Category: සුපිරි News

  • ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි App ලංකාව තුළත් තිබෙනවා – ITSSL

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි App ලංකාව තුළත් තිබෙනවා – ITSSL

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ ඇකි ඉයක් ඒවා ගැන නිසි අධ්‍යනයක් සිදුකිරීමට වහාම කටයුතු කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    එහි සභාපති යසිරු කුරුවිට මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සදහන්වේ.

    රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවලීන් මෑතකාලීනව පරිගණක හා ජංගම දුරකථන යෙදුම් උපයෝගී කරගෙන සිදුකිරීමට හැකි බව මේවනවිට ගෝලීය වශයෙන් අවධානය යොමුවී තිබෙනා කරුණක් වේ. මෑතකාලීනව ඉන්දියාව ජංගම දුරකථන යෙදුම් 224කට අධික ප්‍රමාණයක් ඉන්දියානු පුරවැසියන්ගේ පරිශීලක දත්ත රැකගැනීම සදහා තහනම්කොට ඇත.

    තම පුරවැසියන්ගේ පරිශීලක දත්ත රැකගැනීම සදහා එක්සත් ජනපදයද මේ වනවිට යම් ජංගම දුරකථන යෙදුම් කිහිපයක් තහනම් කිරීමට කටයුතු කරමින් සිටියි. යුරෝපානු පුරවැසියන්ගේ පරිශීලක දත්ත රැකගැනීම සදහා දැනටමත් GDPR වැනි දත්ත ආරක්ෂාව සහ පුද්ගලිකත්වය පදනම් කරගත් නීතිමය ප්‍රතිපාදන යුරෝපා සංගමය සහ යුරෝපීය ආර්ථික ප්‍රදේශය පුරා 2018 වසරේ සිට ක්‍රියාත්මක වේ.

    ඉදිරි අනාගතය්දී ඇතිවිය හැකි සයිබර් යුද්ධ වැනි ක්‍රියාවලීන් සදහා ජංගම දුරකථන යෙදුම් මගින් ලබාගන්නා දත්ත යොදාගත හැකිය. විශේෂයෙන්ම යම් ගෝලීය සිද්ධියක් සිදුවුවහොත් එහි බලපෑම විදේශ රටවලට පමණක් නොව ශ්‍රී ලංකාවටද බලපාහැකි සිද්ධියක් විය හැකිය. විශේෂයෙන්ම මේ දිනවල අන්තර්ජාතිකව කතාබහට ලක්වන යෙදුම් කිහිපයක්ද ශ්‍රී ලාංකික ප්‍රජාවද බහුලව භාවිතා කරයි.

    ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි ලාංකික පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත රැස් කරන යෙදුම් පිලිබදව නිසි අධ්‍යනයක් සිදුකොට එම යෙදුම් මගින් ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්දැයි කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

  • මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල්   බැච්ලගේ ලංකාව ගැන “අවුල” ලිහා දීම

    මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැච්ලගේ ලංකාව ගැන “අවුල” ලිහා දීම

    ජඹුරේවල චන්දරතන හිමි –  සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය 

    පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ සමාරම්භක වාචික දේශනය පවත්වමින් එහි මහකොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා අවුල්සහගත තත්වයට පත්ව සිටින බවටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ආධානය ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවටත් කරුණු දක්වන ලදි.

    එම දේශනයේ දී ඇය ප්‍රධන කරුණු කිහිපයක් පිළිබද තමාගේ අප්‍රසාදය ශ්‍රී ලංකාව කෙරෙහි පළ කර සිටි අතර, එම අදහස් සම්බන්ධව හා ඇගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ හේතු යුක්තව විරුද්ධත්වය හා අප්‍රසාදය පළ කරමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති ලෙස ජඹුරේවල චන්දරතන හිමියන් හා එහි කැදවුම්කරු වසන්ත අල්විස් මහතා හා නීති උපදේශක නීතීඥ ගුණරත්න මහතා ඇතුළු පිරිස අද උදෑසන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය වෙත සංදේශයක් බාර දීමට කටයුතු කළේ ය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ අවුල් සහගත තත්වයට පත්වීමට හේතු ලෙස ශ්‍රී ලංකාව 30/1 යෝජනාවට සහය දැක්වීම ඉවත් කරගැනීමෙන් පසු මානව හිමිකම් කවුන්සිලයේ වගකීම්වලින් බැහැර වීමට ලහි ලහියේ කටයුතු කරන බවට වූ චෝදනාව, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වයට සෘණාත්මක බලපෑමක් සිදු වෙන බවත්, මනුෂ්‍යවාදයට එරෙහි අපරාධවලට සහ යුධ අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් සිවිල් සමාජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමත්, මරණ දඬුවම් ලබා සිටි හමුදා සැරයන්වරයෙකුට ජනාධිපති සමාව ලබා දීමත්, අපරාධ සම්බන්ධ පර්යේෂණ සිදුකරන පොලිසිය හා අධිකරණවලට බාධා කිරීම මානව හිමිකම් උදෙසා සෘණාත්මක බලපෑමක් සිදුක කරන බවත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් නීතිඥයන් සම්බන්ධව සිදුකරන පරික්ෂා කිරීම් තැතිගැන්වීම් වහාම නැවැත්විය යුතු බවත්, මෙම කරුණු පදනම්ව තමා අවුල් සහගත තත්වයට පත්ව ඇති බවත්, ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය කඩිනමින් ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවත් ය.

    එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජිනීවා එක්සත් ජාතීන්ගේ වැඩ බලන නිත්‍යය නියෝජිත ගයානී මෙන්ඩිස් මෙනවිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු දැක්වීමක් කර තිබුණා.

    නමුත් දේශීය මට්ටමෙන් මේ පිළිබද සැලකිය යුතු අවධනයක් යොමු නොවූ නිසා මහජන යුතුකම් කේන්ද්‍රය විදියට අද අප විසින් මානව හිමිකම් මහ කොමසාරිස්ගේ ප්‍රකාශය පක්ෂපාතී, පදනම් විරහිත, ඒකපාර්ශවීය, පූර්ව නිගමනවල සිට දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාවය මත කළ ප්‍රකාශයක් බව දක්වා එයට විරෝධය හා අප්‍රසාදය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත අප්‍රසාදය පළ කරමින් මෙම සංදේශය බාරදෙනු ලැබුවා.

    ඒ අනුව අප ප්‍රකාශ කර සිටියේ 2015 මාර්තු මස ඇමරිකාව බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාවේ සමානුග්‍රහයෙන් ගෙන එනු ලැබූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්ව වුව ද, දේශීය යාන්ත්‍රණයක් මත සංහිදියාව වගවීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවට එම යෝජනාවෙන් ඉවත්වන විට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බවත්, ඉදිරියටත් වගකිවයුතු රජයක් ලෙස එය ක්‍රියාතමක කරන බවත්ය.

