Category: සුපිරි Sports

  • කුසල් පෙරේරා සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යයි

    කුසල් පෙරේරා සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යයි

    කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‍තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරකයින් හමුවේ ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත් වූවේය.

    2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුපිරි ලීගය යටතේ තරග 6 කට ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකාව එහිදී ලද පළමු ජයග්‍රහණය ලෙසින් මෙම ජයග්‍රහණය සනිටුහන් වේ. මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ප්‍රසාද ලකුණු 10 ක් හිමිවන නමුත්, කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු තරගාවලිය අතරතුරදී දඬුවම් ලකුණු දෙකක් ලැබීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08 ක් බවට පත්ව තිබේ.

    පළමු තරග දෙකේදී හොඳ හැටි පාඩම් ඉගෙන ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තමන් අතින් සිදුවූ සියලු අඩුපාඩු මඟ හරවා ගනිමින් ක්‍රීඩා කිරීම නිසා බංග්ලාදේශයට එරෙහිව ලකුණු 287 ක තරම් දැවැන්ත ඉලක්කයක් ලබා දීමට සමත්විය. මෙම තරගාවලිය යාටතේ වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්වුණු ලකුණු 287 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42 කුත් පන්දු 3 කදී ලකුණු 189 කට හමාර කිරීමට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

    සිය එක්දින තරග දිවියේ  පළමු වතාවට කඩුලු5 ක් දවා ගත් දුෂ්මන්ත චමීර පළමු පන්දුවාරයේ සිටම බංග්ලාදේශ පිතිකරුවන්ට හිස රදයක් වූවේය. පළමු පන්දුවාරයේදීම ආරම්භක පිතිකරුවා දවා ගත් වමත් වේග පන්දු යවන්නා බංග්ලාදේශ ඉනිමේ ප්‍රධානතම පිතිකරුවන් වූ ටමීම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන්ගේ කඩුලු දවා ගනිමින් සත්කාරකයින්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

    වේග පන්දු යවන්නකට ඉතාමත් උචිත රිද්මයක් ගොඩනගා ගනිමින් පන්දු යැවී චමීර නැවතත් 37 වැනි පස්දුවාරයේ පන්දු 3 කදී බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනකු දවා ගනිමින් ලකුණු 16 කට කඩුලු 5 ක් දවා ගනිමින් එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය.

    චමීරගේදෙවැනි ආගමනයට පෙර කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම මුෂ්ෆිකර් රහීම් සහ මොසදෙක් හොසේන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක් එක් කළහ. රමේෂ් මෙන්ඩිස්ගේ මංගල එක්දින කඩුල්ල ලෙසින් මුෂ්ෆිකර් රහීම් පිටියෙන් ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු වැඩි වන්නට විය.

    මෙම තරගාවලියේ පළමු වතාවට කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා එක්දින නායකයා අද දිනයේදී සිය එක්දින තරග දිවියේ 6 වැනි ශතකය වාර්තා කර ගැනීමට සමත්වීම දිනයේ සුවිශේෂීතම සිදුවීම විය. ධනුෂ්ක ගුණතිලක සමඟ ඉනිම ඇරැඹි කුසල් පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් රැස් කරන ලද්දේ පන්දු 68 ක් පමණක් වැය කරමිනි.

    පෙර තරග වලදී මෙන් නොව දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය හැර අනෙක් සෑම කඩුල්ලක් අතරම සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වීම ලකුණු 300 කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් කරායෑමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවිය. ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළදී වනිඳු හසරංගගේ කඩුල්ලද දවා ගනිමින් කිසියම් පාලනයකින් යුතුව පන්දු යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වීම නොවන්නට ශ්‍රී ලංකාව පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යනු ඇත.

    පන්දු 4 ක් ඇතුළත ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකගේ කඩුලු දවා ගනිමින් පෙරමුණ සෙලවීමට ටස්කින් අහමඩ් සමත් වුවත් සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් නායක කුසල් පෙරේරා, ඉනිමේ හරි අඩක් හෙවත් 5 වැනි පන්දුවාරයවන විට ලකුණු 150 සීමාව පසුකර යෑමට අවශ්‍ය පදනම සකස් කර දී තිබිණ. හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් අලංකාර වුණු කුසල්ගේ ඉනිම මහමුදුල්ලාගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකීම හමුවේ නිමාවට පත්විය.

    ඒ වන විටත් කුසල් සමඟ ශ්‍රී ලංකා පිල ගොඩ ගනිමින් සිටි ධනංජය ද සිල්වා එතැන් පටන් ඉනිම හමාර වන තෙක් වූ වගකීම කරට ගෙන පන්දුවට පහර දුන්නේය. අද දිනයේදී 6 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරගත් ධනංජය ඉනිම අවසන් වන විට හතරේ පහර 4 ක් සමඟින් පන්දු 70 කදී ලකුණු 55 ක් ලබා සිටියේය.

    අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3 ක් සිදු කරමින් තරගයට අවතීර්ණ වී සිටි අතර රමේෂ් මේනඩිස්, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබුණි. ඔවුන් තිදෙනාගේ එක්දින භෞතීස්මය ලද තරගය බවට මෙම තරගය පත්වීමද විශේෂත්වයකි.

  • ශ්‍රී ලංකාව වාර්තාවක් තබමින් ‘බංග්ලාදේශය හමුවේ කුජිත වෙයි’

    ශ්‍රී ලංකාව වාර්තාවක් තබමින් ‘බංග්ලාදේශය හමුවේ කුජිත වෙයි’

    තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු බර තම උරහිසට ගනිමින් ලකුණු 103 ක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශ කණ්ඩායම අද (25 දා) රැගෙන ගියේය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තේය. මෙම ජයග්‍රහණය සටහන් වනුයේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ පිල ලත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වශයෙනි.

    විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණු අද තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ 40 වැනි පන්දුවාරය අවසන් වීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වන විටත් බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ අවසන් කඩුල්ල පමණණි. 40 වැනි පන්දුවාරයේදී ජයග්‍රහණයට සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 245 ක් ලෙසින් ඉලක්කය වෙනස් වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 141 ක් පමණි.

    මුෂ්ෆිකර් රහීම්ගේ ලකුණු 125 ක වටිනා ශතකය ප්‍රධාන කොට මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශ පිල සමත්වීමත් සමග 2023 වසරේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීඹ සඳහා වන ලෝක කුසලාන සුපිරි ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද ඔවුන්ට අවස්ථාව උදාවිය. ඔවුහු තරග 8 කදී ප්‍රසාද ලකුණු 50 ක් ලබමින් එම සටහනේ ඉදිරියට පැමිණෙද්දී මේ වන විට තරග 5 කට ක්‍රීඩා කළද එකම ජයග්‍රහණයක් හෝ ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම, එකම ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට අපොහොසත් එකම කණ්ඩායම බවට පත්ව සිටියි.

    තරගය පිළිබඳව කතා කිරීමේදී පන්දු යවන්නන්ගේ දක්ෂතා හැරුණු විට ශ්‍රී ලංකා පිලේ ගත හැකි වෙන කිසිවක් නොවීය. පිතිකරුවන් යැයි නම් දරා සිටින සියල්ලන්ගේ අසාර්ථක භාවය මෙම අවාසනාවන්ත පරාජයේ ප්‍රධාන මූලාශ්‍ර බවට පත්වූවේය. මැද පෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථක භාවය කොතෙක්ද යත් ලකුණු 71 කට කඩුලු 2 ක්ව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් හත් දෙනෙකු ලකුණු 51 කදී දැවී යෑම කණගාටුදායක විය.

    එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිම ඉඩක් ලබා නොදුන් මෙහෙදි හසන් සහ මුස්තාෆිසුර් රෙහ්මාන් දැවී ගිය කඩුලු 9 න් 6 ක් සමව බෙදා ගත්තේය. පිත්තෙන් නොහැකි වූ විට පන්දුවෙන් හෝ දස්කම් දැක්වීමට සමත් ශකීබ් අල් හසන් කඩුලු 2 ක්ද දවා ගනිමින් බංග්ලාදේශ ජයග්‍රහණය ඉක්මන් කළේය. දෙවැනි කඩුල්ල ලෙසින් ධනංජය ද සිල්වාව දවා ගැනීමට ශක්බී සමත්වීමත් සමග බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග අංශයේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව සම කිරීම මෙන්ම තනි ක්‍රීඩාංගණයක වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ඇති පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට සමත්වීම තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

    අද දිනයේදී ශක්බී සම කරන ලද්දේ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටියේ මෂ්රෆී මොර්ටාස් (269) සහ එක් ක්‍රීඩාංගණයක වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන සිටින පාකිස්තානු ක්‍රීඩක වසීම් අක්‍රම් (122 -සාජා ක්‍රීඩාංගණය) ලබා තිබූ කඩුලු සංඛ්‍යාව විය. පන්දුවට පහර දෙමින් සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හිසේ වැදීම නිසා යළි පිටියට පිවිසීමට අෆීෆ් හොසේන්ට නොහැකි වූයෙන් ඒ වෙනුවෙන් වන ‘අනුප්‍රාප්තික’ ක්‍රීඩකයා ලෙසින් පන්දු යැවීමට පිවිසි ටස්කින් අහමඩ් කඩුලු ලබා ගැනීමට අසමත් වුවද තම පන්දුවාර 8 ලකුණු 27 කට සීමා කිරීමට සමත්වූවේය. ක්‍රීඩකයකුට පිටිය තුළදී සැලකිය යුතු මට්ටමේ ආබාධයකට ගොදුරු වීමේදී ඒ සඳහා අනුප්‍රාප්තකයකු ක්‍රීඩා කරවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අවසරය ලබා දී තිබේ. ඒ අනුව වසර 50 කට ආසන්න එක්දින තරග ඉතිහාසයේ පළමු ‘අනුප්‍රාප්තික’ ක්‍රීඩකයා වීමේ විරළ වාර්තාව ටස්කින් අහමඩ්ගේ නම ඉදිරියෙන් වාර්තා වනු ඇත.

    පළමු තරගයේදී ලකුණු 84 ක් ලබා ගත් රහීම් අද දිනයේදී සිය එක්දින තරග දිවියේ 11 වැනි ශතකය රැස් කරගත්තේය. පන්දු 127 කදී ලකුණු 125 ක් ලබා ගත් මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශයට කළින්ම තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා වුණු සාදයේ ප්‍රධාන නියමුවා බවට පත්වෙමින් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

    ඩකා ක්‍රීඩාංගණයේදී සහෝදර ක්‍රීඩකයින්ට පිතිකරණයේ රිද්මයක් ගොඩ නඟා ගත නොහැකිව අඩු ලකුණු ලබා පිටියෙන් ඉවත්ව යද්දී ධෛර්යවන්ත වුණු රහීම් මෙතෙක් දිවියේ ලද අත්දැකීම් මනාවට ප්‍රයෝජනයට ගනිමින් ලකුණු රැස් කිරීමේ කාර්යයේ නිරත වූවේය. ඒ ඉනිම මත එතෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 247 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දීමට බංග්ලාදේශ පිලට අවස්ථාව උදාවිය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන 28 වැනිදා පැවැතවෙනු ඇත.

