Category: සුපිරි Cases

  • ණය කන්ද හා ණය උගුල ගැන සම්පූර්ණ හෙළිදරව්වක් !

    ණය කන්ද හා ණය උගුල ගැන සම්පූර්ණ හෙළිදරව්වක් !

    කොරෝනා දෙවැනි රැල්ල සමග ලංකාව මුහුණ දී සිටින හා මුහුණදීමට නියමිත සැබෑම අභියෝගය වන ‘විදේශ ණය උගුල‘ ජනතා අවධානයෙන් පමණක් නොව ජනමාධ්‍ය සහ පාලකයින්ගේ අවධානයෙන් ද ගිලිහී ගොස් ඇත. එහෙත් මේ ගැන උනන්දුවක් දක්වන ආර්ථික විශේෂඥයින් පවසන්නේ කොරෝනා වසංගතය විදෙස් ණය උගුලේ රට තව තවත් හිර කරන තීරණාත්මක එක් සාධකයක් පමණක් බවයි.

    ලංකාව ඇත්තටම ණය උගුලක සිරවී සිටීද ?

    මේ ගැන පසුගිය කාලය පුරාම අඛණ්ඩව දේශපාලන හා සමාජ සංවාද සිදුවිය. ඒත් ඒවා ඒකපාර්ශ්වික වුණා මිස ‘ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන හෝ පිළිගන්නා ඒවා නොවීය. ආසන්නතම උදාහරණය ලෙස පසුගිය දා ලංකාවේ කෙටි නිල සංචාරයක නිතර වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මුවින් ද ලංකාවේ ණය උගුල (චීන ණය උගුල) ගැන අදහස් මතු විය. එහිදී වහා ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ජනපතිවරයා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ‘අපි කිසිසේත් ණය උගුලක සිරවී නැතැයි‘ අවධාරණාත්මකව ප්‍රකාශ කළ අතර චීන ණය ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කළේය.

    ඒ සමග වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය ගැන සැබෑ වගකීම දරන රාජ්‍ය ඇමැති, හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් කබ්රාල් ද, ඔහුගේ මතය පුනරුච්චාරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන ධනාත්මක ප්‍රකාශ නිකුත් කළේය. ඒවායේ පොදු අදහස වූයේ ‘ශ්‍රී ලංකාවට තමා ලබාගත් විදේශ ණය සදහා පොලිය සහ වාරික ගෙවීමේ හැකියාව පවතී‘ යන්නය. දින කිහිපයකින් ඒ කතාව ද නතර විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ දේශපාලන බලාධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ණය ගැනීමේ හා ගෙවීමේ හැකියාව ගැන සහතික නිකුත් කරද්දී ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහ විශ්වාසනීය ආයතන තුනක් පසුගිය කෙටි කාලය තුළ ලංකාවේ විදේශ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරන වාර්තා තුනක් නිකුත් කළේය. ඒ ආයතන වන්නේ,

    1. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර ආයෝජන බැංකුවක් වන ගෝල්ඞ්මන් සැච්ස් (Goldman Sachs)
    2. ඒ.පී. මොර්ගස්
    3. මොර්ගස් ස්ටැන්ලි

    මෙම ආයතන තුන විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරද්දී ‘මූඩිස් ‘(Moody’s) ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන තුනකින් පහළට දැමූ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවා ගැනීමට බැරි රටක් හැටියට ශ්‍රේණිගත කර නොතිබුණත් එම තත්ත්වයට අප රට පත්වෙමින් සිටින බවට අනතුරු අගවනු ලැබුවේය.

    Goldman Sachs' Swiss Attack

    ගෝල්ඞ්මන් සැච්ස් කියන කතාව

    මෙහිදී වැඩි අවධානයක් යොමු වන්නේ ගොල්ඩ්මන් සැටිස් බැංකුවේ වාර්තාව කෙරෙහිය. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර ආයෝජන බැංකුවක් වන ගෝල්ඞ්මන් සැච්ස් (Goldman Sachs) විසින් පසුගිය ඔක්තෝබර් මස අවසාන සතියේ නිකුත් කරන ලද ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ වාර්තාවකට අනුව 2021 වසරේදී ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් ලබා ගන්නා ලද ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ‘ණය පැහැර හැරීමේ ඉහළම සම්භාවිතාවක් ඇති‘රටවල් හතරක් නම් කළේය. එම රටවල වන්නේ

    1. ඉරාකය,
    2. ශ්‍රී ලංකාව,
    3. ඇන්ගෝලාව
    4. ගැබොන් රාජ්‍යයයි.

    එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ණය පැහැර හැරීමේ අවදානම සහිත දෙවන රාජ්‍යය බවට පත්ව ඇත.

    එමගින් ලොවට දෙන පණිවුඩය වන්නේ 2021 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බංකොළොත්භාවයට පත්වන ලොව දෙවන රාජ්‍යය බවය. ගෝල්ඞ්මන් සැච්ස් බැංකුව විසින් මීට පෙර එවැනි තත්ත්වයකට පත්වූ රාජ්‍යයක් ලෙස ඉක්වදෝරය, ලෙබනන් සහ ආර්ජන්ටිනාව නම් කර තිබේ.

    ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් විදේශ ණය ගෙවීමට නොහැකි තරම් අසරණ තත්ත්වයට පත්ව ඇති බව ජාත්‍යන්තර ආයතන සහ ශ්‍රී ලංකාවේ විපක්ෂය චෝදනා කළත් පොදුජනතාවට මේ පිළිබද පැහැදිලි අවබෝධයක් හෝ දැක්මක් ඇති බවක් දැකිය නොහැකිය. ඒ නිසා ඔවුන් දිගින් දිගටම රාජ්‍ය සහනාධාර සහ සුබසාධන ඉල්ලා සිටින අතර ආනයන පාලනය නිසා ඇති වී තිබෙන අපහසුතා ගැන දිගින් දිගටම මැසිවිලි නගමින් සිටී.

    එහෙත් පොදුජනතාව නොව ආර්ථිකය ගැන යම් පමණක හෝ අවබෝධයක් ඇති පුද්ගලයින් සහ මාධ්‍යකරුවන් ලංකාවේ සැබෑ ණය ප්‍රමාණය ගැන විශ්වාසනීව තොරතුරු දැන සිටිය යුතුය. නැතහොත් දැනගත යුතුය.

    ලංකාවේ ණය කන්ද වර්ධනය වුණ හැටි

    ආණ්ඩුව කරවන දේශපාලනඥයින්ට සහ ඔවුන්ට උපදෙස් දෙන නිලධාරීන්ට අනුව ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරාම ණය ලබාගෙන ඇත්තේ ‘සංවර්ධනය‘ සදහාය. බැලූ බැල්මට කතාව ඇත්තකි. හම්බන්තොට වරායේ සිට නෙළුම් කුළුණ දක්වාත්, මොරගහකන්ද ජලාශයේ සිට ඇවිදින මංතීරු ගොඩනැගීම දක්වාත් ශ්‍රී ලංකාව ‘සංවර්ධන ණය‘ ලබා ගෙන ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ණය ලබා ගෙන ඉදිකළ කිසිම සංවර්ධන ව්‍යාපෘතියකින් ඒවායේ ‘දෛනික‘ වියදම් පියවා ගැනීම සදහාවත් ප්‍රමාණවත් ආදායමක් නොලැබීමය. මෙයට හම්බන්තොට වරාය හොද උදාහරණයක් වුවත් වත්මන් විිපක්ෂය ආණ්ඩු කළ සමයේ නිර්මාණය කළ මොරගහකන්ද මහා ජලාශය ද කදිම උදාහරණයක් ලෙස ගත හැකිය.

    ආණ්ඩුවේ වාර්තාවලට අනුව රුපියල් කෝටි 25,000ක් වැය කරමින් ඉදිකළ ‘ලංකාවේ විශාලතම වාරි යෝජනා ක්‍රමයෙන‘ මේ වන විට රටට ලැබෙන ප්‍රතිලාභය කුමක් දැයි විමසා බැලිය හැකිය.

    මේ ‘සුදු අලි‘ හෝ ප්‍රදර්ශන කාමයට බිහිකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ලංකාව ණය උගුලක සිරකිරීමට ‘ප්‍රමුඛ‘ සාධයක් වුව ද ඊටත් වඩා ලංකාව ණය උගුලකට යොමු කළේ ‘ණය වාරික හා පොලී ගෙවීමට ගත් ණය‘ බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

    ‘‘ණය වාරික ගෙවා දැමීමේදී ලංකාව අනුගමනය කරන්නේ ලොකු රෝලක් (ක්‍රමවේදයක්) අපිට ලොකු ණය වාරිකයක් ගෙවන්න තියෙන කොට අපි කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට ණයක් ලබා ගන්නවා. ඒක තමයි අපි දිගටම කරන්න පුරුදු වෙලා හිටියේ. ඒක හොඳ දෙයක් නොවුණාට ඒක තමයි අපිට තිබුණු විකල්පය‘ පසුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය භාරව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ලංකාවේ ණය කන්ද තවත් වටයකින් වර්ධනය වූ ආකාරය පැහැදිලි කරමින් සදහන් කළේය.

    මෙහිදී අපිට පෙනී යන කරුණ වන්නේ ‘සංවර්ධන කටයුතු සදහා පමණක් නොව ණය ගෙවීම සදහා ද ණය ගැනීමට මගින් ගැසූ ‘රෝල‘ ලංකාව අර්බුදයෙන් අර්බුදයට තල්ලු කළ බවකි.

    ‘වෙන මොනවා කරන්නද ? ලංකාවේ බොහොමක් සංවර්ධන ව්‍යාපෘති ආදායම් උප්පාදනය කරන්නේ නැහැ. රැකියා බිහි කරන්නේ නැහැ. ඒවා සුදු අලි පමණයි. උදාහරණයක් විදිහට මොරගහකන්ද ගන්න පුළුවන්. ඒක කවදාවත් රටට ලාභයක් දෙයි කියලා හිතන්න බැහැ. මොකද මේ රටේ කෘෂිකර්මාන්තයට යොදවන ආයෝජන මගින් ලබා දෙන්නේ අල්ප ආර්ථික දායකත්වයක්‘ මේ ගැන අප කළ විමසීමකදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ සදහන් කළා.

    ණය කන්දේ විස්තර මෙන්න

    ලංකාවේ දේශීය හා ජාත්‍යන්තර ණය ප්‍රමාණය ගැන කතා කරන විට අපට අවශ්‍ය නිල දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන්. එමගින් පසුගිය දා නිකුත් කළ ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා – ‘2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා‘ නම් ග්‍රන්ථයේ දක්වා ඇති ‘මධ්‍යම රජයේ ණය‘ පිළිබද පුළුල් විස්තර සටහනක් ඉහත දැක්වෙනවා.

    ඉහත සටහන අනුව 2020 ජූලි මස ආවසානය වන විට ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.2ක් වෙනවා. එය වඩාත් සරලව කිව්වොත් රුපියල් කෝටි 14,920,000ක්. මෙය ඇමරිකානු ඩොලර්වලින් සඳහන් කළහොත් ඩොලර් බිලියන 80කට ආසන්න අගයක්.

    මේ ප්‍රස්තාර සටහන මගින් අපට තවත් අදහසක් ලබා දෙනවා. ඒ තමයි 2018 දෙසැම්බර් අවසාන වන විට තිබූ රුපියල් ට්‍රිලියන 12ක් වූ ණය ප්‍රමාණය තවත් මාස 18ක් යන විට රුපියල් ට්‍රිලියන 14.2 දක්වා වර්ධනය වීම.

    ඔබ මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ ලංකාවේ ආණ්ඩුව ණය ලබා ගෙන ඇත්තේ ‘විදේශ‘ වලින් පමණක් නොවන බව. ඇත්තටම ලංකාව වැඩියෙන්ම ණය ලබා ගෙන තිබෙන්නේ ‘දේශීය‘ වශයෙන්. එය රජයේ සමස්ත ණය ප්‍රතිශතයෙන් 54%ක් වැනි ඉහළ අගයක්. ඇත්තටම අපේ ආණ්ඩුවේ මුළු ණයවලින් විදේශ ණය තිබෙන්නේ 46%ක් පමණයි. එය බොහෝ දෙනෙක් කතා නොකරන සහ නොතකා හරින තත්ත්වයක්.

    ඊට හේතුව වන්නේ ආණ්ඩුව මේ ආකාරයෙන් දේශීය බැංකු, සේවක අර්ථසාධක අරමුදල ආදියෙන් දැවැන්ත ණය ප්‍රමාණයක් ලබා ගැනීම නිසා පුද්ගලික අංශයට ණය ලබා ගැනීමට ඇති හැකියාව සීමා වීමක් සිදුවෙනවා. ඒ වගේම පුද්ගලික අංශයට ණය දීම වෙනුවට රජයට ණයදීම වාසිදායක නිසා මූල්‍ය වෙළෙදපොළ තුළ තවත් විකෘතියක් ඇති වෙනවා.

    ඒත් පුදුමයකට වාගේ 46%ක් වන රජයේ විදේශ ණය ගැන කතා කරන, විවේචනය කරන කිසිවෙක් 56%ක් වන රජයේ දේශීය ණය නිසා ඇතිවී ඇති අර්බුදය හා ව්‍යාකූලතා ගැන කතා කරන්නේ නැහැ.

    ණය ගෙවන්නේ කොහොමද ?

    ණය ලබා ගැනීම කෙසේ වෙතත් ණය ගෙවීම ඕනෑම අයෙකුට ප්‍රශ්නයක්. ලබාගත් ණය නිසි පරිදි ආයෝජනය නොකළ විට, ඒවා නාස්ති වූ විට මෙන්ම අපේක්ෂිත ආදායම් නොලැබුණ විටත් පුද්ගලයෙක් මෙන්ම ආණ්ඩුවක් වුවත් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්වෙනවා. අද ලංකාවේ ණය ගැන බිය පළ කරන බොහෝ දෙනා කියන්නේ ඒ කතාවයි.

    ඔබ බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට ගිය විට පනවන මූලික කොන්දේසිය සිහියට නගා ගන්න.

    ‘ඔබට ණය ලබාගත හැකි වන්නේ මාසික ණය වාරිකය ආදායමෙන් සියයට 40% දක්වා පමණයි. නැතහොත් ඔබට ඔබේ ආදායමෙන් (වැටුපෙන්) 60%ක් දක්වා වන මාසික වාරිකයක් දක්වා ණය ලබාගත හැකියි‘ බැංකු කියනවා. ඒ කියන්නේ කිසිම බැංකුවක් ඔබේ මාසික ආදායමෙන් මාසික ණය වාරිකය 90%ක් වන මට්ටමට ණය නිකුත් කරන්නේ නැහැ.

    ඒත් ආණ්ඩුව ඒ අතින් හරිම වාසනාවන්තයි. ආණ්ඩුවකට ණය ලබා ගැනීමේ සාමාන්‍ය ජනතාවට මෙන් දැඩි සීමා කිරීම් නැහැ. ඒ නිසා ලංකාව මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් (ආණ්ඩුවේ ආදායමෙන් නොවෙයි) 90%ක් දක්වා වාර්ෂිකව ණය ගෙවනවා !

    මෙය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට ආදේශ කළහොත් ඔහුගේ සමස්ත ආදායමෙන් 90%ක් ණය ගෙවීමට පමණක් වැය කළ යුතු තත්ත්වක් හා සමානයි. එවැනි පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවන නීරස සහ බිහිසුණු තත්ත්වය ගැන ඔබට අලුතින් කියන්න දෙයක් නැහැ.

    අභාග්‍යයකට වාගේ ලංකාවේ ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් ණය ගෙවීම සදහා පමණක් වැය කරනවා. ආයෝජනයට, එදිනෙදා වියදම් පියවා ගන්න, සුබසාධන සදහා ආණ්ඩුව ඉතිරි වෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් පමණයි ! මේ නිසා තමයි අපේ රට ණය ගෙවීම් පැහැර හැරීමට ලක්වෙලා කියලා නින්දා ලබමින් සිටින්නේ.

    විදේශීය ණය ගැන කතා කිරීමේදී අපි බැලිය යුතු තවත් කරුණක් වන්නේ මේ වන විට රජය ගිවිසුම් ඇති කරගෙන තිබෙන තවත් ණය ප්‍රමාණයක් තිබීමයි. එවැනි ණය ඇමරිකානු ඩොලර් බිලියන 75.1ට අමතරව ඇමරිකානු ඩොලර් බිලියන 9.2ක් තිබෙනවා. ඒ ණයවලින් 22%ක් එන්නේ චීනයෙන්. දැනට ලංකාව අරගෙන තිබෙන ණයවලින් 47%ක් අරගෙන තියෙන්නේ වෙළෙඳපොළ ණය. ඒ කියන්නේ ඉහළ පොලී අනුපාතයක් යටතේ ගන්නා ලද ණය. ඒ වගේම දැනට ලබාගෙන තියෙන ණයවලින් 10%ක් අරගෙන තියෙන්නෙත් චීනයෙන්. මෙලෙස ගන්නා ලද ණයවලින් බොහොමයක් කෙටිකාලීනව ගෙවන්න තිබෙන ණය.

    ඉහත සදහන් කළ තත්ත්වය නිසා තමයි ගෝල්ඞ්මන් සැච්ස් ආයතනය විසින් ‘ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම ඉහළ රටක් හැටියට‘ ශ්‍රේණිගත කරන්නේ.

    මේ ශ්‍රේණිගත කිරීම අපේ දේශපාලනකයින්ට සහ මහ බැංකුවේ නිලධාරීන් ‘කජ්ජක්‘ නොවුණට ඇත්ත තත්ත්වය බියකරුයි. ඒකට හේතුව තමයි ලංකාව ඉදිරියේදී ණය ගන්නා විට අපේ ණයවල අවදානම වැඩි නිසා පොලී අනුපාතිකය අතිවිශාල වශයෙන් ඉහළ දැමීම. මේක ‘ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ තත්ත්වයට නොදෙවැනි තත්ත්වයක්.

    ස්වෛරී ණය පැහැර හැරීම කියන්නේ කුමක්ද ?

    මේ ලිපිය අවසන් කිරීමට පෙර මේ ගැනත් පැහැදිලි කිරීමක් කළ යුතුයි.

    මේ ලිපියේ ඉහතින් සදහන් කළ ආකාරයට ආණ්ඩුව දේශීය වශයෙන් 54%ක් ද විදේශීය වශයෙන් 46%ක් ද ණය ලබා ගෙන තිබෙනවා. දේශීය වුණත් විදේශීය වුණත් නියමිත පරිදි මේ ණය හා වාරික ගෙවිය යුතුයි. ඒත් දේශීය ණය ගෙවීමේදී ආණ්ඩුවක් දැඩි අර්බුදයකට ලක්වන්නේ නැහැ. ඊට හේතුව ‘දේශීය ණය ගෙවීමට ඩොලර් අවශ්‍ය නොවීමයි. ආණ්ඩුවට අලුතින් මුදල් මුද්‍රණය කරමින් හෝ (රුපියල්වලින්) ඒ ණය ගෙවා දැමිය හැකියි. අලුතින් මුදල් මුද්‍රණය කිරීම මගින් ඇතිවන උද්ධමනය ආදිය ගැන ආණ්ඩුව නොසලකන නිසා මෙහිදී ගැටලු හා පීඩනය අඩුයි.

    ඒත් ආණ්ඩුව විදේශ ණය ගෙවීමේදී පැහැදිලිවම ‘ඩොලර්වලින්‘ ඒ ණය ගෙවා දැමිය යුතුයි. අර්බුදය ඇතිවන්නේ ඒ අවස්ථාවෙියදීයි.

    ආර්ථික විද්‍යාවට අනුව ‘ස්වෛරී රාජ්‍යක් ( ස්වාධීන රටක්) විසින් ලබා ගන්නා ලද ණය ‘ස්වෛරී ණය‘ ලෙස හදුන්වනවා. විශේෂයෙන් රජයක් ‘විදේශීය විනිමය තුළින් ලබා ගන්නා ලද ණය‘ ස්වෛරී ණය ලෙස හඳුන්වනවා. ඒ අනුව ලංකාව විදේශීය විනිමය හරහා ගන්නා ස්වෛරී ණය සඳහා ඇපවීමක් සිදු කෙරෙනවා. එලෙස ඇප වන්නේ බැඳුම්කර හරහා. ඒවාට ස්වෛරී බැඳුම්කර කියා කියනවා. මේ වනවිට අපේ රට එවැනි බැඳුම්කර විශාල ප්‍රමාණයක් නිකුත් කර ණය ලබාගෙන තිබෙනවා.

    ආර්ථික විද්‍යාවට අනුව ස්වෛරී ණය පැහැර හැරීම යනුවෙන් අදහස් කරන්නේ ‘යම්කිසි ස්වෛරී රාජ්‍යයක් විසින් ගන්නා ලද ණය පරිණතවීමේදී එය ගෙවීම පැහැර හැරීමක් හෝ ගෙවීමේ නොහැකියාවක් තියෙන තත්ත්වයකට පත්වීමයි. එවැනි රටක් ‘ ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම් සහිත රටවල් කියා නම් කිරීමක් කාලයක සිට ජාත්‍යන්තර බැංකු විසින් කරනවා.

    ලංකාවට ණය ගෙවා ගැනීමට නොහැකි යැයි කියන්නේ ඇයි ?

    මේ ගැන විවිධ අදහස් තිබෙනවා. ඒත් පොදුවේ පිළිගන්නා කරුණ වන්නේ ‘ලංකාව විදේශ ණය ගෙවීම කිසිදාක පැහැර හැර නැති බවයි. දැඩි මූල්‍ය අර්බුද මැද පවා ලංකාව නියමිත කාලය තුළ විදේශ ණය ගෙවා තිබෙනවා. ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කරන ආකාරයට, පසුගිය ඔක්තෝබර් මාසයේ ගෙවන්න තිබූ ඩොලර් මිලියන 1000ක ණය මුදල ශ්‍රී ලංකාව විසින් ගෙවා තිබෙන්නේ විදේශ සංචිතවලින්. ඒත් කොවිඩ් අර්බුදය සහ තවත් හේතු කිහිපයක් නිසා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත දිගින් දිගටම හීන වෙමින් තිබෙනවා. විශේෂයෙන් අපනයන ආදායම අඩුවීම, විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ‘සංක්‍රාම අඩුවීම, සංචාරක ව්‍යාපාරය බිද වැටීම වගේම විදේශ ආයෝජන නොලැබීම නිසා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා.

    ශ්‍රී ලංකාව වාර්ෂිකව අපනයනවලින් ඩොලර් බිලියන 10ක්, විදේශ ශ්‍රමිකයින් හරහා ඩොලර් බිලියන 07ක් වශයෙන් ප්‍රධාන වශයෙන් ඩොලර් බිලියන 17ක විදේශ විනියම ලබා ගන්නවා. සංචාරක ව්‍යාපාරය ඇතුළු සෙසු ඉපයීම් හරහා ලැබෙන්නේ වාර්ෂිකව ඩොලර් බිලියනක් හෝ ඊට ආසන්න විදේශ විනියම ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ.

    ඒත් ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 20ක් පමණ ආනයන (කිසිවෙකුගේ අවධානයට ලක් නොවන දුරකථන හා අන්තර්ජාල පිරිවැය) සදහා රටින් පිට කරනවා. මේ තත්ත්වය තුළ ලංකාව වාර්ෂිකව ගෙවුම් ශේෂය තුළ ඩොලර් බිලියන 03 හිගයකට ලක් වෙනවා.

    වර්තමානයේ ක්‍රියාත්මක දැඩි ආනයන පාලනය මගින් ඊට වැඩි සහනයක් නොලැබෙන බවයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ.

