Category: සුපිරි News

  • අදත් කොවිඩ්- 19 ආසාදිතයින් 49ක් – මුළු ගණන 1138යි

    අදත් කොවිඩ්- 19 ආසාදිතයින් 49ක් – මුළු ගණන 1138යි

    අද (24) දින ප.ව 18.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 29 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1118 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

    එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 435 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 97 දෙනකු අධීක්ෂණය යටතේ සිටින බවයි.

    මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොවිඩ්-19 ආසාදිතයින් ගණන 674ක් බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

    මේ අතර අද ප.ව 17.30 ට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහව් කළේ අද දිනය තුළ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 28 දෙනාම (ඒ වන විට වාර්තා වී සිටි සංඛ්‍යාව) ක්වේට් හි සිට පැමිණි පුද්ගලයින් බවයි. ඔවුන් මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථාවනවල නිරෝධානයට ලක් වෙමින් සිටි පිරිසක් බව ද එම වාර්තාවේ සදහන් වේ.

  • Covid-19 මැඩලීමට ‘CuRec’ නමින් පරිගණක මෘදුකාංගයක්

    Covid-19 මැඩලීමට ‘CuRec’ නමින් පරිගණක මෘදුකාංගයක්

    COVID-19 වසංගත තත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ  මඟපෙන්වීමෙන් පරිගණක පිඨයේ පර්යේෂක කණ්ඩායමක් මගින් නිර්මාණය කර ඇත. 

    “CuRec” මෘදුකාංගය මගින් රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායි වීඩියෝ සන්නිවේදනක් ඇති කර එමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩු කරයි. රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ගිලන් රථයක් රෝගියාගේ නිවසට යැවීමට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කිරීමට ද අවශ්‍ය තීරණ ගැනීමේ පහසුකම ද මෙම මෘදුකාංගය මගින් වෛද්‍යවරයාට සලසා තිබීම විශේෂත්වයකි.

    මෙම මෘදුකාංගය පිලිබඳව සෞඛ්‍ය, හා දේශීය වෛද්‍ය අමාත්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා දැනුවත් කිරීමේ අරමුණින් අද දින (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පවත්වන ලදි. පරිගණක විද්‍යා උපාධි අපේක්ෂක සිසුන් වන එන්. සමාරා ප්‍රේමරත්න සිසුවිය සහ එච්. කසුන් කල්හාර පෙරේරා සිසුවා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙම මෘදුකාංගය පිළිබද මුලික හැදින්වීම සිදු කරන ලදි.

    “CuRec”මෘදුකාංග පර්යේෂණ කණ්ඩායම ලෙස ආචාර්ය ප්‍රදීප් කලන්සූරිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පරිගණක විද්‍යා අංශයේ අංශ ප්‍රධානී) සහ පරිගණක විද්‍යා උපාධි අපේක්ෂක සිසුන් වන කසුන් කල්හාර, නිමේෂ් ඒකනායක, චානක්‍ය බණ්ඩාර, සවිඳු බණ්ඩාර, මලිත් ඉලේපෙරුම, සනාරා ප්‍රේමරත්න සහ කෙත්මි පෙරේරා කටයුතු කර ඇති අතර  පරිගණක පිඨයේ  පීඨාධිපති කොමදෝරු ජනක ගුණසිල, විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ (හෘද රෝග විශේෂඥ සහ වෛද්‍ය  පිඨයේ  පීඨාධිපති), වෛද්‍ය සමන් යාපා බන්ඩාර (නියෝජ්‍ය අධ්‍යක්ෂ-රිජ්වේ ආර්යා ළමා රෝහල),  වෛද්‍ය විරාජ් ජයසිංහ (ළමා රෝග විශේෂඥ වෛද්‍ය), වෛද්‍ය වාසන් රත්නසිංහම් (රිජ්වේ ආර්යා ළමා රෝහල) සහ වෛද්‍ය මංගල රාජමන්ත්‍රි (කායික රෝග  විශේෂඥ වෛද්‍ය – මූලික රෝහල කරවනැල්ල)  යන මහත්වරුන් මෙම ව්‍යාපෘතියේ උපදේශකයින් ලෙස කටයුතු කර ඇත.

    “CuRec” මෘදුකාංගය හදුන්වාදීමේ අවස්ථාවට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා, පරිගණක පිඨයේ පීඨාධිපති කොමදෝරු ජනක ගුණසිල මහතා, විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ (හෘද රෝග විශේෂඥ සහ වෛද්‍ය  පිඨයේ  පීඨාධිපති), ආචාර්ය ප්‍රදීප් කලන්සූරිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පරිගණක විද්‍යා අංශයේ අංශ ප්‍රධානී)  යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.

  • අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් දෙනවා – ඇමැති ප්‍රසන්න

    අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් දෙනවා – ඇමැති ප්‍රසන්න

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඊට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිළධාරීන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග ලෝකය පුරාම අපනයන අඩාල වූ අතර ඒ නිසා මෙරට අපනයන කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන්  විවිධ දුෂ්කරතාවන්ට පත්ව තිබේ. අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම, බැංකු මගින් එම භාණ්ඩ වලට මුදල් ගෙවීම් කිරීමේ දී මතු ව ඇති ගැටළු, අපනයන ඇණවුම් සැකසීම වැනි කටයුතු වලදී ඔවුන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බව අපනයනකරුවන් තමන්ට දැනුම් දි ඇතැයි ඇමතිවරයා සදහන් කරයි. මේ සම්බන්ධයෙන් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙනම අධ්‍යනයක් සිදු කර ඇති අතර අපනයනකරුවන්ට සහන සැලසීම සදහා වන යේජනා 08 ක් හදුනාගෙන තිබේ. අපනයන ඇණවුම් සදහා අමද්‍රව්‍ය හිගය මගහරවාලීම, අපනයනකරුවන් සදහා රේගුව අනුගමනය කරන විශේෂිත බහු ක්‍රමය සදහා පැහැදිලි මාර්ගෝපදේශ ලබා දීම, ආහාර පාන අපනයනය සදහා බලපා ඇති ගැටළු හදුනාගෙන ඊට විසදුම් ලබා දීම වැනි යෝජනා ඊට ඇතුළත් වේ.

    අපනයනකරුවන් මුහුණ පා තිබෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යය සාධන බලකාය ද දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අපනයනකරුවන්ගේ ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙන බව එම බලකාය ද සදහන් කළ බව කියා සිටියේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අපනයන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට අපනයන සංවර්ධන මණ්ඩලය සක්‍රීයව දායක වු බවයි. පාරිභෝගික සහාය සදහා වෙන් වු වෙන ම උපකාරක සේවාවන් ආරම්භ කෙරුණ අතර සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබද ව අධික්ෂණය කිරීම ද ඒ අනුව සිදු කෙරිණ.

