Category: සුපිරි Politics

  • ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්  සහ අගමැති අතර හමුවක්

    ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ අගමැති අතර හමුවක්

    ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්   (07) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

    පසුගිය මැතිවරණ ජයග්‍රහණය සහ නැවත අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යතුමාට සුභ පැතුම් එක් කළේය.

    මේ අතර COVID-19 වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ කොමසාරිස්වරයාට ස්තූතිය පළ කළේය.  ඔස්ට්‍රේලියානු රජය විසින් පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල (Personal Protective Equipment PPE) ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

    එමෙන්ම වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් ශක්තිමත් සහයෝගයට ස්තූතිය පුද කිරීමට ද අග්‍රාමත්‍යතුමා එය අවස්ථාවක් කර ගත්තේය.

    ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පසුගිය මැතිවරණ ජයග්‍රහණය සඳහා සුභ පැතීමට තමාට ලබා දුන් දුරකථන ඇමතුමට ස්තූති කළ අග්‍රාමාත්‍යතුමා, COVID-19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මොරිසන් මහතාට කළ ආරාධනාව සිහිපත්  කළේය.

    නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමා, කෘෂිකාර්මික අංශය සහ සියලු පුරවැසියන්ට ආරක්ෂිත පානීය ජලය සැපයීමේ රජයේ ඉදිරි සැලැස්ම පිළිබඳව අවධාරණය කළේය. නිදන්ගත වකුගඩු රෝගය (Chronic kidney disease CKD)  දෙරටේ ජනගහනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව ද මෙහිදී දෙරටේ නියෝජිතයින් අවධානය යොමු කරන ලදී.  ඕස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු මෙම රෝගයෙන් පෙළෙන බව මහකොමසාරිස් හොලි මහතා පෙන්වා දුන්නේය.

    අධ්‍යාපන, වෘත්තීය පුහුණුව සහ පශු සම්පත් අංශ මෙන්ම ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම ඇතුළු දෙරටේ සහයෝගීතාව වර්ධනය වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා හා මහ කොමසාරිස්වරයා  සාකච්ඡා කළහ.

    “අපගේ සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ,” ඕස්ට්‍රේලියාව “ශ්‍රී ලංකාව ප්‍රවාහන මධ්‍යස්ථානයක් සහ ප්‍රධාන වෙළඳපොළ කේන්ද්‍රස්ථානයක් ලෙස දැකීමට කැමති” යැයි මහ කොමසාරිස්  හොලි මහතා පැවසීය.

  • 20 ගැන රෝහිනී කවිරත්නගෙන් බරපතළ හෙළිදරව්වක්

    20 ගැන රෝහිනී කවිරත්නගෙන් බරපතළ හෙළිදරව්වක්

    18, 19 දෙකටම අත උස්සලා 20 ටත් අත උස්සන්නේ එදා ඇන්.එම්.පෙරේරා කිව්ව ‘ඔළු තුනේ බූරුවන්‘ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

    උකුවෙල කිරිමැටියාවේ පැවති රැස්වීමක් ඇමතු කවිරත්න මහත්මිය, පැවසූවේ එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගේ බලතල අඩු කරන්න, ඡන්දය දුන්න අද අණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු පහළොවකට වැඩිය  දැන් ජේ.ආර්.ටත් වැඩිය දරුණු ව්‍යවස්ථාවක් හදන්න හදනවා.

    යමපාලන ආණ්ඩුවේ හොඳට ටික පාලනය කරපු මෛත්‍රීපාල සිරිසේන ගේ අනාථයෝ මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, එස්.බී.දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක ගැන කියන්න තියෙන්නේ ‘පව් අප්පා‘ කියල තමයි.  තටු කපපු මේ සෙට් එකට දැන් ව්‍යවස්ථාව වෙනස් කරලා ඇමතිකම් දෙනවා කියලා ‘කැරට් අලයක්‘ දීලා තියෙනවා.

    ‘අනේ අපොයි‘ ඩිලාන් පෙරේරා වගේ අය දැන් ඇමතිකමක් බලාගෙන කරත්තේ අදිනවා යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.  තිස්ස විතාරණ, ජී.එල්.පීරිස් ලාවගේ අයට ලඟ දැන් ප්‍රතිපත්තියක් තිබුණේ නෑ.  ඒ නිසා හැරෙන හැරෙන පැත්තට හෝයියා කියනවා.

    17, 18, 19 තුනටම ඡන්දේ දීලා දැන් 20 ට ඡන්දේ දෙන්න බලාගෙන ඉන්න මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා.  අද මාතලේ විතරක් නෙවෙයි, රටේම තියෙන්නේ මෙන්න මේ ලැජ්ජා නැති දේශපාලන අවස්ථාවාදය යි.  මාතලේ මෙවර ඡන්දයෙන් විපක්ෂයට ඉන්නේ මම විතරයි.  ආණ්ඩුව හදන්න ඡන්දය ලැබුණු අය ඇමතිකම් හම්බවෙලා දැන්,  කොළඹට ගිහින් නිසා මම ඔබලා බලන්න ආවා. 

    මම අහනවා, මේ මාතලේ ඉතිහාසයේ වැඩිම ඡන්ද ගණනක් පොහොට්ටුවට ඡන්ද දුන්නේ ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ද?,   මැතිවරණ කොමිෂන් සභාව අහෝසි කරලා, ආය වයඹ වගේ ඡන්ද තියන්න ද? පොලිස් කොමිසම නැතිව ඇමතිවරුන්ට ඕන විදිහට පොලීසියේදීම නඩු අහන්ද? කියලා.

    මාතලේ විතරයක් නෙවෙයි, මුළු වනාතවිල්ලුවම කපලවා. අක්කර 100 කට වැඩිය ගිණි තියලා කපලා මොරටුවට පටවලා ඉවරයි.  සිංහරාජය කපනවා.  කඩොලාන සුද්ද  කරනවා.  මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ඉතුරු කැලෑ ටික කපලා, ඉතුරු වැලි, කබොක්, පස් ටික කපාගන්නයි.  එහෙම නැතිව මාතලේ හරි රටේ හරි ප්‍රශ්න විසඳන්න නොවේ යැයි ද, රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

  • 20 සංශෝධනයත් රනිල් ගේ UNP ව්‍යවස්ථාව වගේ

    20 සංශෝධනයත් රනිල් ගේ UNP ව්‍යවස්ථාව වගේ

    20 වන ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය සම්පූර්ණයෙන්ම විනාශ කරයි.  රනිල් ගේ එජාප ව්‍යවස්ථාව හා පක්ෂ නායකත්වය පිළිබඳ සංකල්පය මත කෙටුම්පත් වී ඇති 20 සංශෝධනයේ මැතිවරණ කොමිසමට අදාළ වගන්ති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තික වනු ඇත. දේශපාලනඥයින්ට, ඡන්දදායකයින්ට, මැතිවරණ නිරීක්ෂකයින්ට, පුරවැසියන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටත් එහි දිග පළල තම තම නැන පමණින් තෝරා බේරා ගැනීමට මේ ටික ලියා තබමි.

    1.      20 ට අනුව, මැතිවරණ කොමිසම පත්කරන්නේ, අද ව්‍යවස්ථාවේ ඇති ආකාරයට,  ‘ව්‍යවස්ථා සභාවේ නිර්දේශය‘ මත නොව කෙළින්ම ජනාධිපතිවරයා ය. සංයුතිය, ව්‍යූහය හා කාර්යභාරය වෙනස් කළ ‘ව්‍යවස්ථා සභාවකින්‘ බලාපොරොත්තු විය හැකි ‘විනිවිද භාවයක් නැති අතර,  ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ කලවාන, මහර, යාපනය සංවර්ධන සභා ක්‍රමයට ලංකාවේ අනාගත මැතිවරණ මිලේච්ඡත්වයට පත් වනු නොවැලැක්විය හැකි වනු ඇත.

    2.      ජනාධිපති පත් කරන ත්‍රී පුද්ගල මැතිවරණ කොමිසම, ජනාධිපතිවරයා නැවත වරක් ජනමතය උරගා බලන, ඊලඟ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වයි.   ජනාධිපතිවරයෙකුට තමන් කැමති තිදෙනෙකු කොමිසමට පත් කර, ජනාධිපතිවරණ කැඳවිය හැකිය.  මෙවැන්නක් මෙයට පෙර හමුවී ඇත්තේ රනිල් ගේ එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවේ පමනී.  එහි, රනිල්ම ව්‍යවස්ථාව සංශෝධනය කර, රනිල්ම කෘත්‍යාධිකාරි මණ්ඩලය ද පත් කර, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්දයෙන් රනිල් ම නායකයා බවට පත්වෙයි. යෝජිත 20 දී, ජනාධිපතිවරයා ඔහුම රටේ ව්‍යවස්ථාව සංශෝධනය කර, ඔහුම කොමිසමට සාමාජිකයින් පත් කර, ඔහුටම නැවත රාජ්‍ය නායකයා විමට ඡන්දය ඉල්ලා සිටිය හැකිය.

    3.      ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මන්ත්‍රී ඡන්දයෙන් 20 සම්මත වූවහොත්, ජනාධිපති ගේ තනි කැමැත්තට මැතිවරණ කොමිසම පත්වේ. උදාහරණයක් ගනිමු.  2019 නොවැම්බර් පත් වූ වත්මන් ජනාධිපතිවරයාට වසර 4 කට පසුව, නැවත 2023 නොවැම්බර්, නැවත ජනවරමකට ඉල්ලා සිටිය හැකිය.    20 සම්මත වූ පසුව, ජනාධිපති පත්කරන කොමිසම, කොමිසමේ කොමසාරිස් ජෙනරාල් පත් කරයි.  ඒ කොමසාරිස් ජෙනරාල්, 2023 නොවැම්බර් මසින් පසුව ඕනෑම දිනෙක පැවැත්විය හැකි ජනාධිපතිවරණය මෙහෙයවයි.  කොමිසමත් – කොමසාරිස් ජෙනරාලුත් තියෙන පුද්ගලයාම, ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වෙයි.   මේ සන්ධර්භය රනිල්, එජාප පක්ෂ නායකයා, ව්‍යවස්ථාව, කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පක්ෂ නායකත්වය යන ක්‍රියාවලියට සර්ව – සම කරන්නේය.   

    4.      කොමිෂන් සභාවේ එක් සාමාජිකයෙකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හෝ එයට ඉහළ නිලයක් දැරූ අයෙකු විය යුතු යැයි කියන වත්මන් ව්‍යවස්ථාවේ, 103 (1) වගන්තිය 20 න්  සංශෝධනය වේ.  ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවට පළපුරුද්දක් ඇති අයෙකු පත්වීමට තිබූ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් වන්නේය.  මැතිවරණ ක්‍රියාවලිය ගැන විධිමත් අවබෝධයක් නොමැති පුද්ගලයින්ගේ කථා, වැඩ, මෙහෙයුම්, ක්‍රියාවන් සමඟ වසර 13 ක් මම මැතිවරණ හා ගෙවා ඇත්තෙමි.  මා ඉදිරිපිට මැවෙන චිත්‍රය ගැන කියන්නට ඇත්තේ ‘බුදු අම්මෝ‘ කියා පමණකි.

