Author: Editor

  • සිහින ලෝකවල කටයුතු කරන්න එපා – ජනපති රනිල්

    සිහින ලෝකවල කටයුතු කරන්න එපා – ජනපති රනිල්

    • වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි.
    • සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු.
    • ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්.
    • සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ – අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා.
    • එම වැඩපිළිවෙළේදී බැංකු පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා – බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පවසයි.

    රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි.

    රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

    එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.

    ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසු ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බවද අවධාරණය කළේය.

    අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියේය.

    මෙහිදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
    ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි.

  • රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියෝ හමුවේ ජනපති හෙළි කළ දේ

    රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියෝ හමුවේ ජනපති හෙළි කළ දේ

    නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  සංඝ මූලස්ථානය  වෙත අද (05) පස්වරුවේ  පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

    මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව  අප මේ වන විට පෞද්ගලික ණය හිමියන් සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් කර තිබෙනවා. අපට ගෙවීමට තිබු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක් පමණ අඩු කර ගැනීමට හැකිවීමේ සුබ ආරංචිය ඔබවහන්සේට දැනුම් දෙන්න කැමතියි .

    ඒ වගේම ණය ගෙවීම සඳහා වසර 4ක  සහන කාලයක් ලබා ගැනීමටත් සම්පූර්ණ ණය ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා ගැනීමටත් අපට හැකි වුණා. මෙම වාසිය ලබාගෙන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ සැලසුම් සහගතව කටයුතු කළහොත් නැවත ණය නොගන්නා තත්ත්වයකට රට ගෙන ආ හැකියි .

    බෞද්ධ රටක් වන තායිලන්තය විවෘත ආර්ථිකය සමඟ අද ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. තායිලන්තය 1950 වසරේ දී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණයවලට වඩා දෙගුණයක ණය බරක් තිබු රටක්. නමුත් අද වන විට   අපනයනය මත පදනම්ව ධනාත්මක ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. 1991දී ශ්‍රී ලංකාවට කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒම සම්බන්ධව එවකට වියට්නාමයේ කර්මාන්ත ඇමතිවරයා මගෙන් විමසීමක් කළා. අද මට වියට්නාමය කර්මාන්ත ඇමතිවරයාගෙන්  ආයෝජන සහ කර්මාන්ත ගෙන ඒම සම්බන්ධයෙන් විමසීමට සිදු වෙලා.

    මැතිවරණය නියමිත දිනයට පැවැත් විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා. 2015දී  ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 6 සිට වසර 5ක් දක්වා  අඩු කිරීමට යෝජනා කළේ මමයි. අද මේ රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සහනයක් ලබාදීමට රජය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක පූජ්‍ය වලේගොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අත්තංගනේ සාසනරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෑතර මහින්ද ස්වාමීන් වහන්ස, පූජ්‍ය මකුලෑවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අකරැල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරක්ෂක සභාවේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , හිටපු අමාත්‍ය දයා ගමගේ, නිකායේ ආරක්ෂක සභාවේ  ධම්මික සමරවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ණය කපා හැරීමෙන් පොදු ජනතාවට ලැබෙන සහනය කීයක් ද ?

    ණය කපා හැරීමෙන් පොදු ජනතාවට ලැබෙන සහනය කීයක් ද ?

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය 05 වැනිදා පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.

    මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද, නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බවයි.

    රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20ක ජනතාවකට ඉඩම් අයිතිය හිමි වන බවද පෙන්වා දුන්නේය.

    තමා ආණ්ඩුව භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක බවද මෙහිදී පැවසු ජනාධිපතිවරයා නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන බවත්, නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී කුරණෑගල දිස්ත්‍රික්කය ද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    මම ආණ්ඩුව හැදුවේ ඉතා අසීරු කාලයකදීයි. ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. නමුත් මම ආණ්ඩුව භාරගත්තා. සෑම පක්ෂයකම කොටස් එක් කර ගනිමින් ආණ්ඩුව ගොඩනැගුවා. දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා.

    මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත් හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූතියි කළ යුතුයි. තමන්ගේ නිවස ගිනි බත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද අප රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන තිබෙනවා. අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.

    ඒ වගේම අප පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. මේ සහනය මේ රටේ ජනතාවට ලැබී තිබෙනවා.

    ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ. අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.

    මා ආණ්ඩුව භාර ගැනීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට ඉන්දියාව ලිහිල් කොන්දේසි ණය මත ඩොලර් බිලියන තුන හමාරක් ලබා දුන්නා. ඒ වගේම බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. ආර්ථික අසීරුතා හමුවේ වුවද අප බංග්ලදේශය ලබා දුන් ඩොලර් මිලියන 200 ආපසු ගෙවා තිබෙනවා.

    ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. වැට් බදු වැඩි කිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් ආර්ථිකය සකස් කිරීම වෙනුවෙන් එය කිරීමට සිදු වුණා. ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා. ගොවි මහත්වරුන්ට කිව්වා නැවත කොළඹට එන්න කියලා. කොළඹට එන්න බැහැ ඉන්ධන නැතිව.

    අපි ජනතාවට අවශ්‍ය ඉන්ධන , පොහොර ලබා දුන්නා. ඒ අවස්ථාවේ දී පවා ගොවි ජනතාවට කිව්වේ වගා කරන්නේ නැතිව කොළඹට එන්න කියලා.

    ආර්ථිකය කඩා වැටෙද්දි එයින් වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව. දියුණුවන විට එහි වාසිය කොටසකට පමණක් හිමි වෙනවා. අප උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනුයි. පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම් කොටසේ සින්නක්කර අයිතිය අද එම ජනතාවට හිමි වෙනවා. මෙය ආණ්ඩුව තැබූ වාර්තාවක් බව කිවයුතුයි.

    ඒ වගේම දැන් අපට ආධාර ලැබෙන නිසා අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙනවා. අනෙක් මාර්ග පද්ධතියත් මේ සමඟ එක් වෙනවා. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.

  • ජනපතිවරණය කල් දැමීම ගැන ජී.එල්. කළ සුපිරි කතාව

    ජනපතිවරණය කල් දැමීම ගැන ජී.එල්. කළ සුපිරි කතාව

    ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙරේදා (03) ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය චමින්ද දයාන් ලේනව මහතා ජනාධිපතිවරණය කල් දැමීමට තමන්ව පොළඹවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කළ යුතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය.

    මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයට (SC FR 177/2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ විශේෂ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ලේනව මහතා තමාගෙන් හෝ තම නීතිඥයන්ගෙන් උපදෙස් ලබා නොගත් බව ජනපතිවරයා ප්‍රකාශ කළ බව PMD නිවේදනයේ දැක්වේ.

    මහාචාර්ය පීරිස් කියා සිටියේ ජනාධිපති ධූර කාලය වසර පහක් බව පිළිගැනීමට ජනාධිපති වික්‍රමසිංහ මහතාට PMD ප්‍රකාශය හරහා සිදුවී ඇති බවයි.

    ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගියදා කළ අභියාචනය ගැන සඳහන් කළ මහාචාර්ය පීරිස් කියා සිටියේ එජාපයේ ඉහළම මට්ටමේ ආශිර්වාදය නොමැතිව මේ සම්බන්ධයෙන් ලේනව මැදිහත් නොවන බවයි.

    මීට පෙර කිසි දිනෙක බලයේ සිටි දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණයක් කල් දැමීමට උත්සාහ කළ අවස්ථාවක් නොතිබුණු බව පැවසූ මහාචාර්ය පීරිස්, ශ්‍රේෂ්ඨාධිකරණය එම අයදුම්පත නිකම්ම නිෂ්ප්‍රභ කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය අවසන් කිරීම සඳහා 2022 ජූලි මාසයේදී එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් තේරී පත් වූ බැවින් ජනාධිපති ධුර කාලය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තිබිය නොහැකි බව හිටපු නීති මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පනතේ සඳහන් පරිදි මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් ඉදිරියට යනු ඇතැයි රටම අපේක්ෂා කරන බව මහාචාර්ය පීරිස් මහතා පැවසීය.

