Category: සුපිරි News

  • මහ බැංකුව විසින් නියාමනය කරන ආයතනවලට අදාළ විමසීම් කිරීමට මහජනතාවට අවස්ථාව

    මහ බැංකුව විසින් නියාමනය කරන ආයතනවලට අදාළ විමසීම් කිරීමට මහජනතාවට අවස්ථාව

    මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින සිට ස්ථාපනය කරන ලදී.

    මූල්‍ය පාරිභෝගිකයින්ගේ පැමිණිලි සහ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කිරීම යනු මූල්‍ය වෙළෙඳපොල නියාමනය සහ දිගු කාලීන මූල්‍ය පද්ධති ස්ථායිතාවයේ පරමාර්ථයකි. මූල්‍ය සේවා සැපයීමේදී මූල්‍ය සේවා සපයන්නන් අතර වැඩි වන තරඟකාරිත්වයත් සමඟ, මූල්‍ය සේවා භාවිතා කරන්නන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහ එමඟින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සුදුසු යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොලෙහි මූල්‍ය පාරිභෝහිකයින්ගේ අත්දැකීම් පිළිබඳ මෑත කාලීන වාර්තා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව  විසින් නියාමනය කරනු ලබන ඇතැම් මූල්‍ය සේවා සපයන්නන් මෙන්ම අවිධිමත් මූල්‍ය සේවා සපයන්නන් විසින් ඉතා ඉහල  මූල්‍යමය සාක්ෂරතාවයකින් යුත් පාරිභෝගිකයින් පවා නුසුදුසු වෙළෙඳපොල හැසිරවීමට ගොදුරු කරගෙන ඇති බවයි.

    ආරම්භයේදී, ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන පිළිබඳ මූල්‍ය පාරිභෝගික පැමිණිලි සහ දුක්ගැනවිලි කෙරෙහි මෙම මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ලබන අතර වෙළෙඳපොල හැසිරීම අධීක්ෂණය කිරීම, පාරිභෝගික සවිබල ගැන්වීම, මූල්‍ය පාරිභෝගික අධ්‍යාපනය, මූල්‍ය සේවා සපයන ආයතන වල අසාධාරණ තරඟකාරිත්වය නියාමනය කිරීම වැනි ක්ෂේත්‍ර දක්වා ආවරණය පුළුල් කිරීම අපේක්ෂා කෙරෙනු ඇත. මෙම ආරම්භයේ අවසාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පාරිභෝගිකයින්ගේ සහ ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීම වේ.

    ඒ අනුව පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනවලට අදාළ විමසීම්, පැමිණිලි සහ දුක්ගැනවිලි යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සලසෙනු ඇත.

    දුරකථන : 94 11 247 7966
    ෆැක්ස් : 94 11 247 7744
    තැපැල් ලිපිනය : මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
    විද්‍යුත් තැපැල් ලිපිනය : fcrd@cbsl.lk

  • 4% ණය ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 30

    4% ණය ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 30

    2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

    ඉහත පහසුකම යටතේ බලපත්‍රලාභී බැංකු මඟින් අයදුම් කරන ලද ණය අයදුම්පත් 36,489ක් සඳහා රුපියල් මිලියන 100,017ක් අනුමත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 අගෝස්තු 18 වන දිනට රුපියල් බිලියන 100ක ණය කඩඉම අභිබවා යන ලදී. අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු 2020 අගෝස්තු 18 වන විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින් 25,365ක් අතර බිලියන 68.5ක් මුදා හැර ඇත. (විස්තර සඳහා 1 වන වගුව බලන්න).

  • ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ටත් ‘රුසියානු එන්නත’ භාවිත කිරීමට යයි

    ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ටත් ‘රුසියානු එන්නත’ භාවිත කිරීමට යයි

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර විශේෂ හමුවක් අද දින (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

    විශේෂයෙන් මෙහිදී කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයෙදී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවට එය සාර්ථකව මර්ධනය කිරීමට හැකිවූ බව සිහිපත් කල තානාපතිවරයා  ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයටත් ඒ සදහා නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ ප්‍රසංසාව පල කර සිටියේය.

    කොවිඩ් වෛරස ප්‍රතිකාර හා මර්ධනය  සදහා රුසියාව විසින් නිපදවනු ලැබූ  නව එන්නත පිළිබදවද තානාපතිවරයා විසින් අමාත්‍යවරිය දැනුවත් කල අතර එම එන්නත පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ  සහ අනුමැතිය ලැබුනු පසු ශ්‍රී ලංකවේ කොවිඩ් මර්ධනය හා ප්‍රතිකාර කටයුතු සදහා එම ඒන්නත භාවිතා කිරීමට කටයුතු කරන බව අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා හට  අවධාරණය කළාය.

    ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සදහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකල බැවින් ඒ් සදහා ශ්‍රි ලංකා රජයේ විශේෂ ස්තූතිය පුද කර සිටින බව මෙහිදී අමාත්‍යතුමීය සදහන් කළාය.

    මේ පිළිබදව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සදහන් කලේ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල වලට  වැඩිදුර අධ්‍යාපනය සදහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට   කටයුතු කරන බවය.

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද ලේකම් Rostislav LENCHUK  මහතාද මෙම අවස්ථාවට ඒක්විය.

  • බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නවා – ජනපති

    බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නවා – ජනපති

    මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

    විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි   අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දී ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.

    ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය  කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස්  කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන්නේයැයි  කීය. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක්  සහ  නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය  ප්‍රසාදය පළ කළහ.

    මෙවර පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ඇතුළු තනතුරුවලට තෝරාගැනීමේදී අනුගමනය කළ පිළිවෙත රටටම ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ. පසුගිය රජය සමයේ එම තනතුරුවලට පත්කළ ආකාරය ජනතාව පිළිකුල් සහගතව බලා සිටී බව  උන්වහන්සේ පෙන්වා දුන්හ.

    අමාත්‍යාංශ සිමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරිකිරීමට ඉවහල් වන බව  අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.  

    “යහපත් සිහිය” ජීවිතයට ඉතා වැදගත්වන බව පෙන්වා දුන් මිතිරිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමියෝ එය පාසල් පංතිකාමරයට හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

    ගුරු භික්ෂුන් වහන්සේට, දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට රෝහල්ගතව ප්‍රතිකාර  ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමාන රක්ෂණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ යෝජනා කළහ.

