Category: සුපිරි Cases

  • බස්නාහිර පළාතට රටේ සෙසු පළාත් සූරා කන්න තවදුරටත් ඉඩ දිය යුතු ද ?

    බස්නාහිර පළාතට රටේ සෙසු පළාත් සූරා කන්න තවදුරටත් ඉඩ දිය යුතු ද ?

    ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය 

    රටක් සංවර්ධනය වීම යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි නගරයක් හෝ පළාතක් වෙත සියල්ල සංකේන්ද්‍රණය වීම නොවේ. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැහැදිලිව ම දැකිය හැක්කේ බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගෙන සිදු වන සංවර්ධන ක්‍රියාවලියකි. එක අතෙකින් කොළඹ ප්‍රධාන නගරය වන විට ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන පරිපාලන නගරය වේ. මෙම නගර ද්විත්වය ම ඇතුළත් වන බස්නාහිර පළාත රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ සෙසු පළාත් 08ට සාපේක්ෂව විශාල ජන ගණත්වයක් ඒ වටා එක්රොක් කරගනිමිනි.

    මේ ප්‍රදේශය තුළ පවත්නා අධි ජනගණත්වය, විශාල වශයෙන් ජනතාව ඒකරාශීකරණය වීම තුළ පරිසර දූෂණය, පුද්ගලයන්ගේ ජීවන තත්ත්වයේ විශාල වශයෙන් උස්පහත් වීම් ඇතිවීම, නාගරීකරණය තුළ ඉහළ උසස් ජීවන තත්ත්වයක් හිමි සේ ම ශ්‍රමයේ ගරුත්වය අඩු නිල් කරපටි රැකියාවල නියුතුවන්නන් පිරිසක් බිහිවීම, පැල්පත් බිහිවීම සහ ඒ ආශ්‍රිත ඇති වන සමාජ ප්‍රශ්න පැහැදිලිව හඳුනාගත හැකි ය.

    විශේෂයෙන් ම ඉහළ ආදායම් ලබන සුළුතරයක් සහ අඩු ආදායම් ලබන බහුතරයකුත් මෙම නගර ක්‍රමය තුළ බිහි වේ.

    මෙහිදී ප්‍රධාන වශයෙන් ම බස්නාහිර නැතහොත් විශේෂයෙන් ම කොළඹ කේන්ද්‍රය බවට පත්වෙමින් රටේ අනෙකුත් පළාත් පර්යන්ත බවට පත් වී ඇත. පෑලියගොඩ මාළු වෙළඳපොළේ තත්ත්වය සලකා බැලීමේදී පැහැදිලි වන්නේ කුමක්ද? රටේ විවිධ පළාත්වලින් පෑලියගොඩට එන මාළු නැවත බෙදාහැරීම ඇරඹෙන්නේ එතැනිනි. මේ කේන්ද්‍රගත වීම යම් හෙයකින් විකේන්ද්‍රණය වී පැවතියේ නම් කොවිඩ් -19 යටතේ පෑලියගොට මාළු පොකුරට අයත් ආසාදිතයන් සංඛ්‍යාව මෙතරම් විශාල අගයක් නොගන්නට ඉඩ තිබිණි.   

    කොළඹ මැනිං වෙළඳපොළ සම්බන්ධයෙන් ද දැකිය හැක්කේ එවැනි ම තත්ත්වයක් නොවේද? රටේ සියලුම පළාත්වලින් කෘෂි නිෂ්පාදන එම වෙළඳපොළට ගෙනඑන අතර ප්‍රතිව්‍යාප්තිය සිදු වන්නේ එතැන් සිට ය. එක්තරා ආකාරයකින් බලන විට මෙය සංවර්ධනයේ විකෘති අවස්ථාවකි. මේ කියන්නාවූ කේන්ද්‍රය නිර්මාණය කරගත් ක්‍රියාවලිය සංවර්ධනය තුළ නිරන්තරයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කරයි.

    මෙම කේන්ද්‍රය හා පර්යන්තය පිළිබඳ න්‍යාය තුළ සියලුම වත්කම්, හැකියාවන්, පුද්ගලයන්, සම්පත් නගරයට ම කේන්ද්‍ර වී පර්යන්තය සූරාකෑමකට ලක්වේ. තවත් ලෙසකින් කිවහොත් “කොළඹට කිරි ගමට කැකිරි” යන සංකල්පය නිර්මාණය වේ. එවිට රටේ සියලු සාරය කොළඹට ය. බස්නාහිරට ය. බස්නාහිර සීමාවෙන් එපිට පර්යන්තීය වශයෙන් පවතින ග්‍රාමීයකරය තදබල ලෙස සූරාකෑමකට, සේදීයෑමකට ලක්වේ. එය වූ කලී යහපත් තත්ත්වයක් නම් නොවේ.

    මෙයාකාරයෙන් සිදු වන සූරාකෑමේදී අනුග්‍රාහක සේවාදායක සම්බන්ධය තුළ අනුග්‍රාහකයා අතට සියලු දේ ලැබෙන අතර සේවාදායකයාට ලැබෙන දෙයක් නැති තරම් ය. නාගරික වශයෙන් ඉහළ වෙළඳ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් ලාභ ලබන විට ඔවුන්ගේ සේවා දායකයින් ලෙස නිෂ්පාදකයා සහ වෙළෙන්දා අතර මැදි ව කටයුතු කරන පුද්ගලයාට ඉතා අඩු ලාභයක් හිමි වේ.

    මේ සංසිද්ධිය තුළ ම අතරමැදියා ගමේ ගොවියාගෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේදී අතරමැදියාට වැඩි ලාබයකුත් ගොවියාට අඩු ම ලාභයකුත් හිමි වේ. නිර්මාණය වී ඇති මෙම දාමය තුළ හැම විටම අපට දැකගත හැක්කේ සංවර්ධනයේ යම්කිසි විකෘති තත්ත්වයකි.

    මෙම මධ්‍යගත සංවර්ධනය විමධ්‍යගත විය යුතු ය.  නාගරීකරණ ක්‍රියාවලියේදී එක් නගරයක් වටා පරිපාලනය, නිෂ්පාදනය, බෙදාහැරීම සහ වෙළඳාම ආදී වශයෙන් සංවර්ධනයේ ක්‍රමෝපායන් ගොනුවීමේදී සිදු වන්නේ මහා පරිමාණ නගර බිහිවීම ය. එවැනි මහා පරිමාණ නගරයක් ලෙස ශ්‍රී ලංකාව තුළ හඳුනාගත හැක්කේ කොළඹ පමණක් වුවත් ඇතැම් රටවල එවැනි මහා පරිමාණ නගර සංකීර්ණ කිහිපයක් ඇත.

    විශේෂයෙන් ම සංවර්ධිත රටවල් පිළිබඳ අවධානය යොමු කිරීමේදී දැකිය හැක්කේ එකම සංවර්ධිත නගර සංකීර්ණයකි. අපට එවන් නගර සංකීර්ණයක් නැත. රටේ අතිබහුතරයක් කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන කේන්ද්‍රස්ථානය කොළඹ ය.  මෙයාකාරයෙන් බලන කල රටේ සංවර්ධනය ගලා යන රටාව තුළ යම්කිසි විකෘතියක් නිර්මාණය වී ඇති බව පැහැදිලි ය.

    එක අතෙකින් මේ විකෘතිය තුළ මානව සබඳතා අවුලෙන් අවුලට පත්ව ඇත. ග්‍රාමීයව ජීවත්වන පවුල්වල සැමියා, බිරිඳ හෝ දරුවන් රැකියා හෝ උසස් අධ්‍යාපන අවස්ථාවන් වෙනුවෙන් නගරබද ප්‍රදේශවලට සංක්‍රමණය වීමේ විශාල ප්‍රවණතාවක් හඳුනාගත හැකි ය. එවිට ඔවුන් උපන් ගමින් බැහැරව රැකියා හා අධ්‍යාපන ආයතවලට නුදුරින් නවාතැන් පොළවල් ඇති කරගනිමින් නගරය තුළ කටුක ජීවිතයකට හුරුපුරුදු වේ.

    එක අතෙකින් මේ පුද්ගලයන්ගේ සංක්‍රමණ තත්ත්වයන් යටතේ කොවිඩ් -19 වැනි වෛරස පියාපත් ලබයි. අනෙක් අතින් එම පුද්ගලයන්ගේ පවුල්වල සබඳතාවලට ද මේ තත්ත්වය විසින් එල්ල කරන්නේ අහිතකර බලපෑමකි.   

    ස්වාමියා හෝ භාර්යාව නිවෙසින් බැහැරවීම තුළ පවුල් සංස්ථාවේ නොයෙකුත් ගැටලුකාරී තැන් උද්ගත වීම වර්තමාන සමාජය තුළ සුලබව දැකිය හැක. එසේ ම රැකියා මෙන් ම ද්වීතීය තෘතීය අධ්‍යාපන අවශ්‍යතා සඳහා ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් ද බස්නාහිරට ඒකරාශී වීම සාමාන්‍ය තත්ත්වයකි.

    පවුලෙන් බැහැව ඔවුන් එහි ගතකරන නාගරික ජීවිතය තුළ යම්කිසි ප්‍රමාණයකට හුදෙකලා භාවයකට ලක්වේ. ඇතැම්විට පවුලෙන් බැහැරව ගතකරන නාගරික ජීවිතයේදී ඔවුන් ලිංගිකමය අවශ්‍යතාවන් සඳහා ලබාගන්නා අනියම් අවස්ථා සහ නොයෙකුත් දුසිරිත්වලට පෙළඹීම තුළ කායික හා මානසික වශයෙන් ලබන්නාවූ පීඩනය ඇතැම් විට සියදිවි නසාගැනීම් දක්වා ම වර්ධනය වන අවස්ථා ද නැතිව ම නොවේ.

    මෙයාකාරයෙන් එකම සිද්ධි දාමයක් තුළ ගැටලු බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. බස්නාහිර පළාත ආශ්‍රිතව සියලු සම්පත් සංකේන්ද්‍රණය වීම වෙනුවට එහි යම් විකේන්ද්‍රණය වීමක් සිදු වී ග්‍රාමීයකරයට නැතහොත් පර්යන්තයට ද සංවර්ධනයේ අවස්ථාවන් සුදුසු අයුරින් ලබාදෙන්නේ නම් පෙර කී පරිදි ඇති වන්නාවූ විකෘති තත්ත්වය අකාමකා දැමිය හැකි ය. 

    කෙසේ වෙතත් මේ සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ද ඇති කළ යුතු ය. ශිෂ්‍යත්වය සමත් ග්‍රාමීය දරුවකුට ද්විතීයික අධ්‍යාපනය සඳහා නගරයට ඒමට සිදු වන්නේ කුමක් නිසාද? ඒ සඳහා බොහෝ විට හේතුවන්නේ ජාතික පාසල් සංකල්පය සහ ජනප්‍රිය පාසල් සංකල්පය යි. සංවර්ධිත රටවල මෙවැනි තත්ත්වයන් දැකිය නොහැකි ය.   

    “ළඟම පාසල හොඳ ම පාසල” යන්න අපට සංකල්පයක් පමණක් වුව ද සංවර්ධිත රටවලට එය යථාර්ථයකි. මෙරට ජනතාවගෙන් බහුතරයකට නිවසට යාබද ආගමික ස්ථානය, පහසුකම් සපයන ආයතන, රෝහල, පාසල පිළිබඳ යහපත් ආකල්පයක් ඇත්තේ ම නැත. විශේෂයෙන් ම පාසල් සම්බන්ධයෙන් ඔවුන් හුරුපුරුදු වී ඇත්තේ ජීවත්වන පරිසරයට බොහෝ දුරින් ඇති ජනප්‍රිය පාසලක් තම දරුවා වෙනුවෙන් තෝරාගැනීමට ය.

    සංවර්ධිත රටවල දරුවන් බොහෝදුරට ඉගෙන ගන්නේ නිවසේ සිට ඇවිදගෙන යා හැකි මට්ටමේ දුරක ඇති පාසලකින් ය. එවිට ප්‍රවාහන   ගැටලු, දරුවන්ගේ විඩාව සහ අමතර වියදම්වලින් සහනයක් ලැබිය හැකි ය.    “ළඟම පාසල හොඳ ම පාසල” යන සංකල්පය, සංකල්පයක් වශයෙන් කලෙකදී මෙරට තුළ ඉදිරියට පැමිණිය ද   එය යථාර්ථයක් බවට පත් කළ හැක්කේ භෞතික වශයෙන් ගුණාත්මකව හා ප්‍රායෝගිකව අවම පහසුකම් ඇති පාසල්ද අවශ්‍ය පහසුකම්වලින් පොහොසත් කිරීමෙනි.

    පවතින ක්‍රමය තුළදී ම මේ ආයතන නිසි අයුරින් බලගැන්වීම තුළ බොහෝ කාරණා අපට පිරිමසා ගත හැක. සංවර්ධනයේ කළඑළිය වැටිය යුත්තේ බස්නාහිරට පමණක් නොවේ. සෙසු පළාත්වල ද රැකියා ස්ථාන, ආගමික සහ අධ්‍යාපන ස්ථාන ඇතුළු සියලු දේ බලගැන්වීම තුළ රටේ සංවර්ධනය බස්නාහිර පළාතට සංකේන්ද්‍රණය වීම නවතාලිය යුතු ය.

    එපමණක් නොව තම පළාත තුළ ඇති පාසලට, පන්සලට, පල්ලියට, රෝහලට, කර්මාන්තවලට වටිනාකමක් දීමට ජනතාව තුළ ද ආකල්පමය වශයෙන් විශාල වෙනසක් ඇති කළ යුතු ය. මේ වන විට රටේ ජනතාව බොහෝ විට වැඩි විශ්වාසයක් තබා ඇත්තේ පිටරටින් ගෙන්වන භාණ්ඩ පිළිබඳව ය.

    එහෙත් ‘සිය රට දේ සිරිසැප දේ’ යන සංකල්පය මෙරට තුළ බොහෝ කලකට පෙර ක්‍රියාත්මක වූ අතර එම සංකල්පය හේතුවෙන් ම දියුණුවෙන් දියුණුවට පත් වූවන් ද විය. මේ සියල්ල විනාශ මුඛයට ඇදවැටුණේ 1978 විවෘත ආර්ථිකයත් සමඟිනි. එතෙරින් ආ නිෂ්පාදන විශාල ප්‍රවාහයක් සියලු දේශීය නිෂ්පාදන සහ ව්‍යවසායකයන් යටපත් කරගෙන නැඟීසිටීම වෙනුවට එදා ඒ විවෘත ආර්ථික සංකල්පය යම් පාලනයකින් යුතුව ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට දේශීය වශයෙන් බොහෝ කර්මාන්තවල වර්ධනයක් අත්පත් කරගැනීමට ඉඩ තිබිණි. එය එසේ වී නම් රටේ සංවර්ධනය මෙයාකාරයෙන් බස්නාහිරට කේන්ද්‍ර නොකොට සංවර්ධන වැඩසටහන තුළ රට පුරා පැවැති සම්පත් නිසි ආකාරයෙන් ඵලදායිව යොදාගනිමින් සංවර්ධනයේ අරුණලු සිව්දිග පතුරවන්ට තිබිණි.

    ඉතිහාසය තුළ අපට එම අවස්ථාව මඟහැරුණි. එහෙත් වර්තමානයේදී හෝ විදේශයන්ගෙන් ගෙන්වන යම් යම් දේ වාරණය කරමින් ඒ සඳහා ආදේශන භාණ්ඩ, දේශීය සම්පත්, හැකියාවන් හා දැනුම මත නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා නගරයෙන් බැහැර ව ස්ථාපනය කිරීම වටී. එවිට ශ්‍රමිකයන් ලෙස විශාල පිරිසක් ගමෙන් නගරයට සංක්‍රමණය වීමේ තත්ත්වය පහව යනු ඇති. ඒ සමඟ ම ශ්‍රමිකයන්ගේ නවාතැන් ගාස්තු ඇතුළු වෙනත් වියදම් අවම වේ.

    තම තමන් ජීවත් වන ප්‍රදේශයට ආසන්නයෙන් වන කර්මාන්තශාලා, වැඩබිම්, රාජකාරි ආයතනවල රැකියා කිරීමට සහ ව්‍යාපාර පවත්වාගෙන යෑමට රටේ ජනතාවට අවස්ථාව සහ පහසුකම් ලැබෙන විට නාගරීකරණයත් සංවර්ධනයේ මධ්‍යගතවීමත් හේතුවෙන් පැනනැගෙන්නා වූ අහිතකර තත්ත්වයන්ගෙන් යම් සහනයක් ලැබිය හැකි ය.

    එසේ ම ජනතාවට තම ජීවනෝපාය සරිකරගනු වස් ඔවුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඇතිකිරීම, විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශයට ආවේණික සම්පත් සමඟ ගලපා සිදු කරනු වටී. එය සංවර්ධනයේ පෙරකී විකෘති තත්ත්වය යම් පමණකට මගහරවා ගැනීමට උපකාරී වේ.

    කොළඹදී කොවිඩ් -19 ආසාදනය වී ඇති ආසාදිතයන්ගේ තොරතුරු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ඔවුන්ගෙන් බහුතරය රට පුරා විසිරුණු ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව බව ය. එසේ නම් ඒ සියලු දෙනා කොළඹ නගරයට නොඑසේනම් බස්නාහිරට සංකේන්ද්‍රණය වී සිටිනේ කුමක් නිසාද? එයට හේතුව රටේ සංවර්ධනය බස්නාහිරට සංකේන්ද්‍රණය වී තිබීම ය.

    බොහෝ පුද්ගලයන්ට උසස් අධ්‍යාපනය ලැබීමට, රැකියාවක නියුතු වීමට, විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා නොඑසේ නම් රාජ්‍ය ආයතනවල සේවය ලබාගැනීම සඳහා රටේ සංවර්ධනයේ කේන්ද්‍රය වූ බස්නාහිරට නිරන්තරයෙන් පැමිණීමට, ඒ වටා කේන්ද්‍රගත වීමට සිදු ව ඇත.   

    කොවිඩ් -19 හේතුවෙන් මේ වන විට රටේ උද්ගත ව ඇති තත්ත්වය වනාහී මේ සියල්ල සුදුසු පරිදි විකේන්ද්‍රණය කිරීමට කදිම අවස්ථාවකි. රටේ සමස්තය බස්නාහිරට ගොනු කිරීමේ ඇති අවැඩදායි බව, ඌණ ඵලදායිතාව කොවිඩ් අපට කියා දෙන තවත් එක් පාඩමකි.  

    වැඩි පිරිසකට රැකියා ලබාදෙමින් දේශීය නිෂ්පාදනය ද ඉහළ නැංවිය හැකි මට්ටමේ කර්මාන්ත ශාලා හැම විටම නගරාශ්‍රිතව ම ස්ථාපනය කරනු වෙනුවට  නගරයෙන් බැහැරව පර්යන්තයටත් ඒවා යම් ආකාරයකින් විතැන් කරන්නේ නම් වඩා යහපත් ය. එවිට බාධාවකින් තොරව පුද්ගල ශ්‍රමය ලබාගත හැකි වන සේ ම බස්නාහිර  පළාතේ ඇති වන අධි ජන ගණත්වය ද යම් මට්ටමකින් අවම කරගත හැකි ය.

    මේ අධි ජනගණත්වය, නිසි ලෙස සැලසුම් නොකරණ ලද නාගරීකරණය, කාර්මීකරණය තුළ සිදුවෙමින් පවතින පරිසර දූෂණය සුළුපටු නොවේ. රථවාහන පරිහරණය වැඩි ය. කර්මාන්තශාලා බහුල ය. අපද්‍රව්‍ය කළමනාකරණය අවිධිමත් ය. මේ සමඟ ඇති වන්නා වූ පරිසර දූෂණයත් කලබලකාරී බවත් පිළිකාව ඇතුළු නොයෙකුත් රෝගමය තත්ත්වයන්ගෙන් ද ආතතිය අසහනය විශාදය වැනි මානසික තත්ත්වයන්ගෙන් ජනතාවට පීඩාවට පත්කිරීමට ප්‍රබල හේතුවකි.

    මේ සියල්ලෙන් බැහැරවීම කොණක සිට ඇරඹිය යුත්තකි. මන්ද සබඳතා ජාලයක් ලෙසින් සියල්ල එකට බැඳී පවතී. පවුල් සංස්ථාවේ සිට ම ආර්ථික, සමාජ, දේශපාලනික වශයෙන් ලබාගන්නා තීන්දු තීරණ එකින් එකට යම් ආකාරයක ධනාත්මක බලපෑම් ඇතිකර විය හැකි මුත් මේ වන විට බහුල වශයෙන් දැකගත හැක්කේ ඒවායින් එකිනෙකට එල්ල වන්නාවූ සෘණාත්මක බලපෑම් ය.

    රටේ ඇති වී තිබෙන කොවිඩ් -19 වසංගත තත්ත්වය, මේ කියන්නාවූ සෘණාත්මක බලපෑම් වෙනුවට ධනාත්මක බලපෑම් කිරීමෙහිලා කටයුතු කිරීමට අවස්ථාවක් කොටගත යුතු ය.

      ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය 

    සටහන – කාංචනා සිරිවර්ධන

  • පිරිමින්ගෙන් 50%ක් දුම්බොන රටේ ‘දුම්වැටියට එරෙහි කකුළු සටන’

    පිරිමින්ගෙන් 50%ක් දුම්බොන රටේ ‘දුම්වැටියට එරෙහි කකුළු සටන’

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුගේ පරීක්ෂණ චාරිකා වලදී බොහෝ විට දුම් පානය කරනු දක්නට ලැබේ

    උතුරු කොරියාව ගැන අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේ අවි ආයුධ, මිසයිල අත්හදා බැලීම් ගැන. නැති නම් ලෝකෙට ලොක්කා ඇමෙරිකාවට කරන නිමක් නැති තර්ජන ගැන. ඒත් උතුරු කොරියාව මුහුණ දෙන බරපතළ සමාජ හා සෞඛ්‍ය අර්බුදයක් ගැන දැන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමු වෙලා. ඒ තමයි ‘අසීමිත ලෙස උතුරු කොරියානු පිරිමි කරන දුම්පානය‘

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, උතුරු කොරියාවේ පිරිමින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දුමපාලනය කරනවා. වාසනාවට මෙන් උතුරු කොරියානු කාන්තාවන් දුම්පානය කරන්නෙම නැහැ. ඊට හේතුව නීතිය මගින් ම කාන්තාවන්ට දුම්පානය කිරීම තහනම් කිරීමයි.

    මේ වන විට තම පුරවැසි පිරිමින්ගේ මේ අසීමිත දුම්පානයට එරෙහිව, නමුත් නිතර නිතර දුම්පානය කරන උතුරු කොරියානු නායකයා දැඩි පියවර ගැනීමට සූදානම් වෙනවා.

    මෙම මස මුලදී සම්මත කරන ලද නීතියක් මගින් උතුරු කොරියාවේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කර ඇති අතර ජනතාවට “වඩා සංස්කෘතික හා සනීපාරක්ෂක” පරිසරයක් ලබා දීම සඳහා නීති රීති නියම කර තිබෙනවා.

    එහෙත් රාජ්‍ය මාධ්‍ය බොහෝ විට උත්තරීතර නායක කිම් ජොන් උන් සිගරට් අතේ තබාගෙන සිටින ආකාරය පෙන්වනවා. 

    ‘ඉතින් රටේ දුම්වැටි විරෝධී ක්‍රියාමාර්ග මගින් අත්කරගන්නේ කුමක්ද?‘

    නව නීතිය පවසන්නේ කුමක්ද?

    නොවැම්බර් මස මුලදී සම්මත කරන ලද ‘දුම්කොළ තහනම් කිරීමේ නීතිය‘ මගින් සියලුම ආයතන, සංවිධාන සහ පුරවැසියන් “ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීමේදී අනුගමනය කළ යුතු” නීති රීති දක්වා තිබෙනවා.

    මිනිසුන් දෙදෙනෙක් දුම් පානය කරති
    උතුරු කොරියාවේ පිරිමින් අතර දුම්පානය බහුලව දක්නට ලැබෙන නමුත් කාන්තාවන්ට එය තහනම්ය

    නව නීතිය මගින් “දුම්වැටි නිෂ්පාදනය හා විකිණීම සහ දුම්කොළ භාවිතය පිළිබඳ නීතිමය හා සමාජීය පාලනයන් රාජ්‍ය දුම්කොළ තහනම් කිරීමේ ප්‍රතිපත්තියට අනුව දැඩි කරයි”.

    “දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක අධ්‍යාපනය” සඳහා අදහස් කරන ප්‍රදේශ, සිනමා ශාලා, අධ්‍යාපන ඒකක, මහජන සෞඛ්‍ය පහසුකම් සහ පොදු ප්‍රවාහන වැනි ස්ථානවල දුම්පානය තහනම් කර ඇති ස්ථාන ද එහි සඳහන් වෙනවා. නීතියට එරෙහි වන්නන්ට දෙන දඩුවම් ගැන එහි සදහන් වන නමුත් රාජ්‍ය මාධ්‍ය ඒවා මොනවාදැයි පවසන්නේ නැහැ.

    නව නීතිය සම්මත වී දින කිහිපයකට පසු, රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය KCNA ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විශේෂඥයන්”උපුටා දක්වමින් වාර්තා කළේ, දුම් පානය කරන්නන්ට කොරෝනා වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවයි.

    දුම්වැටි විරෝධී ව්‍යාපාර ආරම්භ වූයේ කවදාද?

    2005 දී අනුමත කරන ලද ‘දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතියට (WHO Framework Convention on Tobacco Control, which it ratified in 2005) අත්සන් තැබීමෙන් පසුව උතුරු කොරියාවේ දුම්වැටි විරෝධී වැඩසටහන් සාමාන්‍ය සිදුවීමක් බවට පත් විය.

    දුම්කොළ පාලන නීතියේ කොටසක් ලෙස, සිගරට් ඇසුරුම් කිරීම සඳහා අනතුරු ඇඟවීමේ ලේබල් සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් කිරීමට පියවර ගත්තා.

    දුම්පානය කරන්නන් මෙම භාවිතයේ “හානිකර බව” දැනුම් දීම සඳහා 2019 දී “කඩිනම්” ව්‍යාපාරයක් සිදු කළ බව KCNA වාර්තා කරනවා. විදේශීය නිෂ්පාදිත දුම්කොළ ආනයනය සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසනවා.

    කොරියානු මධ්‍යම රූපවාහිනිය උදේ සහ සවස දුම් පානය කරන අය “විශ්වාස කළ නොහැකි” පුද්ගලයන් ලෙස විස්තර කර ඇති බව සෝල්හි ඩේලි එන්කේ වෙබ් අඩවිය – Daily NK website වාර්තා කරනවා.

    මෙම වසරේදී දුම්පානයෙන් ඇති විය හැකි අනතුරු පිළිබඳ තොරතුරු සපයන වෙබ් අඩවියක් දියත් කර තිබීම ද විශේෂත්වයක්. “දුම්පානයට එරෙහි ව්‍යාපාර වලදී විද්‍යාව සහ තොරතුරු වැදගත්” යැයි ප්‍රචාරක ව්‍යාපෘතිය භාර ප්‍රධානියෙක් සදහන් කළා.

    අසීමිතව දුම්පානය කරන නායකයෙක් …

    නමුත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අධික ලෙස දුම් පානය කරන්නෙකු වන අතර, ඔහුගේ සංචාර වලදී ඔහු අධික ලෙස දුම්පානය කරනු දැකගත හැකියි.

    කිම් ජොන් උන් අතේ සිගරට් එකක් ගෙන ඉඟි කරයි
    කිම්ට 2018 දී බීජිං සංචාරයකදී උතුරු කොරියානු තානාපති කාර්යාලයේදී දුම් පානය කරන අයුරු

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඔහුගේ දෙවන සමුළුව සඳහා වියට්නාමයට දුම්රියෙන් යන අතරතුර  (2019 පෙබරවාරි මාසයේදී) ඔහු අඛණ්ඩව දුම්පානය කරනු දැකගත හැකි වුණා. ඔහුගේ සහෝදරිය කිම් යෝ-ජොං ඔහු වෙනුවෙන් අළු බඳුනක් තබා ගත්තා.

    කිම්ගේ බිරිඳ රි සොල්-ජු ඔහුගෙන් දුම්පානය නතර කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එයට කන් නොදෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ.

    කාන්තාවන් දුම් පානය නොකරන බව ඇත්තද?

    වසර ගණනාවක් තිස්සේ උතුරු කොරියාවේ දුම්පානය ඉහළ මට්ටමක පවතින අතර එහි පහළ යාමක් තවමත් නිවැරදිව දැකගත නොහැකියි. 2019 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ රටේ වයස අවුරුදු 15 ට වැඩි පිරිමින්ගෙන් 46.1% ක් දුම් පානය කරන බවයි.

    දත්ත වලට අනුව, කිසිදු කාන්තාවක් දුම් පානය කරන්නේ නැහැ ! එයට හේතුව උතුරු කොරියානු සමාජයේ දුම්පානය කරන කාන්තාවන් පහත් කොට සැලකීමයි.

    “දකුණු කොරියාවට සාපේක්ෂව කාන්තාවන් ප්‍රසිද්ධියේ, විශේෂයෙන් තරුණ කාන්තාවන් දුම් පානය කිරීම උතුරු කොරියාවේ සංස්කෘතික හා සමාජීය වශයෙන් තහනම්. තත්ත්වය එසේ වුවත් උතුරු කොරියාවේ සමහර විවාහක හෝ වැඩිහිටි කාන්තාවන් පෞද්ගලිකව දුම් පානය කරනවා” යනුවෙන් එක්සත් ජනපදයේ කොරියානා කනෙක්ට් CoreanaConnect හි අධ්‍යක්ෂ ජේම්ස් බන්ෆිල් පවසනවා.

    “උතුරු කොරියාවේ දුම්පානය පිරිමි පාරිභෝගිකයින් විසින් නිර්වචනය කර තිබෙනවා. උතුරු කොරියාවේ පිරිමි සමාජ, වැඩ සහ මිලිටරි සංස්කෘතියේ දුම්පානයට භූමිකාවන් තිබෙනවා. අධික දුම්පානය සහ ඇබ්බැහි වීම පිරිමින්ට සංස්කෘතික වශයෙන් පිළිගත හැකියි” යනුවෙන් විශේෂඥයෙකු සහ මාධ්‍යවේදියෙකු වන මින් චාවෝ චෝයි පවසනවා.

    ඇත්ත වශයෙන්ම, කාන්තාවන් දුම්පානයෙන් අධෛර්යමත් කිරීම සඳහා වන රාජ්‍ය ව්‍යාපාර සඳහා කාන්තාවන් යොදා ගැනීම සුලභව සිදුවෙනවා.

    රාජ්‍ය රූපවාහිනිය වරක් “අතිරේක ගුණාත්මක බවින් යුත් ජීවිතයට තර්ජනයක් වන ජීවිතයක්” නමින් වැඩසටහනක් විකාශය කළ අතර එහිදී කාන්තාවන් පිරිමි දුම් පානය කරන්නන්ට බැණ වැදුණු අතර ‘ඔවුන් පවුල් ජීවිතය සහ රාජ්‍ය පවුල් කළ අසමතුන් ලෙස‘ නම් කිරීම සිදු වුණා.

    Tobacco Atlas විසින් රැස් කරන ලද දත්ත වලට අනුව සෑම වසරකම දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් උතුරු කොරියාවේ පුද්ගලයින් 71,300කට අධික පිරිසක් මිය යනවා. මේ තත්ත්වය උතුරු කොරියාවට සමාන මිලියන 25කට වැඩි ජනගහනයක් සිටින ඔස්ට්‍රේලියාව හා සසදා බලන විට එරටින් වාර්තා වන්නේ 22,200කට ආසන්න මරණ සංඛ්‍යාවක්.

    ඉතින් මෙම උද්ඝෝෂණ අත්කර ගෙන ඇත්තේ කුමක්ද?

    සමහර සෞඛ්‍ය විශේෂඥයින් සිතන්නේ උතුරු කොරියානු රජයේ මෙම මුල පිරීම් බලපෑමක් ඇති කරන බවයි.

    “නවතම සංඛ්‍යා ලේඛන අනුව උතුරු කොරියානු වැඩිහිටි පිරිමින්ගෙන් අඩකටත් වඩා අඩු හෝ 46.1% ක් දුම් පානය කරන්නන් බව හදුනාගෙන තිබෙනවා. මෙය 2009 දී 52.3% සිට පහත වැටී තිබීම විශේෂත්වයක්. පසුගිය වසර 13 කට වැඩි කාලයක් තිස්සේ උතුරු කොරියාවට ගිය සංචාර 20කට වැඩි සංඛ්‍යාවක් තුළ, පියොංයැං හි දුම් පානය කරන්නන් පහළ යමින් තිබෙන බව මම දැක්කා. විශේෂයෙන් තරුණ පිරිමින් තුළ ඒ පහළ වැටීම මම නිරීක්ෂණය කළා‘ යැයි හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ කොරියාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කී බී පාක් බීබීසී අධීක්ෂණ ආයතනයට පැවසුවා.

    නමුත් උතුරු කොරියාවේ සිගරට් පහසුවෙන් ලබා ගත හැකිවීම සහ දැරිය හැකි මිලකට අලෙවි කිරීමට ගැලුවක් බව පෙනෙනවා.

    “බොහෝ ජාතීන් මෙන්, උතුරු කොරියාව ද දුම්පානය නැවැත්වීම වැනි නවීන සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇතුළත් නවීනත්වය පිළිබඳ තමන්ගේම සංකල්පයක් කරා ගමන් කරනවා. පාලන තන්ත්‍රයේ අභිලාෂයන් සහ යථාර්ථයේ සිදුවන දේ අතර වෙනස බොහෝ විට විශාල යි. එම බෙදීම රටේ දුම්පානය තුළ දැකිය හැකියි. එහි වර්ධනය වන දුම් පානය කිරීමේ සංස්කෘතියට එදිරිව ප්‍රතිපත්ති තුළ එය පැහැදිලිව දැකගත හැකියි ”මින් චාවෝ චෝයි පවසනවා.

    සමහර විශ්ලේෂකයින් සිතන්නේ පුරුද්දට පයින් ගැසීමට වඩා ශක්තිමත් වැළැක්වීමක් අවශ්‍ය බවයි.

    “දුම්වැටි විරෝධී ව්‍යාපාර බොහෝ විට නිශ්චිත ස්ථානවල දුම්පානය අඩු කිරීම අරමුණු කර ගෙන තිබෙනවා. පූර්ණ අධිෂ්ඨාන ශක්තිය හැරුණු විට, උතුරු කොරියාවේ පුද්ගලයෙකුට දුම්පානයෙන් ඉවත්වීමට උපකාර කිරීමට බොහෝ යාන්ත්‍රණ නැහැ‘ බැන්ෆිල් මහතා පවනෙවා.

    ‘ නිතරම, යන යන තැන සිගරැට්ටුවක් දල්වා ගෙන සිටින උතුරු කොරියානු නායකයා මීට වඩා හොඳ ආදර්ශයක් ලබා දෙනවා නම් එය කෙතරම් ප්‍රබල පණිවිඩයක් වනු ඇත්දැයි සිතා බලන්න. ඇත්ත වශයෙන්ම එය කවදා හෝ සිදුවනු ඇත්දැයි සිතාගත නොහැකියි‘

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • උඩඟු පෙම්වතියක් සමග කටයුතු කරන්නේ කෙසේද ?

    උඩඟු පෙම්වතියක් සමග කටයුතු කරන්නේ කෙසේද ?

    ‘උඩඟුකම සමග විනාශය පැමිණේ‘ යන කියමන ඔබ අසා ඇති. උඩඟුකම, විශේෂයෙන් සම්බන්ධතාවලදී, කිසි විටෙකත් ධෛර්යමත් වී නොමැත. මෙයට හේතුව උඩඟුකමට යහපතට වඩා හානියක් කිරීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බැවිනි.

