Category: සුපිරි Sports

  • හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති

    හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති

    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (අප්‍රේල් 21) සිට දින 5 ක් මුලුල්ලේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙපාර්ශ්වයම ටෙස්ට් තරග අංශය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් වරට මුණ ගැසී තිබෙන අතර, ශ්‍රී ලංකාව ජය පැරදුමෙන් තොර තරගාවලි අවසානයකින්ද බංග්ලාදේශ පිල 0-2 ක තරගාවලි පරාජයකින් පසුව හෙට දිනයේදී මුණ ගැසෙනු ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට ක්‍රීඩා කරන ලද්දේ සත්කාරකයින්ට හිමි වාසීන් රහිතව හෙවත් රටින් පිටතදී වන අතර බංග්ලාදේශ පිල පරාජය ලබන ලද්දේ සත්කාරකත්වයට හිමි සියළුම වාසීන් තමන් සතුව තිබියදී වීම මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ බවට පත්ව තිබේ.

    හෙට තරගය ඉලක්ක කොට ගෙන දෙපිළම අද (20 වැනිදා) දිනයේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පෙරවරුවේදී සිය පුහුණුවීම් වල නිරත වද්දී බංග්ලාදේශ පිල පස්වරු කාලයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ.

    අද දිනය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට පුහුණුවීම් අනිවාර්යය දිනයක් නොවූවත් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයෙක්ම පුහුණුවීම් වලට සහභාගිවී සිටීම කැපී පෙනුණි. පෙර දිනයේදී පිතිකරණය සහ පන්දු යැවීම පිළිබඳව අවධානය යොමු කරමින් පුහුණුවීම් වල නිරත ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී වැඩි වශයෙන් උනන්දුවක් දැක්වූයේ පන්දු රැකීම සඳහා වූ විශේෂ පුහුණු සැසි කීපයකටය. ඉක්මන් ලකුණු ලබා ගැනීමේදී පිතිකරුවකු දුවද්දී දවා ගැනීම, හතරේ සීමාව ආසන්නයේදී, ස්ලිප් ස්ථානයේ, කඩුල්ල ආසන්නයේ මෙන්ම ඇස් මට්ටම දක්වා පැමිණෙන උඩ පන්දු රැක ගැනීම පිළිබඳ වූ පුහුණුවීම් වැඩි ප්‍රමාණයක නිරත වනු දක්නට ලැබිණ.

    ඉකුත් 12 වැනිදා මෙරටට පැමිණියද බංග්ලාදේශ පිල හෙට තරගයට පෙර පල්ලකැලේ පිටියේදී පළමු වතාවට පුහුණුවීම් සිදුකරන ලද්දේ අද දිනයේදී වීම විශේෂත්වයකි. කොරෝනා වෛරස් තත්ත්වයේ බලපෑම හේතුවෙන් විදෙස් තරග සංචාරවලින් වැළකී සිටි බංග්ලාදේශ කණ්ඩායම රටින් එතෙර තරග සංචාරයකට සහභාගිවන පළමු තරගාවලිය බවට පත් වුණු මෙම තරග සංචාරය යටතේ, ඊයේ දිනයේදීත් ඔවුන්ට පුහුණුවීම් සඳහා පල්ලකැලේ ක්‍රීඩාංගණය සූදානම් ස්වරූපයෙන් තැබීමට ක්‍රීඩාංගණ බලධාරීන් පියවර ගෙන තිබූ නමුත් මීගමුවේ සිට නුවර පැමිණියේ ඊයේ දිනයේ බැවින් ඔවුහු එම පුහුණු සැසිය අවලංගු කර දැමූහ.

    ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම ගත් කළ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටද බංග්ලාදේශ 9 වැනි ස්ථානයේ සිටද මෙම තරගාවලියට අවතීර්ණ වන නමුත්, තරගාවසානය ශ්‍රී ලංකාවට වාසි දායක ලෙසින් නිමා වුවත් ප්‍රසාද ලකුණු ලබා ගැනීමේදී එය රැඳී සිටින ලකුණු 81 න් 84 දක්වා පමණක් ඉහළ යනු ඇත. එබැවින් 6 වැනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු පිල අභිබවා යෑමේ අවස්ථාව ‘සිංහයින්ට’ අහිමි වනු ඇත. මෙකී තත්ත්වය බංග්ලාදේශ පිලට වාසි වන අයුරින් හැසිරුණහොත් බංග්ලාදේශ පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 55 සිට 62 දක්වා ඉහළ යන අතර  ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 77 දක්වා පහත වැටෙනු ඇත.

    දකුණු අප්‍රිකානු පිල පරාජයට පත් කිරීමෙන් පසු ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලි 6 කට සහභාගිවී තිබෙන නමුත්, ඉන් ජය ගැනීමට සමත්ව සිටින්නේ ශ්‍රී ලංකාවට පහළින් හෙවත් ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ රැඳී සිටින සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලිය පමණි. ඒ අනුව ඉතිරි තරගාවලි 5 න් නවසීලන්තයට එරෙහි තරගාවලිය 1-1 ක් සහ අවසන් වරට කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය 0-0 ක් ලෙස සමව අවසන් කර ගැනීම හැරුණු කොට පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ පැවැති තරගාවලි සියල්ල  ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව තිබේ.

    කොදෙව් තරග සංචාරයෙන් හදිසියේම ඉවත් වුණු ඇන්ජලෝ මැතිව්ස් යළි කණ්ඩායමට පැමිණ සිටීම මත හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අවසන් ක්‍රීඩකයින් 11 දෙනා තේරීම තරමක් අසීරු කරුණක් බවට පත්ව තිබේ. මැතිව්ස් වෙනුවට ක්‍රීඩා කරවූ පැතුම් නිස්සංක ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කරමින් දක්ෂතා අතරට පැමිණීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. හෙට දිනයේදී තම 33 වැනි වියට පා තබනු ලබන නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ඉනිම ඇරැඹීමට නියමිත අතර ඕෂද ප්‍රනාන්දු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත. ඕෂද ක්‍රීඩා කළහොත් බොහෝ විට හෙට දිනයේදී දිනේෂ් චන්දිමාල්ට සිය ස්ථානය අහිමිවනු ඇත.

    පන්දු යවන්නන් අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගාවලියේදී කඩුලු 11 ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානය දිනූ සුරංග ලක්මාල්ට ප්‍රධාන තැන හිමිවනු ඇත. 2014 වසරේදී පන්දු යවන්නකු ලෙසින් නුවන් කුලසේකර තරගාවලියේ වීරයා සම්මානයෙන් දිනා කොදෙව් තරග සංචාරයට එක්ව සිටි ලසිත් ඇඹුල්දෙණියද (තුවාල ලැබීම) සහ දුෂ්මන්ත චමීර (පෞද්ගලික හේතූන් මත) කණ්ඩායමෙන් ඉවත්ව සිටීම නිසා විශ්ව ප්‍රනාන්දු, වනිඳු හසරංග, සහ ළහිරු කුමාරට එහි වැඩි වගකීමක් පැටවෙනු ඇත.

    බංග්ලාදේශ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව ඇත්තේ 2017 වසරේදීය. තරග 2 කින් සමන්විත වූ එම තරගාවලියේ පළමුවැන්න ගාල්ලේදී පැවැති අතර එය ලකුණු 259 කින් ජය ගැනීමට සත්කාරකයින් සමත්විය. එම තරගයේදී කුසල් මෙන්ඩිස් රැස් කරන ලද ලකුණු 194 ක ඉනිම සහ රංගන හේරත්ගේ පන්දු යැවීමත් කැපී පෙනුණි.

    පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි තරගයේදී ශකීබ් අල් හසන් පිත්තෙන් ශතකයක් ඇතුළු තුන් ඉරියව්වෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ පිල සමත්විය. එය ඔවුන් එතෙරකදී ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය වශයෙන් අමරණීයත්වයට පත්වූයේ එම තරගය බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ 100 වැනි තරගය බවටද පත්වීම හේතුවෙනි.

    කෙසේ වෙතත් මෙවර තරගාවලිය සඳහා ශකීබ් අල් හසන්ගේ සේවය බංග්ලාදේශ පිලට අහිමිව තිබේ. අයි. පී. එල්. තරගාවලිය සඳහා නිදහස් කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබෙන අතර එය බංග්ලාදේශ පිරිමැසිය නොහැකි අවාසියක් වන අතර කණ්ඩායමේ සමබරත්වයටද ශකීබ්ගේ අඩුව තදින්ම දැනෙනු ඇත. එබැවින් ටමීම් ඉක්බාල්, මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම් මත කණ්ඩායමේ වැඩි වගකීමක් පැවැරෙනු ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම.

    බංග්ලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල්, ශද්මාන් ඉස්ලාම්, නජ්මුල් හොසේන්, මොමිනුල් හක් (නායක), මුෂ්ෆිකර් රහීම්, මොහොමඩ් මිතුන්, ලිටන් දාස්, මෙහෙදි හසන්, එදාබාද් හොසේන්, ටස්කින් අහමඩ්, අබූ ජායෙඩ්, මුකිදුල් ඉස්ලාම්, නයීම් හසන්, සයිෆ් හසන්, නුරුල් හසන්, ෂුවගාටා හොම්, ෂොරිෆුල් ඉස්ලාම්, ෂොයිදුල් ඉස්ලාම්, ඛලීද් අහමද්, ටයිජුල් ඉස්ලාම්, යසීර් අලී.

    Text by sl cricket

  • ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම උත්තේජක හා තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම උත්තේජක හා තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට

    ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමිණි.

    විශේෂයෙන් වාර්ෂිකව ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නමිකරන ලැයිස්තුවක් නිකුත් කරන අතර නොදැනුවත්ව හෝ ක්‍රීඩකයන් මෙම ද්‍රව්‍යන් තම කුසලතා වර්ධනය සඳහා භාවිතා කිරීම ඔවුන් එම තරග ඉසවුවේ තහනමට ලක්වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට හේතුවක් වේ.  

    මේ අනුව 2021 වර්ෂයේ ජනවාරි 01 දින සිට මෙම වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට අදාල ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 23 වෙනිදා නිකුත්කොට තිබූණි.

    විවිධ ක්‍රීඩා ඉසව්වන් වල නියැලෙන තරගකරුවන් තරඟ කාලසීමාව තුළදී, සියළු අවස්ථාවලදී, විශේෂයෙන් සඳහන් කරන ලද අවස්ථාවලදී භාවිතා නොකළයුතු  සහ අපහරණයට ලක්විය හැකි ද්‍රව්‍යන් ලෙස  භාවිතා නොකළයුතු ද්‍රව්‍ය ගණනාවක් මේ මගින් නම්කොට තිබේ.  

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (අප්‍රේල් 06) නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වනු ලැබුවා. 

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතරක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව, අප්‍රේල් 07 වැනිදා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, අප්‍රේල් 23 වැනිදා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ද කෝප් කමිවුට හමුවට යාමට නියමිතයි.

  • වසර 29 ට පෙර කතරගමට පැමිණි “පාදයාත්‍රාවේ” දේශපාලනය

    වසර 29 ට පෙර කතරගමට පැමිණි “පාදයාත්‍රාවේ” දේශපාලනය

    පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කිරීම සහ (4) යුද්ධය වෙනුවට සාමය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් යන්න ඉදිරිපත් කෙරුණි.  

    මීට වසර 29 ට පෙර කොළඹ විහාර මහදේවී උද්‍යානය අභියසින් 1992 මාර්තු 17 වන දින උදයේ එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් කතරගම බලා පිටත් වූ “පාදයාත්‍රාව”, හරියටම අවුරුදු 29 ට පෙර 1992 අප්‍රේල් 01 වන දින සවස කතරගමට පැමිණියේය. එය නිල වශයෙන් අවසන් කෙරුණේ අප්‍රේල් 02 වන දින උදය කතරගම දේවාලයේ පැවැත්වූ විශේෂ පූජාවක් සමගින්ය.

    ජනතා ව්‍යාපාරයක් ලෙස ගොනුවූ පාදයාත්‍රාවට නිල වශයෙන් ප්‍රකාශ නිකුත් කරමින් සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වූහ. මාස 04 ක් පුරා සංවිධානය කෙරුණු එය ගැන සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බැටී වීරකෝන් කියා තිබුණේ “දඩිබිඩි තීරණ වලට” ඔවුන් හවුල් නොවන බව ය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් කේ. පී. සිල්වා කියා තිබුණේ “ජනතාව පාවා දෙන සටන් වලට” ඔවුන් හවුල් වන්නේ නැත කියා ය.

    එහෙත් සමසමාජ පක්ෂයේ පුරෝගාමිත්වයෙන් 1953 දියත් වූ අගෝස්තු හර්තාලයෙන් පසු ආණ්ඩුවක් සාර්ථකව අභියෝගයට ලක් කළ විවෘත ජනතා විරෝධය වූයේ මේ “කතරගම පාදයාත්‍රාව” ය. මේ වනවිට එයට අයිතිවාසිකම් කියන්නාවූ අය මාධ්‍යයන්හි මට හමුව ඇතත් පාදයාත්‍රාවේ සුල මුල දන්නේ මහින්ද සමග මා හැරුණු විට අපගේ සමීපතමයෙකු වූ මාධ්‍යවේදී වසන්තප්‍රිය රාමනායක පමණි. පාදයාත්‍රාව ඇත්තටම තීන්දු වන්නේ රාමනායකද සිටි මහින්දත් මාත් රාජ්‍ය සංස්ථා ක්ෂේත්‍රයෙහි වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු හමුවූ කතාබහ අවසානයේම නොවේ.

    පාදයාත්‍රාව ලෙස නිශ්චිතව නොවුණත් 1988 දෙසැම්බරයේ මහින්ද සමග ආරම්භ කළ දකුණේ මානව හිමිකම් සඳහාවන උද්ඝෝෂණය ප්‍රේමදාස ජනාධිපතිගේ ආණ්ඩුවට එරෙහි ජනතා ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමේ දේශපාලනය 1989 පෙබරවාරියේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ පසු තීන්දුවී තිබුණකි. මංගල සමරවීරද හවුල් වූ “මව් පෙරමුණ” ආණ්ඩු විරෝධයක් ලෙස කොළඹින් පිටතට ගෙන යාමට නොහැකි වූ පසු, පුළුල් ජනතා ව්‍යාපාරයක් පිළිබඳව වෙනත් අදහස් අපි  කතා කරමින් සිටියෙමු. එය කතරගම පාද යාත්‍රාව ලෙස තීන්දු වූයේ 1991 නොවැම්බර 24 වන දින මිරිහාන ගල්වල පාරේ මහින්දගේ නිවසේදී වූ වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනා සමග වූ ඒ කතාබහ අවසානයේදී ය.