    රජයේ රැකියාදීමේදී දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමයක වැදගත්කම පූජ්‍ය දිවියගහ යසස්සි හිමියෝ පෙන්වා දුන්හ.

    භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් හෝ ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍ය බව මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ යෝජනා කළහ.

    බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සමුගනී

    පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සමුගනී

    නික්ම යන පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) අද (21) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් සජාඩ් අලී ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ සිය මතකයන් මෙන්ම වසර ගණනාවක් තිස්සේ ත්‍රිවිධ හමුදාව සමඟ පැවති මිත්‍රශීලි සබඳතාවයන් ද යළි ආවර්ජනය කළේය.

    වර්ෂ 2009 මැයි මාසයට පෙර වන්නි ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුම්වල තීරණාත්මක අවස්ථාවන් වලදී පාකිස්තාන හමුදාව ලබාදුන් සහයෝගය පිළිබඳව මෙම සුහද හමුව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිහිපත් කළේය.  යුද්ධ හමුදාධිපතිතුමන් අසල්වාසි රටක් ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට අඛණ්ඩ පුහුණු අවස්ථා සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැලසීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය. තවද,  නික්ම යන පකිස්තාන ආරක්‍ෂක උපදේශකතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභාශිංෂනයක් ද පළ කළේය.

    ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට පාකිස්තාන හමුදාවේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වූ කර්නල් සජ්ජාඩ් අලි ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් දැක්වූ කැපවීම සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර ඵලදායී සේවා සබඳතා පවත්වාගෙන යාම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ අනුපමේය මෙහෙවර පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය. පාකිස්තානයේ සන්නද්ධ හමුදාවේ සාමාජිකයින්ට ශ්‍රී ලංකාවේ විවිධ පුහුණු පාඨමාලා සඳහා නවාතැන් ඇතුළු සියළු පහසුකම් සැපයීම පිළිබඳව නික්ම යන ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදාවට සිය ස්තූතිය පුද කළ අතර පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්ම යාමට දින කිහිපයකට ප්‍රථම මෙම නිල හමුව පැවැත්විණි.

    මෙම සුහද හමුව අවසානයේ නික්ම යන පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.

  • අපනයන සංවර්ධනය කෙරෙහි නව රජයෙන් සුවිශේෂ අවධානයක්

    අපනයන සංවර්ධනය කෙරෙහි නව රජයෙන් සුවිශේෂ අවධානයක්

    ගෝලීය මට්ටමින් උද්ගත වන ආර්ථික අර්බුදයට මුහුණ දීමට සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් අපනයන ක්‍රියාවලිය මගින් සිදු කළ හැකිය. වත්මන් රජය විසින් රටේ අපනයන ප්‍ර‍වර්ධනය සඳහා දක්වන උනන්දුව ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය මගින් ද, අමාත්‍යංශ විෂය පථයන් නම් කොට ඇති ආකාරයෙන් ද පැහැදිලි වෙයි.

    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සෑම රජයක් ම අපනයන ක්‍රියාවලිය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වා තිබුණ ද, දේශීය කර්මාන්ත නගා සිටුවීම, අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විෂය පථයන් ගණනාවක් නම් කිරීම, ඒ මගින් අපනයන විවිධාංගීකරණය ශක්තිමත් කිරීම කෙරෙහි වත්මන් රජය දක්වන අවධානය සුවිශේෂී වූවක් බව පෙනී යයි. ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනයේ සඳහන් ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකය’ මගින් අපනයන සංවර්ධනය හා ප්‍ර‍වර්ධනය සම්බන්ධ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට ඇත.

    එම ප්‍ර‍කාශනයේ සඳහන් පරිදි “ශ්‍රී ලංකාවේ නාමය ඓතිහාසිකව කාලයක් පුරා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළින් තබන ලද්දේ තේ, රබර්, පොල් කේන්ද්‍ර කරගත් අපනයන භෝගයන්ය. අනාගතයේ දීත් එම අවකාශය දිනා ගැනීම සඳහා වර්තමාන ගෝලීය වෙළෙඳපොළට ගැළපෙන ආකාරයට සහ වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහතික කර ගැනීම සඳහා නව තාක්ෂණය හා මුසු වටිනාකම් එකතු කිරීමේ නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.”

    COVID-19  තත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සඳහා අපනයන අංශය ඉදිරියට ගැනීම, දශක ගණනාවක් පුරා අපනයන ක්‍රියාවලියේ දී අඩු අවධානයක් යොමු වී තිබෙන කෘෂි අපනයන සඳහා වැඩි අවධානයක් යොමු කර තිබීම ද බලාපොරොත්තු සහගත ප්‍ර‍වණතාවයකි. අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අපනයන විෂය ඇතුළත් කොට තිබීම ඒ කාර්යය ප්‍රායෝගිකව සිදු කළ හැකි බවට සාක්ෂ්‍යයකි.

    • අරුන්දික ප්‍රනාන්දු මහතා -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත
      කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
    • කනක හේරත් මහතා -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා
      තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    • දයාසිරි ජයසේකර මහතා -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
    • ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා
      වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    • ලොහාන් රත්වත්තේ මහතා – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    • කංචන විජේසේකර මහතා – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
    • ඩී.බී. හේරත් මහතා – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත
      කර්මාන්ත
    • ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා
      අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික
      කෘෂිකර්ම

    රජයේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ, විෂයගත ප්‍ර‍මුඛතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් අදාළ අමාත්‍යංශ සම්බන්ධීකරණය කර ගනිමින් අපනයන ප්‍ර‍වර්ධනය අරභයා පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍ර‍භාෂ් සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් එම වැඩපිළිවෙල දියත් කෙරේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍ර‍මුඛ විෂය භාර අමාත්‍යවරුනුත්, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු විෂයානුබද්ධ රාජ්‍ය ආයතනත් එක්ව කටයුතු කිරීමෙන් මෙම වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කර ගත හැකි වනු ඇත.

