Category: සුපිරි News

  • සියලු නිලධාරීන් සාමූහිකව අපේක්ෂිත ඉලක්ක කරා යා යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක

    සියලු නිලධාරීන් සාමූහිකව අපේක්ෂිත ඉලක්ක කරා යා යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක

    සියලු අමාත්‍යාංශයන්හී ඉදිරි සංවර්ධන සැලැස්ම මසක් තුළ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු ඇතැයිද, ඒ සඳහා සියලුම සේවකයන්ගේ අදහස් හා යෝජනා අවධානයට ගන්නා බවද, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

    තම අමාත්‍යාංශයේ ඉදිරි දිශානතිය වෙනස් කල හැකි සාධනීය යෝජනා සියලු දෙනාට ලබා දිය හැකි බවත්, අත්දැකීම් හා පළපුරුද්ද මත ලබා දෙන ඵලදායි යෝජනා ක්‍රියාවට නංවන බවත්, චානක මහතා පවසයි. මෙහිදී නිලධාරියාගේ තනතුර, ශ්‍රේණිය හෝ උගත්කම  අදාළ යෝජනා බවත් යෝජනා ඵලදායි නම් එය ප්‍රමාණවත් බවද හෙතෙම පැවසීය.

    සිය අමාත්‍යාංශයේ සියලු නිළාධාරීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ඵළ කලේය.

    ‘ජනාධිපතිතුමා මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී කිසිවෙකුටවත් කාර්‍යභාරය සහ වගකීමෙන් මග හැරිය නොහැකි ලෙස විෂය පතයන් සහ වැය ශීර්ශ නිවැරදිව ලබා දී තිබෙන බවත්  අවශ්‍ය කාර්යමණ්ඩලයද නොඅඩුව සපුරා තිබෙනවා. ලැබෙන වගකීම නිසි අයුරින් ඉටු කළ නොහැකි වීම තමාගේ දුර්වලකම විනා ක්‍රමයේ වැරැද්දැක් හෝ නායකත්වයේ අඩුවක් නොවන බවත්, අමාත්‍යාංශයට අයත් සියලු නිලධාරීන් සාමූහිකව අපේක්ෂිත ඉලක්ක කරා යා යුතුව ඇති බව චානක මහතා පෙන්වා දුන්නේය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැනි කැබිනට් අමාත්‍යවරයෙකු ලැබීම තමාගේ භාග්‍යක් බවත් එය තම සේවයට පහසුවක් බවද ඔහු පැවසීය.

    ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෞභාග්‍යමත් රටක් කරා ගමන් කිරීමේදී තම අමාත්‍යාංශය ප්‍රමුඛව කටයුතු කරන බවද ඔහු පැවසී‌.

    රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, වැය ශීර්ෂ සහ විෂය පථය මෙවර පැහැදිලිව ලබා දී ඇති බවත් මසකට වරක් සියලු රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා මුණ ගැසී සාකච්ඡා කරන බවත් අමාත්‍ය ඩී වී චානක මහතා පැවසීය.

    පවතින ගැටලු නිරාකරණය කරගනිමින් කඩිනම් සංවර්ධනයක් කරා අමාත්‍යාංශය මෙහෙය වීමට අප සියලු දෙනා අදිටන් කරගත යුතු බව කී අමාත්‍යවරයා ඒ සදහා තම පූර්ණ සහාය ලබා දෙන බව ද පැවසීය.

    මෙහිදී සංචාරක අමාත්‍යාංශයේ ජී හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුද අදහස් ප්‍රකාශ කලේය.

  • නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි

    නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ වලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  පවසයි.

    පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

  • පහළම තැන සිට වැඩ අරඹා තිබේ – කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති කියයි

    පහළම තැන සිට වැඩ අරඹා තිබේ – කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති කියයි

    සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී.

    ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර තිබේ. ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇත. ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

    අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානයේදී සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.

    අපි මෙවර රාජ්‍ය අමාත්‍යාංශ වෙනත් විදියකට හදලා තියෙන්නේ. අමාත්‍යාංශ ඔක්කොම සරලයි. දැන් බලන්න අධ්‍යාපන අමාත්‍යාංශය. සියලුම අධ්‍යාපනය විෂය එක තැනකට ගෙනල්ලා තියෙන්නේ. පූර්ණ අධ්‍යනයක් කරලා තියෙන්නේ. ඒ අමාත්‍යාංශ වෙන් කරලා තියෙන්නේ. වැඩ කරන්න අවශ්‍ය විදියට. මේවා කළේ පහුගිය මාස අටේ නෙමෙයි. ජනාධිපති මැතිවරණයේදී ජනතාව අතරට ගියාම ඒ ගොල්ලන්ගෙන් දැකපු ප්‍රශ්න. සෘජුවම අපි විසඳිය යුතු ප්‍රශ්න විදියට තේරුම් අරගෙනයි.

    අපි බොහෝ වේලාවට ඉහළ මට්ටම විතරක් බලනවා. පහළ මට්ටම අපි බලන්නේ නැහැ. ඒවා අපිට අමතක වෙලා යනවා.

    උදාහරණයක් වශයෙන් පානීය ජලය ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. මේක අපි අනිවාර්යයයෙන්ම විසඳිය යුතු දෙයක්. අලි මිනිස් ගැටුම හැමදාම මිනිස්සු මැරෙනවා, අලි මැරෙනවා. විශාල ප්‍රශ්නයක්. මේවාට ස්ථිරසාර විසඳුම් හොයන්න ඕනෑ. තාවකාලික විසඳුම් හොයලා වැඩක් නැහැ.

    ඊළඟට අපි කොහොමද ආර්ථිකය මෙහෙයවන්නේ කියන එක පිළිබඳ විශාල අවධානයක් යොමුකරලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය ඒ දෙකට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට අපි පහළම මට්ටමට ගිහිල්ලා රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කරලා තියෙනවා.

    වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. මේ කෘෂිකර්මාන්තයේ තියෙන ප්‍රශ්න හින්දා තමයි අපි වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ මේ වැව් ප්‍රතිසංස්කරණය, වැව් සහ කුඩා වැව් වාරිමාර්ග, මේවාට වෙනම අපි රාජ්‍ය අමාත්‍යාංශයක් යොදලා තියෙන්නේ. ඉතින් මේ වගේ හැම එකක්ම බැලුවම ඒ අවශ්‍යතාවයන් තෝරාගෙන අපි ඒවාට ආයතන සෘජුවම දීලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපාදනත් සෘජුවම දෙනවා.

    මම රාජ්‍ය අමාත්‍යවරුන්ට කතා කරගෙන යනවා. ඒ කතා කිරීමේදීත් මම ඒගොල්ලන්ට අපේ සැලැස්මේ වසරින් වසර අපි කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණා ගැන කතා කරනවා. ලේකම්වරුන්ට තියෙන ලොකු කාර්යභාර්යයක්. පස් වසරක සැලැස්මක් හදන එක. එකේ වසරින් වසර අපි මොනවාද ළගා කරගන්නේ. මොනවාද අපේ ඉලක්කය. අපි දන්නවා ඉලක්ක ළඟා කරගන්න එක තමයි වැදගත් වෙන්නේ.

    මේ කාර්යය ඉටුකිරීම සඳහා ලේකම්වරුන්ට විශාල කාර්යභාර්යයක් තියෙනවා.

    අපි රාජ්‍ය සේවයත්, අනිත් සුදුසුකම් සියල්ලක් බලලා මේවාට සුදුසුයි කියලා හිතෙන ප්‍රධානතම අය තමයි පත්කරලා තිබෙන්නේ. ඉතින් ඔබතුමාලා මේ විෂය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන.