    තත්ත්වය මේ ආකාරයේ ඍණාත්මක තත්ත්වයක් කරා ගමන් කළත් විදේශීය සංචිත වැඩිකර ගැනීමට හැකියාවක් තිබෙන බව සනාථ කෙරෙන සලකුණත්, ඉඟියක් හෝ මගපෙන්වීමක් අපට දැකිය නොහැකියි. අපනයන කර්මාන්ත දියුණු කර ගැනීම වෙනුවට ආණ්ඩුව ආනයන පාලනයට සහ කෘෂිකර්මාන්තයට අනවශ්‍ය බරක් තබන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා.

    අද ලංකාව මුහුණ දී සිටින ආර්බුදය නිර්මාණය වන්නේ මේ සංකීර්ණ තත්ත්වය තුළයි. ආණ්ඩුවට මේ සදහා ආනයන පාලනය මගින් කෙටිකාලීන විසදුම් ලබාදිය හැකි වුවත් (එය කොතරම් ඵලදායිද යන්න ප්‍රශ්නයක් වුවත්) වඩාත් වැදගත් වන්නේ දීර්ඝ කාලීන තිරසාර විසදුමක් ලබාදීමයි. එය කිසිසේත් ‘අතීසාරයට අමුඩ ගසන‘ පන්නයේ විසදුමක් නොවිය යුතු බවයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ.

    සටහන – තුෂාර වල්ගම

  • ලෝකයේ කොහෙවත් නෑ – ආසියානු රටවලදීම පමණයි !

    ලෝකයේ කොහෙවත් නෑ – ආසියානු රටවලදීම පමණයි !

    ඔබ – මා ජීවත් වන ‘ආසියානු රටවල්‘ කියන්නේ විස්මිත රටවල්. විචිත්‍රවත් සංස්කෘතිය, විස්මිත ස්වභාවික පරිසරය පමණක් නොවෙයි සිරිත් – විරිත් පවා විස්මිත බවයි කියන්න තියෙන්නේ.

    ඉතිං ඔබ ලංකාවෙන් පිට වෙනත් ආසියානු රටවලට ගොස් තිබේ නම්, එය අධි තාක්‍ෂණික ජපානය, ශිෂ්ට තායිලන්තය හෝ ඉන්දුනීසියාවේ සමහර වනාන්තර වේවා, ඕනෑම මොහොතක සියලු ආකාරයේ අමුතු දේවල් දැකීමට අපේක්ෂා කළ හැකියි.

    ඒත් ලංකාවේ ඔබ ආසියානු රටවල් දිහා බලන ආකාරයට නොවෙයි බටහිර ජාතීන් ආසියාව දිහා බලන්නේ. ඊට වෙනස් කෝණයකින්. ඒකට සංස්කෘතිය, ඔවුන් ලබා ඇති ආර්ථික දියුණුව වගේම යටත්විජිතවාදී මානසිකත්වයත් බලපානවා.

    ඉතිං, බටහිර ජාතිකයෙකුගේ ඇසින් බලන විට (ඇතැම් විට ඔබට පවා) ආසියාවේ විස්මිත අවස්ථාවාල ඡායාරූප 20ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

    බලන්න මේවා දැක්කාම ඔබත් විස්මියට පත් නොවේවිද කියලා.

    වීදි පුරා යන ගවයින්- ‘ගවයා‘ කියන්නේ ඉන්දියාවේ පූජනීය සතෙක්. නීතිය මගින් පවා ඔවුන්ව ආරක්ෂා කරලා තිබෙනවා. ඒ නිසා ගවයා කියන්නේ ඉන්දියාවේ අතිෂය සුලභ දසුනක්. ගමේ, නගරයේ, දිල්ලිය වාගේ මහා නගරවලත් ඔවුන් සුලභව හමු වෙනවා. ඒත් ඇත්තටම ඉන්දියාවේ නාගරික ජනතාවට නම් මේ වන විට මේ ගවයින් මහත් හිසරදක් වෙලා තිබෙනවා. මහා මාර්ග, විදී පමණක් නොව පදික වේදිකා පවා අවහිර කරමින් රංචු පිටින් ගමන් කරන මේ පූජනීය සතා විදේශිකයින්ට නම් ඇසට රසදුනක්.

    # 1 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ජපානය කියන්නේ ආසියාවේ අභිමානය. ලෝකයේ දියුණුම රටවල් කිහිපය අතරින් මුලින්ම සිටින රටක්. තාක්ෂණය වගේම ජපන් සංස්කෘතියත් ලෝකයේම ආකර්ෂණය දිනා ගන්නවා. ඒ වගේම තමයි ජපන් ආහාර සංස්කෘතිය. ඉතිං, ‘චෙරි‘ කියන්නේ ජපන් සංස්කෘතියේම කොටසක්. චෙරි පලතුරක් වගේම පානයක් ලෙසත් ජපානයේ බොහෝ ජනප්‍රියයි. ඒත් ඔබ කිසිදාක චෙරිමල් ආහාරයක් ලෙස සකස් කර ඇතැයි විශ්වාස කළාද ? එසේ නම් මේ ඡායාරූපය බලන්න. මේ සුන්දර චෙරිමල් ආහාරයක් ලෙස සකස් කර ඇති ආකාරයයි.

    # 2 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    බොහෝ ආසියානු ව්‍යාපාර බොහෝ විට දැනටමත් ප්‍රසිද්ධ වී ඇති විශාල වෙළඳ නාම වලින් ආස්වාදයක් ලබනවා. ඉතින් ඔවුන්ගේම නිෂ්පාදනයක් සඳහා යම් අවධානයක් ලබා ගැනීමට එම කීර්තිය භාවිතා නොකරන්නේ ඇයි? පරිගණක මෘදුකාංග වෙළඳපොලේ නව තරඟකරුවෙකු වන ජපානයේ Binbows” තමයි මේ ඡායාරූපයේ සිටින්නේ.

    # 3 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    මේ කතාවත් ජපානයට සම්බන්ධයි. ජපන් කුටුම්භවල ඇති ප්‍රධාන නීතිවලින් එකක් නම් ඔබ නිවසට ඇතුළු වන විට ඔබේ සපත්තු ගළවා දැමීමයි. මෙම නියමය බොහෝ පොදු ස්ථාන සඳහා ද අදාළ වේ! ජපානයේ පොදු වැසිකිළියකට ඇතුළු වීමට පෙර ඔබ පැළඳිය යුතු සෙරෙප්පු මෙන්න.

    # 4 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    කුඩා පොලිතින් බෑගයකට දමාගත් තේ පැන් පානය කරන වීදි වෙළෙදුන් ඔබත් දැක ඇතිවාට සැකයක් නැහැ. මොකද ලංකාවෙත් විදී වෙළෙදුන් අතර එය සුලභ පුරුද්දක්. මේ අපිව අනුකරණය කළා ද කියලා හිතෙන අපේ අසල්වැසි මියන්මාරයේ ඡායාරූපයක්. ඔබ මියන්මාරයේදී කොතැනක හෝ රැගෙන යා හැකි තේ ඉල්ලුවොත්, ඔබට එය ප්ලාස්ටික් බෑගයක ද ලැබෙනු ඇත.

    # 5 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    මෙම දැවැන්ත හරිත QR කේතය තිබෙන්නේ චීනයේ. එය නිර්මාණය කිරීම සදහා චීනයේ ගස් 130,000 කට වඩා භාවිතා කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒත් ඔබට කිසිදාක මෙය භූමියේ සිට දැක ගැනීමට වාසනාවක් නැහැ. එය නැරඹිය හැකි වන්නේ ‘කුරුළු ඇසකින්‘ පමණයි.  WeChat නම් චීන ඇප් එක සඳහා තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.

    # 6 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ජපන් ජාතිකයින් සනීපාරක්ෂාව ගැන වගේම තම දරුවන් ගැනත් දැඩි අවධානයක් යොමු කරනවා. මේ ඊට හොද උදාහරණයක්. ජපානයේ සියලුම පොදු වැසිකිළි ළදරුවන් සදහාම නිර්මාණය කළ මෙම කොමඩ්වලින් සමන්විතයි.

    # 7 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබ මහරගම රෙදිවලට ප්‍රසිද්ධ පමුණුව පාරේ ගමන් කර තිබේ නම් තායිලන්තයේ මේක්ලෝන්ග් දුම්රිය  Maeklong railway මාර්ගයේ දැකිය හැකි මේ දසුන එතරම් දෙයක් නොවනු ඇති.

    # 8 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ලොව ප්‍රකට වෙළඳ නාම භාවිතා කිරීම ජපානයේ පමණක් නොවෙයි අපේ අසල්වැසි ඉන්දියාවේ ද සුලභ දසුනක්. ලංකාවේ තත්ත්වය මීට දෙවැනි නැහැ නේද ?

    # 9 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ජපන් ජාතිකයන් ඉතා සුවිශේෂී හා මුදු මොළොක් හැඟීමක් ඇති අය ලෙස ප්‍රසිද්ධයි. ඔවුන් සෑම දේකටම සෞන්දර්යාත්මක පෙනුමක් ලබාදීමට කැමතියි. මේ මෑන්හෝල් ආවරණ දුටුවිට ඒ කතාව තවත් තහවුරු වෙනවා නේද ?

    # 10 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    සැන්ටිසුක් Santisuk නම් 5 හැවිරිදි වඳුරෙකුගේ අතක් කැඩුණා. ඉතිං මොකද කරන්නේ කැලේ සතා වුණත් ප්‍රතිකාර කළ යුතුයිනේ. බලධාරීන් තායිලන්තයේ ප්‍රාදේශීය සායනයක දී ඔහුට ප්‍රතිකාර කළා. ටික දිනකින් සැන්ටිසුක් සනීප වුණා.එහෙත් ඔහුගේ භාරකාරයෙක් ඉදිරිපත් වුණේ නැහැ. මේක දැක්ක තායි පොලිසියට අපූරු අදහසක් ආවා. ඔවුන් මේ වදුරාව පුහුණුකර අපූරු කටයුත්තකට යොදා ගත්තා. ඒ පොලිසිය විසින් නවත්වනු ලබන මිනිසුන්ගේ ආතතිය සමනය කිරීම සඳහා දැන් ඔහු පාර අයිනේ පොලිස් මුරපොළක සේවයට යොදවා තිබෙනවා.

    # 11 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    කුරුළු වසුරු වලින් විවිධ ලෙඩ රෝග ආසාදනය විය හැකියි. ඒ අතර ආසියානු නගරවල අතිෂය සුලභ පරවියන් ද සිටිනවා. එබැවින් පරවියන් පෝෂණය නොකරන්න!

    # 12 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    පිරිසිදුකම සම්බන්ධයෙන් සිංගප්පූරුව ඉතා දැඩි නීති ක්‍රියාත්මක රටක්. ඔබ සිංගප්පුරුවේදී චුයින්ගම් හෝ බබල්ගම් විකා ඒවා වීථියේ කොතැනකට හෝ විසි කළහොත් ඩොලර් 1000ක දඩයක් ගෙවීමට සිදුවෙනවා.

    # 13 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබ ලංකාවේ කාර්යාල දුම්රියවල ගමන් කරන්නේ නම් මේ ඡායාරූපය ඒ තරම් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් උමං දුම්රිය, බුලට් දුම්රියවල ගමන් කරන යුරෝපීන්ට නම් බංග්ලාදේශයේ සිට පැමිණි මෙම දුම්රිය විස්මිත දර්ශනයක්.

    # 14 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඇපල් සමාගමේ නව නිෂ්පාදනයක් චීනයේ වෙළඳපොළට පැමිණි තිබෙනවා. නමුත් සහතික කර කියන්න පුළුවන් ඇපල් සමාගම මේ ගැන හාංකවිසියක් දන්නේ නැති බව.

    # 15 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    චීනය ජනාකීර්ණ බවත් නව නිවාස සඳහා වැඩි ඉඩක් නොමැති බවත් අපි කවුරුත් දන්නවා. ඒත් චීනා කියන්නේ හොද කල්පනාකාරයෙක්. අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නෙක්. ඉදිකිරීම්කරුවන් නව අදහසක් ඉදිරිපත් කළේ ඒ නිසයි. මේ ඡායාරූපය දුටු විට ඔබට ඇත්ත කතාව වැහෛ්වි. ‘සියල්ලට ඉහළින් නිවාස තැනීම!

    # 16 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    මේ වගේ සුනඛයින් ලෝකයේ ඉන්නවාද ? ඔව් ඉන්නවා. ඒ ජපානවේ සහ තායිවානයේ. චතුරශ්‍රකාර සුනඛ ලොම් කප්පාදුව Square dog haircut ජපානයේ සහ තායිවානයේ සුලභ දෙයක්. එබැවින් චතුරස්රාකාර ලොම් සහිත සුනඛ මිතුරන් කිහිප දෙනෙක් පාරේ ඇවිදිනවා දුටුවහොත් පුදුම වෙන්න නම් එපා.

    # 17 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබේ සම සූර්යයාගෙන් ආරක්ෂා කර ගැනීමට බොහෝ ක්‍රම තිබේ – ඔබට  sun cream එකක් භාවිතා කළ හැකියි. නැතහොත් ඔබට විශේෂ මුහුණු ආවරණයක් ලබා ගත හැකියි. ඒවා විවිධ වර්ණවලින් ද පැමිණේ!

    # 18 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඉදිරියට නෙරා ආ හෝ අපිළිවෙළට පිහිටි දත්වලට කම්බි දැමීම තරුණියකට අමිහිරි අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත් ඒ ලංකාවේ. අග්නිදිග ආසියානු රටවල තරුණියන් ඒ ගැන ඒ හැටි හිතන්නේ නැහැ. මේ ඡායාරූපය ඊට හොද සාක්ෂියක්.

    # 19 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    ඔබ කිඹුලා බනිස් කාලා ඇති බවට සැකයක් නැහැ. ඒත් කිඹුල් අයිස්ක්‍රීම් ගැන ! සැබෑ කිඹුල් බිත්තර වලින් සාදන ලද අයිස්ක්‍රීම් තායිලන්තයේ තිබෙනවා. මොකද කියන්නේ කාලා බලමුද ?

    # 20 |  ආසියාවේ පමණක් ඔබ සොයා ගන්නා විකාර දේවල් 20 |  සෙස්ට්‍රඩාර්

    zestradar.com ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ශ්‍රී ලංකාවේ Covid-19 මරණ අඩු වුණේ BCG එන්නත නිසාද ?

    ශ්‍රී ලංකාවේ Covid-19 මරණ අඩු වුණේ BCG එන්නත නිසාද ?

    ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ.

    ලංකාව තුළද කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් මේ වන විට පෙනෙන්නට ඇතත් ක්ෂය රෝග මර්දනය සඳහා ලබාදෙන ලද බ BCG එන්නත ප්‍රශස්ත ලෙස යොදා ගෙන තිබෙන රටක් නිසා මරණ අනුපාතිකයෙහි ලොකු වර්ධනයක් පෙන්නුම් නොකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

    එම එන්නතින් ලබාදී තිබෙන ප්‍රතිශක්තිය කොවිඞ් 19 වෛරසයට ඔරොත්තු දීමේ හැකියාවක් ලබාදී තිබේ. ඒ ගැන කර තිබෙන අධ්‍යයන්ගෙන්ද තහවුරු වී තිබෙන්නේ BCG එන්නත පාවිච්චි කර තිබෙන රටවල කොරෝනාවලින් සිදුවී තිබෙන මරණ අනුපාතිකය එම එන්නත පාව්ච්චි කර නැති රටවල මරණ අනුපාතිකයට වඩා බොහෝ පහළ මට්ටමක පවත්නා බවය.

    එම එන්නත කොහෙත්ම පාවිච්චි කර නැති රටවල් ගණන 26ක් වන අතර ඇමරිකාව ඇතුළු ලොකු මරණ අනුපාතිකයක් පෙන්නුම් කර තිබෙන්නේ එම රටවල්ය.

    එක ළඟ තිබෙන රටවල් දෙකක් ලෙස සැලකිය හැකි ස්පාඤ්ඤයේ මරණ අනුපාතිකය සමග සසඳන විට පෘතුගාලයේ මරණ අනුපාතිකය තිබෙන්නේ පහළ මට්ටමකය. ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 35,369කි. පෘතුගාලයේ මරණ සංඛ්‍යාව 2438කි. මේ වෙනසට හේතුව ස්පාඤ්ඤය BCG එන්න්ත පාවිච්චි නොකළ රටක් වීම හා පෘතුගාලය එම එන්නත පාවිච්චි කළ රටක් වීමය.

    ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ.

    උපුටා ගැනීම – 2020 නොවැම්බර් 08 රාවය ඊ පුවත්පතේ ලිපියකිනි –

    ලංකා ඊ ප්‍රෙස් මෙම ලිපියට සම්බන්ධ තව දුරටත් තොරතුරු සොයා යාමේදී 2020 අප්‍රෙල් මස 17 වැනි දින බී.බී.සී වාර්තාවක් හමු වූ අතර https://www.bbc.com/news/52310194 එහි BCG හා සම්බන්ධ වන කොටසේ පරිවර්තනයක් ද පහත පළ කරමු.

    Covid-19 : BCG කටකතා සහ වෙනත් කථා සත්‍යය පරීක්ෂා කර ඇත

    ඉහළින් ඇති ෆේස්බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ලාංඡන සහිත තිරපිටපත්

    සමාජ මාධ්‍යවල වඩාත් ජනප්‍රිය ව්‍යාජ හා නොමඟ යවන කොරොන වෛරස් කතන්දර බීබීසී කණ්ඩායම් විසින් කරුණු පරීක්ෂා කරනු ලැබේ.

    BCG එන්නත පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ

    බීසීජී එන්නත මගින් කොරෝනා වයිරස් ආසාදනය වළක්වන බව පවසන වට්ස්ඇප් පණිවිඩ සාවද්‍යය. (Inaccurate)

    ක්ෂය රෝගයට එරෙහිව සටන් කිරීම සදහා BCG එන්නත (The Bacille Calmette-Guérin) ලොව පුරා ළමයින්ට ලබා දී ඇති අතර එය 2005 වන තෙක් එක්සත් රාජධානියේ ද්විතීයික පාසල්වල පුළුල් ලෙස ව්‍යාප්ත විය.

    දරුවෙකු හෝ වැඩිහිටියෙකු ක්ෂය රෝගය සමඟ සම්බන්ධ වීමේ අවදානමක් ඇති විට එය තවමත් එක්සත් රාජධානියේදී ලබාදීම සිදුවේ.

    බීසීජී එන්නත කොරොන වයිරසයෙන් ආරක්ෂාව සපයන බව අරාබි බසින් වට්ස්ඇප් ප්‍රකාශ කරයි.  අපි මෙම රූපය "සාක්ෂි නැත" යනුවෙන් ලේබල් කළෙමු

    සිරියාව වැනි බොහෝ රටවල තවමත් සුලභව දක්නට ලැබෙන කටකතා පැතිරී ඇති අතර, මිනිසුන්ට BCG එන්නත ලබාදී තිබේ නම් (එන්නත ලබා දුන් විට අතේ ඇතිවන ‘ලපය‘ තිබේ නම්) ඔවුන් කොරොන වෛරසය ගැන කරදර නොවිය යුතු බවට කටකතා පැතිරෙමින් තිබේ.

    අරාබි බසින් සංසරණය වන වට්ස්ඇප් පණිවිඩයක් පවසන්නේ ‘ඔබේ අතෙහි රවුම් කැළලක් ඇත්නම්, ඔබ කොවිඩ් -19 ට එරෙහිව “75% ක් ආරක්ෂා කර ගත හැකි” බවයි.

    කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ BCG එන්නත විසින් කොවිඩ්-19 ආසාදනයෙන් ජනතාව ආරක්ෂා කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

    සෞඛ්‍ය ආයතනය පවසන්නේ BCG සම්බන්ධ සායනික අත්හදා බැලීම් දෙකක් සිදු වෙමින් පවතින අතර එය අවසන් වූ විට ඔවුන්ගේ සොයාගැනීම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇගයීමට ලක් කරනු ඇති බවයි.

    වෛද්‍ය සාක්ෂි නොමැති වුවද ගූගල් සමාගමට අනුව “BCG” යන පදය සඳහා ගෝලීය සෙවීම් ඉහළ ගොස් තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිලිමත් වන්නේ එන්නත සඳහා ඇති ඉල්ලුම වැඩිවීම යනු ක්ෂය රෝගයට එරෙහිව ළමුන් එන්නත් කිරීම සඳහා ලබා ගත හැකි ප්‍රමාණය අඩු වීම ගැනයි.

    බීසීජී එන්නත සඳහා ඉල්ලුම ඉහළ යන බව වාර්තා කරමින් ජපානයේ සැපයුම්කරුවන් ද ඒ හා සමාන බිය පළ කර තිබේ.

    බී.බී.සී වාර්තවකිනි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘සම්ප්‍රදායික වසංගතවේදයෙන්’ කොරෝනා උවදුර ජය ගත නොහැකි ඇයි?

    ‘සම්ප්‍රදායික වසංගතවේදයෙන්’ කොරෝනා උවදුර ජය ගත නොහැකි ඇයි?

    COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා වනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හොබවන වෛද්‍යවරුන් බොහෝ විට සරසවි වෛද්‍ය පර්යේෂකයන් හෝ ස්වාධීන වෛද්‍ය පර්යේෂකයන් නොමිලයේම ලබා දෙන විද්වත් උපදෙස් නොතකා හරින බවක් ද පෙනෙනවා.

    මහජන සෞඛ්‍යය ගැන දෙස් විදෙස් අත්දැකීම් බහුල ලාංකික විද්වතකු කොරෝනාවේ අලුත් අභියෝග ගැන කරන විග්‍රහයක් අද මා බෙදා ගන්නවා.

    වෛද්‍ය රවී රන්නන්එළිය

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute of Health Policy, http://www.ihp.lkනමැති ස්වාධීන පර්යේෂණ ආයතනයේ විධායක ධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන් එලිය සෞඛ්‍ය සේවා සැලසුම්කරණය, ඒවායේ සාධාරණත්වය සහ මහජන මුදල් නිසි ලෙස සෞඛ්‍ය සේවා සඳහා යෙදවීම ආදී විෂයයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලට විද්වත් උපදෙස් දෙන ලොව පිළිගත් විශේෂඥයෙක්.

    අමෙරිකාවේ හාවර්ඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඔහු, දත්ත මත පදනම් වී සහ තුලනාත්මකව විද්වත් මතය ප්‍රකාශ කරමින් පොදු උන්නතිය වෙනුවෙන් හඬ නගන (එහෙත් ජනමාධ්‍ය හරහා ප්‍රතිරූප ගොඩ නංවා ගන්නට තැත් නොකරන) අයෙක්.

    COVID-19 අර්බුදය මුල සිටම ඔහු සිය දැනුම සහ අත්දැකීම මත පදනම් වී කරන විග්‍රහයන් අඩංගු විද්වත් ලිපි ඉංග්‍රීසි පුවත්පත්වලට ලියමින් සිටිනවා. එසේම එයින් සමහරක සිංහල පරිවර්තන තමන්ගේම බ්ලොග් අඩවියක් හරහා බෙදා ගන්නවා. http://www.ihp.lk/blogs/ravi/

    එහෙත් ඔහුගේ ස්වාධීන විග්‍රහ හා උපදෙස් ඇති තරම් මෙරට ජනමාධ්‍ය හෝ රාජ්‍ය අවධානයට යොමු වී නැහැ. මෙය කණගාටුදායක කරුණක්. 

    2020 ඔක්තෝබර් 29 වනදා Daily Mirror පත්‍රයේ ලිපියක් ලියමින් කොරෝනා දෙවන රැල්ල පිළිබඳව වෛද්‍ය රවී රන්නන් එලිය ස්වාධීන විග්‍රහයක් කළා. මෙතැන් සිට ඉදිරිපත් කරන්නේ එහි අනුවාදයක්. [ඔහු මුල් ලිපිය ලියූ උත්තම පුරුෂ ඒක වචනයෙන්ම එය අනුවාදිතයි.]

