Blog

  • අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය එක රැයකින් වැනසෙයි !

    අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය එක රැයකින් වැනසෙයි !

    දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්‍රාම සේවා වසමේ නාවාගස්හින්න ප්‍රදේශයට  පසුගිය 10  දින රාත්‍රියේ කඩා වැදුණු වන අලි  රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් 200ක් පමණ විනාශ කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    දඹුල්ල නගරයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටා ඇති නවාගස්හීන්න  ප්‍රදේශය වැඩි වශයෙන් ගොවීන් ජිවත්වන ප්‍රදේශයක් බවත් දින ගණනාවක සිට වන අලි රංචුවක් ගම් වැදී මෙම විනාශය සිදුකරන බවත් ඔවුහු පවසති.

    නාවගස්හින්න ප්‍රදේශයට 10 රාත්‍රියේ පැමිණි වන අලින් රංචුව එම් ප්‍රදේශයේ ගොවීන් රැසකගේ පොල්  ගස් පෙරළා  ආහාරයට ගෙන තිබෙන බවත් ඇතැම් පොල් ගස් වල ඉහළ කොටසේ ගොබය ඇද ආහාරයට ගෙන ඇතැයි ගොවීහූ පෙන්වා දෙති.

    මේ විනාශය ගැන අදහස් දැක්වූ ගොවි මහතෙකු මෙසේ පැවසුවේය, ‘වන අලි රංචුව  විනාශ කළ පොල් ගස් ඉතා හොඳ  ඵලදාවක් තිබුණ ගස්. අපි අවුරුදු ගණනාවක් තිස්සේ කළ මහන්සිය එක රැයකින් ඉවරයි. මේ විනාශය අපිට දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට දරුවෙක් නැති වුණා වාගේ දුකක් අපිට දැනෙන්නේ’

    ‘අපි අවුරුදු ගණනක් තිස්සේ අතින් වතුර ඇදලා තමයි මේ පොල්ගස් ලොකුකර ගත්තේ. ඒත් ඒ සේරම ඉවරයි. මේ ගස් බිම දාලා ඒකේ ගොබේ කෑල්ලක් විතරයි කාලා තියෙන්නේ. අපි බලධාරීන්ට කියන්නේ මේ වන අලි ගැටලුවට ඉක්මන් විසදුමක් දෙන්න. පැලැස්තර විසදුම් නම් එපා. ඒ වගේම මේ විනාශයට අපිට වන්දියක් ලබාදිය යුතුයි’

    ගල්කිරියාගම රණව රක්ෂිතයේ සිටින වන අලින් රංචුවක් මේ දිනවල පලාගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා හබරත්තාවල  ගම්මාන   විනාශ කරමින් මේ වන විට දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පවා ඇතුළු වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

    වහා විදුලි වැටක් ඉදිකර මෙම වන අලි හානිය අවම කර දෙන ලෙසත් එසේ නොමැති වුවහොත් රටේ පොල් ඵලදාවට බරපතළ හානියක් සිදුවන බවත් මෙම ගොවි ජනතාව පෙන්වා දෙති.

    ‘තාම සිදු වුණේ පොල්ගස් විනාශ කිරීම විතරයි. ඒත් මෙහෙම ගියොත් ජීවිත හානි පවා සිදුවිය හැකියි. ඒ නිසා ජීවිත හානියක් සිදුවීමට  පෙර  වහාම මෙම වන අලි ගම් වැදීම  පිළිබඳව  බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතුයි’ ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • රසායනික පොහොර යථාර්ථය

    රසායනික පොහොර යථාර්ථය

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

    යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව, බංගලාදේශය හා ඉන්දියාව වුවත් අපට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඇත. මීට ප්‍රධාන හේතුව නම් ලංකාවට ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂ හා බද්ධ වූ ප්‍රතිපත්ති මාලාවක් තිබීමය. පෙර සඳහන් කළ සියලු රටවල් වර්තමාන දියුණුව අත්පත් කරගත්තේ තමන්ගේම වූ ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියා කිරීමෙනි.

    ආණ්ඩුකරණයේ දේශපාලන පක්ෂය වෙනස් වූවද ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස් වූයේ නැත. එහෙත් අපේ රටේ තත්ත්වය වෙනස්ය. සෑම වසර පහකටම වරක් ජාතික යැයි කියන ප්‍රතිපත්ති වෙනස් වේ. එවිට ලියුම් කවරයේ සිට ලිපි ශීර්ෂ දක්වා සියල්ල වෙනස් වේ. එසේ වෙද්දී රටකට පැවැත්මක් සෙවීම කොහොමටත් දුෂ්කරය. රටක් සැබෑ දියුණුවක් ලබාගැනීමට නම් නිසැකයෙන්ම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මයට, කර්මාන්තවලට යනාදී වශයෙන් ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. විද්‍යාත්මක පදනමකින් ගොඩනැගිය යුතු මෙම ජාතික ප්‍රතිපත්ති වෙනස් කිරීමට දේශපාලන පක්ෂ කටයුතු නොකළ යුතුය. මන්දයත් ඒවා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් කාලානුරූපව රටේ දියුණුව සඳහා සකසා ඇති බැවිනි. එහෙත් අවාසනාවට අපේ රටේදී ජාතික යැයි කියන ප්‍රතිපත්ති ආණ්ඩු අනුව පමණක් නොව ඒ ඒ ආණ්ඩුවල ඇමැති මාරුවේදී පවා යළි වෙනස්වේ.

    යම්කිසි දේශපාලන පක්ෂයක් බලයට පත්වන්නේම රටේ තත්ත්වය දැනගෙනය. රටේ ආදායම වියදම ණය බර ආදිය ගැන ඔවුහු හොඳින් දනිති. ඒ නිසා රටක් පාලනය කිරීමට පත්වන ආණ්ඩුවකට ඒ රට පරීක්ෂණාගාරයක් හැටියට භාවිත කළ නොහැකිය. එහෙත් අවාසනාවට ලංකාවේදී බලයට පත්වන බොහෝ පිරිස් ආණ්ඩුකරණයේ බොහෝ දේ අත්හදාබැලීමට භාවිත කරන්නේ රට හා ජනතාවයි.
    මේ ආණ්ඩුව එසේ අත්හදාබැලීමට භාවිත කළේ රටේ ජීවනාලිය බඳු කෘෂිකර්මාන්තයයි.

    මෙය ඉතා භයානක ක්‍රීඩාවකි. කෘෂිකර්මාන්තය යනු ලංකාවට අදාළව ගත්කල අතිශය සංවේදී විෂයකි. ඒ ගැන තීන්දුවක් ගන්නේ නම් එය කළයුත්තේ සංයුක්තව සිතා බලා දූරදර්ශී ලෙසිනි. නොඑසේව හීනෙන් අවදි වූවන් ලෙසින් කෘෂිකර්මාන්තයට අදාළව තීන්දු ගත නොහැකිය.

    ලංකාවේ කෘෂිකර්මාන්තය යනු වසර හැත්තෑවක් පමණ දිගු කාලයක් තිස්සේ කෘත්‍රිම පොහොර මත යැපෙන කෘෂිකර්මාන්තයකි. ඊට හේතු සාධක ද ඇත. මේ මුළුලොවම රසායනික පොහොරවල නැඹුරු වූයේ හරිත විප්ලවය හෙවත් කෘෂිකාර්මික විප්ලවයත් සමගය.

    ඊට හේතුවූයේ ලොව ජනගහනය ඉතා වේගයෙන් වැඩිවෙද්දී ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වීමය. මෙය ලංකාවට ද අදාළය. මුළුමනින් කාබනික කෘෂිකර්මාන්තයකට යන්නට හැකි නම් මුළු ලොවම ඊට කැමැති වනු ඇත. එසේ නම් අප විමසිය යුත්තේ එවැන්නකට යථාර්ථයේදී ඉඩක් තිබේද කියාය.

    කාබනික පොහොර භාවිතයේදී එක්වරම පසට අයන පෝෂණය නිදහස් කරන්නේ නැත. කාබනික පොහොරෙන් ඒවා නිදහස් කරන්නේ ඉතාම මන්දගාමීවය.

    ගසකට කාබනික පොහොර යෙදූ විට ඒවා පාංශු ජලය ඔස්සේ උරාගන්නා අතර ඊට මාස තුනක් වැනි සැලකිය යුතු කාලයක් ගතවේ. එය කිසිසේත් කෙටිකාලීන බෝගවලට ගැළපෙන්නේ නැත.

    එසේ වුවහොත් අප වෙනස ආරම්භ කළයුත්තේ බීජවල සිටමය. මගේ විද්‍යාත්මක දැනීම හා අත්දැකීම අනුව නම් එසේ නොවුවහොත් සිදුවන්නේ සමස්ත කෘෂිකාර්මික පද්ධතියම බිඳවැටීමයි. අද වනවිට එම ඛේදනීය තත්ත්වයට රට ඇද දමා තිබේ. ඊට හේතුව නම් කෘෂිකර්මයෙහි භාවිත පොහොර ගැන ඉදිරිපත් කළ කුප්‍රකට තර්කයි.

    මේ අමුතු තර්ක ඉදිරිපත් කළ පිරිස කියන ආකාරයට පොහොරවලින් පසට බැර ලෝහ විශාල ප්‍රමාණයක් පැමිණ තිබේ. එනිසා පොහොර හා ඒවායේ සංයුතිය ගැන යම් දළ අදහසක් ඇතිකරගැනීම සාමාන්‍ය ජනයාට ද වටී. කෘත්‍රිම පොහොර හැටියට අප ප්‍රධාන වශයෙන්ම යොදන්නේ එන්.පී.කේ. ය. නයිට්‍රජන් සඳහා යූරියාත් පොස්පරස් සඳහා පොස්පරස් පොහොරත් පොටෑසියම් සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් හෝ ඊට අන්තර්ගත කළ වෙන යම් ලවණයකි.

    යූරියා යනු කෘත්‍රිමව පර් යේෂණාගාරයේ නිපදවන්නකි. මෙසේ කෘත්‍රිමව නිෂ්පාදනය කරන පොහොරේ කිසිදු අවස්ථාවක බැර ලෝහ අඩංගු වන්නේ නැත. බැර ලෝහ අඩංගුවීමට නම් එය ස්වාභාවික පරිසරයෙන් ගත් එකක් විය යුතුය. බැර ලෝහ යනු ස්වාභාවික පසේ තිබෙන දෙයකි. එසේ ස්වාභාවික ලෙස බැර ලෝහ නිෂ්පාදනය වන්නේ කෙසේද? පස නිර්මාණය වන්නේ පාෂාණවලිනි. නැතහොත් පාෂාණ ජීර්ණයවීමෙනි. පාෂාණ ජීර්ණය වෙද්දී නොයෙකුත් බැර ලෝහ සහ අකාබනික මූලද්‍රව්‍ය විවිධ සාන්ද්‍රණවලින් පවතී.

