Category: සුපිරි News

  • කලකට පසු විමල්ට මල් පිපෙයි…

    කලකට පසු විමල්ට මල් පිපෙයි…

    ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද(01) දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

    විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 2:00ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන ව්ගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම්දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවටයි. එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් ඒ සමග ඒ වනවිට වලංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණියහොත් විදෙස් ගත විය හැකි බව එම නිලධාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුනා.

    මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බල පත්‍රයක් ලබාගෙන ඇත. ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමග වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

    විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පුනා පුනා ප්‍රශ්න කළේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද, යන්නයි.

    එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

    එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති වූ අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයාය.

    ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

    එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කරන ලදී.

    විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටින ලදී.

    මාධ්‍ය ඒකකය,
    ජාතික නිදහස් පෙරමුණ

  • අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

    අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

    මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල පහළව යාවි යැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් එම අපේක්ෂාවන් ඊයේ ඉන්ධන මිල සංශෝධනයන් නිකුත් කිරීමත් සමඟ පහව ගියහ.

    සාමාන්‍ය ජනතාව බහුලව භාවිතා කරන ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් වල මිල ගණන් එක රුපියලකින්වත් පහළ නොදැමීම සම්බන්ධයෙන් ජනතාව ඇත්තේ කනස්සල්ලෙනි.

    නව මිල ගණන් සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබේ. එහි නව මිල රුපියල් 440කි.

    එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.

    භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

    කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත.

    එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා ඓOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇත. එමෙන්ම සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සංශෝධනය කර ඇත.

  • ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

    ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

    ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ සැතපුම් 1.6ක් දිග විශාල පාලමක ගැටී එම අති දැවැන්ත පාලම මුලුමනින්ම කඩා වැටී ඇත.

    Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙයි.

    පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇතිබව මුලදී වාර්තා වී නොතිබුණද මේ වනවිට එම අනතුර හේතුවෙන් 7 දෙනෙක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

    වාහන කිහිපයක් ගඟට වැටී ඇතැයි අනුමාන කෙරෙන අතර එම ස්ථානයේ සහන කණ්ඩායම් සිටින බව ද වාර්තා විය.

  • FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

    FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

    ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණියකගේ ෆේස්බුක් ගිණුමේ වසර දෙකක පමණ කාලයක් මිතුරෙකු ලෙස සිටි තරුණයෙක් ඇයට අවස්ථා කිහිපයකදීම ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණි.

    මේ අතරවාරයේ එම තරුණිය සිය පෙම්වතා සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද ෆේස්බුක් වෙත එක් කර තිබිණි. එම ඡායාරූප දැක උරුණ වූ ඇයට කැමැත්තෙන් සිටි තරුණයා, ව්‍යාජ කාන්තා ෆේස්බුක් ගිණුමක් ඔස්සේ තරුණියට පණිවුඩයක් යොමු කර තිබුණේ ඇගේ නිරුවත් ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක Link එකක් සමගයි. නමුත් එම Link එක විවෘත නොකළ තරුණිය එය සිය පෙම්වතාට යවා ඇත්තේ එය පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමිනි.

    පසුව ඇගේ පෙම්වතා එම Link එක විවෘත කිරීමත් සමග පෙම්වතාගේ ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීමට සැකකාර තරුණයාට අවස්ථාව උදාවී තිබේ. පසුව පෙම්වතා සිය පෙම්වතිය සමග සිදුකළ සංවාදයට පිවිස, දෙදෙනා හුවමාරු කරගත් තරුණියගේ ඡායාරූප බාගත කරගෙන ඒවා නිරුවත් ලෙස සංස්කරණය කිරීමට සැකකාර තරුණයා පියවර ගෙන තිබිණි.

    පසුව සැකකරු එම නිරුවත් ඡායාරූප තරුණියට යොමු කරමින් ඇගේ නිරුවත් වීඩීයෝ දර්ශන ඉල්ලා ඇති බව වාර්තා වුණි. නිරුවත් වීඩීයෝ, සැකකරුට ලබා නොදුනහොත් සංස්කරණය කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යය වෙත මුදාහරින බවට තර්ජනය කර තිබේ.