    කතරගම පාදයාත්‍රාවට වැදගත් ආදර්ශයක් ලෙස එදින මා මහින්ද සමග පාර්ලිමේන්තුවට යන අතරවාරයේ “ඩන්ඩි වෙරළ” දක්වා වූ බිරතාන්‍ය ලුණු ඒකාධිකාරයට එරෙහි ගාන්ධිගේ පා ගමන ගැන විස්තර කීවෙමි. සභාර්මාති ආශ්‍රමයෙන් 1930 මාර්තු 15 වන දින පිටත්ව දින 24 ක් ගමන් ගත් ඒ පා ගමන ගාන්ධි තීන්දු කෙරුවේ හුදෙක් ලුණු බද්දට විරුද්ධවීමටම නොවේ. ලුණු බද්ද නිමිත්තක් කරගනු ලැබූයේ සිවිල් නීති කැඩීමේ ඔහුගේ සාමකාමී විරෝධයට ශක්තිමත් ජනතා සහභාගිත්වයක සහතිකයක්ද ගාන්ධිට අවශ්‍යව තිබුයෙණි.

    කුසල් පෙරේරා

    අමාත්‍යාංශ වශයෙන් කමිටු මට්ටමේ අයවැය විවාදයේ සිරිසේන කුරේ ඇමතිවරයාගේ නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය එදින විපක්ෂය වෙනුවෙන් ආරම්භ කිරීමට බාරවී තිබුණේ මහින්දට ය. ඒ අතරවාරයේ පාර්ලිමේන්තුවේදී පාදයාත්‍රාව සම්බන්ධ පළමු මාධ්‍ය නිවේදනය සකසා එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් වෙත මම පිටපත් බාර දුනිමි. ඇතැම්හූ එය කියවා “මේක කෙරෙයිද?” කියා ඇසුහ. තවත් කිහිපදෙන එය ලිපිගොනුවෙහි දමා ගන්නා අතරතුර කට කොණකින් සිනා සෙමින් “හරි මචං” යැයි කීහ.

    දිවයින පුවත් පතේ පාර්ලිමේන්තු වාර්තාකරු වූ ඊට පෙරාතුව සමසමාජ පක්ෂයේ පුවත් පත වූ “ජනදින” පුවත් පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු වූ සරත් අබේගුණවර්ධන අනෙකුන්ට වඩා විවෘත විය. ඔහු මගෙන් ඇසුවේ “ආ බං……කතරගමට යන්නේ උඹයි මහින්දයි විතරද?” කියා ය. “යකෝ……ප්‍රේමදාසට විරුද්ධව පිකට් කරන්න ටවුන්හෝල් ලිප්ටන් එකට පස් දෙනෙක් ගෙන්න ගන්න බැරි රටේ……කතරගමට පයින් යන්නෙ කවුද බං?” යැයි ඔහු ඇසුවේය.

    ඒ වනවිට ජ.වි.පෙ මුදා හැරිය අතිශය මෘග 1988-90 ත්‍රස්තවාදී කැරැල්ල ජනාධිපති ප්‍රේමදාස එළෙසින්ම මෘග ලෙස තලා මුළුමනින් ඝාතනයකර තිබිණ. එ.ජා.ප යෝධයින් වූ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක සංවිධානය කළ දෝසාභියෝගයද ඊට මාස කිහිපයකට පෙර ඔහු කණපිට පෙරළුවේය. ඔවුන් පක්ෂයෙන් නෙරපා අනතුරුව සමස්ථ පක්ෂයම තම අධිකාරයට යටත්කර ගෙන සිටියේය. එළෙස බලහත්කාර නායකයෙකු ලෙස ඉස්මතුව සිටි ජනාධිපති ප්‍රේමදාසව නැවත කිසිවකුට හොල්ලන්නට නොහැකි යැයි විපක්ෂ දේශපාලන ස්ථර අතරද කිඳා බැස තිබූ මතයකි.

    එනිසා විපක්ෂය නැවත ගොඩගත හැක්කේ යෝධ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකමක් සමගින් යැයි මම විශ්වාස කළෙමි. මා නිතර කියූ කතාවක් වූයේ “දුවන කෝච්චි වලට බෙල්ල තියන්න මිනිස්සු එන්නේ නැත” කියා ය. එනිසා “කෝච්චිය නතර කළ හැකි යැයි විශ්වාසයක් ඇතිවන ආකාරයේ ශක්තියක් අප ආරම්භයේදීම පෙන්නුම් කළ යුතු” යැයි මම කීවෙමි. කොළඹ – කතරගම පාදයාත්‍රාවට ඒ විශ්වාසයද එකතු වූවකි.

    කිසිවකුට හොල්ලන්නට නොහැකි යැයි වූ ප්‍රේමදාස සාධකයට අමතරව ආණ්ඩු විරෝධයකට ඉඩ නොතැබූ අනෙක් ප්‍රධානම දේශපාලන හේතුව වූයේ පැහැදිලි, විශ්වාසවන්ත විපක්ෂයක් නොවීමය. සිංහල සමාජය නියෝජනය කළ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී.ල.නි.පය තුන් අත කැබලී වී තිබිණ. බණ්ඩාරනායක මැතිනිය ඇයගේ අසනීප තත්ත්වය හමුවේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි අතර, අනුර බණ්ඩාරනායක ඉතා දක්ෂ ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වගකීම් සඳහා ආදේශ වූවත් ඔහු පක්ෂ නායකත්වයට පැමිණීමට එරෙහි වූ එස්.බී – මංගල ප්‍රධානවූ කණ්ඩායමක්ද වූහ. අද ශ්‍රී.ල.නි.පය ආරක්ෂාකර ගැනීමට දිවුරුම් දෙන, 1982 දී ශ්‍රී.ල.නි.පය දෙකඩකර විජය සමග ශ්‍රී.ල.නි.පයට විරුද්ධව ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදූ සහ 2015 දී ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවට එරෙහිව වික්‍රමසිංහගේ එ.ජා.පය සමග කුමන්ත්‍රණකාරී ලෙස මෛතීපාල සිරිසේන පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කළ චන්ද්‍රිකා කුමාරණතුංග, ඒ වනවිට “අනුර විරෝධී” කණ්ඩායමේ වීරවරිය විය.  

    එංගලන්තයේ සිට නැවත ලංකාවට පැමිණීම පිළිබඳව චන්ද්‍රිකා කවර දේශපාලන කතා කීවත් ඇය පැමිණෙන විට මහජන පක්ෂය ඇයට පය ගැසීමට හැකි තරමටවත් ඉතිරිව නොතිබිණ. ඔසී අබේගුණසේකර ඉන් කොටසක් රැගෙන ජනාධිපති ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩවී සිටියේය. තව කොටසක් බහුජන නිදහස් පෙරමුණ (බ.නි.පෙ) යැයි රාජිත සේනාරත්න සමග විය. තවත් පිරිසක් ඇය සමග නැවත ශ්‍රී.ල.නි.පට එකතු වීමට සාකච්ඡා කරමින් සිටියහ. මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස වයි.පී සිල්වා දේශපාලන වශයෙන් අකර්මන්‍යව සිටියෙකි. තමන්ගේ යැයි වැදගත් පදනමක් නොමැති වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙකට විජය නොමැතිව අබලි වූ මහජන පක්ෂයක් සමග අනාගතයක් නොවුනි. එබැවින් ඔවුන්ද චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නැවත සභාගයක් ගැන කතා කෙරුවේ ඇය කෙසේ හෝ ශ්‍රී.ල.නි.ප නායිකාව වනු ඇතැයි වූ බලාපොරොත්තුව සමගින්ය.

    ඒ වෙනුවෙන් එස්.බී – මංගල ප්‍රධාන කණ්ඩායම “අනුර විරෝධී” ප්‍රචාරක ව්‍යාපාරයක් ශ්‍රී.ල.නි.ප තුල ගෙන ගියේය. අනුරද ඒවාට පිළිතුරු දෙන්නට විය. ඒ සමග ශ්‍රී.ල.නි.ප දෙකට නොව, කාණ්ඩ තුනකට වෙන් විය. චන්ද්‍රිකා පළමුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායිකාව ලෙස බණ්ඩාරනායක මැතිනිය විසින් පත් කරනු ලැබ පසුව මැතිනියගේ අත්තනගල්ල ආසනයේ පක්ෂ වැඩ කටයුතුද ඇයට බාර කරනු ලැබිණ. ඒ සමග පක්ෂ නායකත්වය සඳහා අක්ක මලෝ ගැටුම ප්‍රසිද්ධියේ දිග හැරිණ.

    අනුර බණ්ඩාරනායක ඉතා දක්ෂ ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වගකීම් සඳහා ආදේශ වූවත් ඔහු පක්ෂ නායකත්වයට පැමිණීමට එරෙහි වූ එස්.බී – මංගල ප්‍රධානවූ කණ්ඩායමක්ද වූහ. අද ශ්‍රී.ල.නි.පය ආරක්ෂාකර ගැනීමට දිවුරුම් දෙන, 1982 දී ශ්‍රී.ල.නි.පය දෙකඩකර විජය සමග ශ්‍රී.ල.නි.පයට විරුද්ධව ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදූ සහ 2015 දී ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවට එරෙහිව වික්‍රමසිංහගේ එ.ජා.පය සමග කුමන්ත්‍රණකාරී ලෙස මෛතීපාල සිරිසේන පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කළ චන්ද්‍රිකා කුමාරණතුංග, ඒ වනවිට “අනුර විරෝධී” කණ්ඩායමේ වීරවරිය විය.  

    බණ්ඩාරනායක මැතිනියට පවුලේ මේ ගැටුම පාලනය කර ගැනීමට නොහැකි විය. පාදයාත්‍රාව සඳහා පළමු නිවේදනය නිකුත් කරන විට, මැතිනිය විසින් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස් කිරීමට පස් මසක් පුරා ගනු ලැබූ සියලු උත්සාහ අසාර්ථකව තිබිණ. වරක් ඇයගේ රොස්මිඩ් පෙදෙස නිවසට කැඳවූ මධ්‍යම කාරක සභා රැස්වීමද දෙපාර්ශවය අතර ගැටුමකින් අවසන් විය. සිව් මසක් පමණ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්කර ගැනීමට නොහැකි විය. ඒ අතර හිටි අඩියේ අනුරට සමීප යැයි ශ්‍රී.ල.නි.ප මහ ලේකම් වූ ජේ.ආර්.පී සූරියප්පෙරුම තනතුරෙන් ඉවත්කර මැතිනිය විසින් ධර්මසිරි සේනානායක වැඩ බලන මහ ලේකම් ලෙස පත් කරනු ලැබුවාය. ඒ ගැටුම් සමග එහාටත් නැති මෙහාටත් නැති මැද කණ්ඩායමක් සහිතව තුනට බෙදුණු පක්ෂය ප්‍රාදේශීයවද අකර්මන්‍යව තිබිණ.

    මේ බෙදීම් කැඩීම් නිසාවෙන් දේශපාලන පක්ෂයක් ලෙස පාදයාත්‍රාවට සහාය දැක්වීමට හෝ හවුල් වන්නට ශ්‍රී.ල.නි.පයට තීන්දු ගැනීම සඳහා අනුබද්ධ සංවිධානවල කිසිදු මණ්ඩලයක් හෝ රැස් කළ නොහැකි විය. ඊට අමතරව මැතිනියගේ අනුමැතිය නැතිව පාදයාත්‍රාවට සහාය දැක්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉදිරිපත් වූයේද නැත. එහෙත් අනුර සමග වූ මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රතිපත්තිමය වශයෙන් එ.ජා.ප විරෝධය තම දේශපාලනය කරගත් මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් පාදයාත්‍රාවට හවුල් වූහ.   

    එවැනි අපැහැදිලි පසුබිමක ගාන්ධිට මෙන් ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව “ශක්තිමත් ජනතා සහභාගිත්වයක සහතිකයක්” අපටද අවශ්‍යව තිබිණ. එවැනි කැඳවීමක් සඳහා ගාන්ධිට තිබූ “බිරතාන්‍ය විරෝධය” මෙන් ආණ්ඩු විරෝධයක් සමාජයේ ක්‍රියාශීලීව ගොනුවී නොතිබිණ. එය ජනතා ව්‍යාපාරයක් ලෙස සංවිධානාත්මකව ඉස්මතු කරගත යුතුව තිබුණකි. එවැනි ජනතා ව්‍යාපාරයක් සඳහා ජනතා විශ්වාසයක් දිනූ ජාතික නායකත්වයක් දකුණේ දේශපාලනයෙහි නොවුනි. ඒ වෙනුවෙන් තිබුණේ පුරප්පාඩුවකි.

    පාදයාත්‍රාවට ප්‍රේදාස ආණ්ඩුවෙන් තහනම් නියෝග නොදැමීමට හේතුවද මේ නායකත්ව අර්බූදය විය. ඔසී අබේගුණසේකර මහින්ද සමගින් කියා තිබුණු කතාවක් මගින් එය සනාථ වුනි. ජනාධිපති ප්‍රේමදාසගේ ඉතාම සමීප විශ්වාසවන්තයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි පෙබරවාරියේ දිනක “මහින්දගේ පාදයාත්‍රාව තහනම් නොකළොත් අපි අමාරුවේ” යැයි ජනාධිපති ප්‍රේමදාස සමග කියා ඇත.

    පිස්සුද? පවුලේ රණ්ඩු බේර ගන්න බැරි පක්ෂ නායකයින් කොහේ පාදයාත්‍රා යන්නද?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ පිළිතුර වූයේ යැයි ඔසී කියා තිබුණි. “නෙකෙරෙන දේවල් තහනම් කරලා මං මොනවටද නරක නමක් ගන්නේ?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ අවසන් උත්තරය වූ බවද ඔසී කියා තිබුණි. මැතිවරණ දේශපාලනයට හුරු වූ සාම්ප්‍රදායික නායකයින්ට පාදයාත්‍රාවේ ජනතා දේශපාලනය කියවා ගැනීමට නොහැකි වූවකි. අප පාදයාත්‍රාව සඳහා තීන්දු ගත්තේ “ජනතාවගේ සාමුහික ශක්තිය” ගැන තැබූ විශ්වාසය මත ය.   