    මෙක්සිකෝව හා ඇමරිකාව අතර සරණාගතයන් පිළිබඳ ඇති ඇති වූ ගැටළුවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ ආකාරය පිළිබඳ 2018 මාර්තු මස එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිතවරිය වූ නිකී හේල් මහත්මිය විසින් ” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අසූචි ගොඩක් බවත්, කුහක සහ ආත්ම ලාභය වෙනුවෙන් ක්‍රියා කරන මානව හිමිකම් මණ්ඩලය මානව හිමිකම් සමච්චලයට ලක් කරන බවටත්” චෝදනා කරමින් මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඇමරිකාව ඉවත්වන බව දන්වන ලදී. එම ප්‍රකාශය තුළින් ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය අර්බුදයකට ලක්ව ඇති බවත් එබැවින් 30/1 යෝජනාව පළ රහිත බවත්, අප යෝජනා කළෙමු.

    20වෙනි ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝදනය පිළිබඳ කොමසාරිස්වරිය දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අප කියා සිටියේ, විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා සිදුවෙන බවත්, පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර වාද – විවාද සඳහා යටත්ව සම්මත කර ගන්නා බවත්, අදාල ව්‍යවස්ථා සංශෝදනය හේතුවෙන් රටේ යම් පුරවැසියෙකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවක් හැඟී යන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඒ පිළිබඳ සාධාරණයක් ඉටුකරගත හැකි බවත් ය. එබැවින් එම සංශෝධන ක්‍රියාවලිය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් බවයි.

    එමෙන් ම යුද අපරාධ චෝදනාවලට ලක් වූ අයවලුන් සිවිල් සමාජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීම පිළිබදව දක්වා තිබූ අදහස් සම්බන්ධව අප ඉදිරිපත් කළ කරුණු වූයේ යම් පුද්ගලයෙකුට හුදු චෝදනාවක් තිබු පමණින් ඔහු වැරදි කරුවෙකු ලෙස අර්ථකථනය කිරීම සදාචාර විරෝධී බවයි. එමෙන් ම හමුදා නිලධාරීන් ඉලක්ක කර එල්ල කොර ඇති චෝදනා පක්ෂග්‍රාහී පදනම් විරහිත ඒකපාර්ශවීය චෝදනා බවත්, අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වන තුරු චෝදකයා වරදකරුවෙකු නොවන බවත්, චෝදනා පිළිබද විමර්ශන කිරීමට හෝ පෙර චූදිතයන් වැරදිකරුවන් කිරීම කීර්තිමත් සංවිධානයක ප්‍රධානියෙක් ලෙස නොකළ යුතු දෙයක් බවයි.

    එමෙන්ම දැනට මාස තුනකට පමණ පෙර මරණ දඬුවම හිමිව තිබූ හමුදා සැරයන්වරයෙකුට ජනාධිපතිවරයා සමාව ලබාදීම දෝෂ දර්ශනයට ලක්කරමින් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර තිබූ අදහසට අදාලව, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට ඇති ” වරදකරුවන්ට සමාව දීමේ බලය” පාවිච්චි කරමින් එම රණවිරුවාට සමාව දීම සිදු කර ඇති බවත්, එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණක් හිමි වූ බලයක් නොව; 1978 සිට මේ දක්වා බලයේ සිටි සියලු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාපිතව හිමි බලයක් බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ඝාතනය කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ සාමාජිකයාට නිදහස ලබා දීම, කොළඹ නගරය විනාශ කිරීම පිණිස බෝම්බ පටවා ගත් ලොරියක් රැගෙන ආ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් නිදහස් වීම  ආදිය පිළිබඳ කථා නොකළ ඇය හමුදා නිලදාරියෙකුට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳ පමණක් කථා කිරීම පක්ෂග්‍රාහී බවත් අප පෙන්වා දුන්නෙමු.

    එමෙන්ම අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන්ට හා අධිකරණවලට බාධා කිරීම නොකළ යුතු බවට ඇය සඳහන් කරයි. ඇය මේ සඳහන් කරන්නේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහත්මා සහ මේ වන විට ස්විස්ටර්ලන්තයට පළා ගොස් සිටින නිශාන්ත ද සිල්වා කන්දප්පා වැනි නිලධාරීන් සාධාරණීකරණය කිරීමටයි. එම දූෂිත නිළධාරීන් නීතිය අවභාවිත කිරීම නිසා තම අයිතිවාසිකම් අහිමිව අත්තනෝමතික සිරගත කිරීම්වලට හා දඩුවම් විදීම්වලට මූණ දුන් පුරවැසියන් පිළිබද කිසිවක් කතා නොකිරීම විමතියට කරුණක්.

    එමෙන් ම යහපාලන ආණ්ඩුව අධිකරණයට බාධා කිරීමට අදාලව හා නඩු තීන්දු ලබා දීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් උසස් වීම් බලාපොරොත්තු වූ අධිලරණ නිළධාරීන් පිළිබද අනාවරණය වූ කිසිදු අදහසක් කොමසාරිස්වරියගේ අවධානයට ලක් නොවීම අපව විශ්මයට පත් කරන බව පෙන්වා දුනිමු.

    එමෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිඥයන් සම්බන්ධව සිදුකරන පරික්ෂා කිරීම් තැතිගැන්වීම් වහාම නැවැත්විය යුතු බවට ඇය කියයි. ඇය මේ කියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ දැනට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවට පත්ව සිටින නීතිඥ hijaz hizbullah නිදහස් කරන ලෙසයි.

    එංගලන්තයේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනිය වන Rita french ද පසුගිය දිනක හිජාස් ඉස්බුල්ලා නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව නිවේදනයක් ද නිකුත් කොර ඇත. hijaz hizbullah යනු පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ බාලවයස්කාර දරුවන් 16 දෙනෙකුට අවි පුහුණුව ලබා දුන් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා යි. එවැනි අයෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදුන්වන්නේ මානව හිමිකම් සුරකින ක්‍රියාකාරිකයෙක් ලෙසින් වීම විහිලු සහගතයි.

    එසේම පසුගිය දා මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කරන ලද වාර්තාවේ   පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  එහි කිසිදු සඳහනක් නො වීම මවිතය දනවන කරුණක් බව හා එම වාර්තාව කියවන ඕනෑම අයෙකුට ත්‍රස්තවාදීන් වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙනී සිටින බවට අනුමාන කළ හැකි බවත් දන්වමු  

    මේ අනුව මානව හිමිකම් මහකොමසාරිස් වරිය විසින් ඉදිරිපත් කළ අදහස් දෝෂ සහිත, පක්ෂග්‍රාහි, පූර්ව විනිශ්චයන් තුළ සිටිමින් ඉදිරිපත් කළ අදහස් වන අතර එය මානව හිමිකම් කොමිසමේ කීර්තිනාමයට දැඩි කැළලක් ඇති කරවන බැවින් ඒ පිලිබඳ වහාම මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත දැනුම් දුනිමු.

