Blog

  • වසන්ත රවි වැඩ බෙදා ගනියි – ඔබ නොදත් කතාව මෙන්න..

    නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි.

    විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත්තේ තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම සඳහාය.

    අමාත්‍ය රවි කරුණානායක මහතා ගෙන තිබෙන තීරණයට අනුව තමන් උනන්දුව දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් ගැන වහාම දැනුම් දෙන්නැයි ද නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට දැනුම් දී තිබේ.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට පැවරෙන විෂයයන් අතර අන්තර්ජාතික හා ජාතික මට්ටමේ කාර්යභාරයන් රැසක්ද තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මීට අමතරව හැකි සෑම අවස්ථාවකදීම තමන් සහභාගී වන මාධ්‍ය, පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වී ඒ අංශයෙන් අවශ්‍ය කරන දේශපාලන පන්නරය හා පුහුණුව ලබන ලෙසද රවි කරුණානායක මහතා සිය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

    [rns_reactions]

  • මහින්ද‍ගේ අණින් සිදුවු වැලිකඩ බන්ධනාගාර ගැටුම – පෙත්සම විභාගයට අවසර

    2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ.

    ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට ගැනිමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණි වල්ගම  සහ එස්. තුරෙයිරාසා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
    එදිනට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
    ගැටුම සිදුවන අවස්ථාවේ බන්ධනාගාරයේ රැදී සිටි පුද්ගලයෙකු වන සුදේශ් චන්දිමාල් නැමැත්තා පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපතිරයා ඇතුලු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
    [rns_reactions]
  • ඉදිරි දිනවල ලංකාවට තද වැසි බලාපොරොත්තු විය හැකියි!

    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත්,  විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මි.මි. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද දිනයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක් දුරට වර්ධනයක් බලාපොරොත්තුවන බවත් ඔවුන් කියා සිටියි.

    එසේම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් සවස්කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්ය.

    වැසි ඇතිවන අවස්ථා වලදී  දිවයින හරහාවිටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවත් කියවේ.

    [rns_reactions]
  • ශ්‍රිලනිප යාපාගේ වැසිකිලිත් එජාපයේ කබීර් බලෙන් අල්ලයි….

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම්ගේ ව්‍යාපෘතියක් සදහා රාජ්‍ය අමාත්‍යංශ කාර්යාල කාමර හදිසියේ ම වෙන් කර ගැනීම හේතුවෙන් එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වු ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ වැඩ බාරගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

    ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුබ මොහොතින් අද (02) පෙරවරුවේ සිය නව අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබුණි.

    ඒ අනුව අමාත්‍යවරයා විසින් සිය ලිපි ගොනු නව අමාත්‍යංශ පරිශ්‍ර‍ වෙත රැගෙන ගිය ද ඒවා තබා ගැනීමට පවා ඉඩපහසුකම් නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩල නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වු බව ද වාර්තා වේ.

    මීට පෙර රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එරාන් වික්‍ර‍මරත්නට ඔහුගේ නිල කාමරය හැර තවත් කාමර 9ක් තිබුණි.

    ඔහු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වු අතර ඊට පෙර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ සියලු නිල කාමර එරාන් වික්‍ර‍මරත්නට ලබා දී ඔහුන් ඊයේ මුදල් රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් ඉවත් වී ඇති බව ද වාර්තා වේ.

    අනතුරුව ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් ඊයේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ පරිශ්‍ර‍ට ගිය අතර හදිසියේ ම එම අමාත්‍යංශයේ තිබු කාමර 9න් කාමර 6ක් ම කැබිනට් අමාත්‍යවරයාගේ වෙනත් ව්‍යාපෘතියක් සදහා යොදවා ඇති බවට දැනුම් දී ඇත.

    මින් අපහසුතාවයට පත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා අදට යෙදී තිබුණු වැඩ බාරගැනීම දින නියමයක් නොමැතිව කල් දමා මාතර බලා පිටත්ව ගොස් ඇත.

    මේ පිළිබද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර‍ හේවාවිතාරණට අමාත්‍යවරයාගේ නිලධාරීන් දැනුම් දී ඇති අතර එහිදී ලේකම්වරයා පවසා ඇත්තේ ලබන සදුදා වන විට මෙම ගැටලුව නිරාකරණය කර දෙන බවයි.

    [rns_reactions]

  • මෛත්‍රි ජනපතිගේ ඉල්ලීමට ගංවතුර මඩින්න ඕස්ට්‍රේලියාවෙන් ‍ ලැබුණු පරිත්‍යාග මෙන්න.

    පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ඊයේ(1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි.
    කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
    අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙන අතර ඔවුන් බේරා ගැනීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා රජය එරටින් ඉල්ලා තිබිණි.එම ඉල්ලීම සලකා බලමින් ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම යාත්‍රා දහය ලබා දෙන ලදී.
    මේ අතර මෙරට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් සිංගප්පූරු රජය විසින් ඇමෙරිකානු ඩොලර් ලකෂයක මූල්‍යාධාර සහ දකුණු කොරියා රජය විසින් ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයක් වටිනා සහනාධාර තොගයක් පිරිනැමීට පියවර ගෙන ඇත.

    [rns_reactions]

  • ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරලා ජීවිතේ ඉතිරි කාලය ගෙනියනවා – සුසන්තිකාගෙන් ප්‍රකාශයක්

    සුසන්තිකා ජයසිංහ යනු කවුදැයි හඳුන්වා දීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි ලිවිය යුතු නැත. “ආසියාවේ කළු වෙළඹ” යැයි විරුදාවලි ලත් ඇය ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූයේ ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයිනට ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදයක් මෙන්ම ගෞරවයක්ද නිර්මාණය කර දෙමිනි. කෙටි දුර ධාවන ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව සුසන්තිකාම වීම පුරවැසි සකල ජනයාට ද ගෞරවයක්ම වේ.
    ඒ සුසන්තිකා ජයසිංහ  සංවාදගත වූයේ එක් සුවිශේෂි තීරණයක් රට හමුවේ තැබීමටය.
    ඒ තීරණය කීමට අපි සුසන්තිකාට ඉඩ දෙමු. විනිශ්චය ඔබ සතුය.

     

    ප්‍රශ්නය:- මේ දවස්වල මොකද කරන්නේ?
    පිළිතුර:-
    මේ දවස්වල පුහුණුකාරියක ලෙස සේවය කරනවා. වෙන විශේෂ දෙයක් නෑ. දරුවෝ දෙන්නගෙ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

    ප්‍රශ්නය:- දැන් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයක් නැද්ද?
    පිළිතුර:-
    මම ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් විදියට වැඩ කළානේ. නමුත් 2015 ජනවාරි ආණ්ඩු පෙරැළියත් එක්ක ඒ රස්සාව මට නැති වුණා.

    ප්‍රශ්නය:- රස්සාව නැති වුණා ද? නැති කළාද?
    පිළිතුර:-
    මම හිතන්නේ නැති කළා. ඒ එක්කම මට ලැබිච්ච සියලු පහසුකම්, දීමනාත් අහිමි වුණා.

    ප්‍රශ්නය:- මොනවද ඒ ආණ්ඩුවෙන් ලැබුණු පහසුකම්?
    පිළිතුර:-
    මට කාර් එකක් දීලා තිබුණා රියදුරෙක් හිටියා. මාසිකව රුපියල් 80,000ක වැටුපක් ලැබුණා. ඒවා මට ලැබුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියටත්, ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිණියක් හැටියටත් කළ සේවයටයි.

    ප්‍රශ්නය:- ඔබට ඒවා අහිමි වෙන්නේ?
    පිළිතුර:-
    රජය මාරු වීමත් එක්ක තමයි. ඊට අවුරුද්දකට විතර පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට මට නැවත පත්වීමක් ලැබුණා.

