Category: සුපිරි Sports

  • ශ‍්‍රී ලංකාව එක්දින තරගාවලියත් පරාදයි

    ශ‍්‍රී ලංකාව එක්දින තරගාවලියත් පරාදයි

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය.

    වනිඳු හසරංගගේ වාර්තාගත ලකුණු 80 ත් සමඟ 7 වැනි කඩුල්ල වෙනුවෙන් අෂේන් බණ්ඩාර සමග එක්ව ගොඩ නංවන ලද ලකුණු @ ක සම්බන්ධතාව හේතුකොට ලකුණු 275 ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායම හමුවේ ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණත් කොදෙව් පිතිකරුවන් මෙල්ල කර ගැනීමට නොහැකි වීම මත අවසන් තරගයද ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය.

    ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් විසින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ජයග්‍රහණය සනාථ වද්දී කොදෙව් ලකුණු පුවරුවේ කඩුලු 5 ක් සහ පන්දු 9 ක් ඉතිරිව තිබිණ.

    ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව පහර දෙමින් සිටියදී යළිත් මැද පෙළ අසාර්ථක භාවයට පත් වුණු නමුත්, සුපුරුදු පරිදි පසු පෙළින් පුණර්ජීවනයක් ලබා දීමට වනිඳු හසරංග සහ අෂේන් බණ්ඩාර සමත්විය. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය හේතු කොට ගෙන ප්‍රතිවාදී කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ දැවැන්ත පහරවල් සහිත පිතිකරුවන්ට වැඩි වගකීමක් භාර වීමයි. කෙසේ වෙතත් පන්දු යැවීමේදී කොදෙව් පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වීම කැපී පෙනෙන්නක් විය.

    පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා පිලට මහත් වදයක් වුණු ආරම්භක පිතිකරුවනු වන එවින් ලුවිස් සහ නිකලස් පූරාන්ව ඉක්මනින් දවා ගැනීමට පන්දු යවන්නන් සමත් වුවත් අඛණ්ඩව 6 වැනි වතාවටත් ලකුණු 50 සීමාව ඉක්මවා ලමින් ලකුණු 64 ක් ලබාගත් ෂායි හෝප් සහ වසර 5 කට පසුව ශතකයක් රැස් කිරීමට ඩැරන් බ්‍රාවෝ සමත්වීම, තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට අතහැර දැමීමට ප්‍රධාන හේතු කාරක වූහ.

    පන්දු 132 කින් සමන්විත වුණු බ්‍රාවෝගේ ලකුණු 102 ක ඉනිම ඔහුගේ සිව්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වශයෙන් සටහන් විය. 2016 වසරෙන් පසු ශතකයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටි වමත් පිතිකරුවා ලකුණු 50 සීමාව ඉක්මවා ගියේදී වසර 2 කට පසුව වීම විශේෂත්වයකි.

    නායක කිරන් පොලාර්ඩ් සමඟ 5 වැනි විකට්ටුව වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 80 ක් එක් කළ බ්‍රාවෝ යග්‍රහණයට ලකුණු 26 ක් තිබියදී දැවී ගිය නමුත් ඒ වන විටත් පන්දු 23 ක් සහ නායකයා කඩුල්ලේ රැඳී සිටීම මත කොදෙව් ජයග්‍රහණය අසීරු නොවීය.

    ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට ධනුෂ්ක ගුණතිලක සහ නායක දිමුත් කරුණාරත්න සමත් වුවත් ඔවුන් දෙදෙනාම අර්ධ ශතක හෝ ඉක්මවාලීමට නොහැකි විය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම ලකුණු 300 සීමාව කරා යෑමට අපොහොසත් වුණු ප්‍රධාන කරුණ බවට පත්විය.

    ලකුණු 151 කට කඩුලු 6 ක් වැටී තිබියදී අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංගගේ ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වඩා අසීරු වන්නට ඉඩ තිබිණ. ජේසන් හෝල්ඩර් යවන ලද අවසන් පන්දුවාරයේදී හතරේ පහර 3 ත් හයේ පහරත් සමඟ ලබා ගන්නා ලද ලකුණු 20 ත් සමඟ ශ්‍රී ලංකාවට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවකාශ විවර විය.

    පන්දු 60 කදී වාර්තා වුණු වනිඳුගේ නොබිඳුණු ලකුණු 80 ක ඉනිම ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 8 ස්ථානයේ පන්දුවට පහර දී තිබෙන පිතිකරුවකු විසින් වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවේ ශ්‍රී ලංකා වාර්තාව බවට පත්විය. මීට පෙර එම වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ලකුණු 73 ක් ලබා සිටි නුවන් කුලසේකර විය.  

    වනිඳුගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 ඇතුළත ලකුණු 63 ක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණු අතර එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් වනිඳුගේ පිත්තෙන් එල්ල කර තිබුණේය. 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 123 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔහුට අනගි සහායක් ලබා දුන් අෂේන් බණ්ඩාර පන්දු 74 කදී හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55 ක් ලබා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු 21 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා පිල දෙදින පුහුණු තරගයකට කූලිජ්හිදී සහභාගිවීමට නියමිතය. එම පුහුණු තරගය 17 සහ 18 යන දෙදිනදී පැවැත්වෙනු ඇත.

    Text by sri lanka cricket

  • අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

    අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

    පිට පිටම දෙවැනි වතාවටත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් විශාල සම්බන්ධතාවයක් පැවැත්වීමට එවින් ලුවිස් සහ ෂායි හෝප් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (13 දා) සමත්විය.

    පන්දු 225 කදී ගොඩනැංවුණු ලකුණු 192 ක සම්බන්ධතාවය හේතුවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම තවත් පන්දු 2 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගැනීමට හැකියාව ලැබිණ. 2014 වසරෙන් පසු කොදෙව් කණ්ඩායමක් පිට පිටම තරග 2 ක් ජයගනු ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ලද මෙම ජයග්‍රහණයත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය 2-0 ක් වශයෙන් ජයගැනීමටද සත්කාරක කණ්ඩායමට අවස්ථාව උදාවිය.

    ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයෙන් සත්කාරක කණ්ඩායම කිසියම් ආධිපත්‍යයක් ගොඩ නඟා ගැනීමට සමත් වුවත් පන්දු 8 ක් තුළ ආරම්භක පිතිකරුවන් යුගලය දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමත් සමඟ තරගය ජය යළිත් වරක් දෙපිළටම දෝලනය විය. ඒ අනුව යමින් තවත් කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබීම මත අවසන් පන්දු 18 ඇතුළත ලකුණු 31 ක් ලබා ගැනීමේ අභියෝගය කොදෙව් පිල හමුවේ තිබිණ.

