Category: සුපිරි News

  • කොරෝනා රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් සකසන්න – ජනපති

    කොරෝනා රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් සකසන්න – ජනපති

    කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී.

    රජය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිතුමා පවසයි.  ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගැනීමට ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග සොයා බැලීමට අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

    ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතී. එම රටවල සිට මෙරටට පැමිණෙන අය දින 14 කාලයක් නිරෝධායනයට ලක් කළයුතු බව කාර්ය සාධන බලකාය ජනාධිපතිතුමාට නිර්දේශ කළේය. එමගින් කොරෝනා වෛරසය පැතිරීමේ බලපෑමට ලක් නොවූ රටක් ලෙස ශ්‍රී ලංකාවට තවදුරටත් ක්‍රියාකළ හැකි බව සාමාජිකයෝ පෙන්වා දුන්හ.

    දැනටමත් සමස්ත දිවයින ආවරණය වන පරිදි රෝහල් රැසක සැක සහිත රෝගීන් සාර්ථකව නිරෝධායනය කෙරේ.  කොරෝනා ආසාධිත  කිසිදු ශ්‍රී ලාංකිකයෙක් රට අභ්‍යන්තරයෙන් හමු වී නැත. විදෙස්ගතව සිට  පැමිණෙන ජනයාට යම් රෝග ලක්ෂණයක් ඇත්නම්  සැඟවී නොසිට සමාජයීය වගකීමෙන් ක්‍රියා කිරීම යුතුකමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රෝගය බෝවීම වැළැක්වීමට ගන්නා සෞඛ්‍යමය ක්‍රියාමාර්ග මාධ්‍ය මඟින් නිරන්තරයෙන් ප්‍රචාරය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉදිරියේ දී නිරෝධායන ක්‍රියාවලිය ඇරඹීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය ස්ථාන, සම්පත් දායකයන්, පහසුකම් සහ උපකරණ සපයා දීමට විධිමත්ව සූදානම් වන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහූ සහ කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ  සාකච්ඡාවට එක්ව සිටියහ.

  • කොරෝනා ආසාධිත රටවල් වලින් පැමිණෙන සිසුන් නිරෝධායනයට

    කොරෝනා ආසාධිත රටවල් වලින් පැමිණෙන සිසුන් නිරෝධායනයට

    චීනය කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා  වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ ව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක)  නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

    ලෝකයේ ර‍ටවල් 70 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා (කොවිඩ් 19) වෛරසය ආසාධිත රෝගීන් සම්බන්ධ තොරතුරු හේතුවෙන් එම  රටවලින් මෙරටට පැමිණෙන පිරිස් සති දෙකක, එනම් දින 14ක  අනිවාර්ය නිරෝධායන කාලයකට යටත්විය යුතු බවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් දැනුවත් කරන ලෙස  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

  • කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්: පළාත් කිහිපයකට වැසි

    කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්: පළාත් කිහිපයකට වැසි

    2020 මාර්තු මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

    අද සහ හෙට දිනවලදී (6 සහ 7) විශේෂයෙන් මධ්‍යමසබරගමුවඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වේ.

    මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    මුහුදු ප‍්‍රදේශවල කාලගුණ තත්ත්වය

    වැසි තත්ත්වය:
    මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මඩකළපුව සිට   පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
    සුළඟ:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ.
    මුහුදේ ස්වභාවය:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිනු ඇත.

    fShare

  • ඊයේ T20 තරගයේදී මොකද වුණේ ? සියලු විස්තර මෙන්න

    ඊයේ T20 තරගයේදී මොකද වුණේ ? සියලු විස්තර මෙන්න

    ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 56 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස සංචාරක කොදෙව් පිල පෙරමුණ ගෙන සිටියි.

    කොදෙව් පිල ලබා දුන් ලකුණු 197 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදුන් ඔෂේන් තෝමස් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.1 කදී ලකුණු 171 කට සීමා කළහ. එහිදී කැපී පෙනුණු ඔෂේන් තෝමස් අධිවේගී පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙකුම දවා ගත්තේය. 

    තෝමස්ගේ විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම මෙන්ම කඩුලු 5 ක් දවා ගන්නා ලද පළමු අවස්ථාව බවට සටහන් වූ එම දක්ෂාතවයේදී අවිෂ්ක ප්‍රනාද්දුව දවා ගනිමින් සිය කඩුලු දඩයම ඇරඹීය. අනතුරුව යවන ලද ඊළඟ පන්දුවේදී ෂෙහාන් ජයසූරිය දවා ගත් දකුණත් වේග පන්දු යවන්නා කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ආසන්නයට පැමිණියේය. කඩුලු ත්‍රිත්වය වෙනුවෙන් එවන ලද පන්දුවේදී කුසල් මෙන්ඩිස් ආරක්ෂා වීමට සමත් වුවත් ඊළඟ පන්දුවේදී කුසල්ද තෝමස්ගේ ගොදුරක් ලෙසින් ශ්‍රී ලංකාව තවත් අසීරුතාවයට ඇද දමමනි. 