    ඒ අනුව අදාළ තරුණිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් පසුව පොලිස් උපදෙස් අනුව සැකකරු අල්ලා ගැනීම සඳහා තරුණිය මාර්ගයෙන් සැකකරුට පිළියන්දලට පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබේ.

    තරුණිය මුණගැසීම සඳහා ඉකුත් සෙනසුරාදා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසියට හැකිවුණි. මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි හික්කඩුව ගෝනාපිනුවල පදිංචි තරුණයෙකි.

    සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිට ඇති මොහු කිසිදු පරිගණක දැනුමක් නොමැති අයෙකි. නමුත් වෙනත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳ ඔහු හදාරා ඇත්තේ අන්තර්ජාලයෙනි.

    “ඉගෙන ගත්තේ Youtube එකෙන් බලලා.”

    ඔහු ජා ඇළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බව දෙමාපියන්ට පවසා අදාළ තරුණියට චොකලට් පැකට් කිහිපයක්ද රැගෙන පිළියන්දලට පැමිණ තිබිණි. ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ තරුණියන් රැසකගෙන් මොහු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවය.

    ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාරදෙනු ලැබීය.

    උපුටා ගැනීම: අද දෙරණ

  • විපක්ෂයේ අරක්කු මුදලාලිලා, සීනි හොරු එක්වී චම්පික එලවලා..!

    විපක්ෂයේ අරක්කු මුදලාලිලා, සීනි හොරු එක්වී චම්පික එලවලා..!

    ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාබ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පලිගැනීමක් ලෙස අරක්කු මුදලාලිලා හා සීනි හොරුන් දේශපාලඥයන් අතකොලු කරගෙන තමන්ව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබූ රාජාසන කතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීන් හා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වර්ජනය කරන අවස්ථාවේදී තමන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් සභා ගැබේ රැදී සිටීම මුල් කරගනිමින් බව පාඨලී චම්පික රණවක මහතා හෙළිකරයි.

    “පසුගියදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා රාජාසන කතාව කරන්න. කතාව ආරම්භ කරන කොටම වගේ, විපක්ෂ නායකතුමයි, විපක්ෂයේ සංවිධායක කිරිඇල්ල මහත්තයයි, නැගිටලා ගියා. ඊට පහුවෙනිදා, මේ රාජාසන කතාවට විවාද තිබුණා. විවාදයට මමත් වෙලාවක් ඉල්ලලා තිබුණා. මට වෙලාවක් තිබෙන බව ඊට කලින් දවසේ මට දැනුම් දුන්නා. නමුත් මට එදා දැනුම් දුන්නා මගේ කතාව කපලා කියලා. මම කිරිඇල්ල මහත්තයාට කතා කරලා ඇහුවා, ඇයි කතාව කැපුවේ කියලා. කිරිඇල්ල මහත්මයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහට විරෝධය පාලා නැගිටලා ගියේ නැති අයට වාඩිවෙලා හිටපු අයට කතා දෙන්න එපා කියලා නායකතුමා කිව්වායි කියලා. නායකතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මං කිව්වා ඔබතුමා කොහොමද අපි ගැන තීරණය කරන්නේ? අපි වෙන පක්ෂයක්. මම ස්වාධීන මන්ත්‍රී කෙනෙක්. එහෙම කරන්න බෑ කියලා. මං කිව්වා අඩු තරමින් ඇයි අපිට පණිවිඩයක්වත්, දුරකතනෙන්වත් දැනුම් දුන්නේ නැත්තේ අපි මේක වර්ජනය කරනවා කියලා. එතුමා කිවා ඉතින් නායකයා නැගිටලා යන කොට දැනගන්න ඕනේ පස්සෙන් එන්න කියලා. ඉතින් මම කියන්න ඕනේ කාගෙවත් එහෙයියෝ වෙන්න අපි සූදානම් නැහැ.”

