Category: සුපිරි News

  • Covid-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200ක පරිත්‍යාගයක්

    Covid-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200ක පරිත්‍යාගයක්

    ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව අද දින (02) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

    එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව  නිෂ්පාදිත මෙම උපකරණ කොවිඩ්-19 වෛරසයෙන් පීඩාවට පත් රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා පහසුවෙන් යෙදවිය හැක. එක්සත් ජනපද රජය 1956 සිට ශ්‍රී ලංකාවට සංවර්ධන හා මානුෂීය ආධාර සපයනු ලබයි.  පසුගිය වසර 20 තුළ එක්සත් ජනපදය ඩොලර් මිලියන 26 කට වැඩි සෞඛ්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ඩොලර් මිලියන 5.8 කට වැඩි මුදලක මෙම පරිත්‍යාගය සමඟ අනුපූරක පුහුණුව හා නඩත්තු සහාය ලබා දෙනු ලබයි.

    මෙම අති නවීන Portable ventilators යන්ත්‍ර ශ්‍රී ලංකාවට ලබාදීමට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර අදට දින 216 ක් වනවා. COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාර්තාවීමත් සමග, රට තුළ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සහ ප්‍රජා සම්ප්‍රේෂණය වැළැක්වීමට අප රටේ දේශපාලන කැපවීම විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ සහ ඊට සම්බන්ධ අනෙකුත් විෂයයන් එකට ගෙන ජාතික කාර්ය සාධක බලකාය පිහිටුවීමට කටයුතු කළා. ඔවුන්ගේ මූලික කාර්යය වූයේ වසංගතය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව රජයට උපදෙස් ලබා දීමයි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා අනෙකුත් අංශවල ප්‍රධාන නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුවක් ද පත් කළා.”

    “ශ්‍රී ලංකාවේ COVID-19 සඳහා වූ උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම මත පදනම්ව, USAIDS ඇතුළු විවිධ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය අගය කළ යුතුයි.”

    “COVID-19 ආසාදනයේ ප්‍රකට සංකූලතාවක් වන නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට සිදු කරනු ලබන ප්‍රතිකාර සේවාවන් වල දී Portable ventilators (අතේ ගෙන යා හැකි, වාතාශ්‍රය ලබාදිය හැකි උපකරණ) අත්‍යවශ්‍ය වන අතර, ඒ අනුව Portable ventilators උපකරණ 200 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරමින් මෙම අවස්ථාවේ දී සහයෝගය ලබාදීම පිළිබඳව එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියට (USAIDS) සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියට මෙරට රජය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් මාගේ අවංක කෘතඥතාව ප්‍රකාශ කරන්න කැමැතියි. කොවිඩ් ආසාදිතයින්ගේ ජිවිත බේරා ගැනීමට මහෝපකාරී වන මෙම Portable ventilators යන්ත්‍ර දිවයිනේ ද්විතීයික හා තෘතීයික මට්ටමේ රෝහල් අතර බෙදා හැරීමට කටයුතු කරනවා. මෙම පරිත්‍යාගය මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා අප දරන උත්සාහයට සහයෝගය දීමක් වන අතර, එමගින් සෞඛ්‍ය සේවාවන් තවත් ඉහළ නැංවීමට හැකි වනු ඇති බව ද ප්‍රකාශ කරන්න කැමැතියි.”

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලොම්බගේ මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය එස්.එච් සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  එස්.ශ්‍රීධරන් මහතා, අතිරේක ලේකම්  (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

  • Covid වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ – නවතම පර්යේෂණයක් කියයි

    Covid වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ – නවතම පර්යේෂණයක් කියයි

    කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරෙන් වෛරසය මුළුමනින්ම පහවයාම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1162දෙදෙනකු යොදාගෙන කළ පීසීඅර් පරීක්ෂණ මගින් හඳුනා ගෙන ඇතැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට වෛද්‍ය සඟරාවක සඳහන් වේ.

    ඒ අනුව එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන පීසීඅර් පරික්ෂාවක් අනුව බව එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.

  • උද්ධමනය අගෝස්තු මාසයේ දී පහළට

    උද්ධමනය අගෝස්තු මාසයේ දී පහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය.

