Category: සුපිරි News

  • රු‍. මිලියන 1100 ක වියදමින් දිවයින පුරා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති

    රු‍. මිලියන 1100 ක වියදමින් දිවයින පුරා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’  රුපියල්  මිලියන 1100 ක වියදමින් දිවයිනේ පළාත් නවය පුරාම ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරි සැලසුම් විමසා බැලීමේ සාකච්ජාවක් පළාත් පාලන හා පලාත් සභා රාජ්‍ය අමාත්‍යාංශයේදී (10) පැවැත්විනි.

    පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ව්‍යාපෘති ) එම්.එම්.නජිමුඩීන්  මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ මෙම විශේෂ සාකච්ජාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ , විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මෙන්ම පලාත් සෞඛ්‍ය ලේකම්වරුන් මෙම රැස්වීමට එක්ව සිටියහ.

    දිවයිනේ සියලු පලාත්වල කුඩා රෝහල් වලට බලපාන පොදු ගැටලුවක් ලෙස වෛද්‍ය හා හෙද කාර්‍ය මණ්ඩල හිගය මගහරවාගැනීමට කඩිනම් වැඩපිලිවෙලක් යෝජනා කෙරිණ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මෙන්ම සෙසු සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ අවධානය ඉදිරියේදි මේ පිලිබදව වඩාත් යොමුකර ගැටලුව විසදා ගැනීමට කටයුතු කෙරේ.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කටයුතු ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර සහකාර නිලධාරීන්ගේ සහාය ලබා ගනිමින් මෙම කාර්‍ය මණ්ඩල හිගයට යම් විසදුමක් හෝ ලබා ගැනීමට යෝජනාවක් පලාත් සෞඛ්‍ය බලධාරීන් වෙතින් ඉදිරිපත් විය. ඉදිරියේදී නිල වශයෙන් මෙම ඉල්ලීම සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

    සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් රෝහල්වල රසායනාගාර සියලු පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමේ කටයුතු දැන් සිදුවෙයි . ඉන් අනතුරුව රසායනාගාර පහසුකම නොමැති අවට රෝහල වලින් ගෙනෙන සාම්පල පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්ද සැකසේ. ජනතාව රෝහලට කැඳවීම වෙනුවට ගමට ගොස් ජංගම රසායනාගාර සාම්පල එකතු කිරීමේ සේවාව මගින් සාම්පල ලබාගැනීමේ ක්‍රමය දිරිමත් කෙරේ.

    ව්‍යාපෘතිය  යටතේ දිවයින පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරි  සැලසුම් මින් ඉදිරියට එසැණින් යාවත්කාලීන වන පරිගණක ගත තොරතුරු පද්ධතියකට ඇතුළත් කෙරේ. ඉන් පසු සෞඛ්‍ය බලධාරීන්ට පමණක් නොව ජනාධිපතිවරයාට පවා ඕනෑම මොහොතක මෙම කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි  සැලසුම් එසැණින් විමසා බලා අවශ්‍ය උපදෙස් ලබාදීමේ වැඩි අවස්ථාවක් සැලසේ.  

    එසේම මේ වසර අවසන් වීමට පෙර පළාත් නවයේ සෞඛ්‍ය  සංවර්ධන ව්‍යාපෘති 100 කට අධික සංඛ්‍යාවක් නිමකර ජනතා අයිතියට පත් කිරීමේ ඉලක්ක ලබාදීම සිදුවිය.

    දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලවලට කැබ්‍ රථ ලබාදීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි 807ක් ලබාදීමේ සියලු කටයුතු ව්‍යාපෘතිය විසින් පසුගිය අගෝස්තු 30 වනදා වනවිට අවසන් කර ඇත.

    යතුරුපැදි සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට අගෝස්තු 30 වනදා  වනවිට භාරදුන් බවද සාකච්ජාවේදී අනාවරණ විය.

    සටහන /මාධ්‍ය සම්බන්ධීකරණය -ජානක සුනෙත් බණ්ඩාර, ජ්‍යෙෂ්ට සන්නිවේදන නිලධාරී, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය

  • ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ – සියලු පාසල්වලට සමාන පහසුකම්

    ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ – සියලු පාසල්වලට සමාන පහසුකම්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය.

    දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීම ඉන් එකකි. දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇත. ප්‍රමාණවත් පහසුකම් කිසිවක් ඒවායේ නැත. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කරනු ලැබේ.

    පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කළහ. අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ඨාස කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද එකඟත්වය පළ විය. ගුරු මාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතී. එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවේයැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    දිවයිනේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව අද රැස්වීමේ දී සොයා බැලිණ. ගුරු ව්‍යවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතුය. විදුහල්පති පුරප්පාඩුවට ප්‍රධාන හේතුව එය විධිමත්ව සිදු නොවීමයි. පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩ කඩ විමසා බැලීමට ද තීරණය විය.

    වැසි සමයේ දී නගර ජලයෙන් යටවීමේ ගැටළුව සාකච්ඡාවට ලක් වූ තවත් මාතෘකාවකි. ඒ පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා “පොඩි වැස්සටත් කොළඹ යටවෙනවා. අපි ඊට ස්ථීර විසඳුමක් හඳුන්වා දුන්නා. පසුගිය පස් වසර තුළ එය ක්‍රියාත්මක වුයේ නැහැ. ගැටළුව දැන් යළිත් මතුවෙලා. වගකීම් විවිධ ආයතනවලට පැවරී තිබීමත්, විසඳුම් සාර්ථක නොවීමට හේතුවක්”, යයි කී ජනාධිපතිතුමා එවැනි දුබලතා මගහැර ගැටළු කඩිනමින් විසඳිමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

    ඖෂධ ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සහ රාජ්‍ය ඇමතිවරු ඖෂධ පනත සංශෝධනය කිරීම ගැන සාකච්ඡා කළහ. ඖෂධ ආනයනය විධිමත් කිරීමට සහ  ඒ සඳහා ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනයට  එකඟත්වය පළ විය. “අපේ රටේ අවශ්‍යතාව සඳහා පමණක් නොව විදේශීය වෙළෙඳපොළ සඳහාත් ඖෂධ නිෂ්පාදනය කිරීමට අපට පිළිවන්. ඒ සඳහා ආයෝජකයන් ද සුදානමින් සිටිනවා. මේ ඉලක්කය සපුරා ගැනීම රට ලබන විශාල ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් වේවි”, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ විසඳුමක් ලෙස සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපනය කොට මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම ගැනද සාකච්ඡා කෙරිණ.

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කොට සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිළි කළේය. ඇතැම් නිලධාරීහූ තීරණ ගැනීමට බිය වෙති. මේ තත්ත්වය වෙනස් කළ යුතුය. රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ විධිමත් කිරීමට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකඟත්වයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක් විය.

  • Hot Cabinet Decisions: Night Time Data ගැන තීන්දුවක් ගන්න TRC අවධානය

    Hot Cabinet Decisions: Night Time Data ගැන තීන්දුවක් ගන්න TRC අවධානය

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් වුණා. ඒ සදහා සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ උදය ගම්මන්පිල සහභාගී වුණා. මේ එහිදී මාධ්‍ය වෙත දැනුම් දුන් කැබිනට් තීන්දු සියල්ලයි.

