Category: සුපිරි News

  • ශිෂ්‍යත්ව ළමුන්ට සහන 2ක්

    ශිෂ්‍යත්ව ළමුන්ට සහන 2ක්

    2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට තීරණය කළ බවත් අනුව මෙතෙක් පැවති මිනිත්තු 45ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන බවත් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හෙළිකළා.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ දෙවන ප්‍රශ්න පත්‍රයේ වරණ 4 මෙවර වරණ 3ක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි බවයි. ඔක්තෝබර් මස 11 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත බවත්  අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.

  • පාසල් ඇරඹෙන නව කාලසටහන නිකුත් වෙයි – නව කාලසටහන මෙන්න !

    පාසල් ඇරඹෙන නව කාලසටහන නිකුත් වෙයි – නව කාලසටහන මෙන්න !

    නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි.

    කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතු‍වෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට  අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

    ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද අතර, 31 සිකුරාදා දින තෙක් එම ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු ලැබේ.

    2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදාගැනීමත් හේතුවෙන් අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනි දා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

    1 සිට 13 දක්වා වන සියලු ම ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කරනු ලැබේ. එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් පවත්වාගෙන යාමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

    ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගැනේ.

    තව ද, 2020-08-10 වැනි දින සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පවරනු ලැබේ. ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට  ප.ව 1.30 දක්වා වේ.  

    පවත්නා තත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස ද, පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දි තිබේ. එමෙන් ම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මගපෙන්වීම් නිසියාකාර ව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යාම කෙරෙහි සමස්ත පාසල් ප්‍රජාවගේ අවධානය යොමු කරවන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

  • මහ මැතිවරණය පැවැත්වෙන සතිය පුරා රජයේ පාසල්වලට නිවාඩු

    මහ මැතිවරණය පැවැත්වෙන සතිය පුරා රජයේ පාසල්වලට නිවාඩු

    පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වැනි දිනය ඇතුළත් සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කළ බව අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන ඇමැතිවරයා සදහන් කළේ. දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වන බවයි ඇමැතිවරයා වැඩි දුරටත් සදහන් කළේ.

    තීරණය කර ඇති පරිදි අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.

  • සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා

    සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා

    මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

    සජිත් පේ‍්‍රමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව සිය වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (28) භාර දුන්නේය.

    විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයින් විය.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීමට පත්කළ එම කමිටුවේ වාර්තාව මගින් 2016 – 2019 කාල සීමාව තුළදී එම අරමුදලේ බරපතළ මුදල් අවභාවිතාවක් සිදු වී ඇති බව තහවුරු කර ඇති අතර එසේ අවභාවිත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,059 ක් බව එම කමිටුව අනාවරණය කර ගෙන තිබේ.

    එම අක‍්‍රමිකතාවන් අතර

    • නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ක්
    • නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්
    • සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක්
    • පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266ක්
    • අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්
    • විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316ක්
    • බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක්

    සිදු වී ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

    එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ගෙන ඇති බවද කමිටු වාර්තාවේ සඳහන් වේ.

    මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

    2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට 2019.11.15 දින අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමක් කැඳවා ඇත. එයට සාමාජිකයින් 5 දෙනකු සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයින්ගේද අත්සන් ඊට ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද අවධාරණය කරයි.

  • ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

    ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

    දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව,  ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020 ජූලි මස 24 වන දින එළඹිණි. මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව මෙම  මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වූයේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක්  සුරක්ෂිත කර ගනිමින්,  ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක බාහිර ආර් ථික පරිසරයට ප්‍රධානම හේතුව වනුයේ කොවිඩ් – 19 වසංගත තත්වයයි. 

    මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර් දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා ලබා ගත හැකිය. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුවෙහි කොන්දේසිවලට අනුකූලව, පසුව, මෙම මුදල් හුවමාරු පහසුකම වරකට තෙමස් කාලපරිච්ඡේදයක් බැගින් දෙවරක් නැවත ලබාගත හැකිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ද, ඉන්දියානු සංචිත බැංකුව වෙනුවෙන් එහි කලාපීය අධ්‍යක්ෂක අජේ කුමාර් මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

    මෙම පහසුකමට අමතරව, විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ, අතිරේක වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන එකක මුදල් පහසුකමක් ලබාගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව සමඟ දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බව ද සඳහන්  කිරීම වැදගත් වේ.

  • රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට – අනිල් ජාසිංහ

    රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට – අනිල් ජාසිංහ

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව,  පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ.

