Category: සුපිරි Politics

  • රු.5,000ක් ලබාදීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කරලා – බිමල් රත්නායක

    රු.5,000ක් ලබාදීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කරලා – බිමල් රත්නායක

    කොරෝනා මර්දනය කිරීම මෙන්ම ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලින් අපහසුතාවයට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමත් ආණ්ඩුවේ වගකීමක් බව ජ.වි.පෙ. ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

    බිමල් රත්නායක මහතා මේ බව අවධාරණය කළේ අද (17) දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

    එහිදී බිමල් රත්නායක මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ.

    අපේ රටේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ඇඳිරි නීතිය පනවා යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මාසයකට ආසන්නවී තිබෙනවා. ලෝකයේ හැම රටක්ම විශාල සීමාකිරීම් තුළින් මේ වෛරසය මැඩපැවැත්වීමට ක්‍රියාකර තිබෙනවා. මෙයට කලින් සීමාකිරීම් අඩුවෙන් කළ රටවල් පවා නැවත සීමාකිරීම් වැඩිකර තිබෙනවා. ජපානය වැනි රටක් සීමාකිරීම් ලිහිල් කළත් නැවත 16වැනිදා සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරලා.

    අනිවාර්යයෙන්ම සීමාකිරීම් සහ යම් යම් පාලනය කිරීම් අවශ්‍ය බව පිළිගන්නා අතරම ජනතාවට තිබෙන ප්‍රධාන ගැටලුවලට පිළියම් යෙදිය යුතු වෙනවා. කොරෝනා මර්දනය සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග නිසා ගොවි ජනතාව, ධීවර ජනතාව සහ විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පීඩාවකට පත්වී සිටිනවා. 

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර අති විශාල ප්‍රමාණයක් ඉන්නේ ශ්‍රමිකයන් ලෙස විදේශගත වූවන්ය. මේ අතර ඔවුන් විවිධ සහ වෙනස් නීතිමය තත්වයන්ට මුහුණ දෙනවා. මේ අතර ඇතැම් අය නිශ්චිත කාලයකට විදෙස්ගතවී සිටින අතර තවත් පිරිසක් ලංකාවට යමින් එමින් රැකියා කටයුතු කරනවා.

    තවත් පිරිසක් නිසි රැකියා බලපත්‍රයක් නැතිව ඒ රටවල රැඳී සිටිනවා. යුරෝපා රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල කොරියාව, ජපානය වැනි රටවල්වල මේ ශ්‍රමිකයන් වැඩියි. නීති විරෝධීව රැඳී සිටින විශාල පිරිසකුත් සිටිනවා. තව පිරිසක් අදාල රටවලට ඇතුල්වීමේ නීත්‍යානුකූල බලපත්‍ර හෝ රැකියා කිරීමේ බලපත්‍ර නැති අය. ඒ වගේම බලපත්‍ර කල් ඉකුත් වූ අයත් සිටිනවා. මේ වගේ කණ්ඩායම් රාශියක් විදෙස්ගතවූවන් අතර සිටිනවා.

    විදේශගතව අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විවිධ පුහුණු වැඩසටහන්වලට ගිය රජයේ නිලධාරීන්, සංචාරකයන් වශයෙන් විදේශගත වූවන්, ව්‍යාපාරිකයන් ලෙස විදේශගත වූවන්, ප්‍රතිකාර ගැනීම සඳහා ගිය අය ඉන්නවා. දැනට ලංකා රජයෙන් ඉදිරිපත් කර තිබෙන අන්තර් ජාල ලේඛණයේ ලියා පදිංචිවී සිටින්නේ 60,000ක් වුණත් මේ සංඛ්‍යාව මීට වඩා විශාල අගයක් බව බව අපි දන්නවා. 

    රජය මුලදී ඔවුන් දැනුවත් කළේ අදාල රටවල්වල රැඳී සිටින ලෙසයි. නමුත් මෙම කාලය තුළදී කොරෝනා තත්වය ලෝක වසංගතයක් බවට පත්වීමෙන් යුරෝපය, නැගෙනහිර ආසියාව, බටහිර ආසියාව, මැද පෙරදිග පවා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ ගතවෙමින් තිබෙනවා.

    මුලදී රජයෙන් ගත් තීන්දුව නිසා ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට නොහැකි වී ඒ රටවල රැඳී සිටිනවා. එය ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය වීමක්. ලෝකයේ බොහෝ රටවල් විදේශගතවී සිටින තම පුරවැසියන් වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකරනවා. ලංකා ආණ්ඩුවත් රටවල් 16ක රැඳී සිටින ලාංකිකයන්ගේ කටයුතු වෙනුවෙන් රු. ලක්‍ෂ 80ක් වෙන්කර තිබෙන බව මාධ්‍ය වාර්තා කළා. නමුත් මෙවැනි මුදලකින් දිය හැක්කේ කවර සහනාධාරයක්ද යන්න ගැටලුවක්.

    සමහර රටවල්වල රැඳී සිටින ලාංකිකයන්ට නිවාස කුලිය ගෙවීම, ආහාර මිලදී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් දැරීමට සිදුවී තිබෙනවා. මැදපෙරදිග සමහර රටවල ස්වදේශිකයන්ට බොහො දේ නොමිලේ ලබා දුන්නත් විදේශවලින් පැමිණ සිටින ශ්‍රමිකයන්ට ඉහළ මිලකට ආහාර ද්‍රව්‍ය ලබාගන්න සිදුවී තිබෙනවා. 

    මැද පෙරදිග ඇතුළු රටවල් කිහිපයක රජයන් ඒ රටවල්වල වියදමින් ශ්‍රී ලාංකිකයන්ද ඇතුලුව විදේශිකයන් අදාල රටවල්වලට ගුවන් මගින් ගෙන ගොස් බාරදී තිබෙනවා. ලබන 20වැනිදා ඉඳලා 25වැනිදා දක්වා මේ ක්‍රියාමාර්ගය දියත් කිරීමට කුවේට් රජය සූදානමින් සිටිනවා. කුවේට් රජය සූදානම් වුණත් ලංකා ආණ්ඩුව ඊට සූදානම් නැති නිසා ගැටලුවක් මතුවී තිබෙනවා.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න සූදානම්. කුලී රථ රියදුරන්, සංචාරක හෝටල්වල සේවය කරන්නන් වගේ විදෙස්ගතවී විවිධ ස්වයං රැකියා කරන විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට මාසික වැටුප් ගන්නා අයට වගේ රැකවරණ ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. බොහෝ විට මේ අය පවුල් පිටින් ගොස් පදිංචිවී සිටින අයයි. ඔවුන්ට ආදායම් නැතිවීම වගේම ලංකාව තුළ සිටින ඔවුන්ගෙන් යැපෙන්නන්ද දැඩි පීඩාවකට පත්වී සිටිනවා. 

    මේ වනවිට අපි මාධ්‍ය මගින් දකින තවත් විශේෂ දෙයක් තමයි විදේශගත ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින බරපතල ගැටලු. ඉන්දියාව, මැලේසියාව, වගේ රටවල මේ තත්වය විශේෂයෙන් අවධානයට ගත යුතු වෙනවා. ඒ රටවල සෞඛ්‍යාරක්‍ෂිත ගැටලු විශේෂිතයි. ආහාරපාන ඒ විශ්වවිද්‍යාලවලින් ලබානොදීම වැනි ගැටලු තිබෙනවා.

    විශේෂයෙන්ම ඒ රටවල්වල රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල තත්වය බරපතලයි. ඉන්දියාවේ විශ්වවිද්‍යාල කිහිපයක උප කුලපතිවරු ලිඛිතවම දැනුම්දී තිබුණා, ඔවුන්ගේ වියදමින් ඉන්දීය ප්‍රධාන ගුවන්තොටුපොළවලට මේ ශිෂ්‍යශිෂ්‍යාවන් රැගෙන ඒමට සූදානම් බව. මොවුන් බාරගැනීමට ලංකා ආණ්ඩුව පැත්තෙන් මාසයකට ආසන්න කාලයක් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධාන තානාපති කාර්යාල මගින් රජයට දැනුම්දී තිබෙනවා. සමහර තානාපති කාර්යාල ඒ පිළිබඳව නිසි අවධානය යොමුකර නැතත් බොහෝ තානාපති කාර්යාල තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටුකර ලංකාවේ රජයට මැදිහත්වන ලෙස ඉල්ලීම් කර තිබුණා. කටාර්, කුවේට් වගේ රටවල මේ තත්වය විශාල වශයෙන් තිබෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්ත තමන්ගේ රටට පැමිණීමට තිබෙන මූලික අයිතිය ලෝකයේ බොහෝ රටවල්වලින් ක්‍රියාත්මක කරන ආකාරය අපි දකිනවා. එංගලන්තයේ හිරවෙලා සිටි චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම යොදාගෙන තමන්ගේ රටට ගෙන ගියා.

    ලංකාවට අදාලව ගත්තොත් විදේශ රාජ්‍යයන් ඔවුන්ගේ වියදමින්ම ලාංකිකයන් මෙරටට ගෙනත් දෙන්න සූදානමින් සිටියත් ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන බව අපි දකිනවා

    මුලින්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන මතයක් ගොඩනැගුවේ ලංකාවට කොරෝනා බෝ කරන්නේ ඔවුන් කියලා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කොන්කරන, හෙළා දකින තත්වයක් රට තුළ නිර්මාණය කළා. නමුත් දැන් ඔවුන්ට ආයාචනා කරන්නේ ඔවුන් සතුව තිබෙන මුදල් ලංකාවට එවන ලෙසයි. නමුත් ඔවුන් නීත්‍යානුකූලව විදේශගතවීමේදී ලබාගෙන තිබෙන රක්‍ෂණ ආවරණය පවා ලබාදීමට ආණ්ඩුව කිසිවක් කර නැහැ. තානාපති කාර්යාලවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඔවුන් ගෙන්වා ගැනීමටත්, ගෙන්වා ගන්නා තෙක් රැඳී සිටීමට සුභසාධනය සලසන ලෙසත් අපි ආණ්ඩුවට බලකරනවා. 

    ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම රඳාපවතින්නේ රට විරුවෝ කියල හඳුන්වන මෙම පිරිස ලංකාවට එවන මුදල්වලින්. ඔවුන් අමාරුවේ වැටුණාම ආණ්ඩුව, තමන්ගේ ආරක්‍ෂාව තමන්ම සලසා ගන්න කියන මානසිකත්වයෙන් කටයුතු කරනවා. ඔවුන් වෙනුවෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපි බල කරනවා.

    සමහර වංචනික පුද්ගලයන් මේ ශ්‍රමිකයන්ගෙන් මුදල් අයකර ගනිමින් අදාල රටේ ආණ්ඩුව ලබාදෙන සහාය හෝ ලබාගැනීමට තිබෙන ඉඩ අහුරන බව හෙළිවී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාවේ අයි.පී.එල්. ක්‍රිකට් තරඟ ලංකාව තුළ පැවැත්වීමට ආරාධනා කිරීමට තරම් ආණ්ඩුව දක්වන මැදිහත්වීම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිදු කරන්නේ නැහැ. ඒ නිසා විදේස්ගත ශ්‍රමිකයන්ගේ රක්‍ෂණ වන්දි ලබාදීමටත්, තානාපති කාර්යාල සක්‍රීය කරවීමටත්, ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමේ සැලසුම් සකස් කරන ලෙසත් ආණ්ඩුවට බලකරනවා.

    ලෝකයේ සෑම රටක්ම පාහේ වැඩිපුර අවධානය යොමුකර තිබෙන්නේ කොරෝනා වෛරසය මර්දනය කිරීම වගේම එම ක්‍රියාමාර්ග නිසා බිඳවැටී තිබෙන ජනජීවිත යථාවත් කිරීමටයි. ගොවියන්, ධීවරයින්, වැඩකරන ජනතාව, ව්‍යාපාරිකයන්ගේ ගැටලු මෙන්ම දරුදැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට රටවල් මැදිහත්වෙමින් සිටිනවා.

    අපේ රටේ වෛද්‍යවරුන්, හෙදහෙදියන් ඇතුලු සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල කොරෝනා මර්දනයට අදාල කාර්යභාරය සිදුකරමින් සිටිනවා. නමුත් ප්‍රධාන ගැටලුවවී තිබෙන්නේ ගොවියන් ඇතුළු වෙනත් අසංවිධානාත්මක අංශයේ දෛනික රැකියා කරන්නන්, කුඩා ව්‍යාපාර, සමෘද්ධි සහනාධාර නොලබන අති විශාල පිරිසකගේ ජන ජීවිතය ගොඩනැගීමයි.

    රු.5,000ක මුදලක් ලබාදීමේ ක්‍රියාවලිය

    රු.5,000ක මුදලක් ලබාදීමේ ක්‍රියාවලිය, තෝරාගැනීමේ ක්‍රියාවලිය, අකාර්යක්‍ෂම සහ දේශපාලනීකරණය කර ඇති බව අපි දකිනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පොදුජන පෙරමුණේ දේශපාලන ශාඛාවක් බවට පත්කරගෙන තිබෙනවා.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අප්‍රේල් 11වැනිදා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ට යැවූ ලිපියක පැහැදිලිව සඳහන්කර තිබෙන්නේ 2019 වර්ෂයට අදාල ඡන්දහිමි නාම ලේඛනය මත ප්‍රතිලාබීන් හඳුනාගන්න කියලයි. ඡන්ද හිමි නාමලේඛන සමෘද්ධි ප්‍රජාමූල බැංකුව වෙත ලබාදෙන ලෙසත් මේ ලිපියේ පැහැදිළිව සඳහන්කර තිබෙනවා.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට ඡන්ද හිමි නාමලේඛණය ගත්තේ කොහෙන්ද කියලා අපි විවෘතව ප්‍රශ්න කරනවා. ග්‍රාම නිලධාරී මහතා සතුව ඡන්දහිමි නාමලේඛනය හැර තමන්ගේ කොට්ඨාශයේ සියලුම දෙනා සම්බන්ධයෙන් තොරතුරු තිබෙන තවත් ලේඛන කිහිපයක්ම තිබෙනවා. මේ නිශ්චිත මොහොතේදී ආධාර ලබාදීමට වඩාත්ම වැදගත් වෙන්නේ 2019 සකස් කළ ඡන්දහිමි නාමලේඛනයට වඩා වෙනත් ආසන්න නාම ලේඛනයි.

    ඡන්දහිමි නාමලේඛනයේ හම්බන්තොට සඳහන් වන කෙනෙක් මේ මොහොතේ කොළඹ රැඳීඉන්න පුළුවන්. මේ වගේ තත්වයන්ට කොටුවී ගම්වලට යන්න බැරිවූ 40,000ක් පමණ කොළඹ සිටිනවා. මේ අය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මැතිවරණ කොමිසම සතු දේපළක් හෝ ඡන්දහිමි නාමලේඛන ලබාගත්තේ කොහොමද? මා දන්නා තරමින් මැතිවරණ කොමිසමෙන් ඡන්දහිමි නාමලේඛන ලබාගෙන තිබෙන්නේ පොදුජන පෙරමුණ පමණයි.

    සමෘද්ධි සම්බන්ධයෙන් දිස්ත්‍රික්වලට යවා තිබෙන ඡන්දහිමි නාමලේඛණවල වෝට් මාක් එකක එස්.එල්.පී.පී. යනුවෙන් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන් මේ ලේඛනය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් බෙදාහරිමින් තිබෙනවා. 
    මූලික ප්‍රශ්නය තිබෙන්නේ රජයේ දෙපාර්තමේන්තු පොදුජන පෙරමුණේ ශාඛා සමිති ලෙස පාවිච්චි කිරීම ගැනයි.

    මේ හදිසි තත්වය යටතේ නිල ලේඛණයක් නිසි පරිදි මහජතාවට සහන සැලසීමේ අරමුණින්ම යොදාගැනීම ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය මෙම ඡන්දහිමි නාමලේඛන සමෘද්ධි දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රශ්න කර තිබෙනවා.

    මේ අවස්ථාවේදී ජනතාවට සහන සැපයීම වෙනුවෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සෘජු නීත්‍යානුකූල වගකීම් ප්‍රමාණයක් පැවරී තිබෙනවා. අවුරුදු 15ක් තිස්සේ ආපදාවලදී ක්‍රියාකර අත්දැකීම් ලබාගෙන තිබෙන පාර්ලිමේන්තු පනතක් සම්මත කර පිහිටුවාගත් මේ මධ්‍යස්ථානය පවා මේ අවස්ථාවේ වගකීම්වලින් පැත්තකට කර තිබෙනවා. ඒ තුළින් ජනතාවට සහන සැපයීමේ ක්‍රියාවලිය අමු අමුවේ දේශපාලනීකරණය කර තිබෙනවා.