  • කොටි ප්‍රචාරවලට එරෙහිව සටන් කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ‘වෝල්ටර් ජයවර්ධන’ නික්ම යයි !

    කොටි ප්‍රචාරවලට එරෙහිව සටන් කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ‘වෝල්ටර් ජයවර්ධන’ නික්ම යයි !

    ගුරුවෘත්තියේ යෙදී සිටි කාලයේ සිටම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ඔහු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1987දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පා එ.ජා.ප දේශපාලයෙන් ඉවත් විය. එහෙත් ඔහු සිංහලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයන් මධ්‍යයේ ය.

    දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කොට පසුව එක්සත් ජනපදයට  සංක්‍රමණය වූ මාධ්‍යවේදීවෝල්ටර් ජයවර්ධන මහතා (78) ඉකුත් දා ලොස් ඇන්ජලීස් නගරයේදී අභාවප්‍රාප්ත විය.

    ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම මඟින් පළකළ ‘ලංකාදීප‘  පත්‍රයට සොරණාතොට ප්‍රදේශීය  වාර්තාකරු  වශයෙන් එක්වූ ඒ මහතා පසුව එහි මාණ්ඩලික වාර්තාකරුවකු සහ ප්‍රවෘත්ති  කතෘ  තනතුර ද දැරීය.  එයට අමතර ව වෝල්ටර් ජයවර්ධන මහතා ඒෂියා වීක් සඟරාවේ කොළඹ වාර්තාකරු වශයෙන් ද කටයුතු කළේය.

    1942 මැයි මස 22වන දින බදුල්ලේ සොරණාතොටදී උපත ලැබූ ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඉංග්‍රීසි  පුහුණු ගුරුවරයතු වශයෙනි. එම කාලය තුළ ලංකාදීප සොරණාතොට වාර්තාකරු ලෙස ද කටයුතු කළ ඔහුට දේශපාලන පළිගැනීම් හේතුවෙන් වරින් වර පාසල් 13කට මාරුවීම් ලැබුණි.  ඉන් කලකිරීමට පත් ඒ මහතා ගුරුවෘත්තියෙන් ඉල්ලා අස්වී “ ලංකාදීප පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස මාධ්‍ය ජීවිතය ඇරඹීය. ඒ අතර ඔහුට ඇමෙරිකානු රජයේ ජෙෆසන් ශිෂ්‍යත්වය හිමිවී EAST WEST SENTER හි වසරක කාලයක් මාධ්‍ය පුහුණුව ලබාගැනීමට අවස්ථාව උදා විය.

    ලංකාදීප පුවත්පත මූල්‍ය අර්බුදයක් හේතුවෙන් වසාදැමීමට යන අවස්ථාවේදී වෝල්ටර් සිය බිරිඳ වන හෙඳ නිළධාරියක වූ ලක්ෂ්මි සමඟ 1982දී  එක්සත් ජනපදයට ගොස් ලොස් ඇන්ජලීස් නුවර පදිංචි විය.

    වෝල්ටර් ජයවර්ධන මහතා ඇමෙරිකාවේ කොටි විරෝධී උද්ඝෝෂණයක

    මේවන විට දෙමළ ඊළම්වාදීන් ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රහාර අරඹා තිබුණි. ඒවාට පිළිතුරුදීමට ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය පියවර ගෙන තිබුණේ නැත. වෝල්ටර් 1983දී “සිංහල ආරක්ෂක සංවිධානය‘ නමින් සංවිධානයක් පිහිටුවා ඊළාම් ප්‍රචාරවලට පිළිතුරුදීම ඇරඹීය. ලොස් ඇන්ජලීස් නුවර විසූ  ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔහු හා එක්විය. ඔවුන් විසින් ඊළාම් ප්‍රචාරයට එරෙහිව පිකටින්, පෙලපාලි හා රැස්වීම් පැවැත්වූ අතර ඒවායේ පෙරමුණ ගත්තේ වෝල්ටර් ය.

    ගුරුවෘත්තියේ යෙදී සිටි කාලයේ සිටම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ඔහු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1987දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පා එ.ජා.ප දේශපාලයෙන් ඉවත් විය. එහෙත් ඔහු සිංහලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයන් මධ්‍යයේ ය.

    මහින්ද රාජපක්ෂ මහතා 2005දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වෝල්ටර් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (මධ්‍ය) වශයෙන් පත්කළ අතර ඔහු එම තනතුර දරමින් එංගලන්තයේ දෙමළ ඊළාම් ප්‍රචාරවලට පිළිතුරු දුන්නේ ය. පසුව 2010දී යළි ලොස් ඇන්ජලීස් නුවරට ගිය හෙතෙම සිංහල ආරක්ෂක සංගමය ඇතුළු සංවිධාන ගණනාවක ක්‍රියාකාරීව කටයුතු කළේය.

    2020 මැයි 3වැනි දින අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ අවසන් කටයුතු  මැයි 9දා ලොස් ඇන්ජලීස්හිදී සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙහෙයැවීමෙන් සිදුකෙරුණි.

    කොරෝනා වසංගතය හේතුවෙන් ඔහුගේ අවමංගල උත්සවය ෆේස්බුක් මඟින් විකාශනය කළ අතර බොහෝ දෙනා නිවෙස්වල සිට ඔහුගේ දේහයට අවසන් බුහුමන් දැක්වූ බව ලොස් ඇන්ජලීස්හි වෙසෙන මාධ්‍යවේදිනියක වන හසීනා ලීලාරත්ත මහත්මිය ඇයගේ ශ්‍රී ලංකා එක්ස්ෆස් වෙබ් අඩවියේ පළ කර තිබුණි.

    දයා ලංකාපුර

  • සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

    සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

    සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සුදානම් වෙයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය.

    සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සමාගම් සමග පසුගිය දා (22) පැවති සාකච්ඡාවක දී එම සංගම් නියෝජිතයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ  සංචාරක මාර්ගෝපදේශකයන් සදහා නීතිමය ආවරණයක් ලබා දෙන ලෙසයි. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය මෙරට සංචාරක මාර්ගෝපදේශකයන් තුන්දෙනෙකුට වැළදුණු බවත් ඉන් එක් අයෙකු මිය ගිය බවත් සාකච්ඡාවේ දී අනාවරණය විය.

