Tag: breaking post
-

හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන ඕන කෙනෙකුට වැඩ මවන්න පුළුවන්
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනයෙන් පසු සියලු අමාත්‍යවරුන් ඇමතූ ජනාධිපතිවරයා, කැබිනට් අමාත්‍යවරුන් වෙත රාජ්‍ය ආයතන ගැසට් කිරීමේදී විද්‍යාත්මක පදනම පැහැදිලිවම සැලකිල්ලට ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.රටට සහ ජනතාවට අවංකව සේවය කරනා මෙන් තමා ඉල්ලා සිටිනා බවත් සීමා ගැන නොසිතා කළ හැකි දේ බොහෝ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර “තමාගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන වැඩ මවන්න පුළුවන් ඕන කෙනෙකුට. තමන්ට තියෙන ක්ෂේත්‍රයේ සීමාව නෙවෙයි හිතන්න ඕන. ඒ තුළ ඉඳගෙන ඒ කරන කටයුතු වගේම ඊට එහා දෙයක් හිතල කරන්නයි ඕන.” ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. -

රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු නිසයි අස්වුනේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ තනතුරු දරමින් සිට ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් මහනුවරට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඊයේ (2) දින බැහැදුටු අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී. ජෝන් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය,“රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු අතර අවුරුදු දෙකක කාලය තුළ විශාල කාර්යභාරයක් සිදුකළ නොහැකි බව අපට පෙනුණා. මේ කාලය තුළ වැරදි ක්‍රියාමාර්ගවල තවදුරටත් යෙදුණොත් ජනතාවට වගකියන්න සිදුවෙන නිසයි ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටිමින් අපගේ කාර්යභාරය ඉටුකිරීමට අප තීරණය කළේ” -

ඉදිරි දිනකීපය තුල තවත් ඇමැති ධුර කිහිපයක වෙනසක්
ඉදිරි දින කිහිපය තුළ තවත් ඇමැතිවරුන් කිහිපදෙනෙක් අලුතින් පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.එහිදී එක් කැබිනට් අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර කිහිපයක් සඳහා ඇමැතිවරු පත් කෙරෙනු ඇති බවත්මෙහිදී කැබිනට් අමාත්‍ය ධුරය සුළු ජාතික පක්ෂ නියෝජිතයකු සඳහා හිමිවනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.මිට අමතරව දැනට පුරප්පාඩු වී ඇති නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු තවත් ඇමැති ධුර කිහිපයක් සඳහා අලුතින් පත් කිරීමට නියමිතය. -

යාපනයේ “ආවා කල්ලිය” යලි හොල්මං කරයි
යාපනයේ ක්‍රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලියේ බවට සැකකරන තරුණයන් දෙදෙනකු යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නැටුම් විෂය උගන්වන ගුරුවරියක පෙරේදා (30) දා සවස කඩුවලින් කපා තුවාල සිදු කොට පලා ගොස් ඇත.යතුරුපැදියකින් පැමිණ ගුරුවරිය කපා දමා ඇත්තේ ඇගේ නිවස තුළදීම වන අතර කඩුවලින් කැපීම නිසා ඇය බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.තුවාල ලත් ගුරුවරිය යාපනයේ කොකුවිල පළාතේ පදිංචිකාරියක වන අතර ඇය සේවය කරන්නේ කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ බවත් මෙම තරුණයන් දෙදෙනා ගුරුවරිය කඩුවලින් කපා දැමීමට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සැකකාර තරුණයන් දෙදෙනා මේ අපරාධය සඳහා ගුරුවරියගේ නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ සිද්ධියට මුහුණ දුන් ගුරුවරිය හා ඇගේ වයෝවෘද්ධ මව පමණක් බවත් පොලිසිය කියයි.මේ ප්‍රහාරය සඳහා පැමිණි තරුණයන් දෙදෙනාගේ ඡායාරූපයක් සී. සී. ටී. වී. කැමරාවක ආධාරයෙන් යාපනය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ. -

