ නිසා අධිකරණවල විනිසුරුතුමන්ලාට ඇතිවන හැඟීම් අනුව ද දඬුවම් කිරීමට ඉඩක් ඇත,” යනුවෙන් ද නීතිඥ ජගත් ලියනාරච්චි විසින් ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවක දැක්වේ.

    කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු දක්වා තිබේ.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් “බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලය” ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පැවරේ. (එහි අන්තර්ගතය පහත දැක්වේ.)

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය

    ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවේදී පෙන්වා දුන් පරිදි,

    • ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්
    • ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම
    • අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම
    • අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ)
    • අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම
    • සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම්

    අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය.

    දඬුවම් මොනවා ද?

    ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැනවිය හැකි දඬුවම් 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ දක්වා තිබේ.

    ඒ අනුව,

    • මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5000 කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහාධිකරණයට හිමි වේ. (18 වෙනි වගන්තිය)
    • දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2500 කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. (55 (අ) වගන්තිය)
    • මහේස්ත්‍රාත් හෝ සුළු අපරාධ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මාස 18 ක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් 1000 ක් දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කළ හැකිය. (55 (ආ) වගන්තිය)
    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේ
    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේ

    අධිකරණයට අපහාසයක් නොවන්නේ කුමක්ද?

    • අධිකරණ නියෝගයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් සාධාරණ විවේචනයකට ලක් කිරීම
    • අධිකරණය පිළිබඳ අධ්‍යයනයක් මගින් අධිකරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කිරීම
    • අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෙරෙන විවේචන
    • රටේ අධිකරණමය ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා වූ ඉදිරිපත් කරන විවේචන
    • විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීම
    • අධිකරණ ක්‍රමය වඩා කාර්යක්ෂම කිරීම පිණිස කෙරෙන යෝජනා

    අධිකරණයට අපහාසයක් ලෙසින් නොසැලකිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක පෙන්වා දෙයි.

    වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
    වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

    කෙසේ වුවත්, රටේ සාමාන්‍ය පුරවැසියන්ට පමණක් නොව, අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පවා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදියා පෙන්වා දෙයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණය තුළ පුරවැසියන් සහ ඇතැම් අවස්ථාවල නීතිවේදීන් පවා අසාධාරණයට ලක්වූ අවස්ථා පිළිබඳ ඉතිහාසයේ උදාහරණ පවතින බවත් නීතිඥ ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

    “ඒ කියන්නේ අධිකරණය සම්පූර්ණ බලය පාවිච්චි කරලා පුද්ගලයන් පීඩනයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කළ අවස්ථාත් තිබුණා. අධිකරණයේ ගෞරවය හානිවෙන විදියට විනිශ්චයකාරවරු හැසිරෙනවා නම් ඒකත් අධිකරණයට අපහාස කිරීමක්.”

    බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයි
    බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයි

    වෙනත් උදාහරණ

    • අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු අමාත්‍ය එස්බී දිසානායකට බරපතල වැඩ ඇතිව දෙවසරක සිර දඬුවමක් නියම කෙරිණ.
    • එවකට අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී ‘උස් හඬින්’ කථා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්විය. පසුව බන්ධනාගාරයේදී ඔහුට පහරදීම සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
    • අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබේ.
    • බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබේ.
    • අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ භික්ෂූන් වහන්සේ ඇතුළු කණ්ඩායමකට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.
    අමාත්‍ය එස් බී දිසානායක
    එස් බී දිසානායක

    අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි නීතිය නිශ්චිතව අර්ථ දක්වා නොමැති බැවින් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී ඒ පිළිබඳ නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලදි.

    කෙසේ වුවත්, කැබිනට් මණ්ඩලය පවා මෙතෙක් එම කෙටුම්පතට අනුමැතිය පළ කර නොමැති බව නීතිඥ ජගත් ලියනාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද කෙටුම්පත
    ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති කෙටුම්පත

    5 ජූනි 2018 දින බී.බී.සී. සන්දේශ වාර්තාවක් ඇසුරිණි

  • චිරාත් – අනුෂ්කා මාපිය පදවිය ලබති

    චිරාත් – අනුෂ්කා මාපිය පදවිය ලබති

    සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ගැහැණු ළමයෙකු බිහි කළ බව ඇගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.

    “ඔබගේ සියලු ආදරය, යාච්ඥා සහ සුබ පැතුම් වලට අපි ඔබට ස්තූතිවන්ත වෙමු,” කෝලි සිය ට්විටර් හසුරුවමින් පළ කළේය.

    තරු යුවළ 2017 දෙසැම්බර් මාසයේදී ඉතාලියේදී විවාහ වූයේ පවුල් සබඳතාවකිනි

    “අනුෂ්කා සහ බබා යන දෙදෙනාම නිරෝගීව සිටින අතර අපගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ආරම්භ කිරීමට ලැබීම අප ලද භාග්‍යයක් වේ” යැයි ඉන්දීය නායකයා සිය මිලියන සංඛ්‍යාත රසිකයින්ට ට්විටර් පණිවුඩයක් ලියා තිබේ.

    ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් මිනිත්තු 24 ක් ඇතුළත කෝලිගේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ටයට ලයික් මිලියනයක් ලැබුණි.

    අනුෂ්කා ෂර්මා යනු බොලිවුඩයේ වඩාත්ම සාර්ථක නිළියකි. ඇයගේ ජනප්‍රියත්වයට පී.කේ., සුල්තාන්, දිල් ධදක්නේ ඩෝ සහ ඒ දිල් හයි මුෂ්කිල් ඇතුළත් වේ. ඇය මෑතකදී විවේචනාත්මකව පිළිගත් අපරාධ වෙබ් මාලාවක් වන පාටාල් ලොක් නිෂ්පාදනය කළාය.

    ලොව දක්ෂතම පිතිකරුවෙකු වන කෝලි ඕස්ට්‍රේලියාවේ සිට ආපසු සිය රට බලා පිටත්ව ගියේය. ඔහු දුර්ලභ පීතෘත්ව නිවාඩු ලබාගෙන තීරණාත්මක තරග මාලාවෙන් ඉවත්ව ගියේය.

    ක්‍රීඩා තරු සහ බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් ඇතුළු කිහිප දෙනෙකු මෙම යුවළට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කළහ

  • කෘෂිකර්මාන්තයට වළ කපන ‘සුපිරි මාෆියා පහක් ගැන’ ඇමති මහින්දානන්ද කළ හෙළිදරව්ව

    කෘෂිකර්මාන්තයට වළ කපන ‘සුපිරි මාෆියා පහක් ගැන’ ඇමති මහින්දානන්ද කළ හෙළිදරව්ව

    ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නිෂ්පාදනයට වඩා ආහාර ආනයනයට උන්නදු කරවන පිරිසක් සිටින බව ද සදහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පසුගිය 04 වැනිදා බතලේගොඩ වී පර්යේණ ආයතනයේ පැවති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවේදීය.

    වසර ගණනක් සිදුනොවුණු නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කරන දීපව්‍යාප්ත පුහුණු වැඩමුළු මාලාව ස්ථාන 05කදී පසුගිය 04 වැනිදා ආරම්භ විය.

    බතලේගොඩ , අඟුණුකොළපැළැස්ස, පුලියන්කුලම, මහඉලුක්පල්ලම, බිදුණුවැව යන කෘෂි පුහුණු පාසල්වලදී පුහුණු වැඩමුළු ආරම්භ කෙරිණි.

    එක් මධ්‍යස්ථානයක කෘෂි උපදේශකවරුන්  250 බැගින් දිවයිනම ආවරණය වන පරිදි 1000ක් පළමු අදියර යටතේ පුහුණු කෙරේ. ගොවිජන සේවා නිලධාරීන් 600ක්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 9000ක් තවත් අදියර ‍දෙකකින් මෙම පුහුණුවට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එක් කණ්ඩායමකට දින 25ක නේවාසික පුහුණු වැඩසටහනක් මේ යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    නවීන තාක්ෂණය යොදා ගෙන  ගොඩවගාව, වී වගාව, පළතුරු වගාව ඇතුළු වගා ක්‍රම, නිරෝධායන පනත, පළිබෝධනාශක පනත ඇතුළු නීති අණපනත් මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක් පුහුණු වැඩමුළුවේදී ලබාදීමට පියවර ගෙන තිබේ.

    මෙම වැඩමුළුවෙන් ලබාගන්නා දැනුම කෘෂි උපදේශකවරුන්, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් ගොවියාට ගෙන යාම මෙහි ප්‍රමුඛ අරමුණයි.

    පුහුණු වැඩමුළුවේදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සදහන් කළේය. 

    “ සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකර්මයට සුවිශේෂී තැනක් දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ අරමුණ මෙරට නිෂ්පාදන ආර්ථිකයක් හදලා ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම. 40% ක් සෘජුව මෙරට කෘෂිකර්මයේ නිරතවෙනවා. 30%ක් වක්‍රව කෘෂිකර්මයේ නිරතවෙනවා. කොවිඩ් තත්ත්වය එක්ක අද රටේ සෘජුව හා වක්‍රව 75%ක් කෘෂිකර්මයේ නිරතබව වාර්තා වෙනවා. ඒ නිසයි තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කිරීම අනිවාර්ය වෙලා තියෙන්නේ.

    මෙරටට කෘෂිකර්මයේ තාක්ෂණය හා පර්යේෂණ එංගලන්තයට සමාන මට්ටමේ තියෙනවා. ඒත් ගොවියා තාමත් ඉන්නේ වසර 100ක් පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ. දැනුම තාක්ෂණය ගමට යන්නේ නෑ. කෘෂිකර්ම උපදේශකට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉඩක් නැහැ. කෘෂිකර්ම උපදේශක, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් එකට එකතුවෙලා වැඩකරන්නේ නෑ. ගොවියාට දැනුම යන්නේ නෑ. ඒ නිසා අපි මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව, අනෙකුත් ආයතන සියල්ලඑකට එකතුවෙලා වැඩ කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරලා අවසන්. මේ පුහුණුවෙන් කරන්නෙත් ඒක.

    මේ රටේ කෘෂිකර්මය ඇතුලේ මාෆියාවන් 05ක් ක්‍රියාත්මක වෙනවා. කිරි ගෙන්වීමේදී නවසීලන්තයේ දෙවැනි ගැනුම්කරුවා ලංකාව. කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර ආනයනයේදී කොමිස් ලැබෙනවා වැඩියි. රටේ බීජවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා තාමත්. 100% ක් වියළි මිරිස් ගේන්නේ පිටරටින්. ඒ තුළින් කොමිස් වැඩි නිසා නිෂ්පාදනයට වඩා ආනයනයට ගොඩක් අය කැමතියි.

    යූරියා භාවිතය වැඩි වෙලා නොරොච්චෝලේ නිල් දරුවන් උපදිනවා. මාසයකට ඇස් නොපෙනෙන දරුවෝ 30ක් උපදිනවා කියලා වෛද්‍යවරු කියනවා. වකුගඩු , පිළිකා රෝගීන් දිනෙන් දින වැඩිවෙනවා. ඒත් රසායනික පොහොර ගෙන්වනවා.

    පසුගිය වසරේ පරීක්ෂණාගාර වාර්තා 55ක් වෙනස්කරලා බිලියන 1.5ක් බාල පොහොර ගෙන්වලා තියෙනවා. ඒක විගණකාධිපති වාර්තාවෙන් හෙලිවෙලා තියෙනවා. ඊට සම්බන්ධ 7ක්ම මම ගෙදර යැව්වා ඒ වාර්තා වෙනස් කරපු. හිටපු පොහොර සභාපතිට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා.

    වසවිස කන්න දීලා දැන දැන මිනිස්සු මරනණ රටක් වෙලා මේක. ඒ නිසා මේ වසරේ පොහොර දෙන්නේ පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි. ඒ සඳහා පස් පරීක්ෂා කිරීමේ කට්ටල සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම ලබාදීමට පියවර අරගෙන තියෙනවා. සෑම ගොවියෙකුටම තමන්ගේ ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්තාව අපි දෙනවා.

    දෙන්න පුළුවන් සියලු දැනුම, පහසුකම්, ප්‍රතිපාදන දෙනවා. ගමට තාක්ෂණය ගෙනියන්න නිලධාරීවාදය, කඹ ඇදිල්ල, ජාතිභේද, තරාතිරම පැත්තකට දාල ගොවියා දැනුමෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න  එකම පවුලක් ලෙස සියලුදෙනා වැඩ කරන්න”යනුවෙන් අමාත්‍යවරයා පුහුණු වැඩමුළුවට එක්වු කෘෂිකර්ම උපදේක නිලධාරීන් අමතමින්  ප්‍රකාශ කළේය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීර‍කෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

    උපුටා ගැනීම – කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • කෝවිඩ් -19 මෘතදේහ භූමදානය ගැන විශේෂඥ කමිටුවේ නිර්දේශ රජයට

    කෝවිඩ් -19 මෘතදේහ භූමදානය ගැන විශේෂඥ කමිටුවේ නිර්දේශ රජයට

    වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබේ.

    ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා
    ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා – කමිටු සභාපති

    ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් පසුගිය සතියේදී අදාළ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී.

    කෝවිඩ් -19 යනු SARS-CoV-2 මගින් ඇතිවන උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හදුන්වා දී කමිටුව, එය ප්‍රධාන වශයෙන් පෙනහළු හා ශ්වසන මාර්ගයට බලපාන බවට පෙන්වා දී ඇත.

    SARS CoV-2 වෛරසය ආවරණය කරන ලද වෛරසයක් වන අතර එය ආවරණය නොකරන ලද වෛරසයක් සමඟ සසඳන විට අහිතකර පාරිසරික තත්ත්වයන් මගින් වඩා වේගයෙන් විනාශ වේ යැයි ද කමිටුව පවසයි.

    හුස්ම ගැනීම, කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ශ්වසන ස්‍රාවයන් මගින් බිඳිති බැහැර කරන විට ජීවත්වන, ආසාදිත පුද්ගලයින් විසින් එය සම්ප්‍රේෂණය කරනු ලැබේ යනුවෙන් කමිටුව සකස් කළ වාර්තාවේ දැක්වේ.

    ආසාදිත පුද්ගලයින් විසින් භාවිත කරන ලද පෘෂ්ඨ හා වස්තූන් මත ද වෛරසය හඳුනාගත හැකි අතර විවිධ කාල පරාසයන් තුළ එය සක්‍රියව පවතින අතර ඔවුන්ගේ අසාදිත දෑතින් වෙනත් අයට සම්ප්‍රේෂණය විය හැකි යැයි ද එහි සඳහන් ය.

    ඇතැම් ආසාදිත පුද්ගලයින්ගේ මළ මූත්‍ර වලින් ද ආසාදනය විය හැකි බව ඉන් කියැවේ.

    විශේෂඥ කමිටු වාර්ථාව
    විශේෂඥ කමිටු නිර්දේශවලින් කොටසක්
    විශේෂඥ කමිටු වාර්ථාව
    විශේෂඥ කමිටුවේ සාමාජිකයින්

    සමහර රෝගීන්ගේ ප්ලාස්මා සහ සේරමය (plasma and serum) තුළ අඩු වෛරස ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඒවා ආසාදනය විය හැකි බව පෙන්නුම් කෙරෙන්නේ යැයිද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

    “වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත.

    මළ සිරුරක ඉතිරිව ඇති වෛරස ජලය අපවිත්‍ර වීමට තරම් ප්‍රමාණවත් නොවන බව සදහන් කරන එම වාර්තාව පෙන්වාදෙන්නේ භූගත ජල මට්ටමට කාන්දු වීමට පසේ ස්ථර කිහිපයක් පසුකර යා යුතු බැවින් එසේ පස් ස්ථර තුළින් කාන්දුවිමේදී ඕනෑම අවශේෂ වෛරසයක් අඛණ්ඩව මිය යන අතර එය ආසාදිත මට්ටම් කරා ළඟාවීම ඉතාමත් දුර්ලභ බවය.