    “පිස්සුද? පවුලේ රණ්ඩු බේර ගන්න බැරි පක්ෂ නායකයින් කොහේ පාදයාත්‍රා යන්නද?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ පිළිතුර වූයේ යැයි ඔසී කියා තිබුණි. “නෙකෙරෙන දේවල් තහනම් කරලා මං මොනවටද නරක නමක් ගන්නේ?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ අවසන් උත්තරය වූ බවද ඔසී කියා තිබුණි. මැතිවරණ දේශපාලනයට හුරු වූ සාම්ප්‍රදායික නායකයින්ට පාදයාත්‍රාවේ ජනතා දේශපාලනය කියවා ගැනීමට නොහැකි වූවකි. අප පාදයාත්‍රාව සඳහා තීන්දු ගත්තේ “ජනතාවගේ සාමුහික ශක්තිය” ගැන තැබූ විශ්වාසය මත ය.   

    දකුණේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමෙන් මහින්දට සටන්කාමියෙකු යැයි එ.ජා.ප විරෝධී කඳවුරේ යම් ජනප්‍රියත්වයක් ගොනු වෙමින් තිබිණ. එය කිසිසේත් ශ්‍රී.ල.නි.ප වෙනුවෙන් ආදේශ කළ හැකි ජනප්‍රියත්වයක් නොවුනි. එහෙත් පක්ෂයේ ව්‍යුහ අබලි වූවත් ඒ හරහා ප්‍රාදේශීය “යු.ඇන්.පී විරෝධය” ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව ගොනු කළ හැකි යැයි විශ්වාසයක් අපට තිබණ. අපි පළමු වරට බස්නාහිර පළාතේ ශ්‍රී.ල.නි.ප පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන සභිකයින් ශ්‍රී.ල.නි.ප කාර්යාලයට 1991 දෙසැම්බර 16 වන දින කැඳවීමු. එය පක්ෂයේ බෙදිල්ල විවෘත කෙරුණු මහා ගාලගෝට්ටියක් වූවාට, ප්‍රේමදාස විරෝධී තීන්දුවක් ලෙස පාදයාත්‍රාවට යම් ආකර්ශනයක් සහ එකඟතාවක් තිබිණ. පාදයාත්‍රාව සංවිධානය කිරීමේදී එය ප්‍රධාන තේමාව කරගත යුතු යැයි අපි ඉන් තේරුම් ගතිමු. ඉන්පසු යන හැම තැනම මහින්ද එය කදිමට යොදා ගත්තේය.

    ඒ සමග පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කිරීම සහ (4) යුද්ධය වෙනුවට සාමය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් යන්න ඉදිරිපත් කෙරුණි.  

    ඒ ඉල්ලීම් සමග ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස කතරගම දක්වා පාදයාත්‍රාව යෝජනා කරමින් අපි සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් හමු වීමු. ඔවුන්ගෙන් කිසිදු වැදගත් ප්‍රතිචාරයක් නොලැබිණ. ඒ වනවිට “රාජාලියා” කණ්ඩායම ලෙස ගොනුව සිටි ලලිත් – ගාමිණි කණ්ඩායම සහාය දීමට පොරොන්දු වූවත් සහභාගිවීම ගැන පැහැදිලි තීන්දුවක නොසිටියහ. එයට ප්‍රධාන හේතුවක් වූයේ ලලිත් – ගාමිණි දෙපළ අතර නායකත්වයට තිබූ කඹ ඇදිල්ල ය. දකුණේ දිස්ත්‍රික්ක සියල්ල ආවරණය කෙරෙන දේශපාලන ගමනක් තමන්ට අවාසි වනු ඇතැයි ගාමිණි තුල සැකයත් තිබිණ.

    එවැනි පසුබිමක අපි අනෙක් කුඩා පුද්ගල කණ්ඩායම් හමුවීමු. ඒ වනවිට නව සමසමාජ පක්ෂයේ වූ වාසුදේව හමුවූ විට ඔහු පාදයාත්‍රාවට සම්පූර්ණ සහාය දැක්වීමට පොරොන්දු වූවත් අප පිටත් වූ පසු ඔහුගේ ඉතාම සමීපතමයෙකු සමග කියා තිබුණේ “කුසල් හොඳ ළණුවක් දීලා මහින්දට….ප්‍රේමදාසට විරුද්ධව කොහේ පාදයාත්‍රා යන්නද” යැයි කියා ය. එහෙත් ජී.ඩී.අයි ධර්මසේකර, නිහාල් පෙරේරා, ආරිය බුලේගොඩ වැනි දේශපාලන චරිත අවංකවම හවුල් වූහ. දිනේශ්ගේ මහජන එක්සත් පෙරමුණද ලැයිස්තුවට ඇතුළු විය. ඒ අතුරින් බ.නි.පෙ නායක ලෙසින් රාජිත සේනාරත්න විශාල බරක් කර ගැසීය.

    ජාතික ව්‍යාපාරයක් ලෙස පාදයාත්‍රාව තහවුරු කරන්නට උතුරේ දෙමළ පක්ෂ හවුල්කර ගැනීමට මා උත්සාහ ගත්තද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ. කලක් ප්ලෝට් සංවිධානයේ දේශපාලන සභිකයෙකු වූ, ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු ප්ලෝට් සංවිධානය මැතිවරණ දෙපාර්තf්න්තුවේ ලියාපදිංචි කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් වූ සහ පසුව කොළඹ ප්‍රධාන ඉංග්‍රිසි පුවත් පත්වලට “තරාකි” යැයි අන්වර්ත නාමයෙන් ලිපි ලියූ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මා හඳුනාගෙන තිබූයෙන් ප්ලෝට් සංවිධානයට ඔහු හරහා ඇරයුම් කළද, ඔවුන්ද ප්‍රතිචාර දැක්වූයේ නැත. පාදයාත්‍රාවට ප්‍රසිද්ධියේ සහාය දැක්වූයේ ඒ වනවිට සුරේෂ් (ප්‍රේමචන්ද්‍රන්) කණ්ඩායම ලෙස ක්‍රියාත්මක වූ ඊ.පී.ආර්.එල්.එෆ් කණ්ඩායම පමණි. එල්.ටී.ටී.ඊට එරෙහිව ක්‍රියාත්මක වන හෙයින් පාදයාත්‍රාවට ප්‍රසිද්ධියේ සහභාගිවීම ඔවුන්ට අනතුරුදායක බැවින් එසේ සහභාගි නොවන නමුත් පාදයාත්‍රාවට පූර්ණ සහාය ලබාදෙන බව ඔවුහු ප්‍රකාශ කළහ.

    පාදයාත්‍රාව සංවිධානය කිරීමේදී දකුණේ දිස්ත්‍රික්ක බාර ගනු ලැබූයේ අමරිසිරි දොඩම්ගොඩ, හේම කුමාර නානායක්කාර, මහින්ද විජේසේකර සහ චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ය. කළුතර තිලක් කරුණාරත්න ගේ අඩවිය වූයේය. කොළඹ දිස්ත්‍රික්කයේ ඩික්සන් පෙරේරා, හලීම් ඉෂාක් සහ ඒ වනවිට ශ්‍රී.ල.නි.පට පැමිණ සිටි එ.ජා.පයේ පතාකයෙකු වූ ජිනදාස නියතපාල වැනි මන්ත්‍රීවරුන් වූහ. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සිටියත් රත්නපුර දිස්ත්‍රික්කයේ බර අදින්නට ඒ වනවිට නීති විද්‍යාලයෙන් සමත්ව පැමිණ සිටි පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත්ව සිටියාය. උතුරු-නැගෙනහිර හැර ඉතිරි දිස්ත්‍රික්ක සියල්ලටම වාගේ මහින්ද සමග ගමන් ගිය මා ඒවායේ සංවිධාන කටයුතු වෙනුවෙන් කාලය වැය කළෙමි. ප්‍රාදේශීයව පාදයාත්‍රාව සඳහා ජනතා සහායක් ගොනු කිරීමේදී ලංකාදීප පුවත් පතේ නිමල් සමරසිංහ මාධ්‍යවේදියා සතිපතා වාගේ ලබාදුන් ප්‍රචාරක වාසිය අතිශය වැදගත් විය. 

    දෙසැම්බර ආරම්භයේ සිට පාදයාත්‍රාව මාර්තු 17 වන දින කොළඹින් ආරම්භ කරන තෙක් මාස 04 ට ආසන්න කාලයක් පාදයාත්‍රාව වෙනුවෙන් දෛනිකව උදය ආරම්භය, දහවල ආහාරය, සවස රැස්වීම් තැබීමට ස්ථාන වෙන් කිරීම ආදිය පමණක් නොව, දෛනික මාධ්‍ය ආවරණ කිරරීම් පවා සැළසුම් කිරීමට මම පූර්ණකාලීනව මැදිහත් වූයෙමි. පාදයාත්‍රාව ආරම්භවූ මොහොතේ සිට මාධ්‍ය ආවරණයේදී අපට “ලංකාදීප” සහ “දිවයින” මාධ්‍යවේදීහූ දෛනිකව පළමු පිටුවේ ඡායාරූප පළ කරමින් විශාල සහායක් ලබා දුන්හ. එවැනි ප්‍රචාර සමග දකුණේ පමණක් නොව අනෙක් ප්‍රදේශ වලද සමසමාජ, කොමියුනිස්ට් පාක්ෂිකයින් පක්ෂ තීන්දු නොතකා පාදයාත්‍රාවට හවුල් වූහ.

    සමසමාජ පක්ෂයේ විරෝධය නොතකා කාන්තා සම්මේලනයේ තීන්දුවක් සමග විවියන් ගුණවර්ධන සහෝදරිය පාදයාත්‍රාවට සහභාගි වන බව දැනුම් දුන්නේ පාදයාත්‍රාව මාතරට පැමිණි දිනයේය. ඇයට ඇවිදින්නට ඇති අසීරුව නිසා අවසන් දිනයේ කතරගමට ඇතුළුවන ගම්උදාව තොරණ ආසන්නයේදී ඇය සමසමාජ කාන්තා සම්මේලනයේ පිරිසක් කැටුව පාදයාත්‍රාව පිළිගැනුමට එන බව මා සමග කීවාය. අවසන් දිනයේ ඇය මහින්ද ඇතුළු පිරිස කතරගමදී පිළිගන්නා විට, පාදයාත්‍රාවේ අවසාන කොටස කිලෝ මීටර 16 ක් පමණ දුරින් තිස්ස නගරයෙහි පෙළගැසෙමින් තිබුණි.

    පාදයාත්‍රාව සම්බන්ධව කෙටියෙන් ලියූ මේ දිගු කතාවේ “දේශපාලනය” සම්පිණ්ඩනය කළහොත් ඉතාම වැදගත් කාරණය වන්නේ ජනතාව ගැන විශ්වාසය තබන්නේ නම්, ප්‍රධාන දේශපාලන ධාරාවේ සාම්ප්‍රදායික පක්ෂ ඉදිරිපත් නොවුනත් සමාජයේ පවතින විවිධ ජන සංවිධාන හා අඩාලවූ දේශපාලන ගොනුවීම් යළි එක්රැස් කරමින් ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි බවය. එහෙත් එයට අදාල කොන්දේසි කිහිපයක් ඇත. ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්, සටන් පාඨ සමාජයේ බහුතරයකට අදාලවන හා වැදගත් කාරණා ලෙස පිළිගැනුමක් ලබන ඉල්ලීම්, සටන් පාඨ වීම, අනිවාර්ය වන්නකි. ඊළඟට ඒවා වෙනුවෙන් ඉදිරිපත්වන නායකත්වය ගැන ආරම්භක විශ්වාසයක් සහ යම් පිළිගැනුමක් සමාජයේ තිබිය යුතුය. එවගේම එවැන්නක් සංවිධානය කිරීමේදී ජනතාව ගැන පූර්ණ විශ්වාසයක් ඇතිව මර්දනය හමුවේ වූවත් පසු නොබාන නායකත්වයක් එයට මුලපුරන බවට ජනතාව තුලද විශ්වාසයක් ඇති විය යුතුය. ඉතාම වැදගත් කාරණාව වන්නේ බිම් මට්ටමින් ජනතාව සමග සංවිධාන කටයුතු කළ හැකි නායකත්වයක් සිටීමය.

    ඒ සියල්ල සම්පූර්ණ වූ පාදයාත්‍රාව ගැන අවසන් වශයෙන් කිව යුත්තේ මීට අවුරුදු 29 ට පෙර වූ ලංකා සමාජය, අද මෙන් ජාති-ආගම්වාදී බෙදීම් සමගින් වූ කුහක, ආත්මාර්ථකාමී සමාජයක් නොවුනු බවය. පාදයාත්‍රාව ඊළාම් උගුලක් යැයි කොළඹ තාප්ප වසා පෝස්ටර අලවා තිබියදීත් ආණ්ඩුවේ මාධ්‍ය ඊ.පී.ආර්.එල්.එෆ් ප්‍රකාශය ඒ වෙනුවෙන් විශාල ලෙස යොදා ගනිද්දීත් දහස් ගණන් ස්ව කැමැත්තෙන් පාදයාත්‍රාවට හවුල් වූයේ ජාතිවාදී ආගම්වාදී කිසිවක් ඔවුන්ට එදා අදාල නොවුනු හෙයිනි.

    කුසල් පෙරේරා

  • SL v West: පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

    SL v West: පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

    පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියහ. පන්දු යවන්නන්ට කිසියම් සහායක් ලබා දුන් දෙවැනි දිනය ඉතාමත් මන්දගාමී දිනයක් බවට පත්වූ අතර දිනය තුළ යවන ලද පන්දුවාර 86 දී දෙපිළේම පිතිකරුවෝ රැස් කිරීමට සමත්වූයේ ලකුණු 203 ක් පමණි.

    සමස්ථ දිනය තුළදී කඩුලු 6 ක් දැවී යද්දී පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය ලෙසින් 2.36 ක් සටහන් වේ.කෙසේ වෙතත් ලකුණු 77 කදී පළමු පිතිකරුවන් තිදෙනා දැවී ගිය ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නියැළි දිනේෂ් චන්දිමාල් පන්දු 80 කදී ලකුණු 34 ක්ද ධනංජය ද සිල්වා පන්දු 95 කට මුහුණ දෙමින් ලකුණු 23 ක්ද ලබා තරගයේ තෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටියහ. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මොවුන් දෙදෙනා අතර වාර්තා වුණු නොබිඳුණු කඩුලු සම්බන්ධතාවය ලකුණු 59 කි.