    5.      19 සංශෝධනයෙන් පසුව, මැතිවරණ ක්‍රියාවලිය ‘නිදහස් හා සාධාරණ‘ සාධනීය පාලනයකට නතු වූවේය.   එය සිදුවුයේ රාජ්‍ය සේවකයින්, ජනමාධ්‍ය, මැතිවරණ නිරීක්ෂකයින් ආදී වශයෙන් තෝරාගත් කණ්ඩායම්වලට උපමාන නිකුත් කිරීම මගිනි. යෝජිත 20 සංශෝධනය මගින්,  104 (5) (අ) වගන්තිය සංශෝධනය කර,  උපමාන පැනවීම සම්බන්ධයෙන් සීමා පනවා ඇත. මෙය

    ඒ අනුව, මැතිවරණ කොමිසමට උපමාන පැනවිය හැක්කේ, මැතිවරණයට සෘජුව සම්බන්ධ වූ කාරණාවලට පමණකි.  (ජනාමධ්‍යයට උපමාන පැනවිය නොහැකිය) 

    තව ද, එම උපමාන ‘‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පාරිපාලන සීමාව ඇතුළත වූ යම් කාරණයකට හෝ  සෘජුව සම්බන්ධ නොවිය යුතු බව‘‘ ට 20 හි දැක්වේ.   මෙහි අරුත පැහැදිලිය.  මැතිවරණ කොමිසමට කිසිදු පත්වීමක් නැවැත්වීමේ බලය අහිමිවන්නේය.  කිසිදු මාරු කිරීමක්, උසස් කිරීමක් නැවැත්වීමේ බලය අහිමි වන්නේය.  උදාහරණයක් ලෙස, පසුගිය ජනාධිපතිවරණ සමයේ නවතා දැමූ ‘ව්‍යාපෘති සහායක‘ පත්වීම, මහා මැතිවරණ සමයේ නැවැත්වූ ‘‘රැකියා ලක්ෂයේ වැඩසටහන‘ ආදී දේශපාලන අල්ලස් නැවැත්වීමේ බලය අහිමි වන්නේය.  රජයේ අරමුදල් වලින් බඩු බෙදිල්ල කැමැති ලෙස කරගෙන යා හැකිය.   රාජ්‍ය ඇමතිවරුන්ගේ වාහන පිළිබඳ කටයුතු කළ නොහැකි වනු ඇත.  ජේ.ආර්. 1982 ජනමත විචාරණය තැබූවෙත්, චන්ද්‍රිකා යුගයේ වයඹ ඡන්දය තිබුණේත් මෙවැනි සංදර්භයකය.  ඔබට මතක ද?

    6.      104 (ආ) අ වගන්තියට සිදු කර ඇති සංශෝධනය ලැජ්ජා සහගතය.  රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව මැතිවරණ කොමසාරිස්ගේ උපමාන අනුව ක්‍රියාකළ යුතු විය.  ජාතික රූපවාහිනියට මැතිවරණ කොමිසම කඩා වැදුණේ මේ බලය ඔවුන් සතු වූ නිසාය.  ස්වාධීන කොමිසමට ගැසූ ලිපිය ආපසු කැඳවූයේ කොමිසමේ සාමාජිකයින් අතර  එකඟතාවයක් නොවූ නිසාය.  දැන්, 20  සංශෝධනයෙන් කියන්නේ ‘‘සභාපතිවරු උපමාන පිළිපැදිය යුතු බව පමණී.  පිළි නොපැද්දොත් කොන්ද කැඩූ මැතිවරණ කොමිසමට කළ හැකි දෙයක් නැත. ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත. මෙවැනි නීතියක් යටතේ ලංකාවේ නම ගිය මැතිවරණ දුෂකයින්ට අවශ්‍ය නම් ‘ගස් කපන්නට වනාතවිල්ලුව ගිණි තැබූ ලෙස‘ කටයුතු කිරීමේ හැකියාව ලැබෙන්නේය.  19 න් බලය දී තිබුණත්, මැතිවරණ කොමිසම ක්‍රියාත්මක නොකළ බලය, ප්‍රජාතන්ත්‍රවාදයේ ‘වාන් දොරටු‘ විවර කළ පසු රැකෙන්නේ නැති බව කියන්නට ඡන්දයකින් ගුටිකන්නට අවශ්‍ය නැත.

    7.      මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් පත් කරන්නේ මේ කොන්ද කැඩා ගත් කොමිෂන් සභාව යි.  සංශෝධනයෙන්, 170 ව්‍යවස්ථාවට සිදු කර ඇති සංශෝධනය මගින්, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තවදුරටත්, රාජ්‍ය  නිලධාරියෙකු නොවේ.  කොමසාරිස් ජෙනරාල් තනතුර තවදුරටත් රාජ්‍ය නිලධාරියෙකු නොවීම නිසා, ඕනෑම පුරවැසියෙකු එම තනතුරට පත් කිරීමේ හැකියාව කොමිෂන් සභාවට ලැබේ.  (රාජ්‍ය නිලධාරියෙක් තම තනතුර, රැකියා සුරක්ෂිත භාවය, වරප්‍රසාද නැති කරගෙන කොමසාරිස් ජෙනරාල්වීමට පැමිනෙතැයි සිතිය නොහැකිය) මැතිවරණ පිළිබද අත්දැකීම් නොමැති,   කොමසාරිස්වරු තිදෙනෙකු හා මැතිවරණ අත්දැකීම් නැති කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් වූ විට, මැතිවරණ කොමිසමට, මැතිවරණ ක්‍රියාවලියට දෙවියන්ගේම පිහිටය.

    8.      තව ද, මැතිවරණ කොමිසමේ සිටින ඉහළ රාජ්‍ය සේවකයෙකුට ඒ අනුව කිසිදා කොමසාරිස් ජෙනරාල් වන්නට හැකියාව හෝ අවස්ථාව ලැබෙන්නේ නැත.   ඒ නිසා කිසිදු දක්ෂ රාජ්‍ය නිලධාරියෙකු වැඩි කලක් මැතිවරණ කොමිසමේ නොරැදෙනු ඇත.    

    9.      යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ 40 (1) වගන්තිය (සිංහල ලේඛනයේ 32 පිටුව) ට අනුව ජනාධිපති හා අගමැති කාර්යාලය විගණනයෙන් විගණකාධිපති ඉවත් කර ඇත.  (දැන් කැමති විදිහට සිල් රෙදි බෙදිය හැකිය)  නමුත්, ‘‘මැතිවරණ කොමසාරිස් කාර්යාලය‘‘ නම් විගණනය සඳහා විගණකාධිපතිට බලය දී ඇත.    

    10.  වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උඋ මගින් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අසීමිත බලයක් මැතිවරණ කොමිසමට ලැබී තිබුණි.  මැතිවරණ කොමිසමේ උපමාන, නියෝග අනුව කටයුතු නොකරන රාජ්‍ය සේවකයින්ට රු. ලක්ෂයකට නොවැඩි දඩයක්, හෝ අවුරුදු තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩුවම් දෙකටම යටත් කළ හැකිව තිබුණි.  රාජ්‍ය  නිලධාරීන්, දේශපාලනඥයින්ගේ අතකොළු බවට පත්වීම වැලකුණේ මේ වගන්තිය නිසාය.  මැතිවරණ කොමිසමට දත් ලැබුණේ මේ 104 උඋ නිසාය. 20 න් ඒ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන්නේය.  එයින් සිදුවන්නේ නැවත වරක්, සිල් රෙදි බෙදිල්ලට, පයිප්ප බෙදිල්ලට, රස්සා දීමට, ඡන්ද අල්ලස් දීමට කිසිදු බාධාවක් ඇති නොවන බවය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් වැඩියෙන්ම දුෂණය වන්නේ රාජ්‍ය දේපල අයථා පරිහරණයෙනි.  එහි පරිමාව, 2014 ඌව පළාත් සභා ඡන්දයේ දී අත් දැක්කෙමු.   සනීපාරක්ෂක තුවායේ සිට ටයර් පමණක් නොව ට්‍රැක්ටර් පවා මැතිවරණයට අල්ලස් ලෙස දුන් යුගය නැවත ඇති උට්ඨානය කිරීමට ’20 වන සංශෝධනයට‘ හැකිය.

    කොමිසන් සභා සාමාජිකයින්, කොමසාරිස් ජෙනරාල් පත් කිරීමෙන් මැතිවරණ කොමිසමේ කොන්ද කඩා දැමූ මැතිවරණ කොමිසමේ, හුස්ම හිර කරන්නේ 104 උඋ වගන්තිය ඉවත් කිරීමෙනි.   

    පුද්ගලිකව මම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනවාට කැමතිය. ඒ ඔහුගෙන් ප්‍රශ්න කරන්නට හෝ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබෙන  බැවිනි.  මේ රටේ ද්විත්ව පුරවැසියන් අති බහුතරය, ව්‍යවහාරික භාෂාවෙන් ‘ඩයසපෝරා කාරයින්‘ ය. වෙනම රාජ්‍ය සංකල්පයට ලැදි පිරිසය.  අනාගතයේ දවසක උතුරු නැගෙනහිර ප්‍රශ්නය සාකච්ඡා කරන්නට වන්නේ, ඡන්දයෙන් පරාජයවී ගෙදර ගිය මාවෙයි සේනාධිරාජා හෝ  වැල්ලවත්තේ තෝසේ කඩේ දී හමුවන, ධර්මලිංගම් සිද්ධාර්ථන් හෝ අළුත්කඩේ දී හමුවිය හැකි සුමන්දිරන් සමඟ නොව,  20 වන ව්‍යවස්ථාවෙන් ඡන්ද බලය හිමිවන ජිනීවා හි ඩයසපෝරා සාමාජිකයෙකු සමඟ විය හැකිය.  මේවාට හිත හදාගෙන 20 ට අත ඔසවන්නට පක්ෂ – විපක්ෂ  මන්ත්‍රීවරුන් හිත හදා ගත යුතුය.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා උඩ පිනුම්, බඩ පිනුම් ගැසූ සිවිල් ක්‍රියාකාරීන්, විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂකයින් ගොළුවන් – බිහිරන්, කරන්නට 20 ව්‍යවස්ථා කෙටුම්පත සමත් වී තිබේ. එය රටේ නීතිය බවට පත් වූ විට ඇති වන තත්වය ‘පානා හීය, පානා කෙදිරිල්ලෙන්ම‘ ම දැනෙන්නේය.  

    20 සංශෝධනය සම්මත වන්නේ නම්, මැතිවරණ කොමිසමේ ගලිවර්ලා ද, එලෙසින්ම සුවච කීකරු පූස් පැටවුන් වීම වලක්වා ගත නොහැකි වනු ඇත.  අප ඉදිරියේ ඇති අභියෝගය මැතිවරණ විෂය සම්බන්ධයෙන් අද පවත්නා, නිදහස් හා සාධාරණ බව මෙලෙසින් හෝ විනාශ නොවී පවත්වාගෙන ගන්නේ කෙසේ ද යන්නය.

    මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාම තබා, අද පවත්නා ශිෂ්ඨත්වයෙන් හෝ පවත්වා ගැනීමට නම්, 20 පරාජය කිරීම හැර වෙනත් විකල්පයක් අනිවාර්යයෙන්ම නැත.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

  • ‘19ට එක්කළ’ මේ සංශෝධන 19 ගැන ඔබ දැන සිටියාද ?

    ‘19ට එක්කළ’ මේ සංශෝධන 19 ගැන ඔබ දැන සිටියාද ?

    2015 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පක්‍ෂව ඡන්ද 215ක් ලැබුණ අතර විපක්‍ෂව ලැබුනේ එක් ඡන්දයකි. 8 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇති කරන ලද වෙනස්කම් මෙම ලිපිය මගින් පෙන්වා දෙනු ලබයි.

    1.තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කිරීම

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පුලූල් කරමින් තොරතුරු සදහා ප‍්‍රවේශවීමේ අයිතිය පුරවැසින්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලදී. 2016 වසරේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට පදනම දමනලද්දේ මෙම ආණ්ඩුකම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයයි.

    2. පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර 5 දක්වා අඩු කිරීම

    පැවති ව්‍යවස්ථා ප‍්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවේ නිලකාලය වසර 6කි. 19 වන සංශෝධනය මගින් එම නිලකාලය වසර 5 දක්වා අඩුකරන ලදීි.

    3. ජනාධිපතිවරයාගෙ ධුරකාලය අඩු කිරීම

    1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6කි. එය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වසර 5 දක්වා අඩු කරන ලදී.

    4. ජනාධිපතිධූරය දැරිය හැකි අවස්ථා ගණන 2 දක්වා සීමා කිරීම

    1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට අනුව තැනැත්තෙකුට ජනාධිපතිධූරය සදහා තරග කල හැක්කේ දෙවරක් පමණි. 2010දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පුද්ගලයකුට ජනාධිපතිධූරය දැරිය හැකි අවස්ථා ගනනට වූ එම සීමාව ඉවත් කොට ඕනෑම වාර ගණනක් ධූරය දැරීමට අවස්ථාව සලසන ලදී. 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා තෙවෙනි වරටත් ජනාධිපතිධූරය සදහා තරග කරන ලද්දේ මෙම ප‍්‍රතිපාදනය උපයෝගී කරගනිමිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 මුල් ව්‍යවස්ථාවේ පැවති සීමාව යලි ඇති කරන ලද අතර ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාවට අනුව පුද්ගලයකුට ජනාධිපතිධූරය දැරිය හැක්කේ වාර දෙකක් පමණි.

    5. අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය සීමා කිරිම

    මුල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට අනුව අවශ්‍යනම් අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස විමසා අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂයන් තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවතුනි . 19 වන සංශෝධනය මගින් එම තත්වය සංශෝධනය කරමින් ර්‍ණජනාධිපතිවරයා විසින් නිශ්චය කරනුලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සදහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් අමාත්‍යවරයන් පත්කල යුත්තේය” යනුවෙන් ප‍්‍රතිපාදන ඇතුලත් කරන ලදී. මෙි මගින් අමාත්‍යමණ්ඩලය තේරීමේදී ජනාධිපතිවරයාගේ අභිමත බලය අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍යවන තත්වය ඇති කිරීම මගින් සීමාකරන ලදී.

    6. ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කිරීම- ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ ප‍්‍රතිපාදන

    ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ධූරය දරන කාලයේ දී ධූරය දරණ තැනත්තා විසින් සිදුකරන ලද ක‍්‍රියාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව කිසිදු නඩු කටයුත්තක් සදහා අධිකරණයට කැදවිය නොහැකි විය. 19 වන සංශෝධනය මගින් එම තත්වය වෙනස් කරමින් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකි වන ප‍්‍රතිපාදනයක් ඇතුලත් කරන ලදී. මෙහිදී ජනාධිපතිවරයා පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිය යුතු නැති අතර නීතිපතිවරයා ජනාධිපති වෙනුවෙන් පෙනී සිටයි. එසේ වූවත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක් වන යුද්ධය සහ සාමය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හැකියාවක් මෙම සංශෝධනය මගින් ද අවහිර කර තිබේ.

    7. ජනාධිපතිවරයාට අතිරේක රාජකාරී සහ කාර්යයන් පැවරීම

    පහත සදහන් සදහන් අතිරේක කාර්යයන් ජනාධිපතිවරයාට 19 වන සංශෝධනය මගින් පවරා ඇත.

    • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම;
    • ජාතික ප‍්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප‍්‍රවර්ධනය කිරීම;
    • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ඪෂෂඅ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක‍්‍රියාකාරීත්වය පහසුකරලීම; සහ
    • මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡුන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම,

    8. පාර්ලිමේන්තුව වසරකින් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබු බලය සංශෝධනය කිරීම

    පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් වසරක කාලයක් ඉක්ම ගිය පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවිය. 19 වන සංශෝධනය ජනාධිපතිවරයාට ස්වකැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මැතිවරණයකින් වසර හතරහමාරකට පසුව යනුවෙන් සංශෝධනය කරන ලදී. නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරය යුතු බවට යෝජනාවක් සම්මත කල හොත් එවිට එම කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ.

    9. ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරීමේ අවස්ථාව අහිමිකිරීම

    1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරීමේ අවස්ථාව හිමිකර දී තිබූ අතර 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරිමේ අවස්ථාව අහිමිකර තිබේ. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන නමුත් අමාත්‍යධූරයක් දැරීමේ අවස්ථාවක් නොමැත.නමුත් මෙම ප‍්‍රතිපාදනය සම්බන්ධව අන්තර්කාලීන ප‍්‍රතිපාදනයක් ඇතුලත් කරමින් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට (19 වන සංශෝධනය සිදුවන අවස්ථාවේදී ජනාධිපතිධූරය දරූ) පමණක් ආරක්‍ෂක සහ මහවැලි සහ පරිසර යන අමාත්‍යංශවල අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේ ප‍්‍රතිපාදන සලසා තිබිණි.

    10. (18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්) ඉවත් කල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීම

    (18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්) ඉවත් කල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීම රාජ්‍ය කොමිෂන් සභා සදහා සාමාජිකයින් පත් කිරීමේදී සහ ඉහල අධිකරණවල විනිසුරුවරුන් හා ඉහල රාජ්‍ය නිලධාරී පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය සීමා කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හදුන්වාදුන්නේ 2001 වසරේදී සම්මතවූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි. එහි අරමුණ වූයේ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කර ස්වාධින කිරීමයි. 2010 වර්ෂයේදී සම්මත කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධණය මගින් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසිකරන ලද අතර කිසිදු බලයක් නොමැති පාර්ලිමේන්තු සභාවක් හදුන්වා දෙන ලදී. එමගින් රාජ්‍ය සේවය හා අධිකරණ සේවය නැවතවරක් ජනාධිපතිවරයාගේ බලපෑමට නතු කරන ලදී. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝදනය මගින් නැවත වරක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හදුන්වා දුන් අතර එය 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වාදුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට වඩා බලවත් ආයතනයක්ද විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන් අදාල කොමිෂන් සභා සදහා ජනාධිපතිවරයා විසින් දින 14ක් තුල පත් කිරීම සිදු නොකල හොත් ඔවුන් යථා පරිදී පත් කල පුද්ගලයන් සේ සලකන බවට වූ ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය මගින් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මගහැරීමේ අවස්ථාව අහිමිකරන ලදීි .

    11. නව ස්වාධින කොමිෂන් සභා 2ක් හදුන්වා දීම

    විගනන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව යන නව රාජ්‍ය කොමිසන් සභා දෙක 19 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධණය මගින් හදුන්වා දෙන ලදී. විගනන සේවා කොමිෂන් සභාව පිළිබද ප‍්‍රතිපාදන මගින් ශ‍්‍රි ලංකාව තුල විගනන සේවය ස්වාධින සේවාවක් ලෙස ආරම්භ කල අතර 2018 වසරේදී විගනන සේවා පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය අනුව යමින්ය. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් එතෙක් මුදල් අමාත්‍යංශය යටතේ වූ ප‍්‍රසම්පාදන අධීක්‍ෂණ ක‍්‍රියාලිය ස්වාධින කොමිෂන් සභාවක් යටතට පත් කරන ලදී.

    12.රාජ්‍යසේවා කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    එතෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැවතියේ අමාත්‍යමණ්ඩලය විසින් නිශ්චිතව නියම කරන නිළධාරීන් බදවාගැනීම, උසස් කිරීම, විනය පාලනය, ස්ථානමාරු කිරීම සහ ඉවත් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකල යුතු බවයි. නමුත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එකී බලතල (දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හැර* නිතැතින්ම කොමිසම වෙත පැවරේ (අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව සදහන් කිරිමකින් තොරව*. එසේම දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පත් කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් කොමිසම විමසා පත් කිරීම් සිදුකල යුතු බව සංශෝධනයෙන් නියම කරන ලදි.

    13.ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    18 වන ව්‍යවස්ථාවෙන් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල වූයේ පොලිසියට එරෙහිව එන මහජන පැමිණිලි විභාග කිරීම පමණි. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස්පති විමසා පොලිස්පති හැර අනෙකුත් නිලධාරීන් බදවාගැනීම මාරුකිරීම විනය කටයුතු පැවරී තිබේ. එසේම පොලිසිය සදහා සිදුකරන බදවාගැනීම් මිළදී ගැනීම් සදහා අදාල ප‍්‍රමිතීන් සකස් කිරීමද මේ යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇත. (මෙම ඇතැම් බලතල 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ප‍්‍රධානය කර තිබී පසුව 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලද බලතල වේ*

    14.මැතිවරණ කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    මැතිවරණ සමය තුලදී රාජ්‍ය දේපළ දේශපාලන පක්‍ෂ හෝ ස්වාධින කණ්ඩායම් ප‍්‍රවර්ධනයට යොදාගැනීම වැළැක්වීම සදහා අදාල විධාන නිකුත් කිරීමේ බලතල 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදෙන ලදී. එසේම මැතිවරණ කාලසීමාව තුල ජනමාධ්‍ය සදහා උපමාණ නිකුත් කිරීමේ බලතල ලබාදෙන ලදී. මෙම උපමාන හෝ විධාන කඩකරන රාජ්‍ය නිළධාරියකුට හෝ රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවසායක නිලධාරියකු වසරක් දක්වා සිරදඩුවම් ලබාදීමේ ප‍්‍රතිපාදනද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපනය කරන ලදී.