    කෙසේ වෙතත් අවසන් පන්දුවාරය වන විට එය පන්දු 6 කදී ලකුණු 9 ක් වශයෙන් සටහන් වූ අතර නුවන් ප්‍රදීප් විසින් යවන ලද පළමු පන්දු 2 ට හතරේ පහර 2 ක් සහ ඊළඟ පන්දුවට ලකුෂණක් ලබා ගැනීමට නිකලස් පූරාන් සමත්වීම නිසා ශ්‍රී ලංකා පිලට අවසන් මොහොතේ පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

    ජයග්‍රහණය සඳහා ප්‍රධානම අඩිතාලම එක් වුණු ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය අතරතුර ලක්ෂාන් සඳකැන්ට ලබා දුන් උඩ පන්දුවත් දුවද්දී දවා ගැනීමේ අවස්ථාවත් හැරුණු විට එතරම් බලපෑමක් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් විය. ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිලේ ආරම්භක පිතිකරු යුගලයක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වුණු මෙම සම්බන්ධතාවය ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු සිව්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

    වැඩිම ලකුණු ලාභියාවුණු එවින් ලුවිස් පන්දු 121 කදී ලකුණු 103 ක් රැස් කරන ලද්දේ සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කර ගනිමිනි. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ලුවිස් පිදුම් ලැබීය.

    අනෙක් අර්ධ ශතකලාභියා වූ හෝප් ගෙන බැලූ විට එය ශ්‍රී ලංකා පිලට එරෙහිව මෑත කාලීනව පිට පිටම රැස් කරන ලද 5 වැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය. පන්දු 108 කදී ගොඩනැංවුණු හෝප්ගේ ලකුණු 84 ක ඉනිම සඳහා ඔහු හතරේ පහර 6 ක් පමණක් එල්ල කළේය.

    42 වැනි පන්දුවාරය වන විට කඩුලු 6 කට ලකුණ් 204 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට වනිඳු හසරංග විසින් වේගවත් ලකුණු 47 හේතුවෙන් 273 ක් වැනි තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව ශ්‍රී ලංකාවට විවර වූවේය. පන්දු 31 කදී වාර්තා වුණු වනිඳුගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2  ක් ඇතුළත් විය.

    49 වැනි පන්දුවාරයේදී හසරංග දැවී ගියද ඔහුගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 51 ක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූයේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකය. ඉදිරි පෙළ පිතිකරුවන් දැවී යද්දී සිය ප්‍රහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දුන් ධනුෂ්ක ශතකයට ලකුණු 4 ක් තිබියදී දැවී ගියේය. පන්දු 96 කදී වාර්තා වුණු ගුණතිලකගේ සුවිශේෂ ඉනිම ශ්‍රී ලංකා ඉනිමේකොඳු නාරටිය බවට පත්වූවේය. එම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගැනීමට ගුණතිලක් සමත්වූවේය.

    ලකුණු 50 ට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී ගුණතිලකට එක් වුණු දිනේෂ් චන්දිමාල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 136 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ගොඩ දැමුවේය. මැද පෙළ ශක්තමත් වුණු චන්දිමාල් ඉනිම සටහන් වූයේ පන්දු 98 කදී ලකුණු 71 ක් වශයෙනි.

    text by sl cricket
  • කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි !

    කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි !

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත.

    ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එහෙත් 2016 වසරේ සිට මේ දක්වා දෙරට අවස්ථා 5 කදී මුණ ගැසී තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්ව සිටියි. දෙරට අතර ආරම්භ වන මෙම ද්වී පාර්ශ්වික තරගාවලියේ සත්කාරක වාසිය භාවිතයට ගනිමින් එම පරාජිත ගමනට තිත තැබීමේ අටියෙන් කොදෙව්වන් තරග බිමට අවතීර්ණ වනු ඇත.

    එමෙන්ම පෙර පැවැති විස්සයි-20 තරගාවලිය ජය ගැනීමට සමත්ව සිටීම කොදෙව් කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ නංවන්නක් බවට පත්ව තිබෙන අතර එය ඔවුන්ට හිමි අමතර වාසියකි. තත්ත්වය එවන් තලයක පවතිද්දී කොදෙව්වන්ගේ හිසරදය බවට පත්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේ. අවසන් වුණු විස්සයි-20 තරගාවලියේදී පමණක් නොව මීට වසරකට පමණ ඉහත කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග වැදි එක්දින තරගාවලියේදීද වැඩි දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක තරගාවලි ජයක් කරා රැගෙන යෑමට වනිඳු හසරංග සමත්වූවේය.

    අන්තර්ජාතක ශ්‍රේණිගත කිරීමේ තමන් රැඳී සිටින ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තරගාවලියේ ජය පරාජය බලපෑමක් සිදුනොකරන නමුත් දෙරට අතර පවතින ප්‍රසාද ලකුණු පරතරයේ වෙනසක් පමණක් සිදුවනු ඇත. අදාළ ශ්‍රේණිගත කිරීමේදී ප්‍රසාද ලකුණු 85 ක් ලබා සිටින ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටද ප්‍රසාද ලකුණු 74 ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානයේ සිටද අද තරගයට අවතීර්ණ වනු ලබති.

    ප්‍රසාද ලකුණු 11 ක පරතරයක් සහිතව ආරම්භ වන තරගාවලියේ සියළුම තරග ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්වා ඉහළ යනු ඇත. එසේ වුවහොත් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව 74 සිට 72 දක්වා පහළ යනු ඇත. තත්ත්වය ඊට හාත්පසින්ම හෙවත් තරාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට කොදෙව්වෝ සමත්වුවහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 78 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා පහළ බසිනු ඇත.

    විස්සයි-20 තරගාවලිය මඟ හැරුණු දසුන් ශානකද මේ වන විටත් කණ්ඩායම සමඟ එකතු වී සිටියද පළමු තරගය සඳහා සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත. පළමු තරගයේදී දිමුත් කරුණාරත්න නායකත්වය දරමින් කණ්ඩායම හා එක්වනු ලබන නමුත් දෙපිළේ පිතිකරණ ශක්තිය සංසන්දනයේදී කොදෙව් පිල ඉදිරියෙන් සිටීම පිළිගත යුතුය. එහෙත් විස්සයි-20 තරගාවලියේදී ජාත්‍යන්තර වරම් දිනාගත් පැතුම් නිස්සංක සහ අෂේන් බණ්ඩාර ද පිතිකරුවන් වශයෙන් දක්ෂතා දැක්වීමට සමත්වීම, ශ්‍රී ලංකා කඳවුරෙන් සුභදායක ලකුණකි.

    ශ්‍රී ලංකාසංචිතය – දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක.

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – කිරන් පොලාර්ඩ් (නායක), ඩැරන් බ්‍රාවෝ, ෂායි හෝප්, ෆේබියන් ඇලන්, ජේසන් හෝල්ඩර්, අකීල් හොාසේන්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, කයිල් මේයර්ස්, ජේසන් මොහොමඩ්, නිකොලස් පූරාන්, රොමාරියෝ ෂෙපර්ඩ්, කෙවින් සින්ක්ලෙයාර්.

  • අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

    අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

    පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය.

    මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

    ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගියද වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාර 12 දී ලකුණු 20 ක් ලබාගැනීමේ අභියෝගය කොදෙව් කණ්ඩායම මත පැටවිණ. එහෙත් අකිල ධනංජය විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේදී දැවැන්ත හයේ පහර 3 ක් එල්ල කළ ෆේබියන් ඇලන්, ශ්‍රී ලංකාව අතේ තිබූ ජයග්‍රහණය උදුරා ගත්තේය. ජයග්‍රාහී හයේ පහර ඇලන්ගේ පිත්තෙන් එල්ල වන විට කොදෙව් ලකුණු පුවරුවේ පන්දු 6 ක් සහ කඩුලු 3 ක් ඉතිරිව තිබිණ.

    පිත්තෙන් දක්වන ලද දක්ෂතා වලට අමතරව පන්දු යැවීමේදී සිය පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමටද ඇලන් සමත්වූවේය. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 න් 3 ක්ම පවර් ප්ලේ අවස්ථාවේදී යවන ලද ඒවා විය. එම දක්ෂතාවය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 27 ක් වන අතර එහිදී කඩුලු 3 ක්ම දැවී යෑම දැවැන්ත පාඩුවක් විය. තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගයේ වීරයා සම්මානයෙන්ද ෆේබියන් ඇලන් පිදුම් ලැබීය.

    පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු 36 දී කඩුල්ලක් දැවී ලකුණු 53 ක් රැස් කරමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වුවද වනිඳු හසරංගගේ පන්දු යැවීමට කැඳවීමත් සමඟ යළිත් වරක් කොදෙව් පිතිකරුවෝ පසුපසට තල්ලු වූහ. එහිදී සාර්ථක වුණු වනිඳු එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා දීමට සමත්වූවේය. සිය සහායකයා ලබාගත් ආරම්භය එලෙසින්ම පවත්වාගත් චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් පිට පිට පන්දු දෙකකදී රොව්මන් පවෙල් සහ ඩ්වයින් බ්‍රාවෝගේ කඩුලු ද සමඟ දවාගත් කඩුලු 3 ත් දුෂ්මන්ත චමීර දවාගත් කඩුලු 2 ත් හේතුවෙන් කොදෙව් හඹා යෑමට දැඩි බලපෑමක් එල්ල කළේය. පළමු තරගයේ පරිදිම දැවැන්ත ප්‍රහාරයකට ලක් වුණු අකිල ධනංජයගේ පන්දුවාර 4 දී ලකුණු 52 ක් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියද 5 වැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ අෂේන් බණ්ඩාර ලකුණු 85 ක් රැස් කරමින් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූහ. පන්දු @ කදී වාර්තා වුණු මෙම නොබිඳුණු සම්බන්ධතාවය වාර්තා වූයේ විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් 5 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සබඳතාවය ලෙසිනි. එම සම්බන්ධතාව මත නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 131 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව විවර විය.

    පළමු තරග 2 ට ම වඩා මන්දගාමී වුණු කූලිජ් තණතීරුවේදී ඇලන්ට අමතරව වැඩි වාසි ලබා ගත් කෙවින් සින්ක්ලෙයාර් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීම අඩපණ කළේය. පන්දු යැවී ෆේබියන් ඇලන් පෙරළා රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන් පෙර තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු ගුණතිලකගේ ඉනිම ලකුණු 9 කදී නිමාවට පත්විය.

    එසේ ලබා ගත් සාර්ථක ආරම්භය 10 වැනි පන්දුවාරය වන තෙක්ම රඳවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ලකුණු පුවරුව ලකුණුඅ 47 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් චන්දිමාල්ට එක් වුණු අෂේන් බණ්ඩාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 44 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. බණ්ඩාර සමඟ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් හතරේ පහර 3 ක් සමඟින්පන්දු 46 කදී ලකුණු 54 ක් ලබා සිටියේය.

    දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාගණයේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

  • කොදෙව් පිලට එරෙහි ‘ටෙස්ට් සටනට’ පැතුම් නිස්සංකවත් නම් කරයි

    කොදෙව් පිලට එරෙහි ‘ටෙස්ට් සටනට’ පැතුම් නිස්සංකවත් නම් කරයි

    විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරු නිස්සංක, තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු සහ දෙවැනි විස්සයි-20 තරග දෙකේදී ලකුණු 30 සීමාව ඉක්මවාලමින් ලකුණු ලබා ගැනීමට සමත්වූවේ විස්සයි-20 තරග අංශයටද වඩාත් සුදුසු බව පෙන්වා දෙමිනි.

    කෙසේ වෙතත් නම් කරන ලද ටෙස්ට් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාද එක්ව සිටියි. ඉකුත් දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජයට මේ දක්වා පැවැති සියලුම ජාත්‍යන්තර තරග වලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවිය. ඒ අනුව ධනංජය ද සිල්වාට අමතරව ළහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු අද අළුයම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියහ.

    මෙම ක්‍රීඩකයන් 5 දෙනා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එක්වන අතරතුරදී එක්දින සහ විස්සයි-20 තරග සඳහා පිටත්ව ගිය ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ ඩිල්ෂාන් මදුශංක එක්දින තරගාවලිය අහවර වීමත් සමඟ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටිති.  

    ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්.

  • T20: ශ්‍රී ලංකාව ගරුත්වය බේරා ගනී – ලකුණු 43ක පහසු ජයක්

    T20: ශ්‍රී ලංකාව ගරුත්වය බේරා ගනී – ලකුණු 43ක පහසු ජයක්

    පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා) හැකියාව ලැබිණ.

    මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමතැන් ගත්තේය. එබැවින් දෙරට අතර ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය වඩාත් උණුසුම් මුහුණුවරකින් හෙවත් අවසන් මහ තරගයක ස්වභාවයකින් පැවැත්වෙනු ඇත.

    මන්දගාමී මතුපිටක් වුණු කූලිජ් තණතීරුවේදී ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය හමුවේ පන්දුවාර 18 කුත් පන්දු 4 කදී රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 117 ක් පමණි. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පෙරගමන්කරුවන් වුණු වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්,අකිල ධනංජය සහ ධනුෂ්ක ගුණතිලක සත්කාරකයින්ගේ දැවී ගිය කඩුලු 10 න් 8 කට වගකියූහ.

    සංචාරක පිලේ දඟ පන්දු ඉතා හොඳින් පන්දු යැවූ නමුත් කොදෙව් කණ්ඩායම ලබා ගත් ලකුණු 117 න් ලකුණු 68 ක්ම වේග පන්දු යවන්නන් හමුවේ රැස් කර ගැනීමට සමත්වීම කැපී පෙණින. එම ලකුණු 68 න් ලකුණු 41 ක්ම තිසර පෙරේරා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 2 දී උදුරා ගැනීම විශේෂත්වයක් විය.