  • ක්‍රෙඩිට් කාඩ් සහ උකස් ‘පොළිය අඩු කිරීමට’ මහ බැංකුවෙන් නියෝග

    ක්‍රෙඩිට් කාඩ් සහ උකස් ‘පොළිය අඩු කිරීමට’ මහ බැංකුවෙන් නියෝග

    ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන උපරිම පොළී අනුපාතය පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කළ හැකි උපරිමා පොළී අනුපාතිකය 28% සිට 18% ක් දක්වා පහත දමා ඇත.

    මේ වන විට බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 28% ක උපරිම පොළී අනුපාතිකයක් අයකරමින් සිටී.

    මේ අතර කලින් සකස් කර ගන්නා ලද තාවකාලික බැංකු අයිරා සඳහා අය කළ හැකි උපරිම පොළී අනුපාතිකය 16% ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර උකස් පහසුකම් වෙනුවෙන් අය කළ හැකි උපරිම පොළිය ද 10%ක් දක්වා අඩු කර ඇත.

  • පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි – මහ බැංකුව

    පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි – මහ බැංකුව

    මූල්‍ය ආයතනයන් හි පොරොන්දු නෝට්ටුවල (Promissory note) ආයෝජනය කිරීමේ දී ආයෝජකයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අවධාරණය කරයි.

    අද (20) පැවැති මාධ්‍ය හමුවකදී කරුණාරත්න මහතා මේ බව සදහන් කළේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේ පොරොන්දු නෝට්ටු තැන්පතු, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා සුදුසුකම් නොලබන බවයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පැහැදිලි කළ නියෝජ්‍ය අධිපතිවරයා – ‘මූල්‍ය ආයතනවල තැන්පතු, රක්ෂණ ආවරණයකට යටත් වෙලා තියෙන්නේ. නමුත්, තැන්පතු කියන නිවර්වචනය යටතේ සමහර වෙලාවට ‘පොරොන්දු නෝට්ටු‘ තිබෙන්න පුළුවන්. ඒ පොරොන්දු නෝට්ටු මේ යෝජනා ක්‍රමයට අයිති නැහැ. ඒ නිසා සමහර වෙලාවට වැරදි අවබෝධයක් ඇතිවෙන්න පුළුවන්සමහර අයට ඔය නිර්වචන විවිධාකාරයෙන්  තියෙන නිසා, පොරොන්දු නෝට්ටුත් මේ තැන්පතු ණය රක්ෂණ යෝජනා ක්‍රමයෙන් ආවරණය වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආයෝජනය කරන අයත් මෙය දැන ගත යුතු කරුණක්. ඒ නිසා අපි මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ, මේ තැන්පතු ආවරණය යටතේ ඉන්න අයට පමණයි මේ ආරක්ෂාව ලැබෙන්නේ. “

  • රාජ්‍ය සේවකයින්ට බතික් රෙදි අන්දවන්න දයාසිරි සූදානම් – නීතිත් ගේන බව කියයි

    රාජ්‍ය සේවකයින්ට බතික් රෙදි අන්දවන්න දයාසිරි සූදානම් – නීතිත් ගේන බව කියයි

    රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර රෙදි  හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ඔහුගෙන් කරුණු විමසු අවස්ථාවේ දීය.

    දයාසිරි ජයසේකර මහතා බතික් ඇඳුමකින් සැරසී එම අවස්ථාවට පැමිණ සිටි අතර ඔහුව කාගෙත් අවධානයට ලක්විය.

  • ‘මාධ්‍ය අතේ රෝලක් ගැන’ කරුගේ මාධ්‍ය ඒකකයෙන් පැහැදිලි කිරීමක්

    ‘මාධ්‍ය අතේ රෝලක් ගැන’ කරුගේ මාධ්‍ය ඒකකයෙන් පැහැදිලි කිරීමක්

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ  දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට අද දින මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමක් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අප වෙත යොමුකර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ  දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට අද දින මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමයි.

    කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් සමුගත් පසුව දෙදරා යමින් තිබූ එක්සත් ජාතික පක්ෂය      සමගිකරවීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව විශාල උත්සාහයක් දැරූ බව කිසිවෙකුට රහසක් නොවේ.

    නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම උත්සාහය නිෂ්ඵල වූ විට කිසිඳු පාර්ශවයකට සහාය නොදී මුළුමනින්ම   ස්වාධීනව සිටීමට එතුමා තීරණය කරන ලදි. ඒ අනුව සිය පාර්ශව⁣යන්ගෙන් මැතිවරණයට තරඟ කරන ලෙස හා එසේ නැතහොත් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කරන ලෙස එක්සත් ජාතික      පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් ලැබුණු ඉල්ලීම්ද ස්තුති පූර්වකව ප‍්‍රතික්ෂේප කරන ලදි.

     එපමණක් නොව සිය බෑණනුවන් වූ නීතීඥ නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ           දේශපාලනිකව කිසිඳු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට එතුමන් කටයුතු කරන ලදි.

     එසේනම්, සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු වූ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට ඔහුගේ වීඩියෝ පටයකට කරු ජයසූරිය මහතා අදහස් දක්වා ඇති බවට වන සඳහනෙහි පදනම කුමක්ද?

    ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා එම කාලය තුළ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව යොවුන් පාර්ලිමේන්තු සංකල්පය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ප‍්‍රසාදයක් එවකට කථානායකවරයා තුළ තිබිණි. 2019 සැප්තැම්බර් 03වන දින කථානායකවරයා හමු වූ එරන්ද වැලිඅංගේ මහතා ඉදිරියේදී තමා පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමට අපේක්ෂවෙන් සිටින බැවින් තමා පිළිබඳ ඇගයීමක් සිදුකරන ලෙස කථානායකවරයා ගෙන් ඉල්ලා සිටින ලදි. එවකට එක්සත් ජාතික පක්ෂය කිසිඳු ආකාරයකින් දෙකඩ වී නොතිබූ අතර නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය. එමෙන්ම ඒ වනවිට සමගි ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් බිහි වීම පිළිබඳව අදහසක්වත් පළව නොතිබිණි. සමගි ජන බලවේගය බිහි වූයේ ඉන් මාස ගණනාවකට පසුය.