    කොරෝනා ආසාදන නැවත වරක් සීග්‍රයෙන් වැඩි වීම සමඟ ශ්‍රී ලංකාව පැමිණ සිටින්නේ ප්‍රපාතයක අභිමුඛයට බව පෙනෙනවා. අප දැන්වත් වසංගත ප්‍රතිචාර ක්‍රමවේදය වෙනස් නොකළොත් තත්ත්වය බෙහෙවින් දුෂ්කර විය හැකියි. එය හුදෙක් පාලනය කළ නොහැකි වසංගතයක් පමණක් නොව ආර්ථික වශයෙන් විශාල ගරා වැටීමකට ද තුඩු දෙනු ඇති. 

    අප මෙතැනට ආවේ කෙලෙසකින් ද යන්නට වඩා වැදගත් වන්නේ අප මෙතැන් සිට කරන්නේ කුමක්ද යන්නයි. මිනුවන්ගොඩ ආසාදන පොකුර ඇරඹුනේ කොතනින්ද, එයට වගකිව යුත්තේ කවරහුද, මේ වන විට කොරෝනා වෛරසය ප්‍රජා ව්‍යාප්ති (community spread) මට්ටමක පැතිර තිබේ ද ආදිය ගැන දිගටම තර්ක කරමින් සිටියොත් අප හමුවේ තිබෙන දැවැන්ත අභියෝගයට මුහුණ දිය නොහැකි වනවා. 

    මිනුවන්ගොඩ ආසාදන පොකුර පමණක් නොවෙයි, කන්දකාඩු පොකුර ද ඇරඹුනේ කොතැනින්ද යන්න සොයා ගත නොහැකිව තිබෙනවා. කොරෝනා වෛරසය සාර්ථක ලෙස පාලනය කළ චීනය, වියට්නාමය සහ නවසීලන්තය වැනි රටවල ද ආරම්භය නොපැහැදිලි ආසාදන පොකුරු පැවතියා. එය අසාර්ථකත්වය පිළිබඳ සාධකයක් නොවෙයි.

    වඩා තීරණාත්මක වන්නේ තැනින් තැන මතු වන ආසාදන පොකුරුවලට රටක් දක්වන ප්‍රතිචාරය කුමක් යන්නයි. අප අසමත්ව තිබෙන්නේ එතැනයි!

    අපේ රටේ අලුත් ආසාදන පොකුරක් සොයා ගත් සෑම අවස්ථාවකදීම එය ඇති තරම් කල් තබා හඳුනා ගන්නට නොහැකි වුණා. එයට හේතුව කොරෝනා සඳහා නිතිපතා PCR පරීක්ෂාවන් ඇති තරම් සිදු නොවීමයි. [දින ගණනක් යන තුරු බොහෝ ආසාදිතයන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා, ආසාදන හඳුනා ගැනීමට ඇති එකම නිශ්චිත ක්‍රමය PCR පරීක්ෂාවන් සිදු කිරීමයි.]

    ලෝකසෞඛ්සංවිධානයේනිර්වචනයටඅනුවකොරෝනාවෛරසයේප්රජාව්යාප්තියමෙරටසිදුවඇත්දයන්නගැනවිවාදකරනවාටවඩාහදිසිඅවශ්යතාවයවන්නේරටේබොහෝප්රදේශවලවෛරසයපැතිරතිබෙනබවතේරුම්ගෙනඑයමර්දනයටඅවශ්නිසිපියවරඉක්මනින්ගැනීමයි.

    උදාහරණයකට මිනුවන්ගොඩ/බ්‍රැන්ඩික්ස් ආසාදන පොකුර සලකා බලමු. ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ගැන දින ගණනාවක් තිස්සේ දැන සිටියත් ඔවුන් කිසිවකු PCR පරීක්ෂාවකට ලක් වූයේ නැහැ.

    දැනට හඳුනාගෙන තිබෙන මුල්ම රෝගී කාන්තාව රෝහල් ගත වූ විට පවා ඇයට එම පරීක්ෂාව සිදු කෙරුණේ නැහැ. ඇය COVID-19 ආසාදිත බව සොයා ගත්තේ රෝහලෙන් පිටව යන මොහොතේදීයි. එය අපි පළමුවන ‘රතු එළිය’ ලෙස සලකමු. 

    ඒ තීරණාත්මක දින කිහිපය තුළ ඇයගෙන් නොදැනුවත්ව වෛරසය තව බොහෝ දෙනෙකුට පැතිරෙන්න ඇති. PCR පරීක්ෂාවන් වැඩි කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රසිද්ධියේම උපදෙස් දී තිබියදීත්, සෞඛ්‍ය බලධාරීන් එයට නිසි ප්‍රමුඛතාවය නොදුන්නේ ඇයි?

    ඊළඟ රතු එළිය දැල්වුනේ මිනුවන්ගොඩ කර්මාන්තශාලා සේවිකාවන් රාශියක් ආසාදිතයන් බව පරීක්ෂාවන් හරහා හෙළි වීමෙන්. එයින් පෙනී යන්නේ දින හෝ සති ගණනක් තිස්සේ මෙම වෛරසය ඒ ආශ්‍රිතයන් අතර බෝ වෙමින් තිබූ බවයි.

    මේ දත්ත මතු වූ පසු සෞඛ්‍ය බලධාරීන් ඉක්මනින් තේරුම්ගත යුතුව තිබුණේ මේ වසර මුල අප මුහුණ දුන් කොරෝනා පළමුවන රැල්ලට වඩා මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවයි.

    මිනුවන්ගොඩ ආසාදන පොකුර, ඊට පෙර මතු වූ ආසාදන පොකුරුවලට වඩා විසිර පැතිර ගිය එකක්. මෙම ආසාදිතයන්, වැලිසර හෝ කන්දකාඩු ආසාදන පොකුරුවලදී මෙන් තනි පරිශ්‍රයක පදිංචි වූවන් නොවෙයි. විවිධ නිවෙස්වල පදිංචි මිනුවන්ගොඩ ආසාදිතයන්ට විවිධාකාර ආශ්‍රිතයන් සිටියා. 

    මේ අතර වසර මැද සිට මාධ්‍ය හරහා වැඩිපුරම අපට අසන්නට ලැබුනේ ‘ශ්‍රී ලංකාව කොරෝනා ආසාදනය ජය ගෙන ඇති’ බවයි. එම නිසා, මිනුවන්ගොඩ ආසාදිතයන් (තමන් ආසාදිත බව නොදැනම) පවුලේ උදවිය සහ හිතමිතුරන් ඇසුරු කරමින් සාමාන්‍ය පරිද්දෙන් ගමන් බිමන් යාමට පටන්ගෙන තිබුණා. එබැවින් මිනුවන්ගොඩින් මතු වූ ආසාදන රටේ පැතිර යන්නට ගත වුණේ කෙටි කාලයක්.  

    මිනුවන්ගොඩින් මතුවූ වෛරසය ඉක්මනින් සහ පුළුල්ව පැතිර යාමට හේතුව නම් අප ඇති තරම් PCR පරීක්ෂාවන් අහඹු ලෙස නොකිරීමයි. නිතිපතා පරීක්ෂාවන් නොකරන විට අප කිසිවකුත් නොදැනම සමාජයේ වෛරසය පැතිරිය හැකියි. 

    ආසාදන පොකුරක් මතු වූ පසුව ලහිලහියේ PCR පරීක්ෂාවන් වැඩි කළ විට COVID-19 ආසාදිතයන් වැඩියෙන් හමුවීම ස්වාභාවිකයි. එවිට බැලූ බැල්මට පෙනෙන්නේ වෛරසය ඉතා වේගයෙන් පැතිරෙන බව වුවත්, ඇත්තටම ආසාදන සංඛ්‍යාව වැඩි වීමට ආසාදන ඉහළ යාම මෙන්ම ඒවා වැඩිපුර සොයා ගැනීමත් යන සාධක දෙක ම දායක වනවා.  

    2020 මාර්තුවේ ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ ආසාදන ඉතා සීග්‍රයෙන් පැතිර යන විටද මෙබන්දක්ම සිදු වුණා. මුලදී ඔවුන් සිතුවේ රටටම ආසාදන පැතිර වූ super-spreader ලෙස නම් කරන සිදුවීම් මෙයට හේතු වූ බවයි.

    එහෙත් පසුව සොයා ගත්තේ සති ගණනක් තිස්සේ කිසිවකුත් නොදැන කොරෝනා වෛරසය ටිකෙන් ටික ඒ රටවල පැතිරී තිබුණු බව සහ පසුව පරික්ෂා කරන්නට ගත් විට ඒවා මහා පරිමාණයෙන් සොයා ගැනුණු බවයි. 

    මෙයින් ගත යුතු පාඩම ආසාදන සංඛ්‍යා විග්‍රහ කරද්දී ඉතා ප්‍රවේශම් විය යුතු බවයි.

    මිනුවන්ගොඩින් පැතිර ගිය ආසාදනය පුළුල් වයස් පරාසයක පුද්ගලයන්ට වැළඳී ඇති බව දත්තවලින් පෙනෙනවා. වයස වැඩිවත්ම ආසාදනයට ඇති ඉඩකඩ ද ඉහළ යනවා. වයසින් වැඩි අයට වෛරසය ආසාදනය වූ විට ඔවුන් රෝග ලක්ෂණ පහළ කිරීමට ද වැඩි ඉඩක් තිබෙනවා. රෝග ලක්ෂණ පහළ වූ විට ඔවුන් අතින් රෝගය අන් අයට පැතිරීමට වැඩි හැකියාවක් තිබෙන බව ද පර්යේෂණවලින් පෙනෙනවා. 

    මේ සාධක නිසා මෙවර ආසාදනවලින් මිය යන සංඛ්‍යාව මෙන්ම රෝහල්ගත වන සංඛ්‍යාව ද කලින්ට වඩා වැඩි වීමක් පෙනෙනවා. මුල් වටයේ දී ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව සීමිත වූයේ ආසාදනයට ලක් බොහෝ දෙනා වයසින් අඩු පුද්ගලයන් වූ නිසයි. 

    වෛරසය ශරීරගත වී දින හා සති ගණනාවක් තිස්සේ රෝගී තත්ත්වය උග්‍ර වූ පසුවයි ටික දෙනකුට මරණය අත් වන්නේ. මෙවර වාර්තා වන COVID-19 මරණවලින් සමහරක් රෝගීන් රෝහල්ගත විගසම මිය ගියා යයි මාධ්‍ය වාර්තා කළා. සමහරුන්ගේ ආසාදිත තත්ත්වය තහවුරු වූයේ මියගිය පසු කළ පරීක්ෂාවලින්. මෙසේ වන්නේ සති ගණනක් තිස්සේ කිසිවකුත් නොදැන වෛරසය සමාජයේ පැතිරෙමින් තිබූ නිසා විය යුතුයි.

    අවසාන රතු එළිය ලෙස මා දකින්නේ මෙරට සෞඛ්‍ය සේවාවට මෙම වසංගතය කළමනාකරණය කරන්නට හැකි ධාරිතාවේ සීමා ළඟා වෙමින් තිබෙන බව පෙනීමයි. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නොමැති වීම නිසා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම යළිත් සීමා කරන්නට සිදුව තිබෙනවා. ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් (first contacts) පෙර මෙන් නිරෝධායන මධ්‍යස්ථානවලට නොයවා නිවසේම ස්වයං නිරෝධායනය වීමට සලස්වන්නේ ද මධ්‍යස්ථානවල ඉඩ මදි වීම නිසයි.

    PCR පරීක්ෂාවන් දවසකට 10,000 පමණ සිදු කළත් මේ වන විට එයද සෑහෙන්නේ නැහැ. පරීක්ෂාවන් ප්‍රමාණය තවත් වැඩි කිරීම සඳහා මහජන සෞඛ්‍ය පද්ධතියට ධාරිතාවක් නැති බව සෞඛ්‍ය බලධාරීන් දැන් පිළිගෙන තිබෙනවා. ධාරිතාව වැඩිකර ගැනීමට ගෙවී ගිය මාස කීපය තිස්සේ ඇති තරම් පියවර නොගැනීමෙහි විපාක දැන් අත්විඳිනවා.

    මේ දුෂ්කර අභියෝග හමුවෙහි කුමක් කළ හැකිද?

    මහජනයාට පැය 48ක දැනුම්දීමකින් පසුව මුළු රටටම බලපාන පරිදි දින 14ක නිවාස අඩස්සිය හෙවත් lock-down එකක් කළ යුතුයි. බස්නාහිර පළාතට පමණක් එවැනි සීමාවක් පැනවීම සෑහෙන්නේ නැහැ. අප COVID-19 සඳහා රෝග ආවේක්ෂණය ඇති තරමට හා දිගටම නොකළ නිසා මේ වන විට වෛරසය කෙතරම් දීප ව්‍යාප්ත වී ඇතිද යන්න කීමට නොහැකියි. දැන්වත් ප්‍රවේශම්කාරී පියවර හැකි තරම් ගැනීම අවශ්‍යයි. 

    එවන් ලොක්ඩවුන් එකක් දීප ව්‍යාප්තව සිදු කළත් එයද නොසෑහෙන්නට පුළුවනි. වෙනත් දියුණු වන රටවල කොරෝනා පැතිරීම ලොක්ඩවුන් හරහා මුළුමනින් පාලනය නොවූ බවට සාක්ෂි තිබෙනවා. එසේ වුවද අලුත් ආසාදන පොකුරු මතුවීම නම් ලොක්ඩවුන් මගින් සමනය කර ගත හැකියි.

    ජනාධිපතිවරයා සිය ධුර කාලයේ කිරීමට අපේක්ෂා කරන සංවර්ධන සැලසුම් සියල්ල කොරෝනා වසංගතය නිසා අඩාලවීමේ අවදානමක් තිබෙනවා.

    මේඅර්බුදයඋග්වීමටහේතුලෙසමාදකින්නේවසංගතයහරිහැටිකළමනාකරණයටසෞඛ්නිලධාරීන්අසමත්වීමසහරජයටඋපදෙස්දෙනවෛද්විශේෂඥයන්ගේගතානුගතිකචින්තනයයි

    මේ මොහොතේ සියලු ප්‍රයත්නයන් ගත යුත්තේ දිනපතා PCR පරීක්ෂාවන් 50,000 පමණ සිදු කිරීමට කෙසේ හෝ ධාරිතාව වැඩි කර ගැනීමටයි. සමහර සෞඛ්‍ය බලධාරීන් මෙයට නෑ-බෑ කියනු ඇති. එහෙත් ‘කිසිදා පරාජය කරන්නට බැරි’ යයි සලකන ලද කොටි සංවිධානය හමාර කිරීමේ වගකීමට උර දුන් වත්මන් ජනාධිපතිවරයාට, මේ වසංගතය මෙල්ල කිරීමට අවශ්‍ය නායකත්වය දිය හැකියි. 

    වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත් විට ද, නව යථාර්ථය තුළ ‘කොරෝනා සමග වාසය’ කිරීමට අපට අනුගත වන්නට සිදුවෙයි. [ආසාදනයෙන් බේරීමට සාර්ථක සහ ආරක්ෂාකාරී එන්නතක් ලැබෙන්නට තව මාස කිහිපයක් ගත වනු ඇති.] 

    උගුරේ කැසිල්ලක්, හොටු ගැලීමක් වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මතු වූ හැම විටෙකම ලෙහෙසියෙන් සහ නොබියව COVID-19 සඳහා PCR පරීක්ෂාවක් කර ගැනීමේ පහසුකම මෙරට සියළු පුරවැසියන්ට ලබා දීම අවශ්‍යයි.

    එසේ පරික්ෂා කිරීමේදී COVID-19 ආසාදිත යයි තහවුරුවන පුද්ගලයන් කිසිදු පීඩාවකට ලක් නොවන පරිදි සියුම් ලෙස ප්‍රතිචාර දැක්විය යුතුයි. රෝගියා හුදකලා කොට හැකි තාක් නිවසේ සිටම ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සූදානම ඇති කළ යුතුයි. 

    මහා පරිමාණයෙන් නිතිපතා PCR පරික්ෂා කිරීමේ උපායමාර්ගය අනුගමනය කරන රටවල හිටි අඩියේ විශාල ආසාදන පොකුරු මතුවීම වළක්වා ගන්නට හැකිව තිබෙනවා. නිරන්තර මුහුණු වැස්ම හෝ lockdownවලින් තොරව ටිකෙන් ටික සාමාන්‍ය ජන ජීවිතයකට යළි පිවිසීමට ඒ හරහා කෙමෙන් ඉඩ පාදා ගත හැකියි.

    අවසන් වශයෙන් මා අවධාරණය කරන්නේ මෙයයි. COVID-19 සාර්ථකව මැඩ පැවැත්වීම කළ රටවල් ඒ සඳහා ගත් ක්‍රමෝපායන් අප අධ්‍යයනය කොට ඒවායෙන් පාඩම් උගත යුතුයි. ඒ රටවල සාර්ථකත්වයට හේතුව ඇත්තේ ගතානුගතික විශේෂඥ උපදෙස් වෙනුවට මේ දැවැන්ත නව අභියෝගයට ගැලපෙන පරිදි අලුතෙන් සිතීමයි. ගතානුගතිකත්වයට මුල් තැන දුන් බ්‍රිතාන්‍යයේ COVID-19 මර්දනය ලොකු අර්බුදයකට ගොස් තිබෙන හැටි මෙනෙහි කිරීමත් වැදගත්.

    COVID-19 යනු අපට හුරුපුරුදු සාම්ප්‍රදායික බෝවන රෝගයක් නොවෙයි.  ඒ නිසා සාම්ප්‍රදායික වසංගතවේදය මුල්කර ගෙන මේ වසංගතය කළමනාකරණය කරමින් යා හැකි දුර සීමිතයි.

    අපේ මහජන සෞඛ්‍ය සේවාවේ වැඩිකොට ම සිටින්නේ දක්ෂ සහ කැප වූ නිලධාරී පිරිසක්. එහෙත් ඔවුන්ගේ දැක්මේ සීමාවන් ඇති බව පැහැදිලියි. සමස්ත වසංගත නිවාරණ උපාය මාර්ග (overall pandemic strategy) සඳහා රාජ්‍ය සෞඛ්‍ය තන්ත්‍රයෙන් පරිබාහිර ස්වාධීන විශේෂඥ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය යයි මා විශ්වාස කරනවා.

    නාලක ගුණවර්ධන

    මෙම ලිපිය 2020 නොවැම්බර් 08 වැනි දින ‘රාවය‘ පුවත්පතේ පළ වී ඇත. කාලීනභාවය සලකා කළ ඍජු උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරක

    ඩේලිමිරර් පත්‍රයේ මුල් ලිපිය මෙතැනින් කියවන්න: https://bit.ly/2I3mO1q

  • සෞදි ‘Kafala’ කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 10කට සහන

    සෞදි ‘Kafala’ කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 10කට සහන

    සෞදි අරාබියේ බල පැවැත්වෙන ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අවලංගු වියයුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කියා සිටිති

    නව සමාරම්භක කම්කරු ප්‍රතිසංස්කරණ නීතිය පෞද්ගලික අංශයේ සියළු සංක්‍රමණික කම්කරුවන්ට ලබන වසරේ මාර්තු මාසයේ පටන් අදාළ වෙන බව සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය පවසයි.

    නව කම්කරු ප්‍රතිසංස්කරණ යෝජනා සෞදි අරාබියේ රැකියාවන්හි නිරත කෝටියක් පමණ වූ විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ජීවිත කෙරෙහි දැනට බල පැවැත්වෙන දැඩි නීති ළිහිල් කරනු ලැබීමට ඉවහල්වනු ඇත.

    සෞදි අරාබියේ බල පැවැත්වෙන ශ්‍රමය හාම්පුතුන්ට ගැටගසා තබනු ලබන ‘කෆාලා’ (kafala) ක්‍රමය සහමුලින්ම අවලංගු විය යුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කලක් පටන් කියා සිටිති.

    ‘කෆාලා’ යන වචනයෙහි තේරුම භාරකාරත්වය යන්නයි. එම ක්‍රමය යටතේ ශ්‍රමිකයාට හාම්පුතා මතම බැඳී සිටීමට සිදුවෙයි. එම ‘කෆාලා’ ක්‍රමය යටතේ ශ්‍රමිකයන් සූරාකෑමට මෙන්ම තර්ජන හිරිහැර ආදියට ගොදුරුවෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

    එවැනි පරිසරයක් තුළ බදාදා ප්‍රකාශිත නව කම්කරු ප්‍රතිසංස්කරණ අනුව කම්කරුවන්ට සිය රැකියා සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ දී හාම්පුතුන්ගේ අවසරය අවශ්‍ය නොකෙරෙනු ඇත.

    හාම්පුතාගේ මනාපය පරිදි කම්කරුවන් බැඳතබා ගැනීමේ සෞදි අරාබියානු සම්ප්‍රධායික ශ්‍රම බැම්ම හඳුන්වනු ලබන්නේ ‘කෆාලා’ යන වචනයෙනි. නව ප්‍රතිසංස්කරණය අනුව එහි එක්තරා වෙනසක් සිදුවෙනු ඇත. ඒ අනුව ශ්‍රමිකයන්ට රැකියාවේ වෙනසක් සිදුකරනු ලැබීමට හෝ ඉන් ඉවත්ව යාමට හාම්පුතාගේ මනාපය හෝ අවසරය අවශ්‍ය නැත. එසේම හාම්පුතුන්ගේ අවසරයකින් තොරව පිටරටවල සංචාරය කිරීමට ද ශ්‍රමිකයන්ට නිදහස ලැබෙයි.

    නව ප්‍රතිසංස්කරණ අනුව විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලැබෙන තවත් අයිතිවාසිකමක් වන්නේ ආණ්ඩුවේ රැකියා සඳහා කෙලින්ම ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවීමයි. එසේම ඔවුන් හාම්පුතුන් සමඟ ඇතිකරගනු ලබන කොන්ත්‍රාත් ගිවිසුම්වලට අදාළ ලියැවිලි ‘ඩිජිටල්’ මට්ටමින් පවත්වාගනු ඇත.

    එක් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු විසින් නව ප්‍රතිසංස්කරණ විග්‍රහකරන ලද්දේ සුවිශේෂී අවස්ථාවක් හැටියටය. ශ්‍රමය බැඳ තබන ‘කෆාලා’ ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසිකරන ලෙස ඔහු ඉල්ලීමක් ද කළේය

    “මෙම සමාරම්භය මගින් අපේ ඉලක්කය වන්නේ ශ්‍රම වෙළෙඳපොල ආකර්ෂණය කර ගැනීම සහ වැඩකිරීමේ පරිසරය වඩාත් හිතකර තත්වයකට ගෙන ඒමයි,” ඉහත කී ප්‍රතිසංසකරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රියාද් නගරයේ දී මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශයක් කළ සෞදි අරාබි මානව සම්පත් භාර නියෝජ්‍ය ඇමති අබ්දුල්ලා බින් නසීර් අබුතුනේන් (Abdullah bin Nasser Abuthunain) සඳහන් කළේය.

    saudi arabia
    සෞදි අරාබිය 2030 වනවිට දිනාගැනීමට අපේක්ෂාකරන ඉලක්ක මුදුන්පත් කර ගැනීමට ඉහත කී කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මහෝපකාරී වනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි

    දැනට ඛනිජතෙල් මත යැපෙන රටේ ආර්ථිකය විවිධාංගකරණය සඳහා පියවර ගනිමින් සිටින සෞදි අරාබිය 2030 වනවිට දිනාගැනීමට අපේක්ෂාකරන ඉලක්ක මුදුන්පත් කර ගැනීමට ඉහත කී කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මහෝපකාරී වනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

    “සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද නිවේදනය සුවිශේෂී එකක්. එම සැලැස්ම මගී සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තත්වය යහපත් අතට හැරෙන්නට ඉඩකඩ තියෙනව,” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ රොත්නා බෙගම් (Rothna Begum) බීබීසීයට අදහස් දක්වමින් සඳහන් කළාය.