    උඩඟුකමට බොහෝ දුරට හේතු වී ඇත්තේ සම්බන්ධතාවල පැටලී සිටින පිරිමියාගෙන් ස්වාභාවිකවම (පුරුෂයින්ට එම පුරුෂ ඊගෝව ඇති බැවින්) ගැටළු විසඳීමට හෝ වරදක් වූ විට පවා සමාව ඉල්ලීමට ඔවුන් අකමැති වීමයි. මෙයින් අදහස් කරන්නේ කාන්තාවන් ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

    ඇත්ත වශයෙන්ම, සමහර සබඳතාවලදී, කාන්තාවන් තම පිරිමි සහකරුවන්ට වඩා ආඩම්බර ආකල්පයක් පෙන්වයි. ඒ සියල්ල පුද්ගලයෙකුගේ චරිතයට හෝ පෞද්ගලික ගුණාංගයකට තල්ලු වේ.

     පිරිමියෙකු සමඟ ඇති සම්බන්ධතාවයේ කාන්තා අභිමානය, එහි වාසි සහ අවාසි සහ ආඩම්බර කාන්තා පෙම්වතියක් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරමු.

    සම්බන්ධතාවයක ගැහැණු ආඩම්බර වීම හොඳද නරකද?

    ඉතින්, අපි මුලින්ම පෙම් සබදතාවකට පැටලී සිටින කාන්තාවන් ආඩම්බරවීම හොදද ? නරකද කියා සාකච්ඡා කරමු. මෙහිදී මගේ මතකයට එන පළමු පිළිතුර නම් සම්බන්ධතාවයකදී කාන්තාවන් ආඩම්බර වීම නරක බවය. ඊගෝව ඇත්තටම ආදරය සමඟ එතරම් හොඳින් යන්නේ නැත.

    බොහෝ විට, ආඩම්බරයට හේතු වන්නේ අප පිළිගැනීමක් ලබා ගැනීමට දක්වන කැමැත්තයි. ඔවුන්ගේ සම්බන්ධතා ගැන ආඩම්බර වන බොහෝ අය එසේ කරන්නේ ඔවුන්ට ගෞරව කිරීමට අවශ්‍ය නිසා සහ ඔවුන්ගේ හවුල්කරුවන් ඔවුන් දුර්වල හෝ අවදානමට ලක්විය හැකි අය ලෙස දැකීමට අකමැති නිසාය.

    උඩඟුකම සාමාන්‍යයෙන් ගැහැනියකට සහකරු වෙනුවෙන් සම්මුතියක් ඇති කර ගැනීමට ඉඩ නොදේ. එය ඍණාත්මක චිත්තවේගයකට වඩා වැඩිය. මෙම ගුණාංගය උසස් බව සඳහා සටන් කරයි. උඩඟුකම නිසා ඔබට යම් සමබරතාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය වන අතර එය සැමවිටම යහපත් නොවේ, මන්ද සබඳතා සැමවිටම අත්පොතක් සමඟ නොපැමිණෙන බැවිනි.

    ඔබගේ සහකරු අද ඔබට කෙටි පණිවිඩ එවා නැත. මේ අවස්ථාවේ උඩඟුකම ඔබට පවසන්නේ ‘ඔබ ඊයේ කෙටි පණිවිඩ යැවූ නිසා අද ඔබ එය කරන්න වුවමනා නැහැ, අද එය කළ යුත්තේ ඔහුයි. ඔබ ඔහුට බාල්දු විය යුතු නැහැ‘

    එවැනි ආකල්පයක් සෑම දෙයක්ම විනාශ කිරීමට ඉඩ තිබේ.

    why-is-she-always-trying-to-make-me-angry - Sarcasm.co

    සම්බන්ධතාවයක කාන්තා ආඩම්බරය සෞඛ්‍ය සම්පන්න වන්නේ කෙසේද?

    සමහර විට, නරක යැයි පෙනෙන දෙයින් හොඳ දෙයක් පිටතට පැමිණිය හැකිය. අප සබඳතාවලදී පරිත්‍යාගය සහ ඉවසීම දේශනා කරන අතරම, සෞඛ්‍ය සම්පන්න සීමාවන් නියම කළ යුත්තේ කවදාදැයි දැන ගැනීමද වැදගත්ය. 

    ගැහැනු ආඩම්බරය නැතහොත් ආඩම්බරවීම හවුල්කරුගේ ක්‍රියාවන්ට හෝ හැසිරීමට අකමැති නම් හවුල්කරුවෙකුට “එපා” යැයි පැවසීම පහසු කරයි. ගැහැනියක් පිරිමියෙකුගෙන් පිළිගැනීමට අදහස් නොකරන දේ පිළිගැනීමෙන් එය වළක්වයි.

    ආඩම්බර ගැහැනු ළමයෙක් ඇයට සම්බන්ධතාවයේ යම් යම් දේ ගත නොහැකි වූ විට සහ එය නතර වන්නේ කවදාදැයි දැන ගනු ඇත. ආඩම්බර ගැහැනු ළමයෙක් නැවත හිඳිනු ඇත. උඩඟුකම නිසා ගැහැනියකට ඇගේ බලාපොරොත්තු සුන්වීම හෝ අතෘප්තිය ප්‍රකාශ කළ හැකිය. මේ අනුව, ඕනෑම ගැටළුවක් ගැන ඇයට හැඟෙන ආකාරය ඇගේ සහකරුට පවසන්න. එකිනෙකා තේරුම් ගන්නා හවුල්කරුවන් අතර සන්නිවේදනයට මෙය උපකාරී වේ.

    පිරිමියෙකු සමඟ සම්බන්ධතාවයක ගැහැණු ආඩම්බරයේ සංඥා

    අහංකාරකම අවිශ්වාසයට වඩා ආදරය විනාශ කර ඇත. ඊගෝවෙන් පිරුණු සම්බන්ධතාවයකට විෂ සහිත විය හැකි බැවින් එයට ඇතුල් වීමේ ආතතිය ඔබ විසින්ම ඉතිරි කර ගැනීමට ඔබට අවශ්‍ය විය හැකිය. නමුත් දැන්, ප්‍රශ්නය වන්නේ, ඔබ ආඩම්බර ගැහැණු ළමයෙකුට පවසන්නේ කෙසේද?

    Young Man Is Offering A Bunch Of Flowers To His Angry Girlfriend.. Stock  Photo, Picture And Royalty Free Image. Image 37594310.

    පහත දැක්වෙන්නේ ආඩම්බර ගැහැනු ළමයෙකු හදුනා ගැනීමට පහසුම සලකුණු කිහිපයකි.

    1. ඇය වැරදි බව පිළිගන්නේ නැත.

    පිරිමියෙකු සමඟ ඇති වන හැඟීම් පිළිබඳ කාන්තා ආඩම්බරයේ එක් ප්‍රධාන ලකුණක් වන්නේ වැරදි යැයි පිළිගැනීමට අපොහොසත් වීමයි. ඇයට සැමවිටම අවශ්‍ය වන්නේ නිවැරදි බව ඔප්පු කිරීමට සහ සම්බන්ධතාවයේ යම් වැරැද්දක් සිදු වූ සෑම අවස්ථාවකදීම හවුල්කරුට දොස් පැවරීමටය.

    1. ආඩම්බර සහකරුවෙක් සමාව ඉල්ලන්නේ නැත.

    ආඩම්බර ගැහැනු ළමයෙක් තම වරද පිළිගන්නේ නැති බව පසෙක තබා, ඇය වරදක් කළ විට පවා සමාව ඉල්ලීමක් නොකරයි. “මට කණගාටුයි” යන වචන භාවිතා නොකිරීම ආඩම්බර පුද්ගලයෙකුගේ එක් ලකුණකි. එය අනෙක් සහකරුට වරද පැටවීම හා සමානයි, “ඔබට හැඟෙන ආකාරය ගැන මට තැකීමක් නැති අතර කිසිම පසුතැවීමක් නැත!”

    1. ඇය නිවැරදි කිරීම සඳහා කාමරයෙන් පිටවන්නේ නැත.

    ආඩම්බර සහකරුවෙකුට ඇය වැරදියි කියා ඇසීමට අවශ්‍ය නැති අතර නිවැරදි කිරීමට අවශ්‍ය නැත. ඇයව නිවැරදි කිරීමට කිසිවෙකුට, ඇගේ සහකරුට පවා අයිතියක් නැත. ඇය තවත් කෙනෙකුව පහත් කොට තමා හොඳම තැනැත්තා ලෙස දකිනු ඇත.

    1. කාන්තාවක් තම සහකරුවා අගය නොකරයි.

    ආඩම්බර ගැහැනු ළමයෙක් සිතන්නේ ඇය ඒ සියල්ල දන්නා බවත් ඇගේ සහකරු පවසන දේ අගය නොකරන බවත්ය. ඇය තම සහකරුගේ උපදෙස්වලට අවනත නොවන අතර සහකරුට එතරම් ගෞරවයක් නොදක්වයි.

    1. ඇය සැමවිටම වැරදි සොයා ගනී.

    ආඩම්බර අය තමා වැරදි බව පිළිගන්නේ නැති අතර, අනෙක් අය කරන දේ සම්බන්ධයෙන් වරදක් සොයාගැනීමෙන්ද ඔවුන් තෘප්තියක් ලබයි. ඇය තමාගෙන් පිරී ඇති හෙයින්, ඇගේ සහකරුගේ හොඳ පැත්ත දැකීම හෝ ඇගේ සහකරු කරන දේවල හොඳ දැකීම ඇයට අපහසුය.

    ආඩම්බර පෙම්වතියක් සම්බන්ධතාවයකදී හැසිරවිය හැක්කේ කෙසේද?

    කාරණය නම් අප සෑම කෙනෙකුටම අප තුළ යම් ආඩම්බරයක් තිබේ. එකම දෙය නම්, සමහර පුද්ගලයින්ට ඔවුන්ගේ ආඩම්බරකම කොතරම්ද යත්, ඔවුන් එය තම විනාශයටම යොදා ගනී. දැන හෝ නොදැන අවසානයට සිදුවන්නේ එයයි.

    ඔබේ පෙම්වතිය අයවත් වන්නේ ආඩම්බරකම ඉහවහා ගිය වර්ගයට නම් ඔබ ඇය සමග කටයුතු කළ යුත්තේ කෙසේද ?

    ඉවසීමට ඉඩ දෙන්න: එය සමහර විට ඔබේ සහකරුගේ ඊගෝව විඳදරාගැනීමට උපකාරී වේ. තමා වැදගත් යැයි යන හැඟීම මිනිසුන්ගේ ස්වභාවය බව තේරුම් ගන්න. ඇගේ අතිරික්තයට යම් ඉඩක් ලබා දී ඇයව ඉවසා සිටීමට ඉගෙන ගන්න. උඩඟුකම හොඳයි, නමුත් ඔබ ඔබේ සමීප සහකරු සමඟ වඩා මෘදු හා වඩා පිළිගැනීමට ලක්විය යුතුය.

    සෞඛ්‍ය සම්පන්න ගැටුම: ඔබට ආඩම්බර පෙම්වතියක සිටී නම්, ඇය පිළිකුල් කරන එක් කරුණක් වන්නේ ගැටුම බව ඔබ දැන සිටිය යුතුය. කෙසේ වෙතත්, යම් අවස්ථාවක දී, කිසිවෙකු වැරැද්දට වඩා ඉහළින් නොසිටින බැවින් ගැටුමක් නොවැළැක්විය හැකිය. ඇයට මුහුණ දෙන්න, නමුත් ඥානවන්තව හා උපායශීලීව එසේ කරන්න.

    ඔබේ පෙම්වතිය තේරුම් ගන්න: සෑම සම්බන්ධතාවයකම ආදරය තරම් ම අවබෝධය ද අවශ්‍ය වේ. ඔබේ පෙම්වතියගේ ස්වභාවය ඔබ තේරුම් ගත් විට, එය නොමේරූ තර්ක කිහිපයක් වළක්වා ගැනීමට උපකාරී වේ. ඔබ තර්ක කරන විට පවා, තත්වය මඟ හැරීමට පෙර ඔබට එය හැසිරවිය හැකිය.

       අවසාන

    උඩඟුකම සහ අහංකාරය ආදර සබඳතා පමණක් නොව මිනිසුන් අතර අන්තර් පුද්ගල සම්බන්ධතාවයද විනාශ කරයි. සමහර විට, දුර්වලයෙකු, නිරහංකාර අයෙකු මෙන් ක්‍රියා කිරීම ඔබට නුවණට හුරුය. ඔබ වැරැද්දක් නොකළත් ඔබට සමාව අයැදීමට සිදු වේ.

    ඔබ මෙය කියවන ගැහැනු ළමයෙක් නම්, පිරිමියෙකු සමඟ ඇති සම්බන්ධතාවයේ ගැහැණු ආඩම්බරය යහපතට වඩා හානියක් කරන බව තේරුම් ගෙන ඔබේ ආකල්පය වෙනස් කිරීමට උත්සාහ කරන්න.

    සැකසුම – තුෂාධවි

  • අපිට එලොව පොල් පෙන්නා ඩොලර් මිලියන 222ක පොල් රට පටවලා !

    අපිට එලොව පොල් පෙන්නා ඩොලර් මිලියන 222ක පොල් රට පටවලා !

    හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත.

    ‘එලොව පොල් පේනවා‘ කියන කතාව මීට කලකට පෙර භාවිතා වුණේ හදිසි විපතකදී ඇති වන අසීරු හැගීම ප්‍රකාශ කිරීම සදහාය. ඒත් පසුගිය කාලය පුරා මෙරට ගෘහණියන්ට එලොව පොල් පෙනුණේ වේගයෙන් ඉහළ යන පොල් මිල නිසාය.

    පොල් මිල ඉහළ යාම හමුවේ පොල් සදහා පාලන මිලක් පැනවීම ආණ්ඩුව ක්‍රියා කළ අතර පොල් ගෙඩියේ ප්‍රමාණය මැන නඩු පවරන ප්‍රතිපත්තියක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කළේය.

    එහෙත් මේ මොහොත දක්වා සාමාන්‍ය වෙළෙදපොළේ පොල් මිල පවතින්නේ ආණ්ඩුවේ බොහෝ ගැසට්වලට ඉහළ අගයකිනි. ප්‍රමාණය ගැන කෙසේ වෙතත් ඇති හිගය නිසා ‘කීය ගියත්‘ පොල් මිලදී ගන්න ප්‍රතිපත්තියකට පාරිභෝගකයින් යොමුව සිටින්නේ හැමෝටම පොල් වතු හෝ පොල්ගස් නැති නිසාය.

    පොල් මිල මේ ආකාරයෙන් ඉහළ යන විට හා හිගයක් පවතින විට එය ද සහල් මෙන් ‘මාෆියාවක්‘ ලෙස අර්ථකථනය කිරීමට දේශපාලනඥයින් සහ නිලධාරීන් පියවර නොගන්නේ කුමක් නිසාද යන්න බරපතළ ප්‍රශ්නයකි. ඊට හේතුව වන්නේ සහල් මෙන්ම පොල් ද එදිනෙදා ආහාර අවශ්‍යතා සදහා ‘අත්‍යවශ්‍ය භාණ්ඩයක්‘ වන නිසාය.

    උදාහරණයක් ලෙස කලකට පෙර ‘මොක නැතත් බතුයි – සම්බෝලයි කාලා හරි ඉන්න පුළුවන්‘ යැයි කීවේ සහල් සහ පොල් අතර පවතින දැඩි අන්තර් සම්බන්ධතාව නිසාය.

    මේ තත්ත්වය තව දුරටත් සනාථ කරන්නේ නම්, ජන ලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවට අනුව සලන්නේ නම් 2016 වසරේදී ලංකාවේ පවුලකට මාසයකට සාමාන්‍යයෙන් පොල් ගෙඩි 27ක් (STATISTICAL POCKET BOOK 2018 , page 34) අවශ්‍ය වූ අතර අවශ්‍ය සහල් ප්‍රමාණය කිලෝ 33.1කි.

    මෙය ආසන්න වශයෙන් සරල කොට වටහා ගන්නේ නම් ‘ලංකාවේ පවුලකට දවසකට හාල් කිලෝවක් සහ පොල් ගෙඩියක් ‘ පමණ අවශ්‍ය විය.

    මේ සංඛ්‍යා දත්තවල වැඩි වෙනසක් 2020 අවසාන භාගය වන විට ඇති විය නොහැකි යැයි උපකල්පනය කළහොත් සහල් තරමට පොල් ද පවුලක ‘ජීවන වියදමට‘ දැඩිව බලපාන කරුණක් ලෙස වටහා ගත හැකි අතර ඒ දෙකම පවුලක අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අතර මුල්පෙළ සිටී.

    ඊට හේතුව වන්නේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල රුපියල් 80.00ක් වශයෙන් සැලකුවත් පවුලකට සාමාන්‍යයෙන් රුපියල් 2400ක් පමණ පොල් වෙනුවෙන් වැය කිරීමට සිදුවන නිසාය. (සහල් සදහා ද ආසන්න වශයෙන් වැඩ වන්නේ වත්මන් මිල ගණන අනුව රුපියල් 3000කට ආසන්න මුදලකි)

    මේ තත්ත්වය තුළ සහල් හිගයක් ඇති වී එහි මිල ඉහළ යන විට ඒවා පාලනයට ගන්නා තරම් උනන්දුවක් පොල් හිගයට විසදුම් සෙවීමට හා මිල පාලනය කිරීමට ආණ්ඩුවට හා අදාළ නිලධාරීන්ට තිබිය යුතුය. මන්ද වත්මන් මිල ගණන අනුව සැලකුව ද සහල්වලට සමාන හෝ ඊට ආසන්න මිලක් පොල් මිලදී ගැනීමට ද ජනතාවට දැරීමට සිදුවන නිසාය.

    එහෙත් පොල් මිල සම්බන්ධයෙන් ‘ඊනියා ගැසට් නිකුත් කිරීම හෝ පොල් සංවර්ධන මණ්ඩලය හරහා පොල් බෙදා හරින බව කියමින් ‘බෝල පාස් කිරීම‘ හැර පොල් මිල හෝ පොල් හිගය පාලනය ආණ්ඩුව ගන්නා වූ තිරසර පියවරක් නැත.

    මේ අතර ශ්‍රී ලංකාවේ පොල් වගාව සහ පොල් අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ම දත්ත පරීක්ෂා කරන විට සිතෙන්නේ ‘පොල් මාෆියාවක්‘ ද රට තුළ ක්‍රියාත්මක වන බවය. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියන සංඛ්‍යා ලේඛන ඇසුරින්ම වටහා ගත හැකිය.

    2019 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තවෙන් උපුටා ගන්නා ලද ඉහත වගු සටහන දෙස බලන විට 2019 වර්ෂයේදී ලංකාවේ පොල් ගෙඩි මිලියන 3086ක් නිෂ්පාදනය කර ඇති අතර හෙක්ටයාර් 500300ක පොල් වගාව සිදුව තිබේ.

    මේ අගය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් දත්ත මෙන්ම විශ්වාස තබන්නේ නම් මිලියන 21කට ආසන්න ලංකාවේ ජනතාවට වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3086ක නිෂ්පාදනයක් සිදුවේ. පවුලක සාමාන්‍ය මාසික පොල් අවශ්‍යතාව ගෙඩි 27 ලංකාවේ පවුල් ගණනින් වැඩි කර සාමාන්‍ය අගය ලබා ගන්නේ නම් (පවුල් ලක්ෂ 50ක් ලෙස ආසන්නව සලකා) ලංකාවේ පවුල් ඒකක 50 ලක්ෂය සදහා මාසිකව වන්නේ පොල් ගෙඩි 135,000,000ක්. එය මිලියන ගණනින් සලකා බැලුවහොත් මිලියන 135ක් වන අතර වාර්ෂිකව අවශ්‍ය වන්නේ පොල් ගෙඩි මිලියන 1620කි. මේ දත්ත සත්‍ය නම් ලංකාවේ 2019 වසරේ ගෘහ පාරිභෝජනයට ලබාගත් පොල් ගෙඩි මිලියන 1620 ඉක්මවා ගිය පොල් ගෙඩි මිලියන 1466ක අතිරිත්තයක් රට තුළ තිබිය යුතුය.

    එහෙත් ප්‍රශ්නය ඇත්තේ ලංකාව පසුගිය වසර කිහිපය පුරාම පොල් හිගයක් ගැන දිගින් දිගටම මැසිවිලි කීමය. එහෙත් හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත.

    පොල් පමණක් නොව පොල් තෙල් ද ඕනෑ

    මෙහිදී පොල් මිල ගැන මැසිවිලි කියන ජනතාව අමතක කරන කාරණය වන්නේ ඔවුන්ට පොල් ගෙඩි වගේම පොල් තෙල් ද අවශ්‍ය බව අමතක කිරීමටය. පන්සල් පල්ලිවල දිනපතා දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත පොල්තෙල් පහන්වලට පමණක් නොව විවිධ සෞඛ්‍යය හේතු මත ආහාරමය අවශ්‍යතා සදහා ද අති විශාල පොල් තෙල් ප්‍රමාණයක් රටට වාර්ෂිකව අවශ්‍ය වේ. මේ තත්ත්වය තුළ වාර්ෂිකව නිෂ්පාදනය වන පොල් ගෙඩි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පොල් තෙල් ආදිය නිෂ්පාදනයට යෙදවීමට සිදුවේ. උදාහරණයක් ලෙස 2019 දී පොල්තෙල් මෙට්‍රික් ටොන් 44,648ක් නිෂ්පාදනය කර ඇති අතර එය 2018ට වඩා 309.2%ක වර්ධනයකි.

    පුදුමයකට මෙන් පොල් ගෙඩියේ වට ප්‍රමාණය මනිමින් පොල් හිගයට කැකිල්ලේ කතා කියන බලධාරීන් ජනතාවට පොල්වල අතුරු කතා ගැන වැටහීමක් ලබා දෙන්නේ නැත.

    ‘ඔබ පොල් ගෙඩි පමණක් නොව පොල් තෙල් ද මිලදී ගන්නා බව‘ කියා දෙන්නේ නැත. ඒ වෙනුවට ගැසට් ගසමින්, ටේප්පටි අල්ලමින් නාඩගම් නැටීම පමණක් කරමින් ජනතාවට විහිළු සපයමින් ගමේ ගොඩේ පොල් ගස් 7-8ක් හිමි මිනිහාටත් ‘පොල් මාෆියාවක් ‘නිර්මාණය කර අධික ලාභ ලැබීමට අවස්ථාව ලබාදී තිබේ.

    අප මෙසේ කියන්නේ බැලූ බැල්මට සාමාන්‍ය වෙළෙධ පොළට එන්නේ මහ වතුවල පොල් නොව කුඩා ඉඩම් හිමියන්ගේ සහ පොල්ගස් 7-8ක් ඇති ගෙවල්වල පොල් බව අප පැහැදිලිව දන්නා කියන නිසාය.

    පොල් අපනයනය කරන ප්‍රමාණය

    ලංකාව ගෙඩි මිලියන 3000ක් ගණනක් පොල් නිෂ්පාදනය කරන්නේ ‘හොදි කන්න – සම්බෝල කන්න නොවේ. පොල් වලින් ඊටත් වඩා සුවිශාල වටිනාකමක් ලබාගත හැකිය. විදේශ වෙළෙදපොළේ පොල් සදහා වන ඉල්ලුම අඛණ්ඩව ඉහළ යන අතර ඒවා විවිධාංගීකරණය ද වෙමින් තිබේ. උදාහරණයක් ලෙස මේ වන විට බටහිර රූපලාවන්‍ය කර්මාන්තය තුළ පොල් තෙල් සහ තවත් නිෂ්පාදන රැසකට දැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් ඇති අතර පොල් තෙල් පානය කිරීම දක්වා ඔවුන් ගමන් කර තිබේ.

    මේ තත්ත්වය තුළ ලංකාවේ කාන්තාවන්ට එලොව පොල් පෙනුණ ද 2020 වසරේ ජනවාරි – අගෝස්තු කාලය තුළ පමණක් ලංකාව පොල් අපනයනය මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 222ක් උපයාගෙන සමස්ත අපනය සංයුතිය තුළ 3.4%කට හිමිකම් කීමට ද සමත්ව තිබේ.

    මෙම අපනයන වාර්තා දකිද්දී ‘අපි පොල් ගෙඩියක් ගන්න මෙච්චර කට්ටක් කද්දී, පොල් හිගයි කිය කිය අඩා වැළපෙද්දී අපේ පොල් ටික පිටරට පටෝලා‘ යැයි කිසියම් කුහක සිතිවිල්ලක් පහළ වුණ ද අප මෙය සලකන්නේ ධනාත්මක තත්ත්වයක් ලෙසය. මන්ද අපගේ ස්ථාවරය වන්නේ ‘සාපේක්ෂ වාසි න්‍යාය‘ අනුව කටයුතු කළ යුතුය යන්න වීම නිසාය. එනම් ‘අපිට වැඩියෙන් ලාභ ලැබිය හැකි දේ නිෂ්පාදනය කර අපනයනය කරමින් ඒ විදේශ විනිමය වලින් අපට ලාබෙට ආනයනය කළ හැකි දේ‘ ලබා ගැනීම වඩාත් සුදුසු යැයි අප සිතන නිසාය.

    එහෙත් මේ ආර්ථික යථාර්ථය අදාළ බලධාරීන් විසින් ජනතාවට පහදා දිය යුතුය. එසේ නැතිව රටේ දේශීය පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දෙගුණයක් පොල් නිෂ්පාදනය වේද්දී, ජනතාවට ඒ බව පැහැදිලි පෙනී යද්දී ටේප්පටි ඇල්ලීම විකාරයක් වන නිසාය. මේ සමග ගමේ ගොඩේ පොල් වතු හිමියෝ ද පොල් මාෆියාවක් නිර්මාණය කර ගන්නා නිසාය.

    ‘ලංකාවේ හැමෝටම පොල්වතු හෝ පොල් ගස් නැත. ඒ නිසා රටේ නිෂ්පාදනය වන පොල් ගෙඩි ප්‍රමාණය අයුතු ලාභයට ලක් නොවී රට පුරා බෙදා හරින තිරසර වැඩපිළිවේ දියත් විය යුතුය. එය කිසිසේත් ටෙප්පටියට කළ හැකි දෙයක් නොවේ.

    සටහන – අසේල වීරසේකර

  • තෝර මාළු කන ගමන් ‘දුප්පතුන්ට   වැටකොළු පතෝල කන්න’ කියන අපූරු ආර්ථික ප්‍රතිපත්තිය

    තෝර මාළු කන ගමන් ‘දුප්පතුන්ට වැටකොළු පතෝල කන්න’ කියන අපූරු ආර්ථික ප්‍රතිපත්තිය

    පසුගිය දින කිහිපය තුළ ම විසින් සම්පාදනය කළ ‘තිත්ත ඇත්ත‘ ලිපිවලට සමාජමාධ්‍යවලින් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියා සිටියේ ‘සාමාන්‍යයෙන් ලංකාවේ වෙබ් අඩවිවලින් කතා නොකරන ‘දත්ත සහිත‘ සාකච්ඡාවක් ආරම්භ කිරීම අතිෂය කාලීන බවයි. ඒ සදහා තමන්ගේ ද නොමසුරු දයාකත්වය ලබා දෙන බවයි.

    වෙබ් ලිපි රචකයෙක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන මට මේ ප්‍රතිචාරය අලුත් අත්දැකීමක්. මොකද බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ ‘දීර්ඝ ලිපි‘ නැතහොත් A 2 Z ලිපි සමාජමාධ්‍ය පරිශීලකයින් අතර ජනප්‍රිය නැති බවයි. ඒත් ඒක එහෙම නොවන බව ‘තිත්ත ඇත්ත‘ ලිපි මගින් තහවුරු වුණා.

    මේ අතරේ මුහුණුපොත හරහා සංවාදයට එක් වුණ ගෘහණියක් (ඇය දරුවා බලා ගැනීමට රැකියාවෙන් ඉවත් වුණ පුද්ගලික අංශයේ ගිනුම් ලිපිකාරිනියක්) යම්කිසි ආවේගාත්මක ස්වරයෙන් තවත් කතාවක් කියලා තිබුණා.

    ඇයි ඔයාලා අපේ දරුවන්ගේ පෝෂණය ගැන සංවාදයක් ආරම්භ කරන්නේ නැත්තේ ? මං දැක්කා ඔයාලාගේම සයිට් එකේ තිබුණු ලිපියක පෝෂණය සහ ළමුන්ගේ උස යාම අතර සම්බන්ධයක් තියෙන බව තහවුරු වෙලා තියෙනවා කියලා. ඒක අලුතින් තහවුරු කරන්න දෙයක් නැති වුණත් ජාත්‍යන්තර වශයෙන් සිදු වුණ ඒ සොයා ගැනීම හොදයි. මොකද අපේ දුප්පත් පවුල්වල ළමයි දැක්ක ගමන් ඒ කතාවේ ඇත්ත – නැත්ත හොදට පැහැදිලියි. මම කියන්නේ අපේ ළමයි අතරේ ලොකු පෝෂණ ඌණතාවක් තියෙනවා. ඒකට හේතව මස් – මාළු සහ බිත්තර වගේම කිරි ආහාර (යෝගට්, චීස්. බටර් වාගේ) ආහාරයට ගන්න නොහැකි වීම. බතුයි එළවලුයි ගිල්ලා කියලා අපේ ළමයින්ට ලැබෙන පෝෂණයක් නැහැ. පලතුරක් වුණත් කන්න අපේ ළමයින්ට අවස්ථාව හරිම අඩුයි. මොකද ඒවා ගිනි ගණන්. ඒ නිසා ළමයින්ගේ පෝෂණ ඌණතා සහ ලංකාවේ ඇත්ත තත්ත්වය ගැන හොද සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඒක අපි කාටත් හොදයි‘ ඇය දීර්ඝ සටහනක් තබමින් කියා සිටියා. ඒ සමග පින්තූර කිහිපයකුත් එක්කරලා තිබුණා.

    ඇත්ත තමයි, ඉහළ සහ මධ්‍යම පන්තියේ ළමයි දැක්ක ගමන් ඔවුන් තුළ කිසිම පෝෂණ ඌණතාවක් දැකිය නොහැකියි. ඔවුන්ගේ වයසට හරියන උස වගේම, උසට හරියන බරත් තියෙනවා. දුප්පත් සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඔවුන් බහුතරය කෙසගයි. වයසට හරියන උසක් දැකිය නොහැකියි.

    මේ තත්ත්වය අපි ජාතිකයක් වශයෙන් කම්පා විය යුතු තත්ත්වයක් විදිහටයි මේ ගැන සංවාදයට එක් වෙමින් මගේ වෛද්‍ය මිත්‍රයෙක් වන ධම්මික කිතලව පැවසුවේ.

    ‘දරුවෙකුට අඛණ්ඩ පෝෂණයක් ලැබිය යුතුයි. එය වෛද්‍යවරු නිරන්තරයෙන් අවධාරණය කරන ආකාරයට ‘සමබල පෝෂණයක් විය යුුතුයි. එහෙම වුණොත් විතරයි අපට පරිපූර්ණ වැඩිහියෙක් ලැබෙන්නේ. ඒ කියන්නේ වයසට ගැළපෙන නියමිත උසකින් සහ බරකින් යුතු පුද්ගලයෙක් බිහි වෙන්නේ‘

    ඔහු සංවාදයට එක් වෙමින් පවසනවා.

    ‘මේක වැදගත් වෙන්නේ පුද්ගල පෞරුෂත්වය වගේම අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය කියන සියල්ල සමග පෝෂණය බැදී තිබෙනවා. නිසි පෝෂණයක් නොලැබෙන දරුවන් අධ්‍යාපනයේදී, ක්‍රීඩාව ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලදී අනිවාර්යයෙන්ම පසුගාමී වෙනවා. ඒ වගේම ඒ හරහා ඔහුගේ පෞරුෂත්වයටත් දැඩි හානියක් සිදුවෙනවා. ඒ නිසා අපි ජාතියක් විදිහට ඉදිරියට යාමට නම් අනෙක් දේවල් වගේම පෝෂණය ගැනත් අති සංවේදී විය යුතුයි. ජාතික ආරක්ෂාව, ජාතිය වැඩිකර ගැනීම වාගේ දේවල් සුරක්ෂිත වෙන්නේ නීරෝග ජාතියක් බිහි වුණොත් විතරයි‘

    ඔහු දිගටම අකුරු කරමින් කියනවා.

    මේ අතර සංවාදයට එක් වුණ ලිපිකාරිනියක් වන මාධවි මඩවල වෛද්‍ය ධම්මිකගෙන් ප්‍රශ්න කළේ ‘අපට වැරදුණේ කොතැනද ? ‘ කියලයි.

    ‘වැරදුණ තැන් ගණනාවක් තිබෙනවා. පොදුවේ ගත්විට දුප්පත්කම, ආදායම් විෂමතාව සහ සම්පත් හිගය. ඒ වගේම පසුගාමී සමාජ – ආර්ථික සහ සංස්කෘතික ආකල්ප. විශේෂයෙන් ආහාර සම්බන්ධයෙන් වන පසුගාමී ආකල්ප‘

    ඔහු සටහන් කරනවා.

    ‘ඔබ කියන්නේ කුමක්ද කියලා අපට වැටහෙන්නේ නැහැ. අපි බත්කන ජාතියක්. අපේ සංස්කෘතිය ඒක. ඔබ කියන්නේ බත් කෑම මේ හා ඍජුව සම්බන්ධයි කියලද ?‘

    ඇය ආවේගාත්මකව ප්‍රශ්න කරනවා.

    ‘නැහැ මම දෙඹරයකට ගල් ගහන්න සූදානම් නැහැ. ඒක නැති අවුලක් ඇති කර ගැනීමක්. ඒත් ඔබ ඇත්ත වටහා ගත යුතුයි. ලෝකය දෙස වගේම ඔබ අවට සමාජය දෙසත් ඇස් යොමුකර බැලිය යුතුයි. එවිට ඔබට ඇත්ත වැටහේවි‘

    ඔහු ආවේගය මැඩගෙන අකුරු කරන බවක් පේනවා.

    ඒ සමග ඔහු යළිත් ඡායාරූප කිහිපයක් එක්කරනවා. ඒ ලංකාවේ ඉහළ සහ මධ්‍යම පංතියේ පාසල් දරුවන්ගේ සහ ග්‍රාමීය අඩු ආදායම්ලාභී දරුවන්ගේ ඡායාරූප කිහිපයක්.

    ‘ඔබට ඇත්ත වැටහෙනවාද ? ආදායම් මට්ටම අනුව තමයි මේක තීරණය වෙන්නේ. දුප්පත් ළමුන්ට ප්‍රෝටීන් ආහාර පමණක් නෙමෙයි සාමාන්‍ය ආහාර වන බත් සහ එළවළුවත් ප්‍රමාණවත් තරමට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් අඩු ආදායම්ලාභී දරුවන්ට මස් – මාළු සහ කිරි ආහාර ලැබෙන්නේ අතිෂයින් අඩුවෙන්. ඒකට ඒවායේ මිල ගණන් ඍජුව හේතු වෙනවා‘

    ඔහු යළිත් සදහන් කරනවා.

    මේ අතර රාජකාරී කටයුතු අතරතුර සවාදයට එක්වෙන මගේ මාධ්‍ය මිතුරෙක් වන තීක්ෂණ සටහනක් එවනවා. ඒ එළවළු සහ සහල් සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයින් කියන කතා ගැන.

    රටපුරාම එළවළු ගොවියෝ අස්වැන්නට මිලක් නැතිව බෙල්ලේ වැල දාගන්න හදද්දී දඹුල්ලේ දේශපාලන අතදරුවෙක් ‘මේ ආණ්ඩුවෙන් ගොවියාට අගතියක් වෙන්නේ නෑ කියලා‘ විහිළු කරනවා.  ගොවියාගේ කඳුළු ව්‍යාපාරික ගජමිතුරන්ට මසුරං කරනවා, යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.   

    මේ පෝස්ට් එක දකින රාගම පද්මිණී ද සිල්වා ගුරු මහත්මිය සංවාදයට එක් වෙන්නේ රකුසු කරගත් මුහුණින්.

