Tag: featured

  • ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්…!

    ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්…!

    ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

    එම සමීක්ෂණයෙන් පසුව 2024 වර්ෂය සඳහා වැලි කැණීම සඳහා අවසර පත්‍ර ලබාදීමට නියමිතයි.

    සොයා ගන්නා ස්ථාන පිළිබඳව සලකා බලා වැලි ගොඩදැමීමට අවසර ලබාදීමට නියමිතයි.

    කළු ගඟ ,මහ ඔය, මහ වැලි ගඟ යන ගංගා වල එම සමීකරණය සිදුකිරීමට නියමිතයි.

  • ජනාධිපති එජාප මැයි රැළියට පෙර වෙන මැයි රැළියක…!

    ජනාධිපති එජාප මැයි රැළියට පෙර වෙන මැයි රැළියක…!

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින පෙලපාලිය සහ රැලිය අද දින කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විමට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත.

    එම පක්ෂයේ මැයි දින රැලියට රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු  ඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගි වන එම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

    මැයි දින පෙලපාලිය සහ රැලිය සම්බන්ධයෙන් කොටගල ක්‍රිඩාංගනයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ජිවන් තොන්ඩමන් අමාත්‍යවරයා කියා සිටියේ  ලංකා කම්කරු කොන්ග්‍රසයට වැදගත් මැයි දින රැලියක් වසර පහකට පස්සේ තමයි මගේ පක්ෂේ මැයි දින රැලියක් පවත්වන්නේ. කොරොණා වසංගතය සහ ගත වු වසර කිහිපය තුල රටේ පැවති ආර්ථික ගැටලු නිසා මැයි දිනය සැමරුවේ නැ. වතු සමාගම් මේ මැයි දිනයේ තේරුම් ගනිවි වෘතිය සමිති වලට තිබෙන ශක්තිය පිලිබදව. ජනාධිපතිතුමා මෙම මැයි දිනයට සහභාගි වෙලා වතු කරයේ ජනතාවට සතුටු විය හැකි පණිවිඩයක් ලබා දෙනවා යැනුවෙන් පැවසිය.

     ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලියට එම පක්ෂයේ සමාජිකයන් විශාල පිරිසක් සහභාගි වන බවත්, ජිවන් තොන්ඩමන් අමාත්‍යවරයා පැවසිය

  • පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කාදිනල් හිමි ජිනීවා වෙතට..!

    පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කාදිනල් හිමි ජිනීවා වෙතට..!

    මෙරටට එල් වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට යන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.

    තමා මේ පිළිබඳව විදේශ රටවල් හා සංවිධාන කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද එතුමන් පවසති.

    ප‍්‍රහාරයට දැනට වසර පහක් ගත වී ඇතත් කිසිම රජයක් ඊට වග උත්තරකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තීරණය ගත් බවද අගරද ගුරු තුමන් සඳහන් කරති.

    බීබීසී සේවය සමඟ අදහස් පල කරමින් එතුමන් මේ බව සදහන් කර ඇත.

  • මන්ත්‍රි දොලවත්ත පොහොට්ටුව අතහරී..! රනිල් සමග එක්වේ..!

    මන්ත්‍රි දොලවත්ත පොහොට්ටුව අතහරී..! රනිල් සමග එක්වේ..!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන තමන් දැඩි කලකිරීමකට ලක්ව සිටින බව එම පක්ෂයේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.

    පක්ෂයේ ඇතැම් නායකයින් තමන් ගැන කිසිදු තැකීමක් නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

    පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කලද මේ වන තෙක් පක්ෂයේ කිසිදු වගකීමක් තමන්ට පවරා නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

    බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේ පැවති නව සන්ධානයේ කොලඹ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන්ගේ බක්මහ උලෙළේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් ඔහු හැර වෙනත් අපේක්ෂකයෙකු පෙනෙන තෙක් මානයකවත් නොමැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

  • මෛත්‍රීගේ වැඩ නිසා අසාධාරණයට ලක්වූ පාක්ෂිකයන් ගැන සොයන්න දුමින්දගෙන් කමිටුවක්….

    මෛත්‍රීගේ වැඩ නිසා අසාධාරණයට ලක්වූ පාක්ෂිකයන් ගැන සොයන්න දුමින්දගෙන් කමිටුවක්….

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබාදුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

    පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධූර කඩිනමින් පිරවීමට කටයුතු කරන බව පැවසීය.

    මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට නියමිතයි.

    ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයකට අනුවයි.

    අමාත්‍ය මහින්ද අමරවීර ,අමාත්‍ය ලසන්ත අලගියවන්න ,වීරකුමාර දිසානායක ,නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ සහභාගිත්වයෙන් එම කමිටුව පත්කර තිබේ.

    එහි සභාපතිත්වය තමන් දරණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

  • ‘SJB පක්ෂයක් ලෙස රනිල්ට සහාය දිය යුතුයි’ – සමගි මන්ත‍්‍රී කණ්ඩායමකගෙන් යෝජනාවක්..!

    ‘SJB පක්ෂයක් ලෙස රනිල්ට සහාය දිය යුතුයි’ – සමගි මන්ත‍්‍රී කණ්ඩායමකගෙන් යෝජනාවක්..!

    සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

    එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගයට එක් වූ පාක්ෂිකයන් විශාල පිරිසක් අද වන විට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් සිටින බවද ඔහු පැවසීය.

    එම පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ද බොහෝ දෙනකු ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තරග කරන බව දැනුම් දී ඇති බවද ඔහු කියා සිටී.

    තවත් මන්ත්‍රී කණ්ඩායමක් සම්පූර්ණ පක්ෂය පිටින්ම ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවට පක්‍ෂය ඇතුළත සිට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  • මන්ත‍්‍රීලා ආර්ථික අර්බුදයේ.. සැප වාහන විකුණා පොඩි වාහන ගනී.. ගමන් අඩු කරති..

    මන්ත‍්‍රීලා ආර්ථික අර්බුදයේ.. සැප වාහන විකුණා පොඩි වාහන ගනී.. ගමන් අඩු කරති..

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය ගමන් බිමන් සඳහා අඩු වියදම් සහිත කුඩා වාහනවලට යොමුවී සිටී.

    ඒ ඔවුන්ට ඇතිවී තිබෙන ආර්ථික ගැටලු හේතුවෙන් සුඛෝභෝගී වාහන නඩත්තු කිරීමට නොහැකි වීම හේතුවෙනි.

    මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම මෙන්ම විවිධ උත්සව සඳහා පැමිණීමද සීමා කර ඇත්තේ අධික ඉන්ධන වියදම හේතුවෙනි.

    තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බස්රථ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට පුරුදු වී ඇත.

    තවත් මන්ත්‍රී පිරිසක් තමන් සතුව පැවති වැඩි වටිනාකමකින් යුතු වාහන විකුණා දැමීමටද කටයුතු කර තිබේ.

  • දැන් ශ‍්‍රීලනිපය අයිති නිමල් සිරිපාලට විතරයි.. වෙන අය නැටුවට වැඩක් නෑ.. මන්ත්‍රි දුමින්ද කියයි

    දැන් ශ‍්‍රීලනිපය අයිති නිමල් සිරිපාලට විතරයි.. වෙන අය නැටුවට වැඩක් නෑ.. මන්ත්‍රි දුමින්ද කියයි

    අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය ඇත්තේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පමණක් බව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

    නිමල් සිරිපාල මහතා වැඩ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කර ඇති බවත් නිත්‍යානුකූල නොවන ලෙස වැඩ කළ පිරිස මෙවන විට අධිකරණයෙන් වාරණයකට ලක්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.

    පවතින තත්ත්වය මත පක්ෂයේ නීත්‍යානුකූල බලය මෙවන විට හිමි වී ඇත්තේ තම කණ්ඩායමට පමණක් බවත් හෙතෙම කියා සිටී.

    එනිසා වෙන කණ්ඩායම් පක්ෂ රැස්වීම් කැඳවීමේ කිසිදු ඵලයක් නොලබන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

  • ආරක්‍ෂාව ගැන රුසියාව හා සාකච්ඡා…!

    ආරක්‍ෂාව ගැන රුසියාව හා සාකච්ඡා…!

    රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වින.

    වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්‍ෂක අභියෝග පිලිබඳ සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා මෙම අතිශය වැදගත් සමුළුව ඔස්සේ පුළුල් වේදිකාවක් සපයනු ලබයි.

    ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙම හමුවෙහි කැපී පෙනෙන සුවිශේෂී අවස්ථාවක් විය. ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කරනු ලැබීය.

    ත්‍රස්ත මර්දන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා බොහොමයක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. තවද ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සහ ආරක්‍ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වන නව මංපෙත් පිලිබඳ සොයා බැලීමට ඇති අන්‍යොන්‍ය කැපවීම දෙපාර්ශ්වය විසින්ම ප්‍රකාශ කළහ.

    ගෝලීය ප්‍රජාව මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීමේ අරමුණින් ඔවුනොවුන් සතු තීක්‍ෂණ දැනුම හුවමාරු කර ගැනීමට, වඩාත් උචිත භාවිතයන් හඳුනා ගැනීමට සහ වඩාත් ශක්තිමත් හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ඔස්සේ ඊට සහභාගි වූ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ට අගනා අවස්ථාවක්  සැලසින.

  • SJB විජේමුණි ස්වාධීන වෙයි..!

    SJB විජේමුණි ස්වාධීන වෙයි..!

    අද වනවිට තමන් සමගි ජන බලවේගයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා සඳහන් කරයි.

    එනිසා තමන් ස්වාධීනව කටයුතු කරගෙන යන බවද සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවද මේ වනතෙක් තමන් පැත්තකට කර දමා ඇති ඔහු කියා සිටී.

    අද වන තෙක් තමන්ට කිසිදු වගකීමක් ලබාදී නැති බවත් ආසන සංවිධායක ධුරයක් හෝ මේ වනතෙක් නැති බවත් හෙතෙම පැවසීය.

    මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.

  • පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!

    පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!

    යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩියක් රුපියල් 4000 ක මිලකට වෙන්දේසි වීම විශේෂත්වයක් විය.

    සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් මෙම පොර පොල් තරඟය සහ පොල් වෙන්දේසිය සංවිධානය කොට තිබුණි.

    එහිදී පොර පොල් තරඟය වෙනුවෙන් විශේෂිත වූ පොල් ගෙඩි කිහිපයක් තෝරාගෙන එම පොල් තරඟකරුවන් වෙනුවෙන් වෙන්දේසි කිරීමට සංවිධයකයින් පියවර ගෙන තිබුණි.

    කෙසේ වෙතත් තෝරාගෙන තිබූ අනෙකුත් සියලු පොල් එක් ගෙඩියක් රුපියල් දහසකට අධික මුදලකට වෙන්දේසි වූ අතර ඒ අතරින් එක් ගෙඩියක් තරඟකරුවන් කිහිප දෙනෙකු ලබාගැනීමට ගත් උත්සහයකදී මෙලෙස රුපියල් 4000 ක මුදලකට වෙන්දේසි විය.

    පරම්පරික්ව එන පොර පොල් තරඟය යාපනය ජනතාවගෙන් අමතක නොවීම උදෙසා සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් වාර්ෂිකව මෙලෙස පොර පොල් තරඟයක් පවත්වනු ලබයි.

    – වන්නි රොමේෂ් මධූෂංඛ

  • කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

    කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

    ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකුට, සංගීතඥයෙකුට ඔහුගේ නිර්මාණ තරම් තවත් වටිනා දෙයක් නොමැති බව අපි හොඳින්ම දනිමු. එසේම ජනතාව විසින් අතිශය ආදරයෙන් වැළඳගත්, ජාත්‍යන්තර භාවපූර්ණ නිර්මාණයක් සම්බන්ධයෙන් ඇති වටිනාකම අප ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.

    රවී රොයිස්ටර් නම් ඒ අද්විතීය කලාකරුවාගේ “හමාර බණවර” නම් හදවත් සසල කරන අතිශය සංවේදී නිර්මාණය දෙස් විදෙස් ලොකු කුඩා සංගීතයට ඇනුම් කරන නොකරන්න බොහෝ දෙනා අතිශය ආදරයෙන් වැලදගත් නිර්මාණයක් බව සැවොම දනිමු. එවැනි ජාත්‍යන්තර තලයේ නිර්මාණයක් දේශපාලනඥයකුගේ අවසන් කැමැත්තක් වෙනුවෙන් වෙනස් කිරීම සිතාගන්නටවත් බැරි තරම් අපූර්ව දෙයකි.

    එහෙත් ම එවැනි සිතා ගන්නට බැරි තරම් දෙයක් රවී රොයිස්ටර් නම් කලාකරුවා විසින් සිදු කරන්නට ඇත්තේ පාලිත තෙවරප්පෙරුම නම් මේ මහපොළොවේ මහජනතාව සමඟ ින් පොළොවේ පය ගසා ජීවත් වූ හොරකු නොවූ මානව හිතවාදී දේශපාලන මිනිසකු නිසා වන්නට ඇත. රවී රොයිස්ටර් නම් කලාකරුවනි, ඒ ජනතාවාදී මිනිසාගේ අවසන් කැමැත්ත වූ ඒ අහිංසක සංවේදී ම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් අප ඔබට කෘතඥ වෙමු..!

    https://www.youtube.com/watch?v=c7RiOtA8xUI

  • පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)

    පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)

    ජනතාව දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමු ගන්නවා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත පාලිත තෙවරප්පෙරුමයි.

    අද බොහෝ දෙනා ම ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කීදෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල ින් සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම දන්නා අය අතරින් ඔහු ළඟින් ආශ්‍රය කළ, ඔහුට උදව් කළ මිත්‍රයෙකු තැබූ සටහනක් අප මෙසේ ඒ මානව හිතවාදියා වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස උපුටා දක්වමු.

    චන්ඩි මතකයක්…

    පාලිත තෙවරප්පෙරුම නැතහොත් චන්ඩි මා හඳුනාගත්තේ 1986 වසරේදීය. ඒ මා මතුගම ශා. මේරි විදුහලේ උසස් පෙළ හදාරන අවධියේදීය. එකල ඔහු දේශපාලනයට සම්බන්ධව නොතිබුනි. නමුත් එකල ඔහු මතුගම ඉතාමත් ජනප්‍රිය චරිතයක් විය. කොලිවුඩ් සිනමාවේ වීරයාගේ චරිතයට සමාන චරිත ලක්ශණ වලින් යුතුවූ ඔහු නිතරම් අසාධාරණයට විරුද්ධ වීර චරිතයේ ජීවත් විය. දමිල සිනමාවේ මෙන්ම, එකල පොලීසිය ඔහුගේ ප්‍රධාන ප්‍රථිවාදියා විය.

    එයටම සමානුපාතිකව ඔහු හතලිහක පමණ නඩු වැලක පැටලී සිටියේය. මේ නිසා නීතීඥයෙක් වූ මා‍ඟේ පියාගේ මතුගම කාර්‍යාලයේ පාලිත අයියා රැඳී සිටිනු එකල සුලභ දසුනක් විය. ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටීමට කිසිදු මුදලක් මාගේ පියා අය කරේ නැත. අවංක තරුනයකු නිසි මග ගැනීම මාගේ පියාගේ අධිශ්ථානය වන්නට ඇත. නමුත් දිනෙන් දිනම නඩු වැඩි උනා මිස අඩුවක් උනේ නැත. මේ තත්වය උච්චස්ථානයට පැමිණියේ උසස් පොලිස් නිලධාරියකුට විරුද්ධව මතුගම නගරය පුරා පෝස්ටර් ගැසීමත් සමගය..

    එම සිදුවීමට පසුදා පාන්දර පාලිත අයියා මගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දුන් අතර ඉතා උස් හඬින්, බොහෝ විදග්ධ වචන මගේ පියාගෙන් විසිවනු ඇසින. වහාම සිය මිතුරකුගේ වාහනයක් යවා අපගේ පයාගල නිවසට ඔහුව ගෙන්වා සඟවා තැබුවේ රාජ්‍ය විරෝධී චෝදනා ගොනුවීමෙන් වලක්වා නිසි අවස්ථාවේදී උසාවියට ඉදිරිපත් කිරීම සඳහාය. උසාවියට යන අතරමග අත් අඩංගුවට ගැනීම වලක්වාලනු සඳහා පසුදින පාලිතව මගේ පියාගේ රථයේ පිටුපස බිම නිදිකරවා ප්‍රධාන මාර්ග මගහැර අතුරු පාර වලින් මතුගම උසාවියට ගෙනයාමට රියදුරු වශයෙන් කටයුතු කිරීමට මා හට භාර උනේ එම කටයුත්ත ඉතාමත් රහසිගතව සිදුවිය යුත්තක් වූ බැවිනි. උසාවියට ඉදිරිපත් කළ පසු ඇප ලබාගැනීමට හැකිවීම බොහෝ දෙනෙකුගේ පුදුමයට කාරනයක් විය.

    මෙම සිද්ධිය පාලිතගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය විය. මාගේ පියාගේ මිතුරු උසස් නිලධාරීන් සමග සාකච්චා කර යම් එකගතාවකට එළඹ ඔහුට පැටවී තිබූ නඩු වැලෙන් වසර කිහිපයකදී ඔහුව ගලවා ගැනින. අනතුරුව දේශපාලනය වෙත නැඹුරු වූ පාලිත මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කලේය. ඔහුගේ දේශපාලන ගුරුවරයා වූයේ එවකට මතුගම එක්සත් ජාතික පක්ශ සංවිධායක වරයා වූ මහින්ද සමරසිංහ මහතාය. පක්ශ සංවිධායක වරයාගේ ප්‍රධාන සංවිධායක වශයෙන් පාලිත කටයුතු කලේය.

    මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය හැරදමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිම්මක් පනිනා විට පාලිත පක්ෂය හැර නොගියේය. පාලිත එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කරනා අතරම ඔහුගේ එක් කුස උපන් සහෝදරයා ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් තරඟ කලේය. මැතිවරණය ජයගත්තේ වී නමුදු ප්‍රාදේශීය සභා සභාපති ධුරය භාර ගැනිමට ඔහු පැකිලුනේය. පසු කලෙක පාලිත වෙබ් අඩවියක සාකච්චාවකට සහභාගී වෙමින් පවසා සිටියේ කිංස්ලි ප්‍රනාන්දු මහතාට තමාට සභාපති ධූරයේ වැඩ කිරීමට නොදන්නා බව පවසන විට ඔහුට තිබෙන සුදුසුකම නොදන්නා බව දැනගැනීම යැයි පවසා දිරිගැන්වූ බවය.

    මුල් කාලයේදී ඔහු මතුගම යටදොල ප්‍රදේශයේ නිල නොවන පාලකයා විය. ප්‍රාදේශීය සභා සභාපති වරයා වීමත් සමගම එය මතුගම දක්වා දිගුවිය. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි වරයකු වීමත් සමග එය අගලවත්ත, බදුරලිය පසු කර අත්වැල්තොට පාලම් තෙක් දිගු විය. මේනිසා වරින් වර බොහෝ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සමග ගැටුම් ඇතිවිය. මේ ගැටුම් සියල්ලම පාහේ සාමාන්‍ය ජනතාව වෙත බලවතුන්ගේ සහ නිලධාරීන්ගේ අනීතික ක්‍රියාවන් වලට විරුද්ධ වීම නිසා ආරම්භවූ සිද්ධීන්ය. බොහෝමයක් ගැටුම් කෙලවර වූයේ උසාවියෙනි.

