Category: සුපිරි Politics

  • ගෝඨාභයගේ “සබුද්ධික ජනතාවාදය”

    ගෝඨාභයගේ “සබුද්ධික ජනතාවාදය”

    “විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස දක්නා ලදී. එපමණක් නොව, ඔහුව දෘෂ්ටිවාදීව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ විනයෙහි සහ පිළිවෙලෙහි සංකේතයක් ලෙසය. 

    2019 වසරේ අග භාගයේදී විනය සහ පිළිවෙල සඳහා සමාජ ආකර්ෂණයක් ඇති වීම පුදුමයට කාරණයක්  නොවේ. මන්ද යත්, ඒ වන විට නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය කෙරෙහි පැවති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී තිබිණ. “ජනවාරි විප්ලව” ප්‍රවාදය විහිළුවක් බවට පත්ව තිබිණ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජනතා විරෝධය සමස්ත දේශපාලන සමාජයටම එරෙහිව එල්ල වන්නට විය. අර්බුදකාරී නිමේෂයන් සරදම්ජනක තෝරා ගැනීම් සඳහා ඉඩ විවර කරයි. දේශපාලන පර්යායේ අර්බුදයක් විසඳීම සඳහා “දේශපාලනික-නොවන” ප්‍රතිරූපයක් අවශ්‍ය වීම 2019 දී යථාර්තයක් බවට පත් වූ එවන් සරදමකි.

    බැට් මෑන් නිදර්ශකය 

    තවත් එබඳු සරදමක් නම් විනය සහ පිළිවෙල ගොඩ නැගීම සඳහා ආයතන වෙනුවට සුපිරි වීරයෙකු ආදේශ වීමයි. මේ කාරණය මදක් පැහැදිලි කරන්නට ඉඩ දෙන්න. නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියේ ප්‍රධාන අවධාරණය වූයේ රාජ්‍ය පාලනයේ ක්ෂේත්‍රයෙන් දූෂණය තුරන් කිරීමයි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රධාන ක්‍රියා මාර්ග වූයේ ආයතනික සහ නෛතික රාමු විධිමත්ව සැකසීමය.

    මිනිස් චර්යාවන් ආයතනික සහ නීතිමය මාධ්‍යයන් මගින් පාලනය කරන්නට ප්‍රයත්න දැරීම ලිබරල් ආයතනවාදීන්ගේ පුරුද්දකි. නමුත්, ආයතන කෙරෙහි වන අධික විශ්වාසය හමුවේ ඔවුනට මග හැරී යන වැදගත්ම දේ අන් කිසිවක් නොව දේශපාලනිකයයි (the political). සරලව කිව හොත්, දේශපාලන ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ආයතනික සහ නෛතික රාමූවලට සීමා කළ නොහැක.

    “තරඟයේ රීතින්ට” අනුවම ක්‍රීඩා කරන ලෙස දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් පලක් නොමැත. මන්ද යත්, තරඟයේ රීතින් හදන්නේද, කඩන්නේද, නැවත සකසන්නේද දේශපාලන භාවිතයන් මගින්ම වීම නිසාය. එබැවින්, ලිබරල් ආයතනවාදීන් විසින් තනනු ලබන රාමු තුළ සිර කළ නොහැකි රැඩිකල් ගතිකත්වයක් දේශපාලනයට තිබේ. දේශපාලනිකය යනු එයයි. ආයතන සහ නෛතික රාමු කෙරෙහි වන විශ්වාසය බිඳ වැටෙන මොහොතවල ඇතැම් විට එතෙක් යටපත් වී තිබුණු දේශපාලනිකය යළි මතු වේ. බිඳ වැටෙන සමාජ සහ දේශපාලන පර්යාය යළි ගොඩ නැගීමට ආයතන සහ නෛතික රාමුවලට ඔබ්බෙන් සිටින සුපිරි වීරයින් මතු වන්නේ එලෙසිනි. 

    මෙය සුප්‍රසිද්ධ බැට් මෑන් ප්‍රබන්ධය සිහි ගන්වයි. එහි එන ප්‍රබන්ධගත ගොතම් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව පරිහාණියට ලක්ව ඇත. පොලීසියේ ඉහළ සිට පහළටම අල්ලස, දූෂණය සහ අපරාධ කල්ලි සමග වන සම්බන්ධතා ජාලයන් පැතිර තිබේ. එකී දූෂිත අපරාධකාරී ජාලයන් මගින් පීඩනයට පත් වන ජනයාගේ ගැලවුම්කරුවා ලෙස බැට් මෑන් ආදේශ වේ. මෙහිදී හෙළිදරව් වන වැදගත් දේශපාලනික කාරණය නම් බැට් මෑන් යනු සැබවින්ම පවත්නා අර්බුදයේම නිමැවුමක් නොහොත් එහි ප්‍රකාශනයක් බවයි. ඔහු රෝග ලක්ෂණයක් මිස රෝගයට පිළියමක් නොවේ.

    ගෝඨාභයගේ “සබුද්ධික ජනතාවාදය”

    අභිනව ජනාධිපතිවරයාගේ බුද්ධිමය බල ඇණිය විසින් ඔහුව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ දූෂිත, අකාර්යක්ෂම සහ වැඩ නොකරන රටක වැඩ කළ හැකි නායකයෙකු ලෙසිනි. එය එසේ මෙසේ කාර්ය භාරයක් නොවේ. එසේම, එම කාර්ය භාරය ඉටු කිරීම සඳහා ඔහුට පවත්නා ආයතනික සහ නෛතික සීමා ඉක්මවා යාමට සිදු වේ; ජනාධිපතිවරයාගේ විධායක බලය අභ්‍යාස කිරීම කෙරෙහි පැවති ව්‍යවස්ථාමය සීමා හැකි තරම් සීමා කිරීමට සිදු වේ.

    විසි වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එම අවශ්‍යතාව සපුරා ගන්නා ලදී. දැන් ඔහු ව්‍යවස්ථාපිත ලෙසම සුපිරි බලැති නායකයෙකි. නමුත්, තවමත් රටේ ආයතනික සහ පරිපාලනමය ව්‍යුහයන් දූෂිතය; අකාර්යක්ෂමය; පසුගාමීය. එම ගැටළු විසඳීමට ජනාධිපතිවරයා පුද්ගලිකවම මැදිහත් වීම වනාහී ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයේදී ඔහු වෙත පවරන ලද දෘෂ්ටිවාදී භූමිකාව ඔහුම බරපතල ලෙස භාර ගැනීමක් බැව් පෙනේ. එය ස්වකීය දෘෂ්ටිවාදී භූමිකාව සමග අධික ලෙස අනන්‍ය වීමක් (over-identification) ලෙස ගත හැකිය.

    ඒ අනුව, ජනාධිපතිවරයා දුෂ්කර ගම්වල සංචාරය කරමින් ජනතා ප්‍රශ්නවලට සවන් දෙයි; පරිපාලන අංශවල දොස් ප්‍රසිද්ධියේ හෙළිදරව් කරමින් ජනතා ප්‍රශ්න ඉක්මනින් විසඳන්නට ක්‍රියා කරයි; රාජ්‍ය ආයතනවලට හදිසියේ ඇතුල් වී ඒවායෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කොට බලයි; මහ බැංකු නිලධාරීන් කැඳවා වඩා කාර්යක්ෂම ආර්ථික සැලසුම් ඉදිරිපත් කරන ලෙස දන්වයි; සහල් වෙළෙඳුන් මුණ ගැසෙමින් වෙළඳපළ මිල නැවත තීරණය කරන ලෙස දන්වයි. මේ සියල්ල මාධ්‍ය තුළ සජීවීව විකාශනය කෙරේ.

    ගෝඨාභය ජනාධිපතිවරයාගේ මෙම භූමිකාව බැලූ බැල්මට ජනාධිපති ප්‍රේමදාසව අනුකරණය කිරීමක් ලෙස පෙනී යා හැකි වුවද, සමීප නිරීක්ෂණයකදී පෙනී යන්නේ ඒ දෙදෙනා අතර පැහැදිලි වෙනස්කම් පවතින බවයි. ප්‍රේමදාස වනාහී එජාපයේ අනුග්‍රාහක දේශපාලන සම්ප්‍රදාය තුළින් ප්‍රභවය ලැබූවා වූද, නාගරික දිළිඳු ජනයා සමග සමීප අනුග්‍රාහක බැමි ගොඩ නගා ගත්තා වූද, දක්ෂිණාංශික ජනතාවාදී චරිත ලක්ෂණ උරුම කොට ගත්තා වූද, කිසියම් දුරකට කැරිස්මැටික් යැයිද කිව හැකි නායකයෙකි.

    නමුත්, ගෝඨාභය රාජපක්ෂ වඩා සමීප වන්නේ මැක්ස් වේබර් කතා කළ ආකාරයේ නෛතික-සබුද්ධික (legal-rational) නායකත්ව රටාව සමගය. ඔහුගේ වෘත්තීය පුහුණුව අනුව සේම ඔහු පිළිබඳව ගොඩ නැගී ඇති සංකේතීය ප්‍රතිරූපය අනුවද ඔහුව එතෙක් හඳුනාගනු ලැබුවේ පවත්නා නීතිය සහ පර්යාය තුළ වැඩ කරන්නෙකු ලෙසිනි. වරක් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඔහු තමන්වම හඳුන්වා දෙන ලද්දේ පැවරූ කාර්යයක් නිසි ලෙස ඉටු කරන්නෙකු ලෙසයි.

    නිදසුනක් ලෙස දක්වන ලද්දේ යුද්ධයයි. මේ අරුතින් ඔහු තමන්ටම ආවේණික ජාතිකවාදී ජනතාවාදී ගති ලක්ෂණ සහිත ඔහුගේ කැරිස්මැටික වැඩිමල් සහෝදරයාගෙන් වෙනස්ය; සමකාලීන සෙසු අන්ත-දක්ෂිණාංශික ජනතාවාදී නායකයින් වන ට්‍රම්ප්, මෝඩි, පුටින්, වික්ටර් ඕබන් යනාදීන්ගෙන්ද වෙනස්ය. ගෝඨාභය රාජපක්ෂගේ දක්ෂිණාංශික ජනතාවාදය හැඳින්විය හැක්කේ සබුද්ධිකව ගණන් බලා සැලසුම් කොට ඉදිරිපත් කරනු ලබන්නක් ලෙසයි.                   

    ස’ ෆේල් වීම ගෝලීය පර්යාලෝකයක් තුළ

    විනයගත සමාජයක් ගොඩ නැගීමේ ගෝඨාභය ව්‍යාපෘතියට වඩා වාසිදායක තත්ත්වයක් කොරෝනා වෛරස් වසංගතය විසින් ඇති කෙරිණ. ඒ ගැන සාකච්ජා කිරීම පසෙකින් තබා විමසිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, පුද්ගලිකව මැදිහත් වී මහජන ප්‍රශ්න විසඳීමේ ඔහුගේ උත්සුකය පැවතියදීම ඔහුට එරෙහි “ස’ ෆේල් ව්‍යාපාරය” ජනප්‍රිය වෙමින් පවතින්නේ මන්ද යන්නයි. “ස’ ෆේල්” ව්‍යාපාරය යනු හුදෙක් ආණ්ඩු විරෝධීන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයක් පමණක් නොවේ.

    වත්මන් පාලන තන්ත්‍රයේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහී යමින් තිබේය යන්න සමකාලීන ලාංකීය දේශපාලන චලනයන් පිළිබඳ ඓන්ද්‍රීය අවබෝධයක් ඇති කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකරනු ඇත. එසේ නම්, එම ජනප්‍රියත්වයේ වේගවත් පසුබෑමට හේතුව කුමක්ද? 

    ඉහත ප්‍රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් නොවේ. දේශීයව ගත් විට, ජනාධිපතිවරයාගේ විනය සහ පර්යාය ගොඩ නැගීමේ ව්‍යාපෘතියට මුළුමනින්ම පරස්පර තීන්දු තීරණ ඔහුගේ බලාධිකාරය තුළින්ම ක්‍රියාවට නැංවීම එක් පිළිතුරකි. ඥාති සංග්‍රහය සහ ගජ මිතුරු ධනවාදය, නීතිය සමානව ක්‍රියාත්මක නොවේය යන චෝදනාව යනාදිය ඒ අතුරින් කැපී පෙනේ.

    වසංගතය පාලනය කිරීමට අසමත් වීම සහ වේගයෙන් ඉහළ යන ජීවන වියදම ඇතුළු වසංගතය මගින්ම නිර්මාණය කෙරුණු බහු-විධ ආර්ථිකමය සමාජමය අර්බුද ආමන්ත්‍රණය කිරීමට අසමත් වීම සැලකිල්ලට ලක් විය යුතු තවත් වැදගත් කාරණාය. ලංකාවට අදාළ තවත් සුවිශේෂී ගැටළුවක් වනුයේ ඉන්දු-පැසිෆික් කලාපයේ මර්මස්ථානයක පිහිටි කුඩා දුර්වල රාජ්‍යයක් ලෙස ගෝලීය බල අරගලයන්ට මැදි වීමත්, එයට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩුව විසින් ගනු ලබන ඇතැම් ක්‍රියා මාර්ග ආණ්ඩුවට සහාය දැක්වූ බලගතු කණ්ඩායම්වල නොසතුටට හේතු වීමත්ය. මෙය පාලක බල-හවුලේ අභ්‍යන්තර ගැටුම් සඳහාද හේතු විය හැකිය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ආන්දෝලනය මේ සඳහා ඇති ආසන්නතම නිදසුනයි. (වරාය අරගලයේදී ආණ්ඩු-හිතවාදී කණ්ඩායම් සහ බුද්ධිමතුන් අවසන් මොහොතේදී සම්මුතික විසඳුමක් කරා මාර්ගය සැකසිය හැකි බවද අමතක නොකළ යුතුය). 

    මගේ යෝජනාව වන්නේ දක්ෂිණාංශික ජනතාවාදයේ පසුබැසීම වටහා ගැනීමේදී ඉහත කී සුවිශේෂී ලාංකීය සාධකවලට අමතරව අප ගෝලීය දේශපාලනයේ ගතිකත්වයන්ද සැලකිල්ලට ගත යුතු බවය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජයට සමගාමීව අපගේ අසල්වැසි ඉන්දියාවේ මෝඩි දැන් මුහුණ දෙමින් සිටින්නේ ඔහුගේ පාලනය තුළ ඇති වූ විශාලතම ජනතා උද්ඝෝෂණයටය. පුටින්ට එරෙහි විපක්ෂයේ විරෝධතා උග්‍ර අතට හැරෙමින් තිබේ. තුර්කියේ එර්දොගන් විසින් කරන ලද විශ්ව විද්‍යාල පත් කිරීම්වලට එරෙහි ගුරු-සිසු විරෝධතා මෑතකදී දැක ගත හැකි විය. ඉතාලියේ කම්කරුවෝ වසංගතයේ වැය ධනපතියන් වෙත පවරණ ලෙස ඉල්ලා සුවිසල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ. 