    ‘මේ ගෑනීට අමාරුව මාතලේ එළවළු වගාකරන ගොවියෝ ගැන. ඒ ඡන්දේ තියෙන්නේ මාතලේ නිසා වෙන්න ඇති. ඒත් මේ මොහොතෙත් මාළු සහ මස් ආහාර නිෂ්පාදකයොත් බරපතළ අර්බුදයකයි ඉන්නේ. ඔවුන් ගැන කතා කරන්න මුං කවුරුත් නැහැ. මේ තනිකරම ඡන්ද බලාගෙන කරන කතා. ඇයි ඔය කැක්කුම ධීවරයෝ, සත්ත්ව ගොවිපොළ හිමියෝ ගැන නැත්තේ ?‘ ඇය ආවේගයෙන් ප්‍රශ්න කරනවා.

    මේ අතර සංඛ්‍යා ලේඛන එක්කම කතා කරන්න නිතර සූදානමින් ඉන්න සෞඛ්‍ය හා පෝෂණවේදය ගැන වඩාත් සංවේදී මාගේ ගුරු මිතුරියක් වන ප්‍රියංකා ජයකොඩි කොහෙන්දෝ සංවාදයට එක් වෙනවා.

    ‘මෙතැන ලොකු අවුලක් තියෙනවා. ඒ තමයි අපේ ළිංමැඩියෝ පිරිසක් කියනවා බත් කෑම තමයි ලොකුම කෑම කියලා. දැන් වුණත් හාල් මිල, එළවළු මිල ගැන මහා සංවාදයක් යන්නේ මේ බොරුව නිසාය. ඇත්තටම නිසි පෝෂණයක් සදහා පිෂ්ඨමය ආහාර (බත්, පාන්, කොස්, අල වගේ) වලට වඩා ප්‍රෝටීන්, මේදය, තන්තු ශරීරයට අත්‍යවශයි. විශේෂයෙන් බත්වලින් ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් – ශක්තිය විතරයි. ඒ නිසා මස්, බිත්තර, මාළු වගේම කිරි ආහාරත් ආහාරයට ගත්තොත් විතරයි නිසි පෝෂණයක් ලැබෙන්නේ. අපේ කරුමෙට බතට තියෙන රජ සැලකිල්ල මාළුවලට, මස්වලට නැහැ. පලතුරුවලට නැහැ. ඉහළ ආදායම් ලබන පන්තිය මාළු – මස් සහ කිරි ආශ්‍රිත ආහාර ඇති තරම් කන කොට අපේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට කන්න කියන්නේ බත් – කොස් දෙල්. මේක තනිකරම කුහකකම ඉක්මවා ගිය පන්තිමය ගැටලුවක්. හරියට 56දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ලොකු වුන්ගේ ළමයින්ට ඉංග්‍රීසි මවුබස කළා වාගේ අමන වැඩක් තමයි මේක‘

    ඇය සංඛ්‍යා ලේඛන උපුටා දැක්වීමට සූදානම් බව පවසමින් කියනවා.

    අපේ ළමයි කුරුමිටෝ / කෝටුකිතයියෝ වෙනවා

    ‘ඔයාලා හොදින් දන්නවා නිරෝගී ජීවිතයක් ගත කරන්න දෛනිව අපට යම්කිසි ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. අපි ඒකට ‘කැලරි‘ කියලා කියනවා. 2011 දී ලංකාවේ පුද්ගලයෙක් ලබා ගත්ත සාමාන්‍ය දෛනික කිලෝ කැලරි ගණන වුණේ 2581.11ක්. ඒ අගය 2017 වෙන කොට 2963.95 දක්වා සැලකිය යුතු විදිහට වැඩි වෙලා තිබෙනවා. ඒත් අපිට වෛද්‍යවරු, පෝෂණ විශේෂඥයෝ නිතර කියන්නේ ‘සමබල ආහාර වේලක්‘ ගන්න කියලනේ. ඒත් ඇත්තටම ඒක එහෙම නැහැ. උදාහරණයක් විදිහට 2017 දී අපේ කැලරි අවශ්‍යතාවෙන් කිලෝ කැලරි 2395ක්ම ලබා ගෙන තිබෙන්නේ එළවළු වලින්. මස්, මාළු, කිරි, බිත්තරවලින් අපි ලබාගෙන තිබෙන්නේ කිලෝ කැලරි 185ක් විතරයි. ඒක 2017 වන විට කිලෝ කැලරි 181.43 දක්වා අඩු වෙනවා.

    ඒ වගේම තමයි ප්‍රෝටීන් අවශ්‍යතාව. අපේ ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ එළවළුමය මූලාශ්‍රවලින්. 2017 දී කිලෝකැලරි 49.84ක් එළවළු වලින් ගන්න කොට මස්- මාළු වාගේ දේවල්වලින් ගන්නේ කිලෝ කැලරි 24.11ක් විතරයි. මේකේ වැදගත්ම කරුණ තමයි 2011 දී එළවළු තිබුණේ 44.45ක අගයක. ඒක 2017 වන විට 49.84 දක්වා වැඩි වෙනවා. මස් – මාළුවල අගය 2011 දී තිබුණේ 21.66ක. 2017 වන විට ඒක වැඩි වෙන්නේ 24.11 දක්වා විතරයි. ඒ කියන්නේ එලවළු වලින් ලබා ගන්න ප්‍රෝටීන් කිලෝ කැලරි ගණන 5.5කින් පමණ වැඩිවෙන කොට මස්-මාළුවල ගණන වැඩිවෙන්නේ කිලෝ කැලරි 2කට ආසන්න අගයකින්. මේක කිසිසේත්ම යහපත් තත්ත්වයක් නෙමෙයි‘

    ඇය තමන්ගේ සංඛ්‍යා ලේඛන හරඹය අරඹින් කියනවා.

    ‘ඔයාලාට තෙරෙනවානේ. අපේ ළමයින්ට වැටකොළු – පතෝල කන්න බලකරනවා. මාළු – මස් කන්න තියෙන අවස්ථාව අහිමි කරනවා. එලවළු වැඩි වැඩියෙන් කනවා කියන්නේ වස කනවා කියන එක කියලා ඔයාලා දන්නවා

    ඇය වඩාත් සංවේදී වෙමින් පවසනවා.

    ‘මේ අතර සංවාදයට එක්වෙන මිතුරියක් වන දීපිකා අල්මේදා පවසන්නේ ප්‍රියංගා පමණ ඉක්මවා සංවේදී වන බවයි. ඇය දේශීය ගොවියා ගැන කතා නොකරන බවට ඇය චෝදනා කරනවා.

    ‘ඇයි ඔයා එහෙම කියන්නේ. මම කිසිමදාක එයාලාව අවතක්සේරු කරන්නේ නැහැ. ඒත් එළවළු ගොවියා වගේම කුකුල් මස් නිෂ්පාදකයාටත්, ධීවරයාත් අපට අතිෂයින් වැදගත්. ඔයා හොදට බලන්න එළවළුයි – බතුයි විතරක් කන අය කී දෙනාද ඉන්නේ කියලා. අපේ ඔෆිස් ස්ටාෆ් එකේ නම් ඉන්නේ එක මිස් කෙනෙක් විතරයි‘

    ප්‍රියංගා කියනවා.

    මේ සමග ඇය තම මතය යළි තහවුරු කිරීමට සංඛ්‍යා දත්ත එක්කරනවා.

    ‘මං ඔයාලාට කියන්නම්, මේවා මගේ පණ්ඩිතකමට කියන කතා නෙමෙයි. ළමයින්ට නිසි පෝෂණයක් නොලැබුණොත් වෙන දේ ඔයාලාම දන්නවානේ. ගහකට පැළය කාලෙදී පෝර නොදා වයසට ගියා පස්සේ පෝර බැන්දත් වැඩක් නැහැ. ඒ වගේ තමයි ළමයෙක්ට වසය අවුරුදු 05 පෙර කාලේ නිසි පෝෂණයක් ලැබිය යුතුයි. ඒත් ලංකාවේ අපි පම්පෝරි ගහන තරම් වැඩ කරන්නේ නැහැ. ලංකාවේ අවුරුදු 05 අඩු ළමයින්ගෙන් 20.5%ක් (2017දී) ‘වයසට නියමිත බර‘ නැහැ. ඒ කියන්නේ වයසට ගියත් ඒ ළමයින්ට ‘නිසි බරක් නැ. ඒ කියන්නේ හැම ළමයි 5/1ක්ම වසයට අනුව තිබිය යුතු උස නැති ළමයි.

    ඒ වගේම තමයි ‘උසට හරියන බර‘ නැති අවුරුදු 05 අඩු ළමයින්ගේ ප්‍රතිශතය 2016 දී 15.1%ක්. පුදුමේ කියන්නේ 1993දී ඒ ප්‍රතිශතය තිබුණේ 15.5%ක. අවුරුදු 23කට පස්සෙත් අපිට ඒ අගය අඩු කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 0.4%කින් විතරයි. මේක තමයි ලංකාවේ ආදායම් විෂතමතා කියන්නේ. මේ ළමයි සේරම දෙනා පහළ සහ අඩු ආදායම් ලබන පවුල්වල දරුවෝ. හොදට මතක තියා ගන්න මේ පවුල්වල ළපටි දරුවෝ විතරක් නෙමෙයි නවයොවුන් දරුවෝ, දෙමාපියන් පවා නිසි පෝෂණයක් නැති අය‘

    ප්‍රියංගා සංවාදය ඉදිරියට ගෙන යමින් කියනවා. දැන් ඇය කියන දේ අසා සිටීමට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන බව පේනවා.

    ‘ඔයාට නිවාඩු දුන්නා කියලා පාඩුවක් වෙලා නැහැ වගේ ‘ අයෙක් මේ අතර ප්‍රියංගාට විහිළු කරනවා.

    ‘නැහැ අනේ, අපි මේවා කාට කියලා කියන්න ද ? මාළුකාරයා පාරේ යනකොට හුහුල්ලන ගෑනු මම ඕනෑ තරම් දැකලා තියෙනවා. තලපත්වල, තෝරාමාළුවල මිල අහලා සූඩයෝ, ලින්නෝ ගන්න ටීචර්ලා මම දන්නවා. ඒක වෙලා තියෙන්නේ මේවට කිසිම ධෛර්යක් නොදෙන නිසා‘

    ඇය කියනව. මේ අතර ඇය යළිත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පොතක් කොපි කරනවා.

    පවුලක සාමාන්‍ය ආහාර වියදම තුළ සහල් සහ එළවළු වියදම

    ‘මං ඔයාලාට ලංකාවේ ඇත්ත කතාව පහදලා දෙන්නම්. මං ගාව තියෙන්නේ ටිකක් පරණ දත්ත. ඒ කියන්නේ 2018 දී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සංඛ්‍යා දත්ත අත්පොත. ඒකේ 34 වැනි පිටුවේ ලංකාවේ ගෘහ ඒකකයක සාමාන්‍ය විදයම් ලේඛනය තියෙනවා. ඒකේ ‘තෝරාගත් ආහාර ආයිතමය – Average Monthly Household Expenditure Selected Food Items එකේ දත්තවලට අනුව 2009/10 අවුරුද්ද් සහල් වලට පවුලක් වියදම් කරලා තියෙන්නේ රුපියල් 2298යි (කිලෝ 36.3කට) ඒක 2012/13 වෙන කොට 2134 දක්වා අඩු වෙනවා. ඒ හාල් මිලදී ගැනීම කිලෝ 34.8 දක්වා අඩු වුණ නිසයි. 2016 දී ඒක 2452යි. ඒ කිලෝ 33.1ක් මිලදී ගන්න. මං ගණන් හදලා බැලුවා 2009/10 අවුරුද්දේ මේ තෝරා ගත්ත ආහාර වර්ග සදහා පවුලක සාමාන්‍ය වියදම රුපියල් 13,265යි. ඒකෙන් රුපියල් 2298ක් තමයි සහල්වලට වියදම් කරන්නේ. ඒ කියන්නේ පවුලක සාමාන්‍ය ආහාර සදහා යන වියමින් 17.32%ක් තමයි සහල් සදහා වැය කරන්නේ. එතකොට එළවළු සදහා ඔවුන් මාසිකව වැය කරන්නේ රුපියල් 1006ක්. ඒ කියන්නේ සාමාන්‍ය ආහාර සදහා යන වියදමින් 7.58%ක් තමයි වියදම් කරන්නේ. පවුලක සහල් සහ එළවළු සදහා දරන සාමාන්‍ය වියදම තෝරාගත් ආහාර සදහා වන වියදමෙන් 25%ක් විතර තමයි වෙන්නේ. ඒත් ඔවුන්ට පෝෂණය සදහා අත්‍යවශ්‍ය වන මස්, මාළු,කරවල, කිරි, සහ කිරි නිෂ්පාදන සහ බිත්තර සදහා මාසිකව රුපියල් 3344ක් වැය කරන්න සිද්ධ වෙනවා. කොටින්ම ඔවුන් මාසිකව මාළු කිලෝ 3.8ක් සදහා රුපියල් 1163ක්, ඒ කියන්නේ එළවළුවලට වඩා වැඩි මිලක් දරන්න වෙනවා. ඒ කියන්නේ පවුලක සාමාන්‍ය ආහාරවලට දරන වියදමෙන් 25.20%ක් ඔවුන් ප්‍රෝටීන් ආහාරවලට වියදම් කරන්න ඕනෑ. ඒකෙන් 8.7%ක් මාළුවලට‘

    ඇය සුපුරුදු පරිදි වේගයෙන් අකුරු කරමින් කියනවා.

    ‘ඉතිං මං අහන්නේ මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා මාළුවලට ඇතිවෙලා තියෙන අවුල ගැන කවුරුත් කතා නොකරන්නේ ඇයි ? පවුලක සාමාන්‍ය ආහාර වියදමෙන් 8%ක් වෙන මාළු ගැන කිසිම කතාවක් නැති මිනිස්සු ඇයි ඊටත් වඩා අඩු වැදගත්කමක් තියෙන එළවළු ගැන කෑ ගහන්නේ. එතන තියෙන්නේ තනිකරම දේශපාලන වුවමනා එපාකම්. ඔය රෝහිණී කවිරත්තනලා, රජිත් කීර්ති තෙන්නකොන්ලා ධීවරයෝ ගැන, මිනිස්සුට මස් – මාළු කන්න තියෙන අයිතිය ගැන, ධීවරයින්ගේ ප්‍රශ්න ගැන කතා කරනවාද ? නැහැ‘

    මගේ ගුරු මිතුරිය ආවේගයෙන් ප්‍රශ්න කරන්නේ කෘෂිකර්මාන්තය තුළ වඩාත් ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරන්නේ, නැතිනම් දළ දේශීය නිෂ්පාදිතයට වැඩි වටිනාකමක් දෙන්නේ වී හෝ එළවළු වගාව නොව ධීවර සහ පශු සම්පත් බව ද දත්ත සහිතව හෙළි කරමිනි.

    ‘2019 මහ බැංකු වාර්ෂික වාර්තාවේ 58 පිටුව බලන්න. ඒකේ ඇත්ත තත්ත්වය පැහැදිලි කරනවා. වී නිෂ්පාදනය මගින් 2019 දළ දේශීය නිෂ්පාදනයට එක්කරලා තියෙන්නේ 0.7%ක අගයක්. එළවළු නිෂ්පාදනයෙන් 0.6%ක්. ඒ කියන්නේ අපි කෘෂිකර්මාන්තය ලෙස ඌනනය කරන ප්‍රධාන ආර්ථික කටයුතු දෙක මගින් ජාතික නිෂ්පාදිතයට එක් කරන්නේ 1.3%ක් වාගේ ප්‍රමාණයක්. ඒත් ධීවර කර්මාන්තය 2019 දී 1.1%ක් ඒ කියන්නේ වී වගාවට වඩා 0.4%ක දායකත්වයක් දෙනවා. පශු සම්පත් 0.7%යි. ඒ කියන්නේ වී වගාවට සමාන දායකත්වයක් තමයි දළ දේශීය නිෂ්පාදිතයට දෙන්නේ‘

    මේ අතර ආණ්ඩුට දැඩි හිතවත්කමක් දක්වන මගේ හිතවත් ව්‍යාපාරිකයෙක් සංවාදයට එක්වෙමින් ප්‍රශ්න කළේ ‘ඉතිං මොකක්ද අවුල ?‘ කියාය.

    ‘කිසිම අවුලක් නැහැ. අපි කියන්නේ බත්පතට එළවළු වගේම මාළු – බිත්තර – මස් වුවමනායි කියලයි. ඒකටත් ජාතික වශයෙන් ප්‍රමුඛතාව වගේම අවධානය අවශ්‍යයි කියලයි. එහෙම නැතිව මේ කිසිම දේක වටිනාකම අවතක්සේරු කිරීමක් කරන්න මට අවශ්‍ය නැහැ‘

    ඇය සංයමයෙන් පවසනවා.

    මෙවැනි ප්‍රශ්න හා චෝදනා හරහා අපේක්ෂිත සංවාදය කැලෑ පැනීමට හැකි නිසා යළිත් සංවාදය නිසි මගට ගැනීමට වෛද්‍ය ධම්මික උත්සාහා කරනවා. ඔහු ප්‍රියංකාට අභියෝගයක් කරනවා.

    ‘හරි ඉතිං ගුරු මවුනි, කියන්න බලන්න අර සහල් – එළවළු කතාවේ දැන් තත්ත්වය. මොකද මාත් ඒ ගැන දැන ගන්න කැමතියි. මං ආර්ථික විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ‘

    වෛද්‍ය ධම්මික අවංකව සටහනක් තබමින් කියනවා.

    ‘ආර්ථික විද්‍යා වේ මූලික දේවල්වත් නොදන්න ඈයෝ තීන්දු තීරණ ගන්න නිසානේ මේ අවුල ඇති වෙලා තියෙන්නේ‘

    ප්‍රියංකා සරදම් ස්වරයෙන් සටහනක් සමග ක්ලිප්ආර්ට් එකක් එක්කරනවා.

    ‘මෙහෙමයි, මං මුලින් කිව්වා වාගේ සහල් සහ එළවළු සදහා පවුලක සාමාන්‍ය මාසික වියදම 2012/13 දී 15,651 දක්වා ඉහළ යනවා. සහල් සදහා යන වියදමත් 2009/10 දී තිබුණ අගය වුණ 2298 සිට 2134 දක්වා අඩුවෙනවා. ඒ මිල පහළ යාම නිසා නෙමෙයි සහල් මිලදී ගැනීම කිලෝ 34.8 දක්වා අඩු වුණ නිසා. ඒ කියන්නේ 2009/10 දී පවුලක සාමාන්‍ය ආහාර සදහා යන වියදමෙන් 13.63%ක් තමයි සහල් සදහා යන්නේ. එළවළු වල වියදම 1279 දක්වා 8.17%ක් වෙනවා. පොදුවේ බලන කොට 2012/13දී සහල් – එළවළු සදහා පවුලක සාමාන්‍ය වියදම තෝරාගත් ආහාරවල සමස්ත වියදමෙන් 21.80%ක් වෙනවා. මේක 2009/10 වඩා (25%) පැහැදිලිවම අඩු අගයක්.

    මස්, මාළු,කරවල, කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ බිත්තරවලට 2012/13 අවුරුද්දේ රුපියල් 4304ක් වියදම් වෙලා තියෙනවා. ඇත්තම එළවළුවලට වඩා මාළුවලට (රුපියල් 1430ක්) වියදම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට රුපියල් 1359ක් වියදම් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ එකතුවේ පොදු ප්‍රතිශතය සාමාන්‍ය වියදමෙන් 27.49%ක්.

    2016 දී මේ තත්ත්වය තව දුරටත් පහළ වැටෙනවා. 2016 දී පවුලක සාමාන්‍ය මාසික සහල් පාරිභෝජනය කිලෝ 33.1 දක්වා අඩු වෙනවා. ඒ වෙනුවෙන් වැය කරන්නේ රුපියල් 2452යි. (ඒක 2010 දී කි‍ලෝ 36.3ක්) එළවළුවලට යන වියදම රුපියල් 1530යි. 2016 දී පවුලක තෝරාගත් ආහාර වර්ග සදහා මාසික වියදම 19,144ක්. ඒ කියන්නේ 2016 දී නිවසක සහල් සදහා ගිය මාසික වියදම මුළු ආහාර වියදමෙන් 12.88%ක්. එළවළුවලට ගියේ 7.99%ක්. එළවළුවලටයි සහල්වලටයි ගිය සාමාන්‍ය වියදම් ප්‍රතිශතය වු‍ණේ 20.87%ක් වාගේ ගණනක්.

    මස්, මාළු, කරවළ, බිත්තර වලට 2016 දී පවුලක ආහාර වියදමෙන් රුපියල් 5278ක් වැය වෙනවා. ඒක සාමාන්‍ය ආහාර වියදමෙන් 27.57%ක්. දැන් ඔයාලාට හොදම වැටහෙනවා ඇති අපි ඇත්තටම මහා ඝෝෂාවක් කරන සහල් මිල සහ එළවළු මිල ඉහළ යාම ඇත්තටම පවුලක ආහාරවලට යන වියදමත් එක්ක සසදන කොට ඇත්ත තත්ත්වේ‘

    ප්‍රියංගා ජයග්‍රාහී ස්වරයෙන් පවසනවා.

    ඇයගේ ප්‍රකාශයට ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාර. සහල්වලට යන්නේ තමන්ගේ මාසික තෝරාගත් ආහාර වියදමෙන් 12%-13%ක් කියලා පිළිගන්න බොහෝ දෙනෙක් කැමැති නැහැ. ඒත් සංවාදය ගලාගෙන යන විට ඔවුන් ඇත්ත කතාව පිළිගන්නවා. ඒත් ප්‍රශ්නයක් ඇති වෙනවා.

    ‘ගුරු මවුනි, පවුලක මාසික වියදමෙන් 21%ක් කියන්නේ ලොකු ගාණක්. ඒක ඔයාට දරන්න පුළුවන්කමක් ඇති ඒත් අපිට නම් හරිහ අමාරුයි‘

    මේ අතර සංවාදයට එක්වන ඉරේෂා මායාදුන්න නම් සංවර්ධන නිලධාරිනිය පවසනවා. ඇය කියන්නේ 1%ක් වුණත් තමාට දරා ගැනීමට අපහසු බවයි.

    ‘ඔයාගේ ඩොටා බිල කීයද ?‘

    මේ සමග ප්‍රියංගා අහනවා.

    ‘මං මේ කිව්වේ පවුලක තෝරාගත්ත ආහාරවල වියදමෙන් ප්‍රතිශතයක් විදිහට සහල් – එළවළුවලට යන වියදම ගැන. ඇත්තටම මේක තාම ඉවර නැහැ. ඔයාලා දන්නවානේ ආහාර වියදම් විතරක් නෙමෙයි කියලා ගේකට තියෙන්නේ. ආණ්ඩුව කියන විදිහට ‘ප්‍රධාන ආහාර නොවන වියදම් – Major Non -food Expenditure Group කියලා එකකුත් තියෙනවා‘

    ඇය ඒ හා සමගම අදාළ වගු සටහනක් ඉදිරිපත් කරනවා.

    ‘මට ඔයාලාට උගන්න උගන්න ඉන්න වේලාවක් නැහැ. මේ වගුව බලන්න කෝ. එතකොට ඇත්ත තත්ත්වය තේරෙයි. 2016 දී මේ සදහා පවුලක් රුපියල් 35,886ක් වැය කරලා තියෙනවා. ආහාරයි මේ වියදමයි එකතු කළාම 2016 දී පවුලක සාමාන්‍ය වියදම (35,886 + 19.144 = 55,030) රුපියල් 55,000ක් වෙනවා. දැන් අපි සහල් බිල බලමුද ? 55,000/2452යි. ඒ කියන්නේ 4.45% !යි. එළවළුවලට ගත්තොත් 2.78%යි. මේ දෙකම ගත්තත් පොදු ප්‍රතිශතය වෙන්නේ 7.23%ක්.

    මේ හෙළි කිරීම කිහිප දෙනකුගේ විමතියට හේතු වෙනවා. ඒත් සටන අතඅරින්න කිසිවෙක් කැමැති නැහැ. ඔවුන් තර්කපිට තර්ක කරනවා. දැන් සංවාදය පුද්ගලික අමනාපකම්, අවලාද කිරීම් බවට ක්‍රමිකව පත්වෙනවා.

    ‘හරි ඔයා කියන්නේ ඇත්ත කියලා කියමු. ඒත් !‘

    මේ අතර සංවාදයට එක් වෙන හිඹුටානේ සංජය සිරිවර්ධන යමක් කියන්න හදනවා. ඔහු ව්‍යාපාරිකයෙක් වගේම වෘත්තිකයෙක්.

    දුප්පතුන්ට මේක ප්‍රශ්නයක් නේද ?

    ‘ඇයි ඒත් කියන්නේ ඇත්ත කතාව මේක තමයි. අපි නිතරම කතා කරන්නේ දේශපාලනඥයින්ට සංවේදී කතා මිසක් ඇත්තටම ජනතාවට සංවේදී දේවල් ගැන නෙමෙයි. ඒකයි පවුලක සාමාන්‍ය මාසික වියදමෙන් 7-8%ක් වෙන දේවල් මහා සංවාද බවට පත්කරගෙන ඇත්ත කතාව යටපත් කරන්නේ ‘

    මගේ හිතවත් මාධ්‍ය මිතුරා තීක්ෂණ බරපතළ සංවාදයකට එන්න හදනවා.

    ‘ලංකාවේ දුප්පත් අය වැඩියි. සමෘද්ධිලාභීන්ම ලක්ෂ 18ක් ඉන්නවා‘

    වෛද්‍ය ධම්මික කිතලව කියනවා.

    ‘ඉතිං‘

    තීක්ෂණ ප්‍රශ්න කරනවා.

    ‘ඉතිං කියන්නේ මේ සමෘද්ධි පවුල් ලක්ෂ 18ට ඔයා කියන කතාව කොච්චර බරපතළද ? ඔයා දන්නවාද ඒ අය ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්‘

    ඔහු කියනවා.

    ‘ඇත්ත සමෘද්ධිය පටන් ගත්තේ 1995දී. දැන් අවුරුදු 25ක්. එයාලා තාම දුප්පත් නම් ඒක වෙන තැනක වැරැද්දක්‘

    තීක්ෂණ කියනවා.

    ‘ඔයා දන්නවාද ආණ්ඩුව කියන විදිහට ලංකාවේ දුප්පත්කම කීයද කියලා‘

    දැන් තීක්ෂණ සංඛ්‍යා ලේඛන හරඹයට එක් වෙනවා.

    ‘නැහැ‘

    ධම්මික කියනවා.

    ‘ඕක තමයි මහත්තයෝ වැඩේ. 1995 ඉදන් සමෘද්ධිය දෙනවා. දැන් අවුරුදු 25ක්. එදා සමෘද්ධිය ගත්ත අයගේ ළමයිනුත් දැන් සමෘද්ධිය ගන්නවා. ඒත් ආණ්ඩුව කියන තාලෙට 2017දී ලංකාවේ දරිද්‍රතාව 3.1%ක්. කොළඹ දිස්ත්‍රික්කේ 0.6%යි. ඔයා ඉන්න ගම්පහ 1.3%යි. ඇත්ත කතාව ඕකයි. ඒත් ඔයාගේ පැත්තේ කී දෙනෙක් සමෘද්ධිය ගන්නවාද ? ‘

    තීක්ෂණ දැඩි ස්වරයෙන් ප්‍රශ්න කරනවා.

    ‘සහෝදරයා මතක තියා ගන්න නිදහස දුන්න දා ඉදන් මේ රටේ ආණ්ඩු දුප්පත්කමට සහනාධාර දෙනවා. විසදුම් දෙනවා. ඩඩ්ලි නිකං හාල් දුන්නා. ප්‍රේමදාස ජනසවිය දුන්නා. චන්ද්‍රිකා සමෘද්ධිය දුන්නා. ඒත් ආණ්ඩුව කියනවා ලංකාවේ සමෘද්ධිලාභීන් ලක්ෂ 18ක් ඉන්නවා කියලා. ඒ කියන්නේ ලංකාවේ පවුල්වලින් 25%ක් සමෘදධිලාභීන් ! සමෘද්ධිය ඇත්ත වුණත් ඇත්ත කතාව තිත්තයි. ඒ නිසා මම යනවා. මට වැඩ තියෙනවා. අසේල මේ කතාව හරියට ලියන්න ඕනෑ හරිද ? ගේම් බැහැ‘

    තීක්ෂණ ලොකවුට් වුණා. දැන් එකා දෙන්නා ඉවත් වෙනවා. මායි ප්‍රියංගයි ටිකක් වෙලා චැට් කරලා කතාව අවසන් කළා. දැන් ඔබ කියවන්නේ අලුත්ම තාලේ මාධ්‍ය අත්දැකීමක්. ඔබටත් මේකට එක්විය හැකියි.

    ‘අනේ මන්දා අසේල මේ මහ බැංකුවේ දත්ත එක්ක කරන සෙල්ලම හරිම විනෝදයි. ඒත් මට නිකං මොකක්ද වාගේ ‘

    කතාවට විරාමයක් දෙමින් ප්‍රියංගා කියනවා.

    ‘ඒ ගැන හිතන්න එපා. ආණ්ඩුවයි නිලධාරිනුයි මේ සේරම තහවුරු කරන්නේ මහ බැංකු දත්ත එක්ක නේ. ඒ නිසා අපිටත් ඒකම කරන්න වෙනවා.

    ‘දත්ත කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වාගේ නේද ?‘

    ‘ඔව් වදුරන්ට අහුනොවෙනකල්‘

    සටහන – අසේල වීරසේකර

  • යහපාලනේ මිලියන 201ක දියර පොහොර වංචාවක් – ඇමති නියෝගයෙන් පරීක්ෂණ කඩිනම් වෙයි

    යහපාලනේ මිලියන 201ක දියර පොහොර වංචාවක් – ඇමති නියෝගයෙන් පරීක්ෂණ කඩිනම් වෙයි

    වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා පොහොර සමාගම අද (12) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළා. මොහාන් සිල්වා, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා ඇතුළු නිලධාරීන් ද මීට එක්ව සිටියා.

    2015 වසරේ දියර පොහොර මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාවක් පිළිබඳව මෙහිදී නිලධාරීන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු ඉදිරිපත් කළා. මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කොට ඇති අතර, අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කර ඇති බවයි මෙහිදී හෙළිදරව් වුණේ.


    ලංකා පොහොර සමාගමට දෛනිකව පොහොර ටොන් 2,500ක් ලබා ගන්නා අතර, පොහොර මෙට්‍රික් ටොන් 2000ක් දෛනිකව නිකුත් කරනවා. වී ගොවිතැනට අවශ්‍ය දිවයින පුරා පොහොර බෙදා හැරීමේ ප්‍රධානම කාර්ය සිදු කරන්නේ ලංකා පොහොර සමාගමයි.

    පොහොර සමාගමේ වත්තල පිහිටි සියලු ගබඩා සංකිර්ණ ද මෙහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළා. කල් ඉකුත්ව ගබඩාකොට ඇති දියර පොහොර ලීටර් 118,000කට අධික ප්‍රමාණය ද අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කරනු ලැබුවා.

    පොහොර සමාගමේ නිලධාරීන්ගේ ද විරුද්ධත්වය නොසලකා හරිමින් 2015 වර්ෂයේ මෙම දියර පොහොර මිලදී ගෙන ඇත්තේ බැංකු පහසුකම් ඇතුළු රාජ්‍ය වරප්‍රසාද රැසක් ලබා ගනිමින්. මෙම ප්‍රමිතියෙන් තොර දියර පොහොර ලංකා  පොහොර සමාගමට මිලදී ගෙන ඇති අතර, විද්‍යාගාර පරීක්ෂණවලින් ප්‍රමිතිය නොමැති බව තහවුරු කර තිබියදීත් අඛණ්ඩව වංචනිකව එවකට බලධාරින් මෙම පාඩුව රජයට සිදු කළ බවයි අමාත්‍යවරයාට අදාළ නිලධාරීන් කරුණු ඉදිරිපත් කළේ. එසේම එවකට පොහොර සමාගම් භූමියේ කාපට් අසුරා සකස් කිරීමේදී ලක්ෂ 88ක මුදලක් වංචා කළ බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

    සමාගමේ නීති නිලධාරියා ඇතුළු නිලධාරීන්ගෙන් මෙම වංචාවන්ට අදාළ විමර්ශනවල ප්‍රගතිය විමසූ අමාත්‍යවරයා, වහාම විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දුන්නා.

    ලංකා පොහොර සමාගම සතුව ගබඩා 46 ක් දිවයින පුරා පවතිනවා. වෙලාවට පොහොර ටික ගොවියාට ලබා දීමත්, අපහසුතාවයට පත් නොවන පරිදි එය සිදුකිරීමත් අත්‍යවශ්‍ය බවයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

    එසේම කිළිනොච්චි හා අනුරාධපුර තලාව ප්‍රදේශයේ නව පොහොර ගබඩා ඉදිකිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ද මෙහිදී ගනු ලැබුවා. මිනිපේ ප්‍රදේශයේ පොහොර හිඟයක් ඇති බවට නැගෙන ගොවි ගැටළු ගැන වහාම සොයා බලන ලෙසත්, පොහොර ඇසුරුමේ සිට මහා පරිමාණ සමාගම දක්වා විවිධ වංචාවන් ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා.

    එසේම පොහොර සංස්ථා භූමියේ සියලු මාර්ග කාපට් අතුරා කඩිනමින් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද මෙම නිරීක්ෂණ චාරිකාවේදී ගනු ලැබුවා. සංස්ථාවේ වැටුප් විෂමතාවයක් පිළිබඳව නිලධාරීන් කරුණු ඉදිරිපත් කළ අතර, රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට ඊට විසඳුම් ලබාදෙන බවයි අමාත්‍යවරයා දැනුම්දෙනු ලැබුවේ. පොහොර බෙදාහැරීමේ ජාලය ඇතුළු කාර්යක්ෂම සේවාවක් සඳහා වූ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඇති පුරප්පාඩු පුරවා, වී ගොවියාට උපරිම සේවාවක් ලබාදීමේ පොහොර සංස්ථාවේ වගකීම කර මතට ගෙන ඉටුකරන ලෙසයි මෙහිදී අදාල පාලනාධිකාරියෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

    පොහොර ගෙන්වීම, මිශ්‍රණය, ගබඩා කිරීමල බෙදාහැරීම සීමාසහිත ලංකා පොහොර සමාගම සිදුකරන අතර, ඇතැම් පෞද්ගලික සමාගම් වැරදි ලෙස පොහොර ගෙන්වීම, වංචනික ලිපි ලේඛන ඉදිරිපත් කරමින් පොහොර ගෙන්වීම, වංචනික ලෙස බෙදාහැරීම, වංචනික මිශ්‍රකිරීම සියල්ල ද සිදු කරන බවත්, ඒ පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න වහාම තමන් වෙත වාර්තා කරන ලෙසත්, පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට හා ලංකා පොහොර සමාගමේ නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම නිරීක්ෂණ චාරිකාවේ දී දැනුම් දෙනු ලැබුවා. අනතුරුව මාධ්‍ය වෙත ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

    මීට එක්වූ රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා මහතා ප්‍රකාශ කළේ, කාබනික පොහොර භාවිතය ගැන ජනතාව දැනුවත්කොට නිසි ක්‍රමවේදයක් හරහා භාවිතයට හුරු කිරීමට සැලසුම් සහගත ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි, කෙටිකාලීනල  දිගුකාලීන ලෙස ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියා.

  • කොවිඩ් 19 : Pfizer එන්නත ලැබෙන්නේ කවදා ද?

    කොවිඩ් 19 : Pfizer එන්නත ලැබෙන්නේ කවදා ද?

    මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වලක්වා ගත හැකි එන්නතක්, හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා සුදානම්ව පවතී.

    එය සංවර්ධනය කළ Pfizer සහ BioNTech සමාගම් පවසන්නේ මෙම එන්නත මිනිසුන් 43,500ක් යොදා ගනිමින් අත්හදා බැලූ අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මතු නොවූ බවය.

    මේ එන්නත කුමක් ද? කෙතරම් ඵලදායක ද?

    කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත මගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරවයි.