    මේ දේශපාලනීකරණ ක්‍රියාවලියට අමතරව ආණ්ඩුව අලුතින්ම යවා තිබෙන චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබෙන්නේ සහනාධාර ලබාදීමට තෝරා ගත් පවුල්වලින් අඩකට වඩා කපා හරින්නයි. මේ නිසා නිලධාරීන් බරපතල අපහසුතාවයකට පත්වී සිටිනවා. විශේෂයෙන් සමෘද්ධි නිලධාරීන්ට මේ නිසා විශාල වශයෙන් වද දෙමින් තිබෙනවා. ආණ්ඩුව විද්‍යානුකූල සැලසුමකට කටයුතු කරනවා වෙනුවට දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම නිසා නිලධාරීන් බරපතල ගැටලු ගණනාවකට මේ ගෙවී යන මාසය තුළදී ඇද දමා තිබෙනවා. 

    කොරෝනා තත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ ක්‍රියාවලිය බරපතල ලෙස බිඳවැටී තිබෙනවා. තමන්ට ගැති රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍යවලින් රටේ ජනතාව මුහුණදී සිටින සැබෑ තත්වය වහන්න බැරි බව අපි ආණ්ඩුවට කියන්න කැමතියි. කොරෝනා වැඩසටහන කියන්නේ ලෙඩට බෙහෙත් දෙන එක පමණක් නෙවෙයි.

    ආණ්ඩුවක් සාර්ථකයි කියන්නේ කොරෝනා මර්දනයට ගෙනයන ක්‍රියාමාර්ග නිසා ජනතාවගේ ජන ජීවිත බිඳවැටීමට නොදී ආරක්‍ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙනුයි. විදේශ වෙබ් අඩවිවල පළ කර තිබෙන බවට හුවා දක්වන ආණ්ඩුවේ සාර්ථකත්වය රටේ සැබෑවට නොපවතින බව අපි මේ වෙලාවේ ජනතාවට මතක් කරන්න ඕනෑ. රටම ඇඳිරි නීතියේ තිබෙන අතර සමහර ගම්මාන සීල් කරලා තිබීම විද්‍යානුකූලව අවශ්‍ය බව අපි දන්නවා.

    මේ ප්‍රදේශවල ජනතාවට විශේෂයෙන්ම ඇතිවූ පීඩාවන් තිබෙනවා. අඩුම තරමේ ඔවුන් සතුව තිබෙන මුදල් ලබාදී ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේ අවස්ථාවත් අහිමි වෙලා. ඔවුන්ගේ මුදල් වෛරසයේ වාහකයෙක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව නිසා බාහිර පාර්ශ්වයන් ලබා නොගැනීමෙන් මේ තත්වය ඇතිවී තිබෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුව මැදිහත්වී උත්තර ලබාදිය යුතුයි.

    කොරෝනා වසංගතය තුළ ආණ්ඩුව මැතිවරණයකට සූදානම්වීම ගැන සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර සහෝදරයා මැතිවරණ කොමිසමෙන් අවස්ථාවක් ඉල්ලා තිබෙන බවත් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. මැතිවරණ ක්‍රියාවලිය නිසි පරිදි ඉටුකිරීමෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරගැනීම අවශ්‍යයි.

    මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමෙන් යම්කිසි පාලිත තත්වයකට පත්කර තිබෙන කොරෝන වසංගතය යළි උත්සන්න වීමේ හැකියාවක් තිබෙනවා. ජපානයේ තත්වය ඊට උදාහරණයක්. තමන්ගේ රටේ තාක්‍ෂණය හැකියාවන් අපිට වඩා ඉහලින් තිබූ රටවල් පවා අලුත් තත්වයන් ගැන විශේෂ අවධානයකින් ක්‍රියාකරන බව පැහැදිලියි. නමුත් කොරියාවේ මැතිවරණය පැවැත්වීම ගැන රාජ්‍ය නාලිකා විශේෂ අවධානයක් යොමුකර ප්‍රචාරයන් ගෙන යන බව අපි දකිනවා. කොරියාවේ සෞඛ්‍ය බලධාරීන් පවා අනතුරු අඟවා තිබෙන්නේ ඡන්දයෙන් පස්සේ සති දෙක ඉතාමත්ම තීරණාත්මක බවයි.

    තවත් පැත්තකින් කොරියාවේ මැතවරණය පැවැත්වීමේදී අත් සෝදන විෂබීජ නාශක වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 14.3ක් වෙන්කර තිබුණා. ඊට අමතරව සෑම ඡන්ද දායකයෙකුටම අත් ආවරණ දෙකක් ලබාදී තිබුණා. මැතිවරණ කාර්ය මණ්ඩලවලට පූර්ණ සෞඛ්‍යාරක්‍ෂිත කට්ටල ලබාදී තිබුණා. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 4.5ක් දැරුවා. හැම ඡන්ද මධ්‍යස්ථානයකටම ශරීරයේ උෂ්ණත්වය මනින මාන දී තිබුණා. ඒ වෙනුවෙන් අමතර කාර්ය මණ්ඩලද 26,000ක් සම්බන්ධ කරගෙන තිබුණා. මේ වගේ සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අනුගමනය කර තිබියදී ඒ රටේ සෞඛ්‍ය අංශ ඉදිරි සති දෙක ගැන අනතුරු ඇඟෙව්වා.

    හැබැයි කොරියාවේ ආදර්ශය ගැන කියමින් හිත් පිත් නැතිව ඡන්දය ගැන කතා කරනවා නම් ඒවගේ ආණ්ඩුවක් ගැන බරපතල ලෙස ප්‍රශ්න කළ යුතුයි. සමහර ඇමතිවරුන් හෝමාගම වැනි ප්‍රදේශවල සංගීත සංදර්ශන පවා පවත්වමින් ඡන්දයට සූදානම් වෙනවා. මාසයක් තිස්සේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කරන ලද කැපකිරීම්වල ප්‍රතිඵලයක් විදිහට කොරෝනා මර්දනය පැත්තෙන් ලබාගෙන තිබෙන සාර්ථකත්වය පීඩාවට පත් ජනතාවගේ ජීවිත නගා සිටුවීමට අදාලව කිසි සේත්ම ප්‍රගතියක් ලබා නැහැ.

    ලංකාවට අවශ්‍ය මුඛ ආවරණ මහන්න ඇඟලුම් කර්මාන්ත හිමියන් සමග ජනාධිපති කාර්ය සාධන බලකාය සාකච්ඡා පැවැත්වූයේ 16වැනිදා. මේ වගේ තත්වයක් තුළ මැතිවරණය පැවැත්වීමෙන් කොරෝනා මර්දන කටයුතු විශාල වශයෙන් අඩපන වන බව පැහැදිලියි.

    මාධ්‍යවේදීන් එවා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් 

    උතුරේ වැන්දඹුවන් මේ මොහොතේදී විශාල ගැටලුවකට මුහුණදී තිබෙනවා

    මේ තත්වය කොරෝනා නැතත් උතුරේ ජනතාවට අතිශය බරපතලව තිබෙන ප්‍රශ්නයක්. වැන්දඹු කාන්තාන්ට පමණක් නෙවෙයි, ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට පත්වී සිටින පවුල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා මේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුවට මතක් කරනවා. 

    මුල් අවස්ථාවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ප්‍රවාහනය යම්තරමක් දුරට සිදුවුනා. නමුත් මේ වනවිට ඒ තත්වය දුර්වල වෙමින් යනවා.

    දිගු කාලීනව එළවලු ඇතුලු ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාර කරන අයගේ අවස්ථාව අහිමි කරමින් සීමිත ඇඳිරි නීති බලපත්‍ර ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් වෙත ලබාදීමේ ප්‍රශ්න ගණනාවක් මතුවී තිබෙනවා. මේ ව්‍යාපාරවල යෙදී සිටි අයගේ ජීවනෝපාය අහිමිවීමත් ආණ්ඩුවේ හිතවතුන් මේ වෙලාවේදී ඒ ව්‍යාපාර අත්පත් කර ගැනීමෙන් අධික ලාබ ලබන්න ක්‍රියා කිරීම නිසාත් ජනතාව අතේ තිබෙන මුදල් කොල්ලකෑමකුත් සිදු වෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය මගින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම වගේම ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය මැදිහත්වී ලබාදීමට මුලින් ගෙන ගිය ක්‍රියාමර්ග බරපතල ලෙස අඩපණ වෙමින් තිබෙනවා. මේ නිසාත් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී සිටිනවා. 

    ගොවිජනතාවගේ අස්වනු මිලදී ගැනීමත් විශාල ගැටලුවක් බවට පත්වෙලා


    ගොවීන් සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් ලබාදිය යුතුයි. මේ මොහොතේ ලැබෙමින් තිබෙන එළවලු සහ පළතුරු අස්වැන්න පාරිභෝගික ජනතාවට ලබා නොදුන්නොත් තව සති දෙකකින් හෝ මාසයකින් ප්‍රයෝජනයට ගන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ කොරෝනා මර්දනයට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගෙනයන කැපකිරීම සහ රජයේ අනෙකුත් නිලධාරීන් කරන කැපකිරීම් හැරුණාම පීඩාවට පත්වී සිටින ජනතාවගේ ගැටලු පිළිබඳ ආණ්ඩුවේ අවධානය අඩුයි කියලා.

  • UNP – JVP නිවුන් හවුල කොරෝනා මැඩලන්න කිසිම සහායක් දුන්නේ නෑ -ඇමති ප්‍රසන්න

    UNP – JVP නිවුන් හවුල කොරෝනා මැඩලන්න කිසිම සහායක් දුන්නේ නෑ -ඇමති ප්‍රසන්න

    කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප / ජවිපෙ නිවුන් සොහොයුරන්. මහ මැතිවරණය කල්  දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනාතවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මහ මැති වරණය පවත්වන්නේ කෝවිඩ් 19  හෙවත් කොරොනා වසංගතය මුළු මුණින්ම පාලනය කිරීමේන් පසුව බවයි.

    ජනතාවගේ මළමිනී උඩින් දේශපාලනය කිරීමේ පුරුද්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට බව වැඩිදුරටත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා එජාපය හා ජවිපේ උත්සහ දරන්නේ රට ආර්ථික අර්බුධයකට ලක් කිරීමට බව චෝදනා  කළේය.

    අද 16 කටුනායක ගුවන්තොටුපොලේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා මේ අදහස් පල කලේය. මෙහිදී ලබා දුන් පිළිතුරු මෙසේයි.

    ප්‍රශ්ණය :- විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම් කරලා තියෙනාවා. ශ්‍රී ලංකාවට එන්න. දැන් ඒ වැඩ පිළවෙල සූදානම්ද?

    උත්තරය :- ඔව්. අපි ඒ සදහා ලැස්තියි. නමුත් අපට ඒ සදහා අවශ්‍ය නිර්දේශය

    සෞඛ්‍ය අංශ හා ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් ලබා දිය යුතුයි. ඒ නිර්දේශ අනුව ගුවන්තොටුපොලේ මෙහෙයුම් ආරම්භ කරලා ක්‍රමානූකූලව මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ව දිවයිනට ගේන්න අපි සූදානමින් ඉන්නවා. දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ රටවල ඉන්ත අය පිළිබදව වාර්තා තොරතුරු ලබා ගෙන අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

    ප්‍රශ්ණය :- තව කොපමණ දවසක්  යයිද ගුවන්තොටුපොල මෙහෙයුම් අරඹන්න ?

    උත්තරය:- දැනටමත් ආණ්ඩුව මේ පිළිබදව සාකච්ඡා කරමින් යනවා. දැනට

    රටතුළ පැතිර යමින් තිබෙන කෝවිඩ් 19 වසංගතය අපි උපරිමයෙන් පාලනය කරන්න කටයුතු කරලා තියෙනවා. අපි මෙහිදී සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි. ජනාධිපති කාර්යය සාධක බලකාය හරහා අංශ අනුමැතිය ලද වහාම අපි ගුවන්තොටුපොල මෙහෙයුම් ආරම්භ කරන්න ලෑස්තියි.

    ප්‍රශ්ණය :- ශ්‍රී ලංකාවට ගෙන එන විදේශගත ශ්‍රී ලාංකිකයන් නිරෝධානයට ලක්කරනවාද?

    උත්තරය :- අනිවාර්යයයෙන්ම අපි මේ පැමිණෙන පිරිස් ගුවන්තොටුළේම ඇති ස්ථානයක පූර්ණ කොරෝනා පරීක්ෂාවක් කරනවා. පැය 06කට පස්සේ තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ ඊට පස්සේ ඔවුන්ව නිරෝධයනයට ලක් කිරීමට තමයි සාකච්ඡා කරමින් යන්නේ. කොහොම වුනත් මේ සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුවයි.

    ප්‍රශ්ණය :- ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විදේශ වල හිරවෙලා ඉන්න ළමයි ගේනවා වෙනුවට චීනයට ගුවන් මගින් අදිමින් ව්‍යාපාර කරනවා කියලා.

    උත්තරය :- අද යූඑන්පී එකයි ජේ.වී.පී එකයි කටයුතු කරන්නේ නිවුන් සහෝදරයෝ වගේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එදා වූහාන්වලට ලමයි ගේන්න ගියේ ලාබ බලාගෙන නෙමෙයි. ජාතික ගුවන් සේවය විදියට රජය විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්න කියන්නේ කොයි වෙලාවෙද ඒකට ඔවුන් ලෑස්තියි. නමුත් ජාත්‍යන්තර ගුවන් නීති රීති අනුව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති අනුගමනය කරමින් ඔවුන් සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම වරදක් නෙමෙයි. ඕවා ජේවීපි එකට කියන්න මුකුත් නැතුව කියන කථා..

    ප්‍රශ්ණය ;-  එජාපය හා ජවිපේ කියන්නේ ආණ්ඩුව මළ මිනී මතින් බලය ගන්න මැතිවරණයනට යන්න හදනවා කියලයි.

    උත්තරය ;- එජාපය හා ජවිපේ තමයි මළ මිනී මතින් දේශපාලනය කලේ. ඒකෙ මේ රටේ ජනතාව දන්නවා. අපි මල මිනි මතින් දේශපාලන කරන්න සූදානම් නැ. මැතිවරණය පැවැත් වීම ගැන මැතිවරණ කොමසාරිස් වරයා  තීන්දු කල යුතුයි. රටේ පවතින තත්ත්වය අනුව. අප හැමවිටම  කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි. මගේ අදහස තමයි මේ වසංගතය පාලනය කල වහාම අපි මැතිවරණකට යායුතුයි. මොක ද අපිට දිගටම මුදල් වියදම් කරන්න බලයක් නෑ. ඔය පක්ෂ දෙකටම ඕනා රට ආර්ථික වශයෙන් කඩා වට්ටන්න. අපි කියන්නේ ඉක්මනින් මැතිවරණයකට ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවාගෙන මේ රට ගොඩ ගන්න ඕනෑ.

    එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි මේ වසංගතය මැඩලන්න ආණ්ඩුවට අඹමල් රේණුවක සහායක් දුන්නේ නෑ. ඒ අය ඔය මහ මැතිවරණ කල් දාගන්න දගලනනේ ජනතාවට ඇති ආදරයට නෙමෙයි. මැතිවරණ වලට තියෙන බය නිසා. අපි රට මේ වසංගතයෙන් මුදා ගෙන මැ.තිවරණයටත් මුහුණ දෙන්න ලැස්තියි ඒ විතරක් නෙමේයි. මැතිවරණයට මුහුණ දීලා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් යුතු ශක්තිමත් ආණ්ඩුවක් පිටටුවලා රට නැවත ගොඩනගන්නටත් ලෑස්තියි.

  • විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නවා – ඇමැති ප්‍රසන්න

    විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නවා – ඇමැති ප්‍රසන්න

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල  සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සදහා රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.

    මේ වන විට ලෝකය පුරා විවිධ රටටවල සිටින ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරති. විදේශ කටයුතු  අමාත්‍යංශය මේ සදහා දැනටමත් මැදිහත්ව තිබේ. මෙලෙස විදේශ රටවල සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, විවිධ වෘත්තිකයන් පිළිබද තොරතුරු එම රටවල තිබෙන තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජෙනරල් කාර්යාල හරහා දැනටමත් ලබා ගෙන ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

    මෙම සියළු තොරතුරු ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සෞඛ්‍ය අංශ නිර්දේශ මත මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ. රජය ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා දුන් වහාම විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට සුදානමින් සිටින බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග කටුනායන ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා රටට ගුවන් මගින් ඇතුළු වීම අත්හිටුවීමට පියවර ගැනින. එම තීරණය ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි නිවැරැදිම මොහොතේදීය.

    කෙසේවෙතත් ගුවන් තොටුපොලින් මගීන් පිටව යාම හා ලංකාව හරහා වෙනත් ගමනාන්ත කරා යන ගුවන් මගීන්ට හුවමාරු පහසුකම් සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වේ. ගුවන් මගීන් රටට ඇතුළුවීම අත්හිටුවන අවස්ථාවේ දිවයිනට පැමිණෙමින් සිටි ගුවන් මගීන් 33 දෙනෙකු විවිධ ගුවන්තොටුපොලවල සිරවී සිටින අතර කැබිනට් මණ්ඩලය පසුගියදා ඔවුන්ව මුලින්ම දිවයිනට ගෙන්වා ගැනීමට අනුමැතිය පල කලේය.

