Category: සුපිරි Politics

  • රනිල්ට සිදුවූයේ කුමක්ද ? – වික්ටර් අයිවන්ගේ සුපිරි විග්‍රහය

    රනිල්ට සිදුවූයේ කුමක්ද ? – වික්ටර් අයිවන්ගේ සුපිරි විග්‍රහය

    මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය.

    එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට එම තත්ත්වය උදා කිරීමට දායක වූ සමගි ජන බලවේගය යම් තරමක පාර්ලිමේන්තු නියෝජනයක් හිමිකර ගැනීමට සමත්ව ඇතත්, බලවත් විකල්ප බලවේගයක් ලෙස ස්ථාපිතවීමට සමත් වී නැත. ඒ අර්ථයෙන් සිදුවූ බව පෙනෙන්නේ සංකේතාත්මක අර්ථයෙන් එජා පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අවසන් වූ බවය.

    පවුල් බලය

    එජාප පරණකමින් දෙවැනි වනුයේ ලංකා සමසමාජ පක්ෂයට පමණය. නිදහසින් පසු ගෙවී ගොස් තිබෙන කාලයෙන් නැතහොත් යුගයෙන් අඩකට ආසන්න කාලයක් එම පක්ෂය රට විටින් විට පාලනය කර තිබෙන අතර මේ රට හිමිකරගෙන තිබෙන පරාජයන් හා ජයග්‍රහණයන් කෙරෙන් එම පක්ෂයද ශ්‍රීලනිප සමග හරි හරියට වගකිව යුතුය. එජාප ලංකාවේ සියලු පක්ෂ අතර තිබුණු විශාලතම පක්ෂය ලෙසද සැලකිය හැකිය.

    දේශපාලනයේ පවුල් බලය ගැන කතා කරන විට දැන් වැඩි වශයෙන් කතා කෙරෙන්නේ රාජපක්ෂ පවුල ගැනය. එහෙත් එජාපයද ඥාතිකමෙන් එකට බැඳුණු ඉතා බලවත් පවුල් කාටලයක් මත ගොඩ නගා පවත්වාගෙන ගිය පක්ෂයක් ලෙස සැලකිය හැකිය. එම පවුල් කාටලයේ ප්‍රබලයන් බි්‍රතාන්‍ය පාලන කාලයේදී අරක්කු වෙළෙඳාමද ඇතුළු විවිධ වාණිජ ව්‍යාපාර මගින් ධනවත් බවට පත්වූ හා ඒ මගින් ප්‍රභූ තත්ත්වයක් හිමි කරගත් පවුල් කණ්ඩායමක් ලෙස සැලකිය හැකිය. එජාප ආණ්ඩු කෙරුණු කාලයේදී පවා එය සැලකුණේ ‘මාමලාගේ බෑනලාගේ’ පක්ෂය වශයෙනි.

    බණ්ඩාරනායක එම පක්ෂය අතහැර ගියේ තමාට කොතරම් සුදුසුකම් තිබුණත් එම පක්ෂයේ නායකයාවීමට ඉඩක් නැතැයි කියන විශ්වාසය නිසාය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ ශ්‍රීලනිපය ගොඩ නගන ලද්දේ එම පවුලට හිමි බූදලයක් ලෙස සලකාය. 1977 මැතිවරණයේදී එජාප අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පවුල හඳුන්වන ලද්දේ පවුල් ගසක් ලෙසය. ඒ සඳහා කාටූන් පොතක්ද පළකර තිබුණි.
    රාජපක්ෂවරුන් දේශපාලනයේදී පවුල් බලයට ලැබෙන වැදගත්කම ඉගෙන ගන්නට ඇත්තේ සේනානායකවරුන්ගෙන්, ජයවර්ධනවරුන්ගෙන් හා සිරිමා බණ්ඩාරනායකගෙනි. අවසානයේ එම විෂයෙහි කෙළ පැමිණි අය බවට පත්වූයේද රාජපක්ෂවරුන්ය.

    ජේ.ආර්. ජයවර්ධන

    තමන්ට රකින්නට කුමාර කුමාරිකාවන් නැති බව 1977 මැතිවරණ කාලයේදී ජේ.ආර්. ජයවර්ධන කීවද ඔහුද පවුලේ බලය ගැන ලොකු සංවේදීතාවක් පෙන්නුම් කළ නායකයෙකි. 1977දී අනාගත නායකයන් සඳහා පෝලිම සකස් කිරීමේදී ඒ වන විට ඉතාමත් තරුණ වියේ පසුවූ තම පවුලේ වැදගත් පුරුකක් වූ රනිල් වික්‍රමසිංහ පෝලිමේ වැදගත් තැනක තබන්නට ඔහු අමතක නොකළේය.

    ජනාධිපති ජයවර්ධන රනිල්ට විදේශ නියෝජ්‍ය ඇමතිකම දී, ඉන්පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදීම කැබිනට් ඇමති ධුරයකට පත් කරන ලදි. පවුලේ උරුමය අනුව තමන්ගෙන් පසුව පක්ෂ නායකත්වය රනිල්ට ලැබිය යුතු යැයි ජනාධිපති ජයවර්ධනගේ අපේක්ෂාව වූවා විය හැකිය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක ඝාතනයට ලක්වීමෙන් පසුව බලවත් අභියෝගයකින් තොරව පක්ෂ නායකත්වය හිමිකර ගැනීමට රනිල් සමත් විය. ජයවර්ධන හා ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාම පක්ෂය පාලනය කළේ ගණන්කාර නායකයන් සිය කණ්ඩායම පාලනය කරන ආකාරයටය. ඒ මගින් පක්ෂ නායකයා කෙරෙහි වන උපරිම බය පක්ෂපාතීත්වයක් පක්ෂය තුළ පවත්වාගෙන යාමට එම නායකයෝ දෙපළ සමත් වූහ.

    රනිල්ගේ සීමිතකම්

    එහෙත් පූර්වගාමී නායකයන් දෙදෙනාට තිබූ ගණන්කාර උරුමය රනිල්ට තිබුණේ නැත. රනිල් වැනි නායකයකු එම තත්ත්වය ලබාගත යුතුව තිබුණේ පක්ෂයේ වැඩවසම් ස්වරූපය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී කිරීමෙනි. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඕනෑවටත් වඩා රනිල්ට තිබුණද, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස ස්ථාපිත වීමට රනිල් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වෙනුවට පක්ෂය ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරූපය වර්ධනය කරගනිමින් පක්ෂයට ඒකාධිපති නායකයකු වෙමින් රටට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වීමට උත්සාහ කෙළේය.

    ජනාධිපති ජයවර්ධන අතින් එජාප ශක්තිමත් කිරීමක් සිදුවූවා සේ ම පක්ෂය උපරිම මට්ටමකට දූෂිත කිරීමක්ද සිදුවිය. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් සඳහා රටේ තිබුණු නීති අහෝසි කිරීම නිසා එජාපයද කළු සල්ලිවලින් යැපෙන පක්ෂයක් බවට පත්ව තිබුණි. මන්ත්‍රීවරුන් සඳහා පැවති රටේ නීතියටත්, ලෝකයේ පැවති පිළිගත් සදාචාරයටත් පටහැනි ලෙස මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කරන්නට ඉඩදීම නිසා පක්ෂය පමණක් නොව, පාර්ලිමේන්තුව හා මුළු දේශපාලන ක්‍රමයම දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණි.

    ජනාධිපති ජයවර්ධන විසින් වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කොට තිබුණි. දූෂණය ලංකාව විනාශය කරා යන ගමන කෙරෙහි බලපෑ ප්‍රධාන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රනිල්ට ලංකාව මුදා ගැනීමට අවංක වුවමනාවක් වී නම් දූෂණයෙන් රට මුදා ගන්නට පෙර දූෂණයෙන් පක්ෂය මුදාගත යුතුව තිබුණි. මොන හේතුවක් නිසා හෝ ඒ සඳහා වන අභිලාෂයක් රනිල්ට නොතිබුණි. ඒ මගින් රනිල් අවශ්‍ය තරම් දැනුම තිබියදී ශ්‍රී ලංකාව සඳහා වන අව්‍යාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන හැකියාව අහිමි කර ගත්තේය. ඔහු 2001 පාර්ලිමේන්තු බලය ලබාගන්නා විට අධිකරණය දූෂණයෙන් වෙලාගෙන තිබුණු බව හොඳටම දැන සිටියේය. එහෙත් ඒ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය තරම් බලය තිබුණත්, ඒ තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩ හැර බලා සිටියා මිස ඵලදායී කිසිවක් නොකළේය.

    උගුලට අසුවීම

    නූතන අර්ථයෙන් ලංකාව පරිණත දේශපාලන නායකයන් බිහිකළ රටක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවත් රනිල් සමකාලීන දේශපාලකයන් අතර සිටි වැඩිම දැනුමක් හා පළපුරුද්දක් තිබූ නායකයා ලෙස සැලකිය හැකිය.

    රනිල් සැලකෙන්නේ දේශපාලනයේදී හොඳ උගුල් අටවන්නෙකු ලෙසය. අවසානයේදී ඔහු දේශපාලන වශයෙන් නැතිභංග වූයේද ඔහුට එරෙහිව අටවන ලද උගුලකට හසුවීමෙනි. මම යහපාලන වැඩසටහන එහි ආරම්භයේ සිටම දැක්කේ මහින්ද රාජපක්ෂ පමණක් නොව රනිල් වික්‍රමසිංහද පරාජය කොට තුන්වැනි පිරිසක් තමන් වෙත අනියම් ලෙස බලය ලබා ගැනීමේ අරමුණින් සෝභිත හිමියන්ගේ නාමයද යොදාගෙන ක්‍රියාවට නගමින් තිබුණු සටකපට වැඩසටහනක් ලෙසය. මා ඒ ගැන ඒ කාලයේ ප්‍රසිද්ධියේ කතා කර තිබෙනවා සේ ම ලියාද ඇත්තෙමි.

    පොදු අපේක්ෂකයකු අවශ්‍ය යැයි කියන තර්කය යොදාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ වැනි බලවත් නායකයකු, පරාජය කිරීමේ ශක්තිය රනිල්ට නැතැයි කියන තර්කය සනාථ කිරීම සඳහාය. එහෙත් 2005දී මහින්ද සමග තරග කොට රනිල් පරාජය වූයේ ප්‍රභාකරන්ගේ මැතිවරණ වර්ජනය නිසාය. එජාපයට සිටින සුදුසුම අපේක්ෂකයා රනිල් නොවේ නම් සුදුසු අපේක්ෂකයකු සොයා ගත යුතුව තිබුණේ එම පක්ෂයෙන් මිස පිටස්තරින් නොවේ. එම පක්ෂයේ ජන බලයෙන් පිටස්තරයකු බලයට ගෙනාවිට බරපතළ අවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට එය එම පක්ෂයට කරන ලොකු අසාධාරණයක්ද වන්නේය. අනෙක් අතට පිටස්තරින් බලයට ගේන පුද්ගලයා තමන්ට ලැබෙන අතිවිශාල බලය වැරදි ලෙස යොදා ගතහොත් එය පාලනය කිරීමට ක්‍රමයක් තිබිය යුතු වුවත් එවැන්නක් එම වැඩසටහනට ඇතුළත්ව තිබුණේ නැත. එම සූත්‍රය සමග ඉදිරිපත් කර තිබූ ප්‍රතිසංස්කරණ වැඩසටහනද රටට අවශ්‍ය වී තිබූ සැබෑ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා නොසලකා සකස් කරන ලද බොරු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලෙසද සැලකිය හැකිය.

    මා මෙම වැඩසටහනේ භයානකත්වය ගැන මා දරන අදහස් රනිල් සමග කතා කළෙමි. ඒ වනවිට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තෝරාගෙන නොතිබුණි. එජාප ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ හැකිනම් එවිට පොදු අපේක්ෂකයා පිළිබඳ සිහිනය බිඳ වැටි එජාපයට තරග කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් මුලදී සුළු සුළු ප්‍රශ්න ඇතිවිය හැකි වුවත් පසුව සියලුම මහින්ද විරෝධීන් එජාප අපේක්ෂකයාට සහාය දෙනු ඇති බවත් මම කීවෙමි. රනිල් මගේ අදහස්වලට සවන් දුන්නා පමණක් නොව ඒවා පිළිගන්නා බවද කීවේය.

    ඉන්පසු මම කරු ජයසූරිය මහතාද හමුවී පොදු අපේක්ෂකයකු පිළිබඳ වැඩසටහනේ පංගුකාරයෙකු වීම ගැන ඔහුට දොස් කියමින්ම එය ඇති කළ හැකි බිහිසුණු ප්‍රතිඵල ගැන කරුණු පැහැදිලි කිරීමක්ද කළේය. ඉන්පසු මා සෝභිත හිමියන්ද හමුවී ඒ ගැන කතා කළෙමි. උන්වහන්සේ හමුවන්ට ගිය ගමනට මනෝ තිත්තවැල්ල හා සුමතිපාල කාරියවසම්ද සහභාගි වූහ. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට අවශ්‍ය නම් එය විධිමත් ක්‍රමයකට මිස, අවිධිමත් ක්‍රමයකට කරන්නට යාමෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බව මම කීවෙ.

    රනිල් අවසානයේ මෛත්‍රීපාල සිරිසේනට කැමති වූයේ ඔහු වෙනුවෙන් චන්ද්‍රිකා දෙන ලද සහතිකය නිසාය. චන්ද්‍රිකාගේ අනුග්‍රහය නිසා යහපාලන වැඩසටහන පිටුපස සිටින රනිල් විරෝධීන්ට මෛත්‍රීපාල සමග ලොකු ගනුදෙනුවකට යන්නට ඉඩ නොලැබෙනු ඇතැයි රනිල් විශ්වාස කළේය. අවසානයේ රනිල් යහපාලන උගුලේ ගැලවිය නොහැකි හිරකාරයකු බවට පත්විය.