    මෙයින් හැඟවෙන්නේ අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය බිඳ වැටෙමින් තිබීමය යනුවෙන් කීමට අප ඉක්මන් නොවිය යුතුය. නමුත්, පොදුවේ ගත් කල වසංගතය විසින් අන්ත-දක්ෂිණාංශික ජනතාවාදයට ගණුදෙණු කිරීමට අසීරු අභියෝගයක් එල්ල කොට තිබෙන බව නම් පැහැදිලිය. එය කෙටියෙන් කිව හොත් මෙසේය; ලොව පුරා අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය මතු වූයේ නව-ලිබරල් ප්‍රතිපත්තීන් මගින් ජනනය කෙරුණු සමාජමය කළකිරීමට සහ විරෝධයට ප්‍රතිචාරයක් ලෙසිනි.

    නමුත්, එය ඉදිරිපත් කළේ ව්‍යාජ විසඳුමකි. එනම්, යම් යම් තෝරා ගත් ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් පමණක් නව-ලිබරල්වාදයේ ව්‍යසනකාරී බලපෑම්වලින් ගලවා ගැනීමට ප්‍රයත්න දැරීමයි. මහා ප්‍රාග්ධනයට අත නොතබනු ලැබුවා පමණක් නොවේ; සැබවින්ම මහා ප්‍රාග්ධනයේ සහායද අන්ත-දක්ෂිණාංශයට ලැබිණ.

    කෙසේ වෙතත්, මහා ප්‍රාග්ධනයේ බලයට අත නොතබා යම් යම් තෝරා ගත් සමාජ කණ්ඩායම් වෙත සහන සැලසීම සඳහා ඇත්තේ එක් ක්‍රමයකි. එනම්, රාජ්‍ය සම්පත් වැය කොට පවත්වාගෙන යන්නා වූ ආරක්ෂණවාදී සහ අනුග්‍රාහක දේශපාලනයයි. වසංගතය හමුවේ සංකෝචනය වන ආර්ථිකය තුළ තව දුරටත් මෙම අනුග්‍රාහක දේශපාලනය පවත්වාගෙන යාම දුෂ්කරය. ඊට සමාන්තරව කොරෝනා අර්බුදය හමුවේ පීඩනයට පත් වන අව-වරප්‍රසාදිත කණ්ඩායම් දේශපාලනික ක්ෂේත්‍රයට කඩා වැදීමද සිදුවෙමින් තිබේ. ඉන්දියාවේ ගොවි අරගලය ඒ සඳහා කදිම නිදසුනකි.    

    අනුග්‍රාහක දේශපාලනය ආයතනගත වී තිබෙන ඌණ-සංවර්ධිත ශ්‍රී ලංකාවේ ඉහත අර්බුදයේ ප්‍රකාශමාන වීම් අතිශය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේ.                                     

    සුමිත් චාමින්ද 

  • පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

    පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

    හෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

    කොවිඩ් – 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන  යාමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    හෙට පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගනු ලබන බව මහලේකම්වරයා කීවේය. පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන්කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට පමණක් සීමා කෙරෙනු ඇත .

    දෙවන දිනය වන අනිද්දා (20) ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර  දිසානායක මහතා ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ  යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා පැවසීය. එම විවාදය සඳහා පෙ.ව.11.00 සිට ප.ව.4.30 දක්වා කාලය වෙන් කර ඇත. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීතී රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයන් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ. එදින දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමකින් තොරව  පැවැත්වෙනු ඇත. එදිනම පෙ.ව 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. 

    මෙම රැස්වීමට  ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන, ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජී. එල්. පීරිස්, ඩග්ලස් දේවානන්ද සහ ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගි වූහ.

    සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පී.සී.ආර් (PCR) පරීක්ෂණ සිදු කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණි.

    ඔවුන් සමඟ මුලින්ම සාකච්ඡා කළ අවස්ථාවේදී අනතුරුදායක තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවත් එබැවින් ආරක්ෂිතව සියලු සෞඛ්‍යය රෙගුලාසි තදින්ම අනුගමනය කරමින් රැස්වීම් පැවැත්විය හැකි බවටත් උපදෙස් ලැබූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • අධිකරණ ඇමති ‘කැබිනට් මණ්ඩලයන් ඉවත් කරනු – ජනපතිට දැඩි බලපෑම්

    අධිකරණ ඇමති ‘කැබිනට් මණ්ඩලයන් ඉවත් කරනු – ජනපතිට දැඩි බලපෑම්

    අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අද දින (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය.

    නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහබාගි කරගෙන පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා කැපවූ 69 ලක්ෂයක් ජනතාව නියෝජනය කරමින් සිංහලේ ජාතික ඒකාබද්ද එකමුතුවේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

    උද්ඝෝෂණයෙන් අනතුරුව එම පිරිස, අස්ගිරිය සහ මල්වතු මහනායක ස්වාමින් වහන්සේලා සහ අනු නායක ස්වාමින් වහන්සේලා  වෙත “අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස අතිගරු ජනාධිපති තුමාට බලකිරීම සඳහා වූ” සන්දේශයක් බාරදෙන ලදී.

    එම සංදේශයේ මෙසේ සදහන් වේ.

    අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මහනාහිමිපාණෝ, මල්වතු මහ විහාරය, මහනුවර.

    අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානායක මහනාහිමිපාණෝ, අස්ගිරි මහ විහාරය, මහනුවර.

    අතිපූජ්‍ය ගෞරවනීය මහනායක මහානාහිමියනි,

    කැබිනට් අමාත්‍ය අලි සබ්රි මහතා ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශ කිරීම සම්බන්ධව

    වත්මන් රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අලි සබ්රි මහතා ක්‍දඩසා- 19  තත්වය සම්බන්ධයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදුනහොත් මුස්ලිම් ජාතිකයින් ආයුධ අතට ගැනීමට ඉඩ ඇතැයි ඉඟි කරවන ප්‍රකාශ නිකුත් කිරීම රටේ සාමයට එල්ල කරන ලද බරපතල තර්ජනයක් බව අප විශ්වාස කරමු.

    සියළුම ජාතීන් ආගම් භේදයකින් තොරව රජයේ ගැසට් නියෝග අනුව කටයුතු කරද්දී මුස්ලිම් ජාතිකයනට පමණක් නීතිය ඉදිරියේ සුවිශේෂී වරප්‍රසාද ඉල්ලීම තුල රට තුල අන්තවාදී මත දරන පිරිස් එවැනි ප්‍රකාශ මගින් උත්තේජනය වන බව නොරහසකි.

    `පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය මිනිසුනට සාධාරණයක් ඉටු කිරීම වස් වගඋත්තරකාරයන්ට දඬුවම් දීම පසෙකලා වත්මන් අධිකරණ අමාත්‍යවරයා අන්තවාදී මත වෙනුවෙන් පෙනී සිටීම වත්මන් රජයට ලක්‍ෂ 69 ඡන්දය ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තුව නොවන බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ බලවත් අවධානයට යොමු විය යුතු කාරණයකි.

    මෙවන් වාතාවරණයක් තුල අලි සබ්රි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි කරුණකි.

    එසේ පත්වූ අමාත්‍යවරයා නීතිය ඉදිරියේ සියළු දෙනා සමානය යන මූලධර්‍මයට පිටුපා කරන ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ආගමික සහජීවනයට බරපතල තර්ජනයකි. බාධාවකි.

    2021/01/11 දින  කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරන්නේ දෙමළ භාෂාව කථාකරන නීතීඥවරුන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වශයෙන් 150ක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගත යුතුය යන්නයි.

    අප සිහිපත් කරනුයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක පිට අත් අඩංගුවේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි පිරිස් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධූරය වැනි තනතුරුවලට පත්ව, පොලිස් දෙපාර්තමේන්තුවේ බලය අන්තවාදී බලවේග විසින් පාලනය කරන තත්වයක් ඇති වුවහොත්, මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් වගකියන්නේ කවුරුන්ද යන්න සේම සාධාරණ සැකයක් මතුකරවන ප්‍රශ්ණයකි?

    වත්මන් රජයේ අධිකරණ අමාත්‍යවරයාගේ වැඩ සහ හැසිරීම කිසිසේත්ම ලක්‍ෂ 69ක් බලය ලබා දුන් බහුතර ජනතාව අනුමත නොකරන අතර අධිකරණ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කළ යුතුය යන්න බහුජන මතය සහ අපගේ පොදු විශ්වාසයයි.

    අතිපූජ්‍ය ගෞරවනීය මහනායක මහානාහිමිපාණෙනි,

    ඉහත කාරණය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලවත් අවධානයට යොමු කරවා අධිකරණ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර සුදුසු පුද්ගලයෙකු එකී තනතුරට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්‍ග ගන්නා මෙන් මහජනතාවගේ පොදු ඉල්ලීමත්, නීතියේ රැකවරණයත්, සර්ව සාධාරණත්වයත් අගයන මහජනතාවගේ ඉල්ලිම අති ගෞරවනීය මහා සංඝරත්නය වෙත මෙයින් ඉදිරිපත් කරන්නෙමු.

  • එජාප මහ ලේකම් රංගෙබණ්ඩාර

    එජාප මහ ලේකම් රංගෙබණ්ඩාර

    එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම් කිරීමට අද (13) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම් මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර තිබෙනවා.

  • පිල්ලේයාන් නිදහස් !

    පිල්ලේයාන් නිදහස් !

    දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට වසර හතරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.

    පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගත් විට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව අධිකරණයට දැනුම් දීමෙන් අනතරුව එය විමර්ශනය කළ අධිකරණය අද (13) එම නඩු තීන්දුව ලබා දෙන බව පවසා තිබිණි.

    අද යළි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කරුණු සියල්ල සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදි.

    එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත  බන්ධනාගාර ගතකර  සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු  නිදහස් කිරීමට නියෝග කෙරිණි.

  • රන්ජන් රාමනායක ‘මෙතැනින් කොතැනටද ?’

    රන්ජන් රාමනායක ‘මෙතැනින් කොතැනටද ?’

    අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා ලැබූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළා.

    මෙසේ බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ගෙනයන ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසුවා.

    රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කිරීම මේ වන විට දේශපාලන සහ සමාජයීය වශයෙන් බරපතළ සංවාදයකට ලක්ව තිබෙනවා. මේ ඒ ගැන ඇතුළුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරයේ අනාගතය ගැන විමසා බැලීමක්.

    සිදුවීමේ මුල

    2017 අගෝස්තු 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටදී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවට චෝදනා කරමින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා. දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එම නඩුවේ තීන්දුව අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් ප්‍රකාශයට පත් කළා.

    මෙහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ විනිසුරුවරයා මෙසේ සදහන් කළා.

    2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට විත්තිකාර රන්ජන් රාමනායක මහතා වරදකරු කරන බවයි.

    විත්තිකරු විසින් එම ප්‍රකාශය සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප්‍රකාශ මගින් තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා තීන්දුවෙන් දැනුම් දුන්නා.

    රන්ජන් කියන කතාව

    රන්ජන් රාමනායක මහතා පසුගිය කාලය පුරාම දේශපාලන වශයෙන් බරපතළ ගැටුම් හා විවාද ඇතිකර ගත්තා. මේ තත්ත්වය තුළ ඔහු අද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුකළ ප්‍රකාශය ද සුවිශේෂයි.

    තීන්දුවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රංජන් රාමනායක මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා.

    රන්ජන් රාමනායක අධිකරණයට යාමට ප්‍රථමව සිය මුහුණු පොතේ පළකළ ඡායාරූපයක්

    මම තිත්ත ඇත්ත කතා කළේ. හොරකං කළේ නෑ. පිල්ලෙයාන්ව මේ ආණ්ඩුවෙන් එලියට දැම්මා. මාව ඇතුළට දානවා. මම කුඩු ගංජා විකුණලා නෑ මම සටන දිගටම ගෙනියනවා. සටන නවත්තනේ නැතිව දිගටම ගෙනියමු. මේ දුෂිත ආණ්ඩුව පලවාහරින්න. මම කියපු සියලුම දේවල් ඇත්ත කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නේ නෑ මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියල මංවගේ මිනිහෙක්ව ඇතුලට දානවා. මම සත පහක් හොරකන් කරලා නෑ හම්බවුන පඩි සල්ලිත් ජනතාවට බෙදුවාමේ හොරකං කරලා කුඩු විකුණලා නෙමෙයි. මම ආණ්ඩුවට කියනවා පිල්ලෙයාන්ව දැම්ම වගේ දුමින්ද සිල්වාවත් එලියට දාන්න. කුඩු කාරයෝ ගැන කිව්වයි කියල මාව ඇතුළට දාන්නේ. අපි බය නෑ මම තනිකඩයා. මැරුණත් බය නෑ. තිත්ත ඇත්ත කතා කරනවා. සමාව ඉල්ලන්නේත් නෑ. කුඩු විකුණලා නෑ, එතනෝල් ගෙනල්ල නෑ, උන් ගැන කිව්වයි කියල මේ ඇතුළට දැම්මේ,” යනුවෙන් ද ඔහු පැවසුවා.

    ආන්දෝලනයට හේතු

    රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිරදඩුවම් නියම වීම බන්ධනාගාර ගත කිරීම සමග එය වඩාත් වැඩි සමාජ අවධානයක් දිනා ගැනීමට ඒ හා ආසන්න තවත් සුවිශේෂ දේශපාලන සිදුවීමක් හේතු වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ (11) මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීමයි.

    මේ සම්බන්ධයෙන් සමාජමාධ්‍යවල දක්වන අදහස වන්නේ ..රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීම හාස්‍යජනක බවයි‘‘

    රන්ජන්ගේ මන්ත්‍රීධුරයට කුමක් වෙයිද ?

    බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම සිටින රන්ජන් රාමනායක මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ සමගි ජන බලවේගයෙන්. ඒ ගම්පහ දිස්ත්‍රික්කයට. එහිදී ඔහු මනාප ලැයිස්තුවේ 01වැනි ස්ථානයට පත් වීම විශේෂත්වයක්.

    මේ අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ විවිධ මත පළ වෙනවා.

