Category: සුපිරි News

  • ටෙලිකොම් පාලනාධිකිරියට කත් අදින යූනියන් ලොක්කො දෙන්නෙක්ට සුපිරි රට සවාරියක්

    ටෙලිකොම් පාලනාධිකිරියට කත් අදින යූනියන් ලොක්කො දෙන්නෙක්ට සුපිරි රට සවාරියක්

    ටෙලිකොම් ආයතනයේ පාලන අධිකාරිය වෙනුවෙන් වැඩි වශයෙන් පෙනී සිටි වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකුට එංගලන්ත සවාරියක් සදහා වියදම් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    මෙසේ එංගලන්ත සවාරියක් ලබාදී ඇත්තේ සමස්ථ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සභාපති අනුර පෙරේරා මහතාට හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමයේ ලේකම්  රෝහන් ලාල් නිශ්ශංක මහතාටය.

    අදාළ වෘත්තීය සමිති නායකයින් දෙදෙනා රාජ්‍ය නොවන සංවිධානයයක් විසින් පවත්වන සම්මේලනයකට සහභාගිවීමට ටෙලිකොම් සමාගමින් අනුග්‍රහකත්වයක් ඉල්ලා ඇති අතර ඒ සඳහා නිල වශයෙන් අනුග්‍රහයක් ලබාදීමට ටෙලිකොම් හට හැකියාවක් නොමැති බැවින් ඔවුන් පුහුණු සැසියකට යන බවට ලිපි ලේඛන සකස්කර අනුග්‍රාහකත්වය දී ඇතැයි සඳහන් වේ.

    එම සංගමයේ ම සමාජිකයෙකු වන නියෝජ්‍ය සමාන්‍යධිකාරි දිප්ත් විජේවර්ධන මහතා ඒ සදහා යන වියදම අනුමත කර ඇති බවත්  ගුවන් ටිකටිපත් සදහා රුපියල් 126,000ක්ද, විසා ගාස්තු සඳහා රුපියල් 22,000ක්ද, නවාතැන් පහසුකම් සදහා රුපියල් 274,500ක් වශයෙන් රුපියල් 422,500ක මුදලක් එක් අයෙකු සදහා ලබාදීමට තීරණය කර ඇති බවත පැවසේ.

    එම සංගමයෙන් ආරධානා ලබා දෙන අයට නොමිලේ ගුවන් ටිකටි පත් හා නවාතැන් පහසුකම් ලබාදීම සිරිත වුවද පසුගිය වර ඉන්දුනිසියාවේ පැවැති එම සම්මේලනයේ සැසියකට සහභාගිවූ මොවුන් එහිදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් මෙවර එම අවස්ථාව ලැබී නොමැති බවද පැවසෙන අතර සාමාන්‍ය පෙළවත් සමත් නොවී උසස්වීම ලැබු ඉංජිනේරුවෙකු වන මෙහි එක් අයෙකුද, අනෙක් අය සනීපරක්ෂක කම්කරුවෙකු ලෙස කටයුතු කරන අතර ඔවුන්ට එංගලන්තයේ ඇති පුහුණුවීම් කුමක්ද යන්න ටෙලිකොම් ආයතනයේ සෙසු සේවකයින් පාලන අධිකාරියෙන් ප්‍රශ්න කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

  • වැඩට නොපැමිණෙන දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු

    වැඩට නොපැමිණෙන දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු

    සියලුම දුම්රිය තාක්ෂණික සේවාවේ අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දී ඇති අතර එසේ සේවයට වාර්ථා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බව අවධාරනය කරයි.

  • ෆේස්බුක් තහනම් කරයි

    ෆේස්බුක් තහනම් කරයි

    ව්‍යාජ ගිණුම්, අසභ්‍ය ජයාරූප සහ ව්‍යාජ පුවත් පලකරන පුද්ගලයින් හදුනා ගැනීම සදහා වන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ලොව ප්‍රකට “ෆේස්බුක්” සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් සදහා තහනම් කිරීමට පැපුවා නිව් ගිනීයානු රාජ්‍ය තීරණය කර ඇත.දිනෙන් දින ඉහල යන මෙවැනි සිදුවීම් වහාම පාලනය කල යුතු බවට එරට ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් මාධ්‍යවේදීන් වෙත සිය නව තීරණය දැනුම් දෙමින් කියා සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

    පැපුවා නිව් ගිනියාවේ දැනට අන්තර්ජාල පහසුකම් ඇත්තේ එරට ජනගහනයෙන් 10% කට පමණක් වුවත් ඉදිරියේදී එය තවත් වැඩිවිය හැකි බැවින් අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන හුවමාරුවීම්, අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීම ආදිය පිලිබදව එරට රජය දැන් සිටම පියවර ගනිමින් සිටින අතර 2016 වසරේදී හදුන්වා දුන් සයිබර් අපරාධ නිතිය යටතේ එම නීති කඩකළ පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන මෙම මාසය තුලදී තොරතුරු සොයා බලා එම වැරදිකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට පැපුවා නිව් ගිනීයා රජය පියවර ගෙන ඇත.

    එමෙන්ම ඉදිරියේදී පැපුවා නිව් ගිනීයා වැසියන්ට සිය අන්තර්ජාල ක්‍රියාකාරකම් පහසුකම් ඇති කරවීම සදහා ඔවුන්ගේම සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියක් ඇති කිරීම සදහා තම රජයේ අවධානය යොමු වී ඇති බවටද මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • පෙත්සමක් ගහපු නිසා ලේඩි ජේ මන්ජරි කොටුව කඩේ බිහිකළ අපේ කාලයේ මිනිසාගේ කතාව …

    පෙත්සමක් ගහපු නිසා ලේඩි ජේ මන්ජරි කොටුව කඩේ බිහිකළ අපේ කාලයේ මිනිසාගේ කතාව …

    වැටෙනවා නම් වැටෙන්නට තිබූ මිලියන ගණනක් අවස්ථා ඔහුගේ ජීවිතයේ විය. සියල්ල පසුකොට ඔහු ඉදිරියට ම ආවේය.