    2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

    1. කලුන්දෑගම
    2. සිරිමාපුර
    3. යාය 01 (පොළ පිටුපස කොටස හැර)
    4. යාය 02

    2020 ජුලි 31 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

    1. යාය 01 (පොළ පිටුපස කොටස)
    2. යාය 03
    3. යාය 04
    4. යාය 05
    5. යාය 06 / අංගමුව  
  • කොරෝනා වෛරස් එන්නත: අතුරු ආබාධ ඇති වේවිද?

    කොරෝනා වෛරස් එන්නත: අතුරු ආබාධ ඇති වේවිද?

    කොරෝනා වෛරසයට එරෙහිව සංවර්ධනය කළ එන්නතක, අත්හදා බැලීමේ පළමු පියවර සාර්ථක වූ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නිවේදනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නව බලාපොරොත්තු සහිත පුවත් පළවිය.

    මෙම වසංගතයට එරෙහිව තැනුණු එන්නත් විස්සකට අධික ප්‍රමාණයක් මේ වනවිට මිනිස් දේහය තුළ අත්හදා බැලෙමින් පවතින අතර ඉහත කී පුවත පළ වූයේ ඉන් එක් එන්නතක් පිළිබඳවය.

    මීට අමතරව, කොරෝනාවෛරසයට එරෙහිව තවත් එන්නත් 140ක් පමණ ලොව පුරා සංවර්ධනය වෙමින් පවතී.

    පවතින වසංගතයට තිත තැබීම සඳහා හැකි ඉක්මණින් එන්නතක් සාර්ථක වනු දැකීම කාගේත් ප්‍රාර්ථනය වුවද ඉන් ඇතිවිය හැකි අතුරු බලපෑම් කවරේදැයි යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වෙති. ප්‍රශ්න නගති.

    ඉන් ප්‍රධාන ප්‍රශ්න කීපයකට, බීබීසීයේ සෞඛ්‍ය පුවත් පිළිබඳ සංස්කාරක මයිකල් රොබට්ස් පිළිතුරු දුන්නේ ය.

    Getty Images

    මෙම එන්නත සියට සියයක් ආරක්ෂිතද? ක්‍රියාවලිය වේගවත් කිරීම නිසා අනවශ්‍ය අතුරු බලපෑම් ඇතිවේද?

    අලුතින් සොයා ගන්නා එන්නත් සාමාන්‍ය ජනතාවට ලබා දීමට පෙර දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇත.

    මේ අවස්ථාවේදී කොරෝනා වෛරසය වෙනුවෙන් තැනෙන එන්නත් අතිශය වේගවත් ක්‍රියාවලියකට භාජනය වී ඇති නමුත් එය ආරක්ෂිත ද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදු කෙරෙන සියලු පරීක්ෂාවන්, සායනික අත්හදා බැලීම් තුළ සිදු කරමින් පවතී.

    සෑම වෛද්‍ය ප්‍රතිකාරයක ම අතුරු බලපෑම් පවතී. කොරොනාවෛරස එන්නත ද එසේමය.

    සෑම එන්නතක ම පවතින අතුරු බලපෑම් බොහොමයක් ඉතා සුළු කොට තැකිය හැකි ඒවාය. ඒ අතර එන්නත ලබා දුන් ස්ථානය ඉදිමීම හෝ ඒ අවට සම රත් පැහැ ගැන්වීම විය හැකිය.

    සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා 2019 සහ 2020 යන වසරවල නිෂ්පාදනය වූ එන්නත් covid 19 රෝගය සඳහා අත්හදා බලා තිබේ ද?

    සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා නිපදවා ඇති එන්නත ලබාගැනීමෙන් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා විය නොහැක.

    ඉන්ෆ්ලුවෙන්සාව සහ covid 19 යනු එකිනෙකට වෙනස් රෝග දෙකක් වන අතර එය ඇතිකරවන වෛරසය ද එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් ය.

    Getty Images

    අවයව බද්යක් සිදුකර ඇති පුද්ගලයන් සඳහා කොරෝනාවෛරස එන්නත ලබා දීම සුදුසුද?

    කොරෝනාවෛරසයට එරෙහිව තැනුණු විවිධ වර්ගයේ එන්නත් කිහිපයක්ම මේ වන විට විද්‍යාඥයන් විසින් අත්හදා බලමින් සිටිනු ලැබේ.

    ඒවා අසාර්ථක වුවහොත් ඉන් කුමන එන්නත වැඩිම ප්‍රතිඵල ලබා දෙන්නේදැයි තවමත් පැහැදිලි නැත. විවිධ පුද්ගලයන් සඳහා විවිධ ගණයේ එන්නත් සුදුසු විය හැක.

    ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින පුද්ගලයන් මත මෙම එන්නත් අත්හදා බලමින් සිටින අතර එහි ප්‍රතිඵල ලබා ගැනීමට කලක් ගතවනු ඇත.

    අභ්‍යන්තර අවයව බද්ධ කළ පුද්ගලයකුට ඇතැම් විට අඩපණ කරන ලද සජීවී බැක්ටීරියා හෝ වෛරස සහිත එන්නත් සුදුසු නොවිය හැක.

    කොරෝනාවෛරසය කාලයත් සමග වෙනස් වීම් වලට භාජනය වන්නේ නම් මේ අත්හදා බලමින් පවතින එන්නත් ප්‍රතිඵලදායක වේද?

    මේ වන විට අත්හදා බැලෙමින් පවතින්නේ දැනට ජනතාව අතර සංසරණය වෙමින් පවතින කොරෝනාවෛරස මාදිලි ප්‍රයෝජනයට ගනිමින් සංවර්ධනය කරන ලද එන්නත් ය.

    වෛරස කාලයත් සමඟ වෙනස් විය හැකි බව සැබවි. නමුත් මෙම එන්නත් වල කාර්යක්ෂම බව අඩපණ කිරීමට එය බලපානු ඇතැයි සිතිය නොහැක.

    වෛරසයේ වෙනස් වීම කෙතරම් බරපතළ මට්ටමින් සිදු වේද යන්න මත මෙය රඳා පවතිනු ඇත.

    SCIENCE PHOTO LIBRARY

    අත්හදා බැලීම් 23 ක්

    ලොව පුරා කොරෝනාවෛරස එන්නත් සායනික අත්හදා බැලීම් 23 ක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

    ඒ අතරින් යම් එන්නතක් සාර්ථක වී ඇත්දැයි අපට දැනගත හැකි එකම ක්‍රමය නම්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ට එය ලබා දීමෙන් පසු ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී කොරෝනාවෛරසයට නිරාවරණය වී ආසාදනය නොවන්නේ නම් පමණි.

    කෙසේ නමුත් නව කොරෝනාවෛරසය වෙනුවෙන් නිපදවෙන එන්නතක පැවතිය හැකි අතුරු ආබාධ පිළිබඳව නිගමනයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව කෙරුණු සායනික පරීක්ෂණවලින් අනතුරුව ය.

    මේ පිළිබඳව ඖෂධ නියාමකයන් දැඩි අවධානයකින් පසුවනු ඇත.

    එන්නතක් නිෂ්පාදනය කළහොත් එහි මුල් අවධිය තුළ සැපයුම සීමා සහිත වනු ඇත. එම නිසා පළමු තොග භාවිතය පිළිබඳව ප්‍රමුඛතාව තීරණය කළ යුතුව පවතී.

    කොවිඩ් – 19 රෝගීන් සමඟ සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් ම සිටිනු ඇත.

    නව කොරෝනාවෛරසයේ බලපෑම මාරාන්තික වී ඇත්තේ වයස්ගත පුද්ගලයන්ට ය. මෙම එන්නත එම වයස් කාණ්ඩයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්නේ නම් ඔවුන්ට ද ප්‍රමුඛතාව හිමි වනු ඇත.

    කෙසේ නමුත්, වයස්ගත පුද්ගලයන් සමඟ වාසය කරන්නන් හෝ ඔවුන් රැකබලා ගන්නා උදවියට මෙම එන්නත ලබා දීම වඩා යහපත් විය හැක.

    Text by bbc sandesaya

  • Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි

    Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.

    අද (27) දින උදෑසන 0600 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් පස් දෙනෙකු (05), කන්දකාඩු රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු (01), කාර්ය මණ්ඩල එක් සාමාජිකයෙකු (01), ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින ගාල්ල බන්ධනාගාරයේ සිට පැමිණි එක් රැඳවියෙක් (01) සහ විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් හතර දෙනෙක් (04) (කටාර් සිට පැමිණ CTS අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි) ලෙස වාර්ථා වේ.

    ඊයේ (26) දින රාත්‍රි  UL 102 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට‍ ඒක් පුද්ගලයෙකු ද (01) සහ අද (27) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට  සිට‍ පුද්ගලයින් පනස් තුන් දෙනෙකු (53) මෙරටට පැමිණ ඇත‍. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (27) දිනය තුළදී ද යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් විසි නව දෙනෙකු (29) තම නිරෝධායන කටයුතු අවසන් කර තිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිදෙනෙකු ද (03), හේකිත්ත නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) වශයෙන් වේ.