    මේ පිළිබඳව මත පළ කරන නීති විශේෂඥයන් පවසන්නේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසිවන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිවීම හේතුවෙන් බවයි. ඒ බව ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තියේ සඳහන් වන බවයි ඔවුන් කියන්නේ.

    89 (ඈ) වගන්තියේ මෙසේ සදහන් වෙනවා.

    “යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය: එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය.”

    එහෙත් නීතිඥයින් අතර මේ ගැන මත දෙකක් තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට දිය යුතු දඬුවමට උපරිම හා අවම කාලයක් නීතියේ නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් මෙම වගන්තියට එය අදාළ නොවන බව ඇතැම් නීති විශේෂඥයන් පවසන අතර, තවත් නීති විශාරදයන් පවසන්නේ මෙම තීන්දුවත් සමඟම රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවන බවයි.

    රන්ජන් වෙනුවට කවුද ?

    වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ යම් මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසි වුවහොත් ඔහු වෙනුවට පත් වන්නේ අදාළ මන්ත්‍රීවරයා මහ මැතිවරණයට තරග කළ දිස්ත්‍රික්කයේ ඔහු තරග කළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් මනාව ලැයිස්තුවේ ඊළට මනාප දිනාගත් පුද්ගයායි.

    ඒ අනුව පසුගිය මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළගට සිටින්නේ (05 වැනි තැන) අජිත් මාන්නප්පෙරුම මහතායි.

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන් හෙයින් රන්ජන් රාමනායක මහතාට අදාළ තීන්දුව පිළිබඳව නැවත විමසීමක් කරන මෙන් ඉල්ලා සිටීමට අවස්ථාව තිබෙන බව ද මේ අතර නීතිඥවරු පෙන්වා දෙනවා.

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිරගත වූ දේශපාලනඥයින් අතර මෑත කාලීන උදාහරණය වන්නේ එස්.බී. දිසානායක මහතායි. එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණයට අපහාස කිරීම යටතේ වරදකරු බවට පත්ව තිබෙනවා.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රංජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    රංජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    අධිකරණයට අපහාස කළැයි  චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට  වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම්  නියම කළේය. අද (12)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.

    සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන  යන  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි.

    මේ අතර සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා  පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

  • චරිත දෙකක් ගැන ජනපති ගෝඨා කළ ආන්දෝලාන්තමක කතාව

    චරිත දෙකක් ගැන ජනපති ගෝඨා කළ ආන්දෝලාන්තමක කතාව

    බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා සිටී.

    සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට කියා සිටී.

    මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට  සූදානම් වුවත්  විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට  සූදානම් නැති බව ජනාධිපතිවරයා කියා සිටී.

    අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.  ජනාධිපතිවරයා සහභාගී වූ “ගම සමග පිළිසඳර” පස්වන වැඩසටහන මෙයයි.

    2020 සැප්තැම්බර් මස 25 වැනි දින පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.

    අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.

    ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි. 

    වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර,  සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.

    වන ජිවි සහ වන සංරක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සළකුණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට සිදුවීම ලාතුගල ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ගැටළු අතර ප්‍රධාන තැනක් ගනී. දිවයිනේ සියලු ගම්වල පාරම්පරිකව වගා කටයුතු සිදු කරන ගොවීන්ට මින් ඉදිරියට  වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිඳු ආයතනයක බලපෑමකින් තොරව වගාව කරගෙන යාමට ඉඩ හැරීමේ  ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දුන්නේය.  ඊට අනුගතව ජනතාවට සහය වන්නනැයි දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනාධිපතිතුමා කියා සිටියේය.

    ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු එකකි. නිලධාරීන් ප්‍රශ්න දෙස බලන විදිය තවත් ආකාරයකි. කොළඹ සිට මත හදන අයගේ අදහස් ඊටත් පරස්පරය. මේ නිසා නිලධාරීන් සිය කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සැබෑ ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර ගැනීමට කි.මි 16ක් දුරින් වූ උහන ඩිස්පැන්සරියට හෝ කි.මි 24ක් දුරින් පිහිටි අම්පාර රෝහලට හෝ යාමට ජනතාවට සිදු වෙයි. ඊට විසඳුමක් ලෙස අවට ගම්මාන රැසක ජනතාවට සේවාව සැපයෙන පරිදි බොක්කබැද්ද ග්‍රාමයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    ලාතුගල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් සහ ක්‍රිඩාපිටියක් ඉදිකර දීමටත්, පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් දීමටත් තීරණය කෙරිණ. උහන විද්‍යාලෝක විද්‍යාලය, වළගම්පුර විද්‍යාලය, උහන වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය, ගලහිටියාගොඩෙ, ප්‍රියංගල, රජගල, නුගේතැන්න සහ උහන තිස්ස, අම්පාර ජාතික යන විදුහල්වල ගුරු හිඟයට නොපමාව පිළියම් යොදන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    අම්පාර, ලාතුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට ද  උපදෙස් දෙනු ලැබිණ. ලාතුගල – බොක්කබැද්ද – ඇතුල්ඔය දක්වා මාර්ගය, බක්මිටියාව – පන්නල්ගම, මහඔය – කුරුදුවින්න මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද නියම කෙරිණ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි 1150ක් සංවර්ධනය කිරීමට  සැලසුම් කර තිබේ. මේ මාර්ග සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමේ දී  වගකීමෙන් ඉටුකළ හැකි පිරිසට පමණක් පවරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට ප්‍රධාන බාධාවක්ව පවතින ජල අවශ්‍යතාවට පිළියමක් ලෙස කොටපත්දමන වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්නැයි  ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.  ජනතාවගේ පානීය ජල ගැටළුව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ලාතුගල ගම්මානයට අයත් අතුරු මාර්ගවල ජල නළ ඇතිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරා කඩිනමින් පානීය ජල ගැටළුවට විසඳුම් දෙන්නැයි කියා සිටියේය.

    රඹකැන්ඔය ජලාශයෙන් පදියතලාවට ජලය සැපයීමටත්, ටැම්පිටිය, පූනාවලි, මල්ලියතිව් ඇතුළු ගම්මාන රැසකට පානීය ජල පහසුකම් සම්පාදනයටත් තීරණය කෙරිණ. යෝධකණ්ඩිය, කොටපත්දමන, ලාතුගල, හුලංනුගේ, හඳපාදාගම අතුළු වැව් කඩිනමින් පිළිසකර කිරීමට තීරණය විය.

    ලාතුගල ග්‍රාමයට පොහොර ගබඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

    ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 03ක් ලාතුගල සහ විද්‍යාලෝක විද්‍යාලවල විදුහල්පතිවරුන්ට හා  සිසුන්ට භාරදීම ද ජනාධිපති අතින් සිදු කෙරිණ.

    රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩි. වීරසිංහ, තිලක් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ලාතුගල “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

  • හකුරු හදන්නා රජතුමාව රැවට්ටුවා වගේ මේ ආණ්ඩුවත් 69 ලක්ෂයේ ජනතාව රැවට්ටුවා

    හකුරු හදන්නා රජතුමාව රැවට්ටුවා වගේ මේ ආණ්ඩුවත් 69 ලක්ෂයේ ජනතාව රැවට්ටුවා

    බලය එක් තැන් කරන කොට ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයකට  එල්ලවන අභියෝග ගැන අපිත් පාඩමක් ඉගෙන ගත යුතුයි.ඇමෙරිකාවේ ජනපතිගේ හැසිරීම  අපට මතක් කර දෙනවා  පරාජය පිළිගන්නට බැරි, සම්මුතියක් අනෙක් පැත්ත එක්ක ඇති කරගන්නට බැරි, නීති රාමුවෙන් පිට ප්‍රශ්ණ විසඳන්න හදන සිදුවීම් වලින් අපිත් පාඩමක් ඉගෙන ගන්නට වෙනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද 07, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    දේශප්‍රේමය ගැන. සිංහලයා ගැන. රටේ ජනතාවට සෞභාග්‍ය උදාකරනවයි පොරොන්දු වූ මේ ආණ්ඩුවත් හකුරු හදන්නා රජතුමාව රැවට්ටුවා වගේ  69 ලක්ෂයේ ජනතාව රැවට්ටුවා. CIFC වරාය තුළ ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා පමණක් ඇයි විශේෂ බදු සහනයක් දෙන්නේ? ඉන් පිටත නිවාසවලට බදු සහන නොදෙන්නේ ගජමිතුරු කම නිසා ද.එපමණක් නොව වරාය නගරයේ පුහුණු,නුපුහුණු හා සුදු කර පටි රැකියාවලට පවා විදේශිකයන්ට බදු විරාම සමග අවස්ථා දෙන්නටත් යනවා.  කොරෝනාව නිසා රැකියා අහිමිවු රටවිරුවන් ඇතුළු ලක්ෂගණන් ස්වදේශිකයන් සිටියදී මෙසේ දෙන්නේ ඇයි දැයි විමසීය. උපායමාර්ගික සංවර්ධන පනත යටතේ කොළඹ වරාය නගරයට වසර 15 කට බදු විරාම ලබා දීමේ යෝජනා ඇතුළු මුදල් පනත් කිහිපයක සංශෝධන පිළිබඳ විවාදය අවස්ථාවේ දී ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ රජයෙන් ප්‍රශ්ණ කර සිටියේය..

    මේ ආණ්ඩුවේ වැඩ දකින විට මට මතක් වෙන්නේ රජතුමාට සුදු හකුරු දුන්න කතාව. උඩට සුදු උඩු වියන්,  බිමට පාවඩ එළලා හදන නිසා හකුරුත් සුදු වෙන බව කියලයි රජතුමාව රැවට්ටුවේ. රජතුමා ගිහින් බැලුවම තමයි දැක්කේ කොච්චර අපිරිසිදුවටද හකුරු හදන්නේ කියලා. ඇයි බොරු කිව්වේ කියලා ඇහුවම හකුරු හදන මනුස්සයා කිව්වේ, “රජතුමනි, කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි ” කියලා.

    මේ ආණ්ඩුවත් ඒ හකුරු හදන්නා රජතුමාව රැවට්ටුවා වගේ තමයි 69 ලක්ෂයේ ජනතාව රැවටෙව්වෙත්. කතා කලේ දේශප්‍රේමය ගැන. සිංහලයා ගැන. රටේ ජනතාවට සෞභාග්‍ය උදාකරන්න. ඒත් දැන් මොකක්ද කරමින් ඉන්නේ. මම මේ සභාවේ අවධානයට යොමුකරනවා, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකිරීමට අදාළව නිකුත්කර ඇති ගැසට් පත්‍රය. දිනය 2020 නොවැම්බර් 24.  

    ගැසට් පත්‍රය නිකුත්කර නිකුත්කර තිබෙන්නේ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (CIFC ),  මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්. ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් මාස 96 කින් ආරම්භ වෙන්නේ. ඒ මාස 96 මාස හතලිස් අටේ ව්‍යාපෘති දෙකක්, එකකට පසුව එකක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. 

    දැන් බලන්න ඒ ගැසට් පත්‍රයේ උප ලේඛනය. ඔන්න ආණ්ඩුවේ දේශප්‍රේමය දෝරේ ගලන අවස්ථාව. මේ CIFC ව්‍යාපෘතිය තුළ තිබෙනවා, පළමු අදියරේ A ශ්‍රේණියේ නවීන කාර්යාල කුළුණක්, නිවාස කුළුණු දෙකක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්. දෙවන අදියරේ තිබෙනවා, A ශ්‍රේණියේ නවීන කාර්යාල කුළුණක්, නිවාස කුළුණක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්. 

    දැන් මේ ගැසට් පත්‍රය අනුව මහල් නිවාස විකිණීමේ දී හැර මේ ව්‍යාපෘතියට වසර 15ක සංස්ථාපිත බදු සහනයක්  ලබාදී තිබෙනවා. එතකොට මහල් නිවාස විකිණීමට අදාළ බදු සමා කාලය වසර 6යි. වසර 15ක් ආදායම් බදු නැතුවද ආණ්ඩුව යන්න හදන්නේ ? CIFC තුළ ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා පමණක් ඇයි විශේෂ බදු සහනයක් දෙන්නේ? මොකක්ද විශේෂත්වය. CIFC තුළ සහ ඉන් පිටත මහල් නිවාස සංකීර්ණ වල වෙනස මොකක්ද? ඒ කර්මාන්තයේ නිරත අනෙක් සමාගම් වලටත් මේ බදු සහන දෙනවද ? නැත්නම් මේ තවත් ගජමිතුරු සහනයක්ද ?

     ලංකාවේ රාජ්‍ය ආදායම මේ මොහොතේ පවතින තත්ත්වය සතුටු විය හැකි මට්ටමක නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගත්ත ණය පොළිය පවා ගෙවන්න බැරි තත්ත්වයක තිබෙන්නේ. රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න. එහෙම පසුබිමක මේ මූල්‍ය නගරය ඉදිකරන සමාගමට වසර 15ක බදු සහනයක් දෙන්නේ මොකටද? මොකක්ද තියන පදනම? ඇයි රාජ්‍ය ආදායම, රටේ ආර්ථිකය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් අවදානමක්තියන විට මෙහෙම කරන්නේ ?

    හැම ආකාරයකම බදු සහන දීලා. මේ නැතිවන ආදායම් කොහෙන්ද ගන්නේ? CIFC හදන්නේ මේ ඉදිකරන සමාගම පොහොසත් කරන්නද? නැත්නම් වෙන කවුරුහරි පිරිසකට කීයක්හරි හොයාගන්න අවස්ථාව සලසන්නද ? මේකත් අර සීනි කෑම වගේද කියන ප්‍රශ්නය තියනවා.

    මේ ආණ්ඩුවේ දේශප්‍රේමය කියන්නේ ඒකද ? 

    මේ මූල්‍ය නගරයේ රැකියාවක් කිරීමේ අවස්ථාව ලාංකිකයන්ට හිමිවෙන්නේ කොහොමද ? අන්න එතැනත් ආණ්ඩුවේ දේශප්‍රේමය හොඳට දෝරේ ගලනවා. හැට නව ලක්ෂයේ ජනතාවට මම ආරාධනා කරනවා, මිත්‍රවරුනි, හොඳට අහගන්න.

    කොළඹ මූල්‍ය නගරය ආශ්‍රිත මේ ව්‍යාපෘතියේ නිපුණතා නොමැති විදේශිකයන්ට රැකියා කිරීමේ අවස්ථාව දීලා තිබෙනවා. නිපුණතා නොමැති unskilled workers , ඒ වැඩේට මොකටද විදේශිකයන්ට අවස්ථාව දෙන්නේ. ඇයි අපේ රටේ රැකියා විරහිත නිපුණතා නොමැති ජනතාව ඒ සඳහා යොදවන්න බැරි ? ඔබලා හොඳට අහගන්න, නිපුණතා නොමැති රැකියා 1000ක් තිබුණොත්, හත්සිය පනහයි ලංකාවට හිමිවෙන්නේ. දෙසිය පනහක්ම විදේශිකයන්ට. හතරෙන් එකක් විදේශිකයන්ට අවස්ථාව දීලා. 