    “ඊළඟ ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 18 අතර පැවැත්විය යුතුයි. නියමිත ක්‍රියාවලියට කිසිවකුට ඇඟිලි ගැසිය නොහැකියි” යනුවෙන් ප්‍රකාශ කළ මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා නියෝජනයක් ඉදිරිපත් කිරීමේ වගකීම SJB වෙත දැනෙන බව ද පැවසීය.

     

    පසුගිය වසරේ මාර්තු මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා පළාත් පාලන ආයතන අතුරුදහන් කළ බැවින්, විශාල වශයෙන් ජනප්‍රිය නොවූ පරිපාලනයේ ආයු කාලය දීර්ඝ කිරීමට වත්මන් පාලනය හැකි සෑම දෙයක්ම කරන බව විපක්ෂයට වැටහුණු බව මහාචාර්ය පීරිස් මහතා පැවසීය.

    මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (04) මිනුවන්ගොඩ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපති වික්‍රමසිංහට හෝ තම රජයට ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් කල් දැමීමට අවශ්‍ය නොවන බවයි. ඉදිරි වසර පහ තුළ රට මෙහෙයවීමට වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා තේරී පත් විය යුතු බව අමාත්‍ය රණතුංග යළි අවධාරණය කළේය.

  • ‘ලේනව‘සහ  SJB  සම්බන්ධය ඇත්තක්ද ?

    ‘ලේනව‘සහ SJB සම්බන්ධය ඇත්තක්ද ?

    ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා සමග තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බව SJB මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    “සමහරු ලෙනව SJB එකත් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපිට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එයාව අපිත් එක්ක සම්බන්ධ කරන්න හදන අය මඩ ගහන එක විතරයි කරන්නේ” සේනසිංහ අවධාරණයෙන් කීවේය.

    ලෙනව මුලින් SJB සමග සම්බන්ධව සිටි රොහාන් පල්ලෙවත්තගේ නායකත්වයෙන් යුත් ජාතික සංවර්ධන පෙරමුණේ සාමාජිකයෙකු බව මීට පෙර වාර්තා විය. ඔහු දැන් SJB කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු බවද වාර්තා විය.

    මේ අතර ලේනව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරනු ඇතැයි සේනසිංහ විශ්වාසය පළ කළේය.

    “හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහකට සීමා කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර ඇති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් නැහැ,” ඔහු පැවසීය.

  • සොරණාතොට ලොරි අනතුරින් හතරක් මරුට

    සොරණාතොට ලොරි අනතුරින් හතරක් මරුට

    බදුල්ල, සොරණතොට ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ස මිය ගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ලොරි රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

  • බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

    බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

    එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත.

    මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනාගෙන ඇති අතර මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110කට වැඩි සංඛ්‍යාවක් පමණි.

    වසර 14ක් පුරා කම්කරු පක්ෂයට එරට පාලන බලය ලබා ගැනීමට නොහැකි විය. ඒ අනුව වසර හතරකට පෙර ශ්‍රීමත් කියර් දැඩි වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින් වෙනුවට කම්කරු පක්ෂයේ නායකයා ලෙස පත් කෙරුණු අතර ජයග්‍රහණය කරා ගෙන යාමේ අරමුණින් පක්ෂය නැවත දේශපාලන ගමන් මගේ මධ්‍යස්ථ ස්ථානයක් වෙත ගෙන ඒමට ඔහු විසින් කටයුතු කරනු ලැබීය.

  • ජනාධිපතිවරණය පෙත්සම: ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මෙන්න

    ජනාධිපතිවරණය පෙත්සම: ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මෙන්න

    ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

    ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා නම් කරනු ලැබ සිටිති.

    මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වැනිදා කැඳවීමට නියමිතය.

    ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.

    පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.

    “1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. “යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ “2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි” යනුවෙනි.

    මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    මූලාශ්‍රය – බී.බී.සී සංදේශය

  • ඇල්පිටියේ PHI ඝාතනය කළේ ඇයි ?  අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    ඇල්පිටියේ PHI ඝාතනය කළේ ඇයි ? අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය අනන්‍යතාව වැරදීමකින් සිදු වූවක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    පසුගිය පෙබරවාරි මාසයේ ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනයට ලක්වූ අතර මෙම ඝාතනය ගැන විශාල සමාජ අවධානයක් ද යොමුවිය.

    හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් ළඟ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී තමන් පාතාලයේ වෙඩික්කරුවෙකු බවත් කොන්ත්‍රාත්තුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සිදුකළ බවත් පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ඩුබායි හි සැඟවී සිටින පාතාල නායකයෙකු ලෙස සැලකෙන ‘සමන් කොල්ලා‘ නැමැත්තා විසින්  දීපාල් රොෂාන් කුමාර පදිංවිව සිටින ප්‍රදේශයේම පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීම සඳහා මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

    උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට වෙඩික්කරු විසින් නිල ඇඳුමෙන් සැරසී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඡායාරූපය ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඩුබායි වෙත පලාගොස් සැඟව සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා විසින් වෙඩි තැබීමට සැලසුම් කර ඇත.

    සමන් කොල්ලාට අයත් බව කියන හෙරොයින් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පොලිස් නිලධාරියා ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.

    සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත ඕවිට ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ එම්.එම් වර්ගයේ පිස්තෝලයක්, මැගසිනයක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට භාවිත කළ බවට සැක කෙරෙන ජීව උණ්ඩ දහයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. .

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු තුවක්කුකරුට නවාතැන් සැපයූ බව කියන අඹුසැමි යුවළක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

  • ජපානයෙන් අලුත් ‘යෙන් ණය‘ ලැබෙයිද ?

    ජපානයෙන් අලුත් ‘යෙන් ණය‘ ලැබෙයිද ?

    ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ සහ ජපානය, අත්හිටුවා ඇති ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම මත ශ්‍රී ලංකාව සඳහා ඕනෑම නව යෙන් ණයක් ගැන සලකා බැලීමට ජපානය සූදානම් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

    නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අත්හිටුවා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. ලිපි ලේඛන කටයුතු සහ අනෙකුත් විධිවිධාන අවසන් වූ පසු මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය උනන්දු වන බව අදාළ මූලාශ්‍රය හෙළි කළේය.

    ආර්ථික අර්බුද මධ්‍යයේ ජපානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම ඇතුළු ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (Japan International Cooperation Agency – JICA) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 12ක් නවතා දමා ඇත.

    කෙසේ වෙතත්, ඇනහිට ඇති ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශ්වාසයක් ඇති වන තුරු ජපානය ශ්‍රී ලංකාව තුළ නව යෙන් ණය ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපානය සූදානම් නැති බව ද වාර්තා වේ.

    ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) පිළිබඳව විමසූ විට මූලාශ්‍රය පැවසුවේ, “එය නව ව්‍යාපෘතියක් ලෙස සලකා බැලීමට සූදානමින් සිටිනවා. පැරණි ව්‍යාපෘතිය අවලංගු කර තිබෙනවා. එය නැවත ආරම්භ කළ නොහැකියි. LRT ව්‍යාපෘතියක් සලකා බැලුවහොත් එය නව ව්‍යාපෘතියක් විය හැකිය‘

    2020 දී ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක දුම්රිය ව්‍යාපෘතියෙන් ඉවත් විය.

    මේ අතර ජපාන ආධාර ඇතිව LRT ව්‍යාපෘතිය දියත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළ කළේය.

    මාර්තු අග භාණ්ඩාගාර දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ඩොලර් බිලියන 37ක විදේශ ණයවලින් සියයට 28.5ක් ද්විපාර්ශ්වික ණය හිමියන් සතුය. චීනය විශාලතම තනි ද්විපාර්ශ්වික ණය දෙන්නා වන අතර එය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.66ක් වන අතර ජපානය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.35ක් සමඟ දෙවැනි වේ.