    ඕනෑ ම ප්‍රශ්නයක් ඉදිරියේ ඔහුට තිබුණේ එක ම පැනයකි. ‘දැන් මේකට මොකද කරන්නෙ…’ ඔහු සෙව්වේත් ඔහුට වැදගත් වූයේත් විසඳුම පමණකි. වැලපීම්, පසුතැවීම් ඒ ජීවිතයේ නොතිබිණි.

    සැබවින් ම මේ සියල්ලට ඔරොත්තු දුන් සියුමැලි පෙනුමැති යකඩ ගැහැනියක් ඔහු හා සමඟ වූවාය. සැමියා හා බිරිඳ එක් වූ කල, ආදරය සහ පවුල පමණක් නොව ගොඩනැ‍ඟෙන යෝධ ශක්තියට, ඔවුන් සපයන පූර්වාදර්ශය අපමණ ය.

    “ආපු හැම බාධයක් ම අපි දෙන්නට වැදුණු පොලු පහරක්. ඒ පොලු පහර වලින් බේරෙන්න අපි දෙන්න ම පැන්නෙ පඩි දෙකක් උඩට. එහෙම වුණේ නැත්නම් අපි ජීවිතේට එකපාර පඩි දෙකක් උඩට යන එකකුත් නැහැ

    ඔබට රටපුරාම ‘කොටුවෙ කඩ’ හුඟක් තිබෙනවා…

    ‘ගාල්ලෙ කොටුවේ කඩේ’ තමයි අපේ ආරම්භය. ඒක හැර අනෙක් කොටුවේ කඩ එකක්වත් මගේ නෙවෙයි. ලේඩි – ජේ සහ මංජරී විතරයි අපේ ව්‍යාපාර.”

    එතකොට ඔය අනෙක් කොටුවේ කඩ 13 ටම කිසිම සම්බන්ධයක් නැද්ද…

    නෑකමක් තියා හැඳුනුම්කමක්වත් නැහැ. ගාල්ලෙ කොටුවෙ කඩේ හදලා අවුරුදු දහයකට විතර පස්සෙ රට පුරා ඒ නමින් ව්‍යාපාර හැදුවා. ඒවා අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපිත් ජීවත් වෙන්න ඕනේ. ඔවුනුත් ජීවත් වෙන්න ඕනේ.

    ව්‍යාපාරිකයකුට පුළුවන් ද ඔහොම හිතන්න…

    පුළුවන් වෙන්න ඕනේ. තමන්ගෙ නමේ ප්‍රසිද්ධිය තව කවුරු හරි පාවිච්චි කළත් වෙන වංගුවකින් ඉස්සරහට යන්න ව්‍යාපාරිකයා දක්ෂ වෙන්න ඕනේ. මං එහෙමයි. වැදගත් ම දේ තමයි, මේක මම දාපු නමක් නෙවෙයි, ගාල්ලෙ මිනිස්සු අපිට දාපු නම. අනික අද රට පුරා කොටුවෙ කඩ දාලා තියෙන්නෙ, ඒ ඒ පළාත්වල කොටුවෙ නමින්.
    ඕවා එක්ක හැපෙන්න ගියා නම් තරහා කාරයො හදාගෙන – නඩු කියාගෙන මොන කරදරයක් ද…. ඒ කාලය අපි යෙදෙව්වෙ අපේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන්.

    ‘දැක්ක දැක්ක දේ ගන්න එපා! ඔබට අවශ්‍ය දේ පමණක් ගන්න…! ඔබේ සාප්පුවල ඇයි මෙහෙම බෝඩ් ගහලා තියෙන්නේ….

    සාප්පුවකට ආවම පාරිභෝගිකයො නැත්තට නැතිවෙන්නෙ මේ නිසා, කැෂියර් එක ළඟත් මේ පුවරුව තියෙනවා. හුඟක් සැමියන් – බිරිඳට ඒක පෙන්වනවා. ඒක කියවලා – මොළේ පෑදිලා සමහර බිරින්දෑවරු බඩුවක් දෙකක් ආපහු තියලා යනවා. ඒක අපිට පාඩුවක් නෙවෙයි. අ‍පේ බිස්නස් නිසා පාරිභෝගිකයාගේ පර්ස් එක හි‍ඳෙන්න බැහැ. ඔවුන් ආපහු මෙතැනට එන්න ඕනේ. අපි ඒ බැඳීම ඇතිකරලා තියෙනවා.

    ඔබේ දූලා දෙන්නා බිස්නස් එකේ නැද්ද…

    ලොකු දුව ජයනි. එය‍ාගේ නමින් තමයි ‘ලේඩි – ජේ’ හැදුවේ. පොඩිදුව මංජරී එයාගෙ නමින් සාප්පු සංකීර්ණ දෙකක් තියෙනවා. ලොකු දූගේ මහත්තයා, අනුරුද්ධ. එයා ලේඩි – ජේ, කළමනාකාර අධ්‍යක්ෂ. පොඩි දූගේ මහත්තයා ඉන්දුල.

    මංජරි සාප්පු එයාලගේ. සියල්ලෙ සභාපති හා උපසභාපති, මම සහ බිරිඳ. අක්කයි – නංගියි, ඒ දෙන්නගෙ මහත්තුරුයි, හතර දෙනාම ඉගෙන ගත්තෙ එකම විශ්ව විද්‍යාලයක. හතර දෙනාම, ඕස්ට්‍රේලියාවේ ලාත්‍රෝ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරින්.

    Image result for manjari nugegoda

    සේවකයන් එක්ක තිබෙන බැඳීම කොහොම එකක්ද…

    පටන් ගත්තු කාලෙ සේවකයොයි අපියි හිටියෙ එකම ගේ ඇතුළෙ. සමහර වෙලාවට උයන්නෙත් එයාලමයි. හවස් වෙද්දි අහනවා, ‘අයියෙ අද කුකුළෙක් ගේන්නද…’ කියලා. ඒ කියන්නෙ කුකුළු මස් කන්න ආසාවේ. මං කවදාවත් බැහැ කියන්නෑ.