    Text by sl cricket
  • මුල් පෙළ පිතිකරුවන් යළි අසාර්ථක වෙයි – ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ තියුණු පරාජයක්

    මුල් පෙළ පිතිකරුවන් යළි අසාර්ථක වෙයි – ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ තියුණු පරාජයක්

    ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස බංග්ලාදේශ පිල පෙරමුණ ගත්තා පමණක් නොව ලෝක කුසලාන සුපිරි ලීගයටට අදාළ ලකුණු මල්ලට තවත් ලකුණු 10 ක් එකතු කරගැනීමටද සමත්වූවේය.

    නායක සහ උපනායක කුසල්ලාගේ කඩුලු ඇතුළු ඉදිරි පෙළ කඩුලු 6 ක් ලකුණු 102 කදී දැවී ගොස් අසීරුතාවයට පත්ව සිටියදී අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ශ්‍රී ලංකාවට යම් කිසි අස් වැසිල්ලක් ගෙන ආවේය. ප්‍රමාදව පැමිණියත් අවශ්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු වනිඳු හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 60 කදී  වේගවත් ලකුණු 74 ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ යළිත් තරගය පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

    පිටියට පිවිසි අවස්ථාවේදී දසුන් ශානකට එක්වූ වනිඳු පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් පන්දුවට පහර දෙමින් ඉනිම ගොඩනංවමින් සිටියදී දසුන් ලකුණු 14 කට දැවී ගියේය. එතැන් පටන් වනිඳුට එක්වූ ඉසුරු උදාන ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 211 ක් වන තෙක් රැගෙන ආ මොවුන් දෙපළ පිට පිට පන්දු දෙකකදී දැවී නොයන්නට ඇතැම් විට තරගයේ ඉරණම මීට වඩා ශ්‍රී ලංකාවට වාසි දායක වන්නට ඉඩ තිබිණ.

    පිටියට පිවිසි අවස්ථාවේ සිට බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු නිදහසක් ලබා නොදුන් වනිඳු පිටිය සිසාරා පහරවල් එල්ල කරද්දී වැඩි වාසි ශ්‍රී ලංකාව දෙසට දෝලනයවිය. මොහොමඩ් සෆියුඩීන් යවන ලද 44 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවටත් මුස්තෆිසූර් රෙහ්මාන් යවන ලද 45 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටත් පිළිවෙළින් වනිඳු හස ඉසුරු දැවී යන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 47 ක් පමණක් බැවින් වනිඳුගේ උත්සාහයට නිසි වටිනාකමක් නොලැබිණ.

    කෙටි පන්දුවකට එල්ල කරන ලද පුල් පහර මිඩ් විකට් කළාපයේ පන්දු රැකි අෆීෆ් හොසේන්ගේ දෑත් අතර සිරවීමෙන් වනිඳුද මෙහෙදි හසන්ගේ විසින් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ඉසුරු උදාන ලකුණු 21 කට දැවී ගියේය.

    බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් මෙහෙදි හසන්ට අමතරව හොඳ රිද්මයකින් පන්දු යැවූ මුස්තෆිසූර් රෙහ්මාන් ලකුණු 34 කට කඩුලු 3 ක්ද මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 49 කට කඩුලු 2 ක්ද දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

    බංග්ලාදේශ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී ධනංජය ද සිල්වාගේ ලකුණු 45 කට කඩුලු 3 ක් දක්ෂ පන්දු යැවීම කැපී පෙනිණ. කාසියේ වාසියත් සමග ඉනිම ඇරැඹි බංග්ලාදේශ කණ්ඩායම 23 වැනි පන්දුවාරය අවසන් පන්දු 2 දී ටමීම් ඉක්බාල් සහ මොහොමඩ් මිතුන්ගේ කඩුලු දවා ගනිමින් පීඩනය තර කිරීමට ධනංජය ද සිල්වා සමත්විය. එම කඩුලු දවා ගැනීමත් සමඟ එතෙක් වෙලා කඩුලු 2 කට ලකුණු 99 ක් ව තිබූ බංග්ලාදේශ ඉනිම ලකුණු 99 කට කඩුලු 4 ක් බවට පත්විය.

    අනතුරුව පිටියට පිවිසි මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් ආරම්භය බිඳ වැටුණු බංග්ලාදේශයට ජීවය එක් කරන ලද්දේ අර්ධශතක වාර්තා කරගනිමිනි. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු එම අර්ධ ශතක සම්බන්ධතාවයේදී ලකුණු 109 ක් බංග්ලාදේශ පිලට එක් විය. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 87 කදී ලකුණු 84 ක් රැස් කරගත්තේය. ලක්ෂාන් සඳකැන්ට එරෙහිව රිවර් ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය කවර් පොයින්ට්හි පන්දු රැකි ඉසුරු උදාන රැක ගැනීම නිසා ශතකයක් කරා යෑමට තිබූ පහසුම අවස්ථාව මඟ හැර දමා 40 වැනි අර්ධ ශතකයෙන් සෑහීමකට පත්වීමට රහීම්ට සිදුවිය.

    රහීම්ට අනගි සහායක් ලබා දුන් මහමුදුල්ලා අද එක්දින තරග දිවියේ 16 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් සිය ග්‍රහණය තර කරමින් පන්දු යැවීම නිසා අදාළ සම්බන්ධතාවය අතරතුර මෙම පිතිකරුවන් දෙදෙනා එල්ල කරන ලද්දේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් වීම කැපී පෙනුණි.

    ඔවුන් දෙදෙනාගේ ඉනිමට අමතරව ටමීම් ඉක්බාල් විසින් රැස් කරන ලද ලකුණු 52 ත්,7 වැනි කඩුල්ල වෙනුවෙන් අෆීෆ් හොසේන් සහ මොහොමඩ් සයිෆුදීන් පන්දු 17 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 27 ක සම්බන්ධතාවයත් හේතුවෙන් ලකුණු 258 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය.

    පන්දු යැවීමේදී ධනංජය ද සිල්වාට අමතරව දඟ පන්දු යවන්නන් වුණු ලක්ෂාන් සඳකැන් සහ ධනුෂ්ක ගුණතිලක කඩුල්ල බැගින් දවා ගත්හ. වනිඳු හසරංගට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් සිය පන්දුවාර 10 ලකුණු 48 ක් පමණක් ලබා දී අවසන් කිරීමට හේ සමත්විය. දඟ පන්දු යවන්නන්ට ආරක්ෂාකාරී පිළවෙළක් අනුගමනය කළ රහීම් – මහමුදුල්ලා යුගලය 43 වැනි පන්දුවාරය වන විට ලකුණු 199 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූයේ අවසන් පන්දුවාර 8 තුළදී වේගයෙන් පන්දුවට පහර දිය හැකි වන තරමට අවශ්‍ය කඩුලු සංඛ්‍යාව ලකුණු පුවරුවේ ඉතිරි කර ගනිමිනි.

    Text by sl cricket
  • පිට පිටම දෙවැනි වතාවටත් ක්‍රිකට් සභාපති අසුන ‘ශම්මි සිල්වාට’

    පිට පිටම දෙවැනි වතාවටත් ක්‍රිකට් සභාපති අසුන ‘ශම්මි සිල්වාට’

    2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (20 දා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තේරී පත්විය. ඒ පිළිබඳ වූ තීරණය නිලවරණය මෙහෙයවන ලද කමිටුව විසින් සනාථ කරනු ලැබීය.

    ඒ අනුව ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුනට තේරී පත්වූයේ පිට පිටම දෙවැනි වතාවටය. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මාව තෝරා ගැනීම පිළිබඳව මම අපේ සාමාජිකයින්ට ස්තූතිවන්ත වෙනවා” යැයි සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශම්මි සිල්වා මහතා සිය පාලන කාලය ඇතුළතදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සිදුකරන ලද සේවය අපගේ පාර්ශ්වකරුවන් හොඳින් තේරුම් ගෙන තිබෙන බව මෙම ජයග්‍රහණයෙන් සනාථ වන බවද අවධාරණය කළේය.

    ශම්මි සිල්වා මහතාට අමතරව ඔහුගේ පාර්ශ්වයෙන් නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් සියළු දෙනාද නිතරගයෙන් තේරී පත්වීම කැපී පෙනෙයි. එහිදී උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ද ප්‍රධාන ලේකම් ලෙස මොහාන් ද සිල්වා මහතාද, භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාද උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතාද සහ උප ලේකම් ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරුද අද දිනයේදී නිතරගයෙන් තේරී පත්වූහ.

  • දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’

    දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’

    වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙර වසරවලට සාපේක්ෂව ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් තුළින් වැඩි වාසි ලබා ගත හැකි වන පරිදි සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    ඉදිරි වසරක කාලයක් සඳහා අත්සන් තැබීමට නියමිත මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුව අද (19 දා) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබූ අතර එහිදී මෙරට ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින් 24 දෙනෙකු සඳහා මූලික වශයෙන් කොන්ත්‍රාත් ලබා දීමට  පියවර ගෙන තිබුණි.

    අදාළ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින් 24 දෙනාගෙන් 18 දෙනෙකුම මේ වන විට එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාලදේශයට පිටත්ව ගොස් සිටින අතර අදාළ කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම සඳහා ලබන ජුනි මස 03 වැනිදා දක්වා කාලය ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ සංචාරය සඳහා එක්දින කණ්ඩායම පිටව ගොස් තිබෙන්නේ සංචාරක කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීමෙන් පසුව බව මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

    “අපි මේ ගිවිසුම ක්‍රීඩකයන් අතට ලබා දීලා තියෙන්නේ. ඔවුන් මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරනවාද නැද්ද කියන එක ගැන අපිට තවම මුකුත් කියලා නෑ. ඒත් දැනට අපි බංග්ලාදේශ තරග සංචාරයට පමණක් අත්සන් තැබුණු තාවකාලිකව කොන්ත්‍රාත්තුවක් ඔවුනට ලබා දීළා තියෙනවා. ඒත් ඔවුන්ට මේ පිළිබඳව හොඳන් අධ්‍යයනය කරන්න ජුනි 03 වැනිදා වන තෙක් කල් දීලා තියෙනවා” යැයි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර සිටියේය.