    මූලාශ්‍රය – ඩේලි මිරර්

  • පියුමි හංසමාලිගේ තවත් ‘සුපිරි ගේමක්‘ එළියට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    පියුමි හංසමාලිගේ තවත් ‘සුපිරි ගේමක්‘ එළියට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද සම පැහැපත් කරන ක්‍රීම් (Whitening cream) ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (National Medicines Regulatory Authority NMRA) ලියාපදිංචි වී නොමැති බව Daily Mirror වෙබ් අඩවියේ අද (05) දින පළ කරන ලද වාර්තාවක සහන් වේ.

    ඇය මෑතකදී කියා සිටියේ ඇගේ ක්‍රීම් පැක් එක රුපියල් 35,000ක් වටිනා බවයි.

    ශ්‍රී ලංකාවේ දැනට රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති අතර, ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම තත්ත්වය NMRA හට බාධාවක් බව මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත්, එම රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් NMRA ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ කියා සිටියේ සම සුදු කිරීමේ ක්‍රීම් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි. මෙම උත්සුකයන් මත පදනම්ව ක්‍රියාකාරී පියවර ආරම්භ කර ඇති බව ඔහු තහවුරු කළේය.

    පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීම NMRA දිරිමත් කරන බව ආචාර්ය සේමගේ අවධාරණය කළේය.

    මේ අතර, සෞඛ්‍ය විශේෂඥයින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ NMRA හි ලියාපදිංචි වී නොමැති නිෂ්පාදන විශේෂයෙන් සුදු කිරීමේ ක්‍රීම් භාවිතා කිරීමෙන් වළකින ලෙසයි.

    චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසන පරිදි, පිළිකා රෝග පවා අභිබවා යමින් සම පැහැපත් කරන ක්‍රීම් භාවිතය හා සම්බන්ධ වකුගඩු රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.

    මේ අතර හංසමාලි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන බව කියන Lollia Skin Care (Pvt) Ltd නම් රූපලාවන්‍ය නිෂ්පාදන නිෂ්පාදන සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

  • 2024 T20 ලෝක කුසලානයේ බිඳ දැමූ වාර්තා

    2024 T20 ලෝක කුසලානයේ බිඳ දැමූ වාර්තා

    කණ්ඩායම් 20ක් සහභාගි වන පළමු T20 ලෝක කුසලානය හේතු ගණනාවක් නිසා ඉතිහාසයට එක්වනු ඇත.

    ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 සැබවින්ම දර්ශනීය සිදුවීමක් වූ අතර එය හේතු රාශියක් නිසා ඉතිහාස පොත් අතරට ගියේය.

    අපි බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී බිඳ දැමූ විස්මිත දස්කම් සහ වාර්තා කිහිපයක් දෙස සමීපව බලමු.

    අවසන් තරඟකරුවන්

    මෙතෙක් අපරාජිත කණ්ඩායම් දෙකක් අවසන් මහා තරගයේදී මුණගැසුණු අතර, ශූරයා තරඟාවලියක වැඩිම ජයග්‍රහණ සඳහා නව වාර්තාවක් පිහිටුවනු ඇති බව පැහැදිලි විය. ඇත්ත වශයෙන්ම, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරග අටක් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාවට ඔවුන්ගේ එක් තරගයක් (කාණ්ඩ අදියරේදී කැනඩාවට එරෙහිව) වර්ෂාව හේතුවෙන් ලබාගත හැකිව තිබූ පහසු ජයග්‍රහණයක් අහිමි විය.

    කෙසේ වෙතත්, අවසන් තරගයේදී ඉන්දියාව ලබාගත් ලකුණු 176/7, පිරිමි විස්සයි20 ලෝක කුසලානයක අවසන් මහා තරගයේදී ඕනෑම කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. (2021 දී නවසීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 173/2 අභිබවා යමින් එම වාර්තාව පිහිටවනු ලැබීය)

    තවද වයස අවුරුදු 37 යි දින 60ක් වන විට රෝහිත් ෂර්මා T20 ලෝක කුසලාන කීර්තියට නායකත්වය දුන් වයස්ගතම පුද්ගලයා බවට පත්විය.

