Category: සුපිරි News

  • මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ‘හෙට සිට ඉවතට‘

    මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ‘හෙට සිට ඉවතට‘

    කටාර්, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    කෙසේවෙතත් ජූලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල සිට මෙරටටපැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

    කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් යන මැදපෙරදිග රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය ඊයේ (29) තීරණය කළේය.

    තහනම ඉවත් කිරීමේ නව කොන්දේසි අනුව,

    • ඉහත සදහන් රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතු අතර අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ඇතුළුකර ගැනීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.
    • එම පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ කිව්.ආර් සහ බාර් (QR/Bar ) කේත එහි සඳහන් විය යුතුය.
    • ගුවන් මගීන් ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතු අතර ගුවන් මගීන් ඉදිරිපත් කරන ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගත යුතුය.
    • පිළිගත් සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කොට පැමිණෙන මගීන්ට මෙරට ඒමට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණකි.
  • දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියට කොස්තාපල්ගෙන් අතවර..! (වීඩියෝ)

    දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියට කොස්තාපල්ගෙන් අතවර..! (වීඩියෝ)

    පැමිණිල්ලක් සිදුකිරිමට නෙළුව පොලීසියට ගිය බාලවස්කාර දැරියක් එම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු විසින් සිප ගැනිමේ සිදුවීමක් වාර්තා වේ.

    සිප ගැනීම සිදුකළ අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

    නෙළුව ඉහළ ගිගුම්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් සිය මව සමග ඊයේ (29) නෙළුව පොලීසියට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් සිදුකිරීමටය.

    විමර්ශන සඳහා තමාට සහ දියණියට ඊයේ රාත්‍රිය වන තෙක් පොලීසියේ රැඳි සිටින ලෙසට නිලධාරින් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් එහි රැඳී සිට තිබේ.

    කෙසේවෙතත් අද (30) උදෑසන සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරියෙකු ඔවුන් සිටි කාමරයට පැමිණ සිය දියණිය සිපගත් බව මව පවසයි.

    “පොඩ්ඩක් දොර අරින්න කිව්වා. මම දොර ලොක් කරලා යතුර තියාගෙන හිටියේ. මම දොර ඇරලා ලයිට් එක දැම්මා. එපා එපා ලයිට් දාන්න එපා කිව්වා. මම ලයිට් එක ටිකක් වෙලා තියාගෙන ඉදලා නිවලා දැම්මා. දරුවගේ ඔලුව අතගෑවා දෙපාරක්. හා අඬනවා ද? කියලා ඇහුවා. අහලා ගියා. ගියාට පස්සේ දොර ලොක් කරේ නෑ මට කෝල් එකක් ආවා මහත්තයාගෙන්. ඇවිල්ලා කිව්වා කෝල් එක ගන්න එහා පැත්තට යන්න කිව්වා. මම ගියේ නෑ වීදුරුව ළඟ හිටියා. ටක් ගාලා මේ මිනිහා දරුවා ළඟට ගියා. ඔලුව අතගෑවා. මූණ ඉම්බා. මම එක පාරට කෑ ගැහුවා උඹ මොකද්ද ඔය කරන්නේ කියලා.“

    දැරියගේ පියා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, කාන්තා පොලිස් නිලධාරියෙක් නොමැතිව තම දරුවා නවතා ගත්තේ කුමන පදනමකින් ද යන්න ය.

    “නීතිය රකින මේ වගේ ආයතනවල නීතිය රකින්නේ මෙහෙම ද? පොලීසියෙන් වැඩක් තියෙනවා ද මෙහෙම.“

    මෙම සිදුවීමට මුහුණ දුන් දැරිය තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කර දෙමාපියන්ට හොර රහසේ එම තරුණයා හමුවීමට ගොස් තිබේ.

    එම අවස්ථාවේ දී අදාළ තරුණයා දැරිය ව දූෂණය කර ඇති අතර ඔහු විසින් දැරියගේ වීඩියෝ සහ ඡායාරූප ලබාගෙන ඇතැයි වාර්තා වේ.

    එම වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් අදාළ තරුණයා දැරියව සිව් වතාවක් පමණ නැවත නැවත ගෙන්වා ගෙන ඇතැයි ද පැවසේ. 

    අදාළ සිදුවීම දෙමාපියන් විසින් දැනගැනීමත් සමඟ එම තරුණයා අල්ලා පොලීසියට භාර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මව සමඟ ඊයේ දිනයේ දී නෙළුව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණි.

    උපුටා ගැනීම: අද දෙරණ

  • නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‘ආයතන ප්‍රධානීන්ගෙන්‘ විශේෂ ඉල්ලීමක් කරයි

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‘ආයතන ප්‍රධානීන්ගෙන්‘ විශේෂ ඉල්ලීමක් කරයි

    උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (30) සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    ‘‘උණ රෝගයෙන් පෙළෙන සේවකයින් රාජකාරීයට කැදවීම මගින් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකියි. ඒ වගේම තමයි මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වැළකී සිටිය යුතුයි. කිහිපදෙනෙකු එකට එකතු වී ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොරෝනා පැතිරීමට බෙහෙවින් ඉවහල් වන බව අපි මේ වන විට පැහැදිලිව හදුනා ගෙන තිබෙනවා‘

  • පාන් ගෙඩියක් රු.10කින් ඉහළට ?

    පාන් ගෙඩියක් රු.10කින් ඉහළට ?

    තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

    ලංකාවේ ප්‍රධාන තිරිඟු පිටි සැපයුම්කරු වන සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති ඇති බවත් එම නිසා මෙම තීන්දුව ගත් බවත් ජයවර්ධන මහතා සදහන් කළේය.

    ‘‘ඩීසල් වැඩි කිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළ දැමීමට සිදු වුණා. නමුත් ඒ අවස්ථාවේ පාන් මිල ඉහළ දැමීමක් සිදු වුණේ නැහැ. නමුත් තිරිඟු පිටි මිල රුපියල් 18කින් ඉහළ දැමීම නිසා අපට මේ තීන්දුව ගැනීමට සිදු වෙනවා‘ යැයි ද ඔහු සදහන් කළේය.

  • කොවිඩ් ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?

    කොවිඩ් ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?

    කොවිඩ් දෙවැනි රැල්ල ඉන්දියාවට අතිශය දරුණු විය. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩුවෙමින් පවතින අතර රට නැවත විවෘත කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී.

    නමුත් තව මාස කීපයකින් තුන්වැනි රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්තවිය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

    ඊට පවතින සූදානම පිළිබඳව, ප්‍රාන්ත ආණ්ඩුවලින් අධිකරණය විමසා ඇත. ඇතැම් විශේෂඥයන් පවසන්නේ සති 12ත් 16ත් අතර කාලයක් ඇතුළත තුන්වැනි රැල්ල ආරම්භ විය හැකි බවකි.

