Category: සුපිරි Politics

  • ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම: ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මත ගැටුම්’

    ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම: ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මත ගැටුම්’

    මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

    මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

    “ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපති තුමාගේ මතය 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙතත් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතත් දන්වා යව තිබෙනවා,” යනුවෙන් ද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

    “මරණ දඬුවමට යටත් වූ චුදිතයෙකු හට අභියාචනයකට යටත්ව ඇප ලබාදීමට කිසිදු නීතිමය තත්වයක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333, 4 වගන්තියට යටත්ව මරණ දඬුවමට ලක් ව අභියාචනයකට යටත්ව සිටින චුදිතයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නැවැත්වෙන අතර දැනට පවතින නීතිමය රාමුව තුළ ඔහුගේ වරදකරු වීම නොවෙනස්ව පවතිනවා.”

    කතානායක නියෝගය

    ඇය වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91/1 (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු 89 වන අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසු කමකට යටත් වේනම් නැතහොත් එවන් නුසුදුසු කමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ජන්දය දීමට සුදුස්සෙකු නොවන බවය.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) අනු ව්‍යවස්ථාවෙන් සඳහන් වන්නේ යම් තැනැත්තෙකු මරණ දණ්ඩනයට යටත්ව සිටීනම් එය ඔහුගේ ජන්ද බලය පවා අහිමි වීමට හේතුවන කාරණයක් බවය.

    මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

    පසුගියදා පැවති මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පහසුකම් සපයන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    දැනට මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර මනාප ඡන්ද 142,037 ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විය. එහෙත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දිය හැකිද, නැද්ද යන්න අවධානයට ලක්විය.

    2015 ජනාධිපතිවරණයේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මැතිවරණයට පෙර ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.

    තේරී පත්වූ මන්ත්‍රී වරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ ඔහුගේ නම ද ඇතුළත් වීමත් සමගම ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවසර දෙන මෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙයට පෙර දැනුම් දී ඇතැයි වාර්තා පළවිය. කෙසේ වුවත් පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීමට ඔහුට මෙතෙක් අවස්ථාව ලැබී නැත.

    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කථානායකවරයාගේ අවධානයට යොමු කරමින් පැවසුවේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසිවලට සහභාගි නොහැකි වීම, ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ ජනතාවගේ පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමි කිරීමකට සමාන බවය. තීන්දුවට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් නොමැති බවත් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

    “ඔහු අභියාචනාධිකරණයේ නඩුව ජය ගනු ඇතැයි සිතමු. නමුත් එතෙක් ඔහුට ඡන්දය දුන් ජනතාව මෙහි නියෝජනය නොවේ. එය විශාල අනතුරකි. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අධිකරණ නියෝගයකට බැඳී නොමැති බවට 2001 ජුනි 20 වන දින හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා විසින් එවැනිම කාරණයක් සම්බන්ධයෙන් දුන් තීන්දුවක් මම සභාපතිවරයාගේ අවධානයට යොමු කරමි,” යනුවෙන් ද ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා පැවසීය.

    BY BBC

  • ඌව සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරු පළාත් මාරු කර ගනී

    ඌව සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරු පළාත් මාරු කර ගනී

    වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාවරයා ලෙසත් අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්හ.

  • ‘සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව’ – කුසල් පෙරේරා

    ‘සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව’ – කුසල් පෙරේරා

    මේ දිනවල සුදු අලියෙක් ගැන කතාව ලොකුවට කෙරෙන්නකි. මෙවර එය ආරම්භ කෙරුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති විශ්‍රාමික රෙයා අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමාය. ඔහු සිය අමාත්‍ය නිලධාරීන්ට පළාත් සභා පිළිබඳව පසුවිපරම් වාර්තාවක් හැකි ඉක්මණින් සකසා දෙන්න යැයි දන්වා ඇත.

    මේ වනවිට පළාත් සභා පිහිටුවා අවුරුදු 32 ක් වන හෙයින් පළාත් සභා මගින් බලාපොරොත්තු වූ සේවා හා අරමුණු ඉටුව ඇතිදැයි විමසා බැලිය යුතු බැව් රාජ්‍ය ඇමති වීරසේකර පවසා ඇත. පළාත් සභා 08 කින් ආරම්භ කෙරුණු පළාත් සභා ක්‍රමයෙහි දැන් පළාත් සභා 09 කි.

    පසුවිපරම වැදගත්ය. එය වැදගත් වන්නේ මේ විපරම කෙරෙන්නේ කවර කාරණා හා ක්ෂේත්‍ර අනුවද යන්න මතය. එය හුදෙක් මන්ත්‍රී සංඛ්‍යා, මැතිවරණ වියදම්, පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ඇතුලු වාර්ෂික අය වැය වැනි කාරණා වලට සීමා කෙරෙන්නක් වුවහොත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනය පිළිබඳ දේශපාලනයේ වැදගත්කම අත හැරෙන්නේය. වියදම පෙන්වා පළාත් සභා සුදු අලියෙක් යැයි සමාජයේ කතා බහ වන්නේ පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කෙරෙන අතිශය විශාල ජනතා මුදල ගැන කතා නොකරය. එබැවින් “සුදු අලියා” ගැන කතාව ඉන් ඔබ්බට ගෙන යෑම වෙනනුවෙන් මෙය ලියන්නකි.

    විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

    පාර්ලිමේන්තුව සතු වූ විධායක හා ව්‍යවස්ථාමය වගකීම් සමූහයෙන් පළාත් මට්ටමින් කෙරෙන ප්‍රාදේශීය සැළසුම්, සංවර්ධන කාර්ය හා ඊට අදාල ආදායම් උත්පාදනය සහ නීති සම්පාදනය පළාත් සභා සඳහා දෙනු ලැබූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතතාව දීර්ග කාලයක සිට ඔවුන්ගේ ප්‍රාදේශීය අවශ්‍යතා ඉටු නොවන්නේ යැයි ඒ වගකීම් ඔවුන්ගේ ප්‍රදේශයට ඉල්ලා සිටීමේ දේශපාලනය හේතුවෙනි. කෙටියෙන් කියන්නේ නම්, විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

    බලය කොළඹට කේන්ද්‍රවූ ආණ්ඩුව හැදීමට අවස්ථාවක් ඇතැයි සිතු හැම දේශපාලන පක්ෂයක්ම සහ පක්ෂ හවුලක්ම ඒ ආණ්ඩු පාලනයේ බලය පළාත් සමගින් බෙදා ගැනීමට සූදානම් නොවුනි. ඒ බලය ඉල්ලා සිටි දෙමළ දේශපාලනය මට්ටු කරන්නට ජයවර්ධන ආණ්ඩුව 1981 මැයි 31 වන දින දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය සමග යාපනය නගරය විනාශකර කීර්තිමත් යාපනය පුස්තකාලයද ගිණිබත් කළේය. දෑවුරුද්දකට පසු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව්ගේ මැදිහත්වීමෙන් සංවිධානයකර දියත් කළ 1983 ජූලි දෙමළ සංහාරයෙන් විශාල දෙමළ පිරිසක් තමිල් නාඩුවේ සරණාගතයින් ලෙස කඳවුරුගත වූහ. එබැවින් ලාංකීය දෙමළ ජනතාව වනුවෙන් පෙනී සිටි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව හා තමිල්නාඩු දේශපාලන පක්ෂවල උද්ඝෝෂණ නිදහසට හේතු ලෙස යොදා ගනිමින් ලාංකීය දේශපාලනයට අත පොවන්නට අවස්ථාවක් නව දිල්ලි ආණ්ඩුවට ලැබිණි. එහි පලයක් ලෙස 1987 ජූලියේ කොළඹදී අත්සන් තැබුණු ද්වී-පාර්ශවීය රාජ්‍ය ගිවිසුමට අනුව පළාත් සභා පිහිටුවීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජයවර්ධන ආණ්ඩුවට සිදු විය. ඒ ඉතිහාස කතාව ඉතා සංක්ෂිප්තව සටහන් කරන්නේ නම්, එළෙසය.

    පාර්ලිමේන්තුව සතු වූ වගකීම් හා කාර්යන්ගෙන් ප්‍රාදේශීය වගකීම් හා කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී පාර්ලිමේන්තුවෙන් ඉවත්කර පළාත් සභා වෙත ව්‍යවස්ථානුකූලව බාර දෙන විට, 1977 ජූලි මැතිවරණයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු නියෝජනය වූයේ මන්ත්‍රීවරුන් 168 කි. තවත් පැහැදිලි කරන්නේ නම්, 1977 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 168 ට බාර දෙනු ලැබූ වගකීම් වලින් පළාත් හා ප්‍රාදේශීය සංවර්ධන කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී ඔවුන්ගෙන් ඉවත්කර ගනු ලැබිණ. එනිසා ඉතිරි වූ ජාතික හා විදේශ ප්‍රතිපත්ති සැකසීම, මුදල් නෝට්ටු මුද්‍රණය හා මහ බැංකුව සමග ගනුදෙනුව වැනි ජාතික හා ජාත්‍යන්තර වගකීම් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 168 ක විශාල පාර්ලිමේන්තුවක් තව දුරටත් අවශ්‍ය නොවීය. ඉතිරි වූ වගකීම් සඳහා එවැනි විශාල පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීම මහජන මුදල් නාස්තියක් විය.