    ප්‍රහාරය මත

    එය පන්දු යවන්නන්ට විශිෂ්ට තරගාවලියක් වූ අතර, අවසන් පූර්ව වටයට පිවිසි ඇෆ්ගනිස්තානයේ ෆසාල්හක් ෆාරුකි සහ ශූරයන් වූ ඉන්දියාවේ අර්ෂ්දීප් සිං යන දෙදෙනාම එක් තරග වාරයක දී ලබාගත් වැඩිම කඩුළු සංඛ්‍යාව වන කඩුළු 17ක් දවා ගත් අතර, එය පෙර වාර්තාවට හිමිකම් කී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට වඩා එක් කඩුල්ලක් වැඩිය.

    ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා තරගාවලියක හොඳම පන්දු යැවීමේ සාමාන්‍යය 8.3 කින් අවසන් කළේය.

    තවද, එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩන් තරඟාවලියක හොඳම පන්දු යැවීමේ ප්‍රහාරයේ වාර්තාව බිඳ දැමූ අතර, 8.3 – මේ වසරේ ෆසාල්හක් ෆාරුකි (8.9) සහ ටබ්‍රයිස් ෂම්සි (9.2) මෙන්ම පෙර වාර්තා තබා ඇති ජැක් කලිස්ට (9.2) ඉදිරියෙන් සිටියේය.

    නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් විස්සයි20 ලෝක කුසලානයේ මංගල ඕවර 4ක් යැවූ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය. ඔහු තරගාවලියේ කිවීස් හි අවසන් කණ්ඩායම් අදියර තරගයේදී පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලකුණු 3/0 (4) ලෙස අවසන් කළේය.

    ඉහළම ලකුණු ලබා ගැනීම

    පන්දු යැවීමේ දක්ෂතාවය තිබියදීත්, විශාල පහරවල් ඕනෑ තරම් තිබුණි. 2024 T20 ලෝක කුසලානයේ මෙතෙක් තරගාවලියකදී වැඩිම හතරේ පහරවල් 1,478 ක් වාර්තා කර ඇත.

    තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් T20 ලෝක කුසලානයක වැඩිම හයේ පහරවල් ගණණ (17ක්) එල්ල කළ අතර, ඔහුගේ ජනප්‍රිය සගයා වන ක්‍රිස් ගේල් විසින් පිහිටුවා තිබූ 16 වාර්තාව අභිබවා ගියේය.

  • T20 2024 ජයගත් ඉන්දීය කණ්ඩායමට සුපිරි පිළිගැනීමක්

    T20 2024 ජයගත් ඉන්දීය කණ්ඩායමට සුපිරි පිළිගැනීමක්

    2024 විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම කුසලානය සමඟින් නවදිල්ලි නුවරට ළඟා වූ විට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

    ඔවුන් පැමිණි විගස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි කණ්ඩායම පිළිගනු ලැබීය.

    2011 දී ඔවුන් අවසන් වරට ලෝක කුසලානය දිනූ ස්ථානය වන වන්කඩේ ක්‍රීඩාංගනයේ නිල පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණේය.

    කණ්ඩායම පිළිගැනීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය අතර ශූරතා ජයග්‍රාහකයින් සඳහා උණුසුම් පිළිගැනීමක් ද පැවැත්විණි.

    රෝහිත් ෂර්මා වන්කඩේ ක්‍රීඩාංගණයේදී රසිකයන් අමතමින් මෙසේ පැවසීය.

    “එය විශේෂ කණ්ඩායමක් වන අතර මෙම කණ්ඩායමට නායකත්වය දීමට මම වාසනාවන්ත වුණා. අපට මෙහි ලැබී ඇති පිළිගැනීම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ගැන මිනිසුන් තුළ ඇති උද්යෝගය කියාපානවා. මෙම කුසලානය අපට බොහෝ දේ කියා දෙනවා. එය මුළු ජාතියටම හිමි ජයග්‍රහණයක්.”