    පාෂාණය ජීර්ණයවීමත් සමග ඒ සංයුතීන් ද ස්වාභාවිකවම පසට ලැබේ. එය ස්වාභාවික ක්‍රියාවලියකි. ජපානය වැනි රටවල පස්වල බැර ලෝහ සාන්ද්‍රණය වැඩිය. මේ බැර ලෝහ පැමිණෙන්නේ නිතර ඇතිවන භූමිකම්පා හා ගිනි කඳු මගින් එන කැඩ්මාවලිනි. එසේ බලද්දී ජපානයේ පසෙහි බැර ලෝහ අන්තර්ගතය ලංකාවේ පසට වඩා කීප ගුණයකින් වැඩිය. එසේය කියා ජපන් වැසියන්ට අපට මෙන් වකුගඩු රෝග තිබේද? නැත. එසේනම් මේ කුප්‍රකට තර්කවලින් මෙතෙක් කර ඇත්තේ මහජනයා මුළා කිරීමය. මේ අයුරින්ම පොහොර සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් ගන්නේ නිධිවලිනි. එය ලවණයකි. ලවණවල බැර ලෝහ අඩුය. බැර ලෝහ පැමිණිය හැකි යැයි සිතිය හැකි පොහොරක් වන්නේ පොස්පේට් පොහොරය. ලංකාවේ එප්පාවල පොස්පේට් නිධියේ බැර ලෝහ කිසියම් ප්‍රමාණයක් ඇත. එහෙත් එසේ බැර ලෝහ තිබුණේ යැයි කියා ද එම අන්තර්ගතයන්ගෙන් නිෂ්පාදනය කෙරෙන පොහොරෙන් පසට බලපෑමක් වන්නේ නැත.

    මිනිස් සිරුරක් රෝගී වීමට කොපමණ බැර ලෝහ ප්‍රමාණයක් ඇතුළත් විය යුතුදැයි මේ වනවිට විද්‍යාඥයෝ ගණනය කර ඇත්තාහ. නිදසුනකට එකවරම ආසනික් විශාල ප්‍රමාණයක් මිනිස් සිරුරට ඇතුළු කළහොත් පුද්ගලයා මිය යයි. ඉතාම සුළු සාන්ද්‍රණයකින් වසර ගණනක් තිස්සේ භාවිත කිරීමෙන් ද මිනිසකු මරණයට පත්විය හැකිය.

    නිදසුනකට බංගලාදේශයේ පසේ ආසනික් සාන්ද්‍රණය ඉතා අධිකය. ඉන්දියාවේ, පාකිස්ථානයේ, තායිලන්තයේ, වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ ඇතුළු වී වගා කරන රටවල් රැසක්ම මෙසේ පසේ ආසනික් සාන්ද්‍රණය වැඩි ස්ථානවලට නිදසුන් ලෙස දැක්විය හැකිය.

    ඊට බලපා ඇති භූවිද්‍යාත්මක හේතු ගණනාවක් ද ඇත. එවිට එම පස්වල වගා කරන වී වල නිරන්තරයෙන්ම ආසනික් සාන්ද්‍රණය අධිකය. මෙසේ ආසනික් සාන්ද්‍රණය වැඩි නිසා බංගලාදේශයේ මිනිසුන් ලක්ෂ ගණනකට පිළිකා හටගෙන ඇත. එහෙත් පිළිකා යැයි කී විට ද අප තේරුම් ගත යුතු කරුණක් තිබේ. එනම් පියයුරු පිළිකා, මොළේ පිළිකා, පෙණහලු පිළිකා, බඩවැල් පිළිකා ආදී වශයෙන් පිළිකා වර්ග ද ගණනක් ඇත.

    ආසනික් වැඩිවීමෙන් හටගන්නේ ආසාපෝසික් නමැති සමේ පිළිකාය. මෙම පිළිකාව ලංකාවේ කිසිම තැනක දකින්නට ලැබී නැත. එහෙත් බංගලාදේශයේ ලක්ෂ ගණනක් මිනිසුන්ට මෙම පිළිකාව හටගෙන ඇත. ඊට හේතුව ආසනික් සහිත ජලය පානය හා ආසනික් සහිත සහල් පරිභෝජනයයි.

    ලංකාවේ අපි කෘත්‍රිමව නිර්මාණය කරගත් ප්‍රශ්නය නිසා නම් දැන් මුහුණදීමට සිදුවන්නේ උත්ප්‍රාසජනක ඉරණමකටය. කාබනික වගාවට යනවා යැයි කියා අනුගමනය කළ පියවරවලින් සිදුවූයේ අස්වැන්න අඩුවීමය. දේශීය පරිභෝජනයටත් සහල් අඩු වූ විට යළිත් කරන්නේ විදේශවලින් සහල් ආනයනය කිරීමයි. එසේ ආනයනය කරන සහල් වගා කළේ කාබනික පොහොරවලින්ද? ඒ ආනයනික සහල් වගා කර ඇත්තේ ආසනික් සාන්ද්‍රණය අධික පසකදැයි අප දන්නවාද? මේ ආදී වශයෙන් ගත්විට අප විසින් කරනු ලැබ ඇත්තේ බලෙන් ප්‍රශ්න රැසක් නිර්මාණය කරගැනීමය.

    කුප්‍රකට උගතුන් කී පරිදි පොහොරෙන් බැර ලෝහ පැමිණියේ නම් අවුරුදු හැත්තෑවක් තිස්සේ දේශීය ගොවිතැනට යෙදූ පොහොරවලින් කොපමණ විශාල බැර ලෝහ ප්‍රමාණයක් ලක් පොළවේ තිබිය යුතුද? වෙනත් රටවල පස්වලත් කොපමණ විශාල ප්‍රමාණයක් බැර ලෝහ තිබිය යුතුද? පොහොරවලින් මේ කියන පරිදි බැර ලෝහ පාංශුගත වන බවට ඔප්පු කිරීමට ලොව කිසිම තැනක කළ විද්‍යාත්මක පරීක්ෂණයක් නැත. මේවා අමූලික බොරුය.

    මෙහි වේදනාව බොහෝදුරට අත්විඳින්නට අපට සිදුවන්නේ ලබන වසරේදීය. දැනටමත් වගාවේ නිරත ගොවීහු සිටින්නේ අතිදුෂ්කර අඩියකය. මේ ඇතැම් ගොවීහු වකුගඩු රෝගවලින් පෙළෙන්නෝය. ඔවුන්ට පානය කිරීමට පිරිසුදු ජලයවත් නැත. පීඩිතයෝය. එහෙත් දියුණු රටවල නම් ගොවීහු වනාහි සුඛෝපභෝගී රථ වාහනවලින් යනෙන දියුණු ආර්ථික ජීවිත හිමි පිරිසකි.

    ඊට හේතුව නම් ඒ රටවල ප්‍රතිපත්ති සකසන්නන් විසින් සිය ගොවියා ව්‍යවසායකයකු දක්වා වර්ධනය කරනු ලැබීමය. අවාසනාවට දේශීය ගොවියා මේ අසරණ අඩියට තල්ලු කරනු ලැබ තිබෙන්නේ ද දේශපාලකයන් විසින්මය. එක කන්නයක් වගා නොකළහොත් ඊළඟ කන්නයේදී ජීවත්වෙන්නටවත් ලංකාවේ ගොවියාට නොහැකිය. දැන් බෙල්ලෙන් අල්ලන්නට හදන්නේ ඒ ගොවියාගේය.

    රසායනික පොහොර නිසා බැර ලෝහ එන්නේ යැයි මොහොතකට සිතමු. එවිට ඔවුන් ඊට විකල්පය ලෙස යෝජනා කරන්නේ කාබනික පොහොරයි.

    කාබනික පොහොර යනු මොනවාද? දියර පොහොර, කොම්පෝස්ට්, වසුරු කාබනික පොහොර වර්ග කීපයකි. මේවායේ වස විස නැද්ද? මගේ එක් පර් යේෂණ ක්ෂේත්‍රයක් නම් කසළ කඳුවලින් සිදුවන පරිසර දූෂණයයි. මගේ පර් යේෂණවලදී දුටු දෙයක් නම් මේ කසළ කඳුවලින් ගලා යන ජලයේ බැර ලෝහ අනන්තවත් ඇති බවය.

    ලංකාවේ කසළ කඳු 260කට අධික සංඛ්‍යාවක් ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පවත්වාගෙන යන්නේ ඉන් දෙකක් පමණි. කොම්පෝස්ට් සැකසීමට මේ කසළ කඳුද භාවිත කරයි. කොම්පෝස්ට් සම්බන්ධයෙන් මා කළ පර් යේෂණවේදී දැකගැනීමට හැකිවුණේ ඒවායේ මයික්‍රොප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් අන්තර්ගත බවයි. මයික්‍රොප්ලාස්ටික්වලටත් අමතරව මේ කොම්පෝස්ට්වල බැර ලෝහ ඉතා අධික සාන්ද්‍රණවලින් පවතී. කසළ කඳුවලින් සැකසූ මේ කොම්පෝස්ට්වලින් ඇත්තටම කෙරෙන්නේ කුණු ගොඩේ පවතින බැරලෝහ ගොවිබිමට මුහු කිරීමය.

    ලංකාවේ කසළවලින් සකසන කොම්පෝස්ට්වල බැර ලෝහ තිබේ නම් චීනයෙන් ගෙනෙන කොම්පෝස්ට්වල ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. තවද මයික්‍රොප්ලාස්ටික් හා බැඳුණු ටැලේට් වැනි විෂ කාබනික සංයෝග ද මේ හරහා ගොවිබිමට පැමිණේ. (පොලිතින් හා ප්ලාස්ටික්වල නම්‍යශීලීත්වය වර්ධනය කරනු ලබන්නේ ටැලේට් විසිනි.) මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නැත. ඌරු හා කුකුල් කොටුවලින් ගන්නා වසුරු පොහොරවල කතාව ද මීට වෙනස් නැත. මේ සත්ව ගොවිපොළවලදී හෝමෝන හා ප්‍රතිජීවක යනු නිතර භාවිතයට ගන්නා දේය.