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටාවලට ගෙවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ලබා ගැනීමට TRC අවධානය

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රයෝගික විසඳුමක් සෙවීමටත් කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සහභාගී විය.

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට අදාළ සේවා ආයතන වෙත ජනතාව වැඩිපුර මුදලක් ගෙවීම සම්බන්ධයෙන් විධිමත් විසදුමක් තිබේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    දහවල් කාලයේ අන්තර්ජාලයේ පවතින තදබදය අවම කර ගැනීම සදහා පාරිභෝගිකයා පෙළඹ වීමට මෙලෙස රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ ලබා දෙන ඩේටා ප්‍රමාණයේ
    වෙනසක් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    තෙල් ගවේෂණය යළි අරඹන්න රජය තීරණය කරයි

    ශ්‍රී ලංකාවට අයත් කලාපය තුළ තෙල් සහ ගෑස් ගවේෂණය කිරීම යළි ආරම්භ කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී සදහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

    “වසර ගණනාවක් පුරාවට අත්හැර දමා තිබුණු තෙල් සහ ගෑස් ගවේෂණය යළි ආරම්භ කරන්න ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ අනුව ආයෝජකයින් ආකර්ෂණය ගැනීමට අත්‍යාවශ්‍ය කාරණයක් වූ ස්වභාවික වායු පිළිබඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කර තිබෙනවා. මේ සතියේ අමාත්‍ය මණ්ඩලයේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සුරත් ඕවිටිගම මහතාත්, උපදේශකවරයෙක් වශයෙන් මෙම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව ඇත්දැකීම් තිබෙන, ලෝකය පුරා පිළිගැනීමට ලක්ව ඇති චරිතයක් වන සාලිය වික්‍රමසූරිය මහතාත් පත්කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කළා“, යනුවෙන් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

    ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීම ගැන තීන්දුව මාසකින් කල් යයි

    මෙහිදී පසුගිය දා ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිවීම සමග එහි වත්මන් තත්ත්වය ගැන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මාධ්‍යකරුවෙකු ප්‍රශ්න කළේය.

    එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යරයා කියා සිටියේ, ‘ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවෙලා තිබෙනවා. නමුත් ඒක ගැන තීන්දුවක් ගැනීම ඒක මාසයකට කල් දාලා තියෙනවා. ඒ සම්බන්ධව නොයෙකුත් අනෙකුත් අදහස් ලබා ගන්න තමයි මේ මාසයක කල් දැමීම කළේ. තීන්දුවක් ගන්න කලින් අපි සෑම අංශයකින්ම අවශ්‍ය අදහස් ලබාගන්න ඕනෑ. ඊට පසුවයි අවසන් තීන්දුවකට එන්න පුළුවන් වෙන්නේ.

    මහ කන්නයේ හිගයකින් තොරව පොහොර සැපයීමට වැඩපිළිවෙළක්

    එළැඹෙන 2020/21 මහ කන්නයේ හිගයකින් තොරව ගොවීන්ට පොහොර සැපයීම සදහා රජය කඩිනම්  වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති අතර ඒ  සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන්   ඒකාබද්ධව  ඉදිරිපත් කළ යොජනාවට  කැබිනට් මණ්ඩල  අනුමැතිය හිමි ඇත. 

    ඒ අනුව 2020/21 මහ කන්නය සදහා වී ගොවීන්ට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 230,000ක් රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් ආනයනය කෙරෙන අතර ,වී ගොවීන් හට නොමිලේ පොහොර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.  

    වී හැර අනෙකුත් වගාවන් සදහා අවශ්‍ය පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1500 ක සහනාධාර මිලකට ඕනෑම ගොවියෙකුට විවෘත වෙළදපොළෙන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමද මෙම සැලසුම්වලට අයත්ය.  

    වී වගාව හැර අනෙකුත් වගාවන් සදහා 2020/21 මහ කන්නය වෙනුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 332,000ක ප්‍රමාණයක් අවශ්‍ය වනඅතර , ඒ සදහා පොහොර සමාගම් සතුව පවතින්නේ මෙට්‍රික් ටොන් 40,000ක පොහොර ප්‍රමාණයක් පමණක්බැවින් වගාව සඳහා තවදුරටත් අවශ්‍ය මෙට්‍රික් ටොන් 300,000 ක පමණ පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමට  පොහොර සමාගම් වෙත (එකගතාවය පළකර ඇති)අවසර ලබාදීමද මේ අනුව  සිදු වනු ඇත. 

    සුදුසුකම් ලබන වෙනත් සමාගම් සදහාද මෙට්‍රික් ටොන් 5000ක උපරිමයකට යටත්ව 2020/21 මහ කන්නය සදහා පොහොර ආනයනය කිරීම පිණිස අවසර ලබාදීමටද පියවර ගෙන තිබේ.. පසුගිය වකවානුව තුළ පොහොර සහනාධාර ප්‍රතිපත්තිය වරින්වර වෙනස් කිරීමත්, පොහොර ආනයනය කරනු ලබන සමාගම් වෙත නිසි පරිදි මුදල් නොගෙවීමත්, ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් තොර වූ පොහොර වෙ‍ළෙඳපොළට පැමිණීමත් හේතුවෙන් ගොවීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවී ඇත.

    එබැවින් එම තත්ත්වය මගහරිමින් 2020/21 මහකන්නයේ සිට ගොවීන් වෙත පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සදහා මෙම පියවර ගැනීමත් , පරිසර හිතකාමී පොහොර වී ගොවීන් අතර ප්‍රචලිත කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්අරමුණු කර ගනිමින් මෙම කටයුතු සැලසුම් කෙරෙනු ඇත.

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ප්‍රචාරක පිරිවැයෙන් 25%ක් රාජ්‍ය මාධ්‍යවලට

    රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමට හැකි වනු පිණිස සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25%ක වටිනාකමකින් යුත් ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීව රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතන මඟින් අනිවාර්යයෙන් ප්‍රචාරය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ ඩොලර් මිලියන 3.76ක හිස් සිලින්ඩර් කොන්ත්‍රාත්තු තායිලන්ත සමාගම් 2කට

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත ද්‍රව පෙට්‍රෝලියම් (LPG) වායු හිස් ලෝහ සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව තායිලන්තයේ Metal Mate Co. Ltd සහ  Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

    මෙහිදී කිලෝග්‍රෑම් 2.3, 12.5 හා 37.5 යන කාණ්ඩයන් යටතේ පිළිවෙලින් සිලින්ඩර 22,000ක්, 105,056ක් සහ 1,260 ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 2.18 ක මුදලකට Metal Mate Co. Ltd  වෙත සහ කිලෝග්‍රෑම් 05 කාණ්ඩය යටතේ සිලින්ඩර 117,040ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 1.58 ක මුදලකට Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ලබා දීමට තීරණය වුණා.

    සැකසුම – තුෂාර වල්ගම

  • ඉන්දීය මහ කොමසාරිස් ධුරය මිලින්ද මොරගොඩට ?

    ඉන්දීය මහ කොමසාරිස් ධුරය මිලින්ද මොරගොඩට ?

    ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ශ‍්‍රී ලංකාවට අතිෂය වැදගත් රටවල් 06ක් සඳහා රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබෙන බව වාර්තා වේ.

    ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේගකේගවීගපී හරිචන්ද්‍ර ද සිල්වා මහතා නම් කර තිබේග

    ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත් අරියසිංහ මහතා
    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය ශනිකා හිරිබුරේගම මහත්මිය චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා
    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිචන්ද්‍ර ද සිල්වා මහතා

    අදාළ පත් කිරිම් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට කරුණූ දැක්විය හැකි අතර එම කරුණු දැක්වීම සැප්තැම්බර් 23 වන දින හෝ එදිනටට පෙර ලිඛිතව දැනුම්දිය යුතු බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දැනුම් දී ඇත.

    මෙම නව රාජතාන්ත්‍රිකයින් පත් කිරිමට අදාළව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇනුමැතිය හිමි වූ වහාම ඔවුන් අදාළ තනතුරුවල රාජකාරි කටයුතු ආරම්භ කිරිමට නියමිත බව ද වාර්තා වේ.

  • ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා

    ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා

    ඇමැතිවරුන්ගේ මහජන දිනය සඳුදා දිනවල පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා අද (10) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බදාදා දිනවල රැස්වෙන බැවින් මහජනතාවට බාධාවක් සිදුනොවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

  • පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමයට වැව් 5000ක් ප්‍රතිසංස්කරණය යයි

    පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමයට වැව් 5000ක් ප්‍රතිසංස්කරණය යයි

    පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ.

    ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යෝජිත වැඩසටහන් පුළුල්ව විමර්ශණය කෙරිණ.

    “මින් පෙරත් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එය විද්වතුන්ගේ සහ ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වුණා. ඊට හේතුව වැව් හාරා ගැඹුරු කළත් ජලය රඳවා ගැනීමේ පුරාණ තාක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රම භාවිත නොකිරීම. එවැනි අඩු පාඩු මග හරිමින් පොදු නිර්ණායකයක් යටතේ ඒ ඒ ප්‍රදේශවලට සහ වැව් වලට ආවේණික ක්‍රමයකට ප්‍රතිසංස්කරණ වැඩ  කළ යුතුයි”. ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

    වැව් ගොඩවීමෙන් ඒවායේ ධාරිතාව අඩු වී තිබේ. ඉවුරු කැඩී ගිය වැව් විශාල සංඛ්‍යාවක් ඇත. මහ කන්නය ඉලක්ක කොට ගෙන ඒවා  කඩිනමින් පිළිසකර කිරීමේ අවශ්‍යතාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    කුඹුරු වගාව සඳහා පමණක් නොව පානීය ජල සම්පාදනය හා සෙසු වාරි අවශ්‍යතා සපුරාලීමට ද වැව් ජලය භාවිත කිරීමේ හැකියාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

    වාරි මාර්ග පද්ධතියෙන් නඩත්තුවන කෘෂි ඉඩම් පරිහරණ රටාවක් පිළිබඳව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සමීක්ෂණයක් කර ඇත.  ඉන් අනාවරණය වූ තොරතුරු පදනම් කර ගනිමින්  මනා ජල කළමනාකරණයක් ඇතිව  මැද කන්න සහ අතුරු කන්නවලදී හඳුනාගත්  කෘෂි බෝග 17 ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

    වැව් ප්‍රතිසංස්කරණය, වැව් ආශ්‍රිත  කර්මාන්ත ආරක්ෂාවන අයුරින් කළයුතුය. අනුබද්ධ ආයතන සහ ගොවි සංවිධාන සමග එකඟතාවයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. වැව් ප්‍රතිසංස්කරණයට සමගාමීව ඇල වේලි ඇතුළු වාරි පද්ධතිය ද ප්‍රතිසංස්කරණයට  ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    වගා ජල සම්පාදනය සහ පානීය ජල සම්පාදනය අරමුණු කොට සැලසුම් කළ “උතුරු මැද මහ ඇල” සහ “වයඹ ඇල” ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව අද රැස්වීමේ දී සාකච්ඡාවට ලක් විය.  ඒ යටතේ උතුරු මැද හා වයඹ පළාත්වල ග්‍රාමීය වැව් 1500ක් ආශ්‍රිතව හෙක්ටයාර් 80,000ක් දෙකන්නයේම වගා කිරීමට අපේක්ෂිතය. 

    වාරිමාර්ග ක්ෂේත්‍රයේ දිගු කලක සිට පවතින ඉංජිනේරු සහ කාර්මික නිලධාරී ශ්‍රේණිවල පුරප්පාඩු නොපමාව පිරවීමේ අවශ්‍යතාව ද අවධානයට ලක් විය.

    නව කෘෂි තාක්ෂණය හඳුන්වාදෙමින් තරුණ ව්‍යවසායකයන් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කළ  “තරුණ ගොවි සෞභාග්‍යා, කාබනික ගොවිපල වැඩසටහන” ද මෙහිදී විමර්ශනය කෙරිණ. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.  ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයට එකඟත්වය පළ විය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ගොවි සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • අගමැති රාජ්‍ය බැංකුවලට ‘හරි පාර’ කියා දෙයි

    අගමැති රාජ්‍ය බැංකුවලට ‘හරි පාර’ කියා දෙයි

    විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මුදල් අමාත්‍යංශයේ  ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදු වන අපහසුතාවන් පිළිබඳව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී අවධානය යොමු කළේය.

    ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)  නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි පැවසීය.

  • ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ‘මහජන අදහස් කැඳවයි’

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ‘මහජන අදහස් කැඳවයි’

    දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහළ නංවන විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා (0714398201) පවසයි.

    මෙහිදී ඒ ඒ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන අතර විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථාවලදී  අවශ්‍ය බලධාරීන්, විශේෂඥයින් සමගද සාකච්ජා කෙරේ.රෝහල් බලධාරීන්, අදාල තාක්ෂණික කාර්‍ය මණ්ඩල, ආහාර නිරීක්ෂිකාවන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් , පෝෂණවේදීන් ඇතුලත්ව විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම පුහුණුව සඳහා දිවයිනේ දක්ෂ සූපවේදීන්ද සහභාගී කර ගනු ඇත.

    කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී  ව්‍යාපෘතියේ සියලු කරුණු  මහජන අදහස් අනුව සැලසුම් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙයි.

    මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත්වන අදහස් හා යෝජනා ඔක්තෝබර් 30 වනදා මධ්‍යහන 12 ට පෙර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ.සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් මෙම යෝජනා හෝ අදහස් යොමුකල හැකිය. අදහස්  හා යෝජනා යොමු කරන සියලුදෙනා තෝරාගත් දිනයකදී විශේෂ සාකච්ජාවක් සඳහා කැඳවීමටද ව්‍යාපෘති කාර්යාලය බලාපොරොත්තු වෙයි.(සම්බන්ධීකරණය – ප්‍රසන්න සමරවික්‍රම මහතා – ව්‍යාති නිලධාරී , ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය -0712887855)

    ලිපිනය  : ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය

                    අංක 191, තෙවැනි මහල, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රය – කොළඹ -07.

    විද්‍යුත් ලිපිනය: psspmoh.lk@gmail.com ,  විමසීම්  – 0112680549 (තනුජා)

  • ගුවන් ගමන් භාණ්ඩ අපනයනයේදී සියලු අවසරපත් එකම ස්ථානයකින්

    ගුවන් ගමන් භාණ්ඩ අපනයනයේදී සියලු අවසරපත් එකම ස්ථානයකින්

    මෑත ඉතිහාසයේ කවරදාටත් වඩා ආනයන වියදමට වඩා  අපනයන ආදායම ඉහල යමින් පවතී. මෙම ආදායම ලබා දෙන අපනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගුවන් මගින් අපනයනය කිරීම සිදු කෙරේ. දේශීය නිශ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවාහනය කිරීමේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස යාවත්කාලීන වි නොමැත.