    මෙය RNA ගණයට අයත් නව එන්නත් වර්ගයකි. ඒ සඳහා භාවිත කෙරෙන්නේ වෛරසයේ ජාන කේතයෙන් වෙන් කර ගත් ඉතා කුඩා කොටසක් පමණි. එම කොටස ඔබේ සිරුර තුළ ක්‍රියාත්මක වීමෙන් වෛරසයේ කොටසක් තනනු ලබන අතර එය පිටස්තරයෙකු ලෙස හඳුනා ගනිමින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට එරෙහිව සටන් කරන්නට පටන් ගනී.

    මෙම එන්නත මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන අතර එම මාත්‍රා දෙක අතර සති තුනක කාල පරතරයක් තබා ගැනේ.

    මූලික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත ලබා දුන් පිරිසෙන් 90%කට වැඩි දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවූ බවය.

    මෙම වර්ගයේ එන්නතක් මීට පෙර භාවිත කර තිබේ ද?

    RNA ගණයට අයත් එන්නතක් මිනිසුන් සඳහා භාවිත කිරීමට මෙතෙක් අනුමත වී නොමැත.

    නමුත් මෙම සංකල්පය පිළිබඳව පර්යේෂණ පවත්වා වෙනත් රෝග සඳහා නිපදවූ එන්නත් සායනික අත්හදා බැලීම් සඳහා මිනිස් දේහය මත භාවිත කර තිබේ.

    Getty Images

    නව එන්නත මුලින්ම ලැබෙන්නේ කාට ද? කවදා ද?

    කොවිඩ් 19 වැඩිපුරම මාරාන්තික වී ඇත්තේ වයසින් වැඩි පුද්ගලයන්ට බැවින් මෙම එන්නත ලබා දීමේ දී වයස්ගත පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. එම නිසා වැඩිහිටි නිවාසවල වෙසෙන්නන් සහ ඒවාහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් සිටිති. මීළඟට සිටින්නේ රෝහල් සේවකයන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයයි.

    අනතුරුව වයස් කාණ්ඩය පදනම් කර ගනිමින් ජනතාව ලැයිස්තුගත වන අතර වයස අවුරුදු 50ට අඩු පිරිස ලැයිස්තුවේ පහළින් සිටිනු ඇත.

    සියලු කටයුතු සාර්ථකව සිදු වුවහොත්, එළැඹෙන නත්තලට පෙර පළමු එන්නත් මාත්‍රාව ලබා දීම සිදු විය හැකි බවට අපේක්ෂිතය.

    ඉහත සඳහන් වන්නේ එක්සත් රාජධානිය සැලසුම් කර ඇති ආකාරය යි. එක් එක් රටවල් විවිධ සැලසුම් අනුව කටයුතු කළ හැකිය.

    කෙසේ නමුත් මෙම එන්නත බෙදා හැරීමේ දී සහ තොග ගබඩා කර තබා ගැනීමේ දී විශේෂිත වූ අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත.

    මෙම එන්නත සෙල්සියස් අංශක සෘණ 80ක (-80C) අගයක් පවත්වා ගනිමින් ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සිදු කළ යුතු වීම එම අභියෝගය යි.

    දීර්ඝ කාලීන ආරක්ෂාවක් ලැබේ ද?

    මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට හැකියාවක් නැත. එය නිශ්චිතව දැන ගැනීම සඳහා යම් කාලයක් ගත වනු ඇත.

    ප්‍රතිශක්තිය වැඩි කාලයක් රඳා නොපවතී නම් මෙම එන්නත වසරක් පාසා ලබා ගැනීමට සිදු වනු ඇත.

    මෙම එන්නත මගින් සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන් එක හා සමානව ආරක්ෂා කරන්නේ ද යන්න තවමත් දත්ත මගින් පැහැදිලි වී නැත.

    නමුත් මූලික අධ්‍යයනවලින් යෝජනා කෙරෙන්නේ තරුණ සහ මහලු යන දෙපාර්ශවයේ ම ප්‍රතිශක්තිය මීට ප්‍රතිචාර දක්වා ඇති බවයි.

    එමෙන්ම, මෙම එන්නත ලබා දිම සඳහා නුසුදුසු පුද්ගලයන් ද සිටිය හැකිය. උදාහරණයක් ලෙස, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල පුද්ගලයන්ට මෙම එන්නත ලබා දිය නොහැකිය.

    Getty Images

    දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් ඇතිවේ ද?

    ඖෂධ කිසිවක් 100%ක් සුරක්ෂිත නොවේ. අප ලබා ගන්නා පැරසිටමෝල් පෙත්තේ ද අවදානමක් පවතී.

    මෙතෙක් ලැබී ඇති දත්ත අනුව අනුව පෙනී යන්නේ 43,500ක් දෙනා යොදා ගනිමින් සිදු කළ අත්හදා බැලීමේ දී, සුළු අතුරු බලපෑම් වාර්තා වුව ද කිසිදු සෞඛ්‍ය ප්‍රශ්නයක් මතු නොවූ බවයි.

    යම් හෙයකින් භයානක, පොදු ප්‍රතිවිපාක වූයේ නම්, ඒවා දෘශ්‍යමාන විය යුතුව තිබුණි.

    කෙසේ නමුත්, මිලියන ගණනක් ජනතාවට මෙම එන්නත ලබා දීමේ දී විරල අතුරු ආබාධ වාර්තා විය හැකිය.

    දැන් ලොක්ඩවුන් අවශ්‍ය නොවේ ද?

    ඉදිරියේ දී ලොක්ඩවුන් අවැසි නොවිය හැකිය. නමුත් එය නිශ්චිත වීමට යම් කාලයක් ගත වනු ඇත.

    ප්‍රමාණවත් පිරිසක් එන්නත ලබා ගෙන ඇත්නම් වෛරසය ව්‍යාප්ත වීම පාලනය වනු ඇත. එවිට වෛරසය පාලනය කිරීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග සඳහා යොමු වීම අවශ්‍ය නොවේ.

    නමුත් සැබෑ අභියෝගය වන්නේ පවතින තත්ත්වයේ සිට එම අදියර දක්වා ගමන් කිරීමයි.

    අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නිපදවීම සහ ඒවා ජනතාව වෙත ලබා දීම ද අති විශාල අභියෝගයකි. ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇත. එතෙක් මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා යම් ක්‍රමයක් අපට තිබිය යුතුය.

    එම නිසා PCR පරීක්ෂණ, ලොක්ඩවුන්, සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැළඳීම යම් කාලයක් ගතවන තුරු අපගේ ජීවිතයේ අංගයක් ලෙස තව දුරටත් පවතිනු ඇත.

    වෛරසයේ මාදිලිය වෙනස් වුණොත්?

    වෛරස හැම විටම වෙනස් වීම්වලට භාජනය වෙයි. එම වෙනස ප්‍රශ්නයක් වන්නේ එමගින් වෛරසයේ හැසීරීම ද වෙනස් වුවහොත් පමණි.

    මේ දක්වා එවැන්නක් සිදු වෙමින් පවතින බවට සලකුණක් නොමැත. නමුත් ඉදිරියේ දී එය සිදු වීමට ඉඩකඩ තිබේ. එසේ සිදු වුවහොත් මෙම එන්නතෙහි ඵලදායී බව අඩු වනු ඇත.

    එවැනි තත්ත්වයක් ඇති වුවහොත් නව එන්නතක් නිර්මාණය කිරීමට සිදුවනු ඇත.

    මෙය අසාමාන්‍ය දෙයක් නොවේ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උන සඳහා වන එන්නත ද අදාළ වෛරසයේ මාදිලියට සරිලන පරිදි වාර්ෂිකව සංවර්ධනය කෙරෙයි.

    RNA තාක්ෂණය භාවිත කරමින් මෙය සිදු කිරීම ඉතා පහසු බැවින් වෛරසයේ වෙනස් වීම එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවනු ඇත.

    Getty Images

    Pfizer සමාගම විසින් පමණක් මෙය නිපදවිය යුත්තේ ඇයි?

    මෙම එන්නත සංවර්ධනය කරනු ලැබ ඇත්තේ Pfizer සමාගම විසිනි. එම නිසා එහි බුද්ධිමය දේපළ අයිතිය පවතින්නේ ඔවුන් සතුව ය.

    ලබන වසර අවසානය වන විට මෙම එන්නතෙහි මාත්‍රා බිලියන 1.3ක් නිෂ්පාදනය කිරීම සඳහා ඔවුනට දැනටමත් හැකියාව පවතී.

    නමුත් එම ධාරිතාව වැඩි කර ගැනීම සඳහා ඉදිරියේදී වෙනත් සමාගම් සමඟ සහකාරීත්වයක් ඇතිකර ගැනීමේ හැකියාවක් පවතී.

    එන්නත ගැන අප නොදන්නේ මොනවා ද?

    මෙම එන්නත ගැන නිකුත් කළ නිවේදනය මගින් අපට පුවත් ශීර්ෂ පාඨ ලබා දුන් නමුත් තවමත් සියුම් විස්තරවල අඩුවක් පවතී.

    මෙම එන්නත මගින් ඔබට වෛරසය ආසාදනය වීම සහ එහි පැතිරීම පවා නතර වේද, නැතහොත් එම වෛරසය නිසා ඔබ ගිලන් වීම පමණක් නතර කරන්නේද යන්න පිළිබඳව අප තවමත් නොදනී. මෙය විවිධ වයස් කාණ්ඩයන් සඳහා කෙතරම් ඵලදායී වේද යන්න පවා අප තවමත් නොදනී.

    මෙම එන්නත කොයි ආකාරයෙන් භාවිතයට ගනු ඇත්දැයි තේරුම් ගැනීම සඳහා එම කාරනා ඉතා වැදගත් වනු ඇත.

    සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් එන්නත්?

    කොරෝනාවෛරසයට එරෙහිව සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් එන්නත් සඳහා ද මෙය යහපත් ප්‍රවෘත්තියකි. කොවිඩ් 19ට එරෙහිව එන්නතක් තැනිය හැකි බව මෙයින් සනාථ විය.

    මෙම ක්‍රමය භාවිත කරමින් එන්නතක් සංවර්ධනය කරමින් සිටින අනෙක් විද්‍යාඥයන්ගේ ද බලාපොරොත්තු ඉහළ යනු ඇත.

    සායනික අත්හදා බැලීම් හි අවසන් අදියරේ පසුවන තවත් එන්නත් කීපයක් ම පවතී.

    මේ තරම් කෙටි කාලයක් ඇතුළත කිසිදු එන්නතක් ඵලදායී බවට සනාථ වී නොමැත. සම්පුර්ණ දත්ත සහිත වාර්තා ලැබෙන තුරු අප බලා සිටිමු.

    කෙසේ නමුත් දැනට ලැබී ඇති ප්‍රතිඵල බලාපොරොත්තු වුවාට වඩා යහපත් මට්ටමක පවතී.

    සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උන සඳහා නිපදවෙන හොඳ එන්නතකින් 50%ක් දෙනා ආරක්‍ෂා කරයි. එබැවින් පළමු උත්සාහයේදී ම 90%ක් දෙනා ආරක්ෂා කර ගත හැකි වීම විශිෂ්ඨ ජයග්‍රහණයකි.

    Copied by bbc sandeasaya

  • වැලිමඩ සානුවේ බිම් සැකසූ ගොවින්ට යන එන මං නෑ

    වැලිමඩ සානුවේ බිම් සැකසූ ගොවින්ට යන එන මං නෑ

    ඊසානදිග මෝසම් සමය ඇරඹී සති 3 කට වැඩි කලක් ගතවී ඇති නමුත්, රසායනික පොහොර නොමැතිකමින් වැලිමඩ සානුවේ වගා කටයුතු ඇරඹිමට නොහැකිව ගොවීන් අන්ත අසරණවී ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොර අවශ්‍යතාවෙන් තවමත් ගොවීන්ගේ අතට ලැබී ඇත්තේ 27% ක් පමණයි.  එළවළු පොහොර හිඟය නිසා අර්තාපල්, බෝංචි, ගෝවා ඇතුළු සියළු එළවළු ගොවීන් අන්ත අසරණ භාවයට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා පැවසූවේ ඌවපරණගම මැදවෙල ගොවි හමුවක් අමතමිනි.

    බදුල්ල දිස්ත්‍රිකයේ පමණක් නොවෙයි වලපනේ, හඟුරන්කෙත දක්වාම එළවලු වගාවට අවශ්‍ය පොහොර වෙළෙදපොලෙන් නෑ.  ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට පොහොර ලැබෙන්නේ නෑ.  කඳුකන්නයේ ගොවිතැනට සාමාන්‍ය යෙන් සහන මිලට පොහොර ලැබෙන්නේ අවශ්‍යතාවයෙන් 10% ට කටත් අඩු ප්‍රමාණයක් පමණයි.  ගොවීන් වගා බිම් සකස් කරලා පොහොර කඩවල් ගානේ පොහොර හොය හොයා යනවා යැයි තෙන්නකෝන් මහතා පැවසීය.

    සාමාන්‍ය යෙන් හපුතලේ සිට වැලිමඩ, ඌවපරණගම, හාළිඇළ දක්වා පැතිරුණු වැලිමඩ නිම්නයේ වෙනදා මේ වන විට එළවළු වගාව නිල් පාටින් දිළිසෙනවා.  අද බලන බලන අතේ පෙනෙන්නේ දුඹුරු පාට පස් විතරයි.  ගොවියෝ බිම සකස් කරගෙන ‘පොහොර එනකල් බලාගෙන ඉන්නවා‘.

    පොහොර හිඟය තියෙන්නේ එළවළු වගාවට විතරයක් නෙවෙයි.  තේ වගාවටත් මාස ගණනාවකින් පොහොර ලැබිලා නෑ.  ජූලි සිට ඔක්තෝබර් දක්වා සෑම මාසයකට පසුගිය වසරට සාපේක්ෂව තේ අස්වැන්න අඩු වෙලා තියෙනවා.  තේ වගාවට ඉතා හොඳ කාලගුණයක්, වැස්ස තිබුණත් දළු නිෂ්පාදනය අඩුවෙලා තියෙන්නේ පොහොර නැති නිසයි. වතු සමාගම් කොහොම හරි පොහොර හොයා ගන්නවා. කුඩා තේ වතු හිමියාට තමයි අන්ත අසරණ වෙලා ඉන්නේ.

    වැලිමඩ එළවලු නිම්නයේ ගොවියන්ට පොහොර නැති වුනොත් රටටම බඩ ගින්නේ තමයි ඉන්න වෙන්නේ. 

    ගෙවතු වගාවෙන් සැපයෙන්නේ රටේ එළවළු අවශ්‍යතාවයෙන් 2% යි.  විධිමත් එළවළු වගාවක් නැති නම් නත්තල් අලුත් අවුරුදු සමයට අහස උසට එළවළු මිල ඉහළ යයි.  එළවළු වගාවේ අස්වැන්න නෙළන්න මාස දෙකක් ඕනි. දැනටමත් වගා කන්නය පොහොර නැති නිසා සති 3 ක් පහුවෙලා තියෙනවා යැයි ද හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

  • සුදු සීනි 80වාය්ය්යි …! කොරෝනා මාරයා සහ කසිප්පු මුදලාලි ගොඩ යා…යි !

    සුදු සීනි 80වාය්ය්යි …! කොරෝනා මාරයා සහ කසිප්පු මුදලාලි ගොඩ යා…යි !

    මේ මිල වාසිය සම්පූර්ණයෙන් හොර කසිප්පු සහ සීනි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතව සිටින ව්‍යාපාරිකයින්ට ලැබෙන ඍජු සහනයක්. මේ සීනි අඩු කළා කියලා අද සිට හෝටලයේ ප්ලෙන්ටියේ මිල අඩුවෙන්නේ නැහැ. ඒකත් මුදලාලිට‘

    පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ඇති බලතල ප්‍රකාරව නියෝග අංක 71ත් ඊයේ (10) වැනිදා ක්‍රියාවට නැංවීය. ඒ සුදු සීනි අලෙවිය සම්බන්ධයෙන් නියෝග පනවමිනි.

    එහි සදහන් වූයේ පැකට් කළ සිදු සීනි කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 90.00ක්, පැකැට් නොකළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85.00ක් සහ ආනයනකරු විසින් සුදු සීනි කිලෝවක් විකිණිය යුතු උපරිම තොග මිල කිලෝවක් රුපියල් 80.00ක් වශයෙනි.

    සහල්- පරිප්පු – සැමන් සේම ‘අත්‍යවශ්‍ය භාණ්ඩයක්‘ ලෙස නාමකරණය කර ඇති සුදුසීනි මිල මේ ආකාරයෙන් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් රුපියල් 85.00 දක්වා ස්ථාවරව තබා ගැනීම පාරිභෝගිකයින්ගේ පැත්තෙන් ‘යහපත් / සහනයක් ලෙස ආණ්ඩුව සලකනවා විය හැකිය.

    ජනතාව ද ‘මේ කොරෝනා සමයේ ආණ්ඩුව දුන් තවත් සහනයක් ලෙස‘ සුදු සීනී මිල පහළ දැමීම‘ හෝ එය විකිණිය හැකි උපරිම මිලක් නියම කිරීම සැලකිය හැකිය.

    එහෙත් මේ ලියුම්කරුට මේ සමග ප්‍රශ්න කිහිපයක් ඇති වූ අතර සුපුරුදු ලෙස දුරකථන හා මුහුණු පොත හරහා කළ ‘ක්ෂණික මත විමසුමකදී‘ මේ සුදු සීනි මිල පහළ දැමීමේ සහනය ගැන මිශ්‍ර ප්‍රතිචාර පළ විය.

    මේ ආකාරයෙන් සුදු සීනි මිල ‘දැරිය හැකි හෝ ලාබ තත්ත්වයකට පත් කිරීම ඒ සියලු ප්‍රයත්නයන් අපතේ හැරීමක්. ඇත්තටම කළ යුත්තේ සුදු සීනි අත්‍යශ්‍ය ආහාර ලැයිස්තුවෙන් පවා ඉවත් කර එහි මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමා ඕනෑම ආකාරයක සුදු සීනි භාවිතය අධෛර්යමත් කිරීමයි‘

    Sugar & Children with Attention Issues | Discover Brillia

    සුදු සීනී කියන්නේ යක්ෂයෙක්

    එහිදී ලියුම්කරුගේ වෛද්‍ය මිත්‍රයෙක් සහ ආහාර ගැන වඩාත් වැඩියෙන් කල්පනා කරන උපාධිධාරී තලයේ මිතුරියන් කිහිප දෙනකුම විමසා සිටියේ ‘සුදු සීනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් විය හැකිද ? ‘ යනුවෙනුයි.

    සුදු සීනි කියන්නේ පැහැදිලිව ඕනෑම වයස් කාණ්ඩයක් විසින් බැහැර කළ යුතු දෙයක්. එය දියවැඩියාවට වගේම දත් දිරායාම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට හේතුවක්. අනික වෛද්‍යවරුන් විසින් පසුගිය කාලය පුරාම සුදු සීනි භාවිතය අධෛර්යමත් කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටිනවා. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් ඍජු සහාය ලැබෙනවා. මේ ආකාරයෙන් සුදු සීනි මිල ‘දැරිය හැකි හෝ ලාබ තත්ත්වයකට පත් කිරීම ඒ සියලු ප්‍රයත්නයන් අපතේ හැරීමක්. ඇත්තටම කළ යුත්තේ සුදු සීනි අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවෙන් පවා ඉවත් කර එහි මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමා ඕනෑම ආකාරයක සුදු සීනි භාවිතය අධෛර්යමත් කිරීමයි‘

    ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් වගේම දියවැඩියාව ආදි බෝ නොවන රෝග ගැන අඛණ්ඩව ජනතාව දැනුවත් කරමින් සිටින මගේ මිතුරා දීර්ඝ ෆෙස්බුක් සටහනක් තබමින් කිව්වා.

    ඔහුගේ පෝස්ට් එකට විනාධි කිහිපයක් තුළ ඉතා ඉහළ මට්ටමේ ධනාත්මක ප්‍රතිචාර ලැබුණා.

    ඇත්තටම සීනි කියන්නේ තව දුරටත් ගෘහ ඒකකයක අත්‍යවශ්‍ය භාණ්ඩ පැස තුළ ඇති දෙයක් නෙමෙයි. අපේ ගෙදරට ගේන සීනිවලින් 75%ක් පාරිභෝජනය කරන්නේ මගේ සැමියා. මම සියයට 20ක් විතර කන කොට මගේ නව යොවුන් දියණිය තේ හෝ කිරි පවා පානය නොකර අවම වශයෙන් 5%ක් විතර තමයි සීනී පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ගෘහ ඒකක මට්ටමින් සුදු සීනිවල ඍජු භාවිතය (තේ හෝ කිරි සමග) දැන් විශාල වශයෙන් අඩු වෙමින් තිබෙනවා‘

    සෞඛ්‍ය හා පෝෂණවේදය ගැන වඩාත් සංවේදී මාගේ ගුරු මිතුරියක් සදහන් කර තිබුණේ ඇය සතු සංඛ්‍යා ලේඛන ද උපුටා දක්වමින්.

    ‘ඔයාට දැන ගන්න එක්ක මං ආසන්න වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති සංඛ්‍යා ලේඛන උපුටා දක්වන්නම්. මං ගාව දැන් තියෙන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 දී නිකුත් කළ සංඛ්‍යා ලේඛන. සංඛ්‍යාන දත්ත අත්පොත -2018 (පිටුව 34 දක්වන ආකාරයට 4.6 Average Monthly Household Expenditure on Selected Foods Items) දක්වන ආකාරයට 2009/ 10 කාලයේ ගෘහ ඒකකය සාමාන්‍ය මාසික සීනී පාරිභෝජනය කිලෝ 4.9ක්. එහි මාසික විදයම රුපියල් 452ක්. 2012/13 දී සීනි පාරිභෝජනය කිලෝ 4.3 දක්වා (මිල 459.00) අඩු වෙලා තිබෙනවා. 2016 දී ගෘහ ඒකකයක සීනි පාරිභෝජනය කිලෝ 4.00 දක්වා (මිල රුපියල් 418.00) දක්වා තව දුරටත් අඩු වෙලා තිබෙනවා. ඒ අනුව 2020 වන විට මේ අගය තවත් අඩුවෙලා තිබිය යුතුයි. මේ අඩුවීම අපට සැලකිය හැකි වන්නේ මේ රටේ සෞඛ්‍ය අංශ සුදු සීනි පාරිභෝජනයට එරෙහිව ගෙන ගිය අරගලයේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙසයි‘ ඇය සංඛ්‍යා ලේඛණ උපුටා දක්වමින් සදහන් කරනවා.

    ‘ඔබට මෙහිදී පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි 2016 දක්වා සීනි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 100.00කට වඩා වැඩි (2016 දී එය 418/4 = 104.50ක්) ඉහළ මට්ටමක පැවතීම. මෙය ද සීනි පාරිභෝජනය ඍජුව අධෛර්යමත් වීමට හේතු වුණා විය හැකියි. එසේ නම් දැන් (2020) දැවැන්ත වසංගත රෝග අවධානමක් තිබියදී, දියවැඩියාව වැනි ප්‍රතිශක්තිකරණය දුර්වල කරන රෝග කොවිඩ් වසංගතයට දැඩි සහායක් පළ කරද්දී ආණ්ඩුව සුදු සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 85.00 දක්වා අඩු කිරීම අපි තේරුම් ගත යුත්තේ කෙසේද ?‘ ඇය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළා.

    මෙහිදී ඇයට සහාය පළ කරමින් බොහෝ දෙනෙක් කියා සිටියේ ‘ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛණ අනුව නිවසක සාමාන්‍ය සීනි පාරිභෝජනය කිලෝ 04ක් පමණ නම්, ඒ සදහා වැඩ වෙන්නේ රුපියල් 400ක් වාගේ ‘නොසැලකිය යුතු‘ මුදලක් නම් මේ ආකාරයෙන් සුදු සීනි මිල අඩු කිරීම පිටුපස වෙනසත් ‘සැගවුණු න්‍යාය පත්‍ර“ තිබිය හැකි බවයි.

    ‘මේක පැහැදිලිවම මේ රටේ දුප්පත් / අඩු ආදායම්ලාභීන්ට සහනයක් ලෙස කළා නම් අපි ඒක සලකන්නේ දුප්පතුන්ට කළ හූනියමක් විදිහටයි. මොකද ලංකාවේ දියවැඩියාවට ගොදුරු වෙලා ඉන්න අති බහුතරය අඩු ආදායම්ලාභීන්. ඒ නිසා සුදු සීනි මිල රුපියල් 85.00 දක්වා පහත දැමීම ඔවුන්ට කරන අපරාධයක්‘

    මුහුණුපොත හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කළ පුද්ගලික අංශයේ මිතුරෙක් කියා සිටියේ මේ ආකාරයෙන් සීනි මිල පහළ දැමීම අඩු ආදායම්ලාභීන්ට කෙසේ වෙතත් ‘හොර කපිප්පු මුදලාලිලාට‘ සහ රසකැවිලි බේකරි නිෂ්පාදනවල නිරත වන ව්‍යාපාරිකයින්ට නම් ‘සහනයක් බවයි.

    Suffering from diabetes? Five apps to help you manage your lifestyle better  - The Economic Times
    මේක පැහැදිලිවම මේ රටේ දුප්පත් / අඩු ආදායම්ලාභීන්ට සහනයක් ලෙස කළා නම් අපි ඒක සලකන්නේ දුප්පතුන්ට කළ හූනියමක් විදිහටයි. මොකද ලංකාවේ දියවැඩියාවට ගොදුරු වෙලා ඉන්න අති බහුතරය අඩු ආදායම්ලාභීන්. ඒ නිසා සුදු සීනි මිල රුපියල් 85.00 දක්වා පහත දැමීම ඔවුන්ට කරන අපරාධයක්‘

    ලංකාවේ සීනී ආනයනය සහ පාරිභෝජනය ගැන නිල දත්ත

    මේ සංවාදය මේ ආකාරයෙන් ඉදිරියට යද්දී මගේ ගුරු මිතුරිය යළිත් සංඛ්‍යා දත්ත පොත පෙරළා ගෙන තිබුණා.

    ‘කතාව ඇත්ත. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ගෘහ ඒකකයක (2016) මාසික සීනි පාරිභෝජනය කිලෝ 4ක් නම් මෙතැන අවුලක් තිබෙනවා තමයි. ලංකාවේ පවුල් ලක්ෂ 50ක් පමණ සිටිනවා යැයි උප කල්පනය කළොත් (2017 මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.44 සාමාන්‍ය පවුලක සිවු දෙනෙක් සිටින ලෙස බෙදීමෙන්) වාර්ෂික සීනි පාරිභෝජනය (50,000,00 x4 x12=240,000,000/1000 = 240,000ක්) මෙට්‍රික් ටොන් 240,000ක් පමණ විය යුතුයි. (මෙට්‍රික් ටොන් එකක් යනු කිලෝ 1000කි) මේක සංඛ්‍යා ලේඛන හරිනම් ලංකාවේ සාමාන්‍ය යෙන් ගෘහ ඒකකවල සීනි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000ක් !

    ඒත් ඔබ විශ්වාස කරනවාද ලංකාව 2017දී සීනි මෙට්‍රිික් ටොන් 483,234ක් ආනයනය කර තිබෙන බව. මේ අගයට ලංකාවේ සීනි නිෂ්පාදනයත් එක්කළ විට ලංකාව තුළ 2017 දී අවම වශයෙන් සීනි මෙට්‍රිික් ටොන් 500,00කට වඩා වැඩි ප්‍රමාණයක් විවිධාකාරයෙන් පාරිභෝජනයට ගෙන තිබෙනවා. (2016 දී සිනී මෙට්‍රික් ටොන් 638,631ක් ආනයනය කර තිබෙනවා)

    අපේ ප්‍රශ්නය තමයි පවුලක සාමාන්‍ය මාසික සීනි පාරිභෝජනය කිලෝ 4ක් වන විට, සාමාන්‍ය කරණය කළ විට වාර්ෂිකව ගෘහ ඒකකවල සීනි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000ක් පමණ වන විට රට තුළට ගෙන ආ සහ මෙරට නිෂ්පාදනය කළ ඉතිරි සීනි මෙට්‍රික් ටොන් 260.000ට සිදු වුණේ කුමක්ද ?

    එය ඉතාම පැහැදලිවි රස කැවිලි වැනි කර්මාන්ත අතරේ (අන්තර් භාණ්ඩයක් ලෙස) සහ හොර කසිප්පු ජාවාරම්කාරයින් අතරේ සංසරණය විය යුතුයි.

    අපේ ප්‍රශ්නය තමයි පවුලක සාමාන්‍ය මාසික සීනි පාරිභෝජනය කිලෝ 4ක් වන විට, සාමාන්‍ය කරණය කළ විට වාර්ෂිකව ගෘහ ඒකකවල සීනි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000ක් පමණ වන විට රට තුළට ගෙන ආ සහ මෙරට නිෂ්පාදනය කළ ඉතිරි සීනි මෙට්‍රික් ටොන් 260.000ට සිදු වුණේ කුමක්ද ?

    මිල පාලනයේ වාසිය කාටද ?

    ‘මේ ගැන තවත් වද විය යුතු නැහැ. මාසකට රුපියල් 400ක් පමණ වැයකර සීනි කිලෝ 4ක් ගෙදරට ගේන, ඒකත් වාර්ෂිකව සැලකිය යුතු ලෙස අඩුවන ලංකාවේ සාමාන්‍ය ජනතාවට සීනි අඩුකළා කියලා අලුතින් ලැබෙන වාසියක් හෝ සහනයක් නැහැ. මේ මිල වාසිය සම්පූර්ණයෙන් හොර කසිප්පු සහ සීනි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතව සිටින ව්‍යාපාරිකයින්ට ලැබෙන ඍජු සහනයක්. මේ සීනි අඩු කළා කියලා අද සිට හෝටලයේ ප්ලෙන්ටියේ මිල අඩුවෙන්නේ නැහැ. ඒකත් මුදලාලිට‘ මගේ වෛද්‍ය මිතුරා සංවාදයට යළි එක් වෙමින් පවසා සිටියා.

    ‘සීනී භාවිතය සෑම අතින්ම අධෛර්යමත් කළ යුතු රටකයි අපි ඉන්නේ. කොවිඩ් වාගේ වසංගත සමාජය පුරා, විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් අතර (වැඩියෙන්ම කොවිඩ්වලට ගොදුරු වුණේ අඩු ආදායම්ලාභීන්) වේගයෙන් ව්‍යාප්ත වීමට ඔවුන්ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය, අඩු පෝෂණය වගේම නිදන්ගත රෝග (දියවැඩියාව) බලපානවා. සෞඛ්‍ය අංශවල වාර්තා අනුව ලංකාවේ මැදිවියේ පුද්ගලයින් අතරත් දියවැඩියාව සහ හෘද රෝග බහුලයි. ඒකට සීනී සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීම ඍජුව බලපානවා. ඒ වගේම සීනි වලින් නිෂ්පාදනය කරන කසිප්පු නිසාත් වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන්. ඉතිං ආණ්ඩුව සීනි අඩු කළාම මේ අඩු ආදායම්ලාභීන් පැති කිහිපයකින් බැට කනවා‘ මගේ වෛද්‍ය මිතුරා ලියනවා.

    මේ අතර තවත් අදහසක් දක්වමින් සංවාදයට එක් වූ ව්‍යාපාරික මිතුරෙක් ලියා තිබුණේ,

    ‘අනේ මහත්තයෝ මේ පාලනේ මාළුවලට, කුකුල් මස්වලට, දාන්නකෝ. දුප්පත් මිනිහෙක්ට ලාබට, රසකට කන්න තිබෙන ඒවායේ මිල අහස උසට තියෙද්දී ඔයාලා මැදිහත් වෙන්නේම හාල් – සීනි වාගේ අපිව ලෙඩ කරන ඒවාටමනේ‘ කියලයි.

    මේ අතර ආණ්ඩුවේ මිල පාලනය උපහාසයට ලක් කරමින් තවත් අපූරු සටහන් ලියමින් මගේ සරසවි මිතුරෙක් කතාවට සම්බන්ධ වුණා.

    ‘මේක නිකං කතාවක් විතරයි. හොද කොන්ඩම් පැකැට් එකක ගාණ රුපියල් 100-150යි. ඒකේ තියෙන්නේ කෑලි තුනයි. ඉතිං හරියට පවුල් කන පවුලකට මාසෙකට කොණ්ඩම්වලටත් රුපියල් 1000ක් -1500ක් යනවා. සීනීවලට යන්නේ 400යි. පුළුවන් නම් කොණ්ඩම්වලටත් උපරිම මිල පාලනයක් දාලා සමාජ රෝගවලිනුයි, අනවශ්‍ය ගැබ් ගැනීම්ලිනුයි ජනතාව මුදවා ගන්නකෝ !‘

    සටහන – අසේල වීරසේකර

  • 69 ලක්ෂයක ජනවරමට පිටුපා අලි සබ්රි ලාට  වෙනම නීතියක් ද ?

    69 ලක්ෂයක ජනවරමට පිටුපා අලි සබ්රි ලාට වෙනම නීතියක් ද ?

    අල් ටකියා න්‍යාය  පැරදවීමට හා මේ රට එක්සේසත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට  එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් ජන වරමට පිටු පෑමෙන්  සිදුවුණු ඇත්තේ එයයි.

    කුරිරු ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් වසර තිහකට අධික කාලයක්  බැට කෑ මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ රජය විසින් එයින් මුදවා ගැනීමෙන් අනතුරු ව  එක රටක් එක නීතියක් යටතේ ඉදිරියට යාම නවතා ලූයේ දෙදහස් පහළොවේ දී සමාජ ගත කරන ලද බොරුව හේතුවෙන් වන අතර මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී කටයුතු සඳහා එයින්  මඟ ඉඩ සලසා දුන් බව මේ රටේ බොහෝ ජනතාව ට අමතකව නැත

    අනතුරුව මේ රටේ ජනතාව එයින්  මුදවා ගැනීම සඳහා මේ රටේ දේශප්‍රේමීන්  වත්මන් ජනාධිපතිවරයා හැට නව ලක්ෂයකට අධික ඡන්ද පදනමකින් මේ රටේ ජනාධිපතිවරයා වරයා බවට පත්කළ අතර ඒ සමගම ඔහුට බලය රැක ගැනීම සඳහා ඇවැසි පාර්ලිමේන්තු බලය ද මුස්ලිම් අන්තවාදයෙන් තොරව කරගෙන යාම සඳහා ලබා දී ඇත.

    එවන් පසුබිමක අලි සබ්රි මහතාගේ අධිකරණ අමාත්‍ය  ධුරය මේ රටේ බොහෝ දේශප්‍රේමීන්ගේ විරෝධතාවය මැද පත් කරන ලද මුත් ගරු ජනාධිපති වරයා කෙරෙහි ඇති විශ්වාසය මත  දේශප්‍රේමීහු   මුනිවත රකින ලදී.

    එහෙත් අලි සබ්රි අධිකරණ ඇමතිවරයා අල් ටකියා න්‍යාය ක්‍රියාත්මක කරමින් තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය අපහසුතාවයට පත් කරමින් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනු වෙනුවට තමන්ගේ ජාතිය වෙනුවෙන් වෙන ම නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව තවුහිද් ජමාත් සංවිධානය විසින් මෑතකදී නිකුත් කර ඇති වාර්තාව අනුව කරුණු පැහැදිලි වේ

    බොහෝ වයිරස කාණ්ඩ වසර දහස් ගණනක් පරිසරය තුළ පැවතිය හැකි බව විද්‍යාත්මකව කරුණු සොයාගෙන තිබියදීත් හා රජරට නිදන් ගත  වකුගඩු රෝගය එම ප්‍රදේශයේ පසට එකතු වන ලද රසායනික පොහොර හා කෘමි නාශක හේතුවෙන් සිදු වී ඇති බවට සොයාගෙන ඇති පසුබිමක හා බොහෝ වැව් අමුණු සහිත අධික වර්ෂාව පවතින කාල වකවානුවක දී මුළු ප්‍රදේශයම යට වන   තැනිතලා ප්‍රදේශයක පිහිටි  වියළි කලාපයේ  කොරෝනා මල සිරුරු භූමදානය කිරීමට සැරසෙන බව පුවත්පත් මගින්  වාර්තා වී ඇත

    එසේ ම ජයවර්ධනපුර   විශ්ව විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්යවරියක විසින්  මෑතකදී ඉදිරිපත් කර ඇති කරුණු අනුව කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගෝලීය සාධක අනුව ඉදිරියේ දී පිළිකා සුනාමියක් ඇතිවිය හැකි බවද ප්‍රකාශ කර ඇත.