    මෙම හේතුන් පාදක කරගනිමින් තමන්ව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් හා රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉවත් කිරීමට මෙම පිරිස් කටයුතු කර ඇති බවත් එම ක්‍රියාවන් සිදුකරනු ලබන්නේ තමන් විසින් කාරක සභා සභාපතිවරයා ලෙස හොර අරක්කු මුදලාලිගේ ජාවාරමත්, සීනි බදු හොරුන් හා බදු නොගෙවූ පිරිස් හෙළිදරව් කිරීමේ සිදුවීම් වලින් පලිගැනීමට බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම මෙම පලිගැනීම් සිදුකරණ විපක්ෂ මන්ත්‍රීන් සීනි බදු වංචාකරුවන්ගේ ගොඩනැගිලි වල පදිංචි වී සිටින පිරිස් බවත් රන්ජන් රාමනායක මහතා පවසන පරිදි ඔවුන් සියලු දෙනා යහලුවන් බවද චම්පික රණවක මහතාද පවසා සිටියේය.

    “මට නම් මේ නම කැපිල්ල පේන්නේ දෙතුන් පැත්තකම වුවමනාවට වෙච්ච දෙයක් හැටියට. ඇයි? පසුගිය නොවැම්බර් මාසේ ඊටත් පෙර පසුගිය අගෝස්තු මාසෙදි මේ රටේ මත්පැන් බෝතල් වල තියෙන ව්‍යාජ ස්ටිකර පරිහරණය කරන ක්‍රමවේදය අපි හෙළි කරලා දුන්නා. බිලියන ගාණකින් රටේ ආදායම වැඩි වුණා. අවසානයේ මොකද වුණේ? ඒ සුරාබදු කොමසාරිස්ටත් ගෙදර යන්න වුණා. ඒ බලපත් නවත්තලා රටට බිලියන ගානක් බදු හොයලා දීපු මටත් කාරක සභාවේ සභාපතිකම නැතුව ගියා. ඉතින් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා හිතාගන්නකෝ. ඒ වගේම මේ රටේ දැවැන්ත සීනි වංචාවක් වුණා 2021. ආයේ එවැනිම වංචාවක් වුණා 2023. එකම සමාගම් කිහිපයක්. අපි නියෝගයක් දුන්නා කාරක සභාවෙන් විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මොවුන්ගෙන් ඒ අයුතු ලාභය අය කරගන්න කියලා. මම කියනවා ඔය සමහර විපක්ෂයේ දූෂණය ගැන කතා කරන අයගේ දේපල අද ඒ සීනි වංචාකාරයින්ගේ විශාල ගොඩනැගිලිවල තියෙන්නේ. ඒ වගේම ඒ වංචාකාරයින්ගේ හයියෙන් තමයි ඔය ගොඩක් පෝස්ටර්, බැනර්, කටවුට් ඇලවෙන්නේ. ඉතින් තරහයි. ඒක තමයි කාරණය. රුපියල් කෝටියට වඩා වැඩියෙන් බදු නොගෙවපු 1272 ක් ඉන්නවා. බැංකුවලට කෝටි ගණන් පොලු තියපු ලැයිස්තුව එළි කරා. මේ රටේ ප්‍රබල ඇමති කෙනෙකුත් ඉන්නවා ඒ ලැයිස්තුවේ. හිටපු ඇමතිලත් ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම ඉතින් මේකෙන් ප්‍රකෝපයට පත් වුණා.”

    – ලෙෂාන් විදානගමාච්චි

  • කතරගම අර්බුදයේ සත්‍ය කතාව ! ගවේෂණාත්මක හෙලිදරව්ව-01

    කතරගම අර්බුදයේ සත්‍ය කතාව ! ගවේෂණාත්මක හෙලිදරව්ව-01

    පසුගිය කාල වකවානුවේ කතරගම දේවාලය සම්බන්ධ පුවත් මැවූ සිද්ධි දාමයක් මාධ්‍ය කරලියේ උණුසුම් පුවත් බවට පත් විය. ලොව්තුරා ශ්‍රී ගෞතම බුදුරජාණන්වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර ආශිර්වාදය ලත් ලක්ෂ සංඛාත සිංහල – ද්‍රවිඩ බෞද්ධ – හින්දු බැතිමතුන් ගේ ශුද්ධ වූ පූජනීය ස්ථානය වන කතරගම පිලිබදව මාධ්‍යයෙන් හුදී ජනතාවගේ අවධානය ට ලක් කලේ එහි සිදු වූ අක්‍රමිකතාවයක් ගැන පමණි. එහෙත් ඊට ඔබ්බෙන් සැගවුණු ක්‍රියාදාමයන් බොහෝමයකි.