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගැන බොහෝ දෙනාගේ අවධානය මතු වී තිබේ. දැන් බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇත්තේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයයි. දැනට භාවිත වෙමින් පවතින එන්නත් මගින් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පරාජය කළ නොහැකි විය හැකි බවට ඇතැම්හු සැක පළ කරති.

    ඩෙල්ටා ප්ලස් යනු මෑතකදී ඉන්දියාවෙන් පළමුවරට සොයා ගනු ලැබූ ඩෙල්ටා ප්‍රභේදය හා සම්බන්ධ අලුත්ම වෛරස් ප්‍රභේදයයි. ඉන්දියාවේ දෙවෙන රැල්ලට වගකිව යුත්තේ එම ඩෙල්ටා ප්‍රභේදයයි.

    කෙසේ නමුත් මෙකී තුන්වන රැල්ල පිළිබඳව පවතින බිය කෙතරම් යථාර්ථවාදී ද?

    කොවිඩ් රැල්ලකට පසුව තවත් රැල්ලක් හට ගැනීම අපේක්ෂා කළ හැකි දෙයකි. නමුත් එය කෙතරම් දරුණු වේද යන්න තීරණය කිරීම සඳහා සලකා බැලිය යුතු සාධක කීපයක් ම පවතී.

    කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද

    ඉන්දියාවෙන් දිනකට වාර්තාවන ආසාදිතයන් ගණන දල වශයෙන් 50,000ක මට්ටමට පහළ බැස ඇත. පසුගිය මැයි මාසයේ දී ආසාදිතයන් 400,000ක් වැනි ඉහළ ප්‍රමාණයක් දිනකට වාර්තා විය. ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඉන්දියාව පුරා ක්‍රියාත්මක වූ දැඩි ලොක්ඩවුන් නීති රීති ය.

    මැතිවරණ රැළි, ආගමික උත්සව සහ වෙළෙඳපොළ කඩ සාප්පු ජනාකීර්ණ වීම නිසා දෙවන රැල්ල ඇති වූ බවට දෝෂාරෝපණ එල්ල විය.

    ඉන්දියාවේ කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ජනකාය රැස්වුණේ කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවට දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය.

    EPA

    කුම්භ මේලාවේ ප්‍රධානතම දිනය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ. ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ්‍රසීලය පරයා ගියේය.

    පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගී වූ ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය.

    නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය.

    කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. දරුණු වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප්‍රාන්තය “අවමානයට පාත්‍ර වූ” බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි.

    කුම්භ මේලා ආගමික උත්සවය සමඟ පවතින දරුණු අවදානම ආරම්භයේ පටන් ම බරපතල ලෙස සැලකිල්ලට භාජනය වී තිබුණි.

    මෙවැනි වැරදි ප්‍රතිපත්ති තීරණ, දුර්වල නිරීක්ෂණ සහ කල්තියා කරන ලද අනතුරු ඇඟවීම් නොතකා හැරීම පිළිබඳව චෝදනා පවතී. මෙම වැරදි නැවත සිදුවන්නේ නම් තුන්වන රැල්ල කඩිනම් වීම වලක්වාලිය නොහැකි බව විශේෂඥ මතයයි.

    ප්‍රජා ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රකාන්ත් ලහාරියා පවසන්නේ ඉන්දියාව මේවන විට ඉතා තීරණාත්මක තැනකට පැමිණ ඇති බවයි. තුන්වන රැල්ලේ ඉරණම ප්‍රධාන වශයෙන් ජනතාවගේ හැසිරීම මත තීරණය වනු ඇති බව ඔහු පැවසීය.

    රටේ ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම ඉතා වැදගත් බව ඔහු පිළිගනී. නමුත්, “රට විවෘත කිරීම සඳහා අප ඉක්මන් වන්නේ නම් සහ ජනතාව කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් ඉන් සිදුවන්නේ වෛරසය නැවත වේගයෙන් ව්‍යාප්ත වීම සඳහා උදව්වීමක්” බව ඔහු අවධාරණය කරයි.

    “කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද සහ නීති ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක විය යුතුයි. යම්කිසි වෙළෙඳපොළක් හෝ ව්‍යාපාරයක් ඒ නීති කඩ කරන්නේ නම් දඬුවම් නියම කළ යුතුයි.”

    අලුත් ප්‍රභේද තර්ජනයක් වේවිද?

    දෙවන රැල්ල ඉන්දියාවට බිහිසුණු විය
    ,දෙවන රැල්ල ඉන්දියාවට බිහිසුණු විය

    ඉන්දියාවේ දෙවන රැල්ල දරුණු වීමට වැඩි වශයෙන් බලපෑවේ ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම වෛරසය තවදුරටත් ජනතාව අතර මහා පරිමාණයෙන් ව්‍යාප්තවීමට ඉඩහළහොත් එවැනි තවත් අලුත් ප්‍රභේද මතුවනු ඇති බව විශේෂඥ මතයයි.

    ‘ඩෙල්ටා ප්ලස්’ ලෙස නම් කර ඇති නව වෛරස් ප්‍රභේදය පිළිබඳව “දැඩි අවධානයක්” යොමු වී ඇති බව ඉන්දීය රජය නිවේදනය කළේය. නමුත් එමගින් තුන්වැනි රැල්ලක් හටගන්නා බවට සහතික කිරීම සඳහා තවමත් විද්‍යාත්මක සාධක නොමැත. ඒ කෙසේ වෙතත් වත්මන් තත්ත්වය “සති කීපයක් ඇතුළත වෙනස් විය හැකි” බව විශේෂඥයෝ පවසති.

    වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පවසන්නේ වෛරසය ව්‍යාප්තවෙමින් පවතින තුරා අලුත් ප්‍රභේදවලින් ඇතිවන තර්ජනය දිගටම පවතින බවය.

    “භයානක වෛරස් ප්‍රභේද කල්තියා හඳුනාගැනීමටත් ඒවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් පවතින ක්‍රමවේද තව තවත් වැඩිදියුණු කිරීමට අප පියවර ගත යුතුයි.”

    ජුනි මාසය දක්වා ඉන්දියාව වරින්වර ලබා ගෙන ඇති වෛරස් නියැදි (සාම්පල) ප්‍රමාණය 30,000ක් පමණ වේ. නමුත් විශේෂඥයන් පවසන්නේ මීට වඩා ප්‍රමාණයක් ලබා ගත යුතුව පවතින බවය.