    ඔන්න දේශප්‍රේමය. ඒ විතරක් නෙවෙයි, skilled workers , නිපුණතා සහිත විදේශිකයන් 35% කට මේ තුළ අවස්ථාව දීලා. රැකියා 1000ක් තිබුණොත් රැකියා 350ක් විදේශිකයන්ට. ලංකාවේ අපේ අහිංසක ජනතාවට අවස්ථාව ලැබෙන්නේ 65%යි. ඒ වගේම තමයි අපි කියන්නේ සුදු කරපටි රැකියා සඳහාත් 25%කට විදේශිකයන්ට අවස්ථාව ලබාදීලා. කිසිම බද්දක් මොවුන්ගෙන් අයකරන්නෙත් නෑ. 

    කොහොමද ආණ්ඩුවේ දේශප්‍රේමය. ඒ විදේශිකයන් ඔවුන්ගේ රටවල හිටියා නම් උපයන විට බදු ගෙවන්න ඕන. නමුත් මූල්‍ය නගරයට එන විදේශිකයන් හරි වාසනාවන්තයි, ඔවුන් බදු ගෙවන්න අවශ්‍ය නෑ..

    දැන් තේරෙනවද අපි කොච්චර අවාසනාවන්තද කියලා. 69 ලක්ෂයේ ජනතාව හිතලා බලන්න. මේ වෙනකොට ගෝලීය වසංගතය නිසා විදෙස් රටවල සේවය කල නිපුණතා සහිත හෝ රහිත ශ්‍රී ලාංකිකයන්  ලක්ෂ ගණනින් රැකියා අහිමි වෙලා තියනව. ඉස්සර කියන්න තිබුණා, නිපුණතා සහිත සේවකයන් අපිට අඩුයි කියලා. නමුත් දැන් කොරෝනා නිසා තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. රටේ ලක්ෂ ගණනක් ජනතාව රැකියා නැතුව, ආදායම් මාර්ග අහිමිව හෙට දවස ගෙවාගන්න බැරුව ජීවත් වෙනකොට මෙන්න දේශප්‍රේමය විකුණගෙන බලය ගත්ත ආණ්ඩුව විදේශිකයන්ට බුරුතු පිටින් රැකියා දෙන්න අරගෙන. මැද පෙරදිග රටවිරුවන් අද කන්න නැතුව සෞඛ් ආධාර නැතිව ඔවුන් ඉතා අවදානම් තත්ත්වයකයි සිටින්නේ.

    එකත් දෙන්නේ අර මම මුලින් සඳහන් කළා වගේ ලංකා ආණ්ඩුවට කිසිම ආදායමක් නොඑන්න ගිවිසුම් ගතවෙලා. ඔබලාට මතකද මහින්ද පාලන සමයේ චීන ජනාධිපතිත් ඇවිත් ආරම්භ කල port city ගිවිසුම තුළ චීන සමාගමට සින්නක්කරව ඉඩම් පිරිනමලා තිබුනේ. අපි තමයි, සින්නක්කර ගිවිසුම් වෙනස් කරලා බදු පදනමට ගිහින් ඒ ඉඩමත් බේරාගත්තේ.

    නමුත් කියන්න කණගාටුයි, එදා අපේ පාලන සමයේ අපි විකුණනවා කියලා බොරු කන්දක් කියපු ආණ්ඩුව, දැන් බලය අරගෙන රැකියා ටිකත් විදේශිකයන්ට දීල. හරි පැහැදිලිව කියන්න ඕන අපේ රටේ ජනතාවට රැකියා ප්‍රශ්නයක් නැත්නම් විදේශිකයන්ට රැකියා දීමේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අපේ ජනතාව අන්ත අසරණ වූ අවස්ථාවක්. 

    අන්න කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයින්‍යාය. අපේ රටේ මිනිස්සු හරි පව් නේද ? දැන් 69 ලක්ෂයට ආණ්ඩුවෙන් අහන්න ප්‍රශ්නයක් තියනවා. මේකද ඔබලා කිව්ව දේශප්‍රේමය ? කියලා.

    ඒ වගේම තමයි, අපි අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණක් තියනවා. එයත් අයත් වන්නේ මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතට. ඒ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ 2020 නොවැම්බර් 16. ඒ හරහා CICT නැත්නම් Colombo International Container Terminals

    වෙත දෙනවා අදහාගත නොහැකි සියයට සියයක රේගු  බදු සහනයක්. 

    ඉතාම සැකසහිතයි මේ බදු සහනය. මම කියවන්නම්, ඒ සඳහා ගැසට් පත්‍රයේ සඳහන් වගන්ති. 

    1) මෙහි සඳහන් දින සිට අවුරුදු 2ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළදී නිෂේධන ලේඛනයේ සඳහන් අයිතම හැර ව්‍යාපෘති සමාගමේ ධාරිතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලු උපකරණ අමතර කොටස් උපාංග තීරුබදු ගෙවීමෙන් නිදහස්..

    2) ව්‍යාපෘතිය පුළුල් කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සහ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය වන බැංකු ඇපකර පදනමක් යටතේ මෙහි සඳහන් දිනට පෙරාතුව දැනටමත් ආනයනය කර ඇති අයිතම රේගු බදු ගෙවීමෙන් නිදහස් වන්නේය.

    මේක පුදුම ආණ්ඩුවක්. ගැසට් පත්‍රය නිකුත් කල දිනට පමණක් නෙවෙයි, ඊට පෙර කවදා ආනයනය කරලා තිබුණත් රේගු බදු වලින් නිදහස් කරලා. ඒ ප්‍රශ්නය එතැනින් ඉවර නෑ.

    ගැසට් පත්‍රය නිකුත් කරන  ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත එන්නේ 2008 දී. CICT – Colombo International Container Terminals මේ රටේ මෙහෙයුම් කටයුතු සඳහා එකතු වෙන්නේ 2013 වසරේදී. අලුත් සමාගමක් නම් බදු සහනයක් ලබාදීම පිළිගන්න පුළුවන්. 

    නමුත් 2013 දී ආව ,  මේ වන විට ලාභ ලබමින් මෙහෙයුම් කටයුතු සිදුකරන සමාගමකට මේ 100%ක රේගු බදු සහනයක් දෙන්නේ මොන පදනමින්ද  ? දැන් ඊට පෙර මෙහෙයුම් ඇරඹු south asia gateway terminals වගේ සමාගම් වලටත් මේ සහනය දෙනවද ? 

     

    මේ නැතිවන රාජ්‍ය ආදායම නැවත ලබන්නේ කොහොමද ? මේ ප්‍රශ්න වලට ආණ්ඩුව ජනතාවට  උත්තර දෙන්න ඕන. මේ බදු සහන ඉතාම සැකසහිතයි. system change කිව්වේ මේකටද? මේ වැරදි ක්‍රමවේද  නිසා වන්දි ගෙවන්න වෙන්නේ  අපේ අහිංසක ජනතාවට වගේම අනාගත පරම්පරාවට

  • දකුණු අප්‍රිකාවේදී මට ගේමක් නෑ – ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්

    දකුණු අප්‍රිකාවේදී මට ගේමක් නෑ – ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්

    කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දින 4 කින් දකුණු අප්‍රිකානු පිල සමඟ පළමු ටෙස්ට් තරගයට සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන මාස 10 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි.

    අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඉකුත් ජනවාරි මස පැවැති තරගාවලියේදීය. තරග 2 කින් සමන්විත එම තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවර සමත් විය.

    ලොව වේගවත්ම තණතීරු සහිත රටක් ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකාවේ තරග වැදීම සෑම කණ්ඩායමකට අභියෝගයක් නමුත් අවසන් වරට දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රාහී මානසිකත්වයත් සමඟ ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ වද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට සහභාගිවී සිටින ටෙස්ට් තරග 9 න් එක් ජයග්‍රහණයක් පමණක් වාර්තා කර සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ලද පරාජයන් 2 ද සමඟිනි.

    හිටපු නායක ෆෆ් ඩුප්ලෙසිස් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ කණ්ඩායමට නිත්‍ය නායකයකු නොමැති වීම, කොවිඩ් ආසාධනය වීම හරහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අපහසුව මෙන්ම සිය ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා සේවය කණ්ඩායමට අහිමිව තිබීම,  දකුණු අප්‍රිකානු පිල තුළ කිසියම් ව්‍යාකූලත්වයක් ඇති කරවීමට හේතු ලෙසින් සැලකිය හැක.

    මේ සියළු කාරණා සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වන මිකී ආතර් මහතා දැනුවත්ව සිටියද, ප්‍රතිවාදීන් කිසිසේත් අඩු තක්සේරුවෙන් සැලකීමට ඔහුගේ සූදානමක් නැත. අන්තර්ජාලය හරහා සිදුකරන ලද අදහස් දැක්වීමකදී මිකී ආතර් මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේය.

    “දකුණු අප්‍රිකාව ඉතා හොඳ කණ්ඩායමක්. ඔවුන් ඉතා හොඳින් මෙහෙයවනු ඇත. ඔවුන් ඉතා හොඳින් පුහුණුවීම් කරනවා. ඔවුන් ඉතා හොඳින් සූදානම් වෙනවා” යි මිකී ආතර් පවසයි.

    දකුණු අප්‍රිකානු ජාතිකයකු වන මිකී ආතර් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ හෙයින්, ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව තරගයකට යෑමේදී ඔවුන් භාවිතා කරනු උපක්‍රම සම්බන්ධව ඔහු තුළ තිබීම ශ්‍රී ලංකාවට හිමි අතිරේක වාසියක් ලෙස සඳහන් කළ හැක. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී වෙනනම ‘උගුලක්’ ඇටවීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවනු ඇත.

    “ඔවුන් කියන්නේ කිසි විටෙකත් අපිව අත් නොහරින බවයි. නමුත් මමත් මෙහි තණතීරුවල තත්ත්වයන් ගැන හොඳින් දන්නවා. මෙය සාමාන්‍යයෙන් මන්දගාමීව ආරම්භ වන අතර තෙවැනි සහ සිව්වැනි ඉනිම වලදී පන්දුව වේගවත් සහ ඉපිලීමකින් යුක්ත වෙනවා. තණතීරුවේ මතු පිට දෙස බැලීමේදී කාසියේ වාසිය දිනා ගන්නේ නම් පන්දුවට පහර දීම සම්බන්ධව නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව තියෙනවා”යි තමන් සතු දැනුම සම්බන්ධව ආතර් සත්කාරකයින් අනතුරු හැඟවීය.

    සිය අදහස් දැක්වීමේදී තම කණ්ඩායමද ප්‍රතිවාදීන්ට එරෙහි සටනට සූදානමින් සිටින බව සඳහන් කර සිටි ප්‍රධාන පුහුණුකරු පැයට කිලෝ මිටර් 140 කට වඩා වේගයෙන් පන්දු යැවිය හැකි තුරුම්පු තමන් සතුව වන බව සඳහන් කරමින් ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීරව ඉස්මතු කර පෙන්වීය. කාලයක් තිස්සේම ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කරනු ලබන සුරංග ලක්මාල් අත්දැකීම් සහ දක්ෂතාවලින් සමන්විත ප්‍රධානම පන්දු යවන්නා බවද හේ සඳහන් කර සිටියේය. සමස්ථ සංචිතය වේග පන්දු යවන්නන් 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර විශ්ව ප්‍රනාන්දුද විකල්පයන් සොයා යෑමේදී හොඳ උදාහරණ බවද ආතර් සිය අදහස් දැක්වීමේදී පවසා සිටියේය.

    “අවසන් වර ශ්‍රී ලංකාව තරග වැදි තණතීරුවලට වඩා මේ වතාවේ ලැබිලා තියෙන තණතීරු තනිකර වෙනස්. නමුත් මම අද අද උදේ මම සෙන්චූරියන් තණතීරුව දැක්ක හැටියට නම් ඒක ගොඩක් හොඳ තණතීරුවක් වෙයි කියලා අපේක්ෂා කරන්න පුලුවන්” යි පවසන ආතර්, “සෑම අංශයක්ම ආවරණය වෙලා තියෙන්නේ. අපි කණ්ඩායමේ ක්‍රීඩකයින් 21 දෙනෙක් ඉන්නවා. ඒ අතර අපි ගාව හොඳ වේග පන්දු යවන්නන්, ඒ වගේම දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඒ වගේම මට විශ්වාසයක් තියෙනවා අපේ උඩ පිතිකරුවන් 6 දෙනා මේ තත්ත්වයන් හොඳින් හසුරුව ගනියි කියලා”යි වැඩිදුරටත් පැවැසීය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මිකී ආතර් පත්වීමෙන් පසු ක්‍රීඩකයකු අසාර්ථක වුණු පළියට තරගාවලියෙන් තරගාවලියට ක්‍රීඩකයින් මාරු කිරීමේ ක්‍රමවේදය නතර කරන ලදී. දීර්ඝ කාලයක් කණ්ඩායම තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා දෙමින් කණ්ඩායම තුළ විශ්වාසයක් ගොඩ නඟා ගැනීම සඳහා ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීමට මිකී ආතර් කටයුතු කළේය. මේ හරහා ක්‍රීඩකයින් කණ්ඩායම පරිණතත්වයකට පැමිණීමට අවකාශ උදාවී තිබේ.

     “හැම තරගාවලියක්ම අපිට හරි වැදගත්. අපි කණ්ඩායමක් විදියට කිසියම් දැක්මක නියැළිලා ඉන්නේ. ඒක නිසා අපිට ඕනේ අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා තව තවත් දියුණු කරගන්න ගමන් කණ්ඩායමක් විදියට ස්ථාවර වෙන්න. ඔබ ක්‍රීඩා පිටියේ තරග කීපයක් ජය ගැනීමට අවස්ථාව ලැබුණොත් විශ්වාස කියන එක මොන දේටත් වඩා බලවත් කියන එක මම දන්නවා. අපිට ඒ විශ්වාසයත් එක්ක ඊළඟට තියෙන එංගලන්ත තරගාවලියට යන්න පුලුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක් වෙයි. ඒ නිසා මේ තරගාවලිය අපිට හරිම වැදගත්. අවසන් වතාවේදී අපි ඔවුන්ව ඔවුන්ගේ රටේම පරාජය කළා” යි තම කණ්ඩායම සතු විශ්වාසය පිළිබඳව ආතර් අදහස් දැක්වීය.