2018 මුල් මාස හතර ඇතුලත ඩෙංගු රෝගීන් 17028 ක් වාර්තා වෙලා
2018 අප්‍රේල් මාසය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 17028 ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති අතර ඒ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7178ක්,පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4395ක් මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 3303 ක් අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 2152ක් ද වශයෙනි.ඒ අනුව 2018 වසරේ ජනවාරි සංඛ්‍යවට වඩා අප්‍රේල් මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කරන බව සඳහන් වන අතර මෙම කලසීමාව තුළ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශය තුළ ජනවාරි,පෙබරවාරි, මාර්තු,අප්‍රේල්, මාසවල පිළිවෙළින් 1177,622,475,349 ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජනවරි මස රෝගීන් 824 පෙබරවාරි මස රෝගීන් 469ක් මාර්තු මස රෝගීන් 371ක් අප්‍රේල් මස රෝගීන් 232ක් වාර්තා වී ඇත.ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 30.9%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත් වීමේ අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කෙරෙන බව ඩෙංගු රෝග විද්‍යා ඒකකය පවසයි.එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බවද එම ඒකකය වැඩිදුරටත් පවසයි. -

අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්
අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී හිමිවූ “රණ මයුර” සම්මානය සමග ලැබුණු “පදක්කම” අද (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බවට වේ.අද උදෑසන 10:00-11:00 ත් අතර කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම “පදක්කම” අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටි අතර එතුමාගේ අවසන් කටයුතු සිදුවූ අද දවසේදී අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පවුලේ ඥාතීන් ගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. -

එජාප පසුපෙළ ගිනිගනී … වහාම අගමැති හමුවීමට ඉල්ලයි
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් ඉල්ලා අද දිනයේ ලිඛිතව ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකරන බව පසුපෙළ මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස්වී කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.ඒ අනුව අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය අද දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව භාරදීමට කටයුතු කරන බවද එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙන අතර පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාව වර්ජනය කර තිබිණි.පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බවත් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇත. -

අරාබි ජාතිකයෙක් ලෙස වෙස්වලාගෙන ජනපති සිටි තැනට ආ තැනැත්තා මානසික රෝගියෙක් ලෙස හැඟවීමට උත්සාහ කරයි
අරාබි ජාතිකයකු ලෙස වෙස් වළාගෙන කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ පසුගිය 28 දා පැවැති රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණ සිටි සැක කටයුතු පුද්ගලයකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 3 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.මානසික රෝගියකු ලෙස හැඟවීමට තැත් කරන මොහු අවුරුදු 57 ක් පමණ වයසැති අයකු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පස්‌වරුවේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැති භූමියට ඇතුළු වීමට උත්සහ කරමින් සිටියදී ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර සිය භාරයට ගෙන බිංගිරිය පොලිසියට භාරදුන් බවත් බිංගිරිය පොලීසිය පවසයි. -

අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක්
දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමේදීත්, ආණ්ඩු කිරීමේදීත් අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කලේය.මෙහිදී ජනාධිපතිවරයා හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පිදීම ද සිදු කළේය. -

කැබිනට් වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක් විපක්‍ෂයට
අද පැවැත්වීමට නියමිත කැබිනට් මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්. බී. දිසානායක මහතා පැවසීය.
මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි. පක්‍ෂයේ ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට් අමාත්‍ය ධුර ලබා නොගන්නා බවත් එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තේ ශ්‍රීලනිප ආණ්‌ඩුවක් බිහිකිරීමට බවත්, එය ඉටුවෙන තෙක් විපක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුවට එරෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එස්.බී. දිසානායක මහතා එහිදී කියා සිටියේය.ඒ සඳහා ඉවත් වූ 16 දෙනාට ශක්‌තියක් වෙමින් නව කැබිනට් මණ්‌ඩල සංශෝධනයේ දී තවත් දස දෙනකු විපක්‌ෂයේ අසුන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-

උදයංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්
තමන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වී ඇත.
මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ දී මූල්‍ය වංචාවක් සිදුව කර ඇති බවටයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන පරික්ෂණයක් සඳහා පෙනී සිටින ලෙස උදයංග වීරතුංගට දැනුම්දී තිබුණත් ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයකදී පෙනී නොසිටි බැවින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.
පසුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීස් ඒකකය විසින් රුසියාවේ හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන ලෙස කල ඉල්ලීම මත උදයංග වීරතුංගට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති අතර ඔහු ඩුබායි ගුවන් තොටුපොලේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංගව මෙතෙක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා විවිධ හේතු පල විය.
කෙසේ වෙතත් ඔහු විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇති ලිඛිත ඉල්ලීම මගින් පෙන්වා දී ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ මූල්‍ය වංචාවකට සම්බන්ධ නොවු බැවින් තමාට එරෙහි ජාත්‍යන්තර රතු අත්හිටුවන ලෙසයි.
-

මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං
අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ. ප්‍රේමණීය ගීතයෙන් රසික හදවත් අමනාදානන්දයට පත් කරපු ඔහුගේ පුතා වන රනිල් මල්ලවාරච්චි ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ. ඉතින් මේ රනිල් – නිරාශා යුවලගේ පුතා දැන් තරුණයෙක්. ඒ වගේම ඔහු මිල්ටන්ගේ කටහඬ ඒ ආකාරයටම ඇති බවත් අපිට අසන්නට ලැබුනා. ඉතින් මේ හිරිමල් වියේ ඉන්න මේ තරුණයා තමයි පවන් මල්ලවාරච්චි. අධික කාර්ය බහුලත්වය මැද වුවත් ඔහු අපි සමග ටිකක් කතා කලා…
කොහොමද පවන් මේ දවස්වල වැඩ කටයුතු ?
මේ දවස්වල යුනිවර්සිටි යනවා. ඒ අතරේ ෂෝ වගයක් ඇවිත් ඒවට ඩේට්ස් දාන්න අමාරුයි. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ස්ටඩි කරනවා
දැන් ගුවන් නියමුවෙක් වෙන්න නේද හීනය ?
ඔව්. අනිවාර්යෙන්ම
ඒ කියන්නේ මල්ලවාරච්චි පරම්පරාව උඩු ගුවනේ වැඩ පෙන්වන්න සූදානම් ?
ඔව්. මල්ලවාරච්චි පරම්පරාවෙ කවුරුත් නෑ. මම තමයි. මගේ සීයා ප්ලේන්වල ගිහින් නෑ කවදාවත්.එයා පුදුම බයක් තිබ්බලු. යාලුවෝ කිව්වලු සිහි නැති කරල හරි ගෙනියන්නම්, යමු එකපාරක්වත් කියල. ඒත් එයා ගිහින් නෑ. වෙන රටවල ආපු ෂෝ වලට මගේ පුතාව ගන්න කියල, මගේ තාත්තව යවලා. අද වගේ කාලෙක හිටිය නම් මම එක්කගෙන යනවමයි.