    15.අල්ලස් කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    පැමිණිල්ලක් නොමැතිව අල්ලස් පිලිබදව පරීක්‍ෂණයක් ආරම්භ කිරීමේ බලතල අල්ලස් හෝ ¥ෂණ චෝදනා කොමිෂන් සභාවට 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප‍්‍රතිපාදන සලසා ඇත.

    16. හදිසි පනත් කෙටුම්පත් පිලිබද ප‍්‍රතිපාදන ඉවත් කිරීම

    පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදන වලට අනුව ර්‍ණජාතියේ හිත පිණිස වහා අවශ්‍යයැයි කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලභාවය සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමෙන් පසුව උපරිම වශයෙන් දින 3ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය ලබාදිය යුතු අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කල හැකිය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හදිසි පනත් පිළිබද මෙම ප‍්‍රතිපාදන සලසා තිබු 122 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කර හදිසි පනත් ගෙන ඒම පිලිබද ප‍්‍රතිපාදන ඉවත් කරන ලදී. එසේම පනත් කෙටුම්පතක් (සාමාන්‍ය* පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර දින 7කට පෙර ගැසට් පත‍්‍රයේ පලකල යුතුය යන ප‍්‍රතිපාදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින 14කට පෙර පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පලකල යුතුය යනුවෙන් සංශෝධනය කරන ලදී.

    17.අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සීමා කිරීම

    කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යව 30 දක්වා සහ නියෝජ්‍ය හෝ රාජ්‍ය හෝ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ එකතුව 40 දක්වා සීමා කිරීමේ ප‍්‍රතිපාදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත. ජාතික ආණ්ඩුකවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කල හැකිය.

    18.ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුගේ වයස අවුරුදු 35 විය යුතුවීම

    ඵැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස අවුරුදු 30ක්ව පැවති අතර 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම වයස අවුරුදු 35 දක්වා ඉහල දමන ලදී.

    19. විදේශ රටක පුරවැසිභාවය හිමිවූවකුට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු ලෙස කටයුතු කිරීමට නොහැකිවීම

    29 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විදේශ රටක පුරවැසිභාවය හිමි පුද්ගලයකුට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට නුසුදුසුකමක් ලෙස ප‍්‍රතිපාදන සකස් කරන ලදී.

    නීතිඥ ජගත් ලියන ආරච්චි

  • දේශපාලන අවස්ථාවාදයේ තරම හරියටම කියන 23ක් 20ට අත උස්සන්න සූදානම්

    දේශපාලන අවස්ථාවාදයේ තරම හරියටම කියන 23ක් 20ට අත උස්සන්න සූදානම්

    ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ බලය අඩු කිරීමට 2001 දී හදුණ්වාදුන් 17 ව්‍යවස්ථා සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නේය.

    17 න් පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට දුන් බලය 18 න් උදුරාගන්නා විට ද, එයට 2010 තේරී පත් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දය දුන්නේය. 18ට ඡන්දය දුන් බොහෝ දෙනෙකු, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කීම අසා 2015 දී, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේය. කොමිෂන් සභා පිහිටුවේය.  ජනපති බලතල කැපුවේය. අගමැති බලතල වැඩි කළේය.  මැතිවරණ නිදහස් කළේය. 

    දැන්, මේ පිරිසෙන්ම කොටසක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත ඔසවනු ඇත. Politics have no relation to morals යැයි   Niccolo Machiavelli කීවේ මෙවැනි අවස්ථාවන් ගැනය.

    හෘද සාක්ෂියක් ඇතිව හෝ නැතිව 17, 18, 19 සහ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරටම පක්ෂව ඡන්දය දීමට ලංකා දේශපාලනයේ ප්‍රතිපත්තියක් නැති කම පිළිබඳව කථාවයැයි මම සිතමි. 

    හිටපු කථානායක චමල් රාජපක්ෂ කථානායක ධූරයේ කටයුතු කරමින් 19 ට පක්ෂව ඡන්දය දෙන්නට ලැබුණේ නැත.   මහින්ද යාපා අබේවර්ධන ට ද වත්මන් කථානායකවරයා නිසා 20 ට ඡන්දය දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත.

    හිටපු ජනපති, අගමැති මහින්ද මහතා 19 සම්මත වන විට පාර්ලිමේන්තුවේ සිටියේ නැති අතර, 18 ට ද (ජනාධිපතිවරයා නිසා) ඡන්දය දී නැත. 19 ගෙනඒමට අති මහත් කැපවීමක් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ බැවින් පාර්ලිමේන්තුවේ ඡන්දයක් දෙන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

    මේ 17, 18, 19 පක්ෂව ඡන්දය දුන් හා 20 ට පක්ෂව ඡන්දය දිය හැකි කණ්ඩායම මෙසේය.  

    1.       මහින්ද සමරසිංහ

    2.       රංජිත් සියඹලාපිටිය

    3.       ප්‍රියංකර ජයරත්න

    4.       එස්.බී.දිසානායක

    5.       සුසිල් ප්‍රේමජයන්ත

    6.       ඩලස් අලහප්පෙරුම

    7.       ජොන්ස්ටන් ප්‍රනාන්දු

    8.       අනුර ප්‍රියදර්ශන යාපා

    9.       විමල් වීරවංශ

    10.   පවිත්‍රා වන්නිආරච්චි

    11.   ජොන් සෙනෙවිරත්න

    12.   දිනේෂ් ගුණවර්ධන

    13.   ගාමිණී ලොකුගේ

    14.   බන්දුල ගුණවර්ධන

    15.   ඩිලාන් පෙරේරා

    16.   ඩග්ලස් දේවානන්ද

    17.   ඒ.එල්.එම්. අතාවුල්ලා

    18.   ජී.එල්.පීරිස්

    19.   මහින්දානන්ද අලුත්ගමගේ

    20.   තිස්ස විතාරණ

    21.   නිමල්සිරිපාල ද සිල්වා

    22.   දුමින්ද දිසානායක

    23.   ජනක බණ්ඩාර තෙන්නකෝන්

    17, 18 හා 19 ට ඡන්දය දුන් රාජිත සේනාරත්න 20 ට ඡන්දය දෙන්නේ නැතැයි මා සමඟ කීවේය.  චම්පික රණවක 17 ට ඡන්දය දුන්නේ නැති අතර 20ට ත් ඡන්දය නොදෙනු ඇත.  තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස 18 ඡන්දය නොදුන් අතර 20 ට ද ඡන්දය නොදෙනු ඇත.

    19 සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන විට කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ නොසිටියේය. 19 ට එදා විරුද්ධ වූ දෙදෙනාගෙන් පෙරටුගාමී පක්ෂයේ අජිත් කුමාර මෙවර පාර්ලිමේන්තුවේ නැති නමුත් සරත් විරසේකර අමාත්‍යවරයෙකි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මහීපාල හේරත් තාත්තා සංශෝධන දෙකකට පක්ෂව ඡන්දය දී ඇති අතර, ඔහුගේ පුත් කනක හේරත් ඉතිරි සංශෝධන දෙකට පක්ෂ ය.

    වාසුදේව 17 ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර 18,19 ඡන්දය දී 20ට  ඡන්දය දීමට උනන්දුවෙන් බලා සිටින්නෙකි. 

    කෙසේ නමුත්, තිස්ස විතාරණ, වාසුදේව, රාජිත, ඇතුළු මන්ත්‍රීවරුන් විටෙක ප්‍රසිද්ධියේ ද, විටෙක පුද්ගලිකවට 18 ට අත එසවීම ගැන කණගාටුවන බව පසුව ප්‍රකාශ කර ඇති බව මාගේ මතකයි.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ  225 න් 215 ක් ඡන්දය දුන්නේය.  17 වන ව්‍යවස්ථා සංශෝධනය ලංකා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ එකම ව්‍යවස්ථා සංශෝධනය යි.

    ලැයිස්තුව දිගු බැවින් 19 හා 20 දෙකටම පක්ෂ විය හැකි මන්ත්‍රී ලැයිස්තුව මෙහි ඇතුළත් කරන්නේ නැත.

    20 වන ව්‍යවස්ථා සංශෝධනය  යනු එකමතිකව සම්මත වූ 17 හා දෙදෙනෙකු හැර අන් සියළු දෙනා පක්ෂ වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමයි. මේ තුන හතරටම ඡන්දය දෙන්නට මන්ත්‍රීවරයෙකුට හැකි වන්නේ කෙසේ දැයි ඇසිය යුත්තේ ඔවුන්ගේ හෘර්ද සාක්ෂියෙන්ම පමණී.

    රජිත කීර්ති තෙන්නකෝන්

  • මාධ්‍ය මහත්තුරු කියන්නෙ මට බැදුම්කර හොරා කියලා – රනිල් වික්‍රමසිංහ

    මාධ්‍ය මහත්තුරු කියන්නෙ මට බැදුම්කර හොරා කියලා – රනිල් වික්‍රමසිංහ

    ඊයේ(04) දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි රනිල් වික්‍රමසිංහ එම කමිටුව හමුවේ කියා සිටියේ තමා බැදුම්කර සිද්ධියට සම්බන්ධ නැති බව බැඳුම්කර කොමිසම සහ පාර්ලිමේන්තුව පවසා තිබියදී ත් මාධ්‍ය මහත්තුරු එය පිළිනොගන්නා බවත් තමන්ට බැදුම්කර හොරා යැයි කියන බවත් ය.

    හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොමිසම විසින් දූෂණ විරෝධි කොමිසමට ලැබෙන තොරතුරු මත වැටලීම් කිරීම,අත් අඩංගුවටගැනීම,ප්‍රශ්න කිරීම,සහ ජනාමාධ්‍යය තුළින් ප්‍රසිද්ධියට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීම හරහා සැකකරුවන් සමාජයේ වැරදිකරුව් ලෙස හංවඩු ගැහෙනවා නේද යනුවෙන් කරන ලද විමසීමකට පිිළිතුරු ලෙසයි.

    හිටපු අග්‍රාමාත්‍යවරයා සරල සහ සැහැල්ලු ඉරියව්වකින් කොමිසම ඉදිරියේ පිළිතුරු ලබා දුන් අතර නික්ම යාමේදි මාධ්‍යවේදීන්ට පිිළිතුරු ලබා දීමෙන් වැළකී සිටි අතර මාධ්‍යවේදියෙක් එජාප නායකත්වය ගැන කරන ලද විමසිමකදී එය කොමිසමෙන් නෑසූ බව සඳහන් කළේය.

  • 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය ගැන කරුණු 17ක්

    20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය ගැන කරුණු 17ක්

    • ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය.

    1.    ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම

    2.    ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර  සිවිල් පුරවැසියන් ඉවතට

    3.    විගණන සේවා කොමිසම ඉවරයි.  නැවත විගණකාධිපති ධූරයට ස්ථාපනය වේ.

