Tag: breaking post

  • ඒකාබද්ධ විපක්‍ෂය හෝ පොදුජන පෙරමුණ දෙකඩවී නැහැ

    ඒකාබද්ධ විපක්‍ෂය හෝ පොදුජන පෙරමුණ දෙකඩවී නැහැ

    ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව ජනතාව තබා තිබෙන විශ්වාසය අබමල් රොනක තරමින්වත් පළුඳුවීමට කිසිඳු ඉඩක් නොතබන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය.

    එබැවින් ඒකාබද්ධ විපක්‍ෂය හා පොදුජන පෙරමුණ දෙකඩවී ඇති බවට පළවන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක්  නොමැති බව බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

  • ජනපති පොලිස්පතිට ජාතිය අමතයි

    ජනපති පොලිස්පතිට ජාතිය අමතයි

     මේ දිනවල පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක්ම තමාට පැමිණිලි කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයන් සිදුනොකළ යුතු බවත්, දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා ලෙස පෞද්ගලික කරුණු කාරණා ප‍්‍රසිද්ධ වේදිකාවන්ට ගෙන ඒම, පොලිස්පති තනතුරට නුසුදුසු බවත්, ජනපතිවරයා දැඩිව  පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත අවධාරණය කර ඇත.

    පදනම් විරහිත චෝදනා නඟමින් තමන්ව අපහසුතාවට පත් කැරෙමින් තිබෙන බව එම ඇතැම් පොලිස් නිලධාරීන් ජනපතිවරයා හමුවේ පවසා තිබිණ. එවැනි දේ වහාම නැවැතිය යුතුව තිබෙන බව අවධාරණය කළ ජනපතිවරයා, වසර අවසානය වන විට ප‍්‍රමුඛ පෙලේ විමර්ශනයන් සියල්ල අවසාන විය යුතු බවට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

    පන්සලක පැවැත් උත්සවයක දී සුදු ඇඳගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස්පති ජයසුන්දර කර තිබූ ප‍්‍රකාශයක් ජනපතිවරයා මෙහිදී විමසුමට ලක් කල අතරතමා කිසිදු පුද්ගලයකු ඉලක්ක නොකළ බව කියා සිටි පොලිස්පතිවරයා පැරණි ජනකතාවක් ආදර්ශයට ගනිමින් එවැනි සඳහනක් කළ බව පැහැදිලි කළේය.

    එය එසේ වන්නට හැකිවෙතත්, එවැනි ප‍්‍රකාශයක් හමුවේ යම් වැදගත් පුද්ගලයකු ඉලක්ක වීමට ඉඩ ඇති බව පොලිස්පති වරයාට පැහැදිලි කර දෙනු ලැබීය.

  • යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී

    යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී

    යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ගින්නක් හට ගෙන ඇත.

    නාවික හමුදාව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බවයි.ඊයේ රාත්‍රියේ ඇතිවු ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.

    කිංඩම් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න ඇති බවට සැක කෙරෙයි.පෞද්ගලික සමාගමකට අයත් මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ එකකි.මෙම නෞකාව පසුගිය ජනවාරි මාසයේදී වැලිපරයක ගැටීමෙන් සිරවීම නිසා එය අතහැර දමා තිබේ.මේවන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.

  • තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

    තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

    වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න පවසයි.
    තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී ඇති බවත් සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටි අතර තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි.
  • “කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    “කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම ඇඳිය යුතුමද යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වී අැත. 

    උපසම්පදා භික්ෂුවකගේ සිවුර එසේ ගලවා ඉවත් කරන්න නොහැකි බව බොදු සේනාවේ හිමිවරු සඳහන් කරන අතර තම සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරන බව කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක්‌ යොමු කර ඇත.

    කෙසේ වුනත් රටේ නීතිය අනුව කවුරු සිරදඬුවම් ලබලා ආවත් සිරකරුවන්ගේ ඇඳුම අැඳිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රටේ නීතිය අනුව සිරකරුවෙක්ට බන්ධනාගාරය ඇතුලේදී වෙනත් කිසිම ඇඳුමක් අඳින්න බෑ. ඒ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරය ඇඳීම නිත්‍යනුකූල බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    මේ අතර ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ මහානායක හිමිවරුන් දැනුවත් කරන ලද අතර මේ ගැන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරන ලදී.

  • අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

    අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ  ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කෙරුණි.

    පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන  අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින්  බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ  ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ..සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

    එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියේය.

    කෙසේවතත් අදාළ ආඥාව කෙටුම්පත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල නැවත ජුලි මස තිස් වනදා කැඳවන මෙන් ද නියම කළේය.

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

    මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීන වන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.

    මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

  • අගමැති යළි දිවයිනට

    අගමැති යළි දිවයිනට

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සිය දින 08 ක විදේශ සංචාරය නිමා කර අද(18) දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    එතුමා ඇතුළු දූත පිරිස ඉකුත් පසුගිය 10 වන දින අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ යානයකින් දෝහා වෙත පිටත්ව ගොස් තිබුණි.

  • වාහන මිල යළි ඉහලට

    වාහන මිල යළි ඉහලට

    මෙරට පෞද්ගලික වාහන භාවිතාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ලෝක බැංකුවේ ඉල්ලීමක් මත වාහන මිල ඉදිරියේදී ඉහල දැමීමේ සැලැසුමක් ඇතැයි වාහන අලෙවිකරුවන්ගේ කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ඒ අනුව 1000 සී සී  ප්‍රමාණයේ ඇංජින් ධාරිතාවයෙන් යුත් වාහන වල මිල බොහෝදුරට ඉහළ යාමට ඉඩ ඇති බව පැවසේ.
    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා වාහන ආනයන කරුවන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
  • බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්

    බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. මෙවර පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටය.  
    “දහසය දෙනාගේ කණ්ඩායමක් නිර්මාණය වීම අපි ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඒ අයට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕන කියමින් විමල් දහසයේ කණ්ඩායම පිළිගත්තේය. එහෙත් විමල්ගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කල්ලියේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.
    “දහසය දෙනාගේ කණ්ඩායමේ ඉන්න ඩිලාන් පෙරේරා කියලා තිබුණා හිටපු පක්ෂ ‍ලේකම් අයින් වෙලා අලුත් පක්ෂ ‍ලේකම් කෙනෙක් පත්වීම හොදයි කියලා. ඒත් අලුත් ‍ලේකම් කියන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී කියලයි. ඒ වගේ තත්ත්වයක් යටතේ් දහසයේ කණ්ඩායම එක්ක වැඩ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. 
    “මේ අදහස් නිසා ඒකාබද්ධය බෙදිලා කියලා කතා වෙනවා. අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේශම් වෙන්න ඕන. අපිට මොන මතවාද තිබුණත් සාකච්ඡා කරලා තීන්දු ගන්න ඕන”මහින්ද කීවේය.
    “ආණ්ඩුවෙන් එළියට බැස්ස දහසය දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියන්නේ මහින්ද මහත්තයාට උදව් කරනවා කියලයි. තවත් සමහරු ‍පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරගෙන මහින්ද මහත්තයා ළඟට යනවා කියනවා. විපක්ෂයට ඇවිත් ජනාධිපතිතුමා එක්ක දේශපාලනය කරනවා නම් අපිට එකඟ වෙන්න බෑ”රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසුවේය.
    “කවුරුහරි ආණ්ඩුවෙන් අයින් වෙනවා නම් ඒ අය ශ්‍රී ලංකා ‍පො.පෙ. එන්න ඕන”කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කතාවට ‍පොහොර දැම්මේය.
    “දහසය දෙනාගේ කණ්ඩායමත් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි”මහින්ද කීවේය.
    “අපි මේ බලවේගය හදාගත්තේ අමාරුවෙන්. ඒක විනාශ වෙන්න දෙන්න බෑ”රෝහිත කීවේය.
    “ඒ කියන්නේ දහසය දෙනා අපි පිළිගන්න ඕන නෑ කියන එකද”විමල් වීරවංශ විමසුවේ තරමක ආවේගයෙන් යුතුවය.
    “ඒ අය ප්‍රතික්ෂේප කරන්න කියලා අපි කියන්නේ නෑ”රෝහිත එයට උත්තර දුන්නේය. 
    මේ සමග තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
  • ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ

    ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගම්පහ, කිරිල්ලවල බලා පිටත්ව ගියේ දිවංගත එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. මෙම උත්සවයට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමද පැමිණ සිටියේ මහින්ද එහි පැමිණෙන නිසාය.
    “ආ.. එන්න මන්ත්‍රීතුමා ඉස්සරහට. දැන් ඉතිං යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපි මතක් වෙලා තියෙන්නේ” එවැනි කතාවක් ඇති වුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය එහි පැමිණ සිටි නිසාය. 
    “මේ අය එනවාට අපි අකමැති නෑ. හැබැයි එන අය කෙළින් එන්න ඕන” ප්‍රසන්න කීවේ සුදර්ශනීට ඇනුම් පදයක් කියමිනි. සුදර්ශනී මහින්ද සමග සමීපව කටයුතු කරනවාට ප්‍රසන්නගේ වැඩි කැමැත්තක් නැත. 
    මේ අතර උත්සව භූමියට පැමිණි මහින්ද පිළිරුව විවෘත කරන්න පෙර ප්‍රසන්න කොහිදැයි බැලුවේය. ඒ වන විටත් බොහෝ දෙනා මහින්ද වටකරගෙන සිටි නිසා ප්‍රසන්න සිටියේ මඳක් පසුපසට වන්නටය.
    “මන්ත්‍රීතුමා සර් හොයනවා” මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රසන්න අසලට පැමිණ කීවේය. එතැන තිබූ තදබදය නිසා ප්‍රසන්නට ඒ අසලට යාමටවත් නොහැකි විය. 
  • කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්

    කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්

    වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වැයවන සියලු වියදම් රජය මගින් දැරීමට තීරණය කළ බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට  පවසයි.
     
     උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් රැගෙන ඒම වෙනුවෙන් වියදම් වූ මුදල ද රජය මගින් ගෙවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්‌ෂ 5 1/2 ක්‌ වැයවී ඇතැයිද ඇමැතිවරයා කීවේය. 
     
     

  • දැරියන් රැසකට අතවර කළ යාපනයේ අමන ගුරා අත්අඩංගුවට

    දැරියන් රැසකට අතවර කළ යාපනයේ අමන ගුරා අත්අඩංගුවට

    යාපනය වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගිය සිසුවියක්‌ අපයෝජනයට ලක්‌කළ සහ තවත් දැරියන් කීපදෙනෙකුට අතවර සිදුකළා යෑයි පවසන ගුරුවරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
     
     වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට යන සිසුවියන් හට අතවර සිදුකරන බවට ලද පැමිණිල්ලක්‌ අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පිළිබඳව සිසුවියන් තිදෙනකු පොලිසියට පැමිණිලි කර ඇත. 
     
     ඒ අනුව පසුගිය බදාදා අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
     
     මේ අතර මෙම ගුරුවරයා උගන්වන පාසලෙන් මොහුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මවුපියන් හා පාසල් සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
     
     මේ අනුව ඔහුව පාසලෙන් ඉවත් කිරීමට අදාළ පාසලේ විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.වැටීමෙන් පිළිස්‌සුම් තුවාල ලබා ඇත. 
      

  • රජීව් ගාන්ධි ඝාතකයින් ඉල්ලූ ජනපති සමාවට ලැබුණු ප්‍රතිචාරය

    රජීව් ගාන්ධි ඝාතකයින් ඉල්ලූ ජනපති සමාවට ලැබුණු ප්‍රතිචාරය

    හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු රජය  කළ ඉල්ලීමක් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසයි.

    එම පුවත්පතට අනුව අදාළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මධ්‍යම රජයට එවැනි තීරණයකට එළඹිය නොහැකි බවයි. මෙවැනි සංකීර්ණ සිද්ධීන් වලදී අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවන බවද ජනාධිපති රාම් නාද් කෝවින්ද් පවසා ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසන අතර එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ මානුෂීය කරුණු සලකා බලා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ඝාතනයේ වරදකරුවන් හට සමාව දී නිදහස් කරන ලෙසට තමිල්නාඩු රජය ඉකුත් වසර 04 තුළදි  දෙවරක් රජයට ලිපි මගින් ඉල්ලීම් කර ඇති බවයි. 

  • නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නවා

    නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නවා

    නොරොච්චෝල බලාගාරය ජාතික අවශ්‍යතාවක් නිසා ඉදිරියේදී පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තුළින් පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි හානි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසීය.

    ඒ මහතා පෙන්වා දෙන්නේ රටේ විදුලිබල අවශ්‍යතාව සපුරාලීම පිණිස විශාල දායකත්වයක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සපයන බවයි.නොරොච්චෝල බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන් පරිසරයට සිදුවෙතැයි පවසන හානිය වලක්වා ගැනිම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග බොහෝමයක් මේ වනවිට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව පරිසර අධිකාරිය යහපත් ප්‍රතිචාර දක්වා ඇත.