    සකස් කරන ලද නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය, ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් පත්ව සිටින ටොම් මූඩි මහතා සහ අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් උපදේශන මණ්ඩලය විසින් සකසන ලද්දකි. එයට අනුව ක්‍රීඩකයින්ගේ දස්කම් 50% ක ප්‍රමාණයක්, ශාරීරික යෝග්‍යතාව 20% ක්, ක්‍රීඩකයින්ගේ ස්වාධීන සූදානම 10%, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම 10% ක් සහ අනාගත වැඩදායී බව වෙනුවෙන් 10% ක් වශයෙන් ප්‍රසාද ලකුණු ක්‍රමයක් භාවිතා කර තිබේ. ඒ සියල්ල ඇතුළත් කොන්‍රාත්තුවට අදාළ ක්‍රීඩකයින් ඒ, බී, සී. සහ ඩී යනුවෙන් කාණ්ඩ 4 ක් ඔස්සේ ශ්‍රේණිගත කර තිබෙන අතර එම එක් එක් කාණ්ඩ තවත් අනු කාණ්ඩ 3 ක් යටතේ වර්ග කිරීමට පියවර ගෙන තිබේ.

    “ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමේදී ලොව පුරා භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුවයි මෙම ක්‍රමවේදය සකස් කිරීමට පියවර ගත්තේ” යැයි ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට පත්ව සිටින ටොම් මූඩි මහතා අවධාරණය කර සිටියේය. අද පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, “මගේ අත්දැකීමට අනුව රටවල් බොහොමයක් තවමත් නිවැරදිම ක්‍රියාවලිය මොකද්ද කියන එක හොයා ගන්න උත්සාහ කරනවා. ඒ රටවල ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තු සමඟ හැසිරෙන ආකාරය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් පසුව තමයි අපි මේ ක්‍රමවේදය සකස් කළේ. ඇත්තටම අපි මේ හදපු කොන්ත්‍රාත්තුව වඩාත්ම ඵලදායී මෙන්ම වඩාත් සාධාරණම ක්‍රමය යැයි අපි විශ්වාස කරනවා”යි යනුවෙනි.

    යෝජිත කොන්ත්‍රාත් ක්‍රමවේදයට අනුව වඩාත් වැඩිම මුදල් උපයන ක්‍රීඩකයින් දෙදෙනා බවට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල පත්ව සිටිති. ඔවුන් දෙදෙනාම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කිරීම, ඉහළ කාණ්ඩයට ඇතුළත්වීමට හේතු සාධක වී තිබේ.

    එය ඉකුත්වසර වලට කොන්ත්‍රාත් සමඟ සංසන්දනය කිරීමේදී පැහැදිළි අඩුවීමක් පෙන්නුම් කරනු ලබන නමුත්, තරග ජයග්‍රහණයන්වලදී එම පරතරය පියවා ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයින් වෙනුවෙන් උදා කර දීමට මෙම ක්‍රමවේදයේදී අවස්ථාව සකසා දී තිබේ. උදාහරණයක් ලෙසින් පෙර පැවැති ගිවිසුමට ප්‍රාකාරව ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරි ස්ථාන 7 හි පසුවන කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමේදී ක්‍රීඩකයක්‍රට ඩොලර් 25,000 ක මුදලක් ලබා දුන් නමුත් නව ක්‍රමවේදයට අනුව ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම පරාජය කිරීමට සමත් වුවහොත් ඩොලර් එක් ලක්ෂ පනස් දහසක් (150,000), දෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායමක් පරාජය කළහොත් ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද තෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායම පරාජයට පත් කළළහොත් ඩොලර් ලක්ෂයක (100,000) මුදලක්ද වශයෙන්ද සහ සිව්වැනි, පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථානය සඳහා පිළිවෙළින් ඩොලර් අසූදහසක් (80,000), හැඩ දහස (60,000), හතළිස් පන්දහස (45,000) සහ තිස් දහසක්ද (30,000) පිරිනැමෙනු ඇත. මෙය එක්දින තරග අංශය යටතේද පැහැදිළි වැඩිවීමක් දක්නට ලැබේ. එමෙන්ම තරගයකට සහභාගිවීමේදී 2019 වසරේදී ලබා දුන් මුදලට වඩා 2021 වසරේදී ලබා දෙන මුදල වැඩි කිරීමට පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙසින් 2019 වසරේදී ටෙස්ට් තරගයකට සහභාගිවීමේදී ඩොලර් 7000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහතුන් ලක්ෂ තුන්දහස් හත්සිය පහළොවක් (1,303,715) ලබා දුන් අතර නව කොන්ත්‍රාත්තුවට අනුව එය ඩොලර් 7500 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක (1,500,000) මුදලකි.

    Text by – sl cricket
  • ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හෙට

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හෙට

    රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023 කාලය තුළ පරිපාලනය සදහා අදාළ නිලධාරීන් පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ‘ක්‍රිකට් නිලවරණය’ හෙට (20 වැනිදා) දිනට යෙදී තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ‘බුද්ධි කේන්ද්‍රය’ නිලවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වෙමින් මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් නිලධාරීන් පත් කර ගනු ලබන පළමු නිලවරණය වශයෙන්ද හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය ඉතිහාස ගත වනු ඇත.

    අදාළ නිලවරණය සඳහා නාම යෝජනා භාර දීම ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා ප.ව. 3.30 ට අවසන් වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අපේක්ෂාවෙන් පාර්ශ්ව හතරකින් නාම යෝජනා භාර දුන්හ. ඒ අතරින් ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් නාම යෝජනා භාර දේදදී එම පාර්ශ්වයේම ලේකම් තනතුරට නාම යෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාත් උප සභාපති තනතුර සදහා ඉදිරිපතව සිටි ජයන්ත ධර්මදාස මහතාත් ඊට සහායක් ලෙසින් තවත් පාර්ශ්වයකින් නාම යෝජනා භාර දී තිබුණ.

    ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත් වුණු හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා සභාපති තනතුරටත්, හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුරටත් සහ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා උප සභාපති තනතුරකටත් නාම යෝජනා භාර දී තිබුණද ඔවුන් අවසන් මොහොතේදී සිය නාම යෝජනා ඉල්ලා අස් කර ගත්හ.

    ඒ අනුව ඒක පාර්ශවීය නිලවරණයක් බවට පත්ව තිබෙන මෙවර නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටින ශම්මි සිල්වා මහතාට අමතරව රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් උප සභාපති තනතුරු වලටත්, මොහාන් ද සිල්වා මහතා ප්‍රධාන ලේකම් තනතුරටත්, ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම් ධුරයටත්, භාණ්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහ මහතාත් සහ උප භාණ්ඩාගාරික තනතුර සඳහා සුජීව ගොඩලියැද්ද මහතාත් නාම යෝජනා භාර දි තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඡන්ද 147 කින් සමන්විත වුවත්, මෙවර නිලවරණය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාව 139 ක් ලෙසින් සටහන්වේ. එහිදී පාලන ක්‍රීඩා සමාජය 28 ක්, අනුබද්ධ ක්‍රීඩා සමාජ 21 ක්, දිස්ත්‍රික් සංගම් 22 ක්, වෙනත් ක්‍රීඩා සංගම් 5 ක් සහ පළාත් සංගම් 4 ක් හෙට පැවැත්වෙන නිලවරණයේදී සිය මතය ප්‍රකාශ කිරීමට නියමිතය.

    තාක්ෂණය භාවිතයෙන් නිලවරණය පැවැත්වීම සෑම දෙනාටම අලුත් අත්දැකීමක් වන බැවින් ඊට පෙර අද (19 දා) දිනයේදී තෝරා ගනු ලැබූ ක්‍රීඩා සමාජ කීපයක් යොදා ගනිමින් පෙර පුහුණුවක් සිදු කිරීමට පියවර ගෙන තිබුණි. නිලවරණ කටයුතු හෙට පෙ.ව. 9 ට ආරම්භ වන අතර එහිදී ප්‍රථමයෙන්ම ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් පරීක්ෂණයකට මුහුණ දීමෙන් අනතුරුව ප්‍රධාන රැස්වීම සඳහා වූ ක්‍රියාවලියට යොමු කෙරෙනු ඇත. නිලවරණය පෙ.ව. 10 ට ආරම්භ වනු ඇත.

    විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ ප්‍රධාන ලේකම්වරයකු ලෙසින් කටයුතු කරන ලද ආචාර්ය ඩී. එම් ආර්. දිසානායක මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙම නිලවරණය පවත්වනු ලබති.

  • 2021/22 ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම අවුල්

    2021/22 ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම අවුල්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල 50% කින් පමණ කපාහැර ඇති අතර මීට පෙර පැවති කොන්ත්‍රාත්තු සමග සැසදීමේදී සමස්තයක් ලෙස ක්‍රීඩකයකුගේ ගෙවීමෙන් 35%කට ආසන්න මුදල් ද කපා හැර ඇති බව වාර්තා වෙනවා.

    මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතර උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අස්සන් කිරීම ප්‍රමාද කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    මෙවර ඉහළම කොන්ත්‍රාත් මුදලක් හිමිව ඇති ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ලයි. ඔවුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ගෙවීමක් හිමිව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු සදහන් කළේ ‘‘අපි මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඔවුන් අද හෙටම ඔවුන්ගේ පැහැදිලි කිරීම කරයි‘ යනුවෙනුයි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරියෙක් පැවසුවේ දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවන බවට මීට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින්ට දන්වා තිබූ බවත් එය ප්‍රසිද්ධ කරුණක් බවයි.

    ‘‘ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව, වෘත්තීය දස්කම්, නායකත්ව ලක්ෂණ සහ අනාගත වටිනාකම යන ලක්ෂණ පදනම් කරගනිමින් තමයි 2021/22 කොන්ත්‍රාත් ගිවිසුම සකස් කළේ. මෙවර අප සමග ක්‍රීඩකයින් 24 දෙනෙක් ගිවිසුම් ගත වෙනවා. එම ක්‍රීඩකයන් 24 දෙනා ඒ, බී, සී සහ ඩී යන කාණ්ඩ යටතේ ඇමරිකානු ඩොලර් 25,000 සිට ලක්ෂය දක්වා වන සේ කාණ්ඩ ගත කර තිබෙනවා‘‘

    2021/22 කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් වන්නේ, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය.

  • එක්දින තරග 3 කට ශ්‍රී ලංකා පිල 16 දා බංග්ලාදේශයට

    එක්දින තරග 3 කට ශ්‍රී ලංකා පිල 16 දා බංග්ලාදේශයට

    එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. දිවා/රාත්‍රී තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

    මෙම තරගාවලියද ජෛව ආරක්ෂිත පරිසරයකට ලඝු කොට (Bio Bubble) පැවැත්වෙන අතර තරග 3 ම ඩාකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඒක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අන්තර් සංචිත පුහුණු තරගයකට ක්‍රීඩා කරනු ඇත.