    “තවද, ජල මට්ටමට ළඟා වන ඕනෑම අවශේෂ බෝවන වෛරසයක් විශාල ජල පරිමාවකින් තනුක වේ. එමනිසා, වෛරසයේ අවම ආසාදිත මාත්‍රාව තරමක් ඉහළ බැවින් ජලයේ ඇති වෛරස් ප්‍රමාණය ශ්ලේෂ්මල පටල සමඟ සම්බන්ධ වීමෙන් හෝ අපවිත්‍ර වූ දෑත් මගින් ආසාදනයට තුඩු දීමට ප්‍රමාණවත් නොවේ.”

    “එම හේතු නිසාම, SARS හෝ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් මියගිය පුද්ගලයින් භූමදානය කිරීමේදී ජලය දූෂණය වීමෙන් සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.”

    “කෙසේ වෙතත්, ජෛව හායනයට ලක් නොවන සිරුරු බහාලන බෑග වැනි වෛරස කාන්දුවකට ඉඩක් නැති ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය ඔතා තැබීමෙන් ජලය දූෂණය වීම බොහෝ දුරට වළක්වා ගත හැකිය.” යැයි එහි කියැවේ.

    එම වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ SARS-CoV-2 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුර ආසාදනයට ඉඩ තැබිය හැකි බැවින් එම මෘත ශරීරය සමඟ සමීප සම්බන්ධතා ඇති සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ දේහය බැහැර කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බව ද එහි සඳහන් ය.

    මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය
    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය

    පුද්ගලයෙකු මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ්-19 වෛරසය ශරීරගත වී ඇති බවට කියවුනද දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත්කළ නිවේදනයෙන් කියැවේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය 31වැනි දා විශේෂඥයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

    ඒවා නම්, කෝවිඩ් -19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, උදරය සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බවත් වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බවත් ඉන් කියැවේ.

    පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව අතර කොවිඩ්-19 ආසාදිතයින්ගේ මළ මූත්‍ර ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බවත් ඉන් පෙන්වා දෙයි.

    වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනයවීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටී.

    ඩෙන්මාර්කයේ කෝවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ අදාළ වෛරසයෙන් එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන අතර එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව ද පවසන වෛද්‍ය සංගමය, ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බවද සඳහන් කරයි.

    මෙම විශේෂඥයන්ගේ නිර්දේශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසීමට බීබීසී සිංහල සේවය ගත උත්සාහය සාර්ථක නොවීය. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසා බීබීසී සිංහල සේවයට පසුව දැන්ම්දෙන බවකි.

    මේ අතර අදාළ විශේෂඥ මතය විවේචනය කරමින් භික්ෂුන් වහන්සේ කිහිපනමක් මාධ්‍ය වෙත නිවේදන නිකුත්කර තිබුණි.

    Text by bbc sandesaya

  • ජපානය පිරිසිදු රටක් වුණ සුපිරි හේතුව බුදු දහමද ?

    ජපානය පිරිසිදු රටක් වුණ සුපිරි හේතුව බුදු දහමද ?

    දරු දැරියෝ සිය පොත් උරබෑග මේස මත තබා පංති කාමරයේ හිඳ සිටිති. පොත පතට යටවුණු දිගු දිනක අග නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් පසුවෙති. සිය ගුරුවරයා විසින් පසුදින කාල සටහන පිළිබඳ කරනු ලබන නිවේදන දරුදැරියෝ සාවදානව අසා සිටිති.

    ඉන් පසු සුපුරුදු ලෙස ගුරුවරයාගේ අවසන් වචන ඊට එක් වේ: ” හරි දැන් අදට නියමිත පිරිසිදු කිරීමේ පවරුමයි. පළවෙනි පේළිය සහ දෙවෙනි පේළිය පංතිය සුද්ධ කරන්න. තුන් වෙනි පේළියයි, හතරවෙනි පේළියයි කොරිඩෝ එකයි, පඩි පෙළයි සුද්ධ කරන්න. පස් වෙනි පේළිය වැසිකිලි සුද්ධ කරන්න”

    පස්වෙනි පේළියෙන් තරමක ගෝරනාඩුවක් ඇසේ. නමුත් දරු දැරියෝ කඩිසරව පුටුවලින් නැගී යුහුසුළු වෙති. පිටුපස ඇති අල්මාරියේ තබා ඇති කොසු, රෙදිකඩ සහ පනිට්ටු අතට ගනිති. පිරිසක් වැසිකිලි දෙසට දුව යති.

    ජපානය පුරා ඇති පාසල් තුළ මේ දර්ශනය දැකිය හැක.

    Students sweep their classroom at a Japanese school
    පිරිසිදු කිරීම ජපානයේ පසල් විෂය නිර්දේශයේ කොටසකි

    පළමු වරට ජපානයට පය තබන බහුතරය එරට කෙතරම් පිරිසිදු දැයි දැක විශ්මයට පත් වෙති.

    අනතුරුව එහි සාමාන්‍ය කසල බඳුන් නොමැති බව ඔවුන්ගේ ඇස ගැටේ. වීදි අමදින්නන් නොමැත. ඔවුන් ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි: ජපානය මෙතරම් පිරිසිදු කෙසේද?

    ඒ සඳහා දිය හැකි සරල පිළිතුර නම් එරට පුරවැසියන්ගේ කැපවීමය.

    “පාසල් ජීවිතේ අවුරුදු දොළහක්, මූලික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පිරිසිදු කිරීමේ වේලාව සිසු සිසුවියන්ගේ දෛනික කාලසටහනේ කොටසක්,” යනුවෙන් හිරෝෂිමා පළාත් ආණ්ඩුවේ බලධාරියෙකු වන මයිකෝ අවානේ පවසයි.

    “ගෙදරදීත් එහෙමයි. අපේ දේවල් සහ අප අවට පිරිසිදුව තබා නොගැනීම නරක දෙයක් බව දෙමව්පියන් අපට කියා දෙනවා”

    පාසල් විෂය නිර්දේශයට ඇතුළත් සමාජ සවිඥානික බව පාසල් සිසු සිසුවියන්ට සිය වටපිටාව පිළිබඳ සුපරීක්ෂාකරී වීමට සහ අභිමානයක් ගොඩ නගා ගැනීමට උපකාරී වේ.

    Japanese student cleans a glass door at her school
    තමන් විසින්ම පිරිසිදු කළ යුතු පාසල් භූමිය අපවිත්‍ර කිරීමට පෙළඹෙන්නේ කවුරුන්ද?

    “ඉස්කෝලෙදි පිරිසිදු කිරීම්වල යෙදෙන්න හිත දෙන්නැති වෙලාවලුත් තිබුණා” ස්වේච්ඡා පරිවර්තකයෙකු වන චිකා හයාෂි සිය පාසල් ජීවිතය සිහිපත් කළේ එලෙසය.

    “ඒත්, එය අපේ දින චර්යාවේ කොටසක් නිසා මම ඒක කළා”

    “ඉස්කෝලේ පිරිසිදු කරන්න වීම ඉතාම හොඳ දෙයක් කියා මා සිතනවා. මොකද, එමගින් අප භාවිත කරන දේවල් සහ ස්ථාන පිරිසිදු කිරීමේ වැදගත්කම අප ඉගෙන ගන්නවා”

    පාසල වෙත පිය නගන දරු දැරියෝ සිය සපත්තු උනා ලොකර තුළ තබති. ඔවුන් පාසල ඇතුළත භාවිත කරන්නේ වෙනත් සපත්තුය.

    Slippers at the entrance of a Japanese house
    නිවසට ඇතුළු වීමට පෙර සපත්තු උනා තබා පාවහන් පයලන ජපන් වැසියන්

    නිවසේදීත් එසේය. පිටත යාම සඳහා භාවිත කරන සපත්තු දොරකඩ උනා තබති.

    නිවසේ වැඩට පැමිණෙන පුද්ගලයෙක් වුවත් සපත්තු උනා තබා මේස් සහ සෙරප්පු පයලයි.

    පාසල් දරු දැරියන් ලොකු මහත් වෙද්දී තමා අවට අවකාශය පිළිබඳ ඔවුන් තුළ ස්ථාපනය කෙරුණු ආකල්පය පංති කාමරයෙන් ඔබ්බ්බට ගොස් අහල පහළ, ගම නගරය සහ රට පුරා ව්‍යාප්ත වේ.

    ජපන් වැසියන්ගේ උග්‍ර පිරිසිදුවාදී බවට උදාහරණ බොහෝ ප්‍රකටය. ජපානයේ ‘ෂින්කන්සෙන්’ සීග්‍රගාමී විදුලි දුම්රිය නවතා මිනිත්තු හතක් වැනි සීමිත කාලයක් ඇතුළත පිරිසිදු කරනු ලැබීමේ චාරිත්‍රය ලොව පුරා අවධානය දිනා ගත් එක් උදාහරණයකි. පසුව එය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් විය.

    Japan football fan with a bag full of rubbish
    2018 වසරේ ලෝක කුසලානයේදී ජපාන පාපන්දු කණ්ඩායම බෙල්ජියමයට පරාජයට වුවත් ජපාන පාපන්දු ලෝලීහු ප්‍රේක්ෂකාගාරය පිරිසිදු කිරීමට එහි රැඳී සිටියහ.

    ජපානයේ පාපන්දු ලෝලීන් පවා පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙති.

    බ්‍රසීලයේ (2014) සහ රුසියාවේ (2018) පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලි අවසානයේ ප්‍රේක්ෂකාගාර අවට විසිරී තිබුණු කැලිකසල එක් රැස් කිරීමට ජපාන පාපන්දු ලෝලීන් රැඳී සිටීම ලොව මවිත කරවීය. පාපන්දු ලෝලීන් පමණක් නොව ජපන් පාපන්දු ක්‍රීඩකයන් ද සිය සැරසුම් කාමරය තමන්ට ලැබුණු ආකාරයටම පිරිසිදු කර සකසා ගොස් තිබිණි.

    “සියලුම කණ්ඩායම්වලට හොඳ ආදර්ශයක්!” යනුවෙන් ජගත් පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සම්බන්ධීකාරක ප්‍රිසිලා ජැන්සන්ස් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්විණි.

    “අනෙක් අය අතර අපේ කීර්තිනාමය රඳවා ගැනීම පිළිබඳ ජපානයේ අප ඉතා සංවේදීයි.” යනුවෙන් මයිකෝ අවානේ පවසයි.

    “අපි, පිරිසිදුකම ගැන ශික්ෂණයක් නොලැබූ හෝ නිසි අධ්‍යාපනයක් නැති නරක මිනිස්සු කියලා වෙන අයට සිතන්න සලසන්න අපිට අවශ්‍ය නැහැ”

    Campsite at the Fuji Rock Festival
    බටහිර රටවල පැවැත්වෙන සංගීත සැණකෙළි හා සැසඳීමේදී ජපානයේ ‘ෆූජි රොක්’ සැණකෙළි භූමිය මත ඉවතලන කසල ප්‍රමාණය ඉතා අවම වේ.

    මේ හා සමාන චර්යාවක් ජපාන සංගීත සැණකෙළිවලදී ද දැකිය හැක.

    ජපානයේ ‘ෆූජි රොක්’ සැණකෙළිය එරට පැවැත්වෙන විශාලතම සහ පැරණිතම සංගීත සැණකෙළියයි. එහි පැමිණෙන රසිකයෝ කසල බහාලනයක් හමු වන තෙක් කසල තමන් ළඟ තබා ගනිති.

    ‘ෆූජි රොක්’ වෙබ් අඩවියට අනුව දුම්පානය කරන්නන්ට ‘සිගරට් අළු සහ කොට’ බහාලීමට අතේ ගෙන යා හැකි අළු බදුනක් ගෙන එන්නැයි උපදෙස් ලැබෙන අතර “සෙසු පුද්ගලයන්ට බාධා වන අයුරින් දුම්පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය”.

    එකී සමාජීය අවබෝධය සඳහා උදාහරණ ජපාන වැසියන්ගේ දෛනික ජීවිතය තුළ ද බහුලව දැකිය හැක.

    උදාහරණයක් වශයෙන් උදෑසන අට පමණ වනවිට කාර්යාල සහ වෙළෙඳසල් සේවකයෝ තම සේවා ස්ථාන අවට වීදි පිරිසිදු කරති.

    ‘නොපෙනෙන කුණුවලටත්’ ඉඩක් නැහැ

    Man cleaning his neighbourhood
    සිය නිවස සහ රැකියා ස්ථානය අවට ස්වේච්ඡාවෙන් කසල එක් රැස් කිරීම ජපානයේ සුලභ දසුනකි

    පාසල් අවට ඇති වීදිවල කැලිකසල එක්රැස් කර පිරිසිදු කිරීම සඳහා දරු දැරියෝ මාසිකව පැවැත්වෙන ශ්‍රමදාන සඳහා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙති.

    සිය නිවාස අවට තත්ත්වය ද එසේමය. නිරන්තරයෙන් වීදි පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ජපන් වැසියන් කැලිකසල පාර තොට නොදා නිවෙස් වෙත රැගෙන යන බැවින් පිරිසිදු කිරීමට තරම් දෙයක් නොමැත.

    පියවි ඇසට නොපෙනෙන විෂබීජ සහ බැක්ටීරියා ගැනත් ඔවුහු අවධානයෙන් පසුවෙති.

    උණක්, සෙම්ප්‍රතිශ්‍යවක් වැළඳුනු විට ජපන් වැසියෝ මුව ආවරණ පළඳති. ඒ තවෙකෙකුට රෝගය ආසාදනය වීම වැළක්වීමේ අරමුණෙනි.

    අනෙකා පිළිබඳ සිතීමේ මේ සරල ක්‍රියාව නිසා වෛරස් පැතිර යාම අවම වේ. වැඩ රහිත දින අඩු කරගැනීමේ අවස්ථාව ලැබීමට පමණක් නොව ඖෂධ සඳහා වැය වන මුදල් අඩු වී විශාල මුදලක් ඉතිරි කර ගත හැක.

    ශතවර්ෂ ගණනාවක් පැරණි පිරිසිදුකම

    පිරිසිදුකම සම්බන්ධයෙන් ජපන් වැසියන් මෙතරම් සැලකිල්ලක් දක්වන්නට පෙළඹුණේ කෙසේද?

    වර්ෂ 1600 දී ජපානයට සේන්දු වී එරටට පා තැබූ පළමු ඉංග්‍රීසි ජාතිකයා මෙන්ම නැවියකු වූ විලියම් ඇඩම්ස් ද දුටු පරිදි, එය ඇත්තෙන්ම අලුත් පුරුද්දක් නොවේ.

    Ancient drawing of a Japanese person sweeping the floor
    ජපන් වැසියන් පිරිසිදුකම ගැන දැඩි ඇල්මක් දැක්වීම අලුත් දෙයක් නොවේ

    ඇඩම්ස්, සමුරායි විලියම් නමැති ඔහුගේ චරිතාපදානය තුළ ලේඛක ගිල්ස් මිල්ටන් සඳහන් කරන පරිදි “එංගලන්තයේ වීදි නිතරම අශුචිවලින් පිරී ඉතිරී ගොස් තිබූ කලක පිරිසිදුකම ගැන දැඩි සැලකිල්ලක් දැක්වූ ජපානයේ ඉහළ පැලැන්තිය නොකිලිටි කානු සහ වැසිකිලි” භාවිත කරමින් සුගන්ධවත් දර යොදා උණු කළ ජලයෙන් ස්නානය කර ඇත.

    සිය පෞද්ගලික පිරිසිදුකම පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ යුරෝපීය ජාතිකයන් විසින් ජපන් වැසියන් “බියට පත් කරනු” ලැබීය.

    සෞඛ්‍ය අවදානම

    ජපානය වැනි උණුසුම්, තෙතමනය වැඩි රටක කෑම නරක්වීමට ඇති ඉඩකඩ වැඩිය. බැක්ටීරියා සහ රෝග කාරක වර්ධනය වීමට ඇති අවදානම ඉහළය.