    4.    ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාව අහෝසියි

    5.    පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති අතට

    6.    නීතිපති පත් කිරීම නැවතත් සම්පූර්ණයෙන්ම ජනපති අතට

    7.    ඇමති මණ්ඩලයේ 30 සීමාව ඉවතට (කැමති ඇමතිවරු සංඛ්‍යාවක් පත් කිරිමේ බලය ජනපතිට)

    8.    රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40 සීමාව ඉවතට (ජනපතිට කැමති රාජ්‍ය/නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවක්)

    9.    පාර්ලිමේන්තුව රැස්වී අවුරුද්දකට පසු විසිරුවාහැරීමේ අවස්ථාව

    10.                       හදිසි පනත් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාව

    11.                       මැතිවරණ කොමිෂන් සභාවේ කොන්ද කඩයි. (රාජ්‍ය නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ බලය සහිත 104 උ වගන්තිය ඉවතට)

    12.                       ජනාධිතිවරයෙකු වීමට අවම වයස 35 සිට 30 දක්වා අඩු කෙරේ

    13.                       ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ වැඩ බැලීමේ පත්වීම් ජනාධිපති අභිමතයට

    14.                       අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින් ඉවත් කිරීමේ බලය ජනාධිපතිට

    15.                       පොලිස් කොමිෂන් සභාවේ බලය අඩු කර ඇත

    16.                       153 වගන්ති ඉවත් කිරීම – අතිශයින් විනාශකාරීවීම හා රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයින් හා එක්ව සිතු සේ කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.

    17.                       91 (1)      XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බව ට වන කොටස ඉවත් කිරීම

    ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය.

    රජිත් කිර්ති තෙන්නකෝන්- හිටපු ආණ්ඩුකාර

  • 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම මෙන්න..

    20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම මෙන්න..

    ඊයේ (02) පැවැති කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද (03) දින නිකුත් කිරීමට රජය පියවර ගත්තා.

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූණා.

    කැබිනට් මණ්ඩයේ අනුමැතිය හිමිවීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා ඊයේ එය රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබුණා.

    ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

    20 වන සංශෝධනයට අදාළ ගැසට් ප…

  • නෝර්වේ තානාපතිනිය සහ කතානායක අතර විශේෂ හමුවක් – සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න

    නෝර්වේ තානාපතිනිය සහ කතානායක අතර විශේෂ හමුවක් – සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න

    ශ‍්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද උදෑසන පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මුණගැසුණාය.

    මෙහිදී මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සුබපැතුම් එක් කළ එම මහත්මිය පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කතානායකවරයා සමග සාකච්ඡුාවක නිරත වූවාය.

    මෙම හමුවෙහිදී දෙරටෙහි පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි සබඳතා හා සහක‍්‍රියාකාරීත්වයන් පිළිබඳවද එස්කෙඩල් තානාපතිතුමිය හා කතානායකවරයා අතර අදහස් හුවමාරු විය. ඔස්ලෝ මධ්‍යස්ථානය විසින් මීට පෙර දියත් කරන ලද වැඩසටහනක කොටසක් වශයෙන් ශ‍්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවෙහි සංචාරයක නිරත වෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණගැසුණු බවද ඇය සිහිපත් කළාය. පොදු ඒකමතිකභාවය හා සන්ධානගතවීම් ගොඩනැගීමේදී නෝර්වේජියානු සන්දර්භය තුළින් උගත හැකි වටිනා පාඩම් හඳුනාගැනීම එම සංචාරයේ අරමුණ විය.

    විවිධ රටවල් වෙතින් ප‍්‍රායෝගික අත්දැකීම් උකහා ගැනීම තුළින් ඉගෙන ගැනීමේ සහ විවිධ පාර්ලිමේන්තු ආශ‍්‍රිතව මුහුණ පෑමට සිදු විය හැකි අභියෝග හා ගැටළු වෙත සාර්ථකව මුහුණ දීම සඳහා එකී සන්දර්භයන්ට නිරාවරණය වීමේ වැදගත්කම අවධාරණය කළ එතුමිය, නෝර්වේ රාජ්‍යය ස්වකීය පාර්ලිමේන්තු අත්දැකීමෙන් උගත් පාඩම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බවද ප‍්‍රකාශ කළාය. මෙම හමුවේදී සාකච්ඡුාවට බඳුන් වූ තවත් මාතෘකා අතර ආර්ථික සංවර්ධනය, සාගරික අංශය, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මෙන්ම ශ‍්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තර කර ගත හැකි ආකාරද විය.

    නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ¥ත මණ්ඩල ප‍්‍රධානී හිල්ඬේ බර්ග්-හැන්සන් මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික බස්නායක මහතා සහ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.

  • මිරිස් වෙනුවට ගම්මිරිස් කන ලෙස ජනපති ජනතාවට කියයි

    මිරිස් වෙනුවට ගම්මිරිස් කන ලෙස ජනපති ජනතාවට කියයි

    කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සවංර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත්, විධිමත් සැලසුම් සැකසීම ගැන  දීර්ඝව සාකච්ඡා කෙරිණ.

    මෙරට වාර්ෂික බඩ ඉරිගු ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05කි. එය සපුරාගැනීමට වගා කළයුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වේ. දැනට හෙක්ටයාර 80,000ක බඩ ඉරිගු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර  එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි.

    ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහ හැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට  සැලසුම් කර තිබේ. මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරිමේ වැදගත්කම  ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    පාකිස්ථානය මෙරට බුලත්වල ප්‍රධාන ගැණුම්කරුවෙකි. කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම නිසා අපනයනය පහත වැටිණ. ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසදුම් සොයන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    විශ්ව විද්‍යාල මගින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගය එකතුකිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ  අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    උක් කර්මාන්තයේ සහ කජු වගාවේ ප්‍රවර්ධනය

    කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු හා කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්නිලධාරීහු සහ වගා සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඇමතිවරුන්ට ‘අනතුරු’ ඇඟයීමක්

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඇමතිවරුන්ට ‘අනතුරු’ ඇඟයීමක්

    ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු යැයි ‘පැවිදි හඬ සංවිධානයේ’ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.

    අද (03) දින පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ මහජන මතයට කන් නොදෙන අමාත්‍යවරුන් හා නිලධාරීන් යහපාලන ආණ්ඩුවට සිදුවූ දේ ආදර්ශයට ගත යුතු බවයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේ ද සඳහන් කළහ.

    සමහර ඇමතිවරු ඉන්නවා දුරකථනයට කථා කරන්නේ නැහැ, සමහර ඇමතිවරුන්ට කථා  කරන්නවත්, පුළුවන්කමක් නැහැ. මේ මම හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  “සෞභාග්‍යයේ දැක්මට“ මේවා ගැළපෙන ඒවා නෙමෙයි”

    “ඇමතිවරු පත්කරේ ජනතාව, ජනතාවට මේ අය සේවකයෝ වෙන්නට ඕනේ, නම්‍යශීලි වෙන්නට  ඕනේ, ඇමතිලා හමුවෙන්න යන විට ඔවුන් හමුවෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මෙය  රටේ රාජ්‍ය නායකතුමාට මතක් කරනවා”

    “මේ ඇමතිවරු ජනතාවට නම්‍යශීලි වෙන්න ඕනේ, ජනතවගේ ඕනෑ එපාකම් ඉටුකරන්න ඕනේ, ජනතා සුභසිද්ධිය ගැන බලන්න ඕනේ, කාර්යාලයක නිලධාරීයෙක් හමුවෙන්නට යන විට ඔහු පුටුවේ නැහැ, වෙන දවසක එන්න කියලා කියනවා, නිලධාරියෙක් ළඟට ප්‍රශ්නයක් ගෙන ගියාම ඒ ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන සුමානයක් ඔහු ළඟට යන්නට ඕනේ”

    “ඒ නිසා මේ මහජන මතය හැමදාම එක පැත්තකට තිබෙන මතයක් නොවෙයි. මහජන මතයට කන්දෙන්න. මහජන මතයට පයින් ගහන්න එපා, නැත්නම් ඔබටත් වෙන්නේ යහපාලන අණ්ඩුවට වුණ දේ”  

  • දේශපාලන පළිගැනීම්  පිළිබඳ කමිටුවේ වාර්තාව අගමැතිට

    දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ වාර්තාව අගමැතිට

    දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද (02) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දෙන ලදී.

    2015-2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන්  දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයින් 6952 දෙදෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

    ඒ අතුරින් 1152 දෙදෙනෙකුගේ අභියාචානාවලට අදාළ පරීක්ෂා කිරීම්, නිරීක්ෂණ හා ඉදිරි පියවර මෙම වාර්තාවට ඇතුළත්ය.

    2015-2019 කාලයේ දේශපාලන පළිගැනීම් සිදුව ඇති ආකාරය, කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූ බව කමිටුවේ  සාමාජිකයෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්හ.

    දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම මෙම කමිටුවේ වගකීමක් බවත්, ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, කැබිනට් මණ්ඩය දැනුවත් කොට විෂය භාර අමාත්‍යවරුන් ඔස්සේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යතුමා කමිටුවේ සාමාජිකයින්ට  උපදෙස් දුන්නේය.

    කමිටුවට මේ දක්වා අභියාචනා 1152ක් පරීක්ෂා කර, නිරීක්ෂණ ගොනු  484 ක් විවිධ ආයතනවලට යොමු කර තිබේ. විමර්ශනය සඳහා කමිටුවට කැඳවා තිබෙන  අභියාචානා  සංඛ්‍යාව 372 කි.

    කොවිඩ්-19 හේතුවෙන් මාස 3ක කාලයක් කමිටුවේ කටයුතු ඇණහිට තිබුණ ද මේ දක්වා අඛණ්ඩව සිදුවන විමර්ශනයන්ට අදාළව ආයතන ප්‍රධානීන් 34 දෙනෙකු කමිටුව වෙත කැඳවා ඇති බව දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ මහත්මිය  මෙම  හමුවේදී පෙන්වා දුන්නාය.

    කමිටුවේ සභාපතිවරයා  ලෙස මෙයට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරියරත්න අරුමප්පෙරුම, මහින්ද සෙනෙවිරත්න මහත්වරු කටයුතු කරති.

    මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ (2015-2019) කමිටුවේ සාමාජිකයින් වන ඒ.ආරියරත්න, මහින්ද සෙනෙවිරත්න, කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

  • 20 සම්මත කරගන්න 3/2න් පුළුවන් – නීතිපති

    20 සම්මත කරගන්න 3/2න් පුළුවන් – නීතිපති

    යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

  • ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා – කරු ජයසුරියට මහා සංඝරත්නය පවසති

    ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා – කරු ජයසුරියට මහා සංඝරත්නය පවසති

    එක්සත් ජතික පක්ෂය බේරාගත හැකි එකම නායකයා කරු ජයසූරිය පමණයි” අස්ගිරි පාර්ශවයේ ජ්ජ්‍‍යෙයෂ්ඨ කාරක සංඝ සභික සුදුහුම්පල රජ මහා විහාරාධිපති මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කලේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (31) දින මල්වතු – අස්ගිරි හා රාමඥ්ඥ නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැකීම සඳහා මහනුවර බලා ගිය අවස්ථාවේ දීය.