    ඉදිරියේදී නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ නිර්දේශ මත වඩාත් පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකශ කළේය.

    ඒ අනුව ඉදිරියේදී  සුළං බාධක භාවිත කිරීම, බලාගාරයෙන් පිටවන අළු සෑම විටම ආවරණය කර තැබීම සහ වඩාත් ඉහළ ප‍්‍රමිතියකින් යුත් ගල් අඟුරු භාවිත කිරීම ආදිය සිදුකරන බව විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව අදාළ සුළං බාධක මේ මස 22 දින ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී එම් එස් බටගොඩ, වයඹ පළාත් මහ ඇමති ධර්මසේන දසනායක යන මහත්වරුන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකා ගල් අඟුරු සමාගම සහ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යන ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

  • ලක්ෂ දහයකට නව ඉඩම් දෙන වැඩසටහන අති සාර්ථකයි

    ලක්ෂ දහයකට නව ඉඩම් දෙන වැඩසටහන අති සාර්ථකයි

    දසලක්ෂයක පිරිසකට ඉඩම් ලබාදීමේ වැඩසටහන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පවසයි.

    වතුකරයේ ජනතාවට ද ඉඩම් ලබාදීම කඩිනමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

  • වෙල්ලමුල්ලිවයික්‌කාල් සැමරුම ගිය වියදම විමසුවාට උරණවී විපක්‌ෂ නායකයාගේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක්‌ ගැටගහලා

    වෙල්ලමුල්ලිවයික්‌කාල් සැමරුම ගිය වියදම විමසුවාට උරණවී විපක්‌ෂ නායකයාගේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක්‌ ගැටගහලා

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ 12 දා සවස යාපනයට පැමිණ උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායක එස්‌.තවරාසා මහතාගේ නිවසේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක්‌ ගැටගසා තිබේ.
     
     විශ්වවිද්‍යාල සිසුන් මේ අන්දමට සල්ලි මල්ලක්‌ ගැට ගසා ඇත්තේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට මැයි මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් පළාතේ පැවති උත්සවය සඳහා ගිය වියදම් හා අයවැය පිළිබඳව විපක්‌ෂනායකවරයා පළාත් සභා සැසිවාරයේදී දිගින් දිගටම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය පළ කිරීමටය.
     
     මෙම උත්සවය සඳහා උතුරු පළාත් සභාවේ එක්‌ දෙමළ මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 7000 බැගින් එකතු කළ අවස්‌ථාවේදී විපක්‌ෂනායක තවරාසා මහතාද රුපියල් 7000 ගෙවා තිබේ.
     
     උත්සවයෙන් පසුව එම මුදල් සම්බන්ධයෙන් විපක්‌ෂනායකවරයා දිගින් දිගටම කරුණු විමසීමෙන් උරණ වූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එක්‌ සිසුවකුගෙන් රුපියල බැගින් එකතු කොට උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායකවරයා ලබාදුන් රුපියල් 7000 පියවා තිබේ.
     
     මෙම රුපියල් 7000 මුදල ද රැගෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී විපක්‌ෂනායකවරයාගේ මුදල බාරගෙන එය ඔහුට ආපසු ලබා දෙන මෙන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
     
     පසුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එම මුදල ද රැගෙන විපක්‌ෂනායකවරයා හමුවීමට ගිය අවස්‌ථාවේදී එම මුදල බාර ගැනීම ප්‍රතික්‌ෂේප කරමින් විපක්‌ෂනායකවරයා පලාගොස්‌ ඇත.
     
     ඉන් අනතුරුව සිසුන් විපක්‌ෂනායකවරයාගේ නිවසේ ගේට්‌ටුවේ මුදල් පසුම්බිය ගැට ගසා ඔහුට දුරකථන ඇමතුමක්‌ ලබාදී පිටව ගොස්‌ ඇත.
     
     යුද්ධයේදී මියගිය වැසියන් සිහිපත් කිරීම පිණිස පැවති උත්සවයට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශාල මුදල් පරිත්‍යාගයක්‌ කළ බව පවසන සිසුන් තවරාසා විපක්‌ෂනායකවරයාට ඔහුගේ රුපියල් 7000 ක මුදල එතරම් වටින්නේ නම් එය ඔහුට ආපසු බාරදීම උචිතම ක්‍රියාව බවද කියා ඇත..