    2015 ජනාධිපතිවරණයට රනිල් තරග කළේ නම් ළඟ ළඟ තරගයකින් රනිල් ජයගන්නට ඉඩ තිබුණි. ඒ නිසා රටට ලොකු විමුක්තියක් උදාවනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැතත්, එසේ වී නම් රට විනාශය කරා යන ගමන මේ තරම් වේගවත් නොවන්නට ඉඩ තිබුණි.

    වැරදුණේ කොතැනද

    එසේම දැන් ඇතිවී තිබෙන මහා විනාශයට වර්තමාන පාලකයින් පමණක් නොව පෙර පාලකයින් ද හරිහරියට වගකිව යුතුය. යහපාලනයට සම්බන්ධ සියලු නායකයෝ දැන හෝ නොදැන ලංකාවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවන්ට වංචා කළෝය. එම ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සකස් වී තිබුණේ මෝඩ ලෙස වුවත් අවශ්‍ය වෙනස්කම් දිනාගැනීමට දරන උත්සහයන් නිසා ජීවිත පූජා කළ දස දහස් ගණනකගේ ලේවලින් සහ ඒ වෙනුවෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දාඩිය සහ කඳුළුවලිනි.

    බොහොමයක් ප්‍රතිසංස්කරණ ආපසු හරවා තිබෙනුයේ පුංචි සවලකින් ගලවා වීසි කෙරෙන ආකාරයටය. ඒවා ශක්තිමත් අතිවාරමක් නැතිව දඩි බිඩියේ වැල්ලේ තනන ලද ප්‍රතිසංස්කරණ බව පැහැදිලිව පෙනේ. අධිකරණය තිබුණේ හොඳටම ජරාජීර්ණ වූ තත්ත්වයකය. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන කිසිම නිවැරදි දැක්මක් එම ආණ්ඩුවට නොතිබුණු අතර ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය විසින් අධිකරණය පිරිසිදු කරදෙනු ඇතැයි මෝඩ ලෙස විශ්වාස කළේය. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකිරීම වළකන අධිකරණ තීන්දුව සලකන ලද්දේ අධිකරණය හිමිකරගෙන තිබුණ ප්‍රගතිය අති විශාල ප්‍රගතිය පෙන්නුම් කරන වැදගත් මාපකයක් වශයෙනි. එවැනි තීන්දුවක් ලැබුණේ පොදුවේ අධිකරණය දියුණු තත්ත්වයක තිබුණ නිසා නොව විශ්‍රාම යාමට සිටි අගවිනිසුරුවරයාට ඊට පෙර එම විෂයෙහි යුක්තිය ඉටුකිරීමේ බලවත් අධ්‍යාශයක් තුබුණ නිසාය. ඉන් පසුත් අධිකරණය තුළ සිදු නොවිය යුතු බොහෝ දේවල් සිදුවිය. ඒවා ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවීය. දැන් ලංකාව එම විෂයේදී සිටින්නේ අගාධයේ පතුළටම ගිය තත්ත්වයකය. ■

    2020 නොවැම්බර් 29 රාවය ඊ පුවත්පත ඇසුරිණි

  • ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’

    ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ‘වීඩියෝ තාක්ෂණයෙන්’

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම සාර්ථකව සිදු විය.

    කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරිණ.

    නව තාක්ෂණය හඳුන්වා දීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත.

    එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා පසුගියදා සිය අධීක්ෂණයට පවරා ගත්තේය.

    21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

    රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි.

  • සුදර්ශනීගෙන් බන්ධනාගාරේ ගළවා කොවිඩ් රාජ්‍ය ඇමැතිකම දෙයි

    සුදර්ශනීගෙන් බන්ධනාගාරේ ගළවා කොවිඩ් රාජ්‍ය ඇමැතිකම දෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී.

    නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි. ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ජනපතිවරයා තීරණය කළේය.

    නව රාජ්‍ය අමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබූයේ මේ පරමාර්ථය සපුරා ගනු පිණිසය.

    ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මින් පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූවාය.

  • සමාජමාධ්‍ය ගැන බැසිල්ගේ විවේචනය සහ අයවැය ගැන අදහස මෙන්න !

    සමාජමාධ්‍ය ගැන බැසිල්ගේ විවේචනය සහ අයවැය ගැන අදහස මෙන්න !

    අයවැය තුළ තිබෙන නව යෝජනා ගැන ජනතාව දැනුවත් නැහැ

    “වැඩ සමඟ යළි ගමට” සංවර්ධන වැඩසටහන යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව 2020.12.14 දින දකුණු පළාතෙන් ආරම්භ කෙරෙන බව අද (27) පෙරවරුවේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන් අතර කොළඹදී පැවති සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි. 

    මෙහිදී අදහස් දැක්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ 2021 අයවැය තනි පුද්ගලයකුගේ අයවැයක් නොවන අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයත් ප්‍රජා සංවිධානත් සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා සිදුකර රටේ සංවර්ධනය සහ අනාගතය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු රැසක් ගනු ලැබූ  අයවැයක් බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා – ”මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා ගම් මට්ටමින් ජනතාව වෙත ගෙනයාම සිදු කළ යුතුයි. 2021 අයවැය සකස් කිරීමේදී ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මඟින් ජනතාවගේ අදහස් විමසමින් සකස් කළ මෙම අයවැය ගෙවුණු වසර හැත්තෑවටම ඉදිරිපත් වූ සැබෑ ජනතාවාදී අයවැයක්. 

    ගමේ අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමට ඉදිරිපත් කළ, ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ අනුමැතියෙන් අමාත්‍යාංශ කරා ගෙන එන විධිමත් පටිපාටියක් සකස් කර එය ලේඛනගත කොට සමාජගත කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් එම කාර්ය නොපමාව සිදුකර ජනාධිපති කාර්ය සාධන බලකාය දෙසැම්බර් 14 දින සිට 19 දින දක්වා පළාත් මට්ටමින් පවත්වන රැස්වීම්වලදී නිලධාරින්, දේශපාලන අධිකාරිය හා මහජනතාව  දැනුවත් කිරීම සඳහා අපේක්ෂා කරන බැවින් එම පටිපාටින් නොපමාව සකස් කළ යුතුයි.

    ‘ඇතැම් පිරිස්  ‍අපේ ආර්ථිකය කඩාවැටෙයි කියලා හිතුවා. පසුගිය රජය ආර්ථිකය විනාශ කළා කිව්වට මෙතරම් විනාශ කරලා ඇති කියලා අපි හිතුවේ නැහැ. ඒ වගේම තමයි කොවිඩ් 19 වසංගතයත් සමග අපේ ආර්ථිකය කඩාවැටෙයි කියලා සමහර දේශපාලඥයින් හිතුවා. 2021 වසර තමයි අපේ ආර්ථිකය කොයි අතට ගමන් කරනවාද කියලා තිරණය කරන්නේ.

    කිසිම අමාත්‍යංශයකට අඩුවැඩි වශයෙන් කාර්යභාරයන් වෙන්කරලා නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ අමාත්‍යංශ සඳහා අපි ප්‍රමුඛතාවය ලබාදෙනවා.  රාජ්‍ය අමාත්‍යංශ මේ වන විට කොටස් 4කට බෙදිලා ගම් මට්ටමෙන් ක්‍රියා කරනවා. 

    මේක තමයි අපේ පළවෙනි අයවැය. ජනාධිපතිවරයා පත්වුණාට පසුව අපිට මීට පෙර අයවැයක් ඉදිරිපත් කරන්න හැකි වුණේ  නැහැ. මේ අයවැයට මහජන නියෝජිතයින්ගේ සහය ලැබිලා තිබෙන නිසා ජනතාවගේ අවධානයටත් යොමුකළ යුතුයි.

    සමාජ මාධ්‍ය මඟින් විශාල ප්‍රහාරයක් එල්ල කරනවා අපි කරන වැඩ වලට. සම්පූර්ණයෙන්ම වැරදි පින්තූරයක් තමයි ජනතාවට පෙන්වන්නේ. පරිසරයට හිතකර දෙයක් කළත් ඔවුන්  කියන්නේ පරිසරය විනාශ කරනවා කියලා. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුයි.

    අයවැය තුළ තිබෙන නව යෝජනා ගැන ජනතාව දැනුවත් නැහැ. ඒ නිසා ඔවුන් දැනුවත් කිරීම වැදගත්. විදේශ ණය සහ ආධාර ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. පසුගිය රජය සෑහෙන්න ණය ගත්තා. ඒ නිසා අපිව දත්ත වාර්තා අතර විශාල ලෙස පහළට ඇද දැමුවා.  සෘජු විදේශ ආයෝජන අවස්ථා අපේ රටට ලබාගැනීමට මෙවර අයවැයෙන් බලාපොරොත්තු වෙනවා.

    රජයක් හැටියට දේශපාලන ස්ථාවරත්වයක් අපිට තිබෙනවා. විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විනිමයත් අපි අතහරින්න හොඳ නැහැ. විදේශ සංචාරකයින් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලා ලබන වසර වන විට  සංචාරක කර්මාන්තය නැවත තිබුණ තත්ත්වයටම ගෙන එන්න කටයුතු කරනවා. විදේශ සංචාරක අංශයෙන් ආයෝජන අවස්ථා ලබාගන්නත් අපි කටයුතු කරනවා‘‘

     මෙම  අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

  • ආණ්ඩුවට 5000 වෙනුවට 50,000ක් දෙන්න බැරි හේතුව ඇමති ඉන්දික හෙළි කරයි

    ආණ්ඩුවට 5000 වෙනුවට 50,000ක් දෙන්න බැරි හේතුව ඇමති ඉන්දික හෙළි කරයි

    පසුගිය යහපාලන රජය සමයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය විනාශ වූ බවත්, අද අප එය අත්විදිමින් සිටින බවත්, ඔවුන් විනාශ කළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉදිරි වසර තුල ගොඩනඟන බවත් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    හිටපු නිවාස ඇමතිවරයා එදා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන වලට බුරුතු පිටින් සේවකයින් බඳවාගෙන ඇති බවත්, එම සේවකයින් සහ රාජ්‍ය දේපල දේශපාලන කටයුතු සදහා යොදාගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    “රටේ ජනතාවට රු. 5000 ක් ලබාදී මොනවා කරන්නද” කියා විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී අපෙන් ප්‍රශ්න කරන බව පැවසූ අමාත්‍යවරයා විපක්ෂය එදා වගකීම් සහගතව කටයුතු කලානම් අද ජනතාවට රු 5000 ක් නොව රු. 50000 ක් වූවද ලබාදීමට හැකියාව තිබූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

    අමාත්‍යවරයා මේ බව කියාසිටියේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් නවීකරණය කරන ලද දංකොටුව, ඇටියාවල ගඩොල් හා පෙරනිමි සිමෙන්ති භාණ්ඩ නිෂ්පාදන, දැව ආශ්‍රිත නිෂ්පාදන වැඩබිම සහ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් සපිරීම නිමිත්තෙන් විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, නවීකරණය කරන ලද මෙම වැඩබිම සහ නව ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලදි.

    මෙම වැඩබිම තුළින් නියම ප්‍රමිතියෙන් යුතු ගඩොල් හා පෙරනිමි නිෂ්පාදන සහ දැව ආශ්‍රිත භාණ්ඩ ඉතා සහනදායී මිලට මිලදීගැනීමට හැකියාව ඇත.

  • සරත් වීරසේකර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය

    සරත් වීරසේකර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය

    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ අද (26) දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය.

    මේ අතර චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

  • ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරන හේතු එරාන් වික්‍රමරත්න හෙළිකරයි

    ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරන හේතු එරාන් වික්‍රමරත්න හෙළිකරයි

    අද වන විට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන් බොහොමයක් ආණ්ඩුවේ නිළ නොවන හොරණෑවන් බවට පත්ව ඇති පසුබිමක සමාජ මාධ්‍ය හා අන්තර් ජාලය ප්‍රධාන විකල්ප මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිත් කෙරෙනවා

    මාධ්‍යයට පාර්ලිමේන්තු දොර වැසීම පිළිගත නොහැකියි

    ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක සිවිල් පාලනයක් තිබිය යුතු අතර, නීතියේ ආධිපත්‍ය තිබෙන අප ජීවත්වන විවෘත සමාජයේ මාධ්‍යයට ප්‍රධාන තැනක් හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ දී කථා කළ වික්‍රමරත්න මහතා තව දුරටත් කථා කරමින්  මාධ්‍ය ගැන වාද විවාද කරන විට මාධ්‍යයට පාර්ලිමේන්තුව වසා ඇති බවත් මේ වසංගතය සියලු කොටස් වලට බලපාන එකක් හෙයින් මාධ්‍යට පාර්ලිමේන්තුවේ දොර වැසීම පිළිගත නොහැකි යැයි ද සඳහන් කළේය.

    මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් එරාන් වික්‍රමරත්න මහතා මෙසේද සදහන් කළේය,

    ‘ප්‍රජාතන්ත්‍රවාදී රටක සිවිල් පාලනයක් තිබිය යුතුයි. එම පාලනය යථාර්තයක් වන්නට නම් නිදහස් මාධ්‍යයක් තිබිය යුතුයි. එහෙයින්, රජයේ බලපෑමෙන් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතුයි. එවගේම මාධ්‍යයේ බලපෑමෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි.