සීයා ප්ලේන්වල යන්න බය උනාට ඔබගේ පියා රනිල් යන්න බලයවෙලා නැත්ද ?
(සිනාසෙමින්) නැහැ. එහෙම බයක් තිබිල නැහැ.
පවන්, ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද ?
මම දැන් යුනිවර්සිටි ෆ්‍රස්ට් ඉයර් එකේ ඉන්නෙ. මගේ ඩිග්‍රි එකට Bachelor of Piloting. දැන් මම CESSNA 172 ප්ලේන් එක තනියෙම ගෙනියනවා. තව ඉස්සරහට අනිත් ඒවා කරනවා.
ඔබ දැන් හිරිමල් වියේ පසුවන තරුණයෙක්, මිල්ටන් මල්ලවාරච්චිගෙ මුණුබුරාට තරුණියො ගොඩාක් ආකර්ෂණය වෙනවා ඇති නේ ?
ඒක නම් ඉතින් අහන්න ඕන තරුණියන්ගෙන්ම තමයි (සිනාසෙයි). මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් ලංකාවෙ තරුණියො ගැන කියන්න දන්නෙ නෑ. මෙහේ නම් ඉතින් අඩුවක් නෑ.
පවන්ගේ අනාගතය ගැන අම්මා, තාත්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
මගේ අම්මයි තාත්තයි මාව මේ තැනට ගෙන්න ලොකූ කැපවීමක් කරල තියෙන්නෙ. තාම ඒකෙ අඩුවක් නෑ. එයාලගෙ හීනය හැබෑ කරල මගේ හීනයට යන්න තමයි මම ට්‍රයි කරන්නෙ. තව පොඩි කාලයයි ඒකට යන්නෙ.
ඇත්තටම පවන්ට පෙම්වතියක් නැත්ද ?
පෙම්වතියක් නෑ. ආදරය කරනව නම්, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. නැත්නම් ආදරයෙන් වැඩක් නැහැනෙ. ඒ නිසා ආදරයට වැඩි බරක් යොදන්න පුලුවන් කාලෙක ඒ ගැන හිතනවා. දැනට මූලික අධ්‍යාපන වැඩ ටික කරනවා.
ඔබගේ කටහඬ මිල්ටන්ට සමානයි, ඔබගේ ගීතයක් නිර්මාණය කරල නැත්ද ?
මම වැඩියෙන් කැමති මගේ අම්ම ලියපු”සිහින ලෝකෙක”කියන ගීතයට. ඒකෙ ලෙලුම් අංකල් මියුසික් කලේ.
පවන්, ඔයාගේ සංගීත කටයුතු අධ්‍යාපනයට බාදාවක් නැත්ද ?
මම සිංදු කියන්නෙ හොබි එකට. මට අමතර වෙලාවක් තිබුනොත් විතරයි ෂෝ ගන්නෙ. ඒක මගේ මේන් ජොබ් එක නෙමෙයි. මම අවුරුදු 15 ඉඳලා පාට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. අදත් ඒ ජොබ් එක කරනවා. මේ ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මගේ ඉගනීමෙ වැඩටික කරගෙන යන්නෙ.
ඒ සඳහා අම්මගෙන්, තාත්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
අම්ම තමයි පොඩිකාලෙ ඉඳලා මගේ,නංගිගේ පස්සෙන් ඉඳලා ස්කූල් වැඩ ගෙදර වැඩ ඔක්කොම බලන්නෙ. අපි දෙන්න ගෙදර බෙඩ් රූම් එකවත් අපි අස්කරන්න ඉඩ තියල නෑ. උදෙන්ම නැගිටලා බෙඩ් එක හදලා වොෂ් රූම් යන්නෙ. ඒ හැමදේම අම්ම අපිට පුරුදු කරපු ඒවා. තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. එයාගෙ පිලිවෙල මම ගොඩාක් පුරුදු උනා. ඉතින් ඒ දෙන්නගෙම සහයෙන් තමයි අපි අදත් දේවල් කරන්නෙ.
පවන්ට හොඳට රසට උයන්න පුලුවන්ලු නේද ?