    ප්‍රශ්නය:- පරණ වරප්‍රසාද, දීමනා ලැබුණාද?
    පිළිතුර:-
    නෑ. ඒ මොකවත්වත් නෑ. 2020 දක්වා කැබිනට් අනුමැතිය සහිතව මාව ක්‍රීඩා උපදේශිකාවක් විදියට බඳවා ගත්තා. ඒ වෙනුවෙන් මට මාසෙට රුපියල් 60,000 ක් විතරයි ලැබුණේ.

    ප්‍රශ්නය:- ඒත් ඔබ බාර ගත්තා?
    පිළිතුර:-
    ඔව්. මට අවුරුද්දෙ මුල මැද අග කියලා නෑ. ක්‍රීඩා උපදේශිකාවක් විදියටත් නොවෙයි ඔලිම්පික් පදක්කමක් දිනා ගත්ත එකම ක්‍රීඩිකාව විදියට රට පුරා ආරාධනා එනවා. විවිධ උත්සවවලට යන්න වෙනවා. එහෙම වුණාම මම හරි අසරණයි. මෙච්චර කාලයක් රටක් විදියට මාව බලාගත්තා. හැමදේම කළා. නමුත් දැන් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එහෙම ජීවත් වෙනකොට ඇත්තටම මට එදා කිව්වේ ජාතික වස්තුවක් කියලයි. ආසියාවෙම ගත්තොත්, ඉන්දියාව, චීනය, ජපානය වගේ රටකටවත් නෑ කෙටිදුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක්. ඇත්තටම මේක කිව යුතු දෙයක් නොවෙයි. ඔය මගේ ඇත්ත තත්ත්වය. ඇත්තටම ඒක හපන්කමක්. නමුත් මේ ක්‍රීඩා බලධාරින් මේ රටේ දරුවන්ට කිව්වේ නෑ. ගමෙන් කොස් දෙල් කාලා ආපු සුසන්තිකා ආසියාවේ කිසිම ක්‍රීඩිකාවකට කරන්න බැරි වෙච්ච දේ කළා කියලා. ඉතිහාසය තුළ ආසියාවේ කිසිම ක්‍රීඩිකාවක් කෙටි දුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනලා නෑ. ඒ අභිමානය මට තියෙනවා.

    ප්‍රශ්නය:- ඒ අභිමානය තියෙද්දී ඇයි ඔබ දේශපාලනයට ගියේ ?
    පිළිතුර:-
    ගොඩක් දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා. මට එහෙම අවබෝධයක් දැනීමක් නැති වුණත් මට හිතුණා රට යන පැත්තට මිසක් අපි යන පැත්තට රට එන්නේ නැහැ කියලා. මට එහෙම තේරුණා. පැත්තකට වෙලා හිටියොත් අපට කවදාවත් මොකුත්ම කරන්න වෙන්නේ නැහැ කියලා මට තේරුණා. පවතින රජයත් එක්ක යා යුතුයි කියලා තේරුම් ගත්ත නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සම්බන්ධ වුණේ. ඒ ක්‍රීඩාවට යමක් කරන්නයි.

    ප්‍රශ්නය:- ඒ කියන්නේ දේශපාලන පත්වීමක් නෑ?
    පිළිතුර:-
    මගේ පක්ෂය කාන්තා පක්ෂයයි. නමුත් ඒ වෙලාවෙ දී මම තීරණය කළා අපේ රාජ්‍ය නායකයාට උදව් කරලා ක්‍රීඩාවට සේවයක් කරන්න අවස්ථාවක් ලබා ගත යුතුයි කියලා. මේ රටේ යම්කිසි සහයෝගයක් ගන්න පුළුවන් වෙන්නේ නායකයත් එක්ක ගියොත් තමයි. ඒ නිසයි මම දේශපාලනයට සම්බන්ධ වුණේ.

    ප්‍රශ්නය:- ඒ වෙනුවෙන් ලැබුණු දෙයක් තියෙනව ද?
    පිළිතුර:-
    ලැබුණ දෙයක් කියන්නේ… එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව වුණත් මට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක්වත් ලබා දීලා නෑ. මම මේ රටට ඇත්තටම ගේන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය, ගෞරවය ගෙනාවා. මම මෙහෙම කතා කරන්න ඕන නෑ. මම මගේ රටට ආදරෙයි. මම දරුවන් දෙන්නෙක් හැදුවා. මං ගොඩාක් දේවල් හොයා ගත්තා. මම ලස්සන ගෙයක් හැදුවා. මම නැති කරගෙන ලැබිච්ච දේවල් විනාශ කරගන්න කෙනෙක් නෙවෙයි. මගේ අම්මා තාත්තා අදටත් රැකෙන්නේ මගෙන්. මගේ පවුලේ සහෝදරියෝ හතර දෙනෙක් හිටියා. එයින් අක්කලා දෙන්නෙක් දැන් ජීවතුන් අතර නෑ. අවුරුදු තුනක් වෙනවා එක අක්කා කෙනෙක් නැති වෙලා. එයා නැති වුණේ පිළිකාවකින්. දෙවැනි අක්කා දියවැඩියා රෝගයෙන් මිය ගිහින් මාස එක හමාරයි. පවුලේ කෙනෙක් හැටියට මට අහක බලන්න බෑ. මම ඒ වෙනුවෙනුත් කැප වුණා. මම ගෙදර අයත් එක්ක හැමදාම ජීවත් වුණේ.

    ප්‍රශ්නය:- විවාහය දෙදරන්නත් ඒක හේතුවක් වුණා.
    පිළිතුර:-
    ඔව්. ඇත්ත වශයෙන්ම තාම අපි දෙන්නා නීතියට අනුව වෙන් නොවුණත් අපි දෙපැත්තක තමයි ජීවත් වෙන්නේ. මට ඒ නිසා නොයෙක් නින්දා අපහාස විඳින්නත් වුණා. ඒක මට විතරක් උරුම දෙයක් නොවේ කියලා මම හිතනවා. මට කවදාවත් මගේ මාපියො සහෝදරියො අත හරින්න බෑ. දරුවෝ දෙන්නගෙ බරත් කරට අරගෙන මම ජීවත් වෙද්දී තමයි ආණ්ඩුව පෙරළුණේ. ඊට පස්සේ නායකයා වෙනස් වුණා. ඒ එක්ක මම අසරණ වුණා.

    ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක්ක වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් එක්කත් සම්බන්ධ වෙන්න තිබුණානේ.
    පිළිතුර:-
    ක්‍රීඩාව වෙනුවෙන් මට ඒ දේ කරන්න බැරි නෑ. මට ආරාධනා කරපු හැම දෙයකටම මම සම්බන්ධ වුණා. එදා වුණත් මම බලෙන් ගියේ නෑ. මට හරි පිළිගැනීමක්, තැනක් තිබුණා. මම ඒකත් එක්ක තමයි කටයුතු කළේ. දේශපාලනයේ ඇළිලා කරන්න ඕන කියන තැන මම නෑ. ඉතින් ඒ දෙයත් එක්ක මම දන්නා මට පෞද්ගලිකව ජීවත් වෙන්න පුළුවන්. නමුත් මගේ වියහියදම් එක්ක බැලූ විට මං රැකියාවක් කළ යුතුයි කියලා මට හිතෙනවා.

    ප්‍රශ්නය:- ඔබ කිව්වා මේ ආණ්ඩුව යටතෙත් රුපියල් 60,000 ක දීමනාවක් සමග ජොබ් එකක් ලැබුණා කියලා.
    පිළිතුර:-
    ඔව්, ඒක ලැබුණා. මට විශාල වගකීමක් එක්ක තමයි ඒ පත්වීම ලැබුණේ. ආධුනික ක්‍රීඩකයන් වගේම ජාතික තලයේ පුහුණු සංචිතය මට බාර වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතය හැටියට. ඒ වගේම ක්‍රීඩා ඇමැතිතුමාගේ ක්‍රීඩා උත්සව තියෙනවා නම් ක්‍රීඩාවේ උන්නතියට සංවර්ධනයට අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ විතරක් නොවෙයි. සමහර වෙලාවට ක්‍රීඩා වැඩසටහන්වලට සම්බන්ධ වෙලා වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. පිට්ටනියේ දී පවා හැම දෙයක්ම බලන්නේ හදන්නේ මම. ඇමැතිතුමා පත්වීම දෙන දවසෙම කිව්වා. “සුසන්තිකාට මේ ඩියුටිය බාර දෙන්න. විශේෂයෙන්ම එයාට ඉන්න තැනක් ලෑස්ති කරලා දෙන්න.” කියලා.