    දැනට පවතින එන්නත්, මේ වනතෙක් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේද සඳහා පමණක් ඵලදායී වන බවක් පෙනෙන්නට ඇති බවත් අලුතින් බිහි වන ප්‍රභේද සඳහා එම එන්නත් වැඩ කරයි ද යන්න පිළිබඳව කිසිදු සහතිකයක් නොමැති බවත් වෛද්‍ය ඒ ෆතාවුදීන් පැවසීය. ඔහු කොවිඩ් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි.

    එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19
    ,එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19

    එමෙන්ම, එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ද කොවිඩ් වැළඳුණු අය එමටය. විශේෂයෙන්ම මෙවැනි අවස්ථා හමුවන්නේ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා සිටි උදවිය අතරය.

    කෙසේ නමුත් දෙවන වතාවට කොවිඩ් 19 වැළඳුණු උදවියට එතරම් බරපතල රෝග ලක්ෂණ මතුවී නොමැති බවට සාධක පළවිය.

    දිල්ලි නුවර කොවිඩ් රෝගීන් සඳහා වෙන්වුණු විශාලතම රෝහල වන ලෝක් නායක් ජායි ප්‍රකාශ් නාරායන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන, එන්නත සම්පුර්ණ කරන ලද වෛද්‍යවරුන්ගෙන් 60%කට නැවත කොවිඩ් වැළඳී ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහල්ගත වීමට අවශ්‍ය නොවූ බව විශේෂඥ වෛද්‍ය ෆාරා හුසේන් පැවසුවාය.

    “ඔවුන්ගේ පවුල්වල, කොවිඩ් 19 වැළඳුණු ඇතැම් සාමාජිකයන්ට රෝහල්ගත වන්නට සිදු වුණා.” වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

    දිල්ලියේ තවත් රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ, එහි සේවකයන් 113 දෙනෙකුගෙන් 15 දෙනෙකුට එන්නත සම්පුර්ණ කර දෙසතියකට පසුව කොවිඩ් 19 වැළඳී ඇති බවය. ඉන් 14 දෙනෙකුට සුළු රෝග ලක්ෂණ මතු වූ අතර එක් අයෙකුට පමණක් රෝහල්ගත වීමට සිදු වී තිබේ.

    නිල වාර්තා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19 වැළඳී ඇති බවය.

    නමුත් මෙම දත්ත වාර්තා අසම්පුර්ණ බව පෙනෙන්නට තිබේ. මුල් මාස තුන ඇතුළත සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී, තමන් එන්නත සම්පුර්ණ කර තිබේදැයි යන ප්‍රශ්නය අසා නොමැත.

    වෛද්‍ය ෆතාවුදීන් ගේ මතය නම් ඉන්දියාවේ තුන්වැනි රැල්ලක් ඇතිවීම නොවැලක්විය හැකි බවය. නමුත්, “නව වෛරස් ප්‍රභේද ගැන ඇස ගසාගෙන සිටියහොත් සහ ආරක්‍ෂිත ක්‍රමවේද තදින් ක්‍රියාත්මක කළහොත් තුන්වැනි රැල්ල පමා කරගැනීමට හා දරුණු මට්ටමකට පත් වීම වලක්වා ගැනීමට හැකිවනු ඇති” බව ඔහු පවසයි.

    “අපි ඒ දේවල් කළේ නැත්නම්, තුන්වැනි රැල්ල අපට හිතා ගන්නවත් බැරි තරමේ වේගයකින් අප අතරට ඒවි.”

    ප්‍රතිශක්තිය ප්‍රමාණවත් ද?

    BBC

    තුන්වැනි රැල්ලේ ප්‍රතිඵලය තීරණය වන තවත් සාධකයක් වන්නේ ඉන්දියාවේ සමස්ත ජනගහනය සතුව පවතින කොවිඩ් ප්‍රතිශක්තිය කෙතරම් ද යන්නයි. මෙම ප්‍රතිශක්තිය එන්නත් මගින් සහ කොවිඩ් වැළඳීම මගින් ඇතිවේ.

    ජුනි මාසයේ 9 වැනිදා සිට 22 වැනිදා දක්වා ඉන්දියාවේ දිනකට එන්නත් මාත්‍රා මිලියන 3.25ක් බැගින් දල වශයෙන් ලබා දී තිබේ.

    නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට මේ වසර නිමා වන විට එය ලබා දී නිමකිරීමට නම් දිනකට මාත්‍රා මිලියන 8.5කට වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු වේ.

    මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලැබී ඇත්තේ ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 4%කට පමණි. පළමු මාත්‍රාව 18%කට ලැබී තිබේ.

    එන්නත් වැඩසටහන වේගවත් නොකළහොත් ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාව අනතුරට පත්විය හැකිබව විශේෂඥ වෛද්‍ය ලහාරියා පැවසීය.

    ඉන්දියාව මේ වන විට එන්නත් වර්ග තුනක් භාවිත කර තිබේ. කොවිශීල්ඩ්, කොවැක්සින් සහ ස්පුට්නික් V එම එන්නත් වර්ග තුනයි.

    ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. එහි නිල සංඛ්‍යා ලේඛනය අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 300,000කට අධික ය. ඊට ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි.

    ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩ නැගී ඇති ප්‍රමාණය නිශ්චය කරගැනීම සඳහා ඉන්දියාවේ කෙතරම් ප්‍රමාණයකට කොවිඩ් රෝගය වැළඳී තිබේදැයි සොයා ගැනීම ඉතා අපහසුය.

    පිටිසර පලාත්වල ගම්මාන පමණක් නොව නාගරික ජනතාව අතර පවා බොහෝ දෙනෙකුට වෛද්‍ය පරීක්ෂණ ලබා ගැනීමට අවස්ථාවක් නොතිබුණු හෙයින් සත්‍ය වශයෙන් ම රෝගය මේ වන විට වැළඳී ඇති පිරිස ගැන නිසි වාර්තා නොමැත. කොවිඩ් මරණ පවා වාර්තා වූයේ අඩුවෙනි.

    Reuters
    ඒ නිසා තුන්වැනි රැල්ලක් ඇතිවීම වලක්වන්න බැහැ”

    වෛද්‍ය ලහාරියා ගේ විශ්වාසය නම් ජනගහනයෙන් 55%කට හෝ 60%කට මේ වන විට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබී ඇති බවය.

    අශෝක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෞතම් මේනන් ගේ ඇස්තමේන්තුව අනුව මෙම ප්‍රතිශතය තවත් ඉහළය. ඔහු පවසන්නේ ජනගහනයෙන් 60-70% ක් පමණ මේ වන විට කොවිඩ් 19ට එරෙහි ප්‍රතිශක්තිය ලබා ඇති බව තමන් විශ්වාස කරන බවය. එබැවින් දෙවැනි රැල්ල වැනි අතිශය දරුණු මට්ටමක රැල්ලක් යළි ඇති නොවනු ඇති බව ඔහුගේ මතයයි.