    ජනතාවගේ පුද්ගලිකත්වයට එරෙහිව මඩ ගැසීම, චරිත ඝාතනය සිදු වන අවස්ථා තිබෙනවා. රජයේ ක්‍රියාවන් පිළිබඳව අවිශ්වාසයේ පසුබිමක් තිබෙන බැවින් වෛරී ප්‍රකාශ පාලනය වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමේ නීති ගෙන එන්නේ නම් එයට පෙරාතුව අදාල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පැවත්විය යුතුයි‘

    ‘රටේ සිවිල් පාලනයේ දී තම තමන්ගේ විශේෂත්වයට අදාළ කොටස අදාළ පාර්ශ්වයන් විසින් ඉටු කළ යුතුයි. හමුදාවේ වැඩ කොටස පොලිසියට ඉටු කළ නොහැකියි. ඒ වගේම පොලිසියටත් බැහැ හමුදාවේ වැඩ කරන්න. මෙහිදී පුහුණුව නොව මානසිකත්වය වැදගත් වෙනවා.

    ඒ වගේම සමාජ ප්‍රතිලාභ බලන රාජ්‍ය සේවක වැඩ, පෞද්ගලික ලාභය වැඩි කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයන්ට හෝ දේශපාලකයන්ගේ වැඩ ආගමික නායකයන්ට හෝ සිදු කළ නොහැකියි. තම විශේෂත්වයට අදාළ කොටස් ඒ ඒ අංශ විසින් ම කළ යුතු වෙනවා.

    වත්මන් කොරෝනා වසංගතයේදී සෞඛ්‍ය අංශයේ විද්‍යාඥයන්, වසංගත විශේෂඥයන් වෛද්‍යවරු  නායකත්වය දිය යුතුයි. හමුදාවේ කීර්තිනාමය රැක ගත හැකිවන්නේ ඔවුන්ට අදාළ විෂය ඔවුන්ට භාරදීමෙන් පමණයි.

    හමුදා නාළිකාවක් හදලා රාජ්‍ය මාධ්‍ය සදාචාරය හදන්නට නොහැකියි. පසු ගිය කාලවල මේ රටේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, අතුරුදහන් කළ, පහර දුන් සිද්දීන් ගැන ලංකාවේ ජනමාධ්‍ය සංගම් නැවත නැවත් සිහිපත් කළා.

    අපරාධකරුවන් ආරක්ෂා නොකරන, අපරාධ කිරීමට අණ දුන් අයව ආරක්ෂා නොකරන රටක් ගොඩ නැගිය යුතු යැයි මාධ්‍ය සංගම් නියෝජිතයන් අපට යළි යළිත් මතක් කරනවා. මේ ළඟදී සමාජ මාධ්‍ය වල සාවද්‍ය තොරතුරු පළ කිරීම හා  වසංගත වැඩ කටයුතුවලට සම්බන්ධ ද්වේශ සහගත විවේචනය කළා කියමින් විශ්ව විද්‍යාල සිසුන් 50 ක් පමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    කොතලාවල ආර්ක්ෂක විද්‍යාලයේ රෝහල ප්‍රභූවරුන්ගේ කොරෙඔනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන්කළා කියා තම මුහුණු පොතේ අසත්‍ය පුවත් පළ කළා කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තරිඳු අවිෂ්ක සිසුවා අත අඩංගුවට ගෙන තිබෙනවා. මේ වගේ ත්‍රිකුණාමලයේ තරුණයෙක් මෙන්ම මුස්ලිම් ජාතික තරුණයෙක් වන රම්සි රාසීක් අයි සි.සි පී.ආර් හෙවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අත් අඩංගුවට පත් කරලා තිබෙනවා. රාසීක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුව දැනුවත්ව මුස්ලිම් ජන කොටස් එල්ල කර ගනිමින් සමාජ හා ප්‍රධාන ධරාවේ මාධ්‍ය හරහා නිරන්තරයෙන් කෙරෙන වර්ගවාදී ප්‍රචාරණ හා ප්‍රකාශ පිළිබඳව කිසිවෙකුට හෝ එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් අරගෙන නැති පසිබිමකයි.

    වසංගතය මධ්‍යයේ සහනාධාර බෙදීම හා ආහාර නොලැබීම සිදු වූ අසාධාරණකම්වලට එරෙහිව ගම්පොල උද්ඝෝෂණයක් සංවිධානය කළ අයෙකු පොලිසිය විසින් ඇඳිරි නීතිය කඩ කළ කියන චෝදනාව මත අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අභූත චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගන්නා අය පරීක්ෂණ අවසන් වන තෙක් බන්ධනාගාර ගත කර වරදක් ඔප්පු කිරීමට පෙර දඬුවම් පැමිණවීමේ ක්‍රම වේදයක් බවට දැන් පත්වෙලා තිබෙනවා.

    මේ අත් අඩංගුවට ගැනීම් හරහා “රජය විවේචනය නොකරනු” යන පණිවිඩය ජනතාවට දෙන්නේ දැයි මම රජයෙන් ප්‍රශ්න කරනවා.

    අද වන විට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන් බොහොමයක් ආණ්ඩුවේ නිළ නොවන හොරණෑවන් බවට පත්ව ඇති පසුබිමක සමාජ මාධ්‍ය හා අන්තර් ජාලය ප්‍රධාන විකල්ප මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිත් කෙරෙනවා. මෙවන් අවස්ථාවකදී එය ඉබේටම සිදුවන්නක්. මේ පසුබිම තුළ සමාජ ජාල වෙබ් අඩවි පාලන කරන්නට නීති ගෙන එන්නට යන්නේ නම්, අවිශ්වාසයක් තිබෙන පසුබිමක ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ පෙර සාකච්ඡා කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා.

    ප්‍රජාතන්ත්‍රවාදී විවෘත සමාජයක සමාජ මාධ්‍ය වල මඩ ගැසීම් ව්‍යාජ තොරතුරු පළ කිරීම් සිදුවනවා. අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද.? මෙයට නීති ගෙන එන විට අනෙක් රටවල නීති කට් ඇන්ඩ් පේස්ට් නොකර ක්‍රමවේදයකට සාකච්ඡා කර සිදුකරන මෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් සීමාවන් නොමැතිව ඔවුන්ගේ අභිමතය පරිදී ප්‍රකාශනයේ නිදහස සීම කරන්න ඉඩ නොතැබිය යුතු අතර මෙම නීතියට ප්‍රතම පුද්ගලිකත්වය හා දත්ත ආරක්ෂා කිරීමේ නීති ගෙන ආ යුතු යැයි ඉරාන් වික්‍රමරත්න අවධාරණය කළේය.

  • එජාප ජාතික ලැයිස්තු ධුරයට රනිල්

    එජාප ජාතික ලැයිස්තු ධුරයට රනිල්

    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අවසන් වශයෙන් තීරණය වෙයි. ඒ අද උදෑසන පැවැති (23) කළමනාකරණ කමිටු රැස්වීමේදීය.

    ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මීට පෙර යෝජනා කළේ එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා විසිනි. අද එම යෝජනාව කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැනීම ආරම්භ කළේ අර්ජුන රණතුංග මහතායි. නවීන් දිසානායක මහතා මෙම රැස්වීමට නොපැමිණියත් ඔහුගේ ද අදහස අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බව එහිදී අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය. රැස්වීමට පැමිණි සියල්ලන්ම එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක්  රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමා‍ජිකයින් කටයුතු කළේය. රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේබව හෙළි කරමින් පැවසුවේ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යා යුතු සුදුසුතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

    ‍”අපේ ‍රට දැන් මුහුණ දෙමින් සිටින්නේ ‍ගෝලීය අර්බුදයකට. රටේ ආර්ථිකය වගේ ම ලෝකයේ ආර්ථිකයත් කඩා වැටිලා. මේ වගේ අවස්ථාවක මේ ව්‍යවසනයට මුහුණ දෙමින් රටේ ආර්ථික ගොඩ නැඟීමට සක්‍රීයව දායක විය හැකි පුද්ගලයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තු ධුරයට යෝජනා කළේ. ඒ සඳහා එතුමාගේ කැමැත්තක් නැහැ. නමුත් අපි එතුමාගේ නම ඒකමතිකව යෝජනා කරලා සියලු දෙනාගේ ම අත්සන් සහිතව  ලිඛිත ඉල්ලීමක් අද එතුමාගෙන් සිදු කළා….”යි ද අර්ජුන රණතුංග මහතා පැවසීය.  

  • එජාප මහ ලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වෙයි

    එජාප මහ ලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වෙයි

    එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය‍ේ පැවති පක්ෂ ජේෂ්ඨයන්ගේ හමුවේදී එජාප මහ ලේකම්වරයා විසින් මේ දැනුම්දීම කර ඇත.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ලබන වසර මුල පක්ෂයේ නව නිලධාරීන් පත් කිරීම සිදුවන බැවින් තමා තනතුරින් ඉල්ලා අස්වූ බවයි. මේ සම්බන්ධයෙන් එජාප නායකයා සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළේය.

    මේ අතර ඊයේ මහනුවර දී පැවැති එක්සත් ජාතික පක්ෂ හමුවකදී එජාපයට හිමිව ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව සදහන් විය.

  • ජනපතිතුමනි, මුරුංගා අත්තෙන් බහින්න කාලය පැමිණ තිබේ !

    ජනපතිතුමනි, මුරුංගා අත්තෙන් බහින්න කාලය පැමිණ තිබේ !

    ජයදේව උයන්ගොඩ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ පළමුවැනි වසර සම්පූර්ණ කරන මේ සතිය වනවිට එතුමාගේ පාලන තන්ත්‍රයෙත්, එතුමාත් නාගරික මධ්‍යම පන්තියේ විවේචනයටත්, තියුණු හාස්‍යයටත් පාත්‍ර වී තිබේ. ග්‍රාමීය ජනතාව අතර ප්‍රතිචාරය කෙසේදැයි මම ඒ ගැන නොදනිමි. එතුමා විවේචනයට වඩා හාස්‍යයට ලක්කරන බොහෝ නාගරික මධ්‍යම පාන්තිකයන්, මීට වසරකට පෙර එතුමාට බොහෝ උනන්දුවෙන්ද, උද්වේගයෙන්ද, බලාපොරොත්තු සහිතවද ඡන්දය දුන් අයයි.

    අප රටේ නාගරික මධ්‍යම පන්තික සමාජයේ වෙනස්වන දේශපාලන විඥානය ගැන දැන ගැනීමට මට ඇති විශ්වාසය තැබිය හැකි එක් මූලාශ්‍රයක් වන මගේ භාර්යාවට අනුව, රාජපක්ෂ මහතාට ඡන්දය දුන් බොහෝ දෙනා දැන් කියන්නේ, ඔවුන් ඡන්දය දුන්නේ අනුර කුමාර දිසානායක මහතාට බවයි. “දැන් මේ අය කියන කතා ඇත්ත නම් අනුරට ලේසියෙන්ම දිනන්නත් ඉඩ තිබුණා” යැයි, මෙම අලුතෙන් වර්ධනය වන මධ්‍යම පන්තික දේශපාලන උපහාස සාහිත්‍යයට සුළු එකතුවක් කරමින් ඇයද ලඟදි දවසක කියා සිටියාය.

    එහෙත් දේශපාලනය ගැන බැරෑරුම්ව සිතන විශ්වවිiාල ශාස්ත්‍රඥයින් වන අප වැනි අය උනන්දුවන තවත් දෙයක් තිබේ. එනම් ජනාධිපතිතුමා වැනි නැවුම් දේශපාලන නායකයින් තමන්ගේ ආධාරක ප්‍රජාවන්ගේ උපහාසයට මේ තරම් ඉක්මණින් පාත්‍රවීමෙන් ප්‍රකාශ වන දේශපාලන ප්‍රවණතාවයයි. මේ කෙටි ලිපියේ අරමුණ ඒ සඳහා උත්සාහයක් ගැනීමයි.

    එපාවීමේ දේශපාලනය

    ඡන්දයෙන් බලයට පත්වූ දේශපාලන නායකයින්, ජනතාවටත්, තමන්ට ඡන්දය දුන් අයටත් එපාවීමට සාමාන්‍යයෙන් අවුරුදු තුනක්වත් ගතවේ. එපාවීමෙන් පළමුවැනි අවුරුද්දේ නම් සිදුවන්නේම නැති තරම්ය. ප්‍රබල විරුද්ධ පක්ෂයක් නැති අකර්ශණහීලි විරුද්ධ පක්ෂ නායකයකුවත් නැති, මනබඳිනා විකල්ප දේශපාලන වැඩ පිළිවෙලක් රැඩිකල් ජවිපෙන්වත් ඉදිරිපත් වී නැති පසුබිමක් තුළ පත්වී ඇති මෙම තත්ත්වය ගැන බැරෑරුම් විග්‍රහයන් හෝ පැහැදිලි කිරීමක් හෝ ඉදිරිපත් කිරීමට තවමත් කල් මදිය. කෙනෙකුට කළ හැක්කේ තාවකාලික ප්‍රවාද කිහිපයක් ඉදිරිපත් කිරීමක් පමණි.