    ඉස්සර අපි දෙන්නට කතා කළේ අයියා – අක්කා කියලා. අපි උරණ වුණේ නැහැ. මොකද මේ තැනට එන්න ඒ අය අපිට හුඟක් උදව් කළා. අද නම් මං වැඩිය රැ‍ඳෙන්නේ කාර්යාලයේ. නමුත් ඔවුන්ගෙ යහපතට අදාළ සියලු කටයුතු අද මගේ නෝනා සහ බෑණලා සොයා බලා කරනවා.

    ඇත්ත කතාව නම්, හුඟක් සිංහල සාප්පුවල සේවකයන්ගෙ මුහුණුවල හිනාවක්.නැහැ. ඉන්නෙ කස්ටමර් එක්ක තරහින් වගේ…

    ඇත්ත. හුඟක් සාප්පු වැහිලා යන්නත් සේවකයන්ගෙ මේ අප්‍රසන්න හැසිරීම බලපානවා. මොකක්දෝ පුහු ආඩම්බර කමකින් ඔවුන්ගේ ඔළු පිරිලා. දැන් දැන් ආකල්පමය වෙනස් කිරීම් නිසා හුඟක් ආයතනවල සේවකයෝ වෙනස් වෙලා. ඒක විය යුතු දෙයක්. ‘මිස් මේක ගන්නවා නම් විතරක් පෙන්වන්නම්….’ වෙළෙඳ සේවිකාවෝ එහෙම කියාපු යුගයකුත් තිබුණා. බඩු විකිණුණොත් තමයි ආයතනය පවතින්නේ, අපේ රස්සා රැකෙන්නේ…’ ඔවුන් දැන් තේරුම් අරන්.

    ව්‍යාපාරික ඥානය ඔබට, පවුලේ උරුමයක්ද…

    වෙන්න පුළුවන්. වැලිගම – ජඹුරගොඩ අපේ ගම. තාත්තට ගමේ වී මෝලක් තිබුණා. තව තේ ඉඩං තිබුණා. ඉස්කෝලෙ ඇරිල ආ හැටියෙ තාත්තගෙ වී මෝලට යන්න මං ආසා කළා. ටික ටික ලොකු වෙද්දි හිතේ වැඩුණෙ ම, ‘මාත් බිස්නස් එකක් කරන්න ඕනේ!’ කියන සිතිවිල්ල.

    පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද…

    කලබලකාරයෙක් නම් නෙවෙයි. ඒත් කොලු නඩයත් එක්ක ඇති තරම් රවුම් ගහපු, අසාධාරණයක් වුණොත් ගහගත්තු – ‘වලි’ දාගත්තු කොල්ලෙක්. මේ නඩේ හිටියෙ හොඳට කන්න බොන්න තිබුණු පවුල්වල කොල්ලො ටිකක්. හැම වෙලාවෙ ම අතේ කීයක් හරි තිබුණා. මං වගේ ම ඒ කවුරුත් වැඩිය ඉගෙන ගන්න ආසා වෙච්චි ‘සෙට්’ එකක් නෙවෙයි.

    කොහේද ඔබ ඉගෙන ගත්තෙ…

    අපේ පවුලේ වැඩුමලා මං. මට බාල නංගිලා තුනයි. මල්ලිලා පහයි. පුංචි කාලෙ හැමෝ ම ගියේ ජඹුරගොඩ ගමේ ඉස්කෝලෙට. ඊළඟට වැලිගම ශ්‍රී සුමංගලේට. මගේ තාත්තට ඕනෙ කළේ බිස්නස් කරන තරමට උගන්වන්න විතරයි. ඕ – ලෙවල් කළා. මං නැවතුණා. තාත්තගේ මෝලෙ ටික කලක් වැඩ කළා.
    පුංචි කාලෙ ඉඳලා සල්ලි අත පත ගාපු නිසා ඔබ මුදල්වල වටිනාකමක් දන්නෙ නැහැ…

    වැරැදියි. මාත් බිස්නස් එකක් කරලා කීයක් හරි හම්බ කරන්න ඕනෙ කියන සිතිවිල්ල ආවේ නිතර අතේ සල්ලි රැඳුණු නිසා තමයි. සල්ලි අත පත ගාපු අය සල්ලි නැතුව ජීවත් වෙන්න කැමැති නැහැ. හම්බ කරන්න වෙහෙසෙනවා. මං බිස්නස් එකක් කරන්න මුලින් ම ගෙදරින් එළියට බහිද්දි මට වයස දාහතක් දහඅටක් ඇති.

    මොනවද කරපු බිස්නස්…

    ඒ, මැතිනි යුගය. රටින් කිසි දෙයක් ගේන් නෑ. කන්න හාල් හිඟයි. අපේ වී මෝල්වල හාල් තිබුණා. මං යාළුවොත් එක්ක සමූපකාර ලොරියක් කතා කරගෙන තාත්තට කියනවා, වැලිගම යනවා කියලා. හැබැයි ගියේ යාපනේ.

    රටේ හැම තැනම හාල් පොලු. ඉතින් ඔබ කොහොමද යාපනේට හාල් ගෙනිච්චේ…

    හාල් ගෝනිය බස්සනවා තව ගෝනියකට. ඒකට පුරවන්නෙ බතල. දැන් අපි මේ ගෙනියන්නෙ හාල් නෙවෙයි, බතල ගෝනි. සමූපකාර ලොරියක් නිසා යාපනේට යනකල් කිසි කරදරයක් නැහැ. යාපනේදි බතල වෙනමයි – හාල් වෙනමයි තොගේ පිටින් දෙනවා. බිස්නස් එක ඉවරයි. තල් රා බීලා – යාපනෙත් ඇවිදලා ගමට යනවා. ටික කාලයයි ඒ බිස්නස් එක. ඊළඟට මන්නාරං ගිහින් කරවල ගෙනැත් විකිණුවා. ඒ, කරවල වාඩිවලට ළමයි අල්ලන් යන කාලෙ.

    අපි මන්නාරමේ ඉඳලා කිලෝ මීටර දහයක් විතර කරවල වාඩි ඇතුළට ඇවිදිනවා. ළමයි කරවල වේළනවා. හැබැයි වාඩි අයිතිකාරයන්ගෙ ළමයි ගියේ කොළඹ රෝයල්. නැත්නම් ආනන්ද – නාලන්දෙ. එක එක වයස්වල පොඩි දරුවො. අනුකම්පා හිතිලා මං ඒ දෙතුන් දෙනෙකුට අපිත් එක්ක යන්න කතා කළා. ඒ ළමයි ආවෙ නැහැ. ටික කලක් කරලා, මං කරවල බිස්නස් එකත් අතෑරියා.