    නමුත් ඉන් සතුටට පත් නොවිය යුතු බවට ඔහු අනතුරු අඟවයි.

    “ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට දැනටමත් ප්‍රතිශක්තිය ලැබී තිබුණත් එවැන්නක් නොලැබූ පිරිස අඩු තරමින් 20-30%ක් වත් සමාජයේ ඉන්නවා. මේ අය අතර වයෝවෘද්ධ උදවිය වගේම ප්‍රතිශක්තිය දුර්වල උදවියත් ඉන්නවා. ඒ නිසා ආසාදිතයන් වැඩි වීමක් ඇතිවූ වහාම එය ඉතා ඉක්මනින් හඳුනා ගැනීම සඳහා අප පරීක්ෂාකාරීව සිටිය යුතුයි.” ඔහු පැවසීය.

    රෝගයට ගොදුරු විය හැකි සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉන්දියාව තුළ සිටීමත් කොරෝනාවෛරසයේ දරුණු ප්‍රභේද ඇතිවෙමින් පැවතීමත් නිසා මෙම තත්ත්වය සුළුකොට නොතැකිය යුතු බව විශේෂඥයෝ ඒකමතිකව පිළිගනිති.

    “ඒ නිසා තුන්වැනි රැල්ලක් ඇතිවීම වලක්වන්න බැහැ. එය පමා කිරීම සහ එහි බලපෑම සීමා කර ගැනීම තියෙන්නේ අපේ අතේමයි.” වෛද්‍ය ෆාතාහුදීන් පැවසීය.

    “අවුරුද්දක් තිස්සේ මේ රෝගයත් එක්ක යුද්ධයක් කරන සෞඛ්‍ය සේවකයන් ගැනත් පොඩ්ඩක් හිතන්න. අපිට හරිම මහන්සියි. කරුණාකරලා ඔබේ ආරක්‍ෂකයා පහතට දමා සලකන්න එපා. තුන්වැනි රැල්ලකට අපිව ඔරොත්තු දේවිද කියල මටනම් හිතා ගන්න බැහැ.” වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

    මාධ්‍ය ආයතනයක් ලෙස මේ අවස්ථාවේ අපගේ මූලිකම අරමුණක් වන්නේ කොවිඩ් වසංගතය ගැන මෙරට ජනතාව, අප පාඨකයින් නිවැරදිව – සමබරව සහ නිරවුල්ව දැනුවත් කිරීමයි. ඒ සදහා වඩාත් විශ්වාසදායක ප්‍රවෘත්ති වෙත අප ප්‍ර වේශ වන අතර ප්‍රකාශන හිමිකමට ගරුකරමින්, මූලාශ්‍ර උපුටා දක්වමින් අදාළ උපුටා ගැනීම් කරමු. මෙම ලිපිය ද ජූනි 29 වැනි දින බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි. ප්‍රධාන සංස්කාරක

  • කොවිඩ් -19 පාලනයට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වැය කරලා

    කොවිඩ් -19 පාලනයට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වැය කරලා

    කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යංශයට අයත් සියලුම ආයතනවල වර්තමාන තත්ත්වය සහ පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධානය යොමු කළේය.

    භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා විසින් මෙහි දී “අභියෝග මැදින් සෞභාග්‍යයේ මාවත කරා” මැයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කරන ලදි.

    “රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී එස්.ආර් ආටිගල මහතා සමාජ ආර්ථික බලපෑම් ඇතිකරමින් අප්‍රේල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේය‍.

    මෙම අසීරු කාලවකවානුවේ වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන් වූ  බව පෙන්වා දුන් එස්.ආර් ආටිගල මහතා පිරිසිදු අය-වැයක් පසුගිය වතාවේ ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වර්ෂයේ නොපියවා තිබූ රුපියල් බිලියන 423ක හිඟ බිල්පත් ගෙවා දමමින් බව සිහිපත් කළේය.

    මුදල් අමාත්‍යංශ දත්තයන්ට අනුව 2020 වර්ෂයේ දී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ. අදාළ කාලයන් තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බව එස්.ආර් ආටිගල මහතා පවසයි.

    පොලී අනුපාත අඩුකරමින් ද ණය සහන ලබා දෙමින් ද උද්ධමනය සියයට 4 සිට සියයට 6 දක්වා පවත්වාගෙන යාමට හැකිවූ බවත් පසුගිය මැයි මාසයේ එය සියයට 6.1ක් හෝ 6.2 දක්වා ඉහළ ගිය ද එම අගය අඩු කර ගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු යොදමින් ඇතිබව එස්.ආර් ආටිගල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    විමධ්‍යගත අරමුදලෙන් මේ වනවිට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11000ක් බව ද මෙහි දී හෙළිදරව් විය.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මෙහි දී අදහස් පළ කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වනවිට සිවු වතාවක් ප්‍රදානය කර ඇති බව ප්‍රකාශ කළේය.

    නිෂ්පාදන ගම්මාන 500ක් ඇතිකිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද නීල් බණ්ඩාර හපුහින්න මහතා පෙන්වා දුන්නේය.

    මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී රත්නායක මහතා කරුණු දක්වමින් කොවිඩ් හමුවේ බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමඟ සාකච්ඡා කරමින් පොලී අනුපාත අඩු කර ණය සහන ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළේය.

    විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී ආර්.එම්.පී රත්නායක මහතා  2022 ජනවාරි මාසය වනවිට ජාතික ණය සුරැකුම් ආයතනයක් රට තුළ ස්ථාපිත කරන බවට විශ්වාසය පළ කළේය.

    2020-2024 කාලය තුළ කොටස් වෙළඳපළ තුළ අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව ද හෙතම කියා සිටියේය.

    විරුද්ධ පක්ෂය විවිධ මතවාද ඉදිරිපත් කළ ද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකිවී ඇතැයි ද ඉදිරියටත් එම ණය වාරික අතපසුවීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බව ද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන් මහතා මෙහි දී අවධාරණය කළේය.

    මුදල් අමාත්‍යංශයේ ස්ථාන රැසකට විසිරී තිබෙන ආයතන ජනතාවගේ පහසුව වෙනුවෙන් එකම ගොඩනැගිල්ලකට ගෙන ඒම ගැන සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී මුදල් අමාත්‍යංශ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් දුන්නේය.