    “අපි අපේ පුහුණුවීම් ආරම්භ කළා. විශේෂයෙන්ම පුහුණු දැල් වල භාවිතයෙන්. කණ්ඩායමකට ක්‍රීඩකයින් 7 දෙනෙක් විදියට බෙදිලා තමයි අපේ පුහුණුවීම් සිදුකළේ. ඒ කණ්ඩායම් සමාන විදියට බෙදලා කළේ. අපි ගොඩක් උත්සාහ කරනවා මෙහි තත්ත්වයන් වලට ඉක්මනින් අනුගත වෙන්න. ඒ සඳහා අපි ලොකු කැපවීමකින් පුහුණුවීම් වල නියැළෙනවා. එල්.පී.එල්. එකට කළින් අපි දවස් 10 ක් හොඳ පුහුණු සැසියක් ලබාගත්තා. මේ තරගාවලියට කළින් විස්සයි-20 තරගාවලියකට ක්‍රීඩා කළත් එල්.පී.එල්. වලදී වුණු හොඳම දේ තමයි කාලෙකට පස්සේ ක්‍රීඩකයින්ට තරගකාරී තරගාවලියකට ක්‍රීඩා කරන්න අවස්ථාව උදාවීම” යි ආතර් අදහස් දක්වයි.

    දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නිජ බිමේදී පරාජයට පත් කළ පළමු ආසියානු රට බවට පත් වුණු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහඟු කාර්යයක් ඉටු කළ ඕෂධ ප්‍රනාන්දුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන බව පවසන ආතර්, “ඕෂධ විතරක් නොවෙයි. අපිට ඇන්ජලෝ (මැතිව්ස්) අහිමි වෙලා තියෙනවා. එහෙම වුණාට කණ්ඩායමේ ඉදිරි 6 දෙනා ගැන මට අදහසක් තියෙනවා. නමුත් ආක්‍රමණකාරී උපායකට යනවා නම් ඒ සදහා අපිට සම්පත් තියෙනවා. විශේෂයෙන් අපිට අපේ සංයුතිය වෙනස් කරන්න පුලුවන්. එතැනදි පන්දු යවන්නන් 5 දෙනෙක් සමඟ කඩුලු රකින්නා එක්ක පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩා කරවන්නත් පුලුවන්. තවත් විදියක් තමයි වේග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකු සමඟින් දඟ පන්දු යවන්නකුද කැටුව සංයුතිය සැකසීම. කොහොම වුණත් අපිට දව දින කීපයක් තියෙනවා සංයුතිය කොහොමද කියන එක ගැන බලන්න” යැයි ආතර් පවසයි.

    මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල යෑමට තීරණය කිරීමේදී ඒ සඳහා බලපෑ කාරණා අතර ප්‍රධානම තැනක් ගනු ලැබුවේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳවය. මේ සඳහා වැඩි අවධානයක් යොමු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මිය සහ පුහුණුකරු මිකී ආතර්ව කළින්ම පිටත් කර හැරීමට පියවර ගනු ලැබීය.

    “ඇත්තම කියනවා නම් මෙහෙ ජෛව පරිසරය ඉතාම හොඳයි. මාත් වෛද්‍යවරියත් ඒ ගැන බලන්න කළින්ම ආවා. ඇත්තටම ඔවුන් දීලා තියෙන ක්‍රමවේදය ඉතා හොඳයි. කොහොම වුණත් මේ වසංගත තත්ත්වයත් එක්ක ඉදිරියට යනවා නම් මේ තමා ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සාමාන්‍ය තත්ත්වය. ඔවුන් අවශ්‍ය ආරක්ෂාව ලබා දීලා අපිව හොඳින් බලා ගන්නවා. දවස් 3 කට වතාවක් පරීක්ෂණවලට ලක් කරනවා”යි දකුණු අප්‍රිකාවේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත භාවයන් පිළිබඳව ආතර් සඳහන් කර සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • Supiri Political Week: මහින්දානන්ද සහ බන්දුල අවිලෙයි !

    Supiri Political Week: මහින්දානන්ද සහ බන්දුල අවිලෙයි !

    සටහන – ගජබා නාගහවත්ත

    මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ද වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ඒ පහුගිය සඳුදාය. සවස 5.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමට කලින්ම බොහෝ ඇමතිවරු තම තමන්ගේ ආසන වලට පැමිණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ වී සිටියේ ජනාධිපති ගෝඨාභය පැමිණෙන තුරුය. ඒ අතරතුර අලි කථාවක් ඇදී ආවේය‍.

    “මේ දවස් වල සෝෂල් මීඩියා වල යනවා අලි වැඩියෙන්ම මැරෙන රට ශ්‍රී ලංකාව කියලා වනජීවී ඇමතිතුමා දැක්කද? ” රමේෂ් ඇසුවේය.

    ‘’ ඔව් ඔව් මම දැක්කා. අලි ගැනනම් ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා’’ සී.බී. උත්තර දුන්නේය. මේ කථාබහට මැදිහත් වූ ඇමති වාසුට තිබුණේ වෙනම ප්‍රශ්නයකි.

    ‘’ මේ තරම් කුඩා භූමි ප්‍රදේශයක මේ තරම් අලි ඉන්න වෙනත් රටක් තිබෙනවද ?‘‘ ඔහු ඇසුවේය‘.

    ‘’නෑ… ’’ සී.බී. උත්තර දුන්නේය.

    ‘’ හැබැයි අලි ගහනය වැඩිවෙලා තියෙනවා පහුගිය කාලේ. වන අලීන්ට වගේම හීලෑ අලි ඇතුන්ටත් තහංචි දාලනේ. ’’ සී.බී. පැහැදිලි කලේය.

    ‘’ ලංකාවේ අලි කොච්චර විතර ඉන්නවාද? ’’ ප්‍රශ්නය ඇමති රමේෂ්ගෙනි.

    ‘’ දැනට සංඛ්‍යාවක් හරියට නෑ. 2011 දී සමීක්ෂණයට අනුව නම් 7200ක් විතර ඉන්නවා කියලයි කියන්නේ’’ සී.බී. පැහැදිලි කලේය.

    මේ අතර බඩු මිල ගැනට කථාබහක් ඇඳී ගියේය.

    වෙළඳ ඇමතිතුමා හිටියට වැඩක් නෑ. බඩු මිල හොඳටම වැඩියි  – මහින්දානන්ද

    ‘’ වෙළඳ ඇමතිතුමා හිටියට වැඩක් නෑ. බඩු මිල හොඳටම වැඩියි  ’’මහින්දානන්ද බන්දුල අවුස්සන්නට කීවේය.

    ‘’කෘෂිකර්මත් එක්ක බෑ. ’’බන්දුල ද අතඇරියේ නැත.

    ‘’වාණිජ දෙපාර්තුමේන්තුව ගැසට් කරාට පස්සේ බලන්නකො බන්දුල ඇමතිතුමාගේ මූණේ තියෙන සිරියාව. ’’ විමල් විහිළු කලේය.

    ‘’ඔබතුමා යටතේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන වලින් කොළඹ ටිකවත් මට දුන්නොත් මම ඒ ගැන බලාගන්නම්. ’’ බන්දුල කීවේය.

    ‘’අනේ ඇමතිතුමා කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන හැර අනිත් ඕන දෙයක් දෙනවා’’ විමල් කීවේ මහින්දානන්දටය.

    ‘’ආර්ථික මධ්‍යස්ථාන හදලා ඒවා ෂොපින් කොම්ප්ලෙක්ස් වගේ ’’ මහින්දානන්ද කීවේය.

    ‘’ ඒවා මම හදපුවා නෙමේ. ’’ බන්දුල වහා උත්තර දුන්නේය.

    මේ කථා බහ අතරතුර අගමැති මහින්ද ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුයේය. අගමැති මහින්ද දුටු ගමන් බන්දුලට මතක් වූයේ තමන් ලියූ ගීතයකි.

    ‘’මම අගමැතිතුමාට සිංදුවක් ලියලා දුන්නා දැයේ විරුවා ඔබයි කියලා ’’ බන්දුල කීවේය.

    ‘’කෝ එක යන්නේ නෑනේ රේඩියෝ එකේ…අහන්න… ’’ අගමැති මහින්ද කීවේය.

    ‘’ලියනවා විතරයි සර්… ඒවා යන්නේ නෑ’’ සී.බී.කීවේය.

    ‘’ඔය සිංදුව හදලා දුන්නෙත් අර වාණිජ දෙපාර්තුමේන්තුව ගැසට් කරගන්න.  අගමැතිතුමා තව සිංදුවක් හදලා දෙන්න කියන්න ආර්ථික මධ්‍යස්ථාන ටික ගන්න. ’’ විමල් හැමෝම හිනස්සවමින් කීවේය.

    කැබිනට් මණ්ඩලයට ඇමති විමල් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය දියුණු කිරීම ගැනය. එහිදී ඇමති ප්‍රසන්න විමල්ට යෝජනාවක් කලේය.

    ‘’අපි එයා(ර්) පොර්ට් එකේ මැණික් හා ස්වර්ණාභාරණ ආයතනයට ඩියුටි ෆ්‍රී ෂොප් එකක් දෙන්නම් ’’ ප්‍රසන්න කිවේය.

    ‘’ලොකු දෙයක් සංචාරක ඇමතිතුමා. ඔබතුමාට වැඩි වැඩියෙන් සංචාරකයෝ ලැබෙන්න ඕනෑ. ’’ විමල් අමුතු ස්තූතියක් කලේය.

    ‘’ප්‍රසන්න ඇමතිතුමා වනජීවී එකටත් එයා(ර්) පෝර්ට් එකේ ඉඩක් දෙන්න ’’ සී.බී. ඉල්ලුවේය.

    ‘’එයා(ර්) පෝර්ට් එකේ සත්තු දාන්න බෑ. ඒක එයා(ර්) පෝර්ට් එකක් ’’විමල් සිනාසෙමින් කීවේය.

    ‘’නෑ නෑ මම ඉල්ලුවේ සත්තු බලන්න එන අයට වනජීවී ටිකට් විකුණන්න ’’ සී.බී  උත්තර දුන්නේය.

    පලාත් සභා මැතිවරණය පැවති ක්‍රමයට කඩිනමින් පැවැත්වීමට යෝජනාවක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලේ ඇමති ජනක බණ්ඩාර තෙන්නකොන්ය. මුලින්ම ඇමති බන්දුල ඊට එරෙහි වූයේය.

    ‘’ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥා දීල තියෙන වෙලාවක්. මේ වෙලාවේ පලාත් සභා වලට විරුද්ධව දැඩි විරෝධයක් රට තුල තිබෙනවා. හදිස්සියේ මෙහෙට කලොත් ඒක ලොකු ප්‍රශ්නයක් ’’ ඔහු කිවේය.

    ‘’මේ වෙලාවේ පලාත් සභා තියෙනවා. මහජනතාවගේ නියෝජිතයා නැතිව. මේක ලොකු අර්බුදයක් ’’ වාසු කිවේය.

    ‘’පහුගිය ආණ්ඩුව කලේ අපි පලාත් සභා මැතිවරණය තියන්න කියලා ලොකු විරෝධයක් මතු කලා.මම ඒ කමිටුවේ හිටියා.අපිට ජනාධිපතිතුමා පත් කරන්න ආණ්ඩුව හදන්න හුඟක් මහන්සි වුන පිරිසක් අද එලියට වෙලා ඉන්නවා.නිලධාරීන් වැඩ කරගෙන යනවා.මේ සමහර වැඩ මහජන හිතකාමී විදියට වෙන්නේ නෑ.අපි රනිල්ට බැන්නේ ජනතා පරමාධිපත්‍ය නැති කලා කියලා.ඒ නිසා පලාත් සභා ඉක්මනින් තියන්න ඕන.  ’’ ඇමති ප්‍රසන්න රණතුංග කීවේය.

    රමේෂ් ද කථා කලේ ඇමති ප්‍රසන්නගේ මතය නිවැරදි බව කියමිනි.

    ‘’13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ මේ රටේ කිසියම් ගැටලුවකට විසඳුමක් හැටියට.නිශ්චිත  විසඳුමක් දෙනකම් ඒ ආයතන බලාගන්න එක හොඳයි.ව්‍යවස්ථාව වෙනස්  කලාට පස්සේ ඒ ගැන සලකා බලනතුරු ඉක්මණින් මැතිවරණය තියන්න ඕන..මැතිවරණය මේ වතාවේ තියලා ඊළඟ වතාවේ සංශෝධන වලට යමු  ’’ රමේෂ් කීවේය.

    ‘’ඔබතුමා පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් කිව්වා මේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් කරන බව‍.මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලයේ පලාත් පාලන ඡන්ද ක්‍රමය අපි වෙනස් කලා. නමුත් හිටපු අගමැතිතුමා පලාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හිතා මතා ප්‍රමාද කලා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කමිටුවක් පත් කරලා ඒ ගැන කටයුතු කරද්දි අපි පරණ ක්‍රමයට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා..’’ ඇමති දිනේෂ් කීවේය.

    ජනතාව ජනාධිපතිතුමා ගැන කියා නැති විශ්වාසය මේ මඟින් පළුදු විය හැකි බවද ඔහු කීවේය.

    ‘’පලාත් සභා ප්‍රශ්නයයි , ඡන්ද ක්‍රමයයි මේ දෙක එකට ගත්තොත් ගැටලුවක් තියෙනවා. ඡන්ද ක්‍රමය ගැන ගැටලුව මඳක් පසෙකට තියලා අපි පලාත් සභා තියන එකෙන් කිසියම් ගැටලුවක් වෙයිද කියන එක මට ගැටලුවක් ’’ වාසු කීවේය.

    ‘’වාසු ඇමතිතුමා මේ පත්‍රිකාව තියෙන්නේ ඡන්ද ක්‍රමය ගැන.හිරවිල්ල තියෙන්නේ ඡන්ද ක්‍රමය ගැන.මේක හදිසි කරන්න ගියොත් අවුලක් ’’ දිනේෂ් දැඩිව කිවේය.

    ‘’පලාත් පාලන මැතිවරණ ක්‍රමයක් එක්ක පලාත් පාලන ආයතන වලට දරාගන්න බැරි බරක් ඇතිවෙලා.කරපු ක්‍රමවේදත් එක්ක මතුවුණු තත්වයක්.පලාත් සභාවට සියයට පනහ පනහ කියන ක්‍රමයට ගියොත් දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙන්නේ නෑ.ඔබතුමාලා ක්‍රමයක් හඳුන්වා වල දෙනකම් පරණ ක්‍රමයට තියෙන එක හොඳයි. 2015 පැරදුණාට පස්සේ මේක ඇඳගෙන ගියේ ඔය පලාත් සභා මන්ත්‍රීවරු.මැතිවරණ ක්‍රමය සංශෝධනය ට එකඟයි.හැබැයි එතකන් පලාත් සභා මැතිවරණය කඩිනමින් තියලා මේ සභා පත් කර ගත යුතුයි කියන එකයි මගේ අදහස.’’ ප්‍රසන්න කීවේය.