    ලකුණු 56 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී පිටියට එක්වූ කුසල් පෙරේරා සහ වනිඳු හසරංග ශ්‍රී ලංකාව වැටී සිටි ආගාධයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් පන්දු 57 කදී වේගවත් ලකුණු 87 ක් රැස් කළහ. තම විවාහ උත්සවයට සහභාගිවීමෙන් හෝරා 24 ක් ගතවීමට මත්තෙන් අද තරගයට ක්‍රීඩා කරන ලද කුසල් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක් ලබා ගත්තේ තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් කර ගනිමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් වනිඳු හසරංග එක්සි තරගාවලියේදී මෙන්ම සාර්ථක වෙමින් පන්දු 34 කදී ලකුණු 44 ක් රැස් කර ගත්තේය.

    මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව හේතුවෙන් අවසන් පන්දු 30 තුළදී ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ලකුණු 56 ක් පමණි. එහෙත් රොව්මන් පවෙල් සහ ඩ්වයින් බ්‍රාවෝ විසින් වනිඳු සහ කුසල් දවා ගැනීමට සමත්වීමත් සමඟ එතෙක් වෙලා දෙපිළටම විවෘතව තිබූ තරගයේ වැඩි වාසි කොදෙව් පිල වෙත දෝලනය විය.

    වේගයෙන් ලකුණු රැස් කළ කොදෙව් පිතිකරුවන් අතරින් ෆේබියන් ඇලන් (නොදැවී 03), හැරුණු කොට සෑම පිතිකරුවකුම ලකුණු 10 සීමාව ඉක්මවමින් ලකුණු රැස් කළහ.  ඒ අතරින් සිව් දෙනෙකුම ලකුණු 30 සීමාව ඉක්මවාලූයේ කොදෙව් ලකුණු පුවරුව ලකුණු 200 සීමාවට ආසන්නයට රැගෙන යමිනි.

    ලෙන්ඩ්ල් සීමන්ස් අර්ධ ශතකයක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අන්ද මන්ද කරවන තරමේ පිතිහරඹයක නියැළුණු ඇන්ඩ්‍රෙ රසල් සහ නායක කිරන් පොලාර්ඩ් පිළිවෙළින් ලකුණු 35 සහ 34 බැගින් ලබා ගත්හ. රසල් තම ලකුණු 34 සඳහා පන්දු 14 කටද පොලාර්ඩ් පන්දු 15 කට මුහුණ දුන්හ.

    ලොව විස්සයි-20 ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයකු වන පොලාර්ඩ් අද සහභාගිවූයේ සිය 500 වැනි විස්සයි-20 තරගයටය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් තම ඉනිම සරසා ගත් පොලාර්ඩ් තම 500 වැනි තරගයට සදාතනික මතකයක් එක් කර ගන්නා ලද්දේ එම තරග අංශයේ ලකුණු 10,000 සීමාවද ඉක්මවා යමිනි.

    පොලාර්ඩ් තරමටම වේගත් වුණු ඇන්ඩ්‍රෙ රසල් සිය ලකුණු 35 දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 14 කදී ලබා ගත්තේය. 13 වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දීමට පැමිණි රසල් රැස් කරන ලද ලකුණු අතර 32 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරගන්නා ලද ඒවාය. සිදුවන්නට යනදේ වටහා ගත් ලසිත් මාලිංග පන්දුව අතට ගෙන එතෙක් දැවැන්ත පහර එල්ල කරමින් ලකුණු රැස් කළ රසල්ගේ ඉනිම නිමා කළ නමුත් මේ දඩබ්බර පිතිකරුවා ඒ වන විටත් ශ්‍රී ලංකා පිලට නොසෑහෙන ලෙස හානි සිදුකර තිබුණේය.

    ආරම්භයේ සිටම ඉනිම අවසන් වන තෙක්ම පන්දුවට පහර දුන් ලෙන්ඩ්ල් සීමන්ස් කොදෙව් ඉනිමේ ගොඩනැංවුණු සෑම කඩුලු සම්බන්ධතාවයකටම සහභාගිවිය. ප්‍රථමයෙන්ම බ්‍රෙන්ඩන් කිං සමඟ ඉනිම ඇරැඹි සීමන්ස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී වේගවත් ලකුණු 74 ක් එක් කළේය. කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් කොදෙව් ආරම්භක පිතිකරුවෝ අධිවේගී පන්දුවාර 6 ඇතුළත ලකුණු 58 ක් රැස් කරගත්හ.

    මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයට හතරේ පහරක් ද සමඟින් ලකුණු ලබා ගැනීම ඇරඹූ දකුණත් පිතිකරුවන් දෙදෙනා අතරින් බ්‍රෙන්ඩන් කිං, සීමන්ස් අර්ධ ශතකය රැස් කර ගැනීමට ප්‍රථම දැවී ගියේය. එක්දින තරගාවලියේ සිට කණ්ඩායමේ සිටියද පළමු වරට තරගයකට ක්‍රීඩා කරන ලද බ්‍රෙන්ඩන් කිං ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් හි පන්දු රැකි වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් දී කිං දැවී යන විට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 25 කදී ලකුණු 33 ක් රැස් කරගෙන සිටියේය.