    අනිත් එක මතක තියාගන්න ඕන හැමවිටම ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න තෝරාගෙන ඒවාට විසඳුම් දෙන්න. තමන් යටතේ තියෙන ආයතන ජනතාවට සේවය කරන ආයතන බවට තහවුරු කරන්න ඕන.

    අද මිනිස්සු අතර තියෙන ප්‍රශ්නෙ තමයි දේශපාලනඥයන් කෙරෙහි තියෙන විශ්වාසයක් නැති වීම, දෙවැනි එක රාජ්‍ය සේවය පිළිබඳ තියෙන විශ්වාසය නැති වීම. ඉතින් රටක් දුවන්න තියෙන්නේ මේ දෙක. හැබැයි මිනිස්සු අතරට ගියහම මිනිස්සුන්ට මේ දෙක ගැනම විශ්වාසයක් නැති වෙලා. මේක රටක් වශයෙන් හොඳ දෙයක් නෙමෙයි.

    මේ මැතිවරණයේ ප්‍රතිඵල අපි හරි විදියට බැලුවොත් ඒක තමයි ජනතාව කියන්නේ. ඒ අය විශ්වාස කරනවා මේ දෙකේම තියෙන වෙනසක් ඇතිවෙලා ජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියකුත්, ඒ වගේම ජනතාවට සේවය කරන රාජ්‍ය සේවාවකුත් ඇතිවෙයි කියලා.

    අද විශාල රාජ්‍ය සේවයක් තියෙනවා. ඉදිරියේදී තවත් 160,000ක් රාජ්‍ය සේවයට එකතු වෙනවා. එතකොට ලක්ෂ 18කටත් වඩා පිරිස වැඩි වෙනවා. මේ රාජ්‍ය සේවයක් හරහා හැම අංශයකටම හොඳ පද්ධතියක් තියෙනවා. සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න තමයි අවශ්‍ය.

    අපි කොවිඩ් වසංගතය ලෝකයේ පළවෙනිම තැනට එන්න හොඳ පාලනයක් කරගත්තා. මේකට ප්‍රධාන හේතුව අපේ සෞඛ්‍යය සේවාව. හොඳ සෞඛ්‍ය සේවාවක් තිබීම. නමුත් අපි ජනතාව අතරට ගියහම තාමත් ඒ සෞඛ්‍ය සේවාවේ දියුණු කරන්නට විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සෞඛ්‍ය සේවය ඉදිරියට ගෙනියන්න විශාල වැඩ කොටසක් අපිට කරන්නට පුළුවන්. ජනතාව අතරට ගියාහම කියනවා දොස්තරවරු නැහැ. හෙදියන් නැහැ. සම්පත් නැහැ. අපිට දුරට යන්න තියෙනවා. මේ වගේ මැසිවිලි විශාල ප්‍රමාණයක්. නමුත් හොඳ සෞඛ්‍ය සේවයක් තුළත් තව විශාල ප්‍රමාණයක් අපිට වැඩ කරන්න තියෙනවා.

    ‍මේවා තමයි අපි තේරුම් ගන්න ඕන.

    දවසක් මම කුරුණෑගල යනකොට පාරේ නවත්තලා ගොවි මහත්තයන්ගෙන් ඇහුවා කන්න දෙකම කරනවාද කියලා. නෑ සර් මේ කන්නේ කරන්න බෑ කිව්වා. ඇයි, අපිට වතුර දුන්නේ නෑ. ඒ අය දන්නේ නෑ වතුර දුන්නේ නැත්තේ මොකද කියලා. ඒ අය කියනවා කලාවැවේ වතුර තියෙනවා නමුත් අපිට වතුර දෙන්නෙ නෑ. මම මහවැලි අධ්‍යක්ෂ ජනරාල්ට කතා කළා, එයා ගියා එහේට ගිහිල්ලා කතා කළා. ඇත්තටම අපි යන්න ඕන මේ ජනතාව ළඟට. එතන ගිහිල්ලා නිලධාරින් හම්බුනාට වැඩක් නෑ. ඒගොල්ලොන්ට අහන්න බෑ අර ජනතාව කියන දේ. මේ වගේ ජනතාවගේ ප්‍රශ්න අපි විසඳිය යුතුයි. මම මැතිවරණයේදී ජනතාව අතරට ගිය වෙලාවේ මිනිස්සු ගෙනාපු ප්‍රශ්න හරි සරල දේවල්. බොහොම ටිකයි පුද්ගලික දේවල් ඉල්ලන්නේ. වැඩිම ප්‍රමාණයක්, සියයට හැත්තෑවක් විතර පොදු ප්‍රශ්න. බස් එකක් දාන එක, පාරක් හදන එක, වතුර ගැන, ඔප්පු නැති එක. මේවා තමයි රජයකින් බලාපොරොත්තු වෙන්නේ, රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙන්නේ.

    වයසක අය ඇවිත් කියනවා සර් අපි අවුරුදු 40 ක් මේ ඉඩමේ හිටියා. අපිට ඔප්පුවක් නෑ. අපිට මැරෙන්න ඉස්සරවෙලා ඔප්පුවක් ලබාදෙන්න. මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මේවා විසඳන්න ඕන. සමහර තැන්වලට ගියාම ඒගොල්ලෝ කියනවා පාරම්පරිකව අපි අපේ හරක් නඩත්තු කරපු, ගොවිතැන් කරපු, අපි ජීවත් වුනු තැන හදිසියේම ඇවිල්ලා වන රක්ෂණයකින් ගල් දාගෙන ගියා කියලා එහෙමයි කියන්නේ,

    මම දන්නේ නෑ ඇත්තද නැත්තද කියලා. කැබිතිගොල්ලෑවේදී එක්කෙනෙක් කිව්වා මගේ වැසිකිළිය තියෙන්නේ අනිත් පැත්තේ ගේ තියෙන්නේ මේ පැත්තේ කියලා.

    ඉතින් ඒ වගේ ඒවා අපි සරලව විසඳලා දෙන්න ඕන. වි‍ශේෂයෙන්ම මේක කිරීමේදී ප්‍රායෝගික වෙන්න ඕන. නිකන්ම නීතියක් ගෙනාව පලියට, චක්‍රලේඛයක් යැව්ව පලියට ඒ විදියට ක්‍රියා කිරීම සුදුසු නෑ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒවා නෙවෙයි. ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න තියෙනවා. අවසානේදී බැලුවම කෘෂිකර්මාන්තයේ යෙදෙන, වැවිලි කර්මාන්තයේ යෙදෙන, සුළු සුළු කර්මාන්තවල යෙදෙන, මේ අය හින්දා තමයි රජයක් දුවන්නේ, රටක් දුවන්නේ.

    ගොවියාට නෙවෙයි අපි වතුර දෙන්නේ. ගොවියාට නෙවෙයි අපි පොහොර ටික දෙන්නේ. රටක් වෙනුවෙන් අපි වතුර දෙන්නේ. රටක් වෙනුවෙන් තමයි පොහොර ටික දෙන්නේ. නැත්නම් පඩි ‍ගෙවන්නත් බැරි වෙනවා. රාජ්‍ය සේවයක් නඩත්තු කරන්නේ මේගොල්ලන් කරන දේවල් වලින්.