    පෙර තරගයේදී කිරන් පොලාර්ඩ් හමුවේ දැඩි ප්‍රහාරයක් ලක් වුණු අකිල ධනංජය අද දිනයේදී කොදෙව් පිතිකරුවන් දැඩි පීඩනයකට ලක් කරමින් පන්දු යැවීම කැපී පෙනුණි. තම පන්දුවාර 4 ලකුණු 13 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් නිමා කිරීමට සමත් වූ අකිල එවින් ලුවිස්ගේ කඩුල්ලද දවා ගත්තේය.

    වසර 2 කට පසු ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණව සිටින ක්‍රිස් ගේල් හයේ පහරක් සමඟින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළද වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ අෂේන් බණ්ඩාර රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන් ගේල්ගේ ඉනිම ලකුණු 16 කදී නිමාවට පත්විය. ඊට ලකුණු 3 කට පස ලෙන්ඩ්ල් සිමන්ස්ව දවා ගැනීමට හසරංග සමත්වීමත් සමඟ පීඩනය සත්කාරක පිල වෙත දෝලනය විය.

    පන්දු යැවීමේ වෙනසක් සිදුකරමින් හදිසියේම 11 වැනි පන්දුවාරය යැවූ දුෂ්මන්ත චමීර එම පන්දුවාරය ඇතුළතදී ඩ්වේන් බ්‍රාවෝ සහ නිකොලොස් පූරාන්ගේ කඩුලු දවා ගැනීමට සමත්වීම, පහසු ජයග්‍රහණයක් ලැබීමේ හැරවුම් ලක්ෂය බවට පත්විය. එහෙත් සටන අත් නොහළ නායක කිරන් පොලාරඩ් සහ ඔබෙඩ් මැකෝයි කණ්ඩායම මුහුණ දී සිටි අසීරුතාවයෙන් ගොඩ ගැනීමට වෙහෙසක් ගත් නමුත්, තෙවැනි දඟ පන්දු යවන්නනා ලෙසින් කණ්ඩායමට පැමිණ සිටි ලක්ෂාන් සඳකැන් ඊට හරස් විය.

    කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඔබෙඩ් මැකේගේ කඩුල්ල සඳකැන් දවා ගැනීමට සමත්වීමත් සමඟ ඔහුගේ පන්දු යැවීම ලකුණු 10 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. තම පන්දුවාර 4 දී ලකුණු 17 ක් පමණක් ලබා දී ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකු සහ පන්දුවට පහර දීමේදී පන්දු 11 දී ලකුණු 19 ක් ලබා ගත් වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

    නිවැරදි පන්දුව තෝරා පහර එල්ල කිරීම,  ස්ථාන ගත කිරීම සහ කඩුලු අතර දිව යෑම ආදී පිතිකරණයේ සාර්ථකත්වය සඳහා සෘජුවම බලපාන සියල්ල විශිෂ්ඨ මට්ටමක පැවැතීම නිසා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක් රැස් කිරීමට ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක සමත්විය. ශ්‍රී ලංකා ජයග්‍රහණයට එක් වුණු සාර්ථක පදනම බවට පත් වුණු එම සම්බන්ධතාවය සඳහා පන්දු 62 ක් පමණක් වැය විණ.

    අවසන් වරට පැවැති එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු ගුණතිලක, එම රිද්මය එලෙසින්ම පවත්වා ගනිමින් විස්සයි-20 තරග දිවියේ තෙවැනි ර්ධ ශතකය වාර්තා කර ගත්තේය. පන්දු 42 කින් සමන්විත වුණු ධනුෂ්කගේ ලකුණු 56 ක ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් වී තිබිණ.

    නිරෝෂන් දික්වැල්ල වෙනුවට ධනුෂ්ක සමගින් ඉනිම ඇරැඹි පැතුම් නිස්සංක පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 56 ක් රැස් කිරීමට දායකත්වය ලබා දුන්නේය. මෙතෙක් තරගාවලියේ වැඩිම ආකර්ෂණයක් දිනා සිටින ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්ව සිටින පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 23 කදී ලකුණු 37 ක් ලබා ගත්තේය.

    පන්දු 4 ක් ඇතුළත මොවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ඩ්වේන් බ්‍රාවෝ සමත්වීම, ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් වන්නට විය. මන්ද යත් පළමු පන්දුවාර 10 ඇතුළත ඔවුන් දෙදෙනා ලකුණු 94 ක් රැස් කිරීමට සමත් වුවත් ඊළඟ පන්දුවාර 10 ඇතුළතදී ශ්‍රී ලංකා පිලට රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 66 ක් පමණක් වීම හේතුවෙනි. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි භාගයේදී වනිඳු හසරංග විසින් එල්ල කරන ලද හතරේ පහර 3 ත්, අෂේන් බණ්ඩාර විසින් එල්ල කරන ලද හයේ පහරත් නොවන්නට එම පන්දුවාර 10 ඇතුළතදී එකම හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්වූහ.

    දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි-20 තරගය ලබන 08 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් පිටියේදීම පැවැත්වෙනු ඇත.

    text by sri lanka cricket
  • කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක්

    කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක්

    විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව තෙවැනි පිතිකරුවා බවට පත්වුණු කිරන් පොලාර්ඩ්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (04 දා) අළුයම අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒසමඟම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය.

    ඇන්ටිගුවාහි පැවැති මෙම තරගයේදී ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සත්කාරක කණ්ඩායමේ වැඩි හරියක්ම වාර්තා වූයේ හයේ පහර හෝ කඩුලු වැටී යෑම් විය. පන්දු 41 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබියදී කොදෙව් පිල ජය ගන්නා විට ඉනිමේ වාර්තා කරන ලද ලකුණු 134 න් ලකුණු 78 ක් හයේ පහර වලින් (6×13) වාර්තා වීම කැපී පෙනුණි. හතරේ පහර 6 ක්ද වාර්තා වුණු කොදෙව් ඉනිමේ අතිරේක ලකුණු 09 හැරුණු විට ලකුණු 23 ක් පමණක් කඩුලු අතර දිව යමින් ලබාගෙන තිබුණි.

    ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී වේගවත් ලකුණු 52 ක් රැස් කිරීමට එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සීමන්ස් සමත්විය. එහෙත් සිව්වැනි පන්දුවාරය යැවූ අකිල ධනංජය විසින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීමත් සමඟ කොදෙව් හඹා යෑම තරමක් තැතිගන්වන ස්වභාවයක් ඉසිලීය.

    ප්‍රථමයෙන්ම එවන් ලුවිස් දවා ගත් අකිල, අනතුරුව පැමිණි ක්‍රිස් ගේල්ව කඩුල්ල මුවා කිරීමේ වරදකටද, නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙන් උප නායක නිකලස් පූරාන්ව දවා ගැනීමට සමත්වීම හේතුවෙන් පළමු වතාවට කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවේය. පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැන නැගුණු ගැටළුව නිරාකරණය කිරීමෙන් පසු අකිල සහභාගිවුණු පළමු ජාත්‍යන්තර තරගය බවට පත් වුණු මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනෙයි.