    තම ජන වර්ගයේ අභිවෘද්ධිය උදෙසා මුළු මහත් රටක් සහ තමන්ගේ ජනතාව ද බිල්ලට තබා ගනිමින්  ආගමික වුවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම කොතරම් යුක්ති සහගත ද ඔහු අධිකරණ ඇමතිවරයා සිටිමින් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද ?
    එසේම ගරු ජනාධිපති වරයා රුවන්වැලිසෑය අබියස සිට දිවුරුම් දෙමින් කළ ප්‍රකාශයට අවමානයක් නො වේ ද ඒ අනුව එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කළ හැකි ද ?

    වෙනම ආහාර පාන, වෙනම බැංකු, වෙනම පාසල්, වෙනම ඇඳුම්, වෙනම රාජ්‍ය වැන්දඹු නිවාඩුවලට  අමතරව දැන්  මුළු ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම බලපාන මළ සිරුරකට පවා වෙනම නීතියක් අවශ්‍ය ව ඇත්තේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි.

    පසුගිය කාලයේ මෙරට මුස්ලිම් ඇමති වරු රජයේ සිටිමින් වෙන ම තමන්ගෙ වර්ගයා උදෙසා බොහෝ දේ සිදු කළත් මෙරට ජනතාව ඉවසීමෙන් කටයුතු කළ අතර එම සියලු කාරණා ප්‍රයෝජනයට ගනිමින් මේ සිදු කරමින් යන්නේ ආක්‍රමණයක් බව බහුතර සිංහල ජනතාවගේ මතයයි.

    ඉතා සූක්ෂ්ම අයුරින් රාජ යන්ත්‍රනයට රිංගමින් තම ආගමික උවමනාවන් වෙනුවෙන් මේ හැසිරෙන ආක්‍රමණශීලී හැසිරීම මේ රටේ ජනතාව පිළි නොගන්නා අතර එය ආක්‍රමණයක් මිස වෙන දෙයක් නො වේ. 

    මෛත්‍රිපාල සිරිසේන, රාජිත, රනිල්,  පාඨලී චම්පික රණවක වැනි දේශප්‍රේමී සළු පිළි පොරවා ගත් අය ප්‍රතික්ෂේප කරමින් මේ රටේ බහුතර ජනතාවක් වත්මන් රජය බලයට පත් කරන ලද්දේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ට එක රටක් එක නීතියක් යටතේ සාමකාමීව ජීවත් වීම සඳහා ය.

    එහෙත් මේ කරන ක්‍රියාව මගින් කතෝලික ප්‍රජාව තමන්ගේ කොරෝනා මළ සිරුරු වෙනම භූමදානය කිරීමටත් සිංහල බෞද්ධ ආගමික නායකයෙක් අපවත්  වුවහොත්   උත්සවාකාරයෙන් සිදු කිරීමට ඇවැසි බලතල ඉල්ලා සිටියහොත් සිදුවන්නේ කුමක් ද ?

    වත්මන් රජය ඔවුන්ට ලබා  දුන් ජන වරමට පිටු පෑ නොහැකි  අතර එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් සාක්ෂාත් කර ලීම සඳහා මේ රටේ දේශප්‍රේමින් ඒ වෙනුවෙන් කැප වනු ඇත
    එහෙත් මෙරට දේශප්‍රේමී සංවිධාන හා කටයුතු කරන අපට ඇති එකම බිය වන්නේ මේ අයුරින් සිදු වුවහොත් මේ රටේ දේශප්‍රේමී ජනතාව ගේ ජන මනස වෙනස් වී නැවතත් දෙදහස් පහළොවේ පාවා දෙන්නන්  හට බලය ලැබී නැවතත් මේ රට ආක්‍රමණිකයන්ගේ ගොදුරක් බවට පත් වේ ද යන්නයි.

    අල් ටකියා න්‍යාය  පැරදවීමට හා මේ රට එක්සේසත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට  එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් ජන වරමට පිටු පෑමෙන්  සිදුවුණු ඇත්තේ එයයි.

    පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වුණු මුස්ලිම් අන්තවාදයේ තරම පාස්කු කොමිසමේ දී හා මේ රටේ බලය සූක්ෂ්ම ලෙස තමන් නතු කර ගැනීමේ මුස්ලිම් අල් ටකියා න්‍යාය හොඳින්ම දන්නා අප ඔවුන්ගෙන් මේ රටේ මහ ජාතිය ට සිදුව ඇති බලවත් අසාධාරණය සාධාරණය කරනු වෙනුවට නැවතත් අල් ටකියාව ට  වත්මන් රජය යට වී ඇත්නම් එය බරපතළ කරුණක් බව කිව යුතු ව ඇත.

    කරුණු එසේ හෙයින් අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජීවත්වන සියලු සියළු  ජාතීන්ට වෙන වෙනම නීතින් යටතේ  කටයුතු කිරීම නවතා මේ රට සියලුම ජාතීන්ට එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් යටතේ රඳවාගෙන මේ රට ඉදිරියට රැගෙන යන ලෙසයි.

    මුස්ලිම්  බහුතර මැති ඇමතිවරුන් පිරිසකගෙන් රජය පෙරළීමට අවසරයක් නොමැති මෙවැනි අවස්ථාවක පවා දේශප්‍රේමීන් ගේ හඬට කන් නොදී එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් පසෙක ලා රජයේ කටයුතු කරන්නේ නම් දේශප්‍රේමී ජනතාවගේ පැත්තේ සිට ගැනීමට සිදු වන බවට ද කාරුණිකව පෙන්වා දෙමු.

    කරුණු එසේ හෙයින් හැට නම  ලක්ෂයක ගේ ජන වරමට පිටු නොපාමින් එක රටක් එක නීතියක් එක  අධ්‍යාපන  ක්‍රමයක්    මේ රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස වත්මන් රජයෙන් අප උදක්ම ඉල්ලා සිටිමු.

    වසන්ත අල්විස් – කැඳවුම්කරු මහජන යුතුකම් කේන්ද්‍රය

  • ගොවියගේ – පරිභෝගිකයාගේ ‘පොදු හතුරා’ සොයා කළ ගවේෂණයක් !

    ගොවියගේ – පරිභෝගිකයාගේ ‘පොදු හතුරා’ සොයා කළ ගවේෂණයක් !

    අපි නැතිනම් සහෝදරයාට සිද්ධ වෙන්නේ මාතලේට ගිහින් රුපියල් 40ට එළවළු ගන්න. කොහොමද එහෙම වුණොත් ආතල් එක‘ ඔහු මහ හඩින් සිනාසී සරදම් ස්වරයෙන් අසයි.

    නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ පොදු හතුරා ‘ව්‍යාපාරිකයා‘ ද ?‘ මේ කතාව ඇහුවේත් ව්‍යාපාරිකයෙක්. කරන්නේ එළවළු ව්‍යාපාරය. කොළඹ මැනිං මාර්කට් එකෙන් තමයි ඔහු එළවළු මිලදී ගන්නේ. ඒවා අවට ප්‍රදේශයේ පොළවල්වල තමයි අලෙවි කරන්නේ.

    මේකේ වැදගත් කතාව තමයි ඔහු සැලකිය යුතු ධනවතෙක්. එළවළු ප්‍රවාහන කරන ලොරිය වගේම තවත් වාහන කිහිපයකුත් සැලකිය යුතු සිල්ලර බඩු කඩයකුත් ඔහු සතුයි.

    ඔහු මේ සියල්ල උපයා ගත්තේ අවුරුදු 20ක් විතර අපමණ වෙහෙසී කළ එළවළු වෙළෙදාමෙන්. ඔහු හැමදාම උදේ පන්දර 03ට පමණ අවධි වෙනවා. මහ වැස්සේ වුණත් කොළඹ මැනිං මාර්කට් එකට යනවා. නිදා ගන්න කොටත් රෑ 11-12 වෙනවා.

    ‘මේක නීරස ජීවිතයක්. පුද්ගලික ජීවිතයක් කියලා එකක් නැහැ‘ ඔහු මැසිවිලි ස්වරයෙන් කියනවා.

    ‘ඒත් ඉතිං සල්ලි වහිනවානේ‘ මම කියනවා.

    ඔහු මා දෙස බලන්නේ කෝපය මුසු බැල්මකින්.

    ‘හැමෝම හිතන්නෙ එහෙම. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. මම උදේ තුනට ඇහැරෙන්නේ. මගේ වයිෆ් ඒ වෙලාවට ඇහැරෙනවා. ඊට පස්සේ මහ පාන්දර ලොරිය අරං ගෝලයොත් එක්ක කොළඹ යනවා. මැනිං මාර්කට් එකේ කට්ට කනවා. ඊට පස්සේ කෙලින්ම පොළට. ගිහිගහන අවුවේ, නාකපන වැස්සේ දූවිලි කකා බඩු විකුණනවා. ඒක මාර යුද්ධයක් වාගේ. කන්න බොන්න තියා ඔළුව උස්සන්නවත් වේලාවක් නැහැ. මම, මගේ ගෝලයෝ සේරම යක්කු වාගේ වැඩ‘

    ඔහු තමන් විදින දුක සහ කන කට්ට ගැන කියනවා.

    ‘ඒත් ඉතිං ගාන කපනවානේ‘ මම යළිත් උපහසයෙන් කියනවා.

    ඔහු මෙවර මා දිහා බලන්න කන්න වාගේ.

    ‘උඹලා හිතන්නේ එහෙම තමා. උඹලා විතරක් නෙමෙයි නිලධාරීන් කියන නිකම්මු හිතන්නෙත් එහෙමයි. ඊටත් එහා දේශපාලකයෝ උන් හිතාගෙන ඉන්නේ අපි තමයි ගොවියගේ ඊරිමාංසේ උරාගෙන බොන්නේ කියලා‘

    ඔහු ඒ සමග මුහුණු පොත හරහා හුවමාරු වන පෝස්ට් එකක් පෙන්වනවා.

    දඹුල්ල එළවළු තොග ගොඩ ගැසීම – ආණ්ඩුවේ ව්‍යාපාරික ගජ මිතුරන්ගේ ‘ව්‍යාපාරික උගුලක්‘  රු. 40ට දඹුල්ල, කැප්පෙටිපොල, බණ්ඩාරවෙල, නුවරඑළිය එළවළු කොළඹ රු. 260 ට විකුණනවා – මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න

    නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල වගාබිම්වල කුණුවෙන එළවළු ‘බිස්නස් මාෆියාවෙන්‘ මුදවා බස්නාහිර දිළිදු මිනිසුන්ගේ අතට ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුයි    – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

    ‘මේ අද (10) උදේ මට මගේ යාළුවෙක් එවපු පෝස්ට් දෙකක්. මුන් දෙන්නම සජිත්ට කඩේ යන වුන්. මාතලේ ගෑනි හිතන්නේ ඡන්ද ගැන, අනිකා ගැන මම ඒ තරම් දන්නේ නැහැ. ඒත් මුං මේ කියන බයිලා ගැන නම් මම දන්නවා‘

    ඔහු කෝපය මුසු සරදම් හඩකින් කියනවා.

    ‘ඉතිං ඒ කතා බොරු නෙයෙිනේ. දඹුල්ලෙන් රුපියල් 40ට ගන්න එළවළු කිලෝ එකක් කොළඹදී රුපියල් 260ට විකුණන එක මාෆියාවක් නේද ?‘

    සටන අතහැරීමට අකමැති මම ද යළි ප්‍රශ්න කරනවා

    ‘සහෝදරයා ඕකට තමයි ‘දේශපාලන මාෆියාව‘ කියලා කියන්න වෙන්නේ. එකක් තමයි ඔය කියන ගණන්වලට විකුණනන් පුළුවන් වෙන්නේ එළවළු වර්ග කිහිපයක් විතරයි. කැරට්, බෝංචි, ලීක්ස් වාගේ කිහිපයක් විතරයි. ඒත් ඇත්තම කතාව නම් ඔය දේශපාලනඥයින්ට කඩේ යන වුන් කියන්නේ බොරු බලයිලා. එළවළු වාගේ දේවල්වල මිල හැමදාම ස්ථාවර එකක ගාණක නැහැ. සමහරදාට හිතන්න බැරි තරම් මිල අඩු වෙනවා. අස්වැන්න වැඩි දවස්වලට, මැනිං මාර්කට් එකට වැඩියෙන් බඩු ආපු දාට ගාණ අඩු වෙනවා. එදාට අපිත් දෙන්නේ අඩුවෙන්‘

    ඔහු කතාව නතර කර මා දෙස බලනවා.

    ‘ඒකත් අමතක කරමුකෝ. ඔය 40ට ගන්න එක 260ට වෙන්නේ කොහොමද කියලා ඔයා හිතලා තියෙනවාද ? දන්නවාද ? නැහැනේ. එකක් තමයි අපි කරන්නේ බිස්නස් එකක්. හන්දියේ ප්‍රයිවට් ප්‍රැක්ටික්ස් කරන දොස්තර, කොත්තු කඩේ මුදලාලි, කොන්ඩේ කපන එකා, ත්‍රීවිල්කාරයා, ටියුෂන් සර් ඒ හැම දෙනාම කරන්නේ බිස්නස්. ඒත් කවුරුත් දොස්තරගේ චැනල් ගාස්තුව, ටියුෂන් ගුරුවරයාගේ ගාස්තුව, කොත්තුවේ ගාණ ගැන බයිලා ගහනවාද ? ඒක හැදෙන තාලේ අහනවාද ? නැහැනේ‘

    ඔහු දැඩි ස්වරයෙන් විමසනවා.

    ‘ආප්පේ රුපියල් 10යි -12යි. බිත්තරේ රුපියල් 15යි. එකතුව 27යි. ඒත් බිත්තර ආප්පේ කීය ද ? 40යි. කොත්තුව, ප්‍රයිඩ් රයිස් එක ඒ හැම එකක් එකයි. ඒත් අපිට කෙළින්න හදනවා ගණන් පෙන්න පෙන්න‘ ඔහුගේ හඩ ආවේගශීලී වෙයි.

    ‘මම ඔයාට ගණන් හදලා පෙන්නනම්. එක අපේ කාලය හා ශ්‍රමය. මම උදේ 3 ඉදන් රෑ 11 විතර වෙනකම් එකදිගට වැඩ කරනවා. මගේ වයිෆ් ඒකට සහාය දෙනවා. එතකොට අපි දෙන්නටම වැටුප් ගන්න අයිතිය තියෙනවා. මගේ ගෝලයෝ… උන්ටත් පඩි ගෙවන්න ඕනෑ. ඊට පස්සේ මම කොළඹ මැනිං මාර්කට් එකට යන්න ඕනෑ. මගේ ලොරියට ඩීසල් ගහන්න ඕනෑ. ඩ්‍රයිවර්ට පඩි ගෙවන්න ඕනෑ, වාහනේ ආණ්ඩුවේ එකක් නෙමේනේ. ඒකට ලීසිං, රක්ෂණ, වෙන්න ඕනෑ. ටයර්, බැටරි, දාන්න ඕනෑ. අලුත්වැඩියා කරන්න ඕනෑ“

    ඔහු තමන්ගේ එළවළු ව්‍යාපාරයේ වියදම් ලැයිස්තුව කියාගෙන යයි.

    ‘තවත් ඉවර නැහැ. අපිට ගෙදරින් බත් කටක්, තේ උගුරක් බොන්න වාසනාව නැහැ. මැනිං මාර්කට් එකට යන ගමන් මමයි, ගෝලයෝ දෙන්නයි ඩ්‍රයිවරුයි තේ බීලා මොනවා හරි කන්න ඕනෑ. ඊට පස්සේ මැනිං මාර්කට් එකේදී නාටාමිලාට ගෙවන්න ඕනෑ “ ඔහු දිගටම කියයි.

    ‘ඊට පස්සේ පොළට ආවා කියමුකෝ. ඔන්න උදේ කෑම, තේ, අපි හතර දෙනෙක්ට. ඊට පස්සේ පොළේ බිම් කුලිය ගෙවන්න ඕනෑ. කඩේ නම් ඒකත් එහෙමයි. ලයිට්, වතුඑ බිල ගෙවන්න ඕනෑ. බිල්ඩින් එක ගහන්න ගත්ත ලෝන් එකට ණයයි පොලියයි ගෙවන්න ඕනෑ. සභාවට ගෙවන්න ඕනෑ. ආදායම් බදු ගෙවන්න ඕනෑ‘

    ඔහු එළවළු කිලෝ එක 40-260 වුණ ආකාරයට හේතු පහදා දෙයි.

    ‘සහෝදරයා මේ සේරම කළා කියමුකෝ. හැමදාම නත්තල් නැහැ. වැස්සොත් බිස්නස් අන්තිම සවුත්තු වෙන දවස් තියෙනවා. ඒක එකක් අනික අපි අතින් කාලා හරක් බලන්න වුවමනා නැහැනේ. අපි මේ සේරම කරන්නේ ලාභයක් ඕනෑ හින්දයි. හැම බිස්නස්කාරයෙක්ම තමන්ගේ කියලා ලාභාංශ ප්‍රතිශතයක් තියා ගන්නවා‘

    ඔහු දැන් දැන් ආර්ථික විද්‍යාව සහ වාණිජ්‍ය වෙත පැමිණෙයි.

    ‘මේ සේරම විදයම් ගියාම අපි අඩුම ගානේ 20%ක් වත් ලාභයක් තියා ගන්න එක වැරදිද ? කවුද එහෙම ලාභයක් නැතිව බිස්නස් කරන්නේ ? ගොවියත් ලාභයක් තියාගෙන තමයි අපිට විකුණනන්නේ. හැම බිස්නස් එකකම ලාභයක් තියෙනවා. ඉතිං ඔය විදයම් සේරම දාලා අපි අපේ ලාබෙත් තියා ගන්න ඕනෑ‘ ඔහු දිග සුසුමක් හෙළමින් කියයි.

    ‘ඒත් ඉතිං‘ මම මදක් තැති ගත් ස්වරයෙන් අසමි.

    ‘ඇයි ඒත් කියන්නේ. ඔයාට පේනවා අතන මගේ ගෝලයෝ කරන දේ. ගෙනාපු එළවළු සුද්ද කරනවා. තැලුණු පොඩිවුණු කුණුවුණ ඒවා අයින් කරනවා. ඒ ගාණත් අපිම තමයි දරා ගන්න ඕනෑ. එළවළු පැය ගාණක් යද්දී වේලෙනවා. බර අඩු වෙනවා. කුණු වෙනවා. ඒ සේරමත් අපිම තමයි දරා ගන්න ඕනෑ‘ ඔහු පෙන්වා දෙයි.

    ඔහුගේ කතාව තවත් අසා සිටීමට ධෛර්යයක් මටත් නැත. දවසට පැය 18ක් අසීමිතව වෙහෙසෙන මිනිසා දෙස මම බලාසිටිමි. ඔහු දියුණු වුණ බව, මුදල් හම්බ කරන බව සැබෑය. එහෙත් ඔහුට වඩා ‘බිස්නස් කරන‘ තවත් බොහෝ දෙනෙක් අසීමිත ලාභයක් උපයති. එහෙත් කිසිවෙක් ඒ මිනිසුන් ගැන කතා කරන්නේ නැත.

    ‘සහෝදරයා එළවළු බිස්නස් එක හැමෝටම කරන්න බැහැ. පි පුංචි කාලේ මුදලාලිලා ගාව ගෝවා සුද්ද කරලා තමයි අත්දැකීම් අරගෙන මේ බිස්නස් එකට ආවේ. මේක මහත්තරුන්ගේ බිස්නස් එකක් නෙමෙයි. අටපාස් වුන්ගේ බිස්නස් එකක්. ඉස්කෝලේ යන්නේ නැතිව කට්ටි පැන්න, ඇටෙන් පොත්තෙන් එන්න ඉස්සර ගෙදරට කන්න දෙන්න වුණ ආතක් පාතක් නැති වුණ කොල්ලන්ගේ බිස්නස් එකක්. ගොවියා පැයක් දෙයක් කොටුවේ වැඩ කරලා නිදා ගන්න කොට, ආණ්ඩුවේ පෝරයි හැමදේම නිකං ගන්න කොට අපි උදේ තුනේ ඉදන් එක දිගට දවස් හතම වැඩ කරනවා. අපි නැතිනම් සහෝදරයාට සිද්ධ වෙන්නේ මාතලේට ගිහින් රුපියල් 40ට එළවළු ගන්න. කොහොමද එහෙම වුණොත් ආතල් එක‘ ඔහු මහ හඩින් සිනාසී සරදම් ස්වරයෙන් අසයි.

    තවත් කතා කිරීමට දෙයක් නැත. පැයක් වැඩකර අතිකාල ලබා ගන්නා නිලධාරීන්ට, ලියුම ගෙනියන්න පමණක් නොව වතුර වීදුරුව පවා අතට ගෙනත් දෙන්න සේවකයින් සිටින නිලධාරීන්ට හෝ අවස්ථාවාදී දේශපාලනඥයින්ට ‘අතරමැදියා‘ හෙවත් ‘ව්‍යාපාරිකයා‘ විදින වෙහෙස හෝ ගන්නා අවධානම ගැන දුකක් හෝ තැවුලක් නැත.

    එහෙත් ප්‍රශ්නය වන්නේ මේ රට දුවන්නේ, රුකියා ලබා දෙන්නේ, ආණ්ඩුවට විවිධාකාර බදු ගෙවන්නේ මේ අතරමැදියන් විසින් බව මේ කිසිවෙකු පිළිනොගැනීමය.

    ‘සහෝදරයා අනේපිඩු සිටුතුමාලා, විසාකා මහෝපාසිකාව වගේ වෙළෙන්දෝ හිටියේ නැත්නම් බුද්ධාගම කියලා එකකුත් නැහැ. අපි ලොකුවට කතා කරන තපස්සු භල්ලුක කියන්නෙත් වෙළෙන්දෝ. එයාලා නිසා තමයි බුද්ධාගම රැකුණේ. මුස්ලිම් මිනිස්සු වෙළෙන්දාට සාප කරන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සු දියුුණු වෙනවා. ඒත් පුළුවන් තරම් බිස්නස් කරන ලංකාවේ උන් එළවළු ටික විකුණන, හාල් ටික විකුණන වෙළෙන්දාට ශාප කරනවා. අපි දුක් වින්දේ නැතිනම් ඉතිං …‘ ඔහු කතාව නතර කර තමා වෙත ආ සේවකයෙකු වෙත ගියේය.

    තවත් කතා කිරීමට දෙයක් නැත. දේශපාලන සහ වෙනත් න්‍යාය පත්‍ර මත නිර්මාණය කරන ‘අවස්ථාවාදී ප්‍රවෘත්ති‘ වලට තව දුරටත් අවස්ථාව දීමට මාධ්‍ය ආයතන ක්‍රියාකරන්නේ ඇයි කියා සිතා ගැනීම අපහසු නැත.

    ඒත් ලංකාවේ මිනිස්සු හිතන්නේ අමුතුම ආකාරයකටය. හැමදේම විකුණන (දැනුම, ශ්‍රමය) ඔවුන් එවැනිම ව්‍යාපාරයක නිරත වන ‘වෙළෙන්දාට‘ ශාප කරන්නේ ඇයි ද යන්න ගැන මට හිතා ගැනීමටවත් නොහැකිය.

    රටට රැකියා බිහිකරන්නේ, ආණ්ඩුව පවත්වා ගෙන යාමට බදු ගෙවන්නේ, බැංකු ඇතුළු සේවා පද්ධතිය පමණක් නොව ගමේ පොදු කටයුතු වලදී සක්‍රීය භූමිකාවක් නිරූපණය කරන්නේ (වැඩිම ගාන ලියන්නේ) ව්‍යාපාරිකයා විසිනි. ඔහු නැතිනම් රටට යළි ‘ගල් යුගයට‘ යාමට සිදුවිය නොහැකිද ?

    හෘද සාක්ෂිය ඇති අයට කල්පනා කිරීමට පුළවුන්. සංවාදයට විවෘතයි

    සටහන – අරවින්ද සේනානායක

  • Online අධ්‍යාපනය ලංකාවේ යථාර්ථයක් විය හැකි ද ? සංඛ්‍යා දත්ත සමග විග්‍රහයක්

    Online අධ්‍යාපනය ලංකාවේ යථාර්ථයක් විය හැකි ද ? සංඛ්‍යා දත්ත සමග විග්‍රහයක්

    ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34%කට පමණි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි.

    කොවිඩ් දෙවන රැල්ල දරුණු වීමත් සමග නැවත Online අධ්‍යාපනය ගැන සංවාදය ආරම්භ වී තිබේ. පළමු කොවිඩ් රැල්ලේ දී නිලධාරීන් සහ දේශපාලනඥයින් දුන් පොරොන්දු සහ හැදූ සැලසුම් ‘පොතට‘ පමණක් සීමා වීම නිසා මෙවර යළිත් ‘සියල්ල මුලසිට‘ ආරම්භ කිරීමට සිදුව තිබෙන බවක් දැකිය හැකිය.

    ඒත් මේ සියලු කතාබහ, සැලසුම් සිදුවන අතරතුර online හරහා අධ්‍යාපනය ලබාදීමට තරම් ලංකාව තුළ සමාජ-ආර්ථික හා මානසික පරිසරයක් තිබේද ? යන්න ගැන කිසිම විධිමක් අධ්‍යයනයක් සිදුව තිබේද යන්න ගැන දැඩි සැකයක් ඇතිව තිබේ. ඊට හේතුව වන්නේ නිලධාරීන් සහ දේශපාලනඥයින් කියන තරම් ලංකාව onlineවලින්, නැතහොත් අන්තර්ජාල පහසුකම් සහ ඊට අදාළ යටිතල පහසුකම්වලින් ‘අවම‘ හෝ අවශ්‍යතා සපුරා තිබේද ? යන ගැටලුවයි.

    උදාහරණයක් ලෙස ආණ්ඩුවම කියන ආකාරයට ලංකාවේ පවුල් 18,000,000ක් සමෘද්ධි සහනාධාරය ලබන්නේ නම් (මේ කියන සමෘද්ධි සහනාධාරයේ මාසික වටිනාකම රුපියල් 5000ට වඩා අඩුය) එකී පවුල් ලක්ෂ 18ට අයත් දරුවන්ට ඔන්ලයින් මගින් අධ්‍යාපනය ලබාදිය හැකිද ? දිනකට රුපියල් 1000කට අඩුවෙන් වැටුප් ලබන වතුකම්කරුවන්ගේ පවුල්වල දරුවන්ට ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලබාගත හැකිද ? පවුලක පාසල් යන දරුවන් දෙනෙකුට වැඩි පිරිසක් සිටින පවුල්වලට මේ ආකාරයෙන් ඔන්ලයින් හෝ විද්‍යුත් අධ්‍යාපනය ලබාගත හැකිද ?

    මෙහිදී මේ තත්ත්වය ගැන අවධානය යොමු කරන සමාජ සමීක්ෂකයින් බහුතරයකගේ අදහස වන්නේ මෙකී ප්‍රතිපත්ති සම්පාදකයින්ට ‘ලංකාවේ සමාජ – ආර්ථිකය ගැන යථාවබෝධයක් නැති බවයි. සරලව කිවහොත් ඔවුන්ගේ ‘සීත කාමර සැලසුම් භූමියේ යථාර්ථය සමග ගැළපීමක් නොවන බවයි.

    ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34%කට පමණි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි.

    අන්තර්ජාල පහසුකම් ගැන ඇත්ත කතාව

    ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක ජංගම දුරකථනය එබී ගෙනම සිටින ඕනෑම වයස් කාණ්ඩයකට අයත් පිරිස් දැකගත හැකිය. මේ තත්ත්වය දකින ඕනෑම කෙනෙක් සිතන්නේ ‘ලංකාවේ ජනතාව අතර අන්තර්ජාල භාවිතය ‘පුදුමාකාර ලෙස දියුණු‘ බවය. එහෙත් ඇත්ත තත්ත්වය ඒකද ? මේ ආකාරයෙන් ජංගම දුරකථනයට එබී ගෙන අන්තර්ජාලය තුළ සැරිසරන පිරිස් අතර ‘ඩේටා‘ භාවිතය කෙසේද ?

    මේ ලියුම්කරු සමග මේ සම්බන්ධයෙන් අධ්‍යනය කළ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කියා සිටියේ මෙසේ ජංගම දුරකථනයට එබී සිටින අතිබහුතරය රුපියල් 49ක ඩේටා දමා ගන්නා ‘සිල්ලර‘ අන්තර්ජාල පරිශීලකයින් බවයි.

    ‘මේ අති බහුතරයකගේ ජංගම දුරකථනවල පෙර ගෙවුම් පැකේජ නැහැ. තියෙන්නේ රුපියල් 49-99 ඩේටා පැකේජ‘ ඔහු සදහන් කළේය.

    ‘මගේ නිරීක්ෂණය අනුව මධ්‍යම පාන්තික පවුල්වලට අන්තර්ජාල පහසුකම් සම්බන්ධයෙන් ගැටගලුවක් නැහැ. මොකද ඔවුන්ගේ ආදායම් මට්ටම අනුව ඉහළ පෙර ගෙවුම් පැකේජයකට යා හැකියි. ඒ වගේම රජයේ විධායක / කළමනාකාර මට්ටමේ නිලධාරීන්ට රජය විසින් දුරකථන සහ අන්තර්ජාල දීමනා ගෙවනවා. ලක්ෂ කිහිපයක් වන ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලටත් එය ගැටලුවක් නොවෙයි. පුද්ගලික අංශයේ ඇතැම් විධායක නිලධාරීන්ටත් ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඇත්තටම ගැටලුව තියෙන්නේ පහළ සහ දෛනික ආදායම් ලබන පවුල් කාණ්ඩවලට. ඔවුන්ට ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් සදහා වාසිකව රුපියල් 2000-3000 බිලක් දරාගත නොහැකියි. පවුලේ සාමාජික සංඛ්‍යාව සහ ඔවුන් අන්තර්ජාලයට යොමුවීම මත තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. කොටින්ම මේ රටේ සමෘද්ධි සහනාධාරය ලබන බව කියන පවුල් 18 ලක්ෂය ගැන පමණක් හිතන්න ඔයාට ඇත්ත තත්ත්වය වටහාගත හැකියි.

    මේ අතර මේ ගැන උනන්දු මගේ මාධ්‍ය මිතුරෙක් යම් පමණකට විශ්වාසය තැබිය හැකි සමීක්ෂණ වාර්තාවක සරල දත්ත කිහිපයක් මා අතට පත් කළේය. ඒ මෙරට ප්‍රමුඛ සමාජ සමීක්ෂණ ආයතනයක් වන ‘ලර්න්ඒෂියා‘ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයක දත්තයි.

    ශ්‍රී ලංකාවේ දූරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34%කට පමණි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි.

    ඔවුන් ඉදිරිපත් කරන දත්ත සහ ආණ්ඩුවේ නිලධාරීන්ගේ ඊනියා ඔන්ලයින් අධ්‍යාපන සැලසුම් අතර පරතරය 64%කි. එහි අදහස වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නොමැති බවයි.

    ආණ්ඩුවේ නිලධාරීන්ට දෝෂාභියෝගයක්

    ‘ආණ්ඩුවේ නිලධාරීන් කටයුතු කරන්නේ වදුරෝ වැස්සට ගෙවල් හදනවා වාගේ පටන් ගන්නවා විතරයි. කොටින්ම අපේ නිලධාරීන්ගෙන් අති බහුතරයක් කරන්නේ කටින් බතල කොළ හිටවන එක විතරයි. ඒ නිසා තමයි අද ලංකාව මේ වගේ අසීරු සහ විනාශකාරී තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ‘

    මේ කතාව කිව්වේ පාසල් යන තම දරුවන් සිවු දෙනාට අන්තර්ජාලය මගින් අධ්‍යාපනය ලබාදීමට ගොස් මානසික ආතතියට පත්ව සිටින පහළ මධ්‍යම පංතියේ පියෙක්. ව්‍යාපාරිකයෙක් වන ඔහුගේ ව්‍යාපාර කටයුතු පසුගිය කාලය පුරාම දැඩි පසුබෑමකට ලක්වෙලා. වාහන කිහිපයක ලීසිං, රක්ෂණ පමණක් නොවෙයි දුරකථන බිල්, විදුලි බිල් පමණක් නොවෙයි සේවකයින් කිහිප දෙනාගේ වැටුප් පවා ගෙවීමට ඔහුට සිදුවෙලා.

    ‘මෙච්චර කාලයක් දිව්වේ රෝල් එකෙන්. ඒත් දැන් රෝල බ්ලොක් වෙලා. කරකියා ගන්න දෙයක් නැතිවයි ඉන්නේ. ඒත් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අතපහු කරන්න බැහැනේ‘ ඔහු කියනවා.

    ‘කොවිඩ් පළමුවෙනි රැල්ල ආපු වෙලාවේ ඔය දුරස්ථ අධ්‍යාපනය, ඔන් ලයින් අධ්‍යාපනය, රූපවාහිනී අධ්‍යාපන නාලිකා ගැන කතා කළානේ. කෝ එක අඩියක් ඉදිරිියට ගියාද ? නැහැ. පම්පෝරි ගැහුවා විතරයි. කිසිම දෙයක් කළේ නැහැ. දැන් අයිත් මාධ්‍ය ඉස්සරට ඇවිත් පම්පෝරි ගහනවා. සැලසුම් ගැන කියනවා. ඒත් අපි දන්නවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ නිලධාරීන් කියන දේවල් වුණා නම් අද ලංකාව සුරපුරයක්‘ ඔහු දැඩි අවේගයෙන් කියාගෙන ගියා.

    ‘මේකට හේතුව තමයි මේ ඉහළ නිලධාරීන්ගේ, දේශපාලනඥයින්ගේ කිසිම දරුවෙක් ලංකාවේ, ආණ්ඩුවේ ඉස්කෝලවලට, විශ්වවිද්‍යාලවලට යන්නේ නැහැ. ලංකාවේ හිටියත් ඉගෙන ගන්නේ ඉහළම පන්තියේ ජාත්‍යන්තර පාසල්වල, ලියන්නේ ලන්ඩන් ඕලෙවල් – ඒ ලෙවල්. ඉතිං උන්ට මේ ගැන ගාණක් නැහැ. අර ඉස්සර ගම්වල හිටිය ආරච්චිලා, රාළහාමිලා හිතුව විදිහටම තමයි මේ උසස් නිලධාරීන් හිතන්නේ. උන්ගේ පුත්තු රාජ්‍ය හා පෞද්ගිල අංශයේ විධායක නිලධාරීන් වෙන කොට අපේ ළමයි ක්ලාක්ලා කර ගන්න තමයි උන් සැලසුම් කරන්නේ. ඒ නිසා තමයි මේ විදිහට අධ්‍යාපන පද්ධතියම විනාශ කරලා අවුල් කරලා තියෙන්නේ‘ ඔහු ආවේගශීලීව දිගටම කියා ගෙන ගියා.

    මෙහිදී ඔහු යළිත් මගේ ප්‍රශ්නය වෙත ආවා.

    ‘ඔයා ඇහුවේ ඔන්ලයින් හරහා ළමයින්ට උගන්වන එක ගැනනේ. මං කරනවා. මොකද මං බිස්නස් කරන නිසා පහුගිය කාලේ ළමයින්ට අවශ්‍ය උපකරණ අරං දුන්නා. ඒත් ඔයා හිතන්න ළමයි හතර දෙනාම මේක කරන කොට. ලොකු පුතා 09 වසරේ, අනික් පුතා 07, තුන්වැනියා 04 වසරේ. පොඩි පුතා පෙර පාසලේ. මෙයාලට මේක කරන්න පුළුවන් ද කියලා මටත් හිතෙනවා. එක පැත්තකින් ඩේටා බිල්. අනික් පැත්තෙන් …‘ ඔහු කතාව නතර කළා.

    ‘මෙහෙමයි සල්ලි තියෙන මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් කියලා කියමු. ඒත් හැමෝටම බැහැ. මං දන්න පවුල්වලින් පවුල් කිහිපයකට හැර අනික් කිසිම කෙනෙකුට මේක කරන්න බැහැ‘ ඔහු කිව්වා.

