Category: සුපිරි News

  • Covid-19 Today Hot: කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළා – අනිල් ජාසිංහ

    Covid-19 Today Hot: කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළා – අනිල් ජාසිංහ

    2020.07.17 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.17) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.

    අද දින, රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු  කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ලංකාවේ අද දින කොවිඩ් 19 රෝගීන් ලෙස වාර්තා වන්නේ එක් රෝගියකු පමණයි. මේ වන විට විවිධ ප්‍රදේශ වල PCR පරීක්ෂණ කරනු ලබනවා. කොළඹ මහනගර සීමාව තුළත් කරනු ලැබූ පරීක්ෂණ 174 කින් කිසිදු රෝගියකු වාර්තා වී නැහැ. මේ අනුව, අපට පෙනී යනවා මේ අවස්ථාව වන විට මෙම කන්දකාඩු මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුර සම්බන්ධයෙන් යම්කිසි පාලනය වූ තත්වයකට පැමිණෙමින් ඇති බව. ඒ අනුව, අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් පාලනය වූ තත්ත්වයකට පත් කිරීමට.

  • Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් නව තීරණ රැසක්

    Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් නව තීරණ රැසක්

    කොරෝනා (කොවිඩ් 19)  වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධනත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.

    මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් මර්දනය හා මැඩපැවැත්වීම උදෙසා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ මාර්ගෝපදේශ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර, ඒ අනුව පහත සදහන් කටයුතු ඉටු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලදි.

    • මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, මාර්ගෝපදේශණ, නිර්දේශ හා නිර්ණායක අනුගමනය කරනවා ද යන්න නිරික්ෂණයට ඒකකයක් ස්ථාපිත කර, ඒ පිළිබද පසුවිපරම් කිරීම.
    • ප්‍රවාහන, ඖෂධශාලා, වෙළෙද සංකීර්ණ, රෝහල් සහ රැකියා ස්ථානවල මුලිකවම අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් නිසි පරිදි සිදුවෙනවා යන්න සොයාබලා සවිබලගැන්විමට කටයුතු කිරීම.
    • සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශ බලාත්මක කරමින් ඒ තුලින් මහජනතාවට වෛරසයේ අවධානම ගැන දැනුවත් කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට ඒත්තුගැන්වීමට කටයුතු කිරිම.
    • ආශ්‍රිතයින් හඹා ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම.

    එමෙන්ම PCR පරික්ෂණවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර ඒ අනුව පහත දත්ත ඉදිරිපත් කරන ලදි. මෙම වසරේ පෙබරවාරි මස 18 දින සිට ජුලි මස 15 දින වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි PCR පරික්ෂණ 131. 527 ක් සිදු කොට ඇත. වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කොට තිබෙන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය (MRI) වන අතර එම ප්‍රමාණය 36,101 කි.

    රට පුරා PCR පරික්ෂණ සිදු කරනු ලබන රසායනාගාර 22 ක් වන අතර, දිනකට සිදු කරනු ලබන PCR පරික්ෂණ සංඛ්‍යාව 2500 දක්වා වැඩි වී ඇත. අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට ප්‍රත්‍යක්ෂ කොටගෙන ඇත.

    මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා,, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය

  • Covid-19 Today Hot: කන්දකාඩු පොකුරෙන් ආසාදිතයින් 08ක්

    Covid-19 Today Hot: කන්දකාඩු පොකුරෙන් ආසාදිතයින් 08ක්

    2020.07.16 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය

    “අද දින මේ දක්වා කොවිඩ් 19 ලෙස 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා මෙම කන්දකාඩු පොකුරු සම්බන්ධව.  මෙම 8 දෙනාම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන්. පිට අය නොවෙයි සිය පවුල්වලම අය.  ඒ අනුව මෙම කන්දකාඩු පොකුර 542ක් වශයෙන් වාර්තා වනවා රෝගීන්.

    අද දිනත් රාජාංගන ප්‍රදේශයෙත් වෙනත් ප්‍රදේශවලත් PCR පරීක්ෂණ සාම්පල් ගැනීම සිදු කළා. ඒ වගේම මේ 8 හරුනු කොට අනෙකුත් PCR පරීක්ෂණ  ප්‍රතිඵල  කොවිඩ් 19 රෝගීන් නොවන බව සටහන් වී තිබෙනවා. ඒ අනුව නව PCR පරීක්ෂණ වැඩපිළිවෙලට අනුව මෙම පොකුරට සම්බන්ධව ඇතැම් ප්‍රදේශවල නිලධරීන්ගේ පවුල්වල රෝගීන් ආශ්‍රිතව තවත් දින 10 කින් නැවතත් PCR පරීක්ෂණ එක් ස්ථානයකින් 40 ක් පමණ සංඛ්‍යාවක් ගෙන ඉදිරියට සිදු කිරීමට නියමිතයි. “

  • පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්

    පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්

    ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත සහතිකය පිළිගැන්වූහ.

    රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබාගත් බව සහතික කර ඇත්තේ හරිතාගාර වායු කළමනාකරණය පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා බලය හිමි Sustainable Future Group නම් පරිසර පර්ෂදය විසිනි. මේ කණ්ඩායම හරිතාගාර වායු විමෝචන ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමැතිය ලැබූවකි.

    සම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණය සැලසුම් කිරීම රාජපක්ෂ මැතිතුමාගේ චින්තනය හා අධිෂ්ඨානය විය. දිවයිනම ආවරණය කළ 150කට අධික ජන රැලි පොලිතීන්, පෝස්ටර්, බැනර්, කටවුට් ආදියෙන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මහතා තීරණය කළේය.

    ජනහමුවලට එන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කෙරිණ. එලෙස මුදාහැරෙන කාබන් ස්කන්ධය  අවශෝෂණය කර ගැනීමට ශාක 21,000ක් රෝපණය කළ යුතු බව නිගමනය කරනු ලැබීය.  ඒ අනුව “රටේ පැළවන නිදහසේ හුස්ම” රුක් රෝපණ ව්‍යාපෘතිය සෑම ජන රැළියක්ම අවරණය වන පරිදි ක්‍රියාවට නැංවිණ.

    ව්‍යාපෘතිය යටතේ පැළ 26,000ක් රෝපණය කොට, මේ දක්වා රැක ගැනීමෙන් කාබන් අවශෝෂනය වී හානිය ශූන්‍ය කර ඇතැයි “ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය” තක්සේරු කර තිබේ. අදාළ කාලසීමාවේ දී වූ පරිසර හානිය හා කාබන් අවශෝෂනය පදනම් කොට ගෙන පරිසර හානිය ශූන්‍ය බව පූර්ණ වශයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතන කියා සිටී.

    “තිරසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ, ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවීමය” යන්න ජනාධිපතිතුමා “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශනයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය සම්පත් වාහල, දර්ශනී ලහඳපුර, රෝෂිනී රාජපක්ෂ, චමින්ද මහනායක, අනුෂ්ක කුමාරසිංහ, සමන්ත ගුණසේකර සහ අර්ජුන පෙරේරා යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න

    ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න

    ඊයේ (15) දිනයේ දී ට්විටර් පරිශීලකයන් බොහොමයකගේ ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) මගින්ද වාර්තාකොට තිබිණි. මූලික වශයෙන් ඇමරිකාව පදනම් කරගෙන සිටින ප්‍රකට පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත. 

    මෙවැනි සයිබර් ප්‍රහාර ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ඉලක්ක කරගෙන වුවද සිදුවිය හැකි බැවින් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ශක්තිමත් මුරපද භාවිතයට යොමුවීම හා දෙවන සාධක දෙකක සත්‍යාපනය නොහොත් two-factor authentication (2FA) තම ට්විටර් ගිණුම් වල සක්‍රීය කිරීම සිදුකලයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් වෙත දැනුම් දෙමු.

    ට්විටර් හෝ වෙනත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල මුදල් හෝ සංවේදී පෞද්ගලික තොරතුරු සඳහා වන ඉල්ලීම් වලින් අතිශයින්ම ප්‍රවේශම් වීමට වගබලාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු. තවද ශ්‍රී ලංකාවෙහි සිටින මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයින් තම සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් දැක්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් අවධාරණය කරමු.

  • 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

    2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පෙරමුණේ සිටිති.

    එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රසන්න රණතුංග, සමගි බලවේගය නියෝජනය කරන රන්ජන් රාමනායක සහ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරන අර්ජුන රණතුංග යන මහත්වරුන් මනාප සටනේ පෙරමුණේ සිටිති.

    එම සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙවර කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන ඉතා තියුණු මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සටන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කනක හේරත් මහතා, තාරක බාලසූරිය මහතා හා රංජිත් සියඹලාපිටිය මහතා අතර දෝලනය වෙමින් පවතින අතර රංජිත් සියඹලාපිටිය මහතා ඉන් ඉදිරියෙන් සිටී.

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින එකම කාන්තා අපේක්ෂිකාව මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පෙරමුණට පැමිණ ඇති අතර, කබීර් හෂීම්, සුජිත් පෙරේරා හා ලලිත් දිසානායක යන මහත්වරුන් අතර දෙවෙන තුන්වෙන ස්ථාන දෝලනය වෙමින් පවතී.

    එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන හිටපු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා එම පක්ෂයෙන් පෙරමුණ ගෙන සිටී.


  • හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්

    හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්

    මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ බිල්පතට හෝ ඉන් පසුව ලද අවම බිල්පතට අනුව ගෙවීමට ජනතාවට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ.

    එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ද හිමිවේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ බිල්පත් ගෙවීම සඳහා ලබා දෙන සහන කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවය.

    කොරෝනා තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබිණි.

    ඒ කාලය සඳහා බිල් සැකසීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවට ද විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල විය.

    2020 මාර්තු, අප්‍රේල් සහ මාර්තු මාසවල විදුලි බිල්පත්වල සඳහන් මිල ගණන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ එල්ලවූ චෝදනා හා විවේචන සැළකිල්ලට ගෙන, ජනතාවට සහන ලබා දීම සඳහා රජය මෙම තීරණය ගත් බව විදුලිබල හා බලශක්ති සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.

    ජනතාවට මෙම සහනය ලබා දීම සඳහා රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 3000ක් ලබා දීමට ද එකඟ වී ඇත.

    මාර්තු, අප්‍රේල් සහ මාර්තු මාසවල බිල්පත් මේ වන විට ගෙවා ඇතිනම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත් වලින් එම මුදල් පුර්ණය කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.

    සහන දෙන්න කමිටුවක්

    විදුලි බිල්පත් ගැටලු සහ රටේ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගෙන ජනතාවට සහනයක් ලබා දීම සම්බන්ධයෙන් මීට පෙර පැවති කැබිනට් රැස්වීමේදී සකච්ඡා වී තිබිණි.

    ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජූලි 08 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය..

    ”ඒ කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා අදහස් දෙන්න කිවුවා. ඒක මේ සතියේ කැබිනට් එකට යන්න තිබුණා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  • Covid-19 2nd Wave: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්

    Covid-19 2nd Wave: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්

    2020.07.15 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.

    අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. එක් රෝගියෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයෙක් ලෙස සටහන් වෙනවා. ඒ වගේම මේ වනවිට නිරෝධායනයට ලක්වන අය අතර කුරුණෑගල 73 දෙනෙක් සහ නිකවැව 73 දෙනෙක් වශයෙන් මධ්‍යස්ථාන දෙකක නිරෝධායානයට ලක්වෙනවා. මොවුන් කොළඹ පැවති පුනරුත්ථාපන යම්කිසි රැස්වීමකට පැමිණ එහිදී ආසාදිතයෙක් සමග සම්බන්ධ වීම නිසා තමයි නිරෝධායනයට ලක්කර තිබෙන්නේ. ඒ වගේම කුණ්ඩසාලේ රෝගීන් දෙදෙනා ආශ්‍රිතව 150 ක් පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ වගේම එම කුණ්ඩසාලේ රෝගියාට සම්බන්ධ පවුල් කිහිපයක් කෑගල්ලේත් නිරෝධායනයට ලක් වෙමින් පවතිනවා.

    ඒ වගේම මාතර අපරැක්ක ප්‍රදේශයේ 100 ක පමණ සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා. දැන් මේ ආකාරයට තමයි මේ විවිධ ප්‍රදේශ වල නිරෝධායනයට ලක්වෙමින් පවතින්නේ. ඒ වගේම අපට විශේෂයෙන් කියන්න පුළුවන් ඊයේ සහ පෙරේදා දිනවල රාජාංගනය ප්‍රදේශයේ ගනුලැබූ PCR  සාම්පල  395 ට අනුව එම 395 කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා. ඒ වගේම රාගම පෞද්ගලික රෝහල සම්බන්ධව සිද්ධියට මුහුණ පෑ අය සම්බන්ධව ගනුලැබූ සියලුම PCR පරීක්ෂණ මගින් ඒ අයත් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා.

    ඒ වගේම අද දිනත් කුණ්ඩසාලෙන් 101 ක් ඒ වගේම, කොටුගොඩ පල්ලිය ආශ්‍රිතව 74 දෙනෙක් ඒ වගේම තන්තිරිමලේ රන්ටැඹේ අර දෙමාපියන් ඒ අයගෙන් 266 ක පමණ ප්‍රමාණයක් සහ පොලොන්නරුව රෝහලට පැමිණෙන අයගෙන් සාම්පලයක් ලෙස 200 ක පමණ ප්‍රමාණයක් සහ රාජාංගනයෙන් 150 ක් පමණ ප්‍රමාණයක් ඇතුලුව දිවයිනේ විවිධ ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන තිබෙනවා. ජාඇල, කොටුගොඩ පල්ලිය තත්ත්වය ගත්තත් එහිදී ආසාදිතයකු පැමිණීම නිසා තමයි මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ. නමුත් දැන් එය සාමාන්‍ය තත්ත්වයට පැමිණිලා. දැන් එම පල්ලියට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවසර ලබාදී තිබෙනවා.