    එසේම, අද (27) දිනය වනවිට පුද්ගලයින් 26,942 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. 

    එසේම, අද (27) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 3,556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (26) දිනය තුලදී PCR පරික්ෂණ 1380 ක් සිදුකර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 151,324 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (27) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් තිදෙනෙකු (03) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු (02) විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයා (01) දේශීයව හඳුනාගත් පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.

    එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 672ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 80කි. සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2121ක් බව එහි වැඩි දුරටත් සදහන් වේ.

  • යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රු. මිලියන 10,400ක්

    යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රු. මිලියන 10,400ක්

    2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත.

    මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 200,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇත.

    අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නව රජය විසින් පසුගිය මහ කන්නයේදී ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල යටතේ මිලදී ගත් අතර, මෙවර යල කන්නයේදී ද එම සහතික මිල යටතේම වී මිලදී ගැනීම සඳහා රටපුරා පවතින වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මේ වනවිට විවෘත කර ඇත. 

    පෙර වසරවල යල හා මහ කන්නවලදී ගොවීන්ගෙන් වී මිලදී ගනු ලැබුවේ නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ වන අතර, නව රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක සහතික මිල යටතේ සමස්ත වී අස්වනු ප්‍රමාණයම අලෙවි කරගැනීමට ගොවීන්ට අවස්ථාව හිමිවෙනු ඇත.

  • කහ කුඩු නැතිව ආහාර පිළියෙළ කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එළවලුවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොඳින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති.

    මාස කිහිපයක සිට වෙළඳ සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිඟයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා අධික මිලකට අලෙවි වෙමින් තිබේ. කහ ආනයනය හා ප්‍රති අපනයනය රජය තහනම් කර ඇති අතර කහ කුඩු කිලෝවක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රු. 750.00ක් වශයෙන් නියම කර ඇත.

    කහ මෙරට ජනතාවට අත්‍යවශ්‍යම කුළු බඩු විශේෂයක් නොවෙන බව නිලධාරීහු කල්පනා කරන බව පෙනේ. කහ අවශ්‍යකරන්නේ ආහාර සකස් කිරීම වෙනුවෙන් පමණක් නොවේ. ආයුර්වේදය අනුව එය වටිනා ඖෂධයකි. හින්දු භක්තිකයන්ට කහ දියර ඉසීම සංස්කෘතික වතාවතකි. විෂබීජ නාශකයක් වශයෙන් භාවිතා කෙරේ. උස් පහත් භේදයක්, ජාතිය හෝ ආගම පසුබිමක් රහිතව කහ ප්‍රයෝජනයට ගැනෙන අතර මාස ගණනක් තිස්සේ පවතින හිඟය ගැන නොසලකා හැරීම එපමණ සුදුසු තත්ත්වයක් නොවේ.

    රටට ආනයන වියදම ගැන ප්‍රශ්නයක් තිබේ. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය පාලනය කරන තීරණය එහි එක පියවරකි. මෙරටට ආනයනය කරන කහ, කුරුඳු හා ගම්මිරිස් වැනි කුළු බඩු ඇතුළු ඇතැම් වෙළඳ ද්‍රව්‍ය ප්‍රති අපනයනයක් සිදුවූ අතර එය ව්‍යාපාරයකි. ප්‍රති අපනයනය අතර තුර සිදුවන වංචා සහ රට තුළට එන තොග ප්‍රමාණය හෙයින් මෙරට ගොවි ජනතාවට ප්‍රශ්නයක් වූ අතර ගොවියන් ගේ විරෝධය ද ආනයනය පාලනයට බලපා තිබේ.

    විනිමය හිඟය හා ආනයනය ගැන ගොවියන්ගේ විරෝධය මෙරට සමස්ථ පාරිභෝගික ජනතාවටම ප්‍රශ්නයක් වී තිබේ. මිල පාලනය කළ නොහැකිවීම මත වෙළඳ පොළ විකෘතියක් ද සිදුවී ඇති අතර අයුතු ලාභ උපයන අතරමැදි පිරිස පාලනය කිරීමට හැකිවී නැත.

    රජයේ ප්‍රතිපත්ති තීරණ අනුව ආනයන හා අපනයන සම්බන්ධ තීරණ වෙනස් කිරීම ගැටළුවක් නොවේ. එයින් ඇතිවන ප්‍රතිවිපාක ගැන ද සැලකිලිමත් විය යුතුය. වසරකට මෙරටට අවශ්‍ය කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7000කට ආසන්නය. රට තුළ නිපදවන්නේ මෙට්‍රික් ටොන් 2000කි.