    උපහාසය තුළින් දැනට වඩාත්ම විවේචනයට ලක්වන බව පෙනෙන්නේ ජනාධිපතිතුමාට තිබෙන රූපවාහිනි සහ පුවත්පත් ප්‍රධාන කොටගත් ජනමාධ්‍ය විසින්ද, එතුමාගේ මාධ්‍ය ඒකකය විසින්ද, එතුමාම විසින්ද ඉදිරියටම දමා ඇති එතුමාගේ ප්‍රතිරූපයකි. මෙය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එතුමා ප්‍රචාරණයට පාත්‍ර කළ වෙළඳ දැන්වීම් ව්‍යාපාරය, දැන් අර්බුදයට පත්වීමේ ප්‍රකාශනයකි. එතුමාගේ ගොඩනගන ලද ප්‍රතිරූපය වූයෙත්, එතුමා තමන් ගැනම අව්‍යාජව විශ්වාස කළ දේ බව පසුගිය අවුරුද්ද තුළම පෙනුණෙත්, අප සමාජයේ සියලු ප්‍රශ්ණ විසඳීමේ පෙර නොවු විරු හැකියාවක්, බුද්ධි මහිමයක් පෙර සුදානමක්, වාසනා ගුණයක් සහ පුහුණු සහ විශේෂඥ පිරිස් බලයක් එතුමාට තිබෙන බවයි. එහෙත් ඒ ගැන මූලික සැකයක් එතුමා ඡන්දයෙන් දිනූ මුල් මාස තුන තුළම ප්‍රදර්ශනය විය. අලුත් ආණ්ඩු සහ අලුත් පාලකයින් පත්වීම පිළිබඳව තිබෙන දේශපාලන ව්‍යවහාරඥානයේ ඇති එක් ආත්තෝපදේශයක් නම් “ඕනෑම අලුත් ආණ්ඩුවක හැකියාව හෝ නොහැකියාව පළමුවැනි දින සියය තුළ ප්‍රදර්ශනය වේ” යන්නයි. අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දී තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවත්, “දින සියයේ” වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේ මේ අදහස ගැන දැන සිටි නිසා විය හැකියි. එහෙත් එවැනි වැඩ පිළිවෙලක් රාජපක්ෂ මහතාගෙන් ඉදිරිපත් නොවුණි. ඒ වෙනුවට තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබීම” තම අකර්මණ්‍යතාවයට හේතුව ලෙස එතුමා ඉදිරිපත් කළේය. එහෙත් එතුමා නොකළ යුතුව තිබූ එක් දෙයක් කළේය. එය නම් ආණ්ඩුවේ අය බදු ආදායම විශාල ලෙස අඩු කිරීමකි.

    මේ ගැන තරමක් වෙනස් අර්ථකථනයක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය. මෙය වනාහී අවුරුද්දකට පසුව අදටත් වලංගු අර්ථකථනයකි. එය නම්, ජනාධිපතිවරයෙක් ඉහළින් දිනුවත්, ඉන්පසු කළ යුත්තේ කුමක්ද යන්න ගැන බැරෑරුම් සුදානමක් එතුමා හෝ එතුමාගේ කඳවුර තුළ හෝ නොතිබිණ යන්නයි. තමන් ජනාධිපතිවරණය ජයගත් පසු තමන්ට ගනුදෙනු කරන්නට සිදුවන්නේ විරුද්ධ පක්ෂයට බහුතරය තිබෙන පාර්ලිමේන්තුවක් සමග බවත්, එම පාර්ලිමේන්තුව තව මාස ගණනාවක්ම තම පාලනයට යටත් නොවී පවතින බවත් දැන සිටිය යුතු වූ එතුමා සහ එතුමාගේ උගත් උපදේශකයින් කළයුතුව තිබුණේ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරය ලබාගෙන තමාට පක්ෂපාත ව්‍යවස්ථාදායකයක් ලබා ගන්නා තුරු, තමන්ට පක්ෂපාත නැති පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් තම ප්‍රතිපත්ති සහ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර කිහිපය තැබීමයි. සාර්ථක දේශපාලන නායකයකුගේ නියම සාර්ථකත්වයේ මිණුම් දණ්ඩ වන්නේ, තමන්ට අවාසි සහගත වන ලෙස විරුද්ධ පක්ෂ සමග ඇති ප්‍රතිවිරෝධතා තියුණු කරගෙන, බලයේ කේන්ද්‍රීය ආයතන ලෙස පැවැති පාර්ලිමේන්තුවෙන් ප්‍රයෝජන නොගැනීම නොවේ. සිය අරමුණු දේශපාලන අතරමග සමාදානය සහ සාකච්ඡාව තුළින් ඉටුකර ගැනීමයි. එවැන්නක් සඳහා තමන්ට හැකියාවක් නොතිබුණු බව ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නොකළා පමණක් නොවේ. එවැන්නක් මගින් ඉටුකරගත හැකි වැඩ පිළිවෙලක්, ජනාධිපතිවරණය ජයගන්නා විට, එතුමාට නොතිබුණු බවද එතුමා ප්‍රදර්ශනය කළේය.
    මෙම දුර්වලතා නැවත වරක් ජනාධිපතිතුමා විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගත් පසුය. තමන්ට නීත්‍යානුකූලව බලය ලැබුණු පළමුවැනි දවසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රටේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා තමන් සතු අවුට් ඔෆ් ද බොක්ස් විසඳුම් ක්‍රියාත්මක කිරීම තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර බලයක් තමන්ට ලබා දෙන ලෙසයි. මෙය වනාහී මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දෑත ශක්තිමත් කිරීමට තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස 2010 දී ඡන්ද දායකයාගෙන් කළ ඉල්ලීමද විය. මේ අවස්ථා දෙකේදීම පෙනුණේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන රටේ ප්‍රශ්න විසඳීමට කළ යුත්තේ කුමක්ද යන්න ගැන සූදානමක් නායකයින් දෙදෙනාම සතුව නොතිබුණු බවයි.

    මෙය වනාහී 2015 ජනවාරි මාසයේ සිටම මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපොළගෙන්ද ප්‍රදර්ශනය වූ, අප රටේ දේශපාලන නායකයින් සතු සුපුරුදු දුර්වලකමකි. බලය නැතිව සිටිද්දී බලයේ සිටින ආණ්ඩුව දුර්වල කරමින් ඡන්දය දිනා බලයට ඒමට අවශ්‍ය දක්ෂකම සහ අධිෂ්ඨානය ඔවුන්ට තිබේ. එහෙත් බලය ආ පසුව කළ යුත්තේ කුමක්ද ? යන්න ගැන සුදානම් වීමක්, පෙර සිතීමක්, සැලසුම් නිර්මාණය කිරීමක් ඔවුන් තුළ නැත. එහෙත් ඒවා තමන් වෙත තිබෙන බව නම් ඔවුහු මැතිවරණයට පෙර ජනතාවද විශ්වාස කරන පරිදි කියා සිටිති. ගෝඨාභය ජනාධිපතිතුමා පළමු වසර මුළුල්ලේම ප්‍රදර්ශනයකර ඇති අසාර්ථකත්වයට මූලික දායකත්වයක් කර ඇත්තේ මෙම දුර්වලතාව විසිනි.

    කොවිඞ් අර්බුදයේ අභියෝගය

    අප ඉහත සාකච්ඡා කළ කාරණයම, ජනාධිපතිතුමාට පක්ෂපාත දෘෂ්ඨිකෝණයකින් බලා පහත සඳහන් ආකාරයේ වෙනස් විග්‍රහයක්ද ඉදිරිපත් කළ හැකිය. එනම්, ජනාධිපතිවරණයෙන් දිනන විට, ජනාධිපතිතුමාට සහ ඔහුගේ කණ්ඩායමට අදහස් සහ සැලසුම් තිබිණ. එහෙත් ඒවා අවුල් කරන ලද්දේ නොසිතු විරූ කොරෝනා අර්බුදය විසිනි.
    එහෙත් මෙම පැහැදිලි කිරීමේ ඇත්තේ දුර්වල වලංගුතාවයකි. එයට හේතුව, කොරෝනා අර්බුදය නියම ලෙස අප රටට දැනෙන්ට පටන් ගන්නේ පෙබරවාරි අග කාලයේදී සිට වීමයි. එය වනාහී විශාල මහජන වරමකින් ජයග්‍රහනය කළ කෙනෙකු, මාස තුනක් නිකම් සිටි තත්ත්වයක සිටියේ මන්ද යන පහසුවෙන් පැහැදිළි කළ නොහැකි ප්‍රශ්නයට දිය හැකි දුර්වල පිළිතුරකි.ඒ කෙසේ වෙතත්, කොරෝනා අර්බුදයේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ පළමු වසරට බලපෑ හැටි පරික්ෂා කිරීම කළ යුතු දෙයකි. එතුමාට යම් කිසි සැලසුමක් තිබුණ නම් කොරෝනා අර්බුදය විසින් ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අවුල් කරන ලද බව කීම අඩු තක්සේරුවකි. ලෝක සහ ජාතික ආර්ථික පසුබෑම සහ කඩාවැටීම ඉදිරියේ ලංකාවේද ආණ්ඩුව ඉදිරියේ තිබෙන අභියෝග සුළුපටු නොවේ. මෙවැනි කාලයක ආණ්ඩුවක් ඍජුව සිටීම තමාගේ අවාසනාවයැයි පාලකයෙකු සිතනවානම් ඒ ගැන ඇතිවියයුත්තේ සහකම්පිත ප්‍රතිචාරයකි.

    මිත්‍යාවේ බලය නැතිවීම

    එහෙත් පසුගිය මාර්තු මාසයේ සිට ගිය මස දක්වා ජනාධිපතිතුමා කර තිබෙන්නේ කුමක්ද ? තමා පිළිබඳව තමා තුළම පවතින්නා වූත් ඡන්දදායකයන්ට ඉදිරිපත් කරන ලද්දාවුත් එක්තරා පුද්ගලවාද මිත්‍යාවක් මත වැඩ කිරීමයි. රටේද ඉරණම තම තමන්ද අනන්‍යවී තිබෙන, රටේ ප්‍රශ්න විසඳීමේ ගුණමහිමය සසඳනා බලය ඇති එකම පුද්ගලයා තමාය යන විශ්වාසය මත, සියලුම දේශපාලන බලය 19 වැනි සංශෝධනයට පිටතින් යමින්ද, ඉන් පසුව එය අහෝසිකර 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන්ද, ලංකාවේ ආණ්ඩුක්‍රමය ඒක පුද්ගල අධිකාරිවාදී පරිවර්තනයකට භාජනය කිරීමයි. “ජනාධිපති” යන තනිපුද්ගලයා වටා සියලු රාජ්‍ය බලය කේන්ද්‍රගත කර ගැනීමයි. 1958 දී ප්‍රංශයේ ජෙනරාල් චාල්ස් ඩිගොල් මහතාද ශ්‍රී ලංකාවේ 1978 දී ජෙනරාල් කෙනෙකු නොවු ජේ. ආර්. ජයවර්ධන මහතාද 2010 දී මහින්ද රාජපක්ෂ මහතාද මෙවැනි පුද්ගල කේන්ද්‍රීයවාදි ඒකාධිපති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට යෑමේ පූර්වාදර්ශයයන්ය.

    එකපුද්ගල අධිකාරිවාදී ජනාධිපතිවරුන් 2020 ක් පසුව, එනම් පශ්චාත් කොරෝනා ලෝකය තුළ, මුහුණ දෙන අභියෝග කොතරම් පෙර නොවූ විරූ ලෙස ආරම්භකළ ඒවාද යත්, ඒවා වනාහී කිසිසේත්ම තනි පුද්ගලයකුට කර ගැසිය හැකි, කරගැසිය යුතු ඒවා නොවේ. ඒවා වනාහී හැකිතාක් දුරට සාමුහික, අන් අයගේද සහයෝගය ඇතිවූ, විරුද්ධ පක්ෂ වලද සහභාගීත්වය ඇතිව හැකිතාක් විවෘතව, සාකච්ඡා මාර්ගයෙන්, පොර බැදිය යුතු අභියෝග වෙති. ආඥා, නියෝග සහ ගැසට් පත්‍ර මාධ්‍ය කොටගෙන, විසඳීමේ කීර්තියේ ඒකාධිකාරය තනියම ලබා ගත හැකි ඒවා නොවේ. ඒවා එසේ යැයි කෙනෙකු සිතන්නේ නම්, එය වනාහී ස්වයං රවටා ගැනීමකි.

    පණිවුඩයක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමුවැනි පදවිප්‍රාප්ත උළෙලේදි එතුමාට සුභ පතන, සෙත් පතා පුවත්පත් වල දැන්වීම් පළකරන, මුහුණු පොතේ සටහන් තබන බොහෝ දෙනා කරනු ඇත්තේ එතුමාගේ පළමුවසරේ අත්දැකීම් ගැන සමතුලිත විග්‍රහයක් එතුමාට ඉදිරිපත් කිරීම නොවේ. තමන් ගැන කරන සමතුලිත විග්‍රහයන්ට විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන නායකයින් තදින් අකැමැතිබව දන්නා මේසියලු දෙනාම පාහේ කරනු ඇත්තේ, එතුමා හැකිතාක් දුරට ව්‍යාජ ලෙස වර්ණනා කිරීමයි. ත්‍ඛ්ඔඔෑඍශ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන්ද, “මුරුංගා අත්තේ තැබීම” යනුවෙන් සිංහල භාෂාවෙන්ද හඳුන්වන කලාව විශේෂඥ ලෙස ප්‍රගුණ කර ඇති අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, දේශපාලනඥයින්ද, රජයේ ඉහළ නිලධාරින්ද, ව්‍යාපාරිකයන්ද, ජනමාධ්‍ය ව්‍යාහාරිකයින්ද මේ දින කිහිපයම තුළ කරනු ඇත්තේ එයයි.

    මගේ විග්‍රහය වනාහී එතුමාගේ අසාර්ථකත්වයට තව දුරටත් ඉදිරියට ගියහොත්, ඉන් ඇතිවීමට හැකි නිෂේධනීය දේශපාලන ප්‍රතිඵල වල බැරෑරූම්කම ගැන සවිඥානිකත්වය වෙතින් ගොඩ නැගුණකි. තව අවුරුදු හතරක් බලයේ සිටීමට නියමිත එතුමාට ස්වාධීන පුරවැසියකු ලෙස මා දෙන කාරුණික පණිවුඩය නම්, දැනට තිබෙන තුනෙන් දෙකේ බහුතර බලය සාධනීය අරමුණක් සඳහා යොදමින්, විසිවැනි සංශෝධනය අහෝසිකර, අඩුපාඩු වලට පිළියම් යොදා යළි සකස් කළ ප්‍රජාතන්ත්‍රවාදි 19 වැනි සංශෝධනය, 21 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුව ලවා සම්මත කර ගැනීමයි. ජනතාවගේ ඡන්දයෙන් පත්වී ඇති ජනාධිපතිධුරයට අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ එකක් හෝ දෙකක් ලබාදීම, නව 21 වැනි සංශෝධනයෙන් කළ හැකි නරක දෙයක් නොවේ.