    “කොහොම නමුත්, මෙම නව ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අහෝසිකර දැමීමක් සිදුකර නැහැ.”

    නව ප්‍රතිසංස්කරණය යටතේත් ශ්‍රමිකයන්ට සෞදි අරාබියට ඇතුල්වීම සඳහා රැකියා සපයන තැනැත්තකුගේ අනුග්‍රාහකත්වය ඉදිරියේදීත් අවශ්‍ය කරන ආකාරයක් පෙනී යන බවත්, ශ්‍රමිකයන්ගේ වීසා බලපත් යළි දීර්ඝකරනු ලැබීම හෝ අවලංගු කරනු ලැබීම එම අනුග්‍රාහකයා අත රඳා පවතින බවත් රොත්නා බෙගම් (Rothna Begum) පෙන්වා දෙන්නීය.

    “ඒකෙ තේරුම ශ්‍රමිකයන් තවදුරටත් සූරාකෑමට සහ හිරිහැරවලට ගොදුරුවෙන්න ඉඩකඩ තියෙනව කියන එක වෙන්න පුළුවන්. හාම්පුතුන්ට ශ්‍රමිකයන් මත බලපෑමක් කරන්න පුළුවන්තාක් කල් එම අනතුර පවතිනවා,” බෙගම් අනතුරු ඇඟවීමක් ද කළාය.

    ‘ගෘහ සේවයට අදාළ නැති ප්‍රතිසංස්කරණයක්’

    “මෙතැන තවත් අඩුපාඩුවක් තියෙනව. ඒක තමයි, ගෘහසේවක සේවිකාවන්ට මේ ප්‍රතිසංස්කරණය අදාළ නොවීම. සෞදි අරාබියේ වැඩියෙන් ම අනතුරුදායක අඩියක රැකියාවල නිරතවෙලා ඉන්නේ ගෘහ සේවක සේවිකාවන්,” ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    saudi
    සෞදි අරාබියේ දී රැකියා අහිමිව මහාමාර්ගයේ සීතලේ කල්ගෙවන ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක්

    “කොපමණ ගෘහසේවක සේවිකාවන් පිරිසක් කිසිම විවේකයක් නැතිව දීර්ඝ පැය ගණන් ගෙවල්වල මෙහෙකාර වැඩවල නිරතවෙලා ඉන්නවද කියල හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ලැයිස්තුගත කරනු ලැබ තියෙනවා. ඔවුන්ට නිවාඩු දවසක් නැහැ. වැටුප් ගෙවන්නේ නැහැ. ගෙවල්වලට හිරකරල තියාගෙන ඉන්නවා.සමහර ගෘහසේවිකාවන් ශාරීරික වශයෙන් පහරදීම් සහ ලිංගික හිරිහැරවලට ගොදුරුවෙලා තියෙනව,” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ රොත්නා බෙගම් (Rothna Begum) පවසයි.

    “එපමණක් නොවෙයි, කිසිදු ලියකියැවිල්ලක් නොමැති ලක්ෂ ගණනක් ශ්‍රමිකයන් සෞදි අරාබිය තුළ ඉන්නවා. ඒ වගේ ශ්‍රමිකයන්ට ලියකියැවිලි හදා ගැනීමට හෝ අළුත් තැනක රැකියාවක් සොයා ගැනීමට අවසර දෙනවද? නැද්ද? කියන කාරණය ගැන සෞදි බලධාරීන් කිසිවක් කියන්නේ නැහැ. ඔවුන්ගෙන් වැඩිදෙනා එවැනි තත්වයකට වැටිලා තියෙන්නේ ඔවුන්ගේ වැරැද්දෙන් නොවෙයි,” රොත්නා බෙගම් පෙන්වා දෙයි.

    Text by bbc

  • පාසලට යන දරුවා නිවසට කොරෝනා රැගෙන එයිද ? – ඇත්ත දැන ගනිමුද ?

    පාසලට යන දරුවා නිවසට කොරෝනා රැගෙන එයිද ? – ඇත්ත දැන ගනිමුද ?

    කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින් පැවසෙයි.

    පසුගිය පෙබරවාරි සහ අගෝස්තු මාස අතර සිදුකරන ලද එම සමීක්ෂණය මගින් එවැනි නිගමනයට පැමිණ තිබෙන්නේ ළමුන් සමඟ සහ ළමුන්ගෙන් ඈත්ව සිටින පුද්ගලයන් වශයෙන් ජීවත්වෙන වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන් අනූලක්ෂයක තොරතුරු ඔවුන් වෛරසය බෝවීම අතින් මුහුණදෙන අනතුරුදායක තත්වයන් සමඟ සංසන්දනය කිරීම මගිනි.

    වයස අවුරුදු 18ට අඩු වයසේ ළමුන් සමඟ එකම නිවසක ජීවත්වීම කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් බරපතල මට්ටමින් රෝගාතුර වීමේ හෝ මරණයට පත්වීමේ අනතුරක් එල්ල නොකරන බව ඉහත කී සමීක්ෂණය මගින් පෙන්නුම් කරයි.

    “ළමුන් පාසලේ සිට ගෙදර පැමිණීම මගින් වෛරසය නිවසේ සෙසු අයට බෝවීමක් සිදුවෙන්නේ නැහැ,” එම සමීක්ෂණයට හවුල් වූ විද්‍යාඥයෙක් පවසයි.

    covid
    Covid-19 ආසාදනය වුනත් ළමුන් තුළ රෝග ලක්ෂණ ප්‍රදර්ශනය නොවීමේ ඉඩකඩක් පවතී

    ‘ජීවත්වීම හැදෑරීම’

    ඉහත කී සමීක්ෂණය සිදුකරනු ලැබ තිබෙන්නේ ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යාතනය (LSHTM) සහ ඔක්ස්ෆර්ඩ් සරසවිය (University of Oxford) විසිනි. එම හැදෑරීම මගින් අනාවරණය වී තිබෙන්නේ, ප්‍රාථමික පාසල්වල පන්තිවලට සහභාගි වෙන බාලවයසේ දරුවන්ගෙන් නිවසේ වැඩිහිටියන්ට Covid-19 වෛරසය ආසාදනය වීම හෝ රෝහල්ගතවීම අතින් වැඩි අනතුරුදායක තත්වයක් මතු නොකරන බවය.

    සමීක්ෂණයේ දී ඉස්මතු වූ තවත් කරුණක් වූයේ, ළමුන්ගෙන් තොරව ජීවත්වෙන වැඩිහිටියන්ට වඩා ළමුන් සමඟ ජීවත්වෙන වැඩිහිටියන් මරණයට පත්වීමට ඇති ඉඩකඩ 25%කින් පමණ අවම වන බවකි.

    ද්විතීයික පාසල් අධ්‍යයන වියේ පසුවෙන ළමුන් සමඟ ජීවත්වෙන වැඩිහිටියන්ට Covid-19 වෛරසය ආසාදනයවීම අතින් ඇත්තේ කුඩා අන්තරායකි. එය 8%ක් පමණක්ය යන්න සමීක්ෂකයන්ගේ නිගමනය වෙයි. එහෙත් එම අනතුරත් රෝහල්ගත කරනු ලැබීමට තරම් දරුණු එකක් නොවේ.

    එසේම ළමුන්ගෙන් ඈත්ව ජීවත්වෙන වැඩිහිටියන්ට වඩා ළමුන් සමඟ ජීවත්වෙන සම වයසේ වැඩිහිටියන් සාපේක්ෂව ඇතැම්විට වඩාත් නිරෝගීවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන හෙයින් ඔවුන් කොරෝනාවෛරසයෙන් මරණයට පත්වීමට ඇති ඉඩකඩ 27%ක් තරම් පහල මට්ටමක පවතී.

    දුම්බීම, සමාජ-ආර්ථික දුෂ්කරතා, ජනවාර්ගිකත්වය සහ නිදන්ගත සෞඛ්‍ය ප්‍රශ්න ආදියත් සමීක්ෂකයන් විසින් සැලකිල්ලට ගනු ලැබ ඇත.

    මහා හානියක් නැහැ

    සමීක්ෂණයට සහභාගි වූ විද්‍යාඥයකු වන ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යාතනයේ (LSHTM) මහාචාර්ය ලියෑම් ස්මිත් මෙසේ සඳහන් කරයි.

    “දරුවන් සමඟ ජීවත්වෙන ජනතාව පොදුවේ වඩාත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙන බව අපි දන්නවා. කවර හේතුවක් නිසා හෝ එවැනි වැඩිහිටියන් මරණයට පත්වීමට ඇති අනතුර පහල මට්ටමක පවතිනවා.”

    “රෝහල්ගත කරනු ලැබීම සහ මරණ වැනි නරක කෝවිඩ් ප්‍රතිවිපාකවල ඉතාම සමාන රටාවක් අපි දකිනවා. ඉතින්, දරුවන් පාසලේ සිට ගෙදර පැමිණීම නිසා වෛරසය පැතිරීම අතින් පවතින සමස්ත අනතුරක් අපට පේන්නේ නැහැ,” මහාචාර්ය ස්මිත් පවසයි.

    covid
    දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී එක්සත් රාජධානියේ බොහෝ පළාත්වල පාසල් දිගටම විවෘතව පවත්වා ගනිමින් පවතී

    ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ මෙවැනි අදහසකි.

    “අපට පාසල් විවෘතව තබාගැනීමට හැකිනම්, බොහෝ දෙනෙක් කැමැති වෙනවා ඇති. පාසල් පවත්වාගෙන යාම අපේ ළමා පරපුරට ඉතාම වැදගත්. සිදුකරනු ලබන අධ්‍යාපන කටයුතු මගින් සමානත්වයට අදාළ එක කොටසක් සම්පූර්ණ කෙරෙනවා. ළමුන් සමඟ ජීවත්වීම මගින් සමස්ත වශයෙන් හානිදායක තත්වයක් උද්ගතවෙන්නේ නැහැ.”

    ආචාර්ය බෙන් ගෝල්ඩෙකර් (Dr Ben Goldacre) ඔක්ස්ෆර්ඩ් සරසවියේ තොරතුරු දත්ත විද්‍යාගාරයේ (DataLab) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහුත් ඉහත සඳහන් කරන ලද සමීක්ෂණයට සහභාගි වූ විද්‍යාඥයෙකි. එක්සත් රාජධානියේ බලපැවැත්වෙන දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී ලැබෙන තොරතුරු දිගටම විශ්ලේෂණය කෙරෙන බව ආචාර්ය බෙන් ගෝල්ඩෙකර් (Dr Ben Goldacre) පවසයි. මෙම දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී එක්සත් රාජධානියේ බොහෝ පළාත්වල පාසල් දිගටම විවෘතව පවත්වා ගනිමින් පවතී.

    “මේ ප්‍රතිපත්තිමය මැදිහත්වීමේ සූක්‍ෂම දැනුමට අදාළ දත්ත තොරතුරු අපට හැකි පරිදි හැකි ඉක්මණින් ලබාගැනීම වැදගත්. මොකද? අපත් සමඟ ජීවත්වෙන ජනතාවට හානිකර නිසා මේ කෝවිඩ් පිළිබඳ කතාව ජීවිතය පිළිබඳ හැදෑරීමක්,” ආචාර්ය ගෝල්ඩෙකර් සඳහන් කරයි.

    මෙහි සාකච්ඡාවට ගත් සමීක්ෂණයට සමාන තවත් සමීක්ෂණයක් ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ සරසවියේ මහජන සෞඛ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ඩේවිඩ් මැක්ඇලිස්ටෙයාර් (Dr David McAllister) විසින් ද සිදුකරනු ලැබ ඇත. එම සමීක්ෂණයේ දී පෙන්නුම්කරනු ලැබ තිබෙන්නේ මෙවැනි තත්වයකි.

    “පාසල් යන වයසේ ළමුන් ජීවත්වෙන කුටුම්භයක් ඉතා අනතුරුදායක සෞඛ්‍ය ප්‍රශ්නවලින් පෙළෙන වැඩිහිටියන් සඳහා සුදුසු ස්ථානයක් නොවේ.”

    Text by bbc sandesaya

  • සහල් මාෆියාව ගැන හර්ෂ ද සිල්වා කරන සුපිරි හෙළිදරව්ව

    සහල් මාෆියාව ගැන හර්ෂ ද සිල්වා කරන සුපිරි හෙළිදරව්ව

    සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි මා විසින් අවධාරණය කළෙමි. 

    නමුත්, වත්මන් රජය විසින් සිදුකළ එම අත්තනෝමතික විනාශය වෙනුවෙන් මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට සිදුවී තිබේ. ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබියදීත් සහල් මිල පාලනය කිරීමට නොහැකි වී තිබෙන අතර සහල් මිල පාලනය කිරීම සඳහා වත්මන් රජය විසින් පස්වන  ගැසට්ටුවද ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ. එහි සඳහන් වන්නේ සුදු/රතු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු කැකුළු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 92 ක සහ සුදු/රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89 ක උපරිම මිලක්ද නියම කර ඇති බවයි. මෙය සහල් නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාට අලෙවි කළ යුතු මිලයි.

    ගැසට් ගසා වෙළෙඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අපහසු බව වත්මන් රජය අවබෝධ කරගත යුතු අතර මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍ර හතරේම සඳහන් වූ උපරිම මිල සීමාවන්ට යටත්ව පාරිභෝගිකයාට වෙළෙඳපොළේ සහල් සොයා ගැනීමට නොහැකි විය. මේ ආකාරයෙන්ම, රජය විසින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන උපරිම මිල සීමාවන්ට යටත්වද සහල් ලැබෙන තුරු බලා සිටියහොත් කිසිවෙකුටත් ඉදිරියේදී බත් කන්නට සිදුවන්නේ නැත. 

    ගැසට් පිට ගැසට් ගැසුවත් වෙළෙඳපොළේ සම්බා සිල්ලර සහල් කිලෝවක සැබෑ මිල රුපියල් 125 ක් පමණ වන අතර නාඩු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 105 – 110 ත් අතර අගයක් ගනී. ඒ අතරම, කිරී සම්බා සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 140-150 ත් අතර මිලක් ගන්නා අතර කැකුළු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 100 – 105 අතර මිලක් ගනී. 

    ආණ්ඩුවට වැරදුණේ කොතනද ?

    සහල් මිල තුවක්කුවෙන් පාලනය කළ නොහැකි බව මා දිගින් දිගටම ප්‍රකාශ කළෙමි. එසේම, සහල් මිල ගැසට් ගසාද පාලනය කළ නොහැකිය. කළ යුත්තේ නිසි වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සාධක මෙරට වෙළෙඳපොළ තුළ පවතී. ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇත. වී වල හිඟයක් නොමැත. මේ නිසා, පිටරටින් සහල් ආනයනය නොකර මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්ය ඇතිකළ හැකිය. 

    සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති කරන්නේ කෙසේද ?

    මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතුය. ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ වී මොල් හිමියනුයි. සහල් මාෆියාවට සැමදා තර්ජනයක් වූයේ මෙම කණ්ඩායමයි. මොවුන් ශක්තිමත් වුවහොත් ඔවුන්ද වෙළෙඳපොළට පැමිණ කරට කර වී මිලදීගන්නට ඉදිරිපත් වේ. එවිට, සහල් මාෆියාවට අවශ්‍ය තරම් හංගාගන්නට වී තොග මිලදීගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළේ තරග කරන විට සහල් මාෆියාවට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කිරීමට හැකියාවක්ද ලැබෙන්නේ නැත. 

    “ශක්ති” සහල් වැඩසටහනේ දැක්ම

    මා විසින් සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සම්බන්ධ කරගනිමින් “ශක්ති“ සහල් ව්‍යාපාරය ආරම්භ කළේ වෙළෙඳපොළේ මෙම තරගකාරීත්වය ඇති කිරීමටයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ කාලයේ මෙරට වෙළෙඳපොළේ සහල් මිල වැඩිවූයේ නැත. මෙම වැඩසටහන කුඩාවට පටන් ගත්තද මෙම සංකල්පයේ තිබූ තර්ජනාත්මක ස්වරූපය අවබෝධකරගත් සහල් මාෆියාව මෙම වැඩසටහන නතර කිරීමට දිගින් දිගටම බලපෑම් කළේය. සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මෙම වැඩසටහන යටතේ වී මිලදීගැනීමට ලැබිය යුතු මුදල්, මුදල් අමාත්‍යංශය හරහා ලැබීම ඉතාමත් සූක්ෂම ලෙස ප්‍රමාද කිරීමට සහල් මාෆියාව කටයුතු කළ හැටිත් එයට එරෙහිව මා සටන් කළ හැටිත් මේ අවස්ථාවේ සිහිපත් වේ. වර්තමාන රජය කළ යුතුව තිබුණේ “ශක්ති“ සහල් වැඩසටහන තව තවත් ශක්තිමත් කර ඉදිරියට රැගෙන ගොස් වෙළෙඳපොළ තරගකාරීත්වය උපරිම කර සහල් මාෆියාව පුපුරවා හැරීමයි. දැක්මක් ඇතිව වැඩක් කරන්නේ එසේයි. දේශපාලන පාට කණ්නාඩි වලින් නොබලා එසේ කළා නම් අද වනවිට මෙවැනි ලැජ්ජාශීලී ගැසට් නිවේදන පිට පිට ප්‍රකාශයට පත්කිරීමට රජයට සිදු නොවනු ඇත. මේ නිසා, ඉදිරියටත් රජයට ඇති එකම විසඳුම වන්නේ මා විසින් ආරම්භ කළ “ශක්ති“ වැඩසටහනෙන් මට ලකුණු වැටෙනවා යැයි සිතෙනවා නම් වෙනත් නමකින් හෝ එවැනි තරගකාරී වැඩසටහනක් ආරම්භ කර වී තොග සඟවන සහල් මාෆියාව පුපුරවා හැරීමයි. 

    වාර්තාගත වී අස්වැන්නක් තිබියදී සහල් ආනයනය කිරීම

    හෙට අනිද්දාට විශාල සහල් තොගයක් ආනයනය කිරීමට රජය කටයුතු කිරීමෙන් සහල් ප්‍රශ්නයේ බැරෑරුම්කම පෙනේ. වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබෙන රටක් මේ ආකාරයෙන් සහල් ආනයනය කිරීම යුක්ති සහගතද ? වෙළෙඳපොළ යාන්ත්‍රණය නිසි පරිදි හසුරුවා ගන්නට අසමත් ආණ්ඩුවක් මෙරට ක‍ෘෂි කර්මාන්තය දියුණු කිරීම කරන්නේ කටින් බතල කොළ සිටුවන න්‍යායටදැයි අපට අසන්නට සිදුවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ගොවි ප්‍රජාව ඡන්දය ලබාදුන්නේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. තමන්ගේ අනාගතය, තමන්ගේ දරුවන්ගේ අනාගතය සරුවනු ඇතැයි බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණි. තමන් ඇති තරම් වී වගා කරද්දී වත්මන් ආණ්ඩුව පිටරටින් සහල් ආනයනය කරනු ඇතැයි ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අවසාන වශයෙන් සටහන් කරන්නේ සහල් මිල තුවක්කුවෙන් හෝ ගැසට්ටුවෙන් පාලනය කළ නොහැකි බවයි.  

    හර්ෂ ද සිල්වා, පා. ම.

  • ජ’පුර සරසවියේ Covid සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සුපිරි හෙළිදරව්ව !

    ජ’පුර සරසවියේ Covid සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සුපිරි හෙළිදරව්ව !

    ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.  

    මහාචාර්ය නීලිකා මලවිගේ – ක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    ගෝලීයකරණයේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ පියවි ඇසට නොපෙනෙන සතුරකු හා සටන් වදිමින් සිටී. ඒ සතුරා වනාහී කොවිඩ් -19 ය.

    මෙකී වසංගත  තත්ත්වය සොයා බැලීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙහෙය වනු ලැබූ විශේෂ පර්යේෂණයක ප්‍රතිඵල මේ වන විට සමාජය තුළ සැලකිය යුතු කතාබහකට ලක්වී තිබේ. එහෙත් එම සැලකිය යුතු කතාබහ අතරින් ඇතැම්විට පරීක්ෂණයේ නිගමනවලට පරිබාහිර වූ දුර්මත කිහිපයක් ද සමාජය සිසාරා පැතිර යන බවක් පෙනෙන්නට තිබේ. මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.  

    කොවිඩ් – 19 රෝගය වැළදෙන්නේ SARS – CoV2 වෛරසයෙනි. මේ කියන්නාවූ SARS – CoV2 වෛරසය ලෝකය පුරා හැමතැනම පවතින්නේ එක ම වෛරසයකි.  ඇමරිකාවේ, එංගලන්තයේ, ජපානයේ, ශ්‍රී ලංකාවේ ආදි වශයෙන් සියලු රටවලට පවතින්නේ එකම වෛරසයකි. තවදුරටත් කිවහොත් SARS – CoV2 වෛරස පවතින්නේ එකක් බව පළමුකොට පැහැදිලි ව අවබෝධ කරගත යුතු ය.   

    එහෙත් එම වෛරසයේ සුළු සුළු ජානමය වෙනස්කම් හේතුවෙන් ප්‍රභේදවලට වෙන් කෙරේ. විශේෂයෙන් ම යම් වසංගත තත්ත්වයක් පැතිර යන විට ඊට අදාළ වෛරස ජානමය පරීක්ෂාවට ලක් කරන්නේ  වෛරසය කෙතරම් සීඝ්‍රයෙන් පැතිර යනවාද? එහි ප්‍රභේද කිහිපයක් එකම අවස්ථාවේ සංසරණය වීමේ තත්ත්වයක් පවතින්නේද? පාලනය කිරීම කෙතරම් දුරකට කරගත හැකිද? යන කරුණු පිළිබඳව සොයාබැලීමට ය.   

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් SARS – CoV2 වෛරස් ජානමය පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කළේ පළමු ශ්‍රී ලාංකික කොවිඩ් -19 ආසාදිතයා වාර්තා වූ ඉකුත් මාර්තු මාසයේ සිටම ය. මේ වන විට රට තුළ කොවිඩ් – 19 වසංගත අවදානම බරපතල තත්ත්වයකට පත්ව ඇති බව නොරහසකි.

    කොවිඩ් -19 පළමු රැල්ල සාර්ථක ව මැඩපැවැත්වූ පසු නැවතත් එම වසංගතයේ දෙවැනි රැල්ලක් හිස එසවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා පර්යේෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉල්ලීමක් ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනි. ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදුනි.   

    ඉකුත් මාර්තු මාසයේ මේ වෛරසයේ ප්‍රභේද කිහිපයක් අපේ රට තුළ හදුනාගත හැකි විය. ඒ විවිධ රටවල පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙනි. ඒ ඒ රටවල ඒ වන විට පැවති කොවිඩ් -19 තත්ත්වයෙන් බේරී සිටීමට රටවල් රැසක පුද්ගලයින් මෙරටට පැමිණ සිටීමත් සමඟ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ SARS – CoV2 වෛරසයේ ප්‍රභේද කිහිපයක් ම පැවැතිණි.

    මාර්තු අග වන විට රට ලොක්ඩවුන් කිරීමත් සමඟ රජය සහ මහජනතාව සිය යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් -19 වසංගත තත්ත්වය සාර්ථකව මැඩපැවැත්වූ රටවල් අතර ඉහළින් ම සිටීමේ භාග්‍යය ශ්‍රී ලංකාවට හිමි විණි. එහෙත් එහි සතුට වැඩි කලක් භුක්ති විදිය නොහැකි වූයේ කන්දකාඩු පොකුර මතු වීම හේතුවෙනි.