    විශේෂයෙන්ම ගුවන් මගින් භාණ්ඩ අපනයන කිරීමේදී දැනට සිදු වන ප්‍රමාදයන් සකස් කර විදිමත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, සියලු අපනයන කටයුතු වලදී අවශ්‍ය අවසරපත් එකම ස්ථානයකින් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නේයැයි ගුවන්තොටුපල හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා අදාල නිළධාරීන්ට දන්වා සිටී.

    ඊයේ (07) කටුනායක ගුවන්තොටුපලේදී අපනයන සමාගම් නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුනි.

    මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් රැසක් සඳහා විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇත. සතියකට ගුවන් ගමන් තිහකට වැඩි ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහනයේ නිරත වේ. ලන්ඩන්, ප්‍රැන්ක්ෆට්, බීජිං, ශැන්හයි, ගුවන්ශූ යන ගුවන් ගමනාන්තයන්ද මෙල්බර්න්, සිංගප්පූරුව, ඈත පෙරදිග, ටෝකියෝ, දෝහා හා ඩුබායි යන ගමනාන්තයන් මෙන්ම මාල දිවයින, ඩකා සහ ඉන්දියාව යන රටවල් වලටද මෙම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

    විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන මෙම රටවල් කරා ගුවන් මගින් ප්‍රවාහනය කෙරේ. මෙම භාණ්ඩ ගුවන්තොටුපල තුල ස්ථාන දෙකකදී පවත්වාගෙන යනු ලබන භාණ්ඩ පරීක්ෂාව සහ විවිධ අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයන් හේතුවෙන් අපනයන කරුවන් ගැටලු රැසකට මුහුණ දෙන බව ඔවුන්  පෙන්වා දී ඇත. මෙම භාණ්ඩ වල ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවද ඔවුන් පවසයි.

    මේ පිළිබඳව අවධානය යොමු කල රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සියලු අවසරපත් එකම ස්ථානයකින් නිකුත් කිරීමටත් ගුවන් ගාල් ගම්මානය තුළ සීසීටීවී කැමරා සවි කිරීමටත් උපදෙස් ලබා දුනි. එසේම එම කලාපයේ සේවය සඳහා ආරක්ෂක නිළධාරීන් ප්‍රමාණයද ඉහල නැංවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දන්වනු ලැබීය. කොළඹ වරාය තුළ සවිකර ඇති සම්පූර්ණ බහාලුම් පරීක්ෂා කල හැකි “කාර්ගෝ සැකෑන්” යන්ත්‍ර සවිකිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස ගුවන්තොටුපල සමාගමේ සභාපතිවරයාට උපදෙස් ලබා දුනි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා කටුනායක ගුවන් තොටුපල කලාපයේ අනෙකුත් ගුවන් තොටුපලවල් හා ගත්කල නවීන තාක්ෂනයේ භාවිතාව පහල මට්ටමක ඇති බවත් පසුගිය වසර පහ තුළ මෙම ගුවන්තොටුපලේ කිසිඳු සංවර්ධන කාර්යක් සිදුව නොමැති බව පැවසීය. ඉදිරි වසර පහ අවසානයට පෙර නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිතා වන දකුණු ආසියාවේ දියුණුතම ගොවන්තොටුපලක් බවට කටුනායක ගුවන්තොටුපල බවට පත් කිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අරමුණ වන බවද හෙතෙම පැවසීය.

    මෙම අවස්ථාවට ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා, ගුවන්තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වුහ

  • මහ කන්නයට පොහොර හිඟයකින් තොරව

    මහ කන්නයට පොහොර හිඟයකින් තොරව

    මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක්  අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට  ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටිති.

    මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබේ. වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට  සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කීය.  බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළයුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් පර්යේෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර තුළ දේශීය වෙළෙඳපොළට සැපයීමට හැකියාව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කියා  සිටියේය.

    එප්පාවල පෝස්පේට් නිදිය ආශ්‍රිතව Single superphosphate රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවීමේ හැකියාව ඇතැයි පර්යේෂණවලින් නිගමනය කර තිබේ. නැනෝ තාක්ෂණය භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ  කෙරෙමින් පවතී.

    පොහොර නිෂ්පාදනය කඩිනමින් අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අවශ්‍ය ආයෝජනය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැපයේ.

    පසුගිය යල කන්නයේ දී හෙක්ටයාර 25,000කට කාබනික පොහොර භාවිත කෙරිණ. ඉන් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහූ සඳහන් කළහ.  මහ කන්නයේ සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදාගැනීමේ හැකියාව වහාම සොයා බැලීමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. එමගින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම 25%කින් පහත හෙළීමට අපේක්ෂා කෙරේ.

    කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    රසායනික පොහොර මගින් ජලයට හා භූමියට වන හානිය වැළැක්වීමත්, වකුගඩු රෝගයෙන් සහ සෙසු රෝගවලින් ජනතාව මුදා ගැනීමත්, පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික වී තිබේ

    රසායනික පොහොර සහ කාබනික පොහොර 70% සහ 30% ප්‍රතිශතයට යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය.

    එළවළු ගොවින්ගෙන් ඝෘජුව මිලදී ගෙන එළවළු වර්ග 06කින් යුත් මල්ලක් රුපියල් 350ක මුදලකට කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 10ක අද සාර්ථකව අළෙවි කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදී ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රේඛීය අමාත්‍යාංශ සමග එක්ව ඝෘජුව පාරිභෝගිකයා වෙත සැපයීම අඛන්ඩව කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහූ, පොහොර සමාගම් නියෝජිතයෝ සහ වගාකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • කොරෝනා අවධානම් රටවල් 100ක් ලැයිස්තුවක් – ශ‍්‍රී ලංකා 92 වැනි තැනට- සම්පූර්ණ වාර්තාව මෙන්න

    කොරෝනා අවධානම් රටවල් 100ක් ලැයිස්තුවක් – ශ‍්‍රී ලංකා 92 වැනි තැනට- සම්පූර්ණ වාර්තාව මෙන්න

    කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් 100ක ලැයිස්තුවක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් Forbes සගරාව විසින් පසුගිය 03 වැනිදා ප‍්‍රකාශයට පත් කළා. නිර්ණායක කිහිපයක් මත පදනම් වූ සමීක්ෂණයක් අනුව අදාළ රටවල් 100 දත්ත පෙළ ගස්වා ඇති අතර සමීක්ෂණයට අනුව කොවිඞ් වසංගතයෙන් ආරක්ෂිතම රට ලෙස 01 වැනි ස්ථානයේ පසුවන ජර්මනිය නම්කර තිබෙනවා.

    දෙවැනි ස්ථානය නිව්සීලන්තය විසින්ද තෙවැනි ස්ථානය දකුණු කොරියාව විසින් හිමිකර ගෙන ඇති අතර, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව ආරක්ෂිතම රටවල් 10 අතර පිළිවෙළින් පසුවෙනවා.

    මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදය ලැයිස්තුවේ 55 වන තැනත් බ‍්‍රසීලය 66 වැනි ස්ථානයටත් පත්ව ඇති අතර ඉන්දියාව පසුවන්නේ 80 වැනි ස්ථානයේ.

    ලෝකයේ කොරෝනා වසංගතයෙන් අනාරක්ෂිතම රට වශයෙන් දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාව නම්කර ඇති අතර සර්බියානනු ජනරජය 99 වැනි ස්ථානයේ පසු වෙනවා. මෙම වාර්තාව අනුව ලොව අනාරක්ෂිතව රටවල් 10 (100ට 90 දක්වා) අතරට ශ‍්‍රී ලංකාව පත්ව ඇති අතර ශ‍්‍රී ලංකාව පසුවන්නේ 92 වැනි ස්ථානයේයි.

    ශ්‍රේණිගත කිරීම බොහෝ දෙනා අපේක්ෂා කරන මේ වන විට ආසාදන කීයක් තිබේද යන්න හෝ COVID-19 මරණ කොපමණ සංඛ්‍යාවක් සිදුවී ඇත්ද යන්න ගැන පමණක් නොව ඒ වෙනුවට, එය බහු වෛද්‍ය, ආර්ථික හා දේශපාලන සාධක පිළිබඳ සංකීර්ණ ඇගයීම් මාලාවක් ගැන ය. එකතු කිරීම, ඔවුන් රටක ලකුණු වැඩි කිරීම හෝ අඩු කිරීම සඳහා අදාළ කරගෙන තිබෙන බවයිි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ.

    අදාළ වාර්තාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම (Deep Knowledge Group) මෙසේ සඳහන් කර තිබෙනවා.

    ‘ පෙර දර්ශකය කිසියම් ඇඟවීමක් නම්, රටක් ලැයිස්තුවේ අවසන් වන තැන විවාදාත්මක විය හැකිය. කැරිබියානු සහ ගිනිකොනදිග ආසියාවේ අනෙකුත් රටවල් මෙන්ම නවසීලන්තය ද ඇදහිය නොහැකි තරම් හොඳින් ක්‍රියා කර ඇත.

    වාර්තාවට අනුව, COVID-19 මගින් රටකට දැඩි ලෙස පහර වැදී තිබේද නැද්ද යන්න කාරණය එතරම්ම වැදගත් නොවේ – එය නිසැකවම වැදගත් වුවත් – නිරෝධායන හා අගුලු දැමීමේ පියවරයන් සඳහා දේශපාලන කැමැත්ත සහ සමාජ පිළිගැනීමක් තිබේද යන්න. ජාතික හා පළාත් පාලන ආයතන හොඳින් සහයෝගයෙන් කටයුතු කරයිද යන්න. ජාතියකට හොඳ අධීක්ෂණයක් සහ හඳුනාගැනීමක් සහ ශක්තිමත් වෛද්‍ය ක්‍රමයක් තිබේ නම්. COVID-19 හේතුවෙන් රටක් ආර්ථික අවතැන්වීමකට කොතරම් අවදානමක් තිබේද යන්නත්, හදිසි අවස්ථා හැසිරවීමට රටක් කෙතරම් හොඳින් සන්නද්ධද යන්නත් අවධානයට ගත්තා.

    “ගැඹුරු දැනුම සමූහයේ නව COVID-19 විශේෂ විශ්ලේෂණ සිද්ධි අධ්‍යයනය සැලසුම් කර ඇත්තේ එහි විශ්ලේෂණයට ඇතුළත් කර ඇති රටවල් 250 ක් සහ කලාප 250 ක් ලබා ඇති ආර්ථික, සමාජීය හා සෞඛ්‍ය ස්ථාවරත්වය මෙන්ම ශක්තීන්, දුර්වලතා, අවස්ථාවන් වර්ගීකරණය කිරීම, විශ්ලේෂණය කිරීම සහ ශ්‍රේණිගත කිරීම සඳහා ය’

    ගැඹුරු දැනුම සමූහය පවසන්නේ ඔවුන් පරාමිති 140 කට වඩා බැලූ බවත් දත්ත ලක්ෂ්‍ය 35,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සලකා බැලූ බවත් ය.

    අදාල ලැයිස්තුව මෙතනින්.. පර්ශීලනය කළ හැකියි

  • එල්ලුම් ගහට නියම කර සිටින රත්නපුරේ ‘චොකා මල්ලි දැන් ප.ම’

    එල්ලුම් ගහට නියම කර සිටින රත්නපුරේ ‘චොකා මල්ලි දැන් ප.ම’

    මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    බන්ධනාගාරගතව සිටින ජයසේකර මහතා අද බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට රැුගෙන ආ අතර අද පස්වරු එකට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් මෙම දිවුරුම්දීම සිදුවිය.

    සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා මෙම දිවුරුම්දීමට විරෝධය පළ කරමින් කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණ අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ කෑකෝ ගසමින් ඊට විරෝධය දැක්වූහ.

  • භාණ්ඩාර ලේකම්ගෙන් රාජ්‍ය ආයතනවලට ‘විශේෂ නියෝග’ 2ක්

    භාණ්ඩාර ලේකම්ගෙන් රාජ්‍ය ආයතනවලට ‘විශේෂ නියෝග’ 2ක්

    සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් පවත්වනු ලබන පාඨමාලාවල දී විදේශීය අධ්‍යයන චාරිකා, ක්ෂේත්‍ර චාරිකා ඉවත් කර පාඨමාලා නැවත සැලසුම් කර ඒ අනුව ඇස්තමේන්තු සකස් කළ යුතු බවත් රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්ත ආටිගල මහතා නියෝග කර ඇත.

    ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 යටතේ ‘2021 – 2023 මධ්‍යකාලීන රාමුව තුළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශය’ නමින් චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

    සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත මේ බව දැනුම් දී ඇත.

    ‘ධාරිතා සංවර්ධන වැය විෂයය’ යටතේ ඇස්තමේන්තු සැකසීමේ දී හා ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ දී, සෘජුව සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සඳහා අදාළ වන්නා වූ අධ්‍යයන පාඨමාලා සහ නිලධාරීන්ගේ රාජකාරිය සමඟ සෘජුව සම්බන්ධතාවයන් පවතින පුහුණුවීම් හෝ පාඨමාලා සඳහා පමණක් සීමා කළ යුතු බව ද භාණ්ඩාගාර ලේකවරයා විසින් නිකුත් කළ අදාළ චක‍්‍රලේඛයේ සඳහන් වේ.

    රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු බව ද කෙසේ වෙතත් දැනට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ගොඩනැගිලි නිම කිරීම සඳහා මහා භාණ්ඩාගාරය දැනුවත් කර ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළත් කළ හැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කළ ඉහත චක‍්‍රලේඛය මගින් වැඩි දුරටත් නියෝග කර ඇත.