    මෙහිදී, විශේෂයෙන්ම අපගේ අවධානය යොමු වී තිබෙනවා මේ රටේ අතිවිශාල ආයතන සංඛ්‍යාවක් තිබෙනවා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ. ඒ විශ්ව විද්‍යාල වෙන්න පුළුවන්, නේවාසිකාගාර වෙන්න පුළුවන්. දැනටත් ඉදිරියටත් ඉතාම වැදගත් දෙයක් තමයි මේ වැඩිවශයෙන් ඉන්න ස්ථානවල ඒ වගේම

    කාර්යාලවල ඒ ආයතන ප්‍රධානීන් යම්කිසි ආකාරයකට වගවීමකට ලක්වීම, එම ආයතන වල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන්. ඔවුන්ට උණ තිබෙනවද ශ්වසන රෝග තිබෙනවාද ආදී වශයෙන් සොයාබැලීම. ඒ වගේම එසේ රෝගී තත්ත්වයන් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම. යම්කිසි ආකාරයකින් එවැනි තත්වයක් තිබෙනවා නම් සේවයට වාර්තා නොකර සිටීම. ඒ වගේම සේවා ස්ථානවල එක් එක් ඒකක ගත්විට එම ඒකක හැකිතාක් දුරට වෙන් වෙන් වශයෙන් පවත්වා ගැනීම. වෙන් වෙන් ඒකක වල අය හමුනොවී වෙන්වෙන් වශයෙන් පැමිණ පිටවීමට අවස්ථාව සැලසීම ආදිය පවත්වා ගත යුතු වෙනවා.

    මෙය ඇත්තෙන්ම හුදෙක් මෙම අවස්ථාව ගැන පමණක් සිතා නෙමෙයි ඉදිරියටත් පවත්වා ගත යුතු තත්වයක්. මොකද අපි දන්නවා මේ වනවිට ජනතාවගේ ගමන් බිමන් හැසිරීම් රටා යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තිබෙනවා. මෙම තත්වයන් නැවත හොඳ අතට හරවා ගැනීම විශේෂයෙන්ම ආයතනවල පවත්වා ගැනීම ආයතන ප්‍රධානීන් අංශ ප්‍රධානීන් සතු වගකීමක් බව කීමට අවශ්‍යයි. එහිදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමත් ඒ අනුව ඔවුන් වගවීම යම්කිසි ලෙසකට සහතිකවීම වැදගත් වෙනවා. 

  • ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ – ITSSL

    ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ – ITSSL

    සයිබර් ප්‍රහාරකයෙකුට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක පවතින සංවේදී තොරතුරු ලබා ගැනීමට, එම දුරකථනයෙහි අනිෂ්ට කේත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසන ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීමට ගූගල්‍ සමාගමට හැකිවී ඇත.

    මෙම ආරක්‍ෂිත දෝෂ කිහිපය සදහා ගූගල් සමාගම විසින් පසුගිය ජූලි 5වන දින ආරක්‍ෂිත යාවත්කාලීන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාද 8.0,8.1,9,10 සදහා නිකුත් කර ඇත. එම ආරක්ෂක යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පරිශීලකයන්ට දැනුම් දෙමු.

  • මුළු රටේම සිදුකර ඇත්තේ Covid-19  PCR  පරීක්ෂණ 28,496ක් පමණයි !

    මුළු රටේම සිදුකර ඇත්තේ Covid-19 PCR පරීක්ෂණ 28,496ක් පමණයි !

    කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධ නොවන, සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ අවස්ථාවලදී 2020.06.25 වැනි දිනට දළ වශයෙන් PCR පරීක්ෂණ 28,496ක් සිදුකර ඇති බව වෛද්‍ය පබා පළිහවඩන – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විසින් හෙළිකර ඇත.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ තොරතුරු හෙළිකර ඇත්තේ, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් 2020.05 .26 වැනි දින තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

  • දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ – 3000ක් ස්වයං නිරෝධානයේ

    දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ – 3000ක් ස්වයං නිරෝධානයේ

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇසුරින් කොවිච්-19 ආසනයට ලක් වූ රෝගීන් මේ වන විට දිස්ත‍්‍රික්ක 16කින් වාර්තා වී ඇති බවත් මේ ආසාදිතයින් ඇසුරු කළ 3000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.

    ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව නිවාසවල ද ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසක් සිටින බවයි.