    ඊට පන්දු 8 කට පසු නිකොලොස් පූරාන්ව දවා ගැනීමට වනිඳු හසරංග සමත්වීමත් සමඟ තරගයේ පාලනය ශ්‍රී ලංකා පිල වෙත නතු වුණු නමුත් අනතුරුව පිටියට පිවිසි කිරන් පොලාර්ඩ්ගේ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් සියල්ල කොදෙව් පිලේ වාසියට හැරවිණ. තරගයේ හය වැනි පන්දුවාරය යැවූ කඩුලු ත්‍රිත්ව ලාභී අකිල ධනංජයට එරෙහිව හයේ පහර 6 ක් එල්ල කළ පොලාර්ඩ් විස්සයි-20 තරග අංශයේ එවැනි හපන්කමක් කළ ලොව තෙවැනි පිතිකරුවා බවට පත්විය. පොලාර්ඩ් පෙර දකුණු අප්‍රිකානු පිතිකරු හර්ෂල් ගිබ්ස් සහ ඉන්දීය පිතිකරු යුවරාජ් සිං පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කර ඇති පිතිකරුවෝ බවට පත්ව සිටිති.

    පොලාර්ඩ්ගේ එම අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසනදී ලකුණු 98 ක් රැස් කිරීමට කොදෙව් පිලට අවස්ථාව උදා වූ අතර එය නව විස්සයි-20 වාර්තාවක් ලෙසින් සටහන් විය. හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව පොලාර්ඩ් දැවී යන විට පන්දු 11 කදී ලකුණු 38 ක් රැස් කරගෙන සිටියේය. එම දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ෆේබියන් ඇලන්ව පළමු පන්දුවෙන්ම දවා ගත් හසරංග ද කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවක් නිර්මාණය කරගත් නමුත් ඊළඟ පන්දුව සඳහා මුහුණ දුන් ඩ්වේන් බ්‍රාවෝ ආරක්ෂා වූවේය.

    නුවන් ප්‍රදීප් විසින් යවන ලද 14 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට ජේසන් හෝල්ඩර් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ජයග්‍රහණය සනාථ වන විට කඩුලු 6 ක් දැවී ගොස් තිබුණි. තරගය හමාර වන විට පන්දු 24 කට මුහුණ දී සිටි හෝල්ඩර් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් ස ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 04 ක් රැස් කරගෙන සිටියහ.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 එක් කිරීමට නිරෝෂන් දික්වැල්ල සහ පළමු ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සමත්විය. දේශීය තරග පිටියේ මෙන්ම සංවර්ධන සහ ඒ තරග සංචාරයන්හි හොඳින් ලකුණු අතර සිටි පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 39 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 34 කදී ගොඩනැංවුණු පැතුම්ගේ ඉනිම හැරුණු කොට වැඩිම ලකුණු ලාභියා වූයේ නිරෝෂන් දික්වැල්ල (33) පමණි. ඒ හැරුණු විට සෙසු එකම පිතිකරුවකු ලකුණු 12 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ.

    ශ්‍රී ලංකා පිල මෙල්ල කිරීම සඳහා කොදෙව් නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගී කරගත් නමුත් තමන් පන්දු යැවීමෙන් වැළකී සිටියේය. නායකයා තැබූ විශ්වාසය අකුරටම ඉටු කළ කොදෙව් පන්දු යව්නන්න අතරින් ඔබෙඩ් මැකෝයි ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගනිද්දී සෙස්සෝ සියල්ල එක් කඩුල්ල බැගින් දවා ගත්හ. කොදෙව් පන්දු යවන්නන් තරගයේ පාලනය කෙසේ රඳවා ගත්තේද කිවහොත් අවසන් පන්දුවාර 10 ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල කර තිබුණේ හතරේ පහර 3 ක් පමණි.

    පැතුම් නිස්සංකට අමතරව මෙම තරගයේදී අෂේන් බණ්ඩාරද ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත්වූ අතර ඔහු ලකුණු 10 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවූවේය. වැඩිම අත්දැකීම් සම්භායක් ඇති නායක මැත්ව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට නිසි ලෙන පන්දුව ස්ථානගත කිරීමට නොහැකිවීම මත අඩු ලකුණුවලට දැවී යෑම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් බවට පත්විය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය මෙම මස 06 වැනිදා කූලිජ්හිදීම පැවැත්වේ.

    Text by – sri lanka cricket
  • අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

    අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය.

    ලකුණු 132 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 3 ම දවා ගනිමින් අකිල මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය. සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී අර්වින් ලුවිස් දවා ගත් අකිල ඊළඟ පන්දුවේදී ක්‍රිස් ගේල්වද තෙවැනි පන්දුවේදී කොදෙව් පිලේ උප නායක නිකොලොස් පූරාන්වද දවා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

    ඒ අනුව මෙය විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු සිව්වැනි කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් විය. අකිලට ප්‍රථම ලසිත් මාලිංග අවස්ථා 2 කදී සහ තිසර පෙරේරා එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්ව දවාගැනීමට සමත්ව සිටිති. ලොව විස්සයි-20 තරග අංශය යටතේ කඩුලු ත්‍රිත්වයක් වාර්තාවුණු 14 වැනි වතාව ලෙසින් අකිලගේ දක්ෂාතව සටහන් විය.

  • ‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’

    ‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’

    කූලිජ්හි ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු විස්සයි-20 තරගය සඳහා තම කණ්ඩායම පූර්ණ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කරයි.

    දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම පළමු විස්සයි-20 තරගය කොදෙව් වේලාවෙන් ප.ව. 8 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (04 දා) අළුයම 3.30 ට ආරම්භ වනු ඇත.

    තරග 3 කින් සමන්විත මෙම විස්සයි-20 තරගාවලිය එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණ ඇතිව තරග වදිනු ඇත. ලොව වැඩිම වාර ගණනකදී විස්සයි-20 ලෝක කුසලාන දිනා සිටින කණ්ඩායම බවට කොදෙව් කණ්ඩායම පත්ව සිටියද මෙම තරගාවලිය සඳහා ඔවුන් අවතීර්ණ වන්නේ ජගත් ශ්‍රේණිගත කිරීමෙහි 10 වැනි ස්ථානයේ සිටය.ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානයේ සිට මෙම තරගයට අවතීර්ණ වනු ඇත‍.

    “දීර්ඝ ගුවන් ගමනකින් පසු මෙහි පැමිණි අපි දින 3 ක නීරෝධායනයෙන් පසු පුහුණුවීම් ආරම්භ කළා. ඇත්තටම ඒ සැසිය ඉතාමත් හොඳ සැසියක් වුණා”යි මිකී ආතර් පවසයි.

