Category: සුපිරි News

  • ඉදිරි දිනවල විදුලිය කපන කාල සටහන මෙන්න !

    ඉදිරි දිනවල විදුලිය කපන කාල සටහන මෙන්න !

    අද (අගෝස්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ විදුලි සැපයුම දෛනිකව නිශ්චිත කාලයක් සඳහා අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

    ඒ අනුව දිවයිනම කලාප 4 කට වෙන්කර සතියේ දිනවල අවස්ථා දෙකකදී පැය දෙකකුත් විනාඩි හතලිස් පහක් සහ සෙනසුරාදා දිනවල එක් අවස්ථාවකදී පැයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවනු ඇත.

    නොරොච්චෝලේ බලාගාරය නැවත පණගන්වා විදුලි පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙන තෙක්, දින හතරක් පමණ මෙම විදුලිය කප්පාදුව ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව විදුලි බල මණ්ඩලය පැවසීය.

    ඒ අනුව එම කාල සටහන පහත වගුවල දැක්වෙන පරිදි වේ.

    මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය
    මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය
    මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය
    ඡායාරූප ශීර්ෂ වැකිය,මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය

    විදුලි බල මණ්ඩලය පවසන පරිදි ඉහත වගුවල දැක්වෙන කාණ්ඩවලට අයත් ප්‍රදේශ මොනවාදැයි මෙතැනින් යොමු වී දැනගත හැකිය.

    සඳුදා (අගෝස්තු 17) පැය 6 ට අධික කාලයක් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරේ.

    එම විදුලි බිඳ වැටීම හේතුවෙන් ආර්ථිකයට වූ පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 1 ක් පමණ වෙතැයි අනුමාන කෙරෙන බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

    අදාළ විදුලි බිඳවැටීම හේතුවෙන් ප්‍රධාන සැපයුම් පද්ධතියෙන් විසන්ධි වූ නොරොච්චෝල පිහිටි ලක්විජය බලාගාරය අක්‍රීය වීම මත මෙගාවොට් 800 ට අධික විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියෙන් ගිලිහීම නිසා පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා සැපයුම කළමනාකරණය කිරීමට මෙම පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

    දිවයින පුරා සඳුදා සිදුවු විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව අද කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ වෙත ගොස් විදුලිය විසන්ධි වීමට හේතු වූ බව කියන ස්ථානය නිරීක්ෂණ කළ බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

    මහාචාර්ය රාහුල අතලගේ ප්‍රධානත්වය දරන එම කමිටුව ලබන සඳුදා වනවිට සිය වාර්තාව ලබාදෙතැයි අපේක්ෂා කෙරේ.

    මේ අතර රට අඳුරේ ගිල්වීමට හේතුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා දින තුනක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් සඳුදා (අගෝස්තු 17) ලංකා විදුලි බල මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබීය.

  • අගමැති අභිනව ක්‍රීඩා අමාත්‍ය නාමල්ට සුභ පැතුම් එක් කරයි

    අගමැති අභිනව ක්‍රීඩා අමාත්‍ය නාමල්ට සුභ පැතුම් එක් කරයි

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (18) දින සිය රාජකාරී ආරම්භ කළ නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  සුභ පැතුම් එක් කරන ලදී.

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.

    රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය  ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත්  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ.ා, සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී.

    මේ අවස්ථාව සඳහා අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ,  සිතුල් පව්ව රජමහා විහාරාධිපති මැටරඹ සෝම රතන ස්වාමීන් වහන්සේ, හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, යෝෂිත රාජපක්ෂ මහතා, රෝහිත රාජපක්ෂ මහතා හා ලිමිණි රාජපක්ෂ මහත්මිය යන පවුලේ සාමාජිකයින් ද  මෙම අවස්ථාවට සහභාගි වූහ.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්  මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මේ අවස්ථාවට  සහභාගී වූහ.

  • නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘එක්සත් ජනපද තානාපතිනිය අගමැති ’ හමු වෙයි

    නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘එක්සත් ජනපද තානාපතිනිය අගමැති ’ හමු වෙයි

    ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් ඊයේ (17) සවස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවතී සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී.

    අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක් ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට යෙදුන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භයේ දී ඇය අග්‍රාමාත්‍ය තුමන් හට සුභ පතන ලදී. නිදහස්, සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය පවසා සිටියේ “පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක්” මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවයි.

    ” අපි නව රජය සමඟ වැඩ කිරීමට අපේක්ෂාවෙන් පසු වෙනවා” තානාපති තුමිය පැවසීය.