    Image result for manjari nugegoda

    ඊළඟට මොකද කළේ…

    කොටිකාවත්තෙ නගර සභාවේ වැඩ කරපු යාළුවෙක් හරහා පාරට තාර දාන කොන්ත්‍රාත්තුවකට ටෙන්ඩරයක් ගත්තා. කොටිකාවත්තෙ පාරවල් කිහිපයකුත් මහරගම පිළිකා රෝහල පාරත් මං තාර දාලා හැදුවා. එතකොට මං විවාහ වෙ ලා. වයිෆ්ට බදුල්ලට මාරුවක් ලැබිලා අපි එහෙ ගියා.

    එහෙදි තමයි, මං බදුලු – මහියංගණ පාරේ අරාව පාලම හැදුවෙ. මාරුවක් අරන් ආපහු ගාලු ආවමත් මං කළේ කොන්ත්‍රාත් වැඩ. මුකුත් නොදැන වැඩේට බැස්සට ඒ වෙන‍කොට මං හොඳ කොන්ත්‍රාත්කාරයෙක්.

    එත‍කොට කොටුවෙ කඩේ බිහිවෙන්නේ…

    අපිත් එක්ක වැඩ කරපු අපේ ම හිතවතුන් ගහපු පෙත්සමක් නිසා. මගේ වයිෆ් ධර්මලතා අකුරගොඩ ‘ඩ්‍රාෆ්ට්මන්’ කෙනෙක්. කොන්ත්‍රාත් වැඩවලදි එයාගෙ හුඟක් උදව් තිබුණා. එයා හිටියෙ රාජ්‍ය සේවයේ. ගාල්ලෙදි මට හොඳ රජයේ කොන්ත්‍රාත් ටිකක් ලැබුණා.

    මා එක්ක ම කොන්ත්‍රාත්වල හිටපු කිහිපදෙනෙක් ඊරිසියා වුණා. ඒ ගොල්ලො පෙත්සමක් ගැහුවා. එදා අපේ ලොකු දුව ඉස්කෝලෙ ගිය පළවෙනි දවස. ගෙදර එනකොට වයිෆ්ව කළුතරට මාරු කරලා ලියුම ඇවිත්. අපිට දරාගන්න බැහැ. දරුවගේ ඉස්කෝලෙ. අවුරුදු පහක් බදුල්ලෙ වැඩ කරලා ගමට ආවා විතරයි. හැමදේම නැතිවුණා වගේ දැනුණා.

    මේ තමයි ඔබේ ජීවිතයේ වැටුණු – පැරදුණු තැන්…

    මං ඒ දෙක ම වෙන්න දුන්නෙ නැහැ. අපි අදාළ අංශයට ගියා. ඔවුන් කොන්දේසියක් දුන්නා. ‘මාරුව කැන්සල් කරන්න නම් මහත්තයට ලැබුණු කොන්ත්‍රාත් නවත්වන්න ඕනේ. ලියාපදිංචිය අවලංගු කරන්න ඕනේ’ කියලා. අපි දෙන්න ම මොහොතක් හිතුවෙ නැහැ. අපිට දරුවගේ ඉස්කෝලෙ ලොකුයි.

    ඒ නිලධාරියාගෙන් ම කොළයක් ඉල්ලගෙන ලියුමක් ලියලා දුන්නා, මගේ කොන්ත්‍රාත් ටික සහ ලියාපදිංචිය අවලංගු කරන්න කියලා. අපි දෙන්නම එළියට ඇවිත් ටිකක් කල්පනා කළා. දැන් ඉතින් අපි මොකද කරන්නෙ… වයිෆ් ගෙ රස්සාව විතරයි. මගේ ආදායම් එක මොහොතින් නතර වුණා.

    මොකක්ද අන්තිමේ ගත්තු තීරණය…

    ඒ පිම්මටම මහන්සි නොබලා අපි පිටකොටු ගියා. රුපියල් තුන්සීය ගානේ සාරි පණහක් අරන් ගෙදර ආවා. පහුවැනිදා වයිෆ් සාරි ටික අරන් ඔෆිස් ගියා. එයාගෙ ඩ්‍රාෆ්ට්ස් අඳින ඩ්‍රොයින් බෝඩ් එක උඩට සාරි ටික දැම්ම ම ඔෆිස් එකේ අය වටවෙලා සාරි ටික ගත්තා. දවල් දොළහ වෙද්දි සාරි ටික ඉවරයි.

    ඒත් හිතට පොඩි ලැජ්ජාවක් දැනෙන්නත් ඇති…

    නැහැ. අපි දෙන්න ම හිටියෙ කේන්තියෙන්. අනික වයිෆ්ගෙ ඔෆිස් එකේ හැමෝමත් සිදුවීම දැනගෙන හිටියා. දුව ඉස්කෝලෙ නවා. මහත්තයට ආදායමක් නැහැ… හැමෝම මේවා දැනගෙන හිටියා. තහනම් ද… ලැජ්ජයි ද… ඒවා මොනවත් හිතුවෙ නැහැ.

    ඉතින්, සාරි පණහ, කොහොම ද සාරි කඩයක් කරන්නේ…

    මටත් දෙකක් ගේන්න, තුනක් ගේන්න… ඔය වගේ දවසින් දවස ඉල්ලුම හැදුණා. අහල පහළ ඔෆිස්වල අයත් එන්න ගත්තා. ඒ පාර කොටුව ඇතුළෙ පොඩි කාමරයක් කුලියට අරන් අපි හතර දෙනාත් පදිංචි වෙලා සාරි බිස්නස් එකත් එතැනම කළා.

    මට හැට්ට රෙදි ගේන්න… මට ගෑස් ලිපක් ගේන්න… මට පිඟන් බඩු… අරක.. මේක… ඔය වගේ ඉල්ලන්නෙ මොනවද අපි කොළඹින් ගෙන්න ගත්තා. සාරියකින් තියාගත්තෙ රුපියල් විසිපහයි. හරි ලාබයි… ලාබයි කිය කියා හැමෝම ගන්නකොට අපිටත් හරි උත්තේජනයක් ලැබුණා.