    ප්‍රශ්නය:- නමුත් ඒවා වුණේ නෑ ?
    පිළිතුර:-
    ඔව්, කියන්න කනගාටුයි. ඇමැතිවරයාගේ උපදේශිකාවක් වුණත් නැතත් මේ රටට මේ ආසියාවට ඔලිම්පික් පදක්කමක් ගෙනාපු මේ සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යාශයේ කාමරයක්. අඩු ගාණේ ගාර්ඞ් රූම් එක ළඟ පුංචි කාමරයක්වත් නැද්ද දෙන්න. ඔබ මේ ඉන්ටවිව් එක ගන්න ආවේ මගේ ගෙදරට. මට පුංචි කාමරයක් හරි තිබුණා නම් එතෙනට එන්න තිබුණානේ. මට පෑනක් ෆයිල් කවරයක් තියාගන්න මේස කෑල්ලක්වත් නෑ.

    ප්‍රශ්නය:- නමුත් පඩිය ලැබෙනවා?
    පිළිතුර:-
    ඒක තමයි අලුත්ම තත්ත්වය. මගෙ ගිය මාසේ අප්‍රේල් මාසයේ ඉඳන් මගේ පඩිය නවත්තලා.

    ප්‍රශ්නය:- ඒකට හේතුව?
    පිළිතුර:-
    ඒකට හේතුව තමයි මම මේක කෙළින් කියන්න ඕනෑ. මම කෙළින් කතා කරන කෙනෙක්. මට හොඳ කොන්දක් තියෙනවා. මට හොඳ ජවයක් තියෙනවා. එදා සිරසේ තිබුණා “ප්ලැටිනම් එවෝඞ් සෙරමනි” එක. ඒකෙදි ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සම්මානයක් මට ලැබුණා. ඒ සම්මාන උළෙලෙ දී මට අදහසක් ප්‍රකාශ කරන්න කිව්වා.

    ප්‍රශ්නය:- ඔබ මොකක්ද කිව්වේ?
    පිළිතුර:-
    ඊට කලින් මම කිව යුතුයි. මම ඒ ප්‍රකාශය කළේ මගේ තනතුරත් එක්කයි. මම කිව්වේ “රටක අවශ්‍යතාව වෙනුවෙන් දියුණුව, උන්නතිය වෙනුවෙන් කළ යුතු දෙයක් මේ මාධ්‍ය ආයතනය කරලා තියෙන්නේ. ඒකට මම අතිශයින්ම ගෞරවය කරනවා කියලා.

    ප්‍රශ්නය:- ඔබට එහෙම කියන්න විශේෂ හේතුවක් තිබුණා ද?
    පිළිතුර:-
    ඔලිම්පික පදක්කමක් දිනපු මම හුඟාක් වෙලාවට මම කියන්නේ කොහොමද කෙනෙකුට ක්‍රීඩකයෙක් වෙන්න. ක්‍රීඩිකාවක් වෙන්න කියලා. ඇත්තටම ක්‍රීඩකයෙක් වෙලා ක්‍රීඩිකාවක් වෙලා ජීවත්වෙන්න බැරි නම් මොකද මම අවුරුදු උත්සවයේ ඉඳලා ඔලිම්පික් දක්වා දුවලා ඔලිම්පික් පදක්කමක් දිනපු ක්‍රීඩිකාවක්. ඒ මම දැන් ක්‍රීඩාවෙන් සමු අරගෙන අවුරුදු 9 යි. ඔලිම්පික් පදක්කම අරගෙන අවුරුදු 17ක්. ඒ මම අද ඉන්න තැන ගත්තොත් මටම කනගාටුයි. එහෙම බැලුවම මම කොහොමද තවත් කෙනෙකුට කියන්නේ ක්‍රීඩාව තෝරාගන්න කියලා. මම කරපු දේ තවත් කවුරුවත් කරල නෑ. අපිට එහෙම කරනවා වගේ අයින් කරන්න එපා. ඩර්වින් පෙරේරා සර් ඊයේ පෙරේ දා මැරිලා ගියා. මම 1997 දී ලෝක රිදී පදක්කම ගත්තේ ඩර්වින් සර් යටතේ ටේ්‍රනින් කරලා. හැබැයි කවුරුවත් ඩර්වින් සර් මැරිලා යනකම් එක ඇගයීමක් හරි කළා ද? මම ඒ සම්මාන උළෙලෙ දී ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපිට දී කිව්වේ ඒ ඛේදවාචකය ගැනයි. අද බලන්න ශ්‍රියානි කුලවංශ, දර්ශා, සුගත්, මම අපෙන් ගන්න ප්‍රයෝජනය මොකක්ද මේ රට?. දවසට පැය දෙක තුනක් හරි පුහුණු සැසියක දී අපෙන් ප්‍රයෝජනයක් ගන්නවද? මහින්දානන්ද ඇමැතිතුමා ඉන්න කාලෙත් මම මේ ගැන කතා කළා. මම කියන්නේ මට වඩා දක්ෂ අය තව මේ රටේ කොච්චර ඉන්නවා ඇද්ද? නමුත් හරි පුහුණුකරුවෝ නොවෙයි පුහුණුකරුවන් වෙලා ඉන්නේ. මේක තමයි ඇත්ත. එදා මෙදාතුර ආව ක්‍රීඩා ඇමැතිවරුන් ගත්තම මට කියන්න කනගාටුයි. මම ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ පරිපාලනයට ආවේ දයාසිරි ජයසේකර ඇමැතිතුමාගේ කාලයේ දි. එතුමට අමතක ද දන්නේ නෑ. මම රටට ගෞරවයක් ගොනාව ක්‍රීඩිකාව. මගෙන රටට සේවයක් ලබාගත යුතුයි කියලා.

    ප්‍රශ්නය:- එදා සම්මාන උළෙලේ කතාවෙන් පස්සේ මොකද වුණේ?
    පිළිතුර:-
    ඒ කතාව කරලා මම ස්ටේජ් එකෙන්  පහළට බහින කොටම මට දයාසිරි ජයසේකර ඇමැතිතුමා කිව්වා. මම මේ වගකීමෙන් කියන්නේ එතැන ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් තුමත් හිටියා. මට ඇමැතිවරයා කිව්වා “තමුසේ එනවා මේ මාසේ පඩිය ගන්න.” කියලා.

    ප්‍රශ්නය:- ඔබට මොකද හිතුණේ?
    පිළිතුර:-
    මතක තියාගන්න මම බය නෑ. මට නැතිවෙන්න දෙයක් නෑ. මට තියෙන්නේ රටට ගෞරවය හා ජයග්‍රහණය ගෙනත් දීපු ඉතිහාසයක්. ඒ නිසා මට හරිම වේදනායි. ක්‍රීඩා අමාත්‍යාංශයේ මට තැනක් නැත්නම් මට තැන තියෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙ ද? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ද? මේ ක්‍රීඩා ඇමැතිට අමතක වුණාට එයා දැන් වර්තමාන ක්‍රීඩා ඇමැති. හැබැයි මම අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. ඒ නිසා මම එයාට නැවතත් කියනවා. එයා බුද්ධිමත් අමාත්‍යවරයෙක්. එයා හැම පැත්තෙන්ම දක්ෂයෙක්. එයාගේ ඥාන ශක්තියත් එක්ක එයා කල්පනා කළොත් මම කිව්ව දේ හරියට තේරුම් ගනීවි. ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය දේයි මම කිව්වේ.