     කෙසේ වෙතත් එම අදහස් දැක්වීමේ දී පුද්ගලයෙකු ලෙස එරන්ද වැලිඅංගේ මහතා පිළිබඳව ස්වකීය අදහස ඒ මහතාගේ ඉල්ලීම පරිදි සුභපැතුමක් වශයෙන් ප‍්‍රකාශ කළ අතර දේශපාලන පක්ෂයක් පිළිබඳව කිසිඳු සඳහනක් සිදුකර නැත.

    කෙසේ වෙතත් දේශපාලනිකව විනාශ වී අවසන් පිදුරු ගසේ එල්ලීමට උත්සාහ දරණ අසාර්ථක පුද්ගලයන් අතලොස්සක් විසින් කරු ජයසූරිය මහතා උගත් තරුණයෙකු පිළිබඳව පළ කරන ලද අදහසක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කරන ලද ප‍්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට කරනු ලබන නිර්ලජ්ජිත උත්සාහය  කණගාටුවෙන් යුතුව හෙළා දකිමු.

       කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය

  • පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ – අතුරු සම්මත ගිණුම හෙට න්‍යාය පුස්තකයට

    පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ – අතුරු සම්මත ගිණුම හෙට න්‍යාය පුස්තකයට

    පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

    ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස හෙට (21) දිනයේදී විවාදයට ගැනෙනු ඇත.

    මේ අතර ඉදිරි සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.

    අනතුරුව ලබන 27 සහ 28 යන දිනවලදී පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත් එම දින දෙක තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමටත් පක්ෂ නායකයෝ තීරණය කළහ.

    මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

    මෙම පක්ෂ නායක රැස්වීමට සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු උදය ගම්මන්පිල, මහාචාර්ය ගරු තිස්ස විතාරණ, ගරු රවුෆ් හකීම්, ගරු ගයන්ත කරුණාතිලක, ගරු මනෝ ගනේෂන්,  ගරු ඩග්ලස් දේවානන්ද, ගරු රංජිත් මද්දුමබණ්ඩාර, ගරු එම්.ඒ. සුමන්තිරන් සහ ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරු සහභාගී වූහ.  

  • රටේ ස්වෛරීභාවය සහ  ජනතාව රැකගෙන රට සෞභාග්‍ය කරා ගෙනයනවා – ජනපති

    රටේ ස්වෛරීභාවය සහ ජනතාව රැකගෙන රට සෞභාග්‍ය කරා ගෙනයනවා – ජනපති

    9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ජනාධිපති කළ සම්පූර්ණ කතාව

    ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි ගරු විපක්ෂනායකතුමනි ගරු ඇමතිවරුනි, ගරු රාජ්‍ය ඇමතිවරුනි ගරු මන්‍ත්‍රීවරුනි

    කථානායක ධූරයට අභිනවයෙන් තේරි පත් වූ ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාට
    මාගේ සුබපැතුම් පිරිනමනවා. එලෙසම අද දින නියෝජ්‍ය කථානායක ධූරයට තේරි පත් වූ ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාටත්, නියෝජ්‍ය කාරක සභාපති ගරු අංගජන් රාමනාදන් මැතිතුමාටත් මාගේ සුභාශීංසන පිරිනමමි.නව වැනි පාර්ලිමේන්තුවට තේරි පත් වූ සියලුම ගරු මන්ත්‍රීවරුන් මම සුබ ප්‍රාර්ථනා කරනවා.

    අගෝස්තු 5 වනදා පැවැත්වුනේ, ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 2/3 ක බලයක් ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටියා.   ඉතිහාසයේ ප්‍රථම වතාවට, සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලද මැතිවරණයකින් 2/3ක ඓතිහාසික ජනවරමක්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එහි මිත්‍ර කණ්ඩායම්වලට ලබා  දුන් දේශප්‍රේමී ජනතාවට  මම මුලින්ම ස්තූති කරනවා.

    සර්වජන ඡන්ද බලය අප සැමදෙනා විසින් ගරු කළ යුතු හා අප විසින් ‍රැකගත යුතු,  ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ නිසා  මේ මැතිවරණයේදී තම වටිනා ඡන්දය භාවිතා  කළ සියලුම ශ්‍රී ලාංකික ඡන්ද දායකයින්ටත් මම මේ අවස්ථාවේ ස්තූතිය පුද කරනවා. 

    පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදි 69 ලක්ෂයකට අධික ජනතාවක් සුවිශේෂී ජනවරමක් ලබාදුන්නේ මා ගැන තැබූ මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කඩ නොකරන බවට මා දුන් පොරොන්දුව මෙතෙක් මා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.

    ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය, අපට ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වුණා.  අප බාර ගත්තේ කඩා වැටී තිබූ ආර්ථිකයක්. පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති නිසා අපට වැඩ කරන්නට සිදු වුනේ සුළුතර ආණ්ඩුවක් සමග. මීට අමතරව, අපට මේ කාලය තුළ  මුළු ලෝකයම අඩපණ කළ කොවිඩ්-19  වසංගතයටත්  මුහුණ දෙන්නට සිදු වුණා. කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ලෝකයේ ප්‍රබල රටවල් පවා  අසරණ වෙද්දී, එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට අපට පුළුවන් වුණා. වසංගත තත්ත්වයක් පැතිරයාම වැලැක්වීමට අප කටයුතු කළ ආකාරය විදේශ රටවල පවා ප්‍රසාදයට ලක් වුණා.

    මේ මාස 9 ක කාල පරාසය තුළ  විවිධ බාධක හමුවේ අප විසින් රට පාලනය  කළ ආකාරය ගැන රටේ ජනතාව  පැහැදීමෙන්  සිටින බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශාල ජනවරමෙන්  ඔප්පු වුණා. 

    දේශපාලන සංස්කෘතියේ සිදුවෙමින් පවතින වෙනස ජනතාව අගය කරමින් සිටිනවා.

    ජනතා නියෝජිතයන් ලෙස, බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට  අපි හැම විටම ගරු කරනවා.  ජනතා පරමාධිපත්‍යය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි.  

    අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබාගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, අපේ බෞද්ධ උරුමයන් රැකගැනීමටත් මම විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

    බුද්ධාගමට ප්‍රමුඛත්වය  තහවුරු කරන අතරම, මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින්  සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වන විට පැහැදිලියි. 