    මේ සතුන්ගේ වසුරුවල අදාළ හෝමෝන හා ප්‍රතිජීවක අධිසාන්ද්‍රණවලින් තිබේ. පරීක්ෂණ මගින් අප ඒ බව සොයාගෙන ද ඇත. මේ වසුරු පොහොර කුඹුරට එකතු කළ විට පෙර කී හෝමෝන හා ප්‍රතිජීවක ජලය මගින් වී පැළයට උරාගන්නා අතර ඒවායේ අවසාන නැවතුම මිනිස් සිරුරයි. මෙසේ ආහාරයෙන් ප්‍රතිජීවක සිරුරට පැමිණීමේ අවුල නම් රෝගයක් වැළඳුණු අවස්ථාවක ඖෂධයක් හැටියට අප ගන්නා ප්‍රතිජීවකවලින් අපට ඵලක් නොවීමයි. කාබනික කෘෂිකර්මයක් ගැන කතා කරන්නෝ මේවා ගැන සොයා තිබේද?

    මට හිතෙන හැටියට නම් රට මේ තැනට වැටීමට අප සියලුදෙනාම වගකිව යුතුය. නිදසුනකට අතීතයේදී අමාත්‍යාංශ ලේකම්වරයකු යනු පරිපාලනය පිළිබඳ කප්පිත්තෙකි. ඒ කප්පිත්තා තීන්දු ගැනීමට අදාළ ප්‍රතිපත්ති සැකසුම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා දැනුවත් කරයි. එහෙත් දැන් තත්ත්වය තිබෙන්නේ කනපිට පෙරළිලාය. තනතුරුවලට පැමිණෙන්නෝ එක්කෝ ඇමැතිගේ හෙංචයියෙකි. නැත්නම් පක්ෂයේ හෙංචයියෙකි. මෙයින් සිදුවන්නේ එම තනතුරේ වගකීම ඉටු නොවීමය. මේ නිසා අද වනවිට ලංකාවේ ජනප්‍රිය කර ඇති වැරැදි මත ප්‍රචාර රැවටීම් රැසකි. ඒවාට කිසිදු විද්‍යාත්මකභාවයක් නැති අතර ඇත්තේ හුදු දේශපාලනයම පමණි.

    රජරට ජලයේ ආසනික් ඇතැයි නාථ දෙවියන් කළ අනාවරණය ඊට එක් කුප්‍රකට උදාහරණයකි. පර් යේෂණ කිරීමට ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී. නාථ දෙවියන් හෝ කතරගම දෙවියන් කීවා යැයි කෙරෙන පර් යේෂණ ගැන අපි නම් දන්නේ නැත. සාමාන්‍ය ජනයා මෙවැනි විප්‍රකාරවලින් රැවටීම පසුපස ඇත්තේ ද දේශපාලනයයි. ඒ දේශපාලනයේ ඇත්තේ කොමිස්, තනතුරු, වරදාන, වරප්‍රසාද මිස ජනතා සේවයක් නම් නොවේ. ඉතින් මා සිතන්නේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යනු සාමාන්‍ය ජනයාට මේ දුර්මත ගැන ඇත්ත කීමට ප්‍රාමාණිකයන් පෙරට පැමිණිය යුතු අවස්ථාවක් බවය.

    සමාජයට දේශපාලනයට විද්‍යාවට අදාළ විෂය රැසකි. ඒවායේ ප්‍රාමාණිකයෝ වනාහි ඒ ඒ විෂයෙහි දැනුම ප්‍රතිනිෂ්පාදනය කරමින් අත්දැකීම් ලැබුවෝය. එවිට තමන්ට අදාළ නොවන විෂය ගැන තීරණාත්මක මැදිහත්වීම් කිරීම රටකට අදාළව ගත්විට ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වුව පාර කැපිය හැකිය.

    අප වෛද්‍යවරුන්ගේ කාරිය කරන්නට ගියහොත් සිදුවන්නේ මහා විනාශයකි. මේ තර්කය කෘෂිකර්මයටත් පොදුය. මේ රටේ කෘෂි විද්‍යාඥයන්, ස්වාභාවික සම්පත් පිළිබඳ විද්‍යාඥයන්, පාංශු විද්‍යාඥයන්, පරිසරය පිළිබඳ විද්‍යාඥයන් සිටින්නේ ඒ පිළිබඳ කතා කිරීමටය. පොහොරෙන් බැර ලෝහ එන බවට තර්ක කරමින් කාබනික කෘෂිකර්මයට යන්නට වැරැදි තර්ක හැදුවෝ අයත්වන්නේ ද මේ විෂය පටලවාගත් ගොඩටය. මේ තර්කයෙන් සිදුවූයේ සාමාන්‍ය ජනයා මුළා කිරීම පමණි. ඒ අර්ථයෙන් බලද්දී මෙතෙක් අපෙන් ඉටු නොවූ වගකීම ඉටු කිරීමට අපට එළඹී ඇත්තේ ද ස්වර්ණමය අවස්ථාවකි. නාථ දෙවියන්ගෙන් ආසනික් මතුවීමත් පොහොරවලින් බැර ලෝහ මතුවීමත් යන නාටකීය දේශපාලනයේ ඇත්තේ එකම පදනමකි. එහි නිරුවත් ඇත්ත ජනයා හමුවේ හෙළිදරව් කිරීම සෑම විෂය ප්‍රාමාණිකයකුගේම වගකීමකි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

    සංවාද සටහන බිඟුන් මේනක ගමගේ – ලංකාදීප පුවත්පත ඇසුරිනි

  • දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

    දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

    රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා උදෑසන හතර සිට දහවල් වන තුරු ම දැඩි තදබදයක් පැවතිය ද මෙදින ආර්ථික  මධ්‍යස්ථානය යම් පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

    කන්ද  උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු බොහොමයක් ආර්ථික මධ්‍යස්ථානයට  නොලැබී  ඇති අතර පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු වර්ග ද සියයට 90කින්  පමණ පහළ වැටී ඇත.

    ආර්ථික  මධ්‍යස්ථානයට වට්ටක්කා, අමුමිරිස්, බීට් රූට් සහ කැකිරි වැනි එළවළු වර්ග වැඩි වශයෙන් ලැබී තිබිණි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ සමස්තයක් ලෙස සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් මාස වල  දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට  ලැබෙන එළවළු  ප්‍රමාණය අඩුවන බවය. එමෙන්ම ඊට හේතුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ කන්න මාරුවීමේ කාලරාමුව බව ද වසර 10ක පමණ දත්ත පරික්ෂා කිරීමේදී වුවද මෙම තත්ත්වය පහසුවෙන් දැකබලා ගැනීමට හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් මෙවර ඊට වඩා වෙනස් ආකාරයකින් වෙළෙඳපොළ හැසිරෙන බවත් සාමාන්‍යයෙන් දිනකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 30ක් 35ක් සහ ඇතැම් දිනවල එළවළු කිලෝ ලක්ෂ 50 ඉක්මවා ලැබෙන බවත් එහෙත් අද දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණේ එළවළු කිලෝ ලක්ෂයක් එකහමාරක් දෙකක් පමණ බවත් ඔහු පැවසුවේය.

    එළවළු මිල දී ගැනීම සඳහා එන ව්‍යාපාරිකයින්ගේ මෙන්ම ගොවීන්ගේ නිෂ්පාදන ද අඩු වීම පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවූවක් බව ද විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

    ආර්ථික  මධ්‍යස්ථානයට තම අස්වැන්න රැගෙන විත් සිටි ගොවීන් පිරිසක් කියා සිටියේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ රටේ පවතින කෘමිනාශක හා රසායනික පොහොර හිගකම නිසා ගොවීන් බහුතරයක් එළවළු අස්වැන්න නෙළීම අතහැර දමා වගාවෙන් පවා ඉවත්ව සිටින බවය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ සභාපති  යු. බී. ඒකනායක මහතා කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු අලෙවි කිරීමේ දිවයිනේ ප්‍රමුකම  වෙළෙඳ මධ්‍යස්ථානයක් බවත් එළවළු වගාකරන ගොවීන් සමග තම  ව්‍යාපාරික ප්‍රජාව ගහට පොත්ත මෙන් බැදී සිටින බවත්ය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඒකනායක මහතා, ‘එළවළු සහ දේශීය ලොකු ලූනු වගා කිරීම් සඳහා ව්‍යාපාරිකයන් ගොවීන්ට පොහොර, කෘමිනාශක, බීජ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා කෝටි ගණනාවක් මුදල් වියදම් ලබා දෙනවා. ඒක බොහෝ කාලයක් තිස්සේ සිදුවන දෙයක්. හරියට සම්ප්‍රදායක් වගේ. නමුත් මෙවර එකම ගොවියකු හෝ තම ව්‍යාපාරිකයන්ගෙන් වගාවට අවශ්‍ය පොහොර, තෙල් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා  මුදලක් ලබාගෙන නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී එළවළු සහ වගාවන්වල විශාල අඩුවක් සිදුවන බවයි’

    මෙහිදී ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ විදේශීය බීජ වර්ග ලංකාව පුරා ගොවීන්ට අලෙවි කොට  දේශීයව නිෂ්පාදනය කරගන ගන්නා පොහොර භාවිතය කිරීම සඳහා රජය උපදෙස් ලබාදී තිබීම නිසා ගොවීන්ට බරපතළ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවය.

    ‘ප්‍රශ්නය තියෙන්නේ මේ විදේශීය බීජවලට හරි හරියට රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධනාශක යෙදිය යුතුයි. ඒවායින් හරියට අස්වැන්නක් ගන්න පුළුවන් එහෙම කළොත් විතරයි. එහෙම නොකොට කාබනික පොහොරවලින් නිසි ඵලදාවක් ගන්න බැහැ’’

    දිවයිනේ මහ  පොළොවට සරිලන බීජ නිෂ්පාදනය කොට ලබා දුන්නේ නම් ගොවීන් වගාවට එක්වන බව පෙන්වා දෙමින්  ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙහි ආදීනව ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට මුළු රටටම දැක බලා ගැනීමට හැකිවනු ඇති බවය.

    සටහන සහ ඡායාරූප – කංචන කුමාර ආරියදාස

  • 2022 අය වැය හෙට පාර්ලිමේන්තුවට

    2022 අය වැය හෙට පාර්ලිමේන්තුවට

    2022 මුදල් වර්ෂය සහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අය වැය කථාව ප.ව 02.00 ට ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙයයි.