    2004 වසරේ සුනාමි ව්‍යසනයට අපගේ නිවස විනාශවූ අවස්ථාවේ ඔහු පැමිනියේ 300 ක පමණ පිරිසක් කැටුවගෙනය. අපගේ පයාගල ගම්මානයම පවිත්‍ර කිරීමට දින දෙකක් පුරා මේ පිරිස දායක විය. 2015 පාර්ලිමේන්තු මැතිවරණය ඔහු ජයග්‍රහනය කරේ බන්ධනාගාර ගතව සිටිම්නි. පසුව උසාවියෙන් ඇප ලබා ගත් වහාම තම නිවසට යාමට පෙර වාහන 250ක පමණ රථ පෙරහැරකින් අපගේ නිවසට පැම්ණ එවකට රෝගී තත්ත්වයේ සිටි මාගේ පියා දැක ගැනීමට පැමිනියේ ඔහුගේ තිබූ කෘතගුණශීලී බව පසක් කරමිණි.

    බල ලෝභී දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් ජාතිවාදය සහ ආගම් වාදය මහා පරිමාණයෙන් අවුලුවන සමයේ ඔහු පෙනී සිටියේ සුළු ජාතික ව්න්දිතයා වෙනුවෙනි. බේරුවල මුස්ල්ම් ජනතාව වර්ගවාදින්ගෙන් මුදවා ගැනීමට ඔහු නොබියව පෙරමුන ගත්තේය. කොවිඩ් වසංගත සමයේ ඔහුගේ මැදිහත්වීම සෞඛ්‍ය බලධාරීනට හිසරදයක් විය. නමුත් හිත හොඳ චන්ඩියා නැවතාලීමට කිසිවකුට නොහැකිවිය.

    ඔහුගේ ජීවිතයට මරු පහරක් එල්ල වූයේ සිය ලොකු පුතාගේ මරණය නිසාවෙනි. ඔහු එයින් මහත් පීඩාවක් වින්දේය. ඕනෑම දරුවකුට කිසිදු භේදයකින් තොරව ආදරය කල පාලිත අයියාට සිය දරුවාගේ මරණය දරාගත් නොහැකි විය.
    පාලිත අයියා අපගේ පුතුන් තිදෙනාටද හොඳ මිතුරකු විය.

    අප හමුවන බොහෝ විට මගේ පුතුන් තිදෙනාගෙන් එක් අයකු නීතීඥයෙක් කර දෙන ලෙස පාලිත අයියා ඉල්ලා සිටියි. ඔහු මියැදුන අදට සති දෙකකට පෙර දුරකථනයෙන් කතා කරනා අවස්ථාවේද එම ඉල්ලීම කලේය. දින කිහිපයකට පසු මගේ පොඩ් පුතා නීති උපාධිය සඳහා තේරුන බව කීමට නොහැකි වීම එතරම් ප්‍රාර්ථනාවක් කල අයෙකු වෙත කල නොසැලකිල්ලක් බව මගේ සිත පෙලයි.

    කෙසේ වෙතත්, අප නැවත මුන නොගැසෙන්නෙමු..
    ඉතින් ආයූබෝවන් හිත හොඳ මිතුරානෙනි..

    උපුටා ගැනීම: ජීවන ප්‍රනාන්දු මහතාගේ ෆේස්බුක් පිටුවෙනි

  • රනිල් – රාජපක්ෂ මිතුරන් වීම ගැටළුවක් නෙමෙයි..! රටේ ආර්ථිකය වැට්ටුවේ මහ බැංකුවයි.. හිටපු මන්ත්‍රි රවි කියයි

    රනිල් – රාජපක්ෂ මිතුරන් වීම ගැටළුවක් නෙමෙයි..! රටේ ආර්ථිකය වැට්ටුවේ මහ බැංකුවයි.. හිටපු මන්ත්‍රි රවි කියයි

    රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් සෘජුවම මහබැංකුව වගකිව යුතු බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව යුතු බවයි.

    දේශපාලන වශයෙන් වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා පෑහෙන්නේ කෙසේදැයි ඇසු පැනයට පිළිතුරු ලබාදී ඇති රවී කරුණානායක මහතා සඳහන් කර ඇත්තේ සියලු දෙනාම එක් වී මේ වන විට රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි.

    ලංකාවේ සියලු දෙනාම යහළුවන් බැවින් රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යහළුවන් වීම ගැටළුවක් නොමැති බවත් හෙතෙම එහිදී සදහන් කර ඇත.

  • රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. හදිසි සංශෝධන කිහිපයක්..

    රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. හදිසි සංශෝධන කිහිපයක්..

    මහජන ආරක්ෂක අමැති ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබේ.

    ඒ අනුව දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කර ඇත.

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ දුරකථනය ලකුණින් වන සන්ධානයකින් තරග වදිනු ඇති බවට ද වාර්තා වෙයි.

  • ඊශ්‍රායලයට හමාස් ප‍්‍රහාරය පුටින්ගේ වැඩක්…!

    ඊශ්‍රායලයට හමාස් ප‍්‍රහාරය පුටින්ගේ වැඩක්…!

    “සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලුදෙනාම එක්ව මේ රට හදමු!” යන මතයෙහි සිටින ජාතිවාත්සල්‍යයෙන් සහ දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල “සැබෑ දේශපාලන නායකත්වය” ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතු බවත් එසේම මහා සංඝරත්නය ප්‍රමුඛ එම දෑහිතකාමී බලවේග ඒ අවස්ථාව ජාතිවාත්සල්‍යයෙන් තොර කිසිදු අපේක්ෂකයෙකුට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කළ “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?” සංවාදශීලී සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක, ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පූජ්‍ය වදුරඹ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය, එංගලන්තයේ වෙසෙන විද්වත් වෘත්තිකයෝ ඇතුළු දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ රැසක් එක්ව සිටියහ. සිය ප්‍රධාන දේශනයෙන් අනතුරුව සහභාගී වූ පිරිස මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා එම පිරිස සමග දීර්ඝ සංවාදශීලී සාකච්ඡාවකට ද එක් විය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

    ඇත්ත පින්තූරය දකිමු!

    “අපේ රට – රාජ්‍යය ගෙනයමින් තිබෙන්නේ කොතැනකටද? එය සිදුවූයේ කෙසේද? එය වළක්වා ගැනීමට ගතයුතු පියවර කවරේද? යන සාකච්ඡාව ඔබ සමඟ සිදු කිරීම මගේ වගකීමක් සහ යුතුකමක් ලෙස මා දකිනවා. එහෙම නැතුව ජනප්‍රිය සටන් පාඨ ටිකක් තොරොම්බල් කරලා ඒකෙන් මේ සමස්ත අර්බුදයේ ඇත්ත පින්තූරය හෙළිදරව් වීම වළක්වලා, ඒ ඇත්ත පින්තූරය වෙනුවට බොරු පින්තූරයක් මවලා යන්න මම මෙතැනට ආවේ නැහැ.

    අර්බුදය වටහා ගනිමු!

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විදිහට ඔබ වඩාත්ම හොඳින් දන්නවා, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද ඵලවිපාක මොනවාද, කියා. නිදසුනක් ලෙස දැන් අපේ වෛද්‍යවරුන් තමන්ගේ ජීවන රටාව පෙර පරිදි පවත්වාගෙන යෑමට බැහැයි කියමින් රාජ්‍ය සේවය අතහැරලා, යුරෝපා රටවලට සංක්‍රමණය වෙමින් සිටිනවා. ඒ විදිහට විවිධ සමාජ ස්තරවල පිරිස්, තමන්ගේ මව් රටේ පැල කරන්න බලාපොරොත්තු වූ සිහිනය ඵල දරන එකක් නැහැ, කියන හැඟීම මත වෙනත් රටවලට සංක්‍රමණය වෙමින් සිටිනවා. එසේ සංක්‍රමණය වන වේගය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩි වෙලා තිබෙනවා. මේ තමයි මේ අර්බුදය විසින් ඇති කොට තිබෙන ප්‍රතිඵල. ඒවා පිළිබඳව කතා කරන්න කලින් කතා කළ යුතුයි, ‘මේ අර්බුදය කුමක්ද?’ කියා.

    ඩොලර් අර්බුදය සහ රුපියල් අර්බුදය’

    මේ අර්බුදය ලෙස ආවේ කාරණා දෙකක්. එකක් තමයි විදේශ විනිමය අර්බුදය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය වාරිකය නිසි පරිදි ගෙවීමට සහ එදිනෙදා සාමාන්‍ය ආනයන කටයුතුවලට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ශ්‍රී ලංකා ආර්ථිකය තුළ නොතිබීම. මේ ඩොලර් අර්බුදය උස්සන්න වෙනකොටම ඉන්දියාවේ එවකට හිටපු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කියනවා, ‘රුපියල ඔහේ පා කරලා නොහැරියොත් ඉන්දියාවෙන් ලැබෙන ඉතිරි ඩොලර් බිලියන දෙකතුන ලැබෙන්නේ නැහැ’ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ‘මේ මොහොතේ රුපියල පා කර හැරීම නිවැරදිද?’ කියා විමසන්නේ යහපාලන ආණ්ඩු සමයේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන්. ඔහු කියනවා, ‘ඒක තමයි මේ මොහොතේ කරන්න ඕනේ හොඳම දේ’ කියා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රුපියල පා කර හරින්න තීරණය කරනවා. ඒක තමයි මේ අර්බුදයට මුල් වූ අනෙක් කාරණය. එනම් රුපියල් අර්බුදය. ඒ අනුව අපට පැහැදිලියි එකක් ‘ඩොලර් අර්බුදය’, අනෙක ‘රුපියල් අර්බුදය’ කියා.

    අභ්‍යන්තර සාධකය කුමක්ද?

    දැන් අපි බලමු, ‘විදේශ විනිමය අර්බුදයක් හෙවත් ඩොලර් අර්බුදයක් රටක ඇති වෙන්නේ කොහොමද?’ කියා. යම් රටක, පිටරට යවනු ලබන නිෂ්පාදනවලින් උපයන ධනයට වඩා වැඩි මුදලක් විදේශ නිෂ්පාදන පරිභෝජනයට යොදවනවා නම් ඒ රටේ විදේශ විනිමය අර්බුදයක් ඇති වෙනවා. මේ විදිහට වසරකට ගෙවිය යුතු විදේශ ණය වාරිකය ගෙවා ගැනීමට සහ ගෑස්, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඩොලර් හිඟ වෙනකොට, ඒ හිඟය විසින් තමයි පෝලිම ඇති වෙන්නේ. පෝලිම විසින් තමයි පීඩනය තීව්‍ර වන්නේ. ඒ පීඩනය තීව්‍රවීම විසින් තමයි මන්දිර වැටලෙන්නේ. මේ තමයි අභ්‍යන්තර සාධකය.