  • ‘ඩෙල්ටා ප්‍රභේදයේ’ රෝග ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ‘ඩෙල්ටා ප්‍රභේදයේ’ රෝග ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    සැර වෛරසය‘ නැතහොත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘ සැලකෙන්නේ මේ වන විට ගෝලීය වශයෙන් පැතිරෙන කොවිඩ් වෛරස් ප්‍ර භේද අතර බිහිසුණුම වෛරසය ලෙසයි. මේ වන විට ලංකාවෙන් ද ස්ථාන කිහිපයකින් ඩෙල්ටා ආසාදිතයින් කිහිප දෙනකු හමුවී ඇති අතර සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය අද (29) ප්‍රකාශ කළේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් තවත් සති 10කින් ඩෙල්ටා ප්‍ර භේදය ලංකාවේ වසංගතයේ කේන්ද්‍රය විය හැකි බවයි.

    මේ තත්ත්වය තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍ර භේදය සහ එහි රෝග ලක්ෂණ ඇතුළු වැදගත් කරුණු ගැන ඔබව නිසි පරිදි දැනුවත් කිරීමට අපි තීරණය කළා. මේ ඒ ගැන…

    හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසති.

    එක්සත් රාජධානියේ ‘Zoe’ කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු තරුණ තරුණියන්ට “අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්” දැනිය හැකි බවය.

    ඔවුන්ට එතරම් අසනීප තත්ත්වයක් නොදැනෙන නමුත්, ඔවුන්ගෙන් රෝගය බෝ වීමෙන් අන් අය අවදානමට ලක් විය හැකිය.

    තමන්ට කොවිඩ් වැළදී ඇතැයි සිතෙන ඕනෑම අයෙකු පරීක්ෂණයක් සිදු කළ යුතුය.

    යම් පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ වන්නේ:

    • කැස්ස
    • උණ
    • ගඳ සුවඳ හෝ රසය නැතිවීම

    නමුත් මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ දැන් මෙම ලක්ෂණ වාර්තා වීමේ අඩුවක් දක්නට ඇති බවය. කොවිඩ් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඇති ජංගම දුරකථන යෙදුමකට දහස් සංඛ්‍යාත පුද්ගලයින් ඇතුළත් කළ දත්ත පදනම් කරගෙන Zoe කණ්ඩායම මෙම නිරීක්ෂණ සිදුකර ඇත.

    “මැයි මස ආරම්භයේ සිට, අපි යෙදුම් භාවිත කරන්නන් අතර වැඩියෙන් ඇති රෝග ලක්ෂණ දෙස බලා සිටියා. ඒවා පෙර ඒවාට සමාන වුණේ නැහැ,” ඔහු පැවසීය.

    මෙම වෙනසට හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරී යාම හා බැඳී ඇති බව පෙනේ. එය ප්‍රථම වරට වාර්තා වූයේ ඉන්දියාවෙනි. මේ වන විට එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන්ගෙන් 90% ක්ම වාර්තා වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.

    මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ උණ රෝග ලක්ෂණය බහුලව පවතින නමුත් ගඳ සුවඳ නැතිවීම තවදුරටත් පළමු රෝග ලක්ෂණ 10 තුළ දක්නට නොලැබෙන බවය.

    ‘අමුතු’ හැඟීම

    “මෙම ප්‍රභේදය තරමක් වෙනස් ලෙස ක්‍රියා කරන බව පෙනෙනවා,” ඔහු පවසයි.

    “යම් ආකාරයක සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා වගේ කියලා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒත් සාදවලට පිටත්ව යනවා. එහෙම ගිහින් ඔවුන්ගෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකුටවත් මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්.

    “අපි හිතන්නේ මෙය බොහෝ ගැටලුවලට හේතු වන බවයි.

    “මෙහි ඇති පණිවිඩය නම්, ඔබ තරුණ නම් ඔබට කොහොමත් ඇතිවන්නේ සුළු රෝග ලක්ෂණ බවයි.

    “එය නරක සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ අමුතු අසනීප හැඟීමක් වගේ දැනෙන්නට පුළුවන්. එහෙම වුවහොත් නිවසේ නතර වී පරීක්ෂණයක් කරගන්න.”

    මාංශ පේශි කැක්කුම

    ඒ හා සමානව, ඇල්ෆා නැත්නම් එක්සත් රාජධානියේ ප්‍රභේදය එරට ප්‍රමුඛ වූ විට, එංගලන්තයේ මිලියනයකට අධික පිරිසක් යොදාගෙන ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් කළ ‘ප්‍රතික්‍රියා අධ්‍යයනය’ මගින් කොවිඩ් හා සම්බන්ධ අතිරේක රෝග ලක්ෂණ රාශියක් සොයා ගෙන තිබිණි.

    වෛරසය ආසාදනය වීම නිසා ඇතිවන සාමාන්‍ය රෝග ලක්ෂණවලට අමතරව සීතල, ආහාර රුචිය නැතිවීම, හිසරදය සහ මාංශ පේශි කැක්කුම වැනි ලක්ෂණ ද බහුලව වාර්තා වී තිබිණි.

    එක්සත් රාජධානි රජයේ උපදෙස් අනුව කොවිඩ් රෝගයේ වැදගත්ම රෝග ලක්ෂණ වන්නේ:

    • අලුතෙන් වැළඳුණු දිගටම පවතින කැස්ස
    • ඉහළ ශරීර උෂ්ණත්වය
    • ගඳ සුවඳ හෝ රසය නැතිවීම හෝ වෙනස් වීම

    “කොවිඩ් -19 හා සම්බන්ධ තවත් රෝග ලක්ෂණ කීපයක් තිබේ,” ඔවුහු පවසති.

    “මෙම අනෙකුත් රෝග ලක්ෂණවලට තවත් හේතුවක් තිබිය හැකි අතර ඒවා කොවිඩ් -19 පරීක්ෂණයක් වෙත යොමු වීම සඳහා තනි හේතුවක් නොවේ.

    “ඔබ ඔබේ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් නම්, වෛද්‍ය උපදෙස් ලබා ගන්න.”

    බී.බී.සී ඇසුරිනි

  • කොවිඩ් වසංගතය ගැන ‘බරපතළ‘ අනතුරු ඇගයීම් 02ක්

    කොවිඩ් වසංගතය ගැන ‘බරපතළ‘ අනතුරු ඇගයීම් 02ක්

    ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පත්විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය. ‘රටේ සෞඛ්‍යමය අවදානම කිසිසේම පහව ගොස් නැහැ. ඩෙල්ටා ප්‍රභේදය මතුවීමේ අවදානමක් තිබෙනවා. මේ තත්වය නිසා සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එසේ කටයුතු නොකළහොත් ලොකු අවදානමක් මතුවිය හැකියි. කොරෝනාවලින් වැඩියෙන්ම මිය යන්නේ 60ට වැඩි අයයි. ඒ පිරිස්වලට එන්නත් එන්නත්කරණයේදි වැඩි අවධානය යොමු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ නිසා‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.