    නොවැම්බර් 22 රාවය ඊ පුවත්පත ඇසුරිණි – ශීර්ෂ පාඨය පමණක් සංශෝධනය කර ඇත. ප්‍රධාන සංස්කාරක

  • අයවැය දෙවැනි වර කියවීම 3/2 ඡන්දයෙන් සම්මතයි

    අයවැය දෙවැනි වර කියවීම 3/2 ඡන්දයෙන් සම්මතයි

    පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 52ක් ලෙස 2021 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද අයවැයට පක්ෂව ඡන්ද දුන්නාය. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

  • නව පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

    නව පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

    පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

    අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක් කිරීම එහිදී සිදු කෙරේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු පාර්ලිමේන්තු සභාව නියෝජනය කරති. එහි ලේකම් ධූරය හොබවනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසිනි.

  • ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වසරයි –  ශ්‍රී ලංකාවේ අලුත් නම ‘පකිස්ලංකාව’

    ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වසරයි – ශ්‍රී ලංකාවේ අලුත් නම ‘පකිස්ලංකාව’

    අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපස දී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් 18 වෙනිදාය.

    එවක් පටන් මේ වනවිට දින 365 ක් ගෙවී ගොසිනි.

    එය ඔහුගේ ධුර කාලයෙන් පහෙන් එකකි.

    ගතවගිය වසර ඇතුළත ඔහුගේ පාලනය ලැබූ ජයග්‍රහණ ගැන පොදුජන එක්සත් පෙරමුණ සහ වියත්මග ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ප්‍රශස්ති ගායනා කරද්දී, ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් අසාර්ථක පාලකයෙකු බව දැනටමත් සනාථ කොට ඇතැයි සමගි ජන බලවේගය ඇතුළු ප්‍රධාන විරුද්ධ පක්ෂ මෙන්ම බොහෝ මධ්‍යස්ථ මතධාරීහු ද චෝදනා කරති.

    කිසියම් අංශයක් ප්‍රගතියක් ලැබූ විට එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙසින් හුවා දක්වන ජනාධිපතිවරයා, කිසියම් ක්ෂේත්‍රයක අසාර්ථකභාවයක් සම්බන්ධයෙන් නිලධාරීන්ට සහ ජනතාවට දොස් නගන බව ඔහුට එල්ලවන බරපතල චෝදනාවකි.

    ජනාධිපතිවරයා බලයට පත්කිරීම පිණිස දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කළ මහා සංඝරත්නය පවා වසරකට පසු එවැනි විවේචන එල්ල කිරීම විශේෂත්වයකි.

    ජනපතිවරයා එවැනි හැසිරීමක් පෙන්නුම් කරන්නේ ඔහු දේශපාලනයට ආගන්තුකයෙක් නිසාද? නො එසේනම් ඔහු හොඳින්ම දන්නා එකම ක්‍රමය මිලිටරි පාලනය පමණක් නිසා ද?

    ‘ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්’

    ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන පරිදි මෙය “එකිනෙකට වෙළුණු ගැටලු රාමුවක ප්‍රතිඵලයක්,” වන “ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි.”

    මහාචාර්ය අර්ජුන පරාක්‍රම
    “මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි” – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

    “මේක මේ රජයේ මූලාරම්භයේ ඉඳලම තිබුණ මතයක්, හමුදාකරණය තමයි අපට එකම ගැලවීම කියන එක,” බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු පැවසීය.

    “ජාතිවාදය, ආගම්වාදය පැතිරවීම තමා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ පහසුම ක්‍රියාදාමය මේ ආණ්ඩුව කරන අය දැනගෙන හිටියා. ඒ සඳහා ජනතාව ළදරුවෝ කරන්න ඕන. මේ සඳහා ජනතාවගේ තර්කන හැකියාව, විචක්ෂණය බැහැර කරන්න ඕන. ඒත් අවාසනාවකට, සමාජය මේක තේරුම් ගන්නේ නෑ.”

    කෙසේ වුවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ “බැලූ බැල්මටම මිලිටරි වැඩියි කියල පේන්න තියන” නමුත් අවශ්‍ය අවස්ථාවල ඉක්මණින් හමුදාව යොදා ගැනීම හේතුවෙන් රටේ බොහෝ ප්‍රශ්න ඉක්මණින් විසඳුන බවය.

    “මටත් එහෙම අවධානයක් තිබුණ. හැබැයි ඔවුන්ගේ වැඩපිළිවෙල විශ්ලේෂණය කළාම හමුදාව නැත්නම් මොකද වෙන්නේ කියල මට හිතුණා. ගොඩක් ප්‍රශ්න විසඳුනා හමුදාව යෙදීම නිසා. අනික මිනිස්සුන්ගේ ප්‍රතිචාරය,” අමාත්‍යවරයා පැවසීය.

    ඉහළ තනතුරු 28 ක්

    ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව දැනට සේවයේ නිරතව සිටින සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් 24 දෙනෙකුවත් ඔහු විසින් සිවිල් පරිපාලනය ඇතුළු ආණ්ඩුවේ ඉහළ තනතුරු 28 කට පත්කරනු ලැබ තිබේ.

    ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා, විශ්‍රාමික මේජර් ජනරාල් කේ බී එගොඩවෙල, කෝවිඩ්19 සෞඛ්‍ය සුබසාධන අරමුදලේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පදවිය හොබවන හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් පදවිය ද දරයි.

    මේ අතර හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බවට පත්කිරීම ප්‍රබල අවධානයට තුඩු දී ඇති තවත් පත්වීමකි.

    ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වමින්, බ්‍රිතාන්‍යයේ කොරෝනාවෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ විෂයානුබද්ධ, තාර්කික දැනුමක් නොමැති පුද්ගලයන් කොරෝනා පාලනයට බාධාවක් බවය.

    වෛද්‍ය තුෂ් වික්‍රමනායක ගේ සටහනක්

    ශ්‍රී ලංකාවේ නිරෝධායන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම හමුදා සෙබළුන් යෙදවීම රෝගය පාලනයට උපකාරයක් නොවන බව ඇය පෙන්වා දී තිබුණි.

    මහාචාර්ය අර්ජුන පරාක්‍රම ද ඒ අදහස අනුමත කරයි.

    “හමුදා නිලධාරියෙක් කියන්නේ වෛද්‍යවරයෙක් ද? ඔහු නිරෝධායන විශේෂඥයෙක් ද?” මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.

    “මෙතන වෙලා තියෙන්නේ, අපි දැන් සුජාත කරලා තියෙන්නේ හමුදාව තමා අපේ ගැලවුම්කරුවෝ කියල.”

    ‘කෝවිඩ් බලකායේ ඉන්නේ හමුදාපති විතරක් නෙවෙයි’

    හමුදාපතිවරයා සම්බන්ධයෙන් මතුවන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, හමුදාපතිවරයා කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවය.

    ඔහු එම තනතුරට පත්කරනු ලැබුවේ කොරෝනාවෛරස වසංගතය සම්බන්ධයෙන් රට පුරා බියක් පැතිර යමින්, ජනතාව නිරෝධායනයෙන් පලා යන්නට උත්සහ කළ අවස්ථාවක බව පවසන මොහාන් සමරනායක, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ දෙනෙක් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය දරන බවත් සඳහන් කළේය.

    “ටාස්ක් ෆෝස් එක හැමදාම ජනාධිපතිතුමා හමුවෙලා සාකච්ඡා කරනවා. එතන හැම දෙනාම ඉන්නවා. GMOA සභාපති පවා ඉන්නවා,” ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පැවසීය.

    වසංගත පාලනයට හමුදාව යෙදවීම

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද එය අනුමත කරයි.

    කෝවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ එවැනි වසංගතයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ පැවතියේ ඉතා අඩු පහසුකම් වුවත් හමුදාව මැදිහත්වීමෙන් ඉතා ඉක්මණින් නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.

    “මුලින් බලහත්කාරෙන් මිනිස්සු ගෙනිච්චේ. හැබැයි ඒ මිනිස්සු යනකොට ගියේ අඬලා, හමුදාවට කවි ලියල.

    ‘සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් නෑ’

    වරාය අධිකාරියේ සභාපති වශයෙන් හිටපු හමුදාපති, විශ්‍රාමික ජනරාල් දයා රත්නායකත්, විශ්‍රාමික මේජර් ජනරාල් ඩී එම් එස් දිසානායක පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙසිනුත් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.

    බස්නාහිර පළාතේ ආණ්ඩුකාර පදවිය හොබවන හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂක ක්‍රම තහවුරු කරන ජනාධිපති කාර්ය සාධක බලකායේ ද ප්‍රධානියාය.

    “මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි. මීට පස්සේ හමුදා සුදුසුකම සියලු දේටම අවශ්‍යයි,” මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසයි.

    නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක සහ කාටුන් ශිල්පිනියක වන ශානිකා සෝමතිලක ජනපතිවරයාගේ පාලනය පිළිබඳ සිය අදහස මෙසේ කාටුනයකින් දක්වා තිබුණාය.

    මේ අතර සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවෙකු සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු වන ඉරාජ් වීරරත්න, සජිත් ප්‍රේමදාස බලයට පත්වූයේ නම් ඉතා අසාර්ථක පාලකයෙකු බවට පත්වනු ඇති බව පැවසෙන ට්විටර් පණිවුඩයක් පළ කොට තිබුණි.

    එයට ප්‍රතිචාර වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලනය පිළිබඳව ශානිකා සෝමතිලක මෙවැනි කවි පෙළක් ද සටහන් කොට තිබිණ.

    ‘ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබිල නෑ’

    ශ්‍රී ලංකාවේ ජනතාව අතර මුල් බැසගත් විශ්වාස 4 ක් තිබෙන බව මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ අදහසය.

    “රණවිරුවන් වරදක් කරන්නේ නෑ කියන එක, එයින් එක විශ්වාසයක්,” යනුවෙන් පවසන ඔහු,”නමුත් මේක සාක්ෂිවලට පටහැනි දෙයක්. උදාහරණයක් විදියට දැන් නාවික හමුදාවේ කොරෝනා පැතිරෙන එක වලක්වගන්න බැරි වුණා.”

    පැවති යහපාලන ආණ්ඩුව යටතේ රටේ ජාතික ආරක්ෂාව අවදානමේ හෙලූ බව, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එල්ල වූ බරපතල චෝදනාවකි.

    ප්‍රහාරයෙන් දින දෙකකට පසුව තමන් ජනපති පදවියට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේ, “ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස” බව පවසමිනි.

    The damaged Shangri-La hotel in the Sri Lankan capital, Colombo

    එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන්නේ, “මේ රටේ ඊයෙත් අදත්, හෙටත් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ,” යනුවෙනි.

    “අපිට දේශසීමා පිළිබඳ පිටරටින් එන ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ, අපි විසින්ම හදාගත්ත දේවල් ඇරෙන්න. නමුත් පාස්කු ප්‍රහාරය වගේ ත්‍රස්තවාදී ප්‍රශ්න තියෙනව.”

    “ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙන්නේ චීනයට, ඉන්දියාවට, ඇමෙරිකාවට රට විකුණන එකෙන්.”

    මේ අතර ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වන සමගි ජන බලවේගයේ මොරටුව නාගරික මන්ත්‍රීනි ලිහිණි ප්‍රනාන්දු පවසන්නේ, බලයට පත්වී වසරකට පසුවත් පාස්කු ප්‍රහාරකයන් සොයා ගැනීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවය.

    රියදුරු බලපත්‍ර මුද්‍රණයත් හමුදාවට

    විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ නෙලුම් කුළුණේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, බ්‍රිගේඩියර් සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) ප්‍රධානියාය. විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ආයතනයේ ප්‍රධානී තනතුරට සහ විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරට පත්කොට තිබේ.

    තවත් එවැනි පත්වීම් කිහිපයක් පහත වගුවල දැක්වේ.

    පත්වීම්
    පත්වීම්

    මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ද යුද හමුදාව විසින් සිදු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳුදා නිවේදනය කළේය. ට්විටර් ජාලය ඔස්සේ ඒ ගැන අදහස් දක්වමින් එඩින්බරා විශ්විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය විග්‍රහ කොට තිබුණේ, “ප්‍රජාතන්ත්‍රවාදී වරමක් මතින් මිලිටරි පාලනයකට නතුවීමක්” ලෙසිනි.

    ජනපති හිටපු ද්විත්ව පුරවැසියෙක්

    “දේශීය සහ විදේශීය සියලු සතුරන්ට එරෙහිව අවි අතට ගෙන” ඇමෙරිකා එක්සත් ජනපදය දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී එහි පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් එය හදිසියේ අත්හල පමණින් ඒ ප්‍රතිඥාව එක්වරම අවලංගු වෙන්නේ දැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රශ්න කරයි.

    “මෙතන පැහැදිලිවම ලැදියාවන් අතර ගැටුමක් (conflict of interst) තියෙනවා. ඒත් මම අහන්නේ ඒක නෙවෙයි. මම අහන්නේ අවුරුදු 10 ක් විතර එහෙම ප්‍රතිඥාවක් ගත්ත කෙනෙකුගේ ඒක එකපාරට අයින් කරන්න පුලුවන්ද කියල.”