  • කාන්තාවන්ගේ ‘නිහඬ මාරයා’ – පියයුරු පිළිකා ගැන දින ගත යුතුම කරුණු සියල්ල

    කාන්තාවන්ගේ ‘නිහඬ මාරයා’ – පියයුරු පිළිකා ගැන දින ගත යුතුම කරුණු සියල්ල

    කාන්තාවන් අතර සුලභ පිළිකා වශයෙන්, පියයුරු පිළිකා, ගැබ්ගෙළ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සහ ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියමේ (ඇතුල් බිත්තියේ) හට ගන්නා පිළිකා සැලකෙනවා. මේ පිළිකා අතර වඩාත් සුලභ පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    මේ තත්ත්වය තුළ කාන්තාවන් පියයුරු පිළිකා ගැන වඩාත් සංවේදී විය යුතු අතර ඒ ගැන ‘නිවැරදි’ හා ‘නිරවුල්’ දැනුමක් ද ඔවුන් සතු විය යුතුයි. ‘ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා’ නමින් අප විසින් සම්පාදිත ලිපිපෙළේ දෙවැනි ලිපිය වන්නේ ‘පියයුරු පිළිකා’යි. මෙම ලිපිය අපි සම්පූර්ණයෙන්ම උපුටා ගත්තේ ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියෙන්.

    පියයුරු පිළිකා

    පියයුරු පිළිකා වල ඇතිවන අසාමාන්‍ය වර්ධනය මෙනමින් හැදින්වේ. මෙය, කිරි තනපුඩුව දක්වා පරිවහනය සදහා ඇති නාලවල ද කිරි නිපදවන ග්‍රථිවලට ද ඇති විය හැකිය. මෙය කාන්තාවන් මෙන් ම පුරුෂයන්ගේ ද ඇති විය හැකි නමුත් පුරුශයන්ගේ පියයුරු පිළිකා විරලය.

    මෙයට ඇති අවදානම් සාධක මොනවා ද?

    අවදානම් සාධක යනු ඔබට යම් රෝග තත්තවයක් ඇතිවීමේ අවදානම  හෝ හැකියාව වැඩි කරන කරුණුය. මෙයින් සමහර සාධක ඔබටම පාලනය කරගත හැකිය. මෙහි දී ඔබගේ දිවි පැවැත්මේ සිදු කරන කුඩා වෙනසක්  මගින් පිළිකාව ඇතිවීමේ අවදානම අවම කර ගත හැකිය.

    • ආර්තවහරණයෙන් පසු ස්ථුලතාවය – ආර්තහරණයට පෙර ඩිම්බ කෝෂ මගින් ප්‍රධානවම ඊස්ට්‍රජන් නිපදවයි. ආර්තවහණයෙන් පසු ඊස්ට්‍රජන් නිපදවීමට ප්‍රමුඛ වන්නේ මේද පටකයි. ඊස්ට්‍රජන් මටිටම අධික වීම පියයුරු පිළිකා මට්ටම වැඩි කරයි.
    • ආහාර පාන – මේද අධික ආහාර, පිරිසිදු කල කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර (බනිස්, පාන් ආදිය) සත්ව ආහාර අධිකව ගැනීම පියයුරු පිළිකා වල අවදානම වැඩි කරයි.
    • මත්පැන් භාවිතය – කාන්තාවක් පානය කරන මත්පැන් ප්‍රමාණයට සාපේක්ෂව පියයුරු පිළිකා අවදානම වැඩිවේ. මත්පැන් නිසා රුධිරයේ ඊස්ට්‍රජන් මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව අඩුවීම පිළිකා වැඩි වීමට හේතුවයි.
    • දුම් පානය – මෙයින් පියයුරු පිළිකා ඇතිවීමේ හැකියාව සුළු ප්‍රමාණයකින් වැඩිවේ.
    • ඊස්ට්‍රජන් වලට නිරාවරණය වීම – දිගු කලක් තිස්සේ නොකඩවා ඊස්ට්‍රජන් වලට නිරාවරණය වීම පියයුරු පිළිකා අවදානම වැඩි කරයි. ඊස්ට්‍රජන් මගින් පියයුරු වල ඇති සෛල වර්ධනය උත්තේජනය කරන බැවිනි. මෙයින් සමහරක් ඔබට පාලනය කල හැකි තත්ත්වයන්ය.
      උදා හෝර්මෝන නැවත ලබාදීම – ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් දිගු කලක් තිස්සේ ලබා ගැනීම හෝ ඊස්ට්‍රජන් පමණක් අඩංගු බෙහෙත් අවුරුදු 10 කට වඩා භාවිතා කිරීම
    • වර්තමානයේ උපත් පාලන පෙති භාවිතය – උපත් පාලන පෙති  මගින් කාන්තාවකගේ පියයුරු පිළිකා ඇති කිරීමේ හැකියාව ඉතා සුළු ප්‍රමාණයකින්  වැඩි කරයි. මෙම අවදානම යම්කිසි කුඩා කාලයක් තුල පමණක් වැඩිවේ. මේවා භාවිතා කලේ වසර දහයකට වඩා කලින් මේ නම් එමගින් අවදානම වැඩි කිරීමක් සිදු නොවේ.
    • කිසි විටෙක දරුවන් නොලද කාන්තාවන් හා පළමු දරු උපත පමා වී සිදු වු කාන්තාවන් තම දරුවන්ට මව්කිරි ලබා ‍නොදුන් කාන්තාවන්

    ඔබට පාලනය කළ නොහැකි සාධක

    1. වයස – ආර්තහරණයට පෙර පියයුරු පිළිකා විරල වන අතර වයස්ගත වත් ම මෙය ඇතිවීමේ අවදානම වැඩිවේ.
    2. මීට පෙර පියයුරු පිළිකාවක් වැළදී තිබීම- එක් පියයයුරක පිළිකාවක් වැළදුනු විට අනෙක් පියයුරේ ද පිළිකාවක් ඇතිවීමේ අවදානම වැඩිවේ.
    3. පියයුරු පිළිකා සම්බන්ධ පවුලේ ඉතිහාසය – මව, දුව හෝ සහෝදරිය පියයුරු පිළිකාවකින් පෙලේ නම් තමාට ද එය ඇතිවීමේ අවදානම වැඩිය. විශේෂයෙන් ම පවුලේ සාමාජිකයෙක් වයස අවුරුදු 40ට පෙර මෙයට ගොදුරු වූයේ නම් එම අවදානම ඉතා ඉහලය.

    ජානමය විකෘති – හා වෙනත් ජානවල ඇතිවන විකෘති ද පියයුරු පිළිකාවල අවාදනම වැඩි කරයි. මෙම ජාන විකෘති සහිත පුද්ගලයන් හදුනා ගැනීමට ජාන පරික්ෂණය ද ඇතැම් විට භාවිතා වේ.

    ප්‍රජනනය හා ආර්තවය – ඊස්ට්‍රජන් ‍හෝර්මෝනය පියයුරු සෛල වර්ධනය ඉහළ දමන බැවින් දිගු කලක් තිස්සේ අඛණ්ඩව අධික ඊස්ට්‍රජන් මට්ටමකට නිවාරණය වීම පියයුරු පිළිකා අවදානම වැඩි කරයි.
    උදා . වයස අවුරුදු 12ට පෙර වැඩිවියට පත්වීම
    වයස අවුරුදු 55ට පසු ආර්තවහරණය සිදුවීම

    රෝග ලක්ෂණ

    පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. පිළිකාවක් ඇත්දැයි බැලීමට වරින්වර කරන මැමෝග්‍රම් පරික්ෂණයක දී (පියයුරුවල විශේෂ  කිරණ පරික්ෂණයකි) හෝ ස්කෑන් පරික්ෂණයකදී අසාමාන්‍ය තත්ත්වයක් දර්ශනය වූ විට තව දුරටත් පරික්ෂණ සිදු කර මේ බව තහවුරු කරගත හැකිය.