    2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

    2020 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.0ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයේ මිල ගණන් සියයට 0.1කින් ඉහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ ඒ හා සමාන ප්‍රතිශතයකින් සිදු වූ මිල පහළ යෑම මගින් තුලනය වීම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි පොල්, එළවළු සහ කහ මිල ගණන්වල ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, නැවුම් මත්ස්‍ය සහ දෙහි මිල ගණන්වල සැලකිය යුතු පහළ යෑමක් මෙම මාසයේ දී වාර්තා විය. ආහාර නොවන කාණ්ඩයෙහි, සෞඛ්‍ය (වෛද්‍ය රසායනාගාර සඳහා ගෙවීම්) උපකාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්, 2020 අගෝස්තු මාසයේ දී පහළ ගියේය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 3.2ක් ලෙස නොවෙනස්ව පැවතුණි. කෙසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ජූලි මාසයේ දී පැවති සියයට 4.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 3.8 දක්වා තවදුරටත් පහළ ගියේය.

  • පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි  ඉල්ලීමක්

    පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්

    පෞද්ගලික උත්සව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස ජනාධිති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් මගින් අද (01) ඉල්ලීමක් කළා.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි,

    ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබේ.

    ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට  අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවනට  එක්වන ලෙස එතුමාට ඇරයුම් කරති. ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි.

    එසේ වුවද නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන හැම පැයම ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටී.

  • මීලඟට.. ජල කප්පාදුවක් අත ලඟ..

    මීලඟට.. ජල කප්පාදුවක් අත ලඟ..

    පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

    එහි සභාපති නිශාන්ත රණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් ජලය භාවිත කරන ලෙසටත් එහිදීද හැකිතාක් ජලය ආරක්‍ෂා කර ගැනීම අතිශය වැදගත් බවත් ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

    ප‍්‍රදේශ රැසකට මේ වනවිටත් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා. ඇතැම් ප‍්‍රදේශවලට පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේදී පවා මේ වනවිට ගැටළුකාරී තත්ත්වයකට මුහුණුපාමින් සිටිනවා.

    මේ අතර තාවකාලික වැසි තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ සදහන් කළේ.

  • අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරම මෙන්න(වීඩියෝ)

    අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරම මෙන්න(වීඩියෝ)

    විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව පොලිසිය විසින් ඊයේ (31) මහජනතාව දැනුවත් කළා.

    එහිදී වංචාකරුවන් විසින් උපායමාර්ගිකව පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් වංචාවක් සිදුකරන බවයි තොරතුරු හා මාධ්‍ය දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා පවසන්නේ.

    යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මෙසේ තොරතුරු ලබා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි.

  • වෙබ් මාධ්‍යවේදී ඩෙස්මෑන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට

    වෙබ් මාධ්‍යවේදී ඩෙස්මෑන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට

    වෙබ් මාධ්‍යවෙදියෙකු වන ඩෙස්මෑන් චතුරංග ද අල්විස් මහතා අද(31) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරුවේ ඩෙස්මෑන් චතුරංග ද අල්විස් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදීයි.

    අල්විස් මහතාට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත

    අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පලකළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගත් බව ඔහුගේ බිරිද සදහන් කලාය.

  • දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය  සැප්තැම්බර් 02 ඇරඹේ

    දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය සැප්තැම්බර් 02 ඇරඹේ

    දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා  ඇරඹේ.

    රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම  වැඩසටහනෙහි අරමුණයි.

    • රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය.
    • කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම.
    • අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවු.18ට නොඅඩු හා 40ට නොවැඩි වීම.
    • සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
    • වයස්ගත, රෝගතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
    • අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
    • පුහුණුව සඳහා තෝරා ගැනීම.
    • එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ.
    • අයැදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කෙරේ.
    • තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල හෝ ඇති පුහුණු මධ්‍යස්ථානවලදී  පුහුණුව  ලැබේ.
    • සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල හෝ රැකියා නියුක්ත කෙරේ.
    • වැටුප් හා දීමනා
    • මාස හය (6) ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රු 22,500.00ක දීමනාවක් හිමි වෙයි.  පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව, සිය ස්ථීර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් (රු.35,000) හා දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව ඇත. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

    අදාළ ක්ෂේත්‍ර සඳහා රැකියා ප්‍රදානය ඉහත නිර්නායක මත පමණක් සිදු කෙරෙන අතර, රැකියාලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේපවීමට හේතුවකි.

