Category: සුපිරි Politics

  • ගෙදර ඉන්න හිතුවට ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙන් හරි ඇමතිකම කරනවා..

    ගෙදර ඉන්න හිතුවට ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙන් හරි ඇමතිකම කරනවා..

    වගකීමෙන් ඉන් නිදහස් වී නිදහසේ විවේකීව සැඳෑ සමය ගත කරන්න තමන් කල්පනා කර සිටියද ජනතාව ඊට ඉඩ නොදුන් බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

    බදුල්ලේ ජනතාව තමන්ට දැක් වූ ආදරය සෙනෙහස දෙස බැලූ විට දාලා යන්න පුළුවන් කමක් නැති බවත් අමාරුවෙන් හෝ තවත් වසර කිහිපයක් සේවය කරන්නට සූදානම් බවත් ඔහු පැවසීය.

    ඇමැතිවරයා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ දී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

    ආර්ථික අසීරුතාවයකට රට පත්ව ඇතත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් සෑම කරුණක දී ම තමන්ට දුන් සහ තම පක්ෂය වෙනුවෙන් කැපවුනු යට ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

  • 19 කටුගාන ’20’ මංගල කැබිනට් මණ්ඩලයට – බැසිල් පාර්ලිමේන්තුවට ?

    19 කටුගාන ’20’ මංගල කැබිනට් මණ්ඩලයට – බැසිල් පාර්ලිමේන්තුවට ?

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ලබන මස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි රජය පවසන්නේ.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පැවැත්වෙන නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එය අමාත්‍ය මණ්ඩලයේ සම්මත කරගත් පසු ලබන මස අගවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 3/2ක බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමටයි රජයේ මූලික අරමුණ වන්නේ.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සමග 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බල රහිත කෙරෙන අතර ඒ මගින් කිසිසේත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක නොවන බව රජය පවසනවා.

    ‘මෙය ඉතාම පැහැදිලිව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය පාලනය තුළ ඇතිකර ඇති බරපතළ අර්බුදය කඩිනමින් විසදා ගැනීමට ගන්න පියවරක්. තව දුරටත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග ආණ්ඩුවට ඉදිරියට යාමට බැහැ. අනෙක් අතට පසුගිය මහ මැතිවරණයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සදහා ජනතාව විසින් විශාල ජනවරමක් ලබාදී තිබෙනවා. අපි ආණ්ඩුවක් ලෙස එම ජනවරමට ගරු කළ යුතුයි‘ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කළා.

    මේ අතර ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වැඩියෙන්ම බලාපොරොත්තු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒම බවයි.

    ‘19 මගින් ආණ්ඩුව කියන ආකාරයේ බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපිට අවසාන කාලයේ එවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වුණේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති බරපතළ බල අරගලය නිසයි. ඒත් වත්මන් ආණ්ඩුව තුළ එවැනි ජනාධිපති – අගමැති බල අරගලයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ. ඒ නිසා ආණ්ඩුකරණයේ ගැටලු ඇතිවීම නිසා 19 අහෝසි කරනවා කියන කතාව කොළේ වසා ගැසීමක්. මෙතැන තියෙන්නේ ඉතාම පැහැදිලිව ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබෙන, විය හැකි ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අහෝසි කිරීමයි. ඒ වගේම ද්විත්ව පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මහතාව ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමත් මූලික අරමුණක්‘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට තමන් සහයෝගය ලබා නොදෙන බවයි.

    ‘අපි සහාය නොදුන්නා කියා ආණ්ඩුවට කිසිම ගැටලුවක් නැහැ. ඒත් උතුරේ දමිළ ජනතාවගේ කිසිම නියෝජනයක් නැතිව 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය සම්මතකර ගැනීම අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවක් වේවි. මොකද ව්‍යවස්ථාව කියන්නේ එක් ජන වර්ගයකගේ, සිංහල බෞද්ධයින්ගේ තනි අයිතියක් නෙමෙයි. මේ ආණ්ඩුවට සුළුජාතික නියෝජනයක් නැති නිසා එය බරපතළ ගැටලුවක් වේවි‘

    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කළ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා නොදෙන බවයි.

    ‘මේ යන්නේ අපි කියාපු පාරේ. ඒ කියන්නේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ඒකාධිපති පාරේ. අපිට මේකට කිසිසේත් එකග විය නොහැකියි‘ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.

    සටහන – තුෂාර වල්ගම

  • පළාත් සභා මැතිවරණයටත් නායකත්වය දෙන්නේ රනිල් – අකිල කියයි

    පළාත් සභා මැතිවරණයටත් නායකත්වය දෙන්නේ රනිල් – අකිල කියයි

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පළාත් සභා මැතිවරණය තෙක් පක්ෂ නායකත්වය දරනු ඇති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. එජාප මහ ලේකම්වරයා කියන්නේ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වනු ඇති බවයි.

    එජාප මහ ලේකම්වරයා මෙසේද කීවේය. ‘පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඊයේ (15) සිරිකොත මූලස්ථානයේ පැවැති සාකච්ඡාවේදී නායකතුමා තම ස්ථාවරය පැහැදිලි කළා. ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ තමා බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා. එය ජයග්‍රහණය කිරීම සදහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව ද එතුමා සදහන් කළා. පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළ පසුව පක්ෂ නායකත්වය සුදුසු කෙනෙකුට පවරා තමා ඉවත් වන බවයි එතුමා ප්‍රකාශ කළේ‘

    වසර ගණනාවක් කල් දමමින් පවතින පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයේ හෝ ලබන වසර මුල් භාගයේ පැවැත්වෙනු ඇති බව විශ්වාස කෙරේ.

  • රට හදන්න වියතුන් ගේමු කියපු ගෝඨගේ කැබිනට් එකේ වියතුන් නෑ –

    රට හදන්න වියතුන් ගේමු කියපු ගෝඨගේ කැබිනට් එකේ වියතුන් නෑ –

    වියත් මග සහ වත්මන් ජනාධිපතිවරයා විවිධ අවස්ථාවලදී තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළත් වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ අමාත්‍යවරයෙක් හෝ අවම වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් හෝ පත්කිරීමට පියවර ගෙන නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද සදහන් කළේය.

    ‘වත්මන් ජනාධිපතිවරයා වගේම වියත් මග සංවිධානය පසුගිය කාලය පුරාම තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළා. ඒත් අද ඒ සියල්ල අමතක කරලා තිබෙන බව පේනවා. වත්මන් කැබිනට් මණ්ඩලය හෝ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේදී තොරතුරු තාක්ෂණය සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබෙනවා.

    ඒ වගේම තමයි ජනපතිවරයා ගැන ජනතාවගේ විශ්වාසය ගොඩනැගුනේ වියත් මග වැනි සංවිධාන නිසා. ජනතාව කියා සිටියේ වියතුන් පාර්ලිමේන්තුවට යවා ඔවුන් ලවා රට හදන බවයි. ජනතාව ඒ යුතුකම ඉටුකළත් ජනාධිපතිවරයා තමන්ගේ යුතුකම ඉටුකර නැහැ. වියත් මගට සම්බන්ධයෙන් කිසිවෙකුට කැබිනට් අමාත්‍යධුර ලබාදී නැහැ. ඔවුන්ව නොසලකා හැර තිබෙනවා.

    මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන ජනතාවගේ අවධානය යොමු කළ යුතුයි. අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථක වර්ධනය දැඩි ලෙස පහළ යන බව, ඍණ අගයක් ගනු ඇති බව පැහැදිලිව පෙනී යනවා. මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ජනතාවට විශාල අසීරුකම්වලට මුහුණදීමට සිදුවිය හැකියි“

  • ශාසනික සේවය පසෙකලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනකට අරගල කරනවා – අගමැති මහින්ද

    ශාසනික සේවය පසෙකලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනකට අරගල කරනවා – අගමැති මහින්ද

    ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් අරගල කරන විට අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (15) පස්වරුවේ සිදුකෙරුණ අතර එම අවස්ථාවේ අගමැතිවරයා මේ බව සදහන් කළේය.

    වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොතිබූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල සඳහා මීට වසර 9කට පෙර මෙම ඉඩම පරිත්‍යාග කර ඇත්තේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් වීම ද විශේෂත්වයක්.

    මෙම තෙමහල් ගොඩනැගිල්ල අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22හිම ශාසනික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුදුසු වන සේ නිමවා ඇති අතර ගොඩනැගිල්ල නම් කර ඇත්තේ මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නමිනි.  

    මෙහිදී අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළා.ෙ

    ‘මහනුවර යුගයේ දී පැවදි උපසම්පදාව එක කොටසකට පමණක් සීමා වුණා. මේ නිසා සියලු ශ්‍රී ලාංකික කුලපුත්‍රයන්ට පැවදි උප සම්පදාව ලබාගත හැකි වන ආකාරයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය බිහි වුණ බවටයි සාසන ඉතිහාසයේ සදහන් වන්නේ.