    පාරම්පරික උරුමයන්, සංස්කෘතිය  හා අපේකම ආරක්ෂා  කිරීමට මෙන්ම  ප්‍රාසාංග  කලා  හා ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කොට, ප්‍රවර්ධනය කිරීමට  රජය  විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.

    2019 වසරේ සිදූ වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා, අපි රජය භාරගන්නා විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී තිබුනා. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව  තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇතිවී තිබුන බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා.  ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි යළි ලබා දී තිබෙනවා.

    මා පොරොන්දු වූ ආකාරයටම,  සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්ව තිබුන පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගෙන්  ජනතාව ගලවා  ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා.

    මේ නිසා ගුණගරුක, විනයගරුක, නීතිගරුක සමාජයක් රටේ ගොඩනැගෙමින් තිබෙනවා. 

    මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම සඳහා එතෙක් පැවති සම්‍ප්‍රදාය  වෙනස් කරමින්, විද්වත් මණ්ඩලයක් හරහා සුදුසුකම් සොයාබලා පත්වීම් සිදුකරන විධිමත්  යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නා.  ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකයින් පත්නොකොට වෘත්තිකයන්, ව්‍යවසායකයන් අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් පත් කළා.   ඒ ප්‍රතිපත්තිය ඉදිරියටම ගෙන යනවා.

    ඒ වගේම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළා. වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන්නා. අපනයන භෝග ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගා කළ හැකිව තිබූ භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අපි කටයුතු කළා. ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා. රට පුරා අතහැර දමා තිබූ වගා ඉඩම් යළි අස්වද්දන්නට ජනතාව උනන්දු කළා.  මේ සියල්ල හරහා අපි මේ රටේ කෘෂිකර්මාන්තයට  නව පණක් ලබාදුන්නා.

    අපි බලයට ආවාට පසු දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන ලබාදීමට කටයුතු කළා.  ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාත අඩු කළා. දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන්  ආරක්ෂා කිරීම සඳහා තරඟකාරී  ආනයනයන් සීමා කළා.

    මේ මැතිවරණයේදී ජනතාව දැඩි උද්‍යෝගයකින් අපට සහාය ලබා දුන්නේ මේ ආකාරයට අපි සම්බන්ධයෙන් ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය නිසා බව පැහැදිලියි.  අපි ඒ විශ්වාසය තහවුරුවන ආකාරයට දිගටම ජනතාවට සේවය කරනවා.     

    ජනතාව දුන් ජන ව‍රම නිවැරදිව අර්ථකථනය කරගැනීමත් මෙහිදී වැදගත් වෙනවා.  මා කෙරෙහිත්, අගමැති තුමා ඇතුළු අභිනවයෙන් පත්වී සිටින ජනතා නියෝජිතයන්  කෙරෙහිත් ජනතාව තැබු විශ්වාසයට අපි ගරු කරනවා.  ජනතාව මේ සා විශාල ජනවරමක් රජයට ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදැරි කරගෙනද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා.  මොනම හේතුවක් නිසාවත්  ඒ අපේක්ෂාවන් බිඳවැටෙන ආකාරයට අපි කටයුතු කරන්නේ නැහැ.

    ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෙකුගේ  මූලික වගකීම ජනතා සේවය බව හැම විටම මතක තබා ගත යුතුයි.  මේ සියලු තනතුරු, වරප්‍රසාද නොව වගකීම් බව මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට සංවේදී වෙනවා.

    මම මේ මැතිවරණයේදී අප කණ්ඩායම නියෝජනය කළ සෑම අපේක්ෂකයෙකුටම සහායදීමට රට පුරා සංචාරය කළා. දේශපාලන ‍රැස්වීම් පවත්වනවා වෙනුවට මේ සංචාරවලදී  මම ජනතාව අතරට ගොස් ඍජුවම ඔවුන්ගේ ගැටළුවලට සවන් දුන්නා. 

    ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් අති බහුතරය පෞද්ගලික අවශ්‍යතා නොව පොදු අවශ්‍යතායි.  නිදහසින් වසර 72 කට පසුවත් ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබී නැහැ. වසර ගණනාවක් පුරා  තමන් ජීවත් වූ  ඉඩම්වලට නිසි අයිතියක් නැති  ජනතාවක් සිටිනවා.  ඔවුන්ට අපි නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා.  නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ.

    අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.  මේ ගැන විසඳුමක් සෙවීමට දැනටමත් විද්වත් මණ්ඩලයක් පත්කර තිබෙනවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළේ  තිරසාර විසඳුමක අවශ්‍යතාව නිසයි. 

    විශ්වාස කළ නොහැකි තරම් ඉහළ ජන ප්‍රතිශතයක්  රට පුරා පානීය ජලය නොමැතිව දුක් විඳිනවා. අපි මේ මානුෂික ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නවා.  ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

    දෙමව්පියන් ඉල්ලා සිටින්නේ  දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සුදුසු පාසැල් ලබා දෙන ලෙසයි. ප්‍රමාණවත් තරම් ජාතික පාසැල් නැතිකම හැම තැනකදීම පෙනී ගියා. බොහෝ පාසැල්වල විශාල අඩුපාඩුකම් තිබෙනවා. ගුරු හිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකම නිතර අසන්නට ලැබෙනවා.  

    ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හදාරණ ලෙස අපි දරුවන්ට කීවත් ඒ සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසැල්වල නැහැ.මේ රටේ සෑම දරුවෙකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනඟාගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික  දැනුම ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත්  රජය දරන වියදම අනාගතය වෙනුවෙන් කරන  ආයෝජනයක්.  අළුතින් වගකීම් පවරා ඇති  අමාත්‍යාංශ හරහා අපි මේ ගැටලු විසඳීමට  ප්‍රමුඛත්වය දෙනවා.

    ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩුයි. වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලවල විශාල ඌණතාවක් තිබෙනවා. සමහර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කරන්නට සිදුවෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේදී පවතින මේ  විෂමතාවන් අපි ඉවත් කරනවා. ආයුර්වේදය හා දේශීය වෙදකම දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. 

    විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා.  ඖෂධ ආනයනයේදී සිදුවන අතිමහත්  දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කලේ ඒ සඳහායි.

    මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් අදත් ජීවත් වන්නේ ස්වයං රැකියා කිරීමෙනුයි. තව බොහෝ දෙනෙක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි කලට වතුර හා පොහොර ලබා දෙන ලෙසයි.  මේ ඉල්ලීම් අපි ඉටු කළ යුතුයි. ඒ අනුව  රට පුරා පවතින වැව් ප්‍රතිසංස්කරණයට හා වාරිමාර්ග සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙළක් අපි දියත් කරනවා. 

    රැකියා වියුක්තිය අද තරුණ පරපුර මුහුණදෙන බරපතල සමාජ ගැටලුවක්. මේ ගැටළුව විසඳීම සඳහා අපි කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙනවා. 

    අපි මේ වන විටත් රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමට  වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.  ඊට සමගාමීව උපාධිධාරීන්  හැටදහසකට  රැකියා ලබාදීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙනවා.

    රජයේ රැකියා ලබාදීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්නට අපි කටයුතු කරනවා. එමෙන්ම රැකියා අවස්ථා ලබාදීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට එය ක්‍රියාත්මක කළ යුතුයි. 

    රජයේ පත්වීමක් ලබන සෑම කෙනෙකුගෙන්ම රටට ඵලදායී සේවාවක් ඉටු විය යුතුයි.  ඒ නිසා කිසිදු අමාත්‍යාංශයකට හෝ ආයතනයකට අනවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ.සෑම අමාත්‍යාංශයකම හා රාජ්‍ය අමාත්‍යංශයකම ඒ ඒ ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ සහායත් ඇතුව රැකියාවන් උත්පාදනයට ක්‍රියා කරනවා. 

    ඒ වගේම අදාළ ක්ෂේත්‍රයන්හි ස්වයං රැකියා ප්‍රවර්ධනයටත් ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත්  කටයුතු කරනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ  රැකියා බෙදා දීම නොව නව රැකියා උත්පාදනයයි. 

    දේශීය හා ගෝලීය අභියෝගයන් ජයගෙන ආර්ථික පුනර්ජීවනය උදාකරගැනීමට නම්, අපි අලුතෙන් සිතන්නට පුරුදු විය යුතුයි.  Out of the box thinking is required in order to meet the economic challenges.  මෙවර අමාත්‍යාශ වෙන් කොට තිබෙන්නේ එම අරමුණ පෙර දැරි කරගෙනයි.  

    සැබෑ ආර්ථික පුනර්ජීවනයක් සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙනවා. අමාත්‍යාංශ වෙන්කිරීමේ දී සහ ඒවාට විෂයයන් හා කාර්යයන් පැවරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත හා  පාරම්පරික කර්මාන්ත සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කළා.

    දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපනයන ආදායම වැඩිකරගැනීමත් අපේ මූලික ඉලක්ක වෙනවා.  මේ වන විට අපේ අපනයන වැවිලි භෝග වන තේ, පොල්, රබර්වලින් ලැබෙන ආදායම සතුටුදායක මට්ටමක නැහැ.   

    ‘තේ’ වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍ය තේ වතු  හිමියන්ට රජය උදව් කරනවා. වැසී ගොස් ඇති තේ කර්මාන්තශාලා නිසා ඔවුන් විශාල අපහසුතාවයකට පත්වී සිටිනවා.

    ඒවා නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන අතර අක්‍රමිකතා තුරන් කොට ඉහළ ප්‍රමිතියකින් යුතු තේ අපනයනය දිරිමත් කරනවා.  ‘CEYLON TEA’  සන්නාමයට තිබුන පිළිගැනීම ශක්තිමත් කරනවා. 

    පොල් අලුතින් වගා කිරීමට දිරි දෙනවා. රබර්වලට නිසි මිලක් ලබාදීම සඳහා මෙරට නිපදවන රබර් භාවිත කිරීමට, රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරනවා. කටුපොල් වගාව අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා.

    ගම්මිරිස්, කුරුඳු වැනි අපනයන භෝග නිෂ්පාදනය අපි දිරිගන්වනවා.  කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම  හරහා ගොවියාට  ස්ථාවර මිලක් ලබාදෙන අතර එමගින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අපි කටයුතු කරනවා.

    අමාත්‍යාංශවලට වගකීම් පැවරීමේදී,  නාගරික මෙන්ම ග්‍රාමීය යටිතලපහසුකම් සංවර්ධනයට හා ජනතාවගේ නිවාස ගැටළුවට විසඳුම් සෙවීමට විශේෂ  අවධානයක් යොමු කළා.  රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි  ක්ෂේත්‍ර රැසක්  හඳුනාගෙන ඒවාට වගකියන  රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත්, ඔවුන් වෙත අදාළ විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. 

    මානව සම්පත් සංවර්ධනය අපි ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා  අමාත්‍යාංශ නම් කිරීමේ දී  අධ්‍යාපන විෂය එක් අමාත්‍යාංශයක් යටතට ගෙන එහි වෙනස් වගකීම් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු නම් කරනු ලැබූවා. පෙරපාසැල්,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නිපුණතා සංවර්ධනය මෙන්ම දහම් පාසැල් හා භික්ෂු අධ්‍යාපනයට  වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවා තිබෙන්නේ ඒවායේ ඇති වැදගත්කම නිසයි.

    අපේ අනාගත ඉලක්ක සපුරාගැනීමේදී තාක්ෂණික අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමුවිය යුතුයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.

    උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා, විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. එතැනින් නොනැවතී  විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් කටයුතු කරනවා.  විෂය මාලාවන් නවීකරණය කොට මෙම  උපාධි, ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි  විෂයයන් බවට තහවුරු කරනවා.

    විදුලි මිල රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී බලපාන වැදගත් සාධකයක්. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති උත්පාදන මාර්ග ප්‍රවර්ධනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. 

    අගය එකතුකිරීම සඳහා නව තාක්ෂණය භාවිතයටත්, නවෝත්පාදන දිරිගැන්වීමටත්,  නිර්මාණශීලි ලෙස නව වෙළඳපොලවල් සොයා යාමට ව්‍යාපාරිකයන්ට සහාය වීමටත්   අදාළ අමාත්‍යාංශවල අවධානය  යොමු  කරනවා

    අපේ රට  ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක් වුවත් අගය වැඩි කිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ.  