    සනීපාරක්ෂාව හොඳ නම් සෞඛ්‍ය ද යහපත් වන්නේ එබැවිනි.

    බැලූ බැල්මට එසේ වුවත් එහි ඊට වඩා ගැඹුරක් තිබේ.

    Man cleaning the gardens of a temple
    සෙන් බුදුදහමට අනුව පිරිසිදු කිරීම අධ්‍යාත්මික පුහුණුවකි

    පිවිතුරු බව නැති නම් නිර්මලත්වය බෞද්ධ දර්ශනයේ ප්‍රධාන කොටසකි. ජපානයට බුදුදහම පැමිණියේ චීනයෙන් සහ කොරියාවෙනි. ඒ 6 වෙනි සහ 8 වෙනි ශතවර්ෂ තුළදීය.

    12 වෙනි සහ 13 වෙනි සියවස් අතර චීනයෙන් ජපානයට පැමිණි සෙන් බුදුදහමට අනුව පිරිසිදු කිරීම සහ ආහාර පිසීම වැනි දෛනික කටයුතු අධ්‍යාත්මික පුහුණුවක් ලෙස සැලකිණි. භාවනාවේ යෙදීම සහ ඒ අතර වෙනසක් නැතැයි විශ්වාස කෙරිණි.

    “සෙන් දහමට අනුව, ආහාර අනුභවය සහ අවට පිරිසිදු කිරීම ඇතුළු දෛනික වැඩ කටයුතුවල යෙදීම බුදු දහම ප්‍රගුණ කිරීමට ලද අවස්ථාවක් ලෙස සැලකිය යුතුය,” යනුවෙන් ෆුකුයාමාහි ෂින්ෂෝජි විහාරස්ථානයේ එරිකෝ කුවගාකි පවසයි.

    “ශාරීරිකව සහ අධ්‍යාත්මිකව කුණු සෝදා හැරීමට දෛනික භාවිතය තුළ වැදගත් ස්ථානයක් හිමි වෙනවා”

    Person dressed as Spider-Man helps clean the streets the day after Halloween celebrations
    පිරිසිදු කිරීම ජපානය තුළ වික්‍රමයක් නොවේ

    එසේ නම් ලොව සියලුම බෞද්ධ රටවල් ජපානය තරම් අතිශය පිරිසිදු නොවන්නේ ඇයි?

    බුදුදහම පැමිණීමට බොහෝ කාලයකට පෙර ජපානයට ඔවුන්ගේම ස්වදේශික ආගමක් විය. එය ෂින්තෝ නමින් හැඳින්වේ. ‘දෙවියන්ගේ මග’ ඉන් අරුත් ගැන්වේ.

    පිරිසිදුකම ෂින්තෝ දහමේ හදවතයි.

    පවිත්‍රත්වය පිළිබඳ චාරිත්‍ර

    බුදුදහමේ අවධාරණය කෙරෙන පවිත්‍රත්වය ජපන් ජාතිකයන්ගේ පුරුදු පුහුණු තවත් ශක්තිමත් කරවීය.

    පවිත්‍රත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්ත, ‘කෙගාරේ’ නැති නම් අපවිත්‍රත්වය හෝ කිලිටි බව ෂින්තෝ දහමේ ප්‍රධාන සංකල්පයකි.

    මරණය සහ ව්‍යාධියේ සිට ප්‍රිය නොමැති ඕනෑම දෙයක් ‘කෙගාරේ’ සඳහා උදාහරණය.

    ‘කෙගාරේ’ බලපෑමෙන් වැළකී සිටීමට පිවිතුරු චාරිත්‍ර නිරන්තරයෙන් අත්‍යවශ්‍යය.

    “යමෙක් ‘කෙගාරේ’ නිසා දුකට පත් වූ විට මුළු සමාජයටම එමගින් හානි සිදුවිය හැකියි” යනුවෙන් හිරෝෂිමා හි කන්දා විහාරයේ පූජක නරියාකි ඉකෙදා පවසයි.

    Washing basin at a Shinto shrine
    ෂින්තෝ විහාරයකට පය තැබීමට පෙර බැතිමතුන් දෑත් සහ මුව සේදිය යුතුය

    “ඒ නිසා පිරිසිදුකම පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. මෙමගින් ඔබ පවිත්‍ර වෙනවා. සමාජයට විපත් ගෙන ඒමෙන් වැළකෙනවා. ජපානය ඉතාමත් පිරිසිදු රටක් වී තිබෙන්නේ ඒ නිසයි”

    ලෙඩ රෝග පැතිර යාම සහ අනෙකා පිළිබඳ සිතීම තේරුම් ගත හැක.

    නමුත් එය, තමා ඉවත ලූ කසල තමන් විසින්ම ඇහිඳීම වැනි සිත් නොදෙන මට්ටම් දක්වා ක්‍රියාත්මක වේ.

    පවිත්‍ර වීමේ චාරිත්‍ර සඳහා උදාහරණ එදිනෙදා ජීවිතයේ බහුලව දක්නට ඇත.

    ෂින්තෝ විහාරයකට පය තැබීමට පෙර එහි දොරකඩ අසල ඇති ශෛලමය ජල බඳුනෙන් බැතිමතුන් දෑත් සහ මුව සේදිය යුතුය.

    ඔබ ජපානයේ ජීවත් වුවහොත් ඉතාමත් ඉක්මනින් පිරිසිදු දිවි පෙවතකට හුරු වනු ඇත.

    පාඩම්

    People wearing facemasks in Tokyo
    “ඔබේ විෂබීජ ඔබ ළඟ තබා ගන්න”

    ඔබ ජනයා ගැවසෙන එළිමහනේ සොටු සීරීමෙන් වළකිනු ඇත. වෙළෙඳසල් සහ කාර්යාල පාරිභෝගිකයන් සහ සේවාදායකයන් වෙත සපයා ඇති දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක ආලේපන භාවිතයට යොමු වනු ඇත. ප්‍රතිචක්‍රීකරණය පහසු කරවීම සඳහා නිවසෙන් ඉවතලන කැලිකසල වර්ග දහයකට වෙන් කර තැබීමට හුරුවනු ඇත.

    වර්ෂ 1600 දී නාවික විල් ඇඩම්ස් සහ ඔහුගේ නැව් කැළ මුහුණ දුන්නාක් මෙන් ඔබගේ දිවියේ ගුණාත්මකභාවය ද ඉහළ යනු ඇත.

    ඔබ යළි මව් රට බලා පැමිණි විට, නොහික්මුණු පුද්ගලයන් මුහුණ ඉදිරියේ කිවිසුම් හරිනා විට සහ කසින විට ඔබ කම්පනයට පත් වීමට ඉඩ ඇත. නැතිනම් ජපානයේදී සිතීමටවත් නොහැකි ලෙස අපිරිසිදු සපත්තු පය ලා ගේ තුළට කඩා වදිනු ඇත.

    නමුත් බලාපොරොත්තු කඩ කර ගත යුතු නැත. පොකමොන්, සුෂී සහ කැමරා සහිත ජංගම දුරකතන ලොව පුරා විසිර යාමට යම් කාලයක් ගත විය.

    Text by bbc

  • කොවිඩ් ආසාදිත මළ සිරුරු ගැන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය

    කොවිඩ් ආසාදිත මළ සිරුරු ගැන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය

    COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත

    Covid-19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඔහුගේ හෝ ඇයගේ සහ ඔවුන්ගේ පවුල්වල අභිමතය පරිදි ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) පවසයි.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය එම නිගමනය ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් සම්බන්ධයෙන් බල පැවැත්වෙන අනිවාර්ය ආදාහනය පිළිබඳ කාරණය පිළිබඳව ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අධ්‍යයන පත්‍රිකාවක් මගිනි.

    මළ සිරුරුවලින් නව කොරෝනාවෛරසය ආසාදනය වීමේ අවදානම පිළිබඳව අදහස් දක්වන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්වසන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCIRD) විසින් 2020 ඔක්තෝම්බර් මස යාවත්කාලීන කරන ලද අළුත්ම විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව සාර්ස්-කොවිඩ්-2 රෝගය පැතිරීම මූලික වශයෙන් ශ්වසන ජල බිඳිති හරහා ආසාදනය වෙන බව පැහැදිලිව තහවුරු කර ඇත.

    ඒ අතරම, සම්බන්ධතා සම්ප්‍රේෂණය සහ වාතයෙන් සම්ප්‍රේෂණය වීමත් සිදුවිය හැකි නමුත් සම්ප්‍රේෂණය ආසාදනය වියහැකි ප්‍රධාන මාර්ගය නොවන බවත් සංගමය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

    මෙම යාවත්කාලීන කරනලද විද්‍යාත්මක නිගමනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජූලි මාසයේ කලින් නිකුත්කරන ලද සාක්‍ෂි සංක්ෂිප්තයට සමාන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංවිධානය, මිලියන අසූවකට අධික ආසාදිත ප්‍රජාව සහ මිලියන 1.7කට අධික මරණ ප්‍රමාණය අනුව සාර්ස්-කොවිඩ්-19 සම්ප්‍රේෂණයවීමට අදාළ සාක්ෂිවල වෙනසක් සිදුව නැතැයි ද ප්‍රකාශ කරයි.

    තවදුරටත් කරුණු පැහැදිලි කරන අදාළ ප්‍රකාශනය මෙසේ දක්වයි.

    “COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත. 2020 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් දෙදෙනෙකුට මළ සිරුරකින් කොවිඩ් -19 වෛරසය ශරීරගත වූ බවක් ප්‍රකාශ විය. එහෙත් එම වාර්තාවේ කතුවරුන් විසින් එම නිගමනයේ දෝෂයක් ප්‍රකාශයට පත් කරමින් පසුව කියාසිටියේ, මළ සිරුරකින් කොවිඩ් -19 සම්ප්‍රේෂණය කළ බවක් එම ලිපියමගින් තහවුරු වී නොමැති බවය.”

    “භූගත ජලය හරහා කොවිඩ් -19 වෛරසය කෙලින්ම පැතිරයාම පිළිබඳ ප්‍රකාශන විද්‍යාත්මකව සනාථ කර නොමැති අතර පානීය ජලය හරහා වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් ද නොමැති,” බව පවසන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලෝක මට්ටමින් පැතිරයමින් පවතින කොවිඩ්-19 වසංගත සමයෙහි මළසිරුරු කළමනාකරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විධිමත් අධීක්ෂණ මගින් මළසිරුරකින් එම වෛරසය සම්ප්‍රේෂණයවීමක් පිළිබඳව මෙතෙක් සාක්ෂි ලැබී නැතිබව පෙන්නුම් කෙරෙන බවත් කියා සිටියි.

    සූම් තාක්ෂණය යොදාගනිමින් පසුගිය දෙසැම්බර් 30 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ද ජගත් කීර්තියට පත් වෛරස විද්‍යාඥ, මහාචාර්ය මලික් පීරිස් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු විශේෂඥයෝ මේ කරුණු සනාථ කළහ.

    ග්‍රීසියේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් දෙසැම්බර් 05 වෙනි දින භූමදානය කළ අවස්ථාවක්
    ග්‍රීසියේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් දෙසැම්බර් 05 වෙනි දින භූමදානය කළ අවස්ථාවක්

    ජල පද්ධති ආශ්‍රිතව වෛරසය සම්ප්‍රේෂණයවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මෙලෙස පැහැදිළි කරයි.

    “ජල පද්ධති තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රධාන ප්‍රභවයන් සහ මාර්ග වියහැක්කේ රෝහල් අපද්‍රව්‍ය, නිරෝධායන මධ්‍යස්ථානවලින් බැහැරකෙරෙන අපද්‍රව්‍ය, මළ මූත්‍ර, කිළිටි අපිරිසිදු මතුපිට ස්ථාන සහ භූගත ජල ප්‍රභවයන් සහ අපිරිසිදු අපද්‍රව්‍ය විය හැකි නමුත් මළ සිරුරු නොවේ. දවස් දෙකේ පටන් හතර දක්වා කාලය තුළ සෙන්ට්‍රිගේට් අංශක 23C දී අපජලයේ කොරෝනා වෛරසය වඩාත් ඉක්මනින් විනාශ වෙන අතර ශ්‍රී ලංකාව වැනි වැඩි උෂ්ණත්ව පරිසරයක් තුළ එම ක්‍රියාවලිය වඩාත් වේගවත් වෙයි.”

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත්කර ඇති ප්‍රකාශනය මෙසේ ද සඳහන් කරයි.

    “කෙසේ වෙතත්, මළ සිරුරක වෛරසය පැවැත්මේ කාලසීමාව තවමත් විවාදාත්මක වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය, සහ රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය (CDC) විසින් කෝවිඩ් -19 ආසදිත යයි තහවුරු කරනු ලැබ ඇති හෝ සැක කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් රෝහල් වාට්ටු, මෘත ශරීරාගාර, අවමංගල්‍ය ශාලා, සහ ආදාහනාගාර හෝ මිහිදන් කරනු ලබන සුසාන භූමිය තුළ මළසිරුරු හැසිරවීමට අදාළව කටයුතු කළයුතු ආකාරයට අදාළව පුළුල් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ ඇත.”

    “ඒ අතරම, එකී මාර්ගෝපදේශන මගින් රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති ඕනෑම අවමංගල චාරිත්‍රයක් දැඩිව පාලනය කෙරෙයි. කෙසේවුවද, ගෝලීය වසංගත මෙම සියළු පාලන වැඩසටහන් පැහැදිලිවම කියා සිටින්නේ, කලින් සඳහන් කළ සියළු ආරක්ෂණ ක්‍රියාමාර්ග සමඟ කොරෝනා ආසාදිතව මරණයට පත්වන්නන්ගේ සිරුරු භූමදාන කිරීම හෝ ආදාහනය කිරීම සිදු කළ හැකි බවය,” එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

    BBC
    අවමගුල් උත්සවයක්

    සංස්කෘතික ප්‍රවනතාවන්හි බලපෑම

    වෛරසය පැතිරීමත් සමඟ මෙම ව්‍යාධිය විශාල මට්ටමින් බෝවෙන් ඇති මට්ටම සමාජය සහ අගුළු දැමීම සහ නිරෝධායනය සමඟ බැඳුන වෛරසය සම්බන්ධයෙන් ඇති භීතිය ඉහළ යාම ස්වාභාවික බවත් එම වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

    “කෝවිඩ් -19 වසංගතය ලොවට බොහෝ පාඩම් උගන්වා ඇති අතර ඉන් එකක් වන්නේ පෞද්ගලික වගකීම වෙනුවට සාමූහික වගකීමේ වැදගත්කම පෙන්වාදීමය. කෝවිඩ්-19 පාලනය කරගැනීම සඳහා ඇති විධිමත් උපාය මාර්ගෝපදේශ අනුගමනය නොකළොත් එය සියළු දෙනාගේ ජීවිත අනතුරට ඇද දැමීමට හේතුවක් වනු ඇත. සමස්ත රාජ්‍ය, සමස්ත සමාජ ප්‍රවේශයේ සැබෑ අරුත මෙයයි. සංස්කෘතිකමය වශයෙන් සංවේදී කාරණා සඳහා විද්‍යාත්මක පිරිවැය ප්‍රතිලාභ ඇගයීමක් අවශ්‍ය කෙරෙන අතර එමඟින් ඇතැම් ප්‍රජා කණ්ඩායම් රෝග හඳුනා ගැනීමේ කටයුතුවලට හවුල්කර ගැනීම, කල්තබා හඳුනාගනු ලැබීම, සම්බන්ධතා හෙළිකර ගැනීම, නිවැරදි තොරතුරු සමඟ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම වැනි රෝග පාලන ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරගැනීමට හැකිවනු ඇත.”

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ අධ්‍යයන පත්‍රිකාව පහත දැක්වේ:

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 1)
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 2)
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 3)

    කාලීනභාවය සලකා බී.බී.සී සන්දේශය වෙතින් කළ ඍජු උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරකSharing is caring!

  • මගුල් කපුකමට කෘත්‍රිම බුද්ධිය

    මගුල් කපුකමට කෘත්‍රිම බුද්ධිය

    ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ඉහළ දැමීම සඳහා ජපානයේ තරුණ තරුණියන්ට මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජපන් රජය දියත් කර තිබේ.