    ‘ලක් අම්මාගේ දරුවෝ ටික’ අද කෝ?

    ඔබ දන්නවා, පසුගියදා අයවැයත් සමඟම නව වැට් බදු පනත සම්මත කළ බව. එමගින් වැට් බද්දෙන් නිදහස් කර තිබූ භාණ්ඩ හා සේවාවලින් 45ක් හැර අනෙක් 95ටම වැට් බද්ද සක්‍රිය කර තිබෙනවා. ඒ නිසාම ජනවාරියේ සිට ලංකාවේ ගෑස් මිල රුපියල් 600කින් ඉහළ යනවා. ඉන්ධන මිල ද ඉහළ යනවා. බස් ගාස්තු වැඩි වෙනවා. පාසල් උපකරණ ඇතුළු සෑම පරිභෝජන භාණ්ඩයකම මිල ඉහළ යනවා. මේ මඟින් මුළුමහත් ලාංකීය සමාජයම දරුණු පීඩනයකට ලක්වෙනවා. එදා ‘ලක් අම්මාට අමාරුයි’ කියලා කට්ටිය ගාලුමුවදොරට ආවේ ඒ වෙලාවෙ තිබුණු පීඩනයට සාපේක්ෂවනේ. දැන් අමාරුව අඩු වෙලාද? මේ විදියට අමාරුව වැඩි කරමින් තිබියදී ඒ ‘ලක් අම්මාට අමාරුයි’ කියපු දරුවෝ ටික කොහෙද ඉන්නේ? අපි ‘නවය; සැඟවුණු කතාව’ කෘතියෙන් අනාවරණය කර තිබෙනවා, ‘ඔය කියන ලක් අම්මාගේ දරුවෝ කවුද? මේ පිරිස මෙහෙයවනු ලැබුවේ කවුද? මේ නාටකයේ තිර පිටපත කාගේද?’ කියා. එදා පීඩනයට අදාළව අපි ඉහත කියූ ‘අභ්‍යන්තර සාධකය’ තිබුණා. නමුත් එය යොදාගත්තේ වෙනත් අරමුණක් වෙනුවෙන්.

    ‘අරගලකාරීත්වය’ පිටුපස කතාව…

    පීඩනය වැඩි වූ පමණින්ම නොවෙයි, මේ ‘අරගලකාරීත්වය’ වර්ධනය වන්නේ. ඒ පීඩනය පාවිච්චි කරලා, ‘අරගලකාරීත්වය වර්ධනය කිරීමේ තානාපති කාර්යාල මෙහෙයුම’ තිබෙන්නත් ඕනේ. ‘ලක් අම්මාගේ දරුවෝ ටික’ ඒ ‘අරගලකාරීත්වය වර්ධනය කිරීමේ තානාපති කාර්යාල මෙහෙයුම’ තිබෙනකොට තමයි පාරට එන්නේ. දැන් ශ්‍රී ලංකාව තුළ ඒ තානාපති කාර්යාල මෙහෙයුම නැහැ. දැන් ජුලී චන්ග් නෝනා කොළඹදී විලාසිතා ප්‍රදර්ශන පවත්වමින් සිටිනවා. ඒවා බලන්න ශවේන්ද්‍ර සිල්වා මහතා එයාගේ නෝනා සමග ගිහිල්ලා තිබෙනවා. ඔබ දන්නවා ශවේන්ද්‍ර සිල්වා මහතා අරගලයට කලින් දවසේ ඉන්දියාවට ගිය බව. ඊට අදාළ ආරාධනය හදා දී ඇත්තේත් වෙන කවුරුත් නොවෙයි ජුලී චන්ග් නෝනාම තමා. ‘නවය; සැඟවුණු කතාව’ එළිදැක්වූ පසු ශවේන්ද්‍ර සිල්වා මහතා, මට නඩු දමන බවට එන්තරවාසියක් එව්වා. මම ඊට පිළිතුරු වශයෙන් කිව්වා, ‘නඩු දමන්න. මම දන්න ඉතිරි ටිකත් උසාවියේදී කියනවා’ කියා. තවමත් එයා නඩුවක් නම් දැම්මේ නැහැ.

    ජුලී චන්ග් නෝනා සතුටින්…

    එදා අරගලය සමයේ පැවති පීඩනයට වඩා තුන්හතර ගුණයක පීඩනයක් වැට් බද්ද ජනවාරියේ සිට ක්‍රියාත්මක වූ පසුව ඇති වේවි. ඒත් අරගලයක් එන්න විදියක් නැහැ, මොකද ජුලී චන්ග් නෝනා සතුටින්. ජුලී චන්ග් නෝනා සතුටින් නම් අරගල නැත. අද අන්තරේ පාරේ නැත. වසන්තලා අද බෙහෙතකටවත් සොයාගත නොහැක යූටියුබර්ස්ලා ඇතුළු සෝෂල් මීඩියාකරුවන් දැකගත හැක්කේ පාටියකදී පමණි. මෙතැන තිබෙන්නේ ‘පීඩනය අඩුද, වැඩිද,’ කියන එක නොවෙයි. ‘ජුලී චන්ග්ගේ න්‍යාය පත්‍රයට වැඩේ යනවාද, නැද්ද’ කියන එකයි. න්‍යාය පත්‍රයට නොවෙයි නම් වැඩේ යන්නේ වසන්තලාට, රැට්ටන් – බැට්ටන්ට වැඩ ඇත.

    “ගෝඨාභයට තිබෙන චෝදනාව”

    එදා ගෝඨාභය රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් අපට විවේචනයක් තිබුණා. ඒ විවේචනය තමයි ‘මේ අර්බුදය කල්තියා දැකලා ඊට ප්‍රතිකර්ම නොයෙදීම’ කියන එක. ඒක පෙන්වා දෙන්න ගිහිල්ලා තමයි අපව ඇමති ධුරවලින් ඉවත දැමුවෙත්. මේ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේ කතා කරන විට, ඒක අවස්ථාවක බැසිල් රාජපක්ෂ කියනවා, ‘මම මේ විදේශ විනිමය ප්‍රශ්නය සතියෙන් විසඳනවා’ කියලා. එහෙම තකතීරු විදියට නම් මේ අර්බුදයට මුහුණ දීමට හිතන්නේ, ඒකෙන් පෙනෙන්නේ මේ අර්බුදය අවම වශයෙන්වත් තේරෙන්නෙ නැහැ කියලයි. ඊට අදාළ චෝදනාව ඔවුන්ට තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ එදා භීතියට පත්ව සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් 134කගේ ඡන්දයෙන් ජනාධිපති පුටුවට ආපු කෙනා. ඔහුට මහජනතාව සමග ගිවිසගත් එකඟතාවක් නැහැ.. ඒ වගේම අද ජුලී චන්ග් නෝනා නිහඬයි. වසන්තලාට වැඩ නැහැ. අපි මේ සියල්ල නිවැරදිව වටහා ගැනීම ඉතා වැදගත්.

    මේවා නිකම් වෙන දේවල්ද?

    ඊළඟ වසර අග ජනාධිපතිවරණයක් තිබියදී ජනතාවට මේ වගේ බදු බරක් පැටවීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මේ බදු බර අධික වීමෙන් සමාජය තුළ ආතතිය වැඩි වෙනවා. එවිට සමාජයේ කොටසක් ඒ ආතතියෙන් මිදීමට රට තුළ අවස්ථාව නැති වනවිට, රට හැර ගොස් නව ජීවිතයක් ඇරැඹීමට පටන් ගන්නවා. තවත් පිරිසක් ‘රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට හෙන ගහලා ගියත් කමක් නැහැ. අපට දැන් ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ.’ කියන විෂම මනසට වැටෙනවා. දැන් බලන්න සම්බුද්ධ ශාසනයට ඉතිහාසයේ නොවූවිරූ විදිහට ගරහනවා. යූටියුබර්ස්ලා දළදා වහන්සේට කුණුහරුපයෙන් බැන වදිනවා. බුදුන් වහන්සේගේ උපත හාස්‍යයට ගන්නවා . ශ්‍රමණ වේෂධාරියෙක් ‘ටික් – ටොක්’ ඔස්සේ බුදුදහමට නිග්‍රහ කරනවා මේවා නිකම් වෙන දේවල්ද?

