Tag: breaking post
-

කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවත ගොවිජන මන්දිරයට යන්න නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඕනලු
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා යළි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොවිජන මන්දීරය ලබා ගන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන අතර ඊට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව සඳහන්ය.2016 වසරේ සිට වසර 05ක් සඳහා අදාළ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු ගිවිසුමක් ක්‍රියාත්මක වන අතර එහි මුල් වසර තුන සඳහා රුපියල් මිලියන 504ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.කෙසේවෙතත් අදාළ ගිවිසුමට අනුව ඉදිරි වසර දෙක සඳහා සියයට 15කින් අදාළ බදු මුදල ඉහළ යන බව සඳහන්ය.ඒ අනුව වසර 05 සඳහා එම ගොඩනැගිල්ලට ගෙවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 960ක් පමණ වන බව විගණන වාර්තාවල සඳහන් වෙයි.අධික මුදලක් ලබා දෙමින් රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.ඒ අනුව බත්තරමුල්ල රජමල් වත්ත මාවතේ පිහිටි ගොවිජන මන්දීරය කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.කෙසේවෙතත් අදාළ ගොඩනැගිල්ල යළි කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීම සඳහා කථානායකවරයාට තනිව තීරණයක් ගැනීමට නොහැකිව පවතින බව වාර්තා වෙයි. -

උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක
නීතිරීති කිසිවක් ගණන් නොගෙන තම අභිමතයට අනුව කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ තීන්දුව ලද වහාම ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්. තවරාසා මහතා පැවසීය.
යාපනයේදී පසුගිය 30 දා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා විපක්‌ෂ නායකවරයා කියා සිටියේ මහ ඇමැතිවරයා විසින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතාගේ ඇමැති ධුරය ඉවත් කිරීමට කළ නියෝගය තහනම් කරමින් අභියාචනාධිකරණය 29 දා ලබාදුන් අතුරු තහනම් නියෝගය හේතුවෙන් විග්නේෂ්වරන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි.
විග්නේෂ්වරන් මහතාට ලැ-ජාවක් තිබේ නම් ඔහු සිය තනතුරෙන් මහත්මයකු ලෙස ඉවත්වීමට කටයුතු කළ යුතු බව තවරාසා මහතා කියා සිටියේය.
2017 වසරේ උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්‌වමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
තමා අමාත්‍ය ධුරයෙන් නෙරපීම නීති විරෝධී යෑයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් තහනම් නියෝගය නිකුත් කර ඇත
-

ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් එළි දකී
වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියනලද ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළිදක්‌වා තිබේ.
මෙම කෘතියෙන් වේළුපිල්ලේ ප්‍රභාකරන් තුළ තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුළ තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. මෙම පොත පිළිබඳ අදහස් දක්‌වන විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඩුවාවල පෙන්වා දෙන්නේ ප්‍රභාකරන් සාධකයේ සැඟවුණු මනෝ විද්‍යාත්මක පාර්ශ්වයන් කතුවරයා විසින් හෙළි කරන බවයි. -

අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්
මැලේසියාවේ ආධාර මත ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීන්දුවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී තදින් දොස් පවරා ඇත.
මෙම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීම පිළිබඳව වූ යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත පළමුව කරුණු වාර්තා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය. මැලේසියාව මේ පිළිබඳව දිගින් දිගටම විමසන බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය තීරණයක් ගත් පසු එය ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයාගේ වගකීම බව රණතුංග ඇමැතිවරයාට පවසා ඇත. මෙහිදී ජනාධිපතිවරයා අර්ජුන රණතුංග මහතා වෙත ඉතා තදින් පවසා ඇත්තේ හොඳ නරක වැඩක් නෑ තීන්දුවක් ගත්තාම එය ක්‍රියාත්මක කරන ලෙසය.
මේවා රටට වැදගත් ආයෝජන බවත් එනිසා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අර්ජුන රණතුංග ඇමැතිවරයාට මෙහිදී තරමක් තදින් පවසා තිබේ. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙහිදී කතා කළහ. ඔහුගේ අදහස වී ඇත්තේද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් ආයෝජකයෝ ලංකාවට පැමිණීම අඩුකරනු ඇති බවයි. මෙහිදී කතාකළ අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාව මේ පිළිබඳව දැනුවත් කරන බව පැවැසූ නමුත් ඊට මැදිහත් වූ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ලේකම්ට කීම නොව ඇමැතිවරයා විදිහට මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ වගකීම ගන්නා ලෙසය.
-