    තරග කාලසටහන
    දිනයතරගයක්‍රීඩාංගණය
    මැයි 16ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය බලා පිටත්වීම 
    මැයි 21අන්තර් සංචිත පුහුණු තරගයජාතික පුහුණු විද්‍යායතනය පිටිය
    මැයි 23පළමු ඒක්දින තරගයශ්රේ බංග්ලා
    මැයි 25දෙවැනි ඒක්දින තරගයශ්රේ බංග්ලා
    මැයි 28තෙවැනි ඒක්දින තරගයතශ්රේ බංග්ලා
  • ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීම ශ්‍රී ලංකාව ගොඩදමයි: ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක්

    ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීම ශ්‍රී ලංකාව ගොඩදමයි: ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක්

    මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 10 ක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට වුණු ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 209 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය.

    සිව්වැනි දිනය අවසානයේදී කඩුලු 2 ක් දවාගෙන සිටි ජයවික්‍රම අද දිනයේදී තවත් පිතිකරුවන් තිදෙනෙකු දවා ගනිමින් සමස්ථ තරගයේදී ලකුණු 178 කට කඩුලු 11 ක් දවා ගත්තේය. එම දක්ෂතාවය 2008 වසරෙන් පසු ටෙස්ට් භෞතීස්මයකදී ලොව පන්දු යවන්නකු කඩුලු 10 ක් දවා ගන්නා ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය. අවසන් වරට එම දක්ෂතාවය දක්වා ඇත්තේ ඔෂ්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් ක්‍රෙජ්සා විසිනි.

    පස්වැනි දින ශ්‍රී ලංකා ජයග්‍රහණය හෝරාවක් පමණ ප්‍රමාද කරනු ලැබුවේ මෙහෙදි හසන්ගේ පිතිහරඹයයි. කෙසේ වෙතත් ලකුණු 177 ක් තුළ කඩුලු 5 ක් දැවී තිබියදී පස්වැනි දිනය ඇරැඹූ බංග්ලාදේශ කණ්ඩායමට තරගය ක්‍රියාත්මක හෝරාවක පමණ කාලයේදී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 50 ක් පමණි.

    දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ලිටන් දාස් වන අතර හේ ප්‍රවීන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියේය. එම දැවී යෑමත් සමඟ පිටියට පිවිසි තයිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන් සමග එක්ව ප්‍රවීන් සහ රමේෂ්ගේ පන්දු හමුවේ ප්‍රවේසම්ව පන්දුවට පහර දුන්හ. ඒ අනුව පන්දු යැවීමේ වෙනසක් කිරීමට කාලය පැමිණ තිබෙන බව වටහා ගත් නායක කරුණාරත්න තමන් සතු අනෙක් දඟ පන්දු යවන්නා වුණු ධනංජය ද සිල්වා පිළිබඳව විශ්වාසය තැබීය. තම නායකයා බලාපොරොත්තු වූ අයුරින්ම වගකීම ඉෂ්ඨ කල ධනංජය තයිජුල් ඉස්ලාම්ගේ කඩුල්ල දවා ගත්තේය.

    ලකුණු 39 ක් ලබා සිටි අවස්ථාවේදී ජයවික්‍රම විසින් එවන ලද පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි පැතුම් නිස්සංක විසින් දක්ෂ ලෙස රැකගැනීම නිසා මෙහෙදි හසන් තම කඩුල්ල අහිමි කර ගත්තේය. පන්දුව තමන් වෙතට පැමිණීමට පෙර පන්දුව වෙත යනු දුටු පැතුම් වහා දකුණත් පෙදෙසට දිව ගියේ විදුලි වේගයෙන් පැමිණෙන පන්දුව නවතාළීමටය. මෙහෙදිගේ අවසනාවට එය උඩ පන්දුවක් ලෙස පැතුම්ගේ දෑත් අතර සිර විය.

    අනතුරුව පිටියට පිවිස් අබූ ජායෙඩ්ට කඩුල්ල ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ පන්දු 2 ක් පමණි. ජයවික්‍රමගේ පස්වැනි කඩුල්ල ලෙසින් අබූ ජායෙඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 209 ක ජයග්‍රහණයක් සටහන් විය. පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් දවා ගත් ප්‍රවීන් දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 ක් දවා ගනිමින් මංගල ටෙස්ට් තරගයේදීම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබමින් ටෙස්ට් ආගමනයට අමරණීය මතකයක් එක් කරගත්තේය. ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 103 කට කඩුලු 4 ක් දවා ගත්තේය.

    තරගාවලියේ වීරයා ලෙසින් පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක්ද (244) දෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයක් (118) සහ අර්ධ ශතකයක් (66) රැස් කරමින් සමස්ථ තරගාවලියේදී ලකුණු 428 ක් ලබා ගත් දිමුත් කරුණාරත්න සම්මාන දිනා ගත්තේය.  

    බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 දී ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද දිමුත් කරුණාරත්න
    Text by – sl cricet
  • ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය කල් යයි

    ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය කල් යයි

    පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මැයි මස 04 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ටීම් ශ්‍රී ලංකා අතර පන්දුවාර විස්සයි-20 තරගය පැවැත්වීමට සැලසුම් කර පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. රටේ පවිත්න සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහත තීරණයට එළැඹ තිබේ.


    කොවිඩ් – 19 අරමුදලට ආධාර උපයා ගැනීමේ අරමුණ පෙරදැරිව මෙම තරගය පැවැත්වීමට කටයුතු යෙදුණද, රටේ පවතින පවතින අවධානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එය පැවැත්වීම කල් දැමීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි අදහස වී තිබේ.


    මෙහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉදිරි තරගාවලිවලට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ද මෙම තරගය කල් දැමීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලකිල්ලට ගනු ලැබීය.


    කෙසේ වෙතත් මෙම උදාරතර අරමුණ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වුණු හිටපු ක්‍රීඩකයින්ට, වර්තමාන ක්‍රීඩකයින්ට, නිලධාරීන්ට සහ තරගය සාර්ථක කර ගැනීම වෙනුවෙන් වාණිජ හවුල්කරුවන් වශයෙන් ඉදිරිපත්වුණු සියළු දෙනාටම ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ස්තූතිය පළ කර සිටියි.

  • බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 177ක් – ශ්‍රී ලංකාවට කලකට පසු ටෙස්ට් ජයක් ?

    බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 177ක් – ශ්‍රී ලංකාවට කලකට පසු ටෙස්ට් ජයක් ?

    ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 437 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම සිව්වැනි දිනය අවසන් වීමට මත්තෙන් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සමත්වූහ. අයහපත් ආලෝක තත්ත්වය තරගයට බාධා පැමිණෙන විටත් බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය.

    තවත් පන්දුවාර 12 ක් ඉතිරිව තිබියදී සිව්වැනි දිනට තරගය අහවර කරද්දී බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 260 ක් පිටුපසින් සිටින්නේ තරගයේ තවත් දිනයක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදීය. තියුණු ලෙසින් දඟ කැවීමට පටන් ගෙන ඇති පල්ලකැලේ තණතීරුවේදී කඩුලු 5 ක් ඇතැතිව සම්පූර්ණ දිනයක් ක්‍රීඩා කිරීමේ දැඩි අභියෝගයට හෙට දිනයේදී බංග්ලාදේශ පිලට මුහුණ දීමට සිදුවනු ඇත.

    තේ පානය වන විටත් කඩුලු 3 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශ පිල ආරක්ෂා කාරී පිළිවෙතක් අනුගමනය කිරීම පසෙකින් තබා ආක්‍රමණශීලී ලෙස පන්දුවට පහර දීම තරමක් විමතිය දනවන්නක් විය. ඒ අවසරයෙන් තවත් කඩුලු 2 ක් දවා ගනිමින් බංග්ලාදේශ තවත් ආගාධයට ඇද දැමීමට රමේෂ් මෙන්ඩිස් සමත්විය.

    දැවී ගිය කඩුලු 5 න් රමේෂ් අතරේ කඩුලු 3 ක්ද ප්‍රවීන් හමුවේ කඩුලු 2 ක් ද බෙදී ගියහ. බංග්ලාදේශ ඉනිමේ ප්‍රථමයෙන් දැවී ගිය කඩුලු 3 න් 2 කම හිමිකරුවා වූයේ ප්‍රවීන්ය. මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවා ගත් ජයවික්‍රම මෙතෙක් තරගයේදී කඩුලු 8 ක් දවා ගැනීමට සමත්ව සිටියි. ටෙස්ට් භෞතීස්මයේදී කඩුලු 8 ක් දවාගැනීමට සමත්ව සිටින තෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසින්ද වාර්තා පොත් අතරට නම එකතු කරගත්තේ අජන්ත මෙන්ඩිස් සහ අකිල ධනංජය සමඟ සම තැන් ගනිමිනි.

    හෙට දිනයේදී ශ්‍රී ලංකාව හමුවේ ඇති එකම අඩු පාඩුව වන්නේ විනිසුරු තීරණය විමසීම (විතීවී) සඳහා හිමි අවස්ථා 3ම අහිමිවී තිබීමයි. නජ්මුල් හොසේන් දවා ගැනීම වෙනුවෙන් අවස්ථා 2 කදී ලිටන් දාස් දවා ගැනීම වෙනුවෙන් කරන ලද ඉල්ලීම් වලදී ශ්‍රී ලංකාවට හිමි එම වටිනා අවස්ථා 3 අහිමිව ගියේය.

    තේ පානයෙන් පසු ඇරැඹි තරගයේ දැවී ගිය නායක මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලු 2 ම රමේෂ් මෙන්ඩිස් විසින් දවා ගත්තේය. පිත්තේ ඇතුල් පැත්තේ වැදී කඩුල්ල බිඳී යෑමෙන් බංග්ලාදේශ නායකයාගේ ඉනිම ලකුණු 32 කදී ද ලෙග් ස්ලිප් ස්ථානයේ සිට ධනංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීම මත මුෂ්ෆිකර් රහීම්ගේ ඉනිම නිමාවට පත්විය. ලකුණු 40 ක් ලබා ගත් රහීම් ඉනිමේ මුල් මිනිත්තු කීපයේදී  දවා ගැනීම වෙනුවෙන් අවස්ථා දෙකක් ලබා දුන්නද ළහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල අතින් එය ගිලිහී ගියහ. ස්ලිප් ස්ථානයේ පන්දු රැකි තිරිමාන්න අතට රහීම්ගේ උඩ පන්දුව ඇදී ගියේ ලකුණු 6 ක් ලබා සිටියදී.

    බංග්ලාදේශ කඩා වැටීම ආරම්භ වූයේ රමේෂ් මෙන්ඩිස් විසින් ටමීම් ඉක්බාල් දවා ගැනීමට සමත්වීමත් සමඟය. මැද ඉන්නේ පතිත වුණු පන්දුවට පිත්ත හුවා දැක්වුවද අදහාගත නොහැකි ලෙසින් තියුණුව දඟ කැවුණු පන්දුව ටමීම් ඉක්බාල්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින දික්වැල්ලගේ දෑත් අතර සිර විණ. දැවී යනවිටත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් එල්ල කිරී ටමීම් ප්‍රහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දු 26 කදී ලකුණු 24 ක් රැස් කරගෙන සිටියේය.