    “Pawns of Peace”

    දැන් බලන්න, නෝර්වේ සාම ක්‍රියාදාමයෙන් සුඩානය බෙදුවාට, ශ්‍රී ලංකාව බෙදන්න බැරි වුණා. එහෙම බෙදුවා නම් අද ඊළමට මෙහා පැත්තේ හැදෙන්නෙ දකුණු ආසියාවේ ගාසා තීරයයි. අද පලස්තීනුවාගේ ඉරණම තමයි සිංහල මිනිහාට උරුම වන්නේ. නෝර්වේ අයට ඕනේ වුණා, ‘තමන්ගේ ඊනියා සාම ක්‍රියාදාමය ශ්‍රී ලංකාව තුළ ෆේල් වුණේ ඇයි?’ කියා හොයන්න. මේ පිළිබඳව විශාල විමර්ශනයක යෙදුණු නෝර්වේ මහාචාර්යවරුන් පිරිසක් ‘Pawns of Peace : Evaluation of Norwegian peace efforts in Sri Lanka” නමින් වාර්තාවක් එළිදැක්වූවා. එම වාර්තාව ඔබට අන්තර්ජාලයෙන් බාගත කරගත හැකියි. එහි තිබෙනවා නෝර්වේ සාම ක්‍රියාදාමය ෆේල් වීමට හේතු ගණනාවක්. මා එහි සඳහන් වැදගත්ම හේතු කිහිපයක් ඔබ හමුවේ තබන්නම්. ‘ෆෙඩරල් මතයක් දරන ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමඟ සමීප සබඳතාවක් ඇති කරගෙන, ඇයගේ ද සහයෝගය සහිතව එම ක්‍රියාදාමය මෙහෙයවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අසමත් වීම’ එහි දක්වා තිබූ පළමු හේතුවයි. ‘භික්ෂු සංස්ථාව දිනා ගැනීමට සුවිශේෂ මෙහෙයුමක් නොතිබීම’ එහි දක්වා ඇති දෙවන හේතුවයි. ‘මෙම ක්‍රියාදාමයේදී ජවිපෙ අභ්‍යන්තරික සහයෝගීතාව ලබා ගැනීමට මෙහෙයුමක් නොතිබීම’ තවත් හේතුවක් ලෙස දක්වා තිබෙනවා. එසේම ‘ජාතික හෙළ උරුමයේ අභ්‍යන්තරික සහයෝගීතාව ලබා ගැනීමට වැඩපිළිවෙළක් නොතිබීම’ එහි දක්වා ඇති තවත් හේතුවක්. දැන් මේ බාහිර පාර්ශව ඉහත කී සියල්ල තමන්ට උවමනා ආකාරයට කළමනාකරණය කරගෙන අවසන්. අද ජවිපෙ ජාතිකවාදී ජවිපෙයක් නොවෙයි. ඒ වගේම අද එහි ඇත්තේ එක සටන් පාඨයයි. ඒ තමයි දූෂණ විරෝධය. ‘අරුත් හොරා, මූත් හොරා, මුන් ඔක්කොම හොරු’ කියන එකයි ඔවුන් කියන්නේ. ඒක තමයි අද ඔවුන්ගේ මූලික න්‍යාය. රනිල් වික්‍රමසිංහ අද ’13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලගන්වනවා’ කියනකොට ටිල්වින් සිල්වා එකක් කියනවා, ආචාර්ය හරිනි අමරසූරිය ’13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලගන්වනවාට අපි එකඟයි’ කියා කියනවා. ඒ කියන්නෙ අර නෝර්වේ ‘සාම දූතයන්’ තමන්ට ඕනෑ දේ දැන් කරගෙන. 89 විනාශයෙන් පසුව ජවිපෙ ගොඩනැගීමට නායකත්වය දීපු සෝමවංශ අමරසිංහ මියයාමට ප්‍රථම කියා සිටියා, ‘තුන්දෙනෙක්ගේ කල්ලියක් තිබෙනවා. ඔවුන් ජවිපෙ රැගෙන යන්නේ වැරදි මාවතක’ කියා. ඒක අතුරු කතාවක්. දැන් බලන්නකෝ ජාතික හෙළ උරුමය කියා අද පක්ෂයක්වත් නැහැනේ. අද චම්පික රණවක ඉන්නේ නව ලිබරල්වාදී චින්තනයේ. අර භික්ෂූන්වහන්සේ පෙරටු කරගත් ගමන දැන් නැහැ. දැන් රනිල් සහ චන්ද්‍රිකා දෙන්නත් හරි යාළුයිනේ. මේ චරිතවල වෙනස් වීමේ භූමිකාව තේරුම්ගන්න බැරි නම් ලංකාවේ දේශපාලනය තුළ වල්මත් වීම හැර වෙනත් යමක් කරන්න වෙන්නේ නැහැ.

    නිර්වින්දනය වූ සමාජයක් හදන හැටි!

    ජනතාවට තිබෙන ‘නහුතයක් ප්‍රශ්න’ වැඩි කරන එක තමයි IMF එක රනිල් වික්‍රමසිංහ ලව්වා කරවන්නේ. ‘නහුතයක් ප්‍රශ්න’ වැඩි කරන්නේ නිර්වින්දනය වූ සමාජයක් හදන්න. නිර්වින්දනය වූ සමාජයක් ඉන්නකොට සාමාන්‍ය තත්ත්වයක් යටතේ කරන්න තියා හිතන්නවත් බැරි, රටට අහිතකර දේවල් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මේ දියත් කරන මෙහෙයුමට කියනවා, ‘ආපදා අධිරාජ්‍යවාදය’ කියලා. මානව ආපදා, ආර්ථික ආපදා, ස්වාභාවික ආපදා, සෞඛ්‍යමය ආපදා ආදී සියලු ආපදා මෙහිදී යොදා ගන්නවා. කොවිඩ් 19 ගැනත් විවිධ කතා තිබෙනවානේ. ඔබට මතක ඇති බ්‍රිතාන්‍ය මහජන නියෝජිතයකු මේ පිළිබඳව සුවිශාල අනාවරණයක් සිදු කොට තිබුණා, කියා. කොවිඩ් ගැන හරියට හොයාගෙන ගියොත් නතර වෙන්නේ ‘බිල් ගේට්ස්’ ගාවින්. ස්වාභාවික ආපදා වුවත් අද මේ ලෝකයේ අස්වාභාවිකව ඇති කිරීමට පුළුවන්. මේ පිළිබඳව ගැඹුරු කියැවීමක් තිබෙන අයට ඒ බව වැටහෙනවා. ‘ආර්ථික ආපදාව’ උග්‍ර වන තරමට තමාගේ ජීවත්වීමේ ප්‍රශ්නයට පමණක් ඌනනය වූ මනුෂ්‍ය සමාජයක් තමයි නිර්මාණය වන්නේ. එතකොට තමයි සංඝ සමාජයට එල්ල කරන අභ්‍යන්තරික පමණක් නොවෙයි බාහිර ප්‍රහාරයන් ද හැකි තරම් වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න, තමන්ගේ දේශනය කරගෙන හිටපු ජෙරම් ප්‍රනාන්දුට ඇයි යන ගමන් සම්බුද්ධ ශාසනයට පහර දෙන්න හිතෙන්නේ? ඔවුන් කවුරුත් දන්නවා, ‘දැන් සමාජය නිර්වින්දනය වෙමින් තිබෙන්නේ’ කියා.

    ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට…

    දැන් බලන්න, පසුගියදා ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය අපේ රටට ඇවිත් හැසිරුණු ආකාරය. ඇය ශ්‍රී මහා බෝ සමිඳුන්, දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ඒ වගේම මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. ඇය හැසිරුණේ අපේ රටේ කැබිනට් ඇමතිවරියක ලෙසයි. ඒ බාහිරින් පෙනෙන පින්තූරෙන් කියැවෙන අභ්‍යන්තර කතාව කුමක්ද? ඉන්දියාව දැන් ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගතව එකඟ වී තිබෙනවා, බලශක්ති ඒකාබද්ධකරණයකට. මෙහි බරපතළකම දැනෙන්න මම එක නිදසුනක් කියන්නම්. චීනයට ආසන්නයේ පැවති සිකීමය තීරණය කරනු ලැබුවා චීනයේ කොටසක් බවට පත්වෙන්න. ඊට අදාළ යෝජනාව එරට පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. සිකීමයට විදුලි බලය ලැබුණේ ඉන්දියාවෙන්. චීනය සමග එක්වීමට සිකීමය ගත්තු තීරණය දැනගත් වහාම ඉන්දියාව කළේ සිකීමයේ විදුලි සැපයුම හපා හැරීමයි. එහිදී අසරණ වූ සිකීමය, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ එකඟතාවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබූ චීනයේ කොටසක් බවට පත්වීමේ යෝජනාව හකුළා ගනු ලැබුවා.

    ඒ වගේම ඔබ දන්නවා, නේපාලයට වරායවල් නැහැනේ. ඔවුන් යැපෙන්නේ ඉන්දියානු වරායවල් මතයි. ඒ නිසා නේපාලයට ස්වාධීන දේශපාලන අනන්‍යතාවක් නැහැ. නේපාලයේ ටැක්සියකින් ගමන් කරන අවස්ථාවක ටැක්සි රියදුරාගෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා ‘මේ මොකක්ද?’ කියා ඇහුවොත් ඔහු කියන්නේ ‘ඔතැනින් තමයි අපව පාලනය කරන්නේ’ කියලයි. දැන් නේපාලය තුළ නේපාල මුදල් ඒකකයට අමතරව ඉන්දියානු රුපියලත් මුදල් ඒකකයක් ලෙස භාවිත වෙනවා.

    ශ්‍රී ලංකාව වෙතත් පැමිණෙමින් තිබෙන්නේ ඒ ප්‍රතිකර්මයම තමයි. ඒක එළියට පෙන්නන්නේ නැහැ. ඒකට තිබෙන බිය නැති කරන්නයි අර ‘මල් වට්ටිය’ අරගෙන යන්නේ. ඉන්දියාව එහි හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ලවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ‘රුපියල ඔහේ පා කර හරින්න’ කියා බලපෑම් කළේ ඇයි? එහෙම කළාම තමයි ලංකා රුපියලේ වටිනාකම නැත්තටම නැති වෙන්නේ. එතකොට තමයි, ‘ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගනුදෙනුවලදී ඉන්දියානු රුපියලත් ඕකේ’ කියන තැනට ගෙන එන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට අපේ සාමාන්‍ය පරිභෝජන කටයුතුවලදී ඉන්දියානු රුපියලත් භාවිතා කරන්න පුළුවන් වුණාම තව එක දෙයයි කරන්න තියෙන්නේ. ඒ තමයි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රේගු දෙක ඒකාබද්ධ කිරීම. එහෙම වුණාම දෙරට අතර රේගු බදු, වෙනත් බදු අදාළ වන්නේ නැහැ. එවිට නොදැනුවත්වම ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වෙනවා. මේක අපේ ජන සමාජය තුළ පීඩනය උපරිම තැනකට ගෙනල්ලා ඉටු කර ගනිමින් තිබෙන ඔවුන්ගේ එක් අවශ්‍යතාවක්.