    උගත්, බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීමට අමරපුර නිකාය දායක වුණා. ඒ අනුව වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ, පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ, පිංවත්තේ දේවානන්ද හාමුදුරුවෝ, බම්බලපිටියේ නාරද හාමුදුරුවෝ, වජිරාරාම විහාර වාසී පියදස්සී හාමුදුරුවෝ, හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ, දවුල්දෙන ඥානිස්සර හාමුදුරුවෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා බොහෝ පිරිසක් අමරපුර නිකායෙන් බිහි වුණා.

    අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ තමයි අමරපුර මහා නිකායේ වත්මන් නාහිමියන් වන්නේ. උන් වහන්සේ උත්තරීතර මහා නායක පදවියට පත් වුණේ 2017 වර්ෂයේදීයි. උන් වහන්සේ දහස් ගණන් ධර්ම දේශනා පවත්වනු ලැබුවා. අපේ නායක හාමුදුරුවෝ අති විශාල ශාසනික සේවයක් ඉටුකරමින් සිටිනවා. මම උන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් බෙදා ගැනීමට අරගල කරද්දී මෙවැනි ශාසනික සේවාවක් ඉටුවනු දැකීම පවා සතුටට කරුණක්. අද දින අභිනවයෙන් සඟ සතු කරනු ලැබූ මෙම සංඝ සභා කාර්යාල සංකීර්ණය මෙරටට සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකරන කේන්ද්‍රස්ථානයක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා‘ යැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය

  • පැරදුණු මන්ත්‍රීවරුවන්ට අංග ආරක්ෂාවත් අහිමි වෙයි

    පැරදුණු මන්ත්‍රීවරුවන්ට අංග ආරක්ෂාවත් අහිමි වෙයි

    මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව එළඹෙන සතියේ සිට ඔවුන් ඉවත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    කෙසේ වෙතත් හිටපු අගමැතිවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් උපදෙස් ලැබී නැති බවද පොලිස් මූලස්ථානය පැවසීය.

    පරාජිත මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාවට යොදා සිටි ඇතැම් නිලධාරීන් දැනටමත් ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙත ආපසු වාර්තා කර තිබේ.

  • නැවත කියමි – ‘මෙහෙම යා නොහැක’

    නැවත කියමි – ‘මෙහෙම යා නොහැක’

    අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. 

    කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි. “කාටවත් කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.” මම එයට හේතු දැක්වූයෙමි.

    කෝවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිව් මසකට ආසන්න කාලයක් ප්‍රමාද වූ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් ආණ්ඩුවේ දේශපාලන දිස්ත්‍රික් සම්බන්ධිකාරකයිනුත් පත්කර දිවුරුම් දී තනතුරු බාර ගෙනද අවසන්ව ඇත.

    සමාජ මාධ්‍ය ජාලවල ඒ සමග විශේෂයෙන් රාජ්‍ය ඇමති ලේඛනය වහා උපහාසයට ලක් කෙරුණි. රාජ්‍ය ඇමතිවරුන්ට පවරා ඇති වගකීම් හඳුන්වන්නට වූයේ කඬේ යෑමට හැදූ බඩු ලැයිස්තු ලෙසිනි. ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් වැඩියෙන් උපහාසයට ලක් විය. අලුත් තාක්ෂණික මෙවලම් ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිතය සතු නිදහස සමග ඊට ගොඩවන අයගේ හැදියාව සහ දැනුම ඉන් මැනවින් දිස් වන්නේය. “සමාජ මාධ්‍ය ජාල” යැයි හැඳින්වුනද, ඒවායේ පුද්ගල කේන්ද්‍රීය භාවිතයෙහි සමාජ වගකීමක් ඇත්තේ නැත. ඒවාට ගොඩවන අති බහුතරයක් සමාජ මධ්‍යයක තිබිය යුතු සමාජ වගකීම ගැන දන්නේද නැත. සමාජ මාධ්‍ය ජාලාවන්හි නිතර දෙවේලේ සැරිසරණවුන්ට දැන් කෝවිඞ්-19 වසංගතය අමතක වූ විෂයකි. එනිසා ඒ මැදිහත්වීම් කිසිවක කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙන් මුදා හැරි අර්බූද ඉල්ලා සිටින නව අනාගතයක් සඳහාවන අලුත් සාමුහික සංවාදයක් ඇත්තේ නැත.

    විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික – වාර්ගික භේද වැනි ඛේදවාචක ය.

    කෝවිඞ්-19 විසින් මේ සමාජය අවුරුදු 40 ට වැඩි කාලයක් පුරා ගෝලීය නව ලිබරල් වෙළඳපල ආර්ථිකයට ගැට ගසා තිබූ සියලු බැඳීම් ක්ෂණිකව කඩා දමනු ලැබිණ. මහා සාගරයේ රුවල අහිමි වූ පාරුවක් මෙන් අපි දැන් අතරමංව සිටිමු. ගෙවුනු අවුරුදු 40 ට වැඩි කාලයේ නව ලිබරල් ආර්ථිකය විසින් අපව කොටුකර ඇත්තේ කොළඹ කේන්ද්‍රීය වෙළඳපළකට ය. ඒ මුලු කාලය පුරා ගම අතහැර දමා තිබිණ. ආදායම් හා වත්කම් විෂමතා බරපතල ලෙස වර්ධනය විය. ඒ සමග විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික – වාර්ගික භේද වැනි ඛේදවාචක ය. විවෘත වෙළඳපල සමගින් හැදූ මේ සමාජය මිථ්‍යාවෙන් පිරි අතිශය ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයකි.   

    මේ සියලු සාදාචාරත්මක හා බුද්ධිමය පිරිහීම් විවෘත වෙළඳපල ආර්ථිකය පවත්වා ගැනීමේ උකස් හා කල් බදු ක්‍රම, ක්‍රෙඩිට් කාඞ් පත් හා ණය වාරික මත හදා ඇති හිස් පාරිභෝගික තරගකාරිත්වය විසින් වසන්කර ඇත. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජය සමස්ථයක් ලෙස බිඳ වැටුනද, එය පවත්වා ගෙන යාමට අවශ්‍ය මතවාදය හැදුවේ, එහි හවුල්කාර පාර්ශවයන් වන වෘත්තිකයින්, උසස් නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පැත්තකින් තබා, සියලු වගකීම් දේශපාලකයින් මත පැටවීමෙනි. එනිසා එය පිරිසිදු කළ හැකි යැයි නාගරික මැද පංතික උගතුන් සූත්තර ගෙතූහ. අවංක උගතුන් පාර්ලිමේන්තු යැවීමට දේශන පැවැත්වූහ. දූෂණයෙන් තොර විවෘත වෙළඳපල ආර්ථිකයක් මගින් සමාජය යළි ගොඩ ගත හැකි යැයි දේශපාලනයක් සමාජය හමුවේ තැබීමට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ සමග හවුල් වූ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් හැලුණු නාගරික කණ්ඩායම් ය. ලොව කොතැනකවත් කාටවත් පිරිසිදු කළ නොහැකි වූ සහ අශීලාචාර විවෘත වෙළඳපල ආර්ථික පැවැත්ම සාධාරණය කිරීමට හා ඊට සුජාත බවක් දීමට ඔවුන් සෘජුව දායකවන බව හෝ ඔවුන් දන්නේ නැත.

    අද අප ඉන්නේ මැහුම් දමා, පැලැස්තර අලවා රෝගී ආයු කාලය තව ටික කලක් හෝ ඇදගෙන යා හැකි අවදියක නොවේ. කෝවිඞ්-19 විසින් අප හමුවේ තේරීම් දෙකක් තබා ඇත. විශ්ව කීර්තියට පත්ව ඉන්නා ඉන්දීය නවකතාකාරිනියක් මෙන්ම විකල්ප ධාරාවේ බුද්ධිමය සමාජ ක්‍රියාකාරිනියක්ද වන අරුන්දති රෝයි කෝවිඞ්-19 න් ඉතිරි කළ අර්බූද ගැන පසුගිය අප්‍රේල් මාසයේදී කියා තිබුණේ, ඓතිහාසිකව ගෝලීය වසංගත විසින් මිනිසාට තම අතීතයෙන් ගැලවී ලෝකය දෙස අලුතින් බලන්නට අවසථාවක් ලබා දෙන්නේ යැයි කියා ය. ඒ කතාව ඇය පැහැදිලිකර තිබූයේ “අපට ඒ හරහා, අපගේ පක්ෂග්‍රාහීත්වයේ, වෛරයේ මළ කඳන්, ධනයට ඇති අපගේ කෑදරකම්, අපගේ දත්ත බැංකු සහ මියගිය අදහස්, මිය ඇදුණු ගංගා, දුම් බැඳුණු අහස අප පසුපසින් ඇද ගෙන යා හැකිය. එසේත් නැතිනම්, වැඩි බරක් නැතිව, වෙනත් ලෝකයක් ගැන සිතන්නට අපට සැහැල්ලු ගමනක් යා හැකිය. එය දිනා ගැනීමට සූදානම් විය හැකිය” යනුවෙනි.

    අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. 

    සමාජ කතිකා හා මාධ්‍ය වාර්තා අනුව අප සූදානම් වෙමින් සිටින්නේ යෝධ බරක් ඇදගෙන යන්නට ය. අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. දේශපාලන පක්ෂ වලටද විකල්ප ගැන සිතන්නට හුරුවක් හා බුද්ධිමය සම්පත් නැත. ගෝලීය වශයෙන්ද පරිසරය හා මිනිස් ජීවිත විනාශ කරමින් ලාභ හා කොමිස් මුදල් කඳු ගැසූ යෝධ ව්‍යාපාරික මැදිහත්වීම් ඇත්තේද නව ලිබරල් ආර්ථිකය යළි පිළිසකර කර ගැනීම සඳහා ය.  

    අපගේද අවුරුදු 40 ට වැඩි කලක ඉතිහාසය සාක්ෂි සමගින් ඉතිරිකර ඇත්තේ අශීලාචාර, අසංවර, ධනයට ගිජු සමාජයකි. ඒ මගින් ඔප්පුකර ඇත්තේ සමාජීය සංවර්ධනයක් විවෘත වෙළඳපල ආර්ථිකයෙන් ලැබිය නොහැකි බව ය. බරපතල ගැටළුව වන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් හදා ඇති ජාවාරම්කාර දේශපාලනයෙහි ය. අතිශය කෑදර පාරිභෝගික සමාජයන්හි ඉදිරිය තීන්දු කිරීමේ බලය ඇත්තේ ඔවුන් අතය.

    පශ්චාත් කෝවිඞ්-19 යුගය සඳහා වන තේරීම් ගැන “ද ඉන්ක්” (the.ink) නැමැති අන්තර්ජාල පුවත් අඩවිය සමග විශ්ව කීර්තියට පත්ව ඇති, විකල්ප මත දරණ බුද්ධිමතෙකු සේ පිළිගනු ලබන විද්වත් මහාචාර්ය (Laureate Professor) නොආම් චොම්ස්කි කළ දිගු සාකච්ඡාවේදී කියා තිබුණේ “අවුරුදු 40 ක් නව ලිබරල් ප්‍රහාරයට ලෝක ජනතාව ලක් කළ මේ අර්බූදයේ නියත නිර්මාණකරුවන් මේ ක්‍රියාදාමයට පාදක වූනු සියල්ලෙහි වඩා දරුණු ආකෘතියක් හැදීමට උත්සාහ කරති. කෙළවරක් නැතිව වෙහෙසෙති. එය වඩා තියුණු රහස්‍ය සෝදිසි කිරීම් හා දරුණු පාලනයක් සමගින් හැදෙන්නකි.” (අගෝස්තු 11 වන දින පළ කෙරුණකි) “අතීතය” අනාගතයට රැගෙන යාමේ උත්සාහය කෙළවර විය හැක්කේ එළෙසිනි. 

    දුගඳ හමන, දුර්වර්ණ, දූෂිත අවුරුදු 40 ක අතීතය බිම දමා අලුත් ගමනක් ආරම්භ කිරීමට කෝවිඞ්-19 න් ලබා දුන් ඓතිහාසික අවසථාව අප බාර ගත යුතුව ඇත්තේ එබැවින්ය. ආණ්ඩුවේ දූෂණ සෙවීමේත්  මැතිවරණයේදී දුන් පොරොන්දුත් ඉටු කරන්නට යැයි ගෝසා කිරීමේ පැරණි විරෝධාකල්ප දේශපාලනයෙන් අලුත් ලොවක් ගැන අදහසක් හදා ගැනීමට අලුත් ගමන් යා නොහැකිය. දූෂණ සෙවිය හැකිය. එහෙත් මේ ක්‍රමයෙහි දූෂණ නතර කළ නොහැක. රාජපක්ෂලාගෙන් යහපාලනයට මාරුවීම ඔප්පු කෙරුවේ එය ය. දුන් පොරොන්දු ඉටු කරන මෙන් ඉල්ලා සිටිය හැකිය. එහෙත් මේ ක්‍රමය ඇතුළත කිසිදු ආණ්ඩුවකට පොරොන්දු ඉටු කළ නොහැකිය. එයද යහපාලනයෙන් ඔප්පු කෙරුවකි. යහපාලනයක් වෙනුවෙන් පොරොන්දු දුන් නාගරික මැද පංතිකයින්ට සහ ජ.වි.පෙ ට මෙවර සිදුවූයේ අලුතින් පොරොන්දු දෙන්නටය.

    ශීලාචාර, ශිෂ්ට අලුත් සමාජ නිර්මාණයක් සඳහා ගමන් ආරම්භ කළ හැක්කේ විෂය කරුණු දෙකක් වෙනුවෙන් අලුතින් සිදු කරන සමාජ මැදිහත්වීම් සමගින් ය. එක් විෂයක් වන්නේ පරිසරිය සුරැකීම ය. මේ ආණ්ඩුව තමන් බරපතල ආර්ථික අර්බූදයක කොටුව ඉන්නා බව පත් කෙරුණු ඇමති මණ්ඩලයට වඩා රාජ්‍ය අමාත්‍ය ලේඛනයෙන් පෙන්වන්නකි. ඉන් ගොඩ එන්නට අපනයනය සඳහා ජාතික නිෂ්පාදන දියුණු කිරීම ගැන කෙරෙන ආණ්ඩුවේ සැළසුම් විරහිත කතා මගින් කියනු ලබන්නේ පරිසරය කෙසේ වෙතත් නිෂ්පාදනය වැදගත් බවය. පරිසරයට අදාලව කටයුතු කළ හැකි රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු ඉන්නා විට, දූෂිත ආර්ථිකයක එයම පරිසර විනාශය සඳහාවන අවසර පත්‍රයකි.

    එය වඩාත් තීව්‍ර කෙරෙන්නේ පරිසරය සුරැකීමට ඉදිරිපත්ව ඉන්නා ක්‍රියාධරයින් බොහෝමයක් “දේශප්‍රේමීන්” බවට පත්ව ඇති හෙයිනි. එබැවින් විල්පත්තු ගිය බොහෝ දෙන සිංහරාජයට නොයති. තවමත් පරිසරය සුරැකීමට වෙර දරණ අවංක අතළොස්ස කොටුවී ඉන්නේ කෑලි ක්‍රමයට කෙරෙන පරිසරය රැකීමේ විරෝධතා හා උද්ඝෝෂණ සමගින් ය. ඔවුහු එක ප්‍රශ්නයකට නඩුවක් පවරති. තවත් ප්‍රශ්නයකට විරෝධතාවක් පවත්වති. තවත් තැනක පරිසරය සුරැකීමේ පුහුණුවීම් වැඩසටහන් කරති. පරිසරය ගැන දන්නා අලුත් ඇමතිවරුන් එන තෙක් බලාපොරොත්තු තබති. මේ කිසිවකින් අවුරුදු 30 ට වැඩි කාලයක්, පැවති මට්ටමෙන් හෝ පරිසරය රැක ගැනීමට නොහැකිව ඇත. ඒ මන්දැයි එනමුත් පසු විපරමක් කෙරෙන්නේද නැත.

    ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය.

    පරිසරය සුරැකීමේ අනාගත විසඳුම ඇත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සමගින් ය. එය නගරවල වායු දූෂණයේ සිට නාය යෑම් දක්වාත් වන සංරක්ෂණයේ සිට ශබ්ද දූෂණය දක්වාත් කසළ ඉවත් කිරීමේ සිට ප්‍රතිචක්‍රීකරණය දක්වාත් ලංකාණ්ඩුව බැඳී ඉන්නා සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ක්‍රියාවට දැමීම දක්වාත් සියල්ල ආවරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් විය යුතුය. එවැන්නක් සැකසිය යුත්තේ වායු සමීකරණය කළ කාමර තුල නොවේ. එවැන්නක් සැකසිය යුත්තේ ජනතා ව්‍යාපාරයක් සමගින්ය. ජන සහභාගිත්වය ඇතිවය.

    ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය. පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ආණ්ඩුවකින් ඉල්ලා සිටිය යුත්තේ එවැනි ජාතික පරිසර ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ සම්මත කරන මෙන් ය. අනතුරුව පළාත් සභාවන්හිත් පළාත් පාලන ආයතන සියල්ලෙහිත් ඊට අනුකූලව ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්ති සකස් කරන මෙන් ඉල්ලීමට ය. කෝවිඞ්-19 අර්බූද හමුවේ එවැනි අලුත් ගමනකට මුල පිරිය හැක්කේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සැකසීමට පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ජන සහභාගිත්වයක් ගොනු කරන්නට සූදානම් වන්නේ නම් පමණි.

    අතිශය වැදගත් දෙවැනි විෂය කරුණ වන්නේ “සමාජ රක්ෂණය” සඳහා ප්‍රතිපත්තියක් සමාජගත කිරීම සමගින් ඊට අදාල වැඩ සටහනක් ක්‍රියාවට නංවා ගැනීම ය. එවැන්නක් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි පැවතෙන්නේ ස්ථාවර, නිරෝගී සමාජ පැවැත්මක් වෙනුවෙනි. එවැනි සමාජ රක්ෂණයක් අපට අද වඩාත් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් සඳහා අවශ්‍ය සමාජ ස්ථාවරත්වය වෙනුවෙනි.

    සම්පූර්ණයෙන්ම මෙන් ගෝලීය වෙළඳපලෙන් යැපුණු අපට, එය කඩා වැටීම හේතුවෙන් අපගේ අපනයන නිෂ්පාදන සියල්ලට හිටි අඩියේ වෙළඳපලක් අහිමි විය. සංක්‍රමණික ශ්‍රමික ඉල්ලුමද දැන් අවම වී ඇත. ගුවන් සමාගම් විසින් ඔවුන්ගේ යානා නැවත ගුවන්ගත කෙරෙන දින වකවානු ගැන කිසිදු ගණන් හැදීමක් නොමැති ලෝකයක සංචාරක ව්‍යාපාරයකට පැවතිය නොහැක. අවිධිමත් ආර්ථිකය අඩකින් පමණ හැකිලී ඇත. අප මුහුණ දෙන්නේ ලක්ෂ ගණනින් රැකියා අහිමිවීමේ ආසන්න අනාගතයකට ය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිල සමීක්ෂණයකට අනුව විධිමත් පෞද්ගලික අංශයේ පමණක් රැකියා ලක්ෂ 03 ට වැඩි සංඛ්‍යාවක් නුදුරු අනාගතයේදී අහිමි වන්නට ඉඩ ඇත. ඒ හා සමාන අනුමාන කිරීම් ව්‍යාපාරික ප්‍රධානීන්ද මාධ්‍ය සමග පවසා තිබිණ.

    පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා සොයන්නට වාර්ෂිකව සමාජයට පැමිණෙන තරුණ සංඛ්‍යාවට අමතරව, මෙලෙසින් හදිසියේ රැකියා අහිමි වන්නට පටන් ගත් විට සමාජය බරපතල අස්ථාවර තත්ත්වයකට හසු වන්නේය. කෝවිඞ්-19 අර්බූදයෙන් රැකියා අහිමිවන අය විවිධ වගකීම් කර ගැසූවන් ය. ඔවුන්ට තම දරුවන්ගේ වගකීම්, වයෝවෘද්ධ තම දෙමාපියන්ගේ වගකීම්, ණය ගෙවීම් හා පවත්වාගෙන පැමිණි ජීවන රටාව නඩත්තු කර ගැනීමේ ගැටළු සමග විවිධ අසීරුකම් වලට මුහුණ දෙන්නට සිදුවන්නේය. 

    ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය. 

    මේ තත්ත්වයට මුහුණ දීමට දැනුම් තේරුම් ඇති වෘත්තීය සමිති නායකයින් අපේ රටේ ඇත්තේ නැති තරම් ය. ඔවුන් දන්නා යල් පිනූ භාවිතය මත විරෝධතා සංවිධානය කිරීමෙන්, පිකට් කිරීමෙන්, පෙළපාලි යාමෙන් ලක්ෂ ගණන් රැකියා බේරා ගැනීමට නොහැක. ආණ්ඩුවකටද මේ පිරිස් සඳහා අලුතින් රැකියා උත්පාදනයකට හැකියාවක් නැත. එහෙත් ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය.

    එවැන්නක් වෙනුවෙන් මූලික යෝජනා දෙකක් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය මැතිවරණයට පෙර කම්කරු ඇමති වෙත ඉදිරිපත් කරනු ලැබිණ. අනෙක් වෘත්තීය සමිති වෙතද ඔවුන් එය ඉදිරිපත් කර තිබිණ. ඔවුන් යෝජනා කර තිබූයේ පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයින්ට සමාජ රැකවරණයක් ලෙස මාසික අවම දීමනාවක් ගෙවීමටද රැකියා ලැබෙන තෙක් කුසලතා වර්ධන වැඩපිළිවෙලක් සමග මාසික අවම විරැකියා දීමනාවක් ගෙවීමට ය.

    මේ යෝජනා තව දියුණු කළ යුතුව ඇත. විශ්‍රාමිකයින්ගේ සමාජ රැකවරණය පෞද්ගලික අංශයට පමණක් නොව, විශ්‍රාම යෑමේ වයසට එළැඹෙන කෘෂි, ධීවර හා අවිධිමත් වැනි සියලු ක්ෂේත්‍රයන්හි සියල්ලන්ට හිමිවන ලෙස සැළසුම් කළ යුත්තකි. ඔවුන්ගේ සෞඛ්‍ය රැක බලා ගැනීමේ විශේෂ සේවා පහසුකම්ද එහි අඩංගු විය යුතුය. විරැකියා දීමනාව කෝවිඞ්-19 අර්බූදය හමුවේ රැකියා අහිමිවන සියල්ලන්ටද අදාල විය යුතුය. විරැකියාවෙන් සිටින කාලය තුල වැඩි දුර අධ්‍යාපනයට හා වෘත්තියාභිමුඛ කුසලතා වර්ධනයට පුහුණු වැඩසටහන් තිබිය යුතුය. ඔවුන්ට හා ඔවුන්ගෙන් යැපෙන අයටද අවශ්‍ය විටෙක ප්‍රතිකාර ගැනීමේ පහසුවද ඊට ඇතුළත් විය යුතුය.

    ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ යෝජනාව සමග මේ සමාජ රක්ෂණ යෝජනාව සමාජ කතිකාවක් සමගින් ආණ්ඩුව හමුවේ තැබීමට පරිසර සංවිධාන, වෘත්තීය සමිති පමණක් නොව, සමාජයේ අනෙක් පාර්ශවද හවුල් විය යුතු ය. පරිසරය රැක ගැනීම පරිසරවේදීන්ට පමණක් පැවරෙන වගකීමක් නොවන්නකි. නගරයේ වායු දූෂණයට හා නාය යෑමට හසු වන්නේ පරිසරවේදීන්ම නොවේ.

    සමාජ රක්ෂණයකින් වාසි ලබන්නේ විශ්‍රාමිකයින් හා විරැකියාවෙන් සිටිනවුන් පමණක් නොවේ. ස්ථාවර සමාජයක වාසිය සියල්ලන්ට ඇති වාසියකි. එවැනි ස්ථාවර සාමකාමී සමාජයක පරිසරය සුරැකීමත් පහසු ය. එබැවින් මේ යෝජනා වෙනුවෙන් සක්‍රීය ජනතා ව්‍යාපාරයක් සමග දියුණු කතිකාවක අවශ්‍යතාව දැන් මග හැරිය නොහැක්කකි. කෝවිඞ්-19 විසින් අපට විවෘත කර ඇති වැදගත්ම තේරීම වන අලුත් ලෝකයක් වෙනුවෙන් ගමන් ඇරඹීම සඳහා වෙනත් මැදිහත්වීමක් අපට ඉතිරිව නැත. තව දුරටත් අශීලාචාර, අසංවර, දූෂිත සමාජයක් ලෙස පැවතිය නොහැකි බැවිනි.

    කුසල් පෙරේරා – 2020 අගෝස්තු 14 වන දින http://kusalperera.blogspot.com/2020/08/blog-post_14.html

  • ගෝඨාගමනයේ මූලය “ජනවාරි විප්ලවයයි”

    ගෝඨාගමනයේ මූලය “ජනවාරි විප්ලවයයි”

    කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා “රාවය”ට ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි. 

    පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා “රාවය” පුවත්පතට ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි:

    ‘ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාව තුළද දක්ෂිණාංශික ජනතාවාදී දේශපාලන ව්‍යාපෘතියක හිස එසවීමක් සිදුවෙමින් පවතී; එය අපට රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැකිය (“රාජපක්ෂවාදය” නොවේ); මෙම දේශපාලන ව්‍යාපෘතිය එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ව්‍යාපාරය සහ බොරිස් ජොන්සන්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි සහ අමිත් ෂා, තුර්කියේ තයීප් එර්දොගන්, හංගේරියාවේ වික්ටර් ඕබන්, බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ, පිලිපීනයේ රොද්‍රිගෝ ඩුටාටේ, ප්‍රංශයේ මරීන් ලපෙන් යනාදීන් ඔස්සේ වෙනස් ආකාරවලට ප්‍රකාශ වන ගෝලීය ප්‍රවණතාවක ලාංකීය “සදෘශ්‍යය” ලෙස සැලකිය හැකිය; නමුත්, එය ගෝලීය ප්‍රවණතාවක ලාංකීය “ප්‍රකාශනය” ලෙස ගැනීම අතිසරල වටහා ගැනීමක් බවද මම නොයෙක් වර පෙන්වා දුන්නෙමි. 

    ගෝලීය ප්‍රවණතාවක් ලෙස සමකාලීන දක්ෂිණාංශික ජනතාවාදය පැන නගින්නේ නව-ලිබරල්වාදයේ පොදු අර්බුදයට දක්වන ප්‍රතිචාරයක් ලෙසය. නමුත්, ඒ සමගම හුදෙක් එම ගෝලීය අර්බුදය ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත් වනවා හෝ පරාවර්තනය වනවා නොවේ.

    ලාංකීය දේශපාලනයෙහි ආවේණික සුවිශේෂතා පවතී. එම සුවිශේෂතා නිර්මාණය වී සහ හැඩ ගැසී ඇත්තේ අප සමාජයන්හි දේශපාලනයේ ඓතිහාසිකත්වය අනුවය. එබැවින්, ලාංකීය සුවිශේෂකත්වයන් වෙනස් වන ගෝලීය සහ කලාපීය තත්ත්වයන් සමග දක්වන දයලෙක්තික සම්බන්ධය අපගේ පරීක්ෂාවට ලක් විය යුතුය. ලෙනින්ගේ වචනයෙන් කිව හොත්, “සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක්” ගොඩ නැගිය හැක්කේ එලෙසය.

    න්‍යායික රාමුව 

    තවද, එවන් සංයුක්ත දේශපාලන විශ්ලේෂණයකදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් මානයක් තිබේ. එනම්, දේශපාලන න්‍යාය සහ දර්ශනය තුළ සිදුවෙමින් පවතින සමකාලීන සංවාදයයි. මෙහිදී විශේෂයෙන්ම න්‍යාය සහ දේශපාලනය අතරැති සම්බන්ධතාව ගැනද යමක් කිව යුතුය. ඒ “ප්‍රායෝගික දේශපාලනයට න්‍යාය අවශ්‍ය නැත” වැනි විකාර සහගත අදහස් මෙකල ප්‍රචාරය වෙමින් පවතින නිසාවෙනි.

    දේශපාලන න්‍යායන් යනු හුදෙකලා මනෝ ලෝකවල පවතින දේ නොව “මේ දැන් මෙතැන” පවතින තත්ත්වය වටහා ගන්නට (සහ වෙනස් කරන්නට) උපකාරී වන ප්‍රායෝගික දැනුම්ය. එවන් විශිෂ්ට සමකාලීන න්‍යායික ධාරාවක් නියෝජනය කරන ශන්තාල් මූෆ්ගේ මෑතකාලීන ලිවීම් අපගේ විශ්ලේෂණයන් තුළ බහුල වශයෙන් පරිශීලනය කෙරිණ. 

    ඉන්දියාවේ මෝදිට පමණක් දෙවැනි බල කණුව – අමිත් ෂා

    යුරෝපයේ දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම පෙර දකින්නට මූෆ් සමත් වූවාය. ඇය විසින් පෙන්වා දෙන ලද වැදගත් කාරණයක් නම් එම දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම සඳහා වාසි සහගත වූ තත්ත්වයන් නිර්මාණය කර දෙන ලද්දේ එතෙක් රාජ්‍ය බලය ඉසිලූ නව-ලිබරල් පාලක හවුල විසින්ම බවය. ඒ කෙසේද යත්, නව-ලිබරල් ප්‍රවේශය තුළ ලිබරල් අයිතීන් ගැන කොතරම් අවධාරණය වුවද ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික නියෝජනය සහ සමානත්වය පිළිබඳ ඉල්ලීම් එමගින් නොතකා හැරිණ; එය “ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ලිබරල්වාදයකි.” මෙනිසා තමන්ව නියෝජනය නොකරන ප්‍රභූ පාලක පැලැන්තිය කෙරෙහි එල්ල වන්නා වූ පොදු විරෝධය මේ යුගයේ පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. එම විරෝධය සංවිධානය කරන්නට වාමාංශය අසමත් වන විට විපාක්ෂික දේශපාලනයේ හිඩැස පුරවනු ලබන්නේ දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී ප්‍රවණතා විසිනි. ඒ බොහෝ විට සුළු ජනවර්ග විරෝධය ඇතුළු නව-ගතානුගතිකවාදී දෘෂ්ටිවාදයන් මගින් ජනයා බල මුළු ගැන්වීම මගිනි. ලොව විවිධ තැන්වල ගොඩ නැගෙමින් පවතින දක්ෂිණාංශික ජනතාවාදී ප්‍රවණතාවල ආවේණික සුවිශේෂතා පැවතියද, ඒවා තේරුම් ගැනීමේදී මූෆ්ගේ න්‍යායෙන් ලැබිය හැකි ඉමහත් ආලෝකයක් තිබේය යන්න මගේ අදහසයි. 

    රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ පළමු නැගීම  

    මූෆ්ගේ (හෝ වෙනත් කිසිවෙකුගේ) න්‍යායික අදහසක් කෘතීමව මෙරට දේශපාලනය තේරුම් කිරීම සඳහා අදාළ කළ නොහැකිය. නමුත්, අපගේ සමකාලීන දේශපාලන චලනයන් වටහා ගැනීමේ පර්යේෂණ කාර්යයේදී ඇයගේ න්‍යායන්හි අදාළත්වය පරීක්ෂා කොට බැලිය හැකිය. නැතිනම්, ඒවායින් කිසියම් විදර්ශනාත්මක ආලෝකයක් ලබා ගැනීමට ප්‍රයත්න දැරිය හැකිය. ඇතැම්විට, එමගින් න්‍යාය වඩා වැඩි දියුණු වීමටද හැකිය. මේ ප්‍රවේශය තුළ න්‍යාය සහ විශ්ලේෂණය අතර, (එමෙන්ම, විශ්ලේෂණය සහ භාවිතය අතර) ඇත්තේ එකිනෙක පරීක්ෂාවට ලක් වන සහ එකිනෙක පෝෂණය කෙරෙන සම්බන්ධයකි.

    මගේ යෝජනාව වන්නේ මූෆ් යුරෝපයේ දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇතැම් නිරීක්ෂණ සමකාලීන ලංකාවේ රාජපක්ෂ ව්‍යාපෘතියේ (දෙවන) නැගීම තේරුම් කිරීම සඳහාද ප්‍රයෝජනවත් වන බවය.

    රාජපක්ෂ ව්‍යාපෘතියේ පළමු නැගීම සඳහා පසුබිම් වූයේ 1994 සිට 2004 දක්වා කාල පරිච්ජේදය තුළ චන්ද්‍රිකා-රනිල් දෙපළගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ නව-ලිබරල් සම්මුතිවාදී දේශපාලනයයි; ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වයෙන් එක්සත් රාජධානිය තුළ සිදු වූවාක් සේ ශ්‍රී ලංකාවේද ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක අතර වෙනස මැකී යාම මෙම යුගය තුළ මානව දැක ගත හැකි විය.

    මෙහිදී ශ්‍රී ලංකාවට අදාළ සුවිශේෂකත්වයක් වන්නේ අධිපති සිංහල බෞද්ධ ජාතිකවාදය ගතානුගතික ධනේශ්වර පක්ෂවලින් සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිතව සංවිධානය වීමයි. මේ දෙආකාරයෙන්ම සිදු වූයේ ගතානුගතික ප්‍රභූ පක්ෂ නායකත්වයන්හි හෙජමොනිය අර්බුදයට ලක් වීමයි. ප්‍රධාන ධාරාවේ පක්ෂයක් තුළින්ම ජනතාවාදී නායකත්වයක් හිස එසවීමට හැකි තත්ත්වයන් සැකසුණේ එසේය.