කවුද කියන්නෙ (සිනාසෙමින්) මට රසට උයන්න නම් බෑ. හැබැයි රසට කන්න ඕන. කොහෙන් කෑවත් වැඩක් නෑ අම්මා උයන කෑම තමයි ඕනම. මම එග් බූඩ්ල්ස් වගේ දේවල් තනියෙම හදාගන්නවා. දැනට පුලුවන් එච්චරයි.
ඕස්ට්‍රේලියාවෙ ජීවත්වෙන ඔබ ගොඩාක් කාලෙකින් ලංකාවට ආවෙ නෑ නේද? එන්න බලාපොරොත්තුවක් නැත්ද ?
මම 2016 සහ 2017 මගේ අම්ම කරන Tribute to Milton ෂෝ එකට ආවා. ගිය අවුරුද්දේ අපි දෙන්න ඒ ෂෝ එක ඇමෙරිකා සහ ලන්ඩන් අරං ගියා. බලමු ලබන අවුරුද්දේ එන්න ඉන්නවා.
පවන් නිවාඩු ගත කරන්න යන්න කැමති කොහෙද ?
ලංකාවෙ නම් ඕෆ් රෝඩ්ස් යනවා. තාත්තගෙ හොබි එක ඒක. නමුත් මෙහේ ඇවිත් නම් යන්න බැරි උනා. මේ ලගදි මෙහේ තාත්තා ගියා යාලුවො එක්ක. මම ගොඩක් බිසී නිසා මට ටයිම් නෑ මොනවත් කරන්න. ෆ්‍රී ටයිම් එකේ සින්දුවක් අහගෙන නිදාගන්න තමයි කැමති.
ඔබගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක්, ඔබ කැමති මොනවගේ ක්‍රීඩා වලටද ?
මම ක්‍රිකට් ගැහුවා. ක්ලබ් එකෙත් සෙල්ලම් කලා. පස්සෙ ටයිම් නැති නිසා අත්ඇරල දැම්මා. අම්මි සීසන් එකේ ලංකාවට යන්න දාගන්නවා. ටයිම් ප්‍රශ්ණ නිසා අතඇරල දැම්මා. මැච් නම් මිස් කරන්නෙ නෑ යනවා බලන්න.
ඔබ ගුවන් නියමුවෙක් වීමට ඉගන ගන්නවා. එසේ නොවුනා නම් මොනවගේ ක්ෂේත්‍රයක් ගෝරාගනීවිද ?
පයිලට් කෙනෙක් නොවුනා නම්, මේ යන විදියට සින්දුම කියයි මගේ හිතේ. අම්ම කැමති නෑ මම සින්දු කියන්න යනවට. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. (සිනාසෙයි)
ඔබගේ සීයා. ඒ කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සහ ඔබගේ පියා ඇරුනම කවුද වැඩියෙන් ප්‍රියකරන ගායකයා ?
මම සීයාගෙ සමකාලීන හැම ගායකයෙක්ටම ආසයි. ජෝති අංකල්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් අංකල්, මේ හැමෝගෙම සින්දු මම අහනවා.
අවසාන වශයෙන් ඔබගෙන් මෙහෙම දෙයක් අහන්නම්, ඔබ විවාහ වෙනව නම් මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක්වද තෝරාගන්නෙ ?
මගේ ජොබ් එකේ හැටියට ෆැමිලි එකත් එක්ක ස්පෙන්ට් කරන්න තියෙන කාලය අඩුයි. ඒ දේ තේරුම් ගන්න පුලුවන් වුන කෙනෙක් තමයි මම තෝරගන්නෙ. ඒ කොහොම උනත්, ලස්සන නම් අනිවාර්යයි. ඔක්කොමක් Ok උනත් අම්ම Ok වෙන්නම ඕනි. මොකද එයාට පෙන්නන හැම දෙයක්ම එපා එපා එපා විතරයි කියන්නෙ. (සිනාසෙයි) තාත්ත නම් ඉතින් ඔක්කොම Ok. කොහොම උනත් තව කල් තියෙනවා ඉස්සෙල්ලා මගේ ඩ්‍රීම් එකට යන්න ඕනෙ. කෙල්ලො නම් මොනාද (සිනාසෙයි). අම්ම මේ ලඟදිත් එකක් කැඩුවා.
පවන් පහුගිය 27 වෙනිදා ඔබ උපන්දිනය සැමරුවා. ඒකටත් සුබ පතන ගමන් අපි නතර වෙන්නම්. ඔබට ජය පතනවා
ස්තූතියි ඔයාලටත්
ඔහුගේ ඡායාරූප පෙලක් පහතින්……