    MCC එනවා – SOFA බලවත් වෙනවා

    ඒ වගේම ඔබ දන්නවා යහපාලන ආණ්ඩු සමයේ ඇමරිකා එක්සත් ජනපදය සමග MCC නම් ගිවිසුමක් අත්සන් කරන්න හැදුවා. අපේ විරෝධය නිසා ඒක කරගන්න බැරි වුණා. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වී මාස තුනකින් කැබිනට් තීන්දුවක්ම ගත්තා, ‘MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ’ කියා. දැන් ඒක යළි අස්සන් තැබීමට සාකච්ඡා ඇරඹී තිබෙනවා. ඒ වගේම තිබෙන SOFA ගිවිසුමට අලුතින් එකතු කිරීමට යනවා, ‘ඇමෙරිකානු හමුදා සාමාජිකයන්ට පරීක්ෂා කර බැලීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි’ කියන කොටස. එහෙම වුණොත් අපට කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැනේ. ඒ පිළිබඳවත් අපට හොරෙන් කසුකුසුව යනවා. හරියට කන්නවත් නැතුව, දරුවන් පාසලට යවාගන්නවත් නොහැකිව සිටින මිනිහාට මේක කිව්වාම එදා වගේ විරුද්ධව නැගී සිටින්න අද හයියක් ඉතිරි කරලා නැහැ.

    ඩොලර් අර්බුදයෙන් ගොඩඑන්නේ මෙහෙමද?

    අද වන විට සියලු නිෂ්පාදන කර්මාන්තවලට වැට් බද්ද අදාළ කර තිබෙනවා. ධීවර කර්මාන්තයට, උදැල්ල ඇතුළු කෘෂිකර්මාන්තයට අදාළ ආම්පන්නවලට වැට් බද්ධ අදාළ කළාම අනිවාර්යයෙන්ම සහල් මිල ඇතුළු ආහාරපානවල මිල දරාගන්න බැරි විදිහට ඉහළ යනවා. මුළුමහත් සමාජයම විෂම පීඩනයකට හසුවෙනවා. අපි කියන්නේ නැහැ බදු නොගැසිය යුතුයි, කියලා. බදු ගැසිය යුත්තේ දැරිය හැකි ලෙසයි. දැරිය නොහැකි ලෙස බදු ගැහුවාම අදාළ නිෂ්පාදන කර්මාන්තය බිඳවැටෙනවා. අපට මේ ඩොලර් අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන් වෙන්නේ දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවට්ටවාගෙනද? මේ පාලකයන් යෙදූ ප්‍රතිකර්ම සාර්ථක නම් පසුගිය වසරට වඩා මේ වසරේ අපනයන ආදායම සියයට 14කින් අඩු වුණේ ඇයි? ඉන්දියාවේ, බංග්ලාදේශයේ අපනයන ආදායම් වැඩි වෙලා. අපේ විතරයි අඩු වෙලා තිබෙන්නේ. අපට තිබෙන ඩොලර් අර්බුදයෙන් ගොඩඑන මාවතේ නොවෙයි මේ යමින් සිටින්නේ, දැනට ලැබෙන ඩොලර් ටිකත් අහිමි කර ගැනීමේ මාවතකයි මේ යමින් සිටින්නේ.

    ග්‍රාමීය කෘෂිකාර්මික පදනමත් ඉවරයි

    දැන් බලන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ‘මම දැන් ගොවීන්ට ඉඩම් අයිතිය දෙනවා. අපනයනය ඉලක්ක කරගත් වාණිජ කෘෂිකර්මාන්තයක් හදනවා’ කියලා. නමුත් උදැල්ලටත් සියයට 18ක වැට් බද්දක් ගහලා අපනයනය ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තයක් හඳුන්වා දෙන්නේ කොහොමද? ගොවියාට ඔප්පුව නම් දෙයි. ඔහුත් හතරගාතෙන් වැටුණාම ඔප්පුව විකුණයි. මහා පරිමාණ කෘෂි සමාගම් ඇවිල්ලා ඉඩම් අත්පත් කරගෙන ඔය ‘බේබි කෝන්’ වැනි දෙයක් වවයි. මෙතරම් අර්බුදයක් තිබියදීත් රටේ ආහාර හිඟයක් ඇති නොවුණේ ග්‍රාමීය කෘෂිකාර්මික පදනමක් තිබු නිසයි; ඒ ග්‍රාමීය කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් ටික තිබුණු නිසයි. නමුත් දැන් ගමන් කරමින් තිබෙන්නේ ඒ ග්‍රාමීය කෘෂිකාර්මික පදනමත් නැත්තටම නැති කරලා, වාණිජ අර්ථයට පමණක් ලඝු වුණු මහා පරිමාණ සමාගම්වලට ඒ ගොවිබිම් ටිකත් අත්පත් කර දීම. මෙවැනි විසඳුම්වලින් අපට විදේශ විනිමය අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? ඒ නිසයි මම හැමදාම කියන්නේ, ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙන්නේ ලෙඩාව සාමාන්‍ය වාට්ටුවට ගෙන යන ප්‍රතිකර්මය නොවෙයි. ලෙඩා දැඩි සත්කාර ඒකකයේම තබාගෙන තවදුරටත් තමන්ගේ ඉලක්ක සැපිරෙන ආකාරයට ආපදා තත්ත්වය කළමනාකරණය කරන වැඩේ’ කියලා. අවාසනාවට අපේ රටේ වෙන කිසිදු දේශපාලන වේදිකාවක් ඇතුළේ මේ බරපතල කාරණය ගැන සාකච්ඡා වෙන්නේ නැහැ.

    “නාරා” මෙතෙක් නොහදපු සිතියම් තුන

    ලංකාවේ පිහිටීමේ වැදගත්කම නිසා ඈත අතීතයේ සිටම එය ආක්‍රමණවලට ගොදුරු වුණා. සැටලයිට් ඡායාරූපයක් අරන් බලන්න, ලංකාවේ මුහුදු සීමාවෙන් කොතරම් නැව් යනවාද, කියා. හිතාගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් යනවා . ඒ ගැන මට දැන් අතුරු කතාවක් මතක් වුණා. සාමාන්‍යයෙන් අපේ ගුවන් සීමාවෙන් ගුවන් යානයක් යනකොට ඊට අදාළව අපට ගෙවීමක් කරනවා. නීතිය අනුව අපේ මුහුදු සීමාවෙන් නැවක් යනවිටත් යම් ගෙවීමක් කළ යුතුව තිබෙනවා. හැබැයි ඒ ගෙවීම ලබාගැනීමට අපි සිතියම් තුනක් හදලා තියෙන්න ඕනෙ. ඒ සිතියම් තුන හදලා ජාත්‍යන්තරව ඉදිරිපත් කළාට පසුව තමයි අපට අවස්ථාව ලැබෙන්නේ, අපේ මුහුදු සීමාවෙන් යන නැව්වලින් අදාළ ගෙවීම ලබාගන්න. ඒ වගකීම තිබී ඇත්තේ නාරා ආයතනයටයි. නමුත් මෙපමණ කාලයක් ඔවුන් ඒ සිතියම් තුන හදලා නැහැ. ඒ නිසා කොපමණ නැව් ප්‍රමාණයක් අපේ මුහුදු සීමාවෙන් ගියත් අපට සත පහක්වත් ලබාගන්න බැරි වෙලා තිබෙනවා.

    භූ දේශපාලනයේ ඇමරිකානු භූමිකාව

    ලෝකයේ භූ දේශපාලනය කියන එක අවලංගු වෙලාද? නැහැ. ඒ නිසයි SOFA ගිවිසුම අලුත් කරලා ඇමෙරිකානු ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරීක්ෂා කිරීමකින් තොරව නිදහසේ ශ්‍රී ලංකාව තුළ සැරිසරන්න ඉඩකඩ ඉල්ලන්නේ. ඒ නිසයි ඉන්දියාව ත්‍රිකුණාමල ප්‍රදේශයේ විශේෂ ව්‍යාපෘති සඳහා එකඟතාව ලබාගන්නේ. ලෝකය තුළ තිබූ ඇමෙරිකානු බලය මත පමණක් පදනම් වූ ඒකධ්‍රැවීය බලය අද බහුධ්‍රැවීය බලයක් බවට පත්වෙමින් යනවා. අද යුද්ධය තිබෙන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර නොවෙයි, රුසියාව සහ ඇමෙරිකාව අතරයි. ඒ නිසා තමයි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඇමරිකානු කොංග්‍රසය ඉදිරියට ගිහිල්ලා ආධාර ඉල්ලන්නේ. සෙලෙන්ස්කි කරගහගෙන ඉන්නේ ඇමෙරිකාවේ යුද්ධයක්. ඔබට මතක ඇති රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ඇරඹී පළමු මාසයේදී සාම සාකච්ඡා පැවැත්වුණා. එහිදී රුසියාව ලබා දුන් කොන්දේසිය තමයි, ‘ඔබලා මධ්‍යස්ථ රටක් විදියට ඉන්න. නේටෝවට යන්නේ නැහැ. කියලා සහතික වෙන්න’ කියන එක. යුක්රේන නියෝජිත පිරිස ඒ කොන්දේසියට එකඟ වෙලා යුද්ධය නතර කරගන්න සූදානම් වුණා. නමුත් එවකට එක්සත් රාජධානියේ අගමැතිවරයා වූ බොරිස් ජොන්සන් සෙලෙන්ස්කි හමුවට ගොස් කීවා, ‘නුඹලා ඔය එකඟතාවලට යන්න එපා! අපි උදව් කරන්නම්. නුඹලා යුද්ධ කරපල්ලා’ කියා. සෙලෙන්ස්කිත් ඒ ‘ලණුව’ කෑවා. දැන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට උදව් කරනවා කියපු කවුරුත් උදව් කරන්නේ නැහැ. ඔහු දැන් ඇමෙරිකානු කොංග්‍රසය ඉදිරිපිටට ගිහිල්ලා ආධාර ඉල්ලනකොට හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ පක්ෂයේ නියෝජිතයන් සෙලෙන්ස්කිට කියනවාලු ‘නුඹට අපි මෙච්චර ඩොලර් බිලියන ගණනක් දුන්නා. මොකක්ද නුඹ පෙන්වලා තිබෙන ප්‍රගතිය. මෙවරත් ප්‍රගතියක් පෙන්වයි කියා අපට විශ්වාස නැහැ. අපට ඇමරිකානු ජනතාවගේ බදු මුදල් ප්‍රගතියක් නොපෙන්වන දේකට යොදවන්න බැහැ’ කියලා. ‘බටහිර විශ්වාස කරලා මැච් ගහන්න යන එකා මොන තරම් මෝඩයෙක්ද?’ කියන එකට හොඳම උදාහරණය තමයි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි. එතැන තිබෙන්නේ භූ දේශපාලනය. යුක්රේනය නේටෝවට ගන්න ඇමරිකාවට වුවමනායි. රුසියාවේ ගේ දොරකඩ, එළිපත්තේ නේටෝවේ ආයුධ සවි කරන්නයි ඇමරිකාවට ඕනේ. ඒ නිසානේ ඇමරිකාවේ ජනාධිපතිවරයා කියන්නේ ‘මේකෙන් පරදින්නේ යුක්‍රේනය නොවෙයි අපි’ කියලා.