    අනතුරුව නිකොලොස් පූරාන් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක් එක් කළ සීමන්ස්,  ඇන්ඩ්‍රෙ රසල් සහ නායක කරන් පොලාර්ඩ් සමඟ එක්වෙමින් තෙවැනි සහ සිව්වැනි කඩුලු සඳහා පිළිවෙළින් ලකුණු  43 ක් සහ ලකුණු 45 ක් වශයෙන් ලකුණු 88 ක් එක් කරන ලද්දේ පන්දු 39 ක් පමණක් වැය කරමිනි.

    සීමන්ස් ඉනිම නිමා වන විට පන්දු 51 කදී ලකුණු 67 ක් ලබා සිටියේය. අද දිනයේදී තම 8 වැනි විස්සයි-20 අර්ධ ශතකය රැස් කරගත් දකුණත් ආරම්භක පිතිකරුවා ඒ වෙනුවෙන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 කින් තම ඉනිම සරසා ගත්තේය.

    text by sl cricket

  • උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

    උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (5) නිකුත් කළා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (6) දිනය සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවාධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට 06 දා සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ.

  • 3/2ක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න – ජනපති කර්තෘවරුන්ට කියයි

    3/2ක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න – ජනපති කර්තෘවරුන්ට කියයි

    තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මාධ්‍ය ආයතන කර්තෘවරුන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    මාධ්‍යවේදීහු විවිධ පැතිකඩ සහ ක්ෂේත්‍ර අලලා ජනාධිපතිතුමාගේ ප්‍රශ්න විමසූහ. ජනාධිපතිතුමා ඒවාට සරල, ඝෘජු සහ පැහැදිළි පිළිතුරු ලබා දුන්නේය.

    • ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය නූතන තාක්ෂණයයි…

    කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීම සඳහා විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණය ඇතුළු නූතන තාක්ෂණික ශිල්ප ක්‍රම ආර්ථිකයට හඳුන්වා දීමට ඉහළ ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය. සංවර්ධන ක්‍රියාදාමයේ ගාමක බලවේගය තාක්ෂණය බව එතුමා කීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය පරිදි තාක්ෂණය හඳුන්වා දීම සිය ඉලක්කය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    “සන්නිවේදන තාක්ෂණ ක්ෂ්ත්‍රයේ වත්මන් ආර්ථික වටිනාකම ඩොලර් බිලියනයක් එය ඉදිරි වසර දෙක තුන ඇතුලත ඩොලර් බිලියන 3 දක්වා වැඩිකරන්න පිළිවන්. උත්පාදනය කළහැකි රැකියා සංඛ්‍යාව තුන්ලක්ෂයක් පමණ අප කළ යුත්තේ අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම” ජනාධිපතිතුමා කීය.

    • තුනෙන් දෙකක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න

    ළග එන මහ මැතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මාධ්‍යවේදියෙක් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තමා බලයට පත්කළ ජනතාව අපේක්ෂා රැසක් සපුරා ගැනීමට බලා සිටින බව කීය. ඔවුන්ගේ ප්‍රාර්ථනා සපුරාලීමට නම් ජනාධිපතිවරයාට බාධාවලින් තොරව වැඩ කිරීමේ අවකාශය තිබිය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අවකාශය පැහැරගෙන ඇත. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරායට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බාධා පනවා තිබෙන්නේ නම් එවැනි ව්‍යවස්ථාවක තේරුම කුමක්දැයි ප්‍රශ්න කළ රාජපක්ෂ ජනාධිපතිතුමා තුනෙන් දෙකක ජනවරමක් අවශ්‍ය මේ බාධකය ඉවත් කිරීමට බව පෙන්වා දුන්නේය. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ʽස්වාධීනʼ කොමිෂන් සභා ස්වාධීන විය යුතුයයි කියා සිටියේය. 19 වැනි සංශෝධනය හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා එසේ නොවන බව එතුමා කීය.

    • උපාධීධාරීන්ගේ රැකියා පුහුණුව ගැන මැතිවරණ කොමිසම සමග කතාකරනවා.

    මැතිවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. “රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම මගේ ජනාධිපතිවරණ ප්‍රතිඥාවක් එතැන දේශපාලනයක් නැහැ. සුදුසුකම් ඇති සියලුදෙනා රැකියාලාභීන් ලෙස තෝරාගත්තා. දැනට සැලසුම් කර ඇත්තේ ඔවුන් පුහුණු කිරීම. රැකියාවක් කරන්න පුහුණුවක් අවශ්‍යයි. එබැවින් මේ ගැටලුව නිරාකරණය සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කරනවා”, ජනාධිපතිතුමා පැවසීය.