    ඉනිම ආරම්භයේදී ඉතාමත් සංසුන්ව පන්දුවට පහර දුන් ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකත්වයට පත් වූ පළමු පිතිකරුවා විය. වෙනදාට වඩා තරමක් වේගයෙන් පන්දුවට පහර දුන් තිරිමාන්න තේ පානයට පෙර සිය අර්ධ ශතකය සපුරා ගගත්තේය. මෙය ඔහු අඛණ්ඩව ඉනිම 3 කදී රැස් කරන ලද තෙවැනි අර්ධ ශතකය මෙන්ම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

    පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිට පිතිකරණයට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම සඳහා දිමුත් කරුණාරත්න දැඩි උත්සාහයක නිරත වූ නමුත් අල්සාරි ජෝසප් හමුවේ ඔහු පරාජයට පත්විය. එල්ල කරන ලද පහර ස්ලිප් සහ ගලී ස්ථාන අතරින් ගලා ගියත් නමුත් දකුණතට පැන තනි අතට එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට න්කෘමා බෝනර් සමත්වූවේය. ගලී ස්ථානයේ සිට ගුවනට මුසු වෙමින් රැක ගත් එම උඩ පන්දුව දිනය තුළ පමණක් නොව සමස්ථ තරගයේදී මෙතෙක් වාර්තා වුණු දක්ෂතම උඩ පන්දු රැකීම බවට පත්විය.

    ඕෂද ප්‍රනාන්දු ද ලකුණු අතරට පිවිසීමට දැඩි උත්සාහයක් නිරත වූ නමුත්, කයිල් මේයර්ස්ගේ පන්දු යැවීම ඔහුගේ හරහට හිටියේය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඕෂද දැවී යන විට පන්දු 71 කදී ලකුණු 18 ක් ලබා සිටියේය. රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් තිරිමාන්නද තම ඉනිම ලකුණු 55 කදී නවතා ගත්තේය. පන්දු 106 කින් සමන්විත වුණු තිරිමාන්නගේ ඉනිම සඳහා හතරේ පහර 6 ක් එල්ල කර තිබිණ.

    දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ. දුෂ්මන්ත චමීර විසින් කොදෙව් කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසින් නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ කඩුල්ල දවා ගන්නා විට බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 354 ක් ලෙසින් සටහන්ව තිබිණ.

    නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැත්වයිට් අද දිනයේදී සිය 9 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගනිමින් තම ඉනිම ලකුණු 126 ක් දක්වා ඉහළ දමා ගත්තේය. ඔහුට අමතරව රකීම් කෝන්වෝල් ද අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය.

    පන්දුවාර 6 ක් පමණක් පරණ වී තිබූ දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් කළින්ම කොදෙව් පළමු ඉනිම නවතා දමනු ඇතැයි අපේක්ෂිත වුවත්, දිවා ආහාරය වන තෙක්ම තරගය රැගෙන ගියේය. පළමු ටෙස්ට් තරගයේ පරිදිම වැඩිම හානියක් සිදුකරන ලද්දේ රකීම් කෝන්වෝල් විසිනි.

    නායකයාට මනා සහයෝගයක් ලබා දුන් කොදෙව් දැවැන්තයා සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ විශ්ව ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 92 කදී ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගනිමිනි. මෙය කෝන්වෝල් විසින් පිට පිට ඉනිම දෙකකදී රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

    ශ්‍රී ලංකාවේ අවාසනාවටත් කොදෙව් පිලේ වාසනාවටත් හිටි කෝන්වෝල් – බ්‍රැත්වයිට්ගේ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය එම ඉනිමේ වාර්තා වුණු හොඳම සම්බන්ධතාවය (103) බවට පත්වූවා පමණක් නොව ශ්‍රී ලංකාවට දැඩි හානියක් සිදුකරන ලද සම්බන්ධතාවයක් ලෙසින් සටහන් විය. මෙම සම්බන්ධතාවයේදී වැඩිම හානියක් සිදුකළ කෝන්වෝල් එම කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 103 න් 73 කම හිමිකරුවා බවට පත්වූවේය.

    සුරංග ලක්මාල්ගේ සිව්වැනි කඩුල්ල ලෙසින් කෝන්වෙල් දැවී යද්දී පිටියට පිවිසි කෙමාර් රෝච් ද 9 වැනි කඩුල්ල වෙනුවෙන් නායකයා සමඟ එක්ව ලකුණු 26 කින් ඉනිම පෝෂණය කළේය. කෙමාර් රෝච්ගේ කඩුල්ල දවා ගත් දුෂ්මන්ත චමීර ඊළඟ පන්දුවාරයේදී යළිත් බ්‍රැත්වයිට්ව දවා ගනිමින් කොදෙව් පළමු ඉනිමේ ලකුණු දඩයම නිමා කර දැමුවේය. පිට ඉන්නට මඳක් පිටතින් පිතව කඩුල්ල තුළට ආ පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල වැදී යෑම නිසා පිටියෙන් ඉවත්විය. ඒ සැණකින්ම දිවා භෝජනය සඳහා තරගය නතර කර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

    ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් ලකුණු 94 කට කඩුලු 4 ක් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර ලකුණු 69 ක් ඇතුළත කඩුලු 3 ක් දවා පන්දු යැවීමෙන් කැපී පෙනිණ.

    text by sri lanka cricket
  • පන්දුවාරයකට හයේ පහර 6ක් – ‘තිසර පෙරේරා’ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

    පන්දුවාරයකට හයේ පහර 6ක් – ‘තිසර පෙරේරා’ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.

    ඩිල්හාන් කුරේ විසින් යවන ලද පන්දුවාරයක එම හයේ පහර 6 එල්ල කළ තිසර පන්දු 13 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දුවාර 41 ක තරගයක් ලෙසින් පැවැති එම තරගයේදී තිසරගේ දක්ෂතාවය හේතුවෙන් කඩුලු 3 කට ලකුණු 318 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණ. තිසර විසින් වාර්තා කරන ලද එම අර්ධ ශතකය දේශීය තරග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය බවටද පත්විය. හයේ පහර 8 කින් සමන්විත වුණු තිසරගේ ඉනිමට ප්‍රථම තුන් ඉරියව් ක්‍රීඩක කෞෂල්‍ය වීරරත්න පන්දු 12 කදී අර්ධ ශතකය වාර්තා කරමින් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවට හිමිකම් කියන්නේ. පළමු පෙළ පිටියේදී එකම පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ ලොව 9 වැනි ක්‍රීඩකයා ලෙසින් තිසරගේ නම වාර්තා පොත් අතරට එක් වන්නේය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, රවී ශාස්ත්‍රි, හර්ෂල් ගිබ්ස්, යුවරාජ් සිං, රොස් වයිට්ල්, හස්රතුල්ලා සසායි, ලියෝ කාටර් සහ කිරන් පොලාර්ඩ් තිසර පෙර හයේ පහර 6 ක් එල්ල කර ඇති පිතිකරුවෝ වෙති.

    මේ අතර ගතවූ සති අන්තයේ සී.සී.සී කණ්ඩායමේ ලසිත් අබේරත්න (නොදැවී 100යි) යුද හමුදාවේ අෂාන් රන්දික (124) හිමාෂ ලියනගේ (101) එස්.එස්.සී කණ්ඩායමේ ෂම්මු අෂාන් (නොදැවී 107යි) සහ මුවර්ස් කණ්ඩායමේ පබසර වඩුගේ (නොදැවී 133) ශතක වාර්තා කළහ.

    මෙදින පැවැති තරග අතුරින් ජය ලබාගත්තේ නිගම්බු, එන්.සී.සී, බදුරලිය, රාගම, සී.සී.සී, ගාල්ල, නුගේගොඩ, කෝල්ට්ස්, එස්.එස්.සී සහ මුවර්ස් කණ්ඩායම්ය. යුද හමුදා – බ්ලූම්ෆීල්ඩ් තරගය තීරණයක් නොමැතිව අවසන් වූ අතර පානදුර සහ ලන්කන් අතර තරගය ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත නොපැවැත්වූයේ එකම පන්දුවක්වත් නොයවාය.

    පන්දු යැවීමේදී මේරියන්ස් කණ්ඩායමේ චාරුක තරිදු ලකුණු 35කට කඩුලු හයක් ද මීගමුව ටැමිල් තරගයේදී උපුල් ඉන්ද්‍රසිරි සහ නිසල තාරක කඩුලු හතර බැගින් දවාලූහ. එන්.සී.සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 17කට කඩුලු 5ක්ද දවාලුවේය.

    මීගමුවට කඩුලු 5 ක ජයක්

    මීගමුව කණ්ඩායමේ නිසල තාරක සහ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 4 බැගින් දවාලීම මත ටැමිල් ඉනිම ලකුණු 99කදී නිමාවට පත්විණි. මීගමු කණ්ඩායමේ ඇන්ජලෝ ජයසිංහ ලකුණු 42ක් ලබා ගැනීමෙන් මීගමු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් වූයේ පන්දු වාර 25.2ක්ම ඉතිරිව තිබියදීය.

    ටැමිල් යුනියන් පන්දු වාර 27කදි සියලුදෙනා දැවී 99යි – (මනෝජ් සරත්චන්ද්‍ර 26, ඉසුරු උදාන 22, සුපුන් කාවින්ද 18, නිසල තාරක 23/4, උපුල් ඉන්ද්‍රසිරි 27/4)

    මීගමුව පන්දුවාර 24.4 කදී කඩුලු 5කට ලකුණු 100යි – (ඇන්ජලෝ ජයසිංහ 42, ළහිරු මිලන්ත 20, මාධව වර්ණපුර 18, සවිදු කොළඹගේ 20/2)

    එන්.සී.සී පිලට ලකුණු 230ක දැවැන්ත ජයක්

    එන්.සී.සී වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 63ක්ද ඇන්ජලෝ පෙරේරා ලකුණු 47ක්ද ලබා පිත්තෙන් දස්කම් දැක්වූහ. එන්.සී.සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 17කට කඩුලු 5ක්ද ළහිරු කුමාර ලකුණු තුනකට කඩුලු 2ක් ද දවාලීම මත ඒස් කැපිටල් ලකුණු 30කට සීමාවිණි.

    එන්.සී.සී පන්දු වාර 50දී කඩුලු 9ට 260යි – (චාමික කරුණාරත්න 63, ඇන්ජලෝ පෙරේරා 47, කමිල් මිෂාර 40, කවීන් බණ්ඩාර 28, චතුරංග ද සිල්වා 26, කවිදු රිද්ම 55/2යි, චානක කොමසාරු 19/2යි)

    ඒස් කැපිටල් පන්දු වාර 19.3කදී සියල්ල දැවී 30යි – (ප්‍රසන්න වික්‍රමසිංහ 07, චතුරංග ද සිල්වා  17/5යි ළහිරු කුමාර 3/2යි)

    බදුරලියට කඩුලු හයක ජයක්

    බදුරලිය කණ්ඩායමේ ඩිල්ෂාන් ද සොයිසා අර්ධ ශතකයක් (55) ලබා ගැනීම සහ තිලකරත්න සම්පත් සහ රුචිර කෝසිත කඩුලු තුන බැගින් දවාලීම මේ තරගයේ විශේෂ සිදුවීම්ය.

    ගුවන් හමුදාව පන්දු වාර 41.4කදී 143යි – (කළණ විජේසිරි 44, රවිඳු සෙම්බුකුට්ටිගේ 29, අරවින්ද ප්‍රේමරත්න 24, තිලකරත්න සම්පත් 25/3, රුචිර කෝසිත 34/3)  

    බදුරලිය පන්දු වාර 36.4කදී කඩුලු 4ට 144යි – (ඩිල්ෂාන් ද සොයිසා 55, යශෝධ ලංකා 25, මිලින්ද සිරිවර්ධන 25, ගමිඳු කණිෂ්ක 22, අනුෂ්ක ද අල්විස් 34/2)

    රාගමට ලකුණු 39ක ජයක්

    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ මේ තරගයේදී රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ ලකුණු 82ක් රැස්කිරීමට සමත්විය. මේරියන්ස් කණ්ඩායමේ චාරුක තරිදු ලකුණු 35කට කඩුලු හයක් දවා රාගම ඉනිම 178කට සීමා කළත් මේරියන්ස් පිතිකරුවෝ මේ පහසු ඉලක්කය කරා යාමට අවස්ථාව නොලැබිණි.

    රාගම පන්දු වාර 42කදී සියලුදෙනා දැවී 178යි – (ජනිත් ලියනගේ 82, බිනුර ප්‍රනාන්දු 43, චාරුක තරිඳු 35/6 අවිඳු තීක්ෂණ 24/2)

    හලාවත මේරියන්ස් පන්දු වාර 36.2කදී සියල්ල දැවී 139යි – (දසුන් සෙනෙවිරත්න 32, කමිඳු මෙන්ඩිස් 23, තීක්ෂිල ද සිල්වා 17, ෂෂික දිල්ෂාන් 16/2, ඉෂාන් ජයරත්න 15/2, ජනක සම්පත් 14/2)

    සී.සී.සී ට ලකුණු 212ක ජයක්

    සී.සී.සී කණ්ඩායමේ ලසිත් අබේරත්න පන්දු 93කදී හයේ පහර හයක් හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 100ක්ද රොන් චන්ද්‍රගුප්ත ලකුණු 76ක්ද රැස් කිරීම මත ඔවුනට ලකුණු 303ක් වැනි විශාල සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව උදාවිණි. පසුව මාලින්ද පුෂ්පකුමාර ලකුණු 21කට කඩුලු තුනක් දවාලීමට සමත්විය.

    සී.සී.සී පන්දු වාර 49කදී කඩුලු 5ක් දැවී 303යි – (ලසිත් අබේරත්න නොදැවී 100, රොන් චන්ද්‍රගුප්ත 76, සොනාල් දිනුෂ 42, සචිත්‍ර පෙරේරා 44/2යි)

    කැන්ඩි කස්ටම් පන්දු වාර 30.1කදී සියල්ල දැවී 91යි – (හසිත් නිර්මාල් 20, ෂෙහාන් වීරසිංහ 17, විශ්ව විජේරත්න 16, මලින්ද පුෂ්පකුමාර 21/3, සොනාල් දිනූෂ 6/2යි)

    ගාල්ලට ලකුණු 62ක ජයක්

    ගාල්ල කණ්ඩායමේ එරංග රත්නායක මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය. නාවික හමුදාවේ බුද්ධික තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය. නාවික හමුදාවේ බුද්ධික මධුෂාන් ලකුණු 35කට කඩුලු 4ක් දවාලුවත් නාවික හමුදා පිතිකරුවනට ලකුණු 219 ඉලක්කය කරා යාමට නොලැබිණි.