    සෙලෙන්ස්කිට යටත් වීමට සිදු වේවි!

    මම නම් හිතන්නේ, ‘මේ ශීත කාලය අවසන් වන විට රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ නතර වේවි’ කියා. ඒ කියන්නේ සෙලෙන්ස්කිට යටත් වීමට සිදු වෙනවා. මේවා තමයි භූ දේශපාලනය කියන්නේ. අද ලෝකයේ හැදෙන බහුධ්‍රැවීය බලයේ එක් කොටසක් වෙන්න රුසියාව බලනවා. චීනය තව බලකේන්ද්‍රයක් වෙන්න බලනවා. ඒ නිසා තමයි ඇමරිකාව චීනයටත් විවිධ වෙළඳ තහංචි පනවමින් ඉන්නේ; පිලිපීනය සහ චීනය අවුලුවන්න හදන්නේ.

    “ඊශ්‍රායලයේ වැඩේ නම් පුටින්ගේ වැඩක්?”

    ඒ වගේම මම නම් හිතන්නේ ‘ඊශ්‍රායලයේ වැඩේ පුටින්ගේ වැඩක්’ කියලයි. අපි කවුරුත් දන්නවා, මේ වෙනකොට හමාස් සංවිධානය පිටුපස සිට උදව් කරන්නේ ඉරානයනේ. ඉරානය කියන්නේ පුටින්ගේ හොඳම මිත්‍රයෙක්නේ. ඒ නිසා පුටින්ට පුළුවන් ඉරානයට කියන්න ‘මේ වෙලාවෙ හමාස්ලාට උදව් කරලා මොකක් හරි බාල්දියක් පෙරළන්න. එතකොට යුක්රේනයට තියෙන අවධානය සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. ඇමරිකාවට බැහැ එකවර දෙපැත්තකට උදව් කරන්න. එතැන ඔහේලා පත්තු කළොත් මට පුළුවන් යුක්රේන වැඩේ ඉවරයක් කරලා දාන්න’ කියා. මේක මගේ අදහස. මේක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි මෙවැනි දෙයක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි. ඉරානය හමස්ලාට ආයුධ ටික දෙනවා. මේ වෙලාවේ ඊශ්‍රායලය තුළ තිබෙන්නෙත් අභ්‍යන්තර ආරවුලක්. ‘අධිකරණයට බලපෑම් කළා’ කියලා ඊශ්‍රායල ජනතාව අගමැතිවරයාට එරෙහිව පෙළපාලි යනවා. ඒ වෙලාවේ හමාස්ලා ඊශ්‍රායලය තුළට කඩා වදිනවා. ඔබ දන්නවා හමාස් සංවිධානය හැදුවේ පලස්තීන විමුක්ති සංවිධානය දෙකඩ කරන්න; යසර් අර්ෆත්ව දුර්වල කරන්න. හමාස් සංවිධානයට මුලින්ම මුදල් දුන්නේ කටාර් හරහා ඊශ්‍රායලය විසින්මයි. පලස්තීන විමුක්ති සංවිධානයටත් වඩා රැඩිකල් සංවිධානයක් ලෙස පෙනෙන ආකාරයට හමාස් සංවිධානය හදන්න ඊශ්‍රායලයේ ඔත්තු සේවාව වන ‘මොසාඩ් එක’ වෙහෙස වුණා. නමුත් මුලින්ම ඊශ්‍රායලය කිරි පෙව්වාට, පසුව හමාස් එක ඔවුනට අවනත වුණේ නැහැ. දැන් ඔවුන් අවනත ඉරානයටයි. මෙතැන තිබෙන්නෙත් භූ දේශපාලනයයි. ඇමරිකාව යුක්‍රේනය පාවිච්චි කරලා ගේම ගහනවා. හමාස්ලා පාවිච්චි කරලා මෙතැන ගේම ගහන්නේ කවුද, කියා දන්නේ නැහැ. මම නම් හිතන්නේ ඉහත කී ආකාරයටයි.

    ලංකාවේ මැච් එක ගහපු ගොන් රැල

    ශ්‍රී ලංකාවත් මේ භූ දේශපාලන ක්‍රීඩාවේ ඉතාම තීරණාත්මක තැනක්. අද ඇතමුන් ජනප්‍රියවාදී සටන් පාඨවල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ‘අපි විප්ලවය කියලා උදව් කරලා තියෙන්නේ ප්‍රතිවිප්ලවයට. ඒක පසුව තමයි තේරුණේ’ කියලා දැන් ජවිපෙ කියනවා. නමුත් එදා කිව්වේ ‘අරගලය අපේ. එතැන අපේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය, කාන්තා සංගමය ඉන්නවා’ කියලා. ඒ වගේම මේ ළඟදී ජවිපෙ නායකයා රූපවාහිනී සංවාදයකදී අහනවා, ‘අරගලයකින් බලය පිහිටුවන්න පුළුවන්ද?’ කියා. ජවිපෙ නායකයා දැන් එහෙම අහන්නේ හරියට අපි අරගලය කළා වගේනේ. ඒ අතරේ දැන් බිමල් රත්නායක කියනවා, ‘අපි මැච් එක ගැහුවා. කප් එක වෙන එකෙක් උස්සගෙන ගියා’ කියලා. ‘කප් එක’ එකඑකාට උස්සගෙන යන්න, මැච් එක ගහන්නේ මොන ගොන්නුද?

    හිවල් මනසින් කරපු හරිය…

    අපි දන්නවා, ‘රනිල් වික්‍රමසිංහ කියන්නේ හිවල් මනසක් තිබෙන දේශපාලනඥයෙක්’ කියලා. එයා දන්නවා, ‘තමන් විදේශ ණය කන්දරාවට අවුරුදු හතරහමාරක් තුළ ඩොලර් බිලියන 12.5ක් එකතු කළාම, ඒ අස්සේ කොවිඩුත් ආවාම, විදේශ ප්‍රේෂණ ප්‍රමාණයත් අඩු වුණාම, මේක තේරුම් ගන්න බැසිල් රාජපක්ෂ සහ පී. බී. ජයසුන්දර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඥානයක් නොදෙන කොට, මේ අර්බුදය උග්‍ර වෙනවා’ කියලා. අවුරුද්දක් විතර කැරකි කැරකි ඉඳලා රනිල් වික්‍රමසිංහ මේ අර්බුදය උග්‍ර වන වෙලාවේ තමයි පාර්ලිමේන්තුවට ආවෙත්. ඔබට මතක ඇති ඒ දවස්වල ආශු මාරසිංහ කිව්වා, ‘අපි එක හට් එකක් නොවෙයි, අරගල භූමියේ හට් විස්සක් ගැහුවා’ කියලා. මේ ‘ලක් අම්මාගේ දරුවෝ’ කවුරුන් වෙනුවෙන් ද මැච් එක ගහලා තියෙන්නේ, කියා පැහැදිලියි. මෙතැන සිදු වුණේ පෙර ආණ්ඩුවේ තිබුණු තකතීරුකම් සියල්ලත් යොදාගෙන, බටහිරට අවශ්‍ය පදයට නටන පාලකයකු අතට මේ රටේ පාලන සුක්කානම රැගෙන දීමයි. ඒ බලවේගවල වුවමනාව තමයි ඉදිරි ජනාධිපතිවරණයේදීත් එම ප්‍රවණතාව බලගැන්වීම. ඔවුන්ගේ සහායෙන් කවුරු බලයට ආවත් ඔහු නියෝජනය කරන්නේ එම ප්‍රවණතාවම තමා.

    කවරදාටත් වඩා වැඩි අවදානමක්!

    දැන් බලන්න, ආජන්ටිනාව දීර්ඝ කාලයක් තිස්සේ මේ වගේ අර්බුදයක ගොදුරක් වී තිබෙනවා. අන්තිමේදී ඔවුන් තෝරා ගනු ලැබුවේ අන්ත දක්ෂිණාංශික මත දරන ජනාධිපතිවරයෙක්. ඔහු දැන් කියනවා, ‘මහ බැංකුව අහෝසි කරනවා. ඇමරිකානු ඩොලරය ආජන්ටිනාවේ මුදල් ඒකකය බවට පත් කරනවා’ කියලා. මේ වෙලාවේ ජනතාව විවිධ අත්හදා බැලීම් කරනවා. නමුත් ප්‍රතිඵලය තිබෙන තත්ත්වයටත් වඩා නරක තත්ත්වයකට ඇදවැටීම වෙන්න පුළුවන්. ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය ගෙන දුන්නෙත් තිබුණු තත්ත්වයට වඩා නරක තත්ත්වයක්නේ. දැන් අපි ඉන්නේ කවරදාටත් වඩා අවදානම් තත්ත්වයක. සතුරු බලවේග විසින් වට කරන ලද තත්ත්වයක.