    නව රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳ කළ විමසීමට පිළිතුරු වශයෙන්, කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවය වී ඇති බව අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

    තානාපති ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවේ කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් “ලද ජයග්‍රහණය වෙනුවෙන් රජය නිසැකයෙන්ම ප්‍රශංසාවට ලක් විය යුතුය” යනුවෙනි. එය “අති සාර්ථක කතාවක්” වශයෙන් ද හැඳින්වීය. ශ්‍රී ලාංකිකයන් සඳහා පුද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා උදව් කිරීමද ඇතුළුව එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තහවුරු කිරීම ද එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවයක් බව ඇය සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා ද යෝජනා කරන ලද්දේ රැකියා අවස්ථාවන් සඳහා තරුණ ප්‍රජාව මනා ලෙස සුදානම් කිරීම සඳහා දිවයින පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට එක්සත් ජනපද සහාය ලබා දීම මනා කරුණක්  වන බවය. “අවස්ථාවන් බොහෝ තිබෙනවා” තානාපති ටෙප්ලිට්ස් මහත්මිය පැවසීය. විශේෂයෙන්, හොඳින් උගත් ශ්‍රම බලකායක් පැවතීම ශ්‍රී ලංකාවට ඇති ප්‍රබල වාසියක් බව ද එතුමිය පැවසීය.

    සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ සාකච්ඡා කරමින්, අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා විසින් තානාපති තුමිය හට දන්වන ලද්දේ ජනගහනයේ ඇතැම් කොටස්වලට හා  රටේ ඇතැම් ප්‍රදේශවලට මුලික පහසුකම් නොමැති බවයි. රටේ ඇතැම් ප්‍රදේශවලට සුරක්ෂිත පානිය ජල අවශ්‍යතාවය පවතින බවත්, නිදන්ගත වකුගඩු රෝගය සඳහා අනාරක්ෂිත පානීය ජලය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    සාකච්ඡා කළ අනෙකුත් කරුණු අතර ශ්‍රී ලංකාවට නව ආයෝජන රැගෙන ඒම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා පාලනය සම්බන්ධ ව්‍යාපෘති සඳහා උපකාර ලබා දීම, ප්‍රති-ත්‍රස්තවාදය, මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම අන්තර්ජාතික අපරාද සඳහා පිළියම් යෙදීම සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කරවන ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය යන කරුණු ද ඇතුළත් විය.

  • කුරුණෑගල නගරාධිපතිගේ නඩු වියදම් සඳහා මහජන මුදලින් ලක්ෂ 22ක් ගෙවීමට සම්මත කරගනී!

    කුරුණෑගල නගරාධිපතිගේ නඩු වියදම් සඳහා මහජන මුදලින් ලක්ෂ 22ක් ගෙවීමට සම්මත කරගනී!

    දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය යැයි ජනවහරේ පැවසෙන කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වියදම් සඳහා අවශ්‍ය මුදල් නගරසභාවෙන් ගෙවීමේ යෝජනාවක් ඊයේ (17) සම්මත කරගෙන තිබේ.

    කුරුණෑගල මහ නගරසභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙසේ රුපියල් 2,180,000ක මුදලක් නඩු කටයුතු සඳහා ගෙවීමේ යෝජනාව මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ එකඟතාවෙන් සම්මත කරගෙන ඇති බව සඳහන්.

    ඊට සමගි ජන බලවේගයෙහි මන්ත්‍රීවරයෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා විරුද්ධ වී ඇති බවත් වාර්තා විය.

    කඩාදැමූ ගොඩනැගිල්ල යළි ඉදිකිරීමට ද මීටපෙර පත් කළ කමිටුවක් විසින් නිර්දේශ කර තිබුණු අතර ඊට රුපියල් ලක්ෂ 90ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා තිබිණි.

    ඒ අනුව අවසානයේදී මේ සියලු බර පැටවෙන්නේ දුගී දුප්පත් ජනතාවගේ බත්පත මතය. මේවා පියවෙන්නේ ඒ අහිංසක මිනිසුන්ගෙන් අය කරගන්නා බදු මුදලිනි.

    -ලංකා නිව්ස් වෙබ්-

  • රැකියා 150,000 වැඩසටහන ජනපති විමසුමට

    රැකියා 150,000 වැඩසටහන ජනපති විමසුමට

    සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වෙයි.

    සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස තෝරා ගැනීමට පියවර ගත යුතුයැයි ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහනේ ඉදිරි වැඩ පිළිබඳව සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩු පාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීමේ (on the Job Training) අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පෞද්ගලික අංශයේ පුහුණුව සඳහා ද අනුයුක්ත කෙරේ. නායකත්වය, ඉලක්ක සපුරා ගැනීම, විශ්වාසී හැඟීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක්කර ගත යුතුයැයි ද ජනාධිපතිතුමා කීය.