    විරාත් කෝලි ද සැබවින්ම “විශේෂ පිළිගැනීම” අගය කළ අතර එය තමාට කිසිදා අමතක නොවන දෙයක් බව ප්‍රකාශ කළේය.

    ප්‍රබල පිතිකරු ජස්ප්‍රිට් බුම්රාට විශේෂ ප්‍රශංසාවක් ද හිමි වූ අතර, වේග පන්දු යවන්නා “ලෝකයේ අටවන පුදුමය” ලෙස පිළිගැනීමට පෙත්සමකට අත්සන් කරන බව ප්‍රකාශ කළේය.

    “ජස්ප්‍රිත් බුම්රා ලෝකයේ අටවැනි ආශ්චර්යය වීමට මම දැන් පෙත්සමට අත්සන් කරනවා. ඔහු පරම්පරාවකට වරක් පැමිණි පන්දු යවන්නෙක්,” කෝලි පැවසීය.

    මූලාශ්‍රය – icc cricket.com

  • ඔත්තුකරුවන් දස ලක්ෂපතියන් කරනවා – පොලිස්පති

    ඔත්තුකරුවන් දස ලක්ෂපතියන් කරනවා – පොලිස්පති

    සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහ ජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

    පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අද (04 දින) “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පැවති විශේෂ මෙහෙයුම් වැඩසටහනට සහභාගී වෙමිනී.

    මෙහිදී මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරමින් පොලිස්පතිවරයා කියා සිටියේ, පොලිස් කොට්ඨාස මට්ටමින් රහසිගත දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවත්, කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව තමන් දන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දෙන ලෙසත්ය.

    සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත් පොලිස්පතිවරයා කීවේය.

     

  • හිරුණිකාගේ ‘ඇප සිහිනය’ බොඳ වුණේ ඇයි ?

    හිරුණිකාගේ ‘ඇප සිහිනය’ බොඳ වුණේ ඇයි ?

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට විරෝධය පළ කරන බවත් ඒ අනුව එම ඇප ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණ හමුවේ දැනුම් දුන්නේය.

    එය අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයගේ ඇප ඉල්ලීම සලකා බැලීම එළැඹෙන 11 වැනිදා දක්වා යළි කල් දමනු ලැබීය.

    මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්දට වසර තුනක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් නියම කරන ලද අතර ඇය එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබේ.

  • Altair ද්විත්ව මරණය ගැන පරීක්ෂණ අවුලෙන් අවුලට – අලුත්ම තත්ත්වය මෙන්න !

    Altair ද්විත්ව මරණය ගැන පරීක්ෂණ අවුලෙන් අවුලට – අලුත්ම තත්ත්වය මෙන්න !

    • මරණ සියදිවි නසා ගැනීමක්ද හදිසි අනතුරක්ද යන්න පොලිසිය විමර්ශනය කරයි
    • සිසුන් දෙදෙනාම CIS හි පන්තියේ මිතුරන්
    • වින්දිතයන් ත්‍රිරෝද රථයකින් පාසල් නිල ඇඳුමින් සැරසී සවස 2.40 ට පමණ Altair වෙත ඇවිත්
    • විවෘත පඩිපෙළෙන් ඔබ්බට CCTV කැමරා සවි කර නැහැ
    • තුන්වන මහලෙන් මළ සිරුරු සොයා ගැනේ

     

    උපුටා ගැනීම – ඩේලි මිරර්

    කොළඹ Altair ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් ඇද විටීම හෝ පැනීම හේතුවෙන් කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School – CIS) 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යාමේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් හෝ හදිසි අනතුරක් ද යන්න සොයා බැලීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවයි. ඔවුන්ගේ මුහුණේ ඉරියව් සහ චලනයන් දැක්වෙන CCTV දර්ශනවලට අනුව මෙය සියදිවි නසාගැනීමක් ද යන්න තවමත් අවිනිශ්චිත බව” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    පසුගිය අඟහරුවාදා සවස මෙම සිසුවා සහ සිසුවිය Altair මහල් ගොඩනැගිල්ලේ නේවාසික ප්‍රදේශයක 67 වැනි මහලෙන් වැටී ඇති අතර 3 වැනි මහලේ තිබී ඔවුන්ගේ මළ සිරුරු සොයා ගත් බව පරීක්ෂණවලදී අනාවරණය විය.