    මේ වන විට දිවයිනපුරා සංචාරක මග පෙන්වන්නන් 5000කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ. මෙම සංචාරක මගපෙන්වන්නන් සදහා සහන පොළී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ. ඇමතිවරයා මෙහි දී කියා සිටියේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් අවධානය යොමු කර ඇති බවයි. ඊට අමතරව සංචාරක මාර්ගෝපදේශකයන් සදහා ගෙවනු ලබන දීමනාව දිනකට ඇමෙරිකානු ඩොලර් 35 දක්වා වැඩි කරන ලෙස ද එම නියෝජිතයෝ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවු සංචාරක මග පෙන්වන්නන් රැසක් සිටින බවත් ඔවුන් සංචාරකයන් සුරා කෑමකට ලක් කරන බවත් එම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්හ. ඇමතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කීවේ මෙවැනි සිදුවීම් වැළැක්වීමට ඉදිරි පියවර ගන්නා බවයි. සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු මග පෙන්වන්නන්, රියදුරන් නියාමනය කිරීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කළ බවත් කොරෝනා වසංගතය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වු බවත් පැවසු ඇමතිවරයා සංචාරක ක්ෂේත්‍රයේ යථා තත්ත්වයට පත් වූ වහාම එම වැඩසටහන නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.

    සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ සමරසේකර, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මික විජයරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

  • ඩඩ්ලි සිරිසේනගේ – සිරිපාල ගම්ලත්ගේ සහල් අධිරාජ්‍යයට හදිසි ආක්‍රමණයක් !

    ඩඩ්ලි සිරිසේනගේ – සිරිපාල ගම්ලත්ගේ සහල් අධිරාජ්‍යයට හදිසි ආක්‍රමණයක් !

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාට අයත් ‘අරලිය‘ සහ හිටපු  හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාට අයත් ‘නිපුන‘ නිව්රත්න සහ ලක් සහල් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යන ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරින්  50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අද (23) සවස හදිසි වැටලීමකට ලක් කර ඇත.

    මෙම වැටලීම සදහා කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ  නිලධාරින්ද සහභාගී වූ බව වාර්තා වේ.

    මෙම පරීක්ෂාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොළටට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සිය එකගත්වය පළ කළ බවයි.

    වැඩි දුරටත් අදහස් දැක්වූ ශාන්ත දිසානායක මහතා,

     මේක සැලසුම් සහගතව කළ හදිසි වැටලීමක්. මේක ජනතාව බොහොම අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක්. ඒ නිසා වෙළෙදපොළ තුළ කෘත්‍රීම සහල් හිගයක් නිර්මාණය කර අධික ලාබයක් ඉපයීමට මහා පරිමාණ මෝල් හිමියන්ට කිසිසේත් ඉඩ දිය නොහැකියි. ඒ නිසා මෙම පරික්ෂාවේදි අපි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල් වල රැස් කර තිබේන වී සහ සහල්  කොතරම් තිබේද යන්න විශේෂ පරීක්ෂාවට ලක් කළා‘

     මෙහිදී පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සදහන් කළේ ඉදිරියේදි දිවයින පුරා ඇති සහල් මෝල් වැටලීමට ලක්කර වෙළද පොළට නිකුත් නොකර අනවශ්‍ය ලෙස වී රැස්කර ගෙන සිටින මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවයි.
     
    ‘ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා ගෙන වෙළෙදපොළේ සහල් හිගයක් මවාපැමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙළෙද පොළට නිකුත් කරන ලෙස මම මෝල් හිමියන්ට උපදෙස් දුන්නා. ඔවුන් එයට එකගත්වය පළ කළා. ඒ වගේම තමයි ඉදිරියේදී කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට අපිට කළ හැකි උපරිම කාර්ය අපි ඉටුකරනවා‘

    ඩඩ්ලි සිරිසේන ඇතුළු දේශපාලන හා ව්‍යාපාරික බලවතුන්ගේ සහල් මෝල් වැටලීමට පියවර ගැනීම පිළිබදව අප සමග අදහස් දැක්වූ බොහෝ දෙනෙක් සිය සතුට පළ කළ අතර ඔවුන් සදහන් කළේ සහල් මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක වීමට තිබුණේ නොවැම්බර් 18 වැනිදා සිට බවයි.

  • Covid-19 Local Hot: නව ආසාදිතයින් 17ක්

    Covid-19 Local Hot: නව ආසාදිතයින් 17ක්

    අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 17 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ප.ව 17.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. එහි දැක්වෙන්නේ අද දිනය වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් මුළු සංඛ්‍යාව 1085ක් බවයි.

    ඒ අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 416ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 101ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 660ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

  • Covid-19 අසාදිත ගැබිණි මව්වරු නිරෝගී දරුවන් 100ක් බිහි කරති

    Covid-19 අසාදිත ගැබිණි මව්වරු නිරෝගී දරුවන් 100ක් බිහි කරති

    ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලක, කොරෝනාවෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රසූත කර තිබේ.

    මුම්බායි නුවර Lokmanya Tilak මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනාවෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ ඇත.

    එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් උපතේදී ම කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එම ළදරුවන් තිදෙනා ද පසුව සුවය ලබා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

    නමුත් කොරෝනාවෛරසය අසාදනය වූ ගැබිණි කාන්තාවන් දෙදෙනෙකු එම රෝහලේදී මරණයට පත්වී ඇති අතර ඉන් එක් කාන්තාවක් මියගොස් ඇත්තේ දරු ප්‍රසුතියට පෙරය.

    මෙම ආසාදිත මව්වරුන් සිදුකළ දරු උපත්වලින් අඩක් සිසේරියන් සැත්කම් හරහා සිදු වී තිබේ.

    උපත ලැබූ දරුවන්ගෙන් 56 දෙනෙකු පිරිමි දරුවන් වූ අතර 59 දෙනෙකු ගැහැණු දරුවන් බව රෝහල් වාර්තා සඳහන් කරයි.

    මෙම ගැබිණි මව්වරුනට කොරෝනාවෛරසය ආසාදනය වී ඇත්තේ සිය නිවසේදී ද, රෝහල තුළදී ද නැතහොත් වෙනත් පිටස්තර ස්ථානයකින් ද යන්න තවමත් පැහැදිලි නැත.

    කොරෝනාවෛරස වසංගතයෙන් ඉන්දියාවේ වැඩි ම බලපෑමකට ලක් වී ඇත්තේ මුම්බායි නගරයයි.

    ආසාදිත මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම රෝහලේ වෛද්‍යවරුන් 65 දෙනෙකු සහ හෙද හෙදියන් 24 දෙනෙක් පමණ සිටිති.

    ඇඳන් 40ක් පමණ සහිත විශේෂ වාට්ටුවක් මෙම ආසාදිත මව්වරුන් සඳහා වෙන්කර ඇති අතර අතර තවත් ඇඳන් 34ක් ඊට එක් කිරීමට රෝහල් බලධරයෝ සැලසුම් කරමින් සිටිති.