    මොකක්ද ඒ බිස්නස් ට්‍රික් එක…

    අඩු ලාබේ. වැඩි වෙළෙඳාම. හැමදේට ම තියා ගත්තෙ සියයට දහයයි. ඊට වැඩියෙන් කොයිතරම් ලාබ අල්ලන්න පුළුවන් වුණත් එහෙම කළේ නැහැ. ගාලු මිනිස්සු නමක් දැම්මා ‘ඩියුටි ෆ්‍රී’ සාප්පුව කියලා.

    ඒ කියන්නෙ ‘පැමිණි දුක් පැණි රසයි…’ කියලා හිතන්න පුළුවන් කාලයක් උදා වෙලා…

    නැහැ. ආයෙත් පෙත්සම්. ටවුමෙ කඩ සාප්පුවලට අපිව තර්ජනයක් වුණා. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පැනලා, පැය කිහිපයකට ගේ සීල් කළා. ‘හොර බඩු’ අඩුවට දෙනවාය…. කියන එක තමයි චෝදනාව. ඔහොම අවස්ථා කිහිපයක් උදා වුණා. හැබැයි ඊට පස්සෙ තමයි, ෆයිල් ඇරලා ‘මංජරී’ නමින් ව්‍යාපාරය රෙජිස්ටර් කළේ. පිළිවෙළකට කළේ.

    මේ ව්‍යාපාරය වෙනුවෙන් වැඩි ම කැපවීමක් කළ කාලය මතකද…

    අපි දෙන්නා ගාලු ඉඳන් පිටකො‍ටු එනවා. හරස් වීදි දිගේ ඇවිද ඇවිද කඩෙන් කඩේට ගිහින් අපිට අවශ්‍ය බඩු මුට්ටු ගන්නවා. අඳුරන්නෙ නැති නිසා කවුරුත් අපිට ණයට දුන්නෑ. අත්පිට මුදලටමයි ගත්තෙ. එත‍කොට ගාන තවත් අඩු කරලා දුන්නා. අපිට කොයි තරම් ලාබෙට හම්බ වුණත් 10% ට වඩා අපි තියාගත්තෙ ම නැහැ.

    අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද…

    ණය නොවීම සහ වෙලාවට වැඩ කිරීම. පිටකොටුවෙ ඇවිදිමින් මායි වයිෆුයි දෙන්නා බඩු එකතු කරපු කාලෙ, දෙකට ඉල්ලන පාර්සලේ දෙකට නුදුන්නොත් මං වෙන තැනකට ගියා. ඊළඟ දවසෙ ඒ අය වෙලාවට ම බඩු ටික ලෑස්ති කරලා දුන්නා. පහු කරපු අතීතයේ වගේ ම, අදත් වෙලාවට වැඩකරන එක මට ජීවන පුරුද්දක් වුණේ තාත්තගෙන්.

    මට මතකයි, මං ගාලු කොටුවෙන් පර්චස් 82 ක ඉඩමක් ගත්තු වෙලාවෙ, තාත්තා ආවා ඉඩම බලන්න. වටේට ඇවිදලා කිව්වෙ එක දෙයයි. ‘ඉඩම ගත්තට කමක් නෑ ණය වෙනවා එහෙම නෙවෙයි…’ අද ලොකු ණයවලට නොගියට මුල් කාලෙ දියුණු වුණේ බැංකු ණය වලින් තමයි.

    සමහර වෙලාවට අපි අත්හරින දේ නිසාම අපිව ඉස්සරහ තල්ලු වෙනවා…. මේ අත්දැකීම ඔබටත් තියෙනවද…

    කොටුවෙ කඩේ සරුවට ම කෙරෙනකොට ගෙදර ලියුම් එන්න ගත්තා. ‘කඩේ වහපන් – නැත්නම් මරනවා…’ ‘දුවලා දෙන්නව උස්සනවා’ ඔය වගේ දේ කියලා. දරුවො ගැන කියපු දේ හිතට වැදුණා. අපි කඩේ මල්ලිලට බාර දීලා දරුවො අරන් කොළඹ ආවා. සවුත්ලන්ඩ්ස්වලින් අස්කරලා කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මා.

    නවතින්න පොල්හේන්ගොඩ නෑ කෙනකුගේ ගෙයක් ලැබුණා. එයාලා හිටියේ ඕස්ට්‍රේලියාවේ. පස්සෙ ඒ ගේ අපිට ම විකිණුවා. අද ලේඩි ජේ තියෙන ඉඩමත් එයාලගේ. තියෙන කාලෙක සල්ලි දෙන්න කියලා මේ ඉඩමත් අපිට ම දුන්නා. ඒ වෙලාවෙ අපි ගාල්ලෙ කඩේ අතෑරලා ආවේ නැත්නම් මේ කිසි දෙයක් නැතිවේවි. දරුවො ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ, ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට ගියේ, කොළඹ සාප්පු හැදුවෙ, හොඳ බෑණලා දෙන්නෙක් හම්බ වුණේ ඒ වෙලාවෙ කොටුව අතෑරලා ආපු නිසා.

    ඔබ ජ්‍යෙතිෂය විශ්වාස කරනවද…

    බොරැල්ලෙ මේ ලේඩි – ජේ සාප්පුව තියෙන බිමේ එදා තිබ‍ුණෙ ගරාජ් එකක්. දෙපැත්තෙ මිනී පෙට්ටි සාප්පු දෙකක්. ඒ දවස්වල මේ හරිය මහ මූසල පාටයි. උදේ දවල් රෑ දකින්න තිබුණෙ මිනී පෙට්ටි. මල්වඩම්. වයිෆ් කැමැති වුණේ ම නැහැ. එයා එපා කියද්දි මං ඉඩම ගත්තා. අපිට කිරි ඉතිරුවෙ මේ ඉඩමෙන්. වෙලාවල් බැලුවෙ නැහැ. අසුබ ලකුණු කියලා හිතුවෙ නැහැ. කරන්න ඕනෙ දේ කළා.