    ප්‍රශ්නය:- ඇමැති දයාසිරි කිව්වා වගේම ඔබට පඩිය ලැබුණේ නෑ?
    පිළිතුර:-
    නෑ. ඒ කිව්වත් හරි මම සති දෙකකට විතර පස්සේ මට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් එවලා කිව්වා. “මගේ සේවය අවසානයි.” කියලා.

    ප්‍රශ්නය:- ඔබ කිව්වා ඒ සම්මාන උළෙලෙ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් හිටියා කියලා.
    පිළිතුර:-
    ඔව්. එතුමා මට කිව්වා “මදි ද අපි රුපියල් 60,000 ක් හරි දුන්නා. කට තිබ්බ පළියට කියවන්න එපා” කියලා. මම ඇත්ත කතා කළේ මට ඔය කාටවත් කඬේ යන්න ඕනැ නෑ. මේ ක්‍රීඩාව  යන තාලේ මට තේරෙනවා. අද ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක එක දේවල් පාවිච්චි කරලා දුවන්නේ. මේවා ගැන හොයන්න කෙනෙක් නෑ. කතා කරන්න කෙනෙක් නෑ. කවුද මේවට වග කියන්නේ.

    ප්‍රශ්නය:- ඒ හැට දාහත් නැතිව ඔබ කොහොමද දැන් ජීවත් වෙන්නේ?
    පිළිතුර:-
    ආදායම් මාර්ග කියන්නේ ඇත්තටම මම හොයාගත්ත මුදලක් තිබුණා. දේශපාලන කටයුතුවලට ඒ ගොඩාක් මුදල් වියදම් වුණා. එතැන දී මට කවුරුවත් විශේෂයෙන් උදව් කළේ නෑ. ඒ නිසා මම උපයා ගත්ත දේවලුත් මට හරි හරියට වියදම් වෙලා. මම මෙහෙම අසරණ වෙලා ඉන්න කොට  ජනාධිපති නීතිඥ ජයන්ත දොළවත්ත මහත්තයා හරහා ආරක්ෂක ලේකම්තුමාට කතා කළා. ඊට පස්සේ මාව මේ කාලය තුළ මාව හමුදාවේ කෙටිදුර පුහුණුකාරියක් හැටියට කොන්ත්‍රාත් පදනම යටතේ මාව බඳවා ගත්තා.

    ප්‍රශ්නය:- කීයක් ගෙවනවද?
    පිළිතුර:-
    මම ඉල්ලීමක් කළා. මට රුපියල් 60,000 ක් ගෙවනවා. ඉතින් සර් අමාරුවෙන් ජීවිතය ගෙනියන්නේ. ආසා කරන කෑමක් වුණත් දෙපාරක් හිතලා කන්නේ. ඔලිම්පික් පදක්කමක් දීලාත් ඇයි මට මෙහෙම වුණේ කියලා මම හිතනවා. මට රටේ ජනතාවගේ ආදරය ගෞරවය තියෙනවා. මට ඩෙංගු හැදිච්ච වෙලාවේ හැමෝම මට උදව් කළා. දියතලාවේ ඉඳලා මාව කොළඹ ගෙනාවේ චොපර් එකකින්. මට ඒ ආදරය ගැන පුදුම ගෞරවයක් තියෙන්නේ. ඒත් මට තියෙන්නේ රටට සේවයක් කරන්න අවස්ථාව අහිමිවීම, ඒ තුළම තමයි මට ආර්ථික ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ.

    ප්‍රශ්නය:- ඔබ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?
    පිළිතුර:-
    ක්‍රීඩා බලධාරින් මට සලකන්නේ මේ තරම්ම පහත් විදියට නම් මට තියෙන ලොකුව සම්පත තමයි ඔලිම්පික් පදක්කම.
    මම ඒක වෙන්දේසියේ දානවා.
    ප්‍රශ්නය:- ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා?
    පිළිතුර:-
    ඔව්. මම වෙන මොනවා කරන්නද?

    ප්‍රශ්නය:- ඔබ ක්‍රීඩා අමාත්‍යාංශයට මේ ගැන දැනුම් දුන්න ද?
    පිළිතුර:-
    මොනවා කියන්නද? මම එක පාරක් ඔය නිලධාරින් එක්ක කතා කළා. ඒ අය කියනවා අපි දැන් සැලසුම් කරගෙන යන්නේ ක්‍රීඩා කෞතුකාගාරයක් හදන්න කියලා. මම අහනවා ඒකේ තැන්පත් කරන්නේ ක්‍රීඩා ඇමැතිගේ පදක්කම් ද කියලා. මේ රටේ ලොකුම පදක්කම තියෙන්නේ මං ගාව. ඒක කෞතුකාගාරයට දෙන්න කලින් මම පදක්කම වෙන්දේසි කරනවා. මොකද මට ඔක්කොටම කලින් දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙන්න ඕනා.

    ප්‍රශ්නය:- ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දාලා?
    පිළිතුර:-
    මම යනවා ඕස්ටේ්‍රලියාවට. ඒ වගේ රටක් මාව පිළිගනීවි. මට ඊට වඩා දෙයක් කරන්න ඉතිරිවෙලා නෑ.

    [rns_reactions]

  • අද වෝනර්ගෙන් ගුටි කන්නේ කවුද? ලොවම අවදියෙන්…

    සිය තුන්වැනි අයි.සී.සී. ශූරයන්ගේ කුසලානයට කුරුමානම් අල්ලන ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ සුපුරුදු ප්‍රතිවාදියා වන නවසීලන්තයට එරෙහිව බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (2) තරග බිමට පිවිසෙයි. මේ තරගය මෙවර ශූරයන්ගේ කුසලාන තරගමාලාවේ දෙපිලේහිම පළමු තරගය වන අතර දස්කම් පීරි ගාමින් දෙපිලම කල් මරමින් බලා සිටින්නේ අද තරගය ජයගෙන මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගැනීමටය.

    ඕස්ට්‍රේලියානු පිලේ බිහිසුණු හතරදෙනාගේ කල්ලිය ලෙස හඳුන්වන මිචෙල් ස්ටාක්, ජොෂ් හේසල්වුඞ්, පැට් කමින්ස් සහ ජේම්ස් පැටින්සන් බර්මින්හැම් තණතීරුවේදී නවසීලන්ත පිලේ පිතිකරුවන් සෑහෙන ලොකු පීඩනයකට ඇද දමනු ඇතැයි අනාවැකි පළවූයේ කල්තියාමය. එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කිරීමෙන් සෑහෙන පළපුරුද්දක් ඇති ජෝන් හේස්ටින්ස් ද කණ්ඩායමේ සිටින බැවින් ඕස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත්ට අද ක්‍රීඩා කරන කණ්ඩායම තෝරාගැනීම ලෙහෙසි වන්නේ නැත. කෙහොම වෙතත් මේ හතරදෙනාම අද තරගයට ක්‍රීඩා නොකරනු ඇතැයි ඊයේ පස්වරුවේ ඕස්ට්‍රේලියානු නායකයා කීවේය.

    මේ සිවුදෙනා ගැන කිසියම් සන්සන්දනාත්මක ඇහැකින් බලන්නේ නම් 70 දශකයේ අග සහ 80 දශකයේ මුල කොදෙව් නායක ක්ලයිව් ලොයිඞ්ගේ යකඩයින් රෑනට නොදෙවනි නොවේ.

    වරින් වර විවිධාකාරයේ ආබාධවලට ගොදුරුවීම නිසා බිහිසුණු හතරදෙනාම එකම තරගයට ක්‍රීඩා කරන්නේ කළාතුරකිනි. එසේ වුවත් ස්මිත්ගේ කල්පනාව වී ඇත්තේ මේ සිවුදෙනාම තරගයට ක්‍රීඩා කරද්දී පන්දු රැකීමේ අවදානම වැඩි බවයි. තුන්ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයනුත් සිටින බැවින් ඔහු දැන් විකල්ප දෙකක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටී.

    නවසීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් එක්දින තරගාවලියේදී දස්කම් පෑ මාකස් ස්ටොයිනිස් සහ පිතිහරඹයටත් හැකියාව ඇති එංගලන්ත තණතීරුවල වැඩි දස්කම් දක්වන හේස්ටින්ස් අද තරගයට භාවිත කිරීමට ස්මිත් අදහස් කරයි.

    ලොව හොඳම යෝකර් පන්දු යවන්නා ලෙස කිසිදු විවාදයකින් තොරව විචාරකයන් විසින් හඳුන්වනු ලබන මිචෙල් ස්ටාක් සහ ජේම්ස් පැටින්සන් ආබාධවලට ලක්ව සිට යළි කණ්ඩායමට එක්වූයේ ඊයේ පෙරේදාය. එබැවින් අද තරගයට වේගපන්දු යවන්නන් සිවුදෙනාගෙන් දෙදෙනකු පමණක් ක්‍රීඩා කරවීම ස්මිත්ගේ බලාපොරොත්තුවයි.
    ඕනෑම ආකාරයක ක්‍රිකට් මුහුණුවරකදී පිත්තෙන් දස්කම් දැක්විමට නායක ස්මිත්, ඬේවිඞ් වෝනර් සමග ඕස්ට්‍රේලියානු පිල එක්දින තරග බිමේ ඉතා බලසම්පන්න මුල්පෙළ පිතිකරුවන් සිටින කණ්ඩායම් අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

    ඕස්ට්‍රේලියානුවන් කෙතරම් බලවත් වූවත් හෙට තරගයට එක්වන්නේ සිය අසල්වාසී පසමිතුරාගේ ක්‍රීඩා වපසරිය ගැන හොඳ අවබෝධයකින් යුතුවය. නායක කේන් විලියම්සන් සහ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පිතිකරුවන් අතරත්, ටිම් සවුති හා ටේ‍රන්ට් බෝල්ට් පන්දු යවන්නන් අතරත් අමාරුකාරයන් ඕස්ට්‍රේලියානුවෝ දනිති.

    මේ අතර නවසීලන්ත නායක කේන් විලියම්ස් ඊවේ පැවසුවේ දෙපිලම ඔවුනොවුන්ගේ බලකොටු තුළ කෙතරම් ක්‍රීඩා කර තිබුණත් මෙවැනි මධ්‍යස්ථ තණතීරුවක ක්‍රීඩා කිරීමට ලැබීම සතුටට කාරණාවක් බවය. ඔහු කියන්නේ මධ්‍යස්ථ ස්ථානයක තරගවදින බැවින් දෙපිලටම ඇත්තේ එක හා සමාන වාසි අවාසි බවයි.

    එසේවුවත් තරගයෙන් ජයගැනීමට නම් ආක්‍රමණශීලී පන්දු යැවීමේ අංශයක් ඇති ඕස්ට්‍රේලියානුවන් සමග ධනාත්මක හැඟීමකින් ක්‍රීඩා කළ යුතුව ඇතැයි ඔහු පවසයි. ඉනිමට කදිම ආරම්භයක් ගෙනදිය හැකි වර්ගයේ පිතිකරුවකු වන ගප්ටිල් කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන නවසීලන්ත නායකයා කියන්නේ මෙම තරගය නවසීලන්තයට හැම අතින්ම වාසිදායක වනු ඇති බවයි.

    එය බොහෝ දුරට නිවැරැදි අනාවැකියක් බව සිතෙන්නේ පසුගිය තරගාවලියේදී එජ්බැස්ටන් ක්‍රීඩා පිටිය ඕස්ට්‍රේලියානුවන්ට එහෙම පිටින්ම අවාසනාවත්ත තැනක් බවට පත්වී තිබූ නිසාය. එවර (2013) එංගලන්ත පිල සමග එජ්බැස්ටන් පිටියේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගයෙන් ඕස්ට්‍රේලියාව පරාජයට පත්වූ අතර බර්මින්හැම් නගරයේ සමාජශාලාවකදී එංගලන්ත පිතිකරු ජෝ රූට් වෙත ඬේවිඞ් වෝනර්ගේ මුෂ්ඨි ප්‍රහාරයක් එල්ල වූයේ එදින මැදියම් රැයේදීය. ඊට පසුව ආරම්භ වූ අළු බඳුන ටෙස්ට් තරගමාලාවේ පළමු තරග දෙකම වෝනර්ට අහිමි වූයේ තරග තහනමකට ලක්වූ නිසාය.

    අද තරගයට එජ්බැස්ටන් පිටියට බසිද්දී ඕස්ට්‍රේලියානුවන්ට ඒ කනගාටුදායක මතකය නැවතත් සිතට වදදෙනු නොඅනුමානය.

    [rns_reactions]

  • ගෝඨාභයගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි…

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා රහස් පොලිසිය කැඳවීම මත අද (02) උදෑසන 9.30 පමණ සිය ආරක්ෂකයින් සමග රහස් පොලිස් මූලස්ථානය වෙත පැමිණි අතර මේ වන විටත් ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙසේ ප්‍රශ්න කරනු ලබන්නේ මාධ්‍යවේදී කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙනි.

    රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ප්‍රශ්න කිරීම අද අවසන් කළ නොහැකි බවයි. ඒ අනුව තව දිනයක් හෝ දින කිහිපයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට රහස් පොලිසිය වෙත පැමිණීමට සිදුවනු ඇත.

    කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට මේජර් බුලත්වත්ත ඇතුළු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙති. ඔවුන්ගෙන් හෙලිවූ කරුණු මත මෙම ප්‍රශ්න කිරීම සිදුකෙරේ.

    [rns_reactions]
  • පරාජිත කොදෙවුවෝ ලේ අතිසාරයට අමුඩ ගැසිමට සැරසෙයි..

    කොදෙව් ක්‍රිකට් නාමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිසිදා ඉවත්කළ නොහැකි ආකාරයෙන් සුවිශේෂී තැනක් තබන්නට 90 දශකය දක්වා කොදෙව් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් සමත් වුවද වත්මන් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයන් ගේ ක්‍රියාකලාපය නිසා කොදෙව් නාමය ක්‍රිකට් ලෝකයේ හුදකලා වී ඇත.

    ලෝක කුසලාන ආරම්බයේ තරඟාවලි දෙකම ජයගත් කොදෙව් කණ්ඩායම මෙවර ICC චැම්පියන්ස් කුසලානයට පවා සුදුසුකම් ලැබුවේ නැත.එවැනි තත්වයකට පත්වීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ කොදෙව් ආදිපත්‍යට දැඩි කැළලකි.

    කොදෙව් නම කැත කර ගැනීමට අපුරු හේතුවක් සොයාගත් කොදෙව් ක්‍රිකට් බලධාරීන් ඒ සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.ඒ යෝජනාව නම් කැත කරගත් නම වෙනස් කර වෙනත් නමක් භාවිත කිරීමටය.

    ඒ අනුව මෙතෙක් කොදෙව්වන් හැදින්වූ “The West Indies Cricket Board” යන නාමය ඉවත් කර පසුගිය බදාදා සිට “Cricket West Indies” ලෙස හදුන්වන බවට අලුතෙන් පත්වූ කොදෙව් ක්‍රිකට් ප්‍රදාන විදායක ජොනී ග්රෙව් මහතා පවසයි.

    මෙම නම වෙනස් කිරීමෙන් නොනැවතී 2018-2023 කාලය සදහා කොදෙව් ක්‍රිකට් නැංවීමට තමන් සතුව යෝග්‍ය වැඩපිළිවලක් ඇතැයිද ජොනී මහතා පවසා ඇත.