    මැණික්, ඛණිජවැලි වැනි ස්වාභාවික සම්පත් අපනයනය කිරීමේදී  අගය එකතු කිරීමෙන්  රටට  විශාල විදේශ විනිමයක්  ලබා ගැනීමට ක්‍රියා කරනවා.

    අපේ පාරම්පරික කර්මාන්ත වන  බතික්, දේශීය ඇඟලුම්,  පිත්තල, වේවැල්, මැටි, ලී බඩු, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත නිසියාකාරව දියුණු කිරීමෙන්  ස්වයං රැකියා ප්‍රවර්ධනය, නව රැකියා උත්පාදනය මෙන්ම ව්‍යාපාර ගොඩනංවා විශාල විදේශ විනිමයකුත් රටට ලබා ගැනීමට අවස්ථාව සලසනවා.

    රටේ ජනතාවගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. අපි මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි. මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා  සාම්ප්‍රදායික  ක්‍රමවලින් ඔබ්බට ගිය තාක්ෂණය මුල්කරගත් නව ප්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා.

    කෘෂිකර්මාන්තයට හා වැවිලි කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට සම්බන්ධ  ක්ෂේත්‍ර ගණනාවක් ඍජුවම ඉලක්ක කොට  අමාත්‍යාංශ වෙන් කොට තිබෙන්නේ මේ සඳහා අවශ්‍යකරන නිසි අවධානය ලබා දීමටයි. 

    ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කොට ඒවා ගොවීන්ට ලබා දීමට  කටයුතු කරන අතරම කෘෂි නිෂ්පාදන සඳහා දියුණු ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වාදීමෙන් නාස්තිය අවම කිරීමට අපි කටයුතු කරනවා.  කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය අපි දියුණු කරනවා.   

    වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා  දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා

    ධීවර කර්මාන්තයේ විශාල දියුණුවක්  අපි ඉලක්ක කරනවා. මුහුදින් වටවූ අපේ රටට මාළු ආනයනය අපි නතර කළ යුතුයි.   ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අපි හඳුන්වා දෙනවා.  

    ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලූම ධීවර වරායන් නවීකරණය කරන අතර අවශ්‍යතාවන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා. නීත්‍යානුකූල නොවන විදේශ බහුදින ධීවර යාත්‍රා විසින් ලංකා මුහුදු තීරයේ කරන සූරා කෑම නතර කරනවා.මිරිදිය මත්ස්‍ය කර්මාන්තය  දියුණු කිරීම සඳහා  නව තාක්ෂණය හඳුන්වාදීමත් අපේ සැලස්මේ කොටසක්.

    සෑම අමාත්‍යාංශයකටම හා රාජ්‍ය අමාත්‍යාංශයකටම  තම විෂය පථය හා වගකීම්  පැහැදිලිව වෙන්කොට දී  තිබෙනවා. අමාත්‍යවරුන් විසින් අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම  රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාවය, අධීක්ෂණය සිදුකිරීම අපේක්ෂා කරනු ලබනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන තම අමාත්‍යාංශයන්ට  ඍජුව ලබාදීමට කටයුතු කර තිබෙන නිසාත් මුල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටු කළ හැකියි.    

    රාජ්‍ය සේවයෙන් තමන් බලාපොරොත්තු වෙන සේවාව කාර්යක්ෂමව සහ නිසි අයුරින් නොලැබෙන බවට මහජනතාව අතර චෝදනාවක් පවතිනවා. ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හා ආයතනයක් විසින් ජනතාවට ලබා දෙන සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.  

    ජනතාවට හෝ රජයට කිසිදු අගයක් එක් නොකරන සමහර ආයතනික ක්‍රියාවලියන්ගෙන් සිදුවන්නේ කාලය නාස්තිවීම පමණක් බව මම පසුගිය කාලයේ විවිධ රාජ්‍ය ආයතනයන්ට ගිය අවස්ථාවල දුටුවා.  ජනතාවට සේවාවන් ලබාදීමේ දී අනුගමනය කරනු ලබන සම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙනුවට ආයතනික ක්‍රියාවලීන් කාර්යක්ෂම කොට ජනතාවට පහසුවෙන් හා කඩිනමින් සේවාවන් ලබාදීම සඳහා නව ක්‍රමවේදයන් ඔබ හඳුනා ගත  යුතුයි.

    You need to re-engineer the processes  for greater productivity and customer satisfaction. මේ සඳහා හැකිතාක් දුරට නව තාක්ෂණික විසඳුම් සොයා ගත යුතුයි. 

    ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් නාස්තිය හා දූෂණය පිටුදකින බව අපි ජනතාවට පොරොන්දු වුණා. මෙය අප සියලුදෙනාගේම ප්‍රමුඛ වගකීමක්. සියලු අමාත්‍යාංශ හා  ආයතනවල  නාස්තිය සහ දූෂණය  සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී  නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබට වන්නේ නැහැ. 

    රජය, අමාත්‍යාංශ සහ රාජ්‍ය අංශය හරහා ඉටු කිරීමට අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසුවිපරම් කරනු ලබනවා. යම්කිසි අමාත්‍යාංශයක ඒ ඉලක්කයන් සපුරා ගැනීම පසුබෑමකට ලක් වන්නේ නම්,  රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා  අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවිටකත් පැකිලෙන්නේ නැහැ.

    වර්තමාන දේශපාලන සංස්කෘතිය තුල බොහෝ විට  ජනතා නියෝජිතයින් බලය ලබාගත් පසු  ජනතාව අතරට යාම අතපසු කරනවා. පසුගිය කාලයේ මම රට පුරා සංචාරය කරද්දී ජනතාව නගන මැසිවිලි වලින්  එය තහවුරු වුණා.  

    ජනතා බලාපොරොත්තු සපුරමින්  ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම  මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස්, ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරනවා .  

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා.  ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලු ජනවරම ජනතාව අපට ලබා දී තිබෙන නිසා  අපගේ පළමු කාර්යය ලෙස අප ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා.  ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා.  මෙහිදී මේ රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන්  ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙනවා. 