    මෙම දරු උපත් සියල්ල සිදු වී ඇත්තේ ශල්‍යාගාර තුනක් තුළ පවතින ඇඳන් හයක් මතය. දරු ප්‍රසුතිය සිදු වීමේදී ශල්‍යාගාරය තුළ සිටින වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ආරක්‍ෂිත සායනික ඇඳුම් කට්ටල හැඳ සිටිති.

    වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ආරක්‍ෂිත සායනික ඇඳුම් කට්ටල හැඳ සිටිති
    වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ආරක්‍ෂිත සායනික ඇඳුම් කට්ටල හැඳ සිටිති

    “ආසාදිත මව්වරුන්ගෙන් වැඩි පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ඇත්තටම වාසනාවක්. ඇතැම් මව්වරුන් උණ සහ ශ්වසන අවහිරතා පෙන්නුම් කළා. දරු ප්‍රසුතියෙන් පසුව ඒ අයට ප්‍රතිකාර කරලා නිවසට පිටත් කර හැරියා,” රෝහලේ මාතෘ හා ළමා අංශයේ ප්‍රධාන වෛද්‍ය අරුන් නායක් පැවසීය.

    “මේ ගැබිණි මව්වරු දැඩි ආතතියකින් පෙළෙනවා. ඔවුන් නිතර ම ඉල්ලා සිටිනවා තමන් මිය යා හැකි නමුත් දරුවාගෙ ජීවිතේ බේරන්න කියල.” ඔහු ප්‍රකාශ කළේය.

    දරුවා ප්‍රසුත කළ පසු මව සහ දරුවා විශේෂ වාට්ටුවක රඳවා තබනු ඇත. එය කොවිඩ්-19 රෝගීන් සඳහා පමණක් වෙන් වූ වාට්ටුවකි. මෙහිදී මව්වරුනට hydroxychloroquine ඖෂධය ලබා දෙයි.

    අනතුරුව දින 10ක නිරෝධායන කාලයක් සඳහා මොවුන් වෙනත් මධ්‍යස්ථානයකට යැවෙනු ඇත.

    අලුත උපන් දරුවන් මවගෙන් වෙනකොට නොතබන අතර මුහුණු ආවරණ පැළඳ මව්කිරි ලබා දීම සිදු කෙරේ.

    දරුවා ප්‍රසුත කළ පසු මව සහ දරුවා විශේෂ වාට්ටුවක රඳවා තබනු ඇත
    දරුවා ප්‍රසුත කළ පසු මව සහ දරුවා විශේෂ වාට්ටුවක රඳවා තබනු ඇත

    චීනයේ වූහාන් නගරයේ උපත ලද බිලිඳෙකුගේ සිරුරේ කොරෝනාවෛරසය තිබෙන බවට උපතින් පැය 30කට පසුව තහවුරු වූ බව පසුගිය පෙබරවාරියේ වාර්තා විය.

    චිකාගෝ නුවර දී අලුත උපන් බිළිඳෙකු කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා මරණයට පත් වූ බව මාර්තු මාසයේදී වාර්තා විය.

    බ්‍රිතාන්‍යයේ වේල්ස් හි තුන් හැවිරිදි දරුවෙකුද මරණයට පත් වූයේ මවට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවය.

    මවගේ ශ්වශන පද්ධතිය ආශ්‍රිත ශ්‍රාවයකට නිරාවරණය වන තුරු, දරුවා කුස තුළ සිටියදී හෝ ප්‍රසුතිය සිදුවන අවස්ථාවේ දී කොරෝනාවෛරසය ආසදනනය වීම සිදු වන්නේ ඉතා කලාතුරකින් බව නිව්යෝර්ක් වෛද්‍ය විද්‍යාලයේ (New York University School of Medicine) වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ, වෛද්‍ය ඇඩම් රට්නර් පැවසීය.

    කෙසේ නමුත් පවත්නා තත්වය ඉතා වේගයෙන් වෙනස් වන සුළු බැවින් ඉදිරියේදී නව දත්ත සහිත වාර්තා එලි දැකිය හැකි බව ඔහු අවධාරණය කළේය.

    Text by bbc sandesaya

  • ජනපති ගෝඨා ඉන්දීය අගමැති මෝදි සමග දුරකථන සංවාදයක

    ජනපති ගෝඨා ඉන්දීය අගමැති මෝදි සමග දුරකථන සංවාදයක

    අද (23) පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර සෑම ආකාරයකම සබඳතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කළහ.

    ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග කතා කළ ජනාධිපති රාජපක්ෂ මහතා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට පළ කරමින් වත්මන් දුෂ්කර අවධියේ ශ්‍රී ලංකාවට කළ උපකාර සම්බන්ධයෙන් මෝදී මහතාට සහ ඉන්දීය ජනතාවට කෘතඥතාව පුද කළේය.

    ඉන්දියාව ප්‍රදානය කළ ටොන් 10ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව ජනපතිවරයා පැවසීය.

    “ඉන්දියාව කොවිඩ් 19 වසංගතය මනාව පාලනය කර ඇති බව මට විශ්වාසයි. ඒ සඳහා ඔබතුමා ගත් උත්සාහයට විශේෂයෙන් අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් සඳහා හඳුන්වාදුන් ආර්ථික සහන සමූහයට මගේ ප්‍රසාදය. ශ්‍රී ලංකාවේ අපත් රෝග ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනය කිරීමට සමත් වී සිටිනවා” ජනාධිපතිවරයා කීය.

    ඉන්දීය අගමැතිතුමා ඊට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළේ කෝටි 130ක ජනගහණයක් හසුරුවා ගැනීම දුෂ්කර වුවත් වසංගත ව්‍යාප්තිය 75%  කින් පමණ මර්දනයට හැකි වූ බවයි.

    තමා ජනාධිපති රාජපක්ෂ මහතාව හඳුනාගෙන ඇත්තේ “නිරවුල් චින්තනයක් සහිත ඉක්මණින් දුෂ්කර තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයකු” ලෙස බව මෝදී  සඳහන් කළේය.

    “මට තිබෙන තොරතුරු අනුව ශ්‍රි ලංකාව වසංගතය හොදින් පාලනය කර ගැනීමට සමත්ව තිබෙනවා. එහි ගෞරවය හිමි වන්නේ ඔබතුමාට” ඉන්දීය නායකයා පැවසීය.