    මැටි කර්මාන්තයේ යෙදිලා වළං ටිකක් හදලා මොනවාහරි කරලා මේ පොඩි අය තමයි විදේශ විනිමයක් ගේන්නේ. කුඩා තේ වතු හිමියෝ තමයි විදේශ විනිමය ගේන්නේ. ඉතින් අපිත් ඒ කුඩා තේ වතු හිමියන්ට අවශ්‍ය දේ දෙන්නේ නැතුව අපිට රාජ්‍ය සේවයක් දුවන්න බැරි වෙනවා. අපි මෙන්න ‍මේක ටික තේරුම් අරගෙන මතක තියාගන්න ඕන. සමහර වෙලාවට අපි කාමරවල ඉඳගෙන ඔෆිස්වල ඉඳගෙන තීරණ ගන්නවා. හැබැයි අපි මතක තියාගන්න ඕන, මේ අයගෙන් තමයි රටේ ඔක්කෝම යැපෙන්නේ.

    රටක් දුවන්න විදේශ විනිමය එන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පහළ මට්ටමේ වැඩ කරන ජනතාවගෙන්. තේ වලට ඉඳලා වී වලට. අපි කොච්චර වෑයමක් දරනවාද වී වලට, හාල්වලට සහතික මිළක් දෙන්න. රාජ්‍ය සේවයෙන් කරන්නේ මේ හදපු වී ටික බෙදා දෙන එක. ගොවියා මහන්සි වෙලා ඔක්කොම කරලා දුන්නම පාරිභෝගිකයාට මේ හාල් ටික ‍දෙන එකනේ මහලොකුවට අපි ඔක්කෝම කරන්නේ. අපි අමතක කරන්න නරකයි අපිට ‍වෙලාවට වතුර ටික දෙන්න බැරි නම්, වෙලාවට පොහොර ටික දෙන්න බැරි නම්, අපේ සේවාවෙන් වැඩක් තියෙනවාද? මේවා තමයි අපි කල්පනා කරලා බලන්න ඕන.

    දැන් ගමක් බැලුවොත්, ග්‍රාම සේවක කොට්ඨාසයක් බැලුවොත් රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වෙනුවෙන්. විසි ගණනක් ඉන්නවා විවිධ අංශවල. හැබැයි ඒවා අපි ක්‍රියාත්මක කරවන්නට ඕන. ඒගොල්ලොන්ට මතක් කරලා දෙන්න ඕන මේ කාර්යය. විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට, ඒවගේම ලේකම්වරුන්, මේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අභිප්‍රේරණයත් ලොකූ කොටසක්. තමන් යටතේ ඉන්න අයව මෝටිවේට් කරන එක එක කාර්යයක්. මම දන්නවා ආරක්ෂක ලේකම්වරයා හැටියට මම කොච්චර කාලයක් ‍යෙදුවාද මගේ යටතේ තිබුණු සේවාවන් මෝටිවේට් කරන්න. මෝටිවේට් කිරීම තුළින් ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඒක ඇත්තටම එක කොටසක්. ඇත්තටම මේ මිනිසුන් වැඩ කරන්න කැමතියි. හැබැයි ඒගොල්ලන්ට නායකත්වයක් දෙන්න ඕන. මෝටිවේෂන් එකක් දෙන්න ඕන. ඊළඟට මඟ පෙන්වීමක් කෙරෙන්න ඕන. එහෙම නැතුව නිකන් ඉන්න දුන්නොත් කවුරුවත් වැඩක් කරන්නේ නෑ. මේකේ අවශ්‍යතාව පෙන්නලා කළ යුතු දේ කියලා මඟ පෙන්වීමක් කිරීම ඉතාමත්ම වැදගත්. ඒ හරහා විශාල දෙයක් කරන්න පුළුවන්.

    මම ආරක්ෂක ලේකම්වරයා හැටියට විතරක් නෙවෙයි නාගරික සංවර්ධනයේදීත් කරපු මූලික දෙයක් තමයි මෝටිවේෂන් කිරීම. ඒක හරිම වැදගත්. මොකද මේ හරහා තමයි තාක්ෂණික සුදුසුකම් තියෙන අයත් එහෙම නැති අයත් දෙගොල්ලොම දිරිගන්වලා වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාලාට විශාල කාර්යභාරයක් තියෙනවා.

    අවසානයේදී අපි මොනවා කරත් ප්‍රතිඵල තියෙන්න ඕන. යුද්ධය කරන කාලේදීත් ‍මොනවා කරත් වැඩක් නෑ යුද්ධය අවසාන වුනේ නැත්නම්. අපිට දිනන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය නැත්නම් මොනවා කළත් වැඩක් නෑ. හැබැයි අවසාන ප්‍රතිඵලය ලබා ගත්තොත් අපි කරපු හැමදේකම ප්‍රතිඵලයක් ලැබෙනවා. හැම අමාත්‍යාංශයකම අපි බලාපොරොත්තු වෙනවා යම් යම් ඉලක්ක. ඒ ඉලක්ක ලබා ගන්න අපි සැලසුම් හදනවා. සැලසුම් හැදුවාට වැඩක් නැහැ සැලසුම ක්‍රියාත්මක කරලා නැත්නම්. ලේකම්වරයා හැටියට රැස්වීමක් තිබ්බොත් සැලසුම් තිබ්බොත් මම කියන්නේ මට වැඩක් නැහැ සැලසුම බිමේ තියෙන්න ඕනෑ. බිමේ දකින්න ඕනෑ. බිමේ දකින්නේ නැත්නම් සැලසුමෙන් වැඩක් නැහැ. සැලසුම හිතේ තිබුණත් කමක් නැහැ හැබැයි කොලේ තිබිලා, ෆයිල් එකේ තිබිලා විතරක් වැඩක් නැහැ. ඒක තමයි අපි බලන්න අවශ්‍ය.

    අපිට හුඟාක් සරල දේවල්වලින්  විශාල වෙනසක් කරන්න පුළුවන්. උදාහරණක් වශයෙන් කොළඹ නගරයේ ෆොස්ටර් සහ බැනර් ගලවපුහාම කොච්චර බලපෑමක් ආවාද? සරල දෙයක්. හැබැයි ඒක පොඩි බලපෑමක් ප්‍රතිඵලය හරි විශාලයි. මේවා සරල දේවල්. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉතාමත් සරලයි. ඒ සරල ප්‍රශ්න දිහා සරලව අපි බලමු. අද මේ එක එක ඒවා නිසා හැම ප්‍රශ්නයක්ම සංකීර්ණ කරලානේ.

    පරිසරය  රකින්න ඕනෑ. අපි කැලෑ රකින්න ඕනෑ. හැබැයි අපි අමතක කරනවා මේ කැලෑවත් එක්ක පරිසරයත් එක්ක ජීවත් වෙච්ච මිනිසා. මිනිස්සු ජීවත් වුණේ වසර මිලියන ගාණක් පරිසරයත් එක්කනේ. අපි මේක කෘත්‍රිමව හදන්න මිනිසාගේ දේවල් අමතක කරන්න නරකයි. සරල කරගන්න අවශ්‍යයි. මිනිසුන්ගේ ප්‍රශ්න දිහා බලලා පරිසරයත් බේරා ගෙන මිනිසාගේ ප්‍රශ්නත් විසදාගන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ. පරිසරය විතරක් බේරා ගෙන මිනිසා ගැන අමතක කළොත් වැඩක් නැහැ. අපිට මේ දෙකම බේරා ගෙන යන්න පුළුවන්. අපි මේ දෙකම දිහා සරලව බැලුවොත්  අපිට පුළුවන් මේ ප්‍රශ්න විසදන්න.

    අපිට ඉක්මනටම ප්‍රතිඵල ඕනෑ. මම අද තියෙන ජනතා ප්‍රශ්නවලට ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මේවා කරන්න පුළුවන්.