    මේ අනුව කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුරය, කෑගල්ල, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, මොනරාගල සහ යාපනයෙන් ආසාදිතයින් වාර්තා වූ බවයි ගමගේ මහතා කියා සිටියේ.

    මේ තත්තවය තුළ සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීමට වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කී රෝහණ ගමගේ මහතා, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සහ නිතර සබන් හෝ විෂබීජ නාශයක් යොදා දෑත් පිරිසිදු කිරීම කරන මෙන්් ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

  • ‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

    ‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

    අරමුණ – හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10%  අඩු කිරීම.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ.

    වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කොට තිබේ. ගෝලීය ප්‍රවනතාවනට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යායපත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසේ.

    දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් 10%  දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය, තෘතීයික අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හැඩ ගැස්වීම නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අංශයේ ඇතිකරන පරිවර්තනය මගින් විදේශ ආයෝජන සහ විදේශීය ශිෂ්‍යයන් ආකර්ශණය කර ගැනීමෙන් හා විදේශ රැකියාවන්හි නිරත පුහුණු ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය වර්ධනය කිරීමෙන් වැඩිපුර ආදායම් ජනනය තවත් අපේක්ෂාවකි.

    ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය අරභයා රට වැසියා සතු දැනුම, නිපුණතා සහ හැකියාවන් ඉතා වැදගත් සාධක සේ සලකයි. ‘අපේ තරුණයන්ට සහ දේශීය ව්‍යවසායකයනට නව ඉඩ ප්‍රස්ථා උදා කරන, හැම දෙනාටම අලුත් බලාපොරොත්තු සහ අභිමානය පිළිබඳ හැගීම ඇති කරන, ජනතාවට තමන් තෝරාගන්නා කුමන ක්ෂේත්‍රයක වුවද ලෝක නායකයන් බවට පත්විය හැකි පරිදි ස්වකීය නිපුණතා, සමත්කම් සහ ව්‍යාපාරික විනිශ්චය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සලසන පරිසරයක් නිර්මාණය කිරීම’ පිණිස නිශ්චිත අධ්‍යාපන සැලැස්මක් සම්පාදනය කොට  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ඉන් අවධාරණය කර තිබේ.

    වත්මන් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කොට ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පරිවර්තනීය ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කරනු වස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් දැනටමත් ස්ථාපනය කර ඇත. කාර්ය සාධක බලකාය ඉදිරිපත් කළ අධ්‍යාපන අංශයේ දිගුකාලීන ගැටළු විමර්ශණය කළ ජනාධිපතිතුමා රටක වඩාත්ම වටිනා වත්කම අනාගත පරපුර බවත්, සියලු රටවැසියනට ස්වකීය විභවතා පුබුදු කොට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිමින් නීතිගරුක පුරවැසියෙකු ලෙස සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන පරිදි මානව සම්පත් සංවර්ධනය රජයක මූලික වගකීම බවත් අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ මග පෙන්වීම අනුව සැකසෙන නිපුණතා සංවර්ධන දශකයේ මාර්ග සැලැස්ම ජීවිත කාලය පුරා ඉගෙනීම දිරිමත් කරමින්, අධ්‍යාපනයට පිවිසීමේ බහුවිධ අවස්ථා හඳුන්වාදීමටත්, ශ්‍රී ලංකාව නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ ඉදිරියට යන විට සියලු දෙනාට ඊට එක්වීමේ අවස්ථාව සැලසීමත් ප්‍රමුඛත්වය දෙයි.

    හඳුන්වාදී ඇති ප්‍රවේශයන් ශිෂ්‍යයන්, අධ්‍යාපනඥයන්, දෙමාපියන් සහ වෘත්තිකයන් වැනි කණ්ඩායම්වල සේම ජාතික මට්ටමේ ආයතනවල සැබෑ අවශ්‍යතා සපුරාලීමට සමත්දැයි දැනගනු පිණිස පරිවර්තනීය වැඩ සැලැස්ම පිළිබඳව ඉදිරි සති කිහිපය තුළ මහජන සංවාදයක් ඇතිකරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    නිපුණතා සංවර්ධන දශකයට අදාළ පරිවර්තනීය න්‍යාය පත්‍රය අවසන් වරට සකස් කිරීමේ දී මහජන අදහස් ද සැලකිල්ලට ගැනේ. අනාගතයට යෝග්‍ය, තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයේ ලෝක නායකයන් බවට පත්වීමට සමත්, සියලු ශ්‍රී ලාංකිකයන් තුළ අභිමානය ඇතිකරන සහ ජාතියේ සංවර්ධනයට උර දෙන පරපුරක් බිහි කිරීම සඳහා වූ ජනාධිපතිතුමාගේ අභිලාශය සාක්ෂාත් කරනු පිණිස අධ්‍යාපන, කර්මාන්ත හා ශ්‍රමික අංශවල සම්බන්ධීකරණයෙන් සැලැස්ම යතාර්ථයක් බවට පත් කිරීමට අපේක්ෂිතය.