    මෙම පනත් කෙටුම්පත ඔක්තොම්බර් මස 07 වැනිදා පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා  සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29  දින ගැසට් පත්‍රයේ පළ කෙරිණි.

    මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව  තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අටදහසක්  වන  ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ.

    නොවැම්බර් 13 සෙනසුරාදා  සිට  නොවැම්බර් 22 සඳුදා  දක්වා  දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ. නොවැම්බර් 22 වැනි සදුදා ප.ව 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    නොවැම්බර් 23 වැනි අඟහරුවාදා  සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. දෙසැම්බර් 10 වන දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද  විකාශය කෙරේ.

    අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (12) සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගිවීමට අවසර ලබා දී තිබේ.

    හෙට දිනයේදී ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරේ.

    හෙට ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ දෙවැනි අයවැය ලේඛනයයි.

    අයවැය කථාව සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය පැවැත්වේ. එහෙත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

  • විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

    විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

    සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස සම්බන්ධ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. දැනට 55 ක් වන විශ්‍රාම වයස 60 ක් වුව ද සේවකයන්ට තම අවශ්‍යතාව අනුව වයස 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
  • කොවිඩ් – 19 : නව නියෝග කිහිපයක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

    කොවිඩ් – 19 : නව නියෝග කිහිපයක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

    කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා එම නියෝග බලපැවැත්වෙනු ඇත.

    ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර දෙන උපරිම තැනැත්නන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කර ඇති බවයි.

    යම් තැනැත්තෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරමින් යම් ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර ලබාදීම හෝ ඊට සහභාගීවීම නොකළ යුතු බව ද නව නියෝගවල සඳහන් ය.

  • ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ 1/3 ලබාදීමට මුදල් ඇමති එකඟවෙයි

    ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ 1/3 ලබාදීමට මුදල් ඇමති එකඟවෙයි

    විෂමතාව ඉවත් කරන්න අමතරව රුපියල් මිලියන 30000ක්

    සමස්ත අය-වැය ලේඛනයෙන් ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනයට සියයට 7.51ක්

    විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා අද (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට ගුරු- විදුහල්පති  වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රණාමය පුද කළහ.

    දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ලබන අය-වැයෙන් අමතර රුපියල් මිලියන 30000ක් වැය කරන බවත් ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මෙරට අධ්‍යාපනය සඳහා වැය කරන මුදල සමස්ත අය-වැයෙන් සියයට 7.51ක් වනු ඇතැයි මෙම හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

    ඒ අනුව වෘත්තිය සමිති ඉල්ලීම ඉටු කිරීම ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්තුති කළේය.

    අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කළේය.

    ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙහි දී ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සම්මත කළ යෝජනාවලිය මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතාට භාර දුන්නාය.

    1997 නිර්මාණය වූ මෙම අර්බුධයේ සම්පූර්ණ වැටුප් විෂමතාව ඉවත් කිරීමට යම් කාල රාමුවක් අවශ්‍ය බව පිළිගත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයෝ එහි ආරම්භයක් ලෙස තුනෙන් එකක කොටස ලබන අය-වැයෙන් එකවර ලබා දීම ගැන සතුටු වන බව පෙන්වා දුන්හ.

    මෙම හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

    අපි මේ පිළිබඳව මුලින්ම සාකච්ඡා කළේ ජූලි මාසේ 26 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීයි. එහි දී මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමත්, ගාමිණී ලොකුගේ මැතිතුමාත්, ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමත්, විමල් වීරවංශ මැතිතුමත්, උදය ගම්මන්පිල මැතිතුමත්, රමේෂ් පතිරණ මැතිතුමත්, ලසන්ත අලගියවන්න මැතිතුමත් ඇතුළත් කමිටුවක් පත් කළා. ඒක පසුව 4 දෙනෙකුට සීමා වුණා.  එහි නිර්දේශයක් ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යවරයා හැටියට මගේ නිරීක්ෂණය ඉදිරිපත් කළේ මූලිකව මෙම ඉල්ලීම් සියල්ල වැටුප් වැඩිවීමක් නෙමෙයි කියලා. මේක අවුරුදු විස්සක් විසි පහක් පවතින ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයක්. මෙය නිවැරදි කරන්න කියලා තමයි ඉල්ලීම ඉදිරිපත් කරලා තිබුණෙ. අපේ නිර්දේශය වුණේ සමස්ත රාජ්‍ය සේවය තුළ වැටුප් සම්බන්ධ අසමමිතිකතාවක් ඇති නොවන පරිදි ඉදිරි අය-වැය තුළින් සළකා බැලීම සුදුසුය කියලා.

    දැන් අය-වැය එනවා. අදාළ නිර්දේශ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කරලා තියෙනවා. මේ පිළිබඳව මල්-වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දේශපාලන පක්ෂත්, මා හමුවුණ අවස්ථාවලදිත් පැවසුවේ මේ ගුරු-විදුහල්පති ප්‍රශ්නය මෙවර අය-වැය තුළින් විසඳන්න කියලා. ගරු අගමැතිතුමත් විශේෂයෙන්ම ජනාධිපතිතුමත් අධ්‍යාපන ඇමතිතුමත් නිර්දේශ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම මේක විසඳන්න කියලා. වෘත්තිය සමිති පැත්තෙන් විශාල සහයෝගයක් මේ වෙලාවේ අපට ලැබිලා තියෙනවා. අපට ඕන වුණ එකම දේ අධ්‍යාපනය ළමයින්ට ලබා දෙන්න. මේ වෙනකොට සියලුම පාසල් විවෘත කරලා සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් කටයුතු සිදුවෙනවා. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් වුණත් නිර්දේශිත මේ මුදල වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

    මේක විෂමතාවක් ඉවත් කිරීමක් මිස වැටුප් වැඩිවීමක් නෙමෙයි. මෙතන සිටින මහා සංඝරත්නය ඇතුළු වෘත්තිය සමිතිවලින් මම ඉල්ලා සිටිනවා අවුරුදු විසි ගණනක් විසඳන්න බැරිව තිබුණ වැටුප් විෂමතාවක් සාධාරණ මට්ටමෙන් විසඳීමක් විධියට දකින්න කියලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව දැනට වෙන් කරලා තියෙන මුදලට අමතරව රු. මිලියන 30000ක් අපි ලබන අය වැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වෙන් කරනවා. අය-වැයටත්, කැබිනට් මණ්ඩලයටත් ඉස්සරවෙලා ඔබතුමාලට කිව්ව එකම රහස ඒක.

    අනිත් ඇමතිවරු දොස් කියන එකක් නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් මෙතන නොහිටියත් මේක විසඳන්න කියලා ඉල්ලුවා. එයත් සිහිපත් කරනවා. දරුවන්ගේ අනාගතය රටේ අනාගතය වෙනුවෙන් මෙය විසඳන්න අපි තීරණය කළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන්න කියලා සමහරු උද්ඝෝෂණය කළා. අවසානයේ ඔවුන්ගෙ වැටුප් සියල්ල වැඩි කළා. හැබැයි ඊට පස්සේ සියයට 6 අමතක කළා.

    හැබැයි අපි මේ පාර අය වැය ලේඛනයෙන් අපේ සම්පූර්ණ වියදමෙන් සියයට 7.51ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ඒ මේ රටේ අනාගතය වෙනුවෙන් එය වෙන්කරන්නෙ. ජනාධිපතිතුමත්,අගමැතිතුමත් විශේෂයෙන් අධ්‍යාපන ඇමතිතුමත් අපෙන් ඉල්ලුව මේක කරන්න කියලා. මේ ඉතිහාසයේ පළමුවැනි වතාවට අධ්‍යාපනය සඳහා සමස්ත අය වැයෙන් සියයට 6 ඉක්මවන්නෙ.

    එදා උද්ඝෝෂණ කළ අයට අමතක වුණාට, මහින්ද ජනාධිපතිතුමා ඇතුළු අපේ රජයට එය අමතක වුණේ නැහැ. අපි පිළිගන්නවා අධ්‍යාපනය මේ රටේ ලොකුම ආයෝජනය කියලා. සෞඛ්‍ය හා අධ්‍යාපනය ගත්තම අපි ලෝකයේ ඇතැම් දියුණු රටවලට සමාන මට්ටමේ ඉන්නවා. දකුණු ආසියාවේ අපි ඉහළම තැනක ඉන්නවා. ආයෝජනය වගේම ඵලදායීතාවත් වැඩි කරන්න කියලා අපි මේ හැම වෘත්තිය සමිති නියෝජිතයෙකුගෙන්ම ඉල්ලනවා. අධ්‍යාපනය දියුණු කරන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය අධ්‍යාපන අමාත්‍යාංශයට, රජයට දෙන්න කියලා ඉල්ලනවා. ඊට එහා යන ඉල්ලීම් ගැන මුදල් ඇමතිවරයා හැටියට අපිට කතා කරන්න පුළුවන් යැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

  • මහින්දානන්දගේ CID පැමිණිල්ලට චම්පික දුන් සුපිරි පිළිතුර

    මහින්දානන්දගේ CID පැමිණිල්ලට චම්පික දුන් සුපිරි පිළිතුර

    ජනතාවගේ දුක් ගින්නේ  බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා;

    “ඊයේ එනම් නොවැම්බර් නම වෙනිදා පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යම්කිසි ප් රශ්නයකට පිළිතුරු දෙන අතරේ මා විසින් මීට සතියකට පමණ කලින් කරන ලද යම්කිසි ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. ඒ තමයි ඉන්දියාවේ අයි එෆ් එස් නමැති ආයතනයෙන් ගෙන්වන ලද මේ නැනෝ යූරියා පිළිබඳව ඔහුගේ නම සඳහන් කරලා ඔහුට අපහාසයක් කරලා තියෙනවයි කියලා ඔහු ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවයි කියලා අතරේ තවත් ඔහුගේ සුපුරුදු වාචාල මුවින් අපහාස, උපහාස ටිකක් එහෙම කරලා ප්‍රකාශයක් කරා. මම ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. සභා ගැබේ. මං සභා ගැබට ආහම මට මේ වාර්තා වුණා. මම ඔහුගේ ප්‍රකාශය දැක්කා. ඒ අනුව මං එතුමාට ප්‍රකාශ කරා මම දවල් එක හමාරට පාර්ලිමේන්තුව නැවත ආරම්භ කළහම, මේ ගැන ප්‍රකාශයක් කරනවා කියලා. කරුණාකරලා සභා ගැබට එන්න කියලා. ඔහු මට කිව්වා, මම සභාගැබට එන්නෑ. මොකද මට දැන් රහස් පොලිසියට යන්න තියෙනවා කියලා. මම කිව්වා, බොහොම හොඳයි එහෙනම්, මම හැබැයි ප්‍රකාශය කරනවා කියලා. මම ප්‍රකාශය කළා කතාව.”