    නව රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සුපරා ගැනීමටද උපාධිධාරී රැකියාලාභින් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රීක්ක රැසක කල චාරිකාවේදී බොහෝ පිරිස් පාසැල්වල ඇති ගුරු හිඟය පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කළහ. නව පත්වීම්ලාභීන් ඒ සදහා පත්කිරීමට ද තීරණය කෙරිණ.

    රැකියා ලක්ෂය සදහා තෝරා ගැනෙන අඩු ආදායම්ලාභීන් වෘත්තීන් 24ක ඇති පුරප්පාඩු සඳහා යොමු කෙරේ. ඔවුනට පුහුණුව ලබාදීම ආධුනිකත්ව මණ්ඩලය සිදු කරයි.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ

  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී අරඹයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී අරඹයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) පෙරවරුවේදී මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.

    මෙම රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී.

    මේ අවස්ථාවේදී රු. 5,000/- ක නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර එළිදැක්වීම ද සිදු විය. එම නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් පිරිණැමීම සිදුවිය.

    එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා  ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

  • පොලිසියේ තොප්පි අවුලක්..!

    පොලිසියේ තොප්පි අවුලක්..!

    වසර දෙකක කාලයක සිට පොලිස් කොස්තාපල්වරුන්ට සහ පොලිස් සැරයන්වරුන්ට හිස්වැසුම් ද පොලිස් නිලධාරිනියන්ට පාවහන් ද ලබා දී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    එම තනතුරුවල පොලිස් නිලධාරීන් හැත්තෑ තුන්දහසකට වැඩි පිරිසක් සිටින අතර විවෘත වෙළෙඳපොළෙන්වත් හිස්වැසුම් මිල දී ගැනීමට නොහැකි නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

    මීට වසර දෙකකට ප්‍රථම විදේශ රටකින් කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබාදීම සඳහා හිස්වැසුම් 75000ක් ආනයනය කර ඇති අතර එම හිස්වැසුම්වල ඉදිරිපස කොටසේ ඇති වෙනසක් නිසා බෙදා දීම අත්හිටුවා තිබේ. එම හිස්වැසුම් තොගය මේ වන විට මරදාන ප්‍රදේශයේ ගබඩාවක වසර දෙකක් තිස්සේ ගොඩගසා ඇති බව වාර්තා වේ. එහෙත් එම හිස්වැසුම් තොගය ආපසු ලබාගැනීමට අදාළ සමාගම ප්‍රතිකේෂ්ප කර ඇති බව සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ එවැනි ගැටලුවක් ඇති බවත් ඉදිරි මාස හතර තුළ අලුතෙන් හිස්වැසුම් හැටදහසක් මිලදී ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් කටයුතු සිදුකර ඇති බවයි.

    එම තනතුරුවල පොලිස් නිලධාරීන් හැත්තෑ තුන්දහසකට වැඩි පිරිසක් සිටින අතර විවෘත වෙළෙඳපොළෙන්වත් හිස්වැසුම් මිල දී ගැනීමට නොහැකි නිසා ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

    මීට වසර දෙකකට ප්‍රථම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබාදීම සඳහා හිස්වැසුම් 75000ක් ආනයනය කර ඇති අතර එම හිස්වැසුම්වල ඉදිරිපස කොටසේ ඇති වෙනසක් නිසා බෙදා දීම අත්හිටුවා තිබේ. එම හිස්වැසුම් තොගය මේ වන විට මරදාන ප්‍රදේශයේ ගබඩාවක වසර දෙකක් තිස්සේ ගොඩගසා ඇති බව වාර්තා වේ. එහෙත් එම හිස්වැසුම් තොගය ආපසු ලබාගැනීමට අදාළ සමාගම ප්‍රතික්​ෙෂ්ප කර ඇති බව සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ එවැනි ගැටලුවක් ඇති බවත් ඉදිරි මාස හතර තුළ අලුතෙන් හිස්වැසුම් හැටදහසක් මිලදී ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් කටයුතු සිදුකර ඇති බවයි.

    චමින්ද සේනාරත්න

    -දෙරණ අරුණ-

  • මහනුවර පොලිස් නිල සුනඛයින් වෙන්දේසි වුණු හැටි මෙන්න

    මහනුවර පොලිස් නිල සුනඛයින් වෙන්දේසි වුණු හැටි මෙන්න

    ශ‍්‍රි ලංකා පොලිසියේ නිල සුනඛ අංශය විසින් සුනඛ වෙන්දේසියක් අද දින මහනුවර පිහිටි නිල සුනඛ මුලස්ථානයේ දි පැවත් වුනා.

    අද දින මෙම වෙන්දේසිය සදහා සුනඛයින් 25ක් ඉදිරිපත් තිබුනා. මෙයින් බොහෝ දෙනා වසර 10ක් පමන වු සුනඛයින් බවයි පොලිස් නිල සුනඛ අංශය සඳහන් කළේ.

