Category: සුපිරි Politics

  • 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාදයට දින නියම කරයි

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාදයට දින නියම කරයි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කරන ලදී.

    මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පෙරවරු 10 සිට රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරකසභා අවස්ථාව ආරම්භ කිරීමට නියමිතය.

    එම දින 02 තුළදී පාර්ලිමේන්තුව ආරම්භයේදී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ගර්භය තුළදී ඉදිරිපත් නොකෙරෙන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක්ද සිදු නොවනු ඇත.

    මේ අතර ඔක්තෝබර් 20 වැනිදා පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමටත් කාරක සභාව තීරණය කළේය. එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.

    එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

    එම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, සභානායක දිනේෂ ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා,  මහචාර්ය ජී.ඇල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි සහ මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර, සහ මනෝ ගනේෂන් යන මහත්වරු සහභාගී වූහ. ඔවුනට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුද ඊට සහභාගී වූහ.

    ,

  • විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් ඉටුවන හැඩ!

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් ඉටුවන හැඩ!

    විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලැබෙන මැතිවරණ නීති සංශෝධනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරීම් කාරක සභාවක් යෝජනා කරයි

    විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය.

    මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-2024  මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නේය.

    මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන (නීති), මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්.අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති  රේණුක පෙරේරා මහත්වරු එක්ව සිටියහ.

  • රාජපක්ෂ පවුලේ අලුත් පත්වීමට පළමු සුභ පැතුම චීනයෙන්

    රාජපක්ෂ පවුලේ අලුත් පත්වීමට පළමු සුභ පැතුම චීනයෙන්

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයෙ ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙරට වැඩබලන චීන තානාපතිවරයා මහතා හමුවී සාකච්ඡා කළ බවයි.

    පසුගියදා මෙරට සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස සහ ශ්‍රී ලංකා නායකයන් අතර පැවත්වූ සාකච්ඡාව ගැනද දෙරට අතර ද්වීපාර්ශීය මිත්‍රත්වය ගැන ද මෙම හමුවේ දී සාකච්ඡා කළ බවද එම සටහනේ දැක්වේ.

  • කෝප් කමිටුව 20 වැනිදා සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව රැස්වේ

    කෝප් කමිටුව 20 වැනිදා සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව රැස්වේ

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති  විශේෂ  විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය  ලබන ඔක්තෝබර් 20 වැනිදා  පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව( කෝප් ) වෙත කැදවා තිබේ.

    මේ අතර ලබන 20 වැනිදා සිට සිට  24 වැනිදා දක්වා අඛණ්ඩව දින 04 ක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කළේය.

    ඒ  අනුව, ඔක්තෝබර් 21 වැනිදා කැලණි ගගේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධව සිදුකළ  පාරිසරික විගණන වාර්තාව සාකච්ඡා  කිරීම සදහා  ජල සම්පාදන මණ්ඩලය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ,මධ්‍යම පරිසර අධිකාරිය  සහ අදාළ පළාත්පාලන ආයතන  ද කෝප් කමිටුව වෙත කැදවා තිබේ.

    ඉන්පසු , ඔක්තෝබර් 22 වැනිදා  ශ්‍රී ලංකා ව තුළ ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදා හැරීම  පිළිබඳව සිදු කළ විශේෂ ව්‍යාපෘතියේ වාර්තාව සාකච්ඡාවට ලක් කිරීම සදහා  ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කෝප් කමිටුව හමුවට කැදවා  තිබෙන බව මහාචාර්ය හේරත් මහතා පැවසීය .

    මෙයට අමතරව ,ඔක්තෝබර් 23 වැනිදා  පොල් සංවර්ධන අධිකාරිය  කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.එම අධිකාරියට අමතරව පොල් වගා කිරීමේ මණ්ඩලය සහ  පොල් පර්යේෂණ ආයතනය ද එදින කෝප් කමිටුව හමුවට කැදවා ඇත.

  • රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න –  නීතිපතිගෙන් පොලිසියට නියෝග

    රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිසියට නියෝග

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ප්‍රතික්ෂේප කළා.

    එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ  වරෙන්තු නිකුත් කිරිමකින් තොරව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි බවත් පොලිස් බලතල අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

    රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ වාණිජ හා කාර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති අංශයේ නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    රජයට අයත් රුපියල් ලක්ෂ 95කට අධික මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය කිරීමයි සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා වන්නේ.

     2019 ජනාධිපතිවරණ සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 222 යොදා ගනිමින් මන්ත්‍රීවරයා විසින් අවතැන්වූවන් ප්‍රවාහනය කළ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

    මේ අතර මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද (13) සවස පොලීසියට උපදෙස් දී තිබෙනවා.

    නීතිපතිවරයා විසින් නිකුත් කළ අදාළ නියෝගය පිළිබඳව තොරතුරු පැහැදිලි කරමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මාධ්‍ය වෙත මෙසේ සදහන් කළා.

    “2019 ජනාධිපතිවරණයට අදාළව බස් රථ 221කින් අවතැන් වූ ඡන්ද දායකයින් පුත්තලම ප්‍රදේශයේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංගම බස් රථ යොදාගෙන ප්‍රවාහන පහසුකම් සපයා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් සහ එම ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් යන අය කුමන්ත්‍රණය කිරීමේ පදනම මත පොදු දේපල විෂයෙහි ලා පනතෙහි දැක්වෙන වැරදි සම්බන්ධයෙන් කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෙන්කළ රුපියල් මිලියන 9.5ක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් සහ කුමන්ත්‍රණය කිරීමේ පදනම මත 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතේ 82/1 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීමට අදාළව සැකකරුවන් වශයෙන් නම්කර එම අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ද අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදනයන් යටතේ අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් එම අය සැකකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. එසේම එම අය අත්අඩංගුවට ගැනීමට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් අනවශ්‍ය බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇති බැවින් සැකකරුවන් නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදුකරනු ලැබුවා.”  

  • 20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය’ කතානායකට

    20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය’ කතානායකට

    ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය අද (10) දින තම කාර්යාලයට ලැබුණ බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් කතානායකවරයා පැවසුවේ ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලා ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.

  • ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100ක් අලුත් නැටුමක් නැටීමට සැරසෙයි

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100ක් අලුත් නැටුමක් නැටීමට සැරසෙයි

    පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09) බාර දෙන ලදී.

    2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ පාස්කු දින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට අනුබල දීමට සැකපිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් මස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබියදීත් සැප්තැම්බර් මස 30 වන දින උසාවියට ඉදිරිපත් නොකර කිසිඳු නීතිමය අවසරයකින් තොරව රියාජ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කොට ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මෙම අත්තනෝමතික ක්‍රියාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ත්‍රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදීන් යන අයව නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනෙකුට අධික කණ්ඩායමක්  ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

  • හෙට පාර්ලිමේන්තුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමාවේ

    හෙට පාර්ලිමේන්තුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමාවේ

    හෙට (09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

    ඒ අනුව හෙට දිනයට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 වැනිදා විවාදයට ගැනීමට නියමිතයි.

  • ‘කංසා ප‍්‍රවර්ධනය කරන’ සමාජ සහ විද්‍යුත් මාධ්‍යවලට වැඩ වරදින ලකුණු

    ‘කංසා ප‍්‍රවර්ධනය කරන’ සමාජ සහ විද්‍යුත් මාධ්‍යවලට වැඩ වරදින ලකුණු

    කංසා – අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය, වෙළඳාම වැළැක්වීමට පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට රජය කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසයි

    “කංසා”  හා අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීම පිළිබඳ පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට රජය කටයුතු කරන බවත්, එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ අද (07) දින  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    “කංසා”  භාවිතයේ කායජීවි මනෝ සමාජීය හා අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය.

    එමෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන “කංසා” ප්‍ර‍වර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු සිදු කරන අතර,  නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා වැඩිදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා,

    ගරු කථානායකතුමනි,

    මත්පැන්/දුම්වැටි හා මත්ද්‍රව්‍ය අද වන විට මුළු මහත් ලෝකය පුරා ව්‍යාප්තව පවතින වසංගතයකි. කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍යමය හේතූන් හා ආර්ථිකමය බලපෑම වටහා ගැනීමත් සමඟ වර්තමාන සමාජය දුම්වැටි භාවිතයෙන් ඈත් වෙමින් සිටීම සතුටට කාරණයකි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු  පාර්ශ්වකරුවන්ගේ දිර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස අද වන විට දුම්වැටි භාවිතය අඩු වීම සමාජය තුළ දක්නට ලැබෙනවා.

    නමුත්, දුම්වැටි අලෙවිය පහත වැටීම සම්බන්ධයෙන් සාක්ෂි පැවතුණ ද, ඒ සඳහා දේශීය වශයෙන් දුම්වැටි සඳහා විකල්ප නිෂ්පාදන සොයන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, “කංසා”  ද ඒ සඳහා හොඳම විකල්පයක් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා වී නොමැත.

    ගරු කථානායකතුමනි

    නමුත්, වර්තමානයේ දී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් “කංසා” සම්බන්ධ ධනාත්මක ආකල්ප සහ මිත්‍යා මත ඇති කරමින් සාමාන්‍ය ජනතාව වෙතට මේ වන විටත් විද්වත් වෘත්තිකයින් සහ විවිධ පුද්ගලයින් කටයුතු කරගෙන යන බව පෙනී යනවා.

    මත්ද්‍ර‍ව්‍ය දුර්භාවිතය නිවාරණය කිරීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍ර‍තිපත්තියට අනුකූලව හා රජයේ මත්ද්‍ර‍ව්‍ය පාලන ජාතික ක්‍රියාකාරී සැලසුම ක්‍රියාවට නැංවීම යටතේ “කංසා” නීතිගත කිරීමට කිසිඳු ආයතනයකට ඉඩ ප්‍ර‍ස්ථාවක් ලබා දී නොමැත.

    විවිධ පුද්ගලයන් හා ආයතන වෛද්‍යමය කාර්යයන් සඳහා “කංසා” වගා කිරීමටත්, ආනයනය කිරීමටත් ඉල්ලා තිබෙනවා. එයට අමතරව, ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ද ඔවුනට අවශ්‍ය දේශීය ආයුර්වේද බෙහෙත් නිපදවීම සඳහා නිසි ප්‍ර‍මිතීන්ගෙන් යුත් “කංසා”   ලබා ගැනීම සඳහා ඒවා වගා කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.  එම නිසා, 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පනතේ 8 වන වගන්තිය ප්‍ර‍කාරව “කංසා”  ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට ඇති හැකියාව සහ එහි අහිතකර බලපෑම පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කර ඇත.

    “කංසා”  භාවිතයේ කායජීවි මනෝ සමාජීය හා අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති අතර, සමාජ මාධ්‍ය ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන “කංසා” ප්‍ර‍වර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග, විමර්ශන කටයුතු සිදු කරන අතර,  නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරනවා.

    “කංසා”   හා අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීම පිළිබඳ පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට අප රජය විසින් කටයුතු කරගෙන යන අතර, එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ද සමාජය දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා. 

    මත්ද්‍ර‍ව්‍ය නිවාරණය සම්බන්ධ අධ්‍යාපනික වැඩසටහන් පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන, වැඩබිම් ඇතුළු ඉලක්කගත සමාජයීය කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්තව සිදු කරමින් සිටින අතර, පාසල් ගුරුවරු හා ගුරු උපදේශකයන් සඳහා වන දැනුවත් කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා’ යැයි අග්‍රාමාත්‍යතුමා පිළිතුරු ලබා දුන්නේය.

  • 20 පසු රට ගැන විජේදාස රාජපක්ෂ කරන ‘බිහිසුණු හෙළිදරව්ව’

    20 පසු රට ගැන විජේදාස රාජපක්ෂ කරන ‘බිහිසුණු හෙළිදරව්ව’

    රජය විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් බිහිවන්නේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් වත්මන් ජනාධිපතිවරයාට සිදුවන්නේ ජනාධිපති ධුරය නැමති බලවත් අසිපත මුවහත් කිරීමට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා.

    මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ද සදහන් කළා.

    “රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“  

    මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මෙවැනි ආන්දෝලනාත්මක කතාවක් මේ තරම් ඉක්මනින් ප්‍රකාශ කරන්නේ කුමක් නිසාද කියායි.

    ඊට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, රට පිළිබඳ සිය ස්ථාවරය මොන ආණ්ඩුවක සිටියත්, මොන නායකයෙක් සිටියත් කවදාවත් වෙනස් නොවන බවත් තමා ඇමැතිකම් හෝ වරප්‍රසාද ලබා ගැනීමට කිසිදා බලය ඇති පැත්තට නොගිය බවයි.

    මෙහිදී මාධ්‍ය වේදීන් යළි ප්‍රශ්න කළේ බලවත් කැබිනට් අමාත්‍යධුරයක් නොලැබීම ගැන ඇති වුණ කණස්සල්ල නිසා මෙවැනි ප්‍රකාශ කරන්නේ ද කියායි.

    එම ප්‍රශ්නය පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඒ අවස්ථාවේ පොඩි කණස්සල්ලක් තිබුණත් දැන් ඇමැතිකමක් භාර නොගත්ත එක ගැන අතිෂය සතුටට පත්ව සිටින බවයි.

    ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩිව අපහසුතාවට පත්වන මෙවැනි ආන්දොලනාත්මක ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ අසුන් ගැනීමට දැයි මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමේදී විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, එවැනි අදහසක් නැති බවයි.

  • ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමේ න්‍යාය පත්‍රය

    ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමේ න්‍යාය පත්‍රය

    පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

    මෙම රැස්විමට ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන,  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, චමල් රාජපක්ෂ,  ඩග්ලස් දේවානන්ද,  විමල් වීරවංශ,  ඩලස් අලහප්පෙරුම,  මහින්ද අමරවීර,  ප්‍රසන්න රණතුංග, යන අමාත්‍යවරුද, මහින්ද සමරසිංහ, ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා,  මනෝ ගනේෂන්, සහ  එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

    එහිදී ගනු ලැබූ තීරණයන්ට අනුව මුදල් සංශෝධන කෙටුම්පතේ දෙවන වර කියවීම සහ ආනයන සහ අපනයන (පාලන) පනතට ඉදිරිපත් කර ඇති රෙගුලාසි ඔක්තොබර් 06 වැනිදා විවාදයට ගනු ලබනු ඇත. එදින ආණ්ඩු පක්ෂසය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ ‍යෝජනාව පස්වරැ 4.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනේ.

    ඔක්තොබර් 07 වැනිද‍ා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවිම, විවාදයට ගනු ඇත. මෙයට අමතරව විසර්ජන පනත යටතේ වන යෝජනා 05ක්ද විවාදයට ගැනෙනු ඇත.එදින පස්වරු 4.30 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

    ඔක්තෝබර් 08 වැනිදා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විදේශ ගිවිසුම් පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා කළ යෝජනාවකට අනුව සියළු විදේශ ගිවිසුම් පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාවය පල කර තිබේ.ඒ අනුව එම විවාදය පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

    ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පිළිබඳ ශෝක ප්‍රකාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල, අභාවප්‍රාප්ත ආර්.ආර්.ඩබ්ලිව් රාජපක්ෂ, අභාවප්‍රාප්ත කේ.පී සිල්වා යන මන්ත්‍රීවරයන් පිළිබඳව ශෝකය පලවනු ඇත.  

  • 20 ලිව්ව කෙනාට වැඩිය ‘සංස්කාරක‘ අවුල්

    20 ලිව්ව කෙනාට වැඩිය ‘සංස්කාරක‘ අවුල්

    20 වන සංශෝධනය කියලා වගන්ති 57 ක් ආණ්ඩුව ගැසට් කළා.  දැන් එකෙන් 32 ක් සංශෝධනය කරලා.  20 ලිව්ව කෙනාට වැඩිය, මේක සංස්කරණය කරන ‘සබ් එඩිටර්ට‘ අවුල් යැයි මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

    සමගි ජන බලවේගයේ ‘දිනමු‘ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා රත්තොට, කයිකාවල පැවතැ රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