    ඔබට හුඟක් තැන්වලදි වාසනාව ඵලදීපු හැඩයි…

    වෙර වෑයම් දරන තරමට ඒ වෙනුවෙන් කැපවන තරමට වාසනාව උදා වෙනවා. බොරැල්ලෙ මේ ඉඩමටත් මං කිව්ව විදියට ම මගේ නෑදෑයට මුදල් ගෙව්වා. වාසනාව ළඟට එනකල් මං හිටියෙ නැහැ. මං වාසනාව හොයාගෙන ගියා. මං සිංහ ලග්නෙ. කොහොමටත් පහු බහින ගතිය මගේ ජීවිතේ නැහැ.

    අද ගාලු කොටුවෙ කඩේ නැද්ද…

    ඒ ලොකු ඉඩමෙ ලස්සන හෝටලයක් හැදුවා. මංජරී සාප්පුව, වක්වැල්ල පාරට ගෙනාවා. අපේ හැම සාප්පු සංකීර්ණයක් ම වර්ග අඩි අසූ දාහකට වැඩියි.

    ඔබ ඉස්සරහට තබපු අඩිය පස්සට ගන්නෑ… එහෙමද…

    ඔව්. බොරැල්ල මිනී පෙට්ටි සාප්පු දෙකක් මැද්දෙ බිස්නස් එකක් හැදුවෙ ඒ නිසා. වක්වැල්ලෙ පර්චස් එකසිය අසූ ගාණක ඉඩම හුඟක් ව්‍යාපාරිකයො අත් හැරියා, ඒ බිමේ මහා විශාල නුග ගහක් තිබුණු නිසා. මං ඒ ඉඩම ගත්තා. පිරිත් කියවලා ගහ කැපුවා. සුදු නයි හිටියා කිව්වා. අපිට නම් කිසි කරදරයක් වුණේ නැහැ. ඕන අභියෝගයකට මං මුහුණ දෙන විදිය වෙනස්. මොන දේ වුණත් මං අභියෝග අත්හරින්නෑ.

    Image result for lady j borella

    සාරි පණහකින් පටන් ගත්තු ගමනෙ හුඟක් දුර ඇවිත්… ඔබට වෙහෙස ද…

    නැහැ, මටවත් මගේ බිරිඳටත් එහෙම වෙහෙසක් නොදැනෙන්නෙ අපි දෙන්න ම මේක ආසාවෙන් කරන නිසා. අපි හෙට අනිද්දත් චීනෙ යනවා. එදා පිටකොටු ගියා වගේම, තව ම අපි දෙන්නා බඩු ගේන්න රට රටවලට යනවා. සතුටින් කරන දේ එපා වෙන්නෑ, ‘මේකෙ ගාණ අඩුයි…’ කියලා කවුරු හරි කියනවා ඇහෙන එක තමයි අදත් අපි දෙන්නටම බිස්නස් කරන්න ලැබෙන උත්තේජනය.

    ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කියන්න…

    අපි ව්‍යාපාරයකට අත ගැහුවෙ ම බාධාවක ප්‍රතිඵලයක් විදියට. එතැන ඉඳලා ආපු හැම බාධයක් ම අපි දෙන්නට වැදුණු පොලු පහරක්. ඒ පොලු පහරවලින් බේරෙන්න අපි දෙන්න ම පැන්නෙ පඩි දෙකක් උඩට. එහෙම ගැහුවෙ නැත්නම් අපි ජීවිතේට එකපාර පඩි දෙකක් උඩට යන එකකුත් නැහැ.

    අපිට ගහපු පොලු පාරවල් වැඩිවුණා කියන්නෙ, අපේ දියුණුවෙ වේගෙ වැඩිවුණා කියන එක. එහෙම බලද්දි අපේ දියුණුව ඉක්මන් කළේ, අපිට කරදර කරපු මිනිස්සු. ඔබේ ජීවිතේට එන ඕනෑ ම කරදරයක්, මං වගේ යහපතට හරවා ගන්න. එතැනින් පුංචි හරි හොඳ දෙයක් මතු කරගන්න උත්සහ කරන්න. එත‍කොට ඔබේ ගමන කාටවත් ම නවත්වන්න බැහැ.

    මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

  • දකුණේ තවත් කිරිකැටියන් දෙදෙනෙකු මරු තුරුලට..!රජයේ වියදමින් පුද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ලබා දෙන්න නියෝග..

    දකුණේ තවත් කිරිකැටියන් දෙදෙනෙකු මරු තුරුලට..!රජයේ වියදමින් පුද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ලබා දෙන්න නියෝග..

    මේ වන විට දකුණු පළාත පුරා පැතිර යන ඉන්ෆ්ලූඑන්සා රෝග තත්වය හේතුකරගෙන මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11ක් දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා.

    කෙසේ වෙතත් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලතුල පවතින අඩුපාඩුකම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වීමට නොහැකි තත්ත්වයක්ද පවතින බවයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකර යැවීමටද කටයුතු කර තිබෙනවා.

    කෙසේ වෙතත් ඇති වී තිබෙන මෙම තත්වයට විසඳුම් ලබා දී ඇති පැවසූ   විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න  ‘‘දැනට මම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කරා වහාම දකුණු පළාතේ තියෙන  පුද්ගලික රෝහල් වල තිබෙන දැඩිසත්කාර ඒකකක රජයේ වියදමින් ඒ දරුවන්ට ලබා දෙන්න කියලා. ඒ වගේම අපි කොළඹ ළමා රෝහලටත් ඒ දරුවන් ගෙන එන්න කටයුතු කලා‘‘ යනුවෙන් ප්‍රකාශ කල අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව මෙම රෝග තත්ත්වයට වෛරස්‌ ඛාණ්‌ඩ 4 ක්‌ හේතු වන බව සඳහන්. මෙහි රෝග කාරකය ලෙස නියුමොකොකල් වෛරසය, ඇඩිනො වෛරසය ,රෙස්‌පිරේටරි සින්සිටියල්  සහ ඉන්ෆ්ලූඑන්සා  වෛරසය හඳුනා ගෙන තිබෙනවා. 