    පොලිස් නිල සුනඛ අංශය විසින් අද දින සිදු කරන ලද මෙම වෙන්දේසියේ දි Bride නම් Laboador වර්ගයේ සුනඛයා රුපියල් එක් ලක්ෂ එක් දහසකට (110,000) අලෙවි විම විශේෂයක් වුනා. 2018 වර්ෂයේ ජුනි මස 18 වෙනිදා උපත ලද මෙම සුනඛයා පරිත්‍යාගයක් ලෙස පොලිස් නිල සුනඛ කොටිඨාශයට ලැබි ඇති අතර මෙම සුනඛයා පොලිස් රාජකාරි සදහා පුහුණු කිරිමෙි දි අවශ්‍ය පරිදි පුහුනු කිරිමට නොහැකි විම මත මෙසේ වෙන්දේසි කිරිමට තීරණය කර තිබෙනවා.

    මිට අමතරව සිම්බා නැමති සුනඛයා රුපියල් 50,000 කට රෙක්ස් නැමති සුනඛයා රුපියල් 23,000 කට රෙජි නැමති සුනඛයා රුපියල් 17.500 කට ලිලි නැමති සුනඛයා රුපියල් 16.000 කට වැනි මුදලකට වෙන්දේසි වි ඇති අතර අද දින පැවති වෙන්දේසියේ දි අවම මුදලකට වෙන්දේසි වි ඇත්තේ හිරොස් නැමති සුනඛයායි ඒ රුපියල් 1100 ක් වැනි මුදලකටයි.

    අද දින මෙි සුනඛ වෙන්දේසියට ඉදිරිපත් කල සුනඛයන් 25 දෙනාම වෙන්දේසි කිරිමෙන් රුපියල් 315,800 ( තුන් ලක්ෂ පහලොස් දහස් අටසියයක්) ක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබි තිබෙනවා.

    පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කිරිමෙි දි නිලධාරින්ට සහයාවු දිවයිනේ විවිධ අය අත්අඩංගුවට ගැනිම සහයවු හා විවිධ ආරක්ෂක කටයුතු මෙන්ම නැති වු පුද්ගලයින් සොයා ගැනිමට ද දක්ෂතා හා කුසලතාවයෙන් යුතු වු එහෙත් වයසට යාමත් සමග තවදුරටත් සේවයට යෙදිය නොහැකි සුණඛයින් රැසක්ම වෙන්දේසියේ දි පැමිණ සිටි පිරිස් විසින් මිලදි ගනු ලැබුවා.

    එම සුුනඛයින් අතර මිමුරේ ප‍්‍රදේශයේ දි අතරමං වු ළමුන් සොයා ගත් රෙජි නැමති සුනඛයා මෙන්ම, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ සහාය වු රෝසි නැමති සුනඛයාත්, දකුණු පලාතේ සහයා වු බමිපර්, නිරෝෂ් හා අජා යන සුනඛයින් මෙන්ම දක්ෂතා දැක්වු ජෙසි,සිසි හා රෙක්ෂි වැනි සුනඛයින් ද සිටි බව මහනුවර නිල සුනඛ කොටිඨාශය සදහන් කර සිටියා.

    -නෙත් නිව්ස්-

  • සිරිසේන ඉතාම නින්දිත, නීච විදිහට ශ්‍රීලනිපය විනාශ කළා – ශ්‍රීලනිපය කෑ සිරිසේනට චන්ද්‍රිකා විශේෂ ප්‍රකාශයකින් අමතයි (වීඩියෝ)

    සිරිසේන ඉතාම නින්දිත, නීච විදිහට ශ්‍රීලනිපය විනාශ කළා – ශ්‍රීලනිපය කෑ සිරිසේනට චන්ද්‍රිකා විශේෂ ප්‍රකාශයකින් අමතයි (වීඩියෝ)

    මගේ තාත්තා බිහි කරපු, අපෙ අම්මා ආරක්ෂා කරපු, මම සංවර්ධනය කරපු පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති වෙලා තියෙන ඉරණම ගැන මට කණගාටුයි. මහින්ද පක්ෂය විනාශ කිරීම සූක්ෂම විදිහට කරා. සිරිසේන ඉතාම නින්දිත විදිහට, නීච විදිහට ඒක කළා’ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පවසයි.

    ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේ අද (14) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්.

    “මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ලබා ගත් ඡන්ද ප්‍රමාණය පෙර පැවති ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍ර්‍රමාණයටත් වඩා අඩු උනත් 2/3ක බලයක ලැබෙන්න ප්‍රධාන හේතුව ජේ.ආර්.ගෙ බහුබූත ව්‍යවස්ථාව. අනෙක් හේතුව දුර්වල විපක්ෂය..