    පහත රෝග ලක්ෂණ පියයුරු පිළිකාවකින් ඇතිවිය හැක.

    • පියයුරක හෝ දෙකේ ම ඇතිවන ගැටිති
    • පියයුරේ කොටසක් හෝ මුළු පියයුරම ඉදිමීම
    • පියයුරේ සම වළ ගැසීම
    • පියයුරේ වේදනා
    • තන පුඩුවේ සම රතුවීම, සමේ පොතු ගැලවී යාම, පියයුරේ හෝ තන පුඩුවේ සම  ඝනවීම
    • කිරි හැර වෙනත් ස්‍රාවයන් තන පුඩුවෙන් පිටවීම
    • කිහිල්ල ප්‍රදේශයේ ඇතිවන ඉදිමීමක් / ගැටිත්තක්
    • මෙම ලක්ෂණ පිළිකාවක් මෙන් ම එතරම් බරපතල නොවූ විවිධ ආසාදන හෝ විසප්පු ගෙඩි වැනි තත්ත්ව නිසා ද ඇතිවිය හැක. නමුත් මෙම වෙනස්කම් වෛද්‍යවරයෙකුට පෙන්වා නිසි ලෙස පරික්ෂා කරගැනීම වැදගත්ය.

    පෙර පරික්ෂාවන්

    මෙහි ඇති අරමුණ පියයුරු පිළිකා මුල් අවස්ථාවේදීම හදුනා ගැනීමයි. මෙලෙස කිසිදු රෝග ලක්ෂණයක් ඇති වීමට පෙර මුලින් ම පිළිකාව හදුනාගැනීමෙන් එයට ප්‍රතිකාර කිරීම ඉතා පහසුවේ. මෙහි දී පියයුරේ කොටසකට පමණක් සිමා වූ පිළිකා පියයුර සම්පුර්ණයෙන් ම ඉවත් නොකරම සුව කළ හැකිවේ.

    නිරෝගී, පියයුරු පිළිකා ඇතැයි නොසැලකෙන කාන්තාවන්ගේ පූර්ව පරික්ෂා සදහා මැමොග්‍රම් පරික්ෂණය හා ස්කෑන් පරික්ෂණය (අවුරුදු 40ට අඩු නම්) භාවිතා වේ. කාන්තාවන් නිතර තමා විසින් ම සිදු කරන පියයුරු පරික්ෂා සිදු කර ගැනීමත් යම් කාලයකට වරක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පියයුරු පරික්ෂා කරවා ගැනීමත් වැදගත් වේ.

    මැමෝග්‍රම් පරික්ෂණය

    මෙය පියයුරේ සිදු කරන කිරණ පරික්ෂණයකි. පෙර පරික්ෂාවක් ලෙස මෙය සෑම වසකට වරක් සිදු කිරිමෙන් මුල් අවස්ථාවේදී ම පිළිකාව හදුනා ගත හැක. සාමාන්‍යයෙන් වසර 40 සිට හෝ අවදානම වැඩි නම් ඊට පෙර සිට හෝ මෙම පරික්ෂාවන් නිර්දේශ කෙරේ. මැමෝග්‍රම් පරික්ෂණය ඉතා ආරක්ෂාකාරී වන අතර නිවැරදිව පිළිකාව හදුනා ගැනීමෙන් මෙය ජිවිත ආරක්ෂා කරයි. වර්තමාන මැමෝග්‍රම් පරික්ෂණය සදහා ඉතා සුළු කිරණ ප්‍රමාණයක් පමණක් භාවිතා වෙ. (සාමාන්‍යයයෙන් පපුවේ x කිරණ පරික්ෂාවකට ද වඩා අඩු ප්‍රමාණයක්) මෙය විනාඩි 20කටත් වඩා අඩු කාලයක දී සිදු කළ හැකි බොහෝ විට කිසිදු අපහසුතාවයක් නොදැනෙන පරික්ෂාවකි.

    ස්කෑන් පරික්ෂණය ‍

    මෙහිදී අධික සංඛ්‍යාතයෙන් යුත් ශබ්ද තරංග පියයුර හරහා ගමන් කරවීමෙන් පසු ඒවා රූපවාහිනිය වැනි තිරයක් මත දී පින්තූර බවට පෙරලීම සිදුවේ. කිසිදු විකිරණයක් මෙහිදී භාවිතා නොවේ. පියයුරුවල කිරි ග්‍රන්ථි අධික වීම නිසා වයස අවුරුදු 40ට අඩු කාන්තාවන්ගේ මැමෝග්‍රම් පරික්ෂනයෙන් නිවැරදි තොරතුරු ලබා ගත නොහැකි නිසා ඔවුන්ට මෙය යොදා ගනී. (වයස්ගත කාන්තාවන්ගේ පියයුරුවල මේද ප්‍රමාණය අධික නිසා මැමෝග්‍රම් පරික්ෂ‍ණයෙන් රෝගි තත්ත්ව හදුනා ගැනීම පහසුවේ.)

    තමා විසින් ම සිදු කරන පියයරු පරික්ෂාව

    • මසකට වරක් මෙය කිරීමට පුරුදු වන්න. ඔසප්වීම නතර වී දින කිහිපයක දී මෙලෙස පියයුරු පරික්ෂා කරගන්න.
    • මසකට වරක්වත් තමා විසින් ම පියයුරු පරික්ෂා කිරීම පුරුද්දක් කොටගත යුතුය. ඔසප්වීම නතර වී දින කිහිපයක් ගත වූ විට පියයුරුවල ඉදිමීම් හෝ වේදනාවක් අවම නිසා එම කාලය මෙයට වඩාත් සුදුසු වෙ.
    • කණ්නාඩියක් ඉදිරිපිට ගොස් උරහිස් කෙළින් දෙඅත් ඉන දෙපසින් තබාගෙන පියයුරු නිරික්ෂණය කරන්න.
    • පියයුරු තන පුඩු හා තන පුඩු අවට ප්‍රදේශයේ ප්‍රමාණය, හැඩය ආදියේ වෙනසක් ඇත්දැයි බලන්න. ප්‍රමාණයේ වෙනසක් පලු දැමීමක්, රතුවීමක්, තුවාලයක් හෝ තනපුඩුව යටට ගිලී යාමක් දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
    • දෙඅත් හිස දෙපසියන් ඉහළට ඔසවා බැලූවිට පියයුරේ සම වළ ගැසීමක් ඉදිරියට නෙරා ඒමක් හෝ රැලි වැටීමක් ඇත්නම් ද වෛද්‍යවරෙයකු හමුවන්න.
    • දැන් පළමුව වාඩි වී හෝ සිටගෙන උරහිස් කෙළින් තබා අත් ඉනෙහි තබාගෙන පියයුරු අල්ලා පරික්ෂා කරන්න. අතෙහි ඇගිලි සෘජුව හා එකළග තබා වම් පියයුර  දකුණු අතින් ද දකුණු පියයුර වම් අතින් ද පරික්ෂා කරන්න. පළමුව තනපුඩුවෙන් ආරම්භ කරන්න. පසුව කවාකාරව පරික්ෂා කරමින් පියයුරේ පිටත සීමාව දක්වා ම පැමිණෙන්න. (මේ ක්‍රමයට සම්පුර්ණ පියයුරම පරික්ෂා කළ යුතුය)
    • ඉන් පසුව ඔබේ එක් අතක් හිස පිටුපසට තද කොට තබාගෙන නැවතත් පෙර පරිදිම ක්‍රමවත් ව පරික්ෂා කරන්න. මෙලෙසට ඔබේ කිහිල්ල ප්‍රදේශය ද හොදින් පරික්ෂා කළ යුතුය.
    • මිළගට ඔබේ මහපටැගිල්ල හා අත් ඇගිලි අතර තනපුඩුව තබා මෘදු ලෙස මිරිකා පරික්ෂා කරන්න. (යම් ස්‍රාවයක් පිටවේදැයි බලන්න)