    කෙසේ වෙතත් කන්දකාඩු පොකුරේ වූ වෛරස ප්‍රභේදත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් පරීක්ෂණයට ලක් කළේ ය. ඉන් අනතුරුව බ්‍රැන්ඩෙක්ස් පොකුරත් සමඟ නොසිතූ විරූ එකවරම මතු වූ නව කොවිඩ් රැල්ලේදී විශේෂයෙන් අනාවරණය කරගත යුතු වූ කරුණු වූයේ යටගොස් තිබී යළි එලෙස මතු වූයේ කන්දකාඩු පොකුරේ වූ වෛරස ප්‍රභේදයද? නොඑසේ නම් වෙනයම් ප්‍රභේදයක්ද? හිටි හැටියේ සිදු වූයේ කුමක්ද යන්නයි. 

    පර්යේෂණ ප්‍රතිඵල අනුව සනාථ වූයේ මෙවර පැතිර යන්නේ ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරස ප්‍රභේද නොව, ඊට වඩා වෙනස් තත්ත්වයේ වෛරස්  ප්‍රභේදයක් බව ය. ප්‍රභේද කිහිපයකින් මෙසේ හදුනාගත හැක්කේ SARS – CoV2 වෛරසය යි. සුළු සුළු ජානමය වෙනස්කම්වලට අනුව ප්‍රභේද කිහිපයකට වෙන්කොට ඇත.

    එසේ වෙන්කොට හදුනාගන්නා ප්‍රභේදවලින් එක ප්‍රභේදයක් අනිත් ප්‍රභේදයට වඩා වැඩිපුර දරුණු බවක් පැවැසිය නොහැක. ඒ සියලු ප්‍රභේද එක ලෙස ම දරුණු ය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට හඳුනාගත හැකි ප්‍රභේදය පෙර වතාවේ වූ ප්‍රභේදවලට වඩා දරුණු යැයි කීමට කිසිදු සාධකයක් නැත.  ඒ කෙසේ වෙතත් පරිණාමය නමින් යමක් සිදු වන බව අපි කවුරුත් දනිමු. සත්ත්වයෙකු පරිණාමය වන්නේ වැඩි වශයෙන් ඒ අදාළ පරිසරයට හැඩගැසීමට සහ තම වර්ගයා බෝකිරීමට ය.

    මෙම වෛරසයට ද ඊට එහා ගිය වෙනත් අරමුණක් නැත. එසේ නම් මේ වෛරසය වැඩිපුර බෝවීමට නම් එහි සුළු සුළු පරිණාමීය වෙනස්කම් සිදු වේ. ඒ අනුව බලන කල මේ වන විට මේ වෛරසයේ ලෝකයේ පවතින සියලු ප්‍රභේදවල මේ කියන්නා වූ අන්දමෙන් සුළු සුළු ජානමය වෙනස්කම් ඇති වී ඇත්තේ වැඩිපුර වෛරස් ප්‍රමාණයක් නිපදවීමට ය. 

    නිදසුනක් ලෙස කිවහොත්, මෙරට තුළ මුල් වරට වූ වෛරස ප්‍රභේදයෙන් ආසාදනය වූ විට ආසාදිතයකුගේ ශ්වසන තරලවල මිලියනයක් පමණ වෛරස් පැවතියේ නම් වර්තමානයේ හඳුනාගත හැකි වෛරස් ප්‍රභේදයෙන් ආසාදනය වූ විට වෛරස් බිලියනයක් පමණ පවතී. ශ්වසන තරලවල මිලියනයක් වෙනුවට බිලියනයක් වෛරස් පවතින විට ඒ පුද්ගලයාගේ වැඩිපුර ප්‍රමාණක් ආසාදනය වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

    මේ කරුණ පර්‍යේෂණයක් සිදු නොකර ද කිව හැකි ය. ඒ කෙසේද යත්, අප හොඳින් දන්නා කරුණක් නම්, ඉකුත් මාර්තු මාසයේදී ආසාදිතයන් සමඟ බිග් මැච් ගොස් එක ම වීදුරුවෙන් බිව් අය අතරින් ද සමහරකු ආසාදනය නොවී ගැලවුණමුත් මෙවර පෑලියගොඩින් මාළු මිලදී ගැනීමට ගොස් විනාඩි 15කට වැඩි කලක් එම ස්ථානයේ සිටගෙන සිටි අයට ද කොවිඩ් -19 ආසාදනය වි තිබේ. ඒ අනුව මෙවර වෛරස ප්‍රභේදයෙන් වැඩිපුර ආසාදනයට ලක් වන බව හොඳින් පැහැදිලි ය. 

    ලෝකයේ මේ වෛරසය වැඩිපුර ම සංසරණය වන රටවල පැතිරෙන වෛරස ප්‍රභේදවල මෙයාකාර වූ සුළු සුළු ජානමය වෙනස්කම් පවතින අතර ශ්‍රී ලංකාවේ ද මේ වන විට එම තත්ත්වය පැහැදිලි ව පෙනෙන්නට තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන් SARS – CoV2 වෛරස ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි ප්‍රභේදයක් බවට වන දුර්මතයක් මේ වන විට සමාජගත වෙමින් පවතී.  මේ වෛරස ප්‍රභේදය මුලින් ම හඳුනාගත්තේ යුරෝපයෙනි. මුල් වරට යුරෝපයෙන් හඳුනාගත්තා යන්නෙන් මේ වෛරස් ප්‍රභේදය යුරෝපයෙන් ම ශ්‍රී ලංකාවට පැමිණි බවක් කියවෙන්නේ නැත. ඒ වෛරස ප්‍රභේදය ඉන්දියාවෙන්, කොරියාවෙන්, ඇමරිකාවෙන්, ලෝකේ කොහෙන් හෝ ශ්‍රී ලංකාවට ආවා විය හැකි ය.

    ඒ කෙසේ වෙතත් ජානමය පරික්ෂාවකට ලක්කිරීමෙන් කිසිවිටකත් කිව නොහැකි ය  මෙම වෛරස් ප්‍රභේදය කොහෙන් පැමිණියාද? යන කාරණය. එසේ ම මෙම ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි බව කීමට අපට කිසිඳු සාධකයක් ද නැත.   

    චීනයේ වූහාන්වලින් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වූයේ ඉකුත් දෙසැම්බරයේ අග ය. පෙබරවාරි මාසය වන විට ලෝකයේ රටවල් ගණනාවකට කොවිඩ් -19 වසංගතය පැතිරී ගොස් තිබුණි.

    මෙවර වෛරස ප්‍රභේදය මුල් වරට හඳුනාගත්තේ යුරෝපයෙන් වුවත් සති 06ක් ගතවන විට ලෝකයේ හැම හැම තැනම පැතිරී අවසන් ය. ඒ ඕනෑම රටකින් SARS – CoV2 වෛරසයේ මේ ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණියා විය හැකි ය. එබැවින් මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින වෛරස ප්‍රභේදය යුරෝපයෙන් ආ ප්‍රභේදයක් බව සැක හැර කිව නොහැක. එබැවින් එවැනි වැරදි මත ඇති කරගත යුතු නොවේ. 

    කෙසේ වෙතත් පොදු මහජනතාවට වැදගත් වන්නේ ඔය කිසිවක් නොවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ SARS – CoV2 වෛරසයේ කිනම් ප්‍රභේදයක්ද? එම ප්‍රභේදය සමාන වන්නේ කුමන රටක පැතිර යන ප්‍රභේදයටද? යන කිසිවක් නොව, මහජනතාව සිහි තබා ගත යුත්තේ මේ වෛරස ප්‍රභේදය පෙර වතාවේ වූ ප්‍රභේදයට වඩා සීඝ්‍රයෙන් පැතිර යන බව ය. එය වටහා ගැනීමට අමුතුවෙන් පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ද නැත.

    වෛරසය පැතිර යෑමේ සීඝ්‍රතාව වැඩි වී ඇති බව රටේ තත්ත්වය දෙස බැලූ බැල්මට ම පෙනෙන්නට තිබේ. එවිට මහජනතාව සිදු කළ යුත්තේ පෙරටත් වඩා වැඩි උනන්දුවකින් හා සැලකිලිමත් භාවයකින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ය. පෙර සිටියේ මීටරයක දුරින් නම් දැන් ඊටත් වඩා සමාජ පරතරයක් තබාගත යුතු ය. මුව ආවරණය නිවැරදි ව නාසය සහ මුඛය ආවරණය වන පරිදි පැළඳිය යුතු ය. නිතර සබන් හෝ විශබීජ නාශක යොදා දෑත් පිරිසිදු කිරීමේ පුරුද්ද අත් නොහළ යුතු ය. වැදගත් ම කරුණ වන්නේ අනවශ්‍ය ගමන්බිමන් නොයා නිවෙසට වී සිටීම ය.

    නිරෝධායන ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන පළාත්වල ද උත්සව, පිංකම්, රැස්වීම් සියල්ල සීමා කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නොසැලකිලිමත්ව, කොවිඩ් -19 පැතිර යෑමට තුඩු දෙන පරිදි රිසි සේ හැසිරීම, පිට පළාත්වලට ද බස්නාහිරට අත්ව ඇති ඉරණම අත්වීමට හේතුවක් විය හැකි ය. 

    අවශ්‍ය වන්නේ රටම වසා දමන තැනට වැඩ කිරීම නොවේ. රටක් ලොක්ඩවුන් කිරීම තුළ ජන ජීවිතවල උද්ගත වන ප්‍රශ්න පිළිබඳව අපට අමුතුවෙන් කිවයුතු නැත. දැන් අපි එය අත්දැකීමෙන් ම දනිමු. එහි දුක්ඛිතම තත්ත්වය වන්නේ එදා වේල හරිහම්බ කරගෙන කෑ මිනිසුන්ට කන්න නැති වීම ය. එපමණක් ද? ජන ජීවිතය අඩාල වේ. සුළු පරිමාණයේ පටන් මහා පරිමාණය දක්වාම වන ව්‍යාපාර කඩා වැටීමට ලක්වෙමින් එය රටේ සමස්ත ආර්ථිකයේ ම කඩා වැටීමකට තුඩු දෙනු ඇත.

    මෙයාකාර වන ගැටලුකාරි තැන් සැලකිල්ලට ගැනීමේදී ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්නේ කරන්නට වෙන කිසිවක් ම නැති වූ තැන ය. එබැවින් එතැනට නොයා සිටීම වෙනුවෙන් තම තමන්ගේ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කිරීම මේ අවස්ථාවේ සියලු රට වැසියන්ගෙන් අපේක්ෂා කරමු. පළමුකොට තමන් කොවිඩ් -19 ආසාදිතයකු නොවීමට වගබලා ගත යුතු ය. ඒ වෙනුවෙන් සියලු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් ප්‍රවේසම් විය යුතු ය.

    යම් හෙයකින් තමන් මේ වෛරසයේ ගොදුරක් බවට පත් වුවහොත් තවකෙකු ආසාදිතයකු බවට පත් නොකිරීමට වග බලා ගත යුතු ය. ඒ කියන්නා වූ සමාජ වගකීම කවුරු කවුරුත් තදින් මනසට කාවද්දා ගැනීම වටී. මන්ද මෙවර අප මුහුණ පා සිටින වෛරස ප්‍රභේදයේ පැතිර යෑමේ සීඝ්‍රතාව පෙරට වඩා බොහෝ සෙයින් වැඩි ය.

    මෙම වෛරස ප්‍රභේදය මෙරට තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරස ප්‍රභේදයට වඩා දරුණු බවක් හෝ ආසාදිතයකුගේ රෝගී තත්ත්වයේ නැතිනම් රෝග ලක්ෂණවල වෙනසක් නොමැත. එහෙත් පැතිරීමේ සීඝ්‍රතාව පමණක් වැඩි වී ඇත. එබැවින් ඔබ දැන් පෙර මෙන් දෙගුණයකින් ආරක්ෂා විය යුතු ය. සමීපතමයින් ආරක්ෂා කළ යුතු ය. රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු ය.  

    මහාචාර්ය නීලිකා මලවිගේක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    සටහන – කාංචනා සිරිවර්ධන

  • PCR පරීක්ෂණය හා බැඳුණු මිත්‍යා මත සහ අත්දැකීම්

    PCR පරීක්ෂණය හා බැඳුණු මිත්‍යා මත සහ අත්දැකීම්

    PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ.

    කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

    අනිසි බියක් ඇති කිරීම හෝ “බියවැද්දීමෙන්” මිනිසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට යොමු කිරීම එවැනි ප්‍රකාශවල අරමුණ යැයි එවැන්නක් පළ කළ පුද්ගලයන් කීපදෙනෙකු අප සමග ‘මැසෙන්ජර්’ ඔස්සේ අදහස් හුමාරු කරමින් පැවසූහ.

    නමුත් මේ “බියවැද්දීම්” නිසා PCR පරීක්ෂණය මඟහරින පුද්ගලයන් සිටිය හැකිද?

    “මම PCR ටෙස්ට් එක කරන්න සෑහෙන බය වුණා. ෆේස්බුක් එකේ පෝස්ට් දැකලම තමයි මේ බය ඇති වුණේ. බය නිසාම ටෙස්ට් එක කළාට පස්සේ වමනේ ගියා. ඒ වගේම මගේ ටෙස්ට් එක කරන්න සෑහෙන අමාරු වුණා. අන්තිමට මට සැර කරළා තමයි කූර උගුරටයි, නහයටයි දැම්මේ,” ජා ඇල පදිංචි ඉනුෂි කුරේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

    PCR පරීක්ෂණය මොළයට හානි කළ හැකිද?

    කොරෝනාවෛරස පරීක්‍ෂණ සිදුකරන අයුරු දැක්වෙන පින්තූර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි පුළුල් ලෙස සංසරණය වී ඇත. එමෙන්ම, PCR පරීක්ෂණ මඟින් “මොළයට හානි සිදු විය හැකි යැයි” සමහරු අදහස් පළ කර ඇත.

    PCR test Sri Lanka

    කෙසේනමුත්, නාසයෙන් ඇතුළු කරන පුළුන් රැඳවූ කූර (swab) මොළයට පිවිස එයට හානි සිදු කළ හැකි යැයි යන්න සම්පූර්ණ වරදවා වටහා ගැනීමකි.

    මොළයේ ආරක්ෂිත ස්ථර රාශියක් පිහිටා ඇත. පළමු හා පැහැදිලිම ආවරණය හිස් කබල වන අතර ආරක්ෂිත පටල හා තරලවලින් තවදුරටත් මොළය ආරක්ෂා වී තිබේ.

    මොළයට හානි සිදු කිරීමට නම් නාසයට ඇතුළු කරන කූර පටක ස්ථර කිහිපයක් කඩා අස්ථියක් හරහා හා රුධිර නාල තුළට යා යුතුය.

    “පටක හා අස්ථි බිඳගෙන යන තරමේ බලයක් මේ ටෙස්ට් යොදන්නේ නැහැ. මේවා අනවශ්‍ය බිය ගැන්වීම් සඳහා පතුරවන බොරු මත. මොළයට හානි සිදුවෙලා වැනි සංකූලතා මෙතෙක් අපට අසන්න ලැබිලා නැහැ,” වෛද්‍ය පවිත්‍රා ද සිල්වා පැවසුවාය.

    PCR test Sri Lanka

    “ටෙස්ට් එක කරනකොට උගුරේ, නාසයේ කැසීමක් වගේ දෙයක් දැනෙන එක සාමාන්‍යයයි. සමහරුන්ට පොඩි කැස්සක්, නැත්නම් ඔක්කාරයට එන ගතියක් දැනෙනවා. ඒ කිසිදෙයක් කල් පවතින ලක්ෂණ නෙමෙයි. ටෙස්ට් එකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ කොරෝනාවෛරසය නිසා ලෙඩ වීමට,” ඇය තවදුරටත් පැවසීය.

    PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලැබූ පිරිසක් වන අතර, එයින් හානි සිදුවීමක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ බීබීසී සිංහල සේවයට පැවසීය.

    මොකක් ද මේ PCR පරීක්ෂණය?

    PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීම මෙමගින් සිදුවේ. PCR යනු කෙටි නාමය වන අතර, එහි දිගුව වන්නේ Polymerase Chain Reaction යන්නය.

    වෛරසය ඇති දැයි විනිශ්චය කිරීමට ඔබෙන් ලබා ගන්නා සාම්පල විද්‍යාගාර පියවර ගණනාවක් හරහා යා යුතුය.

    පුළුන් රැඳවූ දිග කූරක් (Swab) නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම පටල ලබා ගැනීමෙන් පසු, එම සාම්පල PCR පරීක්ෂණය සඳහා පැය 48ක් තුළ රසායනාගාර වෙත යොමු කළ යුතුය.

    එම රසායනාගාර අප එදිනෙදා දකින සාමාන්‍ය ඒවා නොවන අතර, විශේෂ දැනුමැති තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් සිටින රසායනාගාරය.

    PCR test Sri Lanka

    කොරෝනාවෛරස පරීක්ෂණයෙන් පසු ඔබට “ඔව්” හෝ “නැත” යනුවෙන් පිළිතුරක් ලැබේ. කෙසේනමුත් ලබා ගත් සාම්පල තුළ වෛරසය කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න හෝ ක්‍රියාකාරී ආසාදනයක් වීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු සඳහනක් පරීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් වන්නේ නැත.

    සක්‍රීය ලෙස වෛරස් විශාල ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට මෙන්ම දැනටමත් සුව වී ඇති ආසාදනයකින් ඉතිරිව ඇති කොටස් ඇති පුද්ගලයෙකුට ද ‘ධනාත්මක’ ලෙස පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනු ඇත.

    එංගලන්තයේ මහාචාර්ය හෙනගන් පවසන්නේ සාක්ෂි අනුව කොරොනාවෛරසය “සතියකට පමණ පසු ආසාදනය අඩු වන බව පෙනේ,” යනුවෙනි.

    සක්‍රීය වෛරස තිබේදැයි බැලීමට සෑම සාම්පලයක්ම පරීක්‍ෂා කළ නොහැකි වුවද, කඩඉම් ලක්ෂ්‍යය විය යුත්තේ කොතැනදැයි විද්‍යාඥයින්ට සොයාගත හැකි නම් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව ද මහාචාර්යවරයා පැවසීය.

    මෙමගින් පැරණි ආසාදනයක් මත පදනම්ව ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම මෙන්ම පුද්ගලයන් අනවශ්‍ය ලෙස නිරෝධායනයට යොමු කිරීම වළක්වා ගත හැකිය.

    “මගේ දරුවාට කොවිඩ් 19 ලක්ෂණ නිසා අපේ ගෙදර හැමෝම ටෙස්ට් කළා. හැබැයි දරුවා සහ ගෙදර හැමෝම නෙගටිව්, මම විතරක් පොසිටිව් වුණා. මේක හිතා ගන්න බැරි දෙයක්. මම දොස්තරලගෙන් ඇහුවමත් කිව්වේ මේ වගේ දරුණුවට පැතිරෙන වෛරස් එකක දී මේ වගේ දෙයක් අසාමාන්‍යයි කියලා. ඒක නිසා දවස් තුනකට පස්සේ මම ආයෙත් ටෙස්ට් කළා. ඒ ප්‍රතිඵලේ නෙගටිව්,” එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක පැවසූ අතර, ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළාය.

    මෙය සමාජ මාධ්‍ය ජාලවල පළවන සේ “භයානක” පරීක්ෂණයක් නොවන නමුත් සංකීර්ණ පරීක්ෂණයක් බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.

    PCR test Sri Lanka
    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ

    “මෙය සිදු කරන කෙනාට භයානක වන්නේ නැහැ. නමුත් පියවර කීපයක් ඔස්සේ සිදුවන සංකීර්ණ පරීක්ෂණයක්. සමාජයෙන් නැගෙන තවත් චෝදනාවක් තමයි PCR පරීක්ෂණයට මේ තරම් කාලයක් ගත වන්නේ ඇයි කියන එක. ඔවුන් අසන්නේ ලේ පරීක්ෂාවක් වගේ ඉක්මණට මෙය සිදු කරන්න බැරි ඇයි කියලා. මේ තත්ත්වයට හේතුව, මේ වන විට සාම්පල් විශාල ප්‍රමාණයක් එන නිසා අපට කාලයක් ගත වෙනවා මේ පරීක්ෂණ සිදු කරන්න. එය ප්‍රමාදයක් නොවෙයි, නමුත් පරීක්ෂණයේ සංකීර්ණ බව එක්ක ගතවන කාලයයි”

    “මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා අපි නිවැරදි වාර්තාවක් දෙන්න ඕනේ. මෙහි දී සිදුවන්නේ යම් කාලයක් ගතවන සම්පූර්ණ ක්‍රියාවලියක්,” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

    PCR පරීක්ෂණය සම්බන්ධ විවිධ අත්දැකීම්

    රටවල් ගණනාවක් හරහා ගුවන් ගමන් කීපයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි නිල්මිණී PCR පරීක්ෂණ හතරකට මුහුණ දී ඇති අතර එම අත්දැකීම් බීබීසී සිංහල සේවයට පැවසුවාය,

    “ලංකාවට එන්න ෆ්ලයිට් කීපයක් ගන්න වුණා, රටවල් දෙකක PCR කළා. ලංකාවට ඇවිත් නිරෝධායනයේ ආයෙත් PCR දෙකකට මුහුණ දුන්නා. මට මුලින් අපහසු වුණේ නැහැ. හැබැයි තුන්වෙනි එක කරළා පැය කීපයක් යනකොට නහය, මූණ ඉදිමුණා. දවසක් යනකොට ඒක හොඳ වුණා. කොහොම වුණත් මේකට බය වෙන්න ඕනේ නැහැ. ඊට වඩා ප්‍රශ්න වෙනවා ලෙඩේ හැඳුනොත්,” ඇය පැවසීය.

    PCR test Sri Lanka

    මේ අතර, ගම්පහ පදිංචි ධම්මිකා ලොකුහේවා පැවසුවේ, PCR පරීක්ෂණය කිරීමේ දී හෝ ඉන් පසුව ඇයට කිසිදු අපහසුතාවක් නොදැනුන බවය.

    “මගේ ටෙස්ට් එක නෙගටිව් ආවා. ටෙස්ට් එක කරනකොට කිසිම අමාරුවක් වුණේ නැහැ. උගුරේ, නහයේ පොඩි කැසිල්ලක් ආවා විතරයි. ඒ අය කියන විදිහට හොඳට කට ඇරලා, දිව එළියට දමලා ඉවසීමෙන් හිටියාම හැමෝටම කරදරයක් නැහැ,” ඇය පැවසුවාය.

    PCR පරීක්ෂණය සිදු කරන ආකාරය සහ කොරෝනාවෛරසය පිළිබඳ දිගින් දිගටම වීඩියෝ සහ ඡායාරූප නැරඹීම නිසා ඒ ගැන දැඩි බියකින් පෙළෙන බව කොළඹ පදිංචි සමාධි කුරුවිට බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    “මට වෛරස ලක්ෂණවත් නැහැ. හැබැයි PCR කරනකොට අමාරු වෙන වීඩියෝ, ඡායාරූප දැකලා, විවිධ අය කියන කතා අහලා හොඳටම බයක් දැනෙනවා මේ ගැන. මේවා ඇත්තද බොරුද කියලා හිතා ගන්න අමාරුයි.”

    PCR test Sri Lanka

    Swab එකට හුස්ම ගැනීමෙන් පමණක් පරීක්ෂණය සිදු කළ නොහැකිද?

    “කෝවිඩ් ඇත්තටම ඔබේ හුස්මෙන් බෝ වෙනවා නම්, ඔබට Swab එක මත හුස්ම ගන්න බැරි ඇයි? එය ඔබේ නාසයේ පිටුපසට තල්ලු කළ යුත්තේ ඇයි?” යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් බොහෝ දෙනෙකු අතර බෙදී ගිය ප්‍රකාශයක් දක්නට ලැබිණි.

    ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට වෛරසය පිරී ඇති කුඩා බිඳිති වාතයට එකතු වීමෙන් එය පැතිරී යා හැකිය. නමුත්, රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය මෙමගින් එකතු නොවේ.

    “නාසයෙන් හෝ උගුරෙන් සෙම් පටල ගැනීමෙන් වඩාත් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවා,” යැයි වෛද්‍ය පවිත්‍රා ද සිල්වා තවදුරටත් පැවසුවාය.

    PCR test Sri Lanka

    සිහින් කූරකට හුස්ම පිටකිරීමෙන් වෛරස් අංශු හෝ වෛරසය රැගෙන යන සෛල හඳුනාගත නොහැකිය. නමුත්, නාසයට සහ උගුරට Swab ඇතුළු කර ලබා ගන්නා සෙම් පටලවලින් වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනු ඇත.

    PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන්

    කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ ද PCR පරීක්ෂණයයි.

    අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා ද මෙම පරීක්ෂණය යොදාගනු ලැබේ.

    ඊට අමතරව පුද්ගලයෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම මෙන්ම විවිධ ආසාදන හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය යොදා ගැනේ.

    සම්පූර්ණ ලිිපිය 2020 නොවැම්බර් 03 වැනි දින බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • මෙරට කොවිඩ් රෝගීන්ගෙන් 60%ක් ගැන සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් හෙළිදරව්වක්

    මෙරට කොවිඩ් රෝගීන්ගෙන් 60%ක් ගැන සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් හෙළිදරව්වක්

    මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් මෙසේද පැවසුවාය.

    කොවිඩ්   19 වසංගතයට අදාළව පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාර 25 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ 8000 කට අධික ප්‍රමාණයක් දැන් සිදු කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    නිරෝධායන පනතට සංශෝධන එක් කිරීමට ප්‍රමාද වූයේ ඒ පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීමට සිදු වූ හේතුවෙන් බවද ඇය පෙන්වා දුන්නාය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීමේ බලය නව සංශෝධන මගින් පොලිස් නිලධාරින්ට හිමි වේ. මෙම රෝගය පාලනය සඳහා ජනතා සහාය උපරිමයෙන් අපේක්ෂා කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළාය.

    විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 50000 ක් පමණ දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු කර තිබේ. රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම කටයුතු ඉදිරියටත් සිදු කරන බවද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 128 ලැබී තිබෙන අතර, එම ණය මුදල 2023 වසර වනතෙක් වියදම් කළ යුතු අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 35 ක් මේ වන විට සෞඛ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වියදම් කර ඇති බවත්, තවත් අමෙරිකානු ඩොලර් මිලියන 22 ක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    නිරෝධායන පනත මුළු ලංකාවටම පොදු වන්නක් වන අතර, මෑතකදි නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් පොදු ස්ථාන යන්නෙන් අර්ථ දැක්වෙන්නේ එළිමහන් පොදු ස්ථාන බවද ඇය පැහැදිලි කළාය.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ  සියලු දෙනා භේද වලින් තොරව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නාය.

    මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බවද ඇය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රීක්කයේ තත්ත්වය පාලනය කර තිබේ. රට තුළ පවතින මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඇය පෙන්වා දුන්නාය.

  • පෙරුම්කායම්වලට කරපු දේ ‘සුදර්ශනවලට’ කරන්න එපා !

    පෙරුම්කායම්වලට කරපු දේ ‘සුදර්ශනවලට’ කරන්න එපා !

    අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා.

    එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට හොඳ මදි අගෞරවයක් වෙයි කියල. එහෙම බටහිර

    නොවන බේතක් රෝහල් වල දෙන එක වෘත්තීය අපචාරයක් කියල එක දොස්තර මහත්තයෙක් කලින් කියලා තිබ්බ. අපි ඒ අයගේ මතයට ගරු කරන්න ඕනේ. ඒ නිසා අපේ රෝහල් වල කොවිඩ් ලෙඩ්ඩු නතර කර ගෙන අපේ බේත් දුන්න නම් දෙගොල්ලගෙම ජාමේ බේරෙනවා.

    වෘත්තීය සදාචාරයත් රැකෙනවා. කිසිම අපචාරයක්.. දුරාචාරයක්… විෂමචාරයක් වෙන්නෙත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නෙ මේ සුදර්ශන පැණිය ගැන තියෙන සමාජ කෝලාහලය කොහොමද බේරෙන්නේ කියන එක. කොවිඩ් වල පැතිරෙන වේගය බැලුවම මිනිස්සු කොහොමත් බයෙන් ඉන්නෙ. ඒ වගේම බටහිර වෙදකමට මේකට විසඳුමක් නැති නිසා ඒ ගැන විශ්වාසයත් නැති වෙලා. ඇමරිකාව, එංගලන්තය වගේ බලවත් දියුණු රටවල් වල සෞඛ්‍ය සේවා මේ කොවිඩ් ඉදිරියේ අසරණ වෙලා නම් අපේ රටේ තත්වය ගැන කුමන කතා ද? ඒ නිසාම මිනිස්සු අපේ දේශීය වෙදකම ගැන විශ්වාසය තියාගෙන ඉන්නෙ.

    මතකයි නේ කොරෝනා ආපු අලුතම පෙරුම්කායම්, වදකහ ටික සුද්ද කරලා වැඩි ගානට විකුණලා බේත් කඩ හිස් කරපු හැටි. අන්තිමේ අද වෙන කොට වියළි කහත් ගිනි ගණන් ගියා. ඒ අස්සේ මේ පාර මිනිස්සු එල්ලෙන්න නැතුව ඉන්න කොට සුවධරණී ආව. ඒක ඉවර වෙන කොට සුදර්ශන පැණිය ආව. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ සුදර්ශන පැණියෙන් වැඩේ ගොඩ කියල. ඒ හින්ද මේක ප්‍රයෝජනයට අරගෙන වෙළෙඳ පොළට සුදර්ශන පැණි කියල නොයෙක් ව්‍යාජ නිෂ්පාදන එන්න ඉඩ තියෙනවා. තවම සුදර්ශන පැණිය කියල එකක් වෙළෙඳපොළේනැහැ. ඒක පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඒ වෙනුවට බොරු කොරෝනා පැණි වෙළෙඳපොළට එන්න පුළුවන්. ඒවාට රැවටෙන්න එපා.

    සුදර්ශන කියන්නේ ආයුර්වේදයේ පාවිච්චි කරපු ඖෂධ චූර්ණයක්. ඒක අවුරුදු දහස් ගණනක් පැරැණි වට්ටෝරුවක්. ඒක දේශීය පාරම්පරික බේතක් කියන එකත් බොරුවක්. එහෙත් ඒ බේත මේ රටේ පාරම්පරික වෙද මහත්තුරුත් පාවිච්චි කළා. අපේ රටේ ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පිළිගත් සුදර්ශන චූර්ණය කියන වට්ටෝරුවට බේත් ද්‍රව්‍ය 53 ක් අයත් වෙනවා. ඒකෙ වැඩිපුරම තියෙන්නේ බිම්කොහොඹ. ඒ හින්ද කටේ තියන්න බැහැ තිත්තයි. ඔය බේත පෙති, කරල් හැටියටත් නොයෙක් ආකාරයෙන් නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ දැනටත් තියෙනව. ඒවා හිතුමතේ පාවිච්චි කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් අනුව තමයි ගන්න ඕනේ. අනික ලෙඩ්ඩුන්ට දෙන බේතක්

    නිරෝගී අය ගන්නෙ ඇයි? එහෙම ගන්න හොඳත් නැහැ. මේ සුදර්ශන පැණියත් හදන්නේ ඒ වගේ පොඩි දරුවන් ගේ උණට දෙන්න. ඒ අයට ලෙහෙසියෙන් පොවාගන්න පුළුවන් හින්ද. ඒ ගැන කරපු පර්යේෂණ වලින් ඒ බේත හොඳයි කියල ඔප්පු වෙලා තියෙන කතාව තමයි මේ දැන් රට පෙරළන්නේ. ඒ වුණාට කොවිඩ් වලට තියෙන එකම බේත සුදර්ශන පැණිය කියන එක බොරුවක්.

    ආයුර්වේදය හෝ දේශීය වෙදකම අවුරුදු දහස් ගානක් තිස්සේ වසංගත උණ රෝග වලට දීපු බේත් වර්ග බොහොමයක් තියෙනවා. ඒවා ඔක්කොම අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි කියන ලේබලේ ගහන්න පුළුවන් තරම් විශ්වාස බේත්. ඒ වගේම ලෙඩෙකුට බේත් කරන කොට එකම බේතක් විතරක් නොවෙයි දෙන්නෙ. ඒවා බේත් පන්තියක්. ඇවතුම් පැවතුම් පත්තියම් එක්ක තමයි බේත් දෙන්නෙත්. ඒ හින්ද මේ වෙලාවේ සියළු දෙනාම සුදර්ශන බොන්න ගත්තොත් ලෙඩෙකුට හදිසියට දෙන්නත් සුදර්ශන හොයාගන්න නැති වෙයි.

    ඒ වගේම ශරීරෙ සුදර්ශන වලට හුරු වෙලා ලෙඩේ හැදුනම දෙන්න සුදර්ශන ලෙඩේට අහයිද කියලත් ප්‍රශ්නයක් මතුවේවි. ඒ හින්ද සුදර්ශන බොන්න ඉස්සෙල්ල වෙදමහත්තයෙක් ගෙන් අහන්න ඒ බේත බොන්න ඕනෙද කියල. කොවිඩ් වලට එරෙහිව ප්‍රතිශක්තිය හදාගන්න ගෙදරදී හදාගන්න පොඩි පොඩි ඔසු පැන්, බේත් කැඳ, කෑම බීම හොඳටම ඇති. ඒ ඔක්කොටම වඩා වැදගත් පරිස්සම……! සෞඛ්‍ය පුරුදු රැකගැනීම….!! තමන්ට කොවිඩ් බෝවෙන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීම. එහෙම නොකර සුදර්ශන බීල කොවිඩ් හැදෙන්නේ නැහැ කියල හිතන්නේ සිංහයගෙ කටට අත දාන වෙරිකාරයෝ වගේ කට්ටිය.

    සුදර්ශන චූර්ණයට නම් හැදුනෙ විෂ්ණු දෙවියන් ගේ සුදර්ශන චක්‍රය කියන දිව්‍යමය ආයුධය නිසා. ඒක කරකවල සතුරන් ව වනසන්න පුළුවන්. ඒ වගේ රෝග වනසනවා කියන අරුතෙන් තමයි මේ බේත සුදර්ශන වෙන්නෙ. සුදර්ශන චක්‍රයත් කරකවන්න ඕනේ හරියට. නැත්තං සතුරන් ගේ බෙල්ල නොවෙයි තමන්ගේ බෙල්ල කැපෙන්න පුළුවන්. ඒ වගේ තමයි බේත් කියන්නෙත් දෙපැත්ත කැපෙන ආයුධ වගේ. දැනගෙන හරියට පාවිච්චි කළොත් හරි ප්‍රතිඵල. වැරැදි මිනිස්සු අතට පත් වුණොත් වඳුරට දැලි පිහිය අහුවුනා වගේ.

    දැන් අපිත් හරිම කල්පනාවෙන් මේ වෙලාවේ කොවිඩ් වලට එරෙහිව සටන් කරන්න ඕනේ. ලෙඩ්ඩු වැඩි දෙනා රෝග ලක්ෂණ නැති අය. ඒ ගොල්ල ලෙඩ්ඩු නොවේ ආසාදිතයින්. ඒ කියන්නේ ලෙඩක් පෙන්න නැති වුණාට ඇඟේ වෛරසය තියෙනවා. ඒ අයගෙන් තව කෙනෙකුට බෝවෙන්න පුළුවන්. දෙවනියට බෝවෙන කෙනා අවදානම් සෞඛ්‍ය තත්වයක් තියෙන කෙනෙක් නම් එයාගෙ ජීවිතය නැති වෙන්න පුළුවන්. ඒ හින්ද රෝග ලක්ෂණ නැති ආසාදිතයින් හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඔවුන් අපේ රෝහල් වල රැකබලා ගනිමින් අපේ බේත් දෙන්න පුළුවන්. ඔවුන් ගේ ශරීරයෙන් ඉක්මණින් වෛරසය අයින් කරන්නත් අපේ බේත් වලට හැකියාවක් තියෙන බව විශ්වාසයි.

    සුදර්ශන පැණියට ලැබිච්ච ප්‍රචාරය හින්ද කොන් වෙලා හැංගිලා හිටපු දුම්හට්ටිකාරයො ටිකත් කළ එළි බැහැල ඉන්නව දැක්ක. සුදර්ශන කියන බේතට ලැබෙන ගෞරවණීය පිළිගැනීම ගැන අපිට සතුටුයි. ඒ වුනාට ඒකට මුවා වෙලා බොර දියේ මාලු බාන උන් ගැනත් අපි ටිකක් අවදියෙන් ඉන්න ඕනේ. මේ වෙලාවේ කොවිඩ් සුවකරන්න වෛරස් මරන්න පුළුවන් බේත් නොයෙක් විදියට වෙළෙඳපොළට එන්න තියෙන ඉඩකඩ වැඩියි. ප්‍රතිශක්තිකරණ පෙති කරල් පැණි විකුණන උනුත් එන්න පුළුවන්.

    ඒ වගේ ජාවරම්කරයින්ට රැවටෙන මිනිස්සු අපරාදේ තමන්ගේ සල්ලි වියදම් කරගන්නවා. අපේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඉන්නව. ඒ අයගෙන් මේ වගේ බේත් ගැන විස්තර දැනගන්න පුළුවන්. අඩු වශයෙන් ගමේ වෙදමහත්තය ගෙන් හරි අහන්න බේතක් ගැන සැකයක් තියෙනව නම්. දේශීය වෙදකම ඉස්සරහට දාගෙන මිනිස්සු රවට්ටන්න අය හැමතැනම. නියම සුදුසු උපදෙස ලබාගත්තෙ නැත්තං වෙන්නේ තමන් අමාරුවේ වැටෙන එක. බේත් කඩේ මුදලාලිගෙන් උපදෙස් ගන්න යන්න එපා. එයා මොකක් හරි බේතක් ඇඟේ ගහයි මේකත් හොඳයි කියල. ඒවාට රැවටෙන්න එපා…!

    මේ වෙලාවේ කොහොමත් ආසාදිතයින් වැඩි වෙන වේගය හින්ද බටහිර රෝහල් වලට දරාගන්න බැහැ. රෝග ලක්ෂණ නැති ලෙඩ්ඩු නිකන් වාට්ටු වලට ගාල් කරගෙන ඉන්න එකත් ලොකු අර්බුදයක්. ඒ හින්ද ආසදිතයින් වෙනම සෞඛ්‍ය කඳවුරු වල තියාගෙන අපේ බේත් දෙන්න ක්‍රමයක් හැදුව නම් ඒක තවත් හොඳයි. ඊට පස්සේ යම් රෝග ලක්ෂණයක් මතුවෙන කොට ඒඅයට ආයුර්වේද බටහිර වෛද්‍යවරු දෙගොල්ලම එකතු වෙලා ප්‍රතිකාර කරල ඔවුන් බරපතල තත්වයට යන්න නොදී ඉක්මනින් සුව කරන්න පුළුවන්.

    මේ සුදර්ශන පැණිය ගැන කතාබහ එනකොට සමහරු මේක දිහා උපහාසාත්මකව බලනව අපි දැක්ක. ඇයි මේක පිටරට යවන්නේ නැත්තෙ වගේ කුහක කතා කියමින් හැසිරෙනවා. මුලින් ම අපේ රටේ ලෙඩ්ඩුන්ට දීල බලමු. හරි ගියොත් පිටරටත් යවමු. දැනටමත් පිටරට හිටිය ආමාරු කොවිඩ් ලෙඩ්ඩුන්ට අපේ බේත් යවල සනීප කරපු වෙදමහත්තුරු ඉන්න රටක් මේ. ඒ හින්ද අපේ රට මේ ප්‍රශ්නෙන් මුදවා ගන්න කොට වෙදකම කාගෙද? වට්ටෝරුව ආයුර්වේද ද? බේත දේශීය ද? රෝහල බටහිර ද? වගේ පටු ප්‍රශ්න වලට කොටු වෙලා ඉන්න වෘත්තීය කුහකත්වය හින්ද. බල්ලො බුරද්දීත් තවලම නොනැවතී ඉස්සරහට යනවා …..!! උන්ට ගල් ගහන්න නැවතුණොත් අපිට මේ ගමන යන්න බැහැ….!!!

    ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

  • ‘Post-wedding Photo-shoot’ එකකින් ඉන්දීයාව ඇවිලෙයි !

    ‘Post-wedding Photo-shoot’ එකකින් ඉන්දීයාව ඇවිලෙයි !

    ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි.

    Lekshmi and Hrushi Karthik at their wedding photoshoot

    පශ්චාත් විවාහ මංගල ඡායාරූප රූගත කිරීම (Post-wedding photo shoot) සමාජ මාධ්‍යවල වෛරස් වී දැඩිව අපහාසයට හා උපහාසයට ලක් වූ තරුණ ඉන්දීය යුවළක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

    සමාජමාධ්‍යවල වෛරස් වූ ඡායාරූපවල දැක්වෙන්නේ සුදු සිල්ක් සළුවකින් සිය නිරුවත වසා ගත් තරුණ යුවළක් ( ලක්ෂි සහ භාෂි කාර්තික් Lekshmi and Hrushi Karthik ) තේ වත්තක ගත් සරාගී ඡායාරූප කිහිපයකි.

    පසුගිය සැප්තැම්බරයේ විවාහ වූ මෙම යුවළ පවසන්නේ විවාහයෙන් පසු ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් ගෙන එය සදානුස්මරණය කිරීම තම අරමුණ වූ බවයි.

    මේ සම්බන්ධයෙන් බී.බී.සී ඉන්දීය වාර්තාකරුට දුරකථනයෙන් ඇමතූ ලක්ෂ්මි කියා සිටියේ,

    “මගේ මාපියන් තමයි මට හාෂිව හදුන්වා දුන්නේ. පසුව අපි ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා.” 

    හර්ෂි ටෙලිකොම් සමාගමක සේවය කරන අතර ලෙක්ෂ්මි විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කර ඇත.

    මෙම යුවළ පසුගිය අප්‍රේල් මාසයේ දී අලංකාර මංගල උත්සවයක් ගැනීමට සැලසුම් කර තිබුණද කොවිඩ්-19 වසංගතය නිසා එය අවලංගු කිරීමට සිදුවිය.

    මාර්තු අග දී ඉන්දියාව රට පුරා දැඩි අගුලු දැමීමක් ක්‍රියාත්මක කළ අතර කොවිඩ්-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා සියලු රැස්වීම් සහ උත්සව තහනම් කළේය. අගුළු ඇරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ පසු, කුඩා මංගල උත්සව සඳහා ද අවසර දෙන ලදී.

    ඔවුන්ගේ විවාහ මංගල්යයේදී ලෙක්ෂ්මි සහ හ්රුෂි කාර්තික්

    තවදුරටත් බලා සිටීමට අකමැති වූ හර්ෂි සහ ලෙක්ෂ්මි පසුගිය සැප්තැම්බර් 16 වන දින ඇගේ උපන් ගම වන කෝලම්හිදී විවාහ වූහ.

    “එය ප්‍රීතිමත් සහ විනෝදජනක විවාහ මංගල්‍යයක්. නමුත් එයට සහභාගී වූයේ අපේ පවුලේ අය සහ කිට්ටු මිතුරන් කිහිපදෙනෙක් පමණයි. පොලිසිය අපට අවසර දුන්නේ අමුත්තන් 50 දෙනෙකුට පමණයි. බොහෝ සීමාවන් තිබුණා.”

    තම ආදරණීය සම්බන්ධය තවත් නැවුම්කර ගැනීම සඳහා, යුවළ “අමතක නොවන‘ (Memorable) ඡායාරූප රූගත කිරීමක් කිරීමට තීරණය කළහ. 

    කේරළයේ සහ ඉන්දියාවේ වෙනත් බොහෝ ප්‍රදේශවල බොහෝ යුවළයන් තම විවාහ මංගල්‍යය ලොවට ප්‍රකාශයට පත් කිරීම සඳහා සාම්ප්‍රදායික ඡායාරූප රූගත කිරීම් විස්තීර්ණ ඒවා වෙනුවට ආදේශ කර ඇති නමුත් හාෂිට සහ ලක්ෂ්මීට එවැනි සාම්ප්‍රදායික ඡායාරූප එකතුවක් අවශ්‍ය නොවීය.

    ඔවුන්ගේ පශ්චාත්-විවාහ ඡායාරූප ගත කිරීම “ආදර හා සමීප- Romantic and intimate” එකක් වීමට හෘෂිට අවශ්‍ය වූ හෙයින්, ඔහු අන්තර්ජාලය හරහා ගමන් කර “සිය පරිපූර්ණ අදහස” ඉදිරිපත් කළේය.

    අවසානයේ මෙම අසිරිමත් අවස්ථාව ඡායාරූප ගත කිරීම හාෂිගේ මිතුරෙකු වූ අඛිල් කාර්තික්යන්ට පැවරැණේය.

    ‘මේ සදහා පැය කිහිපයක් ගත වුණා. පසුබිම වශයෙන් ඔවුන් නැවතී සිටි හෝටල් කාමරය සහ හෝටලය පිහිටි තේ වත්ත යොදා ගත්තා‘ අඛිල් පැවසුවේය.

    “ඒක හරිම විනෝදජනකයි. අපි ඒ ගැන හිනා වුණා. අපි ඒ ගැන ඇත්තටම සතුටු වුණා. එය අපේ මධුසමය ගත කිරීමේ කොටසක්. අපි විවාහ වී සිටි නිසා අපට නිදහස් බවක් දැනුණා” යැයි ලෙක්ෂ්මි පවසයි.

    Lekshmi and Hrushi Karthik at their wedding photoshoot

    දින කිහිපයකට පසු අඛිල් ෆේස්බුක් හි ඡායාරූප උඩුගත (Uploaded) කිරීමෙන් පසු අනපේක්ෂිත ලෙස කරදර ආරම්භ විය.

    ඇතැමුන් මෙම ඡායාරූප විස්තර කර ඇත්තේ ‘කැත, අසභ්‍ය සහ ලැජ්ජා සහගත ඒවා‘ ලෙසය.

    සමහරු කියා සිටියේ ඒවා කාමුක දර්ශන සහ කොන්ඩම් වෙළඳ දැන්වීමකට සුදුසු බවයි.

    සමහරු ඔවුන්ට කාමරයක් ලබා ගැනීමට උපදෙස් දුන්හ.

    “අපට දින කිහිපයක් තිස්සේ දැඩි නින්දා අපහාසවලට ලක්වීමට සිදු වුණා” ලෙක්ෂ්මි පවසයි. 

    “මිනිස්සු කිව්වා අපි නිරුවත පෙන්වනවා කියලා, ඔවුන් ඇහුවා අපි යට ඇඳුම් ඇඳගෙනද ඉන්නේ කියලා. ඔවුන් කිව්වේ අපි ඒක කරන්නේ අවධානයක් සහ ප්‍රසිද්ධියක් ලබාගන්න කියලා”

    බොහෝ අපහාස සහ අසභ්‍ය කතා තමා වෙත එල්ල වූ බව ලෙක්ෂ්මි පවසයි.

    “එය ඇත්තෙන්ම භයානකයි. ඔවුන් භාෂිට වඩා මට හිරිහැර කළා. ඔවුන් මට කිව්වේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන්න කියලයි.