  • ගොවීන්ගේ ආදායම වෙනුවෙන් ‘පටිතදකර ගන්නා ලෙස’ ජනපති ජනතාවට කියයි

    ගොවීන්ගේ ආදායම වෙනුවෙන් ‘පටිතදකර ගන්නා ලෙස’ ජනපති ජනතාවට කියයි

    ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. මිල පාලනයට හෝ පහත හෙළීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    කෙටි කාලීන අපහසුතාවට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපතිවරයා කියා සිටී.

    අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.

    40%ක් පමණ වන ග්‍රාමීය ගොවි ජනතාවට ස්ථීර සහ ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නම් තම අස්වැන්නට ඉහළ මිලක් සහ ස්ථාවර වෙළඳපොළක් රට තුළ පවතින බවට විශ්වාසය තහවුරු කළ යුතුය. එසේ නොකර ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තය සඳහා දිරිගැන්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාව පෙන්වා දුන්නේය.

    විදේශ විනිමය අනුපාතය පාලනයට සහ ඉහළ ණය බරින් මිදීමටත්, ආනයනය  සීමා කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් ද කොවිඩ් වසංගතයත් සමග ආනයනය සීමා පනවා ඇති බව ජනාධිපති විසින් පෙන්වා දෙනු ලැබිණ.

    දුප්පත්කම පිටුදැකීමට ක්‍රියාත්මක රැකියා ලක්ෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. සමෘද්ධිලාභීන්ගේ පෝෂණයට ඒ අය දායක කරගත යුතුය. ගෙවතු වගාව සහ බිත්තර සඳහා කුකුලන් දීම මගින් ඔවුන්ගේ පෝෂණ සහ ජීවන මට්ටම ඉහළ නැංවිය හැකිය.

    භාණ්ඩ මිල ඉහළ යාමේදී නාගරික මධ්‍යම පාන්තිකයන් මුහුණ පාන ගැටළු සඳහා විසදුම් දීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කොවිඩ් වසංගතයත් සමග ගොවි අස්වැන්න සහන මිලකට සෘජුව පාරිභෝගිකයා වෙතම ලබාදීමට රජය පියවර ගත්තේය. එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් අතරමැදියන්ගෙන් සූරා කෑම වළක්වා ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, නාගරික ජනතාව ඉහළ  ජීවන බරින් නිදහස් කිරීමත් සමගාමීව සිදුවිය යුතු බව  ජනාධිපති පෙන්වා දුන්නේය.

    ඒ සඳහා සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවලද  සහාය ඇතිව ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙතම බෙදාහැරීමට පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.

    රට පුරා ව්‍යාප්ත ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කර ගොවි අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද ජීවන වියදම් අනුකාරක සභාව සාකච්ඡා කළේය.

    සතියකට වතාවක් වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස ජනාධිපති විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

    ජාතික හා දිස්ත්‍රික් වශයෙන් පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර ප්‍රමාණය හඳුනාගැනීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ගෙවතු වගා කළමනාකරණය සහ කුකුල් පාලනය ප්‍රචලිත කිරීම කෙරෙහි ඉදිරි පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    කව්පී, උඳු, රට කජු, තල, කුරක්කන් සහ ළූණු වගාවන් සාර්ථක වී ඇති නිසා ඉදිරියේදී ඒවා ආනයනය අවශ්‍ය නොවන බවද නිලධාරීහූ පෙන්වා දුන්හ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශෂින්ද්‍ර රාජපක්ෂ, ලසන්ත අලගියවන්න මහත්වරු සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : ඩී. සමරකෝන් – ජනාධිපති මාධ්‍ය අංශය )

  • Covid-19 මර්දනයට ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙතට චීන රජයෙන් පැසසුම්

    Covid-19 මර්දනයට ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙතට චීන රජයෙන් පැසසුම්

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක්  පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, දෙරට අතර සබඳතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කෙරිනි.

    මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට ලක්ව සිටි පසුගිය කාලය තුල ශ්‍රී ලංකා රජය ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක්ව ඇති බවයි. 

    ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත පිළිබදව චීන රජයේ අවධානය යොමුව ඇති බවත්, චීන රජය ඒ පිළිබද ඉතා පැහැදීමට ලක්ව  ඇති බවද ප්‍රකාශ කරන ලදි. පසුගිය සමය තුල චීන රජය නිරන්තරයෙන් මෙරටට ආධාර උපකාර සිදු කළ බවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයටත්, කොවිඩ් වෛරසය හේතුවෙන් ඉදිරියේ දී ගැටළුකාරි තත්ත්වයන් ඇතිවුවහොත් සහ නව රජයේ ඉදිරි වැඩපිළිවෙල සදහා සියළු සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කරන ලදි. 

    පැවැති ව්‍යසනයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය  අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු  කොට බවත්, එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තවත් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට නැවැත අවස්ථාව ලැබී ඇති බව ද ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා වැඩිදුරටත් පැවැසීය. 

    සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ  උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ වෛරසය මැඩපැවැත්වීමට තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ බවයි. විනයගරුක ජාතිකයින් ලෙස චීන ජාතිකයින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ නිරෝධායන නීතිරීති නිසි පරිදි  පිළිපැදීම සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස තමා ඉතා අගය කොට සළකන කරුණක් බවත්,  චීන ජාතිකයින්ගේ එම ආදර්ශමත් හැසිරීම වෛරසය පැතරයාම පාලනයට මනා පිටුවහළක් වූ බවත්, කිසිදු අයුරකින් වෛරසය පැතිරයාමට ඔවුන් ඉඩක්  ලබානොදුන් බව ද අවධාරණය කරන ලදි. ඒ පිළිබද චීන රජයටත්, චීන ජාතිකයින්ටත් සිය ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද, චීන රජය පැවැති ව්‍යසනකාරි තත්ත්වය තුල ද මෙරටට විශාල වශයෙන් ආධාර උපකාර සිදු කිරීම පිළිබදව ද සිහිපත් කරන ලදි. චීනය සමග ශ්‍රී ලංකාව සැමදාම අත්වැල් බැදගෙන සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්ව සිටියහ.

  • චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකිය

    චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකිය

    මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි. අප කළ විමසීමකට පිළිතරු දෙමින් රජිත කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමක් බවත් මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකි බවත්ය.

    මේ සම්බන්ධයෙන් ඔහු මෙසේද සදහන් කළේය.

    2015 ජනාධිපති පූර්ව සමයේ මිනිසෙකුට වෙඩි තබා ඝාතනය කළ චොකා මල්ලීට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව මා දිගින් දිගටම පෙන්වා දුනිමි.  රත්නපුර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා)  සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට නීති උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට ඇත.

    දැනගන්නට ඇති අයුරින්, නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමකි. මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකිය.

    ඒ අනුව, පුද්ගලිකවම මම ත්, සමගි ජන බලවේගය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) සම්බන්ධයෙන් මේ දක්වා දැරූ ස්ථාව තහවුරුවී ඇත.

    මැතිවරණ කොමිසම ඇතුළු විෂය දැනුමක් සහිත පුද්ගලයින් ගේ අදහස වූයේ ද, පාර්ලිමේන්තුවේ විෂය භාර නිලධාරීන්ගේ අදහස ද මෙයම වේ.  හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මරණ දඩුවම නියම වූ පසුව සබරගමුව පලාත් සභාවේ සභා ලේකම් ගේ ඉල්ලීම පරිදි ඉල්ලා අස්වීය.  එය ද නීතිපති උපදෙස් මත සිදු  වූවේය.  මේ පිළිබඳව හසිත මුහන්දිරම් පැවරූ නඩුවෙන් ද ඔහු පරාජයට පත් වූ අතර පළාත් සභා මන්ත්‍රී ධූරයට හිමිකමක් නොමැති බව තීරණය විය.

    සරත් ෆොන්සේකා මහතා ට සිර දඬුවම් නියම කිරීමෙන් පසුව, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීම එවකට සිටි කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් වලක්වනු ලැබීය. රත්නපුර ලැයිස්තුවේ ඊලඟ පොහොට්ටුවෙන් සිටින්නේ මනාප 53281 බැගින් සමාන ඡන්ද ලැබූ සනී රෝහණ කොඩිතුවක්කු සහ රංජිත් බණ්ඩාර මහත්වරුන් ය.   ප්‍රේමලාල් ජයසේකර ඉවත් කළ පසුව, පත්වන මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න තීරණය වන්නේ කාසියක් උඩ දැමීමෙනි.