    පළාත් සභා පිහිටුවීමේදී එය එළෙසින් සමාජ සංවාදයට ගනු ලැබුවේ නැත. එබැවින් තවදුරටත් මන්ත්‍රීවරුන් 168 ක් අවශ්‍ය නොවුනු පාර්ලිමේන්තුවකින් තවදුරටත් බාර නොවුනු වගකීම් සඳහාද ජනතා මුදල් වැය කළා පමණක් නොව, 1989 පෙබරවාරි මැතිවරණය වනවිට ඒ පාර්ලිමේන්තුව තවත් විශාල කිරීමට අපි ඔවුන්ටම ඉඩ දුන්නෙමු. එබැවින් මන්ත්‍රීවරුන් 225 ක් සමගින් අප දැන් නඩත්තු කරන්නේ අනවශ්‍ය තරම් විශාල, යෝධ සුදු ඇතෙකි.

    එහි ඇති විකෘතිය දැකිය හැක්කේ ඉන්දියානු හර්යානා ප්‍රාන්ත ආණ්ඩුව හා සැසඳීමෙනි. අපගේ සමස්ථ ජනගහනය මිලියන 22 ක් වන විට, හර්යානා ප්‍රාන්තයේ වත්මන් ජනගහනය මිලියන 28.6 කි. මේ මිලියන 28.6 ක ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සහ අනාගත සංවර්ධන කාර්යන් සතු වගකීම් පවරා ඇති හර්යානා ප්‍රාන්ත ආණ්ඩුවට, ඔවුහු මන්ත්‍රීවරුන් 90 ක් ඡන්දයෙන් පත් කරති. ජාතික මට්ටමේ ඉතිරි වගකීම් හා ප්‍රතිපත්ති සකස් කෙරෙන මධ්‍යම ආණ්ඩුවෙහි ව්‍යවස්ථාදායකය වන ලොක් සභාවට නොහොත් ඉන්දීය පාර්ලිමේන්තුවට ඔවුන් තෝරා පත් කරන්නේ මන්ත්‍රීවරුන් 10 ක් පමණි. වගකීම් පැවරීමේදී ඔවුන්ගේ ගණන් හැදීමට අනුව හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවකගේ ජාතික මට්ටමේ වගකීම් වෙනුවෙන් ඔවුන්ව ලොක් සභාවෙහි නියෝජනය කිරීමට මන්ත්‍රීවරුන් 10 කු සිටීම ප්‍රමාණවත් ය. 

    ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. 

    මේ ගණන් නිකමට බැලුවත් අපගේ පාර්ලිමේන්තු නියෝජනය මහා විකෘතියති. මිලියන 22 ක් ඉන්න රටේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 කි. ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. අපේ පාර්ලිමේන්තු නියෝජනය මන්ත්‍රීවරුන් 168 ක සිට අප 225 දක්වා විශාල කෙරුවේ, එය 1988 න් පසු තව කුඩා කළ යුතුව තිබියදී ය. එබැවින් මේ පාර්ලිමේන්තුව දැන් “සුදු ඇත් රාජයෙකි”. එහෙත් ඒ ගැන අපි එළෙසින් කතා නොකරන්නෙමු.

    මේ “සුදු ඇත් රජා” දෙස නොබලා අප කතා කරන්නේ පළාත් සභා “සුදු අලියා” ගැන පමණි. සැබෑය. එයද අනවශ්‍ය මන්ත්‍රී සභිකයින් සංඛ්‍යාවක් පත් කරන්නාවූ ආයතනයකි. මිලියන 22 ක ජනතාවක් වෙනුවෙන් රට පුරා පළාත් සභා 09 ට අපි පළාත් සභිකයින් 455 ක් පත්කර ගනිමු. හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවට ඇති ප්‍රාන්ත සභාවට පත් කෙරෙන්නේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 90 කි. මෙවායේ ඇති වෙනස බරපතල වෙනසකි.

    ඒ නියෝජන දෙස අප බැලිය යුත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු යතාර්ථවාදී තර්කනයකින් තොරව දෙගුණ කළ පළාත් පාලන ආයතන නියෝජිත සංඛ්‍යාවද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවේත් ඇති විකෘති නියෝජනය සමගින් එකට තබාය. පසුගිය 2018 පෙරවාරියේ සිට අපි ප්‍රාදේශීය, නගර හා මහ නගර සභාවල මන්ත්‍රී සභිකයින් 8,327 ක් නඩත්තු කරන්නෙමු. ඔවුන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක දීමනාවක් සමගින් රුපියල් 20,000 ක් පමණ වන මාසික වියදමක් අපි දරන්නෙමු. එය වසරකට රුපියල් මිලියන 1,998.5 කි. ඒ පළාත් පාලන ආයතන කාර්යාල 340 ක නඩත්තුව නොමැතිව ය. ඊට පෙර 2011 සිට අප පළාත් පාලන ආයතනවල නඩත්තු කෙරුවේ 4,500 ක පමණ මන්ත්‍රී සභික සංඛ්‍යාවකි.         

    මෙවැනි බරවා රෝග නියෝජන මගින් ප්‍රජාතන්ත්‍රවාදයක් සහතික වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලන තහවුරු වන්නේ ජනතා නියෝජනය සඳහා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමෙන් නොවේ. එය තීන්දු වන්නේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය සඳහා ආයතනික ව්‍යුහයෙහි කෙතරම් ඉඩ තබන්නේද යන්න අනුවය. මැතිවරණ දෙකක් අතර, අවුරුදු 05 ක කාලයක් ඡන්දදායකයෙකු වශයෙන් රටවැසියා නිශ්ක්‍රීයව තැබෙන නියෝජිත ආයතන ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව කෙතරම් වැඩි කළද ප්‍රජාතන්ත්‍රවාදයෙහි වැඩිවීමක් ඇති වන්නේ නැත. එවැනි ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරිමෙන් සිදු වන්නේ නාස්තිය සමග දූෂණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමානුකූලව හැකිලීම පමණි. දැන් සිදුවෙමින් ඇත්තේ එය ය.

    අප පිළිගත යුතු ඇත්ත කතාව නම්, වරද ඇත්තේ සංකල්පීය වශයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සතුව නොවේ. වරද ඇත්තේ ඒවා ව්‍යුහගතකර ඇති ආකාරයෙහි ය. ඒවා පත් කළ පසු ඒවායේ කාර්ය නියාමනයට විවිධ කමිටු සඳහා පත් වන්නේද ඔවුන්මය. ඔවුන්ගේ තීන්දු තීරණ ගැනීම්වලට ව්‍යවස්ථානුකූලව මැදිහත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් අවසරයක් ඔවුන්ව තම නියෝජිතයින් ලෙස තෝරා පත් කළ ජනතාවට ඇත්තේ නැත. ඒ සඳහා ඉතාම නිරුවත් උදාහරණය වන්නේ පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතනවල නියෝජන සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ගනු ලැබූ තීන්දු ය.

    පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි.

    පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. ජාතික ලැයිස්තුවක්ද පාර්ලිමේන්තු නියෝජනයට එකතු කරමින් ජනතා නියෝජනයට ලොකු වෙනසක් කිරීමේදී ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසීමේ සදාචාරමය පැවැත්මක් පාර්ලිමේන්තුව සතුව තිබිය යුතු විය. පාර්ලිමේන්තු නියෝජනයේ වෙනසක් කිරීමේදී හෝ ජනතා කැමැත්ත විමසීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිගැනීමක් ඒවායේ නැත. පසුගිය වර පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව දෙගුණ කෙරුණේද එළෙසින්ම ය.

    එබැවින් විසඳුම ඇත්තේ මේවා සුදු අලි, සුදු ඇතුන් යැයි හංවඩු ගසා අහෝසි කිරීමට යෝජනා කිරීමෙහි නොවේ. විසඳුම ඇත්තේ (1) ජනතා නියෝජනය සඳහා අවශ්‍ය නියමිත හා නිවැරදි නියෝජිත සංඛ්‍යාව තබා ගෙන වැඩි ප්‍රමාණය ඉවත් කිරීමෙහි සහ (2) නියෝජන සභා ලෙස ඒවා ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ය.

    එය අනවශ්‍ය විශාල මන්ත්‍රී සංඛ්‍යා අඩු කිරීමකි. දැනට සමාජය දරන්නාවූ අනවශ්‍ය අධි වියදම් කප්පාදු කිරීමට උදව් වනවාට අමතරව, මැතිවරණ අතරතුර ජනතා නියාමනයට යටත් කෙරෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක්ද සහතික කිරීමකි. 

    ඒ ක්‍රියාවලිය ඉතාම සැකෙවින් පැහැදිලි කරන්නේ නම්, 

    පාර්ලිමේන්තුව සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමේදී

    1. පාර්ලිමේන්තු ආසන සඳහා නාමයෝජනා ලබා දීමේදී අපේක්ෂකයින් තෝරා නම් කළ යුත්තේ පක්ෂ ව්‍යවස්ථාවලට අනුව ඇති අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය. එය කාරණා දෙකකට වැදගත්ය. එකක් දේශපාලන පක්ෂ එමගින් යම් පමණකට ප්‍රජාතන්ත්‍රීය වන්නේය. දෙවැන්න පිටතින් අපේක්ෂකයින් පැමිණීම සීමා වන්නේය.