  • Covid වසංගතයෙන් ජනතාව රැකගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්

    Covid වසංගතයෙන් ජනතාව රැකගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්

    කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් මෙසේය.

    කොවිඞ් – 19 වෛරසය ඇතිවූ දවසේ ඉ`දලාම ඉතා වගකීමෙන් යුතු රජයක් හැටියට අපි කි‍්‍රයා කරලා තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් කි‍්‍රයා කිරීමට ප‍්‍රථමයෙන් වගකිවයුතු රජයක් හැටියට අපි මේ සම්බන්ධව කි‍්‍රයා කළා. මේ කාලය තුළදී අපි විවිධ අභියෝගවලට ලක් වුණා. මේක ලෝකයේවත්, අපේ රටේ කවුරුවත් මීට පෙර මුහුණ දීලා නැති තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. බොහෝ වේලාවට සමහර අයට අපි කරපු දේවල්, අපි මුහුණ දුන් අභියෝග අමතක වෙලා තියෙන්නේ.

    ජනවාරි 26 වෙනිදා තමයි අපි මෙහි කාර්ය සාධක බළකාය මුලින්ම ස්ථාපනය කළේ. වෛද්‍යවරුන්, ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ, පොලීසිය මේ සෑම කණ්ඩායමක් ඇතුළත් කරලා තමයි කාර්ය සාධක බළකාය ඇති කළේ. ඒ වගේම වෙනම කාර්යාලයක් ආරම්භ කළා. ජනාධිපතිවරයා හැටියට මම හැමදාම වගේ රාජ්‍ය බුද්ධි අංශ සේවාවේ ප‍්‍රධානියා, හමුදාපතිවරයාත් එක්ක කතා කළා. අනිල් මහතා, සෞඛ්‍ය ඇමතිනිය එක්ක කතා කරලා තියෙනවා. මේ සෑම අවස්ථාවේදීම රජයක් හැටියට අපි ඉතා වගකීමක් සහිතව මේ කාර්යය කළා. ඒ නිසා අපිට ඒ අවස්ථාවලදී නිසි පියවර ගන්න හැකි වුණා.

    මේක අද ලෝකයේ ඉහළම රටවල් පවා විශාල අභියෝගයකට පත් වෙලා තියෙන බව අපි කවුරුත් දන්නවා. නමුත් අපිට හැකිවුණේ මේක පාලනය කරගන්නට අපි රජයක් හැටියට මේක දීපු වැදගත්කමත්, ඒ වගේම අවශ්‍ය අවස්ථාවන්වලදී තීරණ ගැනීමත්, ඒ වගේම සෑම අංශයක්ම එකට එක්ව කටයුතු කිරීම නිසාත් අපිට පුළුවන් වුණා. හැබැයි මේ කාලය ඇතුළත අපට අභියෝග විශාල සංඛ්‍යාවක් ඇතිවුණා. නමුත් අපිට ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වුණා. මේක පටන් ගන්නකොට අපි දන්නවා වූහාන් නගරයෙන් පටන් ගත්තේ. එහේ අපේ ශිෂ්‍යයෝ 34 දෙනෙක් හිටියා.

    අපි තීරණයක් අරගෙන ගුවන් යානයක් යවලා ගෙන්නලා, දවස් 6 කින් අපි දියතලාවේ නිරෝධායන කඳවුරක් හදලා එතෙන්ට ගිහිල්ලා සාර්ථකව ඒ කාර්යය කළා. දැන් ඒ ගැන ටිකක් බැලූවොත් එහෙම හරියට නිකන් චිත‍්‍රපටි වල තියෙන දෙයක් වගේ. මොකද අපි දැකලා නැහැ කවදාකවත් මේ වගේ දෙයක්. නමුත් මේ අය ගෙනල්ලා ස්කොඞ් දාගෙන ගෙනිහිල්ලා ඒ විදියට අපි ක‍්‍රියා කළේ. ඒ වෙනකොට අපි මේ නිරෝධායන කඳවුරු කියන ක‍්‍රමවේදයක් අහල තිබුණේ නෑ. නමුත් අපි තීරණයක් ගත්තා මේ අයව ගෙනියන්න කියලා. මේ ඉන්න අය ඔක්කොම දන්නවා අපිට නිරෝධායන කඳවුරක් හදාගන්න කොච්චර අපහසුද. අපි මුලින්ම කඳානට ගෙනියන්න තීරණය කළාම එතන උද්ඝෝෂණය කළා. දියතලාවේ උද්ඝෝෂණය කළා. පූනානිවල උද්ඝෝෂණය කළා. ඒ වගේ එදා මේව පටන් ගන්නකොට උද්ඝෝෂණය කළා. ඒපාර අපි පූනානිවල තිබුණු විශ්වවිද්‍යාල පවරා ගෙන එකේ අපි පළවෙනි නිරෝධායන කඳවුර ඇතිකළා.