    • ජීනිවා යෝජනා ජාතියේ ස්වාධීනත්වයට අභියෝගයක්

    ජීනීවා යෝජනාව හෙවත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වීම නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණු දෙන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙක් විමසීය. “ ජීනිවා යෝජනාව ජාතියේ ස්වාධීනත්වයට සහ අභිමානයට අභියෝගයක්. තමන්ගේ ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බව පිළිගත් ඉතිහාසයේ එකම අවස්ථාව මෙයයි. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම අවශ්‍ය වුයේ ඒ නිසා. අපි මේ ප්‍රශ්නයේ මුලට යන්න ඕනෑ. උමා මහේෂ්වරන් තම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ ආර්ථික දුක්ගැනවිලි ගැන කියමින්. පසුව මේ සත්‍යය වසන් කොට බෙදුම්වාදය ඉස්මතු කළා. අප ඇත්ත ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි”, ජනාධිපතිතුමා කීය. 

    අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයට දෙන විසඳුම කුමක්දැයි තවත් ප්‍රශ්නයක් අසනු ලැබීය. අතුරුදන් වූ පිරිස් දෙපාර්ශ්වයේම සිටින බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා සිදුවීමක් දෙකක් මුල්කරගෙන දේශපාලන අරමුණු ඇතිව එය සමස්තය බවට ආරෝපණය කර ඇතැයි සඳහන් කළේය. අතුරුදන් වූ පිරිස් හඳුනාගැනීමෙන් පසු ඔවුනට මරණ සහතික නිකුත් කළ හැකි බව එතුමා පැවසීය. අතුරුදන්වූවන් ගැන යුනිසෙෆ් කළ සමීක්ෂණයකදී හෙළි වූයේ  ආයතනය අතුරුදන් බව කියන විශාල පිරිසක් එල්ටිටීඊ විසින් යුද්ධයට බඳවා ගනුලැබීමෙන් පසු සටනේදී මිය ගොස් ඇති බවයි , ජනාධිපතිතුමා සඳහන් කළේය.

    • වාර්ගික හා ආගමික අන්තාවදයට ඉඩ තබන්නේ නැහැ.

    “ පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන බොහෝ සෙයින් කතාකළා. ඊට වගකිව යුතු අයට දඬුවම් කිරීමට තවමත් හැකිවී නැත්තේ ඇයි? මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. ”

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසක් පත්කර තිබේ. එහි අතුරු වාර්තා දෙකක් මා වෙත ලැබී ඇත. අවසන් වාර්තාව ලැබුණු පසු එහි ඇතුළත් නිර්දේශ අනුව අවශ්‍ය පියවර ගැනීමට පිළිවන. ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තවේ ද වැදගත් නිර්දේශ ඇතුළත් විය. ඒ සියල්ල සැලකිල්ලට ගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා දැනට සිදුවන පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමිපාණන් ද සෑහීමට පත්ව සිටිතියි කීය.

    • බදු අඩුකිරීමෙන් ව්‍යාපාර රැසක් ආරක්ෂා වුණා.

    වැට් ඇතුළු ඇතැම් බදු අඩුකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබී නැතැයි මාධ්‍යවේදියෙක් සඳහන් කලේය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා අසීරු තත්වයක සිටි ව්‍යාපාර රැසක් බදු කපාහැරීම නිසා ආරක්ෂා කරගැනීමට හැකිවිණැයි පෙන්වා දුන්නේය.

    • රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස කළ පත්වීම් බහුතරය සතුටුදායකයි.

    රාජ්‍ය සංස්ථා සහ වෙනත් ආයතනවල ඉහළ තනතුරු සඳහා තේරීම් කමිටුවකින් නිර්දේශ ලබාගැනීමට ජනාධිපතිතුමා හඳුන්වා දුන් ක්‍රමය සාධනීය එකක් බව කී මාධ්‍යකරුවෙක් මෙතෙක් කර ඇති පත්වීම් ගැන සෑහීමකට පත්වන්නේ දැයි ප්‍රශ්නයක් ඇසීය.

    ආයතන රැසක ඉහළ තනතුරු සඳහා කළ පත්වීම් ගැන සෑහීමට පත්විය හැකි බව කී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඇතැම් පත්කීරීම් ගැන ගැටලු තිබෙන බව පැවසීය. ඉහළ තනතුරුවලට පත්වූවන් නිශ්චිත කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්විය යුතුය. එසේ නොකළහොත් ඔවුන් ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එතුමා කීය.

    අයහපත් චර්යාවක් ඇති මන්ත්‍රීවරුන් සමග ඔබතුමා අපේක්ෂා කරන ගමන යා හැකි දැයි විමසීමක් කෙරිණ. “මන්ත්‍රීවරුන් තෝරාගන්නේ ජනාධිපති නොවේ. එහි වගකීම තනිකරම ඇත්තේ ජනාතවට. ඔවුන් වඩාත් ම යෝග්‍ය නියෝජිතයා තෝරාගත යුතුයි” එතුමා පිළිතුරු දුන්නේය.

    • කලින් ආණ්ඩුව අපටත් වැඩියෙන් හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කළා.

    රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස හිටපු හමුදා නිලධාරීන් පත්කිරීමේ යෝග්‍යාතව ගැනද ප්‍රශ්නයක් මතුවිය. පසුගිය රජය විශ්වවිද්‍යාල බලධාරියෙකු ලෙස හමුදා නිලධාරියෙකු පත්කළ බව කී ජනාධිපතිතුමා එදා නිහඬව සිටි විපක්ෂය දැන් කලබල වී ඇතැයි සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව වත්මන් රජය පත්කලාට වැඩි හමුදා නිලධාරීන් පිරිසක් විවිධ තනතුරුවලට පත්කර තිබූ බව කී ජනාධිපතිතුමා ඉහළ ශ්‍රේණිවලට අයත් හමුදා නිලධාරීන් පරිපාලනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක මනා දේශීය විදේශීය පුහුණුවක් ලැබූ අය බව එතුමා පෙන්වා දුන්නේය.

    කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන නගනු ලැබූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා අතරමැදියන්ගේ සූරාකෑම තුරන් කොට ගොවියාටත් පාරිභෝගිකයාටත් යුක්තිය ඉටුකිරීම සිය අරමුණ බව ප්‍රකාශ කළේය.

  • ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල රු. 80 දක්වා ඉහළට

    ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල රු. 80 දක්වා ඉහළට

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ. ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක්  සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත.

    ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබිණි. එ බැවින් ලොකු ලූණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලොකු ලූණු ආනයනය වෙනුවෙන් වැය විය.

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලොකු ලූණු සඳහා වන රජයේ සහතික මිල ඉහළ නැංවීම සහ ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

    එසේ ම දැනට පවතින ලොකු ලූණු වගාවන් හි ඵලදායිතාව ඉහළ නැංවීම මගින් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ද නව වැඩපිළවෙළක් ආරම්භ කෙරේ. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන යන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිත ය. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මාස හයකට වරක් අමාත්‍ය මණ්ඩලයේ දී සලකා බැලේ. තව ද පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 190/=ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ

  • ක්වේට් යන්න හිතනවා නම් කොරෝනා නැති බවට වෛද්‍ය වාර්තාවක් ගන්න වෙයි

    ක්වේට් යන්න හිතනවා නම් කොරෝනා නැති බවට වෛද්‍ය වාර්තාවක් ගන්න වෙයි

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් කුවේට් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීමට පෙර ඔවුන් කෝවිඩ් 19 වෛරසයේ තොර බවට වන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් චක‍්‍රලේඛයක සදහන් වේ.

    ඒ අනුව තුර්කිය, අසර්බයිජානය, ජෝර්ජියාව, ඉන්දියාව, ඊජිප්තුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිරියාව සහ ලෙබනනය යන රටවලින් පැමිණෙන මගීන්ට මෙසේ වෛද්‍යවාර්තා ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබේ.

    අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකරන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීම තහනම් බවත් මාර්තු 8 දා සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සදහන් වේ.

    කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව මෙම රටවල් 10යේ ගුවන් මගීන් එම රටවල ස්ථාපිත කර ඇති කුවේට් තානාපති කාර්යාල විසින් අනුමත කරන ලද වෛද්‍ය මධ්‍යස්ථානවලින් ‘කොරෝනා’ පරීක්ෂණ සිදු කළ යුතු අතර ඒවා සහතික කළ යුතුය.

    මෙම නියමය උල්ලංඝණය කරන ගුවන් සමාගම්වටල ද දඩ පැනවීමට පියවර ගන්නා බව කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර තිබේ.

    කුවේට් රාජ්‍යයෙන් ඊයේ (03) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

  • රැකියාලාභී උපාධිධාරීන්ට කොන්දේසි පිට කොන්දේසි

    රැකියාලාභී උපාධිධාරීන්ට කොන්දේසි පිට කොන්දේසි

    රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්/ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

    පත්වීම් ලබන උපාධිධාරීන් තමන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථානය හෝ  නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරනු ඇත. පත්වීම් ලබන උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක්කරනු අතර දුන් පළමු කණ්ඩායම සඳහා තෝරාගත් ප්‍රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කෙරේ.

    දෙවන කණ්ඩායම අදාළ සේවා ස්ථානය තුළ සිය රාජකාරී කටයුතු පිළිබඳ හා සේවා ස්ථානය පිළිබඳ මාස දෙකක අධ්‍යනය කරමින් එම ස්ථාන දියුණු කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනු ඇත. පළමු කණ්ඩායමේ නායකත්ව පුහුණු නිමවීමත් සමඟ ඔවුන් සිය සේවා මධ්‍යස්ථාන වෙත යොමුකරන අතර මාස දෙකක කාලයක් සේවා ස්ථානය හා පැවරී ඇති කටයුතු පිළිබඳ අධ්‍යනයක් කරමින් ව්‍යාපෘති වාර්තාවක් සකස් කළ යුතුය. ව්‍යාපෘති වාර්තාව සම්පූර්ණ කල දෙවන කණ්ඩායම මාස 2ක නායකත්ව පුහුණුව  ලබන අතර මෙම කණ්ඩායම් දෙකම ඉන්පසු අදාළ සේවාවේ වෘත්තීය පුහුණුවකට යොමුකරනු ඇත. 2021 මාර්තු 1 වන දින සිට සියලුම අභ්‍යාසලාභීන්ට අදාළ සේවා මධ්‍යස්ථානයේ ස්ථීර පත්වීම් ලබාදෙනු ඇත.

