ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් කලේ අපි..! අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණෙන් නිවේදනයක්..!

ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් කලේ අපි..! අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණෙන් නිවේදනයක්..!
Spread the love

අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ විසින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහජන එක්සත් පෙරමුණේ මැයි දින පණිවිඩය

1956 බලයට පත් මහජන එක්සත් පෙරමුණ රජය ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මහජන එක්සත් පෙරමුණ හා ජාතික සංවිධාන එක්ව ලෝක කම්කරු දිනයට වසර සියයක් ගෙවුණු දින (1987) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දිනයට එල්ල කළ පොලිස් වෙඩි පහරින් දිවිපිදූ නීති ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවක සහෝදරයා සහ ආනන්ද ලාල් කිරිබත්ගොඩ සහෝදරයා සිහිපත් කරමු.

මහජන එක්සත් පෙරමුණ අඛණ්ඩව ප්‍රගතිශීලී ආණ්ඩු තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විවිධ කම්කරු ව්‍යාපාර, වැඩ බිම්වල සටන්වලට සම්බන්ධ වෙමින් ව්‍යවස්ථාදායක මණ්ඩලවල අණ පනත් ගැන අවධියෙන් ජන අරගල කරමින්, වැඩකරන ජනතාව භුක්ති විදින අයිතිවාසිකම් රාශියක් අත් කර දීමට වැඩකරන ජනතාව සමඟ අත් වැල් බැද ගත්තෙමු.

මෙවර මැයි දිනය පැවැත්වෙන්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක අවස්ථාවක ආර්ථික අවපාතය හේතුවෙන් වැඩකරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින මොහොතක ය. මෙම දුෂ්කරතාවයන් පාදක කරගනිමින් දේශීය මෙන්ම විජාතික දේශද්‍රෝහී බලවේග විවිධාකාර අන්දමින් ජන ජීවිතය නොසන්සුන් කිරීමට, තිස් අවුරුදු යුද්ධය අවසන් කර මෙරට ජනතාවට අත්කර දුන් සාමකාමී නිදහස් වාතාවරනය ආපසු හැරවීමට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් කඩා බිඳ දැමීමට හා ඒකීය රාජ්‍ය විනාශ කර දැමීමට කැස කවමින් සිටී.

එම ප්‍රතිගාමී කුමන්ත්‍රණයන් පරාජය කිරීමටත්,දිනූ වැඩකරන ජනතා අයිතිවාසිකම් හා සේවා තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමටත් අධිෂ්ඨාන සහගතව කැපවී කටයුතු කරන ලෙස පන්නරය ලබා සිටින වෘත්තීය සමිති මෙරට වැඩකරන ජනතාවට ආයාචනය කර සිටී.

ජීවන බර සහ දැඩි ආර්ථික පීඩනය අවම කිරීමටත්, ආහාර ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සුලබ කර, ජනතාවට සහන සලසන ලෙසත් මහජන එක්සත් පෙරමුණ රජයට බලකර සිටී.

ශ්‍රේෂ්ඨ මැයි දින පැතුම වූ වැඩකරන ජනතා අයිතීන් සුරකිමු.

ස්තුතියි

මෙයට – විශ්වාසී

නීතිඥ තිස්ස ජයවර්ධන යාපා
ප්‍රධාන ලේකම්
මහජන එක්සත් පෙරමුණ