    දැන් තම ප්‍රමුඛතාව ආර්ථික පුනරුදය බව කී රාජපක්ෂ මහතා ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ඉන් එකකි. අගය එකතු කළ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය තවත් අරමුණකි. මේ ක්ෂේත්‍රවල ආයෝජනය කරන මෙන් ඉන්දීය ව්‍යාපාරිකයන් සහ දැනටමත් ශ්‍රි ලංකාවේ සිටින ඉන්දීය සමාගම් දිරි ගැන්විය හැකිනම්  පශ්චාත් කොරෝනා අවධියේ අර්ථික පුනරුදයට පිටිවහලක් බව ජනපතිවරයා පැවසීය.

    දෙරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හුවමාරු වැඩසටහන තවත් පුළුල් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. සාක් හුවමාරු පහසුව යටතේ ප්‍රදානය කර ඇති ඩොලර් මිලියන 400ට ඩොලර් බිලියන 1.1ක මුදලක් එකතු කිරීමට ඉන්දීය ආණ්ඩුව එකඟනම් එය විදේශ විනිමය ගැටලු කළමනාකරණයට විශාල ආධාරයක් බව එතුමා පෙන්වා දුන්නේය.

    “ ශ්‍රී ලංකාවට උදව් කිරීමට මම පෞද්ගලිකවම කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහය වෙන්න අප සූදානම්. ඒ සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සමග වැඩ කිරීමට, සුදුසු නියෝජිතයෙක් පත් කරන්න” මෝදි  පිළිතුරු වශයෙන් කීය.

    දැනටමත් ගොඩනැගී ඇති ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ජනතාවට ඝෘජු ප්‍රතිලාභ අත්වන සහ ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව ප්‍රමුඛතාව කොටගත් ව්‍යාපෘති ලෙස ඉදිරියට ගෙන යාමට නායකයෝ දෙදෙනා එකඟත්වය පළ කළහ.

  • අඟහරුවාදා සිට ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

    අඟහරුවාදා සිට ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

    මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවත් මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ හෙට, 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

  • පොඩි එකාටත් – ලෙඩා දුකාටත් බදු ගැසූ සම්පූර්ණ බදු ලැයිස්තුව මෙන්න !

    පොඩි එකාටත් – ලෙඩා දුකාටත් බදු ගැසූ සම්පූර්ණ බදු ලැයිස්තුව මෙන්න !

    මේ හරහා සාමාන්‍ය ජනතාවට දැවැන්ත ජීවන වියදම ඉහළ යාමකට මුහුණ දීමට සිදු වෙනවා. විශේෂයෙන් අති බහුතරයක් ජනතාවට තමන්ගේ ජීවන මාර්ග, අතිරේක ආදායම් අහිමි වීම තුළ සිදුවන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ තත්ත්වයක්.

    රජය විසින් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සදහා කිලෝ ග්‍රැමයකට රුපියල් 05.00 සිට 800.00 දක්වා වන පුළුල් පරාසයක විදිදෙන සේ නව බදු පැනවීමක් සිදුකර තිබෙනවා. පසුගිය 21 වැනි දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් මෙම නව බදු පැනවීම් පිළිබද නියෝගය නිකුත් කර ඇති අතර එහි සදහන් වන්නේ මැයි මස 22 වැනිදා සිට මාස 06ක කාලයක් සදහා මෙම නව බදු පැනවීම් වලංගු වන බවයි. ඒ අනුව ඊයේ (22) රාත්‍රියේ සිට නව බදු ක්‍රියාත්මක වන බව සදහන්.

    මේ නව බදු පැනවීම ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ආර්ථික හා දේශපාලන විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේ මේ බදු පැනවීම මගින් ඉතාම පැහැදිලි ලෙස සීනි, අර්තාපල්, රතුළුෑණු, පරිප්පු, ෆාම් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක දැවැන්ත මිල ඉහළ යාමක් සිදුවනු ඇති බවයි. විශේෂයෙන් ජනපතිවරයා ජාතිය අමතා අඩු කළ රතු පරිප්පු සහ සැමන් සදහා ද යළි බදු පැනවීම හාස්‍ය ජනක බවයි ඔහු සදහන් කළේ.

    ‘මේ හරහා ඇත්තටම ලෝක වෙළදපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස පහළ යාමේ වාසිය ජනතාවගෙන් සොරා ගෙන තිබෙනවා. අනෙක් අතට මේ භාණ්ඩ බදු පනවා ඇති බොහෝ භාණ්ඩ ප්‍රමාණවත් තරම් ලංකාව තුළ නිෂ්පාදනය වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස යෝගට් ගන්න. යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 800ක විශේෂ බද්දක් පනවා තිබෙනවා. ඒ කාණ්ඩය යටතේම ‘අනෙකුත්‘ කියලා සදහන් වන භාණ්ඩ සදහා ද රුපියල් 800ක බදු පැනවීමක් සිදු වෙනවා. යෝගට් කියන්නේ දරුවන්ගේ පෝෂණය සදහා අත්‍යවශ්‍ය ආහාරයක්. වෛද්‍යවරුන් දිගින් දිගටම මේ ගැන අවධාරණය කරනවා. අද සිට ළමයෙක්ට යෝගට් එකක් කන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. මොකද ලංකාව තුළ දේශීය වශයෙන් යෝගට් නිෂ්පාදනය සිදුවන්නේ නැහැ. එවිට දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාම අනිවාර්ය කාරණයක්‘

    මෙහිදී අල, රතුළුෑණු සහ සුදුලලුණු සදහා කිලෝවකට රුපියල් 50.00ක බදු ගැසීම ගැන සදහන් කරමින් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ ලංකාව තුළ පාරිභෝජනයට අවශ්‍ය තරම් අල සහ රතුළුෑණු නිෂ්පාදනයක් සිදු නොවන නිසා අනිවාර්යයෙන් බදුවලට වඩා වැඩි මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

    ‘ආණ්ඩුවට උපදෙස් දෙන ඊනියා උපදේශකයෝ පසුගිය දා මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂිකාර්මික භාණ්ඩ 16ක් ආනයනය තහනම් කිරීම ගැන කතා කළා. එහි ප්‍රතිඵලයක් තමයි මේ. ඒත් මේ රටේ මිලියන 20කට කන්න දෙන්න පුළුවන් තරමට දේශීය වශයෙන් අල සහ රතුළුෑණු නිෂ්පාදනයක් සිදුවන්නෙම නැහැ. ඇත්ත සංඛ්‍යා ලේඛන ගෙන බැලුවොත් පහසුවෙන් තත්ත්වය අවබෝධකර ගත හැකියි. අනෙක් අතට අල කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආහාර වේල තුළ තිබෙන සුලභ භාණ්ඩයක්. අල ටිකක්, පරිප්පු ටිකක්, සෝයා ටිකක් වගේ දේවල් තමයි මේ සාමාන්‍ය ජනතාව බහුලව පාරිභෝජනය කරන්නේ. දැන් ඉතිං කොවිඩ් වසංගතය නිසා ආර්ථික ශක්තිය දුර්වල වෙලා සිටින ජනතාවට තවත් වටයකින් ජීවන වියදම ඉහළ යාමකට මුහුණදීමට සිදු වෙනවා‘

    මෙහිදී ආනයනික පලතුරු සදහා වන දැවැන්ත බදු ඉහළ යාම පිළිබදව අදහස් පළ කළ ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා කියා සිටියේ මෙය ද විකෘති තත්ත්වයක් බවයි.