    ඒ අනුව ඩුබායි, මැලේසියා, එංගලන්තය, වැනි රටවල ගුවන් තොටුපොලවල සිරවී සිටි මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. මෙලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය මධ්‍යස්ථානයකට යොමු කිරීමටද කටයුතු යොදා ඇති බව ඇමතිවරයා කියා සිටියි.

    රටත් ජනතාවත් මෙම වසංගතයෙන් මුදවා ගැනීම සදහා රජය සුවිශාල කැපකිරීමක් කරනු ලබයි. ඇදිරි නීතිය පනවා තිබියදී ජනතාවගේ සුභසාධන අවශ්‍යතා සපුරාලීම සදහා රජය මැදිහත් වෙමින් සිටියි. ලොව කිසිදු රටක ආණ්ඩුවක් කටයුතු නොකරන ආකාරයෙන් මෙම වසංගතයෙන් මෙරට ජනතාව මුදා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලොවම පිළිගන්නා සත්‍යයකි.

     රාජපක්ෂ සුසංයෝගය මෙලෙස රටත් ජනතාවත් රැක ගන්නට කටයුතු කරත්දී එක්සත් ජාතික පක්ෂය සිය නිවුන් සහෝදරයා වන ජවිපේ සමග එක්ව බොරදියේ මාළු බෑමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා චොදනා කරයි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය හා රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහයක ජවිපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ දින වල මාධ්‍ය ඔස්සේ දරණ උත්සාහායද එහි එක් පියවරකි. පසුගිය 13 වෙනිදා එංගලන්තයේ ගුවන් තොටුපොලක සිරවී සිටි ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සිද්ධිය හරහා ජනතාව රජයට හා ශ්‍රී ලංකන් ගුවන් සේවයට එරෙහිව වෛරයක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී.

    ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ රට රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම පසෙක තබා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින බවට ජනතාව අතර මතයක් ඇති කිරීමටයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට ජාතික ගුවන් සේවය ලෙස හැම විටම කටයුතු කරන්නේ සෙසු ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් කටයුතු ද කරන ආකාරයට ජාත්‍යන්තර ප්‍රමිතීනට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්ද අකුරමට පිළිපදිමිනි. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව ජවිපෙ චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් වැනි අයද පසුගිය දිනවල රජයට චොදනා කර තිබුනේ කටුනායක ගුවන්තොටුපොල නිසි මොහොතේ වසා නොදැමුනු බවටයි. එහෙත් ඇමතිවරයා අවධාරණය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශ උපදෙස් අනුව නිවරදිම මොහොතේ කටුනායක ගුවන් තොටුපොලට ගුවන් ගමන් පැමිණීම තාවකාලිකව අත්හිටවූ බවයි.

    ගුවන්තොටුපොලේ කටයුතු තවමත් සිදුකෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සෞඛ්‍ය අංශ වල අධික්ෂණය යටතේය. මේ නිසා එක්සත් ජාතික පක්ෂය නිසි මොහොතේ ගුවන්තොටුපොල වසා දැමුවේ නැතැයි නගන චෝදනාවද ජනතාව රැවටීමේ ඔවුන්ගේ තවත් එක් උත්සාහයක් පමණි.

    එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ හැසිරෙන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් නොසලකන ආරක්ෂක අංශ මග හරින කොරෝනා වැලදුනු රෝගියෙකු ලෙසය.  මේ මොහොතේ රජය හැම විටම කටයුතු කරන්නේ ලෝක සෞඛ්‍ය අංශ උපදෙස් අනුව බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න  රණතුංග මහතා බොරදියේ මාළු බෑමට උත්සහා දරණ වගකීම් විරහිතව හැසිරෙන එජාප ජවිපේ නිවුන් සොහොයුරන්ගේ ගොන් පාට් වලට මෙරට ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැතැයිද අවධාරණය කරයි.

  • රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද?

    රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද?

    මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත ‌මෙහෙයුමක් ඔස්සේ ‌මෙම ආහාර ‌කොළඹ දිස්ත්‍රික්කය පුරා ‌බෙදා හැරීමට පියවර ගෙන ඇත.

    ඇඳිරි නීතිය පැනවීම ‌හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින ‌කොළඹ දිස්ත්‍රික් පැල්පත්වාසී ජනතාවට සහ තට්ටු නිවාසවල සිටින දුප්පත් ජනතාවට කොළඹ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් දිනපතාම පාහේ ‌ පිසූ ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් ‌කොට ඇත. මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත ‌මෙහෙයුමක් ඔස්සේ ‌මෙම ආහාර ‌කොළඹ දිස්ත්‍රික්කය පුරා ‌බෙදා හැරීමට පියවර ගෙන ඇත.

  • මහ මැතිවරණය ගැන මැකොගේ ලිපි තුනකට PBගෙන් තද පිළිතුරු ලිපියක්

    මහ මැතිවරණය ගැන මැකොගේ ලිපි තුනකට PBගෙන් තද පිළිතුරු ලිපියක්

    ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

    ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

    මහින්ද දේශප්‍රිය මහතා
    සභාපති
    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
    සරණ මාවත, රාජගිරිය

    2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

    2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

    ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

    පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

    1. 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.
    2. එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.
    3. ඉන් අනතුරුව,

    (අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය  
         අභිලාෂය පළ කළහ.,

                (ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු

                       මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට
                     අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත්
                     කළහ,    

                (ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,

                (ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල්

                     තැන්පත් කරන ලදී.

    අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක්

    (අ)       පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
    (ආ)      මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
    (ඇ)      නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
    (ඈ)      අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

    පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

    පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

    2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

    ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

    2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

    එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

    අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

    කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

    ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

    ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

    පී.බී. ජයසුන්දර
    ජනාධිපති ලේකම්

  • මේ මොහොතේ අපට ඉන්නා එකම සතුරා කොරෝනා පමණයි – අගමැති මහින්ද

    මේ මොහොතේ අපට ඉන්නා එකම සතුරා කොරෝනා පමණයි – අගමැති මහින්ද

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (7) දින රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පහත සදහන් වේ.

    මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්නට මේ මොහොතේ ඉදිරිපත්ව සිටින බවද සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    අගමැතිවරයා මෙසේ ද කීවේය.

    මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.

    අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදී අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.

    ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා.

    මේ තත්ත්වය තේරුම් ගත්ත නිසා තමයි චීනයේ වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි.

    එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටුවා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරුන් උපස්ථායකයන්, බෙහෙත්-හේත්, උපකරණල වැසිකිළි කැසිකිළි, සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා.

    මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.

    ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදවා ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.

    අපි පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු‍ පාසල්ල විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන් රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාකම් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙව්වේ නෑ. මේ තත්ත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇඳිරි නීතිය පැනෙව්වේ.

    ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලාල ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් බාරගෙන තියනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේත් මගේත් මගපෙන්වීම යටතේ අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවාද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.

    ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස 416,000 ක්ග ඒත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා.

    ඊළඟට අපට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියන් 160,000 අපට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයන් 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ 645ල000 විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.

    දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර.

    ඒත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40ල000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් පන්දාහෙ දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.

    අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්ල, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු‍ දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇඳිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.

    අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහාය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙළට ප්‍රශංසා කර අගය කළ බව මුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ පනහකට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපට වාද විවාදවල යෙදිලා ඉන්න වුවමනා නෑ. රටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයක පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු‍ මාර්ග අකර්මණ්‍යයි.

    මේ වයිරසය පැතිරෙන නිසා අපේ ඇඟලුම් යුරෝපා රටවලට යැවීම නතර වෙලා. ඒ නතර වුණේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතාලිය, මැදපෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ.

    මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වාගේම අපේ රටේ සංචාරක හෝටල්වල කෑමබීම, ප්‍රවාහන ක්ෂේත්‍ර ඇනහිටලා. මේ වාගේ තත්ත්වයක් යටතේ තමයි අපට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙත් අපි නැහැයි කියන්නේ නෑ. ජනතාවට බැහැයි කියන්නෙත් නෑ. මේ සටන අතහරින්නෙත් නෑ.

    කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නෑ. ගන්නෙත් නෑ. සියලු‍ම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණ මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන් වී හිතන වෙලාවක් නොවේ.

    අපට මේ මොහොතෙ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන සතුරා විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු‍ දෙනාම තේරුම් ගන්න ඕ‌නෑ.

    දැන් බලන්න මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා, මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියල. මොනතරම් මිනිස්සු ගැන තියෙන ආදරයක් ද හැගීමක් ද මේ ප්‍රකාශ වෙන්නෙ. ඒ නිසා අපි හිතන්න ඕනෑ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට, ජාතියකට විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්ග පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියා ගන්න ඕනෑ.

    මතක තියා ගන්න දරුවෝ, බිරිඳ, ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මූණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් අපට ඉන්නේ.

    ඇතැම් වෛද්‍යවරුන් තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මුහුණු වැස්මක් දුන්නේ නෑ කියලා සේවය අතහැර ගිය හෙදියොත් ඉන්නවා. ඒත් අපි ආඩම්බරව කියන්නේල, අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන්ම මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායකයෝ, ගිලන් රථ රියැදුරෝ කිසිම රෝගියෙක් අතහැරලා නෑ. ඒ වගේම මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින් ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටුකරන රාජ්‍ය සේවකයනුත් සිහි කරන්න ඕනෑ. ඒවගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි.

    එදා තමන්ට මරණය තියෙන බව පෙනි පෙනී වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවටල පොලිසියට බැඳුණු තරුණයෝ අද වයිරසය තිබෙන්නේ කොතැනද, එතැන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළොවේ නිදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් අපේ දූ දරුවෝ මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න, අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නෑ.

    අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕනෑ. ඒ වගේම ඔබ ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා.

    මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපට දැන්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයටල බෙදා හැරීමට, වෙළෙඳාමට රජයේ මැදිහත්වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපට සමුපකාරය සිහි වෙනවා. කෑම බීම වාගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාබයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩ කළේ.

    ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වාගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන්. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම් බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සුදානම් වෙන හඬ අපට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපට දැනෙනවාග අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා.

    අපේ දැඩි සත්කාර ඒකකවලට වුවමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපට පුළුවන්ග රට ගැන හිතන මේ සියලු‍ දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර, අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරනල අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්න වෙනවා.

    ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය තිබුණ කාලේ අවුරුදු විස්ස තිහ අනාථ කඳවුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක්ක මහ රෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. රට වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මුහුණ දීපු ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතිව නැගිටින්න අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕනෑ.

  • සජිත් ඇතුළු සජබ නායකයෝ ජනපති හමුවෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    සජිත් ඇතුළු සජබ නායකයෝ ජනපති හමුවෙයි – සම්පූර්ණ කතාව මෙන්න

    කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය.

    කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමග රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ ආකාරය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෙසු රටවල් අභිබවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග රැසකට එළැඹි බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමේ සිට අත්‍යාවශ්‍ය සේවා බිඳ නොවැටී  දෛනික කටයුතු පවත්වා ගනිමින් ජනතාව ආරක්ෂා කර ගැනීමට  සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මේ නිසා කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට රජයට හැකිවිය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය මුසු කර ගනිමින් විශේෂඥ උපදෙස් පිළිගනිමින් සෑමවිටම ක්‍රියා කළ බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වෛරසය ආසාධිත රෝගීන් හා ඔවුන් ඇසුරු කළ පිරිස් හඳුනාගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත  පූර්ව පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ. ඒ මගින් ආසාධිතයන් කල් තියා හඳුනාගැනීමට හැකි වනු ඇතැයි ද ජනාධිපතිතුමා කියා සිටි.

    මධ්‍යස්ථාන 40ක නිරෝධායන කටයුතු සිදු කෙරේ. රෝගීන් හඳුනාගත් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය ඇතිව වෛරසය පැතිරයාම වැළැක්වීමට ක්‍රියා කර ඇත. රෝගී නිරීක්ෂණ සහ පරීක්ෂණයන්ට මෙන්ම මහජන පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන සහයෝගය ද ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය. 

    රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට සමගි ජන බලවේගය සිය ප්‍රසාදය පළ කළ අතර දේශපාලන සහ වෙනත් බේදයකින් තොරව වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම මතය විය.

    රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා  සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.

    බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන එනු ලැබේ.

    සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා පැහැදිළි කළේය. පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවත්, අවස්ථාව ලද සැණින් ඔවුන්ගේ උපදෙස් මත රජය ක්‍රියාත්මක වන බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    සමෘද්ධිලාභීන්ට අමතරව වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් ඇතුළුව ලක්ෂ 07කට අධික සංඛ්‍යාවකට රුපියල් 5,000/- දීමනාව කිසිදු බේදයකින් තොරව ලබාදීමට ක්‍රියා කර තිබේ. යම් අයෙකුට එය නොලැබී ඇත්නම් ග්‍රාම නිලධාරී වෙත අභියාචනයක් ඉදිරිපත් කර ලබා ගැනීමට හැකි අවස්ථාව සලසා දි ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    සෞඛ්‍ය සහ තවත් ක්ෂේත්‍ර රැසක ඉදිරි පියවරයන් පිළිබඳව ද රජයේ සහ සමගි ජන බලවේගයේ අවධානය යොමු කෙරිණ.

    රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු  ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Covid-19: ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර වෙනස

    Covid-19: ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර වෙනස

    ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය.

    වික්ටර් අයිවන්

    කොරෝනා වසංගතයට මුහුණදීමේදී ඒකාධිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය. එය එසේ වී ඇත්තේ ඇයි කියා තේරුම් ගැනීම අවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට වඩා ඒකාධිපති ක්‍රමයක් කිසිසේත්ම යහපත් නොවන බවද තේරුම් ගැනීම අවශ්‍ය වේ.

    නූතන තාක්ෂණය හිමිකර ගෙන තිබෙන අතිවිශාල දියුණුව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කෙරෙහි සේම ඒකාධිපති රටවල් කෙරෙහිද බලපා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මහජන යහපත හා දියුණුව සදහා යොදාගන්නා විට ඒකාධිපති පන්නයේ රටවල් ඊට අතිරේකව මහජනයා මත පවත්වාගෙන යන ඒකාධිපති බලය තරකර ගැනීම සඳහා ද තාක්ෂණික දියුණුව යොදා ගන්නවා.
    ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පුරවැසියන්ගේ ආදායම්වලට අදාළ සියලු තොරතුරු එකතු කරන ලබන මුත් පුරවැසියන්ගේ පුද්ගල ජීවිතවලට අදාළ තොරතුරු එකතු කරන්නේ නැහැ.

    එහෙත් ඒකාධිපති රටවල් ඒ වර්ග දෙකටම අයත් තොරතුරු එකතු කරනවා. දුරකතන සංවාද පටිගත කරනවා. සමාජ ජාලා ඔස්සේ පළකරන අදහස් එකතු කරනවා. යන ගමන් බිමන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ සියලු දේවල් සිදුවන්නේ නවීන තාක්ෂණය යොදාගෙන. පුද්ගලයෙකුට අදාළ ඒ සියලු තොරතුරු ඒ පුද්ගලයා සඳහා පවත්වාගෙන යන විද්‍යුත් ගිණුමකට එකතු වෙනවා.

    චීනයට කොරෝනා මර්දනයේදී ආසාදිතයෙකු හමුවූ විට ඔහු සම්බන්ධකම් පැවැත්වූ සියලුදෙනා දැනගැනීමේ හැකියාව චීන බලධාරීන්ට තිබුණා. කොරෝනා මර්දනයේදී චීනයට තිබුණ වාසිය ප්‍රජාතන්ත්‍රවාදී රටවලට තිබුණේ නැහැ. චීනය පවත්වාගෙන ගිය ජනතා විරෝධී සම්ප්‍රදායක් මේ විශේෂ මොහොතේදී ඒ රටේ වාසියට හේතුවුණා. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවත්වාගෙන ගිය ජනතා හිතවාදී සම්ප්‍රදායක්. මේ මොහොතේදී අවාසියට හේතුවුණා. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට වඩා ඒකාධිපති ක්‍රමයක් හොඳ බව ඉන් සනාථ වන්නේ නැහැ.

    මිනිසුන් මොනතරම් දියුණු වුණත් මිනිසුන්ට වහාම හෝ පසුව පාලනය කළ නොහැකි දේවල් තිබෙනවා. පරිසර පද්ධතියේ මහා වෙනස්කම් මනුෂ්‍ය වර්ගයා පළවීමට පෙර යුගවලත් සිදුවී තිබෙනවා.