    එමෙන් ම මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන විට සාර්ථකව ප්‍රතිතර්ක ගොඩනැගිය හැකි දක්ෂ නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍යය නියෝජිතයන් ලෙස යැවීම මේ වැදගත්කම ද අප වර්ථමාන ආණ්ඩුවට දැනුවත් කර සිටිමි.

    ජඹුරේවල චන්දරතන හිමි –  සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය 

  • යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අයථා ක‍්‍රියා 100ක් ගැන පැමිණිලි

    යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අයථා ක‍්‍රියා 100ක් ගැන පැමිණිලි

    යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි.

    අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව මෙම පැමිණිලි භාර දී තිබේ. තව දුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි භාර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව කියා සිටියි. අදාළ පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ල වී ඇති පාර්ශ්ව කැඳවා තොරතුරු සටහන් කර ගැනීම සිදු කෙරේ.

    ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.

    ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික, මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්, මුල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී ඇත.

    ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයාබැලීම සඳහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම කමිටුව පත් කෙරිණි.

    මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා ය. වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධුරය දරනු ලබයි.

    මෙම කමිටුව විසින් මාස තුනක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

    ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු ව ඇති අක්‍රමිකතා ඇත්නම් 2020 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ wijayarathne.phas@ped.treasury.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකිරීමට කටයුතු කරන ලෙස එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.   

  • බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය

    බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය

    තවමත් ඊයේ සැප්තැම්බර 20 වන ඉරුදින පාන්දර මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ විපත සම්බන්ධ නිල තොරතුරු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ඉන් මිය ගිය කුඩා බිළිඳාත් ඇයගේ මව හා පියා සම්බන්ධ විස්තරත් සමග එහි වූ අනෙක් කාන්තාවන් දෙදෙනා පිළිබඳ විස්තරත් පමණි. ඊට අමතරවජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඔවුන්ගේ වගකීම් ගැන කළ ප්‍රකාශ ඇත.

    මෙය ලියන සැප්තැම්බර 21 වන දින දහවල වන විට “ශ්‍රී ලංකා මිර” පුවත් අඩවියහිටපු දියවඩන නිලමේ කෙනෙකු එහි පළමු අයිතිකරු බව වාර්තා කර තිබිණ. එහත් ඔහුගේ නම කීමට “ශ්‍රී ලංකා මිර” වෙබ් අඩවිය මැලිව ඇත. වත්මන් අයිතිකරුවන අනුර ලෙව්කේ නම් අයකු සිය පවුල සමගින් එහි සිට අසල්වැසියන්ගේ අනතුරු ගෝසා කිරීම් අනුව ගොඩනැගිල්ල කඩා වැටෙන්නට මොහොතකට පෙර ඉන් ඉවත්වූ බවත් ඔවුන් වාර්තාකර ඇත.

    ඊට පෙර ඊයේ සවස පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න ඇසූ එක් මාධ්‍යවේදියෙකු ඔහුගේ මෝඩකම අමුවෙන්ම ප්‍රදර්ශනය කෙරුවේකඩා වැටුණු ගොඩනැගිල්ලේ අයිතිකරු කවුරුන්දැයි ඇසීමෙන් නතර නොවීඔහු බස්නායක නිලමේ කෙනෙකු වන අතරඔහු හා පොලීසිය අතර ඇති කිට්ටු හිතවත්කම නිසා පොලීසිය ඔහුගේ නම නොකියන බවද කීමෙනි.

    ඊටත් අමතරවඒ ගෙදර සිටි බල්ලෝ බළලුන් සමග ව්‍යසනයට පෙර පිටව ගියේ කවුරුන්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඔහු ඇසුවේ එය කිසිදු පලක් නැති බොරු සෝබන ප්‍රශ්න කිරීමක් බැව් පෙන්වමිනි. ඒ ගැන කිසිවකු පොලීසියට දන්වා හෝ පැමිණිලිකර නොමැති නම් පොලීසියට පේන කිව නොහැකි බැව් මාධ්‍යවේදියා දැන සිටිය යුතුය.

    පොලීසිය ඇතැම් විට එවැනි තොරතුරු දන්නවාද විය හැක. නමුත් නොනිල වශයෙන් දැන ගන්නා කරුණු ගැන කිසිදු නිල ප්‍රකාශයක් නොකිරීමට පොලිස් නිලධාරීන්ට වගකීමක් ඇත. පොලීසියේ ඒ සීමාවන් තමන් නොදන්නා බැව් මේ මාධ්‍යවේදියාප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළේය.

    එහි පළමු අයිතිකරු ගැනත් එහි පදිංචිව සිටි අය ගැනත් අසල්වැසියන්ගෙන් තොරතුරු දැන ගැනීමට අපහසු වන්නේ නැත. ඒවා සනාථකර ගැනීමට සහ විශේෂයෙන් මේ කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර ලැබී ඇතිද නැතිද යන්න වැනි වැදගත් තොරතුරු නිල වශයෙන් ලබා ගත යුත්තේ මහනුවර මහ නගර සභාවෙනි. ඕනෑම ගොඩනැගිල්ලක් සඳහා ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ අදාල ගොඩනැගිල්ලෙහි සැළසුම ප්‍රදේශයේ පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමෙන් බව කවුරුත් දන්නා කාරණාවකි. කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වන හෙයින්එහි ඉදිකිරීම් කටයුතු වලට අදාල සැළසුම හා ඉල්ලුම් පත්‍රය හා ඉතිරි සියලු ලිපි ලේඛන ඇතුලු ලිපි ගොනුව මහනුවර මහ නගර සභාව සතුව තිබිය යුතුය. එම ගොඩනැගිල්ලට ලබාදුන් වරිපනම් අංකය හා තක්සේරු වටිනාකමද එහි තිබි යුතුය.

    එනිසා ඒ අදාල ගොඩනැගිල්ල පිළිබඳව නිල විස්තර මාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් ඔවුන් යා යුත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත නොවමහනුවර මහ නගර සභාවේ නගරාධිපති වෙතට ය. එහි නිත්‍ය පදිංචිකරුවන් ගැන තොරතුරු අවශ්‍ය නම් ඔවුන් හමුවිය යුත්තේ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිවරයා ය. ඔහු අවසන් වරට ලබාගත් ගෘහ මූලික ලැයිස්තුවෙහි එහි නිත්‍ය පදිංචිකරුවන් හා ගෘහ මූලිකයා කවුරුන්ද යන්න සඳහන් වන්නේය. අසල්වැසි තොරතුරු සනාථ කරගත හැක්කේ එළෙසිනි.