    තමාට වඩා එක් ටෙස්ට් තරගයකින් ජ්‍යෙෂ්ඨත්වයට පත්ව සිටින රමේෂ් මෙන්ඩිස්ගේ තල්ලුවත් සමග සයිෆ් හසන්ගේ කඩුල්ල දවා ගත් ප්‍රවීන් දෙවැනි ඉනිමේ සිය කඩුලු දඩයම ඇරැඹීය. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ලකුණු අතරට පැමිණීමට දැඩි අරගලයක නිරතව සිටින සයිෆ් හසන්, දුර්වල පන්දු දුටු විට හිදැස් අතරින් හතරේ පන්දුව ගලා යෑමට සලස්වමින් ලකුණු 34 ක් ලබා ගත්තේය. මෙතෙක් තරගාවලියේ ඔහු ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් එම ලකුණු 34 සටහන් විය. පිතිකරුවාගෙන් පිටතට දඟ කැවුණු පන්දුවකට එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට කරන ලද උත්සාහය වැරදී යෑමෙන් හසන් සිය කඩුල්ල අහිමි කර ගත්තේය.

    තේ පානයට පන්දුවාර 3 කුත් පන්දුවක් තිබියදී නජ්මුල් හසන් දැවී ගියේ ජයවික්‍රමගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල සොයා යෑමෙනි. ආරක්ෂිත පහරක් එල්ල කළද පන්දුවේ තිබූ අදහාගත නොහැකි දඟ කැවීම නිසා පිත්තත් ශරීරයත් අතිරින් ගොස් කඩුල්ලේ වැදුණේ නජ්මුල්වද මවිත කරමිනි.

    දැවී ගිය කඩුලු 3 න් 2 ක්ම තමන් සතු කරගත් තයිජුල් ඉස්ලාම් දෙවැනි වතාවටත් සිය මව්බිමෙන් පිටතදී කඩුලු 5 ක් දවා ගත්තේය. ටස්කින් අහමඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර තයිජුල් ඉස්ලාම් රැක ගැනීම නිසි නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 කට දැවී ගියේය.

    ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වුණු දිමුත් කරුණාරත්න අද උදෑසන සිය 26 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ටෙස්ට් තරග වලදී එතරම් වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු නොවූවත් ඉක්මනින් ලකුණු රැස් කිරීමේ අවශ්‍යතාවය මත සිය පිත්ත වේගවත් කළ ශ්‍රී ලංකා නායකා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 78 කදී ලකුණු 66 ක් ලබා ගත්තේය. ආබාධයෙක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණු ශොරිෆුල් ඉස්ලාම් වෙනුවෙන් පන්දු රැකීමට පැමිණි යසීර් අලීගේ අදහාගත නොහැකි උඩ පන්දු රැකීම නොවන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා නායකයාට හිමිවනු ඇත.

    මෙහෙදි හසන්ගේ පන්දුවකට පා ඉන්න දෙසට වේගවත් පහරක් එල්ල කළද එය හිස්වැස්මක් පළඳමින් ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි යසීර් අලීගේ කකුලත් අතත් අතර හිර නොවන්නට පිට පිටම ඉනිම 3 කදී ශතක 3 ක් ලබා ගැනීමේ අවස්ථාව දිමුත්ට උදාවන්නට තිබිණ. දැවී යන විටත් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන්නන් අතරින් ප්‍රතිවාදී පිලකට එරෙහිව වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වීමට දිමුත් සමත්වූවේය. වර්තමාන ක්‍රීඩකයින් අතරින් ඇන්ජලෝ මැතිව්ස් පමණක් පාකිස්තානයට එරෙහිව 2013-14 වසරේදී ලකුණු 412ක් ලබා ලකුණු 400 සීමාව රැස් කර සිටියි. දිමුත් මෙම තරගාවලියේදී ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කිරීමට සමත්ව සිටියි. බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේදී කිසි දිනෙක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයකද සිව්වැනි ඉනිමේදී පන්දුවාර 60 ක් ඉක්මවා පන්දුවට පහර දීමට අසමත්ව සිටීමද කැපී පෙනෙයි. ඔවුහු මේ ඉනිමේදීද කඩුලු 5 ක් අහිමිකරගෙන සිටින්නේ පන්දුවාර 48 ක් අවසානයේදීය.

  • ගොඩක්ම කැමැත්ත තිබුණේ ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගන්න – මංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන්

    ගොඩක්ම කැමැත්ත තිබුණේ ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගන්න – මංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන්

    දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇතුළත දෙපිළේම කඩුලු 13 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 කුත් (පළමු ඉනිමේ එක් කඩුල්ලක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන්) බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 10 කුත් තෙවැනි දිනයේ බිඳ වැටුණු කඩුලු 13 ට අයත් විය. ඒ අතරින් කඩුලු 6 කම  හිමිකරුවා බවට පත්වූයේ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමය. තම මංගල තරගයට ක්‍රීඩා කරමින් සිටින ජයවික්‍රම ලකුණු 92 ක් ඇතුළත දවාගත් කඩුලු 6 අතරට ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලුද ඇතුළත් විය. ප්‍රවීන්ගේ එම දක්ෂතාවය වසර 40 කට ආසන්න ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් භෞතීස්මයකදී පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙසින් සටහන් විය.

    “මම තරගයට එනකොට හිතුවේ කොහොමද ඩොට්ස් බෝල් (නිලකුණු පන්දු) දාලා එයාලට ප්‍රෙෂර් එක දෙන්නේ කියලා. ඒක මට කරන්න පුලුවන් වුණු නිසා විකට් 6 ක් ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි රෙකෝඩ් එකකට යන්න පුලුවන් වෙච්ච එක ගැන” යැයි සිය වාර්තාගත පන්දු යැවීම පිළිබඳව ප්‍රවීන් ජයවික්‍රම සඳහන් කර සිටියේය.

    තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී සිය පන්දු යැවීම ගැන වැඩිදුරටත් අදහස් දක්වා සිටි වමත් දඟ පන්දු යවන්නා, “ගොඩක්ම කැමැත්ත තිබුණේ ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගන්න. මම ගොඩක් ආසාවෙන් හිටියේ එයාගේ විකට් එක ගන්න. ඒ වගේම මුෂ්ෆිකර් රහීම්වත්. ඒ දෙන්නවම දවා ගැනීමට හැකියාව ලැබීම ගැන මට ගොඩක් සතුටුයි” යනුවෙනි.

    මෙතෙක් පැවැති සෑම ඉනිමකදීම අර්ධ ශතක 3 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටින ටමීම් මෙම තරගයේ ලද ලකුණු 92 ක් සමඟ අවස්ථා ද්විත්වයකදී ලකුණු 90 සීමාවට පැමිණීමට සමත්වූවේය. ප්‍රහාරාත්මක වේගය 75% කට වඩා පවත්වා ගැනීමට සමත්ව සිටි ටමීම්ගේ කඩුල්ල දවා ගැනීම සඳහා වූ උපක්‍රමය ලෙසින් ප්‍රවීන් භාවිතා කරන ලද්දේ කඩුල්ල වටා යමින් පන්දු යැවීම විය. වමත් පිතිකරුවන් පන්දුවට පහර දෙද්දී එතෙක් වේලා විනිසුරුකරු පසුකරමින් පන්දු යැවූ ජයවික්‍රම, කඩුල්ල වටා යමින් යොමු කරන ලද දෙවැනි පන්දුවේදීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව පැවැති ටමීම්ගේ කඩුල්ල දවා ගත්තේය.

    “මම ඊට කළින් එයාට දැම්මේ ඕවර් ද විකට් ගිහිං. එයා එතකොට පහරවල් වලට යන්න ට්‍රයි කළේ නෑ. ඉතිං කැප්ටනුයි සීනියර් ප්ලෙයර්ස්ලා ටිකයි මට කතා කරලා කිව්වා චේන්ජ් එකක් කරලා බලන්න මල්ලී කියලා. ඊට පස්සේ තමයි මම විකට් එක වටෙන් ගිහිල්ලා බෝල් කළේ. දෙවැනි බෝලෙන්ම ටමීම්ගේ කඩුල්ල ලබා ගන්න හැකියාව ලැබුණා”යි ටමීම් දවා ගැනීම වෙනුවෙන් පිටිය තුළ වූ උපක්‍රමය පිළිබඳව ප්‍රවීන් අදහස් දැක්වූවේය.

    ටෙස්ට් තරගයට පෙර පළමු පෙළ තරග 10 කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රවීන්ට ටෙස්ට් තරගයේදී පන්දු යැවීම පීඩනයක් ගෙන දුන්නේද යන්න ද මෙහිදී මාධ්‍ය වේදීන් විමසා සිටියේය. “ඔව්. බංග්ලාදේශය වුණත් එයාලා ගොඩක් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ගහලා තියෙන කට්ටිය. ඒක නිසා පීඩනයක් තිබ්බා. ඒත් සීනියර්ස්ලා ඇවිල්ලා කතා කරලා මට කිව්වා, මල්ලී බය වෙන්න එපා. ගැහුවට කමක් නෑ. ඔයා ඔයාගේ දේ කරන්න. එයාලා පහරවල් ගැහුවට ඔයා වෙනස් කරන්න එපා. ඔයාගේ විදියට කරන්න කියලා. ඩොට් බෝල්ස් දාගෙන ඉන්න එතකොට විකට් එයි කියලා කිව්වා. කිව්ව විදියටම මම කළා” යි ප්‍රවීන් පවසා සිටියේය.

    වයස අවුරුදු 7 ක් 8 ක් වන වයසේ සිටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිහින දැකි ප්‍රවීන් සිය ක්‍රිකට් දිවියට අවතීර්ණ වූ ආකාරයද මෙහිදී අනාවරණය කර සිටියේය. “පොඩි කාලේ ඉඳන්ම මම ක්‍රිකට් තරග නරඹනවා. අවුරුදු 7 ක 8 ක කාලේ ඉඳන් අම්මට කියනවලු, මම නැෂනල් ටීම් එකට සෙල්ලම් කරනවා කියලා. එතකොට මම ක්‍රිකට් ගහන්න පටන් අරන් වත් නෑ. මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ අවුරුදු 10 දී. කලුතර සිරිකුරුස විදුහලෙන්. අවුරුදු 16 දී  මම මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට ඇතුළත් වෙනවා. එතැන ඉඳන් තමයි ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ” යි විසි දෙවැනි විය පසුකරමින් සිටින ප්‍රවීන් පවසයි.

    පළමු දින 2 පිතිකරුවන්ට පාරාදීසයක් බඳු වූ පල්ලකැලේ තණතීරුව තෙවැනිදවස වන විට පන්දු යවන්නන්ට සහයෝගයක් ලබා දෙන බවක් පෙන්නුම් කර සිටින අතර ප්‍රවීන්ගේ අදහස වන්නේ එය සිව්වැනි සහ පස්වැනි දින වන විට තවත් වැඩිවිය හැකි බවයි.