    කහ වගා කරන කන්නය අනුව අස්වැන්න ලැබෙන්නට මාස නමයක් ගත වෙයි. අස්වැන්න ලබා ගත් පසු වියලි කහ බවට පත් කිරීමට ද කාලයක් අවශ්‍යය.

    ඉන්දියාව ලෝකයේ කහ වගා කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටී. ලෝක අවශ්‍යතාවයෙන් 80%ක් පමණ එරටින් සැපයෙයි.

    වාර්තා දක්වන පරිදි 2014-2018 කාලය තුළ ඇමරිකාව කහ ආනයනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. එයට හේතුව කහ එකතු කරගත් තේ පානය ප්‍රචලිතවීම බව පැවසේ.

    විශ්ව විද්‍යාල ඇතුළු ජාත්‍යන්තර ආයතන විශාල ප්‍රමාණයක් කහ ගැන පර්යේෂණ පවත්වා ඇති අතර ඒවායේ වාර්තා දක්වන පරිදි කහ නිෂ්පාදනවලට නොනවතින වෙළඳ පොළක් ඇත.

    ආහාර, පාන පමණක් නොව රූප ලාවන්‍ය කටයුතු සඳහා ද අලුතින් අවස්ථා ඇති වෙමින් තිබේ. කහ හිඟය ගැන පමණක් නොව අනාගතයේ ඇති විය හැකි ඉල්ලුම ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.

    කහ ආනයනය තාවකාලිකව තහනම් කරන අතරතුර මෙරට අවශ්‍යතා සහ අපනයනය ඉලක්ක කරගෙන කහ වගා කළ හැකිය. උසස් ප්‍රමිතියකින් යුතු බීජ ආකන්ද සැපයිය යුතුය. ගොවියන් සංවිධාන ගත කර මහා පරිමාණයෙන් වගා කරන්නට පෙළඹවීම සුදුසුය. එය වෙනම ව්‍යාපාරයක් වශයෙන් දියුණු කළ හැකිය.

    සම්ප්‍රදායික වගාවට වඩා වෙනස් පැති සඳහා ගොවි ජනතාව යොමු කරන අතර භාවිතා නොකරන රජයේ ඉඩම් ගොවියන්ට හෝ ගොවි සංවිධාන වලට බෙදා දිය හැකිය. එය දිරිගැන්වීමකි. එවැනි කිසිම ඉදිරි දැක්මක් රහිතව කහ ආනයනය තහනම් කිරීම ප්‍රශ්න ගණනාවක් ඇති කර තිබේ. අතුරු ප්‍රතිඵල නොතකා, සැලසුමක් රහිතව තීරණ ගැනීම නුසුදුසු බව පෙන්වා දිය යුතුය.

    මිලින්ද මොරගොඩ

  • පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

    පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

    පෙර පාසල් පද්ධතිය  අමාත්‍යාංශයක් යටතට පවරා  ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කෙරිණ. ඊට අවධානය යොමු කළ ජනාධිපතිතුමා පෙර පාසල්  ගුරුවරියනට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කළේය.

    දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    නව රජය පිහිටුවීමෙන් පසු ප්‍රමුඛ කාර්යක් සේ සලකා පෙර පාසල් පද්ධතිය  අමාත්‍යාංශයක් යටතට පත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.  

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (25) මාතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපතිතුමා අපේක්ෂක නිපුණ රණවක මහතා, මාතර වෙරළ උද්‍යාන යේ සංවිධාන කළ ජන හමුවේ දී ජනතාව සමග මේ බව සඳහන් කළේය.

    නිපුණ රණවක මහතාගේ “2020 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය” ඇතුළත් වෙබ් පිටුව එළිදැක්වීම ද සිදු කෙරිණ.

    රුහුණ විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිතුමාගේ මාතර දිස්ත්‍රික් චාරිකාව ඇරඹිණ. උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සමග සුහද කථා බහක නිරත වූ එතුමා  අධ්‍යාපන කටයුතු සොයා බැලීය. Online ඉගැන්වීමේ ක්‍රමය සාර්ථකව සිදු කෙරෙන බව උපකුලපතිවරයා දැන්වීය.

    හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා දෙවිනුවර දේවාලය ඉදිරිපිට ක්‍රිඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේදී  පානීය ජල ගැටළුව ඇතුළු ප්‍රදේශයේ ජනතා ගැටළු කිහිපයක් ජනාධිපතිතුමා වෙත යොමු කෙරිණ. අතර මග නවතා ඇති දෙවිනුවර දේවාලයේ පූජා භූමියෙහි ප්‍රතිසංස්කරණ වැඩ නිම කර දෙන්නැයි කළ ඉල්ලීම කඩිනමින් ඉටු කරන්නැයි අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

    අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය අසල රථගාලේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

  • පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය

    පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය

    පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

    පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට  ජනාධිපතිතුමා තීරණය කරයි. දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ.

    අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ  පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.

    පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය   දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.  කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, එවැනි සියලු ස්ථාන ජාතික උරුමයක් සේ සලකා ආරක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා කීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටත්, සේවක හිඟය පියවීමටත් පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින නඩු කොළඹ අධිකරණ වෙත  මාරු කරන මෙන් මහා සංඝරත්නය කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්නැයි ජනාධිපතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    යටත් විජිත යුගයේ දී සහ පසුකාලීව මෙරටින් ගෙන ගිය පුරාවස්තු මහා බ්‍රිතාන්‍යයේ සහ ඩෙන්මාකයේ කෝපන් හේගන් කෞතුකාගාරවල තැන්පත් කර ඇති බව මහා සංඝරත්නය පෙන්වා දුන්හ.  යුනෙස්කෝව සමග සාකච්ඡා කර ඒවා මෙරටට ගෙන්වා ගැනීමට ද උන්වහන්සේ යෝජනා කළහ.

    ගත වූ පස් වසර තුළ පුරාවස්තුවලට මෙන්ම ඓතිහාසික ස්ථානවලට විශාල වශයෙන් හානි සිදුවූ බව භික්ෂුන් වහන්සේ කීහ. විහාරස්ථානවලට අයත් පූජා භූමි විවිධ පිරිස් බලහත්කාරයෙන් අත්කරගෙන සිටිති. ඉන් ඓතිහාසික බෞද්ධ උරුමයට හානි සිදුව ඇතැයි උන්වහන්සේ කියා සිටියහ.

    කම්කරුවන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය තැනට පහළොස් දෙනෙකු බඳවාගෙන තිබේ.  අදාළ සේවාව සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු දැනුමක් තිබී නොමැත.  අනුමත කාර්ය පටිපාටියෙන් බැහැරව බඳවාගත්  පිරිසේ වැටුප් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව වැය කර ඇති මුදල රුපියල් මිලියන 7000කි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත අධ්‍යක්ෂධූර සංඛ්‍යාව 11 කි. එහෙත් පුරප්පාඩු සඳහා කිසිවෙකු බඳවාගෙන නැතැයි  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පැවසීය. අනුමත සහකාර අධ්‍යක්ෂධූර ගණන  38කි. එහෙත් ඒ සඳහා බඳවාගෙන ඇත්තේ එක් අයෙකු පමණි. මෙවැනි තත්වයක දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ නොහැකි බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාලවලින් වසරකට පිටවන පුරාවිද්‍යා විශේෂ උපාධිධාරීන් සංඛ්‍යාව 80ක් පමණ වේ. පුරාවිද්‍යාව පිළිබඳ න්‍යායාත්මක  සහ ප්‍රායෝගික දැනුමක් ඇති පිරිස් වහා බඳවා ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පුරාවිද්‍යාව හදාළ පිරිස සුගතදාස ක්‍රීඩාංගණයේ සේවා සඳහා පත් කරනු ලැබ සිටිති. විෂායනුබද්ධ දැනුම ඇති පිරිස අදාළ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය

    නිධන් හොරුන්ගෙන් පුරාවස්තුවලට සිදුවන බරපතළ හානිය පිළිබඳව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පෙන්වා දුන්හ.  “පුරාවස්තු තුළ තිබී රන්, රිදී, මැණික් වැනි වටිනා කිසිවක් මගේ හැට පස් වසරක ගවේෂණ කාලයේ දී හමු වී නැහැ. එබැවින් පුරාවස්තු රැක ගැනීමට ජනතාවට නිවැරදි දැනුමක් දීම ඉතා වැදගත්. පුරාවස්තු පිළිබඳ ගවේෂණ වාර්තාවක් සැකසීම සහ සිතියම්ගත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්. නිසි විමර්ශනයකින් තොරව ඉතිහාසය විකෘති කරමින් මත පළ කරන අයට එරෙහිව නීතිමය පියවර ගතයුතුයි” මේධානන්ද හිමියෝ පැවසූහ.

    පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයේ  වැදගත්කම මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ අවධාරණය කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමේ දී විෂය දැනුම ඇති පිරිස් බඳවා ගැනීමට පියවර ගත යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

    යටත් විජිත යුගයේ සකස් කළ පුරාවිද්‍යා පනතින් පුරාවස්තු පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බව පෙන්වා දුන් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ  ජාතික උරුමය සහ ශාසනික ඉතිහාසය සුරැකෙන පරිදි එය සංශෝධනය විය යුතු බව අවධාරණය කළහ.

    පුරාවිද්‍ය පනත සංශෝධනයේ දී මහා සංඝරත්නය ගැඹුරු අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියෝ පෙන්වා දුන්හ. සංස්කෘතික අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා යටතේ තබා ගැනීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළහ.

    පුරාවස්තු විනාශ කරන අන්‍ය ජාතීන්ට එය ආගමික දෙයක් නොව, ජාතික උරුමයක් බව වටහා දිය යුතුයැයි  අමරපුර මහානිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ පෙන්වා දුන්හ. සෙසු ආගමිකයන් සහ අන්තවාදී පිරිස් අතර ද මෙය අවබෝධකරගත හැකි උගත් පිරිසක් සිටින බැවින් පුරාවස්තුවල වටිනාකම් කියාදීමේ වැදගත්කම උන්වහන්සේ පැහැදිළි කළහ.

    පූජ්‍ය දිවියාගහ යසස්සි හිමියෝ පුරාවස්තු සුරැකීමට දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළහ.

    “ජනාධිපතිතුමා පුරාවස්තු සුරැකීම් පිළිබඳ නව සංකල්පයක් සමාජයට ඉදිරිපත් කර තිබේ. එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායක කර ගන්න පිළිවන්”කෝට්ටේ කල්‍යානි ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ කීහ.

    කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා දමා ඇති බවට  ගෙන යන ප්‍රචාරය දේශපාලන වුවමනාවක් බව වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමියෝ කියා සිටියහ.

    දැවයෙන් නිම කළ මණ්ඩපය නගර සභාවට අයත්යැයි කියමින් බුවනෙකබා නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් තිබේ.  ඊට අදාළ සියලු ලියකියවිලි තමා සතු බවත් උන්වහන්සේ  පවසති. එහෙත් බුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ සභාවාරයට එක්ව සිටියහ.

  • ‘PCR පරීක්ෂණ ගැන’ ඇත්ත කියන්නේ පවිත්‍රාද ? ශවේන්ද්‍ර සිල්වා ද ?

    ‘PCR පරීක්ෂණ ගැන’ ඇත්ත කියන්නේ පවිත්‍රාද ? ශවේන්ද්‍ර සිල්වා ද ?

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව, ව්‍යාප්තිය සහ විශේෂයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ගැන පසුගිය කාලය පුරාම දැඩි සැකයක් සමාජය තුළ මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් තුළ ද තිබෙනවා. මේ ගැන සැක පහළ කරන බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුව නිවැරදි දත්ත, සංඛ්‍යා සගවා තබා ගෙන තම වාසියට ‘සාවද්‍ය‘ නැතහොත් ධනාත්මක දත්ත / සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවයි.

    මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා නැගෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වීම ද විශේෂත්වයක්. මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් වසංගතය තම දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට යොදා ගන්නා බවට ද ඇතැම් පිරිස් චෝදනා කරනවා.

    මේ අතර මේ චෝදනාවල සැලකිය යුතු සත්‍ය තත්ත්වයක් ඇතැයි ලිඛිතව තහවුරු වන සිදුවීමක් අද (24) අපට හමු වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සහ යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දරන ‘කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මූලස්ථානය විසින් අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින්.

    සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වුණේ ‘මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය- “කොවිඩ් – 19 රෝගය රට තුල පැතිරීම වැළැක්වීම හා පාලනය සදහා රජයක් විදිහට අප සියළු පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන PCR පරික්ෂණ 150,000 (එක්ලක්ෂ පනස්දහසක්) අද දිනය වන විට සිදු කර අවසන්.” බවයි.

    එහෙත් අද දිනම ‘කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වුණේ ‘මේ වන විට (24දා) ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ 145,373ක ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.

    මෙහිදී පැහැදිලි වන්නේ කොවිඩ්-19 සම්බන්ධයෙන් වගකීමට බැදී සිටින ප්‍රධාන ආයතන ද්විත්වය අතර පවා දත්තමය වශයෙන් සැලකිය යුතු විෂමතාවක් පවතින බවයි.