    එවැනි කිසිදු දැනුම් තේරුම් නැති මාධ්‍යවේදීන් තවමත් මහනුවර මහ නගර සභාවට ප්‍රශ්න ඉදිරිපත් කළ බවක් දැන ගන්නට නැත. එනිසා “ශ්‍රී ලංකා මිර” නම නොකියන මෙහි පළමු අයිතිකරු කවුරුන්ද හා ඔහු මේ ගොඩනැගිල්ලට අවසර ලබා ගත්තේ කෙසේදැයි වාර්තා වන්නේ නැත. ඔහුගෙන් පසුවත්මන් හිමිකරු අවසරයෙන් හෝ අනවසරයෙන් ගොඩනැගිල්ලට වෙනස්කම් කර ඇතැයිද මාධ්‍යවේදීන් සොයා බලා නැත. තොරතුරු සෙවීම ඔවුන්ගේ වගකීමක් බව මේ මාධ්‍යවේදීන් දන්නේද නැත. ඔවුන් තවමත් පාර අසන්නේ ගුණදාස කපුගේ ගැයූ පාර නොදන්නා සමනොළියකගෙන් ය.

    මේ කතාව ලියන්නට සිතුනේමාධ්‍ය සමාජයට වගකිව යුතු යැයිදමාධ්‍ය නිදහසට අකුල් හෙළිය නොයුතු යැයිද කියන්නේ මෙවැනි මාධ්‍ය වාර්තාකරණ වෙනුවෙන්දැයි සිතුණු හෙයිනි. මේ ස්වාධීන වෘත්තීය මාධ්‍ය කලාවක් නොවේ යැයි කීමට හා මාධ්‍ය පිළිබඳව නිසැකයෙන්ම වෙනම විවෘත සමාජ සංවාදයක් අවශ්‍ය බව අවධාරණය කිරීමටය.

    කුසල් පෙරේරා

  • විදුලි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදීමට ජංගම සහන සේවයක්

    විදුලි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදීමට ජංගම සහන සේවයක්

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව දිවයින පුරා විදුලි පාරිභෝගික ජංගම සහන සේවයක් ක්‍රියාවට නගන ලදී. විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

    මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් පසුගියදා ගාල්ලේදී පැවත්විණි. මෙහිදී විදුලි පාරිභෝගික පැමිණිලි 500ක් විසදීම සදහා පියවර ගැනිණි.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ, ලංකා විදුලි බල මණ්ඩලයේ, ලෙකෝ සමාගමේ නිලධාරීන් හා දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුද මෙම ජංගම සහන සේවයට එක් වී සිටියා.

    ‘රාජ්‍ය සේවකයින් මහජනතාව වෙත ගොස් ඔවුන්ට සේවය කළ යුතු බව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සංකල්පයකි. එබැවින්, මෙම සේවාව ලබාගෙන ඔබට ඇති ගැටළු වලට විසඳුම් ලබා ගන්නා ලෙස මම මහජනතාවට ආරාධනා කරමි.’ ගාල්ල දිස්ත්‍රික් ලේකම් , සෝමරත්න විදානපතිරණ මහතා, 2020 සැප්තැම්බර් 17 වන දින,දකුණු පළාතේ ජංගම සේවා සමාරම්භක  උත්සව අවස්ථාවට එක්වෙමින් පැවසීය.

    2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත විදුලි පැමිණිලි 865 ක් ලැබී ඇති අතර එය 2019 එම කාලය සඳහා ලැබී ඇති විදුලි පැමිණිලි 1382 ට සාපේක්‍ෂව ය. 2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා විදුලි පැමිණිලි 1244 ක් සඳහා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමත් වී ඇත. පැමිණිලි වලින් බහුතරයක් වූයේ මාර්ග අවසර , බිල්පත්, නව සම්බන්ධතා, මීටර සම්බන්ධ හා විදුලි ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු ය.

    මීළග විදුලි පාරිභෝගික ජංගම සහන සේවය අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික් වලදී පැවත්වෙනු ඇත.

  • ‘සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක්’

    ‘සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක්’

    ගොවිපොළේ සිට කෑම පිඟාන දක්වා ජනතාවගේ ආහාර පිළිබඳව විවිධ පැතිකඩ වලින් අධ්‍යයනය කරන්නට මෙවර ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසි අවධානය යොමු කර තිබුණි. “සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක් ” තේමාව යටතේ බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමටත්, පරිපුර්ණ සහ සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමටත් ලාංකීය ජනතාව බලගැන්වීමට කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය විය.
    ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම රිදී ජුබිලි වාර්ෂික අධ්‍යයන සැසි සැප්තැම්බර් 16 සිට 18 දක්වා කොළඹ ෂැන්ග්‍රි ලා හෝටලයේදී පැවැත්වුණි.
    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා “අනාගතයට එබී බැලීම: පශ්චාත් කොවිඩ්19 යුගයේ අපේ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව යලි සිතාබැලිය යුතුද ? ” මැයෙන් වාර්ෂික දේශනය ඉදිරිපත් කළේය. කොවිඩ්19 වසංගතයට එරෙහි රාජ්‍ය ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය පිළිබඳව විශේෂ ආරාධිත විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කතා කළේය.

    මෙවර අධ්‍යයන සැසි පුර්ව වැඩමුළු, දේශන සහ නව පර්යේෂණ එලි දැක්වීම ඇතුළත් විවිධ විෂය පථ වලින් සමන්විත විය. ආහාර නිෂ්පාදනයේ නව සොයාගැනීම් සහ ජීව තාක්ෂනය උපයෝගී කරගැනීම සහ ආහාර සුරක්ෂිතතාවයේදී අවදානම් මත පදනම් කරගත් තීරණ ගැනීම පිළිබඳවද දේශන ඉදිරිපත් විය. “මුළු ආණ්ඩුව” සහ මගහැරුණු “මුළු සමාජ ප්‍රවේශය ” තේමාව යටතේ ශ්‍රී ලංකාවේ කොවිඩ්19 මර්ධනයේදී විවිධ අංශ වල අත්දැකීම් විග්‍රහවුණු විශේෂ සැසියක් ද සංවිධානය කර තිබුණි. විද්වත් මණ්ඩලයක්  “කොවිඩ්19 ආර්ථික බලපෑම: ජාත්‍යන්තර, කලාපිය සහ රාජ්‍ය මට්ටමේදී තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ඇතිවන අභියෝග” ගැන සාකච්ඡා කළහ. 
    මාතෘ හා ළමා සෞඛ්‍යය, මානසික යහපැවැත්ම, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය, වැඩිහිටි සෞඛ්‍යය සහ අසාදන පාලනයේ නවතම ක්‍රමවේද ආවරණය වූ විශේෂ සැසි දින දෙක පුරාම පැවැත්වුණි.

    මෙම අධ්‍යයන සැසි තුලින් එළිදැක්වුණු නවතම විද්‍යාත්මක සාක්ෂි සහ දැනුම මෙරට සෞඛ්‍ය පද්ධතියේත්, පර්යේෂණ වලත් තත්ත්වය උසස් කිරීමට ඉවහල් වනු ඇතැයි ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විද්වත් ආයතනය විශ්වාස කරයි.