    “කාගෙත් සුන්දරී”

    දැන් බලන්න, භූ දේශපාලනය කියන ක්‍රීඩාවේදී අද ශ්‍රී ලංකාව ඉන්නේ දරුණු ලෙස කොටු වූ තත්ත්වයක. හොඳම උදාහරණය තමයි චීනය කියනවා, ‘ඔබලාගේ මුහුදු සීමාවට අපේ ගවේෂණ යාත්‍රාවක් එනවා. ඊට අවසර දෙන්න’ කියලා. ඉන්දියාව කියනවා, ‘අවසර දෙන්න එපා!’ කියලා. ඔබට මතක ඇති විදේශ ඇමති අලි සබ්රි එහිදී කීවා, ‘අපට ඉන්දියාවේ හිතවත්කම වැදගත්. ඒ නැවට අපි අවසර දෙන්නේ නැහැ’ කියා. නමුත් සතියක් යනකොට ඒ නැව ආවා. ඊට පසුව විදේශ ඇමතිවරයා කියනවා, ‘ඔව්! ඒ නැව ආවා. තෙල් ගහන්නයි ආවේ’ කියලා. ඊට පසු දිනයේ ප්‍රවෘත්තිවල යනවා, ‘චීන නැව ගවේෂණ කටයුතු අරඹා ඇත’ කියා. එක් පැත්තකින් ඉන්දියාව සතුටු කිරීමට ‘අවසර දෙන්නේ නැහැ’ කියනවා. ‘හරි කමක් නැහැ. ශේප් එකේ වැඩේ කරගෙන යන්න’ කියලා චීනයට කියනවා. ඒ විදියට ‘කාගෙත් සුන්දරී’ වෙලා මේ අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද?

    ලාඕසයට ලැබුණු චීන තෑග්ග

    මීට අදාළ තවත් නිදසුනක් මම කියන්නම්. ගෝඨාභය රාජපක්ෂට කොවිඩ් අර්බුදය එන්න කලින් චීනයෙන් ආරාධනාවක් ආවා. යන්න තිබුණේ කොවිඩ් ඇවිත් සතියකින් පමණ. පී. බී. ජයසුන්දර ඒ වෙලාවේ කිව්වා ‘සර් මේ වෙලාවෙ යන එක භයානකයි. අපි නොගිහින් ඉමු!’ කියලා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගමන අවලංගු කළා. නමුත් ලාඕසයේ නායකයා තමන්ගේ ගමන අවලංගු නොකර ගියා. තමන් කරදරයක වැටී සිටින අවස්ථාවක ගමන අවලංගු නොකර පැමිණි ඒ සැබෑ මිත්‍රයාට කෘතගුණ සැලකීමක් විදියට ලාඕසය චීනයෙන් අරන් තිබූ සියලුම ණය කපා හැරියා. ඒ වගේම අපි දන්නවා, ‘පුටින් නාධිපතිවරයා අප්‍රිකාවේ බොහෝ ණය කපා හැරියා’ කියලා. ඒ වගේම රුසියාව තිරිඟු පිටි නොමිලේ දෙන රටවල් ගණනාවක් තිබෙනවා. නමුත් මෙතැනදී හැමදෙනාම සතුටු කරන ප්‍රතිපත්තියකට ගිය ගමන්, කවුරුත් සතුටු වෙන්නේ නැහැ වගේම, ‘හොම්බ බිම ඇනුණු වෙලාවට’ පාගන රැලක් හැරෙන්න කිසිවෙකුත් නැති වෙනවා.

    තානාපති කාර්යාලවලින් යැපෙන්නෝ

    ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තිබෙන ඛේදවාචකය තමයි දේශපාලන පක්ෂ දේහය විවිධ තානාපති කාර්යාලවලින් යැපෙන මිනිස්සුන්ගෙන් පිරුණු තැනක් වීම; ඒඒ රාජ්‍යයන්වල ඉත්තෝ විදිහට වැඩ කරන මිනිස්සුන්ගෙන් පිරුණු තැනක් වීම. එවැනි තත්ත්වයක් තිබියදී මේ සමස්ත අර්බුදයට හේතුව එක කාරණයකට ලඝු කරන්න බැහැ.

    දූෂණය එකම සාධකය නොවෙයි!

    දුෂණය කියන සාධකය නම් ශ්‍රී ලංකාවේ කඩාවැටීමට එකම සහ අවසාන හේතුව, ඉන්දියාව කඩාවැටෙන්න ඕනෙ හතරපස් සැරයක්. ඉන්දියාවෙ තරම් දූෂණයක් ශ්‍රී ලංකාවේ නැහැ. අපි දන්නවා 1999 වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතයේ සති දෙකකට ප්‍රමාණවත් මුදල් පමණයි තිබුණේ කියා. ඉන්දියාවත් එදා අපි අද මුහුණ දී සිටිනවා වැනිම වූ අර්බුදයකට මුහුණ දී සිටියා. සෝවියට් සංගමය බිඳවැටීමත් සමඟ ඔවුන් මේ අවාසනාවන්ත ඉරණමට ලක් වී තිබුණා. එවකට ඉන්දීය අගමැතිවරයා වූයේ අතල් බිහාරි වජ්පායි මහතායි. ඔහු එරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වූ මන්මෝහන් සිං ගෙන්වලා ඔහුව මුදල් ඇමති ධුරයට පත් කරලා කිව්වා, ඔයා ආර්ථිකය බලාගන්න. මම දේශපාලනය බලාගන්නම්’ කියලා. මන්මෝහන් සිං ඒ වෙලාවෙ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළා. කෘෂිකර්ම ක්ෂේත්‍රය හැරෙන්න අනෙක් ක්ෂේත්‍රවල තරගකාරී වෙළඳපොළ ලක්ෂණ නිර්මාණය කළා. ඒ සමගම මිනිස්සු ළඟ තිබූ මුදල් ඒ එක එක ව්‍යාපෘතිවලට එළියට එන්න පටන් ගත්තා. එක වෙලාවක මන්මෝහන් සිං මුදල් ඇමති ලෙස කරපු කතාවක කියනවා, ‘අපි හදපු ඉන්දියාව ආයෙත් වැටෙන්නේ නැහැ’ කියා. අද ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත් වී සිටිනවා. ඉන්දියාව ඒ විපත සැපත බවට පෙරළා ගත්තා. විපතක් සිදු වුණාට පසුව තමයි පොදු සමාජ විඥානය බලගන්වන්න පුළුවන් වෙන්නේ. අපේ ජාතියත් හැම වෙලාවකදීම එකමුතු වෙලා තියෙන්නේ විපතකදී මිසක් සැපතකදී නොවෙයි. නමුත් අද මේ විපත නැඟීසිටීමේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරගන්නවා වෙනුවට එය පාවිච්චි වෙනවා පරිබාහිර බලවතුන්ගේ අපට අහිතකර පරමාර්ථ, ඉල්ලීම්, අරමුණු සපථ කරගන්න.

    මානසික බාධාවන් පරදවමු!

    විදෙස්ගත ශ්‍රී ලාංකික ඔබ ශ්‍රී ලාංකික සමාජය තියුණු අභියෝගවලට මුහුණ දෙන හැම වෙලාවකම ඒ අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය ධෛර්යය, ශක්තිය, ප්‍රඥාව ලබා දී තිබෙනවා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදවන සටනේදී, සුනාමි විපතේදී, රණවිරුවන්ට එරෙහි යෝජනා ජිනීවාවලට රැගෙන එන විටදී ඔබලා රට වෙනුවෙන් උපරිම කැප කිරීමක් සිදු කළා. නමුත් මේ මොහොත වන විට තමන් මුහුණ දුන් නීරස අත්දැකීම් නිසා ඒ පැවති උනන්දුව, කැප කිරීම ඇතැමුන් තුළ හීන වෙමින් යනවා. එයට ජය ගැනීමට ඉඩ දිය යුතු නැහැ. මේ මොහොතේ ක්‍රියාත්මක වන එක දෙයක් තමයි මානසික බාධාවන් පැනවීම. ඊට අපි යටත් විය යුතු නැහැ. මේ අර්බුදයෙන් අපි එළියට ආ යුතුයි.

    “ජනාධිපතිවරණය : කළ යුත්තේ කුමක්ද?”

    ඒ නිසා අපි ‘සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම එකතු වෙලා රට හදමු!’ කියන මතය දරන, ජාතිවාත්සල්‍යයෙන් පණ පෙවුණු, දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල දේශපාලන මඟපෙන්වීම, දේශපාලන නායකත්වය ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතුයි. ඒ අවස්ථාව කිසිදු ජාතිවාත්සල්‍යයකින් තොර විවිධ අපේක්ෂකයන්ට කොල්ලකන්න ඉඩ දුන්නොත් එමගින් ලැබෙන්නේ අපි ඉහත පෙන්වා දුන් අනතුරුදායක ක්‍රියාවලියේම තවත් දිගුවක් මිස වෙන කිසිවක් නොවෙයි. ඒ නිසා අපි සියලුදෙනාම එකතුවෙලා මේ තීරණාත්මක කඩයිම පනින්න සූදානම් වෙමු! මේ සතුරු වටලෑමෙන් අපේ රට බේරාගන්න සූදානම් වෙමු! මේ විෂම පීඩාකාරී තත්ත්වය පාවිච්චි කරලා රටේ අනාගතය බිලිගැනීමට මාන බලන මෙහෙයුම තීරණාත්මකව පරාජයට පත් කරමු! රටේ අනාගතය ගොඩනගන පාර අලුතෙන් කපන්න සූදානම් වෙමු! ඒ සඳහා ඔබ සියලුදෙනාට ධෛර්යය, ශක්තිය, යෝධ බල, යෝධ වීර්ය නොඅඩුව ලැබේවා’යි පතනවා!

    ඒ වගේම මේ කටයුත්ත සාර්ථකව සංවිධානය කළ ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානි කමිටුවේ සභාපති වජිර කමල් සමරක්කොඩි, ලේකම් පතිරණ ජයවර්ධන ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ට මාගේ හෘදයාංගම කෘතවේදිත්වය පිරිනමනවා”

    (අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
    මාධ්‍ය ලේකම්,
    ජාතික නිදහස් පෙරමුණ