    “විකට් එක ගත්තොත් අද පොඩ්ඩක් දඟ පන්දු යවන්නන්ට පොඩ්ඩක් සහයෝගය තිබුණා. පළවැනි දවස් දෙක ගත්තහම පන්දු යවන්නන්ට සහයෝගය තිබුණේ නෑ. අද ගත්තොත් එහෙම ගොඩක් හොඳයි දකියලා තමයි කියන්න තියෙන්නේ ඊළඟ දවස් දෙකත් මෙහෙම වෙයි කියලා මම හිතනවා” යි පවසන ප්‍රවීන්, පිට පිටම දෙවැනි වතාවටත් බංග්ලාදේශ පිලට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දීම සඳහා වූ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් (242) ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවත් නැවතත් පන්දුවට පහර දීමට තම කණ්ඩායම තීරණය කිරීම සුභදායී කරුණක් බවයි.

    “පෞද්ගලිකව මම විශ්වාස කරනවා අපි නැවතත් පන්දුවට පහර දෙන්න ගත්ත තීරණය ඉතා හොඳයි කියලා. මොකද පස්සට යන්න යන්න තව විකට් එක කැපෙන්න බලයි. ඉතිං අපි පුලුවන් තරම් ලකුණු ගහලා එයාලට ලොකු ටාගට් එකක් දුන්නහම එයාලට ඒක ප්‍රෙෂර් එකක්. ඒ ටාගට් එක ගැහුවේ නැත්නම් මැච් එක අපේ පැත්තට එනවා” යැයි ප්‍රවීන් පැවැසීය.

    Text by sl cricket

  • බංග්ලාදේශයට එරෙහි සුපිරි ඉනිම ගැන දිමුත් කරන සුපිරි හෙළිදරව්ව !

    බංග්ලාදේශයට එරෙහි සුපිරි ඉනිම ගැන දිමුත් කරන සුපිරි හෙළිදරව්ව !

    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ (25 දා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. එම තරගාවසානයේ මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට දැක්වූ අදහස් කිසිදු සංශෝධනයකින් තොරව පහතින් දැක්වේ.

    තණතීරුවේ සහයෝගය

    ඉස්සෙල්ලා කිව්ව වගේ බලාපොරොත්තු වුණේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් වෙයි කියලා. මතුපිටින් බලල තමයි නිඟමනය කරන්න පුලුවන් කොහොමද කියලා. විකට් එක දිහා බැලුවම ගොඩක් තණකොල තිබුණා. ඒ වගේම ප්‍රැක්ටිස් කරන වෙලාවත් මායි පුහුණුකරුයි ඇවිල්ලා බැලුවහම දෙන්නම හිතුවේ වේග පන්දු යවන්නන්ට උචිත වෙයි කියලා. නමුත් මේ අව්වත් එක්ක විකට් එක ගොඩක් වෙලාවට පිතිකරුවන්ට යෝග්‍ය වුණා. පළවැනිම පන්දුවාර දෙක තුන හැරෙන්න වේග පන්දු යවන්නන්ට ලොකු සපෝර්ට් එකක් තිබ්බේ නෑ. ආයිත් අලුත් බෝලෙන් තමයි ඕවර කීපයක් පන්දුව එහා මෙයා යන්න ගත්තේ. රිවර් ස්විංග් එකක් වත් වුණේ නෑ, මොකද හුළඟ පොඩ්ඩක්වත් තිබුණේ නැති නිසා. අපි හිතුවා 5 වැනි දවස වෙන විට දඟ පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙයි කියලා. නමුත් එහෙම ලොකු දෙයක් දැක ගන්න ලැබුණේ නෑ, ඒක පිතිකරුවන්ට යෝග්‍ය බවක් තමයි තිබ්බේ. පිතිකරුවන් ලකුණු ලබාගෙන උපරිම ගත්තා විශ්වාසය ගොඩ නගාගත්තා. මං හිතන්නේ ඒක ගොඩක් වටිනවා කණ්ඩායමක් විදියට ඉදිරියට යන්න.

    දවස් 5ම පිටියේ රැඳී සිටීම

    ගොඩක් වෙලාවට ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරද්දී දවස් 5 ම ක්‍රීඩා කරන්න මානසිකව සූදානම් වෙලා ඉන්න ඕන. පන්දු රැක්කා හෝ බැට් කරා කියලා දවස් 5 ම ෆීල්ඩ් එකේ ඉන්න තමා අපේ මෙන්ටලිටි එක හැදිලා තියෙන්නේ. ඉතිං මං හිතන්නේ දවස්  2 ක් පන්දු රැක්කහම ඇඟට ගොඩක් අමාරුයි. නමුත් ඒකට හරියන්න බැට් කරන්න හම්බ වුණාම පුලුවන් තරම් ඒකෙන් අවස්ථාව ලබා ගන්න ඕන. මං හිත්නේ බටහිර ඉන්දීය කොදෙව් වලත් මම දැක්කා හොඳ ආරම්භයක් ගත්තහම මට ගහන්න පුලුවන් කියලා. මම උත්සාහ කළේ පොඩ්ඩක් විකට් එකේ ඉඳලා පන්දුවට පහර දෙන්න. හොඳ ආරම්භයක් අරගෙන සෙට් වුණාට පස්සේ පුලුවන් තරම් ඇදගෙනම යන්න තමයි ඕන වෙලා තිබ්බේ. මොකද ලකුණු 500 ක් ඒගොල්ලා ගහලා තිබිච්ච හින්දා මට ඕන වුණා ඒක ලබා ගන්න කම්ම කඩුල්ලේ රැඳී ඉන්න. මම ඒක සාර්ථකව කරා කියලා හිතනවා. ගොඩක් මහන්සියි නමුත් මම ගොඩක් එන්ජෝයි කරා. හැම තිස්සේම කරන දෙයක් තමයි බැට් කරද්දි එන්ජෝයි කරන එක. ඉතිං ඒ හින්දා තමයි ඒකෙ අමාරුව තේරුන්නේ නැත්තේ. කොච්චර වෙලාවක් වුණත් මට විකට් එකේ බැට් කරන්න තිබ්බා අද වුණත් බැට් තිබ්බා ඩික්ලෙයාර් කරන මයින්ඩ් සෙට් එකක් තිබ්බේ නැත්නම්.

    අර්ධ ශතකය වාර්තා කිරීමේදී පිත්ත නොඑසවීම

    වෙස්ට් ඉන්ඩීස් වල ගොඩක් වෙලාවට පළවැනි පන්දුවාර කීපයේදී  ලකුණු ලබාගෙන මම බැලුවේ ලකුණු අතරට එන්න. නමුත් ඒක අසාර්ථක වුණා. එතැනදී මම කෝච් එක්කත් කතා කරා. මං ඇහුවා කෝච්ගෙන් මොනවද මගෙන් වෙන වැරැද්ද කියලා. ඒ වෙලාවේ එයා කිව්වේ ඔයා ඕපනර් කෙනෙක් නිසා පොඩ්ඩක් සෙට් වෙනකන් විකට් එකේ ඉන්න ඕන කියලා. සෙට් වුණාට පස්සේ ලොකු එකක් ගහන්න පුලුවන් කිව්වා. ඒ හින්දා පුලුවන් තරම් අලුත් බෝලෙ අත ඇරලා සෙල්ලම් කරන එක තමයි ඔයාගේ ගේම් එක කියලා කෝච් කිව්වා. ඒක තමයි මං වෙස්ට් ඉන්ඩීස්වල අන්තිමට කළේ. පුලුවන් තරම් වෙලා අරගෙන සෙට් වුණාට පස්සේ මං දන්නවා ඒ හැම දේම ලබාගන්න පුලුවන් කියලා. ඒ දේම තමයි මම මෙතැනට ඇප්ලයි කළේ. මං දන්නවා කන්ඩිෂන් වෙනස් වුණත්, දේශීය තත්ත්වයේ ගැහුවත් කරගෙන ආපු දේ කරගෙන යන්න ඕන කියන දේ හිතේ තිබ්බා. අනික් පැත්තෙන් තිරී (තිරිමාන්න) ලොකු සහයෝගයක් ලබා දුන්නා. එයා ඉක්මනට ලකුණු ලබා ගත්ත හින්දා මට වෙලා ගන්න චාන්ස් එකක් ලැබුණා. ඇත්තටම කිව්වොත් ඔව්. මේ විකට් එකේ නම් මට 50 ක් ඇත්තටම මදි. මොකද අපි දැක්කා බංග්ලාදේශ කණ්ඩායමේ එන හැම එක්කෙනාම වගේ ලකුණු රැස් කරනවා. ඉතිං 50 ක් ගහලා මේ විකට් එකේ සැනසීමකට පත් වෙන්න තරම් ක්‍රීඩකයෙක් නොවෙයි මම. ඒ හින්දා මට ඕන වුණා මේක ලොකු ඉනිංග් එකක් ක්‍රීඩා කරන්න. ඉතිං 50 සීය කරගන්න සීය එකසිය පනහ කරගන්න. ඒ වගේම මට පුලුවන් තරම් ලකුණු ගහගන්න හිතුවේ. මොකද මේ වගේ කඩුල්ලක් ආයිත් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ. ආයිත් ලංකාවේ ක්‍රීඩා කළත් ගොඩක් ටර්න් වෙන තණතීරුවල තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ. රටින් පිට ගියාම ගොඩක් ඒකෙ අනිත් පැත්ත තමයි. ගොඩක්ම පන්දුව දෝලනය වන තණතීරු තමයි හම්බ වෙන්නේ. ඒ වගේ චාන්ස් එකක් හම්බ වුණාම ඒකෙන් උපරිම ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

    ලකුණු සාමාන්‍ය අඩු වීම ගැන  

    එහෙම දෙයක් හිතේ තියාගෙන මම ක්‍රීඩා කරන්නේ නෑ. නමුත් ස්ටැට්ස් බලනවා. නමුත් ක්‍රීඩා කරන්න ගියාම මේක පළමු ඉනිමද දෙවැනි ඉනිමද කියලා බලන්නේ නෑ. අවස්ථාවන් හම්බ වෙන හැම වෙලේම හොඳින් ක්‍රීඩා කරන්න තමයි බලා පොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට පළමු ඉනිමේදී අසාර්ථක වුණොත් මං දන්නවා කොහොමද ඒක දෙවැනි ඉනිමේදී ආයිත් හරිගස්ස ගන්නේ කියලා. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පුලුවන් තරම් පළමු ඉනිමේදී ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න.  මොකද ඒක ගොඩක් බෙනිෆිට් එකක් තියෙනවා. ටීම් එකට ලොකු ස්කෝර් එකක් දැම්මාම අනිත් ටීම් එක පුලුවන් තරම් පීඩනය දාන්න පුලුවන්. නමුත් ඒක මට කරගන්න බැරි වුණොත් මම අනිවාර්යයෙන්ම දෙවැනි ඉනිමේදී හරි ලොකු සපෝර්ට් එකක් දෙන්න බලනවා. මං දන්නවා මම හොඳින් ක්‍රීඩා කළොත් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයිනුත් ගොඩක් හොඳට ක්‍රීඩා කරනවා කියලා. ඉතිං ඒ මානසිකත්වය තමයි මට තියෙන්නේ. පුලුවන් තරම් ටීම් එකට මගෙන් වෙන්න ඕන දේ නායකයකු විදියටත් ඒ වගේම පිතිකරුවකු විදියටත් මම දෙන්න පුලුවන් උපරිමය ලබා දෙනවා.