    මහින්දානන්ද ඇමැතිවරයාගේ ප්‍රධාන තර්කය වන්නේ මෙරටට ගෙනෙන ලද්දේ ISCFCO ආයතනයෙන් නැනෝ යූරියා නොව නැනෝ නයිට්‍රජන් බවත්, චම්පික රණවක විසින් රට නොමග යවා ඇති බවත් ය. එමෙන්ම ඔහු සඳහන් කරන්නේ මෙහි දූෂණයක් සිදුවූ බවටත්, එය කළේ තමන් බවටත් සිදුකළ චෝදනාවට තමන් නිවැරදිකරු බවය. ඉන් ඔහුට සිදුවූ අපහාසයට නඩු පවරන බවටත් තර්ක කරයි.

    “මේ රසායනික පොහොර මේ රටට ගෙන ඒම තහනම් කළේ මේ ආණ්ඩුව මේ අවුරුද්දේ මැයි මාසේ 06 වෙනිදා. එතකොට පළමුවෙන්ම අපි බලන්න ඕනේ මේ අයි එෆ් එම් ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම දියරය රසායනික ද, ඒ කියන්නේ ස්වභාවිකව හදපු එකක්ද, එහෙමත් නැත්නම් මේක නිෂ්පාදනය කරපු එකක්ද? ස්වභාවික පොහොරද? කාබනික පොහොරද කියලා මනින මිනුම් දඩු කිහිපයෙන් ප්‍රධාන එකක් තමයි ස්වභාවික ද එහෙම නැත්නම් ද එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු එකක්ද? මේක පැහැදිලිවම ඉහළ ගණයේ තාක්ෂණයක් භාවිතා කරලා නිෂ්පාදනය කරපු දෙයක්. මේක පැහැදිලිවම නැනෝ ආකාරයට සකස් කරන ලද යම් කෙඳි විශේෂයක් සමග යූරියා තැවරීමෙන් ඇති කරන ලද  පොහොර දියර විශේෂයක් කියන එක පැහැදිලියි. ඒ අනුව පළවෙනිම දේ තමයි මෙය රසායනික පොහොරක්. මෙය කාබනිකයි කියලා කීම හොයා මේ රටට පොහොර මත පමණයි කෘෂිකර්මය කරන්නේ කියන එකට කරපු විශාලතම වංචාව කෘෂිකර්ම අමාත්‍යාංශය කරලා තියෙනවා”

    “කවුද මේක නැනෝ යූරියාද? නැනෝ එහෙම නැත්නම් නයිට්‍රජන් ද කියලා කිව්වේ. අපි නෙවෙයි. මේ අයි. එෆ්. එෆ්. සී. ඕ. වෙබ් අඩවියට යන ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන දේ තමයි කිසිම තැනක ඒ වෙබ් අඩවිය නෑ. නැනෝ නයිට්‍රජන් කියලා දෙයක්. මං නැවතත් පෙන්නනවා. මම අදත් ගියා. මේ මොහොතෙත් යනවා. මෙන්න වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියේ කිසි තැනක, නැනෝ නයිට්‍රජන් කියලා දෙයක් නෑ. තියෙන්නේ, නැනෝ, යූරියා. කිසි තැනක නෑ, නැනෝ නයිට්‍රජන් කියලා. නැනෝ යූරියා. අද මේ වෙනකන් කෘෂිකර්ම අමාත්‍යාංශය මං මේ ප්‍රකාශය කරලා දැන් දින ගණනාවක් වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිම රසායනාගාර පරීක්ෂණයක් කරලා නෑ. මෙහි රසායනික සංයුතිය ගැන. ඒ නිසා තාමත් අපිට පිළිගන්න වෙන්නේ මේ වෙබ් අඩවියේ සඳහන් විස්තරය පමණයි. ඒ විතරක් නෙවෙයි. මේ අයිඑස්එෆ්, සී. ඕ. ආයතනය මේ සිද්ධිය ඇති වුණාට පස්සේ මාධ්‍ය නිවේදනයක් දැම්මා. ඒ මාධ්‍ය නිවේදනයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ බව. ඉතින් කවුරුත් දන්නවා, මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා නොදන්නවාට රසායන විද්‍යාව ඉගෙන ගත්ත හැමදෙනාම දන්නවා යූරියා කියන්නේ නයිට්‍රජන් සංයෝගයක්. ඒ අනුව ඒ නයිට්‍රජන් සංයෝගයේ ප්‍රමාණය ගත්තොත් ඒකේ 46% ක්ම තියෙන්නේ නයිට්‍රජන් කියලා. ඒ නිසා මේ නැනෝ යූරියා ද නැනෝ නයිට්‍රජන් ද කියන එකේදී ඇත්තටම නයිට්‍රජන් සංයෝගයක් තමයි යූරියා. රසායනික සංයුතිය මැන්නාම නයිට්‍රජන් හම්බවෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ වෙන තෙක් ඒක කරලා නෑ. ඒ අනුව මේ පුවත්පත් නිවේදනයක් මාධ්‍ය නිවේදනයක් අයි එෆ් එම් වල ඒ වගේම ඔවුන්ගෙ ප්‍රසිද්ධ වෙබ් අඩවියත් කියන මේ දෙකම දක්වලා තියෙන කරුණු වලට අනුව මෙහි අඩංගු නයිට්‍රජන් ප්‍රතිශතය 4% යි. යූරියාවල 46% යි. එතකොට මේ ගැන මේ යූරියා වලින් නිර්මාණය කරපු පොහොරක්.”

    තුන්වෙනි කරුණ ලෙස හිටපු අමාත්‍යවරයා දක්වන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමය. වංචාව ඇත්තේ එතැනය.

    “මේ ගැන පාර්ලිමේන්තුවේ ඒ වගේම මං හිතනවා  මේ පිළිබඳව ආචාර්ය පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකමුත් පැමිණිලි කරලා තියෙනවා මේ ගනුදෙනුව සිදු වූ ආකාරය ගැන. මෙහි කැබිනට් පත්‍රිකාව ඔක්තෝම්බර් මාසේ දහඅට වෙනිදා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා දාන්නේ එතකොට ම මේ කැබිනට් පත්‍රිකාවට අනුව මේ පොහොර ගෙන්වන්න නියමිත සමාගම විසින් ඒකටයි ඔහුට කැබිනට් අවසරය තියෙන්නේ. ඔය තවත් එකක් පිහිටුවාගෙන ඒ එකෙන් මිල ගණන් කැඳවනවාය කියලා තියෙනවා අයි එෆ් එම් සී ඕ ආයතනය එතකොට මිල නම් කැඳවන එක තමයි අවසානයේ ලංකාවට මේක ගෙනල්ලා තියෙන්නේ. කවදද ගෙනාවේ? දහනම වෙනිදා ගෙනාවේ. දහඅට වෙනිදා කැබිනට් පත්‍රිකාව දානවා. දහනම වෙනිදා එහි අනුමත වෙච්ච ඒ කැබිනට් තීන්දුව ලේකම්වරයාට යනවා. එතකොට ලංකාවට බඩු ඇවිල්ලාත් ඉවරයි.”

    “ඉතින් කාටත් පැහැදිලියි. ලීටර් දසලක්ෂ 2.2 ක් පැය කීපයක් ඇතුළත නිෂ්පාදනය කරන්න බෑ. පැය කීපයක් ඇතුළත ගුවන් මගින් ගේන්න බෑ. මේක කලින් ඉඳන් දාපු එකක් ඒ අනුව පී. බී. ජයසුන්දර මහත්මයාගේ පැමිණිල්ලට අනුව පැහැදිලිව කැබිනට් තීන්දුව උල්ලංඝනය කිරීම ගැන සංවිධානාත්මක වංචා ක්‍රියාවලියක මොහු ප්‍රධාන පුද්ගලයෙක් කියන එක ඉතාමත්ම පැහැදිලියි අපිට. ඊළඟ කාරණය. මිල ගණන්. මේ අයි. එෆ්. එෆ්. සී. ඕ. වෙබ් අඩවියට අනුව මේ ලීටරයක වටිනාකම ඉන්දියානු රුපියල් 480 යි. එතකොට ආසන්නයෙන් ඩොලර් 6 යි. හැබැයි ලංකාවට ගේන මේ තොගයේ වටිනාකම ගත්තහම ආසන්නයෙන් එක ලීටරයක් ඩොලර් 25 කට ආසන්න වෙනවා. ඩොලර් මිලියන 52 ක මේකෙන් ඩොලර් මිලියන 39 ක්ම සම්පූර්ණයෙන්ම වංචනිකයි කියන එක මම නැවත කියනවා. ඒක බොහොම පැහැදිලිව නැවත කියනවා. ඒ නිසා මේ වංචාවට මොවුන් වගකිව යුතුයි. මොහු ඇමැතිවරයා හැටියට, කඩිනම් කැබිනට් පත්‍රිකාවක් දාලා, ඊට පහුවෙනිදා කඩිනමින් මේක ගෙනල්ලා, සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරලා. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දීපු සමාගමෙන් නෙවෙයි, වෙන සමාගමකින් අරගෙන, ඒ වගේම දැන් පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව් වෙච්ච ආකාරයට, මේ ගනුදෙනුව සඳහා මහජන බැංකුවත් එක්ක කටයුතු කරපු ආකාරය, පළමු තොගය සඳහා, තව ගේන්න තියෙනවා ඉදිරියට. ඒ කාරණය, ඉතාම පැහැදිලියි. හදිසියේ කරපු බලගතු වංචාවක් බව.”

    ඊළඟ කාරණය වන්නේ මෙය කිසිම ආකාරයකට ලංකාවේ පර්‍යේෂණාගාරයක හෝ ගොවිබිමක අත්හදා බලා නොමැති වීමය. ඉන්දියාව පවා මෙය අවසාන වශයෙන් අත්හදා බලා තිබෙන්නේ මේ වසරේ මැයි මස 31 වෙනිදා ය. මෙවැනි දෙයක් මේ රටේ මහපොළොවට එකතු කිරීමට පෙර ප්‍රතිචාරය කෙසේද යන්න බැලීම සඳහා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කළ යුතුය.