    ලංකාවේ පැවති ප්‍රධාන පක්ෂ දෙකම මේ වන විට විනාශ වී එවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මං තාම කොයනවා සිරිසේන මේක විනාශ කරාට පස්සේ අවුරුදු 5ක් තිස්සේ රාජපක්ෂ ආරම්භ කරපු කටයුත්ත. එක්සත් ජාතික පක්ෂය කෑළි කෑලි වලට කැඩිලා විසිරිලා තියෙන්නේ. මේ රටේ ප්‍රධාන පක්ෂ 2ම කැඩී බිඳී සුණු විසුණු වී ගොස් තියෙන වෙලාවක අළුතෙන් ආරම්භ කළත් ශක්තිමත් පක්ෂයක් හදපු රාජපක්ෂශක්තිමත් නායකයෙක්, එතුමගෙ දර්ශනයට සහ ක්‍රියා කලාපයට මම එකඟ නොවුණත්. හොරකමට, මිනී මැරුම් වලට මම එකඟ නෑ.

    විපක්ෂයේ ශක්තිමත් නායකයන් නෑ. ඒ වගේ තත්වයක් තුල විපක්ෂය අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැණීම මට නම් පුදුමයක් නෙවෙයි. ඒත් අනුපාත ඡන්ද ක්‍රමය තිබ්බා නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි වෙලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ගණන අඩු වෙන්න තිබ්බා.

    මගේ තාත්තා බිහි කරපු, අපෙ අම්මා ආරක්ෂා කරපු මම සංවර්ධනය කරපු පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති වෙලා තියෙන ඉරණම ගැන මට කණගාටුයි. මහින්ද පක්ෂය විනාශ කිරීම සූක්ෂම විදිහට කරා. සිරිසේන ඉතාම නින්දිත විදිහටන් නීච විදිහට ඒක කරා. අපේ පක්ෂයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්ති තියෙන පොහොට්ටුව එක්ක එකතු වෙනවට අපි කැමැති නෑ.” යැයි එතුමිය පවසයි.

  • CTB බස්වල පාට වෙනස් කරන්න සූදානමක්..!

    CTB බස්වල පාට වෙනස් කරන්න සූදානමක්..!

    පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ජූලි මාසයේදී කරන ලද යෝජනාවකට අනුව පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන සියලුම ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩල (SLTB) බස් රථ කහ පැහැයෙන් වර්ණාලේප කර තිබෙනවා.

    පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ යෙදී සිටින සියලුම පෞද්ගලික වාහන ද යෝජනාවට අනුව ක්‍රමයෙන් කහ පැහැයෙන් වර්ණාලේප කිරීමට නියමිතයි.

    පාසල් ප්‍රවාහන සේවාවලට සම්බන්ධ සියලුම බස් හා වෑන් රථ කහ පැහැයෙන් වර්ණාලේප කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

    මෙයින් පසු ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන සියලුම බස් හා වෑන් රථ කහ පැහැයෙන් වර්ණාලේප කිරීම අනිවාර්ය බවයි.

    පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන වෑන් රථ සංගම් හා පොලීසිය සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන බස් රථ සහ වෑන් රථ දෙකම කහ පැහැයෙන් වර්ණාලේප කළ යුතු යැයි අමාත්‍ය අමරවීර යෝජනා කළා.

    පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවලට ඇති තර්ජනය සහ ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම පිළිබඳව අදාළ සංගම්වල සහ පොලිසියේ නියෝජිතයින් මෙම යෝජනාවට එකඟ වී තිබෙනවා.

  • අලුත් පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු මන්ත්‍රීවරුන්ගේ දූ පුතුන් හා ළගම ඥාතීන් මෙන්න

    අලුත් පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු මන්ත්‍රීවරුන්ගේ දූ පුතුන් හා ළගම ඥාතීන් මෙන්න

    අපි ගොඩක් මිනිස්සු බඩු මිල වැඩිවෙන වෙලාවට, නැත්නම් තමන්ට ආර්ථිකය, ජීවිතය, බිස්නස් අවුල් වෙලාවට බනින්නේම පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට. ඒ වගේ කාලෙට සමහරු පාර්ලිමේන්තුව දියවන්නාවේ ගිලෙනකන් බලන් ඉන්නවා. සමහරු පාර්ලිමේන්තුවේ ඉන්න උන්ව කිඹුල්ලුම කන්න ඕනි කියනවා. තව සමහරු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනි කියලත් කියනවා. මුන්ගේ තාත්තලා, පුත්තු, බාප්පලා, මාමලා, නෑයෝ පරම්පරාව තමා මේකට රිංග ගන්නේ කිය කියා දෙස් දෙවොල් තියනවා.