    ලියපු කෙනෙක් නැති 20 සංශෝධනය, ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යවස්ථා විහිළුව බවට පත් වෙලා තියෙනවා.  මුල් සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි. දැන් එකෙන් 32 ක් වෙනස් කරලා තියෙනවා.  පේළි 51 ක් වෙනස් කරලා තියෙනවා. ඔන්න ඔහොමයි ‘වියත්මගේ ව්‍යවස්ථා හැදිල්ල‘ යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

    විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ළමයෙකුට දුන්නා නම් වීට වැඩිය හොඳට 20 සංශෝධනය ලියලා දෙනවා.  ලියපු කෙනා නෙවෙයි දැන්, මේක සංස්කරණය කරන කෙනා හොයාගන්න ඕනි. 

    විධායක ජනාධිපතිවරයෙකුගේ කටින් පිටවෙන වචන  ‘සර්කියුලර්‘ කරන්න හදන්නේ, ලියලා ගහපු ගැසට් එකේ වගන්ති 57 න් 32 ක් සංශෝධනය කරන ආණ්ඩුවක් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. 

  • 20 සංශෝධනය දැන් ‘පොඩි එකාගේ ලියුම වගේ’

    20 සංශෝධනය දැන් ‘පොඩි එකාගේ ලියුම වගේ’

    20 වන සංශෝධනය පිළිබඳ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන 83 ක් ඉදිරිපත් කර ඇත.  පිටු 67 ක සංශෝධනයට, තවත් සංශෝධන 83 ක් ඇතුළත් කිරීම ම මේ ලියවිල්ලේ දුර්වලතාව පෙන්වන්නකි.   දැන් 20 වන සංශෝධනය වැරදි 83 ක් තියෙන, ‘පොඩි එකාගේ ලියුම‘ වගේ යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ගැසට් මගින් ප්‍රකාශයට පත් කරපු ව්‍යවස්ථා සංශෝධනයට නීතිපවරයා විසින් යෝජනා කරන සංශෝධන කිසිම නෛතික බලපෑමක් නැත.  එය සිදුවන්නටත් පුළුවන්. නොවෙන්නටත් පුළුවන්.  කමිටු අවස්ථාවේ සංශෝධන කියන්නේ ඇස්බැන්දුමක් බවත්, එය තවත් අවුල් ජාලාවකට හේතු වන බවත් අපගේ අතීත අත්දැකීමයි.   

    20 උත්කෘෂ්ඨයට නංවමින් කථා කල ආණ්ඩුවම දැන්, එහි වරද 83 ක් ලැයිස්තු ගත කර තිබේ.  එය අතිශයින් දුර්වල ලියවිල්ලක් බව එයින්ම තහවුරු වේ.

    රටේ මුලික නීතියේ පදනමට බලපෑම් කරන, ජනාධිපතිවරයාගේ බලය වැඩි කිරීම, තුලන හා සංවරණ ක්‍රියාවලිය, කොමිෂන් සභා කප්පාදු කිරිම වැනි කේෂ්ත්‍ර  වලට අදාළව 20 ට විරුද්ධව ප්‍රධාන යෝජනා 28 ක් තිබෙනවා.  එයින් කිසිම යෝජනාවක් ආණ්ඩුව නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන මගින් ඉටු වෙන්නේ නෑ. එහි කුමන හෝ යහපතක් සිදුවන්නේ පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසිරුවා හැරීම වෙනුවට වසර 2  ½ කින් විසිරුවා හැරීමට යෝජනා කිරීම සහ ජනාධිපති, අගමැති කාර්යාල විගණනය කිරීමේ අවස්ථාව සැලසීම පමණයි.

    20 සංශෝධනය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යෝජනාවකි.  එහි ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් වත් සම්මත කර ගත නොහැකි   බව, ආණ්ඩුවේම කණ්ඩායම් අවබෝධ කර ගෙන තිබේ.  එබැවින්, මේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් 20 ට විරුද්ධව සිටිති. .