    ගෝඨාගමනයේ මූලය “ජනවාරි විප්ලවයයි”

    අප දැන් අත් දකිමින් සිටින්නේ රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ දෙවන නැගීමයි. එය ආකාර කිහිපයකින්ම පළමුවැන්නෙන් වෙනස්ය. මෙවර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ සංවිධානය වූ සිංහල ව්‍යාපාරික පංති ස්ථරයක්, වෘත්තීයවේදී ශ්‍රේණියක් සහ මිලිටරි නිළධාරී තන්ත්‍රයක් විසින් ඉදිරිපත් කෙරුණු විධිමත් උපාය මාර්ගික වැඩ පිළිවෙලකින් සමන්විතය. එම වැඩ පිළිවෙලෙහි ආදර්ශය ලෙස ගැනෙන්නේ නැගෙනහිර ආසියාතික අධිකාරීමය ධනවාදී සංවර්ධන මොඩලයයි. 

    එසේම මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙන්නේ එක්සත් ජනපදය විසින් 1990 දශකයේ ආරම්භයේදී දියත් කරන ලද ලිබරල් ජාත්‍යන්තර පර්යාය අර්බුදයට ගියා වූත්, චීනය සහ එක්සත් ජනපදය අතර තුෂ්ණි යුද්ධයක් ආරම්භ වෙමින් පවතින්නා වූත්, ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපය එම තුෂ්ණි යුද්ධයේ පරිධි-බිම බවට පරිවර්තනය වී තිබෙන්නා වූත්, ලොව පුරා දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී ප්‍රවණතා හිස ඔසවමින් තිබෙන්නා වූත්, මේ සියල්ලටමත් වඩා කොරෝනා වෛරස් වසංගතය හමුවේ අධිකාරීවාදී රාජ්‍යවාදී දේශපාලනයට නව සුජාතභාවයක් හිමි වෙමින් පවතින්නා වූත් වාතාවරණයක් තුළය. වෙනත් ලෙසකින් කිවහොත්, දේශීයව මෙන්ම ගෝලීයවද ජාතිකවාදී අධිකාරීවාදී දේශපාලන ධාරාවන්ට ඉතාම හිතකර තත්ත්වයන් සැකසෙමින් තිබේ. මෙරට යම් තරමකට හෝ ඉතිරිව තිබෙන ලිබරල් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දැන් අනතුරට පත්වෙමින් තිබේය යන්න වටහා ගැනීමට කිසිවෙකුටත් සුවිශේෂී දේශපාලන විද්‍යා දැනුමක් අවශ්‍ය වන්නේ නැත. 

    නමුත්, ප්‍රශ්නය නම් මෙම රාජපක්ෂ ව්‍යාපෘතියේ දෙවන නැග්ම සඳහා උචිත තත්ත්වයන් සකසන ලද්දේ කව්රුන්/කුමක් විසින්ද යන්නයි. මෙහි පළමු “චූදිතයා” විය යුත්තේ 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය බව මගේ අදහසයි. යහපාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ප්‍රචලිත විවේචනය වන්නේ නව පාලකයින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වීම නිසා ඔවුන් මහජන විරෝධයට ගොදුරු වූවාය යන්නයි.

    නමුත්, යහපාලන ව්‍යාපෘතියේ අර්බුදයේ මූලයන් ඊට වඩා ගැඹුරට දිව යයි. එහි අර්බුදයේ මූලයන් පවතින්නේ එහි සමාරම්භය තුළමය. ඒ අන් කිසිවක් නොව මාදුළුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් ආරම්භ වූ එම ව්‍යාපාරයේ ආරම්භයේදීම මහජනයාගේ ආර්ථිකමය සහ සමාජමය ඉල්ලීම් ප්‍රජාතාන්ත්‍රික කතිකාවෙන් බැහැර කරනු ලැබීමය. ඒ විසින් ඉදිරිපත් කරන ලද්දේ ව්‍යවස්ථාමය, නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණවලට සීමා කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවකි. 2015 ජනවාරියේදී බලයට පත් ආණ්ඩුව ආර්ථිකමය ලෙස නියෝජනය කළේ නව-ලිබරල් සංස්ථාපිතයයි. ආර්ථිකය නිර්-දේශපාලනීකරණය කිරීම නව-ලිබරල් බලාධිකාරයේ ප්‍රධාන ගති ලක්ෂණයකි. 

    මේ අනුව, එම පාලකයින් තමන්ගෙන් දුරස් වූ, තමන්ව නියෝජනය නොකරන සහ තමන්ට සතුරු වූ පිරිසක් ලෙස බහුතර ජනයා විසින් දකිනු ලැබීම පුදුමයට කරුණක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පාලකයින්ට එරෙහි පොදු විරෝධය එහි උච්චස්ථානයට පත් විය. දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී නායකත්වයක් ලෙස රාජපක්ෂ ව්‍යාපෘතියට නැවත මතු විය හැකි වූයේ මේ වාතාවරණය තුළය. 

    මැතිවරණ දඬුවම 

    මෙවර මහා මැතිවරණයේ ප්‍රතිපල දෙස බැලූ විට අන් සියල්ලට පෙර එක් කරුණක් ඉතාම පැහැදිළිය. එනම්, 2015 ජනවාරි යහපාලන ව්‍යාපෘතියට නියමින් හෝ අනියමින් සම්බන්ධ වූ සියලුම පක්ෂ අති බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවය. ඒ අතුරින් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ ඒමට නොහැකි තරමේ අගාධයකට හෙළනු ලැබ ඇත. දෙමළ ජාතික සන්ධානයේ ගතානුගතික නායකත්වය විශාල පසුබෑමකට ලක්ව ඇත.

    යහපාලන ව්‍යාපෘතියට සම්බන්ධ වී සිට පසුව එයින් වෙන් වූ නාගරික වාම-ලිබරල් බුද්ධිමය ශ්‍රේණියක් සමග සන්ධානගත වූ ජනතා විමුක්ති පෙරමුණ බරපතල බසුබෑමකට ලක්ව තිබේ. එය ජවිපෙ තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ජන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ දෙක හමාරක් පමණ අඩු ජන්ද සංඛ්‍යාවකි. බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කොට ඇත්තේ ජවිපෙට වඩා ජාතික ජන බලවේගය බැව් පෙනේ.

    කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා “රාවය”ට ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි. 

    සුමිත් චාමින්ද     

  • නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 20 වැනිදා පස්වරු 3.00 ට

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 20 වැනිදා පස්වරු 3.00 ට

    අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද ජනපතිවරයා විසින්  සිදු කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී කථානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනපතිවරයා පිළිගැනීමට නියමිත අතර ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය.

    වේත්‍රධාරි,නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් අතිගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීමෙන් අනතුරුවජනාධිපතිවරයා විසින් මූලාසනයේ සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

     මේ අතර එදින උදෑසන 9.30ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන්  පසු මන්ත්‍රීවරු දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ. ඉන්පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ප.ව 3.00 දක්වා‍ කල්තබනු ඇත.

  • සිරිසේන ඉතාම නින්දිත, නීච විදිහට ශ්‍රීලනිපය විනාශ කළා – ශ්‍රීලනිපය කෑ සිරිසේනට චන්ද්‍රිකා විශේෂ ප්‍රකාශයකින් අමතයි (වීඩියෝ)

    සිරිසේන ඉතාම නින්දිත, නීච විදිහට ශ්‍රීලනිපය විනාශ කළා – ශ්‍රීලනිපය කෑ සිරිසේනට චන්ද්‍රිකා විශේෂ ප්‍රකාශයකින් අමතයි (වීඩියෝ)

    මගේ තාත්තා බිහි කරපු, අපෙ අම්මා ආරක්ෂා කරපු, මම සංවර්ධනය කරපු පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති වෙලා තියෙන ඉරණම ගැන මට කණගාටුයි. මහින්ද පක්ෂය විනාශ කිරීම සූක්ෂම විදිහට කරා. සිරිසේන ඉතාම නින්දිත විදිහට, නීච විදිහට ඒක කළා’ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පවසයි.

    ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේ අද (14) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්.

    “මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ලබා ගත් ඡන්ද ප්‍රමාණය පෙර පැවති ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍ර්‍රමාණයටත් වඩා අඩු උනත් 2/3ක බලයක ලැබෙන්න ප්‍රධාන හේතුව ජේ.ආර්.ගෙ බහුබූත ව්‍යවස්ථාව. අනෙක් හේතුව දුර්වල විපක්ෂය..

    ලංකාවේ පැවති ප්‍රධාන පක්ෂ දෙකම මේ වන විට විනාශ වී එවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මං තාම කොයනවා සිරිසේන මේක විනාශ කරාට පස්සේ අවුරුදු 5ක් තිස්සේ රාජපක්ෂ ආරම්භ කරපු කටයුත්ත. එක්සත් ජාතික පක්ෂය කෑළි කෑලි වලට කැඩිලා විසිරිලා තියෙන්නේ. මේ රටේ ප්‍රධාන පක්ෂ 2ම කැඩී බිඳී සුණු විසුණු වී ගොස් තියෙන වෙලාවක අළුතෙන් ආරම්භ කළත් ශක්තිමත් පක්ෂයක් හදපු රාජපක්ෂශක්තිමත් නායකයෙක්, එතුමගෙ දර්ශනයට සහ ක්‍රියා කලාපයට මම එකඟ නොවුණත්. හොරකමට, මිනී මැරුම් වලට මම එකඟ නෑ.