    මනුෂ්‍ය වර්ගයා පහළ වී ඔහුගේ මොළය දියුණුවීමත් සමග ස්වභාව ධර්මයට හා පරිසරයට සවිඥානකව අභියෝග කරන එකම සත්ව වර්ගයා වුයේ මනුෂ්‍ය වර්ගයාය. මනුෂ්‍ය වර්ගයා අත්පත් කරගත් දියුණුව කෙරෙහි බලපෑවේද එම අරගලයයි. එය නොකඩවා ගලායන මනුෂ්‍ය වර්ගයා ස්වභාව ධර්මයට දඬුවම් කරන, දීර්ඝ කාලයක් ඉවසා සිටීමෙන් පසු සමහර විට ශතවර්ෂයකට පමණ පසු.

    ස්වභාව ධර්මය විසින් මනුෂ්‍ය වර්ගයාට පෙරළා දඬුවම් කරන නිම නොවන ගැටුමක් ලෙසද සැලකිය හැකිය. මනුෂ්‍ය වර්ගයා එම අනවරත අරගලයේ ඇතැම් අවස්ථාවලදී පරිසරය හා ස්වභාව ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන් කන් කෙඳිරි ගානු ඇතත් සියලුම මනුෂ්‍ය වර්ගයා කෙසේ වෙතත් අඩුම වශයෙන් සියයට දහයක්වත් පරිසරයේ හෝ ස්වභාව ධර්මයේ ආරක්ෂාව සඳහා ගල් යුගය කරා ආපස්සට යනු ඇතැයි සිතිය නොහැකිය.

    මේ මොහොතේ මනුෂය වර්ගයා මුහුණ දී සිටින්නේද ස්වභාව ධර්මය ශත වර්ෂයකට එක් වරක් සමස්ත මනුෂ්‍ය වර්ගයා අභියෝගයට ලක් කළ අවස්ථාවකය. සිය වසකට වරක් සිදුකරන එවැනි අභියෝගයක්දී සියලු සත්ව වර්ගයා අතරින් නිර්භීතම හා උද්ධච්චම සත්ව වර්ගයා ලෙස සැලකිය හැකි මිනිස් වර්ගයා භීතියට හා ත්‍රාසයට පත්වන අතර විශාල මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත්වනමුත් මනුෂ්‍ය වර්ගයා සමස්තයක් ලෙස විනාශ වන්නේ නැත. සිදුවන මහා විනාශයෙන් ඉතුරු වන අය ස්වභාව ධර්මයේ ආරක්ෂාව සදහා පරණ ගල් යුගයට යන්නේද නැත.

    දැන් ලංකාවේ අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ එම අර්බුදයටය. කොරෝනා අර්බුදයට පෙරත් ලංකාව තිබුණේ ශක්තිමත් තත්ත්වයක නොව දුර්වල තත්ත්වයකය. කොරෝනා වසංගත තත්ත්වය නිසා දැන් අප ඉන්නේ ඉතාමත් දුර්වල තත්ත්වයකය.

    ලංකාව දේවල් බලන විදියේ අවුලක් පවතී. ලෝකයේ ඕනෑම රටක් රෝහල් ක්‍රමය සකස් කරන්නේ රටක ජනගහනයෙන් විවිධ හේතු මත ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් සංඛ්‍යාාව ප්‍රක්ෂේපණය කොට ඊට ගැළපෙන ප්‍රමාණයකටය. කවදා හෝ කිසියම් අවස්ථාවක සමස්ත ජනගහනය හෝ ඉන් බාගයක් හෝ කාලක් රෝහල් ගතකිරීමට සිදුවනු ඇතැයි ප්‍රක්ෂේපණය කොට ඊට ගැළපෙන රෝහල් පද්ධතියක් හා සුව සේවක පද්ධතියක් ඇති කරන්නේ නැත.

    ධනවාදී ක්‍රමයක් යටතේ ඇති නොකරනවා සේ ම සමාජවාදී හෝ රදළ වැඩවවසම් ක්‍රමයක් යටතේද ඇති කරන්නේ නැත. ඕනෑම රටක (ධනවාදී සමාජවාදී හෝ වෙනත්) දොස්තරවරුන් සිටිය හැක්කේ ජනගහණයේ දාහකට 5ත් දෙකක් අතර ගණනකි. මොනම රටක්වත් මොනම ක්‍රමයක් යටතේවත් ජනගහණයේ 1000කට දොස්තරවරුන් 50ක් හදන්නේ නැත. ICU ඇඳන් තිබෙන්නේද ජනගහණයෙන් ලක්ෂයකට ඇඳන් 30ත් 5ත් අතර ගණනකි.

    ඉතාමත් කලාතුරකින් සමහර ශත වර්ෂයකට වරක් ඇතිවන වසංගත තත්ත්වයක් නිසා පිළිගත් ඇස්තමේන්තු කිහිප ගුණයකින් ඉක්මවා ගිය ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් ඇතිවන තත්ත්වයක් ඇතිවිය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයක් නොව අසාමාන්‍ය තත්ත්වයකි. දැන් අපේ රට සේ ම සියලු රටවල් මුහුණ දී තිබෙන්නේ එවැනි අර්බුදයකටය. එවැනි අර්බුදයක් ක්‍රමයේ අර්බුදයක් ලෙස සැලකිය නොහැකිය. කුමන ක්‍රමයක් තුබුණද මෙවැනි අතිවිශේෂ අවස්ථාවකදී අර්බුදයට යන්නේය.

    ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය.

    වෛරසය සුව කිරීම සඳහා යොදාගත හැකි ඖෂධ ගැනද ලංකාවට තිබෙන්නේ සුරංගනා කතාය. වෛරසය මර්දනය කිරීම සඳහා Avigan පෙති 5000ක් ලංකාවට වහාම ලබා ගැනීමට ජපානය කැමති කරවා ගත් බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව සිදුවන්නක් බවද තවත් තැනක ප්‍රකාශ වී තිබුණි. චීනයට වෛරසය ජයගැනීමට හැකිවූයේ එම ඖෂධය නිසා බව කියන වාර්තාද පළවී තිබුණි.

    ජපන් සමාගමක් විසින් (Fuji Flim joyama Chemicals) 2014 වසරේදී නිපදවා තිබෙන Avigan නැමති ඖෂධ පෙත්ත නිපදවා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග සඳහාය එය කහ උණ හා ඉබෝලා උණ සඳහා පාවිච්චි කර තිබේ.

    එය වෙනත් ඖෂධ සමග කොරෝනාවලට ප්‍රතිකාර කිරීම සඳහා සාර්ථක ලෙස යොදාගත් බව චීනය ප්‍රකාශ කර ඇතත් ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා අසාදිතයින් හැත්තෑවක් පදනම් කරගත් සායන පරීක්ෂණයක් කර ඇතත්, සාර්ථක ප්‍රතිඵල පෙන්වා නැති බවය.

    ලංකාවට පෙර ඉන්දුනීසියාව මෙම ඖෂධය කොරෝනා මර්දනය සඳහා යොදාගෙන ඇතත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට හැකිවී නැත.

    කියුබාව නිපදවා තිබෙන Intagarferon Alfa- 2B යන ඖෂධය ගැන සේ ම කියුබාව ඒ මගින් කොරෝනාව ජයගත් බව කියන කතාද නිවැරදි නැත. මෙම ඖෂධ විශේෂ දෙක සමග කොරෝනා සඳහා සොයාගත් ඖෂධ ගණනාවක්ම තිබෙන්නේ සායන පරීක්ෂණවලට ලක්වෙමින් තිබෙන තත්ත්වයකය. තවමත් කොරෝනාවලට ඖෂධයක් සොයාගෙන නැත.

    කියුබාව කොරෝනාව ජය ගත් රටක් ලෙස හැඳින්වීමද වැරදිය. කියුබාවට වසංගතය එන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය. මාර්තු 11 වැනිදා පළමු අසාදිතයා හමුවී තිබෙන අතර මාර්තු 24 වැනිදා වන විට අසාදිතයින්ගේ සංඛ්‍යාව 40 දක්වා වර්ධනය වී තිබෙන අතර පළමු මරණය සිදුවී තිබෙන්නේද එදිනය.

  • 49වන අප්‍රේල් විරු සමරුව: පාලක පංතියේ නොහැකියාව ගියේ ජනතාව පිටින් – ටිල්වින් සිල්වා

    49වන අප්‍රේල් විරු සමරුව: පාලක පංතියේ නොහැකියාව ගියේ ජනතාව පිටින් – ටිල්වින් සිල්වා

    වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා.

    රට තුල පවතින විශේෂ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ 49වැනි අප්‍රේල් විරු සමරුව මෙවර ෆේස්බුක් මගින් සජීවි විකාශයක් ලෙස සිදුකරන ලදී. මේ අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා සහභාගි වූ අතර සමරු දේශනය සිදුකරන ලද්දේ පක්ෂ ලේකම්වරයා විසිනි. රටපුරා සිටින සහ විදෙස්ගතව සිටින ජවිපෙ සාමාජිකයින් ෆේස්බුක් ඔස්සේ මෙම අවස්ථාවට සජීවීව සම්බන්ධ විය.

    අපි අද අන්තර්ජාලය ඔස්සේ සජීවීව එකතුවෙලා ඉන්නේ මීට අවුරුදු 49කට පෙර අද වගේ දවසක අයුක්තියට, අසාධාරණයට එරෙහිව නව සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කොට දිවිදුන් පරපුරක ආදරණීය සහෝදර සහෝදරියන් සැමරීම සඳහායි.

    අපි කුමණ පක්‍ෂයක හිටියත් අපේ පක්‍ෂයේ ආරම්භක පරපුරේ දිවිදුන් සහෝදර සහෝදරියන් අනුස්මරණය කිරීම, ඔවුන්ගේ අත්දැකීම් එකතුකර ගැනීම හා ඔවුන් මඟපෙන්වූ නව සමාජයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා ධෛර්ය එකතුකර ගැනීම වෙනුවෙන් අප්‍රේල් විරුවන් අනුස්මරණය කරලා තියෙනවා. වනගතව සිටියදී, සිරගතව සිටියදී පවා සිදුකළ අනුස්මරණය හැකි අවස්ථාවලදී විශාල පිරිසක් එකතු කරගෙන සිදුකළා.

    මෙවර කොවිඞ් 19 වසංගත තත්වය නිසා අප්‍රේල් විරු සමරුව විශාල පිරිස් එකතු කරගනිමින් ප්‍රසිද්ධ ස්ථානයක සිදුකරන්න බැරිවී තිබෙනවා. ඒ නිසා අන්තර් ජාලය ඔස්සේ සහෝදර සහෝදරියන් සම්බන්ධ කර ගනිමින් කෙටි සැමරුමක් සිදුකරනවා. 

    1971 අරගලයේදී දිවි පිදූවන් සැමරීමට හේතු ගණනාවක් තිබෙනවා. මේ අරගලයේදී අපේ සහෝදරුවන් දිවි පිදූවේ ඉතාම පවිත්‍ර පොදු අරමුණක් වෙනුවෙන්. ඔවුන් සටන් කළේ ජාතිවාදය, ආගමික අන්තවාදයක් වෙනුවෙන් නෙවෙයි. වෙනත් ප්‍රතිගාමී අරමුණක් වෙනුවෙන් නෙවෙයි. මානව වර්ගයාට විමුක්තිය ලබාදීමේ, මිනිස්සුන්ට මිනිස්සු වශයෙන් ජීවත්වෙන්න පුළුවන් සාධාරණ සමාජයක් වෙනුවෙන් තමන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් ඔවුන් සටන් කළා. පවතින අයුක්තිසහගත ධනවාදී ක්‍රමය වෙනස් කරලා සමාජවාදී සමාජයක් නිර්මාණය කරන්න, නිර්ධන පංතියට දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කොට ඔවුන් දිවි පිදුවා. ඒ නිසාම ඔවුන් හැමදාමත් අපේ පරමාදර්ශයන් බවට පත්වී ඉන්නවා. 

    අපේ පක්‍ෂයේ ආරම්භක පරපුරේ සහෝදර සහෝදරියන් 1971 අරගලයේදී දිවිපුදා දැන් සියවස් බාගයකට ආසන්න වී තිබෙනවා. ගෙවීගිය අවුරුදු 49 දෙස බැලීමේදී ඉතිහාසය විසින් ඔවුන්ගේ අරගලය සාධාරණ බව යළි යළිත් ඔප්පු කරමින් ඉන්නවා. ඔවුන් සමාජවාදය වෙනුවෙන් දිවිපුදා වසර 50කට ආසන්න කාලයක් ගෙත වෙන මොහොතේ ධනවාදයට අපේ රටේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරිවූ බව ඔප්පුකරමින් ඉන්නවා.

    ලෝකයේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරි බව ඔප්පුකරමින් තිබෙනවා. ලෝක පරිමාණයෙනුත් ධනවාදය අර්බුදයට ගිහිල්ලා. ලෝකයේ උපදින දරුවන්ට අත්‍යාවශ්‍ය මූලික පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය ලබාදෙන්න බැරිවෙලා. තරුණවියට පත්වුණාට පස්සේ රැකියා ලබාදෙන්න බැරිවෙලා. තනි වචනයෙන් ගත්තොත් මිනිසෙකුට ජීවත්වෙන්න පුළුවන් විදිහේ පරිසරයක් නිර්මාණය කරන්න ධනවාදයට බැරිවෙලා. අසාධාරණය, අයුක්තිය, ලෙඩරෝග, සාගත යුද්ධ මිනිස් ඝාතන, ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් මිනිසා එකිනෙකාට එරෙහිව අවි ඔසවාගැනීම් තමයි ධනවාදය ලබාදී තිබෙන්නේ.

    වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට ලබාදෙන දේශපාලන ආදර්ශයේ උල්පත බවට පත්වී තිබෙන්නේ 71 දිවිපිදූ සහෝදර සහෝදරියන්. 

    ධනවාදය අසාර්ථක බවත් සමාජවාදය සාර්ථකත්වයන් ලෝකයට පෙන්වා දෙන බවත් ඔප්පු වෙමින් තිබෙනවා.

    මුළු ධනපති, අධිරාජ්‍යවාදී ලෝකයම කොරෝනා වසංගත තත්වය හමුවේ අසරණ වෙලා. මෙයින් තහවුරු කරමින් තිබෙන්නේ ධනවාදයට හෝ අධිරාජ්‍යවාදයට රෝගයක් සමඟ පවා හැපෙන්න පුළුවන්කමක් නැහැ කියලා. මිනිසා යනු සාමූහිකව ජීවත් විය යුතු පිරිසක්. ඔවුන් වෙන්කර හුදකලා කරන්නේ ධනපති ක්‍රමයයි. අධිරාජ්‍යවාදය අසමත්වීමේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරමින් අද වෙනකොට කොරෝනා ඉදිරියේ තව දුරටත් මිනිසුන් හුදකලා කරමින් තිබෙනවා.

    අධිරාජ්‍යවාදයේ මුදුන් මල්කඩ වන ඇමරිකා එක්සත් ජනපදය අද ඉතාම කණගාටුදායක තත්වයකට පත්වෙලා. පසුගිය සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඇමරිකාව නිර්මාණය කළ සමාජය රෝගයක් ඉදිරියේ අසරණ වෙලා. විද්‍යාවේ, තාක්‍ෂණයේ මහා දියුණුවක් එක්සත් ජනපදය අත්පත් කරගත්තත් ඒ ජයග්‍රහණ භාවිතා කළේ මිනිස්සු ජීවත් කරවන්න නෙවෙයි මිනිස්සුන්ව යටපත් කරවන්නයි; මිනිස්සුන්ව ඝාතනය කරන්නයි. මුළු ලෝකයක් ආක්‍රමණය කළහැකි මට්ටමේ අවි ආයුධ තැනුවා. අධිවේගී ප්‍රහාරක යානා නිර්මාණය කළා. නමුත් අපි මේ කතා කරන මොහොත වනවිට තුන්ලක්ෂ එකළොස්දාහකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. 

    එක්සත් ජනපදය ලෝකයේ වේගයෙන්ම රෝගය ව්‍යාපත්වන රට බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉතාලිය, ස්පාඤ්ඤය වගේ යුරෝපීය රටවල වැඩිම මිනිස්සුන් පිරිසක් මේ රෝගයෙන් මිය යනවා. ඒකෙන් පැහැදිළි වෙන්නේ ධනවාදයට මේ වසංගතය පාලනය කරන්න නොහැකිවී තිබෙන බවයි.