    ජපානයේ වැසියන්ට සිය ආදරය සොයා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ ආධාරය ලබා ගනිමින් වැඩසටහන් දියත් කරන පළාත් පාලන ආයතනවලට ලබන වසරේ පටන් සහනාධාර ලබා දීමට ජපන් රජය තීරණය කළේය.

    ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා ගත මට්ටමකින් පහළ වැටී තිබුණි. නිල වාර්තා සඳහන් කළේ පසුගිය වසර තුළ ජපානයේ උපන් දරුවන්ගේ ගණන 865,000කට වඩා අඩු මට්ටමකින් තිබුණු බවය.

    වයසින් වැඩි ජාතියකට වේගයෙන් උරුමකම් කියමින් සිටින ජපානය ලෝකයේ අඩුම උපත් අනුපාතිකයක් සහිත රටකි. එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ජපානය විවිධ උපක්‍රම සොයා බලමින් සිටී.

    Getty Images

    ගැලපෙන තරුණ තරුණියන් සොයා ජෝඩු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම රට පුරා ව්‍යාප්ත කිරීම මෙහි අලුත්ම අත්හදා බැලීමයි.

    AFP පුවත් සේවය වාර්තා කරන පරිදි, රටේ උපත් අනුපාතිකය වැඩි කිරීම සඳහා දිරි ගැන්වීමේ ව්‍යාපෘති දියත් කිරීම වෙනුවෙන් ලබන වසරේ ඩොලර් මිලියන 19ක් වෙනකොට එය පළාත් පාලන ආයතනවලට බෙදා දීමට ජපන් රජය පියවර ගෙන ඇත.

    අයදුම් පත් සමඟ ලබා දෙන විස්තර සසඳා ගැලපෙන සහකරුවා හෝ සහකාරිය සොයා දීමට ජපානයේ බොහොමයක් ආයතන දැනට සේවයේ යොදවා ඇත්තේ මානව සම්පතයි. නමුත් අයදුම්පත්වල පවතින විස්තර කෘත්‍රිම බුද්ධිය (AI) සහිත පද්ධතියකට යොමු කිරීම තුළින් වඩා නිවැරදි ලෙස සුදුසු සහකාරිය හෝ සහකරුවා තෝරා ගැනීම සිදු කළ හැකි බව බලධාරීහු විශ්වාස කරති.

    AFP

    ඇතැම් පළාත් පාලන ආයතනවල දැනට පවතින තාක්ෂණික මෙවලම්, පුද්ගලයෙකුගේ වයස සහ ආදායම වැනි සරල මට්ටමේ තොරතුරු පමණක් ගැලපීමට සීමා වී ඇත. එවැනි යන්ත්‍ර භාවිතයෙන් කපු කමක් කිරීමේ දී ලැබෙන්නේ එම තොරතුරුවලට පමණක් සීමා වූ ප්‍රතිඵලයකි.

    ඒ වෙනුවට ඉහළ තාක්ෂණයෙන් යුත් නව යන්ත්‍ර ලබා දීම ජපාන ආණ්ඩුවේ අරමුණ වී ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෘත්‍රිම බුද්ධි තාක්ෂනය සහිත එම යන්ත්‍රවලට අයදුම්කරුවන්ගේ විනෝදාංශ සහ සාරධර්ම වැනි බොහෝ තොරතුරු ඇතුළත් කළ හැකිවනු ඇත.

    “අපි සැලසුම් කරන්නේ, මගුල් කපුකම් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති දියත් කරන පළාත් ආයතන සඳහා මෙම අරමුදල් ලබා දීමටයි. මෙමගින් රටේ පහත වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ආපසු හැරවීමට හැකිවෙයි කියල අපි හිතනවා.” ජපානයේ කැබිනට් අමාත්‍යවරයෙකු AFP පුවත් සේවයට පැවසීය.

    BBC

    2017 දී මිලියන 128ක්ව පැවති ජපාන ජනගහනය මෙම ශතවර්ෂය අවසාන වන විට මිලියන 53කට වඩා අඩු මට්ටමකට පත් වනු ඇති බවට ප්‍රක්ෂේපනය කර තිබේ.

    ජපානයේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ (Temple University) මානව විද්‍යාඥ සචිකෝ හොරිගුචි පවසන්නේ රටේ දරුවන් බිහිවීම වැඩි කරගැනීමට කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ඵලදායී වන වෙනත් ක්‍රමවේද පවතින බවයි.

    උදාහරණයක් ලෙස ඇය ගෙනහැර දක්වන්නේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන්ට සහනාධාර ලබා දීමයි.

    “ප්‍රේම කරන්න කැමැත්තක් නැත්නම්…”

    මෑතක දී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක් කෙරෙහි ඇය අවධානය යොමු කරමින් කතා කළාය. එම වාර්තාවේ සඳහන් වන්නේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන් අතර ප්‍රේම සබඳතා සඳහා පවතින කැමැත්ත ගිලිහී යමින් පවතින බවය.

    “ඔවුන් තුළ ප්‍රේම කරන්න කැමැත්තක් නැත්නම් මගුල් කපුකම් කිරීමෙන් පලක් වෙන්නේ නැහැ.” ආචාර්ය හොරිගුචි පැවසුවාය.

    “අපි තාක්ෂනය මත යැපෙන්න යනවනම්, ළමයි රැක බලා ගැනීම සහ ගෙදරදොරේ වැඩ කටයුතු කළ හැකි කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝවරුන් සහන මිලට ලබා දීම මීට වැඩිය ඵලදායි වේවි.”

    ජපන් කාන්තාව

    රැකියාවන් හි නියුතු ජපන් ජාතික මව්වරුන්ට සහයෝගයක් නොමැති වීම පිළිබඳව සමාජ විශ්ලේෂකයන් දීර්ඝ කාලයක් තිස්සේ පෙන්වා දී ඇත.

    තමන් රැකියාවක් කරන අතරතුර පවා ගෙදර දොරේ වැඩකටයුතු සියල්ල සහ දරුවන් හදා වඩා ගැනීම ගැහැණිය ගේ දැතින් සිදුවිය යුතු බවට ජපන් සමාජ සංස්කෘතිය තුළ පවතින අපේක්ෂාව ශක්තිමත් ය.

    ජපන් කාන්තාව පුර්ණ කාලින රැකියා සඳහා දිරිමත් කළ යුතු බව මෑතක දී එරට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණි. නමුත් රැකියා ස්ථානවල පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය වැඩි වී තිබේ.

    වසර 2019 දී ලෝක ආර්ථික සමුළුව නිකුත් කළ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ලෝක දර්ශකයේ රටවල් 153ක් සහිත ලැයිස්තුවේ ජපානය සිටින්නේ 121වැනි ස්ථානයේ ය. එය ඊට පෙර වසරේ ජපානය සිටි ස්ථානයෙන් පියවර 11ක් පහළට වැටීමකි.

    Text by bbc

  • කොරෝනා මරණ භූමිදානය ගැන භික්ෂූන් අතර මතභේදය අවිලෙයි !

    කොරෝනා මරණ භූමිදානය ගැන භික්ෂූන් අතර මතභේදය අවිලෙයි !

    කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ 200 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී තිබේ.

    මුස්ලිම් ප්‍රජා නායකයන් පවසන පරිදි ඒ අතරින් 150 කට වැඩි පිරිසක් මුස්ලිම් ජනතාවය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි ලොව පුරා රටවල් 190 කට වැඩි ප්‍රමාණයක් කෝවිඩ් ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය හෝ මිහිදන් කරන අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් තැනැත්තන්ගේ සිරුරු සියල්ල ආදාහනය කළ යුතු බවට චීනය සහ ශ්‍රී ලංකාව දැඩි ස්ථාවරයක් අනුගමනය කරමින් සිටියි.

    එසේ සියලු කොරෝනාවෛරස ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරනු ලබන්නේ, මිහිදන් කළහොත් මළසිරුවලින් වෛරසය භූගත ජලයට පැතිරිය හැකි බවට විශේෂඥ කමිටුවක් විසින් කරන ලද නිර්දේශයක් පදනම් කරගනිමින් බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

    කෙසේ වුවත්, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සිය ඥාතීන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටිති.

    ‘විද්‍යාත්මක සාක්කි පෙන්නන්න’

    බෞද්ධ භික්ෂූන් වහන්සේ ද පසුගියදා ඒ සම්බන්ධයෙන් සිය හඬ අවදි කළ අතර, කිසිසේත්ම සිරුරු මිහිදන් නොකළ යුතු යයි ඇතැම් හිමිවරුන් අවධාරණය කරද්දී, තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් පවසන්නේ එම ස්ථාවරය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර බැවින් සිරුරු භුමදානය සඳහා අවස්ථාව සලසා දිය යුතු බවය.

    ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ
    ඡායාරූප ශීර්ෂ වැකිය,”කෙනෙක් මියගියාම ජීවත්වෙලා ඉන්න අයට කරන්න ඉතුරු වෙන එකම දේ ආගමික කටයුතු. ඒක කරන්න බැරි වුනොත් ඒක සුව කරන්න බැරි තුවාලයක්”

    බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ශ්‍රී වල්පොල රාහුල පදනමේ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ “මෙලොව හැර ගිය සිය සමීප ඥාතියා වෙනුවෙන් තමන් කැමති පරිදි අවසන් ගෞරව දැක්වීමට ලොව ඕනෑම පුද්ගලයෙකුට අවස්තාව හිමිවිය යුතු,” බවය.

    කොරෝනාවෛරස ආසාදිත පුද්ගලයන්ගේ සිරුරු මිහිදන් කළ විට වෛරසය ජල මූලාශ්‍රවලට පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සනාථ කළ හැකි සාක්ෂි තිබේද? යන්න පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතු බව පවසන ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ කෙසේ වුවත් එවැනි සාක්ෂි තිබෙන බවක් දක්නට නොමැති බව ද කියා සිටියහ.

    “වගකීම් සහගත මිනිස්සු හැටියට අපි ඉල්ලා සිටිනවා – එහෙම තියෙනව නම් විද්‍යාත්මක සාක්කි ගෙනල්ල පෙන්නන්න – මිනිසුන්ට ඒත්තු ගන්වන්න කියල. ඒත් එහෙම එකක් පේන්න නැහැ ඇත්තටම.”

    මහාචාර්ය මලික් පීරිස්, සාර්ස් කොරෝනාවෛරසය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හොංකොං විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමඟ (HKU Microbiologists (L-R) Dr. Bojian Zheng, Dr. Guan Yi, Prof. Yuen Kwok-yung and Prof. Joseph Sriyal Malik Peiris in the briefing on their research of the SARS coronavirus from animals in Southern China, in HKU Faculty of Medicine Bldg, Pokfulam.)
    ඡායාරූප ශීර්ෂ වැකිය,මහාචාර්ය මලික් පීරිස්, සාර්ස් කොරෝනාවෛරසය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හොංකොං විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමඟ

    පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ලෝකයේ ඉහළම පෙළේ වෛරස විද්‍යා විශේෂඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කළේ, නව කොරෝනාවෛරසය ජලය මගින් පැතිරෙන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවය.

    දිගින් දිගටම මුස්ලිම් ජනතාව කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලූ ආණ්ඩුව, ගැටලුව නිරාකරණය වනතුරු මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු කිහිපයක් පමණක් අධි ශීතකරණවල තැන්පත් කර ඇති බව ද වාර්තාවේ.

    කෝවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බවට තීරණය කරන ලද 84 හැවිරිදි මුස්ලිම් පුද්ගලයෙකුගේ මළ සිරුර ආදාහනය නොකර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙසත්, එතෙක් සිරුර කරාපිටිය රෝහලේ අධි ශිතකරණයක තැන්පත් කරන ලෙසත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ පසුගියදා පොලිසියට උපදෙස් දී තිබිණ.

    ගාල්ලේ පැවති විරෝධතාවක්
    ඡායාරූප ශීර්ෂ වැකිය,සිරුරු භූමදානය කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ගාල්ලේ පැවති විරෝධතාවක්
    සඳලුතලයේ සිට විරෝධතාවට එක්ව සිටි කාන්තාවෝ
    ඡායාරූප ශීර්ෂ වැකිය,සිරුරු භූමදානය කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ගාල්ලේ පැවති විරෝධතාවකට සඳලුතලයේ සිට එක්ව සිටි කාන්තාවෝ

    ඒ සඳහා කරාපිටිය රෝහලේ පහසුකම් නොමැති බව පවසමින් වෛද්‍යවරුන් එයට විරෝධය පළ කළ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි පසුව එම සිරුර ද ආදාහනය කෙරිණ.

    භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ

    මේ අතර, දෙසැම්බර් 28 වෙනි දින කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපසට රැස් වූ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම පිණිස ප්‍රබල දායකත්වයක් දැක්වූ භික්ෂූන් වහන්සේ පිරිසක් කිසිසේත්ම මළ සිරුරු භූමදානය නොකරන මෙන් ආණ්ඩුවට බලකර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දැඩි විවේචනයට ලක් කරමිනි.

    බෙංගමුවේ නාලක, මාගල්කන්දේ සුදන්ත,මැඩිල්ලේ පඤ්ඤාලෝක වැනි හිමිවරු එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

    “එක රටක්, එක නීතියක්” යනුවෙන් පවසමින් බලයට පැමිණි ආණ්ඩුව සැමට සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේලාගේ ඉල්ලීම වී තිබිණ.

    භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොරෝනාවෛරසයන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය නොකරන මෙන් ඉල්ලමින් භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ
    භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොරෝනාවෛරසයන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය නොකරන මෙන් ඉල්ලමින් භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ

    “වලදාන්න ඉඩ දෙන්න කියන එකම නීති විරෝධී වැඩක්. මොකද මෙහේ නීතියක් සම්මත කරලා තියනවනේ. අපි මේ ආවේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්නෙයි කියලා කියන්න මිසක්වා නීති විරෝධි වැඩකට නෙමෙයි,” බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

    “මේ රටේ මුස්ලිම් වීම නිසා නීති හැදෙන්නේ නෑ. රටේ සෞඛ්‍ය අංශ නිර්දේශ කරලා තියනවා- කොවිඩ් හැදිච්ච මරණ ආදාහනය කරන්න කියල. ඒත් සමහර අයට අවශ්‍ය විධියට භුමදානය කිරීමටත්, ඩී ෆ්‍රීසර් කිරීමටත් කටයුතු කරලා තියනවා,” තවත් හිමිනමක් පැවසූහ.

    උද්ඝෝෂණයේ යෙදුණ හිමිවරුන් හමුවට පැමිණි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි යළිත් වරක් කියා සිටියේ, ආණ්ඩුව කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් ප්‍රකාර බවය.

    “ලෝකේ ෆ්‍රීසර්වල වෛරසයක් ආරක්ෂා කරන එකම රට ලංකාව. වෛරසය වර්ධනය වෙනව ෆ්‍රීසර් එකේ,” යනුවෙන් ද හිමිනමක් එහිදී ඇමැතිවරියට කියා සිටියහ.

    වෛරස පිළිබඳ විශේෂඥයන් පවසන පරිදි, ශීත කාලගුණයක් තුළ වෛරසයක් දිගු කලක් පැවතිය හැකි වුවද, අධි ශීතකරණයක් තුළ වෛරසයක් වර්ධනය නොවේ. මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, වෛරසයක වර්ධනය (mutilate/ multiply) සඳහා සජීවී සෛලයක් අත්‍යවශ්‍ය බවය.

    “අධිකරණ ඇමතිවරයාත් ඉවත් කරලා දෙන්න,” යනුවෙන් ද එක් හිමිනමක් එහිදී ඇමතිවරියගෙන් ඉල්ලා සිටියහ.

    මේ අතර, කොරෝනා ආසාදිත සිරුරු සම්බන්ධයෙන් ගත යුතු පියවර නිර්දේශ කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පසුගිය දෙසැම්බර් 24 වෙනි දින නව විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබ තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පවසයි.

    මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂඥ කමිටුව අඟහරුවාදා සිය වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව ද ඔහු ට්විටර් පණිවුඩයක සඳහන් කොට තිබිණ.

    ‘හරිම අමානුෂිකයි’

    මතු වී තිබෙන වාතාවරණය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ, “කෙනෙක් මියගියාම ජීවත්වෙලා ඉන්න අයට කරන්න ඉතුරු වෙන එකම දේ ආගමික කටයුතු. ඒක කරන්න බැරි වුනොත් ඒක සුව කරන්න බැරි තුවාලයක්,” යනුවෙන් පෙන්වා දුන්හ.

    “එහෙම කරන්න බැරි වෙන එක ඉතාම භයානක, බරපතල දෙයක් … ඒක හරිම අමානුෂිකයි.”

    ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවධාරණය කරන්නේ, භූමදානය නොකිරීම පිණිස සැබෑ විද්‍යාත්මක සාධක තිබේ නම් ජනතාවට එය පැහැදිලිව තේරුම් කර දිය යුතු බවය.

    “එතනදිත් වින්දිත භාවයට පත්වෙන මිනිසුන්ව සුවපත් වෙන විදියටයි ඒක කරන්න ඕන … එහෙම කරන කොට මිනිසුන්ගේ හිත සුවපත් කරන්න ඕන …”

    “එහෙම නොකරන එක අමානුෂිකයි, සාහසිකයි …”

    පටිගත කළ ධර්ම දේශනයකදී ද උන් වහන්සේ මේ පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර තිබිණ.

    අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව

    ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව යොමු කළ ලිපිය

    මේ අතර පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව, කෝවිඩ් ආසාදිත සිරුරු භුමදානය කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම පිණිස භුවිද්‍යා වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන්ගෙන් හා වෛද්‍යවරුන්ද, ආගමික නායකයන් ද ඇතුළුව කමිටුවක් පත්කොට නොපමාව තීරණයක් ගන්නා ලෙස ඉල්ලා තිබුණි.

    මළ සිරුරක් භුමදානය කිරීම ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් ඇතුළු ඇතැම් ආගම්වල අනුගාමිකයන් විසින් අනුගමනය කරනු ලබන ගෞරවනීය ආගමික පිළිවෙතක් වන බැවින්, කෝවිඩ් ආසාදිත මළ සිරුරු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යානුකුල ක්‍රමවේද යොදාගනිමින් භූමදානයට අවසර දෙන ලෙස ද බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික නායකයන්ගේ ද අත්සන සහිතව නිකුත් කර තිබු එම ලිපිය මගින් ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබිණ.

    හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර,රජයට පක්ෂපාතී භික්ෂූන් වහන්සේ ගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින්, අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේගේ අදහස අනුමත කර තිබුණේ ට්විටර් පණිවුඩයක් ඔස්සේ අදහස් දක්වමිනි.

    මෛත්‍රී සහ චන්ද්‍රිකා

    විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්වය ගැන ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමග අදහස් දක්වමින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණේ, මෙය ඉතා සංවේදී කරුණක් බැවින් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ මෘතශරීර භූමදානය කිරීමට අවසර දිය යුතු බවය.

    කොරෝනාවෛරසය ආසාදිත වී මියයන සියලු දෙනා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ තීරණයට කිසිදු විද්‍යානුකූල පදනමක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද පවසයි.

    “කොරෝනා වෛරසය හැදිලා ඒ මළකඳ පොළොවට එකතු වුනාට පස්සේ පෙට්ටියක් නැතුව එකතු කෙරුවත් කොරෝනා වෛරසය පස හරහා පැතිරෙන්න කිසිම ක්‍රමයක් නෑ,” යනුවෙන් පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිනිය පවසා තිබිණ.

    Text by bbc sandesaya

  • ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !

    ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !

    දශක ගණනාවක් තිස්සේ දැඩි ශික්ෂණයෙන් හා කැපවීමකින් ගොඩ නගා ගත් ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුයි. වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙහි වැඩි වැඩ කොටසක් සිදු කරන්නේ ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන් විසින්.  

    නාලක ගුණවර්ධන

    2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි.

    ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව සහ චීනය වැනි රටවල නිපදවූ එන්නත් නිසි සායනික අත්හදා බැලීම්වලින් පසුව ඒ ඒ රටවල ඖෂධ නියාමන බලධාරීන් විසින් මහජන භාවිතය සඳහා ආරක්ෂිත යැයි අනුමත කෙරෙමින් පවතිනවා. 

    මේවා වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ වඩාම කඩිනමින් අනුමැතිය ලැබූ එන්නත්. වෛද්‍ය පර්යේෂකයන් දහස් ගණනක ප්‍රයත්නවලින් බිහි වූ මේවා, බිලියන 7.5 මානවයන් සැමට ලබා දීම ඉතිහාසයේ දැවැන්තම සංවිධානාත්මක ක්‍රියාන්විතයක් වනු ඇති! 

    එන්නත් බෙදා හැරීමේ යටිතල පහසුකම් නිසි ලෙස පෙළ ගස්වා ගැනීම සහ රටේ සියලුම ජනයාට කෙටි කාල පරාසයක් තුළ COVID-19 එන්නත් ලබා දීම 2021දී ලෝකයේ සියලු රටවල ආණ්ඩු මුහුණ දෙන අභියෝගයයි.

    ඉල්ලුම සහ සැපයුම යන විශ්ලේෂණය සාමාන්‍යයෙන් හමු වන්නේ වෙළෙඳපොළ ආශ්‍රිතව වුවත්, වෙනත් සමාජයීය ක්‍රියාදාමයන් තේරුම් ගැනීමටද එය රාමුවක් කර ගත හැකියි.  ඒ අනුව එන්නත් සම්බන්ධයෙන් ද සැපයුම් පැත්තක් සහ ඉල්ලුම් පැත්තක් මා දකිනවා. 

    එන්නත් නිපදවා, ආරක්ෂිත බව තහවුරු කොට, නියාමන අනුමැතිය ලැබී, ප්‍රවේශමින් බෙදා හැරීම සැපයුම් පැත්තයි. මේ දිනවල වැඩිපුරම අවධානය යොමුව ඇත්තේ COVID-19 එන්නත්වල සැපයුම් පැත්තටයි.

    එන්නත් හරහා ලැබෙන ප්‍රතිශක්තිකරණය බෝවන රෝගවලින් බේරී සිටීමට ඇති සුරක්ෂිතම ක්‍රමෝපාය බව තේරුම් ගනිමින් ස්වේච්ඡාවෙන් සහ උද්යෝගයෙන් එම එන්නත් ලබා ගැනීමට මහජනයා පෙලගැසීම එහි ඉල්ලුම් පැත්තයි.

    මේ දෙපසෙහිම අභියෝග රැසක් තිබෙනවා. සැපයුම පැත්තේ අභියෝග ජයගන්නට වෛද්‍ය විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක සහ කළමනාකරණ ක්‍රමවේදයන් අවශ්‍යයි. ඉල්ලුම පැත්ත මනාව පවත්වා ගන්නට සමාජ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක සහ සන්නිවේදන ක්‍රමවේදයන් ඕනෑ කරනවා.

    ප්‍රතිශක්තිකරණ සැපයුම් පැත්තේ පෙළ ගැස්ම ගැන අද තව ටිකක් කතා කරමු.

    ප‍්‍රතිශක්තිය (immunity) යනු ශරීරයට පිටතින් ඇතුළුවන රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පුද්ගලයකුට ඇති විය හැකි රෝග සහ සංකූලතා වළක්වා ගැනීමට ශරීරයේ ඇති ස්වභාවික හැකියාවයි.

    ප්‍රතිශක්තිකරණය (immunization) යනු බෝවන රෝග වැළඳීම වළක්වා ගැනීමට ප්‍රතිශක්තියක් ශරීරයේ කල් තබා ජනනය කොට තැබීමේ උපක්‍රමයක්.

    ප්‍රතිශක්තිකරණ එන්නත් දීමේදී කරන්නේ ඉතා අඩු මාත්‍රාවකින් අදාළ රෝග කාරකය සිරුරට හඳුන්වාදීමයි. එවිට ස්වභාවිකව ජනනය වන ප්‍රතිදේහ, සිරුරේ කලක් රැඳී පවතිනවා. අදාළ රෝග කාරකය සිරුරට පිවිසි එයට එරෙහිව වහාම ප්‍රතිරෝධයක් මතු කොට එම රෝගයෙන් බේරීමට හැකියාව ලබා දෙනවා. 

    ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය වසර දෙසීයක් අතීතයට දිවෙනවා. අපේ රටේ වෛද්‍ය විද්‍යා ඉතිහාසය ගවේෂණය කොට විශිෂ්ට ලෙසින් ලේඛනගත කළ වෛද්‍ය ක්‍රිස්ටොෆර් ජී ඌරගොඩ කියන හැටියට, භයානක බෝවන රෝගයක් වූ වසූරියට එරෙහිව එන්නත් කිරීම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 1802දී. 

    ඒ අනුව ප්‍රතිශක්තිකරණය ලොවට හඳුන්වා දී වසර හයක් ඇතුළත එය ශ්‍රි ලංකාවටද පැමිණියා. මුල්වරට එන්නතක් නිපද වූයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වූ එඩ්වඩ් ජෙනර් විසින්. ඒ වසූරියට එරෙහිව 1796දී. 

    එහෙත් අඛණ්ඩ ලෙස ප්‍රතිශක්තිකරණය පවත්වා නොගත් නිසා විටින් විට වසූරිය වසංගත මෙරට පැතිර ගියා. 1886දී පනවන ලද එන්නත් පිළිබඳ ආඥා පනතට (Vaccination Ordinance) අනුව සෑම පුද්ගලයකුටම වසූරිය එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරුණා. මෙරට ප්‍රතිශක්තිකරණ වැඩකටයුතු විධිමත් ලෙස ක්‍රියාත්මක වුණේ එතැන් පටන්.

    වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග තවත් බෝවන රෝගවලට එරෙහිව එන්නත් නිපදවනු ලැබුවා. නොබෝ කලකින් එම එන්නත් ශ්‍රී ලංකාවේ ද ලබා දීම ඇරඹුණා: ක්ෂයරෝගයට එරෙහිව BCG එන්නත (1949), ගලපටලය, කක්කල් කැස්ස සහ පිටගැස්මට එරෙහි ත්‍රිත්ව එන්නත (1961), මුඛ පෝලියෝ එන්නත (1962), නවජ දරුවන් සඳහා BCG එන්නත (1963), ගැබිණි මවුවරුන්ට පිටගැස්ම ධූලකය ලබා දීම (1969) ආදී වශයෙන්.

    ලොව පුරාම එන්නත් ආවරණය වැඩි කර ගැනීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 1974දී ගෝලීය වශයෙන් ව්‍යාප්තිත ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන (Expanded Programme on Immunization, EPI) ආරම්භ කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ අනෙකුත් ලෝක සංවිධානවල නොමසුරු සහය එයට ලැබුණා.

    මෙම ගෝලීය ප්‍රයත්නයට සමගාමීව, UNICEF සහාය ඇතිව, 1978දී ශ්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන, කඩිනම් දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස නව ජවයකින් දියත් කෙරුණා.

    එය කේන්ද්‍රගත වූයේ ළමා වියේ ක්ෂය රෝගය, පිටගැස්ම, ගලපටලය, පෝලියෝ සහ නවජ පිටගැස්ම පාලනය කිරීම කෙරෙහියි. 1988දී මෙම කේන්ද්‍රීය අවධානය රෝග තුරන් කිරීම කරා මාරු වුණා. 1991දී පෝලියෝ තුරන් කිරීමේ ක්‍රියාවලියට පහසුකම සැපයීම පිණිස පාසලට ඇතුලත් වීමේදී මුඛ පෝලියෝ එන්නතේ පස්වැනි මාත්‍රාව ලබා දීම පටන් ගත්තා.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ ආවරණය කාලානුරූපව පුළුල් කොට තිබෙනවා. මෑත මංසලකුණු අතර: සරම්ප එන්නත හඳුන්වා දීම (1984), පිටගැස්ම ධූලකය සඳහා කාලසටහන සංශෝධනය කිරීම (1991), රුබෙල්ලා එන්නත හඳුන්වා දීම (1996), අදියර පදනමින් හෙපටයිටිස් බී එන්නත හඳුන්වා දීම (2003).

    මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අංශයේ තවත් ආයතන රැසක්, පෞද්ගලික සමාගම් සහ සිවිල් සමාජ සංවිධාන හවුල් කර ගෙනයි.

    උදාහරණයක් ලෙස පෝලියෝ ප්‍රතිශක්තිකරණ කටයුතු සඳහා ලෝක ව්‍යාප්ත ස්වේච්ඡා ආයතනයක් වන රෝටරි පදනමින් (Rotary Foundation) බොහෝ ආධාර ලැබී තිබෙනවා. 

    එපමනක් නොවෙයි. යුද්ධය පැවැති 1995 සහ 1996 වර්ෂවල ජාතික ප්‍රතිශක්තිකරණ දිනයේදී දිවයින පුරා සිටින දරුවන්ට එකම අවස්ථාවේ පෝලියෝ එන්නත් ලබා දීමට අවශ්‍ය වුණා. එහෙත් ඒ වන විට උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශ පැවතියේ කොටි සංවිධානයේ පාලනය යටතේ.

    ප්‍රතිශක්තිකරණ දිනය සඳහාම සුවිශේෂී (පැය 24) කෙටි සටන් විරාමයක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ LTTE සංවිධානය මානුෂීය පදනමෙන් එකඟ කරවා ගැනීමට මෙරට රෝටරි සමාජවල ජාතික නායකත්වය සමත් වුණා

    නිසි වේලාවට ප්‍රතිශක්තිකරණය ලබා දීම හරහා ළමා පරපුර රැක ගැනීමේ අරමුණ සටන් වැද සිටි දෙපාර්ශ්වයටම ඒත්තු ගැන්වීම ගැන දන්නෙ කී දෙනාද?

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන 2016දී පල කරන ලද පොතක මෙසේ සඳහන් වනවා: “මෙලෙස එන්නත් වර්ග හා ඒවායේ ආවරණය වැඩි කර ගැනීම තුළින් ලෝකයේ බෝවන රෝග විශාල සංඛ්‍යාවක් වැළඳීම පාලනය කර තිබේ. එබැවින් එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග රාශියක වාර්ෂික පතනය (වර්ෂයක් තුළ අලුතින් බිහි වන රෝගීන් ප‍්‍රමාණය/incidence) අවම වී ඇත. මේ වන විට වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කර ඇති අතර, බොහෝ රටවල පෝලියෝ රෝගීන් තව දුරටත් වාර්තා නොවේ.”

    ප්‍රතිශක්තිකරණය සඳහා යම් පිරිවැයක් දැරීමට රජයට සිදුවන නමුත් එයින් ලැබෙන මානුෂික, සමාජයීය සහ ආර්ථික ප්‍රතිලාභ ඉමහත්.

    “[ප්‍රතිශක්තිකරණය] නිසා රෝග හේතුවෙන් පුද්ගලයාට, පවුලේ සාමාඡීකයින්ට සහ සමාජයට ඇති විය හැකි බලපෑම හා හානිය (burden of disease) අවම කර ගෙන ඇත. එසේම ප‍්‍රතිශක්තිකරණය ලබා ගන්නා ලද පුද්ගලයින් නිසා සමාජයේ සාමාන්‍ය ප‍්‍රතිශක්ති මට්ටම ඉහළ යාම හා ආසාදනය පැතිර යාම අවම වීම තුළින් ප‍්‍රතිශක්තිකරණය නොලබා සමාජයේ සිටින සුළු පිරිස ද ආරක්ෂා වේ (herd immunity)” යයි 2016 සෞඛ්‍ය අමාත්‍යාංශ පොතේ පෙන්වා දෙනවා.