    පාසල් වසා තිබෙන සමයේ ඔන්ලයින් හරහා, විද්‍යුත් මාධ්‍ය හරහා අධ්‍යාපනය ලබාදීම ගැන ‘පොදුජන මතය‘ ගැන කළ විමසීම් වලින් අති බහුතරකරගෙන් එල්ල වුණේ දෝෂාරෝපණ සහ මැසිවිලි පමණයි. ඇතැම් මධ්‍යම හා පහළ මධ්‍යම පාන්ති දෙමාපියන් මේ ක්‍රමයට කැමැති වුණේ තමන්ගේ ‘වාසිය‘ ගැන හිතලා බව පැහැදිලිවම පෙනුණා.

    ‘මේක හොදයි. මොකද ළමයි ක්ලාස් අරගෙන යනවාට වඩා ටියුෂන් පන්ති ඔන්ලයින් හරහා කරන එක හොදයි. එතකොට අපේ කාලයත් ඉතුරුයි, ළමයත් පහසුයි‘

    මෙහෙම කිව්වේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ‘එකම දරුවෙක්‘ සිටින මධ්‍යම පාන්තික මවක්. ඇය කියන්නේ ටියුෂන් පන්තිවලට තම දියණිය රැගෙන යාමට දැරිය යුතු කාලය හා ශ්‍රමය ගැන හිතන විට මේ තත්ත්ව පහසුවක් බවයි.

    ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද?
    පළමු කොවිඩ් රැල්ල පැවති සමයේ ‘අද‘ පුවත්පතට කාටූන් ශිල්ප අවන්ත ආටිගල විසින් නිර්මාණය කළ කාටූනයක්

    ළමුන්ගේ සහ මවුවරුන්ගේ කතා කිහිපයක්

    දෙමාපියන්ගේ විවිධ කතා මැද ළමුන් කියන කතා කිහිපයකුත් දැන ගැනීම වැදගත්.

    ‘මගේ යාළුවාගේ ගෙදරට සිග්නල් නැහැ. ඒ නිසා ඔන්ලයින් ක්ලාස් තියෙන කොට එයා ආච්චිලාගේ ගෙදර යන්න ඕනෑ. ඒක ඇත්තටම ආමාරු වැඩක්. මොකද සමහර දවස්වලට ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නේ උදේ 5.30ට. සමහර දවස්වල රෑ 12.00 ට. මට මේ දෙකම පහසු වුණත් මගේ පන්තියේ කිහිප දෙනකුට සිග්ලන් ගැටලු තියෙනවා. මගේ හොදම යාළුවාට වාගේ හැමෝටම ගේ ළග ආච්චිලා නැහැනේ‘

    මෙසේ කියන්නේ හොරණ ජනප්‍රියම පාසලක ඉගෙනුම ලබන, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන සිසුවියක්.

    ‘ඇත්තටම කිව්වොත් හොරණ නගරයට ආසන්නව තියෙන අපේ ගෙදරටත් ටෙලිකොම් සිග්නල් හරියට නැහැ. ඒ නිසා මම වෙනත ලයින් එකකින් තමයි ඔන්ලයින් කරන්නේ‘ ඇය වැඩි දුරටත් පැවසුවා.

    අන්තර්ජාල සම්බන්ධතා වලදී අත්‍යවශ්‍ය සිග්නල් පහසුකම් බොහෝ පළාත්වල අතිෂය දුර්වල බව පැහැදිලි සත්‍යයක්. ඊට අන්තර්ජාල බිල් එක් වූ විට ඇතිවන විකෘතිය ගැන කතා කර පළක් නැති බවයි කිහිප දෙනකුම කිව්වේ.

    ‘ළමයි දෙන්නම ඔන්ලයින් ගියාම ඩේටා බිල ගැන හිතාගන්න බැරිවෙයි. ඒ සේවා සපයන සමාගම් කියන කතාවලයි බිල් අතරයි දැවැන්ත වෙනසක් තිබෙනවා. මං කියන්නේ මේ වෙලාවේ මේ සමාගම් ඔන්ලයින් අධ්‍යාපනය හරහා සූරා කෑමක් කරනවා කියලය‘

    නුගේගොඩ මවක් ලියුම්කරු සමග කිව්වා.

    ‘පාසලේ ඔන් ලයින් ගැන නෙමෙයි ඇත්තටම කතා කළ යුත්තේ ටියුෂන් ගුරුවරු කරන ඔන්ලයින් අධ්‍යාපනය ගැනයි. ඔවුන් දැන් රැල්ලට වාගේ ඔන්ලයින් ටියුෂන් පටන් අරං. වැඩේ වාසියිනේ. ඒත් ගිනුමට සල්ලි දාන්න ඕනෑ. නැතිනම් ළමයට ඔන්ලයින් ටියුෂන් නැහැ‘ වැලිවේරියේ මවක් කිව්වා.

    ‘අපේ දුව මේ පාර සාමාන්‍ය පෙළ ලියන්නේ. එයාගේ ගණිත ගුරුවරිය දැන් ඔන්ලයින් හරහා තමයි ටියුෂන් දෙන්නේ. ඒත් අපිට ඇදිරිනීතිය තියෙන කොටත් ඇය බැංකු ගිනුමට සල්ලි දාන්න කියලා බල කිව්වා‘ ඇය වැඩි දුරටත් කිව්වා.

    “අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ගෙදර තියෙන්නේ හස්බන්ඩ්ට ඔෆිස් වැඩ කරන්න ලැබුණු කම්පියුටර් එක විතරයි. එක්කෙනෙකුට ඒක දුන්න ම දෙන්නෙකුට ස්මාර්ට් ෆෝන් දෙකක් ඕන වෙනවා. අනික් පැත්තෙන් හස්බන්ඩ්ගෙ කම්පියුටර් එකේ ඔෆිස් වැඩ කරන්න තියෙනවා. ඒ නිසා හරි ම අමාරුවෙන් මේක කරගෙන යන්න වෙලා තියෙන්නේ,” තිදරු මවක වන කළුතර පදිංචි සකුන්තලා පැවසුවා. (උපුටා ගැනීම – 2020 මැයි 20 වැනි දින බී.බී.සී සන්දේශය)

    ඕෂදී අකල්කි පුංචිහේවා සිසුවිය අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබමින්
    ඕෂදී අකල්කි පුංචිහේවා සිසුවිය අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබමින් – ඡායාරූපය බී.බී.සී සන්දේශය

    මේක ප්‍රායෝගික නෑ

    මේ අතර බී.බී.සී සන්දේශය සමග අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මාවතගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කී කාතාවත් පිටපත් කිරීමට සිතුණා. ඇය නමින් ඕෂදී අකල්කි පුංචිහේවා.

    බොහෝ පාසල් විසින් ළමුන්ට දුරස්ථව අන්තර්ජාලය හරහා ඉගැන්වීමට පටන්ගෙන තිබුණ ද ඕෂදී පවසන්නේ අන්තර්ජාලය හරහා නැතහොත් ඕන් ලයින් (online) අධ්‍යාපනය ඉතා දුරස්ථ බවත් ගුරුවරයා ඉදිරිපිට අධ්‍යාපනය ලැබීම මෙන් ප්‍රායෝගික නොවන බවයි.

    ”ඉස්කෝලේ 10 වසර පංති හතරක් තිබුණා, අවම වශයෙන් පංති හතරේ ළමයි 140 කට වැඩිය හිටියා. කෝවිඩ් ආපු පළමු අවස්ථාවේ පාසලේ ඇතැම් ගුරුවරු සමාජ මාධ්‍ය ගෘප් (groups) හදල පැවරුම් දැම්මා. නමුත් ඕන් ලයින් හිටියේ ළමයි 60 ක් විතර. නැවත පාසල් ආරම්භ කරද්දී ළමයි බහුතරයක් පැවරුම් කරලා තිබුණේ නැහැ. මම කළෙත් නැහැ. ඇත්තටම අපි දන්නේ නැහැ ඒවා කරන්නේ කොහොමද කියල. ඔක්කොම තියරි. ඒවා අපි ඉගෙන ගෙන තිබුණේ නැහැ,” ඇය පැවසුවා.

    ඇය වැඩිදුරටත් පැවසුවේ පෞද්ගලික ගුරුවරුන් කිහිප දෙනෙකු හරහා ඇය දුරස්ථව “ඔන්ලයින්” ක්‍රමයට ඉගෙන ගන්නා බවයි. එම අන්තර්ජාල පංතියේ ළමයින් හැටක් පමණ සිටින බවත් අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් වීඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් ගුරුවරයා දකින නමුත් බොහෝවිට සිදුවන්නේ ශබ්දය පමණක් ක්‍රියාත්මක කර ගුරුවරයා පවසන දෙය පමණක් අසාගෙන සිටීම බවත් ඇය කියා සිටියා.

    “ඇත්තම කියනවනම් ප්‍රශ්නයක් අහන්නවත් ළමයෙක් ඉදිරිපත් නොවෙන තරම් මේ ක්‍රමයට. එකක් අපිට විෂය බද්ධ කරුණු අවබෝධයක් නැහැ. මං හිතන්නේ හුඟක් ළමයි ගෘප් එකේ හිටියට පාඩමේ ඉන්නවම කියල හිතන්න අමාරුයි. එතැනින් නැගිටලා ගියත් කව්රුවත් දන්නේ නැහැ. හැබැයි පංති කාමරයේ අධ්‍යාපනය එහෙම නෙමෙයි. අපි ගුරුවරයා දකිනවා ඔහු උගන්වන රටාව මනසට කා වැදෙනවා. අපි ඔහු හෝ ඇය සමග සෘජුව ප්‍රශ්න අසනවා. වෙනත් ළමයි අසන ප්‍රශ්න සමග අපි අපේ දැනුම පරික්ෂා කරනවා. මාස ගණනාවක් පාසල් අධ්‍යාපනය නොලබා සිටීම තුළ මේ අධ්‍යාපන ක්‍රම දෙකේ වෙනස තදින්ම දැනෙනවා. එක්කෝ මේ ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමය මීට වඩා හොඳ ක්‍රමයකට ක්‍රියාත්මක වෙන්න ඕනේ,” ඕෂදී සිසුවිය වැඩි දුරටත් පැවසුවා.

    නිල කතා කිහිපයක්

    ඉහත සදහන් කළ පොදුජන අදහස් සමග මේ බලපෑමක් කළ හැකි මට්ටමේ කිහිප දෙනකුගේ අදහස් ද ගොනු කරමින් ලිපිය ‘සමබර‘ කළ යුතු යැයි සිතුණා

    මේක ඇත්තට ම ළමයින්ට ලොකු අසාධාරණයක් -ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්

    ඔන්ලයින් ක්‍රමය මූලික කරගෙන අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පාසල් දරුවන්ට “ලොකු අසාධාරණයක්” බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

    ඔහු ප්‍රකාශ කළේ, ඊට අවශ්‍ය උපකරණ හිඟකම නිසා බොහෝ දරුවන්ට අධ්‍යාපන කටයුතුවලට සහභාගි වීම මග හැරෙන බවයි.

    “දුරකතන තිබ්බට වැඩක් නෑ ස්මාර්ට් ෆෝන් එකක් නෙවේ නම්. ඊළගට සිග්නල් තිබ්බට වැඩක් නෑ 3ජී නැත්නම්. ඒ ඔක්කොම තිබ්බත් වැඩක් නෑ ඩේටාවලට සල්ලි නැත්නම්. මේක තමයි ඇත්ත ප්‍රශ්නෙ. මේක තමයි එක ම ක්‍රමය බවට දැන් පත් කරල තියෙන්නෙ. ඒක ඇත්තට ම ළමයින්ට ලොකු අසාධාරණයක්. මේ ක්‍රමය තුළින් ළමයින් තුළ ඇති වෙනවා වැරදි ආකල්පයක්. ළමයින් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් එක ගෙදර ඉන්නවා නම් ගෙදර එක ෆෝන් එකක් තියෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේකට බර තැබීමට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒත් තමන්ගේ උනන්දුවෙන් ඔන්ලයින් මාර්ගයෙන් යමක් උගන්වන්න උත්සහ කරන ගුරුවරුන්ගේ කැපකිරීම අපි අගය කළ යුතුයි,” – 2020 මැයි 20 බී.බී.සී සන්දේශයේ උපුටා ගැනීමකි.

    ‘අඩුපාඩු තියෙනවා – ඒත් හොඳ ආරම්භයක්’

    ශ්‍රී ලංකාවේ දූරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ලර්න්ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ මේ පිළිබඳව දක්වන්නේ ශුභවාදී ආකල්පයක් බවයි බී.බී.සී සන්දේශය වාර්තාවක සදහන් වුණේ.

    “ඇත්තට ම ඉන්ටර්නෙට් පහසුකම් නොමැති වීමේ තත්ත්වය තුළ මේ ප්‍රශ්නය විශාල පිරිසකට බලපානවා. ඒත් මේක හොඳ උත්සහයක්. හැබැයි මේ ඔන්ලයින් ක්‍රමය පාවිච්චි කරන විදිහ නම් වෙනස් විය යුතුයි,”

    “සෑම ළමයෙක් ළඟම පෙළපොත් තියෙනවා. අපේ ළමයි පෙළපොත් කියවීම ඉතා අඩුවෙන් කරන්නේ. ඔවුන්ට ඒ පෙළපොත් ගෙදරදි කියවගෙන තනියම ඉගෙන ගන්න පුළුවන්. ඒත් මේ ඔන්ලයින් ක්‍රමයෙදී වෙන්නේ ගුරුවරුන් පෙළපොතේ තියෙන දේවල් ආයෙත් ඔන්ලයින් හරහා එවන එක බොහෝ වෙලාවට. ඒ ක්‍රමය නතර කරලා පැවරුම් කිරීම ඔන්ලයින් හරහා සිදුවෙනවා නම් මීට වඩා කාර්යක්ෂම ලෙස ඩේටා පාවිච්චි කරන්න පුළුවන්. දැනට පවතින දුෂ්කරතා තව කාලයක් යද්දි අඩුවෙයි. ඒ වෙනකොට මේ ක්‍රමයෙන් මීට වඩා ඵල නෙළාගන්න හැකි වෙයි කියල මම හිතනවා,” ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නාය.

    දැන් ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාෆියාවක් බවට පත්වේගෙන යනවා. දෙමව්පියන්ට මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. මව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. සද්භාවයෙන් කරන එම කැප කිරීම ඇතැම් පුද්ගලයින් භාවිත කරන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න

    බොරදියේ මාළු බානවාද ?

    ලංකාවේ ඕනෑම ව්‍යවසනයක් තමන්ගේ ‘මඩිය තරකර ගැනීමට යොදා ගන්නා‘ ව්‍යාපාරික මාෆියාවක් සිටිනවා. ඔන්ලයින් අධ්‍යාපනය, විශේෂයෙන් ‘ටියුෂන්‘ ගැන කතාකරන විට මේ අවස්ථාවේ බොරදියේ මාළුබාන අවස්ථාවාදී කල්ලියක් ‘ගජරාමෙට‘ බිස්නස් කරන බවටත් ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මේ වන විට මුහුණුපොත හරහා සංසරණය වන ‘ඔන්ලයින් ටියුෂන්‘ ගැන දැන්වීම්වලින් ඒ බව මනාව වටහා ගත හැකියි.

    එච් එම් වසන්ත හේරත්
    එච් එම් වසන්ත හේරත් මහතා  – ඡායාරූපය – බී.බී.සී. සන්දේශය

    මුල් ළමාවිය පිලිබඳ අධ්‍යාපන විද්වතකු වන මුල් ළමාවිය පිළිබඳ ආසියා පැසිෆික් ජාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත එච් එම් වසන්ත හේරත් මහතා මේ මාෆියාව ගැන අනතුරු ඇගයීමක් කරනවා.

    “online education නරක දෙයක් නෙමෙයි. නරක ඊට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරන්නේ නැතුව එය ළමුන් පිට පැටවීමයි. අනෙක් පැත්තෙන් මේක දැන් ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාෆියාවක් බවට පත්වේගෙන යනවා. දෙමව්පියන්ට මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. මව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. සද්භාවයෙන් කරන එම කැප කිරීම ඇතැම් පුද්ගලයින් භාවිත කරන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න.”

    වසන්ත හේරත් තවදුරටත් පැවසුවේ කුඩා දරුවන්ට online education ක්‍රමය සාර්ථක අත්දැකීමක් ලෙස හැදින්විය නොහැකි අතර තවත් අතකට පාසල් ළමුන් මෙම ක්‍රමය තුළ අසීරුතාවට මුහුණ දෙන බවයි.

    කුඩා ළමයෙක් වයසින් වැඩෙන එක අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහු වැඩෙනවා මෙන්ම ඔහු තුළ ගොඩ නැගිය යුතු ආකල්ප, කුසලතා, හැකියාවන් තියෙනෙවා. විශේෂයෙන් පාසල් යන්නට පෙර ළමයින්ට ලබා දෙන පුර්ව ළමා අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයක් නොවේ. අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීමක්. ඒ තුළින් තමයි දරුවා පාසල් අධ්‍යාපනයට අවශ්‍ය මුලික හුරුව ලබා ගන්නේ. මේ කාල වකවානුවේදී දරුවෙකුගේ සියුම් මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ක්‍රියාකාරකම් ගොඩක් තිබෙනවා. අපි ළමයිට මැටි අනන්න දෙන්නේ, කඩදාසි බෝල පොඩි කරන්න දෙන්නේ අත්වල තියෙන, ඇඟිලිවල තියෙන සියුම් මාංශ පේශි වර්ධනය කරවන්න. මේවා නිසි පරිදි වර්ධනය නොවුණොත් අඩුම තරමින් අකුරක් ලියන්න පැන්සල අල්ල ගන්නවත් දරුවෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ.” වසන්ත හේරත් මහතා වැඩි දුරටත් සදහන් කළා.

    ගුරුවරුන් online education සදහා සූදානම්ද ?

    මේ දිනවල මුහුණුපොත හරහා හුවමාරු වන online education දැන්වීම් දෙස බලන විට නම් පැහැදිලි වන්නේ ලංකාවේ ගුරුවරුන් මේ සම්බන්ධයෙන් ‘විශේෂඥයින්‘ බවට පත්ව ඇති බවය. ඔවුන්ට මේ වැඩේ කිරීමට කොරෝනා වසංගතයට පෙර ඉඩ ලබා නොදීම ‘ජාතික අපරාධයක්‘ බවයි.

    එච් එම් වසන්ත හේරත් තවදුරටත් පවසන්නේ “අපි on line education මේ වෙලාවේ සාර්ථක ක්‍රම වේදය කියල හඳුනාගෙන තියෙනවා නම් මං කියන්නේ එය පටන්ගත යුත්තේ පාසැල් ගුරුවරුන්ගෙන්. ඒකට අවශ්‍ය පහසුකම් ලබා දීම තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම වෙන්නේ‘

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක පසුගිය දා බී.බී.සී සන්දේශය සමග දැක්වූ අදහස් අතිෂයින් කාලීන නිසා එය ඉදිරිපත් කිරීම ද මෙහිදී වැදගත්ය.

    ආචාර්ය ප්‍රභාත් ඒකනායක
    ආචාර්ය ප්‍රභාත් ඒකනායක – ඡායාරූපය – බී.බී.සී සන්දේශය

    කොවිඩ් වසංගතය හමුවේ මෙරට අධ්‍යාපනය නව ස්වරූපයකින් හැඩ ගැසිය යුතු බවත් ගුරු භූමිකාව මෙන්ම රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නව තත්ත්වය හමුවේ වෙනස් විය යුතු බවත් ආචාර්ය ප්‍රභාත් ඒකනායක දැඩිව අවධාරණය කරයි.

    ‘ අපි කතාවට කියනවා තාක්ෂණය නැතුව ඉස්සරහට යන්න බෑ කියලා. දැන් කොවිඩ් ඇවිල්ලා අපිට කියනවා උඹලා ඉගෙනගන්න තාක්ෂණය පාවිච්චි කර පල්ලා කියලා. දැන් අපි ඒ අභියෝගයට මුහුණ දිය යුතුයි‘

    එහෙත් මෙහිදී ආචාර්ය ප්‍රභාත් ඒකනායක කියන්නේ ‘තාක්ෂණය ගැන පුරසාරම් කතා කියමින් අපි කර ඇත්තේ කාලය කා දැමීමක් පමණක් බවයි.

    ‘අපි අතර මනෝභාවයක් තියෙනවා ඇතුළත මැවුන දේ පිළිගන්නා පිටත දේ පිළිනොගන්නා මනෝ සංස්කෘතියකට. ගුරුවරයාගේ භූමිකාව මේකයි, ළමයාගේ භූමිකාව මේකයි කියලා අපි ඇඳගත්ත චිත්‍රයක් තියෙනවා. ඒක වරදක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ අපි හුරුවට ගෙනා දෙයක්. ඒ හුරුව පුරුදු කර ගත්ත අපි online education දාපු ගමන් පීඩාවට පත්වුණා‘

    ගුරුවරුන් නිර්මාණශීලී විය යුතුයි. අපි දන්නවා පන්තිකාමරයේ ඉගැන්නුවත් නිර්මාණශීලීත්වය නැති ගුරුවරු ඉන්නවා. නමුත් සමහර ගුරුවරු එහෙම නෑ නිර්මාණශීලියි. දරුවන්ගේ අධ්‍යාපනයය වෙනුවෙන් කැපවෙනවා. තමන්ගෙ නිර්මාණශීලීත්වය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා.”

    ආචාර්ය ප්‍රභාත් ඒකනායක තවදුරටත් පවසන්නේ අන්තර්ජාල අධ්‍යාපනය ලබාදීමේදී ගැටලු රැසක් තිබෙන අතර පාසල් මට්ටමෙන් නව තාක්ෂණයට යාමට අවශ්‍ය අවම පහසුකම් වත් තිබේද යන්න ගැටලුවක් බවයි. නව මාධ්‍ය භාවිතයේදී අත්‍යාවශ්‍ය උපකරණ තිබෙන බවත් ඒවා රටේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත් ඔහු කියනවා.

    “රජය මැදිහත් විය යුත්තේ මෙන්න මේ කාරණයේදී. අඩුම තරමින් ටැබ් එකක් වත් දරුවෙකු සතුව තිබිය යුතුයි. ඒ වගේම පහසු ගාස්තුවකට ලබාගත හැකි අන්තර්ජාල සම්බන්ධතාවක් තිබිය යුතුයි. සේවා සපයන ආයතනවලට ගහන බදු අඩු කරල මේ පහසුකම් සෑම දරුවකුටම ලබාදෙනවා නම් අධ්‍යාපන ක්‍රමයට ප්‍රවේශ වෙන්න බාධාවක් නැහැ. ඇත්ත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ මේ වෙලාවේ එම කටයුත්තයි. මගේ අදහස නම් සෑම දරුවකු සතුව අඩුම තරමින් ටැබ් එකක් තිබිය යුතුයි. බහුතරයක් මව්පියන්ට ඒ වෙනුවෙන් මුදලක් වෙන්කිරීමට හැකියාවක් නෑ.”

    “ඇයි ටැබ් එකකට ස්මාර්ට් ෆෝන් එකකට මේ පෙළපොත්වල තියෙන පාඩම් නව ස්වරූපයකින් දාන්න බැරි. මෙම පහසුකම් රජය විසින් සකස් කර දීම අනාගත ආයෝජනයක්. අපි දන්නවා අධ්‍යාපනයේ සිද්ධාන්තයක් තියෙනවා කනට ඇහෙන දෙයින් සියයට 10 යි මතකයට නැගෙන්නේ කියලා. ඒ වගේම ඇහැට දකින දෙයින් සියයට හතළිහයි මතකේ තියෙන්නේ. සියයට 80 ක් මතක තියෙන්නේ කණින් අහල, ඇහෙන් දැකල, අතෙන් මනසෙන් කරපු දේට කියල. ඒ කියන්නේ ඉන්ද්‍රයන් වැඩි ප්‍රමාණයකට ගෝචර වූ දෙයක් වැඩියෙන් මතක තියෙනවා.” ආචාර්ය ප්‍රභාත් ඒකනායක වැඩිදුරටත් පැවසුවා.

    online education බැරි නම් විකල්පයක් ඇත්තේම නැද්ද ?

    රට වසා දැමීම ගැන වැඩියෙන්ම උනන්දුවන්නේ සහ උපදෙස් දෙන්නේ මාසික වැටුප් ලබන රාජ්‍ය සේවකයින් බව පුද්ගලික අංශයේ සහ ස්වයං රැකියා කරන අය අතර ඇති පොදු චෝදනාවක්. ඔවුන්ට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටපු සහ රැකියාව සුරක්ෂිත නිසා මෙවැනි මතයක් දැරීම පුදුමයට කරුණකුත් නොවෙයි. ජනපතිවරයා ද පසුගිය දා මේ චෝදනාව කර තිබුණා.

    මේ අතර රට වසා දැමීම ගැන රාජ්‍ය සේවකයින් වන ගුරුවරුන් අකමැති විය හැකිද ? නිවසට වී දරුවන් සමග සැමියා සමග ගතකරන මේ නිදහස් ජීවිතය ඔවුන්ට ආශිර්වාදයක් විය නොහැකිද ? මේ තත්ත්වය තුළ තවත් වටයකින් ඔන්ලයින් ටියුෂන් දෙමින් තම මඩිය තර කර ගැනීම හැර ගුරුවරුන්ට විකල්පයක් නැතිද ? රාජකාරී වගකීම ඉක්මවා ගිය ‘වගවීමක්‘ ඔවුන්ට නැතිද ?

    “කොවිඩ් කියන්නේ ආපදා තත්වයක්. අපි දන්නවා අපේ රටේ හදිසි ආපදා තත්ත්වයකදී ඉස්සරලාම කරන්නේ පාසල් වහන එක. ගං වතුරක් ගැලුවත්, නාය යාමක් සිදුවුණත් පාසල් වසා තබනවා. සමහරවිට විපතට පත් අයට නවාතැන් දෙන්නෙත් පාසලේ. මේ වෙලාවේ පාසලත් විපතට පත්වෙලා තියෙන්නේ. අපි කොච්චර කාලයක් මෙහෙම වහල තියන්නද? මම කියන්නේ මේ රටේ ගුරුවරුන් ඉන්නවා දෙලක්ෂ තිස්පන්දහසක්. මේ අය එක්කෝ දරුවන් එක්කෙනා දෙන්නා හෝ පාසලට කැඳවල නිරෝධායන නීති රැකලා අධ්‍යාපනය ලබා දිය යුතුයි. එහෙම නැතිනම් ගුරුවරු නිවෙස් කරා ගොස් අධ්‍යාපනය ලබා දිය යුතුයි. මොකද මේ ගුරුවරුන් වැටුපක් ලබනවා. එම වැටුප් ගෙවන්නේ මහජනතාව. කොවිඩ් හෝ වෙනත් උපද්‍රවයක් හේතුවෙන් ගුරුවරයෙකු නිහඬ වීම අනුමත කරන්න බැහැ. මොකද ඔහුගේ කාර්යභාරය විශාලයි. ගුරුවරුන් නිදා ගත්තොත් අනාගතයේ ජාතියක් නිදා ගනීවි‘ වසන්ත හේරත් මහතා දැඩි ස්වරයෙන් පැවසුවා.

    ඉහළ ඡායාරූපය – පළමු කොවිඩ් රැල්ල පැවති සමයේ ‘අද‘ පුවත්පතට කාටූන් ශිල්ප අවන්ත ආටිගල විසින් නිර්මාණය කළ කාටූනයකි.

    සැකසුම – තුෂාර වල්ගම

  • දූරියන් වගාව ගැන අලුතින් හිතුවොත් ධන උල්පතක් කර ගන්න පුළුවන්

    දූරියන් වගාව ගැන අලුතින් හිතුවොත් ධන උල්පතක් කර ගන්න පුළුවන්

    දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ

    මෙරට දූරියන් ගස් බහුතරය රෝගී පැරණි ගස්

    අපි තවමත් මදුළු කනවා පමණයි

    අසල්වැසි රටවල දූරියන් චොක්ලට් සහ අයිස්ක්‍රීම්

    දකුණු ආසියාතික රටවල ඇතැම් ලැගුම්හල් හෝ හෝටල් තුළට මෙම පලතුර රැගෙනයාම තහනම්ය. අවට පරිසරයට දින කීපයක් පවතින සුවඳක් නිකුත් කරන නිසාත්, සමහරුන්ට මෙය ඉතා අප්‍රසන්න සුවඳක් නිසාත්, පොදු යහපත උදෙසා මෙවන් වාරණයක් පනවා තිබේ.

    සිංගප්පූරුවේ ප්‍රධාන පොදු ප්‍රවාහන පද්ධතියක් වන උමං දුම්රියට ඇතුල්වෙත්දීද දූරියන් රැගෙන නොඑන ලෙසට දැන්වෙන ස්ටිකරයක් දුම්රිය මැදිරි තුළ අලවා තිබෙනු පෙනෙන්නේය. ඒ සුවඳ නිසා පමණක් නොව, ගෙඩියේ තිබෙන තියුණු කටු මගින් ජනාකීර්ණ දුම්රිය මැදිරි තුළ ගමන් කරන්නවුන්ට හානියක් විය හැකිය යන සැකය හේතුවෙනි.

    කෙසේ වෙතත් දකුණු ආසියාතික රටවලදී අඹ ගෙඩියට ‘පලතුරු ලොවේ රජු’ සේ සලකා අචාර කරද්දී කාම්බෝජය, ලාඕස්, මියන්මාරය, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, සිංගප්පූරුව වැනි රටවල් වලින් සැදුම්ලත් ගිනිකොණ දිග ආසියාවේ රටවල් වල නම් ‘පලතුරු රජු‘ වන්නේ දූරියන්ය.

    19වැනි සියවසේ විසූ පරිණාමයේ සංසිද්ධිය ‘ස්වභාවික වරණය’ නමැති තේරීමේ යාන්ත්‍රණය ඔස්සේ පැහැදිලි කල මහා විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් රසල් වොලස්, දූරියන් මදය අගය කර ඇත්තේ ආමන්ඩ් වලින් රසවත් කළ කස්ටඩ් පුඩිමකට නොදෙවෙනි බව පවසමිනි.

    මෙරටට 16 වෙනි සියවසේදී මුලින්ම දූරියන් රැගෙනවිත් ඇත්තේ පෘතුගීසීන් විසිනි. ඊට පසුවද නොයෙක් අවස්ථාවලදී විවිධ ප්‍රභේද හඳුන්වාදීමක් සිදුවී ඇති අතර අද තිබෙනා බොහොමයක් දූරියන් ගස්, ඇට පැළවීමෙන් හටගත් දශක ගණනක් පැරණි වයස්ගත ශාක වේ. ජනතාව පුරුදුවී සිටින්නේ ගෙඩි හටගන්නා කාලයට දූරියන් ගස දෙස බලන්නටය.

    ඵල දරන්නේ යම්කිසි නිශ්චිත වාරයකට පමණක් බැවින්, තමාගේ අස්වැන්න ලැබෙන සමයේදී ගසට සාත්තු සප්පායම් කිරීමට කවුරු කවුරුත් ඉදිරිපත් වුවත්, ගෙඩි ඵලගන්නේ නැති කාලයේදී ඔවුහු නිහඬව ඉවත බලා ගනිති. මේ නිසා වැඩි සාත්තුවක් නැතිව පවත්නා වර්තමාන දේශීය දුරියන් වගාවට ඇත්තේ ඉතා අඩු පලදායීතාවයකි.

    මීට අමතරව දූරියන් ගස් වලට ඇති විවිධාකාර ආබාධ සම්බන්ධයෙන් ඒවාහි හිමිකරුවෝ පැමිණිලි කරති. මේ පැමිණිලි සුලභව පැමිණෙන තැනකි හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය. එහි පලතුරු අභිජනනය පිළිබඳ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඩී. ලෙස්ලි මහතා මේ ගැන අදහස් දක්වන්නේ මෙසේය.

    “අවුරුදු පනහ හැට පැරණි දූරියන් ගස් තමයි අද රටේ වැඩි හරියක් තියෙන්නේ. ඒවත් නිසි නඩත්තුවක් නැති ශාක. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කළ වර්ග වල ගස් වලින් හැදෙන ගෙඩි ඉතා සුළු ප්‍රමාණයක් තමයි තවමත් වෙළඳපොළට එන්නේ. සාමාන්‍යයෙන් ගහක් මෝරලා ඵල දරන්න අවුරුදු පහක් හයක් යනවනේ. අනිත් කරුණ තමයි මේ පරණ ගස් බොහොමයකට කල් ගතවුණු රෝග තත්වයන් තියෙනවා. ඒවා අධීක්ෂණයක් හා මූලික ප්‍රතිකාර නොලැබුණු නිසා දැන් නිදන්ගත රෝග වගේ. ‘ෆයිටොප්තෙරා දිලීරය‘ නිසා ඇතිවෙන රෝගී තත්වය හා ‘ඇන්ත්‍රැක්නෝස්‘ රෝගය තමයි වැඩිපුර තියෙන්නේ. ෆයිටොප්තෙරා දිලීර ආසාදනය වුණහම එකපාරට රෝග ලක්ෂණ පෙනෙන්නෙත් නෑ. රෝගය අවුරුදු ගණනක් ශාකය තුළ තිබෙමින් ක්‍රමයෙන් පිළිකාවක් වගේ ගස පුරා පැතිරෙනවා. ගෙඩි නැති කාලෙට ගස ගැන අවධානයකුත් නැති නිසා තත්වය පහසුවෙන් දරුණු වෙනවා. ඵල දරන කාලෙට නම් ගෙඩි කළුවෙනවා, ලපටි ගෙඩි හැලෙනවා ආදී විවිධාකාර පැමිණිලි. රෝගය පාලනය කරන්න වියදමත් වැඩියි ආසාදනය දරුණු නිසා. පාලනය කෙරුවත් නිරෝගී ගසක් නැවත ලැබෙයි කියන සහතිකය දෙන්නත් බෑ. ගසේ වයසත් වැඩියි, ගස තුළ රෝග කාරකයේ පැතිරුණු ප්‍රමාණයත් වැඩියි.”

    රටේ පවතින දූරියන් ශාක බහුතරයක තත්වය මෙසේ නම්, ගෙඩි හැදෙන කාලයටවත් දූරියන් ගස සොයා යන්නට නොහැකි තත්වයක් උදාවේ යයි සිතෙන තරම්ය. එසේ නමුත් ලෝකයේ දුරියන් ප්‍රගතිය නම් ඉහළ ඉලක්කයන් කරා වේගයෙන් ගමන් කරයි. වයස්ගත දූරියන් ශාක, නිසි පෝෂණයක් හෝ සත්කාරයක් නැතිව හා ලෙඩරෝග පවා උසුලාගනිමින් අප වෙත ලබාදෙන ඵලදාව, ගෙඩිය බිඳගෙන මදුළු අනුභව කරනවා මිස ඊට වැඩි යමක් තවමත් මෙරට සිදුවන්නේද නැත.

    මහා මාර්ගය අයිනේ හෝ සිල්ලර පලතුරු කඩයක විකුනනවා හැරෙන්නට අගය වැඩි ඇසුරුමක් තුළ ඇසිරූ දූරියන් මදුළු සුපිරි වෙළඳසැල් තුල අලෙවි කරන්නේද නැත. නමුත් අප අවට ඇති ආසියාතික රටවල තත්වය නම් මීට හාත්පසින්ම වෙනස් වේ. මදුළු වෙන්කොට හුරුබුහුටි රිජීෆෝම් දීසි තුළ බහා, පොලිතීන් වලින් වැසූ නිෂ්පාදනයන් එවන් රටවලදී මග දෙපස ඇති පෙට්ටි කඩවලින් පවා මිලදී ගත හැකිය. මීට අමතරව චොක්ලට්, අයිස්ක්‍රීම්, ජෑම්, චිප්ස් ආදී නානාප්‍රකාර අගය වැඩිකළ නිපැයුම් රාශියකි.