    “සමාජ මාධ්‍ය හරහා මේ ආකාරයෙන් මට අපහාස කළ අය අතර කාන්තාවන් විශාල පිරිසක් සිටියා. ඔවුන් මා කලින් වේශ නිරූපණය නොකළ මගේ ඡායාරූප සොයාගෙන සංසන්දනය කිරීමට පටන් ගත්තා‘

    ‘මෙම ඡායාරූපවල ඇය කෙතරම් අවලස්සනදැයි බලන්න කියලා ඔවුන් කිව්වා”

    ලෙක්ෂ්මි සහ හර්ෂි කාර්තික් ඔවුන්ගේ මංගල ඡායාරූප ශාලාවේදී

    නමුත් දින කිහිපයකට පසු තත්ත්වය ධනාත්මක විය. බොහෝ දෙනෙක් අපහාස උපහාස කතා කරමින් අසභ්‍ය කතා කී පුද්ගලයින්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තේය. භාෂිට සහ ලක්ෂ්මීට සහයෝගය දැක්වීමට පටන් ගත්හ. 

    බොහෝ අය ඡායාරූප විස්මයජනක හා ලස්සන ලෙස විස්තර කළ අතර විවේචනාත්මක අදහස් නොසලකා හරින ලෙස යුවළට උපදෙස් දුන්හ.

    එක් කාන්තාවක් පැවසුවේ ‘විවාහක යුවළක් අත් අල්ලාගෙන සිටීම ගැන ලැජ්ජාවට පත් වූ කාලයක් තමාට මතක ඇති බවත් විවේචන නොසලකා හරිමින් සතුටින් සිටින ලෙස කාර්තික්වරුන්ට උපදෙස් දුන් බවත්ය

    “අපව විවේචනය කළ අය කවුරුන්දැයි අපි දන්නේ නැහැ. ඒ වගේම අප වෙනුවෙන් කතා කරන පුද්ගලයින් ද අපි දන්නේ නැහැ. නමුත් එය අපට මහත් සතුටක් ගෙන දුන්නා” යනුවෙන් ලෙක්ෂ්මි පවසයි.

    එය හුදෙක් නොදන්නා සමාජ මාධ්‍ය විවේචකයින් පමණක් නොව, ඡායාරූප රූගත කිරීම අනුමත නොකළ සාම්ප්‍රදායික අදහස් දරන ඥාතීන් සමඟ ද ගැටීමට යුවළට සිදුවිය.

    “මුලදී, අපේ දෙමව්පියන් ද කම්පනයට පත් වුණා. නමුත් අපට එය කිරීමට අවශ්‍ය වූයේ මන්දැයි අපි ඔවුන්ට පැහැදිලි කළා. ඔවුන් එය තේරුම් ගත්තා. නමුත් අපේ ඥාතීන් බොහෝ දෙනෙක් අපට චෝදනා කළහ,” ලෙක්ෂ්මි පවසයි.

    ලෙක්ෂ්මි සහ හර්ෂි කාර්තික් ඔවුන්ගේ මංගල ඡායාරූප ශාලාවේදී

    “ඔවුන් අපට දුරකථනය මගින් කතා කරමින් මෙවැනි වැඩක් කිරීමේ අරමුණ කුමක් දැයි ප්‍රශ්න කළා. අපේ සංස්කෘතිය අමතක දැයි ප්‍රශ්න කළා”

    ඡායාරූප ඉවත් කරන ලෙස බොහෝ දෙනෙක් ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර, ලෙක්ෂ්මි සහ හෘෂි පවුලේ වට්ස්ඇප් කණ්ඩායම් වලින් ඉවත් කරන ලදී.

    නමුත් යුවළ පවසන්නේ ඔවුන් පින්තූර ඉවත් නොකරන බවට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

    “අප එසේ කළහොත්, එය අපි අපේ වරද පිළිගැනීමක් ලෙස සලකාවි. අපි කිසිම වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ඒවා ඉවත් කරගන්නේ නැහැ” යනුවෙන් ලෙක්ෂ්මි පවසයි. 

    ” ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි.

    ඇය පවසන්නේ, “මුල් දින කිහිපයේදී විවේචන සමඟ කටයුතු කිරීම අපට අපහසු වූ නමුත් දැන් අපි එයට පුරුදු වී සිටින්නේ. සමාජය එසේ බව අපි දන්නවා. ඔවුන් සමඟ ජීවත් වීමට අපි ඉගෙන ගත්තා‘

    2020 නොවැම්බර් 01 වැනි දින බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • තායිවානයේ සමලිංගිකයින්ට වාසනාව පෑදේ !

    තායිවානයේ සමලිංගිකයින්ට වාසනාව පෑදේ !

    සමලිංගික විවාහ (gay marriage) නීතිගත කළ ආසියාවේ එකම රට වන තායිවානයේ පැවැත්වෙන මහා හමුදා විවාහ මංගල්‍යයකට ප්‍රථම වරට සමලිංගික ජෝඩු (Two lesbian couples ) දෙකක් සහභාගී වී තිබේ.

    තායිවානයේ හමුදාව සෑම වසරකම සමූහ විවාහයන් (mass weddings) පවත්වන නමුත් සමලිංගික යුවළයන් එවන් උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.

    සම්බන්ධ වූ එක් යුවළක් පැවසුවේ එය හමුදාවේ සේවය  LGBT පුද්ගලයින්ට නැගී සිටීමට දිරිගැන්වීමක් වනු ඇති බවයි.

    පසුගිය වසරේ තායිවානය සමලිංගික විවාහ නීතිගත කළ දා සිට ජෝඩු 4,000 ක් පමණ විවාහ වී තිබේ.

    “අපගේ හමුදාවට ඉතා විවෘත මනසක් ඇත,” ලී ලී-චෙන් සමඟ විවාහ වූ හමුදා ලුතිනන්වරයෙකු වන චෙන් යින්-හ්සුආන් ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒපී) පුවත් ඒජන්සියට පැවසුවාය.

    “ආදරය පිළිබඳ කාරණාවලදී, සෑම කෙනෙකුටම එක හා සමානව සලකනු ලැබේ,” ඇය සිය ලිංගික දිශානතිය පිළිබඳව විවෘතව පැවසුවාය.

    2020 ඔක්තෝබර් 30 වන දින තායිවානයේ තාඕආන් හි පැවති හමුදා සමූහ විවාහ මංගල්‍යයකදී යී වැන්ග් (ර) සහ යුමි මෙං (එල්) යුවළ ප්‍රතික්‍රියා කරති.
    යී වැන්ග් (දකුණේ) සහ යුමි මෙං කැමරාවලට පෙනී සිටිති

    උත්සවය පුරාම මේජර් වැන්ග් යී සහ ඇගේ බිරිඳ යුමි මෙං මහත් ආඩම්බරයෙන් සිටියාය.

    මෙනෙග්ගේ දෙමව්පියන් සැමරුමට නොපැමිණි නමුත් වැන්ග්ගේ දෙමාපියන් සහ ඇගේ ගුරුවරයා යුවළට සහයෝගය දැක්වූහ.

    “මට ඇත්තටම දැනෙන්නේ මෙය හමුදාවට විශාල ඉදිරි ගමනක්” යැයි වැන්ග් මහත්මියගේ මව ඒපී වෙත පැවසුවාය. 

    “සමහර විට විෂමලිංගික ජෝඩු සඳහා, එය කඩදාසි කැබැල්ලක් පමණක් විය හැකි නමුත් සමලිංගික යුවළයන්ට එය ඉතා වැදගත්‘ ඇය වැඩි දුරටත් පැවසුවාය.

    විවාහ වීමට යුවළයන් පෙළ ගැසී සිටිති
    මෙම අවස්ථාවට ජෝඩු 188 ක් සහභාගී වූහ

    තායිවානයේ හමුදාව පැවසුවේ මෙම වසරේ උත්සවයට සමලිංගික යුවළයන් ඇතුළත් කිරීම එහි “බුද්ධිමත් [හා] ප්‍රගතිශීලී” ආකල්පය පිළිබිඹු කරන බවයි.

    හමුදාව සෑම යුවළකටම – ඔවුන්ගේ ලිංගික මනාපය නොසලකා – ඔවුන්ගේ ආශිර්වාදය ලබා දුන් බව තවදුරටත් පැවසීය.

    පසුගිය වසරේ සමලිංගික යුවළයන් තිදෙනෙකු හමුදාවේ වාර්ෂික මංගල උත්සවවලට සහභාගී වීමට ලියාපදිංචි වී සිටියහ. කෙසේ වෙතත්, හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කළ ප්‍රාදේශීය පුවත්පත් වලට අනුව, ඔවුන් “සමාජ පීඩනය” හේතුවෙන් පසුබසින්නට විය.

    සමලිංගික යුවළයන් තවමත් විෂමලිංගික යුවළයන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්නේ නැතත් තායිවානය පසුගිය වසරේ සමලිංගික විවාහ නීතිගත කළේය.

    2017 දී තායිවානයේ ව්‍යවස්ථා අධිකරණය තීන්දු කළේ සමලිංගික යුවළයන්ට නීත්‍යානුකූලව විවාහ වීමට අයිතියක් ඇති බවයි. එහෙත් ඊට මහජන කැමැත්ත නොලැබුණ අතර බහුතර ඡන්දදායකයින් සමලිංගික විවාහ නීතිගත කිරීම ප්‍රතික්ෂේප කළහ.

    එහි ප්‍රතිඵලයක් ලෙස තායිවානය කියා සිටියේ සිවිල් නීතිය තුළ විවාහය පිළිබඳ දැනට පවතින අර්ථ දැක්වීම වෙනස් නොකරන බවත් ඒ වෙනුවට සමලිංගික විවාහ සඳහා විශේෂ නීතියක් පනවන බවත්ය.

    එහි අර්ථය වන්නේ සමලිංගික යුවළයන්ට සීමාවන් කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි. සමලිංගික විවාහයන් පිළිගත් රටවලින් පැමිණි විදේශිකයන් සමඟ විවාහ වීමට හැකිවීම එක් අවස්ථාවක් පමණති. ඔවුනට අවසර දී ඇත්තේ එකිනෙකාගේ ජීව විද්‍යාත්මක දරුවන් දරුකමට හදා ගැනීමට පමණි.

    තායිවානය දිගු කලක් ආසියාවේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයක් වූ අතර තායිපේ අගනුවර වාර්ෂිකව සමලිංගික අභිමානවත් පෙළපාළියක් පැවැත්වීය.

    ආසියාවේ වෙනත් තැන්වල ද එල්ජීබීටී කණ්ඩායම් කෙරෙහි වඩාත් ඉවසිලිවන්ත ආකල්ප පිළිබිඹු වන පරිදි නීති වෙනස් වෙමින් පවතී.

    සමලිංගික ඇසුර තවදුරටත් සාපරාධී වරදක් නොවන බව 2018 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    බී.බී.සී ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සුනඛයින්ගේ DNA මගින් හෙළිකළ සුපිරි කතාව

    සුනඛයින්ගේ DNA මගින් හෙළිකළ සුපිරි කතාව

    සුනඛයින්ගේ ඩීඑන්ඒ පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සත්ව ලෝකයේ අපගේ “හොඳම මිතුරා” අපගේ පැරණිතම මිතුරාද හැකි බවයි.

    විශ්ලේෂණයෙන් හෙළි වන්නේ සුනඛයන් හීලෑ කිරීම පසුගිය අයිස් යුගයේ අවසානය දක්වා, එනම් වසර 11,000 ක් පමණ පැරණි බවයි.

    මෙයින් සනාථ වන්නේ සුනඛයන් වෙනත් දන්නා විශේෂයකට පෙර මිනිසා විසින් හීලෑ කර ඇති බවයි.

    මේ වන විට අපේ සුනඛ සගයන් උතුරු අර්ධගෝලය පුරා පුළුල්ව පැතිරී තිබූ අතර ඒ වන විටත් විවිධ වර්ග පහකට බෙදී තිබුණි. යටත් විජිත යුගයේදී යුරෝපීය සුනඛයින්ගේ ව්‍යාප්තිය නොතකා, මෙම පුරාණ ආදිවාසී අභිජනන අංශ අද ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව සහ ඕෂනියා යන රටවල පවතී.

    අපගේ සමීප සත්ව සගයන්ගේ ස්වාභාවික ඉතිහාසයේ යම් යම් හිඩැස් පර්යේෂණය මගින් පුරවයි.

    ලන්ඩනයේ ක්‍රික් ආයතනයේ Ancient Genomics රසායනාගාරයේ (අධ්‍යයනයේ සම කර්තෘ සහ කණ්ඩායම් නායක) ආචාර්ය පොන්ටස් ස්කොග්ලන්ඩ් බීබීසී ප්‍රවෘත්ති සේවයට මෙසේ පැවසීය:

    “බල්ලන් සැබවින්ම අද්විතීය වන්නේ ඔවුන් මිනිසුන්ගේ මුල්ම යුගයේදී දඩයම සදහා ඉටුකළ අනුපමේය සේවය නිසයි. ඔවුන් මිනිසාට සේවය කළා‘

    “මිනිසුන් එසේ කළේ ඇයි ? එය ඇති වූයේ කෙසේද? අපි අවසානයේ උනන්දු වන්නේ එයයි.”

    යම් තාක් දුරට, සුනඛ ජානමය රටාවන් මිනිසුන් පිළිබිඹු කරයි, මන්ද මිනිසුන් චලනය වන විට ඔවුන්ගේ සත්ව සගයන් ඔවුන් සමඟ රැගෙන ගිය බැවිනි. නමුත් වැදගත් වෙනස්කම් ද විය.

    රොඩේෂියන් රිජ්බැක්
    රොඩේෂියන් රිජ්බැක් පුරාණ අප්‍රිකානු සුනඛ පරම්පරාවකින් පැවත එන්නන් රඳවා තබා ගනී

    නිදසුනක් වශයෙන්, මුල් යුරෝපීය සුනඛයන් මුලින් විවිධාකාර වූ අතර, ඒවා එකිනෙකට වෙනස් දෙදෙනෙකුගෙන් බිහි වූ බව පෙනේ.

    නමුත් යම් අවස්ථාවක දී, ලෝකඩ යුගය ආරම්භ වීමෙන් පසු, තනි සුනඛ පරම්පරාවක් පුළුල් ලෙස ව්‍යාප්ත වී මහාද්වීපයේ අනෙකුත් සියලුම සුනඛ වර්ග වෙනුවට ආදේශ විය. මෙම රටාවට යුරෝපයේ මිනිසුන්ගේ ජාන රටාවන්හි කිසිදු ප්‍රතිවිරුද්ධතාවක් නොමැත.

    ආචාර්ය ඇන්ඩර්ස් බර්ග්ස්ට්‍රෝම් මෙසේ පැවසීය: “අපි මීට වසර පන්දහසකට පෙර යුගයට ගොස් ආපසු හැරී බැලුවහොත්, සුනඛයන් සම්බන්ධයෙන් යුරෝපය ඉතා විවිධාකාර ස්ථානයක් වූ බව අපට පෙනෙනවා. යුරෝපීය සුනඛයන් වුවද ජානමය වශයෙන් ඒවා ව්‍යුත්පන්න වී ඇත්තේ පවතින විවිධත්වයේ ඉතා පටු උප කුලකයකින් පමණක් බව අද අපට පෙනෙනවා‘

    පර්යේෂකයින් පුරාණ සුනඛයන් 27 දෙනෙකුගේ පුරාවිද්‍යාත්මක සංස්කෘතීන් හා සම්බන්ධ සමස්ත ජාන (ජෛව සෛලවල න්යෂ්ටිවල ඩීඑන්ඒ හි පූර්ණ අනුපූරකය) විශ්ලේෂණය කළේය. ඔවුන් මේවා එකිනෙකා හා නවීන සුනඛයන් සමඟ සංසන්දනය කළහ.

    ප්‍රතිඵලවලින් හෙළි වන්නේ දකුණු අප්‍රිකාවේ රොඩේෂියන් රිජ්බැක් (Rhodesian Ridgeback) සහ මෙක්සිකෝවේ චිහුවාආ (Chihuahua) සහ සොලොයිට්ස්කුයින්ට්ලි (Xoloitzcuintli) වැනි ප්‍රභේදයන් කලාපයේ ඉපැරණි ආදිවාසී සුනඛයන්ගේ ජානමය අංශුමාත්‍ර රඳවා තබා ගන්නා බවයි.

    නිව් ගිනියාවේ ගායන බල්ලා
    නිව් ගිනියා singing dog ආසියාව සහ ඕෂනියාව පුරා සුනඛයින්ගෙන් හමු වූ පෙළපතක එක් නියෝජිතයෙකි

    නැගෙනහිර ආසියාවේ සුනඛයන්ගේ පරම්පරාව සංකීර්ණයි. චීන අභිජනනය ඔවුන්ගේ පරම්පරාව සමහරක් ඕස්ට්‍රේලියානු ඩිංගෝ dingo සහ නිව්ගිනියා singing dog වැනි සතුන්ගෙන් ලබා ගත් බව පෙනේ.

    නිව් ගිනියාවේ singing dog එසේ නම් කර ඇත්තේ ගීතවත් ස්වරයක් ඇති කෑගැසීම නිසාය.

    පර්යේෂණයේ සම කර්තෘ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ග්‍රෙගර් ලාර්සන් මෙසේ පැවසීය: “බල්ලන් අපගේ පැරණිතම හා සමීපතම සත්ව සහකරුයි. පුරාණ සුනඛයන්ගෙන් ඩීඑන්ඒ භාවිතා කිරීම අපගේ හවුල් ඉතිහාසය කොතරම් ඈතට දිව යනවාද යන්න අපට පෙන්වනවා‘

    සුනඛයන් පරිණාමය වී ඇත්තේ මිනිස් කඳවුරුවලට ගිය වෘකයන්ගෙන් විය හැකිය. ඔවුන් හීලෑ කර ගත් විට, ඔවුන්ට දඩයම් සගයන් හෝ ආරක්ෂකයින් ලෙස මිනිසුන්ට සේවය කළ හැකිය.

    ප්‍රතිඵල වලට අනුව සියලුම සුනඛයන් බිහි වී ගොස් ඇත්තේ එක් වඳ වී ගිය වෘකයෙකුගෙනි. (හෝ සමහර විට ඉතා සමීපව සම්බන්ධ වූ කිහිප දෙනෙකුගෙන්) ලොව පුරා විවිධ ගෘහාශ්‍රිත සිදුවීම් සිදුවී ඇත්නම්, මෙම අනෙකුත් පෙළපත් පසුකාලීන සුනඛයන්ට වැඩි ඩීඑන්ඒ දායක නොවීය.

    ආරම්භක හීලෑ කිරීම සිදු වූයේ කවදාද කොතැනද යන්න පැහැදිලි නැති බව ආචාර්ය ස්කොග්ලන්ඩ් පැවසීය. “සුනඛ ඉතිහාසය කෙතරම් ගතික වී ඇත්ද යත්, ඔවුන්ගේ ඩීඑන්ඒ පහසුවෙන් කියවීමට නොහැකිය.එය ඔවුන් පිළිබඳ සිත්ගන්නාසුලු දෙයයි.”

    මීට වසර 6,000 කට පමණ පෙර මිනිසුන් ගොවිතැන් කිරීමට ගිය විට බළලුන් වැනි බොහෝ සතුන් අපගේ සුරතල් සතුන් බවට පත්විය. ජනාවාස මගින් ජනනය වන අපද්‍රව්‍ය මගින් ආකර්ෂණය වූ මීයන් වැනි පළිබෝධකයන් පාලනය කිරීමට බළලුන් බොහෝ විට ප්‍රයෝජනවත් විය. 

    “සුනඛයින් සඳහා, එය ඕනෑම තැනක තිබිය හැකියි: සීතල සයිබීරියාව, උණුසුම් ආසන්න නැගෙනහිර, ගිනිකොනදිග ආසියාව. මේ සියල්ල මගේ මනසෙහි ඇති හැකියාවන්” යැයි පොන්ටස් ස්කොග්ලන්ඩ් පැහැදිලි කළේය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ව්‍යාජ Covid භීතිය නිසා වැනසෙන ධීවරයින්ගේ ‘ඇත්ත කතාව’ මෙන්න !

    ව්‍යාජ Covid භීතිය නිසා වැනසෙන ධීවරයින්ගේ ‘ඇත්ත කතාව’ මෙන්න !

    ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද?

    මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා.”

    හලාවත වැල්ල ගම්මානයේ පදිංචි තිස්තුන් හැවිරිදි වර්ණකුලසුරිය ඉනෝකා දිෂානි කොවිඩ් 19 හමුවේ තමන් මුහුණ දී ඇති තත්ත්වය එසේ විස්තර කළාය. ඉනෝකාගේ කතාව අද වන විට රටේම ධීවරයාගේ කතාව බවට පත්ව ඇති අතර මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අශ්‍රිතව කෝවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමයි. මේ තත්ත්වය සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් නමුත් ඒ වන විටත් රටේ ප්‍රධාන ධීවර වරාය කිහිපයක් හා ධීවර වෙළෙඳසල් කිහිපයක් අතර කෝවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබිණි.

    ධීවරයන් නොසලකාහැරලා

    හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් හතරක් පමණ අතැතිව සිටි ඉනෝකා දිෂානි මෙසේද කීවාය. “ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද?

    ඉනෝකා දිෂානි
    ඉනෝකා දිෂානි

    ඇයගෙන් මාළු මිලදී ගැනීමට පැමිණි නිහාල් ප්‍රනාන්දු කතාවට එකතු විය. “මම මේ හාල්මැස්සෝ ටිකක් ගන්න ආවේ කුඩා මාළු කෑවම ප්‍රතිශක්තිකරණය වඩනවා කියන නිසයි. නැතුව මට මාළු නැතුව නෙමෙයි. පුළුවන් නම් එන්න හලාවත ජැටියට පෙන්නන්න. මගේ බෝට්ටුවේ විතරක් තියනවා ලක්ෂ ගාණක ලොකු මාළු. ඒ කියන්නේ තෝරු, පරව්, කෙලවල්ලෝ. මේ දවස් ටිකේ අපි කෑවෙත් ඒ මාළු තමයි.”

    නිහාල් ප්‍රනාන්දු
    නිහාල් ප්‍රනාන්දු

    හලාවත ධීවර වරායේ පිහිටි ප්‍රධාන ජැටියේ “ළහිරු” පුතා බහුදින ධීවර යාත්‍රාව නැංගුරම් ලා තිබිණි. නිහාල් ප්‍රනාන්දු කියා සිටියේ දින පහක කාලයක සිට තම මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින බවය.

    ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ

    “ධීවර රාජ්‍ය ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා රටේම මාළු ගන්නවා කියලා. නමුත් ඒ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. මම දන්න විදිහට මේ වන විට දකුණේ හා නැගනහිර ඇතුළු ප්‍රදේශ කීපයක බහුදින ධීවර යාත්‍රාවල මාළු කිලෝ ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ මාළු තව ගොඩක් කල් තියාගන්න අමාරුයි. ආණ්ඩුව මේ තත්ත්වයට වග කියන්න ඕනෑ. මොකද මේ කොරෝනා රැල්ල ආවේ ධීවරයන්ගෙන් නෙමෙයි ව්‍යාපාරිකයන්ගෙන්. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපේ ධීවරයෝ අපේ කාටවත් කොරෝනා නැහැ.” ඔහු දැඩි වේදනාවෙන් මෙසේද කීවේය.

    “අද මගේ එක බෝට්ටුවක් කල්පිටියේ වරායේ හිරවෙලා. මට තියෙන ගැටලුව ඒ බෝට්ටුව ඇයි මට මෙහෙට ගේන්න දෙන්නේ නැත්තේ කියලයි. මේ නිසා මට මේ බෝට්ටුව වෙනුවෙන් දවසකට රුපියල් පන්සියයක් දෙන්න වෙලා තියෙනවා. මම ඉල්ලන්නේ මගේ බෝට්ටුව මෙහෙට ගේන්න අවසර දෙන්න කියලයි.”