    ප්‍රතිශක්තිකරණය සාර්ථකව පවත්වා ගැනීම සඳහා නිසි ප්‍රමිතියේ එන්නත් මෙන්ම ඒවා ආරක්ෂිතව බෙදා හැරීම සහ ශරීරගත කිරීම සඳහා නිසි පුහුණු ලත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයත්, යටිතල පහසුකමුත් අවශ්‍යයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශනයට අනුව, සෑම එන්නතක්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වී යම් කිසි කාල සීමාවක් ගත වූ පසු ඒවාහි ගුණාත්මකභාවය විනාශ වනවා. එසේම සෑම අජීවී එන්නතක්ම අධිශීතනය වුවහොත් ඒවායේ ගුණාත්මකභාවය නැති විය හැකියි. ඊට අමතරව එන්නත් හිරු එළියට සෘජුවම නිරාවරණය වීම තුළින් ද විනාශ විය හැකියි. 

    මේ නිසා එන්නත්වල ගුණාත්මකභාවය සහතික කිරීමට නම්, එන්නත් නිෂ්පාදන කරන තැන සිට එන්නත්ලාභියාට එය ලබා දෙන තෙක්, සෑම එන්නතක්ම නියමිත උෂ්ණත්ව පරාසයේ ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හා භාවිතය සිදු කළ යුතුයි. සමහර එන්නත් ඒවා ලබා දෙන අවස්ථාවේ දී එන්නත් සායනයේ දී ද මෙම උෂ්ණත්ව පරාසය තුළ තබා ගැනීම අවශ්‍යයි. 

    දැනට විවිධ රෝගවලට එරෙහිව දෙන එන්නත් බහුතරයක් සෙන්ටිග්‍රේඩ් අංශක 2 – 8 අතර පවත්වා ගත යුතුයි. (මෙය සාමාන්‍ය ශීතකරණයක උෂ්ණත්ව පරාසයයි.) ඝර්ම කලාපීය රටවල දහවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 – 40 අතර වනවා.

    ඒ කියන්නේ එන්නත් බෙදා හැරීමට ශීත දාමයක් (cold chain) අත්‍යවශ්‍ය බවයි. එන්නත් නිෂ්පාදනයේ සිට එන්නත්ලාභියාට ලබා දෙන තෙක් එම එන්නත් ප්‍රශස්ත උෂ්ණත්වයේ පවත්වා ගැනීම ශීත දාමය ලෙස හඳුන්වනවා. මෙයට දායක වන කාර්ය මණ්ඩලය හා යොදා ගන්නා උපකරණ යන දෙකම ශීත දාමයේ අංගයි.

    ශීත දාමය පවත්වා ගැනීමට අවශ්‍ය උපකරණ වන්නේ ශීත කාමර (cold rooms, ශීතකරණ (refrigerators), අධි ශීතකරණ (freezers), ශීත පෙට්ටි (cold boxes), එන්නත් බහාලූම් (vaccine carriers), විදුලි ජනක යන්ත‍්‍ර (generators), උෂ්ණත්වමාපක, ඉලෙක්ට්‍රොනික උෂ්ණත්ව දත්ත මාපක, ඩේටා ලොජර් (data lodgers), ලොග් ටැග්ස් (log tags), අධිශීත දර්ශක (freeze tags) සහ එන්නත් ප්‍රවාහනය කරන වාහන. 

    ශීතදාමය නිසි ලෙස පවත්වා නොගත් එන්නත් ශරීර ගත කළොත් එම එන්නතෙහි ඇති රෝග වැළැක්වීමේ හැකියාව හීන වනවා. එසේම ස්ථානීය අතුරු ආබාධ ඇති වීමේ අවදානම වැඩි වනවා.

    ශ්‍රී ලංකාවට පිටරට සිට එන්නත් එවන්නේ ස්ටයිරොෆෝම් පෙට්ටිවල අසුරා ගුවන් මගින්. මෙරට පැමිණි විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් භාර ගනු ලබන එන්නත් තොග, විශේෂ ශීතනය කළ වාහන මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට ගෙන යනවා.

    ඉන් පසු එන්නත් ශීතදාමය නිසි ලෙස ආරක්ෂා කරනු ලබන ශීත කාමරවල ගබඩා කැරෙනවා. මෙම එන්නත් දිස්ත‍්‍රික්කවලට බෙදා හැරීම සිදු කරන්නේ ශීතකරණ අඩංගු වාහනවල අසුරා සෑම මාස දෙකකට වරක් පෙර සකස් කරන ලද කාලසටහනකට අනුවයි. 

    ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවලට ලබා දුන් එන්නත්, සෑම මාසයකටම වරක් දිස්ත්‍රික්ක ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට හා අවශ්‍යතාව මත සමහර රජයේ රෝහල්වලට ද ලබා දෙනවා. මෙහි දී එන්නත් ප්‍රවාහනය කරන්නේ ශීත පෙට්ටිවල තැන්පත් කොටයි.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට සායන දක්වා එන්නත් ගෙනා යා යුත්තේ එන්නත් බහාලූම් තුළයි. එන්නත් බහාලූමක උෂ්ණත්වය නිසි පරාසයක පවත්වා ගැනීම සඳහා එය තුළට පදම් කළ අයිස් පැක්ස් දැමිය යුතුයි.

    මෙහිදී මා සරලව සඳහන් කලත් ඉහත ක්‍රියාදාමයේ හැම අදියරකදී තත්ව පාලනය සහ උෂ්ණත්ව පාලනය රැක ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුගමනය කරන නිශ්චිත පියවර තිබෙනවා. විවිධ බෝවෙන රෝගවලට එරෙහිව ලබා දෙන විවිධ එන්නත් එකට ප්‍රවාහනය කලත්, ඒවා භාවිතයට පෙර සායනික සම්ප්‍රදායන් රැසක් අනුගමනය කරනවා. 

    මේසියල්ලෙන්තහවුරුවන්නේදශකගණනාවක්තිස්සේදැඩිශික්ෂණයෙන්හාකැපවීමකින්ගොඩනගාගත්ජාතිකප්රතිශක්තිකරණක්රමවේදයක්ශ්රීලංකාවසතුබවයිවෛද්යවරුන්ගේමගපෙන්වීමයටතේමෙහිවැඩිවැඩකොටසක්සිදුකරන්නේක්ෂේත්මට්ටමේප්රජාසෞඛ්සේවකයන්විසින්.  

    2020 වසරේ කොරෝනා රෝග මර්දනයේදී ප්‍රජා සහ ක්ෂේත්‍ර මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ට ලැබුණේ සාපේක්ෂව අඩු අවධානයක්. එහෙත් ලෝක ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ අරටුව වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඇතුළු ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයයි. 

    2021 වසරේදී WHO අනුමැතිය ඇතිව ලක් රජය මෙරටට ගෙන ඒමට නියමිත COVID-19 එන්නත්, මිලියන 22කට ආසන්න සියලු ලක් ජනයාට ක්‍රමානුකූලව සහ සුපරීක්ෂාකාරීව ලබා දීමේ අභියෝගයට උර දෙන්න ඔවුන් පෙළ ගැසෙනු ඇති.

    එන්නත් පිළිබඳ ඉල්ලුම් පැත්තේ අභියෝග ජය ගැනීම ගැන ලබන සතියේ.

    නාලක ගුණවර්ධන

  • කොවිඩ්-19 එක්ක එන මානසික ගැටලු

    කොවිඩ්-19 එක්ක එන මානසික ගැටලු

    චතුරි සුරවීර විශේෂඥ මනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය)

    කොවිඩ් -19 වසංගතය මහජනතාවට, සෞඛ්‍ය අංශවලට සේම ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන්නන්ට ද අලුත් රෝග තත්ත්වයකි. මේ වන විටත් අපි ඒ රෝගයේ ස්වභාවය පිළිබද ඉගෙන ගනිමින් සිටිමු.

    මින් පෙරත් ලෝකයේ මෙවැනි වසංගත තත්ත්වයන් ව්‍යාප්ත වූ නමුත් ඒවායෙන් ශ්‍රී ලංකාවට ඒ හැටි බලපෑමක් එල්ල නොවිණි. මෙහිදී අප සියලු දෙනා වටා ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයකි. සියල්ල අපගේ පාලනය යටතේ පැවතීම අප අපේක්ෂා කරනමුත් කොවිඩ් ඇත්තේ අපේ පාලනය යටතේ නොවේ. එබැවින් මෙම රෝගය හේතුවෙන් මේ අවස්ථාවේදී බොහෝ දෙනා ආතති තත්ත්වයන්ට පත්විය හැක.   

    තවත් අතෙකින් මේ තත්ත්වය යටතේ පැනවෙන ඇඳිරි නීතිය, හුදෙකලා කිරීම් වැනි ක්‍රියාදාමයන් හේතු කරගෙන ද පුද්ගලයින්ට මානසික ආතතීන් ඇති වේ. කෑමබීම සපයාගැනීම, වැටුප් ලබාගැනීම, ප්‍රවාහන ගැටලු මුල්කරගනිමින් එවැනි තත්ත්වයන් යටතේ බොහෝ මිනිසුන් ආතතියට පත්වීම සුලබව දැකිය හැකි ය.  

    කොවිඩ් -19 අපගේ සුපුරුදු ජීවන රටාව උඩුයටිකුරු කොට ඇත. මින්පෙර බොහෝ දෙනා ගත කළේ අතිශය කාර්යබහුල ජීවිතයකි. මුදල් පසුබස හඹායෑමේදී වැඩි කාලයක් ගත කිරීමට සිදු වූයේ රැකියාව හෝ ව්‍යාපාරය වෙනුවෙනි. නිවසේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ ඉතා කෙටි කාලයකි. එයින් ද පැය දෙක තුනකට වැඩියෙන් නිවැසියන් හා ගත කිරීමට අවස්ථාවක් නොවිණි. ඒ වෙනුවට කොවිඩ් අපව නිවෙසටම කොටු කර ඇති වාතාවරණයක් යටතේ බොහෝ පවුල්වල සියලුම සාමාජිකයින් දවසේ පැය 24 ම නිවසේ ය. ඒ අනුව පුද්ගලයින් නිවෙසටම හිරවීම තුළ එකිනෙකා අතර ගට්ටන වැඩී වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

    නිවසේ සිට රාජකාරී කිරීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වූවද බොහෝ විට කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීම අපහසු ය. නිවසේ සිටියදී දරුවන්ගේ කටයුතු ඉවුම්පිහුම්, අනෙකුත් වැඩ අතරතුර රාජකාරිය ද පටලවා ගැනීමට සිදුවීම තුළ මානසික ගැටලු මතු වූ අවස්ථා බහුල ය. එසේ ම Work From home  ක්‍රමවේදයේදී මින් පෙර පැය අටේ රැකියාව කළ ඇතැම් පුද්ගලයින්ට කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ නිවෙසට වී රාජකාරිය වෙලාවක් කලාවක් නැතිවම සිදු කරන්නට විය.  

    මේ වකවානුව තුළ මාර්ගගත අධ්‍යාපනය ද මානසික ගැටලු ඇති කිරීමට බලපෑ තවත් කාරණයකි. කොවිඩ් -19 ව්‍යාප්තියට මත්තෙන් දරුවන් දිනකට පැය දෙක තුනක් පාඩම් කළේ පාසලේ ඉගෙනුම් කටයුතු, අමතර පංතිවලට සහභාගී වීම වැනි ක්‍රියාදාමයක් තුළ ය.

    මේ වන විට දරුවන් පැය 24 ම නිවසේ රැඳෙන බැවින් ඇතැම් දෙමාපියන් අපේක්ෂා කරන්නේ දරුවන් පැය 24 ම අධ්‍යාපන කටයුතුවලට යොමු විය යුතු බව ය. එය දරුවන්ට එක්තරා අන්දමකින් මානසික පීඩනයක් ගෙනදෙන්නක් විය. එසේ ම ඒ සමඟ ම බොහෝ දරුවන් පරිගණකයට, දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වීමේ ගැටලු ද පැනනැඟිණි.

    දෙමාපියන් දරුවන්ට පරිගණකයෙන්, දුරකථනයෙන් ඈත්වීමට බල කළ ද ඒ වෙනුවනට තෝරාගත හැකි විකල්පයන් ලබා නොදීම ද ළමා මනසට දැඩි සේ බලපෑම් එල්ල කරයි. එළිමහනේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොමැති වීම මාපියන් සමඟ අදහස් බෙදාගැනීමට ඉඩක් නොමැති වීම තුළ නිවෙසට ම කොටු වී සිටින දරුවන් යම් යම් මානසික ගැටලුවලට ලක්වීම ද මේ වකවානුව තුළ වැඩි වශයෙන් හඳුනාගත හැකි ය.  

    එක අතෙකින් බාහිර සමාජයේ සියලු දෙනා ආසාදිතයන් බව සිතමින් සමාජ දුරස්ථ භාවය පවත්වාගනිමින් අප  ප්‍රවේශම් වීම වැදගත් ය. තවත් අතෙකින් එහිදී සිදු වන්නේ සෑම පුද්ගලයකු තුළ ම විශාල සැකයක් ඇති කිරීම ය. සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක අංශවල සේවකයින්, ඇඟළුම් සේවක සේවිකාවන්, මත්ස්‍ය වෙළෙන්දන් ආදී නොයෙකුත් කණ්ඩායම්වල පුද්ගලයන් දෙස “මේ සිටින්නේ ආසාදිතයකු විය හැකි ය” යන සැකයත් සමඟ බැලීම තුළම ඇතැම් පිරිස් එම පුද්ගලයන් කොන් කිරීමට ද කටයුතු කළ බවක් පෙනෙන්නට විය. එය ද යම් යම් පුද්ගලයන් තුළ මානසික ආතතිය වැඩිකරලීමට හේතුවකි.  

    මීට අමතරව දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලින් පීඩා විඳින්නන් මේ දිනවල වැඩි වශයෙන් ආතතියට ලක්වී ඇත්තේ එම පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවත් එසේ ආසාදනය වුවහොත් සිදුවන බලපෑම වැඩි බවත් හඳුනාගෙන තිබෙන බැවිනි. මේ සමඟ ඇති වෙන මානසික පීඩනය හේතුවෙන්  එම රෝගවල උත්සන්න වීමක් ද දැකිය හැකි ය.

    එසේ ම එවැනි රෝගීන්ට මේ අවස්ථාවේ ඖෂධ ලබාගැනීමට, වෛද්‍යවරුන් මුණගැසීමට ඇති අපහසුතා මෙන් ම රෝගය කෙතරම් උත්සන්න වුව ද කොවිඩ් -19ට බියෙන් ප්‍රතිකාර සඳහා නිවෙසින් බැහැරට නොයා සිටීම තුළ කොවිඩ් -19 ආසාදනය වීමෙන් මෙන්ම වෙනත් රෝග හේතුවෙන්ද වාර්තා වන මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වී තිබේ.සාමාන්‍යයෙන් මෙවැනි ආතතිකාරී තත්ත්වයන් හමුවේදී මානසික රෝගවලට මින් පෙර ගොදුරු වී සිටි පුද්ගලයන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රවණතාවක් ද ඇත. ඒ අනුව විශේෂයෙන් ම විශාදයෙන්, කාන්සා රෝග තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අයගේ එම රෝග තත්ත්වයන් උත්සන්න විය හැකි ය.

    කොවිඩ්-19 වෛරසයේ ගොදුරක් බවට පත් නොවී සිටීමට නිරන්තරයෙන් දෑත් හොඳින් සබන් යොදා සෝදන ලෙසට අපට උපදෙස් ලැබේ. එහෙත් නිතර වැඩිපුර අත හේදීම වැනි තත්ත්වයන් ද ඇතැම් මානසික රෝගයන්ගේ (ග්‍රස්ථිය ) රෝග ලක්ෂණ ය. එවිට එවැනි මානසික රෝග ද උත්සන්න විය හැකි ය. එසේම ඇතැම් මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් කොවිඩ් -19 වාතාවරණය යටතේ නිසි ලෙස ප්‍රතිකාර සඳහා යොමු නොවීම, ඖෂධ ක්‍රමානුකූලව භාවිතා නොකිරීම හේතුවෙන් රෝග තත්ත්වයන් උත්සන්න වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

    මේ සමගම සියදිවි හානිකර ගැනීම්වලට ද විවර වූයේ වැඩි ඉඩකඩකි.  උද්ගත ව ඇති තත්ත්වය පිළිබඳ හරිහැටි නොදැන සිටීම ද පුද්ගලයින් අවශ්‍ය ලෙස පීඩාවට පත්කිරීමට හේතුවකි. ඇතැම්විට නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යන අයුරු, නිරෝධායනය කෙරෙන අයුරු ආදි සියලු දේ සමාජ මාධ්‍යය ද ඇතුළුව ඇතැම් මාධ්‍යවලින් පෙන්වාදුන්නේ බිය උපදවනසුලු අන්දමෙනි.