    ඒත් එහෙම කියන අපි අතරේම ඉන්න ඡන්ද දායකයෝ වෙන ඒ මිනිස්සුම ආයෝ ඡන්දයක් ආපු ගමන් වැඩිම මනාපයෙන් පත්කර ගන්නේම ඉන්න අයගෙනම පරම්පරාවේ එකෙක් මයි.

    අපේ අය ඒ විදියට මේ පාරත් ගොඩදාලා තියෙන පරම්පරා ගානත් පොඩි නැහැ. ඥාතී සම්බන්ධකම් ටික කියවලාම බලන්න කෝ…

    1. මහින්ද රාජපක්ෂ (ඩීඒ රජපක්ෂගේ පුතා)

    2. චමල් රාජපක්ෂ (ඩීඒ රාජපක්ෂගේ පුතා)

    3. නිපුණ රණවක (ඩීඒ රාජපක්ෂගේ මුණුපුරා
    මහින්දගේ නංගිගේ පුතා)

    4. ශෂීන්ද්‍ර රාජපක්ෂ (ඩීඒගේ පුණුපුරා / චමල්ගේ පුතා)

    5. නාමල් රාජපක්ෂ (ඩීඒගේ මුණුපුරා / මහින්දගේ පුතා)

    6. සජිත් ප්‍රේමදාස (අාර්. ප්‍රේමදාසගේ පුතා)

    7. මයන්ත දිසානායක (ගාමිණී දිසානායකගේ පුතා)

    8. දිලුම් අමුණුගම (සරත් අමුණුගමගේ ඥාති පුතා)

    9. හර්ෂණ රාජකරුණා (සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුතා)

    10. අනුරාධ ජයරත්න (දිමු ජයරත්නගේ පුතා)

    11. කංචන විජේසේකර (මහින්ද විජේසේකරගේ පුතා)

    12. ඉම්රාන් මහරූෆ් (එම්.ඊ.එම් මහරුෆ්ගේ පුතා)

    13. සාරතී දුෂ්මන්ත (එච්අාර් මිත්‍රපාලගේ පුතා)

    14. ඩී.වී. චානක (ඩීවී උපුල්ගේ පුතා)

    16. කාවින්ද ජයවර්ධන (ජයලත් ජයවර්ධනගේ පුතා)

    18. ගයන්ත කරුණාතිලක (රූපා කරුණාතිලකගේ ඥාති පුතා)

    19. චන්දිම වීරක්කොඩි (අමරසිරි දොඩංගොඩගේ ඥාති පුතා)

    21. ඉසුරු දොඩංගොඩ (අමරසිරි දොඩංගොඩගේ පුතා)

    22. ප්‍රසන්න රණතුංග (රෙජී රණතුංගගේ පුතා)

    23. මල්ලිකා සොයිසා (රංජිත් සොයිසාගේ බිරිද)

    24. ප්‍රමිත තෙන්නකෝන් (ජනකගේ පුතා / ටීබීගේ මුණුපුරා)

    25. මංජුලා දිසානායක (සාලින්ද දිසානායකගේ බිරිද)

    26. නිරෝෂන් පෙරේරා (පෙස්ටස් පෙරේරාගේ පුතා)

    27. හරීන් ප්‍රනාන්දු (වින්සන් ඩයසගේ බෑණා)

    28. රංජන් රාමනායක (චන්ද්‍රිකා කුමාරතුංගගේ ඥාති පුතා)

    29. දිනේශ් ගුණවර්ධන (පිලිප් ගුණවර්ධනගේ පුතා)

    30. අසංක නවරත්න (රංජිත් නවරත්නගේ පුතා)

    31. අකිල එල්ලාවල (මොහාන් එල්ලවලගේ පුතා)

    32. දුමින්ද දිසානායක (බර්ටි දිසානායකගේ පුතා)

    33. ශෙහාන් සේමසිංහ (කේබී රත්නායකගේ දුවගේ පුතා)

    34. රාජිකා වික්‍රමසිංහ (ශ්‍රීලාල් වික්‍රමසිංහගේ බිරිද)

    35. මහින්ද යාපා අබේවර්ධන (ලක්ෂ්මන් යාපාගේ ඥාති සහෝදර)

    36. කෝකිලා ගුණවර්ධන (අජිත් ගුණවර්ධනගේ නංගී)

    37. තලතා අතුකෝරාල (ගාමිණී අතුකෝරාලගේ නැගණිය)

    38. ජේසී අලුවතුවල (අලවතුවලගේ පුතා)

    39. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිද)

    40. කනක හේරත් (මහීපාල හේරත්ගේ පුතා)

    41. රමේෂ් පතිරණ (රිචර්ඩ් පතිරණගේ පුතා)

    42. ලොහාන් රත්වත්තේ (අනුරුද්ධ රත්වත්තේගේ පුතා)