    මේ ප්‍රශ්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබුණ ප්‍රශ්නවලින් සියයට විසි පහක්වත් බරපතල ප්‍රශ්න කියලා මම හිතන්නේ නැහැ. එදා ආර්ථිකය වැටිලා තිබුණා. යුද්ධයක් තිබුණා. එළියට බහින්න බැරි තත්ත්වයක් තිබුණා. බෝම්බ තිබුණා. මේවා  සියල්ල අවුරුදු තුනක් යන තැන අපිට විසඳන්න පුළුවන් වුණේ අපි අරමුණක් ඇතුව. කෙටි කාලයක් තුළදී  වැඩ කරපු නිසා අපිට ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් වුණා.

    අලි මිනිස් ගැටුම අවුරුද්දක්, දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසඳන්නට පුළුවන් වෙන්න ඕනෑ. මේක විසඳන්න පුළුවන් හරි අරමුණක් ඇතුව තීරණයක් ඇතුව ඒකට අපි බහින්නට ඕනෑ. එහෙම කළොත් අපිට මේ ප්‍රශ්නය විසඳන්නට පුළුවන්. එතනින් ඒ ප්‍රශ්නය ඉවරයි. නැත්නම් මේක  හැමදාමත් තියෙන ප්‍රශ්න බවට පත් වෙනවා.

    පුරාවිද්‍යාවේ විශාල කොටසක් කරන්නට පුළුවන්. මේවා ජනතාවට සංවේදී දේවල්. අපේ උරුමය. ලාහුගල පැත්තේ  උතුරු නැගෙනහිර පැත්තේ විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. මේවාට කඩිනමින් විසඳුම් හොයන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කිරීම හරහා බය නැතුව හරි තීරණය ගන්න අවශ්‍යයි. හරි තීරණය ගන්නට බය වෙන්න එපා.

    හරි දේ කරනවා නම් මොන නීතිය තිබුණත් මොන ව්‍යවස්ථාවක් තිබුණත් අවංකව හරි තීරණයක් ගන්න බය වෙන්න එපා. ඒකට කවදාවත් වරදින්නේ නැහැ.

    මම ලේකම්වරයෙක් විදියට, රටක් වෙනුවෙන්  හරි තීරණ ගත්තේ. ඊට පස්සේ උසාවි ගියා. ඒවා වෙලත් අන්තිමට ජනාධිපති වුණා. වරදින්නේ නැහැ හරි තීරණ ගත්තොත්. ඒක මම හිතන්නේ ස්වාභාව ධර්මයෙන් හැදිලා තියෙන්නේ. වැරදි තීරණ ගත්තොත් වැරදි වෙයි. තමන් හදවතට අවංකව රාජකාරිය වෙනුවෙන් හරි දේ බය නැතුව ක්‍රියාත්මක කරන්න ඕනෑ. තමන්ට කවදාහරි සන්තෝස වෙන්න පුළුවන් මම හරි තීරණය ගත්තා, මගේ රාජකාරිය ඉටු කළා කියන එක ගැන හිතලා බය නැතුව තීරණ ගන්න, ඒ වෙනුවෙන් මගේ සම්පූර්ණ සහායෝගය තියෙනවා.

    මම නැවත වරක් සැමට සුබ පතනවා. අපි ජනතාව බලාපොරොත්තු වෙන සේවය ඉටු කරමු.

    අද පත්වීම් ලද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය

    • ඩී. පී. ජී. කුමාරසිරි මහතා
      වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

    02- එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා
                      ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    03-කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා
    සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

    04-එම්. එන්. රණසිංහ මහතා
                      පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

    05-එස්. ටී. කොඩිකාර මහතා
          ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

    06-එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා
                      නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

    07-එච්. කේ. ඩී. ඩබ්ලිව්. එම්. එන්. බී. හපුහින්න මහතා
    සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    08-තිස්ස හේවාවිතාන මහතා
    පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය

    09-එම්. දේවසුරෙන්ද්‍ර මහතා
    ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    10-එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා
           වේවැල්. පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    11-එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා
                       දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය

    12-එස්. අරුමෛනායගම් මහතා
                       විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

    13-එස්. ජී. විජයබන්දු මහතා
    ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    14-එස්. සේනානායක මහතා
                      පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

    15-ඒ. සේනානායක මහතා
          තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    16-ජී. සී. කරුණාරත්න මහත්මිය
                        බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය

    17-කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා
     සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    18-ඩී. ඩී. මාතරආරච්චි මහතා
    ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    19-මහාචාර්ය රංජිත් දිසානායක මහතා
    ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

    20-ඒ. කේ. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එන්. කේ.වීරසේකර මහත්මිය
                       දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය

    21-ආර්. සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය
    බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

    22-කේ. එම්. එස්. ඩී. ජයසේකර මහත්මිය
    කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල්යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

    23-ඩබ්ලිව්. බී. පළුගස්වැව මහතා
    මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    24-ඩී. එල්. පී. ආර්. අභයරත්න මහතා
    උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිභෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    25-කේ. ආර්. උඩුවාවල මහතා
                       ඖෂධ නිෂ්පාදනය, සෑපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

    26-ජේ. එම්. තිලකරත්න බණ්ඩා මහතා
    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන     ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    27-එල්. එල්. ඒ. විජේසිරි මහතා
    වි හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

    28-ආර්. එම්. ඒ. රත්නායක මහතා
            මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

    29-ඩී. ඩී. ආරියරත්න මහතා
                       ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    30-කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා
          ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    31- එස්. එම්. ඩී. එල්. ඩී.  අල්විස් මහතා
           වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

    32-ආචාර්ය එම්. උපාලි සේදර මහතා
         අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

                 33- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතා
                      වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම           
                      හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

     34- ජයන්ත චන්ද්‍රසෝම මහතා
          විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,බහුදින ධීවර කටයුතු හා
          මත්ස්‍ය  අපනයන රාජ්‍ය අමාත්‍යාංශය

    35-රවීන්ද්‍ර සමරවික්‍රම මහතා
    ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

  • වයස අවුරුදු 15ක දැරියක් අඹුවට තබාගෙන කර ඇති හදියක තරමක්..!

    වයස අවුරුදු 15ක දැරියක් අඹුවට තබාගෙන කර ඇති හදියක තරමක්..!

    වයස අවුරුදු 15ක දැරියක් ගැබිනියක් කර, පළා ගොස් සිටි සැකකරුවෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය වසරේ ජූනි මාසයේ දිනක සිය දෙමව්පියන් ඇති වු ආරවුලක් හේතුවෙන් නිවසින් පිට වු එම දැරිය මහනුවර පදිංචි සිය මාමාගේ නිවසට බස්රථයක නැගී යන අතරතුර දී සැකකාර තරුණයා මුණගැසී තිබේ.

    පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනැඟී ඇති අතර, එම සම්බන්ධයෙන් මසකට පමණ පසු අදාළ සැකකාර තරුණයා විසින් දැරියව දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වා ඉන්පසු, ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස දින කිහිපයක් ජීවත් වී ඇත.

    පසුව දැරියව පිටකොටුව බස් නැවතුම්පොළට මෙම තරුණයා විසින් ගෙනැවිත් ඇරලවා තිබේ.

    ගර්භනී තත්ත්වයට පත්ව ඇති එම දැරිය, දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දියණියක් බිහි කර ඇත.

    ඒ පිළිබඳව රෝහලේ වෛද්‍යවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබේ.

    සැකකරු පිළිබඳ කිසිදු තොරතුරක් අදාළ දැරිය නොදන්නා බැවින් ඇයට දුරකථන ඇමතුම් ලබා දුන් අංකය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා තිබේ.