-

රුපියලේ අගය පිරිහුණත් විදේශ ණය පියවීමට එය බාධාවක් නොවේ
ගිය වර්ෂය (2017) සඳහා වන මහ බැංකුවේ නවතම වාර්තාව ඊයේ (26 දා) නිකුත් වූ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහුණත් එය විදේශ ණය පියවීමට කිසිදු බාධාවක් නොවන්නේ යෑයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
විදේශ මුදල්වලින් ගන්නා ණය පියවන්නේ විදේශ මුදල්වලින් නිසා එහිදී විදේශ ණය බර වැඩිවීමක් සිදුනොවන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටි අතර ගිය වර්ෂය (2017) සඳහා වන නවතම මහ බැංකු වාර්තාව නිකුත් වීම නිමිත්තෙන් ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රුපියල පිරිහීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ,
” අප විදේශ ණය ගන්නේ විදේශ විනිමයෙන්. එනම් ඇමරිකානු ඩොලර්වලින්. ඒවා නැවත ගෙවිය යුතු වන්නේද ඇමරිකානු ඩොලර් වලින්. ගිණුම්කරණ අවශ්‍යතාවලදී එය රුපියලේ වටිනාකමින් සටහන් කරනවා. එවිට එම අගය ඉහළ යනවා. එහෙත් විදේශ ණය පියවීමේදී ඒවා ගෙවන්නේද ඩොලර්වලින්. ඒ නිසා රුපියල පිරිහීම නිසා විශාල මුදලක් රජයට අහිමි වෙනවා කීම සහ එම මුදල් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න තිබුණා කියා කීම සම්පූර්ණයෙන්ම කිසිම තේරුමක් නැති කතාවක් බවද එසේ නම් එහි අනිත් පැත්ත සැලකූ විට රුපියල අධිප්‍රමාණය කිරීමෙන් රජයට මුදල් උපයා ගතහැකි බවද ඒ නිසා රුපියල පිරිහීම නිසා රජයට මුදල් අහිමි වන්නේ යෑයි කීම සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු ප්‍රකාශයක් බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. ගිය වසරේ (2017) ආර්ථිකය සියයට 3.1 කින් වර්ධනය වෙලා තියෙනවා. අපි හිතන්නේ විභව ආර්ථික වර්ධන වේගය සියයට 5.75 ක් කියලයි. ඒ අනුව ඉතාම පැහැදිලිව නිමවුමේ විශාල පරතරයක් තියෙනවා. ඒ නිසයි සති කිහිපයකට පෙර මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමකට ලක් කළේ. එමගින් යම් ප්‍රගතියක් ලැබෙයි. ඒ සඳහා අපට ආයෝජන අවශ්‍යයි. එහෙත් අපට අඛණ්‌ඩ ප්‍රතිසංස්‌කරණ සමග ඉහළ ආර්ථික වර්ධනයකට යන්න අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සිනහමුසුව කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කීවේය.
“අද මහ බැංකු වාර්තාව (2017) මුදල් නීති පනත අනුව මුදල් ඇමැතිතුමාට පිළිගැන්වූවා. 2017 වසරේ සහ 2018 වසරේ පසුගිය මාස තුන ඇතුළත උද්ධමනය පාලනය කර ගැනීමට අපට හැකි වුණා. නමුත් ආර්ථික වර්ධන වේගය ගත්තම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අපි බලාපොරොත්තු වුණාට වඩා අඩු වාර්ෂික වර්ධනයක් ලැබිලා තිබෙන්නේ සියයට 3.1 ක් කියන්නේ අපේ රටේ ලබාගත හැකි ආර්ථික වර්ධන වේගයට වඩා තරමක් අඩු වර්ධන වේගයක්. එය සලකා බලා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රාමුවෙන් යම්කිසි ආකාරයකින් ඉවත් වෙලා අපි සාමාන්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන තත්ත්වයකට පත් කළා. ඒ අනුව උද්ධමනය මේ මට්‌ටමේ පවත්වාගෙන යන ගමන් ආර්ථික වර්ධනයේ යම්කිසි ඉහළ මට්‌ටමක් ඉදිරියේදී ඇති වෙයි කියල අපේක්‍ෂා කරනවා.
2017 වසර තුළදී සියයට 2 කින් තමයි විනිමය අනුපාතය අවප්‍රමාණය වුණේ. විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමේදී 2017 මාර්තු, අප්‍රේල් මාසවලින් පසුව අදාළ මහ බැංකු විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුවේ මැදිහත් වීම පුළුවන් තරම් අයින් කරල තියෙන්නේ. අපි මැදිහත් වුණේ සංචිත ගොඩනැඟීමේ අවස්‌ථාවට පමණයි. එවැනි තත්ත්වයක් තුළත් විදේශ විනිමය වෙළෙඳ පොළ ඉතාම ස්‌ථාවර ආකාරයකට හැසිරුණා. විශේෂයෙන් වෙළෙඳ පොළ තුළින් තීරණය වූ විදේශ විනිමය අනුපාතයක් තිබුණා. ඒ අනුව පසුගිය දිනවල අපි දැක්‌කා විදේශ විනිමය අනුපාතයේ යම්කිසි ආකාරයක විචලනයක්. එක එක වෙලාවට අඩු වෙනව සහ වැඩි වෙනවා වගේ තත්ත්වයන් දිගටම දක්‌නට ලැබුණා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මහ බැංකුවේ මැදිහත්වීම අඩු නිසා ඉස්‌සරට වඩා උච්චාවචනය වීම වැඩියි. ඒක වැඩිනම් ඊට මැදිහත් වෙලා කටයුතු කරන්නත් මහ බැංකුවට අයිතියක් තියෙනවා.” -