    විපක්ෂයේ ශක්තිමත් නායකයන් නෑ. ඒ වගේ තත්වයක් තුල විපක්ෂය අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැණීම මට නම් පුදුමයක් නෙවෙයි. ඒත් අනුපාත ඡන්ද ක්‍රමය තිබ්බා නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි වෙලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ගණන අඩු වෙන්න තිබ්බා.

    මගේ තාත්තා බිහි කරපු, අපෙ අම්මා ආරක්ෂා කරපු මම සංවර්ධනය කරපු පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති වෙලා තියෙන ඉරණම ගැන මට කණගාටුයි. මහින්ද පක්ෂය විනාශ කිරීම සූක්ෂම විදිහට කරා. සිරිසේන ඉතාම නින්දිත විදිහටන් නීච විදිහට ඒක කරා. අපේ පක්ෂයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්ති තියෙන පොහොට්ටුව එක්ක එකතු වෙනවට අපි කැමැති නෑ.” යැයි එතුමිය පවසයි.

  • අලුත් පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු මන්ත්‍රීවරුන්ගේ දූ පුතුන් හා ළගම ඥාතීන් මෙන්න

    අලුත් පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු මන්ත්‍රීවරුන්ගේ දූ පුතුන් හා ළගම ඥාතීන් මෙන්න

    අපි ගොඩක් මිනිස්සු බඩු මිල වැඩිවෙන වෙලාවට, නැත්නම් තමන්ට ආර්ථිකය, ජීවිතය, බිස්නස් අවුල් වෙලාවට බනින්නේම පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට. ඒ වගේ කාලෙට සමහරු පාර්ලිමේන්තුව දියවන්නාවේ ගිලෙනකන් බලන් ඉන්නවා. සමහරු පාර්ලිමේන්තුවේ ඉන්න උන්ව කිඹුල්ලුම කන්න ඕනි කියනවා. තව සමහරු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනි කියලත් කියනවා. මුන්ගේ තාත්තලා, පුත්තු, බාප්පලා, මාමලා, නෑයෝ පරම්පරාව තමා මේකට රිංග ගන්නේ කිය කියා දෙස් දෙවොල් තියනවා.

    ඒත් එහෙම කියන අපි අතරේම ඉන්න ඡන්ද දායකයෝ වෙන ඒ මිනිස්සුම ආයෝ ඡන්දයක් ආපු ගමන් වැඩිම මනාපයෙන් පත්කර ගන්නේම ඉන්න අයගෙනම පරම්පරාවේ එකෙක් මයි.

    අපේ අය ඒ විදියට මේ පාරත් ගොඩදාලා තියෙන පරම්පරා ගානත් පොඩි නැහැ. ඥාතී සම්බන්ධකම් ටික කියවලාම බලන්න කෝ…

    1. මහින්ද රාජපක්ෂ (ඩීඒ රජපක්ෂගේ පුතා)

    2. චමල් රාජපක්ෂ (ඩීඒ රාජපක්ෂගේ පුතා)

    3. නිපුණ රණවක (ඩීඒ රාජපක්ෂගේ මුණුපුරා
    මහින්දගේ නංගිගේ පුතා)

    4. ශෂීන්ද්‍ර රාජපක්ෂ (ඩීඒගේ පුණුපුරා / චමල්ගේ පුතා)

    5. නාමල් රාජපක්ෂ (ඩීඒගේ මුණුපුරා / මහින්දගේ පුතා)

    6. සජිත් ප්‍රේමදාස (අාර්. ප්‍රේමදාසගේ පුතා)

    7. මයන්ත දිසානායක (ගාමිණී දිසානායකගේ පුතා)

    8. දිලුම් අමුණුගම (සරත් අමුණුගමගේ ඥාති පුතා)

    9. හර්ෂණ රාජකරුණා (සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුතා)

    10. අනුරාධ ජයරත්න (දිමු ජයරත්නගේ පුතා)

    11. කංචන විජේසේකර (මහින්ද විජේසේකරගේ පුතා)

    12. ඉම්රාන් මහරූෆ් (එම්.ඊ.එම් මහරුෆ්ගේ පුතා)

    13. සාරතී දුෂ්මන්ත (එච්අාර් මිත්‍රපාලගේ පුතා)

    14. ඩී.වී. චානක (ඩීවී උපුල්ගේ පුතා)

    16. කාවින්ද ජයවර්ධන (ජයලත් ජයවර්ධනගේ පුතා)

    18. ගයන්ත කරුණාතිලක (රූපා කරුණාතිලකගේ ඥාති පුතා)

    19. චන්දිම වීරක්කොඩි (අමරසිරි දොඩංගොඩගේ ඥාති පුතා)

    21. ඉසුරු දොඩංගොඩ (අමරසිරි දොඩංගොඩගේ පුතා)

    22. ප්‍රසන්න රණතුංග (රෙජී රණතුංගගේ පුතා)

    23. මල්ලිකා සොයිසා (රංජිත් සොයිසාගේ බිරිද)

    24. ප්‍රමිත තෙන්නකෝන් (ජනකගේ පුතා / ටීබීගේ මුණුපුරා)

    25. මංජුලා දිසානායක (සාලින්ද දිසානායකගේ බිරිද)

    26. නිරෝෂන් පෙරේරා (පෙස්ටස් පෙරේරාගේ පුතා)

    27. හරීන් ප්‍රනාන්දු (වින්සන් ඩයසගේ බෑණා)

    28. රංජන් රාමනායක (චන්ද්‍රිකා කුමාරතුංගගේ ඥාති පුතා)

    29. දිනේශ් ගුණවර්ධන (පිලිප් ගුණවර්ධනගේ පුතා)

    30. අසංක නවරත්න (රංජිත් නවරත්නගේ පුතා)

    31. අකිල එල්ලාවල (මොහාන් එල්ලවලගේ පුතා)

    32. දුමින්ද දිසානායක (බර්ටි දිසානායකගේ පුතා)

    33. ශෙහාන් සේමසිංහ (කේබී රත්නායකගේ දුවගේ පුතා)

    34. රාජිකා වික්‍රමසිංහ (ශ්‍රීලාල් වික්‍රමසිංහගේ බිරිද)

    35. මහින්ද යාපා අබේවර්ධන (ලක්ෂ්මන් යාපාගේ ඥාති සහෝදර)

    36. කෝකිලා ගුණවර්ධන (අජිත් ගුණවර්ධනගේ නංගී)

    37. තලතා අතුකෝරාල (ගාමිණී අතුකෝරාලගේ නැගණිය)

    38. ජේසී අලුවතුවල (අලවතුවලගේ පුතා)

    39. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිද)

    40. කනක හේරත් (මහීපාල හේරත්ගේ පුතා)

    41. රමේෂ් පතිරණ (රිචර්ඩ් පතිරණගේ පුතා)

    42. ලොහාන් රත්වත්තේ (අනුරුද්ධ රත්වත්තේගේ පුතා)

    43. විදුර වික්‍රමනායක (රත්නසිරි වික්‍රමනායකගේ පුතා)

    44. පවිත්‍රා වනනිඅාරචචි (ධර්මදාස වන්නිඅාරච්චිගේ දුව)

    45. ජනක තෙන්නකෝන් (ටීබී තෙන්නකෝන්ගේ පුතා)

    46. ආර්. සම්බන්ධන් (එස් සිවපාලන්ගේ ඥාති පුතා)

    47. සුජිත් සංජය පෙරේරා (වින්සන්ට් පෙරේරාගේ පුතා)

    48. තාරක බාලසූරිය (ජගත බාලසූරියගේ පුතා)

    49. සීවී විග්නේෂ්වරන් (වාසුදේව නානායක්කාරගේ මස්සිනා)

    50. කින්ස් නෙල්සන් (එච්ජීපී නෙල්සන්ගේ පුතා)

    51. ජීවන් තොණ්ඩමාන් (සෞමමූර්ති තොණ්ඩමන්ගේ මීමුණුපුරා / ආරුමුගම්ගේ පුතා)

    52. රෝහිණී කවිරත්න (පීබී කවිරත්නගේ ලේලිය)

    53. වාසුදේව නානායක්කාර (හේමකුමාර නානායක්කාරගේ සහෝදරයා /විග්නේෂ්වරන්ගේ මස්සිනා)

    55. යද්මිණි ගුණවර්ධන (දිනේශ් ගුණවර්ධනගේ පුතා)

    56. වරුණ ලියනගේ (හීන්මහත්තයා ලියනගේගේ පුතා)

    57. අජිත් නිවාඩ් කබ්‍රාල් (මහින්ද රාජපක්ෂගේ මස්සිනා)

    58. කපිල අතුකෝරාල (එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන බෑණා)

    59. ගජේන්ද්‍ර පොන්නම්බලම් (කුමාර් පොන්නම්බලම්ගේ පුතා)

    60. මහින්දානන්ද අලුත්ගමගේ (දිමු ජයරත්නගේ බෑණා)

    (අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.)