    ගාල්ල පන්දු වාර 48.3 කදී සියල්ල දැවී 218යි – (හර්ෂ රුෂාන් 40, එරංග රත්නායක 51, චතුර ලක්ෂාන් 44, බුද්ධික මධුෂාන් 35/4, චමෝද් බැට්ටගේ 47/2)

    නාවික හමුදාව පන්දුවාර 39.5කදී සියල්ල දැවී 156යි – (තරුෂ ඉද්දමල්ලගොඩ 50, චානක රුවන්සිරි 40, අරවින්ද අකුරුගොඩ 20, චලන ද සිල්වා 39/3, එරංග රත්නායක  18/1)

    තිසරගේ හයේ හය ඵල රහිතයි

    යුද හමුදාවේ අෂාන් රන්දික (124) සහ හිමාෂ ලියනගේ (101) ශතක ලබා දස්කම් දැක්වූහ. නායක තිසර පෙරේරා පන්දු 13කට පමණක් මුහුණදී හයේ පහර අටක් සමග නොදැවී ලකුණු 52ක් රැස්කිරීමට සමත්විය. යුද හමුදාවේ ලකුණු රැස් කිරීමේ වේගය පන්දු වාරයකට ලකුණු 7.75ක් වැනි අධික ප්‍රමාණයක් වුවත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය ප්‍රතිඵල රහිත විය.

    යුද හමුදාව පන්දු වාර 41කදී කඩුලු 3ට 318යි – (අෂාන් රන්දික 124, හිමාෂ ලියනගේ 101, තිසර පෙරේරා නොදැවී 52, උස්මාන් ඉෂාන් 67/2)

    බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 17කදී කඩුලු 6ට 73යි – (කසුන් ඒකනායක නොදැවී 36, දිල්ෂාන් කුරේ 22, දුෂාන් විමුක්ති 16/3යි, සුමින්ද ලක්ෂාන් 23/2)

    නුගේගොඩට ලකුණු 34 ක ජයක්

    නුගේගොඩ කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ලකුණු 34කට කඩුලු තුනක් දවා පසුව ලකුණු 46ක්ද රැස් කළේය. නුගේගොඩ පහසු ජයක් පෙනී තිබුණද අයහපත් කාලගුණය මත ඩක්වර්ත් ක්‍රමයට ජයග්‍රාහකයා තීරණය විය.

    කලුතර පන්දු වාර 47.1කදී සියල්ල දැනී 164යි – (ගෙෂාන් විමලධර්ම 46, ගිහාන් රූපසිංහ 35, තාරක වඩුගේ 17, මුදිත ලක්ෂාන් 34/3, නවීන් කවිකාර 37/3, විමුක්ති කුලතුංග 27/2යි)

    නුගේගොඩ පන්දු වාර 32.2කදී කඩුලු 6ට 151යි – (මුදිත ලක්ෂාන් 46, මින්හාන් ජලීල් 30, උමේෂ් කරුණාරත්න නොදැවී 30, නිලංක සදකැන් 39/3, දෙනුවන් රාජකරුණා 23/1)

    කෝල්ට්ස්ට ලකුණු 58 ක ජයක්

    කෝල්ට්ස් පිතිකරුවන් තිදෙනෙකුම අර්ධ ශතක ලබාගැනීම මත ඔවුනට ලකුණු 295කට යාමට අවස්ථාව උදාවිණි. කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ලකුණු 26කට කඩුලු 3ක් දවාලීය.

    කෝල්ට්ස් පන්දු වාර 50දී කඩුලු 9ට 295යි – (ධනංජය ලක්ෂාන් 69, සංතූෂ් ගුණතිලක 59, කිත්රුවන් විතානගේ 51, විෂාඩ් රන්දික 33, චරිත් රාජපක්ෂ 66/4, රවින් සේයර් 46/2)

    සෙබස්තියනයිට්ස් පන්දුවාර 30කදී කඩුලු 5ට 133යි – (සමීන් කඳනආරච්චි 41, සචින් ද අල්විස් 28, හසන්ත ප්‍රනාන්දු 21, අකිල ධනංජය 26/3, සංගීත් කුරේ 18/2)

    එස්.එස්.සීට ලකුණු 108 ක ජයක්

    එස්.එස්.සී කණ්ඩායමේ ෂම්මු අෂාන් පන්දු 105කදී හතරේ අටක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 107ක් රැස් කිරීමට සමත්විය. ජෙෆ්රි වැන්ඩසේ නැවත වතාවක් පන්දු යැවීමේදී දක්ෂතා දක්වමින් කඩුලු 3ක් දවාලූවේ ලකුණු 39ක් ලබාදෙමිනි.

    එස්.එස්.සී පන්දු වාර 50දී කඩුලු 5ට 293යි – (ෂම්මු අෂාන් නොදැවී 107, නුවනිඳු ප්‍රනාන්දු 40, තරිදු රත්නායක 38, ක්‍රිෂාන් සංජුල 31, අවිශ්ක ප්‍රනාන්දු 23, රන්දීර රණසිංහ 52/3යි, නිම්සර අතරගල්ල 61/1යි)

    කුරුණෑගල යූත් පන්දු වාර 35කදී කඩුලු 7ට 130යි – (සමීර සඳමාල් 35, දිල්ෂාන් කොල්ලුරේ 23, මුදිත ප්‍රේමදාස 20, ජෙෆ්රි වැන්ඩර්සේ 39/3, ප්‍රභාත් ජයසූරිය 24/2)

    මුවර්ස්ට ලකුණු 44ක ජයක්

    මුවර්ස් කණ්ඩායමේ පබසර වඩුගේ පන්දු 127කදී හතරේ අටක් හයේ තුනක් සමග ලකුණු 133ක් ලබා ලකුණු අතරට පිවිසීමට සමත්විය. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 48ක් ලබාගත්තේ පන්දු 47කදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමගිනි.

    මුවර්ස් පන්දු වාර 50දී සියල්ල දැවී 291 – (පබසර වඩුගේ 133, පසිඳු සූරියබණ්ඩාර 48, නිපුන් කරුණානායක 30, අදීෂ තිලංචන නොදැවී 22, උදිත මධුෂාන් 64/3, හෂේන් රාමනායක 52/2)

    සැරසන්ස් පන්දු වාර 34.1කදී කඩුලු 5ට 153යි – (කවීෂ කහඳුවආරච්චි 42, හෂාන් දුමිඳු 35, චරිත කුමාරසිංහ 31, ප්‍රමෝද් මධුවන්ත 26, මිලාන් රත්නායක 27/2යි, ප්‍රවීන් ජයවික්‍රම 35/2යි)

    පානදුර ලන්කන් තරගය ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත සම්පූර්ණයෙන් නොපැවැත්විණි.

  • ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ‘ටොම් මූඩිගෙන්’ සුපිරි සහතිකයක්

    ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ‘ටොම් මූඩිගෙන්’ සුපිරි සහතිකයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර සිටියි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් වසර 3 ක කාලයක් සඳහා කොන්ත්‍රාත් ගතව සිටින මූඩි මහතා, සිය සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මංගල මාධ්‍ය හමුවේදී ඉහත කරුණු අනාවරණය කර සිටියේය.

    “ඇත්තටම මෙම ක්‍රියාවලියේදී අපිට සියලුම අංශයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තලයකට ගෙන යා හැකියි. එය පුද්ගලයින් හෝ ක්‍රීඩකයින් මත පමණක්ම නොවෙයි, යටිතල පයහසුකම් ගැනත් අවධානය යොමු කළ යුතුයි” යැයි මූඩි සඳහන් කර සිටියේය.

    “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කිසියම් සමාලෝචනයක් සිදුකළ යුතුයි. ප්‍රධාන පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තරයේ මා ලබා සිටින විවිධ අත්දැකීම් සමඟ ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී ඉදිරියේදී සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් කීපයක් කිරීමට යම් කාලයක් ගතවෙයි. නමුත් ක්‍රිකට් කමිටුවේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මම හොඳ සූදානමකින් සිටිනවා” යැයිද 2007 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරගය දක්වා රැගන යෑමට සමත්වූ ප්‍රධාන පුහුණුකරුවා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

    “මේ සමස්ථ ක්‍රියාවලිය හරහා අපිට නිවැරදි ව්‍යුහය ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ නම් අප සිටිය යුතු තැනට අප නැවත පැමිණෙනු ඇත” යැයිද මූඩි සඳහන් කර සිටියි.

    මූඩි මහතා අසුන්ගෙන සිටි ප්‍රධාන වේදිකාවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ ප්‍රධානියා වන අරවින්ද ද සිල්වා සහ මුත්තයියා මුරලිදරන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ද අසුන්ගෙන සිටියේය.

    එහිදී ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා අදහස් දක්වමින්, ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ටොම් මූඩිව පත් කිරීමත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළිත් කීර්තිමත් කාලයක් කරා පැමිණෙනු ඇති බව තමා විශ්වාස කරන බවද සඳහන් කර සිටියේය.

    “ඇත්තම කියනවා නම් අපේ ජාතික කණ්ඩායම මේ පසුකරමින් සිටින්නේ ඉතා අසීරු කාල පරිච්ඡෙදයක් කියලා අපි දන්නවා. නමුත් අපි උපායශීලීව මෙය හරි මාර්ගයකට ගන්න සියලු උත්සාහයන් සිදුකරනු ලබනවා. එය අවසන් වීමෙන් පසු සාර්ථක ප්‍රතිඵල ලැබෙයි” යැයි අරවින්ද ද සිල්වා මහතා පවසයි.

    “මෙහිදී මූඩි සමඟ අපේ කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීවට කටයුතු කරනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම දේශීය ක්‍රිකට් ව්‍යුහයත් සමඟ ක්‍රීඩාවේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින් ගැටලු ඇති තැන් වොතොත් එය නිසි ක්‍රමවේදයකට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සාකච්ඡා කරනවා. එහිදී පාසල් ක්‍රිකට් සඳහා මාවතක් සකස් කිරීම, වර්තමාන ක්‍රීඩකයින් ගේ කොන්ත්‍රාත්තු, සහායක කාර්යය මණ්ඩලය සහ පුහුණුකරුවන්ගේ ක්‍රමවේදය වගේම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු කරලා තියෙනවා. එය සෑම පාර්ශ්වයකම පූර්ව අනුමැතියෙන් පසුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා”.

    “මෙහිදී අපි මුරලි (මුත්තයියා මුරලිදරන්) සහ සංගාකා (කුමාර් සංගක්කාර) සහ මහේල (මහේල ජයවර්ධන) සමඟ අපි සාකච්ඡා කීපයක්ම පැවැත්වුවා. එහිදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන සැලැස්මක් සඳහා ක්ෂණිකව ආරම්භ කරන ලද වැඩසටහනකට අපි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. එතැනදී පළමු පෙළ තරගාවලියේ ව්‍යුහය, යෞවනයින්ගේ සංවර්ධනය කිරීම වැනි දේශීය ව්‍යුහයේ සිදුකළ යුතු සංශෝධන අපි විසින් ඉදිරිපත් කරනු ලබනවා”යැයිද ද සිල්වා මහතා කරුණු දක්වා සිටියේය.

    මෙහිදී මූඩි මහතාගේ පත්වීම කෙරෙහිද වැඩි දුරටත් කරුණු දක්වා සිටි ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ටතම දකුණත් පිතිකරුවා, “අපි මූඩිව පත් කළේ ඔහුට ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ලොකු අදහසක් ඇති ක්‍රීඩකයෙකු, පුහුණුකරුවකු සහ පරිපාලකයෙකු විදියට තියෙන අත්දැකීම් සලකලා බලලා. ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්, භෞත චිකිත්සකයින් සහ නිලධාරීන් මට්ටමකට ගෙන ඒමයි. එම නිසා මින් ඉදිරියට විදේශයන්හි සිටින කිසිවකු බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ”

    මූඩි මෙහි කටයුතු කරනු ලබන වසර 3 ඇතුළතදී අපි මේ තනතුරු වල වගකීම ලබා ගැනීමට තරම් අපි වර්ධනය විය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා පරිපාලනයෙන් කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීමට” යැයි ද සිල්වා මහතා පවසයි.

    Text by – sl cricket

  • ශ්‍රී ලංකාවේ අභියෝගයෙන් කොදෙව්වෝ ආරක්ෂා වෙති

    ශ්‍රී ලංකාවේ අභියෝගයෙන් කොදෙව්වෝ ආරක්ෂා වෙති

    අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත්වූහ.

    ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පස්වැනි දිනයේදීත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය මට්ටමක පැවැතීම පුදුමය දනවන්නක් විය. එහිදී කඩුලු 9 ක් අතැතිව පස්වැනි දිනය වූ බ්‍රහස්පතින්දා දින තරගයට අවතීර්ණ වුණු කොදෙව් පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවා ගත යුතු වූයේ ලකුණු 3.75 ක අගයක් වන නමුත් ලකුණු 2.53 ක වේගයක් රඳවා ගත් කොදෙව් පිතිකරුවෝ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත්හ.

    අවසන් දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම ඉතාමත් හොඳින් පන්දු යැවූ හෙයින් අනවශ්‍ය අමාරුවකට නොවැටීමට කොදෙව් පිතිකරුවෝ වගබලා ගත්හ. එබැවින් දිනය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 236 ක් ලබා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්හ.

    කොදෙව් පිල වෙනුවෙන් දිනය පුරා පන්දුවට පහර දුන් නිකෘමා බෝනර් ලකුණු 113 ක් ලබා ජය පැරදුමෙන් තොරව තරගය නිමා වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. පන්දු 274 ක් පුරා විහිදුණු බෝනර්ගේ ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානයද ගෙන දුන්නේය. බෝනර් දවා ගැනීම වෙනුවෙන් උඩ පන්දුවක් රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභා වූ නමුත් එය තෙවැනි විනිසුරුගෙන් විමසීමට ශ්‍රී ලංකා කණ්ඩායම මැළිවූහ. එහෙත් පුණරූපනවලට අනුව එය බෝනර්ගේ පිත්තේ පිටත දාරයේ වැදී යන්නක් බව පැහැදිළිවම සටහන් විය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කළේ නම් බෝනර්ට සිය මංගල ශතකය ලබා ගැනීම පසෙකලා ඉනිම ලකුණු 07 කදී අවසන් කොට පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

    තරග ආරම්භයට වර්ෂාවෙන් කිසියම් බාධා පැමුණුනද නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවුණු පස්වැනි දිනයේදී බෝනර්ට අමතරව කයිල් මේයර්ද ලකුණු 52 ක් ලබා ගනිමින් දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීවේය. දිවා ආහාරයට ප්‍රථම නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ව දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් ඉතා ආරක්ෂාකාරී පිළිවෙතක් කොදෙව්වෝ අනුගමනය කළහ. නායකයාගේ දැවී යෑමේ පටන් පන්දුවට පහර දුන් බෝනර්සහ මේයර් යුගල තේ පානය තෙක්ම කඩුලු ආරක්ෂා කරගනිමින් ජය පැරදුමෙන් තොරව වුණු අවසානයකට කණ්ඩායම සුරක්ෂිත කළහ. ඒ අතරතුරදී ඔවුහු ලකුණු 103 ක් එක් කරගත්හ.