    මේ අතර බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබියදී එවැනි බොහෝ සාප්පු විවෘත කර පවත්වාගෙන යෑම නිසා ඒ හරහා ලොකු කොරෝනා අවදානමක් මතුවී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය. මෙම ඇඳුම් සාප්පු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මකවී ඒවා වසා දැමීමට පියවර ගන්නැයි පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.

  • ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ‘එන්නත් දෙකකට‘ අනුමැතිය

    ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ‘එන්නත් දෙකකට‘ අනුමැතිය

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අද (28) පස්වරුවේ අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    ෆයිසර් එන්නත්  මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම එන්නත් ලැබුණු පසු අදාළ දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බව ද සදහන් කළේය

  • විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට ජූලි 01 වැනිදා සිට නව නිරෝධායන රෙගුලාසි

    විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට ජූලි 01 වැනිදා සිට නව නිරෝධායන රෙගුලාසි

    විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි ජූලි මස 01 වැනිදා සිට හඳුන්වා දීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. මෙම නව නිරෝධාන රෙගුලාසි ජූලි 01 සිට ජූලි මස 31 වැනි දින දක්වා බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.

    නව නිරෝධාන රේගුලාසි පහත සදහන් පරිදි ක්‍රියාත්මක වේ.

    1. විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වෙළඳ නාවිකයන්, වෙළඳ නාවිකයන්, ද්විත්ව පුරවැසියන් සංචාරකයන් සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයන්ට අදාළව මෙම නව නිරෝධායන රෙගුලාසි බලපැවැත්වේ.
    2. මේ යටතේ එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් සියළු දෙනා පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට හෝ මධ්‍යස්ථානයකට යොමු කෙරේ.
    3. ඉන්පසු දින 11ත් 14ත් අතර කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයකු බව බවට තහවුරු නොවන්නේ නම් දින 14 අවසානයේදී අවසානයේදී ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හැරෙන අතර කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් අතරමැදි රෝහලකට ඇතුළත් කෙරේ.
    4. පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ ශ්‍රී ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණෙන පළමු දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇත.
    5. එහිදී ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධික්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිවාඩු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනෙණු ඇත.
    6. දින දාහතරකට පසු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායන‍යෙන් මුදා හැරේ.
    7. අනුමත රාජතාන්ත්‍රික විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුමත කරන ලද නිරෝධායන නිවස්නයකට හෝ හෝටලය‍යකට යොමු කෙරෙනු ඇත.
    8. එහිදී ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14ත් අතර කාලයේදී දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දිය යුතු වන අතර ඉන් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් දින දාහතර අවසානයේදී නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරෙනු ඇත .
    9. එන්නත්කරණයෙන් තොරව මෙරටට පැමිණෙන සියලුම විදේශිකයන් පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට යොමු කෙරෙන අතර එහි ප්‍රතිඵලය අනුව ආසාදිතයකු බවට තහවුරු වුවහොත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු කෙරේ.
    10. ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14‍ත් අතර දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කෙරේ .
    11. එහිදීද ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරෙනු ඇත.
  • පරිපූරක වෛද්‍ය සේවා ‘වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‘

    පරිපූරක වෛද්‍ය සේවා ‘වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‘

    සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විසඳුම් ලබා දීම අතිහිටුවා ඇති ගැටළු 13කට ජුනි මස 30 වැනි දිනට ප්‍රථම විසඳුම් ලබා නොදෙන්නේ නම් එම දිනයෙන් පසුව එළඹෙන ඕනෑම දිනයක නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය ආමාත්‍යවරියට කියයි.

    එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

    පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශය “සුවසිරිපාය” කොළඹ 10

    පරිපූරක වෛද්‍ය සේවාවට අදාල පැන නැඟී ඇති පහත දීර්ඝකාලීන ගැටළු වලට මෙතෙක් සාධනීය විසඳුම් ලබා දීම පමා කිරීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීම

    සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විසඳුම් ලබා දීම අතිහිටුවා ඇති පහත ගැටළු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරවන අතරම ඊට අදාල 2019.08.07 දින ගරු සෞඛ්‍ය ඇතුතිතුමා සමඟ පැවති සාකච්ඡාවට අදාල සාකච්ජා සටහන පිළිබඳවද ඔබගේ අවධානය යොමු කරවමි.

    1.  අත්තනෝමතික ලෙස ඉවත් කල වසර 12 පළමු ශ්‍රේණියට උසස් වීම නැවත ලබාදීම.
    2. වැටුප් චක්‍රලේඛ හරහා සූක්ෂම ලෙසින් අහිමි කල මාණ්ඩලික තත්වය ලබා දීම.
    3. අතිකාල රේට් අගය 1/80 ක් ලෙස ලබා දීම හා ඇමතුම්/නිදර්ශක දීමනාව යාවත්කාලීන කිරීම.
    4. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සඳහා ගැළපෙන වැටුප් තලය ලබා දීම හා නිකුත් කර ඇති වැටුප් චක්‍රලේඛයේ අඩුපාඩු නිවැරදි කිරීම.
    5.  වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල රනුග්ගේ කම්ටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
    6. රු. 3000 DAT දීමනාව රු 10000 සිට 15000 දක්වා යාවත්කාලීන කිරීම.
    7. ගෙවනු ලබන අනතුරු දීමනාව සියළු පරිපූරක වෛද්‍ය නිළධාරීට සමානව ලබාදීම.
    8.  කාර්ය සාධනය හා අධ්‍යාපන කුසලතාවය මත උසස් වීම් ලබා දීමේ ක්‍රමය ඇති කිරීම.
    9.  පුරප්පාඩු සහිත ස්ථාන වල අධිකාරී පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සඳහා සේවා දිගු ලබාදීම.
    10. පරිපූරක වෛද්‍ය නිළධාරීන් වෙනුවෙන් පරියේෂණ දීමනාව ලබා දීම.
    11. අප සේවාවන්ට අදාලව යෝජිත අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු ඇති කිරීම.
    12.  අනුමත නිළධාරී සංඛ්‍යාව යාවත්කාලීන කිරීම.
    13.  පරිපූරක වෛද්‍ය සේවාවට අදාල සේවා ව්‍යවස්ථාව සම්මත කිරීම.

    ඒ අනූව උක්ත ඉල්ලීම් සම්බන්ධයෙන් ජුනි මස 30 වැනි දිනට ප්‍රථම සාකච්ඡාමය අවස්ථාවක් හෝ විසඳුම් ලබා නොදෙන්නේ නම් එම දිනයෙන් පසුව එළඹෙන ඕනෑම දිනයක නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.  