    “මේක පත්‍රවලින් උකහා ගන්නා පොහොරක් කියලා හඳුන්වා දීලා තියෙනවා. එතකොට පත්‍රවලින් උකහා ගන්න කොට වල් පැළෑටි වලටත් මේක ඇතුල් වුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා ආදී වශයෙන් කිසිම පර්යේෂණයකින් තොරව ගෙනල්ලා තියෙන්නේ.”

    “ඊළඟට මොහු යනවා රහස් පොලිසියට. මේ මාධ්‍ය සංදර්ශනයක් මෙතන අපරාධයක් සිද්ධ වෙලා නෑ. අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ගොවි ජනතාවට. මේ රටේ ගොවි ජනතාවයි මහින්දානන්දට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන. පොහොර නැති කරලා ඒ අයගේ ජීවිත විනාශ කරලා මුළු රටම සාගින්නට ගොදුරු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන මේ රටේ ගොවි ජනතාව.

    එලෙසම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව  පටහැනිව කටයුතු කිරීම පිළිබඳව රටේ ජනතාව මහින්දානන්ද ඇමැතිවරයාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යා යුතුය.

    “මම මහින්දානන්දට කියනවා මගේ ප්‍රකාශය මාධ්‍යවල වල ගියා මට අපහාසයට නඩු දාන්න කියලා. උසාවියේදී අපි හමුවෙමු ඇමතිතුමා අපි එතකොට බලාගමු. කවුද මේ වංචාව කළේ කියන එක පිළිබඳ සියලු දත්ත ලේඛන අපි ඉදිරිපත් කරනවා. මේ වන තෙක්ම මේක නැනෝ යූරියා මිසක් වෙන දෙයක් නෙවෙයි. යූරියා වල නයිට්‍රජන් තිබෙන බව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කරපු සියලුම දෙනා දන්නවා. ඔබ නොදන්නවාට මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මේ දස ලක්ෂ 800 ක පමණ සෑම ගොවි මහතෙකුටම රුපියල් 8000 ක් පමණ වෙන මේ මහා වංචාවට එරෙහිව මේ රටේ සියලු ජනතාව නැගී සිටිය යුතු වෙනවා. “

    චීන පොහොර නැව පිළිබඳව අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම නැවේ තිබෙනවාය කියන කොම්පෝස්ට් පොහොර කිලෝවක් රුපියල් 92 ක් වන බවය.

    “මේ රටේ විශාලතම කොම්පෝස්ට් අංගනය මගේ මහනගර අමාත්‍යාංශයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් කරගෙන ගිය කෙරවලපිටිය. ඉතාම විධිමත්ව ඒක කළා. අපි තොග මිල  තොග හැටියට රුපියල් පහත් දහයත් අතර මිලකට දුන්නා. ඒ වගේම අදාළ නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් එකතු කරලා මේකේ ගුණාත්මකභාවය ඉහළ නංවලා රුපියල් 30 බැගින් දුන්නා කිලෝව. දැන් මේ ගේන්නේ කීයද පිටරටින්? 92 යි. මේ රට තුළ හැම තැනකම බොහෝ ප්‍රාදේශීය සභාවල මේක හදනවා. කොම්පෝස්ට්. ලොකුම අංගනය කළේ අපි. එක කොම්පෝස්ට් කිලෝ එකක්වත් මේ කෘෂිකර්ම අමාත්‍යාංශය හදලා නෑ.”

    මෙහිදීද සිදු කරන්නේ වංචාවය. රටට අහිතකර පොහොරක් ගෙන එනවා වගේම ඒ අස්සේ අවම වශයෙන් එකට තුන් ගුණයක මහා වංචාවක් සිදු කරයි.

    “මේ රටේ ගොවි ජනතාව අමාරුවේ දාලා, රට සාගතයකට යොමු කරලා එතනින් නොනැවතී ඩොලර් හිඟයි කිය කිය නැවත වතාවක් මේ සීමිත ඩොලර් වලිනුත් මේ වැරදි පොහොර වර්ග ගෙනල්ලා ඒ වගේම ඒවායේ ගණන් හිලව් වලින් ඒ විදිහට ගහන එක මොන තරම් සහගහන අපරාධයක්ද?”

    මහින්දානන්ද මහත්තයා මං දැක්කා කියලා තියෙනවා ඊයෙත් ප්‍රසිද්ධියේ කිව්වා අපි ඉදිරියේ දේශපාලනයෙන් සමුගන්න යන්නේ කියලා. ඒ සමුගැනීම් වලින් හරියන්නෑ. මේවට ඔබ වගකිව යුතුයි. ඔබ විතරක් නෙමෙයි, ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයත් වගකිව යුතුයි. ජනාධිපති, අගමැති ඇතුළු ඇමති මණ්ඩලය වගකිව යුතුයි. ජනතාවගේ දුක් ගින්නේ ප බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙනවා. ඒ නිසා එතෙන්ට යන්න කියලා කියනවා.”

    මෙවැනි දේශපාලන පැමිණිලි භාරගෙන ඒවා පසුපස හඹාගෙන යෑම මිස පාස්කු ප්‍රහාරය පිළිබඳව, මහ බැංකු වංචාව පිළිබඳව හෝ වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳව ඉදිරිපත් කොට තිබෙන අපරාධ චෝදනා හෝ නොවිසඳන තැනක් බවට අද රහස් පොලීසිය පත්ව තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

    “එහි නිලධාරීන් සියලු දෙනාටමත්, අපි කියනවා බොහොම පැහැදිලිව තමන්ගේ  වපසරියෙන් පිටත යම් යම් දෑ දේශපාලන උවමනාවන් වලට කරලා ඒවා මගින් නීතිය උල්ලංඝනය කරන්න උත්සාහ කරන්න එපා අර දුරකථන පණිවිඩ ගත්තා වගේ. ඒවා සම්බන්ධයෙන් අනාගතයේදී අනිවාර්යෙන්ම අධිකරණ වල වගකියන්න සිද්ධ වෙන බව ඒ ඇත්තන්ටත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා.”

  • පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

    පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

    පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි.

    පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා ඔක්තෝබර් මස 06 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළේය.

    එයට ප්‍රතිචාර වශයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා 2021.11.08 දාතමින් වාර්තාවක් යොමු කර තිබේ.

    තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී.

    විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බව එමගින් වැඩිදුරටත් දන්වා ඇත.

  • භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා

    භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා

    ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල්, සබන්, ලුනු ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි  සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද  (10) පැවසුවේය.

    ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ.

    මෙම භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක්ද 2019 වර්ෂයේදී  ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්ද වැය කර ඇති බව පැවසූ ශෙහාන් සේමසිංහ මහතා  මෙම භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    එසේම වාහන ආනයනය  තහනම් කිරීම නිසා ඇතිවූ වෙළෙඳපොළ හිඟය  සපුරා ගැනීම සඳහා වාහන එකලස් කිරීමේ කර්මාන්තය දේශීයව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ සඳහා ආයෝජකයන් එකොළොස් දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමිනි.

  • කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක්

    කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක්

    කිරි වැරීමේ හෝ ළදරු ආහාර ලෙස අලෙවි කරන සමහර කෙටි ආහාර වල භයානක සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර කුඩා දරුවන් එම ආහාරවල සීනිවලට ඇබ්බැහි විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකර ඇත.

    මෙම පර්යේෂණය සිදුකළ Action on Sugar එක්සත් රාජධානියේ වෙළඳසැල්වල විකිණීමට ඇති ළදරු සහ කුඩා දරුවන්ගේ නිෂ්පාදන 73ක් විශ්ලේෂණය කළේය. උදාහරණයක් ලෙස, Heinz Farley’s Mini Rusks Original හි එක් වේලකට සෑහෙන ප්‍රමාණයක සීනි තේ හැඳි දෙකකට සමාන ප්‍රමාණයක් අඩංගු බව එහිදී සොයා ගෙන ඇත.

    ඇපල් යුෂ සාන්ද්‍රණයෙන් පැණිරස කරන ලද Organix Banana Soft Oaty Bar වලද එවැනිම සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර Kiddylicious Banana Crispy Tiddlers නිෂ්පාදනයේ සෑම ග්‍රෑම් 100 කටම 50%කට වඩා සීනි (59g) අඩංගු වේ.

    සමස්තයක් වශයෙන්, පරීක්‍ෂා කරන ලද නිෂ්පාදනවලින් 27ක් ලේබල් කිරීමේ පද්ධතිය මත “රතු” හෝ “ඉහළ” සීනි සඳහා සුදුසුකම් ලබයි.

    සීනි සඳහා “කොළ” හෝ “අඩු” ලේබලය සඳහා නිර්ණායක සපුරා ඇත්තේ හය දෙනෙකු පමණි.

    මෙම වයස් කාණ්ඩයේ දරුවන් සීනි මිශ්‍ර කළ ආහාර පානවලින් වැළකිය යුතු වුවද, නිෂ්පාදන 36ක් සිය පැකට්ටුවේ වයස අවුරුදු 12 ට අඩු ළදරුවන්ට ඔවුන්ගේ පැණිරස කෑම සුදුසු බව සදහන් කර ඇත.

    එකතු කරන ලද පළතුරු යුෂ වලින් සීනි පැමිණියද, එය ළදරුවන්ට සහ කුඩා දරුවන්ට හොඳ නැති බව Action on Sugar පවසයි.

    නිදහස් සීනි යනු මොනවාද?

    • මෙම කණ්ඩායමට ආහාර හෝ බීම සඳහා එකතු කරන ලද සීනි ඇතුළත් වේ. (නිවසේදී හෝ සූපවේදියෙකු හෝ වෙනත් ආහාර නිෂ්පාදකයෙකු විසින්)
    • මී පැණි, සිරප් (මේපල්, අග්ගිස්), පැණි (මල්) සහ පැණිරස නොකළ පලතුරු යුෂ, එළවළු යුෂ සහ ස්මූති වැනි ආහාරවල ස්වභාවිකව ඇති සීනි ද එයට ඇතුළත් ය.
    • කිරි, පලතුරු සහ එළවළු වල ස්වභාවිකව ඇති සීනි, නිදහස් සීනි ලෙස ගණන් නොගන්නා නමුත් ආහාර ලේබලවල “සම්පූර්ණ” සීනි අගයට ඇතුළත් වේ

    සීනි පිළිබඳ ක්‍රියාකාරී ව්‍යාපාරයේ ප්‍රධානී සහ ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂක වෛද්‍ය කව්දර් හෂේම් පැවසුවේ ඉතා කුඩා දරුවන් සිටින දෙමාපියන්ට සීනි වැඩි පැණිරස කෑම ප්‍රවර්ධනය කිරීමට ඇතැම් ආහාර සමාගම්වලට අවසර දීම “හාස්‍යජනක” බවයි. ළදරුවන්ට සහ කුඩා දරුවන්ට නොමිලේ සීනි නොතිබිය යුතු බව දැන සිටීම.