    එමඟින් සොයා ගත් තොරතුරු මත සැකකාර 22 හැවිරිදි තරුණයා මුන්නේෂ්වරම් කෝවිල අසල පලතුරු කඩයක රැකියාව කරන අයෙක් බවට අනාවරණය වී තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගැනීමට එම ස්ථානයට යන විට ඔහු පළා ගොස් ඇති අතර, පසුව සිදුකළ විමර්ශනවලදී තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

  • පැය 09ක් පුරා පාස්කු කොමිසම 7වන ජනපතිගෙන් ප්‍රශ්න කරයි

    පැය 09ක් පුරා පාස්කු කොමිසම 7වන ජනපතිගෙන් ප්‍රශ්න කරයි

    පැය 9ක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබේ.

    පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ ඒ මහතාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසට පැමිණ තිබුණි.

    හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබුණි.

    නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි.

  • මත්තල ගැන රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානකගෙන් සහතිකයක්

    මත්තල ගැන රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානකගෙන් සහතිකයක්

    කොවිඩ් 19 වසංගතයෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ  මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත් කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. 

    සිය අමාත්‍යධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපළට පැමිණි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. 

    වී ගබඩා පහසුකම් සඳහා අතහැර දමා තිබූ මෙම ගුවන්තොටුපළ මේ වන විට මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යයි. එමිරේට්ස් සමාගම මත්තලට පැමිණීමත් සමග ජාත්‍යන්තර ගුවන් සේවා මත්තල ගුවන්තොටපළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. වර්තමාන ගෝලීය අර්බුධය හමුවේ මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහයනයද මත්තල ගුවන්තොටුපල මුල් කරගනිමින් සිදු කරයි. 

    නව ගුවන් ගමනාන්තයන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහන වෙළඳපල කෙරෙහිද තම අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සදහන් කරයි. 

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා හම්බන්තොට මුල් කරගනිමින් එළවලු පළතුරු සහ මත්ස්‍ය නිශ්පාදන ගබඩා කළ හැකි ශීතාගාර ඉදිකිරීමට අවධානය යොමු වී ඇතැයිද එම නිශ්පාදන මැද පෙරදිග ඇතුලුව විවිධ රටවල් සඳහා ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට මත්තල ගුවන්තොටුපල උපයෝගී කරගන්නා බව පැවසීය. 

    ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්කයන්හි ගොවියන්ගේ නිශ්පාදන අපනයන වෙළඳපල වෙත ගෙන යාම රජයේ අරමුණ බවත් මත්තල ගුවන්තොටුපල මුල් කරගනිමින් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම තම අමාත්‍යංශයේ අරමුණ බවද හෙතෙම සදහන් කළේය. 

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නව ආයෝජන කලාප කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එහි එළවලු පළතුරු සහ මත්ස්‍ය නිශ්පාදය ජාත්‍යන්තර වෙළඳපලට අවශ්‍ය පරිදි සැකසුම් කිරීම, ඇසුරුම් කිරීම සහ අගය එකතු කිරීම වැනි කාර්යන් සිදු කරන බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවගේ නිශ්පාදන සඳහා ඉහල මිලක් ලබා දීමද තම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. 

    මත්තල ඉදිරියේදි මගී මෙහෙයුම් කටයුතු වැඩි වශයෙන් සිදු කරන බවත් ඒ සදහා අවශ්‍ය පීසිආර් යන්ත්‍රයක් හා විද්‍යාගාරයක් ඉතා ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ගුවන්තොටුපල ලෙස මත්තල ගුවන්තොටුපල පවත්වාගෙන යාම අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

    මෙම අවස්තාවට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අධ්‍යක්ෂක ශෙහාන් සුමනසේකර මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

  • හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස්ට බාර දෙයි

    හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස්ට බාර දෙයි

    පසුගිය අගෝස්තු 17 වැනි දින ප.ව 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන්නේය.

    විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර මෙම වාර්තාව හෙට (25) දිනයේදී විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිත අතර අනිද්දා (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

  • සම්පත් බැංකුවේ මුළු වත්කම් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යයි

    සම්පත් බැංකුවේ මුළු වත්කම් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යයි

    Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක් විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරිනීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර 2020 මාර්තු මස සිට එය ලොවපුරා ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී.

    මේ වනවිට ද අභියෝගයට ලක්ව ඇති දේශීය ආර්ථිකය, Covid-19 වසංගතය පැතිරීයාමෙන්, තවදුරටත් ආතතියට පත් විය. මෙම ආර්ථික අභියෝගයන්ට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව දෙවන කාර්තුවේදී, දෙවරක් ප්‍රතිපත්ති අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2020 ජූනි 30 වන විට සම්මත තැන්පතු පහසුකම් අනුපාත (SDFR) සහ සම්මත ණය පහසුකම් අනුපාත (SLFR) පිළිවෙලින් 5.5% සහ 6.5% ක් දක්වා පහත වැටුණි. එසේම වෙළඳපල ද්‍රවශීලතා මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් 2020 මුල්භාගය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අදියර දෙකකින්, 5% සිට 2% දක්වා පහත හෙලන ලදි.

    Covid-19 වසංගතය හමුවේ ආර්ථිකය හා බැංකු ක්ෂේත්‍රය, සමස්තයක් ලෙස පෙර අත්නොදකින ලද අභියෝගයන්ට මුහුණදෙමින් සිටි මධ්‍යයේ වුවද, සම්පත් බැංකුවට සිය මුළු වත්කම්, ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යාමට හැකි වූ බව සතුටින් දන්වයි. වසර 33 ක් වැනි කෙටි කාලයක් තුළදී, මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ශ්‍රී ලංකාවේ ලාබාලතම ව්‍යාපාරික සංවිධානය ද සම්පත් බැංකුව විය හැක.

    රට තුළ පැවති සංචරණ සීමා හේතු කොටගෙන, දැඩි ලෙස පීඩාවට පත් වූ සිය වටිනා ගනුදෙනුකරුවන්ට ඔවුන් මුහුණ දුන් අභියෝග සහ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා වූ සේවාවන් සැලසීමට, මෙම අසීරු කාලපරිච්ජේදය තුළදී බැංකුව අතිමහත් පරිශ්‍රමයක් දැරීය. සම්පත් බැංකුවේ පුළුල් ශාඛා ජාලයත්, තොරතුරු තාක්ෂණයේ ප්‍රවීණත්වය හා ඒ සම්බන්ධව සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනයන් හේතු කොටගෙන මෙම අභියෝගාත්මක කාල මධ්‍යයේ කිසිඳු බාධාවකින් තොරව කටයුතු කිරීමට සම්පත් බැංකුවට හැකි විය. රජය විසින් හඳුන්වා දී ඇති සියලුම සහන ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බැංකුව කැප වූ අතර, රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද තාවකාලිකව ණය අයකිරීම ප්‍රමාද කිරීමේ ක්‍රමය යටතේ, බැංකුවේ ණය කළඹෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සහන සඳහා සුදුසුකම් ලැබීය. තවද රජය විසින් හඳුන්වා දුන් සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබා දීමේ දී බැංකුව ක්‍රියාකාරීව කටයුතු කළේ ය. එසේම, ප්‍රතිව්‍යුහගත කිරීම ද ඇතුළුව, සෑම අංශයකම දැඩිලෙස බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලු සහන සැලසීමට ද ක්‍රියාකාරීව පියවර ගන්නා ලදී.

    2020 මුල් අර්ධ වර්ෂයේ දී මුහුණ පෑමට සිදුවූ පෙර අත්නොදකින ලද අභියෝග හේතුකොටගෙන එම කාලයේ මුල්‍ය ප්‍රතිඵල 2019 මුල් අර්ධ වාර්ෂිකය සමඟ සංසන්දනය කිරීම, යථාර්ථවාදී නොවිය හැකි බවද සැලකිල්ලට ගත යුතු කරුණකි.