  • නාමල්- ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදින පුත්‍රරත්නය

    නාමල්- ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදින පුත්‍රරත්නය

    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණියහ.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ලිමිණි  රාජපක්ෂ මහත්මියගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ.

    සිය මුණුබුරා දෑතින් ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරාගේ මුවට සිනහවක් කැන්දුවේය. සතුට ඉතිරෙන නව කැදැල්ලට පැමිණ සිටි සියලු දෙනා සුබ පැතූහ

  • කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි

    “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව” ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20) දින පැවසීය.

    හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති  “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය – 2020” සඳහා එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.

    කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

    මෙම අවස්ථාවේදී කොවිඩ් – 19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා විසින්  අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය ඇපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් බදු සහන ලබාදීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයනය සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යනාදී කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් ය.

    අග්‍රාමාත්‍යවරයා  කළ සම්පූර්ණ කතාව මෙසේය,

    මේ ශාලාවේ මෙවැනි සම්මන්ත්‍රණයක් පවත්වන්න හැකිවීම පිළිබඳව ප්‍රථමයෙන් සතුටු වෙනවා. පසුගිය වසර පහේ මේ සම්මන්ත්‍රණ ශාලාවේ වී ගබඩා කළේ නැති නිසා, අද ඔබට එය පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා.

    “ පළමුවන ප්‍රාදේශීය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය  ආරම්භ කිරීම සඳහා මා හට ආරාධනා කිරීම පිළිබඳව, සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතාට ස්තුතිවන්ත වෙනවා.

    වෘත්තීය ආයතන, වාණිජ මණ්ඩල, වාණිජ බැංකු සහ කර්මාන්ත පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුව පිහිටුවීම, ඉතා කාලෝචිත ක්‍රියාවක්. එය, ඇත්ත වශයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට කරනු ලබන වැදගත් සේවාවක්.

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි.  එය, අප රටෙහි සෑම අංශයකම නියෝජනය වීම සතුටක්. අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 52 ක් සඳහා එම අංශය දායක වෙනවා. සමස්ත රැකියාවන්ගෙන් සියට 45 ක් ඊට අයත්. එසේම, එම අංශය, දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් සියට 75 කින් සමන්විතයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි බැංකු නවයක ගනුදෙනුකරුවන් 300 ක් පමණ  මෙම වැදගත් සම්මන්ත්‍රණය සඳහා එක්වීම මම ඉතා අගය කරනවා. “නව ආර්ථිකය තුළ මුදල් කළමනාකරණය, බැංකු අරමුදල් සැපයීම සහ ව්‍යවසායක නායකත්වය සම්බන්ධයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද මුහුණපාන අභියෝගවලට මුහුණදීම පිණිස විසඳුම්” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම ඉතාම කාලෝචිතයි.

    මුදල් අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව, කොවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 100 ක මුදලක් ප්‍රදානයක් කිරීමට හැකිවීම, සතුටට කරුණක්.

    අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හදුන්වා දෙමින්, කාරක  ප්‍රාග්ධන අවශ්‍යතා, ණය ඇපකර ලබාදීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත නගාසිටුවීමට අවශ්‍ය පියවර ගත්තා.

    මෙම සම්මන්ත්‍රණයේදී, විධිමත් මුදල් කළමනාකරණය, ව්‍යාපාර දියුණුකිරීම පිණිස අරමුදල් නිසිපරිදි භාවිතාකිරීම, පුහුණුකිරීම් සහ කුසලතා වර්ධනය දේශීය සහ අපනයන අලෙවිකරණය සහ කම්කරු කටයුතු බඳු වැදගත් ක්ෂේත්‍රයන් ආවරණය වන බව පැහැදිලියි.

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්  මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍යය සියයට 30 ක්. නමුත්, ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය සියයට 5 ක්. එය වැඩිකිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ  ප්‍රකාශ කිරීමට කැමතියි.

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන්  අපනයන නිවසක් පිහිටුවීම පිළිබඳව මම එම කමිටුවට සුභ පතනවා. ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය ලබාගැනීමට  අදාළ මෙම කාර්යය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස අපි වගකීමෙන් ඉටු කරනවා.

    එසේම, හම්බන්තොට වැනි ඉතා දුෂ්කර ප්‍රදේශවල කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානය යොමු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.

    එසේ ම, ණය ඇපකර ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙම කමිටුවේ නිර්දේශ පරිදි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳව ද මම සන්තෝෂ වෙනවා.

    වත්කම් හිඟකම නිසා අලුතින් පිහිටුවන සමපාර්ශ්විය ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, විදේශීය මුදල් ලබාදෙන ආයතනවල සහාය ලබාගෙන මෙම ආයතනය  පිහිටුවීම සඳහා මාගේ සහාය ලබා දෙනවා.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සංවර්ධනය කිරිම පිණිස බැංකු අංශයට ද සුභ පැතීමට අපි කැමැතියි. අද  දිනෙන් අරඹනු ලබන මේ සම්මන්ත්‍රණය, අනෙකුත් දිස්ත්‍රික්ක වලත් පැවැත්වීමට හැකිවනු ඇතියි මම විශ්වාස කරනවා.

    මෙමඟින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්  සඳහා සහ ශ්‍රී ලාංකික ආර්ථිකය සඳහා ද ප්‍රතිලාභ ලැබෙන බව විශ්වාසයි. මේ ආයෝජකයන් නැගී එන බවට බැංකු සාක්ෂි දරනවා. බැංකුවලින් තමන් විසින් ගන්නා ලද ණය මුදල් වාරික නිසි කලට ගෙවීමෙන් බැංකු අංශයේ ණය හානිවීම් අඩු වෙනවා. එමගින් බැංකු ගනු දෙනු කරන සියලු පාර්ශ්වයන්ට තව තවත් ණය ලබාදීමට හැකියි.

    අවසන් වශයෙන් සහතිකලත් කළමනාකාරී ගණකාධිකාරී ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණයට මාගේ සුභ පැතුම් එක් කරනවා. දේශීය වෙළඳපොලේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා අපනයනකරුවන්ට විදේශ විනිමය උපයමින්  දක්වන දායකත්වයට සුභ පතනවා. “ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාව සඳහා වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසායක ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල, ඩී.එස්.අයි.සමාගම් සමූහයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ සුරේෂ් ද මෙල් මහත්වරු  හා බැංකු සහ මුල්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  විශාල පිරිසක් එක්ව සිටියහ.

  • පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපති නිරීක්ෂණයට

    පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපති නිරීක්ෂණයට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති  නිරීක්ෂණ චාරිකවක නිරත විය.