    “ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ප්‍රධාන ක්‍රීඩකයින් නොමැතිවීම, නායකයා අහිමිවීම වගේම වේග පන්දු පුහුණුකරු අවසාන මොහොතේ අහිමිවීම අවාසනාවකට සිද්ධ වුණු දේවල්. නමුත් මම හිතන්නේ අපේ ළමයින්ට ඒ හැමදේටම වඩා වැදගත් ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න” යැයි අන්තර්ජාල පහසුකම් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු පවසා සිටියේය.

    සංචාරයට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා සත්කාරක කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් සතුව වැඩි අත්දැකීම් සම්භාරයක් ඇති බව පිළිගත යුතු කරුණක් නමුත්, දෙරට අතර ඉතිහාසය සංසන්දනය කිරීමේදී වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි.

    දෙරට අතර මෙතෙක් පවත්වා ඇති විස්සයි-20 තරග 11 දී අවස්ථා 6 කදී ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වද්දී කොදෙව් පිල තරග 5 ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා පිල අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේද මීට වසරකට ඉහතදී වන අතර එයද කොදෙව් පිලට එරෙහිව පවත්වා තිබීම කැපී පෙනෙයි. තරග 2 කින් සමන්විතව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුතු කොදෙව් පිල සමත්විය. එම තරගාවලියට පෙර දෙපිළ මුණ ගැසී ඇති අවස්ථා දෙකේදීද ජය අත්කර ගැනීමට කොදෙව් පිල සමත්ව ඇති බැවින් පිට පිටම පස්වැනි පරාජයෙන් බේරී සිටීමට නම් ශ්‍රී ලංකා පිලට මෙම තරගයේ ජය අනිවාර්යය වනු ඇත.

    විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානකට වීසා බලපත්‍රය ලැබීම සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව හේතුවෙන් මෙම තරගාවලිය තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙය වනු ඇත. දසුන්ගේ අඩුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තියට කිසියම් බලපෑමක් එල්ල නොකරනවා ම නොවේ.

    “ඇත්තටම කියනවා නම් අපි ඇද හිය නොහැකි තරමට මහන්සි වෙලා පුහුණුවීම් ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන ගියා. අප කණ්ඩායම සතු නිත්‍ය ක්‍රීඩකයින්ට වඩා තරුණ ක්‍රීඩකයින්ගේ ඉදිරියට ඒමට ගන්න උණන්දුව අති විශිෂ්ඨයි” යැයි පවසන ආතර්, “සියල්ලන්ගේම චිත්ත ධෛර්යය අති විශිෂ්ඨයි” යනුවෙන්ද සඳහන් කර සිටියේය.

    ශ්‍රී ලංකාවට එරෙහි සටනට කොදෙව් කණ්ඩායම ඔවුන් සතු සිය බර අවි මෙම තරගාවලිය සඳහා නැවත කැඳවා තිබේ. එහිදී වසර 2 ක කාලයකට පසු ක්‍රිස් ගේල් ද වසර 9 කට පසු  ෆිඩෙල් එඩ්වර්ඩ්වද කැඳවමින් කොදෙව් පිල මෙම තරගාවලියට අවතීර්ණ වී සිටියි. ඊට අමතරව ඩ්වේන් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ්, ජේසන් හෝල්ඩර් සහ ලෙන්ඩ්ල් සීමන්ස් අත්දැකීම් සපුරා සිටින ක්‍රීඩකයින් වේ. මෑතකදී කණ්ඩායමට එක් වුණු නිකලස් පූරාන්, ෆේබියන් ඇලන් සහ කෙවින් සින්ක්ලෙයාර් වැනි ක්‍රීඩකයන්ටද කොදෙව් පිලට වැඩි බලාපොරොත්තු ලබා දෙන්නෝ වෙති.

    මූලික සංචිතය සඳහා නම් කරන ලද රොස්ටන් චේස්, ෂෙල්ඩන් කෝට්‍රල්, ශිම්රොන් හෙට්මියර් සහ ඔෂේන් තෝමස්ට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව මඟ හැරී තිබෙන්නේ පවත්වාගෙන යා යුතු අවම යෝග්‍යතාවය හෝ නොමැතිවීම හේතුවෙනි.

    ඉකුත් තරගාවලි කීපයේදී කණ්ඩායම නියෝජනය කරන ලද පළපුරුදු ක්‍රීඩකයින් වන කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු, දසන් ශානක සහ කසුන් රජිතට කණ්ඩායමට එකතුවීමේ අවස්ථාව මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මදුශංක සහ කමිඳු මෙන්ඩිස් යන නවකයින් කණ්ඩායමට එක් කර තිබේ.

    “පළපුරුද්ද අතින් කණ්ඩායමේ සිටින ඉහළ ක්‍රීඩකයින්ට ලෝක කුසලාන සංචිතයට ඇතුළත්වීම සඳහා මේ තරගාවලිය හොඳ වේදිකාවක් නිර්මාණය කරනවා. ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරන කණ්ඩායමට නම් කළ යුතු හොඳම ක්‍රීඩකයින් 15 දෙනා කවුරුන්ද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට මේ අවස්ථාවේදී මට හැකියාව ලැබෙනවා” යි පවසන මිකී ආතර්, “කණ්ඩායමට පැමිණිලා ඉන්න නවක ක්‍රීඩකයින් කිසිම බයක් සැකක් නැතුව ඔවුන්ගේ දක්ෂතා පෙන්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පැවැති පුහුණු සැසියේදී මේ තරුණ ක්‍රීඩකයින් ඉතා හොඳින් ඔවුන්ගේ පුහුණුවීම් සිදු කළා. ඇත්තම කියනවා නම් මම ඔවුන්ගේ දක්ෂතා ගැන පුදුමයට පත් වුණා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි කණ්ඩායම් තුළ හැඟීම” යි පවසයි.

    ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මදුශංක, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්.

    බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 සංචිතය – කිරන් පොලාර්ඩ් (නායක), නිකලස් පූරාන් , ෆේබියන් ඇලන්, ඩ්වෙන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වර්ඩ්ස්, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, එවින් ලුවිස්, ඔබේඩ් මැකෝයි, රෝමන් පවෙල්, ලෙන්ඩ්ල් සිමන්ස්, කෙවින් සින්ක්ලෙයාර්.

    Text by sl cricket

  • ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට

    ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව විසින් කරන ලද නිර්දේශනයකට අනුව මූඩි මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    උපදේශන පදනම මත මූඩි වසර 3 ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම් ගෙන සිටින අතර ගිවිසුම් ගත දිනයේ සිට දින 300 ක කාලයක් ඔහුට අනිවාර්යය පැවැරුම් ඉටු කිරීමට සිදුවනු ඇත.