    එක්සත් ජනපදය හිතාගෙන හිටියේ මේ ලෝකයේ ඔවුන්ට කරන්න බැරි කිසිවක් නැහැ කියලා. ඔවුන් පහුගිය කාලය පුරාම නිර්මාණය කළේ මිනිසුන් සුවපත් කරන දේවල් නෙවෙයි, මිනිසුන් ඝාතනය කරන අවි ආයුධ. මිනිසුන් ඝාතනය කරන අවි ආයුධ දියුණු කරගත්තා මිස අසනීපයකින් මිනිසුන් සුවපත් කරන සෞඛ්‍ය සේවයක් ඔවුන් දියුණු කරගත්තේ නැහැ. අද එහි ප්‍රතිවිපාක ඔවුන් බුක්ති විඳිනවා. රෝගී වන අයට ප්‍රතිකාර ගන්න තියෙන්නේ සෞඛ්‍ය රක්‍ෂණයක්. රක්‍ෂණයේ මුදල් අවසන් වුණාම ප්‍රතිකාර නතර වෙනවා. රටේ සුපිරි ධනපතීන් කල් ඇතිව රෝහල් කාමර වෙන්කරගෙන. සාමාන්‍ය ජනතාවට යන්න තැනක් නැහැ. ඒ විතරක් නෙවෙයි ව්‍යසනය වෙලාවෙත් මනුෂ්‍යත්වය නැති හැසිරීමකුත් ප්‍රදර්ශනය කරනවා. එනිසා සමාජවාදයේ වටිනාකම සහ අවශ්‍යතාවය මේ රෝගයෙන් පවා ඔප්පුවී තිබෙනවා. 1971 අරගලයේ දිවි පිදූ සහෝදර සහෝදරියන්ගේ අරමුණු අපට මේ මොහොතේ වටින්නේ ඒ නිසයි. අද අත්දකිමින් තිබෙන්නේ නව සමාජය ගොඩනගන්න අසමත්වීමේ පීඩාවයි.

    ලෝකය පුරා ව්‍යාප්තවන වසංගතය කිසියම් ප්‍රමාණයකින් හෝ පාලනය කරගැනීමේ හැකියාව අත්පත් කරගෙන තිබෙන්නේ සමාජවාදී රටවල්. සමාජවාදී රටවල ජයග්‍රහණ ගැන කතා නොකර හිටපු අයට පවා දැන් කතාකරන්න සිදුවෙලා. චීනය ඉතා ඉක්මනින් මේ තත්වය පාලනය කරන්න සමත් වෙනවා. චීනය ඉක්මවා සැතපුම් දහස් ගණන් ඈත රටවලට රෝගය පැතිරී යද්දීත් තමන්ගේ රටේ සමහර ප්‍රාන්ත බේරාගන්න හැකි වුණා. චීනයේ සමාජවාදය පිළිබඳව ගැටළු, විවේචන තිබෙන බව අපි දන්නවා. එරට සියලු දේ අනුමත කරන්න නොහැකි නමුත් චීන සමාජවාදය සහ ජනතාව වයිරසය පාලනය කරගැනීමේදී දැක්වූ සමත්කම අවතක්සේරු කරන්න බැහැ. කොමියුනිස්ට් පක්‍ෂයේ සමාජවාදී මධ්‍යගත යාන්ත්‍රණය, ජනතාවගේ විනය සහ කැපවීම නිසා මෙවැනි තත්වයක් සමග සටන්කිරීමේ හැකියාව තිබෙන බව ඔප්පුකළා. 

    සමාජවාදී කියුබාවත් මේ බව ඔප්පුකර තිබෙනවා. ඇමරිකාව කියුබාව යටත් කරගන්න හමුදා මෙහෙයවද්දී කියුබාව ඖෂධ නිෂ්පාදනය කළා. ලෝකයේ මිනිස්සුන් ජීවත් කරවන්න වෛද්‍යවරුන් බිහිකළා. ඇමරිකාවත් කියුබාවත් දෙස බැලුවාම සමාජවාදය සහ ධනවාදය ගැන වෙනස දකින්න පුළුවන්.

    මේ වෙලාවේ රුසියාව තුළ පවා රෝගය පාලනය කරගැනීමේ සමත්කම තිබෙන්නේ වත්මන් රුසියාවේ හැකියාව නිසා නෙවෙයි. කාලයක් පැවතුණු සෝවියට් සමාජවාදී හැකියාවන් නිසයි. ආත්මාර්ථකාමයෙන් පිරිච්ච, විනයක් නැති සියල්ල මුදල් මත තීරණය කරන ධනවාදයට මෙවැනි තත්වයන් පරාජය කරන්න බැහැ කියන බව ඔප්පු කරමින් තිබෙනවා.

    අපි කරන අරගලයේ වැදගත්ම තියෙන්නේ, අපි කරන කාර්යභාරය වඩාත් ධෛර්යයෙන් කරන්න පොළඹවන්නේ මේ උදාහරණවලින්. තමන් විශ්වාසය කරන සත්‍යය වෙන්නේ ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන් බව අපට කියා දුන්නේ 71 අරගල කළ අපේ සහෝදරවරුන්, සහෝදරියන්. ඒ නිසා ඔවුන්ට හිස නමා ආචාර කරන්න ඕනෑ. 

    දුෂ්කරතාවයට පත් ජනතාව පෙන්වා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නොසලකා කටයුතු කරනවා

    කොරෝනා වසංගතය සමග අපේ රටේ තත්වය මග ඇරලා දේශපාලනය කරන්න පුලුවන්කමක් නැහැ. අපේ රටේ ජනතාව විශාල බියකින් සහ දුෂ්කරතාවයකින් ඉන්නේ. දවස් ගණානවක් තිස්සේ ඇඳිරිනීති තත්වයක් තුළ අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග, ආහාර ලබාගත නොහැකිව විශාල දුෂ්කරතාවයකට මුහුණදීලා. මෙතරම් කැපකිරීමක් කරන්න ජනතාවට සිද්ධ වුණේ ඇයි? අපේ රටේ පාලක පංතියේ තිබුණු දැක්මේ අඩුපාඩුව නිසයි.

    මේ වගේ විපතකදී අපි හැමෝම එකතු වෙලා කොරෝනා පරද්දමු කියන එකයි කාගෙත් ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට කරන්න පුළුවන් හැම දේම අපි කරමින් ඉන්නවා. ඉදිරියටත් එහෙමයි.

    ඒ අතර පාලක පංතිය ගත් ක්‍රියාමාර්ගවල දුබලතා අමතක කළ යුතු නැහැ. අපේ රට දූපතක් නිසා මේ රෝග වාහයකයන් රටට ඇතුල් විය හැකිව තිබුණේ ගුවන්තොටුපොළ සහ වරායවලින්. නමුත් වර්තමාන පාලක කණ්ඩායම් රෝගය පාලනය කිරීම ගැන කල්පනා කරනවා වෙනුවට බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම ගැන කල්පනා කරමින් මැතිවරණය ඉදිරියට ගෙනාවා. පාර්ලිමේන්තුවට අගෝස්තු දක්වා කල් තියෙද්දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ගුවන් තොටුපොළ පාලනය නොකිරීම නිසා විදේශගතවී සිට පැමිණි ඇතැම් පිරිස් රෝග නිරෝධායනයකින් තොරවම රට තුළට ආවා.

    රෝගය අපේ රටටත් පැතිරෙමින් තිබෙන වෙලාවක වර්තමාන ජනාධිපතිරයා සාක් නායකයින් සමග අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සාකච්ඡාවේදී පවා අවධාරණය කළේ මැතිවරණය පවත්වන බවයි. සෞඛ්‍ය ඇමතිවරිය කිව්වෙත් ඒකයි. රෝගය පැත්තකට දාලා ඉක්මනින් ඡන්දය දිනාගන්නයි කල්පනා කරමින් හිටියේ. 

    ඡන්ද වෙනුවට රෝගය පාලනය කීරීම ගැන පාලකයන් හිතුවා නම් ජනතාව මේ තරම් පීඩාවකට පත් නොකර කටයුතු කරන්න තිබුණා. රෝගය පැතිරෙමින් තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරපු ගැසට් පත්‍රය අවලංගු කිරීමේ හැකියාව ජනාධිපතිට තිබුණා. නමුත් ඡන්දය පැවැත්වීම කල්දාන තීන්දුව ගත්තේ මැතිරවණ කොමිසමේ සභාපතිවරයයි.

    ජනාධිපතිවරයා කොරෝනා සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ජාතිය අමතා කළ කතාවේදී කිව්වෙත් මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් හදාගන්න බලය දෙන්න කියලා. ජනතාව ගැන නොසිතා බලය ගැන පමණක් සිතමින් කටයුතු කරනවා. ජාතිවාදය ආගම්වාදය පැත්තක තියලා ප්‍රජාවක් ලෙස එකට කටයුතු කරනවා වෙනුවට තමන් අතේ බලය තියාගෙන දේශපාලන මෙහෙයවීම් කරන බව පැහැදිලියි. මේ වෙලාවේ ව්‍යවස්ථා අර්බුදයකුත් මතුවෙමින් තිබෙනවා. ලබන ජූනි මාසයේ දෙවැනිදා වෙනකොට පාර්ලිමේන්තුව රැස්කර ගැනීමේ ව්‍යවස්ථාමය අවශ්‍යතාවය තිබෙනවා. 

    දුෂ්කරතාවලට පත්වී ඉන්න ජනතාවට සහන සලසන කාර්යය පවා තමන්ගේ දේශපාලන පක්‍ෂයේ ප්‍රාදේශීය නායකයෝ හරහා කරගෙන යන මැතිවරණ ව්‍යාපාරයක් ඉදිරියට ගෙනල්ලා. මහජනතාවගේ මුදලින් කරන කටයුතු පවා යොදාගන්නේ රෝගය පාලනය කිරීමට වඩා බල ලෝභය වෙනුවෙන්. කොරා්නා වසංගතය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග නිසා පීඩාවට පත්වන ජනතාව පාවිච්චි කරලා ක්‍රමානුකූලව ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව පැත්තක තියලා ඒකාධිපති පාලනයක් ගෙනයාමේ කැමැත්තක් තිබෙන බව පැහැදිලි වෙනවා.

    මේ පාර්ලිමේන්තුව අපේ එකක් නෙවෙයි. අද පාර්ලිමේන්තුව මගහැරලා යන්නේ වමේ ව්‍යාපාර නෙවෙයි ඔවුන්ම හදා ගත්තු නීති-රීති ව්‍යවස්ථා රකින්න අසමත්වූ ධනපති පාලකයන්මයි. ධනවාදී අර්බදය සහ බලලෝභය නිසා ඔවුන්ගේ පාරලිමේන්තුව කැඳවන්න අකමැතියි. අද අපේ රටේ පාර්ලිමේන්තු පමණක් නොව අගමැතිවරයා පවා අක්‍රීයයි. ජනාධිපතිවරයාත් ඔහු වටා සිටින කිහිප දෙනෙකුගේ කල්ලියක් පාලනය ගෙනයන බව පැහැදිලිවී තිබෙනවා. 

    කොරෝනා වසංගතය පැරද්දීමෙන් පසු අපි ඉදිරියේ තිබෙන්නේ ඒකාධිපති පාලකයෙක් බිහිකර ගැනීමේ තත්වයක් නම් අප කළ යුත්තේ කොරෝනා වසංගතය පැරැද්දීමට දරන කැප කිරීමම ඒකාධිපතිත්වය පැරදවීමට යෙදවීමයි. අපි ඒ වෙනුවෙන් මැදිහත්වීමට සූදානම්. අපේ රට කොරෝනා ව්‍යසනයෙන් මුදාගන්නා අතරම නිර්මාණය වෙමින් තිබෙන ජනතාවට අහිතකර දේශාපලන තත්වයන් හඳුනාගැනීමත් එය පරාජයට පත්කිරීමේ ක්‍රියාමාර්ගත් අනුගමනය කිරීමත් අපි කාගේත් වගකීමක්.

    ගං වතුරක්, නායයාමක් ස්වභාවික ආපදාවක් වගේ නොවන වෛරස් වසංගතයක් හමුවේ අපිට මැදිහත්වීමේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව තේරුම් ගනිමින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා කණ්ඩායම මැදිහත්වී තිබෙනවා. ආණ්ඩුවේ සහන කටයුතු රූපවාහිනී සංවාද, මාධ්‍ය නිවේදනවලට විතරක් සීමාවී තිබෙන වෙලාවක බිම්මට්ටමට ගිහිල්ලා ජනතාවටත් රාජ්‍ය ආයතනවලටත් ලබාදිය හැකි කුඩා හෝ සහනයක් ලබාදීමට අපි මැදිහත්වෙමින් තිබෙනවා. ඒ සංස්කෘතිය වමේ සංස්කෘතියයි. ඒක ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම තියෙන සංස්කෘතියක්. ජනතාව වෙනුවෙන් කැප කිරීම් කළ යුතුයි කියන ආදර්ශය අපිට දුන්නේ 71 පරපුරේ පුරෝගාමීන්. 

    ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තොරව සමස්ත මානව සමාජය වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනෑ කියන ආදර්ශය අදටත් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාවට නගමින් ඉන්නවා. ඒක සරල කාරණයක් නොවෙයි. දුෂ්කරතා තියෙනවා. සීමාකම් තියෙනවා. නමුත් ඒ හැම දේටම වඩා අවලාද අපහාස සහ බාධාකිරීම් මැද්දේ අපි උපරිමයෙන් කැපවී ඉන්නවා. එහෙම සංස්කෘතියක්, පුරුද්දක් නැති කොරෝනා පැරදවීමට කිසිම දෙයක් නොකරන පිරිසකට මේක දරා ගන්න බැහැ. ඒ නිසා සහන කටයුතු කරමින් ඉන්න ජනතා විමුක්ති පෙරමුණට සහ අපේ සහන කණ්ඩායම්වලට අවලාද නගමින් ඉන්නවා.

    වමේ ව්‍යාපාරයකට මේක අලුත් දෙයක් නෙවෙයි. 71දීත් මේ වැඬේ කළා. සතුරන්ගේ අවලාද සියල්ල මැද ජනතාව වෙනුවෙන් සේවය කරන්න ධෛර්යය අපිට තිබෙනවා. ජනතාව වෙනුවෙන් මේ මොහොතේදී කරන කාර්යයන් දශයකින්වත් අඩු කොකරන බව අපි අපේ සතුරන්ට අවධාරණයෙන් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ සමාජය වෙනුවෙන් කිරීමට තිබෙන වගකීම් සහ යුතුකම් කොටස ඕනෑම තත්වයක් යටතේ ඉටුකරන බවට අපි සහතික වෙනවා. අපි අද විශේෂ තත්වයක් තුළ පවා සමරන 71 සහෝදර සහෝදරියන්ගේ ආදර්ශය අපට වැදගත් වෙන්නේ මේ නිසයි. 

    අපි කාගේත් ප්‍රාර්ථනාව, මූලිකම අරමුණ විය යුත්තේ මේ වසංගතයෙන් රට මුදාගැනීමයි. රෝගය පරාජයට පත්කිරීමයි. ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි කරන සහන කටයුතු වගේම මේක අත්දැකීමක් කරගෙන අලුත් සමාජයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. පාලක පංතිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග සසඳා බලා තේරුම් ගත යුතුව තිබෙනවා. කොරෝනා පරද්දන ධෛර්යයෙන්ම ධනවාදය පැරදවීමේ අරගලයත් 1971 අපේ්්‍රල් විරුවන්ගෙන් ලබාගැනීමයි ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉහළම සැමරුමයි.

    තම තමන් ආරක්‍ෂා වෙමින් අසල් වැසියන් වෙනුවෙන් මැදිහත්වීමත් මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවීමත් කරන ලෙස අපි ඉල්ලනවා. මනුෂ්‍යත්වය නැති ධනවාදය වෙනුවට මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයකුත්, ජාතිභේද, ආගම්භේද නැති සමාජයකුත් 71 විරුවන් බලාපොරොත්තු වුණා. රෝගී තත්වය මැද්දෙත් ජාතිවාදය වපුරන, ආගම්වාදය වපුරන කුණුවෙච්ච සමාජ ක්‍රමය වෙනුවට කවුරුත් මිනිසුන්ට මිනිසුන් වශයෙන් සලකන විනයගරුක සමාජයක් අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. මේවා කරන්න ධනවාදයටත් ධනවාදී නායකයන්ටත් බැහැ. මීට අවශ්‍ය විනය, කැපවීම සමාජවාදී රටවල් තුළ තිබෙනවා. ඒ නිසා අපි සාධාරණ යුක්තිගරුක මනුෂ්‍යත්වය පිරිච්ච මිනිසුන් බිහි කරන සමාජවාදී සමාජයක් වෙනුවෙන් අපි අරගල කළ යුතුව තිබෙනවා. 

    මේ වසංගතයෙන් රට මුදවා ගත්පසු ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අනතුර තිබෙනවා. නිෂ්පාදන කඩාවැටීම, රැකියා අහිමිවීම වගේ සමාජ අර්බුද මතුවීමේ අනතුරක් තිබෙනවා. මේ හැමදේකටම උත්තර තිබෙන්නේ සමාජවාදී සමාජයක් තුළ. ඒ සමාජවාදී සමාජයක් ගොඩනගා ගැනීම සඳහා උපරිම ආකාරයෙන් කැප වෙමු කියන ඉල්ලීම අපි කරනවා. මනුෂ්‍යත්වය ගොඩනැගීම වෙනුවෙන් අසීමිත කැප කරීමක් කළ 71 අරගලයේදී දිවිපිදූ අපේ ආදරණීය සහෝදරයෙකු ලියූ කවියකින් අපි ඔබෙන් සමු ගන්නවා. 