    කරු ජයසුරිය මහතාට ආශිර්වාද කරමින් ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ මෙසේද පැවසූහ.
    පසුගිය කාළයේ ඔබතුමන් සිංහයෙක් වගේ ඉදිරිපත් වෙලානෙ ආණ්ඩුව බේරා ගත්තෙ, නැත්තම් එදා ඕක යනවනෙ ගැස්සිලා ඔබතුමාට මතක ඇති මුලින්ම මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා අනුශාසක වශයෙන් ඉන්න කරු ජයසූරිය මැතිතුමාට නායකකම දෙන්න කියලා. 
    මොකද අපි කැමති නෑ පක්ෂයක් වැළලිලා යනවට දැන් මොකද ඒකෙන් උනේ බලන්නකො පක්ෂයක් නෑ.. අලියෙක් නෑ..
    ඇත්තටම ඔබතුමාට දුන්නොත් ඇත්තටම ඔබතුමාට ගොඩගන්නත් පුළුවන් ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙත් එක්කනම් මේ නුවර පළාතේකතා කරන කව්රුත් කියන්නෙ ඇයි හාමුදුරුවනේ කරු ජයසූරිය මහත්තයට දෙන්නෑ කියන්නෙ, දෙන්න කියන්නකො ඇරං භාරගෙන කරන්න කියන්නකො, යන හැම තැනකම ඕකනේ කියන්නෙ. ඒ නිසා මේක අනිවාර්යයෙන් විය යුතුම දෙයක්. ඔබතුමා පස්සට යන්න එපා. එච්චරයි කියන්නෙ. පහුගිය දවස්වල භික්ෂුන් වහන්සේලාගේ රැස්වීමක් අපි තිබ්බනේ ඔක්කොම එක හඬින් කිව්වෙ ඔබතුමාට දෙන්න කියලනෙ පක්ෂයේ හොඳ ජේෂ්ඨයො අල්ලාගෙන සාකච්ඡා කරලා කොහොම හරි මේ පක්ෂෙ බේරාගන්න අපි සටන් කළ යුතු වෙනවා.

  • 19 ව්‍යවස්ථා සංශෝධනය රකින්න හේතු 29ක්

    19 ව්‍යවස්ථා සංශෝධනය රකින්න හේතු 29ක්

    19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා දුන්න ප්‍රගතිශිලි වෙනසක්.  19 අහෝසි කිරීමෙන් මේ රටේ පුරවැසියෝ දීර්ඝ කාලයක් ඉල්ලා සිටි, වෙනස්කම් 29 ක් රටට අහිමි කරලා, මේ රට ශිෂ්ඨත්වයෙන්, මිලේච්ඡත්වය දක්වා ආපසු ගමන් කරවනවා. 

    17 සංශෝධනයෙන් දිනා දුන් දේ, 18 න් අහෝසි කළා.  ඒ ජයග්‍රහණ 19 න් නැවත රටට ලැබුණේ, මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු මේ රටේ සිවිල් ක්‍රියාකාරීන් ගෙන ගිය අරගලය නිසයි. 

    මම 19 සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට විරුද්ධ වෙන කරුණු 29 ක් තියෙනවා. ඒවා එකින් එක පැහැදිලි කරන්නම්,   

    1.      30 (2) වගන්තිය යටතේ වසර 5 ක් දක්වා අඩු කරපු ජනාධිපතිවරයාගේ ධූර කාලය නැවත වසර 6 ක් දක්වා දීර්ඝ වෙනවා.  ඒ කියන්නේ නැවත ඡනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ  2025 සැප්තෑම්බර් – ඔක්තෝබර්. අවුරුදු 6 ක ධූර කාලයක් රටකට බරක්. ලෝකය රාජ්‍ය නායකයාගේ ධූර කාලය අවුරුදු 4 දක්වා අඩුකරන යුගයක, අපි ආපසු වසර 6 ක් දක්වා වැඩි කළ යුතු  නෑ.

    2.      31 (2) වගන්තිය හා 92 වගන්තිය අනුව ජනාධිපතිවරයෙකුට අවස්ථා 3 ක් හෝ එයට වැඩි අවස්ථා ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබෙන්නේ නෑ.  ලෝකයේ ශිෂ්ඨ රටවල් වාර දෙකකට වැඩිය රාජ්‍ය නායකයෙක් තියාගන්නේ නෑ. අවුරුදු 10 කින් කරන්න බැරි දේ, අවුරුදු සීයක් හිටියත් කරන්න බෑ.  කිසිම ශිෂ්ඨ රටකට ‘යාවජීව නායකයෝ‘ අවශ්‍ය නෑ.  

    3.      ජනාධිපතිවරයාට විරුද්ධව දික්කසාද නඩුවක් හෝ පවරන්න බෑ කියලා කලකට ඉහත විහිළු කථාවක් තිබුණා ඔබට මතක ඇති.  19 ව්‍යවස්ථා සංශෝධනයේ 35 වගන්තිය අනුව, ජනාධිපතිවරයාගේ අසීමිත මුක්තිය නැති වුණා.  දැන් ජනාධිපතිවරයාට විරුද්ධව මුලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ රටේ පුරවැසියෝ මුලික අයිතිවාසිකම් නඩු ගණනාවක් පවරලා තියෙනවා. ජනාධිපතිවරයෙකු හිතුවක්කාරී තීරණයක් ගත්තොත් අධිකරණයට යන්නට අවස්ථාවක් තිබිය යුතුයි. 19 අහෝසි වුනොත්, ඒ අයිතිය නැති වෙනවා.

    4.      42 වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පත් කිරීමේ බලය ‘පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයාට පමණක්‘ ලබාදීම සිදු වුණා.  පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය නැති බව පෙන්වන්නට පුළුවන් නම්, ජනාධිපතිවරයාගේ කැමැත්ත කුමක් වුනත් ඒ පුද්ගලයාට අගමැති ධූරයේ කටයුතු කරන්න බැරි පරිසරය හැදුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. පාර්ලිමේන්තුවේ 113 ක් නැති අයෙකුට අගමැතිකම දෙන්න පාර කපනවාට ඔබ කැමතිද? මම විරුද්ධයි.  ඒ නිසා, 19 සංශෝධනය රැකෙන්නට ඕනි.

    5.      43 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ ගණනාවක් තමන් වෙතම රඳවා ගැනීමේ බලය අහිමි කරනු ලැබුවා.  19 ට කලින් ජනාධිපතිවරයාට රටේ තියෙන ඔක්කොම අමාත්‍යාංශ තමන්ගේ නමින් ගැසට් කර ගැනීමේ හැකියාව තිබුණා. අද එවැනි තත්වයක් නෑ.  ආයෙත් සැරයක් රටේ තියෙන හොඳම අමාත්‍යාංශ ජනාධිපති අතට පත්වෙලා අන්ත අකාර්යක්ෂම පාලනයක් ඇතිවෙනවාට මම විරුද්ධයි. 

    6.      43 (2) වගන්තියට අනුව, දැන් අමාත්‍යවරුන් හා කැබිනට් මණ්ඩලය පත් කිරීම විතරක් නෙවෙයි ඉවත් කිරීමත් අගමැතිවරයා විසින් සිදු කළ යුතුයි.  එය ජනාධිපතිවරයාගේ හිතූ මනාපයට සිද්ධ කරන්න බෑ.  (2004 දී චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ජනමාධ්‍ය, ආරක්ෂක ඇතුළු අමාත්‍යාංශ 3 ක් පවරා ගැනීම වැනි ව්‍යවහාරයක් වැලැක්වූනේ 19 සංශෝධනයෙන්) ජනාධිපති, හිතුවක්කාරී ලෙස අමාත්‍යාංශ පවරා ගන්නවාට මම විරුද්ධ නිසයි 19 රැකෙන්න ඕනි.

    7.      43 (3) වගන්තියෙන් ජනාධිපතිවරයාට අමාත්‍යවරයෙකු ගේ විෂය හා කාර්යය වෙනස් කරන්න පුළුවන්.  නමුත්, ඔහුට අගමැතිවරයා කැමැත්ත නැතිනම් කැබිනට් මණ්ඩලයෙන් නෙරපන්න බැරි පරිසරය හැදුණේ 19 සංශෝධනයෙනි.

    8.      44 වගන්තියේ දැක්වෙන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ දී ද, ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත නොව, අග්‍රාමාත්‍යවරයාට එහි වැඩි බලයක් ලබාදීම බල තුලනයට වැදගත්. එය වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නිසයි මම 19 රැකගත යුතු යැයි  කියන්නේ.  

    9.      45 වගන්තියෙන් නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීමේ දී ද, අග්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් හිමි වුණේ, 19 නිසයි. කේලම් කියන, ගෙදර බල්ලා නාවපු නිසා නියෝජ්‍ය ඇමතිවරු වුණු යුගය අවසන් කරන්නට 19 සංශෝධනයෙන් පටන්ගත්තා.  ඒක ආපසු හැරවිය යුතු නෑ.

    10.  52 වගන්තියෙන් අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා.  අගමැති කැබිනට් මණ්ඩලය තෝරාගත්තාට, ලේකම්වරුන් පත් කිරීම ජනාධිපතිවරයාට ලැබීම තුල විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බල තුලනයක් ඇති වුණා.  ඇමතියි, ලේකම් දෙන්නාම එක්ක අයෙකු පත් කරන විට විධායකයේ අවශ්‍යතාවට නැටවෙන අමාත්‍යාංශ බිහිවෙනවා.  එයින් සිදු වුණු විනාශය අඩු කරන්න, 19 සංශෝධනය හේතු වුණා.

    ශිෂ්ඨ රටකට විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය අතර බල තුලනයක් අවශ්‍යයි. තුලන හා සංවරණය ඇති කිරීම යහපත් ආණ්ඩුකරණයක ලක්ෂණයක්. 19 සංශෝධනය ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවෙන් ‘අතුරුදන් කරපු‘ තුලන හා සංවරණය නැවත ඇති කළා.  ලංකාව ආයෙත්, ජේ.ආර්.ගේ ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැරි ඒකාධිපති – අශිෂ්ඨ ව්‍යවස්ථාව කරා ආපසු ගමන් නොකළ යුතුයි.     

    11.  ජනාධිපතිවරයා සතුව තිබූ බලය ක්‍රියාත්මක කිරීම සඳහා 41 වගන්තිය යටතේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක්‘ 19 සංශෝධනයෙන් ඇති වුණා.  එය ජනාධිපතිවරයා සතු බලයෙන් කොටසක් පාර්ලිමේන්තුවටත්, රටේ සිවිල් සංවිධානවලටත් බෙදීයාමකි. 

    12.  ව්‍යවස්ථාවේ  41 ( ඇ) වගන්තිය අනුව, කොමිෂන් සභා 9 කට (මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන), මුදල්, සීමා නිර්ණය, ජාතික ප්‍රසම්පාදන) කොමිසන් සභා සඳහා පුද්ගලයින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිවන්නේ, ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන් පමණයි.