    පැහැදිලි  තීන්දු තීරණ ගත නොහැකි,  අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන  මැතිවරණ ක්‍රමයේ  වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද , ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරනවා.

    මම මගේ රටට ආදරය කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමයි. මේ දක්වා අප විසින් කරන ලද සියලු දේ මෙන්ම, මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ගයන් ද  සැලසුම් කරනු ලබන්නේ මේ අරමුණ පෙරදැරි කරගෙනයි.

    අපි ඉතිහාසයේ ඉතා  වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනතාව වත්මන් රජයට විශාල ජනවරමක් ලබා දී තිබෙනවා.  කිසිදු  බලවේගයකට යටත් නොවී මේ රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට අපට වගකීමක් පැවරී තිබෙනවා. රටේ  අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුර ඒ වගකීම ඉටුකළ යුතුයි.

    මේ අප සියලුදෙනාගේම මව්බිමයි.  ඒ නිසා ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව අප සියලු දෙනාම රට වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා.

    ජනතාවට අප පොරොන්දු වූ  සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා මා සමඟ එකතු වන ලෙස ඔබ සියලුදෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරනවා. 

    ඔබ සැමට  තෙරුවන් සරණයි.

  • අද රැස්වෙන පාර්ලිමේන්තුව තබන ඓතිහාසික වාර්තා මෙන්න

    අද රැස්වෙන පාර්ලිමේන්තුව තබන ඓතිහාසික වාර්තා මෙන්න

    1. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 15 ක් සෘජුව ඡන්දය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීම, පක්ෂ 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල නිදහසින් පසු වඩාත්ම විවිධාංගීකරණය වූ පාර්ලිමේන්තුව නිසාය.
    2. රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ 1947 නොවැම්බර් 25 පාර්ලිමේන්තුවේ සිට අද දක්වා එජාපයට ආණ්ඩු බලය හෝ විපක්ෂයේ ප්‍රධාන බලය අහිමිවූ එකම පාර්ලිමේන්තුව පමණක් නොව, එජාප මන්ත්‍රීවරයෙකු නොමැතිව රැස්වන පළමු පාර්ලිමේන්තුව ද වේ.
    3. වැඩිම නවක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආණ්ඩුපක්ෂයට පමණක් ලැබුණු, විපක්ෂයට නවක මන්ත්‍රීවරුන් අඩුවෙන්ම ලැබුණු පාර්ලිමේන්තුව වන නිසාය.
    4. ලෝකයේ වයසින් වැඩිම (වයස සාමාන්‍ය අගය) කැබිනට් මණ්ඩලය සහිත පාර්ලිමේන්තුව විය හැකි නිසාය. (තහවුරු කළ යුතුව ඇත)
    5. ලෝකයේ මරණ දඬුවම නියම වූ අයෙකු නීති සම්පාදකයෙකු ලෙස දිවුරුම් දෙන පළමු අවස්ථාව වන නිසාය. මරණ දඬුවම ලැබීම නිසා පළාත් සභා මන්ත්‍රී ධූරය අහිමි වූ (හසිත මුහන්දිරම්) ගේ පළාත නියෝජනය කරන අයෙකුම පළාත් සභාවට වඩා උසස් ආයතනය අද අසුන් ගන්නා නිසාය.
    6. මනුෂ්‍ය ඝාතනයකට චෝදනා ලැබූ අයෙකු ද (පිල්ලෙයාන්) පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසාය
    7. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ නම නිවේදනය නොකර, සභා රැස්වීම ඇරඹෙන නිසාය
    8. ලංකාවේ පක්ෂ ලියාපදිංචියකින් පසුව අඩුම කාලයකින් ආණ්ඩු බලය හෝ විපක්ෂයේ බහුතර බලය ලබාගන්නා පක්ෂයෙන් (සජබ) විපක්ෂ නායක ධූරයට පත්වන නිසාය
    9. මෑත ඉතිහාසයේ අඩුම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව (මන්ත්‍රීවරියන් 12) නිසාය
    10. එකම පවුලේ හය දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසා සහ හත්වන සාමාජිකයෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් පවතින නිසාය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • තවත් උපාධිධාරීන් 10,000කට රැකියා

    තවත් උපාධිධාරීන් 10,000කට රැකියා

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
    මහතා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය කිරීමට අද (19) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.

    මහ මැතිවරණය නිසා නතර කෙරුණු උපාධිධාරී රැකියා සම්පාදන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබීය. ඒ යටතේ උපාධිධාරීන් 50,000කට පත්වීම් ප්‍රදානය කෙරිණ. අද තීරණය අනුව තවත් දස දහසක් ඔවුනට එක් වෙති.

     රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවක නිරතව සිටියහ. කැබිනට් මණ්ඩල රැස්වීම නිමවා යමින් සිටි ජනාධිපතිතුමා ඔවුන් අසළ සිය වාහනය නතර කොට සියලු උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කරන බව පැවසීය.

    “දැන් ගෙදර යන්න. තවත් දස දහසකට රැකියා දෙන්න අද අනුමත කළා” ජනාධිපතිතුමා ඔවුනට කීය.

  • යහපාලනයේ ‘රාජ්‍ය බැංකුවල අක‍්‍රමිකතා’ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

    යහපාලනයේ ‘රාජ්‍ය බැංකුවල අක‍්‍රමිකතා’ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

    ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි  2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.

    ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික, මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්, මුල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරෙනු ඇත.

    මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා ය. වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධුරය දරනු ලබයි.

    මෙම කමිටුව විසින් මාස තුනක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

  • කංසා කියන ඖෂධය ලංකාවේ වගා කිරීමට සුදුසුයි – බෙංගමුවේ නාලක හිමි

    කංසා කියන ඖෂධය ලංකාවේ වගා කිරීමට සුදුසුයි – බෙංගමුවේ නාලක හිමි

    කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමින් සදහන් කළා. කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කළා. මේ වන විට ලෝකයේ රටවල රැසක් ගංජා නීතිගත කර තිබෙනවා. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී නීතිය අනුව ලංකාවේ ගංජා වගාව සහ පානය කිරීම බරපතළ වරදක්.