    ජනාධිපතිතුමා චාරිකාව අරඹමින් මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක  භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ. අක්කර 10ක භූමිභාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

    ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද රාජපක්ෂ මහතා  විසින් විවෘත කෙරිණ. සිසුන් 50 දෙනෙකුට නේවාසික ප්‍රායෝගික පුහුණුව දිය හැකි පරිදි ආයතනය සැලසුම් කර ඇත. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරු දැරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව  සලසන බව කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

    කොළඹ අගරදගුරු මන්දිරයේ අධික්ෂණය යටතේ ආයතනය පාලනය වෙයි. පුහුණු මධ්‍යස්ථානයේ පියතුමන් සමග ජනාධිපති සුහද කතාබහක නිරත විය.

    මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් සමග පිළිසඳර කතාවෙන් මද වේලාවක් ගත කළේය. විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදි කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම  යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිතුමා කඩිනමින් එය ඉදිකර දෙන්නැයි පැවසීය.    

    මාර්ගයේ අනෙක් පස පිහිටි ප්‍රාථමික විද්‍යාලය සම්බන්ධ කරමින් ගුවන් පාලමක් තනා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබීය. මාර්ග දුෂ්කරතා සහ තවත් ජනතා ගැටළු කිහිපයකට සවන් දුන්  ජනාධිපතිවරයා ඒවාට එසැණ විසඳුම් දුන්නේය.

    මදුරන්කුලිය වාලච්චේන සිට දළුව ප්‍රදේශයට ගමන්ගත් ජනාධිපතිවරයා මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත විය.

    බීට්, දුම්කොළ, අමුමිරිස් සහ ලූණු වගාබිම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා වගාවන් සඳහා ගොවි ජනතාව දිරිමත් කළේය. 

    දළුව, නිර්මලපුර සුළං විදුලි බලාගාරය ද  ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා චාරිකාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : ශාමික වක්වැල්ල | සුමින්ද කීර්ති  – ( ජනාධිපති මාධ්ය අංශය)

  • “නිකසල සයුරක්- පිරිසිදු වෙරළක්”  ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ඇරඹෙයි

    “නිකසල සයුරක්- පිරිසිදු වෙරළක්” ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ඇරඹෙයි

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයේදී පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භක උත්සවය සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින එක් විය.

    අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව වෙරළ හා සාගර සම්පත් සුරැකීමේ සතිය සංකේතවත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් “නිකසල සයුරක්- පිරිසිදු වෙරළක්” යන කාලෝචිත තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ශ්‍රී ලංකාවක් තුළ ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන අද දින ආරම්භ වුණි.

    මෙහිදී ජගත් සාගර දිනයට සමඟාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියක් සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමක් හා සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා කැප වූ ආයතන ඇඟයීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අගමැතිවරයා අතින් සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

    අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමඟාමීව මුද්‍රණය කළ “නිකසල සයුරක්- පිරිසිදු වෙරළක්” යන සමරු ග්‍රන්ථය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය විසින් ගරු අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන ආයතන හා එක්වසමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් මෙම සතිය පුරා සංවිධානය කර ඇති අතර ඒ යටතේ දිවයින වටා තෝරාගත් වෙරළ තීරයන්වල වෙරළ පවිත්‍රතා වැඩසටහන් 70ක් පමණ සිදු කිරීමට නියමිතය.

    මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමන්ගල ඩයස් මහත්වරුන් හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්, නිලධාරී මහත්ම මහත්මීන්, රාජ්‍ය නොවන ආයතන හා සංවිධානවල නියෝජිතයින්, දෙමාපියන්, දූ දරුවන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධ කමිටු වාර්තාව ස්වාධීන එකක් වීමට හැකියාවක් තිබේද ?

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධ කමිටු වාර්තාව ස්වාධීන එකක් වීමට හැකියාවක් තිබේද ?

    ශ්‍රී ලාංකික සිසුන්ට හට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානුවේ ප්‍රමුඛතම රාජ්‍ය වෛද්‍යවිද්‍යාල කිහිපයක් අනුමත ලේඛණයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගන්නා ලද තීරණයත් සමග මහත් අන්දෝලනයකට තුඩු දෙන හේතුවක් විය. එය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් දක්වා මේ වන විට මෙම අර්බුදය දුරදිග ගොස් ඇත. එයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අකටයුතුකම් පිළිබඳව විවිධ චෝදන එල්ල කරමින් එහි සාමාජිකත්වය දැඩි විවේනයකට ලක් කෙරමින් සිටී.

    නමුත් පසුගිය කාලයන්හි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කමිටු සාමාජිකයින් හා එහි ලේඛකාධිකාරිවරුන්ගේ කටයුතු පිළිබඳ මතයක් හෝ ප්‍රකාශයක් පිළිබඳ සොයා බැළිමක් හෝ විවේචනයක් ද නොමැත.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉහත තින්දුවත් සමග ඇතිවූ කැළඹිමත් සමග එහි  කටයුතු පිළිබඳව සොයා බලා ස්වාධීන වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර, එහි සාමාජිකයින් සියලු දෙනාම වෛද්‍ය වෘත්තිකයින් වේ.

    මෙම කමිටුවේ සාමාජිකයින් පළමුවෙන්ම වෛද්‍ය සභාවේ බලපෑමට ලක් වන අතර, එම සංයුතියේ තිදෙනකු රජයේ වෛද්‍යවරන්ගේ සංගමයේ සාමාජිකයින් සමන්විත වන බවද ආරංචි මාර්ග සඳහන් වන අතර, වෛද්‍යවරුන්ගේ සංගමය පසුගිය කාලය පුරා විදේශ රටවල වෛද්‍ය උපාධිය හැදැරූ වෛද්‍යවරන්ට සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින අතර, ලංකාවට අවශ්‍ය තරම් වෛද්‍යවරුන් සිටින බවත් ඔවුන්ගේ රාජ්‍ය සේවයට අනවශ්‍ය බවත්ය. එම තත්ත්වය තුළ මෙම කමිටුව විසින් සකසන ස්වාධීන වාර්තාව කොතරම් සාධාරණ ද යන සැකය පළමුවෙන් හට ගනී.

    රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා ගමන්කර ඇති අර්බුදයක ස්වාධීන වාර්තාව සකස් කිරීමට කමිටුවක් පත්කිරීමේදී එහි සංයුතිය ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් මෙවැනි කමිටුවක සභාපතිත්ත්වය පත්කළ යුත්තේ විශ්‍රාමික විනිශ්චයකාරවරයකුය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විගණනය ඇතුළ පරිපාලනය ගැන සොයා බැලීම සඳහා ඒ පිළිබඳ  දැනුවත් විශේෂඥයකු මෙම කමිටුවට පත්කළ යුතු වන්නේය. වෛද්‍ය සභාවේ අර්බුද සෙවීම සඳහා වෛද්‍යවරුන්ගේ සමන්විත කමිටුවකින්, ස්වාධීන වාර්තාවක්  ලබාගැනීම පිළිගැනීමට අසීරු කටයුත්තක් වේ.