    ‘ඇපල් සදහා කිලෝවකට රුපියල් 100ක්, දොඩම් සදහා කිලෝවකට රුපියල් 125ක්, ලෙමන් සදහා කිලෝවකට රුපියල් 350ක්, මිදි සදහා රුපියල් 200ක් ආදි වශයෙන් බදු පැනවීමක් සිදු වෙනවා. කාට හරි තර්ක කරන්න පුළුවන් දේශීය වශයෙන් නිෂ්පාදනය වන පලතුරු ප්‍රවර්ධනයට මේ බදු උපකාර වෙනවා කියලා. ඒත් අඹ, කෙසෙල්, ගස්ලබු වල දේශීය මිල ගණන් පවා ජනතාවට දරා ගන්න අමාරුයි. මේ්වායින් අතරමැදියා තමයි විශාල ලාභයක් ගන්නේ දේශීය වශයෙන් වගා කරන පේර කිලෝවක් පවා රුපියල් 250ක් විතර වෙනවා. වාරයට පමණක් මිලදී ගත හැකි උගුරැස්ස වාගේ පලතුරු ග්‍රෑම් 100ක් පවා රුපියල් 200ක් විතර වෙනවා. අනෙක් අතට ඇපල්, මිදි, දොඩම් කියන්නේ විශේෂයෙන් කුඩා ළමුන්ට සහ රෝගීන්ට දෙන ආහාර මේ සිදුවන්නේ යෝගට් අහිමි කළා වාගේ දරුවන්ට මේ පලතුරු අහිමි කිරීම‘

    රට ඉදිවලට රුපියල් 100ක බදු පැනවීමක් ගැන අදහස් දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ සදහන් කළේ රාමසාන් උපවාස සමයේ ඉස්ලාම් භක්තිකයින්ට අත්‍යවශ්‍ය ආහාර වර්ගයක් වන රටඉදි මත සිදුකළ නව බදු පැනවීම කනගාටුදායක බවයි.

    ‘සමස්තයක් විදහට මිරිස් කුඩු ටිකේ සිට පරිප්පු ටික දක්වා මේ හරහා අති දැවැන්ත මිල ඉහළ යාමක් සිදුවෙනවා. මොකද අපි ගණනය නොකළට මිරිස්, තෙල් වර්ග, කරවල, විශේෂයෙන් හාල්මැස්සන්, (කුඩා ළමුන්ට අත්‍යවශ්‍ය පෝෂණය සහිත) එක්ක සමස්ත පැකේජය ගත් විට නිවස සාමාන්‍ය මාසික වියදමින් සැලකිය යුතු ප්‍රතිශයක් මේ භාණ්ඩ හරහා නියෝජනය කරනවා. ඒ නිසා මම පැහැදිලිව සදහන් කරන්නේ මේ හරහා සාමාන්‍ය ජනතාවට දැවැන්ත ජීවන වියදම ඉහළ යාමකට මුහුණ දීමට සිදු වෙනවා. විශේෂයෙන් අති බහුතරයක් ජනතාවට තමන්ගේ ජීවන මාර්ග, අතිරේක ආදායම් අහිමි වීම තුළ සිදුවන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ තත්ත්වයක්.

    නව ආනයනික බදු පනවා ඇති සම්පුර්ණ භාණ්ඩ පිලිබඳ සවිස්තරාත්මක ලැයිස්තුව පහතින් දැක්වේ.

    atyawasya 740px
    1
    2
    3
    4
    සටහන – නිර්පාක්ෂික බැද්දේවිතාන

    P

  • කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – 24-25 මුළු රටටම ඇඳිරි නීතිය

    කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – 24-25 මුළු රටටම ඇඳිරි නීතිය

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (22) පෙ.ව 10.15ට නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

    එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

    කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි, 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

    කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

  • රු.5000 දීමනාව කැපීම ගැන ඇමැති බන්දුල බොරු කියයි – මැකො හෙළි කරන ඇත්ත මෙන්න !

    රු.5000 දීමනාව කැපීම ගැන ඇමැති බන්දුල බොරු කියයි – මැකො හෙළි කරන ඇත්ත මෙන්න !

    ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාවට ජුනි මාසය සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදෙන මෙන් රජයට දැනුම් දීමක් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට කියා සිටි බව එහි වාර්තාවක දැක්වේ.

    ආර් ඩී විමලාවතී

    සමෘධිය අහිමිවීම හේතුවෙන් රුපියල් 5000 සහනාධාරයත් අහිමි වූ කාන්තාවක් – BBC SANDESAYA

    බී.බී.සි. සන්දේශය සමග අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසා ඇත්තේ ජුනි මාසය සඳහා එම ගෙවීම සිදු කිරීමට අවශ්‍යදැයි සළකා බලන ලෙස සහ අවශ්‍ය නම් දේශපාලන මැදිහත් වීමකින් තොරව අදාළ කටයුතු සිදු කරන්නැයි අදාළ ලිපියෙන් පෙන්වාදුන් බවයි.

    ජුනි මාසය සඳහා ද රුපියල් පන්දාහ බෙදීමේ යෝජනාවට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරී පිරිසකට පසුගියදා ලිපියක් යොමුකළ බව ද දේශප්‍රිය මහතා සදහන් කර ඇත.

    ‘දේශපාලනඥයන් එපා’

    “එදිනෙදා ආදායම් අහිමි වෙච්ච අයට නේ 5000 දුන්නේ. දැන් රට සාමාන්‍ය තත්වයට පත්වෙලා නම්, සමහර අයට රැකියා කරන්න පුළුවන් තත්වයට පත් වෙලානම් ඒක දෙන්න ඕනද නැද්ද කියන එක සළකා බලන්න අපි කියලා තියෙන්නේ,” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    “දෙන්න කියලා අපෙන් ඇහුවෙත් නෑ. අපි දෙන්න එපා කියලත් නෑ. අපිට පැමිණිළි ලැබුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන්. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ වල ලේකම්වරුත් ඒ රැස්වීමේ හිටියා. ඔවුන්ටත් ඕන නම් ඒ වෙලාවේ උත්තර දෙන්න තිබුණා. අපි වැදගත්ම කරුණක් කියලා තියෙනවා මේ වැඩසටහනට ප්‍රාදේශීය හෝ ග්‍රාමීය දේශපාලනඥයන් සහභාගි කර ගැනීමෙන් වළකින්න කියලා.’