    නව පුරවැසියන් පිරිසක් ඇමෙරිකානු ධජය අතැතිව එක්සත් ජනපද පුරවැසිභාවය සම්බන්ධ දිවුරුම් දෙන අවස්ථාවක්
    නව පුරවැසියන් පිරිසක් ඇමෙරිකානු ධජය අතැතිව එක්සත් ජනපද පුරවැසිභාවය සම්බන්ධ දිවුරුම් දෙන අවස්ථාවක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පුරවැසියෙකු වීම සම්බන්ධ ප්‍රශ්නයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දුන්නේ ප්‍රතිප්‍රශ්නයක් නගමිනි.

    “ඔබතුමා අවංකව හිතනවද … ශ්‍රී ලාංකිකයෙක් එවැනි ප්‍රතිඥාවක් දෙන්නේ අවංකවමද නැත්නම් ඒ රටේ හොඳ රස්සාවක් කරගෙන හොඳින් ජීවත්වෙන්න ඕන නිසාද? මම නම් හිතන්නේ නෑ කිසිම ශ්‍රී ලාංකිකයෙක් අවංකව එහෙම ප්‍රතිඥාවක් දේවි කියල,” ඇමතිවරයා සිනහසෙමින් පැවසීය.

    ශ්‍රී ලංකාව මිලිටරීකරණය කරන බවට එල්ලවන චෝදනාව ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “කියමනට ඒක කියනවා. ඒත් උදාහරණයකට බලන්න ජනරාල් මුණසිංහ. ඔහු ලංකාවේ ඉන්න අංක එකේ පැතලොජිස්ට්. හැම දෙනාටම හමුදාවේ ඉහළට යන්න බෑ. අනික හමුදාවෙන් එලියට ආවම ඔහු සිවිල් පුරවැසියෙක් වෙනවා. ඉතින් ඔහු වයස 40-45 දි විශ්‍රාම යනවා නම් ඔහුගෙන් සේවයක් ගැනීමේ වරදක් තියෙනවද?,” යනුවෙන් ප්‍රශ්න කළේය.

    “යම් විදිහේ සාමාන්‍ය තත්ත්වෙට වැඩිය ඒ අයගේ භාවිතාව අපි දකිනවා. ඒ නිසා මේකට හරි උත්තරයක් දෙන්න පුළුවන් තව අවුරුදු කිහිපයකින්.”

    Gotabaya Rajapaksa is a controversial figure in Sri Lankan politics

    ‘ඒකාධිපතියෙක්’

    බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ලිහිණි ප්‍රනාන්දු කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය “තනිකර ඒකාධිපතියෙක් ගේන්න ගෙනාපු ව්‍යවස්ථාවක්,” බවය.

    “ජනාධිපතිතුමා මිලිටරි පසුබිමකින් එන නායකයෙක්. එතුමා කවදාවත් පළාත් සභාවක තියා ප්‍රාදේශීය සභාවක වත් හිටපු කෙනෙක් නෙමේ. එතුමාට තියෙන්නේ හැමදේටම අණ දෙන මානසිකත්වයක්. ඒ වගේම එතුමා හැම දෙයක්ම බලන්නේ මිලිටරි කෝණයකින්,” ඇය කියා සිටියාය.

    වසංගත රෝග පිළිබඳ විශේෂඥ කමිටුවක් පත්නොකොට “හැමදේම හමුදාවට භාර දී ඇති,” බව පවසන නීතිවේදිනී ලිහිණි ප්‍රනාන්දු, “දැන් රට පුරාම බියක් ඇතිකරලා,” යනුවෙන් ද ආණ්ඩුවට චෝදනා කරන්නීය.

    ලිහිණි ප්‍රනාන්දු

    තවදුරටත් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂක මහාචාර්ය අර්ජුන පරාක්‍රම, හමුදාව යනු “ජනාධිපතිවරයා ඉතා පහසුවෙන් ගනුදෙනු කරන, ඔහු comfortable, එකම ආයතනය” වන අතර, “එයාව විවේචනය කරන්න බෑ, තරහ යනවා. එතකොට එයාට tantrum එකක් (ක්ෂණික කෝපයක්) එනවා. එයා දන්නේ හමුදා භාෂාව පමණයි,” යනුවෙන් ද බීබීසී සිංහල සේවය සමග පැවසීය.

    මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට පවා “ඉතිහාසයේ පළමු වතාවට මෙතන බයක් තියෙනවා,” යනුවෙන් කියා සිටි ඔහු, “කැබිනට් ඇමතිලා පවා බයයි. දැන් කැබිනට් එකේ තීන්දුවක් ගත්ත කියනවා. සමහරු නෑ කියනවා,” යැයි ද පෙන්වා දුන්නේය.

    “ඉතින් හමුදාකරණයේ ප්‍රතිඵලය තමා, විකල්ප මතවාද, විසම්මුතිය, සාමාන්‍ය සාකච්ඡාව පවා සම්පූර්ණයෙන් බැහැරවීම. උදාහරණයක් විදියට විසිවෙනි සංශෝධනය ගැන මහා ඝෝෂාවක් කළ විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ, වාසුදේව මේ හැමෝම එකපාරටම නිහඬ වුණා.”

    “ඇත්තටම හමුදාකරණය කියන්නේ සොල්දාදුවන්ට තැන දීම නෙමේ. හමුදාකරණය කියන්නේ හමුදා නායකයන් පාලනයට එකතු වීම. නැතුව ආබාධිත සොල්දාදුවන්ගේ ප්‍රශ්න විසඳෙනව කියන එක නෙමේ. එතෙන්දි සියලු ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප මිරිකෙනවා, අධිකරණය පවා යටපත් වෙනවා.”

    කෙසේ වුවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, “අපි බයෙන් දේශපාලනය කරන්නේ නෑ. රටේ නායකයා හැටියට ගරුත්වයක් තියෙනව. ඒත් අපි එකඟ නොවෙන දෙයක් තිබුණොත් පැහැදිලිව කතා කරනවා,” යනුවෙනි.

    ජනපති හමුදා ප්‍රධානීන් සමඟ

    ‘පකිස්ලංකාව’

    එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම විග්‍රහ කරන පරිදි, ගෝඨාභය රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන්නේ හමුදාව විසින් සමස්ත රාජ්‍ය දේහය සහ පරිපාලනය පාලනය කරනු ලබන පාකිස්තානය පවතින තත්ත්වයටය.

    “පකිස්තානය තමා අපේ පරමාදර්ශය වෙලා තියෙන්නේ. රටේ සියලුම දේ පාලනය කරන්නේ හමුදාව. ඒ තත්ත්වෙට තමා මේ එමින් තියෙන්නේ. ජනාධිපතිවරයා පවා තරමක් දුරට ප්‍රශ්න කරන්න පුළුවන්, ඒත් හමුදාව ප්‍රශ්න කරන්න බෑ,” ඔහු පවසයි.

    “හමුදාව සුජාත කිරීමේ ස්ථාවරය තමා හැම දේටම හමුදාව යොදා ගැනීම. හමුදාව නැතුවම බෑ කියල පෙන්නීම. මේ ජවනිකාව ඉතා සියුම් විදියට ජන මනසේ සකස් කරමින් ඉන්නේ. දැන් මෙයාල එක පැත්තකින් අරන්තලාව ගැන පරීක්ෂණ පවත්වනවා. ඒත් කවදාවත් අතුරුදහන් වූවන් ගැන පරීක්ෂණ කරන්නේ නෑ.”

    උදාහරණයක් ලෙස දිනපතා උදෑසන කෝවිඩ් තත්ත්වය පිළිබඳ හමුදාපතිගෙන් තත්ත්ව වාර්තාව විමසන මාධ්‍ය ඒ කිසිවක් ප්‍රශ්න නොකරන්නේ යැයි පෙන්වා දෙන මහාචාර්යවරයා, පාකිස්තානය පවතින්නේ ද මෙවැනි තත්ත්වයක් බව සඳහන් කළේය.

    “මේක එක වචනෙකින් කීවොත්, අපේ රටේ අලුත් නම පකිස්ලංකාව.”

    “අන්තිමට ගෝඨාභය ගේ උරුමය (legacy) වෙන්නේ මේකයි. ඔහු රට විනාශ කරනවා, අනික මේක පකිස්තානය වගේ හමුදා පාලිත රටක් කරනවා.”

    එහෙත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

    “ලංකාවේ කිසි දවසක ඒ දේ කරන්න බෑ. පාකිස්තානේ උත්පත්තියෙන්ම එහෙමයි. පාකිස්තානේ පාලනය කරන්න බෑ මිලිටරි නැත්නම්. ඒත් ලංකාවේ ජීවිතේට එහෙම වෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු හරිම සංවේදීයි, ඔවුන් ඉක්මණින් ප්‍රතිචාර දක්වනවා (react). ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ මොහොතේ එහෙම තර්ජනයක් නෑ, එහෙම වෙනවා නම් ඒකට සමාජයේ ඉඩකුත් නෑ,” අමාත්‍යවරයා අවධාරණය කළේය.

    2020 නොවැම්බර් 19 වැනි දින බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • ජනපතිවරු තිදෙනෙක්ම එකම මොහොතේ පාර්ලිමේන්තුවේ අසුන් ගනී

    ජනපතිවරු තිදෙනෙක්ම එකම මොහොතේ පාර්ලිමේන්තුවේ අසුන් ගනී

    පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, ජනපතිවරයා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වූහ.

    ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද  ද තම ආසනයේ සිටිමින් විවාදයට සහභාගී විය.

  • මේක කලු සල්ලි සුදු කරන්න මිතුරු කල්ලියට ලයිසන් දුන්න අයවැයක් – මංගල

    මේක කලු සල්ලි සුදු කරන්න මිතුරු කල්ලියට ලයිසන් දුන්න අයවැයක් – මංගල

    දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් නැති අය වැයේ  එකම අරමුණ කලු සල්ලි සුදු කිරීමට හිත මිතුරන්ට අවස්ථාව සැලසීම යැයි හිටපු මුදල් අමාත් මංගල සමරවීර මහතා පවසනවා. 2021 ඇයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක් කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

    මංගල සමරවීර මහතා විසින් මාධ්‍ය වෙත යොමු කළ සම්පූර්ණ විශ්ලේෂණය පහත පළ වෙනවා.

    2021 අයවැය ඉදිරිපත් කරමින් පසුගිය වසර තුළ ආර්ථිකය කඩා වැටී ඇතැයි පිළිගෙන ඇති රජය ආර්ථික උත්තේජනය සඳහා මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබීමෙන් ශ්‍රී ලංකාව යළිත්  ජාත්‍යන්තර මූල්‍ය සම්බාධක වලට මුහුන දීමේ අවදානමකට ලක් කර තිබේ.

     දේශීයව හෝ විදේශීයව සඟවා තබා ඇති මුදල් මෙරට තුළ ආයොජනය කරන ව්‍යාපාරිකයන්ට සියයට 1 % බදු ගෙවීමට යටත්ව පොදු සමාව දෙන බවට රජය ප්‍රකාශ කර ඇත. 

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force FATF) විසින් ශ්‍රී ලංකාව එහි ‘අළු ලේඛනය’ (Grey List) ට ඇතුළ්ත් කර තිබූ අතර මුදල් අමාත්‍යාංශය විසින් දරන ලද පරිශ්‍රමයේ ප්‍රතිපලයක් ලෙස 2019 ඔක්තෝම්බර් මස එම අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවන ලදී.

    කලු සල්ලි සුදු කරන මෙවන් කටයුතුවලට ජාත්‍යන්තර නීතියෙන් වැට බැඳී ඇති හෙයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුදල් සම්ප්‍රේෂණය කිරීම විදේශ බැංකුවලින් බාරනොගැනීමට ඉඩ ඇත.

    මෙම රජයට ආර්ථික සංවර්ධනයට නිසි වැඩ පිළිවෙලක් නොමැති නිසයි මෙවන් කලු ආර්ථිකයකට අත වනන්නේ.රට නංවන නිසි ආර්ථික ප්‍රතිපත්තියක්  නොමැතිව රට බේරාගන්නට ඡන්දය දෙන්නැයි තිරය පිටුපස ප්‍රචාරයන් ගෙන ගිහින් ජනතාව මුලා කරලයි මෙම රජය බලය ලබා ගත්තේ.

    රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යන බව ඔප්පු කරන්න තර්කානු කූලව පිළිගත් න්‍යායයන් තිබේ. යහපාලන රජය සමයේ වසර 45 ට පමණ පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාගේ උපදෙසින් ක්‍රියාත්මක කරමින් ප්‍රථම වතාවට 2017 සහ 2018 වසරවලදී අය වැය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් අත් කර ගන්නා ලදී.

    දර්ශනයක් අනුව ආර්ථිකය හසුරුවාලමින් රටකට ඉතා අත්‍යවශ්‍ය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩ සටහන දියත් කරන ලද අතර එ මගින් රුපියල් මිලියන 90,000 ඉක්මවූ මුදලක් අඩු පොලියකින් ආයෝජන සඳහා පෞද්ගලික අංශය වෙත නිකුත් කිරීමට යහපාලන රජයට හැකිවිය. තව ද ගම්පෙරලිය වැඩ සටහන මගින් සෑම මැතිවරණ කොට්ටාශයක්ම රු. මි. 300 වැය කොට සංවර්ධන කටයුතු සිදු කරන ලදී.

    උගත් තරුණ පිරිසක් රටට දායාද කර දීම සඳහා අ.පො.ස. උසස් පෙල විභාගය දක්ෂ ලෙස සමත් තරුණ තරුණියන් 10 දෙනෙකුට ජාත්‍යන්තර ව ප්‍රසිද්ද විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන්න වාර්ෂිකව අවස්ථා සලසා දීමට ද 2018 වසරේ දී යහපාලන රජය තීරණය ගත් නමුදු වැඩ පිළිවෙලක් නොමැති මෙම රජය යටතේ කලු සල්ලි ආර්ථිකයක් ගොඩ නැගීමට උතසහ කිරීමෙන් රජයේ අරමුණු කුමක් දැයි මෙරටේ ජනතාවට තේරුම් ගත හැකි වනු ඇත.