    43. විදුර වික්‍රමනායක (රත්නසිරි වික්‍රමනායකගේ පුතා)

    44. පවිත්‍රා වනනිඅාරචචි (ධර්මදාස වන්නිඅාරච්චිගේ දුව)

    45. ජනක තෙන්නකෝන් (ටීබී තෙන්නකෝන්ගේ පුතා)

    46. ආර්. සම්බන්ධන් (එස් සිවපාලන්ගේ ඥාති පුතා)

    47. සුජිත් සංජය පෙරේරා (වින්සන්ට් පෙරේරාගේ පුතා)

    48. තාරක බාලසූරිය (ජගත බාලසූරියගේ පුතා)

    49. සීවී විග්නේෂ්වරන් (වාසුදේව නානායක්කාරගේ මස්සිනා)

    50. කින්ස් නෙල්සන් (එච්ජීපී නෙල්සන්ගේ පුතා)

    51. ජීවන් තොණ්ඩමාන් (සෞමමූර්ති තොණ්ඩමන්ගේ මීමුණුපුරා / ආරුමුගම්ගේ පුතා)

    52. රෝහිණී කවිරත්න (පීබී කවිරත්නගේ ලේලිය)

    53. වාසුදේව නානායක්කාර (හේමකුමාර නානායක්කාරගේ සහෝදරයා /විග්නේෂ්වරන්ගේ මස්සිනා)

    55. යද්මිණි ගුණවර්ධන (දිනේශ් ගුණවර්ධනගේ පුතා)

    56. වරුණ ලියනගේ (හීන්මහත්තයා ලියනගේගේ පුතා)

    57. අජිත් නිවාඩ් කබ්‍රාල් (මහින්ද රාජපක්ෂගේ මස්සිනා)

    58. කපිල අතුකෝරාල (එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන බෑණා)

    59. ගජේන්ද්‍ර පොන්නම්බලම් (කුමාර් පොන්නම්බලම්ගේ පුතා)

    60. මහින්දානන්ද අලුත්ගමගේ (දිමු ජයරත්නගේ බෑණා)

    (අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.)

    ඔන්න බලන් ..සකි..
    ලoකාවේ(සිරි ල0කාවේ) පවුල්පාලනය නොහොත් අපි ආඩම්බරයට සැනසෙන්න කියන අපේ දේශපාලනය..

  • චීනයේ ෂැංහයි වෙත මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම: ශ්‍රීලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරයි

    චීනයේ ෂැංහයි වෙත මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම: ශ්‍රීලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරයි

    චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් කොළඹ-ෂැංහයි ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් සති හතරක කාලයක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙසේ කරුණු පැහැදිලි කර සිටියි.

    2020 අගෝස්තු මස 7 වන දින ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට කොළඹ හරහා ෂැංහයි දක්වා චීන ජාතිකයින් 223 ක් රැගත් විශේෂයෙන් වෙන්කරවා ගත් ගුවන් යානාවක් (charter flight) ක්‍රියාත්මක කළේය.  මෙම ගුවන් ගමනට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට ෂැංහයි දක්වා මේ හා සමාන ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කළ අතර එහි කිසිදු COVID පරීක්ෂණය ධනාත්මක වූ පුද්ගලයින් සිටි බව වාර්තා නොවීය.

    අගෝස්තු මස 7 වන දින ක්‍රියාත්මක වූ මෙම විශේෂ ගුවන් ගමනේ සංවිධායකවරුන් විසින් සියළුම මගීන්ට දේශීය පිළිගත් ආයතනයකින් COVID PCR පරීක්ෂණය ලබා ගන්නා ලෙස අවධාරනය කළ අතර  අනෙකුත් ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් ද භාවිත කරනු ලබන ක්‍රමවේදයට අනුව ගුවන් යානයේ සිටි මගීන් 223 දෙනා සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලැබීය. මෙම පරීක්ෂණ ක්‍රියාවලිය ගුවන් යානයට ගොඩවීමට පැය 72 කට පෙර සිදු කරන ලද අතර එහි දී සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වූ සියලු මගීන්ට ගුවන් යානයට ගොඩවීමට අවසර ලබාදෙන ලදී.  

    මෙම ක්‍රියාවලිය ඩුබායි සිට චීනය බලා පියාසර කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස නොසැලකූ අවස්ථාවක පවා මගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ගනු ලබන ආරක්ෂිත පියවරක් ලෙස මෙම පරීක්ෂණ සිදු කරන ලදී.  

    කෙසේ වෙතත් මෙලෙස ආරක්ෂිත පියවරයන් ගත් නමුත් එම ගුවන් යානයේ පියාසර කළ මගීන් 25 දෙනෙකු චීනයට පැමිණි පසු COVID පරීක්ෂණය ධනාත්මක වූ බව චීන බලධාරීන් පසුව තහවුරු කරගන්නා ලදී.