    [rns_reactions]

  • පීඩාවට පත් අයට හැඳුනුම්පත් ගන්න විශේෂ වැඩපිළිවෙළක්

    විපතට පත් වු ප්‍රදේශවල ජනතාවගේ නැති වූ ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

    හැඳුනුම්පත නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසු ග්‍රාම නිළධාරිවරයාගේ සහ ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් මත නව හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කළ හැකියි.

    ඊට අදාළ අයදුම්පත් ග්‍රාම නිළධාරිවරයාගෙන් හෝ ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් ලබා ගත හැකි බව  පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම ඉල්ලුම්පත් සඳහා ප්‍රමුඛතා ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    [rns_reactions]
  • කැළණියේදි කලවැද්දා පරද්දන්න තමා සුදානම් – මර්වින්ගෙන් ප්‍රකාශයක්

    හමුදාවේ සේවය කරන පුද්ගලයෙකුට කිසි විටකත් දේශපාලනික දැනුමක් නොමැති බවත් එනිසා ජනතාවගේ හෘද ස්පන්ධනය ගැන වැටහීමක් ද නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
    රට තුළ පවතින ව්‍යවසනකාරී පාරිසරික තත්ත්වය දුරු කිරීම වෙනුවෙන් කැලණිය ශ්‍රි උත්පලවන්න විශ්ණු මහා දේවාලයේ ඊයේ (01) පැවති සෙත් පිරිත් දේශනාවකට සහභාගී වීමෙන් අනතුරුව මර්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
    මේ අතර තමා කැලණිය ප්‍රදේශයට සිදු කර ඇති සේවාව පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය නම් සතා සිවුපාවන්ට තිබෙන ඉව ඇති කර ගන්නා ලෙස තමා ඉල්ලීමක් කරන බවත් සමහර සත්වයන්ට තියෙන හැකියාව කලවැද්දාට නොමැති බව ද ඔහු පැවසීය.
    කෙසේ වෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ රජය මීට වඩා උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ස්නායු පද්ධතිය දුර්වල වී ඇති සමහර රජයේ අමාත්‍යවරුන් එම තත්ත්වය පරීක්ෂා කර බැලිය යුතු බව ද ඔහු වැඩි දුරටත් පැවසීය. 
    [rns_reactions]
  • මහින්දගේ කොන්‍ත්‍රාත් ඉටුකළ ඝාතන සැකකාර සේනානායකට ඇප…

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය.

    ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට ඇප කොන්දේසිවල ඇතුළත් කෙරුණු අතර සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද ඔහුට නියම කෙරිණි.

    ඊට අමතරව අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත් නියෝග කෙරිණි. සාක්කිකරුවන්ට බලපෑම් කිරීම ද තහනම් කෙරුණු අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කෙරිණි.

    [rns_reactions]

  • ජීවිතයත් මරණයත් අතර සෙල්ලම් කරමින් පාසල් යන දරු පැටව්. (Video)

    ජීවිතයත් මරණයත් අතර සෙල්ලම් කරමින් පාසල් යන දරු පැටව්.
    ඒ අතින් අපි සහ අපේ දරුවෝ තාමත් වාසනාවන්තයි නේද…?

    https://www.facebook.com/playface2017/videos/1532407300123204/

    [rns_reactions]

  • ආර්ථිකයත් ගංවතුරෙද ? ගංවතුර විපතේ ආර්ථික බලපෑම් මෙන්න…

    ජලය අපට සම්පතකි. එහෙත් ගංවතුර ජනතාවට විපතකි. මේ අවස්‌ථාවේ ගංවතුර තත්ත්වය සහ නායයැම් නිසා අපේ ජනතාවට මහත් විපතක්‌ සිදුව තිබේ. අනපේක්‍ෂිතව මහ වැසි ඇදහැලීම නිසා මේ ගංවතුර තත්ත්වයන් සහ නායයැම් සිදුවිය. වර්ෂාව නතර කිරීමට ආණ්‌ඩුවට නොහැකිය. එසේම වෙනත් ආපදා සිදුවීම නතර කිරීමද ආණ්‌ඩුවකට කළ නොහැකිය. එහෙත් යම් ආපදාවකට පෙරත් පසුත් එහි හානිය සහ බලපෑම් අවම කර ගැනීමට අපට කළ හැකි දේවල් තිබේ. රජයක්‌ පියවර ගත යුතු වන්නේ ඒ වෙනුවෙනි. ආපදා කළමනාකරණයේදී එය සිදු විය යුතු දෙයකි. බොහෝ විට අපේ රටේ සිදුවන්නේ ආපදාවක්‌ සිදු වූ පසු ඒ සඳහා සහන සැලසීම ඇතුළු වෙනත් ක්‍රියා මාර්ග ගැනීමයි. එහෙත් එය ආපදා කළමනාකරණයෙන් කොටසක්‌ පමණි. මේ නිසා ආපදාවලදී සිදුවන මිනිස්‌ ජීවිත හා දේපළ හානිය අතිවිශාලය. මේ අවස්‌ථාවේදීත් ගංවතුර හා නායයැම් නිසා සිදුව ඇති මිනිස්‌ ජීවිත දේපළ විනාශය අතිවිශාලය. මේ ලිපිය ලියමින් සිටින අවස්‌ථාව වන විට වාර්තා වී තිබූ මරණ ගණන 202 කි. අතුරුදන් වීම් ප්‍රමාණය 96 කි. මේ ලිපිය ඔබ කියවන විට ඇතැම් විට මේ මරණ ගණන තවත් ඉහළ ගොස්‌ තිබෙන්නටද පුළුවන. මිනිස්‌ ජීවිත විනාශය අපට මුදලින් මනින්නට පුළුවන් කමක්‌ නැත. තවමත් තක්‌සේරු කර නැතත් මහජනයාගේ දේපළ විනාශය නම් තක්‌සේරු කළ හැකිය. ඊට අමතරව රටේ යටිතල පහසුකම්වලටද විශාල හානියක්‌ සිදුව තිබේ. මේ පසුබිම තුළ මේ විපතේ ආර්ථික බලපෑම් පිළිබඳව මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

    මේ රජය බලයට පත් වීමෙන් පසු අයහපත් ආර්ථික කළමනාකරණයේ අහිතකර බලපෑම්වලට අමතරව ස්‌වභාවික ආපදාවලින්ද රටේ මහජතාවට බොහෝ පීඩා විඳින්නට සිදුව ඇත. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වීම ද මහජනතාවට ඇති කරනුයේ විපතකි. පීඩාවකි. එසේම ස්‌වභාවික ආපදා නිසාත් ජනතාවට මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයටත් ඉමහත් හානි සිදුවෙමින් තිබේ. නිසි ආපදා කළමනාකරණයක්‌ නොමැති නිසාත් ඇතැම් අහිතකර මිනිස්‌ ක්‍රියා කාරකම් නිසාත් මේ ආපදාවල බලපෑමද වැඩි වී තිබේ. මේ නිසා විපතේ ස්‌වභාවය හා ප්‍රමාණය විශාල වී තිබේ. කෙසේ හෝ මේ ඉමහත් විපත දැන් සිදුව හමාරය. මේ ගැන දේශපාලනිකව එකිනෙකාට දොස්‌ නගාගනිමින් සිටින බවක්‌ද පෙනේ. එහෙත් අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතු වී මේ විපතින් ගොඩඑන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