    13.  උප ලේඛණයේ දෙවන කොටස යටතේ දැක්වෙන තනතුරු සඳහා  (අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සභාපති හා සාමාජිකයින්, නීතිපති, පොලිස්පති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්) පුද්ගලයින් පත් කිරීම ජනාධිපතිවරයාගෙන් නම් යෝජනා කිරීමෙන් පසුව, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට 19 සංශෝධනය නිසා සිදු වෙනවා.  

    14.  රාජ්‍ය සේවයේ තනතුරුවලට අදාල බලය 54 වගන්තියේ සිට 61 දක්වා වගන්තිවලින් පාලනය වුණා. 19 අහෝසි වුනාම නැවත සිදුවන්නේ, දේශපාලනඥයින් පිටුපස යන්න වෙන එකයි.

    15.  පොලිස්පති, නීතිපති, විගණකාධිපති, ඔම්බඩ්ස්මන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, විනිසුරුවන් පත් කිරීමේ දී ජනාධිපතිවරයා නම් යෝජනා කිරීමත්, ව්‍යවස්ථා සභාවේ වෙතින් එම නම් සඳහා අනුමැතිය ලබාගැනීමත් 19 නිසා ඇතිවූ ව්‍යහාරයකි.   අඩුම ගානේ පාර්ලිමේන්තුවට, රටේ කණ්ඩායමකට හෝ ඉහතින් දැක්වූ තනතුරු වලට පත්වෙන පුද්ගලයින් ගැන අදහසක්/ විවේචනයක් තියෙනවා නම් එය ඉදිරිපත් කරන්න හෝ අවස්ථාව හෝ ලැබුණේ 19 සංශෝධනය නිසයි. 

    16.  අවුරුද්දක් ගිය පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තිබූ බලය  70 වගන්තියෙන් වසර 4  ½ ක් දක්වා වැඩි කරනු ලැබුවේ 19 සංශෝධනයෙනි.  චන්ද්‍රිකා පාර්ලිමේන්තු විසිරුවා හැරි ආකාරයට, තමන් කැමති වෙලාවට, කැමති විදිහට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවන යුගයක් රටට අවශ්‍ය වන්නේ නෑ.  19 අහෝසිවීම වැලැක්විය යුත්තේ ඒ නිසයි.

    17.  104 වගන්තිය මගින් මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ සම්බන්ධයෙන් විශාල බලයක් ලබාදී තිබෙනවා.  එය මෙරට මැතිවරණ ක්‍රමය ප්‍රචණ්ඩත්වයෙන් අවම කරන්න, මැතිවරණ දුෂණ අඩු කරන්නට, රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සීමා කිරීමට හේතුවක් වුණා.  මැතිවරණ කොමිසම ජනාධිපතිවරයටත් වඩා බලවත් බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පැහැදිලිවම පෙනුණා. 19 අහෝසි වෙනවා කියන්නේ මැතිවරණ කොමිසම ඉවත් වී නැවත, අර ‘ආතතිය හැදෙන්නට පුළුවන්‘ තනි පුද්ගලයෙකු යටතේ මැතිවරණ පැවැත්වීමයි.

    18.  ජනාධිපතිවරයා ගෙදර යන ගමන් හිටපු හැටියේ ‘විනිසුරුවන්ට පත්වීම් දුන් අතීතයක් තිබුණා.  107 වගන්තිය යටතේ අගවිනිසුරු ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදු වුණේ 19 නිසයි.  විනිසුරුවන් පත් කිරීමේ දී නම් කිහිපයක් විවෘතව සලකා බැලීමේ තත්වය මතු වුණේ, 19 සංශෝධනය නිසයි.

    19.  111 වගන්තිය යටතේ අධිකරණ සේවා කොමිසන් සභාව හා එහි සංයුතිය තීරණය කිරීමේ ප්‍රතිපාදන ලැබුණේ 19 නිසයි. දැන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලයට ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පස්සා දොරෙන් බලපෑම් කරන්නට නම්, 19 අහෝසි විය යුතුයි.  අධිකරණ සේවා කොමිසමට ජනාධිපතිවරයා නම් යෝජනා කරන පුද්ගලයා, ව්‍යවස්ථා සභාව විසින් අනුමත නොකරන්නේ නම්, ඔහුට තනතුර ලැබෙන්නේ නැත්තේ ද, 19 නිසයි.

    20.  153 හා 153 (අ) වගන්තිය අනුව විගණකාධිපති පත් කිරීම, විගණන කොමිසම පිහිටුවීම හා එහි සංයුතියට අයත් කරුණු ඇතුළත් වෙනවා.  19 අහෝසි කරනවා කියන කොට නිතැතින්ම මතුවන ප්‍රශ්නය තමයි, විගණන කොමිසම අහෝසිවෙනවාද? කියන එක. අපි දැක්කා, විවිධ ආණ්ඩු විගණකාධිපතිවරයාට බලපෑම් කරන්න දරපු උත්සාහයන්.  19 සංශෝධනය එවැනි බලපෑම් නැති කළා විතරක් නෙවෙයි, විගණන කොමිසමක් ඇති කලා. දුෂිත නිලධාරීන් විගණන කොමිසමට කිසි ලෙසකින් වත් කැමති නැති බව පැහැදිලි සත්‍යයක්.

    21.  155 අ වගන්තිය යටතේ පිහිටවූ ජාතික පොලිස් කොමිසමේ කටයුතු පිළිබඳ සෘණාත්මක අදහසක් තියෙනවා. දේශපාලනඥයින් පොලීසියේ කටයුතුවලට අත පෙවීම පොලිස් කොමිසම ස්ථාපනය කිරීමෙන් අවසන් වුණා.  19 සංශෝධනය අහෝසි කිරීම, පොලිස් කොමිසම නැතිකරලා අයෙත් ප්‍රාදේශීය දේශපාලනඥයින් පොලීසියට නියෝග දෙන යුගය කරා ගෙනයන්න හේතුවකි

    22.  156 අ වගන්තියෙන් පත් කළ අල්ලස් කොමිසම අහෝසි කිරිම සිදුවනවා නම්, එය සෘජුව ‘අල්ලස හා දුෂණය‘ ප්‍රවර්ධනය කිරිමට හේතුවක් වනු ඇත්තේය.  අල්ලස් කොමිසම අහෝසි කර ගැනීමට අවශ්‍ය වන්නේ දැනට පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් දේශපාලන බලය හිමිකරගෙන සිටින පිරිසට යි.   19 සංශෝධනයෙන් ‘ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අල්ලස් පනතක්‘ ස්ථාපනය කිරීමට මඟ පැදුණා.  පැමිණිල්ලක් නැතිව අල්ලස් කොමිසමට විමර්ශන ආරම්භ කිරීමේ බලය ලැබුණේ, 19 නිසයි.  මේ තත්වය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීම සිදු නොවිය යුත්තක්.

    23.  156 ආ වගන්තියෙන් පත්  කළ ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාවේ ඉරණම ගැන අපි වෙනම සංවාදයක් කළ යුතු වෙනවා.  ගෙඩිය පිටින් 19 අහෝසි කරනවා කියන්නේ, නැවත වරක් අන්ත දුෂිත දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන් පිරිසකට, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තම අභිමතය අනුව ආපසු හැසිරවීමට හැකිවීමයි.   

    24.  19 සංශෝධනය 14 අ වගන්තිය මගින් තොරතුරු වෙත ප්‍රවේශය අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලැබූවේ මේ රටේ සිවිල් සමාජය සිදු කළ දැඩි බලපෑම් නිසයි.  අද රටේ බලවත් පුද්ගලයින් පමණක් නොවෙයි, අව වරප්‍රසාදිතයින් පවා, විටෙක පාසල් දරුවන් පවා රජයේ තොරතුරු ලබා ගන්නවා.   තොරතුරු පනත මගින් රජයේ කාර්යාලවලින් තොරතුරු ලබා ගැනීම නිසා රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ විනිවිද භාවයක් ඇතිවී තිබෙනවා.  අකාර්යක්ෂමතාව අඩුවී තිබෙනවා.  මේ තොරතුරු ලබාදීම දුෂණ වැලැක්වීම සඳහා පුළුල් පිටුවහලක්වී තිබෙනවා.  තොරතුරු පනත 19 සංශෝධනය ඇතිකළ වෙනසකි.  එය අහෝසිවනවාට ශිෂ්ඨ මිනිසෙකුට කැමතිවන්නට බෑ.

    25.  43 (2) ඇමතිවරු සංඛ්‍යාව 30 ක් සහ රාජ්‍ය /නියෝජ්‍ය ඇමතිරවරු 40 ක් ඉක්මවිය නොහැකි සීමා දැම්මේ 19 සංශෝධනය යි. 

    26.     46 (4) ජාතික ආණ්ඩුවක් බිහි කරන්නේ නැතිව ඇමති මණ්ඩලය වැඩි කරන්නට බැරි සීමා පැනවීම සිදුවූයේ 19 සංශෝධනය නිසයි.

    27.  92 වගන්තියෙන් අවුරුදු 35 ට අඩු ලාබාලයෙක් ජනාධිපතිවීම වැලැක්වීම,

    28.  91 (1) XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බව,

    29.  පුරවැසියන්ට නීතියක්, පනතක් පාර්ලිමේන්තුවේ සම්මතවීම වලක්වා ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවස්ථාව තිබෙනවා. නමුත්, පාර්ලිමේන්තුවට හදිසි පනත් ගෙන ඒම තුලින් ඒ අයිතිය අහිමි වූ අවස්ථා අපි අතීතයේ දැක්කා.  හදිසි පනත් ගෙනඒම වැලැක්වීම 19 සංශෝධනය මෙරට පුරවැසියන්ට දුන්නු විශිෂ්ඨ අවස්ථාවකි.  19 අහෝසිවීමේ වැඩිම බලපෑම, මර්ධනකාරී නීති පස්සා දොරෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නැවත අවස්ථාවක් ලැබීමයි.  

    19 අහෝසි කිරීම හුදෙක් නීතියක් වෙනස් කිරීමට ඉක්මවා ගිය දේශපාලනික මැදිහත්වීමක්.  පරිවාස ආණ්ඩුව සමයේ, ගෙන ආ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  නිසා මේ රටේ ජනතාව දිනාගත් ජයග්‍රහණ 18 ව්‍යවස්ථාවෙන් ආපසු හැරවුණා.  ඒවා නැවත ලබා දෙන්නට, වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී  රාජ්‍යකරණයක් සඳහා 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ සිවිල් ක්‍රියාකාරීන්ගේ බලපෑම නිසයි.  අද නැවත වරක්, 19 රැකගැනීමේ වගකීම දේශපාලනඥයින්ටත් වඩා, සිවිල් ක්‍රියාකාරීන්ගේ වගකීමක් බවට පත්වෙමින් තිබෙනවා.