    COVID – 19 ව්‍යාප්ත වීමෙන් පසු, චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් 5-1 ප්‍රතිපත්තිය නමින් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති අතර එහි සඳහන් ගුවන් සීමාවන්ට අනුව චීනයේ එක් ස්ථානයකට සතියකට එක් ගුවන් ගමන් වාරයක් පමණක් සිදු කිරීමට අවස්ථාව හිමිවේ.

    මෙම නව ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් රාජධානියේ සහ ඩුබායි සිට චීනය දක්වා චීන මගීන් 3000 කට වැඩි පිරිසක් සඳහා ගුවන් පහසුකම් සපයමින් එවැනි විශේෂ ගුවන් ගමන් 15 ක් ක්‍රියාත්මක කර තිබේ. 

    CAAC නව ප්‍රතිපත්තියට අනුව, ගුවන් යානයක COVID ධනාත්මක වීම් අවස්ථා පහකට වඩා තිබේ නම් තාවකාලික ගුවන් ගමන් අත්හිටුවීම් සිදු කරනු ලැබේ. ඒ අනුව අගෝස්තු මස 7 වන දින ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයේ සිටි මගීන් 23 දෙනෙකු COVID  පරීක්ෂණය ධනාත්මක වී ඇති අතර, එම නිසා නව රෙගුලාසි වලට අනුව CAAC විසින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සති හතරක් තාවකාලිකව අත්හිටුවන ලදී.

    ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.

    ආයතනික සන්නිවේදන අංශය  ශ්‍රීලංකන් ගුවන් සමාගම  

  • මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ට අනිවාර්ය බද්දක්

    මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ට අනිවාර්ය බද්දක්

    ශ්‍රී ලංකාව තුළ රැකියාවල නිරතව සිටින සියලු විදේශිකයන්ගෙන් අනිවාර්ය බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙතෙක් අයකළ උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට මෙම නව බද්ද හඳුන්වා දී තිබේ. එය නම්කර තිබෙන්නේ විකල්ප පදනම මත අත්තිකාරම් පුද්ගල බද්ද ලෙසයි.

    පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට රැකියාවල නිරත විදේශිකයන්ගෙන් මෙම බද්ද අය කෙරෙන අතර ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විධිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ වැටුපෙන් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුයි.

    මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ සියලුම වාසික එහෙත් පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් එකඟතාව නොසලකා අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

  • කැබිනට් අමාත්‍යාංශ 03කට නව ලේකම්වරු

    කැබිනට් අමාත්‍යාංශ 03කට නව ලේකම්වරු

    කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

    • එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා       – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය
    • යූ.ඩී.සී. ජයලාල් මහතා                          – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය
    • මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා        – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
  • උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000කට රැකියා ප්‍රදානය වහාම ඇරඹේ

    උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000කට රැකියා ප්‍රදානය වහාම ඇරඹේ

    මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

    රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරේ. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි.

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.

    උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබීය.  අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ. ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය විය.

    2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළේය. එබැවින් වැඩසටහන අත්හිටුවන ලදී. අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගන්නා ලදී.

    ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා අගෝස්තු 09 වැනිදා ධූරයේ දිවුරුම් දුන්නේය. පසුදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කෙරිණ. මැතිවරණයෙන් සතියකට පසු එනම් අගෝස්තු 12 වැනිදා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ. අමාත්‍යාංශ ලේකම්වරු ඊයේ (13) පත් කරනු ලැබූහ. නව පාර්ලිමේන්තු සභා වාරය ලබන බ්‍රහස්පතින්දා (20) උත්සවශ්‍රීයෙන් ඇරඹේ.

    පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථපානය කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබේ. තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුය. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට පිළිවන.

    තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

  • ඇමැතිවරු වෙනස් වුණත් සංස්ථා සභාපතිවරු – අධ්‍යක්ෂ මණ්ඩල හොල්ලන්න බෑ

    ඇමැතිවරු වෙනස් වුණත් සංස්ථා සභාපතිවරු – අධ්‍යක්ෂ මණ්ඩල හොල්ලන්න බෑ

    රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 

    රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යාවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබාගත යුතු බව අදාළ ලිපියේ සඳහන් වේ.

    අදාළ නියෝගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් ජනපති ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව අදාළ ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරිම සිදුකරනු ලැබුවේ විශේෂ කමිටුවකින් ලැබුණු නිර්දේශ මත බවත් එම නිසා අදාළ තනතුරු සඳහා පත්කළ පුද්ගලයින් වෙනස් නොකර දිගටම කටයුතු කිරීමට එම නිලධාරින්ට අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය බවයි.