    පරවී ගියත් පිබිදුනු රතු මල් සියලූ
    නැවතත් පිපෙනු ඇත දස දහසින් කැකුළු
    නිදහස පතා ඔබ හෙළු දහදිය කඳුළු
    හරි බව කියනු ඇත මතු හදවත් සියලූ

  • කොරෝනා ආධාර දේශපාලන ප්‍රචාරණයට යොදා ගන්න එපා – මැකො

    කොරෝනා ආධාර දේශපාලන ප්‍රචාරණයට යොදා ගන්න එපා – මැකො

    නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින් එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද එලෙස කටයුතු නොකරන ලෙසද ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරයි.

    කොරෝනා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් අද (4) දින නිවේදනයක් නිකුත් කරමින් දේශප‍්‍රිය මහතා මෙම ඉල්ලීම කළේය.

    එම නිවේදනය මගින් මහින්ද දේශප‍්‍රිය මහතා ඉල්ලා සිටින්නේ නව කොරෝනා වසංගතය පරාජය කිරීමට සටන් කරන මොහොතක එවැනි ලාභ ප්‍රචාරණ කටයුතු නොකර මෙම අවස්ථාවේදී වාද භේදවලින් තොරව ක්‍රියාකරන ලෙසයි.

  • එජාප – පොහොට්ටු ජාතික ආණ්ඩු කතාව සජිත් පිලේ කෙප්පයක්

    එජාප – පොහොට්ටු ජාතික ආණ්ඩු කතාව සජිත් පිලේ කෙප්පයක්

    එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීමට ඉල්ලීමක් කර ඇති බවටත්, ඒ සඳහා සූදානමක් ඇති බවටත් ඇතැම් බංකොලොත් දේශපාලන කණ්ඩායම් ගෙන යන ප්‍රචාර එක්සත් ජාතික පක්ෂය ලෙස පිළිකුලෙන් යුතුව බැහැර කරන්නෙමු.

    මේ වන විට රට තුළ තිබෙන්නේ දේශපාලන බල කඳවුරු ආරක්ෂා කර ගැනීමේ සටනක් නොව රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ගැනීමේ සටනකි. ඒ තුළ බොර දියේ මාළු බාමින් තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු .

    ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අතර සාකච්ඡාවක් පැවැත්වූයේ රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරොනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන තිබෙන සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය රජයට දැනුම් දීම සඳහා ය.

    මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙන් ම ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කර ඇති යාන්ත්‍රණයේ තිබෙන අඩුපාඩු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් රජය සමඟ කරුණු සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක කණ්ඩායම කටයුතු කරන ලදී.එහිදී ,
    • ජනතාවට සහනාධාර ලබාදීමේ ක්‍රමවේදයේ ඇතැම් ස්ථාන අවස්ථාවාදී පටු දේශපාලනයේ ගොදුරු බවට පත් වීමෙන් මතුව ඇති ගැටලු

    • දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වඩාත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම

    • ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා ඉදිරිපත්ව ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වෛද්‍යවරුන්ගේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් වන ගැටළු සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  අවශ්‍ය  ඇඳුම් සහ උපකරණ හිඟයකින් තොරව ලබාදීමේ වැදගත්කම

    • පවතින තත්වය සමඟ  රටේ ආර්ථිකය  අඛණ්ඩව ශක්තිමත්ව පවත්වාගෙන යාම  පිළිබඳව සහ රාජ්‍ය, පුද්ගලික සහ  වැවිලි ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් කම්කරුවන් මෙන්ම දෛනික වැටුප් ලබන  ජනතාව මුහුණදෙන ගැටළු

     • ඖෂධ මිලදී ගැනීමට යාමේදී ජනතාව මුහුණ පා  තිබෙන ප්‍රයෝගික ගැටළු

    • කොරෝනා මර්දන වැඩ පිළිවෙල තවදුරටත් සාර්ථක කර ගැනීම සදහා රජ්‍ය අංශය ගෙනයන වැඩපිළිවෙල සඳහා අදාල සියලු පුද්ගලික අංශ වල සහය ලබාගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අවධානය යොමුවිය.

    එක්සත් ජාතික පක්ෂය කිසි විටෙකත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යහපත් දේ විවේචනය කිරීමට හෝ අයහපත් දේ අගය කිරීමට කටයුතු නොකළ ප්‍රතිපත්ති ගරුක දේශපාලන භාවිතාවකින් යුතු පක්ෂයක් බව අවධාරණය කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමු.

    මේ වන විට මෙරට පාලන බලය දරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයකි. එබැවින් අර්බුදය ජය ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේ ද ඔවුන්ට ය.

    පුද්ගලික මතවාදයන්ට අනුව කැමති වුවද අකමැති වුවද අපට රට මුහුණ දී ඇති තත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා කටයුතු කරන්නට වන්නේ ඔවුන් සමඟය.

    රජය කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විවේචනයක් එක්සත් ජාතික පක්ෂයට තිබේ. නමුත් මේ විවේචන සිදු කරමින් කටයුතු කළයුතු කාලයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි. කළ යුතුව ඇත්තේ සියලු දේශපාලන වාදභේද පසෙකළා සියලු දෙනා එක්ව අඩුපාඩු සොයා බලා කටයුතු කරමින් මෙම බරපතල ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට කැපවීම පමණි. එය මේ රටේ සබුද්ධික ජනතාව සහ එක්සත් ජාතික පාක්ෂිකයින් හොඳින් අවබෝධ කරගනු ඇත.

    මේ තත්ත්වය තුළ රජය තුල සහ විපක්ෂයේ සිටින  විවිධ බංකොලොත් සහ අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් කණගාටුවෙන් යුතුව බැහැර කරන අතර එක්සත් ජාතික පක්ෂය සහ රජය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදුව නොමැති බව ද නැවත අවධාරණය කරන්නෙමු.

  • Covid -19: සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුව: සම්පූර්ණ කතාව

    Covid -19: සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුව: සම්පූර්ණ කතාව

    කොරෝන වෛරසයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදි කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (2) අරලියගහ මන්දිරයේ පැවැති සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුවට එක් වෙමිනි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

    කොරෝනා මර්දනය කිරීමේ සටනේ දී සමස්ත සමාජයේ උන්නතිය පිළිබඳ අවධානය යොමු කරමින් සියලු දෙනා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (02) පැවැති සර්ව පාක්ෂික හමුවට සහභාගී වෙමිනි.

    සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දැක් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොරෝනා මර්දනයට රජය ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් සිදු කළේය. අනතුරුව රාජ්‍ය නිලධාරීන්ට කරුණු ඉදිරිපත් කිරීමටත් පක්ෂ නායකයන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමටත් අගමැතිවරයා අවස්ථාව ලබාදුන්නේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ –

    මාර්තු 01වැනිදා සිට මේ දක්වා අපට රෝගීන් 143 දෙනකු වාර්තා වෙලා තියෙනවා. ඉන් 66 දෙනෙක් විදේශවල සිට ආ අය වන අතර 74දෙනකු රට තුළින් වාර්තා වෙලා තියෙනවා. මේ පිරිස අතර විදේශිකයන් 3 දෙනකු ඉන්නවා. කොළඹ රෝගීන් 34ක්, කළුතර රෝගීන් 22ක්, ගම්පහ 11ක්, පුත්තලමේ 15ක් සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සුළු වශයෙනුත් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේ පිරිස අතරින් බහුතරය පිටරටින් ආ අය හෝ පිටරට සිට ආ අය සමඟ සම්බන්ධතා පැවැත්වූ අයයි. තවමත් මේ රෝගය සංවෘත සමාජ තීරුවකයි පැතිරෙමින් තිබෙන්නේ. එම නිසා රෝගය තවමත් සමාජයට ඇවිත් තිබෙන බව සලකන්න බැහැ.

    ඉතාලියේ සිට පැමිණි අයගෙන් තමයි ලොකුම ප්‍රශ්නය මතු වුණේ. ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ජර්මනියෙනුත් ගැටලු තිබුණා. මේ වන විට ඉතාලියේ තර්ජනය සම්පූර්ණයෙන් පහ වෙලා තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් 33 දෙනකු සහ ඉන් පිටත රෝගීන් 110ක් වශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. වයස අවුරුදු 42-50 අතර රෝගීන් ප්‍රමාණය සියයට 29ක්. වයස වැඩි වන විට මේ රෝගයේ සංකූලතා වැඩි වෙනවා. වයස අවුරුදු 60ට වැඩි රෝගීන් සියයට 7ක්, 70- 80 අතර රෝගීන් සියයට 3.5ක් වශයෙන් වාර්තා වෙලා තියෙනවා.

    පළමු රෝගියා වාර්තා වුණේ මාර්තු මස 11 වැනි දා. 12 වැනි දා දෙවැනි රෝගියා වාර්තා වුණා. එදිනම අපි පාසල්, විශ්වවිද්‍යාල වහලා, ඔන් එරයිවල් වීසා අත්හිටුවන්න කටයුතු කළා. මාර්තු මාසේ 13 වැනි දා ස්වයං නිරෝධායන සම්බන්ධ මාර්ගෝපදේශන නිකුත් කළා. මාර්තු මාසේ 14 වැනි දා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වගේ රටවලින් මෙරටට පැමිණීම අත්හිටෙව්වා. මාර්තු මාසේ 15 වැනි දා එම තහනම තවත් රටවල් කිහිපයක් දක්වා දීර්ඝ කලා. 16 වැනි දා ජාතික කොරෝනා මර්දන මධ්‍යස්ථානය නම් කළා. එදිනම නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළා.

    මේ වගේ දිනෙන් දින අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගත්තා. මේ රෝගය සම්බන්ධයෙන් වන පී. සී. ආර් පරීක්ෂණය මේ වන විට 3007 දෙනකු සඳහා කර තිබෙනවා. මේ ප්‍රමාණයෙන් සියයට 5කට අඩු ප්‍රමාණයක් තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. 100ක් පරීක්ෂා කළාම පහකට අඩු ප්‍රමාණයක් පොසිටිව් වෙනවා නම් පේනවා අපට මේ රෝගය තවම ව්‍යාප්ත වෙලා නැති බව. අප මේ වන විට රෝගීන් 2,000කට ප්‍රතිකාර කරන්නට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

    අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ –

    මේ රෝගය මෙරටින් වාර්තා වීමත් සමඟ ජනාධිපතිවරයා කාර්ය සාධක බළකායක් පත් කර සෞඛ්‍ය ඇමැතිවරියගේ දේශපාලන නායකත්වයෙන් සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ දායකත්වයෙන් සෞඛ්‍ය අංශයෙන් මේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගත්තා. සෞඛ්‍යමය අංශයෙන් ගන්නා තීන්දු තීරණ නිසා සමාජයට ඇති වූ බලපෑම අවම කිරීම අපේ කාර්ය සාධක බළකායට පැවරී තිබෙනවා. අපට මුලින් සිදුවුණා මෙරටේ අත්‍යවශ්‍ය සේවා මොනවාද කියන එක හඳුනා ගන්න .ඒ අනුව විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, කසළ කළමනාකරණය, මහාමාර්ග සහ විදුලි සංදේශ කියන අංශ හත අපි අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනා ගත්තා. මේ සෑම අංශයක්ම අපි එකහා සමානව අවධානය යොමු කොට නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.

    ඊළඟට අපි අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. හාල්, එළවළු, බිත්තර, මස් වැනි අත්‍යවශ්‍ය ආහාර මේ යටතේ හඳුනා ගනු ලැබුවා. රජය කලින් ගත් තීන්දුවක් අනුව සැමන් සහ පරිප්පු මිල පහත හෙළීම නිසා ඒවාට ලොකු ඉල්ලුමක් රට තුළ මතුව තිබුණා. අපි මුලින්ම තේරුම් ගත්තා මේ අංශයේ කොටස් තුනක් තියෙන බව. ඒ අනුව අතේ සල්ලි ඇති නමුත් භාණ්ඩ මිල දී ගත නොහැකි වූ පිරිස් වෙනුවෙන් භාණ්ඩ බෙදාහැරීමට පියවර ගත්තා. ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රමුඛ නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙහෙයුමක් ආරම්භ කළා.

    ඊළඟට බැංකුවේ මුදල් ඇති නමුත් එම මුදල් ලබාගත නොහැකි වූ පිරිස්වලට එම මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගත්තා. ඒ අනුව බැංකු අත්‍යවශ්‍ය සේවාවක් කරලා ඒවා විවෘත කරන්න කටයුතු කළා. අද වන විට විශ්‍රාම වැටුප බැංකුවට යවලා තියෙනවා. 58,000කට තැපැල් දෙපාර්තමේන්තුව මගින් මුදල් ගෙදරටම යවලා තිබෙනවා. ඉතුරු 645,179ට බැංකුවට යෑමට වගේම අවශ්‍ය නම් ඖෂධ මිල දී ගැනීමට යෑමටත් ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.

    අනතුරුව බැංකුවේවත් අතේවත් මුදල් නොමැති පිරිස් වෙත ජනාධිපති සහ අගමැතිවරයා සාකච්ඡා කර විශේෂ සහනයක් ලබාදීමට කටයුතු කළා. ඒ අනුව වැඩිහිටි දීමනාව ලබන 416,764කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 142,345කට රුපියල් 5000 බැගින් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා ලබාදෙන්න කටයුතු කළා. අවුරුදු 100 ඉක්ම වූ 400 දෙනා රජයෙන් දීමනාවක් ලබනවා. තවත් 152ක් ඒ සඳහා සුදුසුකම් ලබා සිටිනවා. ඒ සියලුදෙනාටත් රුපියල් 5000 බැගින් ගෙවන්න කටයුතු කරනවා.

    ආබාධිත තැනැත්තන් 84,171කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 37,229කටත් රුපියල් 5,000 බැගින් ගෙවන්න කටයුතු කරනවා. වකුගඩු රෝගී දීමනා ලබන 25,320කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850කට මේ සතිය තුළ රුපියල් 5,000 බැගින් ගෙවන්න කටයුතු කරනවා. සමෘද්ධිලාභීන් 1,798,655කට රුපියල් 10,000 බැගින් ගෙවන්න තීන්දු කර එහි පළමු රුපියල් 5,000 ගෙවීමේ කටයුතු අද අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමෘද්ධි හිමිකමට සුදුසුකම් ලැබූ සහ පසුගිය වසරේ දීමනාව නොලැබුණු 600,339කටත් මේ දීමනාව හිමිවෙනවා. ගොවි විශ්‍රාම වැටුප් ලැබූ 160675කටත් මේ දීමනාව ලැබෙනවා. ඒ හැර රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ටත් ඔවුන්ගේ වැටුප් ගෙවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව සමස්තයක් වශයෙන් 5,304,010කට රජයේ සහන හිමිවෙනවා.

    මේ අතර ග්‍රාමීය ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍යමය ප්‍රමිතීන්ට බාධාවක් නොවන පරිදි කෘෂිකාර්මික කටයුතු කරන්න අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අම්පාර කුඹුරු වපුරන්න අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඒ වගේම පොළොන්නරුවේ මේ දවස්වල කුඹුරු අස්වනු නෙළනවා. ඒ අයටත් අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා .අනෙකුත් කෘෂිකාර්මික කටයුතුවලටත් ඇඳිරි නීතිය බලනොපාන ආකාරයට අවශ්‍ය පහසුකම් දීලා තිබෙනවා. වැවිලි ක්ෂේත්‍රයට අයත් කුඩා සහ මහා පරිමාණ තේ වතුවලට දලු නෙළීම සහ දලු ප්‍රවාහනයට අවසර ලබා දී තිබෙනවා. ධීවරයන්ටත් ඇඳිරි නීතිය බල නොපාන අන්දමට කටයුතු කරන්න ඉඩකඩ සලසා තිබෙනවා. පශු සම්පත් ක්ෂේත්‍රය ගැනත් අප අවශ්‍ය කටයුතු කළා.

    ඒ වගේම සැපයුම් ජාලයට අවශ්‍ය වන නිෂ්පාදන කරන්නට කුඩා කර්මාන්තකරුවන්ට අවසර දී තිබෙනවා. ජාතික ආර්ථිකය ගත්තොත් බැංකු විවෘතයි. වරාය විවෘතයි. ආයෝජන මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව කරගෙන යෑමට අවසර දී තිබෙනවා. ආයෝජකයන්ට ඔවුන්ගේ අපනයනවලට මුදල් නොලැබුණු ගැටලුවක් තිබෙනවා.

    මේ සියලු කටයුතු සඳහා රාජ්‍ය ව්‍යුහය දායක කරගත්තා. පළාත් සභා 9ක් ආණ්ඩුකාරවරුන් යටතේ ක්‍රියාත්මක වෙනවා. දිස්ත්‍රික්ක 25ක දිස්ත්‍රික් ලේකම්වරුන් සිටිනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සිය ගණනක්, පළාත් පාලන කොට්ඨාස 4000 ගණනක්, ග්‍රාමසේවා වසම් 14000ක් තුළ මේ කටයුතු සිදුකෙරෙනවා. ඖෂධ බෙදාහැරිමට තැපැල් දෙපාර්තමේන්තුව ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා එම ඖෂධ නිවෙස්වලටම ගෙනිහින් දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. ඒ වගේම අපි ස්ථාපිත කළ දුරකථන මධ්‍යස්ථානය වෙත මේ වන විට ලැබුණු පැමිණිලි සියල්ලම අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත යොමු කොට අවශ්‍ය පිළිතුරු ලබාදී තිබෙනවා.

    වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා –

    නිරෝධායන මධ්‍යස්ථාන 48ක 3600 පිරික් නිරෝධායනයට ලක් කළා. ඉන් 2,000ක පමණ පිරිසක් නිරෝධායනය වෙලා නිවෙස් කරා ගොස් තිබෙනවා. යාපනය අර්ධද්වීපයේ කොරෝනා ආසාදිත පූජකවරයකු කරපු දේව මෙහෙයකට ගිය පිරිස අතරින් තුන්දෙනකුට පමණ රෝගය වැළඳී තිබෙනවා. ඒ සියලුදෙනා අපි නිරෝධායනයට ලක් කරන්න කටයුතු කළා. අටලුගම සහ අකුරණ ප්‍රදේශ වසා දැමීමට පියවර ගෙනා තිබෙනවා. බේරුවල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවීමක් වාර්තා වුණා. ඒකට සම්බන්ධ සියලුදෙනා නිරෝධායනයට යොමු කළා. මේ රෝගය සමාජය තුළ පැතිරවීම වැළක්වීමට සියලු ක්‍රියාමාර්ග අප ගෙන තිබෙනවා.

    හිටපු කතානායක කරු ජයසූරිය –

    අප රජයට ස්තූතිය පුද කරනවා මේ රෝගය වැළක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් අප ස්තුතිවන්ත වෙනවා. කාරණා කිහිපයක් ගැන මම කතා කරන්න කැමැතියි. විශේෂයෙන් 2003 වසරේ හට ගත් ගංවතුර තත්ත්වයත් සමඟ ස්ථාපිත කළ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා කියන්න කැමැතියි.

    ඒ වගේම දවස් පඩි ගන්න මිලියන 6ක් පමණ වන පිරිස ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා එවැනි පිරිස් වෙනුවෙන් බැංකු ගිණුම් විවෘත කරන්න කටයුතු කළා. ඒ ගිණුම්වලට තමයි රජයේ මුදල් යොමු කරන්නේ. ඒ ගැනත් කල්පනා කරන්න ඕනේ.

    සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි –

    ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අපි කාර්ය සාධක බළකාය සමඟ සම්බන්ධ කර ක්‍රියාවට නංවා තිබෙනවා.

    හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

    කොරෝනා මර්දනය වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසිය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අපි ස්තූතිය පුද කරන්න කැමැතියි. අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා පී. සී. ආර්. පරීක්ෂණ සම්බන්ධයෙන්. මේ පරීක්ෂාවන් ප්‍රමාණවත් නැති බවයි අපේ අදහස. දැනට පරීක්ෂණ 3,007ක් කර තිබෙනවා. රෝගීන් 143 දෙනකු හඳුනාගෙන තිබෙනවා. පරීක්ෂණ ප්‍රමාණය ඉක්මණින් ව්‍යාප්ත කළ යුතුයි. ඒ වගේම අවශ්‍ය උපකරණත් වැඩි කළ යුතුයි.

    මම බැසිල් රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මැතුව ඇති තත්ත්වය ගැන. නිසි කළමනාකරණයකින් කටයුතු කළොත් අපට පුළුවන් ආහාර හිඟයට වගේම සහන මිලට භාණ්ඩ ලබාදීමත් පහසු කරවන්න. ඒ වගේම සහන ලබාදීමේ යාන්ත්‍රණය මහජන නියෝජිතයන්ගෙන් තොරව රාජ්‍ය නිලධාරීන්ගෙන් පමණක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

    බැසිල් රාජපක්ෂ –

    ආහාර අවශ්‍යතාව සම්බන්ධයෙන් පුරෝකථන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අප ලබාගෙන තිබෙනවා. බඩඉරිඟු, ලූණු, කව්පි, මුංඇට, රට කජු, උඳු, සෝයා වගේ සියලු ආහාර අවශ්‍යතාව සහ නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය අප සතුව තිබෙනවා. ඒවාට අවශ්‍ය බීජ ලබාගැනීම වගේම භූමිය වෙන් කිරීමේ කටයුතුත් සිදුකෙරෙමින් තිබෙනවා. දඹුලු ආර්ථික ම්‍යස්ථානයේ ගැටලුව ගතහොත් සෞඛ්‍ය අංශයේ අදහස වී තිබෙන්නේ ආර්ථික ම්‍යස්ථාන නිසා කොරෝනා පැතිර යෑමේ අවදානමක් ඇති බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපට දැඩිව කියා සිටිනවා ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සලකා බලන්න කියලා. අද ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    සහන ලබාදීම රාජ්‍ය යාන්ත්‍රණය තුළින් තමයි සිදුකරන්නේ. නමුත් පක්ෂ භේදයකින් තොරව මහජන නියෝජිතයන්ටත් ඒකට අවස්ථාව දෙන්න ඕනේ. හැමෝටම මේක අධීක්ෂණය කරන්න ඉඩ දීලා තිබෙනවා. ජනතා නියෝජිතයන් නැතිනම් පැමිණිලි ඒම වැඩිවෙයි. නිර්පාක්ෂිකව, දේශපාලනයෙන් තොරව කරන්න බලාපොරොත්තු වෙනවා. යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. අපි ඒවා ඒ මොහෙතම නිවැරැදි කරනවා. සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000ක දීමනාවක් දෙන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. එයින් පළමු වාරිකය වශයෙන් රුපියල් 5,000ක් අද දෙනවා. හැම කෙනකුටම ඒ දීමනාව ලැබෙනවා. සමෘද්ධි දීමනාවට අමතරවයි මේ 5000 දෙන්නේ.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් –

    ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. ඒ සඳහා ජංගම සේවාවක් ආරම්භ කරන්න පුළුවන් නම් හොඳයි.

    බැසිල් රාජපක්ෂ –

    ඖෂධ අධිකාරිය ඒකට අවසර දෙන්නේ නැහැ. ප්‍රමිතිය ගැන ඒ අය අකුරටම සොයා බලනවා. රෝගියකු නැතිව තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ නිකුත් කිරීමේ කාර්යයටත් විශේෂ අවසරයක් ලබාගන්න සිද්ධ වුණා.

    අගමැති මහින්ද රාජපක්ෂ –

    ඒ ගැන සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.

    දයාසිරි ජයසේකර –

    ඖෂධ සමාගම්වලට සිටින අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය නම් ඖෂධ බෙදාහැරීම කරන්න පුළුවන්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව ඒ කාර්යය කරන්න ඔවුන් කැමැතියි.

    මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් –

    ආරක්ෂක අංශ සහ පොලිසිය ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් නිරෝධායනය කිරීම ඉතාමත් හොඳින් ක්‍රියාවට නංවා තිබෙනවා. ගැටලු මතුව ඇති අටලුගම සහ අකුරණ වගේ ප්‍රදේශවල ආහාර සහ ඖෂධ බෙදාහැරීමේ ගැටලු තිබෙනවා. ආසාදනය නොවූ මුහුදුබඩ ප්‍රදේශවල ධීවර කර්මාන්තයට අවහිරතා තිබෙනවා. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

    මනෝ ගනේෂන් –

    මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. ආරක්ෂක අංශ, සෞඛ්‍ය නිලධාරීන්ට ස්තුති කරනවා. අපි විශ්වාස කරනවා මේ කොරෝනා වසංගතය තුරන් කර යවන්න අපට පුළුවන් කියලා. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා වතු කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා.

    ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ –

    රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය යාන්ත්‍රණයත් අගමැති, ජනාධිපති ප්‍රමුඛ පිරිසත් එක්ව ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් අපට අද සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්න ලැබිලා තිබෙනවා. විශේෂයෙන් විද්වතුන්ගේ මඟ පෙන්වීම මත අප රටක් වශයෙන් හොඳ තැනක ඉන්නවා. එසේ නොවුණා නම් ඇති විය හැකි තත්ත්වය අපට හිතාගන්නවත් බැහැ. රාජ්‍ය නිලධාරීන් පමණක් නොවෙයි මහජන නියෝජිතයනුත් මේ සඳහා දායක කර ගත යුතුයි.

    ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර –

    කාර්ය සාධක බළකාය ඉතා දුෂ්කර අභියෝග ජයග්‍රහණය කිරීමේ අරගලයක නිරත වෙමින් සිටිනවා. ඉදිරියේ දී වර්ෂාව එනවා. ඒ සමඟ මතු විය හැකි ආපදා තත්ත්වයන් ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් නායයෑම් ගැනත් දැනුවත් කළ යුතුයි. විදෙස්වල සිටින සිසුන් ගෙන්වා ගැනීම ගැනත් අවධානය යොමු කරන්න ඕනේ.

    දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් –

    අද නොයෙකුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. නමුත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙය කරන්න බැහැ. පාර්ලිමේන්තුව නැවත රැස්කිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ –

    පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැක්කේ මහජන ආරක්ෂක පනත යටතේ රෙගුලාසි හදලා ඒවා සම්මත කරගැනීමට පමණයි. එසේ වුවත් එහිදී එම කාරණයෙන් පිටත කාරණා සාකච්ඡා කරන්න පුළුවන්කමක් නැහැ. මේක සෞඛ්‍ය ගැටලුවක්. නිරෝධායන පනත ඇතුළු පනත් මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. රටට මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් නැති දෙයකට යා යුතු නැහැ. පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා මේක විසඳන්න තියෙන ක්‍රමවේදය කුමක්ද? දැනට තිබෙන ක්‍රමවේදය තමයි ක්‍රියාවට නැංවෙමින් තිබෙන්නේ. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ අදාළ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒවාට සහාය දීම පමණයි අපට කළ හැක්කේ.

    ඒ වගේම මම මේ සභාවේ අවධානය ඩෙංගු රෝගය ගැනත් යොමු කරන්න ඕනේ. ඉදිරියේ දී වැසි කාලය ආරම්භ වෙනවා. ඒ සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ ඉඩකඩක් තිබෙනවා. කොළඹ ඉතාම අවදානම් කලාපයක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. කොරෝනා මර්දනය අතරම ඩෙංගු රෝගය මර්දනය ගැනත් අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුණහොත් සෞඛ්‍ය අංශවලට මේ දෙක ගැනම අවධානය එකවර යොදවන්න වෙයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා දැන් සිටම ඩෙංගු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම් ආරම්භ කරන ලෙස. මේ දවස්වල කවුරුත් ගෙවල්වල සිටින නිසා පිරිසිදු කරගැනීම් වුණත් කරන්න පහසු වෙයි.

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල –

    පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ සඳහා තමයි පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂ නායකයන් ඇතුළත් මේ පක්ෂ නායක හමුව කැඳවා තිබෙන්නේ. පාර්ලිමේන්තුව කැඳවීමේ අරමුණ කුමක්ද? අපේ රට අනෙකුත් රටවල් හා සැසඳීමේ දී විශිෂ්ට තැනක සිටිනවා. වයසත් සමඟ රෝග අවදාමක් තිබෙනවා. මේ කරුණු ගැන ජනතාව දැනුවත් කළ යුතුයි.

    අතුරලියේ රතන හිමි

    මේ රෝගයට මුහුණ දීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය කර තිබෙනවා. මාස තුනකින් මේ අර්බුදය විසඳෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම විසඳුමක් නෙමෙයි. අමෙරිකාව, ජපානය වගේ රටවලට බැරි වුණත් අපට පුළුවන් අපේ රට වහලා අවුරුද්දක් හරි ඉන්න. නව ලිබරල්වාදය පසුපස එල්ලීගෙන ගිය අයට අද ඇත්ත තේරෙනවා ඇති. ජාතික සම්පත් විකුණාගෙන කන්න හිටපු අයට මේක පේනවා ඇති. ජාතික දැක්මක් අපට අවශ්‍යයි. මැතිවරණ මානසිකත්වයේ ඉඳගෙන මේක කරන්න බැහැ.

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ –

    මේ රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අපට පිළිතුරු හොයන්න අංශ ගණනාවක් තිබෙනවා. අපේ වාසනාවට තවම වාර්තා නොවුණත් ලෝකයේ සෙසු රටවල සෞඛ්‍ය අංශයේ අයටත් මේ රෝගය වැළඳී තිබෙනවා. ඒ නිසා ඒ අයටත් යුද කාලයේ මෙන්ම වන්දියක් ගෙවන්න කියලා ඉල්ලා සිටිනවා. මේ රෝගය මාසයකින් පාලනය කරන්න බැරි වෙයි. ඉදිරියේ දී ලෝකයටම ආර්ථික අර්බුදයක් එනවා. අපට ඒ දෙකටම එකවර මූණ දෙන්න බැරි වෙයි. මගේ මතය නම් මේ වගේ වෙලාවට විශේෂ නීති අවශ්‍යයි. අපි මෙතනට ආවේ කොරෝනා මඬින හැටි කතා කරන්නයි. දේශපාලනය ගැන කතා කරන්න ඕනේ නැහැ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • කිසිදු භේදයකින් තොරව රට බේරා ගැනීමට එක්විය යුතුයි – අගමැති

    කිසිදු භේදයකින් තොරව රට බේරා ගැනීමට එක්විය යුතුයි – අගමැති

    කොරෝන වෛරසයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදි කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (2) අරලියගහ මන්දිරයේ පැවැති සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුවට එක් වෙමිනි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

  • මහ මැතිවරණය ගැන මැකොගෙන් ජනපතිට ‘හදිසි‘ ලිපියක්

    මහ මැතිවරණය ගැන මැකොගෙන් ජනපතිට ‘හදිසි‘ ලිපියක්

    රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති බැවින් එය විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

    මැතිවරණ කොමිසම ඊයේ (01) රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ජනාධිපති ලේකම්ව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එහි   “හදිසියි” යන පදනමින් ජනාධිපති දැනුවත් කරන ලෙස අවධාරණය කර තිබේ.

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

  • ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි

    ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි

    කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට  සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් බහුතරය නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය හෝ මීට පෙර වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය අතුරින් හෝ හඳුනාගැනීමත් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට  ඉමහත් පිටිවහලක් වූ බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමේ යාන්ත්‍රනය සහ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිළි කළේය. දිවයිනේ හඳුනාගත් පවුල් හැට පන් ලක්ෂයෙන්,  පවුල් පනස් තුන් ලක්ෂයකට අප්‍රේල් මස 09 වන දිනට පෙර රුපියල් 5,000/- බැගින් ලබාදීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 

    වෛරසයේ ව්‍යාප්තිය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ සාමාන්‍ය ජන ජිවිතයට ඇති විය හැකි බාධා අවම වන අයුරින්  සිදු විය යුතුය යන්න දෙපාර්ශ්වයේම මතය විය.   වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතු බවට දෙපාර්ශවයම එකඟ වූහ. රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටි අඛණ්ඩව පවත්වාගන යාම මෙන්ම රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් හා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාව මෙන්ම දෛනිකව විවිධ රැකියාවල සහ ස්වයං රැකියාවල නිතර වු පිරිස් මුහුණ දී තිබෙන දුෂ්කරතා පිළිබඳවත්, ඒවාට දිය යුතු විසඳුම් පිළිබඳවත් දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.

    වෛද්‍යවරු, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවල කැපවීම ද දෙපාර්ශ්වයේම ඇගයීමට සහ ප්‍රසාදයට ලක් විය.  සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද එකඟ වූ අතර පැය දෙකකට අධික කාලයක් සිදු වූ සාකච්ඡාව ඉතා සුහදශීලිව සහ සාර්ථකව පැවැත්විණි.

    රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්  උප නායක රවී කරුණානායක, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේබණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජයමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල සහ මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ද මීට එක්ව සිටියහ.

  • බැසිල් රාජපක්ෂට කොරෝනා සහන භාරදීම ගැන ජවිපෙ ප්‍රශ්න කරයි

    බැසිල් රාජපක්ෂට කොරෝනා සහන භාරදීම ගැන ජවිපෙ ප්‍රශ්න කරයි

    මේ වසංගතයෙන් පැරදුණොත් පැරදෙන්නේ මුළු රටමයි. ඒ වගේම දිනුවොත් දින්නේ මුළු රටමයි.

    කොරෝනා වෛරස නිසා රට තුළ මතුව ඇති නව තත්වයන් පිළිබඳව ජවිපෙ පැහැදිලි කිරීමක් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුව සම්පූර්ණයෙන් මෙහි පළ වේ.

    ලෝකය පුරාම කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්වයක් තුළ රටක් හැටියටත් අපි මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන අභියෝගය තියෙනවා. මේ වනවිටත් අපේ රටේ සමාජය තුළ මේ රෝගය ව්‍යාප්තවීම තැන් තැන්වල හමුවූ පවුල් ආශ‍්‍රය කළ සමීතමයන්ගෙන් සිදුවූ ව්‍යාප්තියක් දකින්න ලැබෙන්නේ.