    වැවිලි අංශයේ සේවක පඩි වැඩි කිරීම වැනි පෞද්ගලික අංශයට අදාළ කරුණු අය වැය තුළ අන්තර්ගත කිරීමෙන් රටක ආර්ථික දිශානතිය තීරණය කරන අය වැය හෑල්ලුවට ලක් කර ඇති අතර එමගින් රටට වැරදි පූර්වාදර්ශයක් මෙම රජය පෙන්වා දී තිබීම කණගාටු දායකයි.

    රාජ්‍ය පාලනයේ පරිනත රාජ්‍යතාන්ත්‍රික නායකත්වයක් මෙම රජයට  නොමැති බව පසු ගිය පෝය 12 ක කාලය තුළ රජය විසින් ගනු ලැබූ අසාර්තක තීරණවලින් ඔප්පු කර තිබේ. පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් තුළින් දුප්පත්කම පිටු දැකීම ඉලක්ක කරගත් රැකියා උත්පාදනය හා ජීවනෝපාය මාර්ග වැඩි කිරීම අය වැයේ අරමුණ යැයි ප්‍රකාශ වේ. එහෙත් අය වැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ වැඩ සටහන් බොහොමයක් මේ මහ පොලවේ යථාර්තයක් නොවන හුදු ප්‍රකාශවලට පමණක් සීමා වන කරුණුය.

    සාමාන්‍යයෙන් අය වැයක් අවසන් වූ වහාම  යම් සහනයක් වාසියක් හෝ අවාසියක් අනිවාර්යෙන් පහුවදාට ලැබෙනවා යැයි ජනතාව තුළ යම් අපේක්ෂාවක් ඇහිවනවා. මේ අයවැයෙන් රටේ අද තිබෙන තත්ත්වය මයි හෙටත් කිසිදු වෙනසක් නැත අපේක්ෂාවක් තියා ගන්නට බැරිය.

    මෙම රජය බලයට පත්වූ වහාම බදු සහන දී සහචරයන්ට ආර්ථික වාසි ලබා දීමෙන් මුළු රටේම ආර්ථිකය වනසා දැමිය. ඒ  මගින් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 700  පමණ අහිමිවිය රජයට

    එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද අයවැයෙන් 2020 ආදායම ඇස්තමේන්තු වශයෙන් 1588 සඳහන් කර ඇති අතර 2021 දී එය රුපියල් බිලියන 2029 දක්වා වැඩි වනු ඇතැයි සඳහන් කර තිබේ. මෙම ආදායම ලබා ගැනීම පිළිබඳ කිසිදු වැඩසටහනක් නැති අතර මෙසේ වසරකින් රාජ්‍ය ආදායම සියයට 27 කට වැඩි ප්‍රමාණයකින් වැඩි වීම යනු රජයම පිළිගන්නා කඩා වැටුණු ආර්ථිකයක කිසිවිටෙක යථාර්ථයක් වන්නේ නැත.

     මෙම අයවැයෙන් වැදගත් එකම යෝජනාව නම් ලංකාවට හොර සල්ලි ගෙන ඒමට මේ අය-වැය තුළින් අවසරය දී පහසුකම් සලසා  දීම හරහා මෙහි වාසිය අත්වන්නේ කාටදැයි මෙරටේ ජනතාවට විශේෂයෙන් කිව යුතු නැත.

    2021 වසරේ දී විශ්වවිද්‍යාල 4ක city university කියන සංකල්පය යටතේ විශ්වවිද්‍යාල හතරක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන දාහක් වෙන්කර තිබෙනවා. රුපියල් මිලියන 250 කින් අද කාලේ විශ්ව විද්‍යාලයක් තියා ගොඩනැඟිල්ලක් වත් හදන්නට බැරි බව ජනතාව දනී.

    ගමට සංනිවේදන වැඩසටහනක් මගින් සමස්ත රටම ආවරණය කරන පරිදි ක්‍රියාත්මක වන බවට සඳහන් ඒත් ඒ සඳහා වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන පහළොවක් පමණි.

    මාර්ග කිලෝමීටර් 50,000 සංවර්ධනය කරන යෝජනාවකට රුපියල් මිලියන 20,000 වෙන් කර තිබෙන අතර ඒ අනුව එක් කිලෝමීටරයක්  ලක්ෂ හතරක පිරිවැයකින් සංවර්ධනයට යෝජනාවක් තිබේ. රු. ලක්ෂ හතරකින් පාරක් කාපට්   අතුරා සංවර්ධනය කළ හැකි දැයි  අවබෝධයක් නොමැතිව හුදු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.

    මෙවැනි විහිලු සපයන යෝජනා හා වැඩසටහන් තමයි මේ අයවැය මගින් ඉදිරිපත් කර තිබෙන්නේ මේවා එකක්වත් යථාර්ථයක් නොවේ.

    රාජ්‍ය සේවකයන්ට සමස්ථයක් ලෙස ගත්කල මේ අයවැය  මගින් කිසිදු සහනයක් නැත.රජය රාජ්‍ය සේවකයන් ට තම කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලික අංශයට ගිහින් රැකියාවක් කිරීමට අවසර දී තිබේ.

    අපට උඹලට දෙන්න දෙයක් නැත දෙන්න හැකියාවක් නැත හැකිනම් පිටට ගොස් රැකියාවක් කරගනිල්ලා කියන ඔය පණිවිඩය තමයි මේ රජය රාජ්‍ය සේවකයන්ට දී තිබෙන්නේ.

    පසුගිය රජය විසින් විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විධායක නිලධාරෙන්හට විශේෂ දීමනා සඳහා ද  වෙන් කර තිබූ ප්‍රතිපාදන නවතා දමමින් 2021 අයවැයෙන් එය ලබා දෙන බවට ප්‍රකාශ කල ද එවන් යෝජනා කිසිවක් ඉදිරිපත් නොකිරීමෙන් බහුතරයක් තැපල් ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයන්ව ද මෙම රජය  රැවටීමට ලක් කර තිබේ

    රාජ්‍ය සේවකයන්ට සමස්ථයක් ලෙස ගත්කල මේ අයවැය  මගින් කිසිදු සහනයක් නැත.ලක්ෂ 14 ක් පමණ වන රාජ්‍ය සේවකයන් අතුරින් මාණ්ඩලික නොවන සේවකයන්ට  ට තම කාර්යාල වේලාවෙන් පසුව පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීමට අවසර දී තිබේ. “අපට ඔබලට දෙන්න දෙයක් නැත දෙන්න හැකියාවක් නැත හැකිනම් පිටට ගොස් රැකියාවක් කර පවුලේ ආර්ථිකයට වාසියක් ලබා ගන්න” කියන ඔය පණිවිඩය තමයි මේ රජය රාජ්‍ය සේවකයන්ට දී තිබෙන්නේ.

    වැට් බදු සහ VAT සීමාවන් ඉවත් කිරීමෙන් අහිමි වූ ආදායම ලබා ගන්නට උපක්‍රමයක් ලෙස ජී. එස්. ටී බදු ගෙන ඒමට යෝජනා කර තිබේ. මුලින් ක්ෂේත්‍ර හතරකට හඳුන්වා දීමට යෝජනා කළ ද පසුව එය සියලු ක්ෂේත්ර ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති අතර විදුලි සංදේශ සේවාවවලින් ද සූදු හා සුරා බදු වලින් අය කරන අධික බදු අය කිරීමට කර ඇති යෝජනාවෙන් රජයේ මුදල් අහේනිය ප්‍රදර්ශණය කෙරේ.

    ඉලක්කම්විජ්ජාවක් පෙන්වමින් ඉදිරිපත් කර ඇති මෙම අයවැය මගින් ලබන වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 5.5 % වර්ධනය වන බවට සඳහන් කෙරේ.   2020  මුල් කාර්තුවේ ආර්ථිකය -1.6 ක සෘණ අගයක් පෙන්නුම් කළ අතර දැන් රජය දත්ත සඟවා ගෙන දෙවන කාර්තුවේ වර්ධන වේගය ප්‍රකාශ නොකර සිටියි. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් අපේ ආර්ථිකය ලබන වසරේ  5 %  – 6% සෘණ අගයක් ගනු ඇතැයි ප්‍රකාශ කර ඇත

    ඒ වගේම විදේශ වෙළඳාම ආනයන අපනයන වෙළඳාම සියයට  27 කින් පමණ අඩු වූ බව රජය පිළිගෙන තිබෙනවා. එසේ තිබියදී විදේශ වෙළඳාම සියයට 30.4% කින් වැඩි වෙන බවට අයවැයෙන් ඇස්තමේන්තු කර තිබෙන්නේ සෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් ලෙස පෙන්වීමේ ව්‍යාජ උත්සාහයක් යටතේ ජනතාව නොමග යැවීම සඳහා ය.

    2021 වසර සඳහන් සමස්ත ණය ගැනීම රුපියල් බිලියන  2997 කි. 2020  සමග සමස්ත ණය, වසර දෙක ට රුපියල් බිලියන 5828 ක් වැනි විශාල ප්‍රමාණයක මේ රජය ණය අරන් තිබෙනවා. කිසිදු සංවර්ධන කටයුත්තක් නැති අවස්ථාවක අය වැය මගින් ද යථාර්ථයක් නොවන, මහ පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි සංඛ්‍යාලේඛන විජ්ජාවක් හරහා ජනතාව රවටමින් මෙවන් විශාල ණය ලබාගෙන ඇත්තේ කුමක් සඳහා ද.

    මෙම අයවැය මගින් දී ඇති එකම වාසිය තම සහචරයන්ට ඔවුන් හොරකම් කළ මුදල් මෙරටට ගෙන එන්නට පුළුවන්. සඟවා ගෙන තිබෙන මුදල් ආයෝජනවලට යොදවන්නට පුළුවන් ඒ සඳහා පොදු සමාවක් දී 1% ක බදු නියම කිරීමක් පමණයි සිදුවන්නේ.

    නීතියේ ආධිපත්‍යයක් රජ කරන ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසි දූ ආර්ථිකයක කලු සල්ලි සුදු කරන   ක්‍රම වේදයක් අනුගමනය කරන්නේ නැති බව ප්‍රකාශ කළ යුතු අතර ඉදිරියේ දී රජයේ මෙම දර්ශනයක් නොමැති අදූර දර්ශී  වැඩ පිළිවෙල හේතුවෙන් රට වැසියන්ට එහි විපාක වලට මුහුන දීමට සිදුවීම වැළක්විය නොහැකිය.

    මෙම රජයේ මෙන්ම අය වැයේ ද ප්‍රමූඛ අපේක්ෂාව වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රය වෙනුවට ඉතා ස්වල්ප දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන ගජ මිතුරු ධනේශ්වර ආර්ථිකයක් බිහි කිරීමයි. එමගින් දේශියව ආරක්ෂිත හා තරඟකාරිත්වයක් නොමැති  චෞරතන්ත්‍ර ආර්ථිකයක් රට තුළ ස්ථාපනය කෙරේ

    මංගල සමරවීරහිටපු මුදල් අමාත්

  • මේ ෆේල් ආණ්ඩුව මේ රටේ ජනතාවට අයිති එකක් නෙමෙයි – එරාන් වික්‍රමරත්න

    මේ ෆේල් ආණ්ඩුව මේ රටේ ජනතාවට අයිති එකක් නෙමෙයි – එරාන් වික්‍රමරත්න

    රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි. ද්විත්ව පුරවැසියන්ගෙන් ඒවා අපේක්ෂා කරන්න බැහැ. ද්විත්ව පුරවැසියන් කියන්නේ වරදින කොට රට අතහැර යන අය යැයි සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න මහතා,

    අග්‍රාමාත්‍යවරයා මෙම රජයේ පළමු අය වැය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළේ කඩා වැටුනු ආර්ථිකය ඔසවා තැබීමට ඉදිරිපත් කරන  සංවර්ධන අය වැය කියලාය. සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති යථාර්තය කරමින් සාර්ව ආර්ථික ක්ෂේත්‍රය තුළ සියලු අංශ ආවරණය කර ඇතැයි කී නමුත් සමස්ත අය වැය අපට සිහිපත් කරන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න ද කියන කතාවයි

    අත මිට සරු අය ඉන්නව නැති බැරි අය ඉන්නවා මෙය ආර්ථික්යි අවදානම් කාලයකුත් ඇතිවනවා. කෝවිඩ් කාලය තුල එය පිළිඹිබු වනවා. සියලු දෙනා අවදානම් තත්වයට වැටෙන තත්ත්වයකි.

    රටේ සමාජයේ පාලනය වන අය හා පාලනය කරන අය අතර සමාජ ගිවිසුමක් තිබේ. රජයන් විසින් ජනතාවගෙන් බදු අය කරනු ලබන්නේ එම ගිවිසුම අනුවය. රටක බදු ක්‍රමය දුර්වල වීමෙන් එම සමාජ ගිවිසුම නැති වනවා. එම ගිවිසුමා වත්මන් පරම්පරාවට පමණක් නොව ඉදිරි පරම්පරාවටත් අදාළ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

    අය වැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දින විපක්ෂය වෙනුවෙන් ප්‍රථමයෙන් කතා කළ ඉරාන් වික්‍රමරත්න මහතා තවදුරටත් කතා කරමින් මෙසේ ද පැවසීය

    බලය තිබූ පමණින් වනාන්තර වනසන්න පරිසරය වනසන්න  ඉඩ නැහැ. වනාන්තරය ව්‍යාප්ත කරමින් ගැසට් කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ක්‍රියාව අගය කළ යුතුයි.