    රන් තැටියක් අස්ථාන ගත වීමක් සම්බන්ධ අක්‍රමිකතාවයක් කතරගමින් මතුවන්නේ ඊට පෙර සිදු වූ දැවැන්ත සිද්ධි දාමයක ප්‍රතිඵලයක් ලෙස බව දැන් දැන් සාක්ෂි සහිතව සනාථ වී තිබේ.

    එනම්, වසර 50 කට ආසන්න කාලයක් කදිර දේවරාජයාණන් වහන්සේගේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ” ගිණි පෑගීමේ ” චාරිත්‍රය පවත්වන ස්ථානය දේව සම්ප්‍රදාය කඩ කරමින් වෙනස් කිරීමට කටයුතු කිරීමයි.*

    *2022 වසරේ කතරගම මහා මංගල්‍යයේ දී වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් හදිසියේ ඉතාම කූඨ හා ප්‍රයෝගකාරී ලෙස දේවරාජයාණන් වහන්සේගේ සාම්ප්‍රදායික ගිණි පෑගීමේ චාරිත්‍ර ස්ථානය වෙනස් කරයි !*

    එනම් මහා දේවාල වාහල්කඩ ඉදිරිපස අතීතයේ සිට ගිණි පෑගූ ස්ථානය, ඊට මීටර් 150ක් පමණ දුර වල්ලී මාතා දේවාලය සමීපයට ගෙන ගොස් ගිණි පෑගීම සිදුකරමිනි.

    අනපේක්ෂිත ලෙස සිදු වූ මේ දේව සාම්ප්‍රදාය කඩ කිරීමට කපු මහත්වරු පමණක් නොව , පමණක් නොව ලක්ෂ අධික ශුද්ධ වූ සිංහල ද්‍රවිඩ බැතිබතුන්, මාස ගණනක දැඩි දුෂ්කර ගමනින් පාද යාත්‍රාවන් පැමිණි උතුර නැගෙනහිර ආඩි වේල් බැතිමතුන් සහිත ජන ගංගාව ඉමහත් කලකිරීමටත් උරණවීමටත් පත්විය. ඊට මහා දේවාලයේ ඓතිහාසික සාම්ප්‍රදාය සුරැකි සියල්ලෝ දැඩි ලෙස විරුද්ධ විය. මෙය නියත දේව කෝපය හිමිවන්නක් බව ඔවුන් පෙන්වා දී ඇත. මීට බස්නායක නිලමේවරයා දක්වා ඇත්තේ, ඉතාම මෑතකදී ඉදිකල අභිනාවාරාමය නම් පන්සලේ චෛත්‍ය වෙත ගිණි පෑගීමේන් හානිවිය හැකි නිසා එම ස්ථානය වෙනස් කල බවයි. එය මහා හතරබීරී කතාවක් බව සියල්ලන්ට ප්‍රත්‍යක්ෂ වන්නකි. හේතුව නම් එහි දේවාලය ඉදිරිපිට 1990 ට පෙර වූයේ පර්චස් 10 පමණ ප්‍රමාණයේ පිහිටි කුඩා පන්සලකි. එයත් පුරාණ පන්සලක් නොව අතීතයේ දී කපු මහතුන් විසින් කතරගම ආයුපාල හාමුදුරුවන්ට තාවකාලිකව වැඩ සිටීමට පහසුකම් සලසන ලද මහා කපුරාළගේ නිල නිවසකි. පසුව බුදු කුටියක් හා දේවාල දෙකක් එහි ඉදි කරන ලදී. මේ කුඩා පන්සල වත්මන් නායක හිමියන් භාවිතා කොට ඇත. පසුකාලීනව එහි බිම් ප්‍රදේශය ව්‍යාප්ත කරමින් ගොඩනැගීම් කර ඇත. එකල ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙය දැක 1990 දී මෙම හාමුදුරුවන් අමතා මෙම පන්සල සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා නිර්ණායක හා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිර්ණායක සියල්ලටම විරුද්ධ ගොඩනැගිල්ලක් බවත්, එය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉතාම කරුණාවෙන් එම ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් දන්වා එයින් ඉවත් කර ඇත. නමුත් ඒ සදහා ප්‍රේමදාස ජනපතිතුමා විසින් නගර මධ්‍යයේ සුඛෝපභෝගී විහාර සංකීර්ණයක් ඉදිකර දී එම ස්වාමීන්වහන්ස් හට එය පූජා කර ඇත. අවාසනාවන්ත ලෙස ජනාධිපති ප්‍රේමදාස මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර මින් අවස්ථාව ලද මෙම ස්වාමීන්වහන්ස් නගර මධ්‍යයේ විහාරය සේම දේවාල භූමියේ පෙර පැවති විහාර ගොඩනැගිල්ලද යලි අත් පත් කරගන එහි වැඩ වාසය කර ඇත.