    තේ පානයෙන් පසු යවන ලද පළමු පන්දුවාරයේදීම එම සම්බන්ධතාව බිඳ දැමීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වූවේය. ළහිරු තිරිමාන්න ස්ලිප් හි සිට උඩ පන්දුවක් රැක ගැනීම නිසා මේයර්ස් දැවී ගියේය. අනතුරුව විශ්ව ප්‍රනාන්දුද බ්ලැක්වුඩ්ගේ කඩුල්ල දවා ගනිමින් යළිත් කිසියම් බලාපොරොත්තුවක් ගොඩනංවන්නට සමත්වූවේය.

    කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් බෝනර්ට එක්වූ ජේසන් හෝල්ඩර් අවසන් පැය තෙක්ම තරගය රැගෙන ගියහ. අවසන් පැය එළඹෙත්ම තරගය ජය පැරදුමෙන් තොර අවසානයක් පෙන්නුම් කළ හෙයින් දෙපිළේම නායකයින්ගේ කැමැත්තෙන් තරගය නිමා කර දැමීමට කටයුතු කළහ.

    පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු 4 අඩක් බැගින් බෙදා ගත්හ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන මාර්තු 29 වැනිදා නෝර්ත් සවුන්ඩ්හිදී ආරම්භ වේ.

    Text by – sl cricket

  • පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

    පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

    ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල එක්ව ගොඩනංවන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.

    තරගය ජය ගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 375 ක අසීරු ඉලක්කයක් හඹා යමින් සිටින කොදෙව් කණ්ඩායම බදාදා (24 දා) පස්වරුවේ තරගය නතර කර දමනා විටත් ලකුණු 34 ක් ඇතුළත කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.

    ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 476 ක් රැස් කරගත්තේ තරගයේ වාසිය මුළු මනින්ම අත්පත් කර ගනිමිනි. කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට තවත් කඩුලු 9 කදී ලකුණු 341 ක ඉලක්කයක් ලබාගත යුතුව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ සිව්වැනි ඉනිමේදී ලකුණු 375 ට වඩා හඹා යමින් ජය ගෙන ඇත්තේ අවස්ථා 2 කදී පමණි. 2003 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇන්ටිගුවාහි හඹා ගිය ලකුණු 418 ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ හඹා ගොස් ජය ගෙන තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වේ.

    2001 වසරේදී මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් තිලාන් සමරවීර රැස් කරන ලද ශතකයෙන් පසු ගෙවී ගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයකදී ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත්විය. මෙරට ටෙස්ට් ඉතිහාසය සංසන්දනය කිරීමේදී ඔහුට පෙර බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කලුවිතාරණ සහ තිලාන් සමරවීර මංගල තරගයකදී ශතකයක් ලද පිතිකරුවන් බවටපත්ව සිටියද විදේශයකදී එවැනි හපන්කමක් කළ පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන් පැතුම් නිස්සංකගේ නම වාර්තා පොත් අතරට එක් වනු ඇත.

    දකුණතින් පන්දුවට පහර දෙන තවමත් 22 වැනි වියේ පසුවන පැතුම් කලුතර විද්‍යාලයෙන් සහ කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී සිටියි. මෙම දස්කම ලෝකයට සංසන්දනය කිරීමේදී පැතුම්ට එහි හිමිවන්නේ 110 වැනි ස්ථානය වේ.

    ඔහුට අනගි සහායක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ල හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වයක් දැක්වූ අතර ඔහු ශතකය පෙනි පෙනී දැවී ගියේය. මීට පෙර අවස්ථා 4 කදී ලකුණු 80 කට වඩා වැඩියෙන් ලබා ගැනීමට සමත්ව සිටින වමත් පිතිකරුවාට ශතකයක් ලබා ගැනීමට හොඳින්ම අවකාශ තිබුණද කෙමාර් රෝච්ගේ පන්දුවක් කෙළිම කඩුල්ල සොයා යෑම නිසා පස්වැනි වතාවටත් ශතකය අහිමි වූවේය. හතරේ පහර 8 ක් ද සමඟ පන්දු 163 කින් සමන්විත වුණු දික්වැල්ලගේ ලකුණු 96 ක ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

    කඩුලු 4 ට ලකුණු 255 ක් ව තිබියදී සිව්වැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත් වුණු පැතුම් කෙමාර් රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල වැදීම නිසා ලකුණු 103 කදී සිය ඉනිම අහවර කර ගත්තේය. පන්දු 252 කින් සමන්විත වුණු පැතුම් සිය ඉනිම සඳහා හතරේ පහර 6 ක් පමණක් එල්ල කර තිබුණි. ඔහුට පෙර දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් වුණු ධනංජය ද සිල්වා දැවී යෑමට ප්‍රථම සිය ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත්විය.

    කෙමාර් රෝච්ගේම ගොදුරක් ලෙසින් දික්වැල්ල දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 460 ක් ලෙසින් සටහන්ව තිබුණ. කෙසේ වෙතත් ඉනි පසු පැමිණි පිතිකරුවන් තිදෙනාම ලකුණු 16 ක් ඇතුළත දවා ගැනීමට කෙමාර් රෝච් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී  කෙමාර් රෝච් සහ රකීම් කෝන්වෝල් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී කයිල් මේයර්ස් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත්වූහ.   

    SL CRICKET

  • ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට

    ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට

    ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

    දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සාර්ථක සම්බන්ධතාවයක් එක් කළ ළහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දුගේ වටිනා සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 153 ක් පෙරමුණට පැමිණ සිටින්නේ තවත් කඩුලු 6 ක් අත ඉතිරි කරගෙනය.

    පෙර දිනයේදී කඩුලු 8 කට ලකුණු 268 ක් ලබා සිටි කොදෙව් පළමු ඉනිමේ ඉතිරි කඩුලු 2 ලකුණු 03 ක් ඇතුළත දවා ගනිමින් තෙවැනි දිනයේදී විශිෂ්ඨ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.  එම කඩුලු 2 ම විශ්ව ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් සටහන් වද්දී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 102 ක අභියෝගයක් හිමිව තිබිණ.

    පළමු ඉනිමේදී අසාර්ථක වූ නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීද ලකුණු අතරට ඒමට අපොහොසත් වූවේය. කෙමාර් රෝච්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රැකි ජෝන් කැම්බල් අතට උඩ පන්දුවක් දී දිමුත් දැවී යන විට ලකුණු 03 ක් පමණක් රැස් කරගෙන සිටියේය. දිමුත් දැවී යන විටත් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා පිලට තවත් ලකුණු 94 ක් ලබා ගත යුතුව තිබිණ.

    අනතුරුව පිටියට එක් වුණු ඕෂද ප්‍රනාන්දු සහ ළහිරු තිරිමාන්න එක්ව ඉතාමත් සැලසුම් සහගතව පන්දුවට පහර දීමට පෙළැඹීම නිසා පළමු දින දෙක ඇතුළත ගිලිහී ගොස් තිබූ තරගයේ ගෞරවය යළිත් ශ්‍රී ලංකා පිල වෙත ලබාගැනීමට අවකාශ විවර විය.

    මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම යම් කිසි ස්ථාවරත්වයක් ගොඩ නඟා ගෙන සිටීනම් එහි වැඩි ගෞරවයක් තිරිමාන්න සහ ඕෂද දෙපළට හිමිවිය යුතුය. අතිශය ඉවසිලිවන්ත වූ පිතිකරණ සංදර්ශනයකදී සියළු අවදානම් මඟ හරිමින් කොදෙව් පන්දු යවන්නන්ට මුහුණ දුන් වමත් – දකුණත් පිතිකරු යුගලය තේ පානය වන විට දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දුවාර 45 කදී ලකුණු 140 ක් ලෙසින් ඉහළ දැමූහ.

    කෙසේ වෙතත් තේ පානයත් දිනය අවසානයත් අතර වූ සැසියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අභිබවා ඉදිරියට පැමිණීමට කොදෙව් පන්දු යවන්නන් ඒ අතරතුරදී  ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 4 න් 3 ක්ම දවා ගැනීමට සමත්විය. එහි පළමු වෙඩිමුරය බවට පත් වූයේ කයිල් මේයර්ස් විසින් ඕෂද ප්‍රනාන්දුව දවා ගැනීමය. සිය දෙවැනි ටෙස්ට් ශතකයට ලකුණු 9 ක් තිබියදී එතෙක් වෙලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද කඩුලු රැකි ජොෂුවා ද සිල්වාට උඩ පන්දුවක් දී දැවී ගියේ මුහුණ දුන් 149 වැනි පන්දුවේදීය. වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ටද කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දුන් ඕෂදගේ ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් වාර්තා වුණු ඉනිම හතරේ පහර 11 ක් වර්ණවත් කර ගනිමිනි.

    7 වැනි පන්දු යවන්නා ලෙසින් කොදෙව් නායකයා යොදා ගත්කයිල් මේයර්ස් මෙතෙක් ශ්‍රී ලංකා ඉනිමට වැඩිම හානියක් සිදුකරන ලද පන්දු යවන්නා බවට පත්විය. ඔහු ඕෂධගේ කඩුල්ලට අමතරව දිනේෂ් චන්දිමාල්වද ලකුණු 4 කට දවා ගත්තේය.

    ළහිරු තිරිමාන්නද කෙමර් රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්‍ලේ වැදීම නිසා ලකුණු 76 කදී පිටියෙන් ඉවත් විය. ඉනිමේ නැංගුරම ලෙසින් හැඳන්විය හැකි පන්දු 201 කින් සමන්විත වුණු තිරිමාන්නගේ මෙම සුවිශේෂී ඉනිමට හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් ව තිබිණ. තිරිමාන්නගේ ටෙස්ට් තරග දිවියේ පිට පිට ඉනිම දෙකකදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු මෙම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය.

    ඉදිරි පෙළ පිතිකරුවන් සියල්ල ලකුණු 189 ක් ඇතුළත නරඹන්නන් බවට පත් වද්දී තිරිමාන්න – ප්‍රනාන්දු දෙදෙනා සකස් කර දුන් සාර්ථක පිතිකරණ වේදිකාව තමන්ට රිසි පරිදි සකසා ගත් ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිනය අවසන් වන විට 255 ක් දක්වා ඉහළ දමන ලද්දේ සිව්වැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගනිමිනි.

    මොවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය පන්දු 135 කදී ලකුණු 66 ක් විය. තෙවැනි දිනට තරගය නිමා කරන විට ධනංජය ද සිල්වා පන්දු 74 කදී ලකුණු 46 ක්ද පැතුම් නිස්සංක පන්දු 74 කදී ලකුණු 21 ක්ද ලබා සිටියහ. මාර්තු 24 වැනිදා තරගයේ සිව්වැනි දිනයයි.

    Text by – sl cricket

  • ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ : ‘රඛීම් කෝන්වෙල්ගෙන්’ අනපේක්ෂිත ඉනිමක්

    ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ : ‘රඛීම් කෝන්වෙල්ගෙන්’ අනපේක්ෂිත ඉනිමක්

    පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22 වැනිදා) ලකුණු 99 කින් ශ්‍රී ලංකාවට වඩා පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

    කෝන්වෙල්ගේ මංගල අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 169 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම දෙවැනි දිනට නිමා කර දමන විට කඩුලු 8 කට ලකුණු 268 ක් වශයෙන් සටහන් විය.

    පන්දුවට පහර දීමට පැමිණි විගස තරමක් විමසිලිමත් වුණු කෝන්වෙල් පන්දු 15 කට පසු දිනයේ හොඳම පන්දු යවන්නා වුණු සුරංග ලක්මාල්ට එරෙහිව පළමු හතරේ පහර එල්ල කළේය. මේ අතර තුරදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි නව පන්දුව ලබා ගැනීමට තීරණය කළද ඒ සියල්ල කෝන්වෙල්ගේ වාසියට හිටියේය එහිදී සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දිගින් දිගටම පවත්වාගෙන ගිය කෝන්වෙල් මුහුණ දුන් 62 වැනි පන්දුවේදී මංගල අර්ධ ශතකය වාර්තා කර ගත්තේ ලකුණු 48 ක්ම හයේ පහර සහ හතරේ පහර වලින් ලබා ගනිමිනි.  

    ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 2 ක් පමණක් වැඩිව තිබියදී පිටියට පිවිසි දකුණත් සද්දන්තයා ජොෂුවා ද සිල්වා සමඟ එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු ලකුණු 90 ක්ද එක් කරන ලද්දේ ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාවයටදහිමිකම් කියමිනි. පන්දු 143 ක් පමණක් වැය වුණු එම සම්බන්ධතාවයේදී කෝන්වෙල් දායකත්වය දක්වන ලද ලකුණු 60 ලබා ගැනීම සඳහා පන්දු 79 කට පමුණක් මුහුණ දුන්නේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 කින් සමන්විත වුණු කෝන්වෙල්ගේ ඉනිම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම කොදෙව් කණ්ඩායම වෙත දෝලනය වුණු ඉනිම ලෙසින් සඳහන් කළ හැක.

    එම සම්බන්ධතාවයේදී ලකුණු 29 කින් දායක වුණු ජොෂුවා දිනය අවසන් වීමට පන්දු වාර 3 ක් පමණ ඉතිරිව තිබියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට දැවී ගියේය. ඒ වන විටත් ඔහු පන්දු 124 කට මුහුණ දෙමින් ලකුණු 46 ක් රැස්කරගෙන සිටියේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින පළ පුරුදුම පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ශ්‍රී ලංකා බලාපොරොත්තු සඵල කරමින් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගනිමින් සිව්වැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගත්තේය. පන්දු වාර 24 ක් ක්‍රියාත්මක කළ දකුණත් වේග පන්දු යවන්නා නිලකුණු පන්දුවාර 9 ක්ද යවමින් ලකුණු 45 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවා ලබා දී තිබිණ. ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වුණු දුෂ්මන්ත චමීර ද කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුගේ පන්දු හමුවේ කොදෙව් පිතිකරුවන් තරමක් ප්‍රහාරයකට ලක් කළේය.