    ඉතාලියෙන් ආපු අය ගෙනියන කොට අපිට තිබුණු ප‍්‍රශ්න, හබරණදි ඩ‍්‍රයිවර්ගේ බෙල්ල මිරිකලා පැනලා ගියා සමහර අය. ඉතින් ඒ වගේ තත්ත්ව අභියෝග යටතේ තමයි මේක කළේ. පිටරට ඉඳලා මේ වෙනකොට අපි රටවල් 74 කින් 16279 දෙනෙක් මෙරටට ගෙනල්ලා පුනරුත්ථාපන කඳවුරුවලට යවලා තියෙනවා. මේකත් ලොකු අභියෝගයක්. කුෙවිට්වලින් ගෙනාපු සීයයට අනූ පහකටම කොරෝනා ආසාදිත වෙලා තිබුණේ. මේ තත්ත්වය මත අයි.ඩි.එච්. එක මදි වුණා. තව ආරෝග්‍යශාලා ලබාගෙන මේයට නිසි පිළියම් යෙදුවා.

    අපේ ලොකුම සාර්ථකත්වය ආසාදිතයන් හදුනාගත් වහාම ඔවුන් සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් තෝරා ගැනීමයි. පළවෙන් වටය, දෙවෙනි වටය සමහර වේලාවට තුන්වෙනි වටයෙනුත් ආසාදිතයන් හදුනා ගත්තා. මේ හැම දෙනෙක්ම ප‍්‍රමාණය කොච්චර වුණත් මේ පුද්ගලයන් අපි නිරෝධායන කදවුරුවලට යොමු කළා. මේ නිරෝධායන කදවුරු අපි හැත්තෑවක් වගේ ප‍්‍රමාණයක් වෙනකම් ඉහළට අරන් ගියා. හැත්තෑවක් වගේ සංඛ්‍යාවක් නිරෝධායන කදවුරු විදිහට පවත්වාගෙන යනවා කියන එක විශාල අභියෝගයක්.

    ඇත්තටම හමුදාව සහ බුද්ධිය අංශ මේ ක‍්‍රියවලියට තෝරා ගන්න එක හේතුවක් තමයි මේ කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න ටිකක් අමාරුයි. ආරෝග්‍ය ශාලාවක් පවත්වන්න පුඵවන්. නමුත් මේ වගේ කාර්යයක් කරන්න ඒ කිව්වේ කදවුරු හොයන්න, කදවුරුවලට ආරක්ෂාව සපයන්න, කදවුරුවලට ගෙනියන්න ඉතාම අමාරු දේවල් බුද්ධි අංශ මේ සදහා විශාල සේවාවක් අපට කළා. අවාසනාවකට වගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කදවුරුකින් දැන් ප‍්‍රශ්නයක් ඇවිත් තියෙනවා. අපි ඒවායේ හොට්ස්පොට් හරියට හදුනාගෙන ඒවාට නිසි සැලසුම් ඇතිව නිරෝධායන වැඩපිළිවෙල කරගෙන යනවා දැනටමත්. අපි කළින් අභියෝගය ජයගත්තා වගේම මේ අභියෝගයත් අපට ජය ගන්න පුළුවන්.

  • සංචාරක ව්‍යාපාරයේ විප්ලවයකට ඇමැති ප්‍රසන්නගෙන් නව සැලසුම්

    සංචාරක ව්‍යාපාරයේ විප්ලවයකට ඇමැති ප්‍රසන්නගෙන් නව සැලසුම්

    ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ සංචාරක  ප්‍රවර්ධනය සදහා නව ක්ෂේත්‍ර රැසක් මේ වන විට හදුනාගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ සංචාරකයන් මෙරටට ආකර්ෂණය වන ස්වාභාවික සෞන්දර්යට අමතරව මෙම ක්ෂේත්‍ර හදුනාගෙන ඇති බවයි.

    ඒ අනුව ඉදිරියේ දී සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර ලෙස විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, ආගමික සංස්කෘතික හා ජාතික උරුමයන්, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, කෘෂිකර්මාන්තය හා වනාන්තර ආශ්‍රිත සංචාරක කර්මාන්තය, දේශීය ආයුර්වේදය හදුනගෙන තිබේ. මෙම හදුනාගත් ක්ෂේත්‍ර දියුණු කිරීම සදහා පෞද්ගලික අංශයට අවශ්‍ය ආයෝජන පහසුකම් හා වෙනත් පහසුකම් ලබා දීමට අපේක්ෂිත බවද ඇමතිවරයා කියයි.