    ඔවුන්ගේ රටවල නිෂ්පාදනයන් ප්‍රමාණවත් නොවන නිසා විශාල වශයෙන් ඔවුහු දූරියන් ආනයනය කරති. විදේශ විනිමය සෙවීමේ නව මංපෙත්වලට ඉව අල්ලමින් සිටිනා අප මෙම පසුබිම නිවැරදිව කියවිය යුතුය. සාම්ප්‍රාදායික වැවිලි අපනයනයන් වන පොල් සහ රබර් දේශීය අවශ්‍යතාවයටවත් නොමැති තත්වයක් යටතේ අලුත් අපනයන බෝග ප්‍රවර්ධනයට අත තැබිය යුතුය.

    “කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනට දූරියන් ප්‍රභේද පහක් නිදහස් කරලා තියෙනවා. කසුන්, අඹතැන්න, හොරණ ජම්බෝ, හොරණ ගෝල්ඩ් සහ ගන්නොරුව ස්වීට් කියන්නේ මේ වර්ග පහ. මේවායේ බද්ධ පැල දැනට ඇති තරම් නිෂ්පාදනය කෙරෙනවා. ඒ වගේම විශාල වගා වශයෙන් දූරියන් වවන්නත් ව්‍යාපාරික මට්ටමේ වැවිලිකරුවන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අය අපනයන ගමනාන්තයන් පවා දැනට හඳුනාගෙන අවසන්. ඉතින් සාර්ථකත්වය සඳහා දූරියන් වගාකරුවන් නිසි තැන හඳුනාගෙන ගස් සිටුවන්නට ඕනෑ, ඒ වගේම නඩත්තුව හා සාත්තුව හොඳට කරන්න ඕනෑ.”

    ලෙස්ලි මහතා සඳහන් කරන පරිදි දූරියන් වගාවට සුදුසු වන්නේ හොඳින් ජලය බැසයන, ප්‍රමාණවත් හිරු එළියක් වැටෙන, මීට ඉහතදී රබර්, මඤ්ඤොක්කා වැනි වගාවක් නොකළ ඉඩමකි. රබර් හා මඤ්ඤොක්කා වලට වැළඳෙන ‘සුදු මුල් රෝගය’ දූරියන් ශාකයටද හානිකරය. දිලීරය දිගු කලක් පසෙහි නොනැසී තිබෙන අතර අලුත පැල කරන ලද දූරියන්, පළමු වසර හය තුළදී මෙම රෝගයට බෙහෙවින් පාත්‍ර වේ.

    “දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ.”

    වගාකරුවන් නම් මැවිසිලි නගන්නේ රාත්‍රියට පැමිණෙන කිරිවවුලන් දූරියන් ගසේ මල් ටික තලා බිම දමා විනාශ කර යන බව පවසමිනි. එහෙත් පලතුරු අභිජනන විද්වත් ප්‍රකාශයට අනුව වවුලන් නැත්නම් දූරියන් ඵලදාවක්ද නැත. එසේම මේ කතාවට අනුව, ඉඩ ඇති තැනක දූරියන් පැලයක් සිටුවා ගන්නටද අවසර නැත. ගෙදර වත්තේ වවාගෙන දූරියන් කන්නට නම් ගස් දෙකක් වවාගත යුතුවේ. එයද වර්ග දෙකකිනි. කන්නට අකමැති වුවත් වවන්නට කැමැති අයට, එය රසවත් කතාන්තරයක් වනු ඇත.

    ලබන සතියට

    සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.

  • Covid-19 එක්ක වර්ධනය වන ‘මානසික සෞඛ්‍ය ගැටලු’ ගැනත් අවධානය ඕනෑ

    Covid-19 එක්ක වර්ධනය වන ‘මානසික සෞඛ්‍ය ගැටලු’ ගැනත් අවධානය ඕනෑ

    මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති.

    විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති

    කොවිඞ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව තිබේ. එහෙත්, එහි ඇති තවත් සුවිසල් පැතිකඩක් පිළිබඳව මෙතෙක් කිසිවකුගේත් අවධානය යොමු වී නැත. එනම්, මෙම වසංගත තත්වය යටතේ ජනතාවගේ මානසික සෞඛ්‍යය බිඳ වැටීමේ අවධානම පිළිබඳව ය.

    ගියවර කොවිඞ් 19 වසංගතය පැතිර ගිය සමයේ කොවිඞ් 19 ආසාදනය වූ තම අසල්වැසියකු විශේෂිත ආරක්ෂිත ඇඳුම් කට්ටල හැඳගත් දෙදෙනකු විසින් ගිලන් රියකට නංවාගෙන යනු දුටු කාන්තාවක් ඉන් හටගත් මානසික කම්පනයෙන් යුතුව තම නිවස තුළට පිවිසි අතර ඉන් පිටතට ඒම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා ය. එපමණක් නොවේ. ජනමාධ්‍ය වලින් කොවිඞ් 19 පිළිබඳ තොරතුරු ඇසීම, දැකීම ප්‍රතික්ෂේප කළ ඇය කොරෝනා යන නම ඇසීමට පවා බියක් පළ කරනු දක්නා ලදී.

    පසුගිය මාස කිහිපය තුළ කොවිඞ් 19 පැතිරුණු සමයේ රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරිනියක් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂා කොට එහි රියැදුරුගෙන් කරුණු විමසීමට සැරසුණා ය. ඒ මොහොතේ එම රියැදුරු ආරක්ෂිත මුව වැස්මක් පැළඳ නොසිටි අතර පොලිස් නිලධාරිනිය හා කතා බස් කිරීමට ඔහු රථයේ රියැදුරු අසුන පැත්තේ වූ වීදුරුව පහත් කළේ ය. එවිට එම රථයේ වූ වායු සමීකරණය මුල් කොට ගත් ශීත හුමාලය පොලිස් නිලධාරිනියගේ මුහුණට වැදිණ. ඉන් පසු සේවය නිම කොට නිවසට ගිය ඇයට තදබල උණක් වැළඳුණි. ඒ සමඟම ඇය තම පවුලේ ඥාතීන්ට පවසා සිටියේ එම මෝටර් රථයේ රියැදුරු ගෙන් තමන්ට කොරෝනා ආසාදනය වූ අතර ඒ බව ඒ මොහොතේම තමන්ට ඉතා හොඳින් දැනුණු බවකි. කෙසේ හෝ මෙම රෝගී තත්වය යටතේ රෝහල් ගත කරන ලද මෙම පොලිස් නිලධාරිනිය ඡක්‍ඍ පරීක්ෂණයට ලක් කරනු ලදුව එමඟින් ඇයට කොවිඞ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු විය. එහෙත්, ඒ බව පිළි නොගත් ඇය ඉන්පසුව දිගින් දිගටම කියා සිටියේ කොරෝනා කෙසේ වෙතත් මේ වන විටත් තම ශරීරය තුළ කිනම් හෝ මාරාන්තික වයිරසයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ය.

    මා ඉහත සඳහන් කරන ලද්දේ හුදකලා සිද්ධීන් දෙකක් නොවේ. වත්මන් කොවිඞ් 19 වසංගතය මුල් කොට මෙබඳු සිද්ධීන් ජාලයක් අප සමාජය පුරා නිරන්තරවම සිදුවෙමින් පවතී. නමුදු මේවා මානසික අර්බුද හෝ මානසික රෝග ලක්ෂණ වශයෙන් හඳුනා ගෙන මනෝ වෛද්‍යවරුන් සහ මනෝ වෛද්‍ය සායන වෙත යොමු වනුයේ ඔවුන් අතුරින් ඉතා සීමිත පිරිසකි. සෙසු බහුතරය ගෙන් කොටසක් තුළ පවතින මෙවන් තත්ත්වයන් කෙටි කලකින් පහව යා හැකි නමුදු තවත් කොටසක් තුළ මේවා නිරන්තරව නැතහොත් මුළු ජීවිත කාලය පුරාම පැවතිය හැක. එය පොදු සමාජයීය මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් වුව අයහපත් තත්ත්වයකි.

    මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති.

    මෙහිදී කෝවිඞ් 19 ආසාදිතයන් ඇසුරු කරන සහ ඔවුන් හා නිතර ගැටෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතරින් සේම ගුවන් විදුලි සහ රූපවාහිනී මඟින් නිවසේ සිට මෙම පුවත් වලට සවන් දෙන්නවුන් අතරින් ද මෙවැන්නවුන් මතු විය හැක.

    කුමන හේතුවක් මත හෝ ඇතිවන මානසික පීඩනයන් මත ආතතිය (Stress) මුල්කොට ගත් විෂාද (Depression) සහ කාංසාත්මක තත්ත්වයන් (Anxiety) හට ගත හැකි අතර මේවා මානසික අර්බුද සහ රෝග කාරක ලෙස ද පැන නැඟිය හැක.

    එමෙන්ම විවිධ පුද්ගලයන් තුළ පැන නැඟිය හැකි කරදරකාරී ඇබ්බැහි වීම් හෙවත් ග්‍රස්තිමය ආබාධ (Obsessive Compulsive Disorder) සහ තමන් තුළ යම් රෝගයක් හෝ රෝග කිහිපයක් ඇතැයි යන මෝහමය සිතුවිල්ල (Hypochondria) සහ යම් යම් කරුණු මුල් කොට ඇතිවන අහේතුක බිය (Phobia) වැනි මානසික රෝග තත්වයන් මෙවන් කරුණු මුල්කොට ඉස්මතු විය හැකි අතර දැනටමත් පවත්නා එවන් තත්ත්වයන් වඩාත් තීව්‍ර ලෙසින් වර්ධනය විය හැක.

    තමන් ජීවත් වන පරිසරය මුල් කොට ගත් සංවේදීතාවයන් ප්‍රධානතම හෙවත් සයිකෝසීය මානසික රෝග (Psychotic disorder) කෙරෙහි ද සෘජුවම බලපැවැත්වෙන බැවින් මෙම වසංගත රෝග තත්වය ඔවුන් ගේ මානසික සෞඛ්‍ය තත්වය තව දුරටත් බිඳ දැමීමට සමත් වෙයි.

    මෙවන් වසංගත රෝග තත්වයන් සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ආරෝපණයන් සිදුකිරීම අප ජන සමාජයේ අතීතයේ සිට සිදු වූවකි. පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී වසංගත රෝග දෙවියන් ගේ ලෙඩ යනුවෙන් හැඳින්වීම ඒ සඳහා වන කදිම නිදසුනකි. එහි දී එම රෝග සම්න්ධයෙන් සිදු කරනු ලබන ගුප්ත විශ්වාස මත පදනම් වූ අභිචාර විධි සහ ශාන්ති කර්ම මඟින් එම රෝග වලට ලක්වන පුද්ගලයන් සහ ඔවුන් ගේ පවුල්වල ඥාතීන් මානසික බිඳ වැටීම් වලින් අත්මිදී යහපත් මනෝ කායික ප්‍රතිශක්තියක් ස්ථාපිත කරගත් බව පැහැදිලි ය. දිගු කාලීනව කෙසේ වෙතත් ඒවා යම් තාවකාලික සහනයක් ලද හැකි නොවිධිමත් මනෝ චිකිත්සාවන් ලෙස සැලකිය හැකි ය.

    ඒ කෙසේ වෙතත් මෙබඳු වසංගත රෝග තත්ත්වයන් නිසා හටගන්නා දැඩි මානසික පසුබෑම් හා බිඳවැටීම් තත්ත්වයන් මත යමකු තුළ පවත්නා ජීවිතාශාව පවා අවප්‍රමාණ වීමේ පැහැදිලි හැකියාවක් පවතී. විශේෂයෙන් එය මුල් කොට පැන නඟින තීව්‍ර විශාද තත්වයක් යටතේ තමන් ගේ සුපුරුදු දෛනික කටයුතුවලින් ඉවත් වීම, වෙනත් රෝගාබාධ සඳහා ගනු ලබන ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම ආදී හේතු මත ඔවුන් තුළ නොයෙකුත් කායික රෝගාබාධ උත්සන්න වීමේ වැඩි නැඹුරුවක් තිබේ. එමෙන්ම මෙවන් දැඩි කායික මානසික බිඳ වැටීම් වල දී යමකුගේ ශරීරයේ පවත්නා ප්‍රතිශක්තිය බිඳ වැටීම, අලුතින් රෝග හට ගැනීමට, දැනට හටගෙන ඇති රෝග උත්සන්න වීමට සහ එසේ වීමෙන් ඒ තැනැත්තා අකල් මරණයකට ලක්වීමට වුව පුළුවන.

    දැනට කොවිඞ් 19 වසංගතය පවත්නා ලොව සෑම රටක පාහේ එම වසංගතය මුල් කොට බිඳ වැටෙන ජනතාවගේ මානසික සෞඛ්‍යය පිළිබඳව විවිධ මට්ටම් වලින් අවධානය යොමු වන අතරේ දේශපාලන, නිලධාරී හෝ පුරවැසි මට්ටමින් අපේ රටේ සියල්ලන්ම පාහේ ඒ පිළිබඳව වගේ වගක් නොමැතිව නිසොල්මන්ව සිටීම අප රටේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයේ දියුණුව මැනවින් කියා පාන්නකි.

  • ‘සහල් හිගය සහ මාෆියාව ගැන’ ඔබ දැනගත යුතුම කතාවක්

    ‘සහල් හිගය සහ මාෆියාව ගැන’ ඔබ දැනගත යුතුම කතාවක්

    සහල් හිගය‘ යළිත් ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන අතර ආණ්ඩුව ද ගැසට් පිට ගැසට් ගසමින්, නිලධාරීන් සමග නිමක් සාකච්ඡා කරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහා කරමින් සිටී. ඊට හේතුව වන්නේ වසංගත තත්ත්වය සමග ඇති ආහාර සුරක්ෂිතභාවය පිළිබද උනන්දුව නිසා ජනතාව වෙනදාට වඩා වැඩියෙන් සහල් රැස්කර තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන නිසා මේ අවස්ථාවේ සහල් හිගය ‘වඩාත් සංවේදී‘ වීමයි.

    ‘ගණන් බල බලා ඉන්න බැහැ. ලුණු බතුයි හරි කන්න හාල් ගෙදර තියෙන්නේ ඕනෑනේ. ඒ නිසා කියන ගාණකට අරං යනවා‘ මෙම ලියුම්කරු සමග අදහස් දැක්වූ කඩවත නාගරිකයෙක් කීවේය. හෙට (09) සිට කඩවත පොලිස් බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ‘හුදකලා‘ කරන නිසා ඔහුගේ උත්සාහය තම ගෘහයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමය.

    ‘සම්බා හාල් ඇත්තෙම නැහැ. අරලිය හාලුත් නැහැ. එක එක නම් වලින් හාල් වර්ග තියෙනවා. ඒත් ගාණ වැඩියි. ඒත් මොකද කරන්නේ. ? මේ වෙලාවේ මේ ටිකවත් ගෙදර අරං නොගියොත් හෙට ඉදන් හදේ හාල් තමයි කන්න වෙන්නේ‘ ඔහු සමග පැමිණ සිටි බිරිද කීවාය.

    සහල් මිල පාලන ගැසට්, පාලන මිල සහ සහල් හිගය ගැන දුරකථනය මගින් විස්තර විමසූ විට බොහෝ දෙනකුගේ පොදු මැසිවිල්ල කඩවත නාගරිකයාගේ මැසිවිල්ලම විය.

    ‘ගැසට් ගැහුවට වැඩක් නැහැ. අපිවත් ගැසට් එකේ ගාණ දන්නේ නැහැ‘ රජයේ විධායක නිලයක් දරන හොරණ මිතුරියක් කීවාය.

    ‘මෙයාලා බලයට පත් වුණාට පස්සේ හාල් මිල පාලනේට ගැසට් නම් කීයක් ගැහුවද ? කෝ එකකින් වත් වැඩක් වුණා ද ? බොරු බයිලා‘ වත්තල නගරයේ දුරකථන උපාංග අලෙවිසැලක් පවත්වා යන අයෙක් කීවේය.

    ‘ගැසට් ගහලා, පාලන මිල දාලා වැඩ කරන්න පුළුවන් නම් ඉතිං හොදා. ඒත් ඒවා තියරි විතරයි. ප්‍රායෝගික නෑ. මට පේන්නේ මේ ආණ්ඩුවත් රජ්ජුරුවන්ට සුදු හකුරු හැදුව මිනිහා වාගේ. කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි‘ නීතිඥයෙකු වන හොරණ මිතුරෙක් කීවේය.

    මේ කතා ගොන්න අතරට අලුත්ම තාලේ කතාවක් එක් කළේ වසර කිහිපයක් විදේශගතව සිටි පැමිණ සිටින ගණකාධිකාරිවරයෙකි.

    ‘සහෝදරයා ඔයාවත් ඇත්ත ලියන්න. හාල් කියන්නේ පුම්බන බැලුමක් වාගේ කතාවක්. ඇත්තටම ගෙදරක හාල්වලට යන මාසික වියදම ඩේටා බිලටත් වඩා අඩුයි. මගේ නිරීක්ෂණේ හැටියට පවුලක අත්‍යවශ්‍ය භාණ්ඩ වියදම්වලින් 10%ක්ටත් වඩා අඩුයි. අනික හාල් හැම පවුලකට ඉෂු එකක් නෙමෙයි. නාගරිකයින්ට, (ඔහු අදහස් කළේ මහල් නිවාස, වතු නිවාස ආදිය ගැන විය හැකිය) ඉහළ මධ්‍යම පන්තියට මේක අදාළම නැහැ. රොටි කන වතුකම්කරුවන්ට, මුස්ලිම් ජනතාවට, පාන් කන කතෝලික ජනතාවට, උතුරු නැගෙනහිර ජනතාවට මේක අදාළම නැහැ. එතකොට ඔය නිලධාරීන් කියන්නේ වී වගා කරන ගොවි පවුල් ලක්ෂ ගාණක් ඉන්නවා කියලනේ. එතකොට ඒ අයට මේක කොහොමටවත් අදාළ නැහැ. ඇත්තටම මට තේරෙන්නේ නැහැ හාල් ගැන මහ අවුලක් තියෙන හාල්පාරුවෝ කවුද කියලා‘

    ඔහු කාලක සිට මා හමුවේ දිග හැරීමට පුලපුලා බලා සිටි කතාවක් ජංගම දුරකථනය ඔස්සේ රළු එහෙත් කිසියම් හාස්‍යජනක ස්වරයෙන් කීවේය.

    තවත් සිය දෙනෙකුට කතා කළත් ලැබෙන පිළිතුරු ගණන ද සිය ගණනක් නිසා මිතුරන් අමතා අදහස් ලබා ගැනීම නතර කිරීමට සිදුවිය. එහෙත් මෙහි අවසානයට කරුණු දැක්වූ මාගේ ගණකාධිකාරී මිතුරා කී කතාව ගැඹුරින් අධ්‍යනය කළ යුතු කරුණක් බව මට දැඩිව දැනුණේය.

    ගැසට් පිට ගැසට් ගැහුවත් නෑ රිසාල්ට්

    රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත්වී වෙළදපොළ පාලනය වත්මන් ලෝකයට ‘අදාළම‘ නැති කරුණක් බව දශක කිහිපයක් තිස්සේ ප්‍රත්‍යක්ෂ වූ කරුණක් වුවත් කිසිදා පාඩම් ඉගෙන නොගන්නා ලංකාවේ පාලකයින් සහ ‘කේවට්ට උපදේශකයින්‘ දිගින් දිගටම පෞද්ගලික අංශයේ මිල පාලනයට රාජ්‍ය මැදිහත්වීම් (ගැසට් මගින් උපරිම හා අවම මිල නියම කිරීම) පුරුද්දක් ලෙස කරන්නේය.

    එය සිදුවන්නේ මේ ඊනියා නිලධාරීන්ගේ සහ කේවට්ට උපදේශකයින්ගේ ‘නිල‘ බලය හෝ රැකියාව මත පටවා ගත් අධිකාරී බලය ප්‍රදර්ශනය කිරීමට මිස යථාවබෝධයෙන් නොවන බව සාමාන්‍ය විචාර බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පෙනේ. එහෙත් දේශපාලනඥයින්ට මේ ගැන නොවැටහීම හෝ දිගින් දිගටම කේවට්ට නිලධාරීන් ‘ලණුකෑම‘ සිදුවන්නේ ජනතාවගේම ‘අභාග්‍යයට‘ බව පෙනේ.

    උදාහරණයක් ලෙස පසුගිය කොවිඩ් පළමු රැල්ල ආ විට පරිප්පු සහ සැමන් සදහා ජනපතිවරයාම ජාතිය අමතා කළ ‘පාලන මිල‘ සැලකිය හැකිය. ‘අද රෑ සිට මිල අඩු කළ යුතුයි‘ කියා වෙළෙදුන්ට නියෝග නිකුත් කිරීමට තරම් ‘ප්‍රායෝගික අධිකාරී බලයක්‘ වත්මන් රාජ්‍යයට නැති බව ජනපතිවරයාට නොවැටහීම පුදුමක් වුවත් එකී මිල පාලනයට උපදෙස් දුන් කේවට්ට නිලධාරීන්ට නොවැටහීම ද පුදුම සහතය.

    අද සහල් සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ ඊනියා නිලධාරීන්ගේ කේවට්ට උපදෙස් දීමක් මිස ඉන් එහාට ගිය යමක් නොවන බව පැහැදිලි වන්නේ මීට ඉහතින් උපුටා දක්වන ලද ගණකාධිකාරී මිතුරාගේ කතාව නිසාය.

    මාස 11කට සහල් මිල පාලන ගැසට් 04ක් !

    දැන් මුල් කතාවට පැමිණිය හැකිය. වත්මන් ආණ්ඩුවට බලයට පත් වූ කෙටි කාලය තුළ සහල් මිල පාලනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් සංඛ්‍යාව 04කි !

    1. 2019 දෙසැම්බර් 19 වනදා සිට බලපැවැත්වෙන අංක 2154/19 යටතේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් පරිදි සුදු/රතු සම්බා (කීරි සම්බා සූදුරු සම්බා හැර ) සහල් සදහා පාලන මිල කිලෝ එක රුපියල් 98 ක්ද සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 98 ක්ද විය.
    2.  2020 අප්‍රියල් 10 වනදා අංක 2170/7 ගැසට් පත්‍රය – කීරි සම්බා කිලෝ එකක මිල රුපියල් 125ක් ලෙසද සුදු/රතු සම්බා කිලෝ එක රුපියල් 90ක මුදලකටත් සුදු/රතු නාඩු කිලෝ එක රුපියල් 90කටද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 90කටද සුදු/රතු කැකුළු සහල් කිලෝව රුපියල් 85ක්ද විය.
    3. 2020 මැයි 28 වන දින අංක 2177/9 ගැසට් පත්‍රය – කීරි සම්බා කිලෝ එක රුපියල් 120කටද සුදු/රතු සම්බා කිලෝ එක රුපියල් 98කටද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 98ක මිලකටත් සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 96කටත් සුදු/රතු කැකුළු සහල් කිලෝව රුපියල් 93ක්ද විය. 
    4. 2020 නොවැම්බර් 04 වන දින අංක 2200/3 ගැසට් පත්‍රය – සුදු/රතු සම්බා සහල් කිලෝ එක රුපියල් 94ක්ද සුදු/රතු කැකුළු සම්බා කිලෝ එක රුපියල් 94ක්ද සුදු/රතු නාඩු සහල් කිලෝ එක රුපියල් 92ක්ද සුදු/රතු කැකුළු සහල් කිලෝ එක රුපියල් 89ක්ද විය.

    ඉහත දැක්වෙන්නේ වත්මන් ජනපතිවරයා බලයට පත් වූ වසරකට ආසන්න කාලය තුළ සහල් මිල පාලනය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදන 04යි. එහි අන්තර්ගතය ගැන සැසදීමක් කිරීම සහ අදාළ කාලය තුළ අදාළ සහල් වර්ග මිලට ගත් සැබෑ මිල පිළිබද මතකය අවධි කර ගැනීම පාඨක ඔබට භාර දෙමින් කතාව තව දුරටත් ඉදිරියට කරගෙන යා යුතුය.

    බත් කෑම අඩු වෙලා

    මේ සංවාදය ආරම්භ කිරීමට පෙර මාගේ ගණකාධිකාරී මිතුරා මතු කළ ප්‍රශ්නය වෙත යළි යා යුතුය. ඔහු කියන්නේ තමා මාසිකව උපයන ආදායම සහ මාසිකව සහල්වලට වැය කරන මිල අතර දැවැන්ත පරතරයක් ඇති ලංකාවේ 20%ක් වන මධ්‍යම පන්තියට සහ ඉහළ පන්තියට සහල් මිල ඉහළ යාම නොව සහල් / බත් කෑම පවා ගැටලුවක් නොවන බවයි.

    ‘ඉහළ පන්තියේ මිනිස්සු කොහොමටත් බත් කන්නේ නැහැ. මධ්‍යම පංතියේ මිනිස්සු උපයන ඉහළ අදායම නිසා හාල් පිරිප්පු සැමන් මිල ඔවුන්ට අදාළම නැහැ. මං දන්න විදිහට මුස්ලිම් මිනිස්සු බත් කන්නේ අඩුවෙන්. මීගමුව – වත්තල වාගේ පැතිවල කතෝලික ජනතාව වැඩියෙන් කන්නේ පාන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන. වතුකරයේ ජනතාව බත් වෙනුවට කන්නේ රොටි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තෝසේ වගේ දේවල්. කොළඹ නාගරිකයෝ වගේම මුඩක්කු ජනතාව කන්නේම කඩෙන්. ඒ කොත්තු වාගේ දේවල්. ගාමන්ට් යන කෙල්ලෝ ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට ඔය කියන විදිහට කඩෙන් හාල් ගෙනත් බත් කන්නේ කවුද ? අනික ලංකාවේ වී වගා කරන පවුල් ලක්ෂ ගාණක් ඉන්නවා කියලා තමයි නිලධාරීන්ගේ සංඛ්‍යා ලේඛනවල තිබෙන්නේ. එතකොට ඔවුන්ටත් මේ සහල් මිල අර්බුදයක් වෙන්න බැහැ. ඇත්තටම මේක ‘ජාතික අර්බුදයක්ද ? එහෙම නැතිනම් එක සමාජ ස්ථරයක අර්බුදයක් ද ? මං කියන්නේ මේ ගැන ගැඹුරින් සොයා බැලිය යුතුයි කියලා‘

    මේ සහල් මිල, සහල් හිගය ගැන වඩාත් විද්‍යාත්මක අදහස් ලබා ගැනීමට කළ උත්සාහයකදී දකුණු හා අග්නිදිග ආසියාවේ සංවර්ධන සන්නිවේදන සහ ග්‍රාමීය සංවර්ධන නියෝජිතායතනයේ විධායක අධ්‍යක්ෂ (හැනෝයි) ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා පළ කළ අදහස්. එහිදී ඔහු නොකියා කියන්නේ ‘සහල් අර්බුදය යනු වෙන අර්බුදයක ප්‍රකාශනයක් බවයි‘

    ‘මම මෙහෙම අහන්නම් කෝ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2018 වාර්තාවට අනුව ලංකාවේ නිවසක සාමාන්‍ය සහල් අවශ්‍යතාව වෙන්නේ (2016) කිලෝ 33.1යි. වැදගත්ම දේ තමයි මේ අගය 2009/10 තිබුණේ කිලෝ 36.3ක් විදිහටයි. ඒ කියන්නේ අවුරුදු 06ක් යන කොට ලංකාවේ ගෘහයක සාමාන්‍ය සහල් පාරිභෝජනය කිලෝ 36.3 සිට 33.1 දක්වා අඩුවෙලා තිබෙනවා. මේ සහල් පාරිභෝජනය පහළ යාමට සාපේක්ෂව ප්‍රෝටීන් ආහාර වන මස් පාරිභෝජනය 2009/10දී කිලෝ 1.4 සිට 2016 වන විට කිලෝ 1.8 දක්වාත්, මාළු පාරිභෝජනය කිලෝ 3.8 සිට 2016 දී 4.1 දක්වාත් බිත්තර පාරිභෝජනය 2009/10 බිත්තර 10 සිට 2016 වන විට බිත්තර 12 දක්වාත් වැඩි වෙලා තිබෙනවා.

    සහල් පාරිභෝජනය අඩුවීම සහ ප්‍රෝටීන් ආහාර සදහා ඉල්ලුම ඉහළ යාම හුදු අහඹු තත්ත්වයක් නොවෙයි. මේකට හේතු වශයෙන් හේතු කිහිපයක් දැක්විය හැකියි. අදායම් මට්ටම ඉහළ යාම, සෞඛ්‍යමය හේතු (දියවැඩියාව) ඊට ප්‍රධාන වෙනවා. මේ තත්ත්වය අඛණ්ඩව සිදුවිය හැකියි. අද සහල් ගැන, වී වගාව ගැන මහත් ඉහළින් කතා කරන අය මේ වෙනස් වීම් ගැන වඩාත් සංවේදී විය යුතුයි.

    මේ තත්ත්වය තුළ මගේ මෙහිදී තර්කය වෙන්නේ රුපියල් 100 ගානේ සහල් මිලදී ගත්තත් සාමාන්‍ය ගෘහ ඒකකයට මාසිකව යන්නේ රුපියල් 3500ට අඩු මුදලක්. පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව අඩුවැඩි වීම මත මේක වෙනස් විය හැකියි. ඒත් අපි හොදටම දන්නවා අද ලංකාවේ සාමාන්‍ය ගෘහ ඒකකයකට රුපියල් 3500ක් කියන්නේ තමන්ගේ සාමාන්‍ය මාසික ආදායමෙන් ඉතා සුළු කොටසක් කියලා‘

    වී වගාව සම්බන්ධ දත්තවල බරපතළ ගැටලු

    මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් මතුකරන තර්කය වන්නේ ආණ්ඩුවේ නිලධාරීන් වී වගාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවල පැහැදිලි ගැටලු තිබෙන බවයි.

    ‘මේක දීර්ඝ කාලයක් පුරා තිබෙන ගැටලුවක්. ලංකාවේ වී වගා බිම්වලින් කොපමණ ප්‍රතිශතයක් තමන්ගේ ගෘහ පාරිභෝජනයට පමණක් වී වගා කරන පුද්ගලයින්ට අයත් ද කියලා දත්ත තිබෙනවාද ? මං හිතන්නේ නැහැ. මං දන්න ගම්පහ කුඹුරු වලින් වැඩි ප්‍රතිශතයක් තමන්ගේ ගෘහ පාරිභෝජනයට වී වගා කරන අයවලුන්ටයි අයත් වෙන්නේ. ඒක සෑම දිස්ත්‍රික්කයකම පොදු තත්ත්වයක්. අනුරාධපුරය, පොළොන්නරුව පළාත්වල වී ගොවියොත් තමන්ට කන්න හාල් තියා ගන්නවා. එතකොට මේ වගේ වී වගාවට ඍජුව සම්බන්ධ තවත් පවුල් ලක්ෂ ගාණක් ඉන්නවා සහල් මිල ගැන අර්බුදයක් නැති. මේක තමයි අපි මුලින්ම නිරාකරණය කරගත යුතු ප්‍රශ්නය‘

    අනෙක් කාරණය වී වල සැබෑ නිෂ්පාදිතය. නිලධාරීන් කියන සාමාන්‍යකරණය කළ සංඛ්‍යා ලේඛන නිවැරදි නැහැ. ඒක ඉතාම පැහැදිලියි. ඒත් ප්‍රශ්නේ වෙන්නේ මේ දත්ත මතයි ආණ්ඩුව තීරණ ගන්නේ. මං නැවත ප්‍රශ්න කරන්නේ පසුගිය දශකයේදිවත් සහල් පාරිභෝජනයේ සිදුවුණ වෙනස්කම් ගැන ජාතික වශයෙන් පිළිගත හැකි සමීක්ෂණයක් සිදුවෙලා තිබෙනවාද ? ඒ දත්ත තියෙන්නේ කා සතුවද ? එහෙම ඒවා තිබෙනවා නම් අදාළ ආයතන විසින් ඒවා ජනමාධ්‍ය වෙත මුදා හැරිය යුතුයි. මොකද පසුගිය දශකය තුළ ජනතාවගේ අදායම් මට්ටම් ඉහළ ගියා නම් පැහැදිලිව සහල් පාරිභෝජනය අඩුවිය යුතුයි. මං ඉහතින් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන මගින් එය මනාව තහවුරු වෙනවා. ඒ වගේම දියවැඩියාව වාගේ බෝ නොවන රෝග නිසා සහල් පාරිභෝජනය අඩුවිය යුතුයි. නාගරීකරණය නිසා, මිනිස්සු වැඩි වැඩියෙන් කඩෙන් කන්න යොමුවීම නිසා සහල් පාරිභෝජනය පැහැදිලිවම සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවිය යුතුයි. මොකද අපි හොදටම දන්නවා මේ වන විට පාරවල් දෙපැත්තේ, හන්දියක් හන්දියක් ගානේ, ග්‍රාමීය නාගරික භේදයකින් තොරව කොත්තු කඩ බිහිවෙලා තිබෙනවා. පොඩි පොඩි පෙට්ටි කඩවල ඉදිආප්ප, නූල්ඩ්ස් වාගේ කෑම විකුණනවා. මේවා මිලදී ගන්න පවුල් පැහැදිලිව බත් වලින් ඉවත් වෙමින් සිිටිනවා. වැඩිහිටි ජනගහනය අඩුවෙන කොටත් පැහැදිලිව බත් කෑම අඩු වෙනවා. මේ ගැනත් ප්‍රක්ෂේපණය කරමින් තමයි සහල් ගැන තීන්දු ගත යුත්තේ. එහෙම නැතිව දේශපාලනඥයින් සතුටු කරන්න හරි තමන්ගේ රක්ෂාව බේර ගන්න හරි පුහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ජාමේ බේරා ගැනීම නෙමෙයි‘

    කමතෙන් ගත්ත වී ටික කෝ ?

    ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ බත් කෑම අඩුවීම සහ සහල් පාරිභෝජනය ගැන ඉහත සදහන් පරිදි තර්ක කරද්දී වී සම්බන්ධ තීන්දු – තීරණ ගන්නා සෑම නිලධාරී හමුවකදීම කියනු ලබන්නේ ‘වී ඇති තරම් නිෂ්පාදනය‘ වන බවයි. එනම් ‘රට සහලින් ස්වයංපෝෂිත‘ බවයි.

    එසේ නම් අපි දන්නා කියන කාලයේ සිට මාස කිහිපයකට වරක් සහල් හිගයක්, මිල ඉහළ යාමක් සිදුවන්නේ ඇයි ? කුඹුරෙන් කමතට ගත් වී ටික ‘බහිරවයා ගිල්ලද ?‘

    මෙහිදී මේ ගැන උනන්දුවක් දක්වන සහ අවධානයෙන් සිටින පුද්ගලයින් පෙන්වා දෙන කරුණු කිහිපයකි.

    1. නිලධාරීන් කියන තරම් සහල් නිෂ්පාදනයක් සැබවින්ම රට තුළ සිදු නොවීම
    2. ජාතික දත්තවල සදහන් වන පරිදි වී වගා වපසරියක් රට තුළ සැබවින්ම නොපැවතීම
    3. වගා හානි සහ ගොවියාගේ නොසැලකිල්ල නිසා අපේක්ෂිත නිෂ්පාදනය සිදු නොවීම
    4. අදාළ කන්නයේ වී 100%ක්ම අලෙවියට නොපැමිණීම (පුද්ගලික අංශය සහ වී අලෙවි මණ්ඩය) නොලැබීම
    5. ජාතික වී නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පුද්ගලික / ගෘහ පාරිභෝජනය සදහා පමණක් වීම (මේ ගැන ජාතික වශයෙන් දත්ත ලබාගත හැකි නම් තර්කය වඩාත් ප්‍රබලව ඉදිරිපත් කළ හැකිය)
    6. සමපේක්ෂණ/ මිල ඉහළ යන තෙක් ඇතැම් වී ගොවීන් වී ගබඩාකර තබා ගැනීම
    7. සත්ව ආහාර හෝ මත්පැන් නිෂ්පාදනය සදහා ‘හොර පාරෙන්‘ වී තොග පිටවීම
    8. කාබනික ගොවිතැන, දේශීය වී වගාව ආදි ප්‍රවණතා නිසා ඇතැම් විට නිෂ්පාදනය දුර්වල වීම

    ඉහත සදහන් කරුණුවලට අමතරව තවත් කරුණු කමතේ වී සැබවින්ම සහල් වී වෙළෙදපොළට නොපැමිණීම සම්බන්ධයෙන් තිබිය හැකිය. මේ ගැන පර්යේෂණ කිරීම අදාළ වෘත්තිකයින්ට ඉඩ තබා ප්‍රශ්තුතය වෙත පැමිණිය යුතුය.