    එයාකාරයෙන් ජනතාවට සියල්ල විවර නොකිරීම තුළින් ඇතැම්විට ඔවුන් මෙම රෝගය සුළුකොට තකා අනාරක්ෂිත ව සිටීමෙන්, රෝගයේ පැතිරීම පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇති වන්නා සේ ම සියල්ල නිරන්තරයෙන් හෙළිදරව් කිරීම තුළ ද අනවශ්‍ය බියකින්, මානසික පීඩනයකින් ජනතාව පෙළෙන්නට ඉඩ ඇත. පසුගිය දිනවල ඇතැම් රටවල මිනී කඳුගැසෙන ආකාරය අපි මාධ්‍ය ඔස්සේ දැකගත්තෙමු.

    මෙරට තත්ත්වය එතරම් බරපතල නොවුණ ද ඇතැමුන් දැඩි සේ බියට පත්ව සිටිනුයේ අපට ද එවැනි ම ඉරණමක් අත්වන බව සිතමිනි. එකම සිදුවීම වුව සියල්ලන් දරාගන්නේ එක ම ආකාරයකින් නොවේ. මේ සමඟ ඇතැම් පිරිස් නිරෝධායනයෙන් පලා යන්නට ද සියදිවි නසාගන්නට ද පෙළඹී ඇත්තේ ඔවුන් මේ තත්ත්වය දකින භයානක ආකාරය අනුව ය. එබැවින් මෙහිදී ජනතාව දැනුවත් කිරීම ද සිදු විය යුත්තේ සමබරව ය. 

    එසේම තොරතුරු දැනගැනීමේදී පුද්ගලයින් විසින් එක් විශ්වාසදායි මාධ්‍යයක් තෝරාගැනීම ද දිනකට වරක් දෙවරක් පමණක් පුවත් විකාශනයන්ට යොමු වීම ද මෙහිදී වැදගත් ය. මන්ද සෑම මාධ්‍යයකින්ම විකාශය කරන ප්‍රවෘත්තිවලට නිරන්තරයෙන් අවධානය යොමු කිරීම ද අනවශ්‍ය බියක්, චකිතයක් ඇති කරවිය හැකි ය. එකම සිදුවීම එක් එක් මාධ්‍යවලින් ලබාදෙන්නේ එක් එක් ආකාරයට ය.

    කෙසේ වෙතත් අවශ්‍ය ම කරුණු සම්බන්ධයෙන් අප තුළ වන නොදැනුවත් භාවය තුළ තමාටත් අනෙකාටත් අසාධාරණයක් සිදු වන බව ද සිහි තබාගත යුතු ය.   නිරන්තරයෙන් ඒකාකාරී ජීවන රටාවක් ගතකළ කාටත් අමතක වූ කාරණයක් වූයේ ඒ සියල්ල නැතිවුවහොත් ජීවිතය ගෙවන්නේ කෙසේද? යන්න ය. නොනවත්වා යන්ත්‍ර මෙන් වැඩ කළ ඇතැමුන් සිය විනෝදාංශවලින්, රසවින්දනයෙන්, ව්‍යායාම, භාවනා ආදියෙන්, ආගමික වතාවත් ආදියෙන් මෙන් ම ප්‍රියයන්ගෙන් බොහෝ දුරස්ථ ය. රැකියාව සහ මුදල් පසුපසම හඹායෑම වෙනුවට ජීවිතය සමබර ව පවත්වාගෙන යෑමේ වටිනාකම කොවිඩ් -19 මේ වන විටත් පෙන්වා දී හමාර ය.

    ජීවිතය සමබර ව පවත්වාගෙන යෑමට යම්තරමින් හෝ පුරුදුපුහුණු වී සිටි පුද්ගලයන්ට නිවෙසට වී ගත කරන මේ කාලය අනවශ්‍ය පීඩනයක් ගෙනදුන්නේ නැති අතර ඔවුන් නිවසේ වැඩ කටයුතු ද නිසි ලෙස පාලනය කරමින්, පොත් පත් කියවමින්, රසවින්දන වැඩසටහන් නරඹමින්, ගෘහස්ත ක්‍රිඩාවල නිරත වෙමින්, ගෙවතු අලංකරණය, වගා කටයුතු, ව්‍යායාම්වල නියැලෙමින්, රසවත් ආහාරපාන අත්හදා බලමින් නිවැසියන් හා සතුටින් කල් ගෙවීය. අප සෑම දෙයක් දෙසම ඍණාත්මකව ම සිතිය යුතු නැත.

    ධනාත්මක චින්තනය තුළ ද අත්කරගත හැකි වාසි රැසකි.එතුළ එක අතෙකින් ආතතිය අවම කරගත හැක. කොවිඩ් වසංගතතය හේතුවෙන් නිවෙසට වී සිටීමත් සමඟ නිවැසියන් හා ගත කළ හැකි කාලය වැඩිකරගැනීමට, මාපිය දූදරු සබඳතා වැඩි දියුණු කරගැනීමට, තම තමන්ගේ විනෝදාංශ සඳහා යොමු වීමට, විවේකීව සිටීමට මෙන්ම නිදහසේ සිතන්නට සියලු දෙනාට ඉඩහසර විවර වී ඇත.එපමණක් නොව පෙර නොවූ තරමින් අප මේ වකවානුව තුළ තාක්ෂණයට හා දියුණු ක්‍රමවේදයන්ට හුරු වෙමින් සිටීම ද යහපත් ප්‍රවණතාවකි.

    මාර්ගගත අධ්‍යාපනය,වීඩියෝ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම, ලිපි වෙනුවට වැඩිවැඩියෙන් විද්‍යුත් තැපෑලට යොමු වීම, ඖෂධ සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය නිවෙසටම ගෙන්වා ගැනීම එහිලා පෙන්වාදිය හැකි උදාහරණ කිහිපයක් පමණි. එය වූකලී මෙම වසංගත තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් නැඟෙන ඍණාත්මක සිතුවිලි තරමක් දුරට හෝ මැඩපවත්වා ගනිමින් ඉදිරියට යෑමට හේතුවක් නොවේද?කෙසේ වෙතත් මේ දිනවල සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් සහ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇති නීති අකුරටම පිළිපැදිය යුතු ය. එසේ සිදු කරන්නේ නම් මානසික රෝග ඇති කරවන තරමට බිය සැක උපදවා ගත යුතු වන්නේ නැත.

    විශේෂයෙන් ම දරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී මේ කාලය තුළ පෙරටත් වැඩියෙන් ප්‍රවේශම් විය යුතු අතර ඔවුන් වෙත අනවශ්‍ය මානසික පීඩනයක් ලබානොදීමට වැඩිහිටියන් වගබලා ගත යුතු ම ය.  නිවසේ රැඳී සිටින්නන් මේ දිනවල සිය දිවාරාත්‍රී චක්‍රය දැඩි වෙනසකට ලක් කරමින් මධ්‍යම රාත්‍රී 12, 01 වන තුරු නිදි වරා පසු දා උදෑසන 10, 11 වන තුරු නින්දේ සිටීම නම් සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ.

    එසේ ම මේ වකවානුව තුළ ඇති වන මානසික ආතතිය පිට දමන්නට මතට හා දුමට හුරුවීමට කිසිසේත්ම නොකළ යුත්තකි. විශේෂයෙන් ම දුම් පානය කරන්නන්ට කොවිඩ් -19 ආසාදනය වීමට වැඩි ඉඩක් ඇති අතර ආසානය වීමෙන් පසු සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ද ඉතා වැඩි ය. එසේ ම බෙදාගෙන එකම දුම්වැටිය ඉරීම රෝගය වේගයෙන් පතුරවන්නට හේතුවේ. මත්පැන් පානය ඔබට ප්‍රවේශම අමතක කරවයි. මේ, දුම්වැටියට සහ මතට තිත තැබීමට හොඳම අවස්ථාවකි. 

    මෙම වසංත තත්ත්වය තුළ ප්‍රියයන්ගෙන් වෙන්වී සිටීමට සිදු වීම දරාගත නොහැකි වීම තුළ ද ඇතැම් පුද්ගලයන් තුළ යම් යම් මානසික ගැටලු ඇතිවීමක් දක්නට ලැබිණි. එවැනි අවස්ථාවලදී ද විශාද සහ කාන්සා රෝග තත්ත්වයන් ඇති විය හැකි ය. මින් පෙර පැවැති මානසික රෝග උත්සන්න වීමේ හැකියාව ද වැඩි ය. මානසික රෝගියෙකු යන ලේබලය ලබාදිය නොහැකි වුවද ඇතැම් පුද්ගලයන්ට වෙනදාට වැඩියෙන් තරහව, දුක, බිය, සැක ඇතිවීම වැනි මානසික ගැටලු ද ඇතිවිය හැකි ය.

    මේ අතරින් ඇතැම් මානසික ගැටලු ඉබේම පහව යා හැකි නමුත් ඇතැම් ඒවා සියදිවි නසා ගැනීමට පෙළඹීම දක්වා වුව ද උග්‍ර අතට හැරෙන්නට ඉඩකඩ පවතී. එබැවින් තම සමීපතමයින් පිළිබඳ සැලකිලිමත් වන්න. ඔවුන්ගේ පැහැදිලි වෙනස්කම් පිළිබඳ නොකතා සිටීම, ඔවුන් ඔබෙන් සදහට ම ඈත් කරවීමට හේතුවක් විය හැකි ය. 

    තමාට හෝ සමීපතමයකුට යම් මානසික ගැටලුවක් පවතින්නේ නම් එය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්ද? නැද්ද? යන්න තනිව තීරණය නොකරන්න. වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. එහිදී අවශ්‍ය නම් ඔබව හෝ ඔබේ සමීපතමයාව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෙබ් අඩවිය ද උපකාරකොට ගත හැකි ය.

    එසේ ම 1926 අංකය ඔස්සේ ජාතික මානසික රෝග විද්‍යායතනය හා සම්බන්ධ වීමෙන් ඔබට ඇති යම් යම් මානසික ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමේ අවස්ථාව උදා වේ. තව ද සාමාන්‍යයෙන් ඔබට නින්ද නොයයි නම්, ආහාර ගන්නා ප්‍රමාණයේ වැඩිවීමක් හෝ අඩුවීමක් සිදු වී ඇත්නම්, හිතට වෙනදාට වැඩියෙන් දුක දැනෙවා නම්, තරහා ඇතිවන්නේ නම්, ඇඟට පණ නැති බවක් දැනෙන්නේ නම්, නිතර බියෙන් සිටිනවා නම්, “මැරෙන්න ඕනෙ, මැරිලා ගියා නම් හොඳයි” වැනි සිතුවිලි පහල වේ නම්, එය කුමන හෝ මානසික රෝගයක ලක්ෂණ විය හැකි ය.

    එබැවින් එවැනි තත්ත්වයන් හමුවේ ඉක්මනින් ළඟම සිටින වෛද්‍යවරයෙකු හෝ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වන්න. මන්ද මේ රෝග තත්ත්වයන් ඖෂධවලින් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවලින් පාලනය කරගත හැකි ය.    

    චතුරි සුරවීර විශේෂඥ මොනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය)

    සටහන – කාංචනා සිරිවර්ධන

  • ආර්ථිකය නිසි පීල්ලට එනතෙක් ජනතාව ද කැප කිරීම් කළ යුතුයි

    ආර්ථිකය නිසි පීල්ලට එනතෙක් ජනතාව ද කැප කිරීම් කළ යුතුයි

    මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ.

    ආචාර්ය අජිත් දිසානායක – ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය – කැළණිය විශ්වවිද්‍යාලය

    ඕනෑම රටක් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවිය යුත්තේ ආර්ථික සමතුලිත භාවය, ආර්ථික ස්ථායිතාවය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සමානාත්මතාවය, පූර්ණ සේවා නියුක්තිය වැනි මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ය.

    සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ බාහිර ප්‍රතිපත්ති වශයෙන් දෙකොටසකි. අභ්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ මෙරට තුළ වසරින් වසර පුළුල් වෙමින් එන අයවැය පරතරයක් ඇති බව ය. මෙරට ආදායම රටේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එවිට අයවැය හිඟය පියවා ගැනීමට සිදු වන්නේ වෙනත් මූලාශ්‍රවලිනි. එම මූලාශ්‍ර ඇතැම්විට ආර්ථිකයට දරාගත හැකි යහපත් මූලාශ්‍ර වන්නට සේ ම තවත් විටක ආර්ථිකයට දරාගත නොහැකි අයහපත් මූලාශ්‍ර වන්නට ද ඉඩ ඇත. එය වූකලී අභ්‍යන්තර තුලනයට අදාළ කරුණකි.

    අනෙක් අතින් රටක් ලෙස අප බාහිර වශයෙන් විදේශීය වෙළඳපොළ සමඟ ගනුදෙනු සිදු කරන විට අපේ අපනයන සහ ආනයන අතර ගෙවුම් ශේෂ හිඟයක් ඇති වේ. එනම් අපනයන ආදායම, ආනයන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එය වූකලී බාහිර තුලනයට අදාළ කරුණකි.       

    රටේ ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වේ. ඒත් සමඟ කනබොන කටවල් ප්‍රමාණය ද වැඩි වේ. මේ අතර ඊට වඩා වැඩි වේගයකින් ආනයන ප්‍රමාණය වැඩි විය. එපමණක් නොව විදෙස් වෙළඳපොළවලින් ආනයනය කරන භාණ්ඩවල මිල ගණන්ද දිගින් දිගටම වැඩි වෙමින් පවතී. එවිට අපට සිදු වනුයේ සීමිත ආනයන ප්‍රමාණයක් වෙනුවෙන් අසීමිත මුදල් සම්භාරයක් කැප කිරීමට ය.   

    මින් පෙර තේ කිලෝ ගෑම් 1000ක් දී මොටර් රථයක් ගෙන්නුවා නම් මේ වන විට මෝටර් රථයක් ගෙන්වීමට තේ කිලෝග්‍රෑම් 1200ක් එතෙරට පිදිය යුතු ය. මෙහිදී රටේ සම්පත් සූරාකෑමකට ලක්වේ. එබැවින් සංවර්ධනය හඹාගෙන අප හැම විටම යා යුත්තේ දරාගත හැකි ගමනකි. 

    නිෂ්පාදකයා වෙනුවට ව්‍යාපාරිකයා ඉස්මතු වීම

    ඉකුත් වසර ගණනාවක් මුළුල්ලේ ම දේශීය වශයෙන් අපට නිපදවිය හැකි වූ බොහෝ දේ අප විදේශීය වශයෙන් ආනයනය කළ බව කවුරුත් දන්නා සත්‍යයකි. සරුංගලය, වෙසක් කූඩුව, හඳුන්කූර, ගිනිපෙට්ටිය. ඇල්පෙනිත්ත පවා ගෙනාවේ පිටරටිනි. මේ අපට දේශීය වශයෙන් ඉතා පහසුවෙන් නිපදවිය හැකි දේ නොවේද? 

    කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා මුංඇට, කඩල, කහ, ඉඟුරු, රටකජු පිටරටින් ගෙන්වීය. එයට හේතුව දේශීය නිෂ්පාදකයා කපාදමාගෙන ව්‍යාපාරික ප්‍රජාවක් නැඟීටීම ය. ඔවුන් සිදු කරන්නේ විදේශීය වශයෙන් නිපද වූ දෑ මෙරටට ගෙනැවිත් විකුණා මහා පරිමාණයේ ලාබ ලැබීම ය.