    දිනය ආරම්භයේදීම නායක ක්‍රෙග් බ්‍රැත්වයිට් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් ලක්මාල් සිය කඩුලු දඩයම ආරම්භ කළේය. දෙවැනි ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින් බ්‍රැත්වයිට් දැවී යන විට ලකුණු 3 ක් ලබා සිටියේය. ඇඹුල්දෙණිය විසින් බොනර් (31)ව දවා ගැනීමට සමත්වීමත්සමඟ දිවා ආහාරයට තරගය නිමා කරන විට කොදෙව් ලකුණු පුවරුව ලකුණු 72 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් විය. 23 වැනිදා තරගයේ තෙවැනි දිනයයි.

    Text by sl cricket

  • කොදෙව් පන්දු යවන්නෝ අති සාර්ථක වෙයි –  ශ්‍රී ලංකා ඉනිම ලකුණු 169ට සීමාවෙයි !

    කොදෙව් පන්දු යවන්නෝ අති සාර්ථක වෙයි – ශ්‍රී ලංකා ඉනිම ලකුණු 169ට සීමාවෙයි !

    ජේසන් හෝල්ඩර්ගේ ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් ඇන්ටිගුවාහි ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන විටම (21 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ලකුණු 169 කටසීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියි.

    පිතිකරුවන් තිදෙනකු පමණක් ද්විත්ව ඉලක්කම් සහිතව ලකුණු ලබා ගැනීමට සමත්වද්දී වැඩිම ලකුණු ලාභියා බවට ළහිරු තිරිමාන්න සමත්විය. කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීම මත සිය සහෝදර පිතිකරුවන් පිටියෙන් ඉවත්ව යද්දී තම අන්තය ආරක්ෂා කර ගත් තිරිමාන්න පන්දු 180 කට මුහුණ දෙමින් කණ්ඩායම අසීරුතාවයෙන් මුදවා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීය.

    ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙසින් තිරිමාන් දැවී යන විට ලකුණු 70 ක් රැස්කරගෙන සිටියේය. හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් වුණු තිරිමාන්නගේ ඉනිමට අමතරව නිරෝෂන් දික්වැල්ල පන්දු 76 කදී ලකුණු 32 ක් රැස් කළේය. 7 වැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යැවීම කෙරෙහි බලාපොරොත්තු තැබූ  කොදෙව් නායකයාගේ බලාපොරොත්තු සඵල කළ කෝර්න්වෙල් 11 වැනි පන්දුවාරයේදී නායක දිමුත් කරුණාරත්ව (12) දවා ගත්තේය.

    එතැන් පටන් දඩයම ඇරැඹූ කොදෙව් කණ්ඩායම දිවා භෝජනය වන විට කඩුලු 3 ක් දවා ගනිමින් පළමු දිනට සාර්ථක ප්‍රවේෂයක් එක් කර ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 5 කම හිමිකරුවා බවට පත් වුණු ජේසන් හෝල්ඩර් 8 වැනි වතාවටත් ටෙස්ට් තරගයකදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගත්යේ. ඔහු දවා ගත් කඩුලු අතර ඉනිමේ වැඩිම කඩුලු සම්බන්ධතාවය වශයෙන් සනිටුහන් වුණු 6 වැනි කඩුල්ල වෙනුවෙන් වූ ලකුණු 58 ක් එක් කළ ළහිරු තිරිමාන්නගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු ද ඇතුළත් විය. ඔහුට හොඳ සහායක් ලබා දුන් කෙමාර් රෝච් ලකුණු 47 කදී ඉතිරි කඩුලු 5 න් 3 ක් දවා ගත්තේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් 155 වැනි ක්‍රීඩකයා ලෙසින් මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් පැතුම් නිස්සංකටද පිටියේ වැඩි වේලාවක් රැඳී සිටීමට කෙමාර් රෝච් හරස් විය. මුහුණ දුන් 12 වැනි පන්දුවේදී හෝල්ඩර් උඩ පන්දුවක් රැක ගනිමින් පැතුම් පිටියෙන් ඉවතට යන විට ලකුණු 9 ක් ලබාගෙන තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ ප්‍රථමයෙන්ම විස්සයි-20 තරග අංශයෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් පැතුම්, මෙම තරගාවලිය යටතේ එක්දින සහ ටෙස්ට් තරග වරම් දිනා ගැනීම කැපී පෙනෙයි.

    SL CRICKET
  • ‘හත්වැනි තැන රැක ගන්න’ කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව හෙට තරග බිමට

    ‘හත්වැනි තැන රැක ගන්න’ කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව හෙට තරග බිමට

    සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (21 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

    ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භක පිතිකරුවන් යුගලක් නායකත්වය දැරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවද්දී කොදෙව් පිල ක්‍රෙක් බ්‍රැත්වයිට් විසින් මෙහෙයවනු ලබන අතර ඔවුන් දෙදෙනාම ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කරති.

    හෙට ආරම්භ වන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වගකීම පිතිකරුවන් වෙත පැවැරී තිබේ. මෙම තරගාවලියට පෙර එංගලන්තයට සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරගාවලි දෙකේදීම පරාජයට පත්වීමට මූලිකම හේතුව බවට පත්වූයේ පිතිකරුවන්ගේ අසාර්ථකභාවය බැවින් මෙම තරගාවලියේදී ඔවුන් දක්ෂතා අතරට පැමිණීම තරගාවලිය කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා ගැනීමට වඩා වැදගත් වනු ඇත.

    හෙට තරගයට පෙර සූදානමක් ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිගේ පිලට එරෙහිව පැවැති පළමු සහ එකම පුහුණු තරගයේදී ඕෂධ ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් හැර ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී ලකුණු 40 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී කිසිවකු නොදැවී ලකුණු 56 ක් රැස් කර ගැනීමට ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සමත්වීම ශ්‍රී ලංකාව දෙසින් සුබ දායක ලකුණකි.

    දෙරට අතර ඉතිහාසය ගෙන බැලීමේදී අවසන් ටෙස්ට් තරග 5 න් 3 ක ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටිද්දී කොදෙව්වන් ජයගැනීමට සමත්ව සිටින්නේ එක් තරගයක් පමණි. දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව වැඩි ගෞරව අත්කරගෙන සිටින්නේ පවත්වා ඇති ටෙස්ට් තරග 20 න් 9 ක් ජයගනිමිනි. අවස්ථා 4 කදී පමණක් සත්කාරක කොදෙව් පිල ජය ගෙන සිටින අතර අනෙක් තරග 9 ම ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබේ.

    හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, පළමු ටෙස්ට් තරගයේදී නවක ක්‍රීඩක පැතුම් නිස්සංකට අවස්ථාව හිමිවීමට වැඩි ඉඩ කඩක් පවතින බවයි. ඒ අනුව දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ඉනිම අරඹද්දී,  පැතුම් නිස්සංක අංක 3 පිතිකරුණ ස්ථානයෙන්ද, දිනේෂ් චන්දිමාල් අංක 4 පිතිකරුවා ලෙසත් සහ ඕෂධ ප්‍රනාන්දු අංක 5 පිතිකරුවා ලෙසිත් තරග කිරීමට නියමිතය.

    ධනංජය ද සිල්වා නැවතත් කණ්ඩායමට පැමිණ සිටින බැවින් ඔහු අංක 6 ස්ථානයෙන්ද කඩුලු රකින්නා ලෙසින් නිරෝෂන් දික්වැල්ල අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙනු ඇත. කෙසේ වෙත්ත හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පැතුම් නිස්සංකට හිමි වුවහොත් එකම තරගාවලියකදී විස්සයි-20, එක්දින සහ ටෙස්ට් යන තෙඅංශයේම වරම් ලද පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමේ විරළ වාර්තාවටද හිමිකම් කීමේ අවස්ථාව උදාවනු ඇත.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක කේ‍්‍රග් බ‍්‍රැත්වේට්, ජෙරටින් බ්ලැක්වුඞ් සහ බැරන් බ‍්‍රාවෝ පිතිකරුවන් ලෙස ද තුන් ඉරියව් කී‍්‍රඩකයන් ලෙස බුනර්, ජොන් කැම්බල්, ජේසන් හෝල්ඩර්, කයිල් මේසර්ස්, රඛීම් කෝර්න්වෙල් කණ්ඩායමට දායකත්වය ලබා දෙති.. පන්දු යවන්නන් ලෙස ෂැනොන් ගැබි‍්‍රයල්, අල්ශාරි ජෝෂප්, කෙමාර් රෝච් සහ ජොමෙල් වෙරිකන් එකතුව සිටිති.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීමට අනුව ප්‍රසාද ලකුණු 83 ක් ලබා සිටින ශ්‍රී ලංකා පිල 7 වැනි ස්ථානයේ සිට හෙට තරගයට අවතීර්ණ වද්දී කොදෙව් පිල ඊට ණු 2 ක් අඩු‍වෙන් තරගයට අවතීර්ණ වේ. යම් ලෙසකින් මේ තරගාවලිය 1-0 ක් ලෙසින් කොදෙව් පිල ජය ගැනීමට සමත් වුවත් ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය වෙත තල්ලු කර දමා කොදෙව් පිල 7 වැනි තැනට පැමිණෙනු ඇත. එමෙන්ම තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 ටත් වඩා පහළ වැටෙනු ඇත. ශ්‍රී ලංකාව තරගාවලිය 2-0 ක් ලෙස ජය ගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ යනු ඇත. එසේ වුවහොත් 6 වැනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ලකුණු 2 ක පරතරයකි. ඒ අනුව මෙම තරගාවලියේ ප්‍රතිඵලය අනුව ශ්‍රේණිගත කොදෙව් පිලේ ඉදිරියට පැමිණීමත් ශ්‍රී ලංකා පිල රැඳී සිටින තැන රැකගැනීමත් තීරණය වනු ඇත.   

    ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, දසුන් ශානක.


     කොදෙව් කණ්ඩායම – ක්‍රෙයිග් බ‍්‍රැත්වෙයිට්(නායක), ජර්මියන් බ්ලැක්වුඞ්, රුක්මා බොන්නේර්, ඩැරන් බ‍්‍රාවෝ, ජෝන් කැම්බෙල්, රකීම් කොන්වෙල්, ජොසුවාද සිල්වා, ෂැනොන් ගේබි‍්‍රල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝසප්, කයිල් මිරස්, කෙමර් රොච්, ජොමෙල් වොරිකන්.

  • බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට

    බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

    මෙම තරගාවලිය මීට පෙර ඉකුත් 2020 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය.

    තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 ම මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට පෙර බංග්ලාදේශ කණ්ඩායම, ඔවුන් නොවුන් අතර වූ දෙදින පුහුණු තරගයකට අප්‍රේල් මස 17 සහ 18 යන දෙදින කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

    දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

    FULL MATCH SCHEDULE

              DATE           MATCH           VENUE
    17th and 18th April 2021Intra-Squad Warm Up Game    CMCG – Katunayake
    21st to 25th April 202101st Test MatchPallekele International Cricket Stadium, Kandy  
    29th to 03rd May 202102nd Test MatchPallekele International Cricket Stadium, Kandy  
  • 1996 ලෝක කුසලාන විජයග්‍රහණයේ සැමරුම

    1996 ලෝක කුසලාන විජයග්‍රහණයේ සැමරුම

    අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත ලෝක කුසලාන ජයක් ලබන්න පුළුවන් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වැනි ජාතික සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

    1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබූ අතර ඒවා ක්‍රිකට් ශූරයන් අතට පත්කරමින් අග්‍රාමාත්‍යතුමාගේ සුරතින්ම එම පදක්කම් ඔවුන්ට ප්‍රදානය කිරීම මෙම ජාතික සැමරුම් උත්සවයේ විශේෂත්වයක් විය.

    ලෝක කුසලාන විජයග්‍රහණයේ 25වන සංවත්සර සැමරුම වෙනුවෙන් QR කේතය සහිත පළමු සැමරුම් මුුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලද අතර එතුමා විසින් අග්‍රාමාත්‍යතුමාට සහ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාට එය පිළිගැන්වූහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අද වෙනකොට ලෝක ක්‍රිකට් කුසලානය දිනාගෙන වසර 25ක් සම්පූර්ණ වෙනවා. ඒ ජයග්‍රහණය අද ඊයේ වගේ තවමත් අපිට මතකයි.

    දැන් අපේ ක්‍රිකට් පිට්ටනියේ සිද්ධ වෙන දේවල් නිසා අපේ මේ ජයග්‍රහණය ක්‍රිකට්ලෝලීන් නිතර නිතර මතක් කරන බව මම කියන්න ඕන.

    මිත්‍රවරුණි, අතීතය වැදගත් වෙන්නේ වර්තමානය හදාගන්න. මට මතකයි එදා පිට්ටනියේ සෙල්ලම් කළේ නිකම්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙමෙයි. රට දිනවන්න ඕනෑ කියන හැඟීමෙන් යුතු තරුණ පිරිසක්. අපේ ජයග්‍රහණය එදා ආසියාවේ රටවලුත් සැළකුවේ තමන් ලබාගත්ත ජයග්‍රහණයක් හැටියට.

    ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, එංගලන්තය ආදී රටවල් එදා අපේ රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරග වලට සෙල්ලම් කරන්න බැහැ කිව්වා. ලංකාවේ ඒ වෙලාවේ තිබුණ ත්‍රස්තවාදය, එදා කොළඹ බෝම්බ පිපිරීම් වැනි කරුණු ලංකාවට නොඑන්න හේතු හැටියට කිව්වා. ඒක ඉදිරියට දාලා ලංකාව මඟඇරීම ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. 

    අපේ ගුවන්තොටුපළ වගේම අපේ වරායත් ලෝකයේ තියෙන අනාරක්ෂිතම ස්ථාන හැටියට කීප වතාවක් නම් කරලා තිබුණේ. එදා අපේ රටේ සංචාරය කරන අයට අනාරක්ෂිත ප්‍රදේශ පවා නම් කරලා තිබුණා. එබඳු තත්ත්වයක් යටතේ මම ඉහතින් සඳහන් කරපු රටවල් ලෝක කුසලානයට ලංකාවට එන්න බැහැයි කිව්වා.