    ‘බොර දියේ මාළු බානවා’

    මේ පිළිබඳව මැයි 21 වැනිදා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ද අදහස් පළ කළේය.

    ඔහු සඳහන් කළේ ආණ්ඩුවට විරුද්ධව බොරදියේ මාළු බාන පිරිස් මහජනයා දුකට පත්ව ඇති මෙවන් මොහොතක මෙලෙස පැමිණිළි ඉදිරිපත් කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවය.

    “ජාති, කුල, ආගම භේදයෙන් තොරව ජනතාවට සද්භාවයෙන් මේ මුදල් දෙන්නේ. කාටහරි අසාධාරණයක් වෙලා නම් අභියාචනා ඉදිරිපත් කරන්න කියල යම් ගැටලුවක් තිබුණානම් අපි ඒවත් නිවරදි කළා. ඊයේ කැබිනට් එකේදී කතා කළේ අපි මොනතරම් සත්භාවයෙන් ක්‍රියා කළත් මේ දේශපාලන ව්‍යාපාරයක් කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ කොමිසමේ නියෝග වලට අපි ගරු කරමින් ජුනි මාසේ 5000 දෙන්න බැරි තත්වයක් උද්ගත වෙලා” යනුවෙන් බන්දුල ගුණවර්ධන පවසන ලදී.

    COVID-19 රෝගී තත්වය නිසා ආදායම් අහිමිවූවන්ට, සමෘද්ධිලාභීන්ට, ආබාධ සහිතවූවන්ට සහ රෝගී තත්වවලින් පෙළෙන අයට රුපියල් 5000 බැගින් අප්‍රියල් මාසයේදී ලබා දීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 2500-3000ත් අතර මුදලක් වැය කළ බව රජය පවසයි.

    මැයි මාසයේ එම දීමනාව 51,44046 දෙනෙකුට හිමිවන බවත්, ඒ සඳහා රුපියල් කෝටි 2572ක් වැයවන බවටත් රජය ත්කසේරු කර තිබේ.

    ‘ග්‍රාමසේවක හරහා බෙදන්න’

    මෙම රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයන් මැදිහත් වන බවට පසුගිය කාලයේ චෝදනා එල්ලවූ අතර ඒ ගැන මැතිවරණ කොමිෂන් සභාවට ද පැමිණිළි ලැබී තිබුණි.

    මේ පිළිබඳව මැයි 20 වැනිදා විකාශය වූ රුපවාහිනී සංවාදයකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙති පළ කළේ මෙවැනි අදහසකි.

    “දැන් මතයක් හදන්න යන්නේ JVP එක, විපක්ෂය කෑ ගහලා ජුනි මාසේ පන්දාහ දෙන්න එපා කිවුවා කියලානේ. මැතිවරණ කොමසාරිස්තුමා කියන්නේ මේක බෙදන්න එපා කියලා නෙමෙයි,” සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

    “මැතිවරණ කාලේ දේශපාලනය නොකර රාජ්‍ය යාන්ත්‍රණය භාවිත කරලා බෙදන්න. ග්‍රාමසේවක හරහා ඕක බෙදන්න පුළුවන්නේ. මේක නොබෙද ඉන්න තර්කයක් හදාගන්නවනම් මැතිවරණ කොමසාරිස්තුමාගේ ලිපිය පාවිචිචි කරන්න පුළුවන්. හැබැයි බෙදන්න ඕන නම් එතුමා කියන දේම යොදාගන්න පුළුවන්.”

    මේ සම්බන්ධයෙන් අප කළ ක්ෂේත්‍ර විමසා බැලීම්වලදී දැඩිව පැහැදිලි වූයේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් රුපියල් 5000 දීමනාව ලබාදීමේදී ඍජුව සම්බන්ධ වන බවයි. ඒ අතර එම මුදල සැබවින්ම ජීවන මාර්ග අහිමි වූ පුද්ගලයින්ට වඩා ඉතා ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් ඇතුළු පාර්ශ්ව විසින් ද ලබා ගෙන ඇති බවයි.

    ‘මටත් රුපියල් 5000 දීමනාව ලැබුණා. ආණ්ඩුවෙන් නිකං දෙන දේ නිසා මමත් ගත්තා. මම ඒ සල්ලිවලින් කළේ එළවළු පැළ ගන්න එක. එහෙම නැතිව ගෙදරට කන්න ගන්න තරම් අහේනියක් අපට තිබුණේ නැහැ‘ මෙම අප සමග අදහස් දක්වමින් රූපලාන්‍ය මධ්‍යස්ථානයක හිමිකාරියක් ප්‍රකාශ කළාය.

    ‘මගෙයි මහත්තයාගෙයි දෙන්නගෙම බිස්නස් නැති වුණා. ඒත් අපි ඒක දරා ගත්තා‘ ඇය වැඩි දුරටත් පවසුවාය.

    බී.බී.සී සන්දේශය සහ ක්ෂේත්‍ර වාර්තා ඇසුරිණි

  • නව ආසාදිතයින් 19ක් හමුවෙයි – සමස්ත සංඛ්‍යාව 1047ට නගී

    නව ආසාදිතයින් 19ක් හමුවෙයි – සමස්ත සංඛ්‍යාව 1047ට නගී

    අද (21) දින ප.ව 22.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1047ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වෙබ් අඩවියේ සදහන් වේ.

    එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල් තුළ රෝගීන් 434 දෙනකු ප්‍රතිකාර ලබන අතර 139 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි.

    සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 604ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ අද දිනය තුළ ගෝලීය වශයෙන් වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති බවයි. එය 9743ක් වන අතර රුසියාවෙන් 8849ක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයින් 2676ක් සහ එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 2615ක් වාර්තා වී ඇත.

  • EPF සහ සමෘද්ධි අරමුදලට ස්ථිර ආදායම් මාර්ග සොයයි

    EPF සහ සමෘද්ධි අරමුදලට ස්ථිර ආදායම් මාර්ග සොයයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය.

    රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සැපයුම ක්‍රම 03කට සිදුවන බව කීය. ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරන ආනයන වශයෙනි.

    රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත්, ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගත වන බැවින් ඇතැම්විට හිඟයක් ඇති වන බවත් සභාපතිවරයා කීය.

    ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා කලින් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කොට ඊළග වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළයුතු බව පැවසීය.

    අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළ යුතුය. ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස උපදෙස් දුන්නේය.

    හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කළයුතු බව පෙන්වා දුන්නේය.

    රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනය නිෂ්පාදනය කරන බව සඳහන් කළ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. එමගින් වසරකට රුපියල් කෝටි 130ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි සභාපතිවරයා කීය.

    සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීමේ ඉඩ කඩ ද සාකච්ඡාවේ දි විමර්ශනය කෙරිණ. එවැනි ක්‍රමයක් සකස් කළහොත් මේ අරමුදල් දෙකට ස්ථීර ආදායමක් විවෘත වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු  සහ භාණ්ඩාගාර නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ලංකාව ඇතුළු දුප්පත් රටවල මිලියන 60ක ජනතාවක් අමු හිගන්නෝ බවට !

    ලංකාව ඇතුළු දුප්පත් රටවල මිලියන 60ක ජනතාවක් අමු හිගන්නෝ බවට !

    ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි

    කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැඩි සේ පීඩා විදින දිළිදු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටීම ගැන තමා දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් David Malpass කියයි.

    කොරෝනා ගෝලීය වසංගතය හමුවේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ආර්ථික අර්බුදය සහ ඒ හරහා නිර්මාණය වෙමින් පවතින සංකීර්ණතා ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා පසුගිය දා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී ඔහු සදහන් කළේ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 60ක ජනතාවක් ‘අන්ත දිළිදුභාවයට පත්වනු ඇති බවයි. දිළිදුකම ජය ගැනීම සදහා පසුගිය කාලය තුළ අනුගමනය කළ සියලු ක්‍රියාමාර්ග මේ අනුව බිද වැටෙනු ඇති බව ද ඔහු සදහන් කළේය.

    “ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. අපේ ඇස්තමේන්තුව මිනිසුන් මිලියන 60ක් දක්වා ප්‍රමාණයක් අන්ත දිළිඳුභාවයට තල්ලු විය හැකි බවයි. එමගින් පසුගිය තුන් වසර තුළ දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් ලැබූ ප්‍රගතිය සම්පූර්ණයෙන් ම මැකී යනවා ‘ඔහු සිය කණස්සල්ල පළ කරමින් කියා සිටියේය.

    ලෝක බැංකුව විසින් අන්ත දිළිඳුභාවය ලෙස අර්ථදක්වන්නේ පුද්ගලයෙකුට දිනකට ඩොලර් 1.90ට වඩා අඩු ආදායමකින් ජීවත් වීමට සිදු වීමය.

    මේ අතර ගෝලීය ආර්ථික අවපාතයක් ගැන සිය අදහස පළ කරමින් ලෝක බැංකුවේ සභාපතිවරයා කියා සිටියේ ගෝලීය අර්ථීක වර්ධනය මෙම වසර තුළදී 5%කින් හැකිලෙනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරන බවයි.

    මෙහිදී කොවිඩු-19 වසංගතයෙන් බැටකන දිළිදු රටවලට තමන් විසින් ලබාදීමට සැලසුම්කර ඇති සහන ගැන ද ඔහු කරුණු අනාවරණය කළේය.

    දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

    ‘කොරෝනාවෛරසය හේතුවෙන් මතු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිළිඳු රටවලට සහය වීමට ඩොලර් බිලියන 160ක මුදලක් ලෝක බැංකුව වෙන් කර තිබෛනවා.මෙය ආධාර දීමනා වශයෙන් සහ අඩු පොලී ණය වශයෙන් එම රටවලට ලබා දීමට නියමිතයි. ලෝක ජනගහනයෙන් 70%කට නිවහන වී ඇති රටවල් 100ක් සඳහා හදිසි මූල්‍ය ආධාර දැනටමත් ලබා දී තිබෙනවා. ඒත් ලෝක බැංකුව සැලකිය යුතු සම්පත් ලබා දෙමින් සිටියත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ.” ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අවධාරණය කළේය.

    මෙහිදී දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

    “ඒ සඳහා පවතින මන්දගාමී ස්වභාවය ගැන මට යම්කිසි කනස්සල්ලක් තියෙනවා. වාණිජ මට්ටමින් ණය ලබා දෙන්නන් ඉතාමත්ම දුප්පත් රටවලින් පවා තවමත් මුදල් අය කර ගන්නවා. ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතුව තිබෙනවා.”

    G20 කණ්ඩායමට අයත් රටවලින් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් දුප්පත් රටවල් ආපසු ගෙවමින් පවතින වාරික මෙම වසර අවසානය වනතුරු නොගෙවා සිටීම සඳහා ඉල්ලුම් කළ හැකි යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ව කටයුතු කළ බව ද මැල්පාස් කියා සිිටියේය.

    ‘ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. මෙයට කඩිනම් විසදුමක් අවශ්‍යයි” ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    මේ අතර JP Morgan බැංකුවේ ප්‍රධාන විධායක ජෙමී ඩීමන් කියා සිටියේ මීට වඩා සාධාරණ වූ සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව සිහිපත් කරවීම සඳහා ලැබුණු “ඇස් අරවන ඇමතුමක්” ලෙස මෙම කොරෝනාවෛරස් වසංගතය භාරගත යුතු බවයි.

    “මිනිසුන් වැඩි ප්‍රමාණයකට අවස්ථා සැපයෙන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙම අර්බුදය අප යොදා ගනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා; විශේෂයෙන් ම අතිශය දීර්ඝ කාලයක් තිස්සේ අතහැර දමා සිටි මිනිසුන් වෙනුවෙන්.” ජෙමී ඩීමන් මෙම සටහන ලියා තිබුණේ ලෝක බැංකුවේ කොටස්කරුවන්ගේ වාර්ෂික හමුව අඟහරුවාදා (මැයි 19)පැවැත්වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

    ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

    අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘

    නිලධාරීන්ගේ කතා සාප්පු වහලා භූමිය මත වැඩ කළ යුතුයි

    ‘අපි ණය අරගෙන කළේ කිසිදු ආර්ථික ඵලදායීතාවක් නැති ව්‍යාපෘති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම. දේශපාලනඥයින් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම ජාතික ධනය සහ විදේශ ණය යොදා ගෙන තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකය තුළ මෙරට ක්‍රියාත්මක කළ කිසිදු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබිලා නැහැ. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතා ගැන නොසලකා දියත් කළ මොරගහකන්ද – කලුගග වැනි ව්‍යාපෘතිවලිනුත් නිවාස වැඩපිළිවෙළ තුළිනුත් කිසිදු ආර්ථික වටිනාකමක් ලැබී නැහැ. අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන හා ආර්ථික විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේය.

    බී.බී.සී වාර්තාවක් සහ පසුබිම් වාර්තා මත සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