    රජිත් කීර්ති තෙන්නකෝන් – හිටපු දකුණ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර

  • ස්වාධීන කොමිෂන් සභා ‘NGO ද ?

    ස්වාධීන කොමිෂන් සභා ‘NGO ද ?

    කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය.

    සටහන – නීතිඥ ජගත් ලියන ආරච්චි

    19 වන සංශෝධනය මේ වන විට වඩාත් කථාබහට ලක්වී ඇති මාතෘකාවකි. 19 වන සංශෝධනය ඉවත් කල යුතු බවද එය සංශෝධනය කල යුතු බවද මේ වන විට බොහෝ දෙනෙක් කථා කරති.

    19 වන සංශෝධනය සම්බන්ධයෙන් චෝදනා කරන ඇතැමෙක් පවසන්නේ මෙම සංශෝධනය මගින් ඇතිකරන ලද කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් ලෙස පත්ව ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන (NGO ක්‍රියාකාරීන්) බැවින් ජනාධිපතිට සහ අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සිය කටයුතු ඉටුකිරීමට බාධාවක් වන බවයි.

    19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩු පාඩු පවතින නමුත් ස්වාධීන කොමිෂන් සභාවල ඉන්නා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් රජයේ ක‍්‍රියාකාරකම්වලට බාධා කරන බව ඉතාමත් අසත්‍ය කරුණකි. මේ බව ශිර්ෂ කිහිපයක් ඔස්සේ සනාථ කල හැකිය. එනම්,

    1. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.
    2. ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ව්‍යුහය
    3. ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින්ගේ සුදුසුකම් පිලිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ
      අදාල පාර්ලිමේන්තු පනත්වල පවතින ප‍්‍රතිපාදන මගින්
    4. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.

    1. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.

    ස්වාධින කොමිෂන් සභා යනුවෙන් නිශ්චිතව දක්වන කොමිෂන් සභා අප නීති පද්ධතිය තුල දක්නට නොලැබෙන නමුත් ජනමාධ්‍ය සහ සිවිල් සමාජය මෙන්ම ව්‍යවස්ථාදායකයද ස්වාධින කොමිෂන් සභා ලෙස හදුන්වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන කොමිෂන් සභා 10වේ. ඒවානම්

    1. මැතිවරණ කොමිෂන් සභාව;
    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව;
    3 ජාතික පොලිස් කොමිෂන් සභාව;
    4. විගණන සේවා කොමිෂන් සභාව;
    5. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව;
    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව;
    7. මුදල් කොමිෂන් සභාව;
    8. සීමා නිර්ණය කොමිෂන් සභාව;
    9. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව.
    10. අධිකරණ සේවා කොමිෂන් සභාව

    මෙම කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බලන විට පැහැදිලි වන්නේ සාමජිකයින් 47 දෙනෙකු මෙම කොමිෂන් සභාවන්හි සාමජිකත්වය දරන බවයි. (මෑතකදි ඉල්ලා අස්වූ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය සහ සාමාජිකාවත් සමග) මෙම සාමාජික නාමලේඛණය පරීක්‍ෂා කරන විට පෙනී යන්නේ එකී 47 දෙනා අතරින් රාජ්‍ය නොවන සංවිධනා ක‍්‍රියාකාරීණියක් වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සිටින එක් සාමාජිකාවක් පමණක් බවයි. අනෙක් සියලූ දෙනා විශ‍්‍රාමික විනිසුරුවරුන්. විශ‍්‍රාමික රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරීන්. විශ‍්‍රාමික පොලිස් නිළධාරීන්. වෘත්තිකයන්. විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් ආදීන්ගෙන් සමන්විත බවය. මේ අතරින් අති බහුතරය විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන්ය. එබැවින් කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය.

    2. ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ව්‍යුහය

    ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරනු ලබන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැමති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාපිත ආයතනය මගිනි. මෙහි සාමජිකයින් ගනන 10කි. එම 10 අතරින් නිළ වශයෙන් පත්වන සාමාජිකයින් ගනන 3කි.

    එනම් කථානායකවරයා, අගමැතිවරයා, විපක්‍ෂනායකවරයයි, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු, අගමැති සහ විපක්‍ෂනායක විසින් යොජ්නා කරනු ලබන ජනාධිපතිවිසින් පන්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු, අගමැතිවරයා සහ විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ අගමැති සහ ජනාධිපති විසින් යෝජනාකරනු ලබන සහ ජනාධිපතිවිසින් පත්කරනු ලබන දේශපාලන පක්‍ෂවල සමාජිකත්යය නොදරන විශිෂ්ඨත්වයට පත් පුද්ගලයන් තිදෙනෙක් වශයෙනි.

    මේ අනුව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා අතරින් 7 දෙනෙකුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වේ. එසේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන තිදෙනාවද තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අගමැති සහ විපක්‍ෂ නායකය. එසේම ඔවුන් තිදෙනා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරණයේදී සමස්ථ ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට පනහකට වඩා වැඩියෙන් ලබාගත් ජනාධිපති විසිනි. එබැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් නොවන තිදෙනා නම්කිරීම සහ පත්කිරීම සිදුකරන්නේ මහජන නියෝජිතයින් තිදෙනෙකු විසිනි.

    ඒ අනුව උපරිම වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පත්විය හැකි රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් ගනන තිදෙනෙකු වන අතර ඔවුන්ද මහජන නියෝජිතයින්ගේ කැමැත්ත මත පත්වන පුද්ගලයන්ය. මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුල සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන තිදෙනාගෙන් එක් අයකු පමණක් රාජ්‍ය නොවන සංවිධානවල නිළතල දරණ අතර අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශ‍්‍රාම ලැබූවකු වන අතර අනෙක් තැනැත්තා විශ‍්‍රාමික විශ්ව විද්‍යාල ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.

    මේ අනුව කොමිෂන් සභාව සදහා සාමාජිකයින් නිර්දේශ කරනු ලබන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික සංයුතිය අනුවද රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ සංයුතිය 10ට එකකි.

    2. ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින්ගේ සුදුසුකම් පිලිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ අදාල පාර්ලිමේන්තු පනත්වල පවතින ප‍්‍රතිපාදන

    1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය (සභාපතිවරයා නිලබලයෙන් අගවිනිසුරුය)
    2. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතරින් එක් අයෙකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ධූරයට ඉහල ධුරයක් දැරූ විශ‍්‍රාමික නිළධාරියකු විය යුතු අතර අනෙක් දෙදෙනා වෘත්තීන් හි හෝ පරිපාලන හෝ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල හෝ, විශිෂ්ටතා හිමිකරගෙන සිටින තැනැත්තන් විය යුතුය.
    3. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 9ක් වන අතඑ එම සාමාජිකයන් අතුරෙන් සාමාජිකයන් තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් රජයේ නිලධරයන් වශයෙන් අවුරුදු පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති තැනැත්තන් විය යුතුය.
    4. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විගනන සේවා කොමිෂන් සභාවේ සභාපති නිළ බලයෙන් විගනකාධිපති වන අතර අනෙකුත් සාමාජිකයින් විය යුත්තේ විශ‍්‍රාමික නියෝජ්‍ය විගනකාධිපතිවරුන්, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සහ විශ‍්‍රාමික පරිපාලන සේවයේ 1 වන පංතියේ නිළධරයකුය.
    5. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මහබැංකුවේ අධිපති සහ භාණ්ඩාගාර ලේකම් මුදල් කොමිෂන් සභාවේ නිළබලයෙන් සාමාජිකයින් වන අතර එයට අමතරව මූල්‍ය. නීතිය,පරිපාලන,ව්‍යාපාර හෝ ශ‍්‍රාස්ත‍්‍රීය ක්‍ෂෙත‍්‍රවල කැපීපෙනෙන පුද්ගලයන්ය. මෙම තිදෙනා ජනවර්ග තුනම නියෝජනය වන පරිදී තෝරාගත යුතුය.
    6. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 7කි. ඉන් එක් සාමාජිකයකු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝ ඊට ඉහල ධූරයක් දැරූ අයෙකු විය යුතුය. අනෙක් සාමාජිකයින් හය දෙනා පිළිබදව නිශ්චිත සදහනක් නැත. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් නිර්දේශ කිරීමේදී රාජ්‍ය සේවා කොමිසන් සභාව විමසා කල හැකි බව දැක්වේ.
    7. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 5කි යටත් පිරිසෙයින් එයින් සාමාජිකයන් තිදෙනෙකු ප‍්‍රසම්පාදනය, ගණකාධිකරණය, නීතිය හෝ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පිළිගත් අත්දැකීම් සහිත තැනැත්තන් විය යුතු ය.
    8. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව දේශපාලන කටයුතුවල නිරතව නොසිටින්නා වූ තැනැත්තන් තුන් දෙනකු ගෙන් සීමා නිර්ණය කොමිෂන් සභාව සමන්විත විය යුත්තේ ය.
    9. ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව මානව හිමිකම්වලට අදාල කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප‍්‍රායෝගික පළපුරුද්දක් ඇත්තා වූ තැනැත්තන් වීම කොමිෂන් සභාවේ සාමාජිකයකු වීමේ සුදුසුකමක් ලෙස දක්වා තිබෙනවා.
    10. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පතනට අනුව අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයන් ගනන තුනකි. එයින් දෙදෙනෙකු විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් විය යුතු අතර අනෙක් තැනැත්තා නීතිය ක‍්‍රියාත්මක කිරීමට අදාලව පුලූල් පළපුරුද්දක් ඇති තැනැත්තෙකු විය යුතුය.

    මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී සහ ශ‍්‍රි ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල විෂය පථය සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය සැලකිල්ලට ගැනීමේදී ඉහත කී කොමිෂන් සභා අතරින් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ට සාමාජිකත්වය දැරීමට අවස්ථාව ඇත්තේ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පමණක් බව පෙනී යයි.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ ඇතැම් සාමාජිකත්වයන් පිළිබදව පවතින විවෘතභාවය නිසා ඒකී කොමිෂන් සභාවල යම් ඉඩක් පැවතියද ප‍්‍රායොගිකව එම කොමිෂන් සභාවල රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරින් සාමාජිකත්වයන් දරා නොමැත. ඒ අනුව මෙම චෝදනාව පදනම් විරහිතය.

    ස්වාධින කොමිෂන් සභා සර්ව සම්පූර්ණයැයි මා අදහස් නොකරමි. නීතිමය ප‍්‍රතිපාදන තුලද පටිපාටිමය කාරනා තුලද ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය තුලද ගැටලූ පවතී. ඒ ගැටලූ විසදාගත යුතුය. කෙසේ නමුත් රාජ්‍ය සේවය අධිකරණය පොලිසිය විගනනය මැතිවරණ ක‍්‍රියාවලිය ස්වාධින කිරීම සදහා ස්වාධින කොමිෂන් සභා මගින් සිදුවන මෙහෙය අවතක්සේරු නොකල යුතුය.

    නීතිඥ ජගත් ලියන ආරච්චි