මහින්ද උත්තර දෙන්න ඕන හන්දි ගානෙ මයික් වලට නෙමෙයි
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙරට පුවත්පත්වලට නොව එම පුවත්පතට පිළිතුරු දිය යුතුව ඇතැයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (30) කළුතරදී ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ පැවසුවේ කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්‌වමිනි. එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ආවාට ගියාට ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. එම ප්‍රවෘත්තියේ අදාළ චෙක්‌පත් අංක, මුදල් ලබාදුන් පුද්ගලයන් බැංකු ආදිය සඳහන් කර තිබෙනවා. භික්‌ෂූන් වහන්සේ නමකටත් මුදල් ලබාදී තිබෙනවා.
එලෙස මුදල් ලබානුදුන් බවත්, එම පුවත වැරදි බවත් හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවැසිය යුතුයි. අදාළ චීන සමාගමවත් මෙම පුවත ප්‍රතික්‍ෂේප කර නැහැ.
හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදුවූ දූෂිත ගනුදෙනුවලින් සුළු ගනුදෙනුවක් තමයි මේ වනවිට එළියට ඇවිත් තිබෙන්නේ. මෙරට මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට කළ නොහැකි වූ දෙයක් ඇමරිකාවේ පත්තරයක් සිදුකර තිබෙනවා. ඉන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙනවා.
දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවට කාලයක් ගත වුණා. පසුගිය රජය සමයේ සිදුවූ සොරකම් මනුෂ්‍ය ඝාතනවල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා.
මහින්ද රාජපක්‌ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්. එතුමා හන්දි ගානේ මයික්‍රෙෆොන්වලට උත්තර නොදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අදාළ කරුණු දැක්‌වීම කළ යුතුයි.
-

මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා
ඉකුත් පාලන සමයේ නොකළ වැඩ කටයුතු රැසක් වත්මන් රජය දෝෂාරෝපණ මධ්‍යයේ හෝ ඉටු කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී.මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජනතාවට භුමියේ අයිතිය ලබා දෙන්න කටයුතු කරනවා. වතුකම්කරුවන්ට පර්චස් 07 ක් සහ ගම්වැසියන්ට ඔවුන්ගේ ගම්වල ඉඩම් අයිතිය ලබාදෙනවා. මේ ගැන තමන්ට දෝෂාරෝපණ එල්ල වනවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට කරන්න බැරිවුනු දේයි දැන් මේ කරමින් ඉන්නේ, ඒ නිසා මට බැනලා වැඩක් නැහැ. අමාරුකම් මධ්‍යයේ ජනතාවට සහන සපයන බවද මෙහිදී අගමැතිවරයා කියා සිටියේය.මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළ අතර මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම මහනුවර නගරයේ “නයිට් රේස් ” පැදීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද අගමැතිවරයා පවසා සිටියා. පළමු වසර තුනහාමාර තුල විවේචන මධ්‍යයේ රට ඉදිරියට රැගෙන ආ බවත් කිසිදු අවස්ථාවක තමන් බොරු නොකියූ බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටින ලචී. -

විදුහල්පතිට ගෙවිය යුතු ලක්ෂ දෙකහමාරෙ වන්දිය 5000 ගානේ ගෙවන්න අවසර ඉල්ලයි
අනුරාධපුර නිවන්තකෙච්තිය හිටපු විදුහල්පතිට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදල රුපියල් 5000 බැගින් ගෙවා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ‘දිවයින’ට 29 දා පැවසීය.
අධිකරණ තීන්දුවට තමා ගරුකර වන්දි මුදල ගෙවා දමන බවත් කී ජයරත්න මහතා මිලියන 500 ක පමණ සංවර්ධන කටයුතු තමා බලයේ සිටි සමයේ එම විදුහල වෙනුවෙන් සිදුකළ බවද පැවසීය. -