අලුත් තේරීම් කමිටුව මාව ඉවත් කලේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි
2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ඉන්දියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග “2017 දී මාව කණ්ඩායමෙන් ඉවත් කරන විට මම 2017 වර්ෂයේ ලෝකයේ විස්සයි – 20 වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි තැන සිටියා. ලංකාවේ ක්‍රීඩකයන් අතර පළමුවැනි ස්ථානයේ සිටියා. එසේ සිටිද්දී තමයි නව තේරීම් කමිටුව මාව ඉවත් කළේ. මම තේරීම් කමිටුවෙන් මේ ගැන අසුවාම ඔවුන් ප්‍රකාශ කළේ කුඩා පරිමාණ තරගාවලිවලදී අලුත් ක්‍රීඩකයන් අත්හදා බැලීම සඳහා මාව ඉවත් කළා කියලයි. නමුත් ඔවුන් ඉතා වැදගත් තරගාවලියක් වූ නිදහස් කුසලාන විස්සයි-20 තරගාවලියෙනුත් මාව ඉවත් කළා. නිදහස් කුසලාන තරගාවලියට පෙර පැවැති අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මම වැඩිම කඩුලු ලාභියා බවටත් පත් වුණා. මම දන්නේ නැහැ නිදහස් කුසලාන තරගාවලියෙන් මාව ඉවත් කරන්නට ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණද කියලා” යනුවෙන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙවර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස කටයුතු කිරීමට කළ ආරාධනාව ඉතාමත් සතුටින් භාරගත් බව පැවසූ මාලිංග තම ඉදිරි සැලසුම් පිළිබදව ද අදහස් දක්වමින් “අයි.පී.එල්. තරගාවලිය මැයි 26 දා නිමා වෙනවා. ඒ නිසා එළැඹෙන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරයේදී මාව කණ්ඩායමට තෝරාගත්තොත් මට පුළුවන් උපරිමය රට වෙනුවෙන් කරනවා. කෙසේ වෙතත් මම 2019 හා 2020 වර්ෂවල හොඳින් ක්‍රීඩා කරල රටට ජයග්‍රහණයක් ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. දැනට මම හොද ශරීර සෞඛ්‍යයෙන් පුහුණුවීම් කටයුතු හොඳින් සිදු කරමින් ඉන්නවා” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.
-

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු වලට කොටි 4ක් වැයකල අපේක්ෂකයාට වැඩ වරදී
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනයක කොට්‌ඨාසයට තරග කළ දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු සිය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි හතරක් පමණ වැයකර ඇති බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී ඇත.ඔහු මෙම මුදලින් තම කොට්‌ඨාසයේ පාරවල් සෑදීම නිවෙස්‌වලට විදුලිය ලබාදීම, ජලය ලබාදීම ඇතුළු පොදු පහසුකම් සඳහාත් වෙනත් භාණ්‌ඩ හා සේවාවන් සැපයීමටත් යොදා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.යම් මැතිවරණයකදී අපේක්‍ෂකයකුට ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් වැය කළ හැකි සීමාවන් පැනවිය යුතු බවද මෙම අපේක්‍ෂකයාටද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සභාපතිවරයා කියා සිටියේය. -

සුගන්ධිකාගේ ප‍්‍රකාශයෙන් අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වෙනවා
අධිකරණ ක්ෂේත‍්‍රය දැඩිව විවේචනය කරමින් නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ඉකුත්දා කළ ප‍්‍රකාශය සත්‍ය ගවේෂකයෝ සංවිධානය දැඩිව හෙළා දකින අතර මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වෙත කරුණු වාර්තා කරන බව එහි කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේය.
ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර ඇති අතර පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී දුෂිත ලෙස කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කරඇත.
මෙම ප‍්‍රකාශය හුදෙක් දේශපාලන උවමනාවක් මත සිදු කළ එකක් බවට ද නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත චෝදනා කලහ.
නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු සිදු කර ඇති මෙම ප‍්‍රකාශයෙන් මෙරට අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වන බවයි ප‍්‍රකාශ කෙරුණේය.