    මූඩිගේ රාජකාරි අතරට අනාගත සංචාරක වැඩසටහන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලියේ ව්‍යුහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්යය මණ්ඩලයේ ව්‍යුහය මෙන්ම ඉහළ කාර්යය සාධන සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

    මේ වන විටත් 55 වැනි වියේ පසුවන මූඩි මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන යෑමට සමත්වූවේය.

    “ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මීට පෙරත් කටයුතු කළ ටොම් සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට සමත්ව සිටිනවා. වර්තමාන ගෝලීය ක්‍රීඩාව සම්බන්ධව ඔහු තුළ ඇති දැනුම භාවිතයෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි වටිනාකමක් එක් කරනු ඇති බව මට විශ්වාසයි” යැයි මූඩිගේ පත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

    1999 වසරේදී අවසන් වතාවට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ මූඩිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීමට ප්‍රථම ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව බොහෝ අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. ඒ අතර කැරිබියානු ප්‍රිමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලියේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කිරීම කැපී පෙනෙයි. මීට අමතරව ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරනු ලබන මෙල්බර්න් රෙනගේඩ්ස් සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වෝර්ක්ෂයර් ප්‍රාන්තයේත් ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කර තිබේ.

  • හැමදේම තීන්දු වන්නේ තණතිල්ලට ගිය පසුවයි – දිමුත් කරුණාරත්න

    හැමදේම තීන්දු වන්නේ තණතිල්ලට ගිය පසුවයි – දිමුත් කරුණාරත්න

    ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පූර්ණ සුවය ලබමින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වී සිටියි.

    ඉදිරි තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටින ටෙස්ට් සහ එක්දින නායකයා බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් නොමැති වුවත් තරගාවලියේදී හොඳිල් ලකුණු රැස් කිරීමට තමන්ට හැකියාව පවතින බව විශ්වාස කරන බව පැවැසීය.

    කොදෙව් සංචාරයට පෙර ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවක අදහස් දක්වා සිටි කරුණාරත්න, “නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු කොදෙව් කණ්ඩායම සතු වුවත් ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයින්. විශේෂයෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් සහ පිතිකරුවන් හොඳින් දක්ෂතා අතර පසුවනවා. ඒ වගේම කූලිජ් ක්‍රීඩාංගණයේ තණතීරුවත් වේගවත්. කොහොම වුණත් අපිට පුහුණුවීම් සඳහා සතියක පමණ කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත එහෙ තණතීරුවලට සහ දේශගුණික තත්ත්වයන්ට ඉක්මනට හුරුවීමට අපේක්ෂා කරනවා” යැයි පැවැසීය.

    මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අවසන් වරට එතෙරදී තරගාවලියකට සහභාගිවන ලද්දේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියට වේ. වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු වල පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ප්‍රතිවාදී පිල හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. එහෙත් එම තරගාවලියේදී පිතිකරුවකු ලෙස දක්ෂතා අතරට පැමිණෙමින් ශතකයක් වාර්තා කිරීමට දිමුත් සමත්වූවේය.

    එම දෙවැනි තරගය අතරතුරදී දිමුත්ගේ මහපටැඟිල්ල ප්‍රදේශයට පන්දුව වැදීමෙන් ආබාධයකට ලක්වූ බැවින් එංගලන්තයට එරෙහි තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද දිමුත්ට අහිමිවිය. එම තරගාවලියද ශ්‍රී ලංකා පිල 2-0 ක් ලෙස එංගලන්තය හමුවේ පරාජයට පත්වූ නමුත්, ඒ පිළිබඳව අදහස් දක්වන දිමුත්, එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවූයේ නම්  කණ්ඩායමේ සාර්ථකත්වයට කිසියම් බලපෑමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබූ බව විශ්වාස කරන බවයි.

    “විශේෂයෙන්ම එම ටෙස්ට තරග දෙකේ ඉනිම දෙකක දී අප අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගියා. එය වැළැක්වීමට තිබුණානම් හොඳයි. මට කියන්න පුළුවන් ශතකයක් කරා යාමට උත්සහා ගන්න තිබුණා කියා.  එහෙත් එය සිදුවන්නේ තණතිල්ලට ගිය පසුවයි” යැයි දිමුත් පවසයි.

  • උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

    උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

    ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය සමුගැනීම පිළිබඳව දැනුම් දී සිටින තරංග සිය වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දුන් සහයෝගය සහ මඟ පෙන්වීම පිළිබඳව සිය ස්තූතිය පුද කර තිබේ.

    මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණුකරුවන්, ක්‍රීඩකයින්, පරිපාලකයින්, කලමනාකරණ සහ සහාය කාර්යය මණ්ඩලයද සිය ලිපිය හරහා ස්තූතිය පුද කිරීමට තරංග අමතක කර නොමැත.

    තරංගගේ සමුගැනීමේ තීරණය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “උපුල් තරංග සිය ක්‍රීඩා දිවිය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටසේවයක් ඉටු කර ඇති අතර ඔහුගේ දක්ෂතා ජාතික කණ්ඩායමේ බොහෝ ජයග්‍රහණවලට ඉවහල් වී තිබෙනවා” යැයි පැවැසීය.

    ඉකුත් 2019 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන් හිදී අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇති තරග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31 කට සහ එක්දින තරග 235 කට ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් තරග වලදී ලකුණු 1754 ක් සහ එක්දින තරග වලදී ලකුණු 6951 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින තරංග දෙඅංශයේම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 31 කට වැඩියෙන් පවත්වාගෙන යෑමට සමත්ව තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 22 කදී නායකයා ලෙසින් කටයුතු කර ඇති තරංග විස්සයි-20 තරග 6 කදී ශ්‍රී ලංකාව මෙහෙයවා තිබේ. ටෙස්ට් අංශයේදී ලබාගෙන තිබෙන ශතක 3 ට අමතරව එක්දින තරග අංශයෙන් ශතක 15 ක් වාර්තා කිරීමට තරංග සමත්ව සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වලදී වැඩිම ශතක ලාභී පිතිකරුවන් අතර පස්වැනි ස්ථානය තරංගට වෙන්ව තිබේ. ඔහුට ඉදිරියෙන් සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන වැඩිම ශතක ලාභීන් බවට පත්ව සිටිති.

  • T20 නායකත්වය දසුන්ට – එක්දින නායකත්වය දිමුත්ට

    T20 නායකත්වය දසුන්ට – එක්දින නායකත්වය දිමුත්ට

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ.

    එම තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයටද දසුන් ශානක ඇතුළත්ව සිටින නමුත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්ව පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

    විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානක මීට පෙර 2019 වසරේ පාකිස්තානයේ පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූ අතර එම තරගාවලිය 3-0 ක් වශයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූවේය.

    තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මූලික සංචිතය සඳහා වේග පන්දු යවන ළහිරු කුමාර ඇතුළත්ව සිටියද කොවිඩ් වෛරසය ආසාධනය වීම මත තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබේ. කෙසේ ළහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන සුරංග ලක්මාල්ව ඇතුළත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

    නම් කරන ලද සංචිතයට දේශීය ක්‍රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු ලෙස දක්ෂතා දක්වන ලද පැතුම් නිස්සංක සහ දේශීය තරග පිටියේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සැලකෙන අෂේන් බණ්ඩාරවද මෙම තරග සංචාරය සඳහා ඇතුළත් කිරීම විශේෂත්වයක් වේ.

    ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ෂාන් මදුශංක, සුරංග ලක්මාල්.

    එක්දින කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ෂාන් මදුශංක, සුරංග ලක්මාල්.

  • ප්‍රවීණයින් රැසක් කපා දමා නවකයින් සමග ශ්‍රී ලංකාව කොදෙව් සංචාරය අරඹයි !

    ප්‍රවීණයින් රැසක් කපා දමා නවකයින් සමග ශ්‍රී ලංකාව කොදෙව් සංචාරය අරඹයි !

    ටෙස්ට්, එන්දින හා විස්සයි විස්ස යන ආකෘති තුනේ තරගාවලියකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (23) බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කරන අතර, එම තරග මාර්තු 3, 5 සහ 7 යන දිනවල ඇන්ටිගුවාහී කූලිජ් ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. අනතුරුව එක්දින තරගාවලිය ඇන්ටිගුවා නෝර්ත් සවුන්ඩ් හී සර් විවියන් රිචර්ඩ් ක්‍රීඩාංගණයේදී මාර්තු 10, 12 සහ14 දිනවල පැවැත්වෙන අතර, ටෙස්ට් තරග දෙක මාර්තු 21 සහ මාර්තු 29 දිනවලදී ඇන්ටිගුවා ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. කොරෝනා තර්ජනය හේතුවෙන් ඇන්ටිගුවාහි ජෛව සුරක්ෂිත පරිසරය යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ්‍.

    විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර, දිමුත් කරුණාරත්නට ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙකේම නායකත්වය හිමිවී ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම

    එක්දින හා විස්සයි20 තරග වෙනුවෙන් ක්‍රීඩකයන් 20කගෙන් සැදුම්ලත් සංචිතය සූදානම් කොට ඇති අතර, ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩකයන් 18කගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇත. අදාළ සංචිත දෙක ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

    කොදෙව් ක්‍රිකට් සංචාරයට වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයන‍ෙ 75%ක් පමණ එක් කිරීමට තේරීම් කමිටුව අවධානය යොමු කර ඇත්. මීට මාස කිහිපයකට පමණ පෙර පැවැති එල්පීඑල් තරගාවලියේදී දඹුල්ල වයිකින් පිලට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ 20 හැවිරිදි වමත් මඳවේග පන්දු යවන දිල්ෂාන් මධුශංක, ගාල්ල සාන්ත ඇලොසියස් විදුහලෙන් පිටියට පිවිසි 22 හැවිරිදි මැද පෙළ පිතිකරුවකු සහ වමත් දඟ පන්දු යවන්නකු වූ අෂේන් බණ්ඩාර, ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් පැමිණ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 පිලේ තරග කිහිපයකට ක්‍රීඩා කළ 22 හැවිරිදි කමිඳු මෙන්ඩිස් හා කොළඹ ඉසිපතන විදුහලෙන් බිහි වී දැනට පළමු පෙළ තරගවලදී වැඩිම සාමාන්‍යයක් රඳවා සිටින 22 හැවිරිදි පැතුම් නිශ්ශංක කොදෙව් ක්‍රිකට් සංචාරයට තෝරාගත් නවකයන් අතර සිටින බව වාර්තා වේ.

    කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාරගත් ළහිරු තිරිමාන්න සහ ආබාධ වී සිටි ධනංජය ද සිල්වා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර ඇති අතර දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු පළමු වරට එක්දින ක්‍රිකට් සංචිතයට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇත.

    ඉවත් කළ ප්‍රබලයින් කවුද ?

    පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඉදිරි පෙළ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා සහ භානුක රාජපක්ෂ කොදෙව් සංචාරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    ආබාධ තත්ත්වයන් සහ පසුගිය දා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම වැනි කරුණු සැලකිල්ලට ගෙන මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

  • චමින්ද වාස් ඉල්ලා අස්වෙයි : කොදෙව් සංචාරයටත් නෑ

    චමින්ද වාස් ඉල්ලා අස්වෙයි : කොදෙව් සංචාරයටත් නෑ

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ හිටපු ටෙස්ට්  ක්‍රීඩකයකු වන චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (22 දා) දැනුම් දී තිබේ. ඒ අනුව ඒ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයටද සහභාගි නොවන බව දැනුම් දී තිබේ.

    බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ පිටත්ව යෑමට නියමිතව තිබෙන අතර ඊට පැය කීපයකට පෙර වාස් මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ. මේ වන විට මුලු ලෝකයම ආර්ථික  අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පුද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව වගකීම් විරහිතව යමින් හදිසියේම ධුරයෙන් ඉවත්වීම කණගාටුවට කරුණක් වී තිබේ.

    කෙසේ වෙතත් රට වෙනුවෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයක් ලෙස සැලකෙන චමින්ද වාස් මහතා වසර ගණනාවක් පුරා රට නියෝජනය කරමින් කළ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය අගය කොට සලකනු ඇත. එවැනි වාතාවරණයක් තුළ දැනටමත් ලබා දෙනු ලබන වේතනයට අමතරව වැඩි පුර මුදලක් ඉල්ලමින් සිදුකරන ලද අසාධාරණ ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කිරීමේදී මෙවැනි ආකාරයේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

  • ශ්‍රී ලංකා කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට

    ශ්‍රී ලංකා කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට

    මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත.

    ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනි අළුයම කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත.

    මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත. දින 31 ක කාලයක් පුරා විහිදෙන තරගාවලියේ පළමු තරගය මාර්තු මස 03 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භ වනු ඇත.

    මාර්තු මස 03 සහ 05 යන දෙදිනදී දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරග පැවැත්වෙන අතර එම තරග සියල්ලම ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-20 තරග 3 ට අමතරව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ඇරඹෙන අතර දෙවැනි තරගය 12 වැනිදාත් තෙවැනි තරගය 14 වැනිදාත් පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්ම දිවා/රාත්‍රී තරගය වන්නේ තෙවැනි එක්දින තරගය පමණි.

    අවසන් අදියර වන ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල මාර්තු 17 සහ 18 යන දිනවලදී දෙදින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතව තිබේ. එම තරගයෙන් පසු දින 3 ක කාලයකින් හෙවත් මාර්තු 21 වැනි දින පළමු ටෙස්ට් තරගයටද මාර්තු 29 වැනි දින දෙවැනි ටෙස්ට් තරගයකදට ශ්‍රී ලංකා පිල ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

    Text by – Sri lanka Cricket