    කෙසේ වෙතත් මෙම රෝග තත්වය පැතිරෙන ආකාරය පිළිබඳව අවබෝධය ලබා ගනිමින් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වනවා. මෙම රෝගය පැතිරීම  පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට කිවිසුම් මගින්, කැස්‌සෙන් හෝ ස්‌පර්ශ කිරීමෙන් සිදුවිය හැකියි. එමනිසා කැස්‌ස හෝ කිවිසුම් යැම ඇතිවිට පිරිසිදු ලේන්සුවක්‌ හෝ මුඛ ආවරණයක්‌ භාවිතා කිරීම, රෝගියෙකු ස්‌පර්ශ කළ පසු සබන් හෝ විෂබීජ නාශකයක්‌ යොදා අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පැතිරී යැම වළක්‌වාගැනීමට හැකි අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, වයස්‌ගත උදවිය, පිළිකා සහ වකුගඩු රෝගී තත්ත්වයන් ඇති රෝගීන් , දියවැඩියා රෝගීන් සහ හෘදයාබාධ රෝගීන් , වඩාත් පහසුවෙන් මෙම රෝගයට ගොදුරු විය හැකි අතර අවුරුදු 5-18 දක්‌වා වයස කාණ්‌ඩයේ සිටින අය සඳහා මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ හැකියාව පවතිනවා.

    මෙම රෝගයේ රෝග ලක්‌ෂණ එක්‌වරම මතුවන අතර තද සීතල සහ ඇඟ වෙව්ලීම සමග උණ හට ගැනීම, හිසරදය, වියළි කැස්‌ස , පපු පෙදෙසෙහි වේදනාව, උගුරේ ආසාදනයන් ඇති වීම නිසා වීම නිසා ගිලීමේ අපහසුතාවයන් කුඩා දරුවන්ට ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. කුඩා දරුවන් සහ වයස්‌ගත වැඩිහිටියන්ට හුස්‌ම ගැනීමේ අපහසුතාවයන්ද ඇති වන අතර  අධික මහන්සිය, තෙහෙට්‌ටුව සහ නින්ද නොයැම වැනි රෝග ලක්‌ෂණද ඇති වේ.

    එසේම අද (28දා) සෞඛ්‍ය අංශ සිදුකිරීමට නියමිත සාකච්ඡාවකින් පසුව ඉන්ෆ්ලුවන්සා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමටද කටයුතු කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරන ලදී.

    මෙහිදී වැඩිම බලපෑමක් ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වී ඇති පෙදෙස්වලට එම එන්නත ලබාදීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගන්නා බවයි අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

  • දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලටද පැතිර යාමේ අවදානමක්

    දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලටද පැතිර යාමේ අවදානමක්

    දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය අනෙකුත් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට දකුණු පළාතේ වයස අවුරුදු 2ට අඩු දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව ය.වෛරස් උණ සමග ඇතිවූ සංකුලතා හේතුවෙන් එම මරණ සිදුව ඇති බව ද වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
  • කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ

    කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ

    අයහපත් කාලගුණ තත්ත්වය සමග කඩුවෙල බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලම මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙන බවත්, මෙවැනි අවදානමක් සිදුවිය හැකි බව පෙන්වා දෙමින් අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කර  තිබුණද   එයට ප්‍රතිකර්මයක් ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවත් කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවැසයි.
    කැලණි ගඟ ජල මට්ටම ඉහළ යාමත් සමග ඉවුරු ඛාදනය වීමෙන් මෙම පාලමේ එක් පැත්තක් මේ වනවිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවත් මෙම අවදානම්කාරී තත්ත්වය පිළිබඳව වසර 10කට ආසන්න කාලයක් පුරා තමන් ප්‍රාදේශීය සභාවේ සහ පළාත් සභාවේ සිටියදී අදාළ බලධාරීන්  දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබූ බවටත් එසේම ප්‍රදේශවාසීන් එක්ව මෙම ඉවුරු ඛාදනයට පිළියම් යොදන ලෙසට ඉල්ලා සිටිමින් විවිධ ඉල්ලීම් කරනු ලැබුවද කිසිදු විසඳුමක් ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවටත් ඔහු චෝදනා කළේය.
  • අධික වර්ෂාව නිසා ආපදාවට ලක්වූවන්ගේ ආහාර සඳහා මිලියන 27ක්

    අධික වර්ෂාව නිසා ආපදාවට ලක්වූවන්ගේ ආහාර සඳහා මිලියන 27ක්

    දිවයිනට බලපෑ ඇති නිරිත දිග මෝසම් තත්ත්වය නිසා ඇති ව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පවුල් 9817ක් විපතට පත්ව ඇති බවත් විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙතින් රුපියල් මිලියන 27ක් වෙන් කොට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා ප්‍රකාශ කලේය.
     
    වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයින් 5000ක් පමණ යොදවා ඇති අතර පුද්ගලයින් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇති බව පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මරණයට පත්ව ඇතැයි ද ප්‍රකාශ කලේය.
     
    ක්ෂණික දුරකථන අංක 117 අමතා ආපදා තත්ත්වයන් පිළිබඳ ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් පසුගිය දින කිහිපය තුළ ඇමැතුම් 4000ක් පමණ ලැබුණු අතර එම සියලු ගැටළු එම අවස්ථාවන්හිදිම විසඳීමට කටයුතු කළ බවත් මීට අමතර ව හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 ඇමතීමෙන් ම ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා කියා සිටියේය.
  • තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි

    තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි

    මහලු මවක් කූඩුවක රඳවා තබා ඇති බවට ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ(22) වැටලීමක් දියත් කර තිබේ.

    දෙහිවල මෙම ස්ථානයට යන විටත් නිවසකට යාබඳව පිටතින් ඉදිකළ අඩි 04ක් පමණ පළල , අඩි 05ක පමන දිගින් යුත් ලෑලි හා සිමෙන්ති ගල් යොදා ඉදිකළ කුඩා කුටියක බිම මෙම මහලු මව වැතිර සිටින ආකාරය දක්නට ලැබී ඇත.86 වියැති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකුගේ හා එක් පුතෙකු සිටින අතර ඇය මෙලෙස රඳවා සිට ඇත්තේ ඇගේම දියණියකගේ නිවසට යාබඳව පිටතින් පිහිටි කාමරයක වේ.