    පත්වීම් ලබන සෑම උපාධිධාරී අභ්‍යාසලාභියෙකුම තමන්ගේ සේවා ස්ථානයට ආසන්න ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛාවක බැංකු ගිණුමක් විවෘත කළයුතු අතර ඒ පිළිබඳ විස්තර ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදිය යුතුය.

    ඒ අනුව පුහුණුවීම් කාලය තුළ මාසිකව රුපියල් 20,000 දීමනාවක් එම ගිණුමට බැර කරනු ඇත. අභ්‍යාස පුහුණු කාලයේ මුල් මාස 2 තුළ සකස් කරනු ලබන ව්‍යාපෘති වාර්තා අනුව ග්‍රාමීය හා අඩුපහසුකම් ඇති අදාළ සේවා මධ්‍යස්ථාන දියුණු කිරීමට කරනු ලබන යෝජනා සඳහා 2020 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන්කිරීමටද අපේක්ෂා කරනු ලබන බැවින් සියලුම අභ්‍යාසලාභීන් සේවා මධ්‍යස්ථානයේ දැනට සේවය කරනු ලබන්නන්ගෙන් හා අවට ප්‍රදේශයේ ප්‍රජාවගේ අදහස් ද ඇතිව සිය සේවා කටයුතුවල නිරත විය යුතු ය.

  • ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට හැඳල ලාදුරු රෝහල පත් කෙරේ

    ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට හැඳල ලාදුරු රෝහල පත් කෙරේ

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය. එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන  ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව හැඳල ලාදුරු රෝහල ඒ සදහා යොදා ගනු ලබන ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කොට ඇත.

    මේ පිළිබදව අද දින (04) විශේෂ ප්‍රකාශයක් සිදු කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – “කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව ඉරානයෙන්, දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් ගුවන් මගින් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක් නිරෝධානයකට ලක් කරනවා. එම තීරණය ගැනීමෙන් පසු අප විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිළිබදව සිදු කළ සාකච්ඡාවට අනුව දැනට අපි එක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස  හැදල ලාදුරු රෝහල් පරිශ්‍රය තෝරාගෙන තිබෙනවා.

    නිරෝධායන කටයුතු සදහා මේ පරිශ්‍රය ඉතා සුදුසු ස්ථානයක්. මීට පෙර වූහාන් වල සිටි සිසුන් ශ්‍රී ලංකාවට ගෙනවිත් දියතලාව ප්‍රදේශයේ දී නිරෝධානයට ලක් කරනු ලැබුවා. නිරෝධානයට ලක් කරන්නේ රෝගී වූ පිරිස් නොවෙයි. රෝගී තත්ත්වයේ නැති පිරිස්. වෛරසය වැළදී තිබෙනවා නම් ඔවුන් නිරෝධායනට නොවෙයි ලක් කරන්නේ රෝහල් ගත කිරීමයි සිදු කරන්නේ. නිරෝධායනයට ලක් කරන්නේ ඔවුන්ට රෝගී තත්ත්වයක් නැති වුනත් යම් කිසි ආකාරයෙන් කිසිවෙතු තුල කොරෝනා වෛරස විෂබීජය තිබෙනවා නම් ඒ් විෂබීජය දින 14 ක් තුල පවතින නිසා. ඉන් පසු එම වෛරසය පවතින්නේ නැහෑ. ඒ කාලය ගත කිරීමට තමයි මෙසේ එක් ස්ථානයක එම පිරිස් රදවනු ලබන්නේ.

    මේ ශ්‍රී ලංකා රජය ගත් තීරණයක්. මෙම හැදල නිරෝධායන මධ්‍යස්ථානය සකසුරුවම් කිරිම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සම්පූර්ණ සම්බන්ධතාවය ලබාගන්නවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහි රාජකාරි සිදු කරනු ලබනවා. රඳවා සිටින කාලය තුල එම පිරිස් වෙත සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. මෙම වෛරසය මේ ආකාරයට පාලනයට ලක් කරන්නේ නැතිව ඉහත රටවල මේ රෝගය විශාල ලෙස පැතිර යනවිට අප රටක් වශයෙන් නිහඩව සිටියොත්, මෙවැනි ක්‍රියාමාර්ග නොගත්තොත් අපි නොදැනුවත්වම මෙම වෛරසය රට තුලට පැතිරෙන්න පුළුවන්.  

    පසුව පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. එබැවින් විද්‍යානුකූලව ගත යුතු පියවර තමයි අප ගනු ලබන්නේ. මෙහිදී හැඳල ලාදුරු රෝහල අවට ජනතාවට හෝ කිසිම අයෙකුට කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන ආකාරයට විද්‍යාත්මකව තහවුරු කර වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. මේ තීරණය ගනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරී ඇති බලතල අනුව නීතිප්‍රකාරවයි. මේ සදහා සියලු ආයතනවල, ජනතාවගේ සහයෝගය අනිවාර්යයයෙන්ම සෞඛ්‍ය අංශ වෙත ලැබිය යුතුයි.”