    ප්‍රතිකාර

    පසුගිය වසර කිහිපය තුළ පියයුරු පිළිකා ප්‍රතිකාර ඉතා දියුණුවට පත්ව ඇත. මෙහිදි ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර, හෝර්මෝන ප්‍රතිකාර හා පිළිකා නාශක ඖෂධ යනාදී වශයෙන් විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් පවතී.
    පිළිකාව සොයා ගැනීමට ත්‍රිත්ව පරික්ෂාව යොදා ගනි.

    • වෛද්‍යවරයෙකු සිදු කරන කායික පරික්ෂාව
    • ස්කෑන් හා මැමෝග්‍රම් පරික්ෂණය
    • පිළිකාවක් යැයි සැක කරන ස්ථානයෙන් පටක කොටසක් ගෙන පරික්ෂා කිරීම

    පියයුරු පිළිකාව සොයාගැනීමෙන් පසු වෛද්‍යවරුන් විසින් ඔබ සමග සාකච්ඡා ‍කොට ඔබට ම විශේෂිත වු ප්‍රතිකාර සැලැස්මක් සකස් කරයි.
    සාමාන්‍යයෙන් පළමුව ශල්‍යකර්ම සිදු කරයි.
    පිළිකා නාශක ඖෂධ එම සැලැස්මට අන්තර්ගත නම් මීලගට එම ඖෂධ ලබා දෙයි.
    විකිරණ ප්‍රකතිකාර සාමාන්‍යයෙන් මෙයට පසු ලබා දෙයි.
    පිළිකාව හෝර්මෝන ප්‍රතිග්‍රාහක සහිත නම් හෝර්මෝන ප්‍රතිකාර ලබාදේ. (උදා ටැමෝක්සිෆෙන්, ඇරොමටේස් එන්සයිම නිශේධක)

    සැකසුම – තුෂාධවි

  • තේ කර්මාන්ත සංවර්ධනය පැතිකඩ කිහිපයකින් – යෝජනා රැසක් ජනපති විමසුමට

    තේ කර්මාන්ත සංවර්ධනය පැතිකඩ කිහිපයකින් – යෝජනා රැසක් ජනපති විමසුමට

    බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළයුතු යැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. කර්මාන්තයේ බිද වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා තිබූ ඉහල ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටී.

    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ප්‍රධාන වතු සමාගම් 20න් 10ක් අක්‍රීයව ඇත. කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත්කර ගන්නා විට වතු සමාගම්වල නිෂ්පාදන ධාරිතාව සීග්‍රයෙන් පහත වැටී ඇතැයි අනාවරණය කෙරිණ. පාඩු ලැබීමට සහ අකර්මණ්‍යයට හේතු කෙටි කලකදී  හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. පාඩු ලබන වතු සමාගම් නියාමන ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීයත්වයට පත් කිරීමට  තීරණය කෙරිණ.

    මාර්ග, රෝහල්, පාසල් සහ සනීපාරක්ෂාව ඇතුළු යටිතල පහසුකම් රජයේ මෙහෙයවීමෙන් සම්පාදනය කොට තිබියදී  වතු සමාගම් පාඩු ලැබීම ගැඹුරින් විමර්ශණය  කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය . ඉහළ අස්වැන්නක් සඳහා තේ වතු ප්‍රතිසංස්කරණය කොට නැවත වගාව ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    තේ පැල අස්වනු නෙළන තෙක් වගාකරුවන්ට ස්වයං රැකියාවක හෝ වෙනත් ජීවනෝපායක හෝ නිරතවීමට  සහන සැලසීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා  පෙන්වා දුන්නේය.

    තේ පිළිබඳ නව පර්යේෂණවල සොයා ගැනීම් ප්‍රයෝජනයට නොගැනීම කර්මාන්තයේ පසුබැසීමට හේතු වී ඇති බව ප්‍රවීණයන්ගේ අදහස විය.  පර්යේෂණ සඳහා ප්‍රමුඛත්වය දෙමින් නව වෙළෙඳපොළ හඹා යෑමේ අවශ්‍යතාව ඔව්හු පෙන්වා දුන්හ. ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති Bio Tea (ජෛව තේ) කර්මාන්තය ව්‍යාප්ත කරමින් ලාභ ඉපැයීමේ හැකියාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. වැවිලි කළමනාකරණ සහ නිරීක්ෂණ අංශය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් වසංගතය හමුවේ ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ දී රජය ගත් තීරණ හේතුවෙන් හාරලක්ෂ විසි එක් දහසකට ආසන්න කුඩා තේ වතු හිමියන් ආරක්ෂා වූ බව පැවසූ කුඩා තේ වතු නියෝජිතයෝ ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ප්‍රශංසාව පළ කළහ.

    අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල  ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, වතු නියෝජිතයෝ සහ තේ වැවිලිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • සෞදියෙන් පිටව යන  ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට සෞදි රජයෙන් සහනයක්

    සෞදියෙන් පිටව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට සෞදි රජයෙන් සහනයක්

    සෞදි අරාබියෙන් පිටවී යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා සහනයක් ලෙස ඔවුන්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.

    වීසා වලංගු කාල සීමාව තුළ දී කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සවුදි අරාබි රාජධානියෙන් පිටවීමට නොහැකි වූ ඕනෑම ආකාරයක වලංගු හෝ කල් ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෙකුට, පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය කිරීමෙන් තොරව ගුවන් තොටුපළවල විගමන ස්ථාන හරහා එරටින් පිටවීමට අවසර දීම සඳහා සවුදි අරාබි රජය ඉදිරිපත් වී සිටී. මෙය කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන තත්වයන් සැලකිල්ලට ගනිමින් එම රජය විසින් ගනු ලැබූ තාවකාලික පියවරකි.

    සවුදි අරාබි රජය විසින් ගන්නා ලද මෙම තීරණය මඟින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සැලකිය යුතු සහනයක්  ලැබේ. මෙම තීරණය දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවන්හි ප්‍රතිඵලයක් වන අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සවුදි බලධාරීන් සමඟ පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරී  සබඳතාවන්  අවධාරණය කරයි.

    කොවිඩ්-19 ගෝලීය වසංගත සමය තුළ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වූ සුභසාධන ක්‍රියාමාර්ගවලට පහසුකම් සැපයීමට ඔවුන්ගේ සහාය ලබා දීම පිළිබඳව  සවුදි අරාබි  රජයට අපගේ කෘතඥතාව පළ කිරීමට ශ්‍රී ලංකා රජය මෙම අවස්ථාව යොදා ගනී.

    විදේශ අමාත්‍යාංශය – කොළඹ