    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවුණේ මාර්තු 31වැනිදා. ඒ සංඛ්‍යාව 21ක්. මේ අනුව බැලූවාම අපිට විශ්වාසයක් තිබෙනවා හැමදෙනාම එක් කරගත් ජාතික කි‍්‍රයාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීම තුළින් මේ උවදුරින් අපේ රට බේරාගන්න හැකියාව තිබෙනවා කියලා.

    විශේෂයෙන්ම මතක් කළ යුතු වන්නේ ලෝක ව්‍යාප්ත තත්වයක් තිබෙන මේ වසංගතයෙන් පැරදුණොත් පැරදෙන්නේ මුළු රටමයි. ඒ වගේම දිනුවොත් දින්නේ මුළු රටමයි.

    මේ දක්වා වෛද්‍යවරුන්ගේ සිට පහළම සෞඛ්‍ය සේවකයන් දක්වා ආරක්‍ෂක අංශවල සියලූ දෙනාගේ කැපවීම වගේම බැංකු ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවල යෙදී සිටින සියලූම දෙනාගේ කැපවීම නිසා අවම මට්ටමක රෝග ව්‍යාප්තිය පවත්වා ගන්න රටක් හැටියට අපි සමත්වී තිබෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවූ සියලූ දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා.

    ආණ්්ඩුව පසුගිය කාලයේ අනුගමනය කළ කි‍්‍රයාමාර්ගවල යම් යම් අඩුපාඩු නිසා අද පවතින ව්‍යාප්ත වීමේ තත්වය තිබෙන බව පැහැදිළියි. අපි කරුණු සහිතව මීට පෙරත් පෙන්වා දුන්නා ඒ අඩුපාඩුකම් වළක්වා ගෙන නිසි පරිදි මේ කි‍්‍රයාදාමය වෙනුවෙන් යාන්ත‍්‍රණයක් ආණ්ඩුව සකස් කරයි කියලා අපේක්‍ෂාවෙන්. නමුත් අපි පෙන්වා දුන් මේ කරුණු කෙරෙහි ආණ්ඩුව ඒ තරම් අවධානයට ලක්කර නැති බව පේනවා.

    උදාහරණයක් හැටියට මේ රෝගය ලෝක මට්ටමන් ව්‍යාප්ත වෙන අවස්ථාවේ වරාය සහ ගුවන්තොටුපොළ වසා නිරෝධායන කටයුතු යෙදීමේ අවශ්‍යතාවය තිබුණා. නමුත් ආණ්ඩුව ඒ කි‍්‍රයාමාර්ගය අනුගමනය කළේ නැහැ. ඒ නිසා ගුවන්තොටුපොළෙන් පැමිණි මේ රටේ වැසියන් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර යැව්වා. දැන් පොලීසිය යොදවා මෙහෙයුම් සිදුකර ඔවුන්ව සොයා ගනිමින් සිටිනවා. මුලදීම ගත යුතු කි‍්‍රයාමාර්ග නොගත් නිසා මේ තත්වය ඇතිවුණා.

    වර්තමානයේ ඇඳිරි නීතිය පනවා ගෙනයන කි‍්‍රයාමාර්ග නිසා යම් සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. මේ තත්වය තුළ ජනතාවගේ පැත්තෙන් මතුවී තිබෙන ගැටළු අවම කරගැනීමට කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීම ආණ්ඩුවේ වගකීමක්. අපට තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දීමටයි. අපි ඒ විදිහට හඳුනාගත්ත මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

    එකක් තමයි අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සහ ඖෂධ ලබාදීම. මේ වෙනකොට අනුගමනය කරන ජනතාව දුරස්ථකරන කි‍්‍රයාමාර්ගයක් ලෙස ඇඳිරි නීතිය පනවා තිබුණත් ඇඳිරිනීතිය අයින් කළ වහාම ඔවුන් ඖෂධ ලබා ගන්නත් උකස් මධ්‍යස්ථානවලත්, බැංකුවලත්, එළවළු වෙළඳපොළ, මාළු වෙළඳපොළ වගේ තැන්වලත් පොදි ගැහෙනවා. මේ නිසා ඇඳිරිනීතිය පැනවීමේ අරමුණ ඉෂ්ඨ වෙන්නේ නැහැ.

    ඒ තත්වයට පිළියම් යෙදිය යුතුයි. විශේෂයෙන්ම ඖෂධ ලබාදීමේ කි‍්‍රයාමාර්ග ගැන ආණ්ඩුව ප‍්‍රචාරය කළත් දිගුකාලීනව ඖෂධ ලබාගන්නා වැඩිහිටියන් ගර්භනී මාතාවන් ළමුන් සම්බන්ධයෙන් බරපතළ තත්වයන් මතුවී තිබෙනවා. ඊට ඉක්මනින්ම විසඳුමක් අවශ්‍යයයි.

    ඇඳිරි නීිතිය ඉවත් කරන කාලයේ ෆාමසිවලට ජනතාව රොක්වීම වැලැක්වීමේ කි‍්‍රයාමාර්ග වගේම අත්‍යාවශ්‍ය ඖෂධ සහ රෝගීන්ට ප‍්‍රතිකාර ලබාගැනීමේ කි‍්‍රයාමාර්ග ආණ්ඩුවේ චක‍්‍රලේඛවලින් සහ ප‍්‍රකාශවලින් සීමා නොවී ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා.

    ආහාර බෙදාදීමේ ප‍්‍රශ්නයත් ඒ වගේමයි. ජනතාව මේ වනවිටත් යම්කිසි කැප කිරීමක් කරමින් දරාගෙන ඉන්න බව අපි දන්නවා. නමුත් ඒ දරාගැනීමේ සීමාවල් තිබෙනවා. ඒ නිසා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ නිසි වැඩපිිළිවෙළක් තිබිය යුතුයි.

    ඒ වගේම තවත් පැත්කින් මේ රටේ විශාල ජනතාවක් එදාවේල හොයාගන්න දෛනික වැටුප් මත වැඩකරන බව අපි දන්නවා. ඔවුන්ට මේ වනවිට ආදායම් අහිමිවී තිබෙනවා. ඒ වගේම ඒ අයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට නොමැති හිඟයකුත් තිබෙනවා. ඒ කියන්නේ ඒ අයට සල්ලිත් නැහැ, බඩුත් නැහැ. මේ තත්වය වැළැක්වීමට ආණ්ඩුව පියවර ගත යුතුයි.

    ආණ්ඩුව මේ වනවිට අරමුදලක් හදලා තියෙනවා. නමුත් ඒ අරමුදල තැන් තැන්වල කි‍්‍රයාත්මක වීම නවත්වා අත්‍යාවශ්‍ය අයට සහන ලැබෙන පරිදි යොදාගන්න කටයුතු කළ යුතුයි. මේ කටයුතු වෙනුවෙන් ග‍්‍රාම නිලධාරී මූලික කරගත්ත යාන්ත‍්‍රණයක් සකස්කිරීම ඉක්මනින්ම කළ යුතුයි. ඒ යාන්ත‍්‍රණයට සහයෝගය ලබාගැනීටම ස්වේච්ඡුා සංවිධාන සහ පුද්ගලයන් එකතු කරගත හැකියි.

    ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ වෙනුවෙන් මැදිහත්වීමට සූදානම් බව ආණ්ඩුවට දන්වා තිබෙනවා.

    ඇතිවී තිබෙන මේ තත්වය ගංවතුර, නාය යෑම, සුනාමිය වගේ තත්වයක් නෙවෙයි. මුළු රටටම බලපාන ආපදාවක්. මේ වගේ තත්වයක් තුළ සෞඛ්‍ය කාර්යමණ්ඩල වගේම ආරක්‍ෂක අංශ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන අයට සහයෝගය ලබාදීමේ ස්වේච්ඡුා කණ්ඩායම්වල දායකත්වය ලබාගැනීම අවශ්‍යයි. අපි පක්‍ෂයක් හැටියට මේ වනවිටත් ආරක්‍ෂක අංශවලට, සෞඛ්‍ය කාර්යමණ්ඩවලට මුඛ ආවරණ ඇතුළු වෙනත් ආරක්‍ෂක උපකරණ ලබාදී තිබෙනවා. ඒ වගේ රෝහල් පිරිසිදු කිරීම සහ රෝහල් තුළ වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සම්පාදනය කරදී තිබෙනවා.

    නමුත් පක්‍ෂයක් හැටියට අපිට තිබෙන මානව සම්පත සහ මන්තී‍්‍ර වැටුප් අරමුදලේ සීමාවන් තිබෙනවා. ඒ තුළ උපරිම කටයුතු කරමින් ඉන්න අතර සකස් කරන යාන්ත‍්‍රණයක කොටස්කරුවෝ හැටියට අපිට ස්වේච්ඡුාවෙන් ජනතාවට සහන ලබාදීමේ මැදිහත්කරුවන් විය හැකියි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලැබිය යුතු අවසානම කෙනා දක්වා ඒවා සපයා දීමේ කටයුතු අපිට ස්වේච්ඡුාවෙන් කළ හැකියි.

    මේ වෙනුවෙන් ඉක්මනින් යාන්ත‍්‍රණයක් ආණ්ඩුව සකස් නොකළහොත් කොරෝනා වෛරසයේ බලපෑමට වඩා වෙනත් විශාල ගැටළු ප‍්‍රමාණයක් මතුවීමේ අනතුර අපි දකිනවා. මේ වනවිටත් සමාජයේ බොහෝ තැන්වලින් ඒ ගැටලූ සම්බන්ධයෙන් තොරතුරු අපිට ලැබී තිබෙනවා.

    අමතර කාරණයක් හැටියට අපේ රටේ ආගමික හා සංස්කෘතික ගැටළුත් මේ තත්වය තුළ මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසයෙන් මියගිය අය වගේම වෙනත් තත්වයන් යටතේ මියගිය අයගේ අවසන් කටයුතු කිරීමේදී ගැටළු ප‍්‍රමාණයක් මතුවී තිබෙනවා.

    අපි ජනතාවට අවධාරණය කරන්නේ වෛද්‍ය අංශ ලබාදෙන තොරතුරු අනුව රෝගයේ භයානකකම අවබෝධ කරගෙන එයින් වැළකීමේ කි‍්‍රයාමාර්ග මූලික කරගත යුතු බවයි. ආගමික හා සංස්කෘතික කටයුතු ඊට දෙවැනිව කල්පනා කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ වනවිට නිර්දේශ මාලාවක් ලබාදී තිබෙනවා. ඒ අනුව කි‍්‍රයා කිරීමේ අවබෝධය ජනතාවට ලබාදී ජන ජීවිතය පවත්වාගැනීමේ යාන්ත‍්‍රණය සකස් කිරීම ආණ්ඩුව ඉක්මනින් කළ යුතු බව නැවත අවධාරණය කරනවා.

    ඒ අඩුව නිසා සමාජයේ විවිධ තැන්වලින් මේ වගේ ගැටළු මතුවෙනවා. අපි අවධාරණය කරන්නේ ජාතික මට්ටමින් කල්පනා කර බලා කි‍්‍රයාකාරී සැලැස්මක් සකස්කර ස්වේච්ඡුා සංවිධාන සහ අපි වගේ පක්‍ෂවල සහයෝගයත් ලබාගෙන මේ උවදුර ඉක්මනින් පරාජය කිරීමට ආණ්ඩුවේ තිබෙන වගකීම නිසි ලෙස ඉටුකළ යුතු බවයි.

    මාධ්‍යවේදීන් එවා තිබූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්

    බස්නාහිර පළාතේ සහ පුත්තලම, යාපනය ඇතුළු දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව ඒකරාශීවන තැන්වල රෝග ව්‍යාප්තියට ලැබෙන අනුග‍්‍රහය ගැන මම පැහැදිළි කළා. ඒ නිසා ග‍්‍රාමනිළධාරී වසම් මට්ටමින් හැකි ඉක්මනින් යාන්ත‍්‍රණයක් සකස් කිරීම අවශ්‍ය බව නැවත අවධාරණය කරනවා. පීඩාවට පත් ජනතාවට ආහාර සහ බෙහෙත් ලබාදීම අතපසු නොකළ යුතුයි.

    ගුවන්තොටුපොළෙන් පැමිණි මගී ජනතාව පළාගිය බව විවිධ ආකාරයට ප‍්‍රචාර කර තිබුණා. ගුවන්තොටුපොළකින් එහෙම පළායන්න බැහැ. එහෙම කියනවනම් ඒක රටකට අපහාසයක්. ආණ්ඩුව මැදිහත්වී රෝග නිරෝධායන කටයුතු මුල සිටම කළේ නැහැ. පිටරට ඉඳලා ආපු අයට නිදහසේ නිවෙස්වලට යන්න ඉඩ ලබාදුන්නා. දැන් ඒ අයට දොස් කියලා වැඩක් නැහැ. ප‍්‍රමාද වෙලා ගුවන් තොටුපොළ වසා දැමීමට ආණ්ඩුවට සිදුවුණේ තත්වය බරපතල වුණු පසුවයි. මේ වෙලාවේ විවේචනය කළ යුතු තත්වයක් නොවුණත් පැවති ඇත්ත තත්වය කවුරුත් වටහා ගත යුතුයි.

    සර්වපාක්ෂක හමුවට පෙරත් එක් පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අපි දිගින් දිගටම අවධාරණය කළා. එසේ තිබියදී අනික් පැත්තෙන් බැසිල් රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති කාර්ය සාධන බලකායේ ප‍්‍රධානියා හැටියට පත්කර ජන ජීවිතයේ අත්‍යවශ්‍යය කටයුතු පවත්වාගෙන යාමට පවරා තිබෙනවා. මෙය කොයිතරම් දුරට ගැලපෙන දෙයක්ද කියලා කල්පනා කරන්න ඕනෑ.

    මේ වෙලාවේ දේශපාලන විවේචන තිබුණත් ඒ ගැන අවධානය යොමු නොකර මේ ව්‍යසනයෙන් රට මුදවාගැනීමට අපි මැදිහත් වෙනවා. මේ වගේ වෙලාවක මෙවැනි යාන්ත‍්‍රණයක් කිසියම් දේශපාලන කණ්ඩායමක අතට ගන්නවානම්, එය මැතිවරණ ප‍්‍රචාරණය සඳහා යොදා ගන්නවානම් නොගැලපෙන දෙයක්.

    බැසිල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයෙක් නෙවෙයි. ඇමතිවරයෙක් නෙවෙයි. රජයේ තනතුරක් දරණ කෙනෙක් නෙවෙයි. ඔහු අලූතෙන් හදපු, මෙවර මැතිවරණයට තරග කරන පක්ෂ සන්ධානයක නායකයෙක්. එවැනි කෙනෙකුට මෙය බාරදීම ආණ්ඩුවේ දේශපාලන සදාචාරය සහ විනිවිදභාවය පිළිබඳ ප‍්‍රශ්නයක්.

    ජාතික මට්ටමේ ව්‍යසනයක් තුළ ඡුන්දය බලාගෙන කටයුතු කරනවා නම් ඒක කොහොමවත් අනුමත කරන්න බැහැ. අපි යෝජනා කරන ජාතික මට්ටමේ වැඩපිිළිවෙළක් තවම ගොඩනැගිලා නැහැ. එවැනි පොදු යාන්ත‍්‍රණයක් අවශ්‍ය අපිට නෙවෙයි රටට. ඒ වුවමනාව තමයි අපි ඉදිරිපත් කරන්නේ. නමුත් ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න ආණ්ඩුව සූදානම් නැති බවක් පේනවා.

    පාර්ලිමේන්තුව නැවත කැඳවීම ගැන ප‍්‍රශ්නයක් අහලා තිබෙනවා. ඒ වගේ දෙයක් කළ හැක්කේ හදිසි නීතිය පැනවීමෙන් විතරයි. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා මුල ඉඳලාම කි‍්‍රයා කළේ නාමයෝජනා කැඳවා පාර්ලිමේන්තුව අකී‍්‍රයවීමට ඉඩහැර මේ ක‍්‍රියාවලිය තමන් යටතේ තබාගැනීමේ අරමුණින් බව අපි මීට කලින් පැහැදිළි කළා. දැන් පාර්ලිමේන්තුව කැඳවූවත් නැතත් අපි හැමෝම එකතු වෙලා ජාතික වැඩපිළිවෙළක් අනුව කි‍්‍රයා කළ යුතුයි. අපි නැවත නැවත අවධාරණය කරන්නේ මේ උවදුරෙන් පැරදුනොත් පැරදෙන්නේ අපේ රට. දිනුවත් දිනන්නේ අපේ රට. ඒ නිසා පටු දේශපාලන බෙදීම් පැත්තක තියලා රට ජයග‍්‍රහණය කරවීමට හැමෝම කි‍්‍රයා කළ යුතුයි.

    ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ඒ වෙනුවෙන් මැදිහත්වී කටයුතුකර තිබෙනවා වගේම ඉදිරියටත් කටයුතු කරනවා. නමුත් ආණ්ඩුව නිසි පරිදි යාන්ත‍්‍රණයක් සකස්කර ජාතික වගකීමකින් කටයුතු කරන ලෙස අපි අවධාරණය කරනවා.