    2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් තෝරා පත් කළ ජනතතාවගේ විශ්වාසය හා නියෝජනය පාවා දෙන්නේ යැයි අලුත් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමේ අවස්ථාව ඒ මැතිවරණ ආසනයේ ඡන්දදායකයින්ගෙන් සියයට 02 ක් ලිඛිතව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියහොත් ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබිය යුතුය.

    3. නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කළ පසු, නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඔවුන්ගේ අවුරුදු 05 ක ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම, පළමුව ජනමත විචාරණයකින් සම්මත විය යුතුය. යම් හෙයකින් එසේ සම්මත නොවුනහොත් ජනමත විචාරණයේදී එයට ඉදිරිපත් කෙරුණු විවේචන, විරෝධතා අනුව සාංශෝධනය කෙරුණු ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම ජනතා විමසුමට යටත් කෙරෙන ලෙස ගැසට් කිරීමෙන් දෙසතියකට පසු පාර්ලිමේන්තුවෙහි බහුතර ඡන්දයකින් සම්මත කරගත යුතුය.

    පළාත් සභා සහ පළාත් පාලන ආයතන සෘජු සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභා ලෙස අලුතික් ප්‍රතිව්‍යුහගත කළ යුතු ය. ඒ වෙනුවෙන්,

    01. පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා දිය යුත්තේ පක්ෂවල අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය.

    02. පාර්ලිමේන්තුවෙහිදී මෙන් පළාත් සභාවෙහි හා පළාත් පාලන ආයතනහෙි පළමු සැසි වාරය ආරම්භයේදී බලය ලබා ගත් පක්ෂයේ මහ ඇමති සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඔවුන්ගේ ධූර කාලය සඳහා වන සංවර්ධන සැළැස්ම පළමුව තම බල ප්‍රදේශයේ ජනතාව හමුවේ තැබිය යුතුය. එම සැළසුම් සඳහා සංශෝධන හා යෝජනා ඉදිරිපත් කිරීමට ඒ බල ප්‍රදේශයේ ඡන්දදායකයාට ව්‍යවස්ථාපිත අයිතියක් තිබිය යුතුය. පළාත් සභාවක නම් දිස්ත්‍රික්කයකට බලපාන්නාවූ කාරණාවකදී එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 5.000 ගේ හෝ පළාතටම බලපාන්නාවූ කාරණාවක් සඳහා නම් පළාතේ ඡන්දදායකයින් 10.000 ගේ අත්සනින් එවැනි සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කළ විට. සංවර්ධන සැළසුම සම්මත කළ යුත්තේ ඒවාද ඇතුළත්වය.

    පළාත් පාලන ආයතන සඳහාද එම පිළිවෙතම. ඒවාට අත්සන් තැබිය යුතු ඡන්දදායක සාඛ්‍යාව දහසකට පමණ සීමා කරමින් ක්‍රියාත්මක කළ යුතු ය.

    03. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය. කලින් අවුරුද්දේ අයවැය පිළිබඳ සවිස්තරාත්මක ඇගයුමක් සමගින් අදාල බල ප්‍රදේශයේ ජනතාව හමුවේ ඔවුන්ගේ නිරීක්ෂණ හා යෝජනා වෙනුවෙන් තැබිය යුතුය. ඔවුන්ගේ සංවර්ධන සැළැස්මට සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කරන්නාවූ පිළිවෙතම. වාර්ෂික අයවැය සම්මත කිරීමේදීද පැවතිය යුතුය. යම් හෙයකින් බලයේ ඉන්නා පක්ෂය එවැනි සංශෝධන හෝ යෝජනා බාර ගැනීමට සූදානම් නොවන්නේ නම්. ඔවුන්ගේ මුල් අයවැය අදාල ප්‍රදේශයේ ජනතාව හමුවේ ජනමත විචාරණයකට තැබිය යුතුය.  

    සුදු අලි සහ සුදු ඇතුන් අඩු වියදමකින් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බවට පත් කළ හැක්කේද ඒවා ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ආයතන බවට පත්කර ගත හැක්කේත් එළෙසින්ය. පළාත් සභා හුදෙක් උතුරු නැගෙනහිර ජනතාවට දෙනු ලැබූවක් මිස රටට පලක් නොමැති සුදු අලියෙක් යැයි කීම අනුවණ කමෙකි. නිදහසින් පසු අවුරුදු 72 ක් පුරා දකුණේ සිංහල -බෞද්ධ දේශපාලනය වෙනුවෙන් කොළඹ ආණ්ඩු පත් කිරීමෙන් දුප්පත් කමෙන් ගැලවෙන්නට බැරිව ඉන්නා විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට තමන්ගේ ඉරණම තම අතට ගත හැකි අතිශය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභාවක් බවට පළාත් සභා පත්කර ගත හැකිය.  

    එනිසා සංවාදයට ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන්නාවූ එවැනි ප්‍රතිසංස්කරණ මිස ආයතන අහෝසි කිරීම නොවේ.

    කුසල් පෙරේරා – http://kusalperera.blogspot.com/?m=1

    2020 අගෝස්තු 29 වන දින    

  • ඇත්තටම සිංහරාජයේ වුණේ කුමක්ද ? ජනපති ඇත්ත සොයා බලන්න යයි

    ඇත්තටම සිංහරාජයේ වුණේ කුමක්ද ? ජනපති ඇත්ත සොයා බලන්න යයි

    පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    නෙළුව –  ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී  සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිවරයා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය.

    සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බව ජනාධිපති පෙන්වා දුන්නේය.

    ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියයි. තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වේ. සියවසකට අධික කාලයක සිට ගැමීහු සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යති.  

    නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් විය. ඊට පිළියම් ලෙස “නෙළුව – ලංකාගම – පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණ.

    සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් පිරිසක් කළ චෝදනා හේතුවෙන් ප්‍රතිසංස්කරණ නවතන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය.

    මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය ජනපතිගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ. මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

    ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපති තරයේ අවධාරණය කළේය.

    ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

    ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.

    පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපති උපදෙස් දුන්නේය.

    සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කළහ.  තම කුඩා පුතණුවන් කරේ හොවාගත් පියෙකු “අප විඳි දුෂ්කරතා දරුවන්ට විඳීමට ඉඩ නොතබන” ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය.

    මූලික ජීවන අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගත් තීරණයට මහා සංඝරත්නය ආශිර්වාද කළහ.

    මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා , සම්පත් අතුකෝරළ, නිපුණ රණවක, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,  පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ අමාත්‍යාංශ රැසක නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් – ජනාධිපති මාධ්‍ය අංශය

  • Supiri Political Gossip: තිස්ස හදිසියේ රනිල් හමුවී කළ ඉල්ලීම

    Supiri Political Gossip: තිස්ස හදිසියේ රනිල් හමුවී කළ ඉල්ලීම

    සටහන – ගජබා නාගහවත්ත

    නව පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූ දින එහි ගිය සජිත් කෙලින්ම සබාගර්භය දෙසට යන විට නිලධාරින් විමසුවේ “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට යන්නේ නැද්ද?” කියාය.

    “මම මන්ත්‍රී පමණයි. තාම විපක්ෂ නායක වුනේ නෑ. නිල වශයෙන් ඒක ලැබුණොත් තමයි කාර්යාලයට යන්න අයිතිය තියෙන්නේ.” සජිත් කීවේ සිනාසෙමිනි.

    එදින පාර්ලිමේන්තුවේදී සජිත් විපක්ෂ නායකධූරය ලැබීමෙන් පසු කළ කතාව ඉංග්‍රිසියෙන් සිදුකිරීම ගැන විවිධ අදහස් පළවන්නට විය.

    “එදා පාර්ලිමේන්තුවේ විදෙස් තානාපතිවරු හා විදෙස් ජනමාධ්‍යයත් හිටියා. සිංහලෙන් කරන කතාවක් වෙනත් අයෙකුගේ පරිවර්ථන හරහා එළි දැක්වීමට වඩා තමාට ආවේනික ඉංග්‍රිසි බසින් තම පණිවුඩය ලෝකයට දීමයි විපක්ෂ නායකතුමාගේ අරමුණ වුනේ.” ඒ ගැන විමසු මාධ්‍යවේදීන්ට ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

    එදින පාර්ලිමේන්තු සභාව නිමවා එළියට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ල වටකරගත් මාධ්‍යවේදීන් තවත් අපූරු පැනයක් විමසූහ.

    “රනිල්ට වගේම සජිත්ටත් පාර්ලිමේන්තු ගේම් එකට ඔබතුමා අවශ්‍ය වූනේ ඇයි?.” ඔවුහු විමසීය.

    “ඒක ඉතින් ඒ දෙන්නගෙන් අහන්න.” කිරිඇල්ල කීවේ උස් හඩින් සිනාසෙමිනි.

    “කිරිඇල්ල මැතිතුමා වසර 31 ක් පාර්ලිමේන්තුවේ සිටිනවා වගේම ස්ථාවර නියෝග ගැන හා පාර්ලිමේන්තු විවාද ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. එසේම අධිනීතිඥවරයෙක්. ඒ වගේම ප්‍රතිපක්ෂයේ තර්කවලට ක්ෂණිකව ප්‍රතිතර්ක ගොඩනැගිය හැකි මේ පාර්ලිමේන්තුවේ මා දුටු සාර්ථකම චරිතයයි.” කිරිඇල්ල වෙනුවෙන් උත්තර බැන්දේ හේෂා විතානගේය.