    දෙවැනි තරගයට බලාපොරොත්තු වෙන තණතීරුව

    මේ වගේ තණතීරුවක් නම් අපි කොහොමවත්ම දෙන්නේ නෑ. ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න. ඉතිං අපි අනිවාර්යයෙන්ම විකට් 20 ක් ලබා ගත යුතුයි තරගයක් ජයග්‍රහණය කරන්න. ගොඩක් වෙලාවට 50 ට 50 තියෙන විකට් එකක් වෙයි. මොකද පන්දු යවන්නන්ට සහයෝගයක් තණතීරුවෙන් තියෙන්න ඕන. නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා කරලා වැඩකුත් නෑ. විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් ලැබෙන තණතීරුවක් වෙයි. අපි දන්නවා ළහිරු අපිට නැති වෙනවා. අපේ ඉන්න දඟ පන්දු යවන්නන්ගේ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්ථාන කීපයක් වෙනස් වෙයි. තව ක්‍රීඩකයින් දෙන්නෙක් කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඉතිං අපි ඉදිරි දවස් දෙකේ පුහුණුවීම් කරලා තමයි තීරණය කරන්නේ අන්තිම 11 දෙනා කවුරුන්ද කියලා.

    කණ්ඩායමට අලුතෙන් එන ක්‍රීඩකයින්

     කණ්ඩායමට ලක්ෂාන් සඳකැනුයි චාමික කරුණාරත්නයි අලුතින් එකතු වෙනවා. ගොඩක් වෙලාවට ළහිරු වෙනුවට තමයි චාමිකව කැඳෙව්වේ. අපිට තව දඟ පන්දු යවන්නෙක් ඕන වෙයි කියලා අපි හිතුවා. මොකද අපි බැලුවා මේ තණතීරුවල අපි හිතන තරම් ලොකු සපෝරට්ට එකක් දේනනේ නෑ වේග පන්දු යවන්න්න්ට. මොකද මේ රස්නෙත් එක්ක විකට් ඉක්මනට වේලිලා පිතිකරුවන්ට දායකත්වයක් ලැබෙන හින්දා. ඒ හින්දා අපි හිතුවා දඟ පන්දු යවන්නන් සංචිතයේ ඉන්න එක හොඳයි එතකොට අපිට ඔප්ෂන් තියෙනවා ඕනෑ වෙලාවකට සෙල්ලම් කරන්න. ඒ වගේම කිව්ව වගේ ලකුණු 500 ක් ගැහුවාට මම හිතන්නේ නෑ අපේ අය හොඳින් බෝල් කෙරුවේ නෑ කියලා. අපේ අය හොඳට බෝල් කළා. නමුත් විකට් එකේ ලොකු සහායක් තිබුණේ නෑ අපිට ගොඩාක් ඇටෑක් කරන්න තරම්. මොකද පන්දුවේ වේගයවත් හෝ දඟ කැවීමක්වත් වෙන්නේ නෑ. ඒ හින්දා බැට්ස්මන්ලට ඕන ඕන විදියට සෙල්ලම් කරන්න පුලුවන්. අපි බැලුවේ ඔවුන්ව හිර කරලා තියන්න. අපි 500 ක් බෝඩ් එකේ තිබිලත් ලකුණු 500 ක් හඹා ගෙන ගිහිල්ලා ලකුණු 100 ක ලීඩ් එකක් අරගෙන බැලුවා අපිට දිනන්න අවස්ථාවක්ගන්න පුලුවන්ද කියලා. තරග ඉවර කරනකොට අපි හොඳ මානසික්තවයක හිටියා. විශේෂයන්ම ජයග්‍රහණය කරන්න පුලුවන් තැනකට අපි ඇවිල්ලා හිටියා. ඒ සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා කණ්ඩායමේ දායකත්වය ගැන.

    එකතු වෙනවා නම්

    මම හරියටම දන්නේ නෑ කවද්ද ඔවුන් අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. මොකද බබල් එකක ඉන්නේ. ඒ වගේම පී.සී.ආර්. ටෙස්ට් කරලා එයාලා එන්න ඕන. හරියටම ඔවුන් කවද්ද ටීම් එකට එකතු වෙන්නේ කියන එක ගැන දන්නේ ඩොක්ටර් තමයි.  සමහර විට හෙට වෙන්න පුලුවන්. සමහර විට අනිද්දා වෙන්න පුලුවන්. නමුත් තරගයට කළින් ඔවුන් අනිවාර්යයෙන්ම කණ්ඩායම සමඟ එකතු වෙලා ඉඳීවි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරිණි

  • පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි: ශ්‍රී ලංකාවට වැඩි ගෞරව

    පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි: ශ්‍රී ලංකාවට වැඩි ගෞරව

    පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 107 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පස්වැනි දිනය වූ අද (25 දා) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නිමා කර දමන විට කඩුලු 2 කට ලකුණු 100 ක් ලබා සිටියේය. ලකුණු 541 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් පලමු ඉනිමේදී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බැවින් වැඩි ගෞරව ශ්‍රී ලංකාවට අත්කර දෙමින් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

    තේ පානය සඳහා තරගය නතර කිරීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් තරගය යළිත් ආරම්භ කිරීමට තරම් කාලගුණය කාරුණික නොවිණ. එහෙයින් ප.ව. 4.15 වන විට පස්වැනි දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

    ජයග්‍රහණය කිරීමේ අදහසින් යළිත් පන්දු රැකීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් සුරංග ලක්මාල් සයිෆ්  හසන් ලකුණකට සහ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු නජ්මුල් හොසේන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය.

    සාර්ථක ප්‍රවේෂයක් ලබාගත්තද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ව්‍යර්ථ කරන ලද ප්‍රධානම පිතිකරුවා වූයේ ලකුණු 74 ක් ලබා ගත් ටමීම් ඉක්බාල්ය. කඩුලු 2 ක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන විටත් තම ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහර 2 කින් සරසාගෙන සිටි වමත් කසකරුවා සිය ප්‍රහාරාත්මක පිතිහරඹය එලෙසින්ම පවත්වාගෙන ගියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් නායක මොමිනුල් හක් පන්දු 86 කට මුහුණ දෙමින් ලකුණු 23 ක් ලබා ගත්තේය.

    17 වැනි පන්දුවාරය යැවූ විශ්ව ප්‍රනාන්දුට හතරේ පහර 3 ක් එල්ල කර බංග්ලාදේශ ආරම්භක පිතිකරුවා සිය 30 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. ටමීම් ලකුණු 29 ක් ලබා සිටියදී එල්ල කරන ලද වේගවත් පහර සිලි පොයින්ට් හි පන්දු රැකි ඕෂදගේ සපත්තුවේ වැදී කඩුලු රැකි දික්වැල්ල උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ යැයි ඉල්ලීමක් කරන ලදී. ප්‍රධාන විනිසුරුගේ මතය වූයේද එය දැවී යෑමක් වූ නමුත් තෙවැනි විනිසුරුට යොමු කිරීමේදී සපත්තුවේ වැදීමට පෙර එය බිම පතිත වී ගිය බැවින් තවදුරටත් පිටියේ රැඳී සිටීමට ටමීම් වාසනාවන්ත වූවේය. කෙසේ වෙතත් තේ පානය සඳහා තරගය නතර කරන විට පන්දු 98 කට මුහුණ දී සිටි ටමීම් ලකුණු 74 ක් ලබා සිටියේ ඉන් 3 ක් හතරේ සීමාවට ඉහළින්ද 10ක් හතරේ සීමාව පසුකරමින්ද පන්දුව යැවීමට සලස්වමිනි.

    පස්වැනි දිනටත් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නියැළුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිවා භෝජනය දක්වා වූ කාලය තෙක් පන්දුවට පහර දෙමින් ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 648 ක් දක්වා ඉහළ දමා ගත්හ. උදෑසන කාලයේ යවන ලද පන්දුවාර 30 දී තවත් ලකුණු 136 ක් රැස් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවා භෝජනය අතරතුරදී ඉනිම අත්හිටුවා දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනර කළේය.

    සිව්වැනි දින අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවැසූ පරිදි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්  පෙර දිනයේ ශතක ලාභීන් වූ දිමුත් සහ ධනංජය ලකුණු ලබා ගැනීවේ වේගය ඉක්මන් කරමින් පන්දුවට පහර එල්ල කිරීමට දැඩි උනන්දුවක් දැක්වූහ. එහෙත් එහි වාසිය ප්‍රයෝජනයට ගත් ටස්කින් අහමඩ් ලකුණු 09 ක් ඇතුළත ධනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු දවා ගනිමින් බංග්ලාදේශ පිලට කිසියම් අස්වැසිල්ලක් ලබා දුන්නේය.

    එම දැවී යෑම් දෙකත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු බංග්ලාදේශ පන්දු යවන්නෝ පන්දුවාර 13 කුත් පන්දුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙකුම දවා ගැනීමට සමත්වූවේය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ලට එක් වුණු වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් එකව රැස් කරන ලද ලකුණු 62 ක සම්බන්ධතාවය පෙරමුණු කොට ප්‍රතිවාදීන්ට වඩා පළමු ඉනිමේදී ලකුණු 107 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ. පන්දු 55 කට මුහුණ දුන් හසරංග හතරේ පහර 3 ක් ද සමඟ ලකුණු 43 ක්ද සුරංග ලක්මාල් පන්දු 31 කදී නොදැවී ලකුණු 22 ක්ද ලබාගත්හ.

    පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල බිඳී යෑම නිසා ධනංජය ද සිල්වා පස්වැනි දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්විය. ධනංජයගේ දැවීයෑමත් සමග එතෙක් වේලා දිමුත් කරුණාරත්න සමඟ පැවැති සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 345 දී බිඳ වැටිණ. බංග්ලාදේශ පිලට එරෙහිව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වුණු එම සම්බන්ධතාවයේදී පන්දු 291 කට මුහුණ දුන් ධනංජය ලබාගත් ලකුණු 166 ක් රැස් කර ගත්තේ හතරේ පහර 22 කින් තම ඉනිම අලංකාර කර ගනිමිනි.

