කලකට පසු විමල්ට මල් පිපෙයි…

කලකට පසු විමල්ට මල් පිපෙයි…
Spread the love

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද(01) දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 2:00ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන ව්ගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම්දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවටයි. එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් ඒ සමග ඒ වනවිට වලංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණියහොත් විදෙස් ගත විය හැකි බව එම නිලධාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුනා.

මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බල පත්‍රයක් ලබාගෙන ඇත. ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමග වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පුනා පුනා ප්‍රශ්න කළේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද, යන්නයි.

එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති වූ අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයාය.

ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කරන ලදී.

විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටින ලදී.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