    අද මෙහි සත්‍ය තත්වය නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ හා ඔහුගේ සමීප නෑයෙකු වන බස්නාහිර නිලමේ ඩිෂාන්ගේ බලය ලබාගෙන මෙම පන්සල මැණික් ගගේ ඉවුර පවා ආක්‍රමණය කර තිබීමයි. පර්චස් 10 තිබූ පන්සල අක්කරයක පමණ ව්‍යාප්ත කර ඇත. දුඛ්ඛිත ම කරුණ නම් මහා දේවාලයේ දේවරාජයාණන් වහන්සේගේ සිංහාසනය ට පවා ඉහලින් තට්ටු 3කට විහාරය සාදා එම ඉහල මහල් වල හාමුදුරුවනේ ගේ විවිධ සේවාවන් සිදු කරන පවුලේ නෑයන් පවා ලැගුම් ගැනීමය. එය ඇසි දිසි සනාථ සත්‍යකි !

    යටකී චෛත්‍යය පුරාවිද්‍යාව හෝ භෞතික සැලසුම් නීති තඹයකටදු මායිම් නොකර ගිණි පෑගීමේ ස්ථානයටම යාබද වන්නට ගොඩනංවන්නේ අභිනාවාරාමයේ නායක හාමුදුරුවන් විසින් 2022 වසරේදීය. කතරගම කිරි වෙහෙර වහන්සේ පූජනීයව වැඩ වසද්දී මහා දේවාලය ඉදිරිපිට දුටුගැමුණු සෑය නමින් සෑයක් හදන්නේ කතරගම කිරිවෙහෙරට ලැබෙන පුද පඬුරු හා වරප්‍රසාදයන් වලට බැදුණු අධික තණ්හාවත් කිරිවෙහෙරේ හාමුදුරුවන්⁣ට ඇති බලය උපක්‍රමිකව තමන් වෙතද ලබා ගැනීමේ අරමුණෙන්ය.

    දැන් අභිනවාරාමයේ හාමුදුරුවන් පවසන්නේ නව චෛත්‍යය වෙත හානිවන බැවින් දේවරාජයාණන් වහන්සේගේ සාම්ප්‍රදායික ගිණිපෑගීමේ චාරිත්‍රය පවත්වන ස්ථානය වෙනස් කල යුතු බවයි !

    2022 දී ඉතාම කූඨ හා අනපේක්ෂිත අයුරින් බස්නායක නිලමේවරයා විසින් ගිණි පෑගීමේ ස්ථානය හදිසියේම වෙනස් කලද, ඉන්පසු 2023 වසරේ ඇසල මහා මංගල්‍යයේදී සාම්ප්‍රදායික ලෙස අතීතයේ සිටම ගිණිපෑගීමේ ස්ථානයේම ගිණි පෑගීම සිදුකිරීමට දහස් සංඛාත ශුද්ධ බැතිමතුන්, කපු මහත්වරුන් දැඩි මතකය සිටියෝය. සාම්ප්‍රදායික ගිණි පෑගීමේ ස්ථානය වෙත දර ගෙන එන ලදී. මෙහිදී බස්නායක නිලමේවරයා හා ස්වාමීන්වහන්ස් මෙහි පැමිණේ. බස්නායක නිලමේවරයා පැමිණෙන්නේ පෞද්ගලික ආරක්ෂකයන්ද පිරිවරාගනය. මෙහි පැමිණෙන නිලමේවරයා කියා සිටින්නේ, ගිණිපෑගීම වහාම සාම්ප්‍රදායික ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් වහාම ගිණි පෑගීම මෙම ස්ථානයෙන් මෙවරද ඉවත් කර වල්ලි මාතා දේවාලය දෙසට ගෙනගිය යුතු බවයි. මෙය මහා අයුක්තිසහගත කුමන්ත්‍රණයක් බව පැමිණ සිටි සියලුම බැතිමතුන් දෝෂාරෝපණය කර සිය විරෝධතාවය දක්වා ඇත. එහිදී නිලමේවරයා රාළහාමි නම් ප්‍රධාන කපු මහතෙකු හා සියලුම කපු මහත්වරුන්ට ද ඊට රැස්ව සිටි පිරිසටද උරණ වී බැණ වැදී ඇත. එයින් උරණවූ දෙපිරිස අතර බහින් බස් වී ගැටුමක් ඇති වී එය පහරදීමක් දක්වා දුර දිග ගොස් තිබේ. ඉන්පසු සියලු බැතිමතුන් එක්ව සාම්ප්‍රදායික ව ගිණි පෑගීමේ ස්ථායේම 2023 වසරේ ගිණි පෑගීමේ චාරිත්‍රය සිදුකරනු ලබයි ! එයින් අනවසරයෙන් හා අලුතින් ඉදිකල චෛත්‍යය ට කිසිදු ආකාරයේ හානියක් ද සිදු නොවීණි.