    වී ටික සත්ත්ව ආහාරවලට දුන්නා

    ආණ්ඩුව සහ නිලධාරීන් මොන තරම් සුන්දර කතා කීවත් වී ගොවියා යනු ‘ ලාභය අරමුණු කරගත් ආර්ථික කටයුත්තක නිරතව තව තවත් එක් නිෂ්පාදකයෙක් පමණක්‘ බව වටහා ගත යුතුය. ඔහු වී වගාවට වැය කරන ශ්‍රමයට, දරන ආයෝජනයට මෙන්ම නිෂ්පාදන සාධක එක්රැස් කිරීම වෙනුවෙන් (ව්‍යවසායකත්වය) ලාභයක් ද ලැබිය යුතුය. මෙය ආර්ථික විද්‍යාව අනුව ද ගැළපේ. එයින් අදහස් වන්නේ ඉතාම පැහැදිලිව ගොවියා වී අලෙවියෙන් පැහැදිලි ලාභයක් ලැබිය යුතු බවයි.

    (එහෙත් මේ ගැන වෙනත් සංවාදයක් ද තිබේ. එනම් ලංකාවේ කිසිම නිෂ්පාදකයෙකු නොලබන සහන සහ වරප්‍රසාද වී ගොවියා ලබන බවයි. උදාහරණයක් ලෙස ඔහුට වී වගාවට අවශ්‍ය සම්පූර්ණ ජල ප්‍රමාණය නොමිලේ ලැබෙන අතර අන් සියලුම නිෂ්පාදකයින් ජලය සදහා මිලක් ගෙවිය යුතුය. වී වගාව සදහා වගා උපදෙස් නොමිලේ ලැබෙන අතර බොහොමයක් නිෂ්පාදකයින් ඒ සදහා ද මිලක් ගෙවිය යුතුය. වී වගාවට වාර්ෂිකව රුපියල් කෝටි 3500ක පමණ පොහොර සහනාධාරයක් ලැබෙන අතර වෙනත් කිසිම නිෂ්පාදකයෙකුට එවැනි වරප්‍රසාදයක් නැත. මේ සමග කැබිනට් ඇමතිවරු ගණනාවක් ද ( කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි සංවර්ධන) රාජ්‍ය ඇමැතිවරුන් ද ඍජුව වී වගාව පදනම් කරගෙන සිටින අතර සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළ රාජ්‍ය සේවකයින් 30,000කට ආසන්න පිරිසක් වී වගාව වෙනුවෙන් (එළවළු ද ඇතුළත් කළවිට) කැපවී සිටී. එහෙත් 2019 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය තුළ ‘වී වගාවේ‘ දායකත්වය 0.7%කි. ඒ බව ඉහත සදහන් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙන් මනාව පැහැදිලි වේ)

    වී ගොවියා යනු ‘ලාභ නොලබන සංවිධානයක් නොවේ. ඔහු රජයෙන් කොපමණ දේ නොමිලේ සහ සනධාර ලෙස ලබා ගත්ත ද වී අලෙවියේදී හැසිරෙන්නේ ‘ඉහළම ලාභය‘ අරමුණු කරගෙනය. ඒ ගැන චෝදනා කිරීමට හෝ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත්තේ සියලු දෙනා හැසිරෙන්නේ ‘උපරිම ලාභය‘ අරමුණු කරගෙන වීම නිසාය.

    මෙහිදී වී ගොවියා පහසුවෙන් බලනුයේ තමන්ගේ වී ටික ‘හැකි ඉක්මනින් මුදල් කර ගැනීමට‘ය. මේ ගැන මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ හම්බන්තොට පැත්තේ අක්කර 15ක පමණ වී වගා කරන, කොළඹ රාජ්‍ය ආයතනයක සුළු සේවකයෙකු සිනාමුසුව කියා සිටියේ,

    ‘කමතේදීම වී ටික විකුණන එක ගොඩක් අයට වාසියි. ගෙදරට ගෙනියන්න යන වියදම, ගෝණිවලට යන වියදම, වේලන්න යන වියදම, ගබඩා කරන්න යන වියදම වාගේ වියදම් ගණන් බැලුවම වී ටික කමතේදීම විකුණන එක ගොවියට වාසියි‘ කියාය.

    ඔහු එහිදී කියා සිටියේ මුදල් අහේනියක් නැති තමා කමතේදීම වී විකුණා දැමීමට එතරම් උනන්දුවක් නොදක්වන බවයි.

    ඉහත කතාව ගැන සංවාදය පසෙක තබා වත්මන් සහල් හිගය ගැන අවධානය යොමු කිරීමේදී හෙළි වූ වැදගත් කරුණක් වූයේ ‘වී ටික කුකුල් කෑමවලට වික්කා‘ යන කතාවයි.

    මේ ආකාරයෙන් කුකුල් කෑමවලට වී විකුණා ඇත්තේ ගොවීන් නොව ගොවීන්ගෙන් වී මිලට ගත් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසිනි. (මෙහිදී ලියුම්කරු සමග අදහස් දැක්වූ කුකුල් කෑම ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ඇතැම් මහා පරිමාණ මෝල් හිමියන් ද කුකුල් කෑම සදහා තමන් සතු වී තොග අලෙවි කරන බවයි)

    ‘මේක අපිට ලාභයි. අපි ගොවියගෙන් වී ගන්න ඕනෑ ආණ්ඩුව කියන සහතික මිලට. සේවක වැටුප්, ගබඩා, ප්‍රවාහන වියදම්, කාර්යාල කුලී, විදුලිබිල් වාගේ වියදම් අපි දැරිය යුතුයි. ඒ සියල්ල එක්ක තමයි අපි සහල් කිලෝවක විකුණුම් මිල තීරණය කරන්නේ. ඒ සේරටම වඩා අපිට ගොවියගෙන් ගත්ත ගමන් කුකුල් කෑමවලට වී දෙන එක ලාභයි‘

    මෙහිදී ඔහු කියා සිටියේ මෙරට කුකුල් කෑම සදහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිගු මිලට ද ආණ්ඩුව ඉහළ පාලන මිලක් දැමීම සහ ආනයනයට සීමා පැනවීම නිසා කුකුල් කෑම නිෂ්පාදන කර්මාන්තය ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින තත්ත්වයක් තුළ වී කුකුල් කෑම බවට පත් කිරීම ඔවුන්ට ලාභදායක බවයි.

    එහෙත් රජය ද මේ ව්‍යාපාරය ගැන සංවේදී වී ඇති බව වැටහුණේ 2020 ජූලි 23 වනදා අංක 2185/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් දේශීයව නිපදවන සහල් හෝ වී, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිතා කිරීම හෝ අන්‍යාකාරයෙන් සත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිතා කිරීම සඳහා, හෝ විකිණීම, විකිණීම සදහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවට සියළු නිෂ්පාදකයින්, වෙළදුන් සහ බෙදාහරින්නන් දැනුවත් කර තිබීම නිසාය.

    කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශවීමේ බරපතල අවදානමක් -  ColomboXnews

    මේකෙන් දැනෙන බලපෑමක් නෑ

    එහෙත් මේ සම්බන්ධයෙන් අප කුකුල් කෑම නිෂ්පාදනයට සම්බන්ධ විශේෂඥයෙකුගෙන් විමසා සිටි විට ඔහු කියා සියියේ ‘ඒක ඒ තරම් සාර්ථක දෙයක් නෙමේ. වී කියන්නේ බඩඉරිගුවලට සාර්ථක ආදේශකයක් නොවන බවයි.

    ‘ලංකාවේ කුකුළු පාලනය කියන්නේ අති දැවැන්ත, වේගයෙන් වර්ධනය වෙන කර්මාන්තයක්. ඒකට වාර්ෂිකව බඩඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් විතර ඕනෑ වුණා. ආණ්ඩුව දේශීය බඩඉරිගු අලෙවි මිල ඉහළ දැමීම සහ ආනයනය පාලනය කිරීම නිසා තමයි අර්බුදය ඇති වුණේ. ඒත් ලංකාව වාර්ෂිකව වී මෙට්‍රික් ටොන් (මෙට්‍රික් ටොන් එකක් යනු කිලෝ 1000කි) ලක්ෂ 44කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ නිසා කුකුල් කෑමවලට එයින් මෙට්‍රිික් ටොන් ලක්ෂ 04-5ක් ගත්තත් සහල් වලට දැඩි බලපෑමක් වෙන්න බැහැ. මොකද ඕනෑම කර්මාන්තයක 10%ක් වාගේ අඩුවීමක් දැවැන්ත හිගයකට හේතු වෙන්නේ නැහැ. අනික සහල් ඉල්ලුම වාර්ෂිකව ඉතාම පැහැදිලිව පහළ යමින් තිබෙනවා. ඒ නිසා සත්ත්ව ආහාරවලට වී වික්ක නිසා සහල් හිගයක් ඇති වුණා කියන එක පදනම් විරහිත කතාවක්. ඒක එහෙම වෙනවා නම් මම පුද්ගලිකව කැමතියි. මොකද බිත්තර සහ කුකුල් මස් කර්මාන්තය කියන්නේ ඉතාම වේගයෙන් වර්ධනය වන, රැකියා සහ ව්‍යාපාරික අවස්ථා ගණනාවක් බිහිවන කර්මාන්තයක්. රජයට ඒ ගැන බරක් නැහැ. සහනාධාර දෙන්න වුවමනා නැහැ. අනික් අතින් මේ රටේ ජනතාව බිත්තරවලට සහ කුකුල් මස්වලට ප්‍රමුඛතාවක් දෙනවා. රුපියල් 100ක් වෙන එළවළු කෑම එකක් එකපාරට රුපියල් 150ක් වෙන්නේ පුංචි කුකුල් මස් කෑල්ලක් නිසා. ඇත්ත ඒකයි. ජනතාව බත් එක්ක කුකුල් මස් කනවාට වඩා කුකුල් මස් එක්ක බත් කන්න කැමතියි. ඒ නිසා තමයි බිත්තර ආප්ප, කොත්තු, පරාටා, ප්‍රයිඩ්රයිස් වාගේ කෑමවලට අධික ඉල්ලුමක් තිබෙන්නේ. හතු පිපෙනවා වාගේ මේ කඩ බිහි වෙන්නේ. මේක ඉදිරියට තවත් වර්ධනය වෙනවා‘

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කුකුළු මස් කර්මාන්තය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ව්‍යාපාරික ප්‍රවීනයෙක් කියා සිටියේය.

    මේ අනුව ඉතාම පැහැදිලිව පෙනී යන්නේ සත්ත්ව ආහාර සදහා අවශ්‍ය සියලුම ධාන්‍ය සැපයුම වී මගින් කළ ද එමගින් නිලධාරීන් කියන ආකාරයේ ‘සහල් හිගයක්‘ නිර්මාණය නොවන බවයි.

    සහල් මාෆියාවක් ක්‍රියාත්මක ද ?

    ලංකාවේ සහල් මිල ඉහළ – පහළ යාම තීරණය කිරීමේ දී මහා පරිමාණ මෝල් හිමියන් (අරලිය – නිපුණ ආදි) ඍජුව මැදිහත් වන බවත් ඔවුන් ‘මාෆියාවක‘ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවටත් මතයක් සමාජගතව ඇත. එය තහවුරු කිරීම සදහා විටින් විට දේශපාලනඥයින් ද ජනමාධ්‍ය ද දායක වන අතර ඒ නිසාම ‘සහල් මිල ඉහළ යන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ මාෆියාව‘ නිසා බවට පොදු මතයක් බිහි කිරීමට හැකිවී ඇත.

    සහල් මාෆියාව ගැන කොතරම් අණබෙර ගැසුවත්, විවේචනය කළත් පසුගිය කාලයේ කිසිම ආකාරයකින් දැවැන්ත රාජ්‍ය බලාධිකාරියට හෝ ජනමාධ්‍යවලට කළ හැකි කිසිවක් නොවීමෙන් ‘හෘද සාක්ෂියක් ඇති “ ජනතාවට පැහැදිලි වන්නේ සහල් මාෆියාව ද තම නොහැකියාව හෝ වෙනත් න්‍යාය පත්‍ර සාධනය කර ගැනීමට දේශපාලනඥයින් සහ ජනමාධ්‍ය නිතර නිතර භාවිතා කරන ‘තවත් බිල්ලෙක්‘ බවයි.

    මේ බිල්ලා ආණ්ඩුවේ නොහැකියාව හෝ ‘අනෙකා‘ වනසා දැමීමට අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක ‘බටහිර බිල්ලා… එන්ජීඕ බිල්ලා ආදි වශයෙන් එළියට ඒමත් ඩඩ්ලි සිරිසේන වැනි දැවැන්ත මොල් හිමියන් අභිසය පාරිභෝගික සේවා අධිකාරියේ අලුතින් පත්වීම් ලද මේජර් ජෙනරාල්ලා ‘කුජිත වීමත්‘ අභිසය තත්ත්වයේ සැබෑ ස්වභාවය වටහා ගත හැකිය.

    මෙම ලියුම්කරුට මහා පරිමාණ මෝලි හිමියන් ‘සුජාත කිරීමේ කිසිම වුවමනාවක්‘ නැතත් ලංකාවේ සහල් පාරිභෝගිකයින්ගේ රුචිය සහ ඉල්ලුම දෙස බලන විට ඔවුන් ‘අරලිය‘ ‘නිපුණ‘ සහල්වලට දක්වන ‘පුදුමාකාර‘ රුචිය හා කැමැත්ත පහසුවෙන් නොසලකා හැරිය නොහැකිය.

    ‘දේශපාලනඥයින් සහ ඇතැම් මාධ්‍ය සහල් මාෆියාවක් ගැන කතා කළත් මේ රටේ සහල් කර්මාන්තයට නවීන තාක්ෂණය හදුන්වා දුන්නේ මේ මහා පරිමාණ මොල් හිමියෝ. ඒ වගේම පාරිභෝගික රුචිය හා වත්කම අනුව, අවස්ථා අනුව සකස් කළ හැකි විවිධ සහල් වර්ග හදුන්වා දුන්නේ මහා පරිමාණ මෝලි හිමියෝ. මේක හරියට ආණ්ඩුවේ සමූපකාර කඩේ වෙනුවට සුපර් මාකට් ආවා වාගේ වැඩක්. කවුද අද සමූපකාරෙට යන්නේ ? ගමේ දුප්පත් මිනිහා පවා යන්නේ සුපර්මාකට් එකට. ඒකට හේතුව තමයි ‘රුචිය‘ උපයෝගීතාව‘ කියන කරුණු. ආර්ථික විද්‍යාවේ මළ පොතවත් කියවලා නැති පිරිස් තමයි කෘෂිකර්මාන්තය ගැන තීන්දු ගන්න තැන්වල ඉන්නේ. සාපේක්ෂ වාසිය, තෝරා ගැනීම, උපයෝගීතාවය, ආවස්ථික පිරිවැය, ඉල්ලුම – සැපයුම, නම්‍යතාව කියන මූලික ආර්ථික සංකල්ප පවා මේ පිරිස් දන්නේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් තාමත් වී වගාව ප්‍රමුඛ කරගත් ‘කෘෂිකර්මාන්තය‘ මේ රටේ ප්‍රධාන ආර්ථික අංශය ලෙස සලකන්නේ. ඒත් ඔවුන් දන්නේ නැහැ වී වගාව හරහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙන්නේ 0.7%ක් වාගේ අල්පයක් බව. එළවළු වගාවත් මේකට එක් කළොත් ඒ අගය 0.8%ක් විතර වෙන්නේ. දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන සාමාන්‍ය නිර්වචනය අනුව එය ‘කෘෂිකර්මාන්තය‘ ලෙස පොදුවේ සැලකුවත් එහි විස්තීර්ණ කිරීම තුළ ධීවර, වන වගාව, පශු, තේ, රබර් පොල් ඇතුළත් වැවිලි කර්මාන්තය, සුළුඅපනයන බෝග පමණක් නොවෙයි බිත්තර – මස් කර්මාන්තයත් තිබෙනවා. 01%ට වඩා අඩු අංශ ගණනාවක එකතුවෙන් තමයි 2019 දී දළ දේශීය නිෂ්පාදිතය තුළ කෘෂිකර්මික අංශයේ දායකත්වය වන 07%ක් හැදුණේ. කොටින්ම කිරි, බිත්තර සහ වෙනත් සත්ත්ව නිෂ්පාදවලින් පසුගිය 2018දී වී වගාව ලබා දුන් දායකත්වය වන 0.7%ක වටිනාකම ලබාදීලා තිබෙනවා. ඒ කිසිම රාජ්‍ය සහනාධාරයක් පවා නැතිව. ආගමික හා සංස්කෘතිය කෙනහිලිකම් මැද. ඒත් ප්‍රශ්නේ තමයි කුකුළු මස් කර්මාන්තයට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කර ගන්න බඩඉරිගු ටික දෙන්නේ නැහැ‘

    මේ දීර්ඝ විස්තර යම්කිසි වේදනාවක් සමග සදහන් කළේ ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතායි.

    ඔහු එහිදී අවධාරණාත්මකව කියා සිටියේ වී වගාවේ පමණක් නොව එළවළු වගාවේ අතුරු නිෂ්පාදන හෝ ඉවත දැමීම් මෙරට බිත්තර සහ කුකුල් මස් ඇතුළු මස් කර්මාන්තයට ලබා දෙන්නේ නම් වී සහ එළවළු ගොවීන් මීට වඩා සමෘද්ධිමත් වනු ඇති බවයි.

    ‘මීට දශක කිහිපයකට ඉස්සර පවුලක / රටේ ආහාර සුරක්ෂිතභාවය වී / සහල් මත පදනම් වෙන්න ඇති. ඒත් දැන් ඒක එහෙම නෙමෙයි බතුයි – සම්බෝලයි කාලා ජීවත් වෙන්න සූදානම් ජනතාවක් නැහැ. ඔවුන් බත් කනවාට වඩා වෙනත් ආහාරවලට ඉහළ රුචියක් දක්වනවා. ඔවුන් දිගින් දිගටම සහල් වලින් ඉවත් වෙමින් ප්‍රෝටීන් ආහාර වෙත ගමන් කරමින් ඉන්නවා. ඒකට ආර්ථික, සමාජයීය සහ සෞඛ්‍ය හේතු බලපානවා. තවත් දශකයක් වන විට ලංකාවේ සහල් පාරිභෝජනය තවත් අඩුවිය හැකියි. ඒ නිසා අපි අපේ කෘෂිකර්මාන්තයේ අනාගතය ප්‍රක්ෂේපණය කළ යුත්තේ ‘බත්පත‘ ගැන පමණක් බලාගෙන නෙමෙයි. මොකද ලංකාවේ ඍජුව වී වගාව (ජීවනෝපාය) තම රැකියාව කර ගත් ජනතාව බොහොම අල්පයක් ඉන්නේ. ලංකාවේ වැඩියෙන්ම වී නිෂ්පාදනය කරන, නැගෙනහිර, උතුරු මැද පළාත්වල ඉන්නේ ඇත්තටම ‘වී ගොවියෝ‘ නෙමෙයි. ඔවුන් දැවැන්ත කෘෂි ව්‍යවසායකයෝ‘ අනෙක් අතින් අපේ පොහොර සහනාධාරයෙන් සැලකිය යුතු කොටසක් යන්නේ තමන්ගේ ගෘහ පාරිභෝජනවට වී ටිකක් වගා කර ගන්න, ඒත් වෙනත් ආදායම් මාර්ග ඇති පුද්ගලයින් අතට. මේකත් බරපතළ තත්ත්වයක්. ඒ වගේම කෘෂිකර්මාන්තයේ සේවා නියුක්තිය ගැන තිබෙන්නේ ‘ව්‍යාජ‘ ආකල්පයක්. පොදුවේ කෘෂිකාර්මික අංශය තුළ ධීවරයින්, වැවිලි කර්මාන්තයේ සේවයේ නියුක්ත වතුකම්කරුවන් වගේම, පශු පාලනයේ යෙදෙන, කුකුළු පාලනය කරන, ගව පාලනය කරන පුද්ගලයින් පවා සිටිනවා. ඒත් ප්‍රතිපත්ති සම්පාදනය තුළ ප්‍රමුඛත්වය දෙන්නේ වී වගාවට. වී ගොවියා කියන පුද්ගලයාට. ඒත් ඇත්තටම අම්පාරේ, මඩකළපුවේ, ත්‍රිකුණාමලයේ වී ගොවියට මේ කිසිම වටිනාකමක් නැහැ. ලංකාවේ කෘෂිකර්මාන්තයට වැඩිම දායකත්වයක් දෙන්නේ නැගෙනහිර පළාත සහ උතුරු පළාත. ඒත් රාජ්‍ය හා නිලධාරී අවධානය, මාධ්‍ය අවධානය යොමුවෙන්නේ උතුරු මැදට, වයඹට. මේකට හේතුව අපි වටහා ගත යුතුයි‘

    ආචාර්ය ඉන්ද්‍රජිත් මෙහිදී කියා සිටියේ ආරම්භක යුගයේ ‘කුල සාධකය‘ හා දේශපාලනය මේ සදහා පදනම සැපයූ බවයි.

    ‘ධීවර කර්මාන්තය ජාතික නිෂ්පාදනයට 1.2%ක දායකත්වයක් දෙනවා. ඒත් ඒ ගැන අපි කොතරම් අඩු අවධානයක් ද යොමු කරන්නේ. වාර්ෂික රාජ්‍ය ආයෝජනවලින් ධීවර කර්මාන්තය කොතරම් අල්පයක් ද යොමු වෙන්නේ. ඒත් ලංකාවට වැඩියෙන් දියුණු කළ හැකි කර්මාන්ත අතර ධීවර කර්මාන්තය ඉදිරියෙන්ම සිටිනවා. අපිට වගා කළ හැකි භූමිය මුළු ලංකාවම ගත්තත් වර්ග කිලෝමීටර් 65,610යි. ඒත් අපිට අයිති ජාත්‍යන්තර මුහුදු සීමාව වර්ග කිලෝමීටර් මිලියනයක්. මොරගහකන්ද හදන්න රුපියල් කෝටි 25,000ක් වැය කළාට ධීවර කර්මාන්තයේ දියුණුවට ඒකෙන් 10%ක් වෙන් කළේ නැහැ. ලංකාවේ තත්ත්වය මේකයි. මේ තත්ත්වය නිවැරදි නොකර, ජනතාවගේ, විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නොදමා මේ ගැටලු විසදා ගන්න බැහැ. දවසට රුපියල් 1000-2000 උපයන්න පුළුවන් වන විදිහට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළොත් හාල් කිලෝඑකේ ගාණ ගැන බැණ බැණ ඉන්න ජනතාවට අවශ්‍ය නැහැ. මෙතැන තියන්නේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් නොකිරීම සහ දේශපාලන ගැටලුවක්. ආණ්ඩුව කියන විදිහට රුපියල් 2000-3000 සමෘද්ධියෙන් ජීවත් වෙන පවුල් ලක්ෂ 18ක් ලංකාවේ ඉන්නවා නම් (ඇතත්ටම) හාල් මිල දැවැන්ත ප්‍රශ්නයක් තමයි. ඒත් මේ පවුල් ලක්ෂ 18 සමෘද්ධිලාභීන් බවට පත්කළේ දැක්මක් නැති දේශපාලනේ නිසා කරන්න කිසිවක් නැහැ. ඒ හින්දා හිගන්නගේ තුවාලේ වාගේ සහල් මාෆියාව ගැනයි, මිල පාලන ගැසට් ගැහීමයි ඇරෙන්න වෙන වැඩක් නොකර ආණ්ඩුවට හා නිලධාරීන්ට ඉන්න පුළුවන්‘

    ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ දීර්ඝ අදහස් දැක්වීම අවසන් කරමින් පැවසුවා.

    සැකසුම – තුෂාර වල්ගම

  • ධනවත් රට ළමයි උස යන්නත් – දුප්පත් රටවල ළමයි මිටි වෙන්නත් හේතු සොයා ගනී

    ධනවත් රට ළමයි උස යන්නත් – දුප්පත් රටවල ළමයි මිටි වෙන්නත් හේතු සොයා ගනී

    අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි

    ‘ළමුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම‘ ලංකාවේත් ප්‍රබල ගැටලුවක්. නිසි පෝෂණය නොලැබෙන ළමුන් විවිධ රෝගාබාධවලට ලක්වීම පමණක් නොව නිසි පරිදි නොවැඩෛන බව ද පොදු පිළිගැනීමක්.

    ඒත් දිනෙන් දින පිරිහෙන ආර්ථික තත්ත්වය හමුවේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට නිසි පෝෂණයක් ලබාදීම තවත් සංකීර්ණ වන අභියෝගයක් බවට පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන් කොවිඩ්-19 වැනි වසංගත හමුවේ අතිෂය පීඩාවට පත්වන දිළිදු ජනතාවට ළමයින්ට ‘නිසි‘ පෝෂණයක් ලබාදීම බරපතළ අභියෝගයක්.

    මේ අතර ළමා පෝෂණය සහ ඔවුන්ගේ වර්ධනය අතර පර්යේෂණයක ප්‍රතිඵල පිළිබද විශ්ලේෂණාත්මක වාර්තාවක් පසුගිය (06) වැනි දා බී.බී.සීයේ පළ වුණා. ලංකාවේ දෙමාපියන්ගේ පමණක් නොව ඊනියා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ද අවධනය යොමු විය යුතු මෙම ලිපිය පහත පළ වෙනවා.

    පාසැල් වයසේ ළමුන්ට නිසි පෝෂණයක් නොලැබීම (දුර්වල ආහාර ගැනීම – Poor diets) උසම හා කෙටිම ජාතීන් අතර සාමාන්‍ය උස සෙන්ටිමීටර 20 (අඟල් 7.9) සඳහා දායක විය හැකි බව විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

    2019 දී උසම (19 හැවිරිදි) පිරිමි ළමයින් නෙදර්ලන්තයේ (සෙන්ටිමීටර් 183.8 හෝ අඩි 6) ජීවත් වූ අතර එම වයසේම පසුවන උසින් අඩුම පිරිමි ළමුන් ජීවත් වූයේ නැගෙනහිර ටිමෝර් (මෙරට ටිමෝර් ලෙස්ටේ ලෙස ද හැදින්වේ -Timor Leste) හි (160.1cm) බවයි අදාළ විශ්ලේෂණය මගින් හෙළි වන්නේ.

    මේ අතර එක්සත් රාජධානියේ ගෝලීය උස ශ්‍රේණිගත කිරීම 39 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර 1985 දී එරට 28 වැනි ස්ථානයේ පසු වුණා.

    රටවල් කිහිපයක 2019දී වසය අවුරුදු 19ක් වන පිරිමි ළමුන්ගේ උස ශ්‍රේණිගත කර ඇති ආකාරය.

    පිරිමි ළමයින්ගේ උස සංසන්දනය කරන ආකාරය

    ඉහත වගු සටහනේ දැක්වෙන්නේ 2019 වසරේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාවේ වයස අවුරුදු 19ක් වන යෞවනයින්ගේ උස මට්ටම පිළිබද ගෝලීය විශ්ලේෂණයයි. එහි 39 සහ 47 වැනි ස්ථානවල එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය පසුවන අතර අප අසල්වැසි ඉන්දියාව පසුවන්නේ 180 වැනි ස්ථනයේයි. සාමාන්‍යෙයන් ‘මිටි‘ ජාතියක් වශයෙන් සැලකෙන චීනය ද ගෝලීය වශයෙන් තරගයක් දෙමින් 65 වැනි ස්ථානයේ පසුවීම විශේෂත්වයක් වන අතර ඇමෙරිකානු තරුණයින් (19 වියේ පසුවන) සහ එම වයසේම පසුවන චීන තරුණයින් අතර උසේ වෙනස වන්නේ සෙන්ටිමීටර් 0.8ක් වැනි අල්පයක් වීම ද වැදගත් කරුණක්.

    පර්යේෂකයන් පවසන්නේ ලොව පුරා සහ කාලයාගේ ඇවෑමෙන් දරුවන්ගේ උස හා බරෙහි වෙනස්වීම් සොයා ගැනීම වැදගත් වන්නේ ඔවුන්ට (තරුණයින්ට) ලබා ගත හැකි පෝෂණයේ ගුණාත්මකභාවය පිළිබිඹු කළ හැකි නිසාත්, යෞවනයන් සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට එය වැදගත් වන නිසාත් බවයි.

    1985 සිට 2019 දක්වා කාලය තුළ අධ්‍යයන 2000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර අවුරුදු 5 ත් 19 ත් අතර ළමුන් හා නව යොවුන් වියේ පසුවන දරුවන් මිලියන 65 කට වැඩි සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.

    2019 දී සාමාන්‍යයෙන් වයඹ සහ මධ්‍යම යුරෝපයේ ළමුන් සහ තරුණයින් (උදා: නෙදර්ලන්තයේ සහ මොන්ටිනිග්‍රෝවේ) ලෝකයේ උසම අය බව අදාළ පර්යේෂණය මගින් සොයා ගෙන තිබෙනවා.

    මේ අතර, සාමාන්‍යයෙන් උසින් අඩුව තරුණ – තරුණියන් (19 වැනි වියේ පසුවන) දකුණු හා ගිනිකොනදිග ආසියාව, ලතින් ඇමරිකාව සහ නැගෙනහිර අප්‍රිකාවේ ජීවත් වූ බවයි සමීක්ෂකයින් පවසන්නේ.

    උසම සහ මිටිම තරුණයින් සහ තරුණියන් – 2019 (19 වැනි වියේ පසුවන)

    රට අනුව උසම හා කෙටිම දරුවන්

    ඉහත විශ්ලේෂණයෙන් ඇඟවෙන්නේ 2019 දී:

    • සාමාන්‍යයෙන් ලාඕසයේ 19 හැවිරිදි පිරිමි ළමයින් නෙදර්ලන්තයේ 13 හැවිරිදි පිරිමි ළමයින්ගේ උසට සමාන විය. (සෙන්ටිමීටර 162.8)
    • වයස අවුරුදු 19 දී ග්වාතමාලාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ සහ ටිමෝර් ලෙස්ටේහි ගැහැනු ළමයින් 11 හැවිරිදි නෙදර්ලන්ත ගැහැණු ළමයින්ගේ සාමාන්‍ය උසට (සෙන්ටිමීටර 152 ක් හෝ අඩි 5 ක් පමණ) සමාන විය.
    • එක්සත් රාජධානියේ, 19 හැවිරිදි පිරිමි ළමයින්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 178ක් සහ ගැහැණු ළමයින් උස 163.9cmක් විය.
    • පසුගිය අවුරුදු 35 තුළ ළමුන්ගේ සාමාන්‍ය උසෙහි විශාලතම දියුණුව චීනයේ සහ දකුණු කොරියාවේ දක්නට ලැබුණි.
    • නමුත් උප සහරා අප්‍රිකාවේ බොහෝ රටවල සාමාන්‍ය උස 1985 සිට වෙනස් නොවී හෝ අඩු වී ඇත.

    සෞඛ්‍ය සම්පන්න බර වැඩිවීම

    මෙම අධ්‍යයනයෙන් ළමයින්ගේ BMI පිළිබඳව ද අවධානය යොමු කරන ලද අතර එය පුද්ගලයෙකුගේ උස සඳහා නිරෝගී බරක් දැයි දැක්වීමට උපකාරී වේ.

    ඉහළම (largest) BMI අගයක් සහිත වැඩිහිටි යෞවනයන්  (older teenagers) පැසිෆික් දූපත්, මැදපෙරදිග, ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තයේ ජීවත් වූ බව පර්යේෂකයෝ සොයා ගත්හ.

    මේ අතර අඩුම ( lowest)  BMI අගයක් සහිත 19 හැවිරිදි ළමයින් ජීවත් වූයේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රටවල ය.

    අධ්‍යයනයේ අඩුම හා ඉහළම BMI සහිත රටවල් අතර වෙනස කිලෝග්‍රෑම් 25කට සමාන බව පර්යේෂකයෝ පුළුල් ලෙස තක්සේරු කරති.

    තරුණයින්ගේ සහ තරුණියන්ගේ BMI මට්ටම ගෝලීය වශයෙන් සැසදීම

    රට අනුව පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් තුළ BMI මට්ටම

    සමහර රටවල ළමුන් වයස අවුරුදු පහේදී නිරෝගී BMI මට්ටමකට ළඟා වූ නමුත් වයස අවුරුදු 19 වන විට ඔවුන් අධික බරට පත්වීමට ඉඩ තිබුණි.

    එක් එක් දරුවන්ගේ උස හා බර සඳහා ජානමය තත්ත්වය (Genetics) වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂකයන් පිළිගන්නා අතර, ඔවුන් පවසන්නේ සමස්ත ජනගහනයේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, පෝෂණය සහ පරිසරය ප්‍රධාන වන බවයි.

    ගෝලීය පෝෂණ ප්‍රතිපත්ති (Global nutrition policies) වයස අවුරුදු පහට අඩු අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ද එය ප්‍රමාණයත් නොවන බවට ඔවුහු තර්ක කරති. ඔවුන්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ වැඩිහිටි දරුවන්ගේ වර්ධන රටාවන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

    19 වැනි වියේ පසුවන තරුණියන්ගේ උස සැසදීම

    ගැහැණු ළමයින්ගේ උස සංසන්දනය කරන ආකාරය

    ඉහත වගු සටහන මගින් ගෝලීය වශයෙන් 19 වැනි වියේ පසුවන තරුණියන්ගේ උස මට්ටම වටහා ගත හැකිය. එහිදී චීනය එක්සත් ජනපදය ද ඉක්මවා ඉදිරියට ගොස් ඇති අතර (චීනයේ පිරිමි ළමුන්ගේ උස මට්ටමමේදී පසුවූයේ 65 වැනි ස්ථානයේය) ඉන්දියාව තරුණියන් සම්බන්ධයෙන් තව දුරටත් පසුපසට ගොස් 182 වැනි ස්ථානයට පත්ව ඇත. (තරුණයින්ගේ උස සම්බන්ධයෙන් 180 වැනි ස්ථානය)

    නොමිලේ පාසල් ආහාර

    මෙම පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය කරමින් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි වෛද්‍ය ඇන්ඩ්‍රියා රොඩ්‍රිගුස් මාටිනස් (Dr Andrea Rodriguez Martinez) පැවසුවේ ‘ළමා කාලයේ සහ නව යොවුන් වියේ නිරෝගී බර හා උස මිනිසුන්ගේ යහපැවැත්මට ජීවිත කාලය පුරාම ප්‍රතිලාභ ලබා දෙන බවයි‘

    ඇය මෙසේ ද පැවසුවාය: “අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි. පෝෂ්‍යදායී ආහාරවල මිල අඩු කරන ප්‍රතිපත්තියක් වෙත යොමුවිය යුතු බවයි. මෙය දරුවන්ගේ උස සඳහා අධික බරක් ලබා නොගෙන උසින් වැඩීමට උපකාරී වෙනවා. මෙම මුලපිරීම් වලට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෝෂ්‍යදායී ආහාර සඳහා වවුචර් සහ නොමිලේ සෞඛ්‍ය සම්පන්න පාසල් ආහාර වේලක් ලබාදීම ඇතුළත් විය යුතුයි.

    මේ අතර, ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ (London School of Hygiene and Tropical Medicine) මහාචාර්ය ඇලන් ඩන්ගෝර් පැවසුවේ මෙම පර්යේෂණය ‘අද්විතීය හා ප්‍රබල විශ්ලේෂණයක් බවයි‘

    “පළමු වරට මෙම ගෝලීය විශ්ලේෂණය පාසල් වියේ පසුවන දරුවන්ගේ හා නව යොවුන් වියේ දරුවන්ගේ වර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ළමයින් වැඩිහිටිභාවයට පත්වීම සහතික කිරීම සඳහා ලොව පුරා ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හඳුනා ගෙන තිබෙනවා‘

    2020 නොවැම්බර් 06 වැනි දින බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