    තවද මෙම සමාන ඉල්ලීම් වෘත්තීන් සමඟ තනි තනිව සාකච්ඡා කොට විවිධ තීරීණ ගැනීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ඉහල බලධාරීන් විසින් අනුගමනය කිරීම හේතුවෙන් අප වෘත්තිකයන් බරපතල නොසන්සුන්තාවයකට පත් වී ඇති බවත්, එය හිතාමතාම සිදුකරන ලද්දක් බැවිනුත් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇති කිරීම පිළිබඳ වගකීම අදාල අසමාන හා කල්ලිවාදී තීරණ ගනු ලබමින් සිටින පාර්ශ්වයන් විසින් භාරගතයුතු බවද අවධාරණය කරමු.

  • ටෝකියෝ ඔලිම්පික් යන කණ්ඩායමට ‘නාමල්‘ ඉතිහාසයේ වැඩිම වටිනාකම දෙයි

    ටෝකියෝ ඔලිම්පික් යන කණ්ඩායමට ‘නාමල්‘ ඉතිහාසයේ වැඩිම වටිනාකම දෙයි

    ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන තිබේ.

    ඒ අනුව ජපානයේ රැදී සිටින කාලසීමාව සදහා ශ්‍රි ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඇමරිකානු ඩොලර් 40ක දෛනික දීමනාවක් සහ ඇමරිකානු ඩොලර් 10,000ක විශේෂ දීමනාවක් දෙනු ඇත.

    ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ව්‍යාපාරික පංතියේ (Business Class) ගුවන් පහසුකම් සලසා දීමටත් පුහුණුකරුවන් හට අමරිකන් ඩොලර් 5000 ක් සමඟ ඇ.ඩොලර් 40 ක දෛනික දීමනාවක් ලබා දීමටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

    ඒ අනුව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 38කට ආසන්න මුදලක් වැය කරයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු, පුහුණුකරුවන් 10 දෙනෙකු සහ නිලධාරීන් 08 දෙනෙකු මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට එක්වනු ඇතැයි අපේක්ෂිතය.

    වෙඩි තැබීම, තුරග තරග, ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, ජූඩෝ යන ක්‍රීඩා ඉසව් වලින් ක්‍රීඩකයන් 05 දෙනෙකුත්, පිහිනුම් ඉසව්වෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුත් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07දෙනෙකු දැනටමත් ඔලිම්පික් නියෝජනයට වරම් ලබා ඇත. එසේම මලල ක්‍රීඩා, බර ඉසිලීම යන ක්‍රීඩා ඉසව් වලින් තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරයි.

    ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකළොස් දහසක් පමණ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන අතර ඔවුහු ස්ථාන 42ක දී විවිධ තරග 33ක් සහ ඉසව් 339ක් වෙනුවෙන් තරග වදිති. දැනට පවතින පවතින ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය මත මෙවර ඔලිම්පික් තරගාවලිය සදහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් යොදා ගනු ඇත.

    විශේෂ ආරාධිතයෙකු ලෙස ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වන්නැයි ලැබුණ ආරාධනාව පිළිගත් අතර තමන් ඊට අදාළ වියදම් පෞද්ගලිකව විඳදරා ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් උසස් මානසික මට්ටමින් තරගාවලියට සහභාගි කරවීමට අමාත්‍යතුමාගේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇති අතර ඊට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර තිබේ.

    2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා අමාත්‍යංශය යටතේ දැරීමට අපේක්ෂිත වියදම් ලේඛනය

    2021 ජූලි 23 සිට අගෝස්තු 21 දක්වා ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පහත කණ්ඩායම සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ

    1. ගුවන් ගමන් සඳහා මලල ක්‍රීඩකයින් 6 දෙනෙකු සඳහා කොළඹ සිට ටෝකියෝ දක්වා යාමට සහ ආපසු පැමිණීමට ගුවන් ගමන් සඳහා වියදම් (ව්‍යාපාර පන්තිය.
    2. කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකු සඳහා කොළඹ සිට ටෝකියෝ දක්වා යාමට සහ ආපසු පැමිණීමට ගුවන් ගමන් සඳහා වියදම් (පිරිමැසුම්දායක පන්තියේ)
    3. කණ්ඩායම් නිලධාරීන් 10 දෙනෙකු සඳහා කොළඹ සිට ටෝකියෝ දක්වා යාමට සහ ආපසු ඒමට ගුවන් ගමන් සඳහා වියදම් (පිරිමැසුම්දායක පන්තියේ)
    4. පිහිනුම් ක්‍රීඩකයින් 01 ක් ඇමරිකා එක්සත් ජනපදයේ සිට ටෝකියෝ දක්වා ගුවන් ගමන් සදහා වියදම (ව්‍යාපාර පන්තිය)
    5. පිහිනුම් ක්‍රීඩකයින් 01 ක් බැංකොක් සිට ටෝකියෝ දක්වා ගමන් කර ආපසු පැමිණීමේ ගුවන් ගමන් වියදම් (ව්‍යාපාර පන්තිය)
    6. අශ්වාරෝහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 01 සඳහා ජර්මනියේ සිට ටෝකියෝ දක්වා යාමට සහ ආපසු පැමිණීමට ගුවන් ගමන් වියදම් (ව්‍යාපාර පන්තිය)
    7. කණ්ඩායම් නිලධාරීන් දෙදෙනෙකුට ජර්මනියේ සිට ටෝකියෝ දක්වා ගමන් කිරීම සහ ආපසු පැමිණීම සඳහා ගුවන් ගමන් (පිරිමැසුම්දායක පන්තිය)
    8. රක්ෂණය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් සඳහා රක්ෂණය ගමන් මලු සහ භාණ්ඩ හා අශ්ව රක්ෂණය අශ්වාරෝහකයට අදාළ වියදම් (අශ්වයාගේ ප්‍රවාහන හා රක්ෂණය)
    9. ගිනි අවි, පතොරම්, කණ්ඩායම් ගමන් මලු සඳහා
    10. අමාත්‍යාංශ නිලධාරීන් සහ සෙසු නිළධාරීන්ගේ නවාතැන් පහසුකම්
    11. දෛනික දීමනා හා ඔලිම්පික් විශේෂ ගෙවීම්
    12. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔලිම්පික් තේරීම සඳහා විශේෂ ගෙවීම් හා දෛනික දීමනාව
    13. පුහුණුකරුවන් සදහා විශේෂ ගෙවීම් හා දෛනික දිමනාව
    14. ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 38කට ආසන්න වේ.
  • දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව‘ දීම අනුමත කළ නොහැකි බව ඇමෙරිකාව අවධාරණය කරයි

    දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව‘ දීම අනුමත කළ නොහැකි බව ඇමෙරිකාව අවධාරණය කරයි

    මරණ දඩුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ලබාදීම මගින් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් Alaina B Teplitzමහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

    මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත් තානාපතිනිය සිය ට්විටර් පණිවුඩය මගින් වැඩි දුරටත් සදහන් කරනවා.