    ‘’අපි හැදුව පලාත් පාලන මැතිවරණ ක්‍රමය නෙමෙයි තිබුණේ.රනිල්ලා මේක නාඩගමක් කලා.මේක ගැන දේශපාලන තීන්දුවක් ගත යුතුයි ’’ දිනේෂ් නැවත කීවේය.

    “කොවිඩ් තත්වය යටතේ ඡන්දයක් තියෙන එක ගැන ඇත්තටම මේ වන විට සමාජය තුල හොද ප්‍රතිචාරයක් නෑ. ඒ ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි“ විමල් කීවේය.

    “ ඇමති සරත් වීරසේකර කීවේද මේ වේලාවේ පලාත් සභා මැතිවරණයකට නොයා යුතු බවයි.

    “ ඔබතුමාගේ සංකල්පය අනුව එක රටක් එක නීතියක් නම් පලාත් විෂයන් සම්බන්ධයෙන්  පලාත් 09 ට  නීති නමයක් හඳන්න පුලුවන්. පලාත් සභා අවශ්‍යද කියන එක ගැනත් අපි හිතන්න ඕනේ . කෘෂිකර්ම , අධ්‍යාපන වගේ විෂයයන් වලට පලාත් ඇමතිවරු ඉන්නවා. ඔක්කොම ඇමතිවරු 10 ක් විතර රටේම හිටියා. මොනවද වූනේ. වසර 03 ක් පලාත් සභා තිබුණේ නෑ. රට ආපස්සට ගියාද ? 13අපිට බලෙන් පටවපු එකක්. ඒ නිසා පලාත් සභා අවශ්‍ය නොවන බවයි මගේ අදහස. ’’  සරත් වීරසේකර කීවේය.

    “ මේක පක් නායක මට්ටමින් තිරණය කල යුතු දෙයක්. ඒ නිසා මේක පක්ෂ නායක රැස්විමට දාලා මන්ත්‍රි කණ්ඩායමේ අනුමැතිය අරගෙන ඉදිරි පියවර ගන්න එක හොදයි’’ ඇමති නාමල් කීවේ ය.

    ජනාධිපති ගෝඨාභය ද දැරුවේ ඊට සමාන මතයකි. ඔහු කීවේද මෙය පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුල සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවයි.

    මේ අතර පසුගිය සදුදා ඇමති නාමල් රාඡපක්ෂ සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ අමාත්‍යාංශයට ආවේය. ඒ ක්‍රිඩාව පදනම් කරගනිමින් 2021 දි සංචාරක ව්‍යාපාරයට හයියක් වීමට ගැන කථා කරන්නටය.

    “ දැන් කොහොමද එයා(ර්) පෝර්ට් විවෘත කරන එක’’ නාමල් ප්‍රසන්නගෙන් ඇසුවේය.

    “ මම එයා(ර්) පෝර්ට් බලධාරියා වුණාට මෙතුමියනේ සෞඛ්‍ය බලධාරියා. තාම අපිට ගයිඩ් ලයින් ටික දුන්නේ නෑ. ‘’ ප්‍රසන්න පවිත්‍රා පෙන්නවමින් කිවේය.

    “ඒවා වෙලාවට කෙරෙයි ‘’. පවිත්‍රා සිනා සෙමින් කිවාය.

    “ මට වෙලා තියෙන්නේ මාර වැඩේ. එයා(ර්) පෝර්ට් තියෙනවා එක ෆලයිට් එකක් එන්නේ නෑ . සංචාරක තියෙනවා. එක සංචාරකයෙක් එන්නේ නෑ. හැබැයි මම ඇමති ’’ ප්‍රසන්න කීවේද විහිලුවටය.

    “ කොවිඩ්  ගියදා හැම ෆීල්ඩ් එකක්ම වැටුනා . මම හිතන්නේ සංචාරක වලට පස්සේ ලොකුම පීඩාව වුණේ අපිට. තරුණ හා ක්‍රිඩා අංශයට ” නාමල් කීවේය.

    “ඔබතුමා ක්‍රිඩාව හරහා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් යෝජනා කල එක හොදයි. මේකට අපි අපේ අමාත්‍යංශ තුනම සම්බන්ධ වෙන ඒකාබද්ධ කමිටුවක් දාලා කරගෙන යමු. ” ප්‍රසන්න කිවේය.

    “ ඔව් ඔව් මමත් මේ වැඩේට ෆුල් සපොර්ට් ” පවිත්‍රා කිවාය.

    “එහෙනම් ගොඩ.බය වෙන්න දෙයක් නෑ.”ප්‍රසන්න සිනා සෙමින් කීවේය.

    ගජබා නාගහවත්ත

  • මැතිවරණ පිරිවැය ආපදාව

    මැතිවරණ පිරිවැය ආපදාව

    බලවතුන් සහ බලගතු තීරකයින් විසින් සිදුකරණ ආපදා බොහෝ අය නම් කරන්නේ මානවයින් විසින් නිර්මාණය කරන ලද ආපදා වශයෙනි. මා මේ ලිවීමට යන්නේ අපේ රට සහ අපේ වැනි තවත් රටවල් මුහුණ දෙන එවැනි මානව ආපදාවක් ගැන ය. එනම් මැතිවරණ පිරිවැය ආපදාව ගැනය.

    මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් නිසා ය. එක කරුණක් වන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බව ආරංචි වීමය. අනික් කරුණ වන්නේ අපේ රටේ මැතිවරණ සඳහා දරන වියදම ය. එනම් රාජ්‍යය වියදම් සහ අනෙකුත් පාර්ශව  මැතිවරණයක දී කරන වියදම් අවසාන වශයෙන් රටේ බරපතල වැය ශීර්ෂයක් වී ජාතික ආර්ථිකයට පාඩුවක් වී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වැනසී විකාරයක් වී සහ ජන ජීවිතයට පීඩා ඇති කිරීමේ පැහැදිලි හේතුවක් වන බව කාලාන්තරයක් තිස්සේ අත් විඳිමින් සිටීම ඒ දෙවැනි කරුණය.

    සෑම ආයතනයකට ම එකවර නියෝජිතයින් තෝරා ගැනීම සඳහා වන මැතිවරණ ක්‍රමයක් සම්පාදනය කර නොගැනීමේ ප්‍රතිපලයක් වී ඇත්තේ දරාගත නොහැකි සහ රටේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා වැය කළ හැකි මුල්‍ය සහ අනෙකුත් සම්පත් විශාල ප්‍රමාණයක් ඍණ ප්‍රතිපලයක් ලැබෙන කාර්යයක් සඳහා වියදම් කිරීම ය. ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් තිබීම සහ තිබිය යුතු වීම ඇත්තක් වුවත් ඒ මිල ආයෝජනයක් වී සමාජයට ලාභ හෝ ප්‍රතිලාභ ලැබෙන්නක් විය යුතු ය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු පිරිවැයක් නැතහොත් වියදමක් පමණක් වන රටක අඩුම තරමින් පිරිවැය අවම කර ගැනීමේ සරළ ආර්ථික විද්‍යා සිද්ධාන්තයවත් භාවිතයට ගත යුතු ය.

    ධනෝපායන මාර්ග ගැන නොහිතන, තිබෙන අවම ධනය අර පිරිමැස්මෙන් වියපැහැදම් කිරීමේ පිළිවෙළ ගැනවත් නොහිතන අපේ රටේ තීරකයින්ගේ අසූනව අවුරුදු පාලන ක්‍රියාවලිය, මේ මැතිවරණ පිරිවැය ගැන තීරණාත්මකව නොසිතුවද පොදු ජන අප ඒ ගැන අවධානය යොමු කළ යුතුම ය.

    මැතිවරණ පිරිවැය මූලික වශයෙන්

    මැතිවරණ පිරිවැය මූලික වශයෙන් කොටස් පහකට බෙදා දැක්වීමට මා කැමතිය. එනම්,

    1. මැතිවරණ සඳහා දරන රාජ්‍ය පිරිවැය,
    2. දේශපාලන පක්ෂ පිරිවැය,
    3. අපේක්ෂකයින් දරන පුද්ගලික අපේක්ෂක පිරිවැය,
    4. මැතිවරණ අනුග්‍රාහකයින් දරන අනුග්‍රාහක පිරිවැය,
    5. පොදු ජනයා කාලය-ශ්‍රමය-මුල්‍ය වශයෙන් දරන පොදුජන පිරිවැය වශයෙනි.

    මේ පිරිවැය අතරින් ජනයා දරන පිරිවැය ද ඉතිරි පිරිවැය හතරේ ම බර සහ වන්දිය ද ගෙවීමට සිදුවන්නේ  මහජනයාට ම ය. එබැවින් මැතිවරණයකින් පසු නොව ඊට පෙර කල්තියාම මේ මැතිවරණ පිරිවැය පිලිබඳ පුළුල් ගැඹුරු සාකච්ඡාවක් සහ ඒ පිරිවැය හැකි උපරිමයෙන් අවම කිරීමේ වැඩපිළිවෙලක් සකසා ගැනීම අත්‍යවශ්‍යය ය.

    මැතිවරණ පැවැත්වීම ගැන පමණක් නොව ඒවායේ පිරිවැය අඩුකරගැනීමේ උපායමාර්ග සහ තාක්ෂණික විධික්‍රම සඳහා වූ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය වන්නේ මේ පිරිවැය ආපදාව රටක ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියෙහි සියලු මුල් උගුල්ලා දැමීමට සහ ණය වාරික නොව පොලිය වත් ගෙවා ගැනීමට නොහැකි අප වැනි රටක බරපතළ ආර්ථික ගැටළුවලට හේතුවන නිසා ය.

    මැතිවරණ සඳහා වැය වන රාජ්‍ය වියදම් කෙරෙහි අවධානය යොමු කරමු. 2012, 2013 2014 වසරවල පැවති පළාත් සභා නවයේ ඡන්ද විමසීම් සඳහා වූ රාජ්‍ය මුල්‍ය වැය පමණක් ගත් විට එය මිලියන 2835 කි. 2018 ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද විමසීම (පළාත්පාලන ඡන්ද විමසීම) සඳහා වැය වූ මුදල් ප්‍රමාණය මිලියන 3600 කි. ආසන්නතම උදාහරණ දෙකක් ගතහොත් 2019 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසමට වැය වූ ප්‍රමාණය මුදලින් පමණක් මිලියන 4500 කි. එනම් කෝටි 450 කි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගිය වියදම මිලියන 6500 කි. එනම් කෝටි 650 කි. ඒ අනුව 2012 සිට අවුරුදු අටක් තුළ පැවති මැතිවරණ සඳහා ගිය මුල්‍ය වියදම මිලියන 17,435 කි.  එනම් රුපියල් කෝටි එක්දහස් හත්සිය හතලිස් තුනහමාරකි.

    මේ දැක්වූයේ මැතිවරණ සඳහා ඍජුව වැය වූ රාජ්‍ය මුදල් ප්‍රමාණය ය. බලයේ සිටින ආණ්ඩුවල පාලකයින්, ඔවුන්ට සහය දක්වන නිලධාරීන්, පාලකයින් විසින් පත්කරන ලද අමාත්‍යංශ, සංස්ථා, මණ්ඩල සහ අධිකාරිවල ප්‍රධානින්, විසින් මැතිවරණ වලදී වියදම් කරන රාජ්‍ය දේපොළ සහ මුදල් ප්‍රමාණය මේ වියදමට එකතු කළ විට ඉහත ගණන තෙගුණයකින් වැඩි ය.    

    අප වැනි රටවල මැතිවරණ වනාහි

    සත්‍ය වශයෙන්ම අප වැනි රටවල මැතිවරණ වනාහි ආර්ථික අවපාත සහ ඒ නිසාම ඇතිවන ආර්ථික සහ වෙළඳපොළ පීඩනය, පොදු සම්පත් අවභාවිතාව, දුෂණය, වංචාව, සහ අක්‍රමිකතා, පක්ෂග්‍රාහීතා, සහ ඥාති-මිතුරු සැලකිලි වැඩිකරන අව ක්‍රියාවලියකි. රටේ පැවැත්වෙන මැතිවරණ සඳහා පුද්ගලික අපේක්ෂක පිරිවැය ගැන විමසිලිමත් වීමෙන් පමණක් වුවත් එය පසක් කරගත හැකිය.

    මෙරට මැතිවරණ දේශපාලනය දුෂිත වී ඇත්තේ හොර ඡන්ද දැමීමෙන් නොවේ. මැතිවරණ සඳහා වියදම් කිරීමේ දුෂ්ට චක්‍රය නිසා ය. අපේක්ෂකයින් ට මැතිවරණ වල දී අති විශාල වියදමක් දැරීමට වුයේ සමානුපාතික ක්‍රමයට අමුණා ඇති මනාප ක්‍රමය නිසා ය. විශාල මුදලක් නොමැති අයෙකුට ජය ගැනීම තබා අපේක්ෂක ලැයිස්තුවට නම දමා ගැනීම පවා අතිශයින් ම අසීරු ය.

    ඒ නිසාම මැතිවරණ දේශපාලනය තුළ අපේක්ෂකයෙකු වීමට නම් ඒ බොහෝ අය තම මුල්‍ය ශක්තිය පෙන්නුම් කළ යුතු ය. එබැවින් එසේ පෙන්වීම සහ වියදම් කිරීම  සඳහා මුදල් සෙවිය යුතු ය. ඒ සෙවීමේ ක්‍රියාවලිය අතිශයින් ම දුෂිතය, හෝ දුෂිත වීමට ඉඩ ඇති එකකි. යම් හෙයකින් තේරී පත් වුවහොත් මැතිවරණයට ගිය වියදම් පියවා ගැනීමට මුදල් සෙවිය යුතු ය. ඒ ක්‍රියාවලිය ද දුෂිත හෝ දුෂිත වීමට ඉඩ ඇති එකකි.