    විශේෂයෙන් දැනට පත්කර ඇති කමිටුවෙන් පහත සඳහන් කරුණු කොතරම් ස්වාධීන ලෙස කරනු ඇත් ද?

    1.  විදේශ වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන්ට පවත්වනු ලබන E.R.P.M විභාගය දිගින් දිගටම කල් දමන්නේ ඇයි ?

    2. විදේශ වෛද්‍ය විද්‍යාල පරික්ෂා කිරීම සඳහා සංචාර කර ඇති වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන්ට හට ගුවන් ටිකට්පත්, තරු පහේ හෝටල් වල නවාතැන් වලට වියදම් කලේ කවුද ? කොපමණ ප්‍රමාණයක්ද ?

    3. එසේ සංචාර කර ඇති වෛද්‍යවරුන් කවුරුන්ද ?

    4. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍යවරුන් විදේශ් වෛද්‍ය විද්‍යාල වල සිසුන් සඳහා දේශණ සඳහා සහභාගී වී ඇත්ද? ඔවුන් කවුරුන්ද ?

    5. උසස් පෙළ සුදුසුකම් නොලත් සිසුන් වෛද්‍ය උපාධි සඳහා සඳහා නිර්දේශ කර ඇත් ද?

    6. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරවරුන් නිවැරිදි ලෙස කටයුතු කර ඇත් ද?

    7. විදේශ් වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය සභාවට සාමාජික ගාස්තු වශයෙන් මුදල් ලබාගන්නවාද ? ඒ කොපමණ ප්‍රමාණයක් ද ? ඒවා විගණනයට පත් කර ඇත් ද?

    8. වෛද්‍ය සභාවේ යම් සමාජිකයකු හෝ නිලධාරියකු පුද්ගලික වෛද්‍ය විද්‍යල වලට ළමුන් ඇතුලත් කරගැනීමේ ක්‍රියාපටිපාටියට ඍජුව හෝ වක්‍රව පුද්ගලික මට්ටමින් සම්බන්ධ වී තිබේද ?

    එසේම මෙම කමිටුවේ වාර්තාව ස්වාධීන වාර්තාව වීමට නම්,

    1. වෛද්‍යවරුන්ගෙන් පමණක් නොවන සිවිල් විශේෂඥ පුද්ගලයින් මෙම කමිටුවට ඇතුලත් කළ යුතුය.

    2. වෛද්‍ය සභාව හෝ එහි කමිටු සාමාජිකයකු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා යෝජනා විභාග කිරිම සඳහා මාධ්‍යයට හා පුරවැසියන්ට විවෘත විය යුතුයි.

    3. යම් පුද්ගලයන්ගේ චෝදනා පිළිබඳව වාචිකව ලබාදීමට අවස්ථාව ලබාදීය යුතුය.

    සෞඛ්‍ය අමාත්‍යතුමිය විභාගයට ගත යුතු කරුණු හෝ විශ්ලේෂණයට ලක් කිරිමට ස්වාධීන කමිටුවක් පත් කළ යුතුමය.

    එසේ නොමැති නම් වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවකින් ස්වාධින වාර්තාවක් ලබාගැනීම අපහසු කටයුත්තක් වනු ඇත. එම වාර්තාව පක්ෂාහීග්‍රාහි වුවහොත් වෛද්‍ය සභාව හෝ ඒ සම්බන්ධව කටයුතු කරන වෙනත් ආයතන සම්බන්ධයෙන්ද මහජනතාවගේ හා විදේශ් වෛද්‍ය සිසුන්ගේ විශ්වාසය බිඳි යනු ඇත.

    සුජිව සෙනරත්

  • රජයේ ඉඩම්වල කළුගල් කැණීම් කර්මාන්තය පිළිබඳ වාර්තාව අගමැතිට

    රජයේ ඉඩම්වල කළුගල් කැණීම් කර්මාන්තය පිළිබඳ වාර්තාව අගමැතිට

    රජයේ ඉඩම් තුළ සිදුකරන කළු ගල්  කැණීම් කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (18)  දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

    ඉඩම් කොමසාරිස් ජනරාල්  ආර්. එම්. සී. එම් හේරත් මහත්මියගේ සහභාගීත්වයෙන් යුතු එම කමිටුව, කමිටු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ය.

    කමිටු වාර්තාව භාරදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා එම කමිටුවේ නිර්දේශ සහ යෝජනාව පිළිබඳ විමසා බැලුවේය.

    කළු ගල් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට ප්‍රායෝගිකව මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා පරිහරණ හා කැණීම් ගාස්තු එකම ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දුන්නේය .

    ඒ අනුව කළු ගල් කැණීම් කර්මාන්තයේ නියැළෙන ව්‍යාපාරිකයන්ගේ හිඟ බදු මුදල් සහනදායී ක්‍රමවේදයක් යටතේ ගෙවීමට හැකි වන පරිදි සංශෝධන ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    මෙම සංශෝධනයන් ක්‍රියාත්මකවීමේදී නිවසක් තැනීමට කළු ගල් මිලට ගන්නා පාරිභෝගික ජනතාවට බලපෑමක් නොවන පරිදි මිල ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.   

    රජයේ ඉඩම්වල කළුගල් කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී ආයතන කිහිපයකට ගොස් නිර්දේශ ලිපි ලබා ගැනීමට සිදුව තිබෙන බව මෙම හමුවට එක් වූ ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ සාමාජිකයෝ පෙන්වා දුන්හ.

    ඊට විසඳුමක් ලෙස අදාළ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී පොදු එක් ක්‍රමවේදයකට යොමුවීමත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පමණක් පාරිසරික හා පුරාවිද්‍යා නිර්දේශය ලබා ගැනීම හා පුරාවිද්‍යා නිර්දේශය එක් පාෂාණ නිස්සාරණ ව්‍යාපෘතියකට එක් වරක් පමණක් ලබා දීමටත් මෙහිදී තීරණය විය.

    සූරියවැව ප්‍රදේශයේ ලෙන් හා පොකුණු සහිත භූමියකට පසුගිය කාලයේ කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් වී ඇති බවත්, එහි විශාල ගල් පර්වත දෙකකින් එක් ගල් පර්වතයක් මේ වන විටත් කළු ගල් කැණීම් කොට විනාශ කර දමා ඇතැයි  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    මේ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ මොහොතේදීම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාට ඒ පිළිබඳ සොයා බලන්නැයි උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වාරිමාර්ග අමාත්‍යංශය ලේකම් අනුර දිසානායක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්  එම්. කේ. බී. හරිස්චන්ද්‍ර, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්. ඒ.ඒ.කේ.රණවක, පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ඇන්ටන් පෙරේරා, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. එම්. සී. එම්. හේරත්, වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී. සජ්ජන ද සිල්වා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ මහත්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ජනපති අතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටයතුරු පැදි

    ජනපති අතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටයතුරු පැදි

    කොවිඩ් – 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    2015 වසරේ සිට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදි ලැබී නොතිබිණ. සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක  සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙක් හා ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැදි බෙදා දෙනු ලැබීය.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී වසර 02ක පූර්ණ කාලීන පාඨමාලාවකට යොමු කෙරේ. පුහුණු කාලය දීර්ඝ කර උපාධියක් ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කොට උදාකර දෙන බව ජනාධිපතිතුමා පැවසීය.

    සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, කොවිඩ් හදිසි ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය පද්ධතිය පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

  • ජනපතිගෙන් තේ කර්මාන්තකරුවන්ට විශේෂ ඉල්ලීමක්

    ජනපතිගෙන් තේ කර්මාන්තකරුවන්ට විශේෂ ඉල්ලීමක්

    දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.

    සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී තිබේ.

    රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළෙඳ පොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ගම්මිරිස් වෙළෙඳ පොළට සිදුවූ හානියට තේ කර්මාන්තයත් ගොදුරුවීමට  ඉඩ නොතබන බව ජනාධිපතිතුමා තරයේ කියා සිටි.

    ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    ලෝක වෙළෙඳ පොළේ තේ සඳහා  ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබේ. මෙරට තේ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 705කි. කර්මාන්ත ශාලා 45කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර පරීක්ෂණවලින් පසු 18ක නිෂ්පාදන නතර කළ බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසීය.

    කසළ තේ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්  තේ නිෂ්පාදනය කරන ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය මගින් සිදු කෙරේ.

    රටට ලැබෙන ආදායමට හෝ තේ කර්මාන්තයට හෝ බාල  තේ නිෂ්පාදනයෙන් බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතුය. ඉහළ ගුණාත්මක බවින් යුතු තේ ලෝක වෙළෙඳපොළට සැපයීමට තේ කර්මාන්තශාලා හිමියන් මෙන්ම  අපනයනකරුවන් වගබලාගත යුතුය. බාල තේ නිෂ්පාදනයට ඉඩ නොදෙන අතර එය නොතකා ක්‍රියා කරන කර්මාන්තශාලා වසා දමන්නැයි  ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    බුද්ධි අංශ සහය ඇතින අඛණ්ඩව පරීක්ෂණ  කර මෙවැනි ආයතන වැටලීම් කරන ලෙස ද  ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කළේය.

    රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වැඩබලන පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරිහූ සහ තේ කර්මාන්තශාලා හිමියෝ සහ අපනයනකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Covid-19: WHO ‘දින 14 නිරෝධායනයකට’ ඇලී සිටින්නේ ඇයි?

    Covid-19: WHO ‘දින 14 නිරෝධායනයකට’ ඇලී සිටින්නේ ඇයි?

    කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් සඳහා නිරෝධායන කාලය කෙටි නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වලින් නැවත නැවතත් ඉල්ලා තිබේ.

    ගෝලීය සෞඛ්‍ය ආයතනය නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම කොරෝන වෛරසය වැළඳී ඇති හෝ බොහෝ විට ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා ඇති ඕනෑම අයෙකු නිවසේ හෝ සති දෙකක කාලයක් සමාන ස්ථානයක සිටිය යුතු බවයි.

    අදහස සරලය. ඒ අනුව, මිනිසුන් අසනීප වුවහොත් ඔවුන්ව අධීක්ෂණය කිරීම, කොවිඩ් -19 රෝගීන් කලින් හඳුනා ගැනීම, වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට මෙමගින් හැකියාව ලැබේ.

    නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ (වඩාත් විශ්වාසනීය වර්තමාන අධ්‍යයනයන් මත පදනම්ව) යමෙකු රෝග ලක්ෂණ හදුනා ගැනීමට නිරාවරණය වන කාලය දින දෙකත් 14 ත් අතර විය හැකි බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිටුපස ඇත්තේ මෙවැනි සාක්ෂි ය.

    එක්සත් රාජධානියේ දී ඔබට කොවිඩ්-19 වෛරස් ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති බව ටෙස්ට් සහ ට්‍රේස් ක්‍රමය මඟින් ඔබට පැවසුවහොත්, ඔබ දින 14 ක් හුදෙකලා විය යුතුය.

    එහෙත් ප්‍රංශය ඊට වෙනස් ප්‍රවේශයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එය හුදකලා කාලය දින 14 දහහතරේ සිට හත දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. එයට හේතුව එහි සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ බහුතරයකට සති දෙකක කාලයක් හුදෙකලා වීමට අපහසු බවයි. මිනිසුන් ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති විට මෙය සිදු වන බව ද ඔවුහු කියති.

    රෝග ලක්ෂණ ඇති පළමු සතිය තුළ මිනිසුන්ට වෛරසය වැළඳීමට බොහෝ දුරට ඉඩ ඇති බවට යෝජනා කරන කුඩා අධ්‍යයන කිහිපයක් ද තිබේ. නමුත් තොරතුරු තවමත් මතුවෙමින් පවතින අතර ලොව පුරා විද්‍යාඥයින් එකඟ වන්නේ තවමත් බොහෝ අවිනිශ්චිතතාවයන් පවතින බවයි.

    විවිධ රටවලට විවිධ ප්‍රවේශයන් ඇත්තේ එබැවිනි. සෑම කෙනෙකුම සාක්ෂි, නොදන්නා දේ සහ පුරවැසියන්ට වඩාත් සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමේ අවස්ථාව සමතුලිත කළ යුතුය.

  • රටටම තිබෙන ප්‍රශ්නය කවුරුත් වැඩ නොකිරීම – ජනපති කියයි

    රටටම තිබෙන ප්‍රශ්නය කවුරුත් වැඩ නොකිරීම – ජනපති කියයි

    තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි එතුමා සඳහන් කරයි.

    කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු යයි සඳහන් කළ ජනාධිපතිතුමා ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් වන මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි.

    ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (17) පස්වරුවේ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    “සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය  තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින්., රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    “ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය . මේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක් අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

    ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව “සපිරි මහල් නිවාස වැඩසටහන” යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසේ.  මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බව ජනාධිපතිතුමා කීය.

    උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියේය.

    පැරණි මහල් නිවාස සංකීර්ණවල මලාපවාහන පද්ධති නඩත්තු කළයුතුව ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි පණ ගැන්විය යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කීය.

    සංස්ථාවේ ප්‍රාදේශීය ශාඛා ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන නියෝජිතයෙකු ලෙස යොදාගත යුතු යැයි ජනාධිපතිතුමා යෝජනා කළේය.

    ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය යන ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවා සංවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

    ඉදිකිරීම්, කෘෂිකර්ම සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල පෙරළියක් ඉදිරි වසරේ සිට අපේක්ෂා කරන බැවින් මේ සියලු ආයතන දැඩි උද්යෝගයකින්  සේවා සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    නිවාස, මාර්ග, පාලම් සහ වැව් විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ඉදිකිරීම්වලට දායක කර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.