    20 වන ව්‍යවස්ථා සංශෝධනය අත්තනෝමතික යෝජනාවක් බවත්, එය සම්පූර්ණයෙන්ම අකුළා ගත යුතු බවක් කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  • 20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් 32ක නීතිඥ දේශන අවසන්

    20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් 32ක නීතිඥ දේශන අවසන්

    වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 32 පිළිබඳ විභාගය අද  (30) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර නඩු විභාගය පස්වරු 7.20 දක්වා පැවැත් විණි.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත් වේ.

    එහිදී 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන සිකුරාදා (02) තෙක් කල් තබන ලදි.

    ඒ අනුව ලබන සිකුරාදා සෙසු පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතය.

  • අගමැති මහින්දගෙන් ‘මසුරන් කතාවක්’- මේ කියන්නේ කා ගැනද ?

    අගමැති මහින්දගෙන් ‘මසුරන් කතාවක්’- මේ කියන්නේ කා ගැනද ?

    බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩීමේ උත්සවයේදී පැවසීය.

    හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ”ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ.ආර්.ජයවර්ධන යුගයේ නොපළ කතා”කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ”එලීනා ජයවර්ධන – චරිතයක කතාවක් ” යන කෘතීන් එළිදැක්වීම මෙහිදී සිදුවිය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

    “ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා මෙම කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වීමට ලැබීම ගැන. මම පාසල් යන අවධියේ නැවතිලා හිටියේ ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ නිවසට ආසන්න නිවසක. එතන තවත් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකුත් හිටියා. මම එතුමිය දැක්කේ ඒ දවස් වල. ඇය ඉතාම නිහතමානී චරිතයක්. එලීනා මැතිනිය ගැන කෘතිය එළි දැක්වීම කාලෝචිත ක්‍රියාවක්. අද ගොඩක් දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්යාවන් නිසයි. මේ පොත කාන්තාවන් කියවන්න. එය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇතැයි,” යනුවෙන් එහිදී අදහස් දක්වමින්  අග්‍රාමාත්‍යවරයා පැවසීය.

  • 20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් 20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති බැවින් 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්ණ ව්‍යවස්ථා යෝජනාවලියම ප්‍රතික්ෂේප කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය අද (30) දෙවන දිනට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේදී ආරම්භ විය.

    එහිදී 20 වැනි සංශෝදන යෝජනාවලිය අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් ඉදිරිපත්කර තිබු පෙත්සම වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පහත කරුණු අවධාරණය කළේය.

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරලා !

    20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇත. ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආන්ඩුක්‍රම ව්‍යවස්තා මුලදර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමිනි. එය කිසිසේත් කල නොහැකි දෙයකි.

    එම නිසා 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්න ව්‍යවස්තාව යෝජනාවලියම ප්‍රතික්ෂේප කලයුතුව තිබේ.

    එසේම එවැනි ව්‍යවස්තාවේ මුලික හරය වෙනස් කරන යෝජනාවක් තුනෙන් දෙකක බලයෙන් තබා ජනමත විචාරනයකින් වත් සම්මත කල නොහැකි බවත් එවැනි අවස්තාවක මහජන අනුමැතිය අදාල නොවන බවත් ඔහු පැවසීය.

    ඉතිහාසයේ දී අවස්තා දෙකක් !

    මෙවැනි තත්වයක් ඉතිහාසයේ දී අවස්තා දෙකකදී සිදුව තිබේ. ඉන් පලමු වැන්න 1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීමය.

    දෙවැන්න 1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරණයක් තුලින් නැපෝලියන් බොනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් කරගත්තේය. ලංකාවේ සිදුවෙමින් සිදුවෙමින් තිබෙන්නේ එවැනිම දෙයකි.

    අප විනාශයේ මාවතට අවතීර්න වනවාද සංවර්ධනයේ මාවතට පිවිසෙනවාද යන්න 20 හි පැවැත්ම නොපැවැත්ම මත තීරනය වනු ඇත.  එම නිසා රටේ ජනතාවගෙ අනාගතය තීරනය කිරීමේ බලය මෙරට ශ්‍රේෂ්ඨාධිකරනය මත රැඳී පවතින බව නීතිඥ ශිරාල් වැඩිදුරටත් පැවසීය.

    උපුටා ගැනීම: ද ලීඩර්