    2020 පළමු භාගය සඳහා වූ සම්පත් බැංකුවේ මුල්‍ය ප්‍රතිඵල

    2020 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 5.32 සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 3.97 ක් වාර්තා කර ඇත. 2020 මාර්තු මස මැද භාගයේ සිට පැවැති පෙර අත්නොදකින ලද අභියෝග මධ්‍යයේ වුවද , 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයට සාපේක්ෂව බදු පෙර ලාභය සහ බදු පසු ලාභයෙහි පහත වැටීම පිළිවෙළින් 8% කට සහ 3.2% කට සීමා කිරීමට බැංකුවට හැකි වී ඇත. 2020 වර්ෂය සඳහා ළඟාකරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක වෙත බැංකුව ශක්තිමත් ප්‍රගතියක් ලබා දී ඇති අතර, තාක්ෂණික දියුණුව හා සබැඳි විවිධාර්ගීකරණය වූ නිෂ්පාදන කළඹ සහ ශක්තිමත් පිරිවැය පාලන පියවරයන් මඟින් ලාභයට වන බලපෑම පාලනය කිරීමට බැංකුවට හැකි වී ඇත. 2020 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සම්පත් සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් 7.7% සහ 4.2% කින් පහත වැටුණු අතර එය පිළවෙලින් රුපියල් බිලියන 5.48 ක් සහ රුපියල් බිලියන 3.99 ක් විය.

    මේ අතර, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය 13.30% ක් සහ මුළු ප්‍රාග්ධන අනුපාතය 16.77% ක් වශයෙන් පවත්වා ගනිමින් බැංකුව මනා ප්‍රාග්ධනීකරණයකින් යුතුව මෙහෙයුම් සිදු කර ඇත.

    අරමුදල් මත පදනම් වූ ආදායම (FBI)
    2020 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම සාධක දෙකක් හේතුකොටගෙන සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වූ අතර, එම සාධක වනුයේ, ආර්ථිකයට සහන ලබා දීම සඳහා ප්‍රතිපත්ති අනුපාත අඩු කිරීම සහ ණය අයකර ගැනිම් තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රමවේදය යටතේ ගනුදෙනුකරුවන්ට සහන සැලසීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස Covid-19 ණය අයකර ගැනීම් පමා කිරීමේ ක්‍රමවේදය යටතේ පළමු දින අලාභය (day 1 loss) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 (SLFRS-9) හි සඳහන් වන සංශෝධිත ක්‍රමය අනුගමනය කරමින් හඳුනා ගත් අතර පොලී ආදායමට එරෙහිව වාර්තා කරන ලදී. සමස්ථ පළමු දින අලාභයම මෙම කාලපරිච්ජේදයේදී වාර්තා කල බැවින් 2020 දෙවන අර්ධ වාර්ෂිකය තුළ වාර්තා කිරීමට Covid-19 ණය අයකිරීම් ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය ආශ්‍රිත අමතර අලාභ කිසිවක් ඉතිරිව නැත.

    ඉහත සඳහන් කළ හේතුන් මත, බැංකුවේ ශුද්ධ පොලී ආදායම 2019 අනුරූපී කාලපරිච්ජේදයට සාපේක්ෂව 2020 පළමු භාගය තුළ 11.9% පහත වැටී ඇති අතර එය රුපියල් බිලියන 17.4 ක් ලෙස වාර්තා විය. ශුද්ධ පොළී ආදායමට බලපාන සාධක කළමනාකාරීත්වය විසින් සමීපව අධීක්ෂණය කරන අතර, බැංකුවේ වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව විසින් ශුද්ධ පොලී ආදායම ප්‍රශස්ත මට්ටමට කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත. සමස්තයක් වශයෙන්, සමලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා පොලී ආදායම රුපියල් බිලියන 5 කින් පහත වැටී, රුපියල් බිලියන 46.2 ක් ලෙස වාර්තා වූ අතර, එය 2019 වර්ෂයට අදාළ අනුරූපී කාලපරිච්ජේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 51.2 ට සාපේක්ෂව 9.8% ක අඩු වීමකි. 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 31.4 ට සාපේක්ෂව, 2020 දෙවන කාර්තුවේ ද මුළු පොලී වියදම රුපියල් බිලියන 28.8ක් විය. එය 8.5% ක අඩුවීමකි.
    එහි ප්‍රතිඵලයක් වශයෙන් , 2020 වර්ෂයේ පළමු අර්ධ වර්ෂය සඳහා වූ ශුද්ධ පොලී ආන්තිකය, 2019 දී වාර්තා වූ 4.46% ට සාපේක්ෂව 3.57% ක් විය.

    අරමුදල් මත පදනම් නොවන ආදායම (NFBI)
    ණය ,වෙළඳ , කාඩ්පත් හා විද්‍යුත් මාර්ග ආශ්‍රිත ගාස්තු යනාදියෙන් විශාල වශයෙන් සමන්විත වන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා රුපියල් බිලියන 3.8 කට සීමා වූ අතර, එය 2019 වර්ෂයේ පළමු භාගයෙහි වාර්තා වූ අගයට වඩා 18.9% ක පහත වැටීමකි. මෙම පහත වැටීමට ප්‍රධාන සාධකය වූයේ, මෙම අභියෝගාත්මක කාලපරාසය තුළ ගණුදෙනුකරුවන්ට සහන සැලසීම අරමුණු කර ගෙන පනවා තිබූ සීමාවන් හේතුවෙන් ණය ආශ්‍රීත ගාස්තු සහ කොමිස් ආදායම අඩුවීම ය. මේ අතර, සම්පත් විශ්ව (app) හා අනෙකුත් විද්‍යුත් මාර්ග ආශ්‍රිත නිෂ්පාදන පුළුල් භාවිතය හේතුවෙන් විද්‍යුත් මාර්ග ආශ්‍රීත ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2.7% කින් අවප්‍රමාණය වූ අතර ඒ හේතුවෙන් උපලබ්ධි විනිමය ආදායම වැඩිවීම නිසා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම, 2020 වර්ෂයේ පළමු භාගයේ දී 509% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයේ දී වාර්තා කරන ලද රුපියල් මිලියන 642 ක් වූ අලාභයේ සිට 2020 වර්ෂයේ පළමු මාස හය සඳහා වූ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 2.6 ක් දක්වා වර්ධනය විය. අනෙත් අතට ඉහත සඳහන් කල විනිමය අවප්‍රමාණය හේතුවෙන් ඉදිරි විනිමය ගිවිසුම් තුළින් බැංකුවට රුපියල් මිලියන 107 ක ශුද්ධ වෙළඳ අලාභයක් දැරීමට සිදු විය. එබැවින්, සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා විදේශ විනිමය ගනුදෙනු මත වූ බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 1.8 ක් විය.

    මෙහෙයුම් වියදම්
    මෙහෙයුම් වියදම්, 2019 වර්ෂයේ පළමු භාගයෙහි රුපියල් බිලියන 10.1 ක් වූ අතර, එය සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ රුපියල් බිලියන 9.6 ක් දක්වා අඩුවිය. එය 5.2% ක වාර්ෂික පහත වැටීමකි. බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පිරිවැය පාලන උපායමාර්ග මෙම පහත වැටීම කෙරෙහි ඉවහල් වී ඇත. 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදයේ වාර්තා කල 38.8% සිට බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය (මුල්‍ය සේවාවන් මත වූ එකතු කල අගය මත බදු ඇතුළත් නොවූ) 2020 පළමු මාස හය තුළ 40.2% ක් දක්වා අන්තික වර්ධනයක් සිදු වී ඇත.මෙම ආන්තික වර්ධනයට ප්‍රධාන හේතුව වූයේ, 2020 මුල් භාගය තුළ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් පහත වැටීම වේ.