    (මේ අවස්ථාවේ පෞද්ගලික ආරක්ෂකයන් වට කොට ගත් නිලමේවරයාගේ අයුක්ති සහගත හැසිරීමත් කල කී දෑ හා ඇති වූ ගැටුම සම්පූර්ණයෙන් පුද්ගලයෙකු වීඩියෝ ගත කර YouTube සමාජ මාධ්‍යයේ පල කර තිබේ)

  • විදුලි බිලට වැට් බලපෑමක් නෑ..! අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනයට පියවර..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

    විදුලි බිලට වැට් බලපෑමක් නෑ..! අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනයට පියවර..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

    ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී  ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙන බවද පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදන වලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා කීය.

    ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

  • විදුලිය කපන්නේ කාලසටහනකට

    විදුලිය කපන්නේ කාලසටහනකට

    සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය. විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

  • චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

    චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

    චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ  ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්  ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක්  නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා කළ ඉල්ලීීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.‍

    වෙළෙද අමාත්‍යවරයාගේ ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව  ඉදිරිපත් කර තිබිණි.

    මෙම ඉල්ලීම අනුව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක පරිත්‍යාගයක් ලබා දෙන බවට චීන තානාපතිවරයා තමාට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  ඊයේ (18) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

  • පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්

    පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්

    • COVID-19 පවුල්වලට සහ අවසානයේ ප්‍රජාව වෙත රැගෙන යන වාහකයන් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් COVID-19 ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය සතියේ දක්නට ලැබුණු බවත් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
    • නිල දත්ත වලට අනුව, පසුගිය අඟහරුවාදා (11) සිට ඉරිදා (16) දක්වා පිළිවෙලින් රෝගීන් 623, 653, 594, 611, 661, 690 වාර්තා වී ඇත.

    මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ගල්හේන මහත්මිය වැඩි දුරටත් පැවසුවේ පසුගිය සතිවලට සාපේක්ෂව පසුගිය සතිය තුළ රෝගීන් 1000කට වඩා වැඩි වී ඇති බවයි.

    “රෝගීන් සංඛ්යාව වැඩිවෙමින් පවතින නමුත්, වෛරසය ආසාදනය වූ රෝගීන්ට එන්නත් කිරීම නිසා සංකූලතා ඇති වන්නේ නැහැ,” ඇය අවධාරණය කළාය.

    “මේ අනුව, නියමිත වේලාවට එන්නත ලබා ගැනීම සහ වෛරසය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍යයි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

    මේ අතර, වෛද්‍ය ගල්හේන මහත්මිය පැවසුවේ තම පවුල්වලට සහ අවසානයේ ප්‍රජාවට වෛරස් රැගෙන යන COVID-19 පැතිරෙන්නන් ලෙස පාසල් සිසුන් ද හඳුනාගෙන ඇති බවයි.

    මීට අමතරව, COVID ආශ්‍රිත මරණ සංඛ්‍යාව ආසාදන සංඛ්‍යාවට සාපේක්ෂව අඩු අනුපාතයකින් පවතී. Omicron ව්‍යාප්තිය හේතුවෙන් රෝගීන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ද ඇය පැවසුවාය.

  • විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? –  තීන්දුව IOC අතේ

    විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? – තීන්දුව IOC අතේ

    විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට නොහැකි බව ඉන්දියන් ඔයිල් සමාගව විසින් බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

    කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් කරන ලද ආයාචනයකට අනුව, ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන බව අදාළ සමාගම අමාත්‍යවරයාට දන්වා තිබුණි.

    ඉන්ධන තොග රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති බවත් එය නියමිත වේලාවට ගොඩබාන්නේ නම් අද දිනයේදී රටට විදුලිය විසන්ධි වීම වළක්වා ගත හැකි බවත් විදුලිවල ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    “මේක වෙලාවට බාගන්න බැරි වුනොත් අපිට අද විදුලිය විසන්ධි කරන්න යන්න වෙනවා” ඔහු වැඩි දුරටත් කීවේය.

  • ලංවිම ඉන්ධන තොග අද සවස අවසන් වෙනවා – ආනන්ද පාලිත

    ලංවිම ඉන්ධන තොග අද සවස අවසන් වෙනවා – ආනන්ද පාලිත

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඩීසල් සහ දැවි තෙල් තොග විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන්නේ අද (17) දින සවස 5.00 දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසීය.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය අනුව හෙට වන විට රටම අඳුරේ තිබිය යුතු බව ඔහු ඩේලි කියා සිටියේය.

    “හෙට විදුලි ජනනය සඳහා උදුන් තෙල් සහ ඩීසල් ඉන්ධන මෙට්‍රික් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපට ප්‍රමාණවත් තොග සැපයීමට නොහැකි වුවහොත්, තවත් කර්මාන්තශාලා සහ සමාගම් හෙට සිට සිය මෙහෙයුම් නතර කිරීමට සිදු වේවි, රට මේ අකරතැබ්බයට පත්වෙමින් තිබෙන බව අප මීට පෙර පෙන්වා දුන්නා. නමුත් අපි කිසිවක් නොදැන ප්‍රකාශයක් කළ බව පවසමින් ඇමැතිවරයා අපට දොස් කිව්වා. අවාසනාවන්ත ලෙස ඊයේ අමාත්‍යවරයාට ද එම ප්‍රකාශය කිරීමට සිදු වුණා‘ පාලිත මහතා වැඩි දුරටත් පැවසුවේය.

    මේ අතර අද සවස විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව නොමැති නමුත් ඉතිරි ඩීසල් තොගය ප්‍රයෝජනයට ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය උත්සාහ කරමින් සිටින බව ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානී මහතා පැවසීය.

    ඩීසල් තොගය පස්වරු 5.00 දක්වා පමණක් පවතින නමුත් විදුලිබල මණ්ඩලය උපරිම වේලාවන් ගත කිරීමට උත්සාහ කරන බව ඔහු පැවසීය.

    සපුගස්කන්ද තාප බලාගාරය මේ වන විටත් නතර වී ඇති අතර, අවශ්‍ය තරම් උදුන් තෙල් තොග ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟ වී ඇත.

  • ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

    ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

    ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.  

    විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම තීරණාත්මක සහය ලබා දෙන බව සඳහන් කර ඇත.

    සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 ජනවාරි 15 වන දින අන්තර්ජාලය ඔස්සේ සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයට අදාළ විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    මෙම ණය පහසුකම කඩිනමින් ක්‍රියාවට නැංවීම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් මාසයේදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර හඳුනාගත් ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන කුළුණු හතරින් එකක් යථාර්තවත් කිරීමට ඉවහල් වනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

    මෑතකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය සහය ලබා දෙන ලදී. මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරයි.

  • තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි

    තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි

    ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට පමණක් යැයි හිටපු ඇමැති චම්පික රණවක මහතා කියයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැති බවයි.

    අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබදව වැඩි දුරයත් කරුණු පැහැදිලි කළ චම්පික රණවක මහතා, ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත.

    ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව  තෙල් සංස්ථාව කියයි. තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.

    තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය. මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය. රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.

    වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.