    මට මතකයි එදා අපේ හිටපු ක්‍රීඩා ඇමතිතුමා කිව්වා සංචාරක කණ්ඩායම් ලංකාවට එනවා නම් ඒගොල්ලෝ නතර වෙලා ඉන්න කාමරය ඉස්සරහා ක්‍රීඩා ඇමති හැටියට මම නිදාගන්නම්, ඔබ ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් ගහන්න කියලා. ප්‍රසිද්ධියේ මාධ්‍යට එහෙම කිව්වත් ලංකාවේ ක්‍රිකට් ගහන්න එන්න එම රටවල් කැමති වුණේ නැහැ.

    ඒ වෙලාවේ ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් වලට තේරුණා ලංකාව දිනනවට තියෙන අකමැත්ත මේ නොපැමිණීමට එක හේතුවක් කියලා. එතකොට ඉන්දියාව පකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් අපේ රටට තම සහෝදරත්වයේ දෑත දිගු කළා. ඒ අය ලංකාවට ඇවිල්ලා ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගවල යෙදිලා අපිට ධෛර්ය දුන්නා.

    අපි ලෝක කුසලානය දිනූ තරඟය පැවැත්වුණේ පාකිස්ථානයේ. ඒ වෙලාවේ පාකිස්ථානය  අපිට දුන්න චියර් එක අනුව අපිට පේනවා ඒක ආසියාවේ ජයග්‍රහණයක් හැටියටයි ඒ අය සැළකුවේ. එදා තමයි ලංකාවේ ජාතික ධජය ඔසවාගෙන වෙනත් රටවල්වල අය ජය කෙහෙලි නංවපු දවස.

    මිත්‍රවරුණි, ඒ විතරක් නොවෙයි මට මතකයි මුරලිදරන් වැනි දක්ෂ දඟ පන්දු යවන්නෙක්ව පිටියෙන් ඉවත් කරන්න ලොකු උත්සහයක් තිබුණා. ඉතාම අසාධාරණ තීන්දු මේ ක්‍රීඩකයාට විරුද්ධව දුන්නා. නමුත් ඒ වෙලාවේ හිටපු නායකත්වය මුරලිදරන්ව රැකගන්න ලොකු සේවයක් කළා. මේවා නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම් හැඟීම ඉතාම ඉහළ ගියා. ඒ සිද්ධීන් අද ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් වෙන්න මුරලිට බලපාපු බව මම විශ්වාස කරනවා.

    මේ ලෝක කුසලාන තරගාවලිය ගැන අහපු එක කතාවක් මට මතක් වෙනවා. 1996 ලෝක කුසලාන තරගාවලියේ,ශ්‍රී ලංකා-ඉන්දියා අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ක්‍රීඩාංගණයක. තරගාවලියේ අවසන් භාගය කිට්ටු වෙනකොට ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් කලබල වෙලා ක්‍රීඩාපිටියට දිගටම ගල්, බෝතල් එවන්න පටන් ගත්තා. ඒ දර්ශන එවලේ මුළු ලෝකයම දැක්කා. ඒ වෙලාවේ ක්‍රීඩාපිටියේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියේ කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වා. අපේ අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන ගිහිල්ලා හතරේ සීමාවේ හිටපු අරවින්දට කිව්වලු අරවින්ද ඇතුළට යන්න මම හතරේ සීමාවේ සෙල්ලම් කරන්නම් ,ගල්-වැලි-බෝතල් වැදුණොත් අවසන් තරඟය සෙල්ලම් කරන්න ඔයාට බැරි වෙනවා.

    එහෙම වුණොත් අපි අමාරුවේ වැටෙනවා කියලා. තමන්ගේ ජීවිතය කැපකරන්න තරම් රට ගැන විශාල හැඟීමක්  ඒ වෙලාවේ කණ්ඩායමට තිබුණ බව මම කියන්න ඕන. ඒ නිසා මේක මනුෂ්‍යත්වයේ කථාවක්.

    මිත්‍රවරුණි, මට මතකයි ලෝක කුසලානය දිනාගෙන මේ කණ්ඩායම ලංකාවට ආව දවස.එදා තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති ධූරය දැරූ අපේ ආණ්ඩුවක්. අර්ජුන රණතුංගගේ පියා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියටත් හිටියා. නමුත් අර්ජුන රණතුංග ලෝක කුසලානය අරගෙන ගියේ එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභවප්‍රාප්ත වුණ ගාමිණි දිසානායක මහත්තයාගේ ගෙදරට.

    එහෙම යන්න හේතු වුණේ ලෝක කුසලානය දිනාගන්න ගාමිණී දිසානායක මහතාගේ පාලන කාලයේ දාපු පදනමට ගෞරවයක් වශයෙන්. ඒ නිසා අද අපි මේ සමරන්නේ මනුෂ්‍යත්වයේ කථාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කථාවට වසර 25ක් පිරෙන්නේ අද. එදා ක්‍රිකට් ගහපු ප්‍රවීණයන්ගේ (ලෙජන්ඩ්ස්-LEGENDS)  ක්‍රිකට් තරඟ මේ දිනවල පැවැත්වෙනවා.

    ඒ අය පිට පිට ජයග්‍රහණය කරන බවත් පේනවා. ඒ ජයග්‍රහණයේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම්වත්, මුදල්වත් නෙමෙයි. අතීතයේ විනයානුකූලව ක්‍රීඩා කිරිමෙන් ලබාගත් පුහුණුව. අතීතයේ ක්‍රීඩකයින් තුළ තිබුණු සාමුහිකත්ව හැඟීම. ඒ සාමූහිකත්වය නිසා තමයි ඒ අය ලෙජන්ඩ්ස්ලා වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට ලෝක කුසලානය ගේන්න පුළුවන්කම ලැබුණේ.

    මිත්‍රවරුණි, අපිට අතීතය තියෙන්නේ වර්තමානය හොඳින් ගොඩනගා ගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගා ගන්න හොඳම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අතීතයේ තිබුණ සාමූහික හැඟීම, මනුෂ්‍යත්වයේ කථාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවත වතාවක් ඒ වගේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා  විශ්වාස කරනවා. ඔබ සැමට තෙරුවන්සරණයි ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

    1996 ලෝක කුසලාන ජයග්‍රහණය කරලා අදට අවුරුදු 25 ක් වෙනවා. මම විශ්වාස කරන විදියට එදා අපි කුඩා පාසල් දරුවෝ විදිහට මේ ලෝක කුසලාන ජයග්‍රහණය කරනවා නැරඹුවා.

    එදා අපි විශ්වාස කළා මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීම  සඳහා හැකියාව සහ අවකාශය තිබෙනවා කියලා.

    1996  ලෝක කුසලාන ජයග්‍රහණය අපේ රටේ ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂය  ලෙස හැඳින්වුවහොත්  නිවැරදියි.

    ඒ ආපු ගමන තුළ පසුකාලීනව අපි ජයග්‍රහණ බොහොමයකට මුහුණ දෙන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි 1996 පටන් ගත්තම පන්දුවාර පනහේ ලෝක කුසලාන දෙකකට අපි අවසාන මහා තරගයට ඇවිල්ලා තියනවා.

    ඒ වගේම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවල ඒ ආකාරයෙන්ම අපි අවසාන තරග වලට ඇවිල්ල තියෙනවා. ඒ වගේම 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කරන්නත් අපට හැකියාව ලැබුණා.

    මේ සියල්ලටම අඩිතාලම ලැබුණේ එදා 1996 ලෝක කුසලාන ජයග්‍රහණය. ඒ වගේම තමයි ඒ ජයග්‍රහණය කරපු  කණ්ඩායම දිහා බැලුවම අපි ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාගන්න දායකත්වයක් ලැබුණා.

    අද කුමාර් ධර්මසේන, රොෂාන් මහනාම වැනි අය ICC විනිසුරුවන් විදියට ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දී තියෙනවා. ඒ වගේම අද මේ 1996 කණ්ඩායම තුළත් ජාතික සහ ජාත්‍යන්තර තලයේ පුහුණුකරුවන් බොහොමයක් බිහි වෙලා තියෙනවා.

    මේ අවස්ථාවේ ඩේව් වට්මෝර් පුහුණුකාරතුමා මතක් කළ යුතුයි.  එවකට සිටි පුහුණුකරු වගේම එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරු, ගරු සභාපතිතුමා ඇතුළු ඒ සියලුම කළමනාකරුවන් වගේම මේ ජයග්‍රහණ සඳහා උර දුන් කැපවුණු සියලු දෙනාම විසි පස් අවුරුද්දක් සමරන මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා.

    අපි දන්නවා අපේ රටේ ක්‍රීඩාව ගැන කතා කරනකොට අපේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි  ප්‍රමුඛතම ක්‍රීඩාව විදිහට කතා කරන්නෙ. ක්‍රිකට් වල අපේ නැගිටීම් තියෙනවා වැටීම් තියෙනවා. මේ හැම අවස්ථාවකම මං හිතන්නේ රටක් ජාතියක් විදිහට අපි එකතුවෙලා මේ ක්‍රීඩාව ජයග්‍රහණය කිරීම සඳහා අපි පෙළ ගැසිය යුතුයි.

    1996 ලෝක කුසලාන ජයග්‍රහණය කරපු කණ්ඩායමේ සාමාජිකයන් ඉතාමත් ක්‍රියාශීලීව මැදිහත්වෙලා ක්‍රිකට් වැටිච්ච හැම අවස්ථාවකදිම ක්‍රිකට් නංවන්න දායකත්වය දී තියෙනවා.

    මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ නවක ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙමින් නවක ක්‍රීඩකයන් ව ඉදිරියට ගෙන එන්නත් ඉදිරි අනාගතය තුළ  නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමක් අපේ රටෙන් බිහි කරන්නත් මේ පිරිසගේ දායකත්වය ලැබෙයි කියලා අපි දැඩි සේ විශ්වාස කරනවා.

    පරාජය සහ ජය කියන දේ ක්‍රීඩාවේ  කොටසක් හැබැයි කණ්ඩායම් හැඟීම ජාතිකත්වය රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන කාරණය තමයි අප සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ.

    එසේ ක්‍රීඩා කෙරුවොත්  ඔබ ජයග්‍රහණය කරා වගේ ඉදිරි කාල සීමාව තුළත් අපට ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායම් අපේ රටේ නිර්මාණය වෙයි.

    අවසාන වශයෙන් පෞද්ගලිකව මට අද මේ උත්සවයට සහ සම්බන්ධ වීමට නොහැකිවුණත් ගරු අග්‍රාමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා එතුමාගේ මැදිහත්වීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරපු නායකයෙක් විදිහට සහ ක්‍රීඩාවට ආදරේ කරපු නායකයෙක් විදිහට අද  ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ අවුරුදු 25 ක් සමරන මේ අවස්ථාව සඳහා අපට අවකාශය ලබා දීම පිළිබඳව යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ලෝක ක්‍රිකට් කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග

    අගමැතිතුමනි අපිට මතකයි ජාත්‍යන්තරයේ අපි එතරම් ප්‍රසිද්ධ නැති කාලෙත් ඔබතුමා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වුණා. අපි වාර්ෂිකව හමුවන හැම අවස්ථාවකම විශාල දායකත්වයක් දුන්නා.

    අපි කණ්ඩායමක් ලෙස ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වසර 25ක් ගිහිල්ලත් මේ රටට අපිව අමතක වෙලා නැහැ. මට වාසනාව ලැබුනා පෞද්ගලික පරමාර්ථ, මුදල් පසුපස නොයන රටට කැපවීමෙන් ක්‍රීඩා කළ කණ්ඩායමකට නායකත්වය දෙන්න.

    පරිපාලන ගැටලු කෙනෙහිලිකම් අපිට තිබුණත් අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස තරුණ ක්‍රීඩකයින්ට එහි පීඩනය දුන්නේ නැහැ.

    මම ඉල්ලීමක් කරනවා පසුගිය කාලේ ක්‍රිකට් වලට වෙච්ච දේ ගැන හොයලා බලන්න, ක්‍රීඩා අමාත්‍යතුමාගේ නායකත්වයෙන් නිවැරදි පරිපාලනයකින් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න කටයුතු කරන්න කියලා යැයි අර්ජුන රණතුංග මහතා පැවසීය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගන්නා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, එවකට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා,  ක්‍රිකට් සභාපති (1996) ආනා පුංචිහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල, තැපල්පති රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරින්, ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයකන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • ශ්‍රී ලංකා පිලට දඩයක්

    ශ්‍රී ලංකා පිලට දඩයක්

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ.

    නියමිත පන්දුවාර 50 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා පන්දුවාර 2 ක කාලයක් ඒ සදහා ගත කිරීම මත දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවරට එරෙහිව එම දඩ මුදල පැනවීමට එම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද රිචී රිචර්ඩ්සන් මහතා පියවර ගෙන තිබේ.

    එළැඹෙන 2023 වසරේදී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක කුසලාන සුපිරි ලීග් තරග වටයේ කොන්දේසිවලට අනුව, ප්‍රමාදවන සෑම පන්දුවාරයක් වෙනුවෙන් ක්‍රීඩකයින්ගේ තරග මුදලින් 20% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. ඒ අනුව පන්දුවාර 2 ක් ප්‍රමාද වීම මත ක්‍රීඩකයින්ගේ තරග මුදලින් 40% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුව තිබේ.

    එම දඩයට අමතරව ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුපිරි ලීගයේදී ප්‍රමාද වන සෑම පන්දුවාරයක් සඳහාම කණ්ඩායමක් උපයා ගනු ලබන ප්‍රසාද ලකුණු වලින් ලකුණක් අඩු කරනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු වලින් මේ වන විටත් ලකුණු 2 ක් අහිමිවී තිබේ.

    මේ අතර එම තරගය අතරතුරදී ක්‍රීඩක චර්යාධර්ම පද්ධතියේ පළවැනි මට්ටමේ වගන්තියක් උල්ලංඝණය කළේ යැයි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තදින් අවවාද කිරීමටද තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

    නිකලස් පූරාන් දැවී යෑමෙන් පසු ක්‍රීඩකය චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය වන අයුරින් හැඟ වෙන ලෙස ක්‍රියා කළේ යැයි හැඟී යෑම නිසා ගුණතිලකට අවවාද කිරීමට තරගතීරක පියවර ගෙන තිබේ.