    සිසුන් දෙදෙනාම  කොළඹ ජාත්‍යන්තර පාසලේ එකම පන්තියේ මිතුරන් වන අතර පසුගිය අඟහරුවාදා සවස 2.40 ට පමණ ඔවුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පාසල් නිල ඇඳුමින් සැරසී ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ල වෙත පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

    විමර්ශකයන්ට අනුව, පිරිමි ළමයා සහ ගැහැණු ළමයා ඇතුල්වීමේ දොරටුවේ අල්ටෙයාර් හි ආරක්ෂකයින් වෙත පැමිණ ඇති අතර 61 වන මහලේ පදිංචි මිතුරෙකු බැලීමට ඇතුළු වීමට අවශ්‍ය බව පවසා ඇත. එම මහල් නිවාසයට ඇමතීමෙන් පසු ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ මහල් නිවාසයේ කිසිවකු නොසිටි බව ඔවුන්ට දැනුම් දී ඇතත්, එම මහල් නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බැවින් පිරිමි ළමයා සහ ගැහැණු ළමයා ඇතුළු වීමට ආරක්ෂකයින් අවසර ලබා දී ඇත.

    පසුව ළමයින් 5 වන මහලට ගොස් ඔවුන්ගේ ඇඳුම් මාරු කර ව්‍යායාම් ශාලාව භාවිතා කර ඇත. ටික වේලාවකට පසු, (CCTV දර්ශනවලට අනුව) පිරිමි ළමයා යතුරුපැදියකින් ලබා දුන් පාර්සලයක් ගැනීමට ආපසු බැස 5 වන මහලට ගොස් ඇති බව පරීක්ෂකයන් පැවසීය.

    විමර්ශකයින් පැවසුවේ ඔවුන් දෙදෙනා පස්වරු 4.30ට පමණ අල්ටෙයාර් මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලට ගොස් ඇත්තේ එම මහලේ හදිසි පිටවීමේ දොරටුව තිබූ නිසා බවයි.

    විමර්ශකයින් විසින් දැක ඇති සීසීටීවී දර්ශනවලට අනුව ඔවුන් දෙදෙනා හදිසි පිටවීමේ දොර විවෘත කර සමීපව පිහිටා තිබූ අඩි හතරක තාප්පයක් මත වාඩි වී ඇති අතර පසුව සිද්ධිය සිදුව තිබේ.

    මියගිය සිසුන්ට 61 වන මහලේ පදිංචි මිතුරෙකු සිටි බවත්, ඔහු පිරිමි ළමයාට ප්‍රවේශ කාඩ්පතක් ලබා දුන් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම තොරතුරු තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතී.

    Altair හි මහල් 70ක් ඇති අතර, පිටස්තරයින් සඳහා 67 වන මහලෙන් ඔබ්බට ප්‍රවේශය සීමා කර ඇත. හදිසි පිටවීමේ දොරටුවට පිවිසෙන විවෘත පඩිපෙළ අසලින් මියගිය අයගේ පාවහන් සොයාගෙන ඇති අතර ඔවුන්ගේ මළ සිරුරු 3 වැනි මහලේ එනම් ඒසී ගබඩා කර තිබූ ප්‍රදේශයෙන් ගොඩ ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත්, විමර්ශනවලට අනුව විවෘත පඩිපෙළෙන් ඔබ්බට CCTV කැමරා සවි කර නොතිබූ අතර, ඔවුන් දෙදෙනා 3 වන මහලට වැටුණේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. ඔවුන්ගේ සිරුරු සොයාගනු ලැබුවේ ඔවුන් ගොඩනැගිල්ලට ඇතුළු වී පැය කිහිපයකට පසුවය, ඔවුන්ගේ වැටීම හෝ පැනීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි නොමැත.

    සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිසිය පවසයි.