    සජිත් හැකි සෑම දිනකම විහාරස්ථාන දෙකකට ගොස් වන්දනාමාන කිරීම හා අඩුපාඩු සොයා බැලීමේ ක්‍රමවේදයක් දිගටම කරගෙන යාමට දරන උත්සාහය ද කාගේත් පැසසුමට ලක්ව තිබේ. පසුගිය සති අන්තයේ සිටම ඔහු කෝට්ටේ සිය කාර්යාලයේදි මෙන්ම පිටස්තර ස්ථාන කිහිපයක දී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග හා පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිලිබදව විවිධ සාකච්ඡා රැසකට එක්වූහ. එසේම එම සති අන්තයේ අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සදහා කථානායකතුමා සංවිධානය කළ දෙදින වැඩමුළුවට ද විපක්ෂ නායක සජිත්ට ආරාධනා කොට තිබින. කලින් යොදාගත් කටයුතු හේතුවෙන් ඔහු එම අවස්ථාවට නොපැමිණි අතර විපක්ෂයේ වගකීම බාර දුන්නේ කිරිඇල්ලටය.

    “අධිරාජ්‍යවාදි රටවල් වල රජු කථානායක පත් කළේ ඔහුගේ ඕනෑකම් ඉටු කර ගන්නයි. ඒත් අදීන කථානායකවරු අන්තිමේ රජුගේ පැත්ත නොවෙයි. මන්ත්‍රීලාගේ හා ජනතාවගේ පැත්තයි ගත්තේ. දින 54 විකෘති ආණ්ඩුව තුළ ලංකාවේ කථානායකත් ක්‍රියාකළේ ඒ විදියටයි. නව කතානායකගෙනුත් මම ඉල්ලන්නේ රජුගේ පැත්තට වඩා රටේ ජනතාව හා මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගන්නා ලෙසයි.” ලක්ෂ්මන් කිරිඇල්ල එහිදි කළ කතාවට පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන් පෞද්ගලිකව ඔහුට ප්‍රසාදය පළ කළහ.

    සදුදා සවස කෝට්ටේ ස.ජ.බ කාර්යාලයේදි පක්ෂ ව්‍යවස්ථාව ගැන හා ආණ්ඩුව ඉදිරිපත් කරන 20 වැනි සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. ඊට මද්දුමබණ්ඩාර, තිස්ස, ඉමිතියාස්, ශිරාල් ඇතුළු පිරිසක් එක්වූහ.

    තවද ස.ජ.බ පාර්ලිමේන්තු කණ්ඩායමේ මංගල රැස්වීම බදාදා පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි අත්දැකිම් සහිත හා නවක මන්ත්‍රීවරු රැසක් සිය මතවාද එළිදැක්වූවේ ඉතා නිදහස් වාතාවරණයක් තුළය. එදිනම ඉන්දියානු මහකොමසාරිස්වරයා විපක්ෂ නායක සජිත් හමුවූවේ පාර්ලිමේන්තු කාර්යාලයේදීය.

    “ශ්‍රී ලංකාවේ පත්වන නව පාලකයන් වගේම විපක්ෂ නායක ඇතුළු සියළු කණ්ඩායම් සමග අවබෝධයෙන් ක්‍රියාකිරීමේ ඉන්දියානු ප්‍රතිපත්තිය මත මම ඔබතුමා හමුවෙන්න ආවා. ඔබේ අදහස් හා මතවාද මම ඉන්දියානු රජයට දන්වනවා.” යැයි කී මහකොමසාරිස් හා විපක්ෂ නායක සජිත් අතර ඉතා ගැඹුරු සහ සුහද සාකච්ඡාවක් පැවැත්විනි.

    එසේම පසුගිය මැතිවරණයේදි එ.ජා.ප ය සමග ක්‍රියාකළ බොහෝ පිරිස් සජිත් පිළ හා එක්වීමේ ප්‍රවණාතව මත කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප සංවිධායක චමිල මුණසිංහ විපක්ෂ නායක හමුවී එම කදවුර හා එක්විය. ඔහු නැසීගිය ජනරාල් සරත් මුණසිංහ මහතාගේ පුත්‍රයාය.

    බ්‍රහස්පතින්දා සවස විපක්ෂ නායක සජිත් විශේෂ රැස්වීමක් කැදවා තිබින. ස.ජ.බ ඊළග දේශපාලන ක්‍රියාවලිය ගැන මෙන්ම ආණ්ඩුව මාස 4 ක් සදහා ඉදිරිපත් කරන රු. බිලියන 1400 ට ආසන්න අතුරු සම්මත ගිණුමේදි ක්‍රියාකළ යුතු ආකාරය පිළිබදවද එහිදි විවිධ තීන්දු රැසක් ගැනින. ඊට මද්දුමබණ්ඩාර, තිස්ස, ඉම්තියාස්, කබීර්, තලතා ඇතුළු පිරිසක් ද එක්වූහ.

    යහපාලනය ගෙනා 19 වෙනි ව්‍යවස්ථාව අකුලමින් මේ ආණ්ඩුව 20 ගෙන ඒම සදහා ක්‍රියාකරමින් සිටියි. “19 සුරකිමු” යනුවෙන් සජබ ය ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකට අතගැසුවේ මුලින්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් හරහාය.

    “19 ආපස්සට හරවලා 2015 දී අපි ජනතාවට දුන් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස, හකුලා යළිත් ඒකාධිපත්තිවයට රට ගෙනියන්නයි මේ හදන්නේ. අපි ඒකට ඉඩදිය යුතු නැති නිසා ජනතාව අප හා පෙළ ගැස්වීමක් අත්‍යවශ්‍යයි.” දොස්තර රාජිත කීවේ එවැන්නකි.

    “20 ගේන්නේ ලක්ෂ 220 ක රටේ ජනතාවට රැකවරණය දීමටද නැතිනම් එක් ඇමරිකානු පුරවැසියෙකු වෙනුවෙන් ද?” හර්ෂ සිල්වා මතු කළේ දැවැන්ත තර්කයකි.

    “19 තුළ රටට වැදගත් කරුණු 36 ක් තියෙනවා. ඉන් 13 ක් ජනාධිපතිගේ ඒකාධිපති බලය පාර්ලිමේන්තුවට පැවරීමටයි. ඒත් ඒක ආපස්සට හරවලා රටේ සියළු බලය යළිත් තනි මිනිහෙකුගේ අතට පත් කරන්න මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද? මේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් 18 වෙනි සංශෝධනයට වගේම 19 වෙනි සංශෝධනයට අත ඔසවපු අයයි. 20 වන සංශෝධනයටත් මේ අය අත ඔසවනවා නම් විහිළුකාරි හා අවබෝධයක් නැති මිනිසුන් ලෙස ඉතිහාස ගතවේවි.” නීතිඥ ශිරාල් ලක්තිලක කීවේ එවැන්නකි.

    පසුගිය ඉරිදා එ.ජා.ප මන්ත්‍රී තිස්ස අත්තනායක සිය පැරණි නායකයා වූ රනිල් හමුවීමට 5 වන පටුමග නිවසට ගියේය. එහිදි එ.ජා.ප නායකයාගේ දුක සැප විමසීම මෙන්ම ඔහුගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබදවද තිස්ස හා නායකයා අතර අදහස් හුවමාරු විය. තවද එ.ජා.ප ය හා ස.ජ.බ එකතුවීමේ අවශ්‍යතාවය ද තිස්ස මතු කළේය.

    “එ.ජා.ප ය පසුබෑවේ දෙකඩ වූ නිසයි. එහි වගකීම කා අතදැයි තේරුම් ගන්න ඕනෑ.” එ.ජා.ප නායකයා කීවේ එවැන්නකි.

    එකතුවීම පිළිබදවද එ.ජා.ප නායකයා තුළ තිබුණේ පුළුල් මතවාදයකි. තිස්ස අත්තනායක අනතුරුව ගියේ කරු ජයසූරියගේ අමරසේකර මාවත නිවසටය.

    “පීලි දෙකක යන එ.ජා.ප ය එකතු කරන්න මැදිහත් වෙන්න.” තිස්ස කීවේ එවැන්කි.

    “ඒ වගකීම බාරගෙන අතරමැදි නායකත්වය බාර ගන්න මම කැමතියි.” කරු වෙතින් පළවූවේ එවැනි අදහසකි.

    “පාස්කු ප්‍රහාරයට අදාළ කොමිසමේදි බුද්ධි අධ්‍යක්ෂකවරයා කියන ඇතැම් කරුණු එකිනෙකට ගැලපෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔහු සමහරු බේරන්න හදනවද කියලා අහන අයත් ඉන්නවා. ඔහු එක් විටක කියනවා ඔහුගේ ඇමතුම් 9 ක් ජනපති මෛත්‍රි සම්බන්ධ කර ගන්න බැරිවුනා කියලා. ඒ එක්කම ඔහු තව තැනක කියනවා මම දැනුවත් කළ බොහෝ පිරිස් ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ රට පැන්නා කියලා. කොමිසම ජනතාව මතු කරන මේ පරස්පරතා ගැන දැඩි අවධානය යොමු කිරිම අත්‍යවශ්‍යයි.” චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු හිතවතුන් සමග කී දේ සජබ නායකයන් ඇතුළු සියළු දෙනා අනුමත කළහ.