    හලාවත ධිවර වෙළද පොළ වසා දමා
    හලාවත ධිවර වෙළෙඳපොළ වසා දමා ඇති අයුරු

    වෙනත් දිනවල හලාවත මාළු වෙළදපොළේ දකින මුහුණු කීපයක් හලාවත විදි දිගේ දකින්නට ලැබිණි. මේරියන් දිලුකා එවැන්නියකි. ඇය කියා සිටියේ තමනට නිවෙසට වී කාලය ගත කළ හැකි නමුත් ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබා දිය යුතු බවය.

    “මාළු මාර්කට් එක වැහුවා. අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. අපි දන්නවා එතන මීටරේ දුර තියාගෙන වැඩ කරන්න බැහැ කියලා. නමුත් අපිට පාරේ හරි මාළු ටික විකුණගන්න ඕනෑ. නැත්නම් අපි කොහොමද කන්නේ? මාස හයක වාරකන් ඉවර වෙලා යන්තම් වලාල ලබලා මාළු ටිකක් අහුවෙන්න ගත්තා විතරයි, මේ නස්පැත්තිය!” ඇය වාරකන් යනුවෙන් ප්‍රකාශ කළේ මුහුද රළු වන මාස හයක කාලයයි. වලාල යනුවෙන් හැඳින්නුවේ මුහුදේ ධීවර කටයුතුවලට සුදුසු කාලයයි.

    ධීවර සංවිධාන

    ධීවර කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව රට පුරා ධීවර සංවිධාන මේ වන විට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් පසුගිය 27 වැනි දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර එහිදී ඔහු කියා සිටියේ ධීවර සංස්ථාව ඇත්තේ නමට පමණක් බවය.

    හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ්
    ,හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ්

    “මේ වන විට හලාවත බහුදින ධීවර යාත්‍රාවල හා අනෙක් ධීවර යාත්‍රාවල මාලු කිලෝ 10,000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා. දැන් ඒවාට කිසිම විකල්පයක් නෑ. දැන් සුළු පරිමාණ ධීවරයාටත් රැකියාව නෑ. රජය මේ වෙලාවේ ධීවරයාට සාධාරණයක් ඉටු කරන්න මැදිහත් වෙන්න ඕනෑ. දැන් මේ මාළු අලෙවි කරගන්න ක්‍රමයක් තමයි ඕනෑ.”

    මේ වන විට රටේ පැතිර යන කට කතා පිළිබඳව ද ඇන්ටන් සුදේශ් මෙහිදී අවධානය යොමු කළේය.

    “මේ වන විට රටේ ජනතාව අතර මතයක් ඇතිවෙලා තියෙනවා මාළු කන්න හොඳ නෑ කියලා. ඒ මතයේ වගකීම ගන්න ඕනේත් රජය තමයි. මොකද රජය මේ වෙලාවේ නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්නේ නෑ. සෞඛ්‍ය අංශවල ඉහළ වෛද්‍යවරුන් එක එක ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවගේ බිය, සැකය තවම දුරු වෙලා නෑ. ජනතාවගේ සැකය දුරු වෙලා ජනතාව මාළු පරිභෝජනයට යොමු වන ආකාරයට රජය වගකීමක් අරගෙන නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනෑ.”

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ගැටලුව පිළිබඳවද හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් අදහස් පළ කළේය.

    “ධීවරයො කොහොමද මේකට මුල් වෙන්නේ? පෑලියගොඩ කියන්නේ ධීවරයෝ ඉන්න තැනක් නෙවේනේ. පෑලියගොඩ කියන්නේ ව්‍යාපාරිකයෝ ඉන්න තැනක්. පෑලියගොඩට ලංකාවේ හැමතැනකින්ම මාළු ගන්න එනවා. තවම නිශ්චිතවම කියන්න පුළුවන්ද කාගෙන්ද විෂබීජ පෑලියගොඩට ආවේ කියලා. මේක ධීවරයින්ගෙන් හැදුණා කියලා කොහොමටවත් කියන්න බෑ. මාලුන්ට මේක හැදුණා කියලා ලෝකේ කොහේවත් නෑ. මාළු අරගෙන ඇවිල්ලා ගෙවල්වල කනවා. කාටවත් එහෙම කොරෝනා හැදිල තියනවද? ආණ්ඩුව මේ වැරදි මත දුරු කළේ නැත්නම් ධීවර කර්මාන්තය විනාසයි.”

    සමාජ මාද්‍යයේ සංසරණය වන චායාරුපයක්
    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක්

    ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර පවසන්නේ වහාම රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

    “මුලින්ම රජය මේ මාළු අරගෙන නරක් වෙන්න නොදී ගබඩා කරන්න ඕනෑ. මේ සදහා සුදුසු පියවර ඉක්මණින් ගත යුතුයි. නැත්නම් කරවල සදහා වියළීමට හෝ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. වෙළෙඳුන්ට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිය යුතුයි. අනෙක් කාරණය තමයි ඉදිරියට ලැබෙන්න නියමිත මත්ස්‍ය සම්පතට කුමක් කළ යුතුද යන්න. දැනට මුහුදේ ඇති යාත්‍රා ප්‍රමාණය ගොඩබිමට ඒමේදී ඔවුන්ගේ මත්ස්‍ය සම්පත සඳහා වහාම වැඩපිළිවෙළක් අවශ්‍යයි. “

    ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර
    ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර

    මත්ස්‍යයින් මගින් කොරෝනා වෛරසය පැතිරෙනවා යන්න මතයක් ජනතාව අතර පැතිර තිබෙන නිසා මාළු මිලදී ගැනීමට ජනතාව දැඩි බියක් දක්වන බවද හර්මන් කුමාර කියා සිටී.

    “මේ වන විට මාළු කෑම මිනිසුන් අතහැරලා තියෙන්නේ. මාළු හරහා කොරෝනා බෝ වෙනවා කියලා දුර්මතයක් පැතිරෙනවා. සෞඛ්‍ය අංශ මෙහි ඇත්ත නැත්ත සනාථ කරන්න ඕනෑ. එහෙම බෝ වෙනවානම් ඒ බව විද්‍යාත්මකව සනාථ කළ යුතුයි. මේ අවිනිශ්චිත තත්ත්වය දේශීය වෙළෙඳපොළට පමණක් නොව අපනයන වෙළෙඳපොළටත් බලපානවා.”

    ලක්ෂ විස්සකගේ ජීවනෝපාය

    පාලුවට ගිය තොටුපොළ
    පාලුවට ගිය තොටුපොළ

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 2018 වාර්ෂික කාර්යය සාධන වාර්තාවට අනුව 2018 වසර තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 527,060ක් වන අතර මේ සදහා කරදිය හා මිරිදිය අංශ පිළිවෙළින් මෙට්‍රික් ටොන් 439,370 හා මෙට්‍රික් ටොන් 87,690ක මත්ස්‍ය අස්වැන්නක් ලබා දීමෙන් දායක වී ඇත.

    2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. 2018 වසරේ එම අගය 1.2% කි.

    ධීවරයන් රැකියාව නොමැතිව
    ධීවරයන් රැකියාව නොමැතිව

    ලෝක ධීවර සම්මේලනයට අනුබද්ධ ජාතික ධීවර සහයෝගිතාවයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් ගණන ලක්ෂ දෙකකට ආසන්නය. එම දත්ත අනුව ලංකාවේ බහුදින ධීවර යාත්‍රා හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර කුඩා යාත්‍රා, එනම් එක් දින යාත්‍රා හතළිස් දහසක් පමණ තිබේ. ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර ක්ෂේත්‍රයෙන් දක්වන දායකත්වය මෙවර තවත් අඩු විය හැකි බවය.

    “ලංකාවේ මුහුද වටේ යන කුඩා බහුදින යාත්‍රා 1,500ත් 2,000ත් අතර ප්‍රමාණයකුත් ධීවර රැකියාවේ නිරත වෙනවා. වැඩියෙන්ම තියෙන්නේ කුඩා යාත්‍රා. වැඩියෙන්ම ආදායමක් ලබා දෙන මත්ස්‍ය සම්පත තමයි හුරුල්ලා. අපනයනය සඳහා වන මත්ස්‍ය සම්පත් වන්නේ කෙලවල්ලා සහ ඉස්සා. ප්‍රධාන වශයෙන්ම බහුදින ධීවර යාත්‍රා යැපෙන්නේ කෙලවල්ලන්ගෙන්. බහුදින යාත්‍රාවලින් ගෙනෙන මාළු ප්‍රධාන වශයෙන් අලෙවි කරන්නේ පෑලියගොඩ, බේරුවල, මීගමුව යන මාළු වෙළෙපලවල්වල. මේ පෑලියගොඩ තත්ත්වයත් එක්ක වෙළෙඳපොළ බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

    වැරදුණේ කොතැනද?

    රට පුරා ප්‍රචාරය වන මාළු හා කොරෝනා සම්බන්ධ පුවත් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසුවෙමු.

    “මේ කතාව ගොඩනැගෙන්නේ පෑලියගොඩ ධීවර වෙළෙඳපොළ ආශ්‍රිතව රෝගය පැතිර ගිය නිසා. නමුත් මාළු වලින් කොවිඩ් 19 පැතිරෙනවා කියලා මේ වන තුරු කවුරුත් අනාවරණය කරගෙනවත් පර්යේෂණ කරලා තහවුරු කරලාවත් නෑ. මිනිස්සු මෙහෙම සැකයක් හදා ගෙන තියෙන්නේ මාලු ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන මාලු අලෙවි කරන පුද්ගලයින් ආසාදිතයින් වීම නිසා. එයට හේතුව ඔවුන් ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා අවම මට්ටමක පැවතීමයි. කෙසේ වෙතත් මාළු නිසා මෙය පැතිරෙනවා කියන්න බෑ. ඒ නිසා කිසි විටෙක මාළු සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ.”

    “මම මීට කලින් අවස්ථා තුනකදී කාරණා කීපයක් ප්‍රකාශ කළා. පළමු කාරණය තමයි ධීවරයින් ආශ්‍රිතව මෙය ඕනෑම අවස්ථාවක පැතිරෙන්න පුළුවන් කියන එක ඒ වගේම මම කීවා ඉන්දියානු පන්නයේ වෛරසයක් සංක්‍රමණය වෙලා රට තුළ වර්ධනය වෙලා පුපුරා යෑමක් විදිහට වාර්තා වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ප්‍රමාද වැඩියි කියලත් මම කිව්වා. ඒ දෙවැනි අවස්ථාවේදී මම ප්‍රකාශ කළා ඉදිරි සති කීපයේදී වෛරසය පැතිරීම වේගවත් වෙලා රට තුළ ව්‍යසනයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පසුගිය සතියේ ප්‍රකාශ කළා මේ සතිය තුළ ධීවරයින් අතර පැතිර යෑමක් වාර්තා වෙනවා කියලා. ඒකත් සත්‍ය වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න හා වැඩ කරන පුද්ගලයන් විදියට අත්දැකීම් සහ වසංගත පිළිබඳව දැනුමෙන් තමයි එසේ ප්‍රකාශ කළේ.”

    මේරියන් දිලුකා
    මේරියන් දිලුකා

    දැනට පවතින තත්ත්වය අවම කර ගැනීම සදහා “ඇල් මැරුණ ස්වාභාවයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්” සක්‍රියව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග කටයුතු කර නියමිත සැලසුමකට අනුව රාජකාරි කළ යුතු බවද උපුල් රෝහණ පැවසීය.

    “දැනට ආරක්ෂක අංශ හා විශේෂයෙන්ම යුධ හමුදාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග සෘජුවම ගනුදෙනු කරමින් ඉන්නවා. ඒ නිසා මහජනතාවගේ සහයෝගය මේ සදහා ලැබිය යුතු වෙනවා. මේ අංශ තුනම ඒකාබද්ධව ඉදිරි මාසය තුළ සක්‍රියව වැඩ කළොත් විශේෂයෙන්ම සැලැස්මකට අනුව කටයුතු කළොත් මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ දෙවැනි රැල්ල අපි ජයග්‍රහණය කළත් මේ අවදානම අඩු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉන්දියාවේ දැඩි ලෙස පැතිර යෑම හා ලෝකයේ තවමත් මේ අවදානම තියෙන නිසා අපිට ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතුයි. මේක පාලනය කරන්න නම් මේකත් එක්ක අපිට වසර 3 ක් 4ක් ජීවත් වෙන්න වෙයි. වරින් වර පීඩාවට පත් වෙමින් වරින් වර මරණ ඇති වෙමින් වරින් වර රට ලොක් ඩවුන් කරමින් මෙවැනි තත්ත්වවලට අපට ඉදිරියට මුහුණදීමට සිදුවෙයි.”

    රජයේ ප්‍රතිචාරය

    පවතින තත්ත්වය පිළිබදව කාංචන විජේසේකර ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ දැනට ධීවර වරායන්වල ගොඩ ගැසී ඇති මාළු මිලදී ගැනීම සදහා රජයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය.

    “අපි දැක්කා පහුගිය කාලයේ නාවික හමුදා පොකුර , බ්‍රැන්ඩික්ස් පොකුර දැන් පෑලියගොඩ පොකුර. ඒ කාල වකවානුව තුළ අපි දැක්කා ජනතාව තුළ ඇති වුණ බිය. ඒක සාමාන්‍ය දෙයක්. මත්ස්‍ය පරිභෝජනයෙන් කිසිම අවදානමක් නෑ. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා පවත්වාගෙන යන අලෙවිසල්වලින් මේ මත්ස්‍ය සම්පත ලබා ගන්න කියලා. විශේෂයෙන්ම මේ රටේ ධීවර ජනතාව ඉතාමත්ම අසීරුතාවකට පත්ව ඇති මොහොතේ මේ රටේම දේශීය කර්මාන්ත කරන මේ පිරිස අත් හරින්න එපා කියන කාරණය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

    විදි දිගේ මාළු විකුණන හලාවත ධීවරයන්
    විදි දිගේ මාළු විකුණන හලාවත ධීවරයන්

    මාළුවලින් කොවිඩ් හැදෙන්නෙ නෑ!

    සමාජ මාද්‍යයේ සංසරණය වන චායාරුපයක්

    “කොරෝනා හැදෙනවා කියලා මාළු නොකා ඉන්න එක මෝඩකමක්. මාළු ආහාරයට ගැනීමෙන් කොවිඩ් වැළදෙන්නේ නැහැ.” රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ, ධීවර සහ ජල ජීවී වගා අධ්‍යයන අංශයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ හිටපු සම්මානිත මහාචාර්ය රුචිරා කුමාරණතුංග පවසයි.

    මහාචාර්ය රුචිරා කුමාරණතුංග
    මහාචාර්ය රුචිරා කුමාරණතුංග

    “කොරෝනා වෛරසය මාළුවාගේ ශරීරය තුළට ඇතුළු විය නොහැකියි. යම් ආකාරයකින් වෛරසය ඇතුළු වුවහොත් හොඳින් සෝදා වැඩි උෂ්ණත්වයක පිසින නිසා වෛරසය රඳා පවතින්නේ නෑ. සෙල්සියස් 70 කට වැඩි උෂ්ණත්වයකදී වෛරසය විනාශ වන නිසා හොදින් පිසූ මාළු ආහාරයට ගැනීමෙන් වෛරසයේ බලපෑමක් නෑ. මාළු නොකා හිටියොත්, මිලදී ගන්නේ නැති වුණොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අපි දිගටම පිරිසිදුකම පවත්වාගෙන යනවානම් මේ තත්ත්වය දුරදිග යන්නේ නෑ. මාළු ඇල්ලුවත්, මාළු විකිණුවත් අත් ආවරණ, මුව ආවරණ පලන්දිනවානම් මේ තත්ත්වය උදා වන්නේ නෑ. මාළු වෙළෙඳසල්වල මාළු සෝදන්න, අත් සෝදන්න, පිහි සෝදන්න, ලෑලි පිරිසිදු කරන්න පහසුකම් තියෙනවානම් මේ තත්ත්වය ඇති වන්නේ නෑ.”

    විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල
    විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල

    මහනුවර මහා රෝහලේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, කෝවිඩ් 19 පැතිර යෑම හා මත්ස්‍ය පරිභෝජනය අතර සම්බන්ධය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි.

    “කොවිඩ් 19 වෛරසය සතුන් අතර පැතිරෙන බවක් මෙතෙක් සොයාගෙන නෑ. මාළු පරිභෝජනය කළා කියලා මේ රෝගය පැතිරෙන්නේ නෑ. ලුණු වතුරෙදි වෛරසය ඉක්මණින් විනාශ වෙන නිසා මාළු අල්ලන අවස්ථාවෙදිත් අවදානමක් නෑ. ඒත් මාළු විකුණන තැන්වලට වෛරසය වැටුණොත් සාමාන්‍ය පරිසරයට වඩා වෛරසය ජීවීව තියෙන්න පුළුවන්. මාළු ගේනකොට ගේන පාර්සලයේ, කවරයේ ගෑවිලා එන්න පුළුවන්. මාළු ගෙදරට ගෙනත් හොඳින් සෝදලා උයලා කෑවොත් බෝ වෙන්නේ නෑ. නමුත් මාළු සුද්ද කරද්දී නාසය, කට, ඇස අල්ලන්නේ නැතුව පරිස්සමින් කරන්න ඕන.”

    ඔහු තවදුරටත් පැවසුවේ, මාළු සම්බන්ධයෙන් පමණක් නොව වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඕනෑම ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

    ‘ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා’

    පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසන්නේ මාළු ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බව පමණක් නොව, වෛරසය සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය අවශ්‍ය බැවින් මාළු ආහාරයට ගැනීමේ වැදගත්කමද ඇය අවධාරණය කරන්නීය.

    පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු
    ,පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු

    “මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති ආසාදිතයින් 54 දෙනාගෙන් ධීවර වෙළෙඳසල් ආශ්‍රිත අය ඉන්නේ 18 දෙනෙකු පමණයි. මේ අතර ධීවරයන් කිසිවකු නෑ. මාළු වෙළෙඳසල් ආශ්‍රිතව රෝගය පැතිරීමට හේතුව මූලික සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීමයි. මාළු ආශ්‍රයෙන් වෛරසය පැතිර යන බවට පවතින මතයේ කිසිම සත්‍යයක් නෑ. මේ වෛරසය සමග සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මාළු ආහාරයට ගැනීම ඉතා වැදගත්.”

    මෙම ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ 2020 ඔක්තෝබර් 29 දින පළ වූ ලිපියකි. කාලීන අවශ්‍යතාව සහ ජනතාව දැනුවත් කිරීම සදහා සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරන ලද අතර ශීර්ෂ පාඨය පමණක් යාවත්කාලීන කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • ජයසුමනගේ ‘සුදර්ශන පැණිය’ නාථ දෙවියන්ගේ තවත් විජ්ජාවක් ද ?

    ජයසුමනගේ ‘සුදර්ශන පැණිය’ නාථ දෙවියන්ගේ තවත් විජ්ජාවක් ද ?

    කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය“ නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළවී තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වි ඇත.

    මෙම කරුණ විවිධ නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටළු රැසක් මතුකරනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය හා ආයූර්වේද වෛද්‍ය ක්‍රමය යනු ප්‍රධාන වෛද්‍ය ක්‍රම ප්‍රවාහයන් දෙකකි. මෙම වෛද්‍ය ක්‍රම දෙක අතර මූලික සංකල්පමය වෙනසක් පවති. බටහිර වෛද්‍ය ක්‍රමයෙහි රෝගීන් සඳහා යම් ඖෂධයක් භාවිතා කිරීමට ප්‍රථම එම ඖෂධය පර්යේෂණ රාශියකට භාජනයට ලක්කළ යුතුව තිබේ. මේවා හඳුන්වන්නේ Clinical Trail (ශායනික පර්යේෂණ) ලෙසනි.

    මෙම සායනික පර්යේෂණ වල පර්යේෂණ මට්ටම් ඇති අතර, ස්ථර කිහිපයකින් ඒවා සමන්විත වේ. මෙම ස්ථර කිහිපයක පර්යේෂණ මට්මමෙහි අත්හදා බැලීමෙන් පසුව යම් ඖෂධයක් රෝගීන් සඳහා භාවිතා කළ හැකිද? එම ඖෂධයේ අතුරු ආබාධ කුමක්ද ? එම ඖෂධයෙහි ඖෂධ විද්‍යාත්මක ගුණයක් තිබේද යන්න පරික්ෂාවකි. මෙම පරික්ෂාවලින් අනතුරුව එම ඖෂධය මිනිස් භාවිතයට සුදුසු බවත්, මෙම ඔෂධය භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති නොවන බවත්, එම ඖෂධය යොදා ගන්නා රෝගය සඳහා අවශ්‍ය සුව කිරීමේ හැකියාව ඇති බවත් සනාත කළ යුතුය.

    ඉන් අනතුරු මෙම ඖෂධය යම් කිසි රටක ඔෂෟධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කළ යුතුය. මෙසේ ලියාපදිංචි කිරීමකින් තොරව භාවිතා කරන ඖෂධයක් නීති විරෝධී ඖෂධ්‍යක් ඝණයට යටත් වන අතර, එවැනි ඖෂධ්‍යක් භාවිතා කරන වෛද්‍යවරයකුට ඖෂධ නියාමන නීතිරීති කඩන්නකු බවට පත්වේ.

    එසේ නම් මෙම “සුදර්ශන පැණිය“ බටහිර රෝහල් වල භාවිතා කිරිමට ප්‍රථම එය පිළිබඳ නිසි පර්යේෂණ ක්‍රමවේදයන් අනුගමනය කොට ඉන් අනතුරුව ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධයක් ලෙස එය ලියාපදිංචි කළ යුතුය. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඖෂධවේදය පිළිබඳ විශේෂඥවරුන්ට වැඩි දැනීමක් තිබිය යුතුය.

    අනෙක් කරුණ වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති තහනමයි. මෙම කරුණ ලොවෙහි අනෙකුත් වෛද්‍ය සභා පවා දැඩිව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2000 වසරේ සැප්තැම්බර් මස නිකුත් කර තිබෙන උපදෙස් පොතකට අනුව බටහිර වෛදවරයෙක් තමන් උගත් නුගත් හෝ පුහණුවක් නොලැබූ හෝ අත්දැකීම්ක් නොලැබූ වෛද්‍ය ක්‍රමයක යෙදීම හෝ භාවිතා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් ගණයට වැටෙන වරදකි.

    මෙසේ බරපතල වෘත්තිමය අපචාරයන් ලෙස සඳහන් වන්නේ එවැනි ක්‍රියාවක නියුතු වූ බටහිර වෛද්‍යවරයකුගේ ලියාපදිංචිය තහනම් කිරිම පවා වෛද්‍ය සභාවට හැකිවේ. එම නිසා තමන් උගත්කමක් නොලැබූ, තමන‍ෙ අත්දැකීමක් නොලැබූ ඖෂධයක් භාවිතා කිරීම බරපතල වරදකි.

    ඇතුම් විට මෙම කරුණ නොසලකා එක් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරුන් සමූහයක් හෝ වෛද්‍ය සේවයක් කටයුතු කළහොත් එයින් සිදුවන්නේ ලංකාවේ බටහිර වෛද්‍යවරන්ට හා බටහිර වෛද්‍ය සේවයට ලොවෙහි අනෙක් බටහිර වෛද්‍ය සේවයන් අතර ඇති පිළිගැනීම නැතිව ගොස් එය හෑල්ලූ වීමයි.

    එම නිසා මෙසේ ආයුර්වේද ඖෂධ බටහිර වෛද්‍ය ක්‍රමයේ රෝහල් වල භාවිතා කිරීමට ප්‍රථම ඒ හා සම්බන්ධව සියලු දෙනා මෙම සියලු කරුණු සම්බන්ධව ගැඹුරින් කල්පනා කළ යුතුව ඇත.

    ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සමග සාකච්ඡා කොට සකස් කලේ සුජීව සෙනරත්