    විපත සිදුවන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද රටේ සිටියේත් නැත. ආපදා කළමනාකරණ ඇමැතිවරයා සහභාගී වීමට ගිය විදෙස්‌ සමුළුව මැයි 26 දින අවසන්ව තිබූ බවද වාර්තා වේ. අගමැති රනිල් වික්‍රමසිංහ නම් ගංවතුර විපත සිදුවන විට රටේ සිටියේය. එහෙත් ඔහු දැන් රටේ නැත. ඇමති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළ පරිදි ඔහු ඇමෙරිකාවට ගියේ වෛද්‍ය පරීක්‍ෂණ සඳහාය. ඒ සඳහා ද මාස 18 ක ප්‍රමාදයක්‌ සිදුව තිබූ බව ද පවසමින් ඇමැති රාජිත, අගමැතිවරයාගේ රට ගමන සාධාරණීකරණය කළේය. ජනාධිපතිවරයාගේ, ආපදා කළමනාකරණ ඇමතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ විදෙස්‌ ගමන් කලින් සැලසුම් කළ ඒවා නිසාත් ආපදා කලින් කිය කියා පැමිණෙන්නේ නැති නිසාත් ඔවුන් විදේශගත වීම ගැන අප දොස්‌ කියන්නේ නැත. විපත සමනය කර ගැනීම සඳහා රජය පැත්තෙන් ගත යුතු පියවර නිසි පරිදි ගන්නවා නම් විය යුත්තේ එයයි. එහෙත් එවැනි තත්aත්වයක්‌ද දක්‌නට නොලැබිණි. ඒ නිසා මේ අයට අප කියා සිටින්නේ විශාල පිරිසක්‌ මියගොස්‌ තවත් විශාල පිරිසක්‌ අතුරුදන්ව මහජන දේපළ සහ රටේ යටිතල පහසුකම් විනාශයට පත්ව ඉමහත් විපතක්‌ සිදුව ඇති මොහොතක රජයක්‌ ලෙස සහ රජයේ වගකිව යුත්තන් ලෙස මීට වඩා වැඩි වගකීමකින් ක්‍රියා කළ යුතු බවයි. ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෝකයේ මොන උත්සවයකට ගියත් තම රටේ බලවත් ආපදාවක්‌ ඇති වූ බව දැනගත් විට ඒ කටයුතු කඩිනමින් නිම කොට ඔහු වහාම සිය රටට පැමිණිය යුතුය. මේ විපතින් ගොඩ ඒමේ ක්‍රියාවලියට නායකත්වය දිය යුත්තේ ඔහුයි. ඒ වගකීමද ඔහු අතින් නිසි ලෙස ඉටුව නැත. ඔහු පැමිණි පසු එය සාධාරණීකරණය කිරීම සඳහා නොයෙකුත් කතන්දර කියනු නිසැකය. මෙලෙස රජයේ වගකීම් නිසි ලෙස ඉටු නොවන තත්ත්වය හමුවේ මහජනතාව විසින් ස්‌වේච්ඡා වෙන්ම සංවිධානය වී විපතට පත් ජනතාවට පිහිට වීමට බොහෝ දේ කළේය. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට මෙන්ම ඔවුන්ට ආහාර පාන ලබාදීමට ද බොහෝ දේ කළේය. මාධ්‍ය ආයතනද මේ මොහොතේ ස්‌ෙච්ඡාවෙන් ඉදිරිපත්ව ජනතා ආධාර එකතු කරමින් ඒවා අදාළ විපතට පත් ජනතාව අතට පත් කිරීම සඳහා කළ මෙහෙය ද අති විශාලය. මාධ්‍ය ආයතන ගැන නොයෙක්‌ අයට නොයෙකුත් විවේචන තිබෙන නමුත් ඔවුන් විපතට පත් ජනයා වෙනුවෙන් මේ අවස්‌ථාවේ කළ මෙහෙය අගය කළ යුතුය. එය රජයද ඇගයීමට ලක්‌ කළේය.

    ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික කටයුතුවලට හානි සිදු වී ඇති අතර එම තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා වහාම රජය මැදිහත් වී ක්‍රියා කළ යුතුව තිබේ. මේ සඳහා රජය විසින් කමිටුවක්‌ද පත්කර ඇති අතර එහි කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාය. එහි රැස්‌වීමක්‌ ඉකුත් මැයි 29 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. මෙය කැඳවා තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියමය පරිදිය. මෙහි මූලික අරමුණ වූයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ව්‍යාපාර හා ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට අවශ්‍ය පියවර සැලසුම් කිරීමයි. එය අත්‍යවශ්‍ය දෙයක්‌ බවට කිසිම සැකයක්‌ නැත. කබීර් හෂීම් ඇමැතිවරයා ඇතුළු තවත් ඇමතිවරු කීප දෙනෙක්‌ සහභාගී වූ මේ රැස්‌වීමට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් සහ මූල්‍ය හා කල්බදු ආයතන ප්‍රධානීන්ද කැඳවා තිබුණි. මෙම රැස්‌වීමේදී ගන්නා ලද ප්‍රධාන තීරණ මෙසේය.

    Ö විපතට පත් ප්‍රදේශවල පදිංචි ජනතාව විසින් ලංකාවේ පුද්ගලික හා රාජ්‍ය යන කවර බැංකුවකින් හෝ ලබා ගෙන තිබෙන පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහනයක්‌ ලබා දීම.

    මේ අනුව සහනයන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක්‌ නිකුත් කරන ලෙස අදාල අමාත්‍ය කමිටුව මහ බැංකු අධිපතිවරයාට උපදෙස්‌ දී ඇත.

    Ö ගංවතුර හේතුකොට ගෙන ආර්ථික කටයුතුවලට සිදු වූ හානිය හා පසුබෑම සම්බන්ධයෙන් සියලු දිසාපතිවරුන්ගෙන් විස්‌තරාත්මක වාර්තාවක්‌ කැඳවන ලෙස එහිදී අගමැති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස්‌ දෙන ලදී. මෙම වාර්තාව ජුනි මස 2 වැනිදාට පෙර ලබා ගැනීමට නියමිතය.

    Ö ගංවතුර හේතු කොටගෙන ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් තමන්ගේ ගනුදෙනු කරුවන් හරහා වාර්තා ලබා ගන්නා ලෙස, අගමැතිවරයාගේ උපදෙස්‌ පරිදි සියලු පුද්ගලික හා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට එහිදී දැනුම් දෙන ලදී.

    Ö “සෞභාග්‍ය” සහ ” ස්‌වශක්‌ති” ණය යෝජනා ක්‍රම හරහා ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා, අවශ්‍ය කරන සියලු මුදල් එම ණය යෝජනා ක්‍රම සඳහා නිකුත් කරන ලෙසටද අගමැතිවරයාගේ නියමය පරිදි මෙහිදී භාණ්‌ඩාගාර ලේකම්වරයා වෙත දැනුම් දෙන ලදී.

    Ö ගංවතුරෙන් හානි වූවන් සඳහා ගෙවිය යුතු රක්‍ෂණ වන්දි මුදල් ගෙවීම කඩිනම් කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්‌ පරිදි මෙහිදී සියලුම රක්‍ෂණ සමාගම් වෙතද, රාජ්‍ය රක්‍ෂණ මණ්‌ඩල වෙතද වැඩි දුරටත් නියම කරන ලදී.

    මෙම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මෙම රැස්‌වීමට සහභාගී වූ මහ බැංකු නිලධාරීන්, රාජ්‍ය සහ පුද්ගලික බැංකු නිලධාරීන්, රක්‍ෂණ, ක්‌ෂුද්‍ර මූල්‍ය හා මූල්‍ය ආයතන ප්‍රධානීන් සියල්ලෝම ජුනි මස 2 වැනි දින නැවත රැස්‌වී, අදාල ඇමැති කමිටුව වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

    ගංවතුර තත්ත්වය පොදුවේ මේ වසරේ (2017) කෘෂිකර්ම නිෂ්පාදිතයට මෙන්ම ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපානු ඇත. මේ තත්ත්වය වී නිෂ්පාදනයට සහ එළවළු වගාවන්ට සිදුකරන හානිය හමුවේ ඒවායේ සැපයුම සීමා වේ. ඒ තුළ සහල් සහ එළවළු මිල ගණන් ඉහළ යාමට ඉඩ ඇත. ගිය වසරේ (2016) පැවැති අහිතකර කාලගුණිලක තත්ත්වය කෘෂිකාර්මික කටයුතුවලට අහිතකර ලෙස බලපෑවේය. ඒ අනුව 2015 වසරේදී සියයට 4.2 කින් වර්ධනය වූ කෘෂිකර්ම අංශයේ වර්ධනය ගිය වසරේ (2016) දී සියයට 4.2 කින් පසුබෑමට ලක්‌විය. මේ ගැන මහ බැංකු වාර්තාවේ මෙසේ සඳහන්ය.