    තමා හැදූ වැදූ මව මෙලෙස රඳවා තැබුවේ ඇයි දැයි විමසූ විට එම දියණිය  පවසා සිටියේ රැකවරණය සැලසීමේ දුෂ්කරතාව මෙලෙස මව වෙනම කුටියක රැදවූ බවයි. අවසානයේ මහලු මව කළුබෝවිල රෝහලට යොමුකෙරුනු අතර දියණිය පොලිස් බාරයට ගැණුනි.

  • තව අවුරුදු දෙකක් යනකල් බස් ගාස්තු වැඩි වෙන්නෙ නෑ

    තව අවුරුදු දෙකක් යනකල් බස් ගාස්තු වැඩි වෙන්නෙ නෑ

    බස් ගාස්තු සියයට 12.5% කින් ඉහළ දැමීමට ඊයේ(22) උදැසන රැස් වූ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වූ අතර ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම වැඩි වීම ක්‍රියාත්මක වේ. මෙහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉදිරි වසර 02 ක කාලයක් සදහා යලි බස් ගාස්තු සංශෝධනයක් කිරීමට අවසර ලබා නොදීමේ පදනම මත බස් ගාස්තු සංශෝධනය සදහා අවසර ලබා දීමට බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සදහන් කලේය.

    අධිවේගී මාර්ගවල බස් ගාස්තුද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ යන අතර  මහරගම සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් 560 ක් ද මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 450 ක් ද  කඩවත සිට ගාල්ලට නව බස් ගාස්තුව රුපියල් 490 ක් ද  කඩවත සිට මාතරට වන නව ගාස්තුව රුපියල් 600 ක් ද කඩුවෙල – මාතර නව බස් ගාස්තුව රුපියල් 580 ක් ද වහයෙන් ඉහළ නංවා ඇත.

  • වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි

    වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි

    ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇති වී තිබෙන ආපදා තත්ත්වය හා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (22) මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසයි.

     අමාත්‍යංශ නිලධාරීන් ආපදා අංශ මෙන්ම ග‍්‍රාමසේවා නිලධාරීවරයා දක්වා වූ රාජ්‍ය යාන්ත‍්‍රණය මඟින් මෙන්ම පොලීසිය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම මාධ්‍ය ආයතනවලින් ලැබුණු දායකත්වය ඉතා අගය කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කල අතර ආපදා තත්ත්වය තුළ මරණ 08 ක් මේ වන විට වාර්තා වී ඇතත් ඒවා නොසැළකිල්ල හා ආපදා අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් සිදුව ඇති මරණ බවට තහවුරු වී ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය. 

  • ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

    ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

    හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
    හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද හමුදා සාමාජිකයින් දහසක්, නාවික හමුදා සාමාජිකයින් 600 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 250ක් ඊට ඇතුළත් බව ය.
    පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 170ක් ස්ථානගත කර තිබේ.
    ඔහු පැවසුවේ, ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් සඳහා හමුදා සාමාජිකයින් බෝට්ටු සමග පිටත් කර හැරි බව ය.
    මේ අතර ඉදිරි දින කිහිපය තුළදීත් නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
    එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේත් සබරගමුව, දකුණ බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය.
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
    පුද්ගලයින් 1500කට ආසන්න පිරිසක් කඳවුරු 30කට අධික සංඛ්‍යාවක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
    එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ රත්නපුර, කළුතර සහ නුවරඑළිය ආශ්‍රිතව එම කඳවුරු පිහිටුවා ඇති බව ය.
    ජල ගැලීම් හා නාය යාම් අවදානම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව සිටිති.
    මේ වන විට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20000කට අධික ය.
    මේ අතර පවතින වැසි සමග රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පැනවූ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මේ වන විට දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ය.
    පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර දවුලගල පොලීසිය අසල නාය යාමක් සිදුව තිබේ.
    එලෙස නාය යාමට ලක්ව ඇත්තේ, දවුලගල වටදෙණිය ප්‍රතිසංස්කරණය කරමින් පවතින මාර්ගයේ ඉහළ කොටස යි.
    අද අලුයම වන විට වැඩි ම වර්ෂාපතනය රම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
    එම සංවිධානයේ වර්ෂාමානයන්ට අනුව එම අගය මිලිමීටර් 112කි.
    කුරුණෑගල උඳුගොඩින් මිලිමීටර් 91ක්, පොල්ගොල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 84ක් හා කාසල්රි ප්‍රදේශයෙන් මිලිමීටර් 76ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාමානයන්ට අනුව වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කටුනායක ප්‍රදේශයට ය.
    එම අගය මිලිමීටර් 74.9කි.
    කුරුණෑගලට මිලිමීටර් 56 ක ද නුවරඑළියට මිලිමීටර් 49.3ක ද වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

    (under the courtesy of newsfirst.lk web)

  • පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර

    පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර

    කෝප් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව සහ තවත් කාරක සභා කිහිපයක් මේ සතිය තුල පිහිටු වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කරයි.
    ඒ සඳහා තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
  • එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්

    එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්

    එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි.
    නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර ඇති අතර එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ 2016 වසරේදී එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල යි.
    යොහාන් පීරිස් 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙන් වුවත් මේවර සාර්ථකව එවරස්ට් තරණය කළ ඔහු මේ වන විට කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි.
  • ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි

    ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි

    ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට.
    කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018 තරගයේදීයි.අනතුරින් ඩිලන්තයට කිසිදු හානියක් සිදුව නැහැ.
    සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමට සටහක් ද එක් කර තිබුණා.ඒ සියලූම ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
    මේ එම සටහනයි.

    (under the courtesy of adaderana news web)

  • යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට

    යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට

    යෝජිත බස් ගාස්තු සංශෝධනය අද(22) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ බැවින් 12.5% ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර ඇත.
    මෙහිදී රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද තීරණය කෙරුණු අතර අදාළ සංශෝධනයන් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.