    සටහන – ගජබා නාගහවත්ත

  • Political Week Review: එජාප ප්‍රබලයෙක්ගෙන් මෛත්‍රී ගැන සුපිරි හෙළිදරව්වක්

    Political Week Review: එජාප ප්‍රබලයෙක්ගෙන් මෛත්‍රී ගැන සුපිරි හෙළිදරව්වක්

    සටහන – ගජබා නාගහවත්ත

    මැතිවරණයෙන් අනතුරුව උද්ගතවු අභ්‍යන්තර ගිනියම් බවට තවමත් අවසන් විසදුම් ලැබී නොතිබීම තුල එ.ජා.ප නායකයා ඇතුළු පිරිස් දිගින් දිගටම කෘත්‍යාධිකාරි රැස්වීම් සහ වෙනත් රැස්වීම් මාලාවක් හරහා අවසන් විසදුමකට පැමිණිමට ගන්නා උත්සාහය තවමත් අවසන්ව නැත.

    එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත බලාගියේ තවත් එවැනිම සාකච්ඡා කිහිපයකට එක්වීමටය.

    “සැප්තැම්බර් 05 දා පක්ෂ නායකත්වයේ ඇත්තටම වෙනසක් වෙනවාද? නැත්නම් තවත් කල් යයිද?” බොහෝ දෙනෙකු නායකයාගෙන් විමසූයේ එවැන්නකි.

    “බලමු. මගේ තනි තීන්දුවකට එ.ජා.ප යාන්ත්‍රණය තුළ ඉඩක් නෑ. කෘත්‍යාධිකාරියයි සාමුහික තීන්දුව ගන්නේ. වෙනස්කම් කෙසේ කළ යුතුද? එම තීන්දුවේ හැඩරුව කුමක්ද යන්න පවා තීන්දු කළ යුත්තේ සාමූහිකවයි.” එ.ජා.ප නායකයා සුපුරුදු සූක්ෂම පිළිතුර ලබා දුන්නේය.

    “ජ්‍යෙෂ්ඨ නායකයෙක් ගැන ද, තරුණ නායකයෙක් ගැනද වැඩි අවධානය තියෙන්නේ.” ඔවුහු යළිත් ප්‍රශ්න කළහ.

    “ජ්‍යෙෂ්ඨ හා තරුණ නායකයෝ අපට ඉන්නවා. සමහරුන්ගේ නම් දැනටත් කියවෙනවා. අකිල, රුවන්, වජිර වගේ නම් අටක් මේ පොරයේ ඉන්නවනේ.” නායකයා කීවේ සැහැල්ලුවෙනි.

    “එ.ජා.ප මහාලේකම් කමයි, වෘත්තීය සමිති වැඩෙයි ඔක්කොම පවරලත් ඇතමුන් ඒ වැඩ හරියට කළාදැයි  සමහරු ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න නොවන මට්ටමට කටයුතු කළා නම් වැඩිම අවස්ථාව තිබුණේ ඔවුන්ටයි.” එ.ජා.ප නිලධාරින් පිරිසක් සිය මතවාද එළි දැක්වීය.

    “ජනතා ආකර්ෂණය කාර්යක්ෂමතාවය අලුත් නායකයාට අත්‍යාවශ්‍යයි. එහෙම නොවුනොත් වැටුණු පක්ෂයක් ගොඩ ගන්න ලෙහෙසි නෑ”. නායකයාගේ හිතවතුන්ගේ මතය එයවේ.

    “තුනෙන් දෙකක් තියෙන මේ රජයට එක පාරටම මහ පාරේ දේශපාලනය කරලා දන්වන්න අමාරුයි. ඔලුවෙන් සහ පාර්ලිමේන්තුවේදී කළ යුතු දෙයක් තමයි තියෙන්නේ. එ.ජා.ප නව නායකයාගේ කාර්යක්ෂමතාවය මදි නම් සෙසු නව විකල්ප ක්‍රම සහ උපක්‍රමවලින් හෝ ඔහු සන්නද්ධ විය යුතුමයි. එවැනි කෙනෙක් අත්දැකිම් බහුල අය එක්ක සහයෝගීතා ගමනක් යාමත් අත්‍යවශ්‍යයයි.” එ.ජා.ප නායකයාගේ මතය එය විය.

    “දෙකට කැඩුණු පිරිස් එකතු වීමේ ක්‍රමවේදය ගැන මොකද හිතන්නේ.” නායකයාට යොමුවූ තවත් ප්‍රශ්නයක් එය විය.

    “එ.ජා.ප ය කියන්නේ අලියා ලකුණ පමණයි.” නායකයා කීවේ මද සිනහවක්ද සමගිනි.

    එ.ජා.ප යේ අට දෙනෙකු නායකත්වය සදහා පොර බදද්දී පසුගිය සතියේ එ.ජා.ප හිටපු නියෝජ්‍ය නායක හා කථානායක කරු ජයසූරිය මහතාද කරලියට පැමිණියේ එ.ජා.ප නායකත්වය පිළිබද යම් අපේක්ෂ සමගිනි. මහා සංඝරත්නය මෙන්ම විශ්ව විද්‍යාල ඇදුරන් රැසක්ද කරූට සහයෝගය දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් එළිදැක්වූවේ එවැනි පසුබිමකය.

    කරු ජයසූරිය එජාප නායකත්ව සටනට

    එ.ජා.ප යේ අට දෙනෙකු නායකත්වය සදහා පොර බදද්දී පසුගිය සතියේ එ.ජා.ප හිටපු නියෝජ්‍ය නායක හා කථානායක කරු ජයසූරිය මහතාද කරලියට පැමිණියේ එ.ජා.ප නායකත්වය පිළිබද යම් අපේක්ෂ සමගිනි. මහා සංඝරත්නය මෙන්ම විශ්ව විද්‍යාල ඇදුරන් රැසක්ද කරූට සහයෝගය දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් එළිදැක්වූවේ එවැනි පසුබිමකය.

    තමා එ.ජා.ප නායකත්වය බාරගැනීමට සුදානම් බවද කරු මුල්වරට එ.ජා.ප ය වෙත ලිඛිතව දන්වා සිටියේද එකී පසුබිමක් තුළ ය. එහෙත් එ.ජා.ප ය කියන්නේ එවැනි ලිපියක් නොලැබුණු බව හා කරු එ.ජා.ප නායකත්වය අපේක්ෂා කිරීමට පෙර පක්ෂ සාමාජිකත්වය යළි ලබාගත යුතු බවය. ඊට පිළිතුරු දැක්වූ කරූ කියා සිටියේ තමා එ.ජා.ප යාවජීව සාමාජිකයෙකු බවය.

    “එතුමා වසර 3 ක් රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කරන්න ගියා. ඉන් පසුව ආවා. 2015 දී එතුමා එ.ජා.ප මන්ත්‍රීවරයා වූනේ ජාතික ලැයිස්තුවෙනුයි. එවැනි පත්වීමකට පක්ෂ සාමාජිකත්වය ඕනේ නෑ. ඒ වගේම එ.ජා.ප යාවජිව සාමාජිකත්වය ගත් බව දැන් කීවත් එතුමා මුල් නිවේදනයෙන් එවැන්නක් කියා තිබුණේත් නැහැ.” එ.ජා.ප නීති අංශ නිලධාරියෙක් කරුණු පැහැදිලි කළේ එසේය.

    “එ.ජා.පෙ ට ශක්තිමත් නායකත්වයක අඩු පාඩුව තියෙනවා වගේම පොහොට්ටුවටත් මහින්දගෙන් පස්සේ හරි කෙනෙක් නෑ. 2025 දී මේ රටට විශාල හිඩසක් ඇති වෙන එක ඒකාන්තයි. තරුණ පිරිසට වෙනස්ම විදියේ හා වේගවත් ගමනක් යා හැකි කෙනෙකුයි අවශ්‍ය වෙන්නේ. යමෙක් පක්ෂයක හෝ රටේ බලය ගත් දවසේ ඉදලා හැම තප්පරයේම සිදුවන්නේ ඔහු හෝ ඇයගේ පිරිහීම පමණයි.” එ.ජා.ප නායකයා කළ විග්‍රහය කාගේත් ආකර්ෂණයට බදුන්වූවක් විය.

    “පාස්කු ප්‍රහාරය හා දේශපාලන පලිගැනීම්වලට අදාළ කොමිෂන්වලට ඔබතුමා යායුතුයි.” එ.ජා.ප නීති අංශය නායකයාට දුන් උපදේශය එය විය.

    “පාස්කු කොමිසම මග හරින්න හෝ ඔවුන්ට ගෙදරට එන්න කියන්න තරම් මම රටට අසාධාරණයක් කරන්නේ නෑ. ඒකට මම යනවා. ඒත් ඔය අනිත් කොමිෂන් ගැන මිනිස්සුන්ගේ තියෙන්නේ හොද ස්ථාවරයක් නොවෙයි.” එ.ජා.ප නායකයා කීවේය.

    “බුද්ධි අංශයේ අධ්‍යක්ෂක පාස්කු ප්‍රහාර ගැන 9 පාරක් කෝල් දීලත් හිටපු ජනාධිපති ඒවා ඉස්සුවේ නෑ කියලා ඔහු කොමිසමට කියා තිබුණා. බුද්ධි අංශ ප්‍රධානියාගේ දුරකතන ඇමතුමක් උස්සන්නේ නැති ජනාධිපති කෙනෙක් ලෝකේ හිටියා නම් ඒ හිටපු ජනාධිපති වෙන්න ඇති.” එ.ජා.ප ප්‍රබලයෙක් කීවේ සිනා මැදය.