තාජුඩීන් ඝාතන සමයේ මහින්දගේ සහ පවුලේ අයට ආරක්‍ෂාව දුන් නාවික නිලධාරීන්ගේ රාජකාරි ලේඛන නාවික හමුදා භාරයේ නැහැ
රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන් ඝාතනය සිදුවූ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්‌ත කර සිටි නාවික හමුදා නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ දෛනික රාජකාරි සටහන් ලේඛන නාවික හමුදා භාරයේ නොමැති බව නාවික හමුදාපතිවරයා ලිඛිතව දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඊයේ (29 ) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාරගේ මහතාට දැනුම් දුන්නේය.
වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඉතා වැදගත් ලේඛනයක් වන එම දෛනික රාජකාරි සටහන් ලබාදෙන ලෙසට අධිකරණය විසින් කරන ලද නියෝගයට පිළිතුරු ලෙස නාවික හමුදාපතිවරයා පසුගිය 8 වැනිදා ඒ බව දන්වා ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේය.
එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය මණ්‌ඩලය විසින් ඉදිරිපත් කළ යම්කිසි සුවිශේෂී තැනැත්තියකගේ වෛද්‍ය වාර්තා දෙකක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
එම සුවිශේෂී තැනැත්තිය එම නඩුවේ සාක්‍ෂිකාරියක විය හැකි බැවින් ඇගේ අනන්‍යතාවය කිසිවකුට අනාවරණය නොවන පරිදි එම වෛද්‍ය වාර්තා ආරක්‍ෂිතව තබනා ලෙසට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම වෛද්‍ය වාර්තා සුරක්‍ෂිතව අධිකරණ නඩු ලේඛන සේප්පුවේ තැන්පත් කර තබනා ලෙසට නියෝග කළේය.
එම නඩුව ලබන සැප්තැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියමිතය. -

ගෑස් 138 කින් බහී…කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් 1538 යි
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළ දමා තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538 දක්වා පහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
සිකුරාදා (ඊයේ 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දමා ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
-

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ එය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
කෙසේ නමුත් පළාත් සභා තුනක කාලය මේ වන විට අවසන්ව ඇති අතර තවත් පළාත් සභා තුනක කාලය ලබන මාසයේදී අවසන් වේ. මේ නිසා මැතිවරණය දෙසැම්බරයේදී පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලා සිටියි.
මේ කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් සතියේ කථානායකවරයා හමුවී සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා හා සීමා නිර්ණ කමිටු සාමාජිකයන්ද සහභාගි වී ඇත.
එහිදීද තීරණය වී ඇත්තේ ලබන 06 දායින් පසුව මේ ගැන තීන්දුවක් ගන්නා බවය. ලබන 6දා පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සභාව කල් තැබිමේ විවාදය පැවැත්වේ. -

සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. – පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර
ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 5 වන ස්ථානයේ සිටින කන්තලේ සේරුනුවර අරුණ දර්ශනටත් ඔහුගේ පුහුණුකරු අසංකටත් ෆින්ලන්තයට තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පුහුණුව සදහා තවමත් පහසුකම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මාවන හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“සුගතදාස ක්‍රීඩාංගනය මේ වන විට යාඥා මෙහෙයක් සදහා වෙන් කර ඇති නිසා තවත් දින කිහිපයකින් අරුණට පුහුණුව සදහා ස්ථානයක් අහිමිවනු ඇත. ලෝකයම බලාගෙන සිටින මෙම ක්‍රීඩකයාට පුහුණුවට තැනක් ලංකාවේ නොමැති බැවින් ඊට ඇති එකම විකල්පය පුහුණුව සදහා හැකි ඉක්මනින් ඔහු ෆින්ලන්තය වෙත යැවීම බව ඔවුන් පෙන්වා දෙයි. නමුත්, ඒ සදහා කිසිදු පියවරක් මේ දක්වා ගෙන නැත”.
“ඊයේ දිනයේ අරුණ දර්ශනට ෆින්ලන්ත තරඟාවලියට අවශ්‍ය උපකරණ පෞද්ගලික මට්ටමින් ඔහු වෙත ලබාදෙනු ලැබීය. ඔහුට උපකාර කරන කිසිදු පුද්ගලයෙකුට ඔහුට සුදුසු ක්‍රීඩාංගනයක් ලබාදීමට හැකියාවක් නැත. මේ පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මෙයට පෙර ඉල්ලීමක් ද කර තිබුණි. මේ සම්බන්ධයෙන් වන දෙවන සිහිකැඳවීමේ ලිපියද අද (29) වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, කමල් පද්මසිරි මහතා වෙත යොමු කරනු ලැබීය”.
එළඹෙන ජූලි මස පළමු සතියේ අරුණ දර්ශන එහි යාමට නියමිතය.
-

ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ටැබ් පරිගණක ස්තීරයි
උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මැතිවරණ ප්‍රතිඥාවක්ද වන අතර උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලේ ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ආකාරයට ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වී ඇත.
එමෙන්ම මෙම වැඩපිළිවෙල ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කළයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු දැඩි ස්ථාවරයක සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.ඒ අනුව ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ටැබ් පරිගණක දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
-

ගත වූ මාස 5 තුළ පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්
මෙම වසරේ ගත වූ මාස පහක කාලය තුළ පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක් ලැබි ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
2018 ජනවාරි 1දා සිට මැයි මස 31 දින දක්වා ලැබි ඇති මෙම පැමිණිලිවලින් 264කට විසඳුම් ලබාදී ඇති තර පැමිණිලි 361කට විසඳුම් ලබාදීමට නියමිත බවද එම කොමිසම පවසයි.
මෙහිදී වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබි ඇත්තේ පොලීසිය නිසි අයුරින් ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනි. ඒ පැමිණිලි 237ක් වශයෙනි. බලය අයුතු ලෙස යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 173ක්, පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 91ක්, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවැරීම් 42ක්, පහරදීම් 15ක්, වධහිංසා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, නීතිවිරෝධි අත්අඩංගුවට ගැනීම් 5ක්, පොලිස් අත්අඩංගුවේදී මියයාම් සම්බන්ධයෙන් පැමිණිලි 2ක්, අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, වෙනත් පැමිණිලි 45ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබේ.
-

දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිමට කටයුතු කල යුතුයි
වාර්ෂිකව අප රුපියල් මිලියන 64,400 ක මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට රුපියල් මිලියන 106,260 ක් වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවති “යෝජිත දුම්කොළ වගා තහනම් සහ වෙනත් භෝග වෙත යොමු වීමේ අවස්ථා ගොවීන්ගේ ඇසින්”නැමැති දුම්කොළ වගාව ආශ්‍රිත පර්යේෂණ වාර්තාව නිකුත් කිරීමේ උත්සවයේදී ය. මෙම පර්යේෂණ වාර්තාව සම්පාදනය කර ඇත්තේ වෛද්‍ය චතුර රොද්‍රිගෝ මහතාය. ඔහු මෙම වාර්තාවේ පිටපතක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිළිගැන්වීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද පැවසීය.
“2020 දී ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව වගේම දුම්කොළ හා දුම්වැටි ආනයනයද තහනම් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ දුම්කොළ නිසා දිනකට මිනිස් ජීවිත 33 ක් පමණ අපට අහිමි වෙලා යනවා. අපේ රටේ මිලියන 02 කට වැඩි පිරිසක් සෑම දිනකම දුම්කොළ පරිභෝජනයට පෙළඹී සිටිනවා. මේ සඳහා අපි දිනකට රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැය කරන බව වාර්තා වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනය සඳහා සෘජුව හා වක්‍රව වැය කළ මුදල රුපියල් බිලියන 106 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 662 ක් වූ බව ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ වගේම අපි වාර්ෂිකව ඩොලර් මිලියන 660 ක් හෙවත් රුපියල් මිලියන 106,260 ක් හෙවත් කෝටි 10,626 ක් දුම්කොළ භාවිතයේ ප්‍රතිඵල නිසා ඇතිවන රෝගවලට, ඖෂධ හා ප්‍රතිකර්ම සඳහා වැයකරනවා. එම නිසා මෙම පර්යේෂණ වාර්තාව අපට ඉතා වැදගත් වෙනවා. මේ වාර්තාව පිළියෙල කරලා තියෙන්නේ, දුම්කොළ වගා කරන ගොවීන්ගේ අදහස්ද එකතු කරලා, දුම්කොළ වෙනුවට විකල්ප භෝග වර්ග වගා කිරීමට යොමු වන්නේ කෙසේද යන්න අවධාරණය කිරීමටයි. මෙහිදී අපි අවබෝධ කර ගත යුත්තේ දුම්කොළ වගාව සඳහාත්, භාවිතය සඳහාත්, ආනයනය සඳහාත් අපි වැය කරන විශාල මුදල ගැන සළකා බලන විට අපේ රජය ඉතාමත් ඥාන්විත පියවරක් තමයි මේ වන විටත් අරන් තියෙන්නේ. අපි කිරිපිටි ආනයනයට වසරකට වැයකරන මුදලට වඩා සියයට 55 % කින් පමණ වැඩි වියදමක් දුම්කොළ භාවිතයට හා ආනයනයට වැය කරනවා.
ඒ වගේම වාර්ෂිකව අපි දුම්කොළ සඳහා වැයකරන වියදම 2015 දී හා 2016 දී මෙරට ඇති වූ ගංවතුර සහ නායයෑම් ආපදා සඳහා වැය වූ මුදලට සමාන වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මේ දුම්කොළ භාවිතය නිසා අපගේ ආර්ථිකයට බලපා තිබෙන අහිතකර තත්ත්වයයි. එම නිසා අපේ රජය උත්සාහ කරන්නේ දුම්කොළ ආශ්‍රිතව සකස් වී තිබෙන ආර්ථික ක්‍රමය වඩාත් ඵලදායී ජීවනෝපාය ක්‍රමයක් වෙත යොමු කරමින් විකල්ප භෝග වගාවන් වෙත දුම්කොළ ගොවි ජනතාව පරිවර්ථනය කිරීමයි. අපට වාර්තා වී ඇති අන්දමට මෙරට දුම්කොළ නිෂ්පාදනය වසරකට ටොන් 3,300 ක් පමණ වෙනවා. මේ සඳහා කෘෂිකාර්මික ඉඩකඩම්වලින් සියයට 0.07% ක් දුම්කොළ වගාව සඳහා වෙන් වෙනවා.” යැයි පැවසීය.
-

කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි
සිසුන් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන අතර පහරකෑමට ලක්වූ සිසුවා හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත්තේ රග්බි පුහුණුවීම් අතරතුර අනතුරක් සිදුවූ බව පවසමින් බව රෝහල් ආරංචි මාර්ග වල සඳහන් වේ.ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අදාළ සිසුවා රෝහලෙන් පිටව ගොස් ඇත.එහෙත් ඔහු යළිත් අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ සවස මවුපියන් විසින් අදාළ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් වේ. -

විවාහවී සතියකින් බිරිඳගේ රන් ආභරණත් සොරකම් කරලා කැසිනෝ ගහපු හොර දෙස්තරට වැඩ වරදී
ව්‍යාජ සහතික මගින් පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛදවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු කොළඹ කැසිනෝ සමාජ ශාලාවකදී කොටුකර ගැනීමට මීගමුව දිස්‌ත්‍රික් අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකය පෙරේදා (27 ) සමත් විය.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පමුණුගම වැලිකැටිය ප්‍රදේශයේ පදිංචි ජෝසප් ක්‍රියේෂන් සරණ ප්‍රදීප් (31) නමැති සැකකරු පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු පෙනී සිට එම ප්‍රදේශයේ ප්‍රධාන බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගොස් ඇත. ඔහු එහිදී ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ඇත.
පසුව සැකකරු වෛද්‍යවරයකු ලෙස රඟදක්‌වමින් එම ප්‍රදේශයේ 23 හැවිරිදි ධනවත් තරුණියක සහ විවාහ වී ඇත. එම විවාහයෙන් සතියකට පසු සැකකරු තම බිරිඳගේ රන් අභරණ සහ වටිනා දැ සොරකම් කරගෙන පළාගොස් ඇත. සැකකරු හදිසියේ පළායැමට හේතුව පරීක්‍ෂා කිරීමේදී සැකකරු “කැසිනෝ” සූදුවට තදින් ඇබ්බැහි වූවකු බවත් ඔහු තම බිරිඳගේ රන් අභරණ විකුණා ලත් මුදල් සූදුවට වැයකිරීමට අමතරව විවිධ අවශ්‍යතා දක්‌වමින් පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් අනාවරණය වී ඇත.