    ගෘහ සේවයේ යෙදෙන විගමණික අපගේ රට විරුවන් ගැන හිතමු. ඔවුන් අනාරක්ෂක පරිසරයක තම පවුල රැක ගැනීම සඳහා ස්වල්ප වශයෙන් විදෙශ් විණිමය ප්‍රමාණ්යක් උපයමින අතර රටේ විදේශ් විනිමය ආදායම ටද දායක වනවා. සමස්ත් ජනයාම ඔවුන්ගේ ඒ ඉපැයීමෙන් භුක්ති විඳිනවා. එවන් අයගේ ඉපැයීමෙන් රටේ විදේශ සංෂිතය ඉහල යන අතර රටට අව්ශ්‍ය විනිමය අවශ්‍යතාවයට ලොකු සහනයක් ඔවුන්ගෙන් ලැබෙනවා.

    හෙද සේවිකාවන් ද එසේමයි කොරෝනාවේ ඔවුන්ගේ සේවය අඩු තක්සේරු කළ නොහැකිය. ඔවුන් අඩු වැටුෆකට සේවය කරන්නේ ඇමරිකව වගේ රටකට ගියොත් මසකට ඩොලර් 5000 ක් විතර ලැබෙනවා. කොරෝනා උවදුර සමයේ ඔවුන් ගෙන් පොදුවේ සියල්ල පහසුකම් හා සේවාවන් ලබනවා. ඔවුන්ට අපිත් උදව් කරන්නට ඕනෑ.

    මෙවැනි සියලු අයගෙන් රජය සමාජ ගිවිසුමක් යටතේ බදු එකතු කරන්නේ  අපහසු තාවයක් ඇති, අවශ්‍යතාවයන් තිබෙන අයට උදව් කිරීමටයි.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක තත්ත්වය රැකෙන්නේ ඔවුන් නිසයි.

    බදු ගෙවන ජනතාවම තමයි ගුවන් තොටුපළ හා වරායවල් හදන්නේ. ඒවායේ වාසිය ජනතාවට ලැබෙන්න ඕන. නමුත් ඒවායේ ලාභය ලබන්නේ පුද්ගලිකව.

    පාලක සහ පාලිත පාර්ශව අතර, සමාජ ගිවිසුමක් තියෙන්න ඕන. මේ සමාජ ගිවිසුමේ අනාගතය අපි නියෝජනය කරන්නේ. රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි. ද්විත්ව පුරවැසියන්ගෙන් ඒවා අපේක්ෂා කරන්න බැහැ. ද්විත්ව පුරවැසියන් කියන්නේ වරදින කොට රට අතහැර යන අය. ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසියන්ගෙන් ඉහළ බදු අය කරනවා. එවැන්නක් ලංකාවේ නැහැ.

    අපිට ක්‍රමවත් බදු ක්‍රමයක් ඕන. අද රාජ්‍ය අදායම් අඩු වෙලා. රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9 දක්වා අඩු වෙලා. මෙය යුරෝපයේ සියයට 40-50 අතර පවතින්නේ.

    අධි වේගී මාර්ග හා යටි තල පහසුකම් සංවර්ධනය මගින් ව්‍යාපාරිකයටා හා පොහොසත් අයට ඉමහත් වාසි ලැබෙනවා. යටිතල සංවර්ධනයේ වියදමට සියලු දෙනා දායක වෙනවා. එහෙත් වාසිය ව්‍යාපාරිකයන්ටයි.  එහි බර සියලු දෙනා දරනවා. ජනතාවගේ බදු මුදලින් ඒවා ඉදිකරන්නේ.

    කොරෙඔනාව වැනි වසංගත හේතුවෙන්  පොහොසතා තවත් පොහොසත් වෙන්නත් පුලුවන් දුප්පතා තව දුප්පත් වන්නට පුලුවන් තත්ත්වයක්. මෙය අප රටට පමණක් පොදු ක්‍රමයක් නොව අද ලොවේම තත්ත්වය එසේය. එනිසා මේ අත්‍යාවශ්‍ය අවස්තාවේ දී බදු ගෙවන එම ජනතාවට සහන සැලසීම රජය්න්ගේ වගකීමයි.

    මෙවන් අත්‍යාවශ්‍ය අවස්ථාවේ දී රටට  අවංක ව ආදරය කරන පුරවැසියන් මේ පාර්ලිමේන්තුවට අව්ශ්‍යයයි. පුද්ගලික වාසියට සමාජ ගිවිසුම කඩ කරන්න ඉඩ දෙන්න බැරි බැවින් ද්විත්ව පුරවැසියන්ගෙන් මේවා අපේක්ෂා කරන්න බැහැ. මේ රටේ ම ඉපදිලා මේ රටේම මැරෙන අයයි අපට මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි.

    රට පසුගිය කලක අස්ථාවර වූ විට රටේ සිදුවීම් වරදින කොට අනෙක් රටකට පැනපු අය ඉන්නව. අවදානම් වැඩි වෙන කොට, අසමත් වන කොට ද්විත්ව පුරවැසියන්  රට අත හැර යන්නට පුලුවන්. ඒ අය අපි වෙනුවෙන් තීරණ ගන්නට ඉඩ තියන්නට බැහැ.

    ඇමරිකවේ නම් ද්විත්ව පුද්ගලයන් ගෙන් වැඩි පුර බදු අය කරනවා. එහි සමාජ ගිවිසුම ට එකඟ වෙලයි ඔවුන් එහි පුරවැසි භාවය ගන්නේ.  මම විදේශ් අධ්‍යාපනය අවසන් වූ වහාම ජීවත් වන්නේත් මැරෙන්නේත් මේ රටේමයි කියමින් ලංකාවට ආපසු පැමිණිය යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

    මේ රටේ ජීවත් වන මිනිසුන් ට අයිති ආන්ඩුවක් අපට ඕනෑ. මේ රටේ ජනතාව්ගේ රජයක් අපට ඕනෑ රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ජනතාව නොසලකා හරින බදු ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. බදු ක්‍රමය දුර්වල වන විට පාලකයන් හා ජනතාව අතර තිබෙන සමාජ ගිවිසුම දුර්වල වනවා. පාලකයා හා පාලිතයන් අතර සමාජ ගිවිසුම අනුව මේ පරපුර සඳහා පමණක් නොව ඉදිරි පරම්පරාව ද සැලකිල්ලට ගෙනයි බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ.එවිටයි මේ අපේ රජයක් යනුවෙන් ජනතාවට සිහිපත් වන්නේ යැයි හෙතෙම සඳන් කළේය.

    රාජ‍ය ආදායම් – වියදම් ගැන අවධානය යොමු කළ ඉරාන් වික්‍රමරත්න මහතා කලාපයේ සියලු රටවල් 2021 දී ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශයෙන් රාජ්‍ය මූල‍ය වගකීම් පනත යටතේ අය වැය ට සමගාමීව නිකුත් කල ප්‍රකාශ්ණයේ සඳහන් කර තිබිය දී ශ්‍රී ලංකාවේ පමණක් 5.5 % ක ආර්ථික වර්ධන වේගයක් ඇස්තමේන්තුව කර තිබීම කවුරුන් රවට්ටන්නට දැයි ප්‍රශ්ණ කළේය.

    ඒ වගේම බරපතලම ප්‍රශ්නය නම් අනෙක් රටවල අය වැය හිඟය 10 % දහය ඉක්මවූ බවට කියන විට ලන්කාවේ අය වැය පරතර මට්ටම 9 % ක තිබෙන බව කීමය.

    රාජ්‍ය ආදායම යුරොපීය රටවල වැඩියි. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 29% ට වැඩි වීමක් පෙන්නුම් කළේ 1983 දීය. මහින්ද රාජපක්ෂ මහතා 2014 දී රට අපට භාර දෙන විට රාජ්‍ය ආදායම 11% ට කඩා වැටී තිබුණි. 2015 වන විට රාජ‍ය ආදායම 12.6 දක්වා වැඩි වූ අතර 2018  දී එය 13% ප්‍රතිශතය ඉක්මවිය. 2020 දී එය යළිත් 9% ට බැහැලාය.

    රාජ්‍ය ආදායම 2018 වන විට රු.බි 1900 ට වර්ධනය කළා.මේ රජය යටතේ 2020 දී ආදායම සෞභාග්‍ය දැක්ම අනුව රු බි 1588 ලෙස දක්වනවා. මෙම සැබ ලෙස 1300 පමණ වනු ඇත. 2021 දී රු. බි 2029 දක්වා වැඩිවනු බවට කියන ලේඛණය අනුව රාජ්‍ය ආදායම 28% කින් වර්ධනය විය යුතු වනවා මෙය යථාර්තයක් නොවන අසත්‍යයකි. 202 සැබෑ ආදායම 1300 ට පමණ සීම වනු ඇතයි විශ්වාස කළ හැකි බැවින් ලබන වසරට රාජ්‍ය ආදායම   44 % කින් වැඩි කළ යුතුයි.

    පසුගිය වසර 20 ක ඉතිහාසයේ රාජ්‍ය ආදායම 5% -15 % අතර වර්ධනයක් වාර්තා කර ඇති අතර රජය යථාර්ත්යක් නොවන අදහා ගත නොහැකි වර්ධනයක් පෙන්වා ජනතාව රවට්ටන්න හදනවා. මෙය නරක පූර්වාදර්ශයක් හා  නරක සෙල්ලමක්.

    ආදයම වැඩි කරන්න පිළිවෙතක් නැතිවුනහම වියදම සීම කරනවා යැයි කියනවා. නාස්තිය අඩු කරනවයි කියනවා මේවා ප්‍රායෝගික විසඳුමක් නොවේ. රජයට ආදායම් උපදවන ක්‍රමයක් නැතිවන විට  ණය පිට ණ්ය ගන්න වෙනවා. ප්‍රතිපත්ති අපැහැදිලියි. 2014 අවසානයේ දී රටේ සමස්ත ණය බර ට්‍රිලියන් 7 කි. එය 2019 දී ට්‍රිලියන 13 ට වැඩිවුනා. විසර්ජන පනත 2020 අනුව ට්‍රිලියන 2 ක් ණය ලබාගෙන තියෙනවා. 2021 අය වැය අනුව අපික්ෂිත ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 2.9 යි. අපේ ආණ්ඩුව පුරාවට ගත් ණය මේ අන්ඩුව වසර දෙකකින් ලබාගෙන තිබීමෙන් රටේ ආර්ථිකය අගාධයට ඇද වැටීම පිළිබඳව පැහැදිලිව පෙනේ.

    කෘෂි ආර්ථිකය සම්බන්ධයෙන් ද රජය අසාර්ථක බව ප්‍රදර්ශන කරන බව ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. රජයේ පොහොර ප්‍රතිපත්තිය වී ඇත්තේ වී සඳහා පොහොර නොමිලේ දෙන අතර අනෙක් පොහොර 1500 ලබා දීමය. සෞභාග්‍ය දැක්මේ 39 පිටුවේ ගොවියා නැවත වගාවට යොමු කරනු පිණිස සියලු ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීමට පොරොන්දු වෙනවා කිව්වා.

    මේ අය වැය යෝජනා සෞභාග්‍ය දැක්මේ වැඩ පිළිවෙල ද. 2015 ට පෙර  මහින්ද ආණ්ඩුවේ පොහොර සහනාධාර දුන්නේ ආනයන කරන මුදලාලිලාට ය. යහපාලන රජය ගොවීන්ට  මුදල් සෘජුවම දී හිඟයකින් තොරව පොහොර ලබා ගන්නට ඉඩ සැලසුවා. එමගින් රු බිලියන 6 ක් රජයට ඉතිරි විය. මුදල් අහිමි වූ පසුගිය රජයේ ගජ මිතුරන් ගොවීන් අවුස්සා විරෝධතා පැවත්විය.

    දේශීය ආර්ථිකයක් ගොඩ නගනවා යැයි දැන් කියන මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පැමිණෙන විට කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකයට ලැබුණු දායකත්වය 12 % කි. එහෙත් 2014 රජය ආපසු භාර දෙන විට කෘෂි කර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදනයට ලැබුනු දායකත්වය 8 % දක්වා අඩුවිය. කෘෂි ආර්ථිකය හා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන බවට ප්‍රකාශ කරන්නේ ආනයනට අවශ්‍ය විදේශ විණිමය රජය සතුව නැති හේතුව  නිසා විනා දේශීය ආර්ථිකය නංවන්නට තිබෙන ප්‍රතිපත්තියක් නිස නොවන බව ඉරාන් වික්‍රමරත්න මහතා අය වැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    බදු ප්‍රතිපත්තිය මත බදු උපදේශකයන් හා සහතික නිකුත් කිරීමේදී වැරදි කරන අයට විරුද්ධව දඬුවන් දීමට නීති සකස් කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  වත්කම් බැරකම් ප්‍රකාශ අයි ජනගත නොකරන්නේ යැයි හෙතෙම කථානායක වරයාගෙන් විමසීය.

    එක රටක් එක නීතියක්  කියනව පෞද්ග්ලික අංශයට එක නීතියක් මේ සභාවේ මන්ත්‍රී වරුන්ට වෙනත් නීතියක් වත්කම් බැරකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සමාජ සාධාරණය නොවන බව කී හෙතෙම් තම වත්කම් බැරකම් ජනගත කිරීමේ ආදර්ශය දීමට පසුව පුද්ගලික අංශයට හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් දීමට ඉදිරිපත් විය යුතු යැයි සිහිපත් කළේය.

    මේ ෆේල් ආන්ඩුවට විභාගය පස් වන්නට  නම් ජනතාවට අවංක  හා  සත්‍යවාදී ද   කියන එක මතයි එය සාර්ථාක වන බැවින් මෙහිලා රජය තම ස්ථාවරය පිළිබඳව සිතා බැලිය යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.