    ඊ ළඟ පියවර වන්නේ ඉදිරි මැතිවරණ සඳහා මුල්‍ය සංචිත තරකර ගැනීමේ ක්‍රියාවලිය ය. එනම් ඒ සඳහා කෙසේ හෝ මුදල් ඉපයිය යුතු ය. ඒ සඳහා වූ ක්‍රියාවලිය අතිශයින් ම දුෂිතය. මුදල් පමණක් නොව ඡන්ද දායකයින් ට මැතිවරණ සමයේ බෙදිය හැකි භාණ්ඩ සහ උපකරණ ද රැස්කර තබා ගත යුතු ය. ඒ සඳහා රාජ්‍යය ට අයිති ගොඩනැගිළි පවා අවභාවිත කරන අය සිටී යන්න ජනයාගේ අදහසක් ය. මේවාට අමතරව විවිධ අයගේ මුල්‍ය සහ සම්පත් අනුග්‍රහ ද ලබා ගැනීමට සිදු වේ. ජයගත් පසු ඒ අයට විශේෂ ලාභ වරප්‍රසාද ලබා දිය යුතු ය. ඒවා දීමට සිදුවන්නේ මහජන වුවමනා නිර්දය ලෙස නොසලකා හරිමින් සහ පොදු සම්පත් කලාප දුෂණය කිරීම මගින් ය.

    බරපතලම කරුණ වන්නේ

    බරපතලම කරුණ වන්නේ මේ ඡන්ද විමසීම් සහ මැතිවරණ සඳහා පුද්ගලිකව අපේක්ෂයන් වියදම් කරන මුදල් ප්‍රමාණය රාජ්‍ය වියදම්වලටත් වඩා වැඩි වීමය. මාධ්‍ය වාර්තා කරන ආකාරයට පසුගිය 2018 ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද විමසීමේ දී දුෂ්කර දිස්ත්‍රික්කයක එක් අපේක්ෂයෙකු වසම් දෙක තුනකින් යුත් තම ඡන්ද කොට්ඨාශය සඳහා කෝටි හතරක එනම් මිලියන හතලිහක මුදලක් වැය කොට ඇත.

    සීමිත පවුල් ගණනකින් යුත් කුඩා ඡන්ද කොට්ඨාශයක ට එවැනි මුදල් ප්‍රමාණයක් වැය කරන විට ඒ ඡන්ද විමසීම කෙසේවත් නිදහස් සහ සාධාරණ එකක් වන්නේ නැත. සිදුවන්නේ ඡනදායකයාගේ කැමැත්ත සල්ලිවලට ගැනීම මිස වෙන කිසිවක් නොවේය. අතිශයින් ම දිළිඳු ජනකායක් සිටින කොට්ඨාශයක ඒ තත්ත්වය තවත් භයානක ය. එවිට ප්‍රජාතන්ත්‍රවාදය මාරාන්තික අනතුරකය.

    එසේම ප්‍රාදේශීය ආණ්ඩුවේ ඉතාම කුඩා කොටසකට තරඟ කරන කෙනෙකු ගේ වියදම එසේ නම් පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට තරඟ කරන්නෙකුගේ වියදම කෙසේ විය හැකි ද? පළාත් සභා සඳහා තරඟ කළ ඇතැමෙකුගේ වියදම් ප්‍රමාණය කෝටි දෙසීයකට වඩා වැඩි වූ බවට කට කතාවක් පැතිර ගියේ වයඹ පළාත් ඡන්ද විමසීම් සමයක ය.

    ධනය හිමි අපේක්ෂකයින්

    කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මේ තත්ත්වය වඩාත් බැරෑරුම් වන්නේ ධනය හිමි අපේක්ෂකයින්ට ඉතා කුඩා කොටසක ජනයා මුදලින්ම මිලට ගත හැකි වීමය. එවිට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ට සිදුවන්නේ අතිශයින්ම අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී ගත නොහී නිෂ්ක්‍රීයව බලා සිටීම ට ය. ප්‍රජාතන්ත්‍රවාදයට පිරිවැයක් යන බව මා ඉහතින් මතු කළා ඔබට මතක ඇති. එහෙත් ඒ පිරිවැය වැදගත් ආයෝජනයක් මිස හුදු නාස්තියක් නොවිය යුතු ය. ආයෝජනයකින් ලැබෙන්නේ වඩාත් වැඩි ප්‍රතිලාභයකි. එනම් මැතිවරණ සඳහා දරන පිරිවැය වඩා වැඩි ගුණාංග සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලබා ගැනීම සඳහා විය යුතු ය. නැතහොත් අප වැනි දිළිඳු රටක් අනෙකුත් මූලික ජනතා අවශ්‍යතා කැප කොට අති වියදම්කාරී මැතිවරණ පැවත් වීමෙන් ලබන සමාජ ලාභයක් නොමැත.

    කෝවිඩ් වසංගතය නිසා අසරණ කමේ අඩියටම වැටී සිටින අප වැනි රටක් මැතිවරණයකට පෙර මේ රාජ්‍ය මැතිවරණ වියදම් අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකසා ගත යුතුමය. එසේම පුද්ගල අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳලන ආයුධයක් නිසා එකී වියදම් අවම කොට සීමා කිරීමේ නීති රෙගුලාසි සකස් කළ යුතුම ය. එවිට ඡන්ද මුදලාලිලා ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනු ඇත. මැතිවරණ පිරිවැය ආපදාවෙන් ජන සමාජය ගැලවෙනු ඇත.

    ධම්ම දිසානායක

  • Supiri Cabinet Gossip : වාසු – බන්දුල සහ රමේෂ් ත්‍රිකෝණ යුද්ධයක

    Supiri Cabinet Gossip : වාසු – බන්දුල සහ රමේෂ් ත්‍රිකෝණ යුද්ධයක

    සටහන – ගජබා නාගහවත්ත

    කැබිනට් මණ්ඩලය මෙවර ද රැස්වුයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය. මේ සදහා ජනාධිපති ලේකම් කාර්යාලය කලින් සිටම සුදානම් වුයේය. මෙවර කැබිනට් මණ්ඩලයට ඇමතිවරු විඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වුයේ තාක්ෂණ ගැටලු අවම වන පරිදි පූර්ව සුදානමක් ඇතිවය. කැබිනට් මණ්ඩලයේදී රටේ ජීවන වියදම ගැන අවස්ථා කිහිපයකදීම ඇමතිවරුන්ගේ අවධානය යොමු විය.

    වෙළද ඇමති බන්දුල ඇමති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුනේ ජීවන වියදම් කමිටු තීරණ ගැනය. එහිදි එළඹි තීරණ 05 ක් ඔහු ඇමතිවරුන්ගේ අවධානයට ලක් කර තිබිනි.

    අපි මෙ කියපු මිල ගණන් වෙළදපොළේ ක්‍රියාත්මක වෙන්නේ නෑ

    ‘‘අපි මෙ කියපු මිල ගණන් වෙලදපලේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හැම මාසෙකම මුල් සදුදා ජීවන වියදම් කමිටු රැස්වෙමු‘‘ බන්දුල යෝජනා කලේය.

    මේ අතර රටේ පොල් මිල වැඩි බවටද ඇමති මණ්ඩලයේ අවධානයට යොමුවිය. එය කිවේ ඇමති වාසුදේව නානායක්කාරය. ඒ කර්මාන්ත ඇමති විමල් වීරවංශ ඉදිරිපත් කල පොල් කර්මාන්තය දියුණු කිරීම හා දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන ගැටලු පිලිබද විසදුම් ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කරන අතරතුරය.

    ‘‘මේ රටේ මිනිස්සුන්ට පොල් සාධාරණ මිලකට දෙන්න නම් පොල් හිග කාලෙට අපනයනය නවත්වන්න ඕනෑ.‘‘   වාසු කිවේය.

    ‘‘එතකොට ඒ වෙලදපොල නැතිවෙනවා. අපේ අය හරි අමාරුවෙන් ඔය ව්‍යාපාරේ රැදිලා ඉන්නේ‘‘   බන්දුල කිවේය.

    ‘‘ ඒ ගැන දැනටමත් රමේෂ් පතිරණ ඇමතිතුමා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් මේ සම්බන්ධයෙන් පත් කරපු කමිටුවට ඒ ගැන ඉක්මන් පියවරක් ගන්න පුළුවන්‘‘  කිවේ ඇමති ප්‍රසන්න රණතුංගය.

    ‘‘දැන් පොල්වල මිල 80 යි 90 යි. ඒකනේ ප්‍රශ්නේ. මේ රටේ දුප්පත් මිනිස්සුන්ට අමාරුයි‘‘   වාසු කිවේය.

    ‘‘ මේ අවුරුද්දේ පොල් මිල වැඩි වුනේ මාර්තු, අප්‍රියෙල් මාසයෙදී දේශීය පොල් පොල්තෙල් කර්මාන්තයට යොදාගත්ත හින්දා ලංකාවේ පොල් නිෂ්පාදන අපනයනයෙන් තේ වලට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුලුවන්. අපි වගා කරුවයි, අපනයන කරුවයි, පාරිභෝගිකයයි තුන් ගොල්ලම ආරක්ෂා කර ගන්න ඕනෑ.‘‘    රමේෂ් පැහැදිලි කලේය.

    ‘‘අනික මේ රටේ පොල් නිෂ්පාදනය වැඩි වෙලා නෑ…. 1970 ත්  මේ රටේ පොල් නිෂ්පාදනය මිලියන 03 යි. අදත් ඒ ගානමයි. පොල් ගස් කපන එකත් මේ ප්‍රශ්ණයට හේතුවක්. අපි දැන් යෝජනාවක් ගේන්න හදන්නේ පොල්ගස් කපන එක නවත්වන්න.‘‘     රමේෂ් පැහැදිලි කලේය.

    ‘‘එක හොදයි. අනික නැවත පොල් වගාව අපි දියුණු කරන්න ඕනෑ. ඒකට පොල් පැල සිටුවීම සදහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න.‘‘  ජනාධිපතිවරයා කිවේය.

    කැබිනට් රැස්වීම අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී වාසු නැවතත් බඩු මිල වැඩි බව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කලේය.

    අපි මේ අවුරුද්ද  ඇතුලත හොද වැඩ ගොඩක් කරලා තියෙනවා. ඒත් කඩේට ගියාම ආණ්ඩුව ගැන තියෙන හොද හිත නැතිව යනවා’

    ‘‘සීනි 132 යි , හාල් 96 යි කියලා කවරේ ගහලා තිබුනට විකුණන්නේ 110 ට. බිල ලියන්නේ මොනවද ගත්තේ කියලා නොලියා. පරිප්පුත් එහෙමයි. බීළුණු මිලත් වැඩියි. අපි මේ අවුරුද්ද  ඇතුලත හොද වැඩ ගොඩක් කරලා තියෙනවා. ඒත් කඩේට ගියාම ආණ්ඩුව ගැන තියෙන හොද හිත නැතිව යනවා.‘‘   වාසු කිවේය.

    ඇමති බන්දුල කිවේ වාසුගේ කථාව ඇත්ත බවය.

    ‘‘ඔහු බඩුවල මිල ගනන්ද ඉදිරිපත් කලේය. දැන් ස.තො.සෙත් ලොකු ළුණු 165 යි. අර්තාපල් 185 යි. මුං ඇට 338, රතු පරිප්පු 175 යි, වියලි මිරිස් 550 ඇත්තම තත්වය රටේ ජීවන වියදම වැඩියි. පිටකොටුවෙත් මෙහෙමයි. ලෝකයේ පවතින තත්වය මේකට බලපාල තියෙනවා. අපි දැන් මොන සූත්තර දැම්මත් පාරිභෝගික අධිකාරියට මේක අල්ලලාවත් නඩු දාලාවත් ඉවර කරන්න බෑ.‘‘  බන්දුල කිවේය.

    ‘‘ මේ ගැන රජය විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ. ජීවන වියදම් කමිටුවේදි මේ ගැන අපි ඉක්මන් තීරණයක් ගනිමු‘‘   ගෝඨාභය ජනාධිපතිවරයා කිවේය.

  • 2021 අයවැය ගැන ‘එරාන්ගෙන් සුපිරි හෙළිදරව්වක්’

    2021 අයවැය ගැන ‘එරාන්ගෙන් සුපිරි හෙළිදරව්වක්’

    ‘මේ ආණ්ඩුවට දුප්පත් අහිංසක ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න බැරුව පමණක් නොවෙයි, හරියට අයවැය ඉදිරිපත් කරන්නත් බැරිවෙලා. දිගින් දිගටම පෙන්නුම් කළ අසාර්ථකත්වය, හංගලා ගැහිලි, නොහැකියාව, වගේ හේතු රැසක් විසින් අවිනිශ්චිත බව සහ සැකය පුරවලා. විශ්වාසය පලවා හැරලා‘ යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (10) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අයවැය තෙවනවර කියවීමේදී විවාදයේදී 2021 අයවැය ලේඛනයේ දුර්වලතා සහ ව්‍යාකූල ස්ථාන රැසක් පෙන්වා දුන් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ දැන් ජනපතිට අවශ්‍ය වන්නේ ක්‍රමය වෙනස් කිරීමක් නොව කණ්ඩායම වෙනස් කිරීම බවයි.

    එරාන් වික්‍රමරත්න මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ.

    රටේ දුගී දුප්පත් ජනතාව, සමෘද්ධිලාභීන්, ස්ථිර ආදායම් නොමැති අයට, දෛනික කුලී කම්කරු රැකියා වල  නිරත වූවන්ට, සුවකළ නොහැකි බරපතළ රෝගාබාධ ඇති අයට රුපියල් 3000ක පෝෂණ මල්ලක්, මාසික ජල බිල්පත සඳහා 15% ක සහනයක් , ඒකක 30 ට අඩු විදුලි බිල්පත් සඳහා 25% ක සහනයක්. ගෑස්  සිලින්ඩරයකට රුපියල් 100ක්, ගෑස් ලිපක්, rice cooker , ගන්න 25% ක වට්ටමක්,  දුරකතන බිලේ බදු මුදලින් 50ක අඩු කිරීමක්, අඩු ආදායම් ලාභී පවුල් වල ගර්භණී මව්වරුන්ට රුපියල් 2000ක දීමනාවක්, වසරකට පාසල් නිල ඇඇඳුම් කට්ටල 2ක්, ආදායම් නැති අවුරුදු 12ට අඩු ළමයි ඉන්න පවුලකට රුපියල් 5000 ක දීමනාවක්, මේ ගරු සභාවට මතකද මේ පොරොන්දු ? කාගෙද මේ පොරොන්දු ? සෞභාග්‍යය දැක්ම පොරොන්දු පත්‍රයේ තිබුණේ මෙහෙමයි.