    “කොමිෂන්වල සාක්කි දෙනකොට සමහර නිලධාරින් සමහරු බේරන්න හදනවා කියලාත් ජනතාව අතර මතයක් යනවා. බුද්ධි අංශයෙන් ගිය බොහෝ ඇමතුම්වලට ජනාධිපති සම්බන්ධ වී තිබෙනවාය, පාස්කු ප්‍රහාරය ගැන හිටපු රාජ්‍ය නායකයා හොදින් දැනුවත්ව සිටි බවත් තමයි අපට නම් ආරංචියි. බුද්ධි අධ්‍යක්ෂක එක තැනක කියලවා ප්‍රහාරය ගැන දැනුවත් කර තියෙද්දි සමහරු රට ගියා කියලා. ඔහු ඒ කියන්නේ කව්රු ගැනදැයි පැහැදිලියි”. එ.ජා.ප නීති අංශ ප්‍රධානියෙකු කීවේ එවැන්නකි.

    සටහන – ගජබා නාගහවත්ත

  • බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් – තීන්දුව ජනතාව අතේලු

    බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් – තීන්දුව ජනතාව අතේලු

    පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සදහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තමන් ඇතුළු නවක මන්ත්‍රීවරු ආරාධනා කරන බව සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කියයි.

    අද (28) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසුවේය.

    පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සහන් ප්‍රදීප් මහතා කළ මේ ආරාධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ මහතාගෙන කළ විමසීමේදී එම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් වඩාත් කැමති එළියේ සිට දේශපාලනය කිරීමට බවත් ජනතාව ආරාධනා කළහොත් ඒ ගැන සලකා බලන බවත්ය.

  • 2020දීත් කරු එජාප සාමාජිකයෙක් – සැබෑ සාක්ෂි මෙන්න !

    2020දීත් කරු එජාප සාමාජිකයෙක් – සැබෑ සාක්ෂි මෙන්න !

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු කරන ප්‍රකාශවලට කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ඒකකය විසින් පිළිතුරු දෙමින් අද (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

    එහි සදහන් වන්නේ කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පත් ලබාගත් බවයි.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි,

    මාධ්‍ය නිවේදයයි

    හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්ථමාන විනාශයට වගකිවයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අපගේ අවධානයට ලක්ව තිබේ.

    එබැවින් කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පතෙහි පිටපතක් මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.

    v  (2020 වසර සඳහා නව සාමාජික කාඩ්පතක් පක්ෂය විසින් මුද්‍රණය නොකරන ලද අතර 2019 වසර සඳහා මුද්‍රණය කළ සාමාජික කාඩ්පත් පක්ෂයේ මහලේකම්වරයා විසින් ස්වකීය නිල මුද්‍රාව තබා අත්සන යෙදීමෙන් පසු 2020 වසර සඳහා වලංගු සාමාජික කාඩ්පත් ලෙස පිළිගන්නා ලදි.)

    මේ අතර පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේ 1000M සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කණගාටු වන්නෙමු. එය 1000M  වැඩසටහන පිළිබදව විශ්වාසය තබා පක්ෂ සාමාජිකත්වය ලබා ගත් සියළු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයකි.

    2000 වසරෙන් පසු ඇරඹි 1000M සාමාජිකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොකරන ලද නමුත්, යාවජීව සාමාජිකත්වයක් ලෙස පිළිගතයුතු බවට ඒ සඳහා පුරෝගාමී වූ සියළු පක්ෂ නිලධාරින් එකඟත්වයකට පැමිණියහ. පක්ෂයේ වාර්ෂික සාමාජික මුදල රුපියල් 20 ක් වන අතර එහි පනස් ගුණයක් වන රුපියල් 1000 ක සාමාජික මුදල් එකවර ගෙවීමෙන් ලැබෙන 1000M  සාමාජිකත්වය (20 X 50) ලෙස සළකා වසර 50 ක් වලංගු සාමාජිකත්වයක් ලෙස සැළකිය යුතු බව සියළු නිලධාරීන් එකග වූ පදනමයි. එලෙස 1000M සාමාජිකත්වය ලබන සාමාජිකයෙකු එම වසර තුළ තවත් රුපියල් 11000 ක මුදලක් පක්ෂ අරමුදල වෙත පරිත්‍යාග කර 1000M යාවජීව සාමාජිකත්වය තහවුරු කගනු ලබයි.

    හිටපු පක්ෂ සභාපතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 1000M සංකල්පය ක්‍රියාත්මක කරලීමෙහි ලා සක්‍රිය කාර්යයභාරයක් ඉටුකළ අතර,  වර්තමානයේදී ද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මැතිතුමා 1000M ව්‍යාපෘතියේ වගකීම් රැසක් උසුලන ලදි.

    යාවජීව සාමාජිකත්වය පිළිබඳව වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා එම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇමතීම වඩාත් යෝග්‍ය වන අතර පක්ෂයේ ගමන් මග පිළිබඳව අවබෝධයෙන් තොර දේශපාලන ළදරුවන්ගේ අදහස් අදාල නොවනු ඇත.

    කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය.

  • සජිත් නිවාස ඇමැති කාලේ හදලා තියෙන්නේ නිවාස 450යි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    සජිත් නිවාස ඇමැති කාලේ හදලා තියෙන්නේ නිවාස 450යි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය.

    දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන්නැයි අග්‍රමාත්‍ය හා විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28)  දින පැවසීය.

    බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    නාගරික ප්‍රදේශවල  ජනතාවට පදිංචිවීමට වෙන්කර තිබෙන නේවාසික ප්‍රදේශ කිසිවෙකුගේ බලපෑමකට ලක වී ව්‍යාපාරික ස්ථාන සඳහා වෙන් නොකිරීමට වගබලා ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මුහුදට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමේ පියවරක් ලෙස, ගංගාවන්වලට කැළි කසළ එක්වීම වැළැක්වීමේ වැ‍ඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

    රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව තරගකාරී බවින් යුතුව පෞද්ගලික අංශයේ සංවර්ධන ව්‍යපෘති සඳහා යොමුවීමේ වැදගත්කම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

    පසුගිය ආණ්ඩුව අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳව සොයා බලා ඒවා ජනතාව වෙනුවෙන් අවසන් කරන්නැයි නියෝග කළ අග්‍රාමාත්‍යවරයා ඇතැම් නිවාස ව්‍යාපෘති කිසිඳු වගකීමකින් තොරව අලි වැට ඇතුළත පවා ඉදි කර තිබීම ගැන විමතිය පළ කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඉදිරි මාස 04 තුළ රුපියල් බිලියන 28 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පසුගිය ආණ්ඩු සමයේ අවිධිමත්ව කළ පත්වීම් සහ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පාඩු ලබන ආයතන බවට පත් වූ  සියලු ආයතන ලබන දෙසැම්බර් 31 වනදාට පෙර ලාභ ලබන ආයතන බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විශ්වාසය පළ කළේය.

    රාජ්‍ය ඉඩම් සංස්ථාවේ මාසික ආදායම රුපියල් මිලියන 90ක් වුව ද, පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ අවිධිමත් පත්වීම් නිසා එහි මාසික වියදම රුපියල් මිලියන 166ක් තරම් ඉහළ අගයක් ගෙන ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය.

    ඉදිරියේදී ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් කොළඹ, මහනුවර, අනුරාධපුර, මාතර, කුරුණෑගල නගරවල රථ ගාල් ඉදි කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

    පළාත් පාලන ආයතන විසින් මේ වන විට එකතු කරන කැළි කසළ බැහැර කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇතැයි කී ප්‍රසාද් රණවීර මහතා එම වගකීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර ඇති බව සිහිපත් කළේය.

    අඩු ආදායම්ලාභී, පහළ ආදායම්ලාභී, මධ්‍යම ප්‍රාන්තික, ඉහළ ආදායම්ලාභී හා රාජ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පැල්පත් නිවාස ලාභීන්ට නොමිලේ ලබාදීමට තට්ටු නිවාස 1400ක් අලුතින් ඉදි කර ඇති අතර එම පැල්පත් නිවාස පැවති ස්ථානවලද නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ප්‍රසාද් රණවීර මහතා කීවේය.

    මෙයට අමතරව මධ්‍යම ප්‍රාන්තික නිවාස 608ක් රජයේ සේවකයින් වෙනුවෙන් ඉදි කර ඇති අතර තවත් නිවාස 800ක් රජයේ සේවකයින් වෙනුවෙන් 2021 වර්ෂයේදී ඉදි කර අවසන් කිරීමට නියමිතය.

    මෙම නිවාස ව්‍යාපෘතිවලට අමතරව ඕනෑම පුද්ගලයෙකුට අයදුම් කොට මිලදී ලබා ගත හැකි නිවාස 3300ක් ව්‍යාපෘති 10ක් යටතේ ඉදිරියේදී ඉදි කෙරෙන බව ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේය.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට නිවාස 8701ක් ඉදි කර තිබෙන  බවත්, ලබන වසර තුළ නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් බිලියන 6ක ආදායමක් බලාපොරොත්තු වන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.