    මේ වන විට ව්‍යාපාරිකයා අතට පත්ව ඇති අපේ ආර්ථිකය නැවත වතාවක් දේශීය නිෂ්පාදකයා අතට පත් කළ යුතු ය. දේශීය වශයෙන් ශක්තිමක් ආර්ථිකයක් ගොඩනැනේනේ මේ කියන්නාවූ ව්‍යාපාරිකයන් පිටරටින් ගෙන්වන භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට ඉඩ ලබාදීම තුළිනි. මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ, දේශීය වශයෙන් විකල්පවලට එළැඹිය හැකි භාණ්ඩ සහ අනිවාර්යෙන්ම ආනයනය කිරීමට සිදු වන භාණ්ඩ මොනවාද? යන කාරණා පිළිබඳව මූලික වශයෙන් තීරණය කළ යුතු ය. මේ වර්ගීකරණය නිවැරදිව සිදු කිරීම රටේ ඉදිරි ගමන සඳහා බෙහෙවින් ම වැදගත් වේ.    

    දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමීමේ කිසිඳු වරදක් නැත. නිදසුනක් ලෙස කහ, ඉඟුරු, රටකජු වැනි මෙරට තුළ වගා කළ හැකි බෝග ආනයනය කළ යුතු නොවේ. ඇඟළුම් මෙරට විදෙස්  විනිමය ඉපයීම්වල ඉහළම අගයක් ගන්නා නිෂ්පාදනයකි. ලෝකයේ පොහොසත් ම රටවල ව්‍යාපාරිකයන් මෙරටට පැමිණ ආයෝජනය කිරීමෙන් නිෂ්පාදනය කරන ඇඟළුම් මේ වන විටත් ඇමරිකාව, එංගලන්තය ඇතුළු ලොව ධනවත් බලවත් රාජ්‍යයන් පරිභෝජනය කිරීම රටට ආඩම්බරයකි. එනම් ලොව ඕනෑම රටකට පිළිගත හැකි උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟළුම් නිපදවන පුහුණු ශ්‍රම බලකායක් අපට හිමි ය. එ

    හෙත් කණගාටුවට කරුණ නම් අප ඇඟලන්නේ රටින් ගෙනා ඇඳුම් වීම ය. මහන යන්ත්‍ර, රෙදි, නූල්, බොත්තම් අපට නැතිනම් කළ යුත්තේ ඒවා පිටරටින් ගෙන්වා ඇඳුම් මෙරට තුළ නිපදවා ගැනීම ය. එහෙත් අමුද්‍රව්‍ය ගෙන්වා ඇඳුම් නිපදවා ගැනීම වෙනුවට අප සිදු කරන්නේ නිමි ඇඳුම් ගෙන්වීම ය. නිමි ඇඳුම් ආනයනය නැවැත්විය යුතු ය. එවිට ඇඳුම් වෙනුවෙන් මෙරටින් පිටරටට ගලන මුදල් රටට ඉතිරි වනු ඇත.

    දියුණු රටවල වෙළෙදපොළක් නොවීම

    මෝටර් රථ ගෙන්විය යුත්තේ වසර තුන හතරකින් මාරු කිරීමට නොවේ. සාමාන්‍යයෙන් ආනයන කෙරෙන්නේ දිගු කලක් පරිභෝජනය කළ හැකි මෝටර් රථ ය. එහෙත් ඒවායේ ආයු කාලය අවසන් වීමට මත්තෙන් නැවත නැවත මෝටර් රථ ගෙන්වන විට සිදු වන්නේ කුමක්ද? ආනයනය කරන මොටර් රථ උපරිම ආයු කාලයක් පාවිච්චියට ගත යුතු ය. නිසි ප්‍රතිපත්තියක් නැතිව මෙරට මහා මාර්ග පිරිතීරී යන තරමට මෝටර් රථ ආනයනය කළහොත් ඊට සාපෙක්ෂව මැදපෙරදිගින් බොරතෙල් ගෙන්වන ප්‍රමාණය වැඩි කිරීමට සිදු වනු ඇත. මෝටර් රථ වෙනුවෙන් වැඩි වැඩියෙන් අමතර කොටස් ගෙන්වීමට ද සිදු වේ. මේ සියල්ල වෙනුවෙන් අප නැවත නැවතත් එතෙරට මුදල් පිදිය යුතු ය.   

    මේ තත්ත්වය පැහැදිලිව හඳුනාගත යුතු ය. ලෝකයේ දියුණු යැයි සම්මත බටහිර කාර්මික රටවල් නැතහොත් කේන්ද්‍රීය රටවල් හැමවිට ම අප වැනි දියුණු වෙමින් පවත්නා රටවල් (පරිදියේ රටවල්) ඔවුන්ගේ වෙළඳපොළවල් ලෙස පාවිච්චි කරයි. දියුණු රටවල් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්නේ අපට ය. එම නිෂ්පාදන පරිභෝජනය කරන්නේ අප ය.   

    යටත් විජිත සමයේදී මෙන් ම ඉන් අනතුරුවත් ඔවුන් සිදු කළේ අපේ රටවල් ඔවුන්ගේ අවශ්‍යතා අනුව පාලනය කිරීම ය. මෙරට දියුණුවට බාධා කළ ප්‍රබල සාධකයක් වූයේ 30 වසරක් පුරා පැවැති යුද්ධය යි. එක රටක් දෙපිළකට බෙදී 30 වසරක් යුද වැදීමේ වාසිය සැබවින් ම අත්පත් කරගත්තේ කවුරුන්ද? යුද්ධයට ආයුධ කොහෙන්ද? යුද උපකරණ හැදුවේ කවුරුන්ද? යුද පුහුණුව ලබාදුන්නේ කවුරුන්ද? 80 දශකයේදී ඊශ්‍රායලයේ මෝසාඩ් සංවිධානයෙන් කණ්ඩායම් දෙකටම පුහුණුව ලබාදුන් අතර දියුණු කාර්මික රටවල් අපට එකිනෙකා මරාගැනීමට ආයුධ අලෙවි කළ වග අමතක නොකළ යුතු ය. පරිදියේ රටවල වාර්ගික යුද්ධ, සිවිල් කෝලහාල ඇතිවන විට කේන්ද්‍රීය රටවල් එහි වාසිය අත් කරගනී. එක් කණ්ඩායමක් යුද වැදීමට අවිආයුධ විකුණට විට ඔවුන්ගේ ම අනෙක් කණ්ඩායම සාමය බෙදන්නට විය. සැබැවින් ම ඔවුන් සාමය බෙදනවා නම් ඔවුන් නිපදවන ආයුධ අපට බෙදා දුන්නේ කුමක් සඳහාද? 

    පාරිභෝජනයට ගිජු සමාජයක් බිහිවීම

    අප මෙතෙක් කල් ඉටුකොට ඇත්තේ කාගේ අවශ්‍යතාවද? බටහිර රටවල් විසින් ඔවුන්ගේ නිෂ්පාදන භාණ්වලට අපව ගොදුරු කරගනිමින් පරිබෝජනයට ගිජු සමාජයක් බිහිකොට ඇත. 2004 මහබැංකු මූල්‍ය ආර්ථික සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යම භාණ්ඩය බවට පාන්පිටි තෝරාගෙන තිබුණි. එහෙත් මෙරට ප්‍රධාන ආහාරය බත් ය.  ප්‍රධාන ආහාරය බත් වූ රටේ අත්‍යවශ්‍ය ආහාරය පාන්පිටි වී තිබීම කෙතරම් හාස්‍යජනකද?

    පිටරැටියන් තිරිඟුවල පෝෂදායි කොටස ඉවත් කරගෙන සුදු පාන්පිටි ටික අපේ රටවලට පටවන බව දැන දැනම එවැනි දේට ගිජුව ලෙඩ රෝගවලට ගොදුරු වීම අනුවණකමකි. ලෙඩ කරවන ආහාරපානවලට අප හුරු කරවා, අපේ රටවල මුදල් සූරගන්නා බටහිර රටවල් ඒ ආහාරපාන හේතුවෙන් ලෙඩවන අපට ඖෂධ විකුණා තව තවත්  මුදල් උපයන වග ද අප අමතක කළ යුතු නැත. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග පාලනය කරන බව මිස නිට්ටාවට සුව කරන බවක් අසා තිබේද? ප්‍රතිකාර අරඹා කලක් ගත වූ පසු රෝගියාව මිල වැඩි පෙත්තකට මාරු කරයි. බටහිරින් අපට අත්කොට දී ඇති සෝචනීය තත්ත්වය මෙය නොවේද?   අපේ දේ අපට අගයක් නැති වුවද දේශීය වෛද්‍ය ක්‍රමවල ලෙඩරෝග සුව කරනවා විනා වවාගෙන කන්නේ නැත.

    2014දී මෙරට තුළ වී අතිරික්තයක් පැවතිණි. පාන්පිටි පරිභෝජනය 30%ක් අඩු විය. මෙරට ජනතාව ධාන්‍ය සහ සහල් පරිබෝජනයට පෙළඹුණි. එහෙත් 2018 වන විට අප මෙරට සහල් අවශ්‍යතාවයෙන් 42%ක් පිටරටින් ගෙන්වන තැනට පත්විය. සහල් අතිරික්තයක් පැවැති රටක වසර 04ක් තුළ සහල් අවශ්‍යතාවයෙන් 42%ක් පිටරටින් ගෙන්වීම කෙතරම් සෝචනීය තත්ත්වයක්ද? 

    ආනයනය කළේ අත්‍යවශ්‍ය භාණ්ඩද ?

    මෙතෙක් කල් අප ආනයනය කොට ඇති භාණ්ඩ බොහොමයක් අත්‍යවශ්‍ය දේ නොවේ. එහෙයින් ආනයන සීමා පැනවීම සතුටුදායක ය. එහෙත් කර්මාන්ත පෙර සම්බන්ධතා හා පසු සම්බන්ධතා පිළිබඳව අනවබෝධයෙන් ආනයනය සීමා පැනවීම සිදු කළහොත් එය රටට යහපත් නොවනු ඇත. එබැවින් පාලනය කළ යුතු, තහනම් කළ යුතු සහ ගෙන්විය යුතු භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුව ගත යුතු ය.

    දේශීය වශයෙන් අපට පළමු පියවරේදී නිෂ්පාදනය කළ නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ ද ඇත. යම් රෝගයකට අවශ්‍ය ඖෂධ වර්ගය මෙරට තුළ නොමැති නමුත් එකී රෝගය රට තුළ ව්‍යාප්ත වී ඇත්නම් එම ඖෂධය අනිවාර්යෙන්ම ගෙන්විය යුතු ය. එහෙත් ඒ වෙනුවට දේශීය වශයෙන් ද ඖෂධයක් සොයාගෙන ඇත්නම් එම ඖෂධය ද දියුණුකොට විකල්පයක් ලෙස පවත්වාගත යුතු ය. එවිට කල්ගත වන විට ක්‍රමිකව අපට ආනයනය කරන ඖෂධය පාලනය කිරීමට අවස්ථාවක් උදා වේ. මේ වන විට අප ගෙන්වන බොහොමයක් ඖෂධ ඉන්දියාවේ ගෘහ කර්මාන්ත ලෙස නිපදවන ඒවා ය.

    ක්ෂණික ආහාර, පැණිබීම වර්ග ආනයනය තහනම් කළ යුතු ය. කිරිපිටි ආනයනය කිරීම වෙනුවට දේශිය වශයෙන් දියර කිරි කර්මාන්තය දියුණු කළ යුතු ය. අද අප භාවිත කරන කැත්ත, උදැල්ල පවා ආනයනය කළ ඒවා ය. අපේ කර්මාන්ත බොහොමයක් මේ වන විට විනාශ මුඛයට ඇදවැටී තිබීම කණගාටුවට කරුණකි. අප උසස් ප්‍රමිතියෙන් යුතු රබර් අපනයනය කොට ඒ රබල්වලින් නිපදවන අත්වැසුම් ආනයනය කරන්නේ කුමක් නිසාද? අත්වැසුම් අපට ම නිපදවාගත නොහැක්කේ මන්ද?

    ආනයන සීමා හමුවේ මැසිවිලි එපා

    ආනයන සීමා කිරීමත් සමඟ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් වෙළඳපොළේ ඇති හිඟය පිළිබඳ මැසිවිලි නැඟීම නොවේ සිදු කළ යුත්තේ එම භාණ්ඩ දේශීය ව නිපදවීමට උත්සුක වීම ය. එසේ නොහැකි නම් විකල්ප නිෂ්පාදන කරා එළැඹීම සුදුසු ය. ආනයනයට පෙළඹිය යුත්තේ ඒ කිසිවක් කළ නොහැකි තැනකදී ය. නිදසුනක් ලෙස සලකා බැලුවහොත් මේ වන විට තණකොළ කපන යන්ත්‍ර පිටරටින් ගෙන්වීම නවතා දමා ඇත. එවැනි යන්ත්‍ර මෙරට ප්‍රජාවට නිපදවිය නොහැකිද? සැබවින්ම වෙළඳපොළ තුළ හිඟ වී ඇති බොහෝ දේ දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ ය.

    අපට දේශීය වශයෙන් නිපදවාගත නොහැකි සේම විකල්පයක් ද සොයාගත නොහැකි දේ පමණක් මේ අවස්ථාවේ ආනයනය කිරීම සුදුසු ය. නිදසුනක් ලෙස ගතහොත් ඛනිජ තෙල් ආනයනය කිරීම සාධාරණ ය. වාහන එන්ජින් ගෙන්වීමේ වරදක් නැත. එහෙත් ටයර් ගෙන්විය යුතු නැත. මන්ද ටයර් අපට දේශීය වශයෙන් නිපදවිය හැකි ය. අපට නිපදවිය හැකි දේ ආනයනය කිරීම නැවැත්විය යුතු ය. මේ පිළිවෙත අනුගමනය කිරීමට නම් රට ගැන හැඟීමකින් කටයුතු කළ යුතු ය. රටට ගැලපෙන ආකෘතිය නිවැරදිව තෝරාගත යුතු ය. එසේ ම යම් යම් තත්ත්වයන් දරාගත යුතු ය.  

    මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ.

    පිටරටින් අර්තාපල් ගෙන්වීම නවතා දැමුවහොත් මෙරට අල ගොවියා දේශීය අවශ්‍යතාව වෙනුවෙන් අල වගා කරන්නේ නැතිද? රටින් පරිප්පු ගෙන්වීම නවතා දැමුවහොත් මෙරට ජනතාව මුං, කවුපි වැඩි වැඩියෙන් වගාකොට පරිප්පු වෙනුවට පරිබෝජනය නොකරාවිද? පාන් පිටි ගෙන්වීම නවතා දැමුවහොත් අල, බතල, ධාන්‍ය ආහාරයට නොගනීවිද? කහ ආනයනය නවතා දැමූ පසු තම පරිභෝජන අවශ්‍යතාව වෙනුවෙන් කහ වගා කිරීමට බොහෝ දෙනා පෙළඹුණි.

    පළමු කොවිඩ් රැල්ලේදී වගා කළ කහවලින් දැන් දැන් අස්වැන්න  ලැබෙමින් පවතී. එබැවින් මැසිවිලි නැඟීමට වඩා වටින්නේ රටක් ලෙස ස්වයං පෝෂිතව නැඟීසිටීමේ අරමුණ වෙනුවෙන් එකිනෙකාට සහයෝගය ලබාදීම ය. දේශීය අමුද්‍රව්‍යවලින් උසස් නිෂ්පාදන බිහි කිරීම සඳහා පර්යේෂකයන් මැදිහත් විය යුතු ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරහා විනාශ මුඛයට ඇදවැටුණු අපේ ශක්තිමත් ආර්ථිකය, නැවත ගොඩනැඟීම වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමටත් එම තීරණ බලගැන්වීමටත් බලධාරින්ට ඇත්තේ කර ඇරිය නොහැකි වගකීමකි.   

    සටහන – උමන්දා විජේමාන්න