  • 2020 සාමාන්‍ය පෙළ විභාගයත් කල් යයි – 2021 ජන. 01 – 17 අධ්‍යන නිවාඩු

    2020 සාමාන්‍ය පෙළ විභාගයත් කල් යයි – 2021 ජන. 01 – 17 අධ්‍යන නිවාඩු

    2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත. ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා  දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.

    තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වන අතර, 2020-දෙසැම්බර් 23 දායින් අවසන් වේ. 2020 වසරේ වාර අවසාන නිවාඩුව  දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය  ජනවාරි 04 වැනිදායින් ආරම්භ කෙරේ.

    2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021-01-18 සිට 2021-01-27 දක්වා පැවැත්වේ. මෙම කාල පරිච්ඡේදය  සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවේ.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි.

  • ‘සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට’ මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    ‘සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට’ මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල  ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ  බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත.

    එහි සඳහන විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කල වෙළඳපල මිලකට මෙරට තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.

    ඉහත පරිදි සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කල වෙළඳපල මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී  අදාල බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.

  • යහපාලන යුගයේ ‘රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයා ගන්න’ මහජන සහාය ඕනෑ

    යහපාලන යුගයේ ‘රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයා ගන්න’ මහජන සහාය ඕනෑ

    2015 – 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ.

    ඒ් අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණුදෙනු පිළිබඳව ජනතාව සතුව කිසියම් හෝ තොරතුරු වේ නම් එම තොරතුරු  2020 සැප්තැම්බර් මස 15 වැනි දිනට පෙර, අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ ananda_sl@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකිරීමට කටයුතු කරන ලෙස එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

    ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයාබැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව පත්කළ මෙම සිව් පුද්ගල කමිටුවේ ප්‍රථම හමුවේදී මෙම තීරණය ගත් අතර, එහි දී අදාළ බැංකුවල වෘත්තිය සමිති විසින් ද අක්‍රමිකතාවලට අදාළ ලිපිගොනු රැසක් කමිටුව හමුවට ඉදිරිපත් කෙරිණි.

  • මෙපමණ කාලයක් වනඅලි – මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමට නොහැකිවීම ගැන ජනපති මවිත වෙයි

    මෙපමණ කාලයක් වනඅලි – මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමට නොහැකිවීම ගැන ජනපති මවිත වෙයි

    වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

    වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි විය. වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ.  මේ වසරේ ගත වූ මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62කි. මිය ගිය අලි සංඛ්‍යාව 200කි. මේ නිසා වගා කටයුතුවලට,  දෛනික ජන ජිවිතයට මෙන්ම වන අලි ගහණයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බව ජනාධිපතිවරයා පැවසීය.

    හෙක්ටයාර දොළොස් ලක්ෂයක කැලෑ බිමක්  වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබේ. වන සතුන්ගේ ආහාර පිළිබඳ සොයා බැලීම ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    දීර්ඝ කාලයක සිට පවතින ගැටළුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිවරයා මවිතය පළ කළේය.

    වන අලි ගම් වැදීම වළක්වා ජන ජීවිතය සහ වගා බිම් ආරක්ෂා කිරීමට ස්ථීර විසඳුම්ක් සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

    රක්ෂිත භූමිවල ඇති වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයට සහ ඒ ආශ්‍රිතව තෘණ වගාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    කඩොලාන සංරක්ෂණය සහ පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ. කඩොලාන වගා කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ හිමිවන අයුරින් නීති ලිහිල් කළයුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    කඩොලාන ආශ්‍රිතව ඉස්සන් වගාව කරගෙන යාමට ඇති හැකියාව ද නිලධාරීහූ පෙන්වා දුන්හ.

    ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

    ජනතා උද්යෝගය මත ක්‍රියාත්මක ව්‍යාපෘති ජනතා අවධානයෙන් මිදී ඇති කාලයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් වගබලා ගතයුතු යැයි  ජනාධිපතිවරයා පැවසීය.

    අමාත්‍ය සී.බී. රත්නායක, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

    ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

    ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් සිදුවේ.

    මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොලඹ කාර්යල හරහා වෙන්කරවා ගැනීම් සිදුකල හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.