    මෙය ඇතැම් විට ඉතා සුළු හෝ නොවැදගත් කරුණක් වශයෙන් යමෙකුට පෙනී යා හැකියි. එහෙත් මෙම ආයතන දෙක අතර පී.සී.ආර්. පරීක්ෂණවල පරස්පරය 4627ක් වන විට තත්ත්වය සංකීර්ණ බව පෙනී යනවා. ඒ ලංකාව තුළ දෛනිකව සිදුවන්නේ පී.සී.ආර් 1400කට නොඅඩු සංඛ්‍යාවක් නිසයි. (ඊයේ සිදුකර ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණ 1380ක් පමණයි)

    මෙහිදී අප දැක්වීමට උත්සාහ කරන්නේ එක දශමයක් හෝ මෙවැනි වසංගත තත්ත්වයකදී අතිෂය වැදගත් වන බවයි. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හේතු වන බවයි.

    මේ තත්ත්වය තුළ අදාළ ආයතන සහ මාධ්‍ය සමග ගනුදෙනු කරන නිලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව අපගේ අදහසයි. ඊට හේතුව වන්නේ පසුගිය පාස්කු ප්‍රහාරය යහපාලන ආණ්ඩුවේ මළගම වුණා සේ කොවිඩ් වසංගතය වත්මන් ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තබන වැදගත්ම මෙහෙයුම වන නිසයි. සමස්ත ජාතියක ඉරණම ඒ සමග බැදී තිබෙන නිසයි.

  • PCR පරීක්ෂණ 150,000ක් අවසන් – 8,200ක් කන්දකාඩුවලට

    PCR පරීක්ෂණ 150,000ක් අවසන් – 8,200ක් කන්දකාඩුවලට

    COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (24) මේ බව ප්‍රකාශ කළාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය- “කොවිඩ් – 19 රෝගය රට තුල පැතිරීම වැළැක්වීම හා පාලනය සදහා රජයක් විදිහට අප සියළු පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන PCR පරික්ෂණ 150,000 (එක්ලක්ෂ පනස්දහසක්) අද දිනය වන විට සිදු කර අවසන්.”

    “කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රෝගීන් ආශ්‍රිතව PCR පරික්ෂණ 8,200 ක් පමණ මේ වනවිට සිදු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව තිබෙන පොකුර තුලින් වෛරසය සමාජගතවීම වැළැක්වීම සදහා සම්පූර්ණයෙන්ම රජයක් විදිහට අවශ්‍ය පියවර ගෙන, වෛරසය සමාජය තුල පැතිරීම සම්පූර්ණයෙන් ම පාලනයට ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කරන්න කැමැතියි.”

  • ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම  මහජන බැංකු ශාඛාවලින්

    ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්

     ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල  
    තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස
    අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ.

    දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ රුපියල් ලක්ෂ හය (600,000/=) බැගින් වූ තැන්පත් මුදල් ගෙවීම දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා හරහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

    දළ වශයෙන් 146,000ක් පමණ වූ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් සඳහා දැනට තැන්පත් ආපසු ගෙවීම සිදු කරනු ලබයි.

    මීට අමතරව ඊ.ටී. අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 38,000කට සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් පොදු සමාගමේ ගනුදෙනුකරුවන් 9,000කට ද තැන්පත් මුදල් ගෙවීම ජූලි මස 25 වැනි සෙනසුරාදා සිට දිවයිනේ සියලු ම මහජන බැංකු ශාඛා මගින් සිදු කිරීම ආරම්භ කෙරේ.

  • නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම

    නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම

    මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා ද්වයෙන්ම සකස් කරන ලද්දකි. 

    ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

    නව උප්පැන්න සහතිකය නම් කර ඇත්තේ ‘ජාතික උප්පැන්න සහතිකය‘ යන නමිනි. මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා ද්වයෙන්ම සකස් කරන ලද්දකි. 

    උපතේදී ලබාදෙන අනන්‍යතා අංකයකින් ද සමන්විත ජාතික උප්පැන්න සහතිකය මුද්‍රණය වන්නේ වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයටයි. ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ හා හොලෝ ග්‍රෑම් ස්ටිකරයකින්ද එය සමන්විතවෙ. එය නිකුත් කරනු ලබන්නේ රෙජිස්ට්‍රර් ජෙනරාල්ගේ අත්සනින් යුක්තවයි. 

    වත්මන් උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුළත් කර නොමැති අතර ‘ජාතිය‘ යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඇතුළත් කර ඇති බවයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.