    ණය හා ලැබීම් මත අපහායන අයකිරීම්
    පවත්නා ආර්ථීක අවපාතය හේතුවෙන් ණය අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති ගනුදෙනුකරුවන් සඳහා බැංකුව විසින් සැලකිය යුතු ප්‍රතිපාදනයක් සිදුකර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදයේ වාර්තා වූ රුපියල් බිලියන 2.5 සිට 2020 වර්ෂයේ මුල් භාගයේදී තනි ලෙස සැලකිය යුතු ගනුදෙනුකරුවන්ට එරෙහි අපහායන අයකිරීම් රුපියල් බිලියන 4.3 දක්වා ඉහළ ගොස් ඇත. තවද, ආර්ථික පසුබෑම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, සම්පත් බැංකු කළමණාකාරිත්වය, සාමුහික අපහායන ප්‍රතිපාදනයන්ද වැඩි කිරීමට තීරණය කරන ලදී. කෙසේ වුවද, 2020 වර්ෂයේ මුල් මාස හය සඳහා වූ සාමුහික අපහායන අයකිරිම්, පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව අඩු වී ඇති අතර, ඊට අදාළ වූ හේතුන් පහත පැහැදිලි කර ඇත. 2019 අප්‍රේල් මස සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ණය කළඹෙහි ගුණත්මකභාවය දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර, එමඟින් 2019 දෙවන කාර්තුවේ දී සාමුහික අපහායන අයකිරිම් ඉහළ දැමීමට බැංකුවට සිදුවිය.

    ව්‍යාපාර වර්ධනය
    සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ සම්පත් බැංකුවේ සමස්ත වත්කම් පදනම 4.5% (වාර්ෂික 9%) කින් වර්ධනය වූ අතර එය 2020 ජූනි 30 දිනට රුපියල් ට්‍රිලියන 1 ට ළඟා විය. එය 2019 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 962 ක් විය. සමාලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා රුපියල් බිලියන 28 ක වර්ධනයක් වාර්තා කරමින්, 2020 ජුනි 30 දිනට දළ ණය සහ අත්තිකාරම් 3.9% ( වාර්ෂික 7.8%) කින් වර්ධනය වී රුපියල් බිලියන 748 දක්වා ළඟා වී ඇත. එම කාලපරිච්ජේදය තුළදී 10% (වාර්ෂික 20%) වර්ධනයක් සහිතව මුළු තැන්පතු පදනම රුපියල් බිලියන 72 කින් වර්ධනය වී, වාර්තා කරන දිනට රුපියල් බිලියන 790 ක් ලෙස වාර්තා විය. මේ අතර ජංගම ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA) 2019 දෙසැම්බර් 31 දිනට 35.2% සිට 2020 ජූනි 30 වන විට 36.6% ක් දක්වා ආන්තිකව වර්ධනය වී ඇත.

    කාර්යසාධන අනුපාත
    බදු පසු ලාභයෙහි සිදුවූ පහත වැටීම හේතුකොටගෙන 2019 දෙසැම්බර් 31 වන විට 11.78% ක් වූ සාමාන්‍ය ස්කන්ධ මත ඉපැයීම් අනුපාතය (ROE) (බදු පසු ) 2020 ජූනි 30 දිනට 7.56% ක් දක්වා අඩු වී ඇත. තවද 2019 දෙසැම්බර් 31 දිනට 1.66% ක් වූ ආදායම් බදු අඩු කිරීමට පෙර සාමාන්‍ය වත්කම් මත ඉපැයුම් අනුපාතය ද (ROA) 1.09% ක් දක්වා, පහත වැටී ඇත.

    දේශීය බැංකු ඒකකය හා අක්වෙරළ බැංකු ඒකකය සඳහා වන ව්‍යවස්ථාපිත ද්‍රවශිල වත්කම් අනුපාතය (SLAR) මෙම කාලසීමාව පුරාවට 20% ක අවම සීමාවන් වලට වඩා ඉහළින් පැවති අතර 2020 ජූනි 30 දිනට පිළි‍වෙලින් 28.12% සහ 33.88% දක්වා වර්ධනය වී ඇත.

    ප්‍රාග්ධන ප්‍රමාණත්මතාව
    2020 ජූනි 30 දිනට බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවලින් 13.30% , 13.30% සහ 16.77% ක් වූ අතර, වාර්තා කරන දිනට ඊට අනුරූප ශ්‍රී ලංකා මහ බැංකුවේ අවම සීමාවන් වන 6.5%, 8% සහ 12% ට වඩා ඉහළ අගයකින් පැවතුණි.

  • සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන  වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

    දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු ඊට පාදක කරගත යුතු යැයි  ද ජනාධිපතිවරයා පැවසීය.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    සමෘද්ධි ප්‍රතිලාභ සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල  රුපියල් මිලියන 50,000කි. එම මුදල රටට ආයෝජනයක් විය යුතුය. සමෘද්ධිලාභී සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එහිදී නිසි පසුවිපරමක අවශ්‍යතාව ද ජනාධිපතිරයා පෙන්වා දුන්නේය.

    සවිබල ගැන්වූ සමෘද්ධි ප්‍රතිලාභියා සමෘද්ධි වැඩසටහන හා තබා ගනිමින් රටට ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවලින් ප්‍රතිලාභ දීමට නම් නියාමනය අනිවාර්ය වේ. මූල්‍ය සාක්ෂරතාව අවබෝධකර ගැනීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල වැදගත් කාර්ය භාරයකි. සමාජ වෙනසකට ජනතාව තුළ උද්යෝගයක් ඇතිව තිබෙන පසුබිම ගෘහ ආර්ථිකය දියුණු කිරීමට පාදක කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් 19 වැනි අභියෝගකාරි තත්වයකට මුහුණදුන් ජනතාවට සිය ආර්ථිකය නංවා ගැනීම වෙනුවෙන් බැංකු විසින් සහනදායී වැඩසටහන් හදුන්වාදීමේ වැදගත්කම  පැහැදිළි කළ ජනාධිපතිතුමා ජනතාවට මෙන්ම රටටද යහපත් ආර්ථිකයක් උදාකර ගත හැක්කේ එවිට බව කියා සිටියේය.

    “සමෘද්ධිය” සැබවින්ම හිමිවිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවක් බවට පත්ව ඇති බවත්, ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මගින් එය නියාමනය කළයුතුයැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    ජනාධිපතිතුමාගේ මූලික අපේක්ෂාවක් වන ජනතාවට ඉඩම් අයිතිය නිරවුල් කර දීම වහාම ඇරඹිය යුතුව ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    පොල්, අඹ, කොස් වැනි බෝග වගාව අරඹා ගෘහ ආර්ථිකය දියුණු කිරීම ආරම්භ කළ යුතු බව  ජනාධිපතිතුමා පැවසීය. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතට පවරා ජනතාවට නිසි අයිතිය ලබාදීම කඩිනමින් කළයුතු බව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු, රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

  • යෝෂිත – සජීව‌ගෙන් මිලියන 500ක වන්දියක් සමග තවත් ඉල්ලුවේ මොනවාද ?

    යෝෂිත – සජීව‌ගෙන් මිලියන 500ක වන්දියක් සමග තවත් ඉල්ලුවේ මොනවාද ?

    සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

    සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර මහතා 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ප්‍රකාශ කර තිබුණි.  

    එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ මහතා එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම  එන්තරවාසිය යොමු කර තිබේ.

    එමෙන්ම,

    1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
    2.  මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
    3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
    4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා  සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
    5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

    යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින්  අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.

  • අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම ඉවත් කරන්නෑ – ඇමැති බන්දුල

    අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම ඉවත් කරන්නෑ – ඇමැති බන්දුල

    දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා අයකළ බද්ද රුපියල් 50 සිය 55 දක්වා රුපියල් 05කින් ඉහළ දැමීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    විශේෂ වෙළෙද භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු සංශෝධනය මාස 04ක කාලයක් වලංගු වන බව ද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරයි.

    මේ අතර කහ ආනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඒ සදහා පසුගිය දා පැනවූ තහනම තව දුරටත් බලාත්මක බවත් වෙළෙද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පැවසීය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ වෙළෙද ඇමැතිවරයා කියා සිටියේ කහ ආනයන තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවූ පුවත් සාවද්‍ය බවයි.

    කහ ආනයන තහනම ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරවල නිරත වූවන්ට අහිතකර ලෙස බලපා ඇති බව කී ඇමැතිවරයා ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

    ඒ අනුව දේශීය වෙළෙදපොළ අවශ්‍යතා සදහා නොව අපනයනය සදහා කහ ආනයනය කිරීමට හැකිවන පරිදි ආනයන සීමා ලිහිල් කිරීම ගැන ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

    නිසි වගා සැලසුමකින් තොරව කහ ආනයනය තහනම් කිරීම නිසා මේ වන විට දේශීය වෙළෙදපොළේ උග්‍ර කහ හිගයක් පවතින අතර කහ ග්‍රෑම් 100ක් රුපියල් 600ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ. මේ සම කහ සම්බන්ධ ‘කලු කඩයක්‘ ද නිර්මාණය වී ඇති අතර රජයේ පාලන මිල ගැන කහ අලෙවිකරුවන් කිසිම තැකීමක් නොකරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

  • ප්‍රතික්ෂේප කළ උපාධිධාරීන්ට සහන දීමට රජය තීරණය කරයි

    ප්‍රතික්ෂේප කළ උපාධිධාරීන්ට සහන දීමට රජය තීරණය කරයි

    රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ අභ්‍යාසලාභී පුහුණුව සදහා කැදවීම් නොලබන බවට ප්‍රකාශ කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම ලෙස සදහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැදවීමටත් අපේක්ෂා කරන බව රජය නිවේදනය කරයි.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

  • ගුණගරුක දරුවන් බිහිවන ආකාරය ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

    ගුණගරුක දරුවන් බිහිවන ආකාරය ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

    දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා.

    රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවැසීය.

    ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

    පාස්කු දින ප්‍රහාරය, ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනය බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කිසිඳු ආගමක ප්‍රචන්ඩත්වය උගන්වන්නේ නැති බවට විශ්වාසය පළ කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,

    බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන්  මිෂනාරි අධ්‍යාපන රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල් වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස  ගාල්ල  වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත් ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා. 

    ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම්පාසල් අධ්‍යපනය ලබනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝ රත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිඳු වේතනයක් නොලබා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම අපි අගය කළ යුතුයි.

    ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්ත්‍යව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරීහිම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප්‍රමාණය බැලුවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

    දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත්කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

    රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.

    බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

    පසුගිය කාලයේ රට තුළ සිදු වූ විවිධ ප්‍රශ්න, පාස්කු ප්‍රහාරය, ත්‍රස්තවාදය යනාදී ගැටළු ඇති වුණා. එවැනි සියල්ලක් නැති කිරීමට වඩාත් දායක වෙන්නේ ආගමික අධ්‍යාපනය. කිසිම ආගමක ප්‍රචන්ඩත්වය උගන්නන්නේ නෑ. ඒ වගේම මෙම උත්සවය පැවැත්වීමට කසාගල තෝරා ගැනීම පිළිබඳවත් මා සතුටු වෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

    ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්යය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජි මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය, ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු නියෝජ්‍ය සභාපති, මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ දකුණු පළාත් ලේකම්තුමා හා දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරු භවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වුහ.

  • Covid-19: ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් මරුට

    Covid-19: ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් මරුට

    ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

    එහි සදහන් වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බවයි.

    අදාළ කාන්තාව සම්බන්ධ සියලු නිල තොරතුරු පහත දැක්වේ.

  • කොවිඩ් ආසාදිතයින් 06ක් වාර්තා වෙද්දී 161කගේ නිරෝධානය අවසන්

    කොවිඩ් ආසාදිතයින් 06ක් වාර්තා වෙද්දී 161කගේ නිරෝධානය අවසන්

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID – 19 වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ.

    අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත  පුද්ගලයින් හය දෙනෙකු (06) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හය දෙනා (06) අතරින් එක් පුද්ගලයෙක් (01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ මුලතිවු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දපුද්ගලයින් දෙදෙනෙකු (02) කුවේට් සිට මෙරටට පැමිණ තිස්සමහාරාම ඉකෝ සෆාරි සහ කොළඹ GSH හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන තුලදඑක් පුද්ගලයෙකු (01) ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) වස්කඩුව සිට්‍රස් නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    අද (23) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 629 දෙනෙකු වේ. 

    පුනරුත්ථාපනය වන රැඳවියන්   –  508

    කාර්ය මණ්ඩලය  – 67

    ආරාධිත කාර්ය මණ්ඩලය  – 05

    පවුල් හා සමීපතමයින් – 48

    වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් – 19 වෛරසය –  01

    ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් එකතුව –   629

    අද (23) දින උදෑසන UL 1710 දරණ මගී ගුවන් යානය මගින් නයිරොබි සිට පුද්ගලයින් එකසිය දහ දෙනෙකු ද (110), EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් තිස් එක් දෙනෙකු ද (31), QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් දහ නව දෙනෙකු ද‍ (19), 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සහ UL 606 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට පුද්ගලයින් දෙසිය තිස් අට දෙනෙකු (238) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (23) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය හැට එක් දෙනෙකු (161) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුවබියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02)ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02)දියතලාව නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් අසූ නව දෙනෙක් (89)බියගම ක්‍රීඩා සංකීර්ණ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දස දෙනෙකු (10) සහ ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් පනස් අට දෙනෙක් (58) වශයෙන් වේ.

    එසේමඅද (23) දිනය වනවිට පුද්ගලයින් 31,173 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. 

    එසේමඅද (23) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 52 ක් තුළ පුද්ගලයින් 7,304 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (22) දිනය තුලදී PCR පරික්‍ෂණ 1710 ක් සිදුකර ඇති අතරමේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 202,907 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (23) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් නව දෙනෙකු (09) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු (01) විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් අට දෙනා (08) දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    ඒ අනුවකන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 597 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32 දෙනෙකු වේ.

  • ‘විදුලිය කැපීම’ නවතී

    ‘විදුලිය කැපීම’ නවතී

    නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 300ක් අද (21) සිට නැවත ජාතික විදුලි පද්ධතියට එකතු කළ බවත් ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විජිත හේරත් මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විජිත හේරත් මහතා කියා සිටියේ, නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 900ක් සපයන අතර, පසුගිය දා සිදුවු විදුලි බිඳවැටීම හේතුවෙන් එම බලාගාරයේ ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත වීම හේතුවෙන් පසුගිය අගෝස්තු මස 18වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බවයි.

    මේ අතර, කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙක් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.