    “සෙවණ“ නිවාස අරමුදල පසුගිය ආණ්ඩු සමයේ අවභාවිත කිරීම නිසා එම මුදල් නිවාස ඉදි කිරීමට පරිභාහිර කටයුතුවලට යොදා ගෙන ඇතැයි හෙළි වූ බව රේණුක පෙරේරා මහතා කියා සිටියේය.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍ර කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුතකම්  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු මැති ඇමතිවරුන්, අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන නිලධාරීන් රැසක්  එක්ව සිටියහ.

  • සරත් වීරසේකරට පළාත් සභා දීලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ  දෙවියන්ට නම් වෙන්න බෑ

    සරත් වීරසේකරට පළාත් සභා දීලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ දෙවියන්ට නම් වෙන්න බෑ

    19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබීනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා.  19 අහෝසි කරනවා කියන්නේ, නැවත ඒකාධිපති විධායකයක් බිහිවීමයි, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

    රටේ ඉහළම තනතුරු සඳහා පත් කරන්න පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, කථානායක, පක්ෂ නියෝජිතයින් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙන් ද සමන්විත ව්‍යවස්ථා සභාවකින්.  පෙරේතයාගේ හැටියට තමයි විමානේ හැදෙන්නේ, කියනවා වගේ ජනාධිපතිතුමා මහින්දානන්ද අළුත්ගමගේ ව්‍යවස්ථා සභාවට පත්කරලා තියෙනවා. පලාත් සභා අහෝසි කරන්නට ගැටපොළු විදපු සරත් වීරසේකර පළාත් සභා ඇමති විදිහට පත් කරලා, පෙරේත විමානෙට මුල්ගල් තිබ්බා. දැන් ගේ හැදෙන හැටි බලාගන්න පුළුවන් යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දාන්නද ඇමතිතුමා ව්‍යවස්ථා සභාවට දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ, බලය බෙදීමේ දේව විමානේ හදන්නේ නැති බව අප තේරුම් ගත යුතුයි.   

    19 ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙන්නේ ද්විත්ව පුරවැසිකමේ ප්‍රශ්න විසඳා ගැනීමයි, පාර්ලිමේන්තුවට තියෙන බලය ජනාධිපති අතට ගැනීමයි විතරයි.  19 අහෝසි වෙනවා කියන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ බලපෑම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා කියන එක.  ඒක, ජනමාධ්‍යයට, පුරවැසියන්ට විතරක් නොවෙයි රටට රාජ්‍යකරණයේ විනිවිද භාවයට සෘජුවම බලපානවා.  තොරතුරු පනත ගැන උදම් අනපු, වැඩමුළු තිබ්බ අය පවා, තොරතුරු පනතින් තොරතුරු ගත් අය පවා මේ ගැන කථා කරන්නේ නෑ.  රටක රාජ්‍ය යේ කටයුතු ජනතාවගෙන් වසන් කරනවා කියන්නේ දුෂණයට මග පෑදීමේ ආරම්භය යි. 

    තෙන්නකෝන් මහතා මේ බව පැවසූවේ අගෝ. 26 කොළඹ පැවති වැඩමුළුවක් අමතමිනි. 

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, යන මන්ත්‍රීවරුන් නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති.

    ඔවුනට අමතරව චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.ඇල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදියුදීන්, ආර්.එම්.රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, ඒම්.ඒ.සුමන්තිරන්, ගරු අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

  • පාර්ලිමේන්තුව හෙට රැස් වේ – රජයේ අතුරු සම්මත ගිණුම විවාදයට

    පාර්ලිමේන්තුව හෙට රැස් වේ – රජයේ අතුරු සම්මත ගිණුම විවාදයට

    සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති, අතුරු සම්මත ගිණුම හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුවේදී  විවාදයට ගැනේ.

    එමෙන්ම දේශීය භාණ්ඩාගාර බිල්පත් අඥා පනතේ 2 (1) වගන්තියට අනුව රුපියල් බිලියන 750 කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද විවාදයට ගැනෙනු ඇත.

    පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට මේ වන විට කටයුතු කර තිබේ.

    මෙයට අමතරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පත්කිරීම සඳහා වන යෝජනාව ද පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරේ. ඒ අනුව එම කාරක සභාවට අදාළ සමාජිකයන්ගේ නම් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. එමෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සං‍යුතිය අනුමත කිරීම ද හෙට සිදු කෙරේ.

    පාර්ලිමේන්තුව 27 සහ 28 යන දිනවලදී පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා රැස්වන අතර, එම දින දෙක තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමට පසුගියදා රැස්වු පක්ෂ නායක හමුවේදී  තීරණය කෙරිණ.

  • පැය 09ක් පුරා පාස්කු කොමිසම 7වන ජනපතිගෙන් ප්‍රශ්න කරයි

    පැය 09ක් පුරා පාස්කු කොමිසම 7වන ජනපතිගෙන් ප්‍රශ්න කරයි

    පැය 9ක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබේ.

    පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ ඒ මහතාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසට පැමිණ තිබුණි.

    හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබුණි.

    නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි.

  • කරුගේ මාධ්‍ය ඒකකයෙන් කරුණු පැහැදිලි කිරීමක්

    කරුගේ මාධ්‍ය ඒකකයෙන් කරුණු පැහැදිලි කිරීමක්

    හිටපු කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බව නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඒ මහතාට එරෙහිව එජාපයේම ඇතැම් පිරිස් විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (26) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය,

    මාධ්‍ය නිවේදනයයි

    එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සදහා පොදු ජනතා සිතුම් පැතුම් වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඒ පිළිබදව පළව ඇති ඇතැම් ප්‍රතිචාර පිළිබදව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.

    පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයෙන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස් වන බවට පැහැදිළිව ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතා වෙත ඉල්ලීම් ගලා එන්නට විය.

    කිසිසේත් නොසළකා හල නොහැකි තරම් වූ අදාල ඉල්ලීම් සියල්ල සැළකිල්ලට ගනිමින් එම දුෂ්කර වගකීම උර මතට ගෙන පක්ෂයත් පාක්ෂිකයාත් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට තමා සූදානම් බව පක්ෂ නායකත්වයට වාචිකව දැණුම්දුන් කරු ජයසූරිය මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ස්වකීය අදහස ප්‍රකාශයට පත්කරන ලදි. මෙය පක්ෂ සාමාජිකයන් හා පක්ෂයට හිතවත් ප්‍රගතිශීලී පුරවැසියන් අතිමහත් බහුතරයකගේ එකගත්වය මත ගනු ලැබූ තීරණයක් බවද අවධාරණය කරමු.

    නමුත්, කරු ජයසූරිය මහතා සිය මතය ප්‍රකාශයට පත් කළ පසුව එතුමා සම්බන්ධයෙන් විවිධ අභූත හා හාස්‍ය ජනක චෝදනා දිගින් දිගටම එල්ලකිරීමේ ප්‍රවණතාවයක් දක්න ලැබේ.

    1.      රනිල් වික්‍රමසිංහ මහතා ට ඉතාම සමීප ව කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා පිළිබදව කරු ජයසූරිය මහතා කරන ලද ප්‍රකාශයක් සමගි ජන බලවේගයෙන් තරග කළ ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි දායක වූ බැවින් කරු ජයසූරිය මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබිණි. ( එහෙත්, මෙම ප්‍රකාශය සමගි ජන බලවේගය බිහිවීමට පෙර එනම්, 2019 වර්ශයේ දී දේශපාලන අරමුණක් නොමැතිව පුද්ගලයෙකු අරභයා කරන ලද්දක් බවට තහවුරු වීමෙන් පසුව විනය පරීක්ෂණ උත්සාහය හකුලාගනු ලැබීය.)

    2.      ඉන් පසු 2020.08.25 දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී කරු ජයසූරිය මහතා පිළිබදව තවත් පදනම් විරහිත හා හාස්‍යජනක ප්‍රකාශ දෙකක් සිදුකොට ඇති බව වාර්තා විය.

    පළමුවැන්නනම්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම්, එයට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතයයි.

    එමෙන්ම, 2015 සැප්තැම්බර් පළමු වනදින කථානායක ධුරයට පත් වූ කරු ජයසුරිය මහතා ඊට සමගාමීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියද උසුලන ලදි.  2020 මාර්තු 02 දිනෙන් කථානායක ධුරය අවසන් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය අඛණ්ඩව 2020 අගෝස්තු 20 දින දක්වා බලපැවැත්විණි. එම උත්තරීතර ධුරයන්ගේ ස්වාධීනත්වය රැකගැනීම සදහා කිසිදු දේශපාලන පක්ෂයක සක්‍රීය තනතුරක් නොදැරීමේ ප්‍රතිපත්තිය මත පිහිටා එතුමන් කටයුතු කරන ලදි.

    දෙවැනි චෝදනාව නම්, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවයි. එයද පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබදව හෝ අවබෝධයකින් තො‍රව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයකි.

    මින් වසර 20 කට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසුරිය මහතා එක්ව ආරම්භ කළ 1000 M යාවජීව පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති කරු ජයසුරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත් වේ. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධරයට සමු දුන් වහාම නැවත 2020 අගෝස්තු 21 වන දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සදහා ද අයදුම් කළ ඒ මහතා මේ වන විට 2020 වර්ෂය සදහා පක්ෂ සාමාජිකත්වයද ලබා තිබේ.