    ඇය මෙසේ පැවසුවාය: “කිරි මිහිරි නිසා ළදරුවන්ට පැණිරස ආහාර සඳහා මනාප ලබා දිය හැකිය, නමුත් සීනි සහිත ආහාර වලට කැමති වීම ඔවුන් ඉගෙන ගන්නේ සීනි සහිත ආහාර අනුභව කිරීමෙන් පමණි.

    “සමහර සමාගම් කුඩා කාලයේ සිටම ඉතා මිහිරි නිෂ්පාදන රාශියක් ලබා දීමෙන් මෙම මනාපය තවදුරටත් දිරිමත් කිරීමට තෝරා ගනී. අපට අවශ්‍ය වන්නේ අවම සීනි ප්‍රමාණයකින් නිෂ්පාදන නිපදවීමට සමාගම් ය, එබැවින් කුඩා දරුවන්ට අඩු පැණිරස ආහාර භුක්ති විඳිය හැකිය.”

    ඕනෑම වයසකදී නිතිපතා අධික සීනි පරිභෝජනය දත් දිරායාම සහ බර වැඩිවීම ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.

    බ්‍රිතාන්‍ය පෝෂණ පදනමේ බ්‍රිජට් බෙනලම් පැවසුවේ කිරි වැරීමේ මුල් අවධියේදී බ්‍රොකොලි සහ නිවිති වැනි පැණිරස එළවළු අඩුවෙන් පිරිනැමීම දරුවන්ට මෙම රසයන් පිළිගැනීමට ඉගෙන ගැනීමට උපකාර වන බවයි.

    අධික සීනි කොපමණ වේද?

    • වැඩිහිටියන්ට දිනකට නොමිලේ සීනි ග්‍රෑම් 30 නොඉක්මවිය යුතුය (සීනි කැට හතක්)
    • වයස අවුරුදු හතේ සිට දහය දක්වා දරුවන්ට ග්‍රෑම් 24 ට නොවැඩි විය යුතුය (සීනි කැට හයක්)
    • වයස අවුරුදු හතරේ සිට හය දක්වා දරුවන්ට ග්‍රෑම් 19 ට නොවැඩි විය යුතුය (සීනි කැට පහක්)
    • වයස අවුරුදු හතරට අඩු ළමුන් සඳහා මාර්ගෝපදේශ සීමාවක් නොමැත, නමුත් ඔවුන් සීනි පැණිරස බීම සහ එයට සීනි එකතු කළ ආහාර වළක්වා ගැනීම නිර්දේශ කෙරේ.
  • නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසු අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක්

    නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසු අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක්

    පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බවත් ඉන් දිවයිනට වක්‍ර බලපෑමක් සිදුව තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    මේ දිනවල පවතින වර්ෂාපතනයෙහි වැඩිවීම මුල සිට අධ්‍යයනය කරමින් සිටි බවත් පසුගිය දිනවල අන්දමන් දූපත් අසළ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් නිරීක්ෂණය වූ බවත් ඒ හේතුවෙන් වර්ෂාවපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව මාධ්‍ය තුළින් ජනතාවට දැනුම් දීමට කටයුතු කළ බවත් අතුල කරුණානායක මහතා පවසයි.

    අඩු පීඩන තත්වයක්ව පැවති මෙම පද්ධතිය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මෙම පීඩන අවපාත තත්වය මේ වන විට ස්ථානගතවී ඇත්තේ දිවයිනට ඊසාන දිශාවෙන් ගැඹුරු මුහුදේ වන බැවින් එමගින් දිවයිනට ඇති කෙරෙන්නේ වක්‍ර බලපෑමක් බව ඒ මහතා කියා සිටියේය.

    විශේෂයෙන්ම ධීවර හා නාවික ප්‍රජාවට බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවන නිරත නොවන ලෙසට රතු නිවේදන ලබා දී ඇති බවත් ඒ මහතා පැවසීය.

    සිදු කරන ලද නිරීක්ෂණයන්ට අනුව හෙට සවස් කාලයේදී මෙම පද්ධතිය ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබඩ තීරයට ඇතුළ්වීමට නියමිත බව කරුණානායක මහතා පෙන්වා දුන්නේය.අද දවස තුළත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබිය හැකි බව පවසන ඒ මහතා වැඩි වර්ෂාපනයක් අපේක්ෂා කෙරෙනුයේ උතුරු , උතුරු මැද , වයඹ , බස්නාහිර පළාත්වලට බවත් එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවන වැසි තත්වයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු පළාත් විශේෂයෙන්ම සබරගමුව , මධ්‍යම ඌව පළාත්වලට මිලිමීටර් 75 ඉක්මවන වැසි තත්වයක් ඇති විය හැකි බවත්  අතුල කරුණානායක මහතා පවසයි.

    අනෙක් පළාත්වල සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මෙම පද්ධතිය දැනට බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ මුහුදු සීමාවේ පවතින බවත් ක්‍රමයෙන් වෙරළබඩ තීරයට ඇතුළුවන විට පහළ තිබෙන ස්ථරය ජලයේ සිට ගොඩබිමට ළඟා වන විට එක්වර වෙනස්වීමක් ඇති වන බැවින් මේ තත්වය යටතේ ඉදිරි දින කිහිපයේ දිවයින තුළ වුවද සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ඒ මහතා පෙන්වා දේ.එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා ඉහළ යා හැති බවත් මෙම තත්වය වැසි සමග ඇතිවන තාවකාලික සුළඟේ වේගය වැඩිවීම නොවන බව ඒ මහතා අවධාරණය කළේය.

    වර්ෂාව සමග ඇතිවන අකුණු අනතුරු අවම කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර අද සහ හෙට මෙම කාලගුණික තත්වය මෙලෙසම පවතිනු ඇති බවත් ඒ මහතා පැවසීය.නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසුව අන්තර් මෝසම් කාලපරිච්ඡේදය නිසා වර්ෂාපතනය ඇතිවිය හැති බවත් එවිට උදෑසන පැහැදිළි අහසක් දක්නට ලැබෙන අතර සවස් කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි තත්වයක් නිර්මාණය විය හැකි බවත් පැවසීය.

    විශේෂයෙන්ම මෙම කාලපරිච්ඡේදය සැළකීමේදී එය දිවයිනට බලපාන දෙවන අන්තර් මෝසම් තත්වය බවත් එය ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පවතින බවත් සාමාන්‍ය වර්ෂාපතනයක් පවතින බවත් මෙම තත්වය වෙනස් වන්නේ විශේෂයෙන්ම බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන කැළඹෙන ස්වභාවයන් , තරංගවල ස්වභාවයන් , පීඩන අවපාත , අඩු පීඩන කලාප සුළි කුණාටු තත්වයන් නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

  • නොබෙල් ත්‍යාගලාභී මලාලා යුග දිවියට එළැඹෙයි

    නොබෙල් ත්‍යාගලාභී මලාලා යුග දිවියට එළැඹෙයි

    මලාලා යුසුෆ්සායි ට්වීට් එකක් නිකුත් කරමින් කියා සිටියේ එය ඇගේ ජිවිතයේ ‘මාහැඟි දිනයක්’ බව යි

    නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වූ ඉස්ලාමීය විවාහ මංගල්‍යයක් මඟින් සිය සහකරු සමග “අතිනත ගෙන” ඇත.

    ඈ සහ ඇගේ සහකරු අසර් මලික් “නිකා” උත්සවයක් පවත්වා තිබේ. ඉස්ලාමීය සිරිත අනුව මනාලයා සහ මනාලිය විවාහයට කැමැත්ත පළකරන්නේ “නිකා” උත්සවයේ දී ය.

    විසි හතර හැවිරිදි ක්‍රියාකාරිනිය ප්‍රකාශ කළේ එය ඇගේ දිවියේ “මාහැඟි දිනයක්” බව යි.

    තාලිබාන් සංවිධානය 2012 වසරේ දී ඇගේ හිසට වෙඩි තැබීමෙන් අනතුරුව, පාකිස්තානු ජාතික කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනිය තම ජීවිතාරක්ෂාව පතා එංගලන්තයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශය වෙත සංක්‍රමණය වූවා ය.

    “අසර් සහ මම දිවි ඇති තෙක් සහකරුවන් වශයෙන් ඉන්නට අතිනත ගත්තා,” අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පවසා තිබුණි. ඇය මෙසේ පැවසුවේ, “පවුලේ අයත් සමග පොඩියට නිකා උත්සවයකට” සහභාගී වූබව ද ලෝකය සමග බෙදාහදා ගන්නා අතරේ ය.

    “දෙදෙනා එක්ව යන ඉදිරි ගමනක් ගැන අපි හරිම උද්යෝගයෙන් ඉන්නේ,” ඇය සඳහන් කළා ය.

    Malala Yousafzai and Asser Malik
    ඇය උත්සවයේ පින්තූර කීපයක්ම පළකර තිබුණි

    විසි හතර හැවිරිදි මලාලා, ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් පාකිස්තානයේ තාලිබාන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයට ලක්වන විට පසුවූයේ 15 වැනි වියේ ය.

    පාකිස්ථානයේ වයඹදිග ස්වාත් නිම්නයේ දී ඇය ගමන් කළ පාසැල් බස්රියට ගොඩවූ තාලිබාන් සටන්කාමියෙකු රථය තුළ සිදුකළ වෙඩි තැබීමෙන් මලාලාත්, ඇගේ පාසැල් මිතුරියන් දෙදෙනෙකුත් තුවාල ලැබුවෝ ය. හිසට වෙඩි වැදුණු නමුත් මලාලා දිවි ගලවා ගැනීමට සමත් වූවා ය.

    මරණීය තුවාලවලින් සුවය ලැබූ පසු මලාලාත්, ඇගේ පවුලේ අයත් බර්මින්හැම් වෙත පදිංචියට ගිය අතර, පසුකලෙක ඇය එය හැඳින්වූයේ සිය “දෙවන නිවහන” වශයෙනි. නොබෙල් සාම ත්‍යාගය දිනූ ළාබාලතම තැනැත්තිය බවට පත්වීමට 17 හැවිරිදි වියෙහි සිටිය දී ඇයට හැකිවිය. අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළු වූ ඇය මේ වන විට මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක බවට පත්ව ඇත.