    නමුත් ආණ්ඩුව දැන්  වැඩ කරන හැටි කොහොමද ? මේ සෞභාග්‍ය දැක්මේ දෙවැනි වසරේ අයවැය විවාදය. සෞභාග්‍ය දැක්ම අනුව පළමු වසරේ අයවැයක් ගෙනාවෙත් නෑ. දැන් දෙවැනි වසරට ගෙනත් තිබෙනවා. නමුත් කියන්න කණගාටුයි, රජයක අයවැයක් සම්බන්ධව විශ්වාසයක් තිබෙනවා, නමුත් මේ වගේ අයවැය වාර්තා නිසා ඒ විශ්වාසයත් ගිලිහෙනවා.

    මේ ආණ්ඩුවට දුප්පත් අහිංසක ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න බැරුව පමණක් නොවෙයි, හරියට අයවැය ඉදිරිපත් කරන්නත් බැරිවෙලා. දිගින් දිගටම පෙන්නුම් කල අසාර්ථකත්වය, හංගලා ගැහිලි, නොහැකියාව, වගේ හේතු රැසක් විසින් අවිනිශ්චිත බව සහ සැකය පුරවලා. විශ්වාසය පලවා හැරලා. 

    ඇයි අපි එහෙම කියන්නේ ? දැන් බලන්න අගමැතිතුමා මුදල් ඇමති විදියට ඉදිරිපත් කරපු අයවැය කතාවේ කියනවා, රජයේ වියදම රුපියල් බිලියන 3594 යි කියලා. නමුත් ඇස්තමේන්තුවේ සඳහන් වෙන්නේ රුපියල් බිලියන 3649ක් කියලා. රාජ්‍ය බදු ආදායම අරගෙන බලන්න. අයවැය කතාවේ කියන්නේ බදු ආදායම රුපියල් බිලියන 1987ක් කියලා. ඇස්තමේන්තුවේ තියෙන්නේ රුපියල් බිලියන 2029ක් කියලා. ඒ වගේම තමයි අයවැය කතාවේ කියන්නේ අයවැය හිඟය රුපියල් බිලියන 1565ක් කියලා. නමුත් ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 1662ක්. රුපියල් බිලියන 97ක වෙනසක්.

    කතානායකතුමනි, ඒ විතරක් නෙවෙයි, ඔබලාට මතක ඇති රාජ්‍ය බදු ආදායම සහ වියදම් ගැන අයවැය තුළත් එක එක පිටුවේ එක එක ඉලක්කම් සඳහන් කරලා තිබුණේ.  අපි දන්නවා රාජ්‍ය මූල්‍ය වගකීම් පණත : 2006 සිට   රජයේ අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් වෙන්න බෑ. 2016දී, 2017 දී සහ 2018 දී අපි ඒකට කිට්ටු කළා. එයයි නීතිය. නමුත් අයවැය තුළ ඒ රාජ්‍ය මුල්‍ය වගකීම් පණත නොතකා තමයි කටයුතු කරලා තියෙන්නේ. විධායකයට හෝ වෙනත් පාර්ශවයකට අවශ්‍ය ආකාරයට නීති වෙනස් කරන්න බෑ. හැම තිස්සෙම නීති නොසලකා නම් කටයුතු කරන්නේ, එවැනි රටක් පත්විය හැකි තැන හිතා ගැනීම දුෂ්කර නෑ.

    ඊයේ මහර බන්ධනාගාරය ගැන කතා කරන කොට මම කිව්වා බන්ඩනාගාර ආඥා පනතේ තියෙනවා රැඳවියන් මරන්න බැහැ කියා. ඒ අවස්ථාවේ දී රාජ්‍ය ඇමතිතුමා උත්තර දෙමින් කියනවා ටී – 56 තුවක්කු තියගෙන ඉන්නේ පොල් ගානදැයි අහුවා. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මතක් කළා බන්ධනාගාරය තුළ ටී – 56 තියගන්නත් බැහැයි කියලා. නීතියට තිබෙන ගරු කිරීම ගැන අපි ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින්ම අහන්නට ඕනෑ.

    පවුලක බන්ධනාගාරයේ රැඳවියෙකු සිටිනවනම් මේ වගේ ප්‍රතිචාරයක් ලැබුණහම නීතිය ගැන ඒ අයට ඇතිවන සැකය කුමක්ද ? නීතියට පමණක් සීමවන්නත් බැහැයි කියා මම කියනවා. ආචාර දර්ම සාර ධර්ම මේ කොයිකත් එහෙමයි. ක්‍රමයට, පිළිවෙලට යන්න බැරි වුණාම තමයි, නීති නවන්න, නීති කඩන්න, නීතියට වංගු දාන්න යන්නෙ. නීතියට පමණක් එය සීමා වන්නේ නෑ. ආචාර ධර්ම, සාරධර්ම මේ කොයිකත් එහෙමයි. 

    දැන් බලන්න මේ අයවැය කියන විදියට අප රටේ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේ ධන 1.5%ක් වෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) මොකද කියන්නේ? ඔවුන් කියන්නේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය සෘණ 4.6%ක් කියලා. ලෝක බැංකුව කීයද කියන්නේ ? සෘණ 6.7%ක් කියලා. 

    ඒ සියල්ල විදෙස් බලපෑම්, අධිරාජ්‍යවාදී කියලා එක එක ලේබල් ගහලා පැත්තකට කරලා. නමුත්  ශ්‍රී ලංකා මහ බැංකුව මොකද කියන්නේ ? ඔවුන් කියන්නෙත් සෘණ 1.4%ක් කියලා.  දැන් මහ බැංකුවද හරි ? නැත්නම් මුදල් අමාත්‍යංශයද හරි ? අපි කාගේ දත්තයද ගන්න ඕන. ධන කිව්වොත් දේශප්‍රේමී , සෘණ කිව්වොත් දේශද්‍රෝහීද ? එහෙමද ඉස්සරහට යන්න හදන්නේ ? සෞභාග්‍යයේ දැක්ම ඒකද ? ඒකද වැඩපිළිවෙල? system change කිව්වේ මේකටද ? 

    අංක සෙල්ලම් දාලා, හංගලා ගහලා

    අපි මෙහෙ හිත හදාගන්න වැඩ කරලා තේරුමක් නෑ. මේ ගෝලීය මූල්‍ය දාමයෙන් අපිට මිදෙන්න, හුදකලා වෙන්න අපට බෑ. මේ වෙනකොට ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත දාලා. තව වැටුණොත් අපිව ඒ ආයතන ලැයිස්තුවට ගන්නෙත් නෑ. ඒ වගේම ජාත්‍යන්තර මූඩීස් ( Moodys) පර්යේෂණ ආයතනය කියලා තියෙනවා ,  ආර්ථිකය වර්ධනය කරන ආණ්ඩුවේ උපක්‍රම සාර්ථක නෑ කියලා. ඒ වගේම 2021 අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් 9%ක ප්‍රතිශතයක් විය හැකි බවටත් පුරෝකථනය කරලා thiyenavaa.

    ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර බැංකුවක් වන සිටි බැංකුව ඊයේ ලංකාවේ ආර්ථිකය ගැන ප්‍රකාශයක් නිකුත් කළා. ලංකාවේ ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධානී ලෙස පත්වීමට පෙරාතුව තරුණ කාලයේ එම බැංකුවේ සේවය කිරීමට මට් වරමක් ලැබුනා. ඔවුන් කරුණක් මතු කළා. එනම් ලංකාවේ ගැටළුව වනුයේ ද්‍රවශීලිතාවය නොව එය විසඳුම් ගැටළුවකි. ඔවුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කිරීම උපාය මාර්ගයක් නොව. ඔබ කළ යුතු වන්නේ ණය යළි ප්‍රතිව්‍යූහ ගත කිරීමයි. එය පැහදිලිව ප්‍රකාශය කර තිබෙනවා. ඇපට ණය දෙන සියලු ජාත්‍යන්තර ආයතන හා  බැංකු යම් දෙයක් කියනවා, එහෙත් රජය ඒවා ප්‍රතික්ෂේප කරමින් කාලය ගත කරනවා.

    ලොකු ලොකු සමාගම් වලින් ගන්නා සෘජු බදු ප්‍රතිපත්තිය ගැනත් කතා කළ යුතුයි. ආණ්ඩුව පනත් උල්ලංඝණය කරනවා විතරක් නොව ආණ්ඩුව අසාර්ථකයි.කොහොම නමුත් හැම තැනින්ම අහන්න ලැබෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය. එහෙම අසාර්ථක වෙන ආණ්ඩුවේ උත්සාහය ණය මඟින් ඉදිරියට යාම. නමුත් මේ ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන රටට ලබාදී ඇති සහතිකය හදාගන්නේ නැතුව, ණය ගන්නත් ලැබෙන්නේ නෑ. 

    ඔන්න ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකළට මොකද රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේදී ජනතාව මතක් වෙලා. මේ අයවැය වාර්තාව අනුව රාජ්‍ය අදායම 2020 ට සාපේක්ෂව 2021 දී 14.5% කින් වර්ධනය කරන්න සූදානම්. ආණ්ඩුව එහිදී corporate tax ප්‍රමාණය වර්ධනය කරගන්න යන්නේ 17.7%කින්. 52.2%ක් වර්ධනය කරගන්න යන්නේ ආයතනික නොවන බදු  හරහාය. ඒ හරහා සෘජු බදු වැඩි නොකර වක්‍ර බදු වැඩි කර දුප්පත් මිනිසාගේ බඩට ගහන්නේ.

    ඒ කියන්නේ මොකක්ද ? හරිම පැහැදිලියි, ලොකු ලොකු සමාගම් වලින් නැතිනම් සෘජු බදු ප්‍රතිශතය ගන්න බලන්නේ නෑ. වක්‍ර බදු වලින් තමයි ආණ්ඩුව එදා වෙල පිරිමහ ගන්නත් සූදානම් වෙන්නේ. 

    2021 අයවැය ලේඛණයෙන් එම මුදල් නැවත සෘජුවම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීම සඳහා භාණ්ඩ 2574 කට සෙස් බද්දක් සහ,  අනෙක් භාණ්ඩ සඳහා භාණ්ඩ සහ සේවා බද්ද පැනවීමට කටයුතු කරමින් ඉන්නේ ඒ සඳහා විය යුතුයි. එහෙත් අය වැය කථාව තුළ ඒ පිළිබඳව සඳහනක් නැහැ.

    2019 දෙසැම්බර් මස සිට සියලුම ව්‍යාපාරිකයන් විසින් ගෙවන ලද විවිධ වර්ගයේ බදු මුදල් කපා හැරීම නිසා රජය අහිමි කර ගත් බදු ආදායම රුපියල් බිලියන 600 කට ආසන්න බවට ඇස්තමේන්තු  පල වෙනවා. 

    මෑතක රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සීනි බදු සහනය :

    ගජමිතුරු සමාගම් නිසා රුපියල් පනහේ බද්ද සත විසිපහට බස්සලා සහනය දුන්නා. සීනි වලින් පමණක් රජයට බිලියන 4ක පමණ බදු මුදලක් අහිමි වුණා. ඔක්තෝබර් 13 වනදා සිට ගත්තොත් සමස්ථ පාඩුව බිලියන 7ට වැඩි මිසක් අඩු නෑ.  මේ බදු මුදල් අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබුණද ?  සෞභාග්‍යය ගජමිතුරන්ට පමණයි මෙහි වාසිය ලැබුණේ.

    ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන. මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ විදුලි බල අමාත්‍යංශය විසින් විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාදාමය, නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින්  2002 දී පිහිටුවන ලද ස්වාධින ආයතනයක්. මේක නැති කිරීමෙන් දූෂණයට ඉඩ ලැබෙනවා.

    ඔබලාට මතක ඇති පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ සාමාන්‍ය මිල වගේ හතර පස් ගුණයක් වැඩිවූ විදුලි බිල් ආවා. ඒ වෙන්න ගිය අසාධාරණයෙන් ජනතාව බේරුණේ මේ කොමිසම නිසා. ඒ වගේම තමයි විදුලි ඒකක මිල අසාධාරණ ලෙස  ඉහල දැමීමටත් නොහැකි, මේ කොමිසම නිසා. ඒ කියන්නේ විදුලි මාෆියාවට, විදුලි ගනුදෙනු ආශ්‍රිත දුෂණ වලට මේ කොමිසම බාධාවක්. අන්න කොමිසමේ සාමාජිකයන්ගෙන්  ඉල්ලා අස්වීමේ ලියුම් අරගෙන. දැන් ආයතනය අකර්මණ්‍යයි.

    මේ වගේ ආයතන අකර්මණ්‍ය කරන්නේ තමන්ගේ  ගජමිතුරු සමාගම් වලට වාසි සලසන්නද ? අවසාන වශයෙන් එක දෙයක් පැහැදිළියි,බොරුව ආයුෂ කොටයි. ඔබලාට ජනතාව හැමදාමත් රවටන්න ලැබෙන එකක් නෑ. මේ රට දශමයක්වත් ඉස්සරහට ගෙනියන්න මේ ආණ්ඩුව අසමත්. ජන්ද පොරොන්දුවේ සිට අයවැය දක්වාත්, අනිත් සෑම අවස්ථාවකදීත් ආණ්ඩුවම එය ඔප්පු කර තිබෙනවා. ඉතින් ඒ අසමත් වෙන තරමට ජනතාවගේ බඩට ගහන තැනට ආණ්ඩුවත් වැටී අවසන්. මේ ගතවෙන්නේ එහෙම කාලයක්. 

    රට බේරගෙන, සෞභාග්‍ය උදාකරන්න කියලා ඇවිත්, දැන් යන ගමන පෙන්නුම් කරන්නේ, නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නැති තැනකටයි. දැන් ජනපතිට අවශ්‍ය වන්නේ ක්‍රමය වෙනස් කිරීමක් නොව කණ්ඩායම වෙනස් කිරීමයි

  • ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

    ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

    2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට තීරණය වූ බවද දසනායක මහතා පැවසීය.

    ඒ අනුව එම කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩි වන අතර ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකත්වයක් ද, විපක්ෂයට සාමාජිකත්වයන් 02ක් ද එකතු වනු ඇත.

    මෙම රැස්වීමට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුද සහභාගී වූහ.

  • දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව: පැමිණිලි 1971ක් – පිටු 2043ක් !

    දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව: පැමිණිලි 1971ක් – පිටු 2043ක් !

    දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි.

    කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

    2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පැවරිණ.

    කොමිසම බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇත.

     පුවත් පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනයට ඉදිරිපත් කර තිබිණ. වාර්තාව වෙළුම් 03කින් සහ පිටු 2043කින් සමන්විතය.

    ත්‍රි පුද්ගල කොමිසමේ සෙසු සාමාජිකයෝ වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු ද, කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු  මේ අවස්ථාවට එක්ව සිටියහ.

    (  ඡායාරූප : උපුල් නිලංග  – ජනාධිපති මාධ්‍ය අංශය)