    “විශේෂයෙන් වසරේ (2016) දෙවන කාර්තුවේ දී පැවැති ගංවතුර සහිත කාලගුණික තත්ත්වය මෙන්ම වරින්වර පැවැති වියළි කාලගුණික තත්ත්වන් වැනි වසර පුරාම පැවැති අයහපත් කාලගුණික වාතාවරණය කෘෂිකාර්මික කටයුතු අඩාල වීමට ප්‍රධාන වශයෙන් හේතු විය”.

    දැන් මේ වසරේ (2017) ද ගංවතුර තත්ත්වයන් ඇතුළු අහිතකර කාලගුණික තත්ත්වයේ බලපැම්වලට කෘෂිකර්ම අංශයට මුහුණදීමට සිදුවීම හමුවේ කෘෂිකර්ම අංශය යථා තත්ත්වයට පත් වීමට බාධා ඇති වනු ඇතැයි සිතිය හැකිය.

    සංචාරකයන්ට හෝ සංචාරක හෝටල්වලට ගංවතුර හෝ නායයාම් හේතුවෙන් කිසිදු බලපෑමක්‌ සිදුව නැතැයි සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා පෙරේදා (30) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. ඇතැම් විදේශ ජනමාධ්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාවේ ගංවතුර විපතට ලබාදී ඇති පුළුල් ප්‍රචාරය හමුවේ ඇතැම් විදෙස්‌ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති විදෙස්‌ සංචාර අවලංගු කිරීමට ඉඩ ඇත. එහෙත් ජෝන් අමරතුංග ඇමැතිවරයා කීවේ එවැනි කිසිදු අවශ්‍යතාවක්‌ නැති බවයි. ගංවතුර තත්ත්වය දැන් සමනය වී ඇති බවත් මහාමාර්ග ඇතුළුÊයටිතල පහසුකම් වහාම යථා තත්ත්වය පත්කිරීමට රජය පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීවේය. සංචාරක ආකර්ෂණීය ස්‌ථානවලට ද ගංවතුරෙන් බලපෑමක්‌ සිදුව නැතැයි ඇමැතිවරයා කියයි. කෙසේ වෙතත් අපේ ගංවතුර විපත පුළුල් ලෙස විදෙස්‌ ජනමාධ්‍ය හරහා ලෝකයට ප්‍රචාරය වීම නිසා තරමක්‌ දුරට හෝ අපේ සංචාරක පැමිණීම්වල අඩුවීමක්‌ සිදුවනු ඇත. මේ වසර (2017) තුළ ගෙවී ගිය කාලයයේදී සංචාරක පැමිණීම්වල වර්ධනය මෙන්ම සංචාරක ඉපයීම්වල වර්ධනයද සැළකිය යුතු ලෙස අඩුවී ඇත. 2017 පෙබරවාරි මාසයේ විදෙස්‌ සංචාරක පැමිණීම් 197517 දක්‌වා අඩු වූ අතරම සංචාරක ඉපයීම්ද ඇමෙරිකානු ඩොලර් මිලියන 338.9 ක්‌ දක්‌වා අඩු විය. මේ නිසා යුද ජයග්‍රහණයෙන් පසු මහින්ද රාපක්‍ෂ රජය සමයෙ පැවැති සංචාරක ක්‍ෂේත්‍රයේ ආකර්ෂණීය ප්‍රගතිය දැන් ක්‍රමයෙන් මන්දගාමී වෙමින් තිබේ. මෙය අහිතකර තත්ත්වයකි. සංචාරක ක්‍ෂේත්‍රයෙන් උපරිම ප්‍රගතියක්‌ අත්කර ගැනීමට සමත් දේශපාලන නායකත්වයක්‌ මෙන්ම සංචාරක ආයතනවලට නායකත්වයක්‌ද අවශ්‍යව තිබේ. සංචාරක ක්‍ෂේත්‍රයේ යම් වර්ධනයක්‌ තිබුණත් (එයද අඩුවෙමින් තිබේ) එහි උපරිම විභවතාව අත්කර ගැනීමට සමත් වැඩපිළිවෙලක්‌ ඇති බවක්‌ පෙනෙන්නට නැත.

    [rns_reactions]

  • විදේශිකයෙක් සෞදිය ගැන ලෝකයට බොරු කිවුවොත් වසර 20ක් හිරේට….

    සෞදියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලංකික ශ්‍රමිකයෙක් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත්, එය අපරාධ වරදක් සේ සලකා වසර 05 සිට 20 දක්වා වන සිරදඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් කරන්නට සිදුවන බව එහි ආරක්ෂක අංශ විසින් එහි සිටින ශ්‍රී ලංකා තානාපති අංශ වෙත දැනුම් දී තිබේ.

    මේ බව තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුම්වත් කරන ලෙසටද ඔවුන් අදාළ තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    සෞදි අරාබියේ රැකියාවකට ගොස් සිටියදී තමන් සේවය කළ නිවසේ හාම්පුතා වකුගඩුවක් ඉල්ලා බලහත්කාරයෙන් සිරකරගෙන සිටි බව කියූ කාන්තාව හා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව එරට ‍පොලීසිය විසින් මෙම දැනුම් දීම කර තිබේ.

    අංක 28, නිවාස ඉදිරිපිට, 2 කණුව, කණ්ඩලම පාර, දඹුල්ල යන ලිපිනයේ පදිංචි ඩබ්.ඩබ්. ඉන්ද්‍රාකාන්ති නමැති මෙම කාන්තාව සේවය කරන නිවසේ හාම්පුතා විසින් ඇගේ වකුගඩුවක් ඉල්ලා බලෙන් රඳවාගෙන සිටින බවත් සඳහන් කරමින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් ඇයව කඩිනමින් මුදාගන්නා ලෙස අදාළ තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
    ඒ අනුව රියාද් හි පිහිටි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ඇය ඊයේ (31) ම්උ776 දරන ගුවන් යානයෙන් පෙ.ව. 10.00ට දිවයිනට පැමිණි අතර ඇයට හිමි මාසයක වැටුප සහ දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සඳහා මුදල් ද හාම්පුතා විසින් ලබාදී තිබේ.

    මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට සෞදි තානාපති කාර්යාල නිලධාරීන් රියාද් සිට කි.මී. 475 දුර ගෙවා ඇය සේවය කරන නිවස පිහිටා තිබෙන දාරිහා ‍පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ‍පොලිස් නිලධාරීන් හාම්පුතා සමග අදාළ කාන්තාව ‍පොලීසියට ගෙන්වා ගෙන තිබේ.

    මේ පිළිබඳව විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම සේවිකාව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව යැයිද කාර්යංශය පවසයි. ඉන් අනතුරුව මෙම ගෘහසේවිකාව ‍පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ඇය වෙනුවෙන් සමාව අයදීමෙන් අනතුරුව අදාළ කාන්තාව නිදහස් කර ඇත.

    තවද ‍පොලිස් නිලධාරීන් තානාපති කාර්යාල නිලධාරීන්ට දන්වා ඇත්තේ මින් ඉදිරියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් විසින් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් වසර 5 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිරදඬුවමකට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් වසර 5 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිරදඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් වන්නට සිදුවන බවයි. මේ බව තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුවත් කරන ලෙසද වැඩිදුරටත් දන්වා සිටී.

    [rns_reactions]

  • ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ – දැනගන්න කියවන්න..

    ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

    අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.

    ‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

    ‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

    ‘එහෙනම්…?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

    ‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

    එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

    ‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

    මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

    අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.

    තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයේ දී හා කොළඹ දී

    එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.

    ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

    ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

    තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.

    යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

    කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

    එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

    [rns_reactions]