  • වෙළද කලාප සේවක සුබ සාධන කටයුතු පුළුල් කෙරේ

    වෙළද කලාප සේවක සුබ සාධන කටයුතු පුළුල් කෙරේ

    නිදහස් වෙළද කලාප තුළ සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය ක්‍රියාත්මක කරන සුබ සාධන වැඩසටහන් තව දුරටත් පුළුල් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වලට අමතරව නව ව්‍යාපෘති හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දී තිබේ.

    දිවයින පුරා නිදහස් වෙළද කලාප 15 ක් පිහිටා ඇති අතර ඉන් 05 ක්ම පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළයි. කටුනායක, බියගම, මීරිගම, අත්තනගල්ල මල්වත්ත හා වතුපිටිවල මෙම නිදහස් වෙළද කලාප පිහිටා තිබේ. කටුනායක, බියගම හා මාවතගම ආයෝජන ප්‍රවර්ධන කලාප වල දැනටමත් එම සේවක සේවිකාවන්ගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. මේ වසරේ දී වතුපිටිවල, කොග්ගල හා පල්ලෙකැලේ කලාප වල නව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.

    මීට අමතරව ප්‍රාදේශීය සෞඛ්‍ය නිළධාරි කාර්යාලය හෝ පවුල් සෞඛ්‍ය සංවිධාන මගින් පාලනය කරනු ලබන වෛද්‍ය මධ්‍යස්ථාන ද මෙම කලාප වල පවත්වාගෙන යනු ලබයි. දැනටමත් කටුනායක, බියගම, කොග්ගල, සීතාවක හා වතුපිටිවල මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි. නිදහස් වෙළද කලාප පිහිටා ඇති ප්‍ර දේශ ආශ්‍රිත මහජන සෞඛ්‍ය කාර්යාල දියුණු කිරිම සදහා ද ආයෝජන මණ්ඩල සහාය ලබා දීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    නිදහස් වෙළද කලාප වල ව්‍යවසායකයන්ගේ හා සේවකයන්ගේ ආරක්ෂාව සදහා ජපානයෙන් නව ගිනි නිවන රථ 08 ක් ආනයන කිරීමට ද ආයෝජන මණ්ඩලය කටයුතු යොදා ඇත. නව ගිනි නිවන රථ ලැබීමෙන් පසු කොග්ගල හා පල්ලේකැලේ ආයෝජන කලාප වල නව ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීමට නියමිතයි.

    නිදහස් වෙළද කලපෙ වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධන කටයුතු විධිමත් ව සිදු වන්නේදැ‘යි  සොයා බැලීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබද ව ආයෝජන මණ්ඩලය විශේෂ අවධානය යොමු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

  • මේගන් හොලිවුඩ් වීර චරිතයක් රඟපාන්න සූදානම් ?

    මේගන් හොලිවුඩ් වීර චරිතයක් රඟපාන්න සූදානම් ?

    හැරී – මේගන් ගැන අපි පසුගිය කාලයේ ඇති තරම් කතා කළා. බි‍්‍රතාන්‍ය රජ පවුලේ උරුමය හැරදා ‘ස්වාධීනව’ ජීවත් වෙන්න තීරණය කළ හැරී – මේගන් යුවළ ඒ සඳහා තෝරා ගත්තේ කැනඩාව. විදෙස් මාධ්‍ය කියන ආකාරයට ඔවුන් දැන් ‘රජ’ පාට් නැතිව බොහොම සැහැල්ලූවෙන් හා සතුටින් ජීවත් වෙනවා.

    මේ අතර පසුගිය දා විදෙස් මාධ්‍යවල උණුසුම් පුවතක් පළ වුණා. ඒ තමයි මේගන් හොලිඩුඞ් සිනමාවට පැමිණීමට සැලසුම් කරන බවට වන කතාව.

    මේගන් ප‍්‍රකට නිළියක් නිසා මේ කතාව බොරුවක් විය නොහැකි බවයි තතු දත් අය කියන්නේ. ඔවුන් ඒ සඳහා උදාහරණ වශයෙන් දක්වන්නේ ඇය විවාහයට පෙර Suits නමැති මාලා නාටකයේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කළ බවයි.

    ‘ඇය එමගින් විශාල මුදලක් උපයා ගත්තා. දැන් ආර්ථික ස්වාධීනත්වය සොයන මේගන්ට හොලිවුඩය තමයි හොඳම තැන’ ඔවුන් පෙන්වා දෙනවා.

    මේ කතාව තවත් තහවුරු වන කතාවක් හොළිවුඩයෙන් වාර්තා වෙනවා. ඒ මේගන් පසුගිය කාලයේ අතිෂය ජනප‍්‍රියභාවයට පත් ‘වොන්ඩර් වුමන්’ ‘සුපර් හීරෝ’ වැනි චිත‍්‍රපටයකට ‘වීර චරිතයක්’ ගැන විමසිලිමත් වන ලෙස තම හොලිවුඞ් නියෝජිතයින්ට දැනුම් දී ඇති බවයි.