    උපාධිය ලබාගැනීමෙන් අනතුරුව, ඇෆ්ගන් සරණාගතයින් සඳහා වැඩි සහයෝගයක් දෙන්නැ යි ඉල්ලා සිටීම, වාර්තා වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා Apple TV+ සමග ගිවිසුමක් අත්සන් කිරීම, සහ British Vogue (බ්‍රිටිෂ් වෝග්) සඟරාවේ කවරයේ පෙනී සිටීම යනාදියෙහි මලාලා නිරත වී ඇත. ඇය මේ සියල්ල සිදුකළේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව වැඩි දියුණු කිරීමේ ඇගේ සමාජ කාර්යය සිදුකරනා අතරතුරේ ය.

    Malala Yousafzai and Asser Malik
    දස දහසක් දෙනා සමාජ මාධ්‍යයන් හරහා විවාහ උත්සවය පිළිබඳ පුවතට ප්‍රතිචාර දක්වා තිබුණේ ය

    නීත්‍යානුකූල ගිවිසුමක් ලෙස ගණන් නොගැනුණත්, ඉස්ලාමීය විවාහයක පළමු පියවර වන්නේ නිකා උත්සවය යි.

    බොහෝවිට වෙනම උත්සවයක් පුද්ගලිකව ද පැවැත්වෙන අතර, මෙම යුවල එම ආකාරයේ වෙනම සිවිල් උත්සවයක් පැවැත්වූයේදැ යි ක්‍රියාකාරිනිය විසින් සඳහන් කර නොතිබිණි.Skip Twitter post, 1

    මෙහි අන්තර්ගතය නැතවැඩිදුරටත් Twitter බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

    End of Twitter post, 1

    මලාලා විවාහය සම්බන්ධයෙන් ඇය තුළ පැවැති සැකයන් මින් පෙර අවස්ථාවක දී ප්‍රකාශකර තිබේ.

    ජුලි මාසයේ වෝග් සඟරාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙසේ පැවසුවා ය: “මිනිස්සු විවාහ විය යුත්තේ ඇයි ද කියන එක මට තවමත් තේරෙන්නේ නෑ.”

    “ඔයාට ඔයාගේ ජීවිතේට කවුරුහරි කෙනෙක්ව හවුල්කර ගන්න ඕනේ නම්, ඇයි ඔයා කසාද සහතික අත්සන් කරන්නම ඕන? ඇයි අපට නිකන්ම සහකරුවෝ වගේ ජීවත් වෙන්න බැරි?” ඇය අසා සිටියා ය.

    “අම්මා මට කියනවා, ‘ඒ වගේ දෙයක් කියන්න හිතන්නවත් එපා! ඔයාට කසාද බඳින්න සිද්ධ වෙනවා, කසාදෙ හරිම සුන්දර යි’ කියලා.”

    විවාහ උත්සවය පිළිබඳ ප්‍රවෘත්තියට රසිකයින් දස දහස් වාරයක් ‘ලයික්කර’ ඇති අතර, දහස් ගණනක් දෙනා නව යුවලට සුබ පැතුම් එක්කළහ.

    Text by bbc

  • දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

    දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

    මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඉදිරි පැය 24 තුළදී ගිණීකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික ප්‍රජාව මෙම මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට වයඹ දක්වා වන ප්‍රදේශවලින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් පමණ වේ.පුත්තලම සිට කොළඹ , ගාල්ල , සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    අද පෙරවරු 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයට වන අතර එම ප්‍රමාණය මිලිමීටර් 300.4ක් වේ.රනෝරාව ප්‍රදේශයට මිලිමීටර් 260ක් රඹෑව ප්‍රදේශයට මිලිමීටර් 210.5ක් වේවැල්තලාව ප්‍රදේශයට මිලිමීටර් 200.2ක් ලෙස සෙසු ප්‍රදේශවලින් වර්ෂාපතනයන් වාර්තා වී තිිබේ.විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සඳහා ද සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර ලක්ෂපාන ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 108ක් නෝටන් ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 104.5ක් කැනියන් ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල , ගම්පහ සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එසේම කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ උප ද්‍රෝණීයේ බුලත්සිංහල , බදුරලිය ,පාලින්දනුවර , මිල්ලනිය , හොරණ , දොඩංගොඩ , සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ද කෑගල්ල ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල කැලණිගඟ ද්‍රෝණීයේ දෙහිඕවිට , රුවන්වැල්ල , සීතාවක , දොම්පේ , කඩුවෙල ,බියගම , කොළොන්නාව , කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලටද ඉදිරි කාලයේදී සුළු ගංවතුර අවදානමක් ඇති විය හැකි බවට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

    කැලණි ගඟේ ග්ලේන්කෝස් , හංවැල්ල සහ නාගලගංවීදිය ස්ථානවල අවදානම් මට්ටම වැඩිවෙමින් පවතින අතර හොලොම්බුව ප්‍රදේශයේ මහ ගංවතුර මට්ටම අඩුවෙමින් පවතී.කළු ගඟ ආශ්‍රිතව පුටුපාවුල, ප්‍රදේශයේ ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර රත්නපුර , මගුර ප්‍රදේශවල ගංවතුර අවදානම අඩුවෙමින් පවති.කලවැල්ලාව මිල්ලකන්ද ප්‍රදේශයට සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතී.ගිං ගඟ ආශ්‍රිතව බද්දේගම ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර නිල්වලා ගඟ ආශ්‍රිතව තල්ගහගොඩ ප්‍රදේශයේද සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර පානදුගම ප්‍රදේශයේ අවදානම් මට්ටම අඩුවෙමින් පවතී.එමෙන්ම මහ ඔය ආශ්‍රිතව බඩල්ගම ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර ගිරිඋල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහ ගංවතුර මට්ටම වැඩි වෙමින් පවතී.අත්තනගලු ඔය ආශ්‍රිත දූනමලේ ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇත.

    එසේම ගංවතුර තත්වය සඳහා සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් ද ප්‍රදේශ කිහිපයක ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව , ගිරිඋල්ල සහ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවීය ප්‍රදේශය, රත්නපුර නව නගරය , බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩලමත්ත ප්‍රදේශය සඳහා මෙලෙස කණ්ඩායම් යොදවා තිබේ.

    ජාතික ගොඩනැගිලි පර්යෝෂණ සංවිධානය නාය යෑම් පිළීබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට , දොඩංගොඩ , ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ,නෙළුව , යක්කලමුල්ල, කඩවත්සතර , අක්මීමන , කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල යටියන්තොට ගලිගමුව දැරණියගල වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල , ඇලපාත, නිවිතිගල , කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළේ , උඩුනුවර , හාරිස්පත්තුව , යටිනුවර , දොලුව , උඩපළාත, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ , අඹගමුව , හගුරන්කෙත , කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම , මාවතගම , මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් පිළීබඳව විමසිලිමත්වන ලෙසට දැනුම් දී ඇත.තවද කළුතර දිස්ත්‍රික්කයේ මතුගම , බුලත්සිංහල , අගලවත්ත , පාලින්දනුවර , ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල , අරණායක , බුලත්කොාහුපිටිය , දෙහිඕවිට , රඹූක්කන, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම . රත්නපුර , ඇහැලියගොඩ , කලවාන , මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළකෝරළේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නාය යෑම් අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇත.

    මේ වනවිට ජලාශ කිහිපයකද වාන් දොරටු විවෘතකර ඇත.රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 4බැගින් සහ දොරටු දෙකක් අඩි 4 බැගින්ද , දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින්ද ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අඩියක් බැගින් ද කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක්ද තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ දොරටු දෙදක් අඟල් 6 බැගින්ද පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අඩි තුන බැගින් ද කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක්ද වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙකක් බැගින්ද අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙකක් බැගින්ද විවෘත කර ඇත.එසේම නෝර්ටන්බ්‍රිජ් ජලාශය සහ මහවිලච්චිය වැව පිටාර ගලන අතර තුරුවිල ජලාශය වාන් දමමින් පවතී.

    ඔක්තේබර් මස 29 වැනි දින සිට නොවැම්බර් මස 09 වැනි දින දක්වා කාලය තුළ අයහපත් කාලගුණික තත්වය බලපෑ දිස්ත්‍රික්කයන් 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 77ක පවුල් 1836කට අයත් පුද්ගලයන් 7167ක් බලපෑමට ලක් වී ඇති අතර පුද්ගලයන් 6දෙනෙකු මිය ගොස් තිබේ.සුරක්ෂිත මධ්‍යස්ථාන 7ක් මේ වන විට ස්ථාපිත කර ඇති අතර එම ස්ථානවල පවුල් 58කට අයත් පුද්ගලයන් 222ක් ආරක්ෂිතව සිටී.නිවාස 14ක් මේ වනවිට පූර්ණ ලෙස හානි වී ඇති අතර අර්ධ හානි නිවාස සංඛ්‍යාව 796කි.

  • ධාරාණිපාත වර්ෂාව තව දුරටත් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන

    ධාරාණිපාත වර්ෂාව තව දුරටත් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන

    ඉදිරි පැය 24 තුළ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද වැසි සමග විටින් විට හමන සුළග පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ හැකි බැවින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරයි.

    එසේම ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තතත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අතර පවතින කාලගුණික තත්වය හේතුවෙන් ඔබ ජීවත් වන පරිසරයේ නිර්මාණය විය හැකි නායයාම පස් කණ්ඩි කඩවැටීම, අවදානම් ගස් කඩා වැටීම වැනි ආපදා අවදානම් තත්වයන් පිළිබදව සැලකිළිමත් වන ලෙසත් එවැනි ආපදා අවදානමක් ඇතිනම් ක්ෂණිකව එම ස්ථාන වලින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හෝ ආපදා තත්වයක් පිළිබද දැනුවත් කිරීමට හෝ 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එසේම පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව මෙන්ම ඇතිවිය හැති ආපදා අවදානම් පිළිබදව තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට තවදුරටත් දැනුම් දෙයි.

  • විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

    විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

    සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය.

    මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමි වීම මෙහිදී සිදුවිය.

    මෙම පනත් කෙටුම්පත් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කොට තිබේ. විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකොට නොතිබුණි. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.

    මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය 11 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.