    මිනිත්තු 698 ක් පුරා කඩුල්ලේ රැදී සිටි දිමුත් කරුණාරත්න මුහුණ දුන් 437 වැනි පන්දුවේදී දැවී ගියේය. හතරේ පහර 26 ක්ද සමඟ ලකුණු 244 ක් ලබා සිටි දිමුත් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියේය.

    දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 29 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේදී ආරම්භ වේ.

  • බංග්ලාදේශයෙන් සුපිරි ඉනිමක්

    බංග්ලාදේශයෙන් සුපිරි ඉනිමක්

    පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කළ බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද (22 දා) තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 474 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වූහ. පළමු දිනට රැස් කරන ලද ලකුණු 302 කට අමතරව අද දිනයේදී යවන ලද පන්දුවාර 65 තුළදී රැස් කර ගන්නා ලද ලකුණු 172 දී ප්‍රතිවාදී බංග්ලාදේශ පිලේ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

    පන්දුවාර 25 ක් යැවීමට නියමිතව තිබියදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නිමා කරන විට පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 43 ක්ද ලිටන් දාස් ලකුණු 25 ක්ද ලබා සිටියහ.

    ආරම්භයේ සිට කිසිදු අපහසුවකින් තොරව ලකුණු රැස් කළ නජ්මුල් හොසේන් සැන්ටෝ සහ නායක මොමිනුල් හක් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිම තවදුරටත් සුරක්ෂිත කළහ. දිනයේ සුවිශේෂී සිදුවීම බවට පත්වූයේ නායක මොමිනුල් හක් සිය 11 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමය. මෙය ඔහු සිය මව් රටින් බැහැරව රැස් කරන ලද පළමු ශතකය ලෙසින් වාර්තා වීමද කැපී පෙනිණ.

    ඉතා විශ්වාසවන්ත ලෙසින් පිති හැසිරවූ මෙම පිතිකරුවන් යුගලය දිවා ආහාරය වන විට තවත් ලකුණු 76 ක් එක් කළහ. එහෙත් දිවා ආහාරයෙන් පසුව තණතීරුව තරමක් මන්දගාමී ස්වරූපයක් අතර එහිදී යළි ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිකරුවන් වෙත පීඩනය යොමු කළහ. ඒ අතරින් සාර්ථක වුණු ළහිරු කුමාර, පෙරළා උඩ පන්දුවක් රැක ගැනීමෙන් නජ්මුල් හොසෙන්ගේ කඩුල්ල දවා ගත්තේය. එල්ල කරන ලද පහර පා ආවරණයේ වැදී ළහිරු කුමාර විසින් රැක ගන්නා විට නජ්මුල් ලකුණු 168 ක් ලබාගෙන සිටියේය.

    නජ්මුල්ගේ ඉනිමේදී මුහුණ දුන් පන්දු 304 න් 17 ක් හතරේ සීමාවට එපිටින්ද එක් වතාවක් ඊට ඉහළින්ද යැවීමට සල්සවා තිබුණි. පුරා පැය 6 කට ආසන්න (මිනිත්තු 533ක් ) කාලයක් පුරා විහිදුණු නජ්මුල්ගේ දිවියේ මංගල ශතකය බංග්ලාදේශ ජාතිකයකු මංගල ඉනිමකදී රැස් කරන ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය.

    දැවී යෑමට මත්තෙන් නායක මොමිනුල් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 242 ක හවුල්කාරීත්වයක් ගොඩ නැංවූ නජ්මුල්, එය ඕනෑම රටකට එරෙහිව බංග්ලාදේශ පිතිකරුවන් යුගලයක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පරිවර්තනය කර ගත්තේය. නජ්මුල් සහ මොමිනුල් විසින් අද බිඳ දමන ලද්දේ එදා මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම් දෙදෙනා එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව චිතගොංහිදීරැස් කරන ලද ලකුණු 236 සම්බන්ධතාවය විය.

    මුෂ්ෆිකර් රහීම් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය නමුත් විනිසුරු කුමාර් ධර්මසේන ලබා දුන් එම තීරණය රහීම් අභියෝගයට ලක් කළේය. පුණරූපණවලට අනුව එය පා ආවරණයේ වැදීමට පෙර රහීම්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී යනු පැහැදිළිවම සටහන්වීම හේතුවෙන් තව දුරටත් පිටියේ රැඳී සිටීමට හේ වාසනාවන්ත විය.

    එම කඩුල්ල දැවී යෑමත් සමඟ එතෙක් යළිත් තරගයට පිළිපන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. එය බංග්ලාදේශ ඉනිමට කෙතරම් බලපෑමක් එල්ල කළේද කිවහොත් දිවා ආහාරය සහ තේ පානය දක්වා යවන ලද පන්දුවාර 27 දී ප්‍රතිවාදී පිතිකරුවන්ට රැස් කිරීමට අවස්ථාව ලබා දුන්නේ ලකුණු 62 ක් පමණි.

    නිරන්තයෙන්ම කවර් සහ පොයින්ට් කළාප අතරින් වූ හිඩැස උපයෝගී කර ගනිමින් පන්දුවට පහර දුන් නායක මොමිනුල් හක්, ඉන් 11 ක්ම හතරේ පහර බවට පරිවර්තනය කර ගත්තේය. පා ඉන්න ප්‍රදේශයට පැමිණෙණ පන්දුවවලට කෙටි ලකුණු ලබා ගත් වමත් කුඩා පිතිකරුවාගේ ලකුණු 127 කින් සමන්විත ඉනිම නිමාවට පත්වූයේද හතරේ පහර ලබාගත් කළාපයට පන්දුව යැවීමට ගත් උත්සාහයේදීය.

    ධනංජය ද සිල්වාගේ දඟ කැවී ආ පන්දුව පොයින්ට් සහ කවර් කළාපය අතරින් වූ හිඩැස හරහා යැවීමට එල්ල කරන ලද පහර වැරදී යෑමෙන් එය උඩ පන්දුවක් ලෙස ස්ලිප් ස්ථානයේ සිටි ළහිරු තිරිමාන්න රැක ගැනීම නිසා බංග්ලාදේශ නායකයාගේ ඉනිම නිමාවට පත්විය.

    මිනිත්තු 90 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී තරගය නතර කිරීමට විනිසුරුවන්ට සිදුවීම නිසා තෙවැනි දිනය වන හෙට (23 දා) දිනයේදී තරගය පෙ.ව. 9.45  ට ආරම්භ කෙරෙනු ඇත.

    text by – sl cricket

  • Sl v Ban Test:  බංග්ලාදේශය ප්‍රබල තත්ත්වයක

    Sl v Ban Test: බංග්ලාදේශය ප්‍රබල තත්ත්වයක

    වේග පන්දු යවන්නන්ට උචිත වන පරිදි තණතීරුව සකස් කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට සැලසුම් සැකසුවද කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කර දමනා විට ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 302 ක් වශයෙන් ප්‍රබල ස්ථාවරත්වයකට රැගෙන ඒමට සමත්වී සිටියහ.

    වේග පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වනු ලබන දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වුවද බලාපොරොත්තු වුණු තරම් සේවයක් ලබා දීමට ඔවුහු අසමත් වූහ. යම්තාක් දුරට සාර්ථක වූයේ නම් ඒ කඩුලු 2 ක් දවා ගත් විශ්ව ප්‍රනාන්දු පමණි.

    ඉතාමත් සුභවාදී අයුරින් පන්දුවට පහර එල්ල කළ බංග්ලාදේශ පිතිකරුවෝ දිනය අවසනදී පන්දුවාරයකට 3.5 කට ආසන්න (3.35) ක දළ ලකුණු වේගයක් රඳවා තබා ගත්තේ අපේක්ෂිත තරම් සහයෝගයක් තණතීරුවෙන් නොලැබී යෑම හේතුවෙනි.

    බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වුණු ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ශ්‍රී ලංකාවට එරෙහිව සිය පෞද්ගලික හොඳම ඉනිම වාර්තා කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව පෝෂණය කරද්දී තවමත් 22 හැවිරිදි වියේ පසුවන නජ්මුල් හොසේන් දිනය අවසන් වීමට පෙර තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත්වූවේය.

    මුහුණ දුන් 239 වැනි පන්දුවේදී ශතකය සපුරාගත් වමත් පිතිකරුවා දිනය අවසන් වන විට ලකුණු 126ක් රැස් කරගෙන සිටියේ පන්දු 288 කට මුහුණ දෙමිනි. කිසිම කලබලයක් නොපෙන්වූ නජ්මුල් මිනිත්තු 382 ක් පුරා ඇදී ගිය තම ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කරගත්තේය. මෙතෙක් එල්ල කරන ලද එකම හයේ පහර ධනංජය ද සිල්වාගේ පන්දුවකට එල්ල කළ නජ්මුල් ඔහුගේ පන්දුවකටම දවා ගැනීම සඳහා කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත ලබා දුන්නේය. පිත්තේ දාරයේ වැදී කඩුල්ල පිටුපසට ඇදී ගිය පහසු උඩ පන්දුව දික්වැල්ල රැක ගැනීමට සමත්වූයේ නම් නජ්මුල්ගේ ඉනිම ලකුණු 28 දී නිමාවට පත් වනු ඇත.

    දෙවැනි පන්දුවාරයේදීම ආරම්භක පිතිකරු යසීෆ් හසන් ලකුණු නොලබා දැවී යෑම නිසා අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නජ්මුල් හොසේන්, සෙමෙන් සෙමෙන් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමේ කාර්යයේ නිරත විය. දිවා ආහාරය සඳයා යවන ලද පන්දුවාර 26 දී ඉක්බාල් සමඟ එක්වුණු නජ්මුල් ලකුණු 94 ක සම්බන්ධතාවයක් පවත්වමින් දිවා භෝජනයේදී තරගය නිමා කරන විට ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 106 ක් දක්වා ඉහළ දැමූහ.

    එම සම්බන්ධතාවයේදී නජ්මුල්ට වඩා ස්ථාවරව පන්දුවට පහර දුන් ඉක්බාල් ලකුණු 65 ක් රැස් කරමින් තම ටෙස්ට් තරග දිවියේ 29 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. දිවා ආරයෙන් පසුවද ඉතා හොඳින් පන්දුවට පහර දුන් මෙම පිතිකරුවන් යුගලය අතරින් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 90 සීමාවට ඉක්බාල් අවතීර්ණ වුවද ඊට පන්දු 2 කට පසු විශ්වගේ ගොදුරක් ලෙසින් දැවී ගියේ 10 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනි තිබියදීය.

    අනතුරුව පිටියට පිවිසි නායක මොමිනුල් හක්ද සිය 10 වැනි ටෙස්ට් අර්ධය සම්පූර්ණ කර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 80 අවසන් වත්ම නව පන්දුව ලබා ගත්තද තරගයේ අවසානය වන තෙක්ම ලකුණු ලබා ගැනීමට වඩා කඩුලු ආරක්ෂා කර ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ මුල් තැන දුන්හ.

    හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Text by – Sl cricket