    ආර්ථික ස්වාධීනත්වය ආපේක්ෂාවෙන් ලොව කීර්තිමත්ම රජ පවුලේ උරුමය අත්හල මේගන් අපට නුදුරේදීම හොලිඩුව් චිත‍්‍රපටයක දැක ගැනීමට ලැබුණොත් එය පුදුමයක් නොවන බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

  • බැදුම්කර වංචාවට සැක 11ක් අත්අඩංගුවට ගන්න – නීතිපති

    බැදුම්කර වංචාවට සැක 11ක් අත්අඩංගුවට ගන්න – නීතිපති

    මහ බැංකු බැදුම්කර වංචාවට සැකපිට හිටපු ඇමැති රවී කරුනානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සීගඩීගවික්‍රමරත්න මහතාට අ නියෝග කර තිබෙනවා.

    2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසිවල සිදු කරන ලද අපරාධමය වැරදිවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්.

  • ආනයනික මසුන් සඳහා අය කෙරෙන බදු ඉහළ දැමේ

    ආනයනික මසුන් සඳහා අය කෙරෙන බදු ඉහළ දැමේ

    දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගරු අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබේ.

    ධීවරයන්ගේ ඉල්ලීම්වලට කන්දෙමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව බදු සහන මත ආනයනික මසුන් කිලෝ ග්‍රෑම් එකක් සඳහා  10 % ක් හෝ     රු. 100/- ක බදු සහනයක් දී එයින් අය කරනු ලැබුවේ රු. 25/- ක් පමණි.   ඒ අනුව එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික මසුන්ගේ වටිනාකමින් 10% ක් හෝ කිලෝ ග්‍රෑම් එකකට රු. 150/- ක් අය කෙරෙනු ඇත.

  • යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් සපයන ලෙස ජනපති නියෝග

    යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් සපයන ලෙස ජනපති නියෝග

    හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කරයි. ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාරණය කළේය.

    පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති මේ බව පැවසීය.

    පොහොර ආනයනයේ දී  මතුව ඇති ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10 ක් ඇතුළත ලබාගන්නැයි  ජනපති දැනුම් දුන්නේය.

    ගොවීහූ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අධික පොහොර භාවිතයට යොමුව සිටිති. රසායනික පොහොර භාවිතයේ දී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව  පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළ යුතු බව පැහැදිළි කළේය. ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ජනපති කීය.

    කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතී.  වෙළඳ පොළ අවශ්‍යතාව සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීම නොපමාව කළ යුතු බව  ජනාධිපතිවරයා පැවසීය.

    ලෝකයේ පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනා ගෙන පොහොර ආනයනය කළ යුතුය. වී ගොවිතැන ප්‍රමුඛ වාර්ෂිකව වගාකරන භෝග සහ ඒවායේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් පරිදි පොහොර ආනයනයට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල,  මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න  යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ පොහොර ආනයනකරුවන් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • වියත්මගේ ප්‍රබලයෙකු වන නාලක ගොඩහේවා ‘ගම්පහ සරණගේ’ සරණ යයි

    වියත්මගේ ප්‍රබලයෙකු වන නාලක ගොඩහේවා ‘ගම්පහ සරණගේ’ සරණ යයි

    මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින වියත් මග සංවිධානයේ ප්‍රබලයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි කප්පම් ගැනීම වැනි සිදුවීම් ගනනාවකටම කුප්රකටවී සිටින හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගොස් ඇතැයි වාර්තාවේ.

    එදින උදෑසන මහා සංඝරත්නය  විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණි අතර නාලක හා සරණගේ බලාපොරොත්තුව වී ඇත්තේ විනාඩියකට හෝ අගමැතිවරයා මෙම නිවසට ගෙන්වා ගැනීමය.

    මුදුන්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසල සරණ ගුණවර්ධන මහතා රැදී සිට ඇත්තේ අගමැතිවරයා ගුවනින් පැමිණියහොත්  අගමැතිවරයාව තත්පරයකට හෝ නාලක ගොඩහේවා මහතාගේ ගෙට ගෙවදීමේ උත්සවයට කැටුව යාමටය. එහෙත් අගමැතිවරයා ගුවන් මගින් නොපැමිණි බැවින් එම උත්සහාය ව්‍යාර්තව ගොස් ඇත. ජනාධිපතිවරයාගේ සමිපතමයෙකු ලෙස පෙනී සිටින ගොඩහේවා මහතාගේ නිවසේ පැවති උත්සවයට අගමැතිවරයාගේ නොපැමිණීම ගොඩහේවා මහතාගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

    සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇත්තේ යහපත් පිලිගැනීමක් නොවේ. ඔහු මෙවර මහා මැතිවරණයේ අපෙක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොදුජන පෙරමුණු ඉහළ පෙලේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

    කප්පම් ගැනීම වැනි සිදුවීම් ගනනාවකටම කුප්රකටවී සිටින සරණ ගුණවර්ධන මහතා සිය මැතිවරණ ව්‍යාපාරයට දායක කර ගැනීම පිළිබදව ආචාර්ය නාලක ගොඩහේවා මහතාට ප්‍රදේශයේ විද්වතුන් රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගොඩහේවා මහතා සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවසේ පදිංචියට යන්නේ එම වරෝධය ඇති පසුබිමක වීම විශේෂත්වයකි.