    වසර 2025 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 07 ක් දක්වා ඉහළ නැංවීමටත් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආදායමක් උපයා ගැනීමටත් අපේක්ෂිතය. කොවිඩ් 19 හේතුවෙන් සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක් ව ඇතැත් අදාළ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි.

    රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධති ආශ්‍රිතව සංචාරක සේවා, මධ්‍යස්ථාන පිහිටුවීම, සනීපාරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ව ඉදිරිකිරීමට අපේක්ෂිතය. අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කීරීම, ප්‍රවාහන පහසුකම්, මාර්ගෝපදේශකයන්, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශපත්‍ර හා ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි වන ආකාරයට මධ්‍යම අන්තර්ජාල මෘදුකාංග පද්ධතියක් සහ සියලු සංචාරක ස්ථාන සදහා ස්වයංක්‍රීයව ඇතුළුවිමේ දොරටු ක්‍රමයක් හදුන්වා දිමට නව රජය යටතේ පියවර ගන්නා බව ද ඇමතිවරයා කියයි.

    සංචාරකයන් සදහා රට විවෘත කිරීම ඉතා කඩිනමින් සිදු කිරීම රජයේ අපේක්ෂාවයි. එහෙත් එව සිදුව්නනේ විදේශගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමෙන් පසුවය. විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට මේ වන විට තාවකාලිකය අත්හිටුවා ඇතැත් ඉතා ඉක්මණින් එම කටයුතු ද නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

  • සාමාන්‍ය සමාජයෙනුත් Covid ආසාදිතයින් හමුවීමේ අවධානමක්

    සාමාන්‍ය සමාජයෙනුත් Covid ආසාදිතයින් හමුවීමේ අවධානමක්

    මෙහිදී වගකීම් විරහිතව හැසිරෙන ජනතාවට අවවාදයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ රට නැවත විවෘත කිරීම සමග අනවශ්‍ය ලෙස සිදුවන ගමනාගමන කටයුතු ඉහළ ගොස් ඇති බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බවත්ය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නේ කොතැනද එතැනට කොවිඞ් රිංගන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප‍්‍රකාශ කළේ කන්දකඩු පොකුර පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

    මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සතියක කාලයක් සඳහා පාසල් වසා දැමීමට පියවර ගත්තේ රට පුරා කොවිඞ් ව්‍යාප්ත වී ඇති නිසා නොව ආරක්ෂිත පියවරක් වශයෙන් බවයි.

    ‘වර්තමානයේ අපේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය කොරෝනා දෙවැනි රැල්ල ලෙස හඳුන්වනවාට වඩා පොකුරක් ලෙසයි හැඳින්විය යුත්තේ. මීට පෙරත් අප රට තුළ මෙවැනි කොවිඞ් පොකුරු නිර්මාණය වුණා. අපි ඉතා සාර්ථකව ඒවා පාලනය කළා. ඒ ආකාරයෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව නිර්මාණය වී ඇති කොවිඞ් පොකුර පාලනය කළ හැකියි‘

    මෙහිදී කන්දකාඩු කඳවුර ආශ‍්‍රිත තත්ත්වය ගැන කරුණු හෙළිකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ එහි දහස් ගණනින් කොවිඞ් ආසාදිතයින් නොමැති බවයි.

    ‘එහි සිටි ආසාදිතයින් බහුතරය මේ වන විට හඳුනා ගෙන තිබෙනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුළ සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව ද එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද අනිල් ජාසිංහ මහතා පැවසීය.

    මෙහිදී වගකීම් විරහිතව හැසිරෙන ජනතාවට අවවාදයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ රට නැවත විවෘත කිරීම සමග අනවශ්‍ය ලෙස සිදුවන ගමනාගමන කටයුතු ඉහළ ගොස් ඇති බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බවත්ය.

    ‘රට නැවත විවෘත කළේ ආර්ථික ක‍්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීමට මිස ජනතාවට අනවශ්‍ය ලෙස විනෝද චාරිකා, උත්සව පවත්වන්න නෙමෙයි. මේවා කරන විට ඔවුන් සෞඛ්‍ය උපදෙස් ගැන දක්වන සැලකිල්ල දැඩි ලෙස අඩුකරනවා. එය කිසිසේත් නොකළ යුතු දෙයක්. සෞඛ්‍ය උපදෙස් නොතකා හරින්නේ කොතැන ද එතැනට කොරෝනා රිංගනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.