    ඔන්න බලන් ..සකි..
    ලoකාවේ(සිරි ල0කාවේ) පවුල්පාලනය නොහොත් අපි ආඩම්බරයට සැනසෙන්න කියන අපේ දේශපාලනය..

  • එජාපයේ දෙකොන ගිනි ගනිද්දී ‘රනිල් – කරු දෙන්නම’ ගොඩ යයි ද ?

    එජාපයේ දෙකොන ගිනි ගනිද්දී ‘රනිල් – කරු දෙන්නම’ ගොඩ යයි ද ?

    එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග පැවසුවේය. ඔහු සදහන් කළේ පසුගිය මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවී ඇති බරපතළ අර්බුදයට එකම විසදුම රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම බවයි.

    ‘මේක පක්ෂය තුළ යළිත් අර්බුදයක් ඇතිවීමට හේතු වී තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පමණක් නොව වික්‍රමසිංහ මහතා නායකත්වය අත් හැරීමට සූදානම් බව ප්‍රකාශ කිරීම සමග ඒ හා සම්බන්ධ අර්බුදයකත් තියුණු වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ කොතරම් පරාජය වුණත් රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් නැති බව යළි යළිත් තහවුරු වෙනවා. ඒ නිසා හොදම තීන්දුව තමයි පක්ෂය තුළ ස්ථිරසාර ලෙස නායකත්ව අර්බුදය විසදා ගන්නා තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යාම‘

    මෙහිදී අප හා අදහස් දැක්වූ දේශපාලන විශ්ලේෂකයින් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ වැනි අත් දැකීම් බහුල නායයෙකු පාර්ලිමේන්තුවේ සිටීම වත්මන් අති බහුතර ආණ්ඩුවට පවා ශක්තියක් බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන දේශපාලන විශ්ලේෂක භාතිය බරුකන්ද මහතා සදහන් කළේ ‘එජාප නායකත්ව අර්බුදය කිසිදා විසදා ගත හැකි එකක් නොවෙයි. දැනි පාලිත රංගේ බණ්ඩාර වාගේ සුළු චරිත පවා නායකත්ව අර්බුදයට මැදිවීම හරහා සිදුවන්නේ අර්බුදය තව තවත තියුණු වීමට වඩා පක්ෂය තව දුරටත් කුණුවීමයි. ඒ නිසා එජාපයේ දෙවැනි පෙළ යථාර්ථය සහ තමන්ගේ ඇත්ත තත්ත්වය මනාව වටහා ගන්නා තෙක් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් කාලයක් පක්ෂ නායකත්වය දැරීමට සිදුවීම දැන් දේශපාලන යථාර්ථයක්. මොකද දැන් පක්ෂ නායකත්ව අරගලයට මැදිව සිටින පිරිසෙන් ජාතික නායකත්වයට සුදුසු පරිදි මුහුකුරා ගිය චරිතයක් ඇත්තේ නැහැ. යම් පමණකට මහ ලේකම් අකිල ගැන කල්පනා කළ හැකියි. ඒත් සජිත් පිළිටත් අභියෝගයක් වෙමින් පක්ෂය යළි ගොඩනැගීමට ඔහුට කොතරම් හැකියාවක් තිබේද ? ඒ සදහා රවී – වජිර ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගෙන් කොතරම් සහායක් ලැබේද යන්න ප්‍රශ්නයක්. ඒ නිසා දේශපාලන යථාර්ථය තමයි රනිල් වික්‍රමසිංහ තවත් කාලයක් පක්ෂ නායකයා ලෙස සිටීම“

    මෙහිදී භාතිය බරුකන්ද මහතා කියා සිටියේ ජාතික ලැයිස්තුවට සුුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා හෝ හිටපු කතානායක කරු ජයසූරිය මහතා බවයි.

    ‘රනිල් වික්‍රමසිංහ වාගේ දැඩි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙක් ඕනෑම පාර්ලිමේන්තුවකට ශක්තියක්. ඔහු මේ පාර්ලිමේන්තුවෙත් සිටිය යුතුම චරිතයක්. ඔහුගෙන් ආණ්ඩුවට පවා වටිනාකමක් ලැබෙන බව සහතිකයි. මොකද එජාප ජාතික ලැයිස්තුව තුළ පාර්ලිමේන්තුවට ඔබින වටිනා චරිත නැහැ. හොදම සහ එකම විකල්පය තමයි රනිල් වික්‍රමසිංහ‘

  • තිස්ස, රංජිත්, ඉමිටියාස් සහ ඉරාන් ඇතුළු JSB 07කගේ නම් මැකොට

    තිස්ස, රංජිත්, ඉමිටියාස් සහ ඉරාන් ඇතුළු JSB 07කගේ නම් මැකොට

    සමගි ජන බලවේගය විසින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනා නම්කර අදාළ නම් අද (13) පස්වරුවේදී මැතිවරණ කොමිෂම වෙත භාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ජාතික ලැයිස්තුවට නම්කර ඇත්තේ, පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, ඉමිටියාස් බාකීර් මාකාර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ මහත්මියයි.

  • ගියපාර ඇමතිකම් හිමි වුණු මේ පාර අහිමි වුණු මන්ත්‍රීවරු මෙන්න

    ගියපාර ඇමතිකම් හිමි වුණු මේ පාර අහිමි වුණු මන්ත්‍රීවරු මෙන්න

    පසුගිය රජයයන් හි අමාත්‍යධුර දරන ලද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම මෙවර කිසිදු අමාත්‍යධුරයක් නොලැබුණි.

    ඒ අතර, පසුගිය කාලයේදී කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර වරින් වර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ට මෙවර රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුර හිමි නොවීය.

    තවද ආණ්ඩු කිහිපයකම විවිධ අමාත්‍යධුර දැරූ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන අයටත් මෙවර කිසිඳු අමාත්‍යධුරයක් හිමි නොවීය. එසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.

    විවිධ රජයන්හි ඇමතිධුර දැරූ ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන යන අයටත් මෙවර ඇමතිධුර හෝ රාජ්‍ය අමාත්‍යධුර හිමි නොවීය.

    එසේම ඔවුන්ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරුද හිමි නොවුන අතර එස්. බී දිසානායක මහතාට රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුරයක් හිමි නොවුන අතර නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරක් පමණක් හිමිවිය.

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර අමාත්‍යධුරයක් හිමි නොවීම විශේෂත්වයකි.

  • නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී සිදුවිය. නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 28 දෙනුගෙන් සමන්විත වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

    1.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

    02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

    03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

    04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

    05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

    06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

    07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

    08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

    09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

    10. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

    11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

    13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

    14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

    15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

    16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

    17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

    18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

    19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය  

    20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

    21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

    22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

    23. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

    24. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

    25. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

    26. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

  • ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 19ක් ගැසට් කරයි

    ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 19ක් ගැසට් කරයි

    පසුගිය අගෝස්තු 05 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරවලට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (11) මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කළේය.

    මෙසේ ගැසට් කරන ලද්දේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (17) ඉලංගෙයි තමිල් අරසු කච්චි (01) සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය (01) නියෝජනය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් පමණයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සදහා ඉදිරිපත් කළ මහාචාර්ය ජී. එල්. පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ, ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන, ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ව්‍යාපාරික ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ.

    ඉලංගෙයි තමිල් අරසු කච්චි විසින් මොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා ද තවරාජ අහිල ඉලංගෙයි තමිල් අරසු කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ද පාර්ලිමේන්තු සභිකයන් ලෙස නම් කර ඇත.

    සමඟි ජනබලවේගය (07) ජාතික ජන බලවේගය (01) එක්සත් ජාතික පක්ෂය (01) සහ අපේ ජනබල පක්ෂයට (01) අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙතෙක් ගැසට් කර නොමැත. ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් මෙම පක්ෂ අභ්‍යන්තරයේ පවතින අර්බුද මෙලෙස ජාතික ලැයිස්තු නම් ප‍්‍රමාද වීමට හේතු වී තිබේ.

    සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව ඇති අතර අදාළ මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂ නායකයින් ඊයේ (11) ද රැස් වුවත් අවසන් තීරණයක් ගැනීමට හැකි වී නැති බව වාර්තා වේ.