  • ශ්‍රී ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාවට ඉන්දියාව නිවාස 1000ක් ලබා දෙයි

    ශ්‍රී ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාවට ඉන්දියාව නිවාස 1000ක් ලබා දෙයි

    පොංගල් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ වතුකරයේ සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවට ඉන්දියාව සෙනසුරාදා නිවාස 1000ක් ලබා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා මෙම අදියර යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතක් පුරා ඉන්දියාවේ ආධාර යටතේ නිවාස 4000 ක් පමණ ඉදිකරමින් පවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිවේදනයක දැක්වේ.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ තරුණ හා ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය, නාමල් රාජපක්ෂ මහතා සහ වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොටගල ප්‍රදේශයේ පැවති මහජන උත්සවයකදී ප්‍රතිලාභීන් සඳහා නිවාස යතුරු ප්‍රදානය කෙරිණි..

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක, එම් රාමේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    එහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස් බග්ලේ දෙමළ බසින් පොංගල් සුබපැතුම් ප්‍රකාශ කළේය.

    ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සිට ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ දියුණුව සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රජාව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓන්ද්‍රීය සම්බන්ධකයක් බව සඳහන් කළ අතර පොංගල් උත්සවය දෙරට අතර හවුල් ශිෂ්ටාචාර සබඳතා නියෝජනය කරන බව අවධාරණය කළේය.

    ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන පරිදි මුළු නිවාස 4000 න් මේ වන විට නිවාස 3000 ක් පමණ ප්‍රතිලාභීන් වෙත ලබා දී ඇති අතර නිවාස 750 කට ආසන්න ප්‍රමාණයක් මෙම අදියර යටතේ ලබාදීමට නියමිතය.

    ඉතිරි නිවාස ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරවල පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන ආධාර වැඩසටහනක් වන අතර එය අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන බව සඳහන් කරමින්, පළමු අදියර දෙකේදී ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල නිවාස 46,000ක් ඉදිකර හෝ අලුත්වැඩියා කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    භාරදීමේ උත්සවයට පෙර සම්භාවනීය අමුත්තන් සම්ප්‍රදායික ‘මාටු පොංගල්’ උත්සවයකට සහභාගී වූ අතර, දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සහ සංස්කෘතික සංදර්ශනවලින් සමන්විත වූ බව එම නිවේදනයේ දැක්වේ.

    ශ්‍රී ලංකාවේ පොංගල් උත්සවය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින සංස්කෘතික සබඳතා මෙන්ම හවුල් උරුමයන් ද සනාථ කරයි.සංවර්ධන ආධාර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ ප්‍රධාන කුළුණක් බව එම නිවේදනයේ දැක්වේ.

    දික්ඔය ඇඳන් 150 කින් යුත් රෝහල, පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය ශාලාව ඇතුළු ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර හරහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් ඉන්දියාවේ අඛණ්ඩ අවධානය යොමු කරයි.

    indianewsnetwork

  • අඟහරුවාදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති

    අඟහරුවාදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති

    ලබන අඟහරුවාදා (18) දක්වා බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවිමට අවශ්‍ය ඉන්ධන තොග ලබා නොදෙන්නේ නම් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා අද (16) ප්‍රකාශ කළේය.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබාදී ඇති බැවින් අඟහරුවාදා (18) දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

    “ජනවාරි 22 දක්වා අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා අපි හෙට (17) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපට සිදු වෙනවා,” ඔහු පැවසීය.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් අක්‍රිය වී තිබූ 3 වැනි ඒකකය ජනවාරි 22 වැනිදා වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක් එක් කරමින් යථා තත්ත්වයට පත් කරන බවට ඉංජිනේරුවන් සහතික වී ඇතැයි ඇමැතිවරයා කීය.

    පවතින නියඟය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයේ ගැටලුවක් මතුව ඇති බවත් පවතින අර්බුදය විසඳන තුරු ජල විදුලි බලාගාරවලට අඛණ්ඩව ජලය ලබා දෙන බවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සහතික වූ බවත් ඔහු පැවසීය.

    “පානීය හා වාරිමාර්ග කටයුතු සඳහා ද ජලාශවල ජලය මුදා හැරිය යුතුයි. අපි පසුගිය සතියේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ අතර වත්මන් අර්බුදය අවසන් වනතුරු ජල විදුලි බලාගාරවලට අඛණ්ඩව ජලය ලබා දෙන බවට ඔහු සහතික වුණා‘ ලොකුගේ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.