    ජනාධිපතිවරයාගේ මෙම තීරණය ප්‍රශ්න කරමින් අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ අතර සමාජ මාධ්‍ය තුළ මෙම තීරණය දැඩිව විවේචනය වෙමින් තිබෙනවා

  • දුමින්ද සිල්වාට සමාව දුන් හේතු ලිඛිතව දෙන්න – නීතිඥ සංගමය ජනපතිට කියයි

    දුමින්ද සිල්වාට සමාව දුන් හේතු ලිඛිතව දෙන්න – නීතිඥ සංගමය ජනපතිට කියයි

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න ජනපතිවරයා විසින් රටට හෙළි කළ යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් අද (24) දින නිකුත් කර ඇති නිවේදනයක සදහන් වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

    එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

    ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය සමාවක් ප්‍රදානය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ලැබුණ ද එහිදී මරණ දඬුවම නියම කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාවක් කැඳවා එය නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමත්, ඉන්පසු එම උපදෙස් අධිකරණ අමාත්‍යවරයා විසින් කියවා බලා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමත් කළ යුතුය.මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයෙකුට සමාවදීමේ බලය ජනාධිපතිවරයාට ඇතත් එය ක්‍රියාත්මක කළ යුත්තේ යුක්ති සහගතව බවත්, තමන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා හෝ අත්තනෝමතිකව එය ක්‍රියාත්මක නොකළ යුතුය.

    දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමේදී ඉහත වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇත. නීතිවිරෝධී ලෙස ඒකරාශීවීම හා මිනීමැරීම යන චෝදනා යටතේ වරදකරුවකු බවට දුමින්ද සිල්වා මහතාට එරහිව මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවකින් ද ඒකමතිකව තහවුරු කර ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලබා දෙන මෙන් අපි ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරමු. ඒ අනුව 34(1) වගන්තිය අනුව දුමින්ද සිල්වාට කුමන පදනමක් යටතේ සමාව පිරිනැමුවේද?, මේ සඳහා සැලකිල්ලට ගනු ලැබූ කරුණු මොනවාද?, දැනට දඬුවම නියම වූ අනෙක් සිරකරුවන්ගෙන් දුමින්ද සිල්වා වෙනස් වන්නේ කෙසේද?, විනිසුරු වාර්තාව කැඳවා ඇත්නම් එහි අන්තර්ගතය, නීතීපති උපදෙස් ලබා ඇත්නම් එහි අන්තර්ගතය, අධිකරණ අමාත්‍ය නිර්දේශ ලබාගෙන ඇත්නම් එහි අඩංගු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජනතාව දැනුවත් කළ යුතුය‘

    මීට පෙර ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා (1977-1988) විසින් ගෝනවල සුනිල් නැමති පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දීම ද සමාජය තුළ, විශේෂයෙන් එවකට විපක්ෂය තුළ බලවත් ආන්දෝලනයක් ඇති කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ස්වල්ප දිනකට පෙර රෝයල් පාක් ඝාතනයට සම්බන්ධ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම ද දැඩි විවේචනයට ලක්විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම ද සමාජමාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත.

  • ‘අස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට‘ මොකද වෙන්නේ ? පවිත්‍රා අවුල ලිහා ගන්නා හැටි කියා දෙයි

    ‘අස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට‘ මොකද වෙන්නේ ? පවිත්‍රා අවුල ලිහා ගන්නා හැටි කියා දෙයි

    කොරෝනා මර්දන  අස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත  පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළාය.

    සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අමාත්‍යවරිය මෙසේද පැවසුවාය, ‘‘අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවෙනි මාත්‍රාව ලෙස  ෆයිසර්  එන්නත ලබාදීමට හැකියාව ඇත්දැයි සෞඛ්‍ය විද්වත් මණ්ඩලය සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටු කරුණු විමර්ශනය කරමින් සිටිනවා. පළමු මාත්‍රාව ලෙස වෙනත් එන්නත් ලබා ගත් අවස්ථාවලදී ලෝකයේ බොහෝ රටවල් දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර්  එන්නත භාවිතා කරන බවයි අපට වාර්තා වී තිබෙන්නේ. ෆයිසර් එන්නත  එලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවලින් සාධනීය ප්‍රතිඵල ලැබී තිබෙනවා.

    ඉන්දියාවේ අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදකයා එන්නත්  අපනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා තමයි මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වුණේ. ශ්‍රී ලංකාව පමණක් නවෛයි පළමු මාත්‍රාව ලෙස අස්ට්‍රාසෙනිකා එන්නත්  ලබාගත් තවත්  රටවල් බොහොමයක් මේ ගැටළුවට මුහුණදී සිටිනවා. මේ තත්ත්වය තුළ අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට අපි රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උපරිම උත්සාහයක් ගන්නවා. කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ එම එන්නත් දෙලක්ෂ හැට හතර දහසක් ඉදිරියේදී ලංකාවට ලැබීමට නියමිත තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.

  • ඉක්මනින් පාසල් විවෘත කිරීමේ හැකියාවක් නෑ – අධ්‍යාපන ඇමැති GL

    ඉක්මනින් පාසල් විවෘත කිරීමේ හැකියාවක් නෑ – අධ්‍යාපන ඇමැති GL

    කොවිඩ්  වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (23) පාර්ලිමේන්තුවේ පැවසුවේය.

    අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ  සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවයි.

    කොවිඩ් වසංගතය සමග පාසල් පද්ධතිය අර්බුදයට යාම ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවකී අමාත්‍යවරයා ලෝකයේ  බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවත් කීවේය.

    ‘‘කොවිඩ් වසංගත සමයේදී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස පාවිච්චි කරන්නේ  මාර්ගගත දුරස්ථ අධ්‍යාපනයයි.  “ගුරුගෙදර” පාඩම් රූපවාහිනිය හරහා ලබා දෙනවා. ඊ තක්සලාව වැඩසටහන් ඉන්ටර්නෙට් ක්‍රියාත්මක වෙනවා. මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටිනවා. ඒ ගැටලුවටද  ප්‍රායෝගික විසඳුම් ලබාදීමට අපි ක්‍රියාකරමින් සිටිනවා‘ යැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.