    කෙසේ වෙතත්, 2010 වසරේ සහ 2015 වසරේ දී පක්ෂයට පරිබාහිර පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේ දී පවා සළකා නොබැලූ නිර්ණායක ඉදිරිපත් කරමින් මෙලෙස කටයුතු කිරීමෙන් තවදුරටත් විනාශය කරා ගමන් කරන්නේ පක්ෂය හා එයට දිවි දෙවැනි කොට ආදරය කරන පාක්ෂිකයන්මය. තවද ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීමෙහි ලා පුරෝගාමී වූ , එදා මෙදා තුර ශ්‍රී ලාංකික ජනතාවට අභිමානවත් ජීවිතයක් සදහා මග විවර කරන්නට කැප වූ දේශපාලන පක්ෂයක් මෙලෙස විනාශ මුඛයට ඇද දමා ඉතිහාසයට එක්කිරීමෙන් ඉටුකරනුයේ කවර පාර්ශවයක දේශපාලන උවමනාවක් දැයි ජනතාවට මනාව පැහැදිළි වනු ඇත.

    කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය.

  • සමෘද්ධි ව්‍යාපාරය සහ දේශපාලන පක්ෂය අතර බැඳීම බිඳින බව රාජ්‍ය ඇමැති කියයි

    සමෘද්ධි ව්‍යාපාරය සහ දේශපාලන පක්ෂය අතර බැඳීම බිඳින බව රාජ්‍ය ඇමැති කියයි

    ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකමක් වූ යුගය අවසන් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට සපැමිණීම වෙනුවෙන් ඊයේ (25) බත්තරමුල්ල සෙත්සිරිපායේ සිව් වැනි මහලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවය අමතමිනි.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ බන්ධුල තිලකසිරි මහතා ඇතුළු ඉහළ නිලධාරීන් විසින් අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

    උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය –

    සමෘද්ධි ව්‍යාපාරය යනු එක් රාත්‍රියක දී දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000ම එක් වර ආමන්ත්‍රණය කළ හැකි ශක්තිමත් ව්‍යුහයකි. ලක්ෂ 18ක් පමණ වන සමෘද්ධි ප්‍රතිලාභීන් සේම එම දෙපාර්තමේන්තු සේවක සේවිකාවන් එම ශක්තිමත් ව්‍යුහය පවත්වාගෙන යාම සඳහා දක්වන දායකත්ව අගය කළ යුතු ය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව දිළිඳු බව පිටු දැකීමේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපාර සුවිශේෂී දායකත්වයක් දැක් විය යුතුය.

    සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණු වෙනුවෙන් නිලධාරීන් ලෙස සද්භාවයෙන් ඔබ ගන්නා සෑම තීරණයක් සමග ම දේශපාලන අධිකාරිය ලෙස අප සිට ගන්නා බව සඳහන් කළ යුතු ය. මීට පෙර පැවැති ආණ්ඩුව මගින් නිලධාරීන් හුදෙකලා කළ අවස්ථා, අධිකරණය හමුවට, මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පමුණුවනු ලැබූ අවස්ථා පිළිබඳ අත්දැකීම් රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබට අමතක නැත.

    සමෘද්ධි ප්‍රතිලාභියකු බවට පත් වීමේ සුදුසුකම දිළිඳු බව නොව දේශපාලන පක්ෂයකට සහය දැක්වීම යන්න අප වෙනස් කළ යුතුව ඇත. එමගින් සිදුව ඇත්තේ දිවයින පුරා විසිරී ඇති මෙවැනි දැවැන්ත ව්‍යාපාරයක් ව්‍යාකූලත්වයට පත්වීමයි. එබැවින් කඩිනමින් මෙම තත්ත්වයෙන් සමෘද්ධි ව්‍යාපාරය මුදා ගැනීමට සඳහා කටයුතු කළ යුතුව තිබේ.

    ගම්බද දිළිදු ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ඔවුන් මුදා ගැනීම සඳහා ද සමෘද්ධි බැංකු පද්ධතිය දායක කර ගත හැකි ය. මේ සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වැදගත් වේ.

    2021 වසර සඳහා වූ අයවැය ලේඛණය මේ වන විට සකස් වෙමින් පවතින අතර එය මෙරට ආර්ථිකය පරිවර්තනයකට ලක් කරන සුවිශේෂී එකක් වනු නොඅනුමානය.

    උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවකට ද සහභාගී විය.

  • 19 අහෝසි කිරීම: දේශපාලන ශිෂ්ඨාචාරය ‘මිලේච්ඡත්වය’ කරා ආපසු හැරවීමක්

    19 අහෝසි කිරීම: දේශපාලන ශිෂ්ඨාචාරය ‘මිලේච්ඡත්වය’ කරා ආපසු හැරවීමක්

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ලංකා දේශපාලනය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය ගෙන යාමක් බවට පත් වනු ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19 න් 17  ක් ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම් රාජ්‍ය නායකයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා යි.  13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අකමැත්තෙන් හෝ පළාත් වලට බලය බෙදුවා.  19 සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු බලය අතහැරියා විතරයක් නෙවෙයි, අධිකරණය, පාර්ලිමේන්තුව හා විධායක අතර තුලන හා සංවරණ ක්‍රමයක් ඇති කළා.  බලය ගොණු කර ගන්නා මිලේච්ඡත්වයෙන්, දේශපාලන ශිෂ්ඨත්වය කරා ලංකාවේ දේශපාලනය ගෙන ආවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යි.  19 වන සංශෝධනය අහෝසි කරන්නට කථා කරන උදවිය ලංකා දේශපාලන ශිෂ්ඨාචාරය ශිෂ්ඨත්වයෙන්, මිලේච්චත්වය කරා ගෙන යන්නට උත්සහ කරන බලලෝභීන් පිරිසක් ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

    රාජගිරියේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ රැස්වීමේ දී  අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා, 13 වන සංශෝධනය තුලින් බලය බෙදුවා. හැබැයි අද පළාත් සභාවක් නෑ.  ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටළුවක් ඉස්සරහට දාලා පළාත් සභා අක්‍රීය කර තිබෙනවා.  කොමිෂන් සභා නිසා ලංකාවේ දේශපාලනය දේශපාලනඥයින්ගෙන් මිදිලා ශිෂ්ඨත්වයේ මාර්ගයට පැමිණියා. 

    18 වන සංශෝධනයට අත උස්සපු, බලලෝභී දේශපාලනඥයින් අද 19 අහෝසි කරලා ලංකාවේ දේශපාලනය ශිෂ්ඨත්වයෙන්, මිලේච්ඡත්වය කරා දක්කන්න හදනවා.

    අද වසර 4 ½ ක් යන තුරු මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩුවක් විසිරුවා හරින්නට බෑ.  2015 වසර දක්වාම මහජන ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් වසරක් යන තුරු විසිරුවා හරින්න බෑ කියලා නියමයක් තිබුණා.  අද ජනාධිපතිට කැමති වෙළාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය දෙන්න අධිකරණ ඇමති අලි ෂබ්රි ව්‍යවස්ථා හදනවා. අගමැති මහින්ද ගේ ආණ්ඩුව කැමති වෙළාවකට විසරුවාහරින්න ජනාධිපති ගෝඨාභයට බලය දෙන්න හදනවා.  මේක අශිෂ්ඨ වැඩක්.  දේශපාලන නරුමකමක්. මහාචාර්ය ජී.එල්. පීරිස් 19 වන සංශෝධනය පතුරු ගහනවා දැක්කා.  ජී.එල්. වගේ ‘ශ්‍රාස්ත්‍රීය වංකයෙකුගෙන්‘ එයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.  19 අහෝසි කිරීමේ උත්සාහය පරාජය කිරීමට විද්වතුන්, වෘත්තිකයින්  පෙළ ගැසිය යුතු යි, නායකත්වය දිය යුතු යැයි ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

    ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා කියලා කියනවා.  ඇත්තටම ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකතුවුණාම තියෙන්නේ ආසන 150 යි.  කථානායක ඉවත්වුණාම තියෙන්නේ ආසන 149 යි.  මේ පාර්ලිමේන්තුවේ දැනට දිවුරුම්දීලා ඉන්නේ 223 යි.  ඉතින් කොහෙද ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන්නේ?  රටට ශක්තිමත්, ක්‍රියාශීලි  විපක්ෂයක් අවශ්‍යයි. විද්වතුන්ගේ දායකත්වය නැතිව එවැන්නක් අති වන්නේ නෑ.

    අද රටේ මතයක් තියෙනවා, බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තුවේ දොර අරින්න 19 අහෝසි කරන්න හදනවා කියලා.  ඊලඟ ආණ්ඩුවක අගමැති කරන්න ඔහු පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය ‘ද්විත්ව පුරවැසි‘ ප්‍රශ්නය ලිහා ගැනීමට වැඩි දෙයක් 19 අහෝසි කිරීම තුල තිබෙනවා. 

    මේ රටේ දේශපාලනයට ශිෂ්ඨත්වය ගෙනාපු ‘කොමිෂන් සභා අහෝසි කිරීමේ පාපකර්මයට අතගහන්න